-->

Monday, September 17, 2018

වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)

වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි. 

මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි.





Tuesday, September 4, 2018

මඩුවන්වෙල වලව්ව, කොලොන්න

සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට යමක් පැවසීමටයි. 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව විසින් අද අපි දක්නට ලැබෙන මෙම ගෘහය නිර්මාණය කර ඇති අතර ඔහු එම පරපුරේ අවසන් පුරුක ලෙසද සැලකේ. අක්කර 20 ක පමණ බිමක පිහිටා ඇති මෙම වලව්ව දැන් පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.


මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය පිළිබද විකිපිඩියා හි දක්වා ඇති ආකාරයට එය ක්‍රි:ව 1700 පමණ ඈත අතීතයට දිවයයි.මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන්ගමුව නමින් හැඳින්වුන මාදන ප්‍රදේශයේය.ඉන් පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳින්වුන මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය.ඔහුට පසු මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වුයේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලිය.විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුමාය.මඩුවන්වෙල පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේය.(කොලොන්න රත්නායක මුදියන්සේලාගේලොකුඅප්පුහාමි) කොලොන්න පනාමුර ප්‍රදේශ සඳහා නින්ද ගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමි මඩුවන්වෙල වලව්වට උරුමකම් කීවේය.ඉන්පසුව මඩුවන්වෙල විජයසුන්දර මුදලි නමැත්තා වලව්වට උරුමකම් කීවෙය.ඒ රාජාධිරාජසිංහ රජ සමයේය. වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේය. ඉන් පසුව මඩුවන්වෙල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වන මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ප්‍රදේශය පාලනය කළේය. 





















ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව පෙර පැවසූ පරිදි මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මෙතුමාහට"මඩුවන්වෙල කළු කුමාරයා"යන අනවර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණි.කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණිය ආබාධිත වුවාය.අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන්දරුවන්නොලැබිණි. 

කෙසේ වෙතත් කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණියට මෙම දේපල තනිවම පරිපාලනය කර ගැනීමේ අපහසුතාවයන් පැවති බව කියන අතර මේ නිසා මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය.ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය.1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.

මෙම වලව්ව ඓතිහාසිකව මෙන්ම එහි නිර්මාණකරැවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාවයද කැපී පෙනෙන ලක්‍ෂනයකි. වලව්වේ සෑම බිම් අඟලක්ම ඒ සඳහා උපයෝගි කරගනී. ඒ අතර වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි. ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රෑප සහිත සඳකඩපහණ දක්නට හැක. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරෑපයේ ඡායාරෑපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරෑපයක් පෙන්වන මෙම ඡායාරෑපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. 

පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිත කර ඇත. අතර මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක් ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි.

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව අමුත්තන් පිළිගැනීමේ ශාලාව ලෙස භවිත කර තිබේ. නිල් වීදුරැ කවුළු, බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රෑප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.

වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත. කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරය ද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි. 

වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරැබිලිද මෙහි දක්නට ලැබේ. ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය.

නඩු ඇසීමේ කාමරය (අන්තර්ජාලයෙන්)

(මේ කරුණු උපුටා ගත්තේ 2016 ජුනි 24 වැනි සිකුරාදා විජය පුවත් පතෙනි)

අවාසනාවකට වලව්ව ඇතුලත ඡායාරූප ගැනීමට අදාල බලධාරීන් විසින් දැන් අවසර නොදෙන අතර වලව්ව පිටත සේයාරූ පමණක් ගැනීමේ හැකියාව ලැබුනි. කෙසේවෙතත් ඇතුලත වටිනා ඡායාරූප ගණනාවක් මෙම බ්ලොග් අඩවියේදී දැකගත හැකිය. https://jkbnuwan.wordpress.com/2013/06/18/maduwanwela-manor-house/


නොමිලේ ඇතුළු වීමට හැකියාව දැනට ඇතත් කුඩා හෝ මුදලක් අය කර එය මෙම ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමට යොදා ගන්නේ නම් වඩාත් යෝග්‍ය යයි සිතේ. මෙහි බොහෝ කාමර දැන් වව්වලන්ගේ වාසස්ථාන බවට පත්වී ඇති බවක්ද දිස්වුන අතර කණගාටුදායකම කාරණයක් ලෙස දුටුවේ පුරාවිද්‍යාත්මකව වැදගත් වූ මෙම ස්ථානයේ එක් කාමයක වහලේ විදුලි පංකාවක්ද සවිකර තිබූ බවයි. එය මෙහි ඉතිහාසමය වටිනාකමට යම් හානියක් ගෙන එන බව මගේ හැගීමයි.

තවත් තොරතුරු දැන ගැනීමට - මඩුවන්වෙල වලව්ව - විකිපිඩියා 
                                                දිවයින (2010/11/07) - සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....