-->

Wednesday, March 16, 2011

පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි... (Lets we talk about the Pyramids) - පළමු පැපිරස් පත්‍රය

මෙන්න තවත් ඔබගේ ඉල්ලීමක් ඉෂ්ඨ කරනවා. පිරිමීඩ ගැන සත් සමුදුරට යන එන මිතුරන් රැසක්ම පුද්ගලිකව පවා ලියන්න කියල කිව්වබව මුලින්ම මතක් කරමින්‍ මෙන්න පිරිමීඩ ගැන සහ සුප්‍රසිද්ධ පුරාණ මමි ගැන ලියවෙන විද්‍යුත් සටහනට අකුරු අමුණන්න පටන් ගන්නවා.

පිරිමීඩ මොන හැඩේද කියන එක ඔබ කවුරුත් දන්නවා. පිරිමීඩ හෝ ඊට ආසන්නයෙන් හෝ සමාන කමක් තියෙන ගොඩනැගිලි ලෝකයේ විවිද පෙදෙස් වල දැක ගන්න පුළුවන් වුනත් වර්තමාන ඊජිප්තුව ලෙස හදුන්වන එහෙම නැත්නම් පුරානයේ මිසරය ලෙස හදුන්වපු රටේ හදපු පිරිමීඩ තරම් ප්‍රසිද්ධියක් හෝ නිපුනතාවයක් වෙන පිරිමීඩ වල නැතැයි කිව්වොත් වරදක් නැහැ. අපි ඒක නිසා මුලින්ම මිසරයේ පිරමීඩ ගැන කතා කරල ලෝකයේ දක්නට ලැබෙන අනෙක් පිරිමීඩ ගැන කතාකරන්න යමු.‍

මේ පුරාණ මිසරයේ රාජකීය පිරමීඩ 90 කටත් වඩා ක්‍රි.පූ.2630 සිට ක්‍රි.පූ.1530 දක්වා කාලය තුල සාදා ඇතැයි ඉතිහාසඥයන් පවසනවා. මේවා මුලින් නිකම් කේක් කෑල්ලක ලේයර් තියල තියෙනව වගේ අවිධිමත් හැඩයේ ඉදලා අද අපි දකින හැඩයෙන් යුතු පිරමීඩ දක්වා විකාශය වූ වගක්ද ඔවුන් කියනවා. මුලින්ම මේවා හැදුවයි කියන්නේ Djoser රජුගේ කාලයේ (ක්‍රි.පූ.2630 - ක්‍රි.පූ.2611). ඒවගේම Khufu කියන රජ්ජුරුවෝ තමයි ලෝකයේ වඩාත්ම ආකර්ශනය දිනාගත්ත, පැරණි පුදුම හතෙන් අදටත් නොනැසී පවතින කයිරෝවේ නයිල් ගංඟා ඉවුරු ආසන්නයේ තියන මිටර් 136 ක් නැත්නම් අඩි 446 ක් උස Giza හි දැවැන්ත පිරමීඩ හදල තියෙන්නේ.
ගීසා හි දැවැන්ත පිරමීඩ

මොනවටද පිරමීඩ යොදා ගත්තේ...
කොයිකව්රුත් දන්නවා මිසරයේ රජවරු හා රැජිනන් මියගිය පසු ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියට මේවා යොදාගත්බව. හැබැයි තව කාරනයක් කියන්න‍ ඕන. ඒ තමයි පිරමීඩ පූජනීය කටයුතු ඉටුකෙරෙන සිද්ධස්ථාන හැටියටත් යොදාගෙන තියෙන වග.

මේ රටේ පාලකයෝ හෝ පාලිකාවෝ මියගියාට පස්සේ ඔවුන්ගේ මෘත ශරීරවලට ඔවුන්ගේ රහසිගත ව‍ට්ටෝරුවලට අනුව ප්‍රවේශමෙන් බෙහෙත් ගල්වල, ඒවා රෙදි හෝ වෙනත් ඒහා සමාන දෙයකින් ඔතල මමි බවට පත්කරල තියෙනවා. පුරාන මිසරයේ වැසියන් විශ්වාස කරල තියෙනවා පිරමීඩ තමයි ඔවුනගේ රජගොල්ලන්ට මරණයෙන් පසු ජීවිතයට යන්න තියෙන පිවිසුම් දොරටුව බවට. 

ඒවගේම මෙම පිරමීඩ බොහෝමයකට ආසන්නයේ ඇති ඔවුන්ගේ සිද්ධස්ථාන වල මියගිය පාලකයගේ ආත්මය සුවපත් කරන්න විවිද පිළිවෙත් සහ යාතිකා යනාදිය කරල තියෙනවා.

