Sunday, October 30, 2011

ඇපල් සහ මයික්‍රොසෝෆ්ට් අතර සිදුවූ දේවල් සහ අවශේෂ කාරණා- 6 - Final Story of Steve Jobs and Apple

මේ දක්වා මේ මාතෘකාවට අදාලව ලියූ ලිපි මේවායි.
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2 

Steve Jobs ගැන ගැඹුරින්... 3
Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...

ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5

ගියවර ලිපියේ මාතෘකාවේ වැරදීමකින්  ඇපල් සමාගම හා IBM සමාගම අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5 මාතෘකාව වැරදීමකින් ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5  ලෙස සටහන්ව තිබිනි. කෙසේවෙතත් එහිදී මයික්‍රොසෝෆ්ට් සමාගම හා අප මෙතෙක් කතාකල ඇපල් සමාගම අතර සිදුවූ ගණුදෙනු හා නඩුහබ පිළිබදව කතාකිරීමට නොහැකිවූවත් මේ ලිපියෙන් එම කරුණු කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

මයික්‍රොසෝෆ්ට් ආරම්භය ගතහොත් එය ඇපල් සමාගම ඇරඹීමට වසරකට පෙර සිදවූවක් එනම් 1975 දී. මෙයත් මිතුරන් දෙදෙනෙකුගේ මැදිහත්වීමකින් අරඹන ලද ආයතනයක් ඒ අප හොදින් දන්නා Bill Gates හා ඔහුගේ මිතුරු Paul Allen යන දෙදෙනාගේ උත්සාහයෙන්. ඔවුන් මුලින්ම කල යුතු කාර්යය වූයේ Altair 8800 පරිගණක සදහා BASIC programming language interpreter ක් තැනීමයි. 1975 දී මේ ආයතනය බිහිකිරීමේදී එයට නම තැබූ තැනැත්තා ලෙස හැදින්වෙන්නේ  Paul Allen වන අතර ඔහු මුලින්ම යෝ‍ජනා කල නම "Micro-Soft" ලෙස පැවසේ. මෙම ලාබලා සමාගමේ ආදායම මුල සිටන්ම හොදවූ අතර ආරම්භක වසර වූ 1975 දීම එය US$ මිලියන එකක්වූ බව සදහන් වේ. http://en.wikipedia.org/wiki/History_of_Microsoft
Paul Allen and Bill Gates (respectively) on October 19, 1981 
in a sea of PCs after signing a pivotal contract. 
IBM called Microsoft in July1980 
inquiring about programming languages for its upcoming PC line; 
after failed negotiations with another company, IBM gave 
Microsoft a contract to develop the OS for the new line of PCs

80 දශකය වන විට ඔවුන් පාලක මෘදුකාංග එහෙමත් නැත්නම් Operating System Software නිෂ්පාදනයට මුල් තැන දෙන අතර එහිදී ඇපල් සමග තරගයට එළඹෙන  IBM පරිගණක වලට ඒ මෘදුකාංග නිෂ්පාදනයට IBM හා Microsoft සමාගම් දෙක අතර එකඟතාවයන් ඇතිවේ.

DOS එහෙමත් නැත්නම් Disk Operating System යන පාලක මෘදුකාංගයේ අයිතිකරුවා Microsoft බව පරිගණක ගැන දන්නා කියන උදවිය පොදුවේ සිතනා හා දන්නා කරුණකි. එහෙත් සැබෑ කරුණ වන්නේ එය මුලින්ම කේතගත කොට නිර්මාණය කලේ ලෝකයේ සෑහෙන්න කාලයක් අංක එකේ පොහොසතා ලෙස වැජඹුන Bill Gates නොව වෙනත් අයෙකු විසිනි. ඒ එම කාලයේ Seattle Computer Products ආයතයේ සේවය කරමින් සිටි Tim Paterson විසින් වන අතර එය 86-DOS ලෙස නැතහොත් Quick and Dirty Operating System (QDOS) ලෙසද හැදින්වූ අතර Paul Allen ගේ මැදිහත් වීමෙන් එය Microsoft ට මිලට ගෙන එය IBM පරිගණක සමග ලබා දුන් බව පැ‍වසේ. කෙසේවෙතත් මෙම ගණුදෙනුව Microsoft සමාගමට නම් ගෙන දුන්නේ වාසනාවක් වූ අතර තව තවත් සමාගමේ ආදායම බෙහෙවින් ඉහල දැමීමට එය හේතුවූ බව නම් පැවසිය යුතුමය.

IBM සමාගම සමග පමණක් නොව Microsoft  ආයතනය ඇපල් ආයතනය සමගද එක්ව වැඩකල ආයතනයකි. ඒ ඔවුන්ගේ Macintosh Operating system තවත් වැඩිදියුණු කිරීමට වන අතර පළමුවෙන්ම Macintosh prototype ලැබුන බාහිර ආයතනය Microsoft ලෙසද සැල‍කේ. විශේෂයෙන්ම ඇපල් පරිගණක සමග අලෙවි කෙරුන Microsoft සමාගමේ Word and MultiPlan (MultiPlan යනු Excel මෘදුකාංගය තැනීමට පෙර එම කාර්යය කිරීමට නිපදවා තිබූ මෘදුකාංගය බව පැවසේ) නිසා Microsoft සමාගම යහමින් මුදල් උපයා ඇති අතර අදාල මෘදුකාංග නිසා ඇපල් පරිගණකවලට තිබූ ඉල්ලුම නිසා එයින් ඇපල් සමාගමටද අත්වූයේ වාසියකි.

Microsoft සමාගමට තිබුනේ වෙනමම දැක්මකි. එනම් ඒ අවධියේ නමගිය සමාගම් සමග එක්ව තම මෘදුකාංග හා තම සමාගම ඒවා හරහා ප්‍රසිද්ධ කරගැනීමත් ඉන්පසු තමන්ගේම කියා වෙනමම මෘදුකංග නිපදවා වෙනමම අලෙවි කිරීමේ ඉලක්කයකි. ඇත්තෙන්ම ඔවුන් සාර්ථක විය. ඇපල් සමාගමට තමන් ලංකරගෙන සිටින අයගේ තරම තේරෙන්නට පටන්ගත්තේ Microsoft සමාගම තම පළමු GUI ඇති පාලක මෘදුකාංගයක් ලෙස Windows 1.0,  1985 දී නිකුත් කිරීමත් සමගයි. කෙසේවෙතත් අලෙවිය එතරම් හොදනොවූ නිෂ්පාදනයක් ලෙස කියතත් 1987 තෙක් මෙය ලබාගැනීමට හැකියාව තිබුනි.

එහි තිබූ දුර්වලතාවයන්ද නිවැරදි කර ගනිමින් තවත් අංගද එක් කරමින් 1987 දී Windows 2.0 සංස්කරණයද Microsoft සමාගම විසින් එලිදක්වන අතර දැන්නම් ඇපල් සමාගමට තීරණයක් ගන්නට සිදුවී තිබුනි. මන්ද එය ඇපල්  GUI පාලක මෘදුකාංගයට සමානකම් ඇති ලෙස ඔවුන් සැලකීම සහ Microsoft සමාගම, ඇපල් සමාගම වෙනුවෙන් මෘදුකාංග නිපදවන අතරේම ඔවුන්ගේ Windows තැනීම සදහා එයින් සැලකිය යුතු දත්ත ලබා‍ගෙන ඇතිබවට සැක කිරීමයි. මේ තත්වය කොතරම් බරපතල ලෙස ඔවුන් සලකා ඇත්ද කියතොත් තමන්ගේ copyrights, 170 ක් Microsoft විසින් උල්ලංඝනය කර ඇති බව පවසමින් 1988 දී Microsoft එරෙහිව ඇපල් නඩුමගට බසින අතර එය වසර 4 ක් පුරා විභාග කෙරුනි.

කෙසේවෙතත් නඩුවෙන් ඇපල් පැරදුන අතර සමහර copyrights නවයක් හැරෙන්නට අනෙක්වාට අයිතියක් කීමට ඇපල්ට නොහැකි බව තීන්දු කෙරිනි. එසේම පසුව Microsoft සමාගම පැවසූවේ එම copyrights නවයේද ඇතැම් ඒවා copyrights ලෙස සැලකිය නොහැකිබවයි. එනම් උදාහරණයක් ලෙස graphical user interface ට අයිතියක් කීමට ඇපල්ට නොහැකි බවත් එය ඔවුන් Xerox සමාගම විසින් Xerox's Alto සහ Star පරිගණක වලට තැනූ graphical user interface න් ලබාගත් අදහස වැඩිදියුණු කිරීමෙන් තැනූවක් බවයි. මෙම ඉල්ලීම්ද Microsoft සමාගමට වාසිදායක තීන්දු ලැබීමෙන් කෙලවරවූ අතර යම් හෙයකින් මේ නඩුවලින් Microsoft පරාජයට පත්වූයේ නම් ඔවුන්ට පරිගණක ක්‍ෂෙත්‍රයේ මෙතරම් Windows Operating System එකේ බලපරාක්‍රමය විහිදුවාගෙන සිටින්නට අවස්ථාවක් නොලැබෙන බවද පැවසේ.
Bill Gates was photographed by the Albuquerque, New Mexico police in 1977 
after a traffic violation (details of which have been lost over time).

කෙසේවෙතත් 90 දශකයේ අගභාගය වන විට මෙම සමාගම් දෙක අතර පැවති නොහොද නෝක්කඩු සමනය වූ අතර වර්ථමානයේද Microsoft සමාගම, ඇපල් පරිගණක වෙනුවෙන් විශේෂයෙන් Office මෘදුකාංගය වැනි මෘදුකාංග නිපදවීම සිදුකරයි.

John Sculley ඔහුව, ඔබට ඇතැම්විට මතක ඇති ඔහු ඇපල් සමාගමේ සේවයට එන්නේ 1983 දී. ඔහුව ඇපල් සමාගමට සේවයට ගැනීමට මුල්වන්නේත් Steve Jobs විසින්ම තමයි. හැබැයි Steve කවදාවත් සිතන්නට නැතුව ඇති තමන්ම ඉදිරිපත්වී තමන් විසින්ම බිහිකරන ලද සමාගමෙන් යන තැනට වැඩ කිරීමට  Sculley කවදාවත් වැඩකරයි කියා.
Steve Jobs සහ John Sculley Macintosh හා Lisa පරිගණක සමග

John Sculley ඇපල් සමාගමට පැමිනෙන්නට පෙර ලෝ ප්‍රකට පැණිබීම සමාගමක් වන Pepsi-Cola ආයතනයේ තමයි සේවය කලේ ඔහු එහි 1967 තරම් ඈත කාලයක සිට සේවය කල අයෙක්. 1967 දී Pepsi ආයතනයේ සේවයට පැමිනෙන්නේ පුහුණුවන්නෙකු ලෙසයි. සයමාසික පුහුණුවෙන් පසු බීම බෝතල් කිරීමේ අංශයේ රැකියාව කරන ඔහු 1970 වන විට එනම් වසර තුනක් ඉක්මගිය තැන මේ සමාගමේ ලාබාලතම අලෙවි නියෝජ්‍ය සභාපතිවීමට තරම් උත්සහවන්තයෙකුවන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 30 ක්. ඔහු‍ගේ මෙම නව තනතුරත් සමග විවිදාකාරයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු දියත් කරන අතර ඔවුන් තරගයට එළඹෙන්නේ එසේ මෙසේ ප්‍රතිවාදියෙකු සමග නොව තවත් ඒ ආකාරයේම Cola බීම නිපදවන සමාගමක් වන Coca-Cola සමාගම සමගයි. මෙය ඒ කාලයේ හදුන්වා ඇත්තේ the Cola Wars ලෙසයි.

තම ආයතනයේ උන්තිය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටුකරන John Sculley, එම සේවය පාඩුවක් නොවන බව ඔප්පුවන්නේ 1977 දී ඔහු එම සමාගමේ ලාබාලතම සභාපතිවරයා වීමටද භාග්‍ය ලබමිනුයි.

John Sculley ගේ මෙම අලෙවිකරණය හා පරිපාලනමය හැකියාවන් පිළිබදව කීර්තිමත් වටපිටාව හොද ඉදිරිදැක්මකින් යුතු Steve Jobs ට නිරායාසයෙන්ම ඇසගැසෙන අතර තව ආයතනයේ ඒවන විට සිටි සභාපතිවරයා වූ Mike Markkula විශ්‍රමයාමට උවමනා වී තිබීමත් ඉන්පසුව එම ස්ථානයට පත්වීමට සිටියේ Jobs නිසා ආයතන‍යේ වැඩකටයුතු නිසිපරිදි පවත්වා ගැනීමට හැකි දක්‍ෂ ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙකු සොයමින් සිටි අවස්ථාවේ තමයි John Sculley එයට සුදුස්සා බව Steve Jobs ට වැටහෙන්නේ. "ඔබට ජීවිතේ ඉතුරු කාල‍යෙත් සීනි දියකරපු වතුර විකුණ විකුණ ඉන්නද උවමනා. නරකද මාත් එක්ක එකතුවෙලා ලෝකය වෙනස් කරන්න හවුල් වුනොත්" මේ තමයි Steve Jobs විසින් John Sculley ට තමන් සමග එක්වන ලෙස යෝජනා කල විදිය.
(Steve Jobs successfully sealed the deal with his legendary pitch to Sculley, asking him whether he preferred to "sell sugar water for the rest of your life or come with me and change the world?")


කෙසේවෙතත් වසර දෙකක් යන්නටත් පෙර මේ දෙදෙනා අතර ආයතනික මට්ටමේ ගැටළු පැනනගින්නේ Steve Jobs විසින් ගන්නා ලද තීරණ ආයතනයට මූල්‍යමය වශයෙන් විශාල පාඩුගෙන දෙන බව John Sculley ගේ මතය වීමත් Steve Jobs ගේ පුද්ගල චරිතයේ තිබූ ඇතැම් අසුභ ලක්‍ෂනද සමාගමේ උන්නතියට හානිකර බව John Sculley ගේමෙන්ම ආයතනයේ අධ්‍යක්‍ෂක මණ්ඩලයයේ බහුතරයකගේද අදහසවීමයි. කෙසේවෙතත් John Sculley ට පෙර තමන් ඉස්සර වී 1985 මැයි 24 වන දා "boardroom coup" ලෙස අන්වර්ථ නාමයෙන්ද හදුන්වන අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීම කැදවා තම බලයට එහි සාමාජිකයන්ද නතුකොට ගෙන John Sculley ව ආයතනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට Steve Jobs ගේ අභිප්‍රාය විය. කෙසේවෙතත් ඔහුගේ සිතැගි උඩුයටිකුරු කරමින් අධ්‍යක්‍ෂක මණ්ඩලය ගත්තේ John Sculley ගේ අන්තය වූ අතර පරිපාලනමය බලතල Steve Jobs වෙතින් ඉවත් කිරීමටත් තීන්දුවිය. මේ සමග

Steve Jobs ට ඇපල් ආයතනයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය ඇතිවූ අතර ඉන් මාස කිහිපයකට පසුව ඇපල් ආයතනයෙන් Steve Jobs ගේ නික්මයාම සිදුවිය.

කෙසේවෙතත් මෙසේ තමන් විසින්ම බිහිකල ඇපල් ආයතනයෙන් නික්ම යාමට සිදුවීම තවත් දේවල් අළුතින් බිහිකරන්නට සහ නව මානයන් කෙරේ තම සිත යොමුකර ඒවායේ උන්නිතය වෙනුවෙන් ක්‍රියා කිරීමට මෙය ආශිර්වාදයක් වූ බවයි.

