-->

Tuesday, September 18, 2012

CFL විදුලි බුබුළු භාවිතය ගැන නැවත සිතා බැලීම පිළිබදව ලියවුන වටිනා ලිපියක් සම්බන්ධයෙන් මෙම සටහන තබමි...

මෙය මහාමේඝ පුවත් සඟරාවේ පළ වූ ලිපියක්. මෙම ලිපියේ පූර්ණ අයිතිය මහාමේඝ සතුයි.එම අඩවියේ ලිපිනය වන http://mahamegha.lk/featured-articles/andura-duralanna-seelime-ellagath-kala-bombaya/ පිවිසීමෙන් මුල් ලිපිය ඔබට කියවිය හැකිය).

මෙම ලිපිය මා පළ කිරීමට අදහස් කළේ මෙම ලිපිය කියවූ පසු ඇත්තෙන්ම යම් මුදලක් ඉතිරි කර ගැනීමේ අරමුනින් මෙම මෙවලම භාවිතයෙන් ඉතිරිවන මුදලට වඩා දීර්ඝ කාලීනව අපි ලඟා කරගන්නා විනාශය පිළිබදව ඔබ මේ වනවිටත් දැනුවත්ව නොමැති නම් දැනුවත් කිරීමටයි.

මෙම ලිපිය ඇත්තෙන්ම මා විසින් ලියන ලද්දක් නොවේ.මෙම ලිපිය ලියා තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියෙකු වන ගැමුණූ සාලිය පෙරේරා මහතා විසින්. මුලින්ම මෙම ලිපිය දකින්නට ලැබුනේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර යන මාතෘකාව යටතේ.ඔවුන් එම ලිපිය ලබා ගත් බවට සබැඳිය ලබා දී තිබුනේ මහාමේඝ වෙබ් අඩවියෙන්. ඒ අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය යන මාතෘකාව යටතේ‍‍. කෙසේවෙතත් එම වෙබ් අඩවි වල මෙම ලිපිය පළ වූ බව ඔබ නොදන්නේ නම් මෙම වටිනා කරුණ පිළිබදව දැනුවත් කිරීම සදහා සත් සමුදුරේද පළ කිරීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.


නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි. එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.

කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ. අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.

බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප‍්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති රෙගුලාසි පණවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අළෙවි කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නො කියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.

ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.

* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප‍්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප‍්‍රමාණවත් වනු ඇත.

මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප‍්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප‍්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත.

බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර
මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප‍්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප‍්‍රමාණයක් බව සොයා ගෙන ඇත.

රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත.

මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය.

01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය)

02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න.

04. කාමරයේ විදුලිපංකා ක‍්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න.

05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප‍්‍රවේශමෙන් ඉවත් කරන්න.
කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.

06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න.

07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.)

CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද?

CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත‍්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග‍්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ‍්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්ටේ‍්‍රට් ග‍්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ‍්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ‍්‍රහම් හෙයිම්’ මහතා විසින් ප‍්‍රකාශ කර ඇත. කවර හෝ ආලෝක ප‍්‍රභවයක් තුළ රාත‍්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව‍්‍රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත.

අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර සිටී. මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද?

බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත.
(මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.)

‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ.

මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප‍්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්,
(උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත.

ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී.
CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය.

කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත.

* නවසීලන්ත රජය සාම්ප‍්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත.

* ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත.

* ඇමරිකාවේ කැරොලිනා ප‍්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත.

* සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත.

CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද?

CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප‍්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය.

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප‍්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත.

මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග‍්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය.

එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය.


කාල බෝම්බයේ සටහන
ගැමුණූ සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරික්ෂක – ඇල්ල 



මෙවන් වටිනා කාලීන තොරතුරක් සිංහල පාඨකයන් හට ලබා දීම සම්බන්ධයෙන් මෙම ලිපිය ලියූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගැමුණු සාලිය පෙරේරා මහතාටත්, මෙම ලිපිය පළ කළ මහාමේඝ වෙබ් අඩවියට සහ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටත් ස්තූතිය පිරිනමමි.

11 comments:

  1. මමනං හිතන්නේ මේකට හොඳම විසඳුම මේ වෙනකොටත් ඇවිත් තියෙන්නේ... LED Lights දැනුම තියනවනම් තමන්ටම උනත් අඩු වියදමකින් හදාගන්න උනත් පුලුවන්...