දෙවියන්ගේ භාෂාව...
ඒවගේම කියන්න ඕන පුරාන මිසර රාජධානිය පැවතුනායයි කියන ක්‍රි.පූ. 2575 සිට ක්‍රි.පූ. 2134 දක්වා අතර තැනුන පිරමීඩ වල පාලකයෝ හෝ පාලිකාවන්ගේ දේහය තැන්පත් කරල තියෙන ස්ථානයේ බිත්තිවල රූපමය සටහන් වලින් කියල තියෙන උපදෙස් තියෙනවා. මේවා පුරාවිද්‍යාත්මක විදියට හදුන්වන්නේ Hieroglyphs කියල, එහෙමත් නැත්නම් Pyramid Texts විදියටත්, එහෙමත් නැත්නම් දෙවියන්ගේ භාෂාව හෙවත් “language of the gods” ලෙසත් මේවා හදුන්වනවා. මේවායෙන් විවිද විවිද දේවල් කියල තියෙනවා.ඒ කියන්නේ මැජික් වචන, කොහොමද දෙවියන් ඉදිරියේ හැසිරෙන්නේ, සහ තවත් මරණයෙන් මතු ජීවිතයට වැදගත් වෙන උපදේශ.
Hieroglyphs found at Tomb

මේ කියන Hieroglyphs ගැනත් සුළුවෙන් කියන්නම්.මේවා ඇත්තටම සත්ව, හෝ බෝට්ටු හෝ විවිද ආකාරයේ සංකේතාත්මක රූප කියල කියන්න පුළුවන්. මේවා 700 සිට 800 දක්වා සංඛ්‍යාවක් තිබුන බවත් කියනවා. මේවායින් විනෝදය, චලනය හා කාලය වගේ දේවල් තමයි වැඩිපුරම නියෝජනය කරල තියෙන්නේ. Hieroglyphs කියන වචනය නම් බිදී ආ වග කියන්නේ ග්‍රීක භාෂාවෙන්. ඒකෙන් කියවෙල තියෙන අර්ථය තමයි “පූජනීය කැටයම්” කියන එක. අනිත් එක තමයි පුරාණ ඊජිප්තුවේ මේවා යොදාගෙන තියෙන්නේ මේ කිවුව විදියට දෙවියන්ගේ කටයුතු සදහාම නොවෙයි. රාජකාරී කටයුතු සදහාත් යොදාගෙන තියෙනවා. 

උදාහරණයක් විදියට ගත්තොත් නයිල් ගගේ ගැඹුර කීයද කියල කියන්නත් රාජකීය නිලධාරින් යොදා ගෙන තියෙන්නේ මේ  Hieroglyphs ම තමයි. ඒවගේම ආභරන, ගෘහ උපකරණ හැඩකරන්නත් මේවා යොදාගෙන තියෙනවා. ඒවගේම මිසරයේ විවිද දේවල් ගැන සටහන් තැබුන පැපිරස් පත්‍ර වලත් සටහන් තැබුවේ මේ Hieroglyphs වලින්.

කොහොම වුනත් ක්‍රි.පූ. 305- ක්‍රි.පූ. 30 වගේ කාලයේදී ග්‍රීක පාලනයට මිසරය නතුවුනත් එක්කම නම් Hieroglyphs වලට වෙනස්කම් රැසක් ඇතිවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ කාලේදී මිසර පූජකයන් තව තව සංකේත භාවිතා කරල ඔවුන්ගේ ආගමික මතයන් වඩාත් සංකීර්ණව සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට පමණක් තේරෙන විදියට රූප ලියන්න පටන් ගෙන තියෙනවා. ක්‍රි.පූ. 30 ට පස්සේ රෝම කිරීට‍යට යටවුනායින් පස්සේ නම් Hieroglyphs තහනම් කරල තියෙන අතර භාවිතයද අඩුවෙලා තියෙනවා. අර්ථාන්විත Hieroglyphs සටහනක් අවසන් වරට ලියල තියෙනවා කියල හමුවන්නේ ක්‍රි.ව. 394 පමණ යයි සැලකෙනවා.
නැවතත් අපි පිරමීඩ ගොඩනැගීම කතා කලොත් පුරාණ රාජධානි කාලයේදී තමයි සුවිශාල සහ  බොහොම කීර්තිමත් පිරමීඩ නිමවල තියෙන්නේ. ඒ සදහා නිර්මාණකරුවන් යොදා ගෙන තියෙන්නේ ලොකු ගල් කුට්ටි. ඒවුනත් ඉදිරිකාලවකවානුවලදී පිරමීඩවල ගුණාත්මක බව සහ විශාලත්වය අඩුවෙලා තියෙනවා. මොකද පිරමීඩ හදනවයි කියන්නේ විශාල ලෙද මුදල් වැයවෙන කටයුත්තක් නිසා වෙන්න ඇති යයි  ඉතිහාසඥයන් කියනවා.