1994 දක්වා John Sculley ඇපල් ආයතනයේ සේවය කලේය. එම කාලය තෙක් ඇපල් ආයතනයේ උන්තිය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටුකල ඔහු 90 දශකය මුල් කාලයේදීම දේශපාලනය දිශාවට හිතයොමුකල අතර බිල් ක්ලින්ටන් ජනපතිවරයාටද, ජනපති සටනේදී සහය ලබාදෙනු ලැබූවෙක්. 1993 දී ඇපල් සමාගමෙන් ඉවත්වීමෙන් අනතුරුව තවත් සමාගම් කිහිපයකම ප්‍රධාන තනතුරු ගණනාවක්ම උසලනු ලැබූ බවත් සදහන් කල යුතුයි.

දීර්ඝ ලිපි‍ පෙලක සමාප්තියට ආසන්නවෙමින් පවතින මොහොතක Steve Jobs ගැන නැවතත් අවධානය යොමුකරන්නේ නම්. ඔහු බොහෝදෙනා හා බොහෝ මූලාශ්‍ර හදුන්වාදෙන්නේ අමාරුකාර චරිතයක් 
ලෙසයි. ලෝකයේ හොද අලෙවියක් තිබූ Stanford management science professor Robert Sutton ලියූ The No Asshole Rule කෘතියේද  Steve Jobs  වෙනුවෙන්ද සෑහෙන්න ඉඩක් වෙන්වී ඇත. එහි සදහන් වන ආකාරයට නම් Steve Jobs යනු මිනිසුන් හඩවන හා අන්‍යයන්ට භීතිය ගෙන දෙන පුද්ගලයෙකි. එසේම වැඩිදුරටත් එහි සදහන් වන ආකාරයට ඔහු අන්‍යයන්ට තමන් හමුවීමට ලබාදී තිබෙන අවස්ථා මඟහරින්නෙකි. දුරදිග කල්පනා නොකර වැරදි තීරණ ගන්නෙකි. ගරුත්වය ‍ලැබිය යුතු කෙනාට එය ලබා‍ නොදෙන්නෙකි. එසේම ඔහු සත්‍ය පෙනි පෙනී එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන්නෙකි (Jobs often reacts ad hominem). අන්‍යයන්ට සවන් නොදෙන අතර තමන් ඉදිරියට පැන ඔවුන්ට බාදාකරන්නෙකි. වගකීම් නොදරන හා පොරොන්දු කඩකරන්නෙකි. මේ ආකාරයේ තවත් විවිද දොස් ඔහුකෙරෙන් දකින අය බොහෝවෙති. තවද ඇපල් ආයතයේ සේවකයන් අස් කිරීමට ඉතා සුළු හෝ වෘත්තීමය හේතුවක් හෝ නොවීම ඔහුට ගැටළුවක් නොවූ අතර ඇතැම් විට විදුලි සෝපානයේ ගමන් කරමින් සිටින විට පවා ඇතැම් සේවකයන් සේවයෙන් ඉවත්කර දැමීමට ඔහු අත්‍තනෝමතිකවූ බවටද චෝදනා කරයි. එසේම ඇපල් මෙන්ම NEXT ආයතනය තුලද ඔහු ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර ඇපල් ආයතනයේ නිෂ්පාදනයන් පිළිබද තොරතුරු "දේව රහස්" මෙන් වූ බව පැවසේ. උදාහරණයක් ලෙස NEXT පරිගණක නිෂ්පාදනයේදී එහි දෘඩාංග තැනූ වෘත්තිකයන් තමන් තැනූ පරිගණක වලට යොදන මෘදුකාංග පිළිබදවවත් නොදැන සිටි බව කියන අතර iphone වැනි උපකරණ තැනීමට ප්‍රමුඛ ලෙස දායක වූ පුද්ගලයන් පවා එම උපකරණ හරිහැටිම දැකකියා ගත්තේ Jobs විසින් ඒවා නිල වශයෙන් මාධ්‍යයට ඉදිරිපත් කල පසුබවද කියවේ.

එසේම ඇපල් සමාගම වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන වල කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවන චීනයේ Foxconn Technology Group හෙවත් Foxconn සමාගම සිය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකන ආයතනයක් බව පැවසෙන අතර එය ළමා ශ්‍රමය පවා යොදවා ගන්නා සමාගමක් ලෙස අපකීර්තියක් ඇති සමාගමකි. එසේම එම සමාගම තුල සේවය කිරීමෙන් ඇතිවූ මානසික ආතතිය නිසා ජීවිතය නසා ගත් පුද්ගලයන් රාශියක් පිළිබදව වාර්තාවන අතර මෙම අවසනාවන්ත තත්වයන්ට අනියමින් හෝ Steve Jobs ද වගකිය යුතුබවට මතයක් පවතී.

(In 2006, the Mail on Sunday reported that sweatshop conditions existed in some factories in China, where the contract manufacturers,Foxconn and Inventec, operate the factories that produce the iPod.[196] The article stated that one complex of factories that assembles the iPod (among other items), for instance, had over 200,000 workers that lived and worked in the factory, with employees regularly working more than 60 hours per week. The article also reported that workers made around $100 per month and were required to live on the premises and pay for rent and food from the company, which generally amounted to a little over half of workers' earnings.

Immediately after the allegations, Apple launched an investigation and worked with their manufacturers to ensure that conditions were acceptable to Apple.[200] In 2007, Apple started yearly audits of all its suppliers regarding worker's rights, slowly raising standards and pruning suppliers that did not comply. Yearly progress reports have been published since 2008.[201] In 2010, workers in China planned to sue iPhone contractors over poisoning by a cleaner used to clean LCD screens. One worker claimed that he and his coworkers had not been informed of possible occupational illnesses.[202] After a spate of suicides in a Foxconn facility in China making iPads and iPhones, workers were forced to sign a legally binding document guaranteeing that they would not kill themselves.[203] In 2011 Apple admitted that its suppliers' child labor practices in China had worsened.[204])
උපුටා ගැනීම - http://en.wikipedia.org/wiki/Apple_Inc.

කෙසේවෙතත් ලෝකයේ කිසිවෙකු 100% ක් නිවැරදි පුද්ගලයෝ නොවෙති, අපි ‍ඔහු ගැන කතා කරන්නේ ඔහු හොද තාක්‍ෂනවේදියෙකු ‍නිසා නොවන්නේද? යන විවිද අදහස් පලවුවත් මගේ පෞද්ගලික අදහස නම් වන්නේ ඔහු සතුව තිබූනා යයි කියන මෙබදු දුර්ගුණ ඔහු‍ට මීට වඩා අයත්වන්නට තිබූ සමෘද්ධියට බාදාවක් වන්නට ඇති බවයි. මම කිසි‍විටකත් කියන්නේ නැහැ ඔහු අසාර්ථක පුද්ගලයෙකු යයි කියා. එහෙත් ඔහු හා සමකාලීනව පරිගණක ක්‍ෂෙත්‍රයට පැමිණි Bill Gates 2011 විට US$ බිලියන 56 ක වත්කමක් ඇති ලෝකයේ දෙවනියට පොහොසතා වෙද්දී Steve Jobs, 2011 දී  US$ බිලියන 7 ක වත්කමක් ඇතිව ලෝකයේ 136 වන පොහොසතා බවට පත්වි ඇත. එසේම Bill Gates සමග එක්ව මයික්‍රොසෝෆ්ට්  බිහිකල
Paul Allen පවා US$ බිලියන 13.2 ක හිමිකරුවෙක්ව ලෝකයේ 57 වැනි පොහොසතා බවට පත්ව ඇත.

කොහොම නමුත් ව්‍යාපාරික ක්‍ෂෙත්‍රයේ ඇති උපක්‍රම හා විධික්‍රම අනුව පුද්ගල චරිත ලක්‍ෂන තම වත්කම කෙරේ ඍජුවම බලනොපාන බවටද අපට තර්ක කල හැක.

එසේම Steve Jobs ගෙන්  අපේ ර‍ටේ ‍බොහෝදෙනෙකුටද ගත හැකි හොද ආදර්ශද ඇත. ඔහු කිසිවිටක තම නිපැයුම් සදහා දේශපාලන සංකල්ප හෝ ඔවුන්ගේ සේයාරූ හෝ කාටුන් යොදා නොගැනීමට වගබලා ගෙන තිබුනි. එසේම ලිංගිකත්වය උද්දීපනය කෙරෙන පින්තූර හෝ වැකි සහ සමරිසි යන්ට අදාල වෙන සංකේතාත්මක නිරූපනයන්ද ඇපල් නිෂ්පාදනවලට යොද නොගෙන සිටීමට ගත් තීරණ පැසසිය යුත්තකි.

Steve Jobs සිය වසර 56 ක කෙටි දිවිය හමාර කොට 2011 ඔක්තෝබර් 05 වන දා සදහටම නික්ම ගිය අතර ඔහුගේ අවසන් කටයුතු ඔක්තෝබර් 07 වැනිදා පවුලේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව කුඩාවට සිදුවිය. ඇපල් වැනි ශක්තිමත් ආයතනයක් මේ නිසා බිද නොවැටුනත් ඔහු සතුව තිබූ දැක්ම හා නිපුණත්වය  ඔවුන්ට අහිමිවීම නම් කිසිදා සපුරාලිය නොහැකි පාඩුවක් වේ. එසේම බිද වැටෙමින් පවතිනවා යැයි කියන ඇමරිකානු ආර්ථිකයට මෙවැනි දැවැන්ත ව්‍යවසායකයකුගේ නික්ම යෑම විශාල මරුපහරක් වන්නටද ඉඩ ඇත. අවසාන වශයෙන් අපගේ කාලයේ ලෝකය තව තවත් පහසුකරන්නට ඇප කැපවූ මෙම අග්‍රගණ්‍ය පුද්ගලයාට මා අදහන දහමට අනුව නිවන්සැප පතන්නෙමි.

දැන් මෙම ලිපි පෙල අවසානය කරන්නට සුදුසු මොහොතයි. මේ ලිපි පෙල ලියන්නට මූලිකවම ඉල්ලූ ඉන්දික හා බුද්ධි යන මිතුරන්ටත්, මෙහි පළමු ලිපිය පළවූ පසු නෝක්කාඩුවට මෙන් හැමෝම කියන්නේ  Steve Jobs එකවරම ඇපල් පරිගණක හැදුවා මිස ඔහුට එය සදහා තිබූ හැකියාව පිළිබදව පසුබිම නොවේ යයි පැවසූ මාරයාටත්, ඇපල් හා එයට අදාලව තවත් විස්තර ලිවීම සදහා ඔත්තු ලබාදුන් Senna හා බුද්ධි මිතරාට නැවත වරක් හා ඇපල්, මයික්‍රොසොෆ්ට් හා Xerox වැනි සමාගම් වල කෙරුවාවල් දෘශ්‍ය ලෙසම දැක ගන්නට හැකි Pirates of Silicon Valley චිත්‍රපටිය ගැන කියූ hare ටත් ස්තූතිකරන අතර මෙම ලිපි කියවූ සහ ඉහත ලිස්ට් එකේ නම නොකියවුන එහෙත් විවිද ඔත්තු ලබාදුන් මිතුරන්ටත් ස්තූති කරමි. එසේම මෙම ලිපි පෙල 100% ක් මෙම තේමාවට අදාල පුද්ගලයන් හෝ ආයතන ගැන කියවෙන ලිපි පෙලක් නොවන අතර මඟහැරුන කරුණ සෑහෙන්න තිබෙන්නටද පුළුවන් බව මතක් කරමි.

අවසාන වශයෙන් මෙම ලිපි පෙල ලිවීමට දායකකරගත් මූලාශ්‍ර විශාල ප්‍රමාණය අතරින් මූලාශ්‍ර සෑහෙන්න ප්‍රමාණයක්ද සටහන් කිරීමට සිතුවෙමි.


Thursday, October 27, 2011

ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5

Steve Jobs සහ Apple යන මාතෘකාව යටතේ මෙතරම් දුරකට ලියන්න නොසිතුවත් කරුණු යෙදුන ආකාරය අනුව එය ගැඹුරටම විහිදී ගිය එකක් බව තමයි කියන්න ඕන. කොහොමවුනත් අද ලිපියෙනුත් සැගවී ඇති කරුණු මෙන්ම පළමු සහ දෙවන ලිපි වල තිබූ ඇතැම් කරුණුවලට අදාල සුළු සුළු දේවල් කිහිපයකුත් අද ලිපියෙන් දැකගන්නට හැකිවේවි.
කලින් ලිපි හතර -
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2
Steve Jobs ගැන ගැඹුරින්... 3 
Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...

ඇපල් සමාගම ඇරඹුවේ Jobs සහ Wozniak බව ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැතිවුනත් ඔවුන් දෙදෙනාට අමතරව තවත් අයෙක් එහෙමත් නැත්නම් තුන්වැන්නෙකුත් ඇපල් ආරම්භකරන අවස්ථාවේ සිටියා. ඔහු තමයි  Ronald Wayne. මොහුම තමයි ඇපල් සමාගමේ මුල්ම ලෝගෝව වන නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩිය වැටෙන රූපය නිර්මාණය කලෙත්. ඔහු Jobs සේවය කරමින් සිටි Atari සමාගමේ සේවකයෙකු වූ අතර Jobs ගේ මිතුරෙක්. ඉතින් ඔහුටත් ආරාධනා කරා ඇපල් සමාගම ආරම්භකරන්න එයට එක්වනලෙස. එවකට 41 හැවිරිදි මේ පුද්ගලයා එහි සැලසුම් ශිල්පියෙක් (draftsman). ඔහුට දුන්න පොරොන්දුව තමයි නව සමාගම උපයන ලාභයෙන් 10%ක් ඔහුට දෙන බව. මේ අවස්ථාවට එකඟවුන Ronald තමන් සේවය කරමින් සිටි Atari ආයතනයෙන් නම් ඉවත් වුනේ නැහැ. ඔහු එහි දහවල් සේවය කරන අතරේ රාත්‍රියේදී ඇපල් සමාගම වෙනුවෙන් සේවය කලා.

1976 මුල් කාලයේ මෙම Ron Wayne ඇපල් සමාගමට එකතුවුනත් ඒ වසරේම අප්‍රේල් වෙන කොට ඔහු ඇපල් සමාගමෙන් ඉවත්වෙන්න තීරණය කරනවා. ඔහු එහිසේවය කල කාලසීමාවේදී ලබාගෙන තියෙන්නේ $800 ක දීමනාවක් පමනයි. ඔහු ඉවත්වෙන්න හේතුව විදියට සදහන් වෙන්නේ ඒ වෙනකොට ඉතාම ලාබාල සමාගමක් වුන මෙහි මූල්‍යමය තත්වය ශක්තිමත් නැති නිසා එහි අවධානමක් ඔහුට දැනීමත්, ඒ වන විටත් Woz ඔහු සේවය කරමින් සිටි HP ආයත‍නයෙන් නීත්‍යානුකූලව ඉවත්ව නොසිටි නිසා එයද අනාගතයේ යම් ගැටළු සහගත තත්වයන් ඇතිකරයිද යන සැකයක් ඔහුට ඇතිවී තිබීමයි.