    ReplyDelete
  2. මෙවන් වටිනා කාලීන තොරතුරක් සිංහල පාඨකයන් හට ලබා දීම සම්බන්ධයෙන් මෙම ලිපිය ලියූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගැමුණු සාලිය පෙරේරා මහතාටත්, මෙම ලිපිය පළ කළ ඔබ ඇතුළු සියළු හිත හොද මිනිසුන්ටත් අපගේ ප්‍රණාමය

    ReplyDelete
  3. බුදු අම්මේ.. අපේ නැන්දම්මලා මුළු ගෙදරටම මේවා දාන්න යන්නේ....
    මේක හෙටම පෙන්නන්න ඕනේ.... මම කිව්වට පිලිගන්නේ නෑ නේ.... LED lights වගයක් තියෙනවා කිව්වා.. ඒවත් ගනන් ලු... අනේ මන්දා...
    කොහෙවත් මේ වගේ කතාවක් අහලා තිබුනේ නෑ මම.... මං හිතන් හිටියෙත් මේවා හොදයි කියලා.... නිදන කාමර වලටවත් සාමාන්‍ය බල්බ් දාන එක හොදයි වගේ.... ඒවයේ රිස්ක් එක වැඩියි නේ....

    බොහොම ස්තූතියි මේ විස්තරේ දැම්මට....

    ReplyDelete
  4. CFL එකකින් වුන තුවාල ගැන ඊමේලයකින් ආවා. අනික රසදිය වලින් පරිසරය ගොඩක් විනාශ වෙනව කියලත් අහල තිබුනා. වටිනා ලිපියක් ස්තූයියි.

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි දිනේෂ් සහෝ මේ ලිපිය පළ කරාට... ලිපිය ලියූ මහත්මාට වගේම ඔබටත් අනේක වාරයක් ස්තුතියි මේ වගේ අනතුරක් ගැන දැනුවත් කලාට...

    ඇත්තටම LED බල්බ් තමා හොඳම විසඳුම. අපිට රෑටත් දවල් වගේ මහ එළියක් ඕනේ නෑ නොවැ. LED එකේ එළිය ටිකක් අඩු වුනාට ඒ නිසා කමක් නෑ... අනෙක LED වලට යන්නේ CFL වලට යන විදුලියෙනුත් භාගයයි...!

    සාධාරණ ලාභයක් තියාගෙන LED බල්බ් හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න චාන්ස් එකක්...!!!

    ReplyDelete
    Replies
    1. menna hadaganna
      http://www.dinumadushan.tk/2012/08/led-cfl-12v-108-led.html

      Delete
  6. ඊ මේල් වලින් ගෙනගිය මේ ප්‍රවෘතිය සත්‍ය බව ඔබ හොඳා කාරවම දැනගෙනද මේ ලිපිය ලිව්වේ? නැත්තම් ඔබත් ලොකු බොරුවක් ප්‍රචාරයට උර දුන් එක් අයක් පමණක් වේවි

    ReplyDelete
    Replies
    1. email වලින් මේ ගැන ගෙන ගිය පණිවිඩය ගැන නම් මා දන්නේ නැහැ. ඒ කොහොමවුනත් ඔබටත් මේ ගැන නිෂ්චිතවම සැකහැර දැනගැනීමට අවශ්‍යනම් අන්තර්ජාලයෙන් වුනත් සොයා බලන්න. රටවල් ගණනාවකම මෙම CFL බුබුළු පරිහරණය සීමා කරන්න තීරණය කර අවසන්...

      Delete
  7. @සියල්ලන්ටම - ඇත්තටම මේ ලිපිය සවිස්තරාත්මකව ලියූ ගැමුණූ සාලිය පෙරේරා මහතාට තමයි නියම ස්තූතිය ලැබිය යුත්තේ. අපි කෝකටත් ඉදිරියේදී මේ බුබුළු පරිහරණය ප්‍රවේශමෙන් කළොත් හොදයි. මම නම් සිතා සිටින්නේ නිවස තුළ තිබෙන CFL බුබුළු පිලිස්සුන පසු නැවත නිවස තුලට මෙම බුබුළු සවි නොකරන්නටත්, නිතර දැල්වෙන නිවසේ පිටත විදුලි පහන් සදහා පමණක් CFL භාවිතා කරන්නටත්ය...

    ReplyDelete
  8. We don't have any alternative than CFL.

    LED's have problems because they are so vulnerable to spikes and transients in
    our power lines. These things are very common in Sri Lankan electricity gird.
    So it requires expensive power drives to drive them. That made things more
    expensive. I don't think simple circuits on the internet will last more than one
    month.

    Everything have it's limitations. CFL is not a RoHS product at all.
    See : http://en.wikipedia.org/wiki/Restriction_of_Hazardous_Substances_Directive

    ReplyDelete