මධ්‍යම රාජධානි සමය විදියට සැලකෙන ක්‍රි.පූ. 2040 - ක්‍රි.පූ. 1640 වගේ කාලයේ පිරමීඩ හදන්න යොදාගෙන තියෙන්නේ මැටි ගඩොල්. ඒවගේම පිරමීඩ සෑම එකක්ම පාහේ හදල තියෙන්නේ ප්‍රධාන දිශා හතරට අදාලවන විදියට හා නයිල් ගංඟාවේ බටහිර ඉවුර පැත්තෙන් කියල කියලත් කියනවා. ඒවිදියට බැළුවොත් සවසට ඉර බැස යන පැත්තෙන් තමයි පිරමීඩ හදල තියෙන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. පුරාණ මිසර වැසියෝ විශ්වාස කරල තියෙනවා හැම දවසකම ඉර බැහැල යනකොට පිරමීඩ වල තැන්පත් කරල තියෙන තමන්ගේ පාලකයාගේ ආත්මයත් සිරුරෙන් ඉවත්වෙලා අහසට ගමන් කරන බවටත්, නැවත උදේ ඉර පායන කොට ආත්මය නැවතත් සිරුරට ඇතුළුවෙලා අළුත් වන බවටත්.

පිරමීඩ වල ඇතුලත පැත්තේ දේවල් නම් කාලෙන් කාලෙට වෙනස් වුනත් පිවිසුම් දොරටුන නම් කොයිඑකෙත් පොදු තැනක තමයි තිබිල තියෙන්නේ. ඒ කියන්නේ උතුරු දිශාවේ මුහුනතේ මැද. පිරමී‍ඩවල ඇතුලතට ගියාම ඒවායේ සැලැස්ම නම් එකකට එකක් වෙනස් කියල කියනවා. සමහර ඒවල කෙලින්ම දේහ තැන්පත් කරල තියන තැන්වලටත්, සමහරක රජ හෝ රැජිනන්ගේ වටිනාකියන භාණ්ඩ තැන්පත් කරල තියෙන ගබඩා වලටත් මුලින් යන්න හැකියාව තිබූ බව කියන අතරම නිදන් හොරු විසින් බොහෝමයක් පිරමීඩවල මෙසේ තැන්පත් කල භාණ්ඩ පසුකාලීනව සොරාගෙන ඇති බවද කණගාටුවෙන්වුනත් කියන්න සිදුවෙනවා.

එසේම පිරමීඩ කියන්නේ හුදකලා ගොඩනැගිලිත් නොවේ. ප්‍රධාන පිරමීඩ ආසන්නව තවත් කුඩා පිරමීඩ සහ පූජකයන්ගේ සිද්ධස්ථාන ආදියද තිබී ඇත.

ගීසා හි මහා පිරමීඩය ඉදිකිරීම...
මේවායේ පාදම ගත්තොත් සෑහෙන දුරකට සමචතුරස්‍රබවක් තියෙන බව කියන අතරම දිග සහ කෙටි පැතිවල වෙනස දළ වශයෙන් අගල් 7 ½ ක් නැත්නම් 19 cm විතර තියෙනව කියල තමයි කියන්නේ. පොළව හොදට මට්ටම් කරල තිබෙන බවත් කියනවා. අනිත් කරුණ තමයි මහා පිරමීඩයක උස අද හදල තියෙන තට්ටු ගොඩනැගිල්ලකට සාපේක්‍ෂව බැළුවොත් තට්ටු 50 ක විතර වෙනව කියල කියන්න පුළුවන්. කොහොමවුනත් මේවා හදන්න ගත්ත ගල් කුට්ටි ගණන හරියටම කියන්නනම් බැරි වුනත් දළ වශයෙන් මිලියන 2.3 ක් විතර ඇති කියල කියන අතරම සාමාන්‍යක් විදියට ගත්තොත් එක් ගල් කුට්ටියක බර මෙට්‍රික් ටොන් 2.5 කුත් විශාලම ගල් කුට්ටියක බර මෙට්‍රික් ටොන් 15 කටත් වැඩිවේයයි ගණන් බලා තියෙනවා. ඒ අනුව ගත්තම මේවා අද භාවිතා කරන දොඹකර වගේ දේවල් නැතුව කොහොම ඉහලට එසෙව්වාද යන්න සිතා ගන්නවත් බැහැ.
මෙම මහා නිමැවීම ඉ‍ටුකිරීමට 2000 බැගින්වූ මිනිසුන් කණ්ඩායම් දෙකක් වරකට යොදාගන්නට ඇතියැයි සැලකෙනවා.  මෙහි වැඩකල පිරිසට අමතරව ඔවුන්ට ඇවසි අනෙකුත් කටයුතුවලට අවශ්‍ය සේවා සපයන බේකරි කරුවන්, වඩුවන්, ජලය රැගෙනඑන්නන් යනාදී විවිද සේවා සපයන්නන් ඇතුළුව 25,000 ක පමණ පිරිමින් මෙන්ම ගැහැණුන්ද මෙම වැඩබිම් ආශ්‍රිතව වසන්නට ඇතැයි මේ පිළිබද ගවේෂන කල විශේෂඥයන්ගේ මතයයි.