1976 දී ඔවුන් සාර්ථක ලෙස Apple I පරිගණක අලෙවි කලාට පසු සමාගමට මුලින්ම 1977 දී ආයෝජනය කරන්න ඉදිරිපත්වෙන්නේ Mike Markkula. ඔහු $92,000 ක් ඇපල් සමාගමට ආයෝජනය කරන අතර සමාගමේ මුල්ම සභාපතිවරයා ලෙස 1977 දී පත්වෙන්නේ Michael Scott. කෙසේවෙතත් 1981 දී එම සභාපතිධූරයෙන් Michael Scott අස්වන අතර ඉන්පසුව Mike Markkula සභාපති ලෙසත්. ඔහු ටික කාලයක් එම තනතුර දැරූපසු 1981 දීම සභාපතිධුරයට පත්වෙන්නේ Steve Jobs. 

International Business Machines නැත්නම් ඔබ හා මම හොදින් දන්නා IBM යන කෙටි නාමයෙන් හදුන්වන සමාගම එයයි. එහි මව් සමාගම ගතහොත් එය 1911 තරම් ඈත කාලයේ ආරම්භකරන ලද්දක්.

මෙම සමාගම සමග තමයි 1981 න් පසුව ඇපල් සමාගමේ ලොකුම තරගය තිබුනේ කිව්වත් නිවැරදියි. හැබැයි ඇපල් සමාගම සමග සසදන්නේ නම් මෙම සමාගම එහි සීයා කෙනකු බදුයි. එතරම්ම පැරණි මෙන්ම 70 දශකය වන විට අතිදැවැන්ත සමාගමක් වූ IBM සමාගම පරිගණක ක්‍ෂෙත්‍රයේ Mainframe පරිගණක නිශ්පාදනයේ ප්‍රමුඛයෙක්. හැබැයි ඔවුන්ගේ සාම්ප්‍රධායික දැක්ම එහෙමත් නැත්නම් ඔවුන්ගේ Vision එකට වඩා නාඹර කොල්ලෙකුවූ Steve Jobs ගේ දැක්ම අතිශයින්ම නැවුම් අදහස් වලින් පිරුනා වගේම අනාගතය දකින හොද ව්‍යාපරික දැක්මකින් යුතුවූවා. ඒ නිසාම තමයි මෙම දැවැන්ත සමාගමට පෙර තම සඟයා වූ Wozniak සමග එක්ව තැනූ පරිපථ ලී පෙට්ටියක අසුරා $666.66 ක මිලකට විකිණීමෙන් ලෝකයේ දැවැන්ත සමාගමක් බිහිකරන්නට හැකිවුනේ.

 The Commodore 64 was one of the most popular microcomputers of its era, 
and is the best-selling model of home computer of all time.

එදා තම වාහනය හා කැල්කියුලේටරය විකුණා අමාරුවෙන් හා අවධානමක් ගෙන මෙම කොල්ලන් එදා මේසයක් මත තැබිය පුළුල් විවිදත්ව‍යකින් යුතු මෘදුකාංග භාවිතාකල හැකි පුද්ගල පරිගණක ලෝකයට හදුන්වාදෙද්දී IBM යනු අතිදැවැන්ත මූල්‍ය ශක්තියකින් හෙබි, විවිදාකාර නිපුණත්වයෙන් යුතු තාක්‍ෂනික ශිල්පීන්, සැලසුම්කරුවන්, කළමනාකරුවන් හා දැවැන්ත නමක් දිනාගත් විධායක නිළධාරීන් සේවය කල තැනක්. එහෙත් මේ පප්පලාට, වයස විසිගණන්වල මුල සිටි තරුණයන් දෙදෙනා සතු දක්‍ෂතාවයට එදා පසුබාන්නට සිදුවුනා. IBM සමාගම බලාපොරොත්තුවුනේ කවදාහෝ පුද්ගල පරිගණක වල මෘදුකාංග ආදියත් කMainframe පරිගණකම පරිණාමයෙන් බිහිවේවි යන්නයි. ඒ එක්කම ඒවායේ පාලක මෘදුකාංගත් Command Line Interface එකකින් පාලනය වේ යන අදහසත් ඔවුන් සතුව තිබුනා. ඒනිසා තමයි 1981 අගෝස්තුවේදී ඔවුන් පුද්ගල පරිගණක තැනූ පසු ඒවායේ Operating System එක තැනීමේදී මයිකොසොෆ්ට් සමාගමට එය  Command Line Interface එකකින් පාලනය වන ලෙස තන්නට යෝජනාකලෙත්. (කෙසේවෙතත් පුද්ගල පරිගණක යන සංකල්පය ඇපල් හෝ IBM සමාගම්වලට අයිතිය කියාපෑමට හැකිදෙයක් නොවෙයි මන්ද 70 දශකය මුල් භාගය වනවිට නිපදවූ Microcomputer
හැදින්වූයේත් පුද්ගල පරිගණක නැතහොත් Personal Computers (PCs) ලෙසයි.)

Apple නිර්මාණකරුවන් පරිශීලකයාට එතරම් සමීපබවක් නැති විධාන ටයිප් කර පරිගණක මෙහෙයවීමේ ක්‍රමවේදයට වඩා මිත්‍රශීලී චිත්‍රක අතුරුමුහුණත් ((GUI) සංකල්පය පිළිබදව අවධානය යොමුකලේ 1979 තරම් ඈත කාලයේ.  1979 දී ඔමුන් ව්‍යාපාරික කටයුතු සදහා භාවිතාකල හැකිවූ පරිගණකයක් නිපදවිමට සැලසුම් සකස් කල අතර එයට පෙර ඔවුන් XEROX Parc research center වෙත යෑමට අදහස් කලේ එහි සිදුවන නව පර්යේෂනාත්මක අත්හදාබැලීම් පිළිබදව හැදෑරීමටයි.  එහිදී ඔවුන් GUI සංකල්පය සමග බද්දව පවතින mouse නම් උපකරණය පිළිබදවද දැකගන්නට ලැබෙන අතර ඒ වන විට තමන් සැලසුම් කර තිබූ පරිගණකය පිළිබදව තිබූ සැලසුම වෙනුවට මේ mouse සහ GUI යන භාවිතයන් ඔස්සේ නව පරිගණකය නිර්මාණය පෙළඹෙන ලදි.


එහෙත් ඔවුන් සතුව විශාල ගැටළුවක් තිබුනි. ඒ ඒ වන විට බොත්තම් ත්‍රිත්වයකින් යුතු මූසිකයක නිෂ්පාදන පිරිවැය US$400 ක් තරම් ඉහල අගයක් ගැනීමයි. මෙබදු ඉහල මිලක් තනි පාරිභෝගිකයන් ඉලක්ක කර තැනෙන පුද්ගල පරිගණකයකට කිසි‍සේත්ම ප්‍රායෝගික මිලක් නොවීය. මේ අභියෝගය සාක්‍ෂාත් කරගැනීම සදහා ඇපල් ආයතනය එවකට Hovey-Kelley Design (පසුව IDEO ලෙස මේ ආයතනයේ නම වෙනස්විය)ලෙස හැදින්වූ ආයතනය සමග එක්ව තමන්ට අවශ්‍ය මූසිකයකයේ
ආකෘතියත් එය US$25 ක මිලක් වැයවන නිෂ්පාදන පිරිවැයක යටත්ව තැනිය යුතුබවත් දැන්වූ අතර එය සත්‍ය පාරිභෝගිකයන්ට ලබාදී පරීක්‍ෂාකලයුතුද විය.

අත්හදා බැලීම් හා පාරිභෝගක මනාපයන්ද සැලකිල්ලට ගත් පසු ඇපල් වෙනුවෙන් තැනූ මූසිකය XEROX මූසිකයට වඩා වෙනස් වූ අතර එය මුල් නිර්මාණයේ තිබූ බොත්තම් ත්‍රිත්වය වෙනුවට තනි බොත්තමකින් සමන්විත වූවක් වූ අතර දැන් අපි භාවිතා කරන සුමට වක්‍රාකාර හැඩතලයකින් යුතු මූසිකයට වඩා වෙනස් පෙට්ටියක ආකාරයක එකක් විය.
ආකාර පහක ඇපල් මූසික
 1993 වන තෙක් මෙම පෙට්ටි ආකාරයේ මූසික භාවිතා වූ අතර ඉන්පසු ඔවුන් සුමට ඉලිප්සාකාර බිත්තර හැඩයේ මූසිකය තැනුවේය.

1998 වන තෙක් වර්ණයන්ද මේවායේ අළු හෝ beige හෝ ටික කලකට පසු කළු වර්ණයෙන්ද යුතුවූ අතර 1998 දී මේ තනි බොත්තමේ ඇපල් මූසික වසර 25 ක් තිස්සේ ඇපල් පරිගණක වල භාවිතා වූ අතර iMac පරිගණක හදුන්වා දීමත් සමග පාරභාශක නැතහොත් විනිවිද පෙනෙන ආවරණයකින් යුතුවූ මූසිකයන් තැනුනි.

2000 වසරේදී ඔවුන් තවත් ඉදිරියට යමින් වඩාත් සුමට අතට පහසු ලෙස ඉලිප්සාකාර මූසිකය නිර්මාණය කොට එහි භාවිතා කල rubber ball tracking mechanism වෙනුවට solid-state optical system එකක්
භාවිතා කරන්නට යෙදුනි. එය බොත්තම් දෙකකින් සමන්විත වූ අතර ඒවා මුසීකයේ දෙපසින් යොදා තිබුනි. එසේම ඒවා USB කෙවෙනිවලට සවිකල හැකිසේ තනා තිබුනි.

2003 දී ඔවුන් රැහැන් රහිත මූසික වලින් තම පරිගණක සන්නද්ධ කොට තිබුනි. 2005 දී ඔවුන් ඒවනතෙක් අන් තරඟකරුවන් නොකල දෙයක් සිදුකල තවත් ඉදිරියට ගියේය. එනම් “none button” නැතහොත් “Zero button” සංකල්පය ඔස්සේ බොත්තම් රහිත මූසිකයක් නිර්මාණය කල අතර එය five programmable electrostatic sensors and an integrated scroll ball කින් යුක්ත විය. 2006 දී ඔවුන් Bluetooth තාක්‍ෂනය මත ක්‍රියාත්මක වන මූසිකයක්ද හදුන්වාදෙන ලදි.


1981 දී IBM සමාගම තම ප්‍රථම පුද්ගල පරිගණකය model number 5150 ලෙස හදුන්වාදෙද්දී එය නිර්මාණයට දායක වූ පුද්ගලයන් රැසක් එම ආයතනයේ විය. ඉංජිනේරුවන්, සැලසුම්ශීල්පීන් සහ තවත් වෘත්තිකයන් රැසක් දායකවූ මෙම නිර්මාණය ඒ වනට විට නිපදවා තිබූ ඇපල් පුද්ගල පරිගණකය අභිභවායන්නක් නම් නොවීය. 
IBM Personal Computer model 5150 with IBM CGA monitor 
(model number 5153), IBM PC keyboard, IBM 5152 printer and paper stand.
 
කෙසේවෙතත් අලෙවිය සාර්ථක වූ මෙම නිශ්පාදනයේ මධ්‍ය සැකසුම් ඒකකය Intel 8088 එකක්වූ අතර වේගය 4.77 MHz ක් ගන්නා ලදි. මතකය 16 KB සිට 256 KB අතර අගයක් ගන්නාලදි. 1983 දෙසැම්බරය වන විට IBM සමාගම සිය පරිගණක අලෙවිය මිලියන එකේ ඉලක්කය සපුරාගන්නා ලදි.

එහෙත් IBM සමාගම නිශ්පාදන පිරිවැය අඩුකරගන්නට කරන ලද උපක්‍රමය පසුව ඔවුන්ට දැඩිලෙස පාඩුවෙන්නට හේතුවූ කාරණයක් විය. එනම් ඔවුන් සිය පරිගණක වල Read Only Memory Basic Input Output System (ROM-BIOS) ක්‍රමලේඛය සමාගම කිහිපයක් ( Phoenix Software Associates, American Megatrends, Award) හරහා නිර්මාණය කරගත් අතර ඒවායේ අයිතිය එම සමාගම් සතුවිය. මේ නිසා එම ROM-BIOS ක්‍රමයන් ඔස්සේ වෙනත් සමාගම්වලටද IBM අනුකුලතාවය ඇති පරිගණක (IBM Compatibles හෝ PC clones, හෝ IBM clones) නිශ්පාදනයේ යෙදීමේ හැකියාව තිබූ අතර 1982 ජූනි මාසයේදී ප්‍රථම IBM Compatible පරිගණකය Eagle Computer විසින් තැනූ අතර එම වසරේ දෙසැම්බරය වන විට Compaq සමාගම සිය ප්‍රථම IBM Compatible පරිගණකය නිෂ්පාදනය කල බව නිවේදනය කලේය. එය The Compaq Portable නම් වූ අතර එය 100% ක්ම IBM අනුකුලතාවය ඇති පරිගණකය වූ අතර එය ප්‍රථම අතේ ගෙනයා හැකි (Portable) පරිගණකයද විය. 
 The Compaq Portable was the first 100% IBM-compatible PC, 
and the first portable one.
 
කෙසේවෙතත් දුරදක්නා ඥානයෙන් යුතුවූ Steve Jobs ගේ අධීක්‍ෂනයෙන් යුතුවූ ඇපල් පරිගණක සමාගම සිය ROM-BIOS වෙනත් ආයතන හරහා නිර්මාණය කරත් ඒවායේ බලපත්‍රය තමන් සතුව පවත්වාගැනීමට වගබලාගෙන තිබූ නිසා අද දක්වාම  Apple Compatible පරිගණක නම් අපට දැක ගන්නට ලැබී නොමැත. 

මෙසේ IBM පරිගණක හා ඒ අනුව යමින් තවත් සමාගම් නිපදවූ IBM අනුකුලතාවය ඇති පරිගණක  ඇපල් පරිගණක වෙළඳපොලට යම් බලපෑමක් ඇති කරත් What You See Is What You Get" (WYSIWYG)සංකල්පයද පෙරදැරි කරගත් චිත්‍රක අතුරුමුහුණත් පාලක මෘදුකාංගද භාවිතා කර නිපදවූ ඇපල් පරිගණක තම තරඟකරුවාගේ පරිගණක මොඩලයන්ට වඩා වේගවත් වූවා සේම භාවතයද පහසුවිය. ඇත්තෙන්ම Microsoft සමාගමේ සැබෑම GUI interface ඇති Windows 95 Operating System එක හදනාතුරාවටම ලේසියෙන්ම භාවිතා කල හැකිවූයේ ඇපල් පරිගණකයයි. එසේම එය මුල් කාලයේ සිටම Plug and Play පහසුකම ඇති පරිගණකයන්ද විය. කෙසේවෙතත් අද දක්වාම desktop publishing සහ graphics art design ක්‍ෂෙත්‍රයන්ගේ විශිෂ්ඨ නමක් දිනා ඇති පරිගණකය නම් ඇපල් පරිගණකයයි. කොටින්ම කියතොත් IBM සමාගම සහ එහි අනුකූලතා පරිගණක හදන Dell වැනි ආයතන පවා සිය වෙළඳ දැන්වීම් හා රූපවාහිනී වෙළඳ ප්‍රචාරන වැඩසටහන් සංස්කරණයට භාවිතාකරන්නේ ඇපල් පරිගණක බව http://faculty.lasierra.edu/~dlin/computer/pcvsmac.htm අඩවියේද පවසා ඇත.
(Early on, the Apple Macintosh found a broad base of users in the desktop publishing and graphics art design market, where high-quality graphics and "What You See Is What You Get" (WYSIWYG) mattered. To date, Macintosh computers still have a stronghold on this segment of the industry. For example, Microsoft used Freehand on a Macintosh to create the Windows 95 logo, and Intel used Macintosh computers to create Intel Pentium ads; IBM-compatible manufacturers such as Gateway, and Dell use Macintosh computers to create print advertising; IBM and Microsoft also use Macintosh computers to create TV spots.)