අනිත් කරුණු අප සිතාසිටිනවාට වඩා වෙනස් කරුණක්. අප සිතා සිටින්නේ මෙය වහළුන් යොදාගෙන බලහත්කාරයෙන් කරන්නට ඇති දෙයක්යනබව. නමුත් සත්‍ය තත්වය එය ‍‍නොවන බව තමයි කියන්නේ. මෙහි සේවය කල වැඩි දෙනෙක් ගොවියන් බව පවසන අතරම ඔවුන් කෙටිකාලීනව පමණක් මෙහි සේවය කල බව තමයි වැඩිදෙනෙක් නොදන්න කාරණාව. ඊට අමතරව විවිද කර්තව්‍යයන් සදහා විශේෂ ප්‍රාගුන්‍ය ලැබූ ගෘහ නිර්මාණ ශිල්පීන්, මේසන් බාස්වරුන්, ‍කම්මල්කරුවන්, වඩුවන් යනාදිය රජු යටතේ සේවය කල ස්ථිර ‍සේවකයන් බවද කියනවා.

මෙම පිරමීඩ තැනීමට ඇවසි ගල් දකුණු‍ දෙස සිට නයිල් ගඟදිගේ නැව් වලින් රැගෙන එන්නට ඇතැයිද සැලකෙනවා. මෙම ගල් කුට්ටිවල උස හා පළළ දෙකම සමාන බව කියන අතරම මේවා එකිනෙකට සම්බන්ධකරඇති පිරිද්දුම ඉතාමත් සියුම්ලෙස හා විශිෂ්ඨ නිපුනතාවයකින් යුක්තව සිදුකරල තියෙන බව මේ පිලිබද හැදෑරු අය කියනවා.

දැන් ගැටළුවක් පැන නගිනවා කොහොමද පිරමීඩය සාදාගෙන යද්දි ටිකෙන් ටික ඒක ඉහලට යනකොට ඉහල කොටස් වලට අවශ්‍යකරන බඩු බාහිරාදිය රැගෙන ගියේ කියල. විශේෂඥය මත අනුව නම් ඔවුන් සෝපාවක් වගේ දෙයක් මේ සදහා සාදාගන්නට ඇති බවයි. හැබැයි ඒ කො‍හොමද කියන එක නම් අවිනිශ්චිතයි. නමුත් අනුමාන කරන්නේ සාදා අවසන් පිරමීඩය කොටස වටා කාන්තාරයේ ඇති පස්, ජලය හා හුණුමිශ්‍රකොට තැන් බදාමයක් වැනි දෙයක් ‍ගොඩගසන්නට ඇති බවයි. පිරමීඩයේ ඉහලම ඇති ගලත් තැබුවට පස්සේ ඉහල සිට පහලට එම බදාමවලින් තැනූ සෝපානය කඩා ඉවත් කරන්නට ඇතිබව තමයි සිතන්නේ. 

මහා පිරමීඩයේ ඇතුලත කොහොමද?
මහා පිරමීඩවල ඇතුල්පැත්තනම් ටිකක් සංකීර්ණයි කියල තමයි කියන්න වෙන්නේ. පිරමීඩ ඇතුලේ කාමර ගණනාවකට යාමට කොරිඩෝ ගානක්ම තියෙන බවත් කියන්න ඕන. වැදගත්ම කාම‍රය තමයි මියගිය රජුගේ ‍දේහය තැන්පත් කරල තියෙන කාමරය. පුරාණ මිසර වාසීන් මරණින් මතු ජීවිතය ගැන තදින් සිතපු නිසාම අවසන් කටයුතු සිද්ද කරල එලියට එනකොටම විශේෂයෙන් රජුගේ දේහය තියෙන කාමරය (King’s Chamber) කාටවත් යන්න බැරි වෙන්න අවහිරකරල තමයි ඇවිල්ල තියෙන්නේ.

පිරමීඩයට ප්‍රවිශ්ඨ වෙන දොරටුව තිබිල තියෙන්නේ පොළව මට්ටමින් අඩි 55 ක් නැත්නම් මීටර් 55 ක් විතර උසින්. ඇත්තටම මේ පිරමීඩය එක්වරක් පමණක් භාවිතයට ඒකියන්නේ නැවත මේක ඇතුලට යන්න අවශ්‍යතාවයක් නැති නිසා වෙන්න ඇති ලේසියෙන් ඇතුලට යන්න බැරි විදියට මෙච්චර උසකින් පිවිසුම් දොර හදන්න ඇත්තේ. ඒ Khufu කියන මේ පිරමීඩයේ තැන්පත් කරල තියෙන රජුගේ මලගම ‍දවසේ පිරමීඩය ඇතුලට යන්න විශේෂ  පලංචියක් හදන්න ඇති කියලත් මේ ගැන සටහන් තබපු අය කියල තියෙනවා.

මේ ඉහලින් හදල තියෙන දොරින් ඇතුළුවෙලා පහලට යන කොරිඩොවලින් (the Descending Passage)පිහිටි පොලවට යටින් පිහිටි කාමර වලටත් යන්න හැකියාව තිබේ. මෙසේ පහලට යන කොරිඩොවෙන් මීටර් 18 ක් (අඩි 60 ක්)විතර ඉදිරියට යද්දි නැවත ඉහලට යන්න පුළුවන් කොරිඩෝවකුත් (the Ascending Passage) තියෙන වග කියන අතරම මෙය ගල් කුට්ටි වලින් සීල් කරල තියෙන බවද කියනවා.

කො‍හොමවුනත් මේ ඉහලට යන්න පුළුවන් කොරිඩෝවෙන් ඉදිරියට යද්දි ඒ කියන්නේ මීටර් 39 ක් (අඩි 129 ක්) විතර යද්දි රැජිනගේ කාමරය (Queen’s Chamber) හමු වෙනවා. මේ නම දීල තියෙන්නේ මුලින් මේවා ගවේෂනය කරපු අරාබි ජාතිකයන් විසින් වැරදීමකින් බවද කියනවා. මොකද ඔවුන් හිතල තියෙන්නේ මෙතන රැජිනගේ දේහය මිහිදන් කර ‍තිබේ යයි කියල. ඒවගේම මේ කාමර‍යේ බිත්තිත් සම්පූර්ණයෙන්ම නිමවා නැති බවත් කියනවා.
(සමහරවිට මෙහි දක්වා තියෙන දිග පළල ඔබට වැදගත් නොවෙන්න පුළුවන් වුනත් ඒවා මෙහි සටහන් කරල තියෙන්නේ පිරමීඩයක්කොපමණ විශාලදැයි ඔබට ඒත්තුගැන්වීමටයි).

 Air Shaftමෙය වාතාශ්‍රය ඇතුලට රැගෙන යාමට සෑදූවක්නොවන අතර මෙයින් සංකේතාත්මක කෙරුනේ රජු‍ගේ ආත්මය සහ අහසේ තාරකා අතර සම්බන්ධතාවයකි.

Grand Gallary - මෙම ආරක්‍ෂිත කොරිඩෝව රජුගේ කාමරයට (the King's Chamber) යාම‍ටයි.

Entrance - 17 m ක්‍ හෙවත් අඩි 55  ක් පමණ බිම්මට්‍ටමේ සිට පිහිටි මෙය, මෙම සොහොන් සොරා ගැනීමට පැමිනෙන සොරුන්ට බාධාවක් ලෙස උසින් පිහිටුවන්නට ඇත.

King’s Chamber  - මෙය රතු ග්‍රැනයිට් වලින් නිමවා ඇති අතර මෙහි රජු‍ගේ දේහය බහා ඇති ගල් මිනි පෙට්ටියද ඇත. මෙම කාමරයට ඉහලින් තවත් කුඩා කාමර කිහිපයක් ඇත්තේ ඉහලින් ඇති ගල් කුට්ටිවලින් එන මුළු බර මෙම කාමරයට ඒම වැලකීමටයි.

Queen’s Chamber - මෙය ආරාබි ගවේෂකයින් විසින් වැරදීමකින් නම් කරන ලද්දක් බව පැවසේ. මෙහි විශේෂ පිළිමයක් ඇති අතර එය “ka” ලෙස හදුන්වන රජුගේ ආත්මය බව පැවසේ.

Subterraneean Chamber - මෙම පොළව යට පිහිටි කාමරයෙන් අදහස් කලේ මෙය තුලින් රජුගේ ආත්මය පාතාල ලොව සමග සම්බන්ධවෙන බවයි.(This underground chamber was probably meant to connect the king's spirit to the underworld).

මුල් කාලීව පිරමීඩ වල තිබුනේ දැන් තියෙන හැඩයම නොවේ. ඒවා පඩි පෙලක ආකාරයෙන් ඉහලට ගොඩනැංවී අති අතර ඒවා Step Pyramid ලෙස හදුන්වනවා.

ඊටපස්සේ හැදුන පිරමීඩ වල බිත්තිය වක්වූ ස්වරූපයක් ගන්නා අතර ඒවා Bent Pyramid ලෙස හදුන්වනවා.