මුල් අවධියේ සිට සෑහෙන කාලයක් යන තෙක් ඇපල් පරිගණක වලට සෑදු වැඩසටහන් IBM පරිගණකවල භාවිතා කල නොහැකිවූවාසේම IBM පරිගණකවලට සැදූ ක්‍රමලේඛ ඇපල් පරිගණක වල ක්‍රියාත්මක කල නොහැකිවිය. එහෙත් පසුකාලීනව ඒ ඒ ආකෘතීන්ට ගැලපෙන පරිදි මෙම පරිගණක දෙවර්ගයටම වෙන් වෙන්ම එහෙත් එකම පහසුකම්වලින් යුතු මෘදුකාංග සම්පාදනය කරන ලදි. කෙසේවෙතත් ඇපල් පරිගණක වලට සාපේක්‍ෂව IBM හෝ එහි අනුකූලතා මිලෙන් අඩුවීම හා එයට මෘදුකාංග සොයාගැනීම පහසුවීම හා බහුලවීම එම පරිගණක ජනප්‍රියවීමට හේතුවිය. එහෙත් ඇපල් පරිගණක මිලෙන් අඩුවූවත් පසු නඩත්තු අඩුවූ අතර එහි තරඟකරුවාගේ යන්ත්‍රවල නඩත්තුකටයුතුවලදී යෙදවිය යුතු පිරිවිය සැලකියයුතුවිය.

සිය නිර්මාතෘවරුන් ඇපල් සමාගම හැරදි ගොස් සිටි අවස්ථාවල පවා ඇපල් සමාගම නොවැටී සිය ඒකාධිකාරය පවත්වාගෙන යමින් විවිද පුද්ගල පරිගණකද හදුන්වාදෙමින් ඉදිරියටම ගමන්කරත්දී, ඇමරිකාවේ විශාලත්වයෙන් 18 වන ස්ථානය ගන්නා IBM සමාගමට පුද්ගල පරිගණක වෙළඳපොල පසුකාලයක කඩා වැටීමට ගොදුරුවනු අත්දැකීමට සිදුවිය. ඒ අනුව 2009 දී එම සමාගම පුද්ගල පරිගණක නිශ්පාදනයෙන් ඉවත්වූ අතර එය චිනයේ Lenovo සමාගමට විකුණාදැමිනි. එසේම IBM හෝ එහි අනුකූලතා වෙනුවෙන් Intel, AMD, Cyrix හා වරක් Motorola වැනි සමාගම් මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කලත් දැන් එය ප්‍රධාන වශයෙන් Intel සමාගම සිදුකරන අතර ඔවුන්ගේ තරඟකරුවාවන්නේ එයට වඩා අඩුමිල Processor ක් නිපදවන AMD සමාගමයි. අනෙක් සමාගම තරඟයෙන් ඉවත්ව ගොස්ය.

තව දේවල් කතාකරන්න තියෙනවා රැදී සිටින්න ඊලඟ ලිපියෙදිත්...

Monday, October 24, 2011

Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...


මුලින්ම ඔබට කියන්න කැමතියි මේ තමයි සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහන. ඇතැම්විටක ශීඝ්‍රගාමීව වගේම ඇතැම් අවස්ථාවල මන්දගාමී ගමනක යෙදෙමිනුත් තමයි මේ ඉලක්කයට පැමිණියේ. ඒ ඉලක්කය සපිරීමේදී අති දීර්ඝ ලිපි මෙන්ම මැද ප්‍රමණයේ ලිපි හා කෙටි මෙන්ම පින්තූරවලින් යම් පණිවිඩයක් ගෙන ආ ලිපිද ඔබට දැකගන්නට ලැබුනා.

කෙසේවෙතත්‍ මේ අවුරුද්දේ ජනවාරි 13 වනදා නිසියාකාරයෙන් ලිපියක් පලකර බ්ලොග් අඩවිය ක්‍රියාකාරී තත්වයට ගන්නා මොහොතේදී  ‍මෙපමන ලිපි සංඛ්‍යාවක් හෝ මෙපමණ දුරක් පැමිණීමට කිසිදු අදහසක් තිබුනේ නැහැ. ඒ දුරප්‍රමාණය පැමිණීමට ශක්තිය හා අවශ්‍ය සහය දුන්නේ ඔබලා සැම බව මේ මොහොතේත් මතක් කරනු රිසියි. ඉතින් ඒ ගැනත් සතුටු සිතින් යුක්තව ‍එසේනම් සුපුරුදු පරිදි ලියාගෙන ආ ලිපි පෙලේ සිව්වන ලිපියට අපි දැන් ප්‍රවිශ්ඨවෙමු.

මේ ලිපි පෙලේ කලින් ලිපි ත්‍රිත්වය -
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2

Steve Jobs ගැන ගැඹුරින්... 3 


Chrisann Brennan, ඒ Steve Jobs ගේ තරුණ කාලයේ සෑහෙන්න දුරකට ගෙන ගිය ආදර සම්බන්ධතාවයයි. ඔවුන් දෙදෙනා අතර මෙම සබඳතාවය ඇතිවූයේ Homestead උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ යයි කියන අතර පෙර ලිපියේදීද කියූ ලෙස ඇය අප කතානායකයාගේ අර්ධ හිපි ජීවිතයේදීද සහය වු චරිතයක් වූයේය (Steve Jobs ඉන්දියාවේ සිටි සමයේදී ඔහු LSD වැනි මත්ද්‍රව්‍යවල ත්‍රිල් එකද අත්හදා බලා ඇති බව කියයි). කෙසේවෙතත් මේ අවිවාහක තරුණ දෙපලට තරු විසිවූයේ 1977 පමණ වන විට Chrisann, Steve නිසා ගර්භනී තත්වයට පත්වීමත් සමගයි. කෙසේවෙතත් Steve දැඩි ලෙස මෙම දරුවාගේ පීතෘත්වය පිළිනොගත් අතර තමන් නිසරු පුද්ගලයෙක් බවත් තමන්ගෙන් දරුවෙකු පිළිසදගැනීමක් සිදුනොවිය හැකි බවටත් පදනම් විරහිතව දැඩි ලෙස තර්ක කල බව කියයි. බොහෝවිට සිදුවන්නට ඇත්තේ ඒ වන විට ඔහු ලබා ඇති සාර්ථකත්වය හා වේගයෙන් දියුණුවට පත්වෙමින් සිටියදී තමන්ගේ පාසල් කාලයේ පෙම්වතිය තවදුරටත් තමන්ට නොපෑහෙන බවට සි‍තෙන්නට වීම විය හැක.
 The new issue of Rolling Stone features 
the late Apple visionary Steve Jobs. 
His first serious girlfriend, Chrisann Brennan, 
writes about his young-adult years.
 
මෙලෙස තනිවූ Chrisann ට, දියණියක් 1978 මැයි මාසයේදී ලැබෙන අතර ඇයට තබන නම  Lisa  Brennan වේ. පසුකලෙක නිපදවූ ඇපල් පරිගණකයකට Lisa යන නාමය තබන්නට Steve Jobs සිතන්නට ඇත්තේ, තමන් දරුවා ප්‍රතික්‍ෂේපකරත් ඔහුගේ යටිසිත තමන් කල දෙය ගැන තිබූ පසුතැවිල්ල හා දරුවාට තිබූ ආදරය වන්නට ඇත. 
 Lisa  පරිගණකය
දරුවා ලැබුන පසු Chrisann Brennan විසින් තමන්‍ සතුව තිබූ වත්කමින් හා සුභ සාධක වැඩසටහන් වලින් ලැබූ මුදලින් දරුවා උස්මහත් කරන අතර වසර 7 ක් ඉක්ම ගිය තැන එනම් 1986 දී Lisa හා Steve නැවත හමුවන අතර මෙම පියා තම දුව මුල් වරට නිවාඩුවක් ගත කිරීමට රැගෙන යයි.

Jobs තම දියණිය Lisa සමග
පසුව 90 දශකයේ මුල් භාගයේදී තම පියා සමග ජීවත් වීමට Lisa  ඔහුගේ නිවසට යන අතර දැන් ඇය 33 හැවිරිදි කාන්තාවකි. ඇය, ඇයගේ නැන්දා නැතහොත් තම පියාගේ සහෝදරිය (Mona Simpson) මෙන් වෘත්තියෙන් ලේඛිකාවක් වන අතර යුරොපයේ වාසය කරන බව පැවසේ. ඇය Oprah Magazine, Vogue, Harvard Crimson, The Massachusetts Review ආදී සඟරාවල ලේඛණ කටයුතුවල යෙදේ.
(Mona Simpson (කලින් Mona Jandali), Steve Jobs ට ප්‍රථම වරට මුණගැසුනේ ඔහුට වයස අවුරුදු 27 දී බව කියන අතර ඇය ප්‍රසිද්ධ ලේඛිකාවකි).
Lisa වර්ථමානයේදී


Chrisann Brennan හා Steve Jobs අතර විවාහයක් කිසිදා සිදුනොවූ අතර 1991 දී ඔහු විවාහවන්නේ
Laurene Powell සමගයි. 1989 දී මෙම දෙපල Stanford's graduate business school හිදී මුල්වරට හමුවී කතාබහ කොට දැනඇදුනුම්කම් ඇති කරගන්නා අතර Laurene පෙනසිල්වේනියා‍වේ විශ්වවිද්‍යාල කිහිපයකම උපාධි කිහිපයක්ම ලබාගත් තැනැත්තියකි. මෙ‍ම දෙපලට දරුවන් තිදෙනෙකු ලැබුන අතර Eve, Erin and Reed නම් විය.
Steve Jobs සිය බිරිඳ Laurene Powell සමග
Steve Jobs ගේ පෞද්ගලික අලකංලචි එසේ සිදුවෙද්දී නැවතත් ඔහුගේ වෘත්තීමය දිවියට එබිකම් කරන්නේ නම් 1974 දී නැවත ඉන්දියාවේ සිට සිය රට පැමිණි Steve Jobs, ලෝකයේ මේ දක්වා වේගයෙන්ම දියුණුවූ සමාගම ලෙස සැලකෙන ඇපල් සමාගම ඇරඹීමට මුල්වූ අනෙත් සගයා වන Steve Wozniak ට තමන්ද සාමාජිකත්වය දරන 'Homebrew Computer Club' සාමාජිකත්වය ලබා ගැනීමට ඇරයුම් කරයි. (ඇතැම් මූලාශ්‍රවලට අනුව ඇපල් සමාගමේ පලමුවැන්නා Steve Wozniak ලෙස හදුන්වන අතර එය බොහෝවිට සත්‍යයක්ද විය හැක්කේ Jobs ට වඩා ඉලෙක්ට්‍රොනික දැනුම අතින් Woz ඉදිරියෙන් සිටි බව කියයි. Apple I සහ Apple II පරිගණක නිර්මාණයේදීද එහි පරිපථ නිර්මාණයේදීද මුල්තැන ගත්තේ Woz බව නොරහසකි). 

මෙම Homebrew පරිගණක සමාජය පැවත්වුනේ Stanford Linear Accelerator Center හි වන අතර එකල ඉලෙක්ට්‍රොනික ක්‍ෂෙත්‍රයේ නිරතව සිටි වෘත්තිකයන් හා එයට සම්බන්ද අයවළුන් එකට රැස්වී තම දැනුම බෙදාගත් හෝ එකිනෙකා අතර එම කටයුතු සදහා උදව් උපකාර බෙදාහදාගත් හා තමන් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික නිශ්පාදන අලෙවිකල ස්ථානයක් ලෙසද මෙය හැදින්වේ. Steve Wozniak පසුකලෙක ලියූ සටහනකට අනුව සිලිකන් නිම්නයේ මෙම පරිගණක සමාජ නොතිබෙන්නට ඇපල් පරිගණක බිහිනොවන්නටද ඇතිබව සදහන් කරයි (Without computer clubs there would probably be no Apple computers. Our club in the Silicon Valley, the Homebrew Computer Club, was among the first of its kind.)

Wozniak ගත්විට ඔහු විනෝදකාමී පුද්ගලයෙකු ලෙස පැවසෙන අතර ඔහුට තිබුනේ විනෝදයට
ඉලෙක්ට්‍රොනික නිශ්පාදන බිහිකිරීමේ පිස්සුවයි. එහෙත් Jobs ට තිබුනේ මේවායේ වාණිජමය
වටිනාකමකි. එසේම ඇපල් I පරිගනකය මුලින්ම නිශ්පාදනයේදී එය විනෝදය තකා කරන්නක් පිණිස මිස වාණිජමය අරමුණු කරා නොයන බවට එකඟතාවයක් මුලින් ඔවුන් දෙදෙනා අතර තිබූ බවද පැවසේ (Jobs persuades Wozniak to build a personal computer with him. Woz agrees, although in his eyes on a "hobby, for-fun basis" and not for making money, as he later emphasizes).

මේ Wozniak විසින් ඇපල් පරිගණකය උපත ලැබූ අයුරු හා Steve Jobs ගැන වරක් පැවසූ කරුණු වල සංක්‍ෂිපත්යකි.

"Steve Jobs මා උසස් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ පටන් මිතුරෙක්. අප දෙදෙනාගෙම මිතුරෙක් අපව එකිනෙකා හදුන්වාදුන්නේ අප දෙදෙනා අතරේ පොදු සමානකමක් තිබූ නිසයි. ඒ ඉලෙක්ට්‍රොනික්වලට තිබූ පිස්සුව හා විහිළුවලට අප දෙදෙනාතුලම ඇති ප්‍රියතාවයයි. ඔහු තුල සමාගමක් ආරම්භකරන්න විශාල උනන්දුවක් තිබුනා. ඔහු Atari සමාගමේ වැඩකල අතර එහි ප්‍රධාන පෙලේ පුද්ගලයන්ද ඔහුගේ මිතුරන්වූවා. ඒ අතරින් Nolan Bushnell ප්‍රමුඛම කෙනෙක්. Nolan Bushnell තමයි එම සමාගම ආරම්භකලෙත්. ඒවගේම Nolan Bushnell කියන්නේ Steve Jobs ගේ වීරයා නැතහොත් සිතේ ඇදුන ප්‍රතිමූර්තිය කිව්වත් නිවැරදියි. Steve ට අවශ්‍යවුනා සාර්ථක නිශ්පාදන බිහිකරන්න සහ ඒවා අලෙවි කිරීම ආරම්භකිරීමට මෙන්ම ඒවායෙන් හොද මුදලක් උපයා ගන්න. ඒවගේම ඔහුට හොද නිපැයුම් පිළිබදව අදහසුත් තිබුනා. විශේෂයෙන් නිවසේ භාවිතා කල හැකි අනාගත පුද්ගල පරිගණක පිළිබදව ඔහුගේ සිතේ ඇදී තිබුනා.
Woz විසින් නිපදවූ Blue Box දුරකථන පද්දති 
මුලාකිරීමේ Gadget එක සමග

‍Apple I පරිගණකය නිර්මාණය කිරීම සදහා අප දෙදෙනා අතර හවුලක් අතිකරගත්තා. අපි පළවෙනි අවුරුද්දේ ගොඩක් Apple විකුණුවේ නැහැ. රාත්‍රියේදී අපේ ගරාජයේ අපි ඒවා හැදුවා. අපි මුලින්ම හිතුවේ ඒවායේ පරිපත පුවරු Homebrew Club දී විකුණන්නයි. එයට අපිම සොයාගත්ත චිපයක් දාලා හැදුවා. හොදට වැඩකරා. ඊළගට අපිට $50,000 ක ඇනවුමක් ලැබුනා අපි ඉන්න ප්‍රදේශයේම කඩවලින්. අපිට ඉතින් ඉහේ මලක් පිපුනාවගේ තමයි.

ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි මේ ඇනවුමට හරියන්න පරිගණක සිය ගානක් හදන්න මුදල් හොයාගන‍්නේ කියන එකයි. අඩුම තරමෙන් එකකට ඩොලර් සිය ගාණක් වියදම්කරන්න වේවි. Steve අපි දන්නකියන ඉලෙක්ට්‍රොනික් අමතරකොටස් විකුණන වෙලෙන්දෝ හමුවුනා. ඔවුන් අපිට ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි දෙන්න පොරොන්දුවුනා දවස් තිහක ණය කොන්දේසියක් යටතේ. කොහොමවුනත් අවුල මේකයි ණය ගෙවාගන්න බැරිවුනොත් ඔවුන්ට දෙන්නේ මොකක්ද? අපිට කියල මොනවත්ම තිබුනේ නැහැ. අපේම කියල ගෙයක්. අපේම කියල වාහනයක්වත්. ඒත් ඉතින් Steve කියන්නේ වැඩක් ලේසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. අපි මේ කෑලි ටික ගෙනැල්ලා ඒවා පුවරුවල සවිකර පාස්සල ඒවා ආයෙත් ගරාජයට ගෙනැත් පරීක්‍ෂාකරල බැලුවා. මේක චක්‍රයක් විදියට එක දිගට දවස් දහයක් කරා. සාර්ථකයි. ඔක්කොම වැඩකරා. ඒවගේම විකුණුවා. මේ වැඩේ හරිම සතුටුදෙයක් මොකද අපිට තිබුනේ එකම කළමණාකරන මට්ටමක් විතරයි.
Apple I පරිගණකය නිර්මාණයේදී Wozniak ගේ සටහන්

දැන් ඉතින් අපිට අපේ නම තහවුරු කරගන්න ඕන. පරිගණක සඟරා පටන්ගත්තා. ඒකාලයේ තිබුනු microcomputers වල විස්තර එකතු කරන්න. ඔවුන් ඒවායේ කොච්චර මතකය තිබෙනවද? processor මොකක්ද? කොහොමද ඒක හදල තියෙන්නේ? මිල? Apple I ට හොද පෙනුමක් තිබනා ඒවගේම Apple කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ මුල්ම අකුරින් එන නමක් නිසා පරිගණක නාමයන් ඇති lists වල මුලින්ම ඉන්නත් වාසනාව ලැබුනා.

Apple I එලියට දැම්මට පසසේ අපි උත්සහකලේ තව අළුත් විශේෂාංග එකතු කරන්නයි. අපි හිතුවා වර්ණවත් උස් විභේදනයෙන් යුතු පින්තූර ගැන (color and maybe some high-resolution graphics).මම ඒකට ක්‍රමයක් හොයාගත්තා වඩාත් හොද හා විවිද උපාංග අතර සංකලනයක් අති කිරීමෙන් හා තවත් චිපයන් එකතු කිරීමෙන් ඒක කල හැකි බව. අපි ඒක පරිගණක සමාජයේදිත් පෙන්නුවා වෙන කාටත් බැරිවුනත් අපිට ඉතා සුළු චිපයන් ප්‍රමාණයකින් විශාල දෙයක් කල හැකි පරිපථ නිපදවිය හැකි බව. හැබැයි ඒ කිසිදෙයක් කලේ වෙනත් කිසිදු හේතුවක් නොමැතිවයි.

Apple II පරිගණකය Apple I තවත් වැඩිදියුණු කරල හදපු එකක්. එකේ පළමු එකෙන් භාගයක් තමයි චිප් තිබුනේ. ඒවගේම ඒක හොද නිපැයුමක් කියල කියන්න පුළුවන්. ඒක වේගවත්, ඒවගේම වර්ණවත් පින්තූර, උස් විහේදනය, විවිදාකායේ අකුරු සහ තවත් විශේෂාංගරැසක් එහි තිබුනා.

හැබැයි මේ නිපැයුම් කරද්දී Steve සහ මා අතර වාදයක් තිබුනා ඒ කොච්චර expansion slots ගණනක් පරිගණකයේ අන්තර්ගතවියයුතුද යන්න ගැන.මට අටක් තිබිය යුතුවූ අතර ඔහුට අනුව එහි තිබිය යුතුවූයේ දෙකක්. මම අටක් කිව්වේ මොකද දන්නවද? මම minicomputers සම්බන්දයෙන් වැඩකරල තිබුන නිසා එහිදී ලබපු අත්දැකීම අනුව අමතර කාර්යයන් කරගන්න තව පුවරු සවිකරගන්න අවශ්‍ය වෙන බව දැනසිටියා. හැබැයි Steve ට හිතුනේ මිනිස්සු වැඩිම වුනොත් භාවිතා කරන්නේ ප්‍රින්ටරයයි, මොඩමයයි විතරක් කියල. කොහොමවුනත් මගේ අදහසට ඉඩ ලැබුන නිසා අටක් expansion slots දාන්න හැකි වුනා වගේම Apple II පරිගණක වල සාර්ථකත්වයටත් එය හේතුවක් වුනා.

කොහොමවුනත් ප්‍රමාණවත් අයුරින් Apple II පරිගණක නිශ්පාදනයට මට ඒ වන විට කරමින් සිටි මගේ හොද ආරක්‍ෂිත රස්සාව වුන Hewlett-Packard සමාගමේ රැකියාවට ආයුබොවන් කියන්න සිද්දවෙලා තිබුනේ. මම ඒගැන හිතුවා ඒවගේම මම ඒකට නම් කැමතිවුනේ නැහැ.මට උවමනාවුනේ Homebrew Computer Club එකට ගිහිල්ලා මගේ අදහස් එතනදී බෙදාහදාගන්න සහ අළුත් අළුත් පරිගණක හැදීම ගැන කියන්න විතරයි. මට ඒක නිදහසේ කරන්න විතරයි අවශ්‍යවුනේ. මේ ගැන Steve නම් කනස්සල්ලට පත්වුනා. ඔහු මගේ හිතමිතුරන්ටයි, නෑදෑයන්ටයි දුරකථනයෙන් කතා කරල කිව්වා ඇයි Woz වැරැද්දක් දැන දැනදැනම කරගන්න ය‍න්නේ කියල. අන්තිමේ මේ අතරින් එක්කෙනෙක් මට කතාකරල කිව්වා ඔබලාට සමාගමක් පටන්ගන්න පුළුවන්නේ. ඉතින් ඒකෙම ඉංජිනේරුවෙක් වෙලා හොද පෝසතෙක් වෙන්නත් පුළුවන්නේ කියලා. ඉතින් ඒක මට හොද ධෛර්යයක්වුනා HP සමාගමෙන් ඉවත්වෙන අවධානම් තීරණය ගන්න.

අපි අපේ මුල්ම දැන්වීම් ඒජන්සියට ගිහිල්ල අපේ අරමුණු හා අපේ නිශ්පාදන පිළිබදව හා ඒවා අලෙවිකරන්නට බලාපොරොත්තුවෙන විදිය ඔවුන්ව දැනුවත් කරා. ඒ ඒජන්සිය කිව්වේ මොකක්ද දන්නවද? ඇපල් කියන්නේ විහිළු නමක්නේ! ඒක මේ හොදයි අර ඔයගොල්ලෝ විනෝදයට වගේ මේවා හදපුකාලෙට. මේ නම නම් වෙනස් කරන්න වේවි. ඒ කියන්නේ තාක්‍ෂනයට අදාලවෙන නමක්, එහෙමත් නැත්නම් අංකවලට නෑකම් කියන නමක්, නැත්නම් ගණනය කිරීම්වලට හරි දත්ත සමුදායකට හරියන නමක්. අපි ‍අපේ මතයේම හිටියා. ඇපල් තමයි අපි ඉදිරියටත් භාවිතා කරන නම. ඒකෙන් යහපත්බව, නිවහනේදී අධ්‍යාත්මිකබවක්, පුද්ගලිකබවක් සහ මිත්‍රශීලී බවක් නිරූපනය වෙන බවයි අපේ අදහස වුනේ. මුලින්ම අපි භාවිතා කරේ නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙන සලකුන, මේ ඒජන්සිය අපිට දේදුන්නක වර්ණ ඇති ඇපල් ගෙඩිය ඇති ලාංඡනය නිර්මාණය කර දුන්නා. ඒක Steve ගේ අදහසක්".

Woz එසේ කියද්දී මෙම මිතුරන්‍ දෙදෙනා සිය පළමු පරිගණකය නිපදවීම සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගත්තේ Steve Jobs සතුව තිබූ Volkswagen van ඩොලර් එක්දාස් ගාණකටත්, Woz තමන් සතුව තිබූ HP 65 Programable Calculator ඩොලර් පන්සිය ගණනකට විකිනීමෙන් ලද මුදලින් බව පැවසේ. මේ අතර තව ගැටළුවක් තිබුනි. ඒ ඒවනවිටත් Wozniak, Hewlett-Packard සමාගමේ සේවකයෙක් නිසා ඔහුවිසින් නිපදවන ඉලෙක්ට්‍රොනික උපාංගවල අයිතියද නීතිමය ව‍ශයෙන් එම සමාගමට අයිතිවීමයි. මේ නිසා Wozniak තමන් නිපදවූ අඩුමිල පුද්ගල පරිගණකය මුල්වරට Hewlett-Packard සමාගමට ඉදිරිපත් කලත් එයට ඔවුන්ගේ අවධානයක් යොමුනොවීය. එය ඔවුන් කරගත් ‍ඓතිහාසික වැරැද්දක්වන්නටද ඇත.
HP 65 Programable Calculator

1976 දී Wozniak තමන් සේවය කරමින් සිටි Hewlett-Packard ආයතනයෙන් ඉවත් වන අතර ඊට වසර කට පෙර එනම් 1975 දී ඔහු තෘතීක අධ්‍යාපනය ලබමින් සිටි  Berkeley හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන්ද ඉවත්වීම සිදුවී තිබුනි.

1981 පෙබරවාරියේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණපෑමට Wozniak ට සිදුවිය. ඒ ඔහුගේ Beechcraft Bonanza single engine aircraft යානය California ගුවන් තොටුපලකදී අනතුරකට ලක්වීමයි. නියමිත ධාවනයට කලින් ඉහල එසවීමට යාමේදී මේ අනතුර සිදුවූ අතර මෙයින් Woz බරපතල ලෙස තුවාල ලැබූ අතර ඔහුගේ මුහුනේ සිදුවූ තුවාල වලට අමතරව මතකය අහිමිවීමේ තත්වයකටද මුහුණ පෑවේය. මේ තත්වය සති පහක් තිස්සේ තිබූ බව කියන අතර තමන්ට සිදුවූ අනතුර පිළිබදවත් ඔහුට මතකයක් නොවීය.  ඔහුට සියල්ල අපැහැදිලි පටලයකින් වැසී තිබුනාක් මෙන් හැගුන අතර සියළුම දින සති අන්තයේ දිනබවට ඔහු සිතා සේවා ස්ථානයට වාර්තාකිරීමෙන්ද තොරව සිට ඇත. කෙසේවෙතත් ඔහු ඉක්මනින් නැවත ඇපල් සමාගමේ රැකියාවට නොපැමිණි අතර Candice Clark සමග විවාහ වීමද මේ අවධියේ සිදුවිය. විවාහයෙන් පසු නැවත Berkeley වෙත පැමිණියේ ඔහු වෙනත් නමකිනි. ඒ "Rocky Raccoon Clark" යන නමෙන් වූ අතර මෙහි Rocky යන්න ඔහුගේ සුරතල් බල්ලාගේ නමවූ අතර Clark යන නම තව බිරිඳගේ මුල් නම විය.ඔහු නැවතත් මෙම නමින් තමන් අත්හැරදමා තිබූ උපාධිය ලබා ගැනීමට සරසවියට යන අතර 1986 දී ඔහු එය ලබා ගන්නා ලදි.

1983 දී Woz නැවත ඇපල් සමාගමේ සේවයට පැමිනියත් තව දුරටත් එහි ඉංජිනේරුවෙකු හෝ ක්‍රියාකාරීම සාමාජිකයෙකු වීමට අපේක්‍ෂා නොකරයි. 1987 පෙබරවාරි 6 වෙනිදා ඇපල් සමාගමේ පූර්ණකාලීන සේවයෙන් ඉවත්වන අතර එහෙත් තවදුරටත් කුඩා දීමනාවක් ලබාගන්නා සේවකයෙකු බවට පත්වේ. එසේම ඔහු එහි කොටස් හිමි අයෙකුද වේ. ("I never left. I keep a tiny residual salary to this day because that's where my loyalty should be forever. I want to be an "employee" on the company database. I won't engineer, I'd rather be basically retired due to my family." )

Woz ඉන්පසු නිහඬ චරිතයක් බවට පත්වන අතර ඔහුදැන් California පාසලක කුඩා දරුවන්ට පරිගණක ගැන උගන්වයි. එසේම ඔහු ‍ඉලෙක්ට්‍රොනික හො පරිගනක තාක්‍ෂනික ‍ක්‍ෂෙත්‍රයන් පිළිබදව උනන්දුව ඇති තරුණ පරපුරටද උදව් උපකාර කරන බව සදහන්ය.
Wozniak වර්ථමානයේදී
කෙසේවෙතත් ඇපල් හදන්නටත් පෙර Steve Jobs විසින් Wozniak ව වරක් රැවටූ බවද කියයි. ඒ එසේමෙසේ රැවටීමක් නොවේ. ඒ අවධියේ Jobs, Atari සමාගමේ සේවය කරමින් සිටි අතර Jobs ට එම සමාගම වෙනුවෙන් Breakout නම් විඩියෝ ක්‍රීඩාවක් සදහා පරිපථ නිර්මාණය පැවරී තිබුනි. කෙසේවෙතත් මෙහි අභියෝගය වූයේ අඩුම චිප්ස් සංඛ්‍යාවකින් නිර්මාණය කල යුතුවීම වූ අතර Jobs ට  ඒ සදහා අදහසක් නොවූයෙන් තමන්ට වඩා ඉලෙක්ට්‍රොනික් හරඹයේ දක්‍ෂයෙකුවූ Wozniak  ඇරයුම් කලේ මේ කාර්යය ඉටුකරොත් තම වැටුපෙන් අර්ධයක් ඔහුට දෙන බවටයි. Wozniak  අභියෝගය භාරගත් අතර ඒ සදහා ඔහුට කිසිදු තාක්‍ෂනික දළ සටහනක් නොමැතිවූවත් ක්‍රීඩාව සිදුවන ආකාරය තේරුම් ගැනීමෙන් පමණක් ඔහුට මෙම පරිපථය Jobs ගේ මුල් සැලැස්මෙන් අර්ධ චිප්ස් ගණනකින් නිර්මාණය කල හැකිවිය. පොරොන්දුවේ පරිදි Wozniak  ට වැටුපෙන් අර්ධයක් ලැබුනි. ඒ Jobs ඒ වනවිට ලැබූ $750 න් අර්ධයක් වූ $375 කි. හැබැයි අපූරු කරුන වන්නේ මේ ගැන සතුටට පත් Atari සමාගම තවත $5,000 ක් බෝනස් එකක් ලෙස Jobs ට ලබාදීමයි. එහෙත් මෙම මුදල Jobs රහසක් ලෙස තබා ගත්තේය. කෙසේවෙතත් Steve Wozniak ගේ නිර්මාණය එලිදැක්වීමට  Atari සමාගමට නොහැකිවන්නේ එය ඔවුන්ට නිර්මාණය කිරීමේදී කුඩාවීම හා සංකීර්ණ වීම යන ගැටළු හේතුවෙනි. 