කොහොම වුනත් නව රාජධානි සමය ලෙස ගැනෙන ක්‍රි.පූ. 1550 - ක්‍රි.පූ.1070 අතර කාලයේදී රජවරු මියගියපසු තවදුරටත්  පිරමීඩ තුල තැන්පත් කිරීමක් සිදුනොවූ අතර ඔවුන්ගේ දේහ රජවරුන්ගේ නිම්නය හෙවත් Valley of the Kings ලෙස හදුන්වන නයිල් ගඟ අසබඩ Luxor කියන නාගරික පෙදෙසේ තමයි මිහිදන් කරල තියෙන්නේ.


හැබැයි එරටේ හිටිය සිටුවරු වගේ සල්ලි තියෙන අය කුඩා ප්‍රමාණයේ පිරමීඩ තමන් මියගිය පසු තම දේහ තැන්පත් කරගන්න සාදාගෙන තියෙනවා.

ඇමරිකාවේ පිරමීඩ...
ඇමරිකා මහද්වීපවල ඇති පිරමීඩද විශාල ගොඩනැගිලි කියල කියන්න පුළුවන්. මේවායේ විශේෂත්වය තමයි මේවායේ දිශා හතරෙන්ම පියගැට පෙලක් ලෙස ඉහලට නැග එහි මුදුන සමතලා කාර වීමයි. මෙක්සිකොවේ, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ පිරිමීඩ දක්නට ලැබෙන අතර මේවා ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.ව. 1500 අතර කාලයේදී ගොඩනංවන්නට ඇතැයි සැලකේ.

සමහර ඇමරිකානු පිරමීඩ රාජකීය සොහොන් ගෙවල් ලෙසද සැලකෙන අතර අනෙක්වා හමුදාමය කටයුතු සහ සිද්ධස්ථාන සහ මාලිගාවල වේදිකාවක් ලෙසටද භාවිතා කරන ලදි. මේවා මධ්‍යම සහ දකුණු ඇමරිකාව ස්පාඤය ආක්‍රමණ සිදුවනතෙක්ම සාදනු ලැබ ඇත. ඉන්පසු දේශිය අගම් ආදිය තහනම් කරන ලද අතර වර්ථමානයේ බොහෝ පිරිමීඩ ඉතිරිව පවතින්නේ මෙක්සිකෝව, හොන්ඩියුරාස්, ග්වාතමාලාව සහ පේරු යන රටවල්වලය.

එම කලාපයේ මෙසේ පිරමීඩ සාදා ඇත්තේ Olmec, Moche, Teotihuacanos, Maya, Toltec, සහ Aztec යන ජන කණ්ඩායම් වලින් වන අතර එම සමාජ ඒකාරාශීවී ඇත්තේද මෙවැන සුවිශාල ආගමික ‍ගොඩනැගිලි වටාය. එසේම සමහර අවස්ථාවල නගර පවා කේන්‍ද්‍රගතවී ඇත්තේ එවැනි අග්‍රස්ථානයේ සැලකෙන ගොඩනැගිලිවටා බව සදහන් කල යුතුවේ.

කෙසේවෙතත් මිසරයේ පිරිමීඩ තරම් මෙම පිරමීඩ උස නැති අතර විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන මේවා ගොඩනංවා ඇතිබව නම් කවයුතුය. මධ්‍යම මෙක්සිකෝවේ Cholula හි ඇති මහා පිරමීඩය මීටර් 62 ක් නැතහොත් අඩි 203 ක් උස වන අතර එහි පදනම හෙක්ටයාර් 16 ක් හෙවත් අක්කර 40 ක් වසා ගෙන සිටින බව කීමෙන්ම එය සනාථවේ. එසේම මෙම ප්‍රමාණය ඊජිප්තුවේ ගීසා හි සුවිශාල පිරමීඩය අත්පත් කරගෙන ඇති භූමි ප්‍රමාණය මෙන් තුන්ගුණයක් යයි කීවොත් නිසැකයෙන්ම ඔබ පුදුමයට පත්වනු ඇත. ඒවගේම ඊජිප්තුව තුල සාදා ඇති පිරිමීඩ සංඛ්‍යාවට වඩා මෙම කලාපය තුල සාදා ඇති පිරිමීඩ සංඛාවයද වැඩිබව කියයි. ඊජිප්තුව තුල පිරිමීඩ 90 ක් පමණ තිබූ බව කියන අතර මධයම සහ දකුණු ඇමරිකාව තුල විසිරී කුඩා ප්‍රමාණයේ පිරමීඩ සිය ගණනක් ඇතිබවද කිවයුතුමය.

ඒවගේම මිසරයේ පිරමීඩ වල මෙන් මේවා තුල ඇතුලත කාමර හෝ සිරුරු මිහිදන් කල ස්ථාන දැක ගැනීම දුර්ලභබව කියන අතර ඇතුලත පස් හා ගල් කැබලිවලින් පුරවා ඇතිබව කියයි. නමුත් මේවායේ පිටත ඉදිකිරීම් සංකීර්ණව සිදුකර ඇත. මේවායේ තට්ටු කිහිපයක් ඇති අතර ඒවා හොදින් හුණු බදාමයෙන් පිරියම් කොට ඇත. මෙම පිරමීඩ  බොහෝමයක මුදුනේ ඇත්තේ සිද්ධස්ථානවේ. මේවා කුඩා මෙන්ම ජනෙල් රහිත, ගලින් හෝ ගඩොලින් ඉදිකරන ලද කාමර වන අතර පිරමීඩඩය ඉදිරිපිට ඇති පුළුල් පියගැටපෙලකින් සමන්විතවූ බවද කියයි.මේ පිළිබද ප්‍රවීනයනගේ අදහස වන්නේ මෙම පියගැට පෙල ඔස්සේ මුදුනට නගින්නට ඇත්තේ එම සිද්ධස්ථානවල පූජනීය කටයුතුතරන අවස්ථාවේ පූජකයන් පමණක් බවයි.අනෙක් අය පහල සිට බලා සිටින්නට ඇති බව කියන අතරම ඔවුන්ගේ බොහෝ සංස්කෘතීන් තුල මේවැනි ස්ථාන යොදාගන්නට ඇත්තේ බිලිපූජා පවත්වන ස්ථාන ලෙස බව කියන අතරම ඔවුන් බිල්ල ලෙස මරා දමන්නාගේ සිරුර පඩිපෙල දිගේ පහලට ඇද දමන්නට ඇතිබවද කියනු ලැබේ. (මේ කියන බිලිපූජා ආදිය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සිනමා සිතුවමකට නැගූ අවස්ථාවක් ලෙස Mel Gibson ගේ Apocalypto දැක්විය හැක.

තට්ටු සහිත පිරමීඩ පේරු රටේ ඉදිකර ඇත්තේ ක්‍රි.පූ. 3000 දී පමණ යයි කියන අතර මේවා the Norte Chico යන කලාපයේ ඇති බව කියයි.  පසුකාලීනව පේරුහි විශාල පිරමීඩද ඉදිකිරීම අරඹා ඇති අතර එයට උදාහරණයක් ලෙස Las Haldas සංකීර්ණය දැක්විය හැක. වර්තමානයේ ඉතිරිව ඇති වඩාත් ප්‍රසිද්ධම ඇමරිකානු පිරමීඩ ලෙස හිරුගේ සහ සදුගේ පිරමීඩ ලෙස නම් කර ඇති  Aztec ශිෂ්ඨාචාරයේදී තැනූ බව කියන Teotihuacán හි පිරමීඩ සහ පේරු රටේ Moche පෙදෙසේ ඇති the Huaca del Sol පිරමීඩ දැක්විය හැක. (මේ පිළිබදව වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු).


චීන පිරමීඩ
චීනයේ ඇති පිරමීඩ ලොකයෙන් බොහෝකලක් වසන්ව පැවති අතර මේවා අහම්බෙන් දැක ඇත්තේ දෙවන ලෝක යුද සමයේදී ඇමරිකානු ගුවන් නියමුවකු වන James Gaussman විසින්  1945 දී ඉන්දියාව සහ චීනය අතර සිය ගුවන් යානය පදවා ගෙන අතරතුරයි. මේවා පිහිටා ඇත්තේ එරට Xian සිට සැතපුම් 40 ක් පමණ නිරිතදිග දෙසට ගියවිටයි. ඔහු පවසන ආකාරයට මේවායේ හතර පැත්තම සුදුපැහැයෙන් දිලිසී ඇත.

ඒ අවධියේත් 'forbidden zone' ලෙස නම්කර ඇති මෙම Qin Lin ප්‍රාන්තයේ ඇති මෙම පිරමීඩ මැටි වලින්ම ගොඩනංවා ඇති බව කියන අතර අඩි 1000 ක් - 1200 ක් අතර උස වෙතැයිද, සිරුරු අතිවිශාල ගණනක් මිහිදන්ව ඇති බවද අනුමාන කරයි. එසේම මෙය තනා ඇත්තේ වසර 5000 කටවත් එපිටදී බවටද මේ ගැන සොයා බැලීමේදී පෙනි යන බව පුරාවිද්‍යාඥයන්ග් මතයයි. මෙහි සතර පැත්තම සුදුපාටින් දිලිසීමට හේතුව ඒ සදහා භාවිතා කල ගල් විශේෂයක්‍ හෝ ලෝහ වර්ගයක් නිසා බවද සැලකේ.

මෙතනින් පිරමීඩ ගැන සටහන නතර කරන අතර දෙවන කොට‍සේදී පුරාණ මමි ගැන කතා කරමු...