Woz ඇපල් සමාගමෙන් ඉවත්වුවද ඔහු හා Jobs අතර පැවති සබදතාවය දිගටම Jobs ගේ මරණය තෙක්ම පැවතිබව පැවසේ. එහෙත් Woz ක් වරක් පවසා ඇත්තේ තමන් හා Jobs අතර සමීප සබදතාවයක් කවදාවත් නොතිබූබවයි.

මේ ලිපි පෙල ඉවර නැහැ. ඊලඟ එකේදී අනින් තොරතුරු....

Friday, October 21, 2011

Steve Jobs ගැන ගැඹුරින්... 3

මෙම ලිපිය කලින් ලියූ ලිපිවලටද සම්බන්ධයි. මෙන්න ඒ ලිපි
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව

මෙම ලිපි පෙලේ කතා නායකයා වන Steve Jobs ගේ උපත හා ඉන් ඔහු තම ජීව විද්‍යාත්මක මව්පියන් විසින් වෙනත් පවුලකට ඔහුව හදාගැනීමට දුන් බව ඔබ පළමු ලිපියේ දකින්නට ඇති. කෙසේවෙතත් එම ලිපියේ මා අතින්ද පොදු වැරැද්දක් සිදුවුනි. ඒ මෙම මාතෘකාව ගැන බොහෝ ලිපිවල තිබෙන්නාක් මෙන් එකවරම Steve Jobs ඇපල් පරිගණක හැදීම ගැන කියන්නට යාමයි. ඉතින් ඒ වැරැද්දද නිවැරදි කර ගනිමින් මෙම අග්‍රගණ්‍ය තාක්‍ෂනික නිර්මාණකරුවා පිළිබදව තවත් දේ මධ්‍යස්ථව කතාකිරීම තමයි මෙම ලිපියේ බලාපොරොත්තුව.

Jobs පවුල තුල ඇති දැඩිවන Steve තම අධ්‍යාපනය ලැබීම සදහා Cupertino කණිෂ්ඨ පාසලට හා ඉන්පසුව  Homestead උසස් විද්‍යාලයට ඇතුළුවේ. ඉන් අනතුරුව  1972 දී ඔරිගන්හි පිහිටි Reed College විද්‍යාලයට ඇතුළුවන්නේ උපාධියක් ලබාගැනීම සදහායි. කෙසේවෙතත් මිනිසෙකුගේ සාර්ථකත්වයට උපාධියක් අත්‍යාවශ්‍යමද කියන පැනය? තහවරුකරමින් එක් සෙමෙස්ටරයකට පසු මෙම උපාධි සිහිනය අත්හැර එම වැඩසටහනින් නික්මීමට Steve තීරණය කරයි. කෙසේවෙතත් උපාධියක් ලබානොගත්තත් එහි පංතිවලට සහභාගී වන ඔහු එහිදී ඉගැන්වූ අත් අකුරු කලාව පිළිබද දේශන වලට හිත ඇදී යන අතර එහිදී එම කලාව ප්‍රගුණකිරීම පසුකාලීනව ඇපල් පරිගණකවල ඉතා දර්ශනීය ලෙස  අකුරු යොදාගැනීම සදහාද ඉවහල් වූ බව ඔහු පසුකාලීනව ප්‍රකාශ කලේය. ‍

මෙම කාලයේ ඔහු ඉතා දුෂ්කර දිවියක් ගෙවූ බවද ඔහු සදහන් කරන අතර ඒ අවධියේ නිදාගත්තේ මිතුරෙකුගේ කාම‍රයේ බිම බවත්, ආහාර සදහා මුදල් සොයාගත්තේ කොකාකෝලා බෝතල් එකතුකරදී ලබා ගත් මුදලින් බවද 2009 දී Stanford විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහු පැවත්වූ තිත් යා කිරීම, ආදරය හා අහිමිවීම සහ මරණය තුන්වැදෑරුම් දේශනයේදී සදහන් කරයි. තවද සතියකට වරක් නොමිලේ ආහාර ලබාදුන් හරේ ක්‍රිෂ්ණා දෙවොලටද ගිය බව ඔහු සදහන් කිරීමට අමතක නොකරයි. (මෙම කතාවේ සම්පූර්ණ විස්තරයක් සිංහල බ්ලොග් සටහනක් වන 
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts) හිදී දක්නට ලැබේ).

Homestead High School ඉගනුම ලබන කාලයේදී ඔහුගේ ප්‍රියතම පංතියක් වූයේ ඉලෙක්ට්‍රොනික් පංතියයි. මෙම පංතිය පැවැත්වූ ගුරුතුමාවූ McCollum මහතා හරහා Hewlett- Packard සමාගමේ නිර්මාතෘවරයෙකු වන Bill Hewlett හදුනාගන්නට ලැබෙන අතර පසුව ඔහුට එහි මැයි සිට සැප්තැම්බර් දක්වා තාවකාලිකව සේවයේ යෙදිය හැකි Summer employee කෙනෙක් වීමේ හැකියාවද ලැබේ. 


මේ කාලයේ ඔහුගේ තවත් මිතුරෙකුවන්නේ අසල්වැසි නිවසක සිටි Bill Fernandez. ඔහුද Steve Jobs මෙන්ම ඉලෙක්ට්‍රොනික් පිස්සෙකු වූ අතර ඔහු තවත් මෙවැනිම ඉලෙක්ට්‍රොනික් ඇබ්බැහිකාරයෙකුවූ ඔවුන්ට වඩා ටිකක් වයසින් වැඩි Stephen Wozniak හෙවත් Woz, Steve Jobs ට හදුන්වාදෙයි. මේ බන්ධුතාවයන් ඇතිවූයේ 1969 දී වන අතර එවිට Steve Jobs ට වයස අවුරුදු 14 ක් ගැ‍ටයෙක් වූ අතර Stephen Wozniak හෙවත් Woz වයස 19 ක තරුණවියේ එළපත්තේ සිටියෙකුවිය. මෙම Woz ද ඒ කාලයේ Hewlett- Packard සමාගමේ Summer employee කෙනෙක් ලෙස සේවය කල අතර මහු හා ඔහුව Steve Jobs ට හදුන්වාදුන් Bill Fernandez හා එක්ව පරිගණක පරිපථයකට සමාන මූලික මට්ටමේ පරිපථයක් ගොඩනැගීය. එයට ඔවුන් දෙදෙනා “the Cream Soda Computer” නම තබා Steve Jobs ටද පෙන්වන ලදි. එය Steve Jobs ගේද සිත්ඇදගත් දෙයක් විය.
(කෙසේවෙතත් මෙම Steve-Woz මිතුරු හවුල ඇතිවූ කාලය පිළිබදව විවිද මූලාශ්‍රවල විවිද තොරතුරු ඇති අතර ඇතමක එය 1969දීද, තවකෙක 1970 දීද, තවත් සමහරෙක 1972 දී Hewlett- Packard සමාගමේදී සිදුවූ බවක්ද කියවේ).
Jobs සහ Woz

අද කාලයේ පරිගණක හැකර්කරුවන් සිටිනවාසේම පරිගණකය එතරම් මිතුරු මෙවලමක් නොවූ ඒ අවධියේ ඉලෙක්ට්‍රොනික් ශිල්පයේ වැඩපෙන්වූ ඉලෙක්ට්‍රොනික් හැකර්කරුවන්ද විය. Woz ද ඒකාලයේ එවැනි  ඉලෙක්ට්‍රොනික් හැකර්කරුවෙකි. Steve-Woz එක්ව 1972 දී පොඩි ජල්තරස්වැඩක්ද කලේය. ඒ “blue boxes” නම් ඉලෙක්ට්‍රොනික් මෙවලමක් තනා එමගින් විදුලි සංදේශ ව්‍යාපාරයේ කැපීපෙනෙන ස්ථානයක් හිමිකරගෙන සිට AT&T සංනිවේදන පද්දතිය මුලාකිරීමේ වැඩපිළිවලයි. මෙමගින් නොමිලේ දුරකථන ඇමතුම් ගැනීමේ හොර වැඩක් සිදුකල හැකිවූ අතර එම උපකරණය විශ්වවිද්‍යාල සිසුන්ට අලෙවිකරන ලදි. මෙය තැනුවේ Woz බව කියන අතර එය මුදලට අලෙවි කිරීමේ සංකල්පය ඉදිරිපත්කලේ අපගේ කතානායක Jobs විසින් බව පැවසේ. ඉතින් ඔවුන් දෙදෙනා එය තමන් දන්නා ශිෂ්‍යයන්ට පෞද්ගලිකව හමුවී අලෙවි කර තිබෙන අතර පසුව එය අවසන්ව ඇත්තේ ඔවුන් දෙදෙනාව පොලීසියට හසුවෙන්නට ගොස් අනූනවයෙන් බේරුන පසු බවද කියයි.
The blue box built by Steve Wozniak, on display
at the Computer History Museum, gift of Rick Prelinger
මෙම Reed විද්‍යාලයේ සිටි කාලවකවානුවේදීම Steve ගේ සිත පෙරදිග ආගම් දර්ශණයන්කරා ඇදී යාම සිදුවූ බව කියයි. බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ ඔහු සතිපතා හරේ ක්‍රිෂ්ණා දෙවොලට යාමද විය හැකිය. එසේම 60 දශකයේ ඇරඹි හිපි ව්‍යාපාරය ලෝකය පුරා ව්‍යාප්තවී තිබූ ඒ අවධියේ Steve ඒ අන්තයටද නැඹුරුවක් විය. එසේම ඔහු‍ගේ ඒ අවධියේ හොදම මිතුරා වූ එම උසස් විද්‍යාලයේ ඉගැනුම ලැබූ Dan Kottke  ටද තිබුනේ Steve ටම සමාන දර්ශනයකි. ඉතින් ඔවුන් දෙදෙනා අතර මෙම අදහස් හුවමාරුවද මේ රැල්ලට Steve ද එක්වීමට හේතුවන්නට ඇත. එසේම Steve Jobs ඒ අවධියේ ලෝකයේ සුප්‍රකටව පැවති Beatles සංගීත ලෝලියෙකුවූ අතර එම සංගීත කණ්ඩායමද මෙම ලෝකයේ හිපි සංස්කෘතිය හා බද්ධවී පැවතුනක් නිසා එයද මෙම තත්වයට හේතුවන්නට ඇත. මෙම සංකල්පයන් රැගත් විකාර පොත්පත් කියවීමද ඔහුගේ පුරුදු අතර‍ට මේ කාලයේ එක්වී තිබින. ( Dan Kottke පසුව ඇපල් සමාගමේ සේවය කලේය).

මුදල් අමාරුකම් තවදුරටත් Steve Jobs ට දැනෙන්නට විය. ඔහු Atari සමාගමේ සේවයට එක්විය. මෙම Atari සමාගම ලෝකයේ පළමු විඩියෝ ක්‍රීඩාව නිපදවූ සමාගමදවේ. මෙම කාලය වන විට Steve ගේ පෙරදිග චින්තනය මෙන්ම හිපි සංස්කෘතිය තුල වූ පරිසරයට හිතකාමීත්වය හා ද්‍රව්‍ය පරිභෝජනය අඩුවෙන් සිදුකිරීම වැනි සංකල්පයන් නිසා එහි කොටස්කරුවෙකු වූ Steve ද බොහෝවිට ආහාරයට ගත්තේ පළතුරුයි. නැත්නම් නිරාහාරව සිටින්නට ඔහු පුරුදුවිය (වසර 10 කට පසු ඔහු බහුමිලියනපතියෙකු වු පසුවද මෙම පුරුද්ද තිබූ බව කියයි).

එසේම ස්නානය හා ජලයෙන් පිරිසිදුවීමද ඔහු අඩුවෙන්ම කරන ලද්දකි. ඉතින් ඉන්පසු අහලපහල සිටින්නන් පත්වන අපහසුව විස්තරකල යුතු නැහැනේද? ඉතින් මෙම තත්වය නිසා Steve, වැඩිදෙනෙක් නොසිටින රෑ වැඩමුරයට යෙදවීමට ඔහුසේවය කල අංශයේ ප්‍රධානියා වගබලාගන්නා ලදි. කෙසේවෙතත් තමන්ගේ සරල ජීවිතය පවත්වාගෙන අතරතුරදීම Atari සමාගමේ නිර්මාතෘ Nolan Bushnell විසින් තමන්ගේ සමාගම නිපදවන ලද  pinball ක්‍රීඩායන්ත්‍රය නිසා ගොඩක් මුදල් උපයන ආකාරය Steve ගේ සිත ආකර්ශනය කරන ලද්දක් විය. ඒ නිසා මෙම Nolan Bushnell, Steve ගේ පරමාදර්ශී චරිතයක්ද වූ අතර වසර කිහිපයකට පසු ඇපල් සමාගම ආරම්භකිරීමට හේතුපාදකවූ කරුණු අතරට මෙයද එක්විය.

Atari සමාගමේ සිටින අතරතුරේදී තමන්ට ඉන්දියාවට චාරිකාවක් ‍ගොස් ඒමට ප්‍රතිපාදන ලබාදෙන මෙන් තම ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය. ඉන්දියාවට කෙසේවෙතත් ජර්මනියට යාමට සමාගමෙන් ඔහුට මුදල් ලැබුන අතර ඒ එහි තිබූ සමාගම විසින් අලෙවිකල යන්ත්‍ර කිහිපයක් අළුත්වැඩියාව පිණිසයි. ජර්මනියේදී මේ කාර්යය කරන අතරතුරදී ඔහුගේ හිපි මිතුරා වන Reed විද්‍යාලයේ Dan Kottke ද Steve හමුවීමට ජර්මනියට පැමිනෙන අතර ඔවුන් දෙදෙනා පෙරදිග දර්ශනයේ විමුක්තිය සොයා ඉන්දියාමට පියාසර කරයි. ඔවුන් දෙදෙ‍නා මහත්වූ විශ්වාසයෙන් යුක්තය එවකට භාරතයේ Kainchi Ashram හි සිටි සුප්‍රසිද්ධ ගුරු Kairolie Baba හමුව තමන් පැමිණි කාරණය සාක්‍ෂාත් කරගනුවස් ඔහු හමුවී බලාපොරොත්තුවූවත් ඔවුන්ගේ සිත් කලකිරීමට ලක්වේ. ඒ මෙම සන්නාසි ගුරාද ඔවුන් බලාපොරොත්තුවූ විමුක්තිය ලබාදෙන්නෙකු නොව තවත් බො‍රුකාරයෙකු බව වටහාගත් හෙයිනි.

අපේක්‍ෂාභංගත්වයෙන් නැවත සිය රට පැමිනෙන Steve තවදුරටත් Atari ම සේවය කරනු ලබන අතර primal scream therapy චිකිත්සාව සදහා ඔහු Los Altos හි පිහිටි Zen ආශ්‍රමය කරා යයි. මෙහිදී Kobun Chino Otogawa, Zen ගුරුතුමාද හමුවන අතර බොහෝවිට Steve Jobs විසින් Zen බුදුදහම වැලද ගන්නට ඇත්තේ මෙහිදී විය යුතුය. එහෙත් ඇතැම් මූලාශ්‍ර වල පවසන්නේ Steve Jobs ඉන්දියාවේ සිට නැවත පැමිනෙන විට බෞද්ධ දර්ශනය වැලඳගෙන තිබූ බවත්, ඔහු හිස මුඩු‍කොට, සාම්ප්‍රධායික ඉන්දියානු පූජක ඇදුමෙන් සැරසී, පෙරදිග අධ්‍යාත්මික හරයන්ගෙන් සිය ආධ්‍යාත්මය පෝශනය කර ගෙන පැමිණි බවට බොහොම ලස්සන වාක්‍යවලින් සරසා තිබේ. එසේම මෙම දර්ශනයන්ගෙන් ලද පන්නරය නිසා ඔහු තුල සැහැල්ලු බව, සරල බව දකින්නට ලැබුන බවද කියයි. තවද ආයතනය තුලදී ඔහුගේ ඇදුම වූ නිල්පැහැ ජීන්ස් කලිසමද, පයට පාවහන් නොමැතිව එහි ඇවිද්ද බවද, ඔහුගේ සමාගමේ නිශ්පාදන වලද එම සරල බව තිබූ බව පුන පුනා පසුගිය දිනවල පලවූ වෙබ් ලිපි හා පුවත්පත් මෙන්ම සඟරා ලිපි වලද දැක්විනි. මේවා සියල්ලකින් පුද්ගලයෙකුගේ ඇතුලාන්තය මැනිය හැකිද?

කෙසේවෙතත් බහුතරයක‍ගේ නම් අදහස Steve Jobs, සිලිකන් නිම්නයේ සිටි සැරපරුෂම පරිපාල‍කයෙක්  බවයි. ඔහු මියගිය පුවතද සමග අපේ රටේ  බහුතරයක් ඇපල් පරිගණක භාවිතා කරනවා තබා දැකවත් නොමැති තත්වයකදී Steve Jobs ගැන කතා කරන්නටද ‍එක් හේතුවක් වූයේ ඔහුගේ පරිගණක ලෝකයට හෝ තාක්‍ෂනික ප්‍රගතියට ‍ඔහු ලබා දුන් දායකත්වය කෙසේවෙතත් ඔහු බෞද්ධයෙකුවීමයි. මෙය ඒ දිනවල පලවූ සෑම ලිපියකම කැපී පෙනෙන ලෙස සටහන් කර තිබූ අතර ඒ සමගම ඔහුද "අපෙන් එකෙකි වෙයි ඒ මිනිසා" බවට පත්වුනේය. දැන් මෙලොවින් සමුගෙන ඇති මේ අග්‍රගණ්‍ය මිනිසාට අගෞරවයක් කිරීමට මේ දේ නොලිව්වත්, බෞද්ධයෙකු සතුවිය යුතු ත්‍යාගශීලීබව, නිහතමානීකම, අන්‍යයන්ට ගරුකිරීම ඔහුතුල තිබුනේදැයි කිසිදු ලිපියක හරිහැටි නොතිබුනි. සෑම විටකම ඔහුගේ මඟපෙන්වීම යටතේ ඔහුගේ සමාගම විසින් නිශ්පාදනය කල උපාංග මිලෙන් අධික වූ අතර මිනිසුන් ගැන අනුකම්පාවෙන් ඒවා අඩුමිලට හෝ නොමිලේ ප්‍රධානය කල බවක් නම් කිසිදා අසා නැත. ඔහු හොද පරිපාලකයෙකි. එහෙත් හොද පරිපාලකයෙකු යනු බෝසත්ගුණ ඇත්තෙකු නොවන බවට සාක්‍ෂි ඕනෑතරම් ඇති අතර ඔවුන් බහුතරයක්ම (සමහරවිට සෑමකෙනෙක්ම වුවද විය හැක) තම ඉලක්ක ඉටුකරගැනීම විනා අනෙකා ගැන සිතන බවක් ප්‍රායෝගිකව දැක නොමැත. ලෝකයේ කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවේ. ඒ කොහොමවුනත් අප කතානායකයාගේ මෙවැනි ගතිපැවතුම් ගැන ඉදිරියේදී කතා කිරීමට තබා නැවතත් සුපුරුදු මාවතට පිවිසෙමු.

හිපි ජීවිතයත්, පෙරදිග දර්ශනයත්, සෙන් බෞද්ධ දර්ශනයත් අතර ලොවක සිටි Steve Jobs‍ ට පෙම්වතියක්ද සිටියේය. ඇය නමින් Chrisann Brennan විය. මෙම ‍ජෝඩුව හා තම හිපි මිතුරා වන  Dan Kottke සමග ඔරිගන් හි තිබූ හිපි සමූහ එකතුවටද සහභාගීවූයේය. එහිදී මෙම පිරිස ඇපල් වැවූ අතර නිරාහාර ප්‍රතිපත්තියේ නොසිටින අවස්ථාවක Steve Jobs‍ ද ඇපල් අනුභව කලේය.

1976 දී තමන් අරඹන සමාගමට ඇපල් යන නම තැබීමට එක් හේතුවක් වූයේද මෙම ඇපල් වැවීමයි. එසේම තමන් ඉතාමත් ප්‍රියකල සංගීත කණ්ඩායම වන Beatles කණ්ඩායම සිය තැටි නිකුත්කලේද ඇපල් යන නාමය යටතේයි (Apple Corps Ltd./ Apple Records). එයද Steve ගේ සිත්ගත් දෙයක් විය. මේ අදහස්ද සිතේ ඇතිතබාගෙන තම නව සමාගමේ නම ලෙස Apple නාමය Steve විසින් Woz ට පවසන ලදි. කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම මෙම නම නිසා Apple Records විසින් නඩුමගට ඉක්මනින්ම හෝ පසුව තමන් හා එළඹෙන බව තේරුනත් වෙන කිසිම නමක් ඒ මොහොතේ සිතට නොආ නිසා ඔවුන් විසින් සිය සමාගමට Apple, Inc. යන නම තබන ලදි. කෙසේවෙතත් ඒ කාලය වන විට ඇපල් පරිගණක සමාගමට වඩා Beatles Apple Corp. හි බලවත්බාවයද වැඩිනිසා තමන් ලොකු අමාරුවක වැටෙනබව මේ මිතුරන් දෙදෙනාට හොදින්ම වැ‍ටහී තිබුනි. ඇපල් සමාගම අරඹා වසර 4 ක් ඉක්මගිය තැන එනම් 1981 දී Apple Computer සහ Apple Corps. යන ආයතන දෙක අතර ගිවිසුමක් අත්සන් තැබෙන අතර එමගින් ඇපල් පරිගණක ආයතනයට ඇපල් නාමය භාවිතා කිරීමේ හැකියාව ඇතත් එය කිසිදුවිටක සංගීතමය කාර්යයක් සදහා යොදානොගෙන සිටීම කොන්දේසිය වේ. කොහොමවුනත් තිරයෙන් පිටුපසදී ‍ඇපල් පරිගණක සමාගම මේ වෙනුවෙන් හොර රහසේ $80,000 ක් බීට්ල්ස්ගේ ඇපල් සමාගමට දුන් බවද කියයි.
ඇපල් සංගීත සමාගමේ සලකුන
එහෙත් වැඩිකාලයක් මේ දෙගොල්ලා අතර සාමය පැවතුනේ නැත. 1989 දී Apple Corps.  විසින් Apple Computer  ට එරෙහිව නඩු පවරන්නේ ඇපල් ලාංඡනය ගිවිසුමට එකඟනොවන පරිදි භාවිතා කරන්නේය යන චෝදනාව මතයි. එහිදී පරිගණක වලට අමතරම ඇපල් සමාගමේ සංයුක්ත තැටි වලද ඇපල් ලාංඡනය භාවතා කරන බවත් සංයුක්ත තැටි වල ගීතද අඩංගු කල හැකි නිසා එය තමන්ට වන අගතියක් බව ඔවුන් ප්‍රකාශකරයි. 1991 දක්වා මෙම නඩුවද ඇදී යන අතර එය සමතයකට පත්වුනේ ඇපල් පරිගණක සමාගම විසින් ඇපල් තැටි සමාගමට $ මිලියන 26.5 කටත් වඩා ගෙවූ පසුද පැවසේ.

මේ අය අතර සාමය නැවත බිදවැටුනේ 2003 වසරේදීය. ඒ කතෘ අයිතියක් ඇපල් පරිගණක ආයතනය විසින් කඩකිරීමකට එරෙහිවයි.  ඒ ඇපල් පරිගණක විසින් iTunes Music Store සහ iPod යන නිපැයුම් ඔස්සේ ගීත ‍නීතිවිරෝධී ලෙස බෙදාහරින බවට චෝදනාවද එල්ල කරමිනුයි. කෙසේවෙතත් මේ නඩුවෙන් නම් Apple Corps. පරාජය වූ අතර ජය අප කතා නායකයාගේ ඇපල් පරිගණක වෙත හිමි‍විය. 2007 දී මේ සමාගම් දෙක නැවතත් උසාවියේදී හමුවූ අතර එහිදීද Apple Corps. විසින් චෝදනාකලේ ඇපල් පරිගණක සිය "Granny Smith" ‍ලාංඡනයට සමාන ලාංඡනයක්ද, ඔවුන්ගේ පරිගණක නිශ්පාදනවලට යොදාගන්නා නිසා, ඇපල් සලකුන භාවිතා කිරීම තමන්ට පමණක් ඉඩලබාදෙන ලෙසයි. කෙසේවෙතත් නඩුව ‍අවසන්වූයේ දෙගොල්ලන්ටම නඩු ගාස්තු ගෙවන ලෙස දන්වමින් වූ අතර එහිදී සමාගම් දෙකටම ඇපල් සලකුන තවදුරටත් භාවිතා කිරීමට අවසරය ලැබුනද එයට පැනවූ කොන්දේසි රහසක් විය.

බාගෙට කෑ ඇපල් ගෙඩිය ඇපල් පරිගණක වල ලාංඡනය වූයේ ඇයි? මෙය මීට පෙර ලිපිවලදී ඔබලා අසා තිබුනි. එම ඇපල් ගෙඩිය දැමුවේ තවත් විද්‍යාඥයෙකුට ගරුකිරීමක් ලෙස කිව්වොත් ඔබ සමහර විට විශ්මයට පත‍්වේවි. Alan Turing ඒ තමයි ලෝකයේ ප්‍රථම වරට පරිගණක තාර්කික ක්‍රියාකාරීත්වය ගැන කතාකල විද්‍යාඥයා. බ්‍රිතාන්‍ය ජාතිකයෙකුවූ මොහු ඒ අවධියේ සිටි ප්‍රමුඛපෙලේ පරිගණක විශේෂඥයෙකු ලෙසද පැවසෙනවා. සමරිසියෙකු (homosexual)වූ මොහු 1952 දී සිරභාරයට පත්වන්නේ එකල මේ සමරිසි හැසිරීම් බ්‍රිතාන්‍යයේ නීතිවිරෝධී වු නිසයි. එසේම ඔහු සිරභාරයේ සිටියදී පවා ස්ත්‍රී හෝමෝන එන්නත්කරගත් බවද පැවසෙනවා. කෙසේවෙතත් මේ විද්‍යාඥයා 1954 දී මිය යන්නේ තමන්ට වයස 42 ක් වීමට තවත් සතිදෙකක් තිබියදීයි. මෙය සියදිවි හානිකරගැනීමක් ලෙස මරණ සහතිකයේ සටහන්වූවත් ඇතෙමෙක් පවසන්නේ මෙය හදීසි අනතුරක් බවයි. ඔහුමිය යාමට හේතුව වූයේ සුරංඟනා කතාවක් වන "Snow White" මෙන් විශ අඩංගු ඇපල් ගෙඩියක් කෑමෙනුයි. එනම් සයන‍යිඩ් එන්නත් කරන ලද ඇපල් ගෙඩියක් අනුභවයෙනුයි. මෙම විශ අඩංගු ඇපල් ගෙඩිය බා‍ගෙට කන අතරෙදීම ඔහු මිය ගොස් ඇති අතර එම ඇපල් ගෙඩිය ඔහු මිය ගොස් සිටි ස්ථානයේ වැඩී තිබී තිබෙනවා ඒ ඇපල් ගෙඩිය තමයි පසු කලෙක මම/ඔබ දුටු ඇපල් පරිගණකයේ බාගෙට කෑ ඇපල් ලාංඡනය වූයේ.
Alan Mathison Turing
හැබැයි ඔවුන්ගේ මුල්ම ‍සලකුන වූයේ මෙම ඇපල් ගෙඩිය නොව එනම් 1976 සිට 1977 දක්වා ‍සලකුන වූයේ Ronald Wayne විසින් අදින ලද අයිසැක් නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩිය කඩා වැටෙන පින්තූරයයි (“Newton… A Mind Forever Voyaging Through Strange Seas of Thought … Alone.”).

පසුව එයට වඩා මෘදුබාවය ඇතිකරනුවස් වර්ණවත් තීරුවලින් යුතු බාගෙට කෑ ඇපල් ගෙඩිය වූ අතර එය 1977 සිට 1998 දක්වා භාවිතා වුනි. මෙම ලාංඡනය “bite” නම් වූ අතර පරිගණක දත්ත ඒකක මැනෙන bite/byte සමග එය පෑහෙන නිසා එය වඩාත් සුදුසු නාමයක් ලෙස ඔවුන් සැලකූහ.

1998 දී නව සලකුනක් ඇතිවූ අතර එය පැරණි බාගෙට කෑ ඇපල් ගෙඩිය වූවත් එය වර්ණවත් නොවී තනි කළු වර්ණයෙන් පමනක් යුක්තවිය.

2003 දී නැවතත් සලකුන වෙනස් කරනු ලැබූ අතර එය පැරණි සලකුනම වීදුරුවලින් තැනූ ලෙස නවීකරණයවිය.

තවද 2001 සිට 2003 කෙටිකලක් නිල්පැහැ Aqua ලෝගෝවක්ද භාවිතා කර තිබේ.

තව කතාකරන්නට බොහෝදේ ඇත. ඒවා තවත් විස්තර සමග ඉදිරි ලිපියේදී හමුවෙමු...

Tuesday, October 18, 2011

ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2

මීට පෙර ලියූ හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව ලිපියට සම්බන්ධයි -

1984 දී පරිපාලනමය ගැටළු හා Steve Jobs ගේ වෙනත් හිතුවක්කාරී ක්‍රියා නිසා ඔහුට Apple ආයතනයනයෙන් සමුගන්නට සිදුවන විට එහි සභාපති තනතුරට අමතරව SuperMicro division හි ප්‍රධානියා වූයේත් Steve Jobs. ඔහු ඉවත්වනවාත් සමග ඔහු සමග තවත් එම අංශයේ තවත් සඟයන් කිහිපදෙනෙකුද ඉවත්වන අතර ඔවුන් සමග එක්ව Steve Jobs, NeXT, Inc (පසුව Next Computer, Inc) නම් පරිගණක ආයතනය පිහිටුවනු ලබයි කෙසේවෙතත් ඇපල් ආයතනයෙන් සමුගන්නා අවස්ථාවේ ඔහු මෙම නව ආයතනය අරඹන බව පවසන අතර එය ඇපල් හා තරඟකිරීමට බලාපොරොත්තුනොවන බවද ඔහු අවධාරනය කරයි.