24 comments:

  1. කාලෙකින් දැක්ක හොදම පෝස්ට් එකක්. නියමයි.Bookmark එකක් දාගත්තා..........

    ReplyDelete
  2. @Wiaw - ස්තූතියි! සත් සමුදුරේ තේමාවත් නොදන්නා දේ ලබා දීමත් දන්නා දේ වෙනස් කෝණයකින් කතා කිරීමත්. එය ඉදිරියේදිත් ඉටුවී තිබේවි. නැවතත් එන්න...

    ReplyDelete
  3. නියමයි. ඔබ ලියාගෙන ආපු පිළිවෙල අනුව මා බලාපොරොත්තු වුණේද පිරමිඩ ගැන සටහනකුයි. එය එලෙසින්ම ලියල තිබීම ගැන සතුටුයි.

    ReplyDelete
  4. @``` Outsider```-ස්තුතියි! සහෝදරයා...පිරමීඩ සහ මමි ගැන එක ලිපියකින් සරලව තමයි ලියන්න හිටියේ. හැබැයි ඒ ගැන සොයන කොට ලැබුන ටිකක් දුර්ලභ තොරතුරු දැක්කම විස්තරාත්මකව, ඒත් අවශ්‍ය කොටස් විතරක් රැගෙන ලිව්වා. මමි ගැන විස්තරයක් ඉදිරි පෝස්ට් එකේ තිබෙනවා...

    ReplyDelete
  5. සෑහෙන්න මහන්සි වෙලා ලියපු වැදගත් ලිපියක්. බොහෝම ස්තූතියි

    ReplyDelete
  6. @පැතුම්- ස්තූතිය! ඉදිරියේදිත් සත් සමුදුරට ගොඩවෙන්න...

    ReplyDelete
  7. ඉතා අගෙයි! බොහොම ස්තුතියි, ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා-හදා ගන්නවාට!

    ReplyDelete
  8. @පාඨකයා - ස්තූතියි! ඉදිරියේදීත් ඒ යුතුකම ඉටුකරනවා...

    ReplyDelete
  9. ඔබේ මහන්සියේ ප්‍රථිපල තියෙනවා..

    ReplyDelete
  10. @තාරක Dilsh@n- ස්තූතියි!ඊලග ලිපියේ මමි ගැන බලන්න එන්න...

    ReplyDelete
  11. තාරක Dilsh@n - මෙන්න මේ දැන් දෙවන කොටසත් Publish කලා...

    ReplyDelete
  12. ස්තුතී මේ වගේ තොරතුරු අපිත් එක්ක බෙදාගන්නවට

    ReplyDelete
  13. නියමයි..! මම ගොඩාක් ආස විෂය කේෂ්ත්‍රයක්

    ReplyDelete
  14. දිනේෂ්, තියනවද ඊජිප්තුව කොයි කාලේද මුස්ලිම් ආදිපත්‍යයට යට උනේ කියලා අදහසක්.. මම දන්නා විදිහට ඉස්සර ඊජිප්තුව පාලනය කලේ පාරාවෝ වරු.. දැන් මුස්ලිම් උනේ කොහොමද.. ඒ ගැන විස්තර තියනවනම් දන ගැනීම සඳහා පල කරන්න..

    මේ සත් ක්‍රියාව දිගටම කරගන යාම සඳහා අපගේ ආශීර්වාදය !!!

    ReplyDelete
  15. @Senna - ස්තූතියි!මෙහෙම තමයි ඒ ගැන අහල නම් තියෙන්නේ පාරවෝවරුන්ගේ පාලනයේ පැවති මිසරය පසුව රෝම අධිරාජ්‍යයට නතුවුනා. ඒ ජූලියස් සීසර් යටතේ. ඒ එක්කම තමයි ක්ලියෝපැට්රා රැජින ගැනත් කියවෙන්නේ. පසුකාලීනව තමයි මිසරය මුස්ලිම් පාලනයට නතුවීම සිදුවන්නට ඇත්තේ‍. කාලසීමා සහ මොන පාලකයන් යටතේද කියනදේ ‍ගැන දැනට නම් පැහැදිලි අවබෝධක් නැතිවුනත් ඒ ගැන සොයා බලා ලිපියක් ලියන බවද පවසිමි.

    ReplyDelete
  16. Thanks Dinesh.. eagerly waiting

    ReplyDelete
  17. නියමයි උසස් පෙළ කාලේදී අපිට තිබුන එක විෂයක් තමයි ඉජිප්ටුවේ ඉස්තිහාසය ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්මැලි කමක් නැති සබ්ජෙක්ට් එකක්

    ReplyDelete
  18. ade supiri lipiyak,, kammali hithune na,, okkoma kiyewwa,, meewage wedagath lipi apita hugak watinawa, obata sthuuthi!

    ReplyDelete