ඔවුන් NeXT ආයතනය පිහිටුවද එය ඔවුන්ගේ මුල් සමාගම වන ඇපල්ට අභියෝගකිරීම ඉතාමත් අපහසු කාර්යයක්විය මන්ද ඒ වන විට ඇපල් සතු වත්කම US$ බිලියන 2 ක් පමණ වූ අතර එහි සේවක සංඛ්‍යාව 4300 ද ඉක්මවීය. එහෙත් Steve Jobs ගේ ව්‍යාපාරික දැක්ම මත ඔවුන්ට සෑහෙන්න දුරක් යාමට හැකිවිය. ඔහු ඇපල් ආයතනය හැරයන විට ඇපල් විසින් ඒ වන විට තනා තිබූ Macintosh පරිගණකය විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රචලිත් කරනුවස් එය වට්ටම් සහිතවම අලෙවිකිරීමේ ව්‍යාපාරයක් Steve විසින් මූලිකත්වය ගෙන දියත් කර තිබූ අතර එම දැක්ම නව සමාගමටද යොදාගනිමින් ඔවුන් නිපදවන පරිගණක ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර අලෙවිකිරීම අරමුණු කර ගත්තේය.

ඒ වන විට ඇපල් ආයතනය වසර නමයක් වයස වූ අතර එය හිමිකරගෙන තිබූ ශක්තිමත්භාවය එකවර හිමිකර ගැනීමේ හැකියාවක් NeXT ආයතනය සතුනොවීය. කෙසේවෙතත් 1986 වන විට ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු තවදුරටත් වෙනස් කරමින් දෘඩකාංග වලට අමතරව මෘදුකාංග ව්‍යාපාරයටද අවධානය යොමුකිරීමට Steve Jobs ප්‍රමුඛ NeXT ආයතනය තීරණය කලේය. ඒ අනුව ආයතනය දෘඩකාංග හා මෘදුකාංග යන අංශ දෙකක් ඔස්සේ සිය ගමන් මඟ ඇරඹූ අතර NeXTSTEP නම් UNIX පදනම් කර ගත් operating system එකක් මෘදුකාංග අංශයේ නිර්මාණය වීමද ඇරඹුවේය. 1987 දී මෙම ආයතනය සිය ප්‍රථම පරිගණක කර්මාන්ත ශාලාව කැලිෆෝනියාවේදී විවෘත කල අතර එහි වසරකට පරිගණක 150,000 ක් තැනීමේ හැකියාවෙන් යුක්තවිය. 1988 දී මෙහි ප්‍රථම පරිගණකය නිපදවන අතර 1989 දී ප්‍රථම පරිගණකය අලෙවි කරනුලබයි. එය "the cube" නම් වූ අතර මිල US$6,500 ක් ලෙස සටහන් කෙරින.

එම අවධියේ ඉතා දියුණු තත්වයේ පරිගණකයක් වූ මෙහි අන්තර්ගතවූයේ 25 MHz Motorola 68030 central processing unit (CPU) කි. RAM ධාරිතාවය 8 MB සිට 64 MB වූ අතර 256 MB magneto-optical (MO) drive ක්, 330 MB, හෝ 660 MB hard drive, 10Base-2 Ethernet, NuBus and a 17-inch MegaPixel grayscale display measuring 1120 by 832 pixels යන විනඥාසයෙන් සන්නද්ධකර තිබුනි.

ඒ අවධියේ එනම් 1989 දී සාමාණ්‍ය පුද්ගල පරිගණක විනඥාසය වූයේ 640 KB to 4 MB of RAM හා 8086, 8088, 286 හෝ 386 යන CPU, 640×350 16-color හෝ 720×348 monochrome display, 10 සිට 20 megabyte hard drive සුළු ජාලගත පහසුකම්ය. ඒ අනුව බැළුකල මෙම NeXT පරිගණකයේ තරම සිතා ගත හැකියි නේද?

Canon සමාගම 1989 දී US$ මිලියන 100 ක් NeXT පරිගණක ආයතනය වෙනුවෙන් ආයෝජනය කරන අතර දෙපාර්ශවයටම ලාභාදායිවූ මෙම ගනුදෙණුව නිසා ජපාන වෙලඳ පොල ආක්‍රමණය කිරීමේ අවස්ථාවද  NeXT ට හිමිවේ. තවද World Wide Web Creator ලෙස හැදින්වෙන ශ්‍රීමත් Tim Berners-Lee විසින් 1991  දී ප්‍රථම වෙබ් බ්‍රව්සරය නිර්මාණයට හා වෙබ් සර්වරයක් ලෙසද භාවිතා කරේ NeXT පරිගණකයක් වීම කැපී පෙනෙන සිදුවීමකි.
The NeXT Computer used by
Tim Berners-Leeat CERN
became the world's first web server.
NeXT 1993 දක්වාම විවිදාකාරයේ පරිගණක මාදිලි තනන NeXT ආයතනය ඒ කාල සීමාවේදී ලෝකයේ පරිගණක ආයතන ගණනාවක් සමග අත්වැල් බැදගනිමින් සාර්ථක ගමනක් ගියත් 1993 න්පසුව වැඩි අවධානය යොමුකරන්නේ මෘදුකාංග සංවර්ධනය කෙරෙහිය. ඒ සමග සමාගමේ නාමයද NeXT Software Inc ලෙස වෙනස් කෙරේ. ඔවුන් NeXTSTEP Operating System හා OpenStep programming environment සංවර්ධනය කිරීම කෙරේ වැඩි අවධානය යොමුකල අතර ඒ නිසා මෙම සමාගමේ වටිනාකම ඇපල් සමාගමට දැනෙන්නට විය.

අනූව දශකයේ මධ්‍ය කාලය වන විට ලෝකයේ අනතර්ජාලය ව්‍යාප්තවීම හා පරිගණක පරිශීලකයන්ගේ වැඩිවීමත් සමග පරිගණක ක්‍ෂෙත්‍රයේ දෘඩකාංග මෙන්ම මෘදුකාංග සංවර්ධනයද වේගයෙන් සිදුකල යුතුවිය. ඒ අවධියේ පරිගණක ක්‍ෂෙත්‍රයේ ඇපල් සමාගම පතාක යෝදයෙකුවුවත් ඔවුන් 1984 සිට සංවර්ධනය කල Mac OS මෙම අභියෝගයන් සමග තරඟවැදීමට ප්‍රමාණවත් ශක්තිමත් භාවයක නොසිටි අතර ඒ නිසා ඔවුන්ගේ අවධානය තම පැරණි හිමිකරුවාගේ NeXT Software Inc වෙත යොමුවිය.

මෙම ගණුදෙනුවට NeXT Software Inc වෙතින්ද සුභවාදී පිළිතුරක් ලැබුන අතර US$ මිලියන 429 කට ඇපල් මෙම NeXT Software Inc ආයතනය මිලට ගනු ලැබීය. ඇපල් විසින් NeXTSTEP Operating System පදනම් කරගනිමින් Mac OS X නිර්මාණය කරනු ලබන අතර Steve Jobs ද උපදේශකයෙකු ලෙස ඇපල් ආයතනය සමග එක්වේ.

1997 දී එවකට ඇපල් ප්‍රධාන විධායකයා වූ Gil Amelio, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉවත් කර දමන්නේ ගතවූ වසර 3 ක කාලයේදී ආයතනය මූල්‍යමය වශයෙන් පිරිහීමට ලක්වීම හා අලෙවි ප්‍රවර්ධනයේ ඇති දුර්වලතා හේතුවෙනි. තවද Steve Jobs ඇපල් සමාගම හැරදා ගොස් ගතවූ වසර එකොලහක කාලය තුලදී එම සමාගම සාර්ථක පරිගණක නිශ්පාදන මෙන්ම (Portable Apple Computers) අධික මිල නිසා අසාර්ථකත්වයට පත්වූ මෙන්ම අසාර්ථක ඉලොක්ට්‍රොනික මෙවලම් නිශ්පාදනය හා අත්හදාබැලීම් තුලින් සමාගම පිරිහීමට ලක්වෙමින් පැවතිනි.

එසේම 1988 දී ඇපල් සමාගම විසින් Microsoft සමාගමට හා  Hewlett-Packard සමාගමට එරෙහිව ගොනුකල නඩුවක් වසර 1994 දී පරාජයට පත්වන අතර එය අභියාචනාධිකරණයට ඉදිරිපත් කලද එහිදීද නිශ්ප්‍රභවේ. ඒ ඇපල් සමාගමේ Lisa හා Macintosh operating systems යොදාගත් GUI මූලිකාංග Microsoft සමාගම හා  Hewlett-Packard සමාගමේ Operating System සදහා යොදාගැනීම වලකාලමින් ඒවායේ අයිතිය ඇපල් වෙත ලබාගැනීම වෙනුවෙනි. කෙසේවෙතත් මෙම නඩුවේදී ඇපල් සමාගම පරාජය වන්නේ ඇපල් සමාගමට චිත්‍රක අතුරු මුහණත් සංකල්පය වෙනුවෙන් අයිතියක් කීමට නොහැකි බව පවසමිනි.
("Apple cannot get patent- protection for the idea of a graphical user interface, or the idea of a desktop metaphor [under copyright law])

1997 සිදුවූ මෙම සිදුවීම් සමග තාවකාලික ප්‍රධාන විධායක ලෙස Steve Jobs පත්වන අතර වසර 2000 දී ඔහු ස්ථිර වශයෙන්ම ප්‍රධාන විධායක ලෙස පත් වන අතර 2009 දී තාවකාලිකව තනතුරෙන් ඉවත්ව නිවාඩු යන Steve එහදී අක්මා බද්ධ කිරීමේ සැත්කමකට ලක්ව නැවත සේවයට පැමන, 2011 අගොස්තුවේදී අයහපත් සෞඛ්‍ය තත්වය මත ඔහු මෙම තනතුරින් ඉල්ලා අස්වන අතර තවදුරටත් සභාපති තනතුර පමණක් දරන බව පවසයි. එසේම ඊට පෙර එනම් 2003 දී Steve Jobs තමන් මුහුණපා ඇති අග්න්‍යාශයික පිළිකා තත්වය ගැන දැනගන්නට ලැබෙන එයට ප්‍රතිකාර ලබාගත්තත්  අවසානයේ 2011 ඔක්තෝබර් 05 වනදා ඔහුගේ දිවිය වසර 56 කින් අවසන් කරන්නටද එය හේතුවිය.

ලෝකයේ පුද්ගල පරිගණක අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් බව නොරහසක් වන අතර පසුව ලෝකයේ කැපී පෙනෙන තවත් ඉලෙක්ට්‍රොනික් මෙවලම් රැසක්ද ලෝකයට දායද කිරීමට ඇපල් දායක විය. ඒ අතරින් 2001 දී වෙළඳ පොලට හදුන්වාදුන් තරුණ පරපුර අතර ඉතා ප්‍රචලිත වූ විනෝදාස්වාදය සදහාම නිපදවූ iPod යන්ත්‍රයද, සංනිවේදන ක්‍ෂෙත්‍රයේද කැපී පෙනෙනම කොටසක් හිමිකරගත් හා ‍අනෙක් සමාගම්වලටද නව සිතුවිලි ඔස්සේ තම ඊලඟ ජංගම දුරකථන නිපැයුම තැනීමට ඉවහල් වූ iPhone ජංගම දුරකතනය හා ගියවසරේ එනම් 2010 දී හදුන්වාදුන් Tablet පරිගණකය වන iPad ද දැනටමත් සිය ප්‍රතිවාදී සමාගම්වලට හොද තරඟයක් දෙමින් සිටි. එසේම ජංගම පරිගණක ක්‍ෂෙත්‍රයේ කීර්තිමත්ම නිපැයුමක් වන iBook යන්ත්‍රයද අතමිට ඇති අයට පමණක් ‍හිමිකරගත හැකිවුවත් එයද ඉතාමත් ජනප්‍රිය උපකරණයකි. මෙම උපකරණ සියල්ල පිළිබදව සංකල්පමය අත්දැකීම ලබාදුන්නේ  Steve Jobs බව රහසක් නොවේ.

ඒවගේම වෘත්තීමය චිත්‍රපටි හා සංගීත සංස්කරණ ශිල්පීන් භාවිතා කරන Final Cut Studio මෘදුකාංගයද සාඩම්බර ඇපල් නිශ්පාදනයකි. තවද Face Recognition තාක්‍ෂනය ඔස්සේ පින්තූර ආදිය එකිනෙක සසදා සමාන පින්තූර සෙවීමේ යාන්ත්‍රණයද ඇපල් පරිගණක වල සාමාන්‍ය විශේෂත්වයකි.

පරිගණක ක්‍ෂෙත්‍රයෙන් ඔබ්බටද සිය ව්‍යාපාරික අත්දැකීම් තව දුරටත් වැඩිදියුණු කරගන්නට Steve පසුබට වූයේ නැත. 1985 දී ඔහු Star Wars චිත්‍රපටි තැනූ George Lucas සතුව තිබූ Lucasfilm Ltd. හි චිත්‍රක අංශය US$ මිලියන 10 කට මිලට ගන්නා අතර එහි සේවය කල Ed Catmull සමග එක්ව ලොකු කුඩා සියළු දෙනාගේ සිත් පහන්කල ඇනිමේෂන් කාටුන් චිත්‍රපටි නිපදවූ Pixar Animation Studios බිහිකිරීමටද මෙම තාක්‍ෂනවේදියා නැතහොත් නිර්මාණාත්මක ව්‍යාපාරිකයා මූලික වේ.


මෙම සමාගම විසින් නිපැවූ චිත්‍රපටි සදහා ඔස්කාර් සම්මාන 26 ක්ද, Golden Globes සම්මාන 7 ක් හා සංගීතමය නිර්මාණ සදහා Grammy සම්මාන 3 ක්ද ලබා ඇත. එසේම Toy Story,A Bug's Life, Toy Story 2, Monsters, Inc., Finding Nemo,The Incredibles, Cars, Ratatouille, WALL-E, Up සහ Toy Story 3 ආදී නිර්මාණ අපට දැකගැනීමට ලබාදීම පිළිබදව මෙම සමාගමට කෘතවේදීත්වය හිමිවිය යුතුවේ.

ඉතා හොදින් ලාභයද ඉපයූ මෙම සමාගම 2006 දී වෝල්ට් ඩිස්නි සමාගම විසින් මිලට ගන්නා ලබන අතර ඒ අවස්ථාවේ Pixar සමාගමේ වැඩිම කොටස් ලාභියාවූයේද Steve Jobs නිසා Disney සමාගමේද තනි වැඩිම කොටස්ලාභි‍යා වීමේ වරමද ඉබේම ලැබෙන අතර ඔහු Disney සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයටද පත්වේ.
Apple Chief Executive Steve Jobs 
arrives with the team from the best picture nominate film 
"Up" at the 82nd Academy Awards in Hollywood March 7, 2010

ඇපල් හා Steve Jobs යනු දෙකක් නොව එකක් යයි මතයක් තිබේ. එසේම තව කරුණු රැසක් මේ ද්විත්වයම ගැන කතා කිරීමට ඇතත එසේ නම් ඊලඟ ලිපියෙන් ඒ පිළිබදව හා  ඇපල් සමාගමේ නම ඇපල් වූ හැටි හා එයට යොදාගත් ලාංඡනය බාගෙට කෑ ඇපල් ගෙඩියක් වූ හැටි විමසා බලමු...