Wednesday, January 8, 2014

ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල යාවුන හැටි....

මෙම ලිපියද පසුගිය "අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු"  ලිපිය හා සම්බන්ධවේ.

කෙනඩි පවුලේ දරුවන්ගේ විවාහ කටයුතුද සිදුවිය යුතු වූයේ කෙනඩි පවුලට සෑම අතින්ම ප්‍රයෝජනවත් පවුලකින් වියයුතු බව ජෝ කෙනඩි (ජ්‍යෙෂ්ඨ) ගේ නිගමනය විය. මෙම විවාහයන් හරහා මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් නෑදැහිතමිතුරන් ඔස්සේ කෙනඩි පවුලට ඇමරිකානු ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද සබඳතාවයන් වර්ධනය කර ගත්තේය.

ජනපති කෙනඩි විවාහ වූ ජැකී බොව්වියර් ඇමරිකාවේ ඉතා ධනවත් කතෝලික පවුලකට අයත් තැනැත්තියක් වූ අතර ඇය බුද්ධිමත්භාවයෙන්, රූපයෙන්, ධනයෙන් මෙන්ම සැබෑවටම ඇමරිකානු ඉහල පැලැන්තිය නියෝජනය කරන්නියක් විය. ඇයගේ පියා වූ  John Vernou ‘Black Jack’ Bouvier ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඉඩකඩම් රැසකට හිමිකම් කියු ධනවත් තැනැත්තෙකු විය. ඇයව ජැක් කෙනඩි හට හමුවූයේ වොෂින්ටන් හිදී මාධ්‍යෙවදිනියක ලෙස ඡායාරූපකරණයේ නිරතවෙමින් සිටියදීය. ඔවුන් දෙදෙනා 1953 සැප්. 12 වනදා විවාහ දිවියට පත් වූ අතර ජැකී තුල අනාගතයේ ජනාධිපති ආර්යාවකට අවශ්‍ය හැඩතල සියල්ලක්ම ඒ අවධියේ සිටිම තිබූ බවද පැවසේ. සැබැවින්ම ඇමරිකානු ඉතිහාසයේ ඇය තරම් ආකර්ශනයට, කතාබහට හෝ ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපති ආර්යාවක් නොවීය.

JFK හට සිය විවාහයෙන් මෙන්ම සිය සොහොයුරු රොබට් කෙනඩිගේ (බොබී) විවාහය හරහා වූ ඥාති සබඳතා ඔස්සේද ඇමරිකානු ආර්ථිකයේ ශක්තිමත් ස්ථාවරයක් තිබූ ව්‍යාපාරිකයන් සමග සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා ලැබී තිබුනි. රොබට් කෙනඩි විවාහ වූ Ethel Shakel ගේ පියා එරට දැවැන්ත සමාගමක් වූ the Great Lakes Carbon Corporation නම් වූ සමාගමේ හිමිකරුවා විය.

දේශපාලනයට ඇති සහසම්බන්ධතා තවදුරටත් සැලකූ කළ සිය පියාගේ ඉහළදේශපාලනික සම්බන්ධකම් සේම සිය ජනාධිපතිවරණ සටනේදී තමන්ගේ හඩටත් වඩා හඬක් නැගුවේ කෙනඩි පවුලේ බාලම පුත්‍රයා වූ ටෙඩ් කෙනඩිය. චතුර කථිකත්වයකට උරුමකම් කී ඔහු රොබට් කෙනඩිගේ ජනපති අපේක්‍ෂක සටනේදීද ප්‍රධානම හඬ ඔහුගේ හඬ වූයේය.

කලාව එසේත් නැත්නම් හොලිවුඩ් සිනමාවට කෙනඩි පවුල කිහිපාකාරයකින් සමසම්බන්ධතා ඇතිකරගෙන සිටියෝය. මුලීකවම කෙනඩි පවුලේ ප්‍රධානියා වූ JFK ගේ පියා හොලිවුඩ් චිත්‍රපටි නිෂ්පාදකයෙකු විය. JFK ගේ සහෝදරියක වූ Patricia Kennedy විවාහ වී සිටියේ ඉංග්‍රීසි ජාතික හොලිවුඩ් නළුවෙකු වූ Peter Lawford සමගය. ඔහු හරහා හොලිවුඩ් සබඳතා තවදුරටත් වර්ධනය වූ අතර ඔහු මගින් මැරලින් මොන්රෝ JFK හට සමීප වූ බවටද මතයක් තිබේ. තවද ජනප්‍රිය ගායකයෙකු හා නළුවෙකු වූ Frank Sinatra ද ඔහුගේ මිතුරෙකු වූවාසේම කෙනඩි පවුලේ පියා සහ පුතුන් ගේද මිතුරෙකු වූ නිසා ඔහු හරහාද සිනමාවට කෙනඩි පවුලේ යහළුමිතුරුකම් වර්ධනය වූවා සේම Sinatra හරහා මාෆියා සංවිධාන සමගද සබඳතා ඇතිවූ බවට කටකතා තිබේ.

ජූඩිත් කැම්ප්බල් වැනි රූමතියන් හරහාද ජනපති කෙනඩි වක්‍රමාර්ගයෙන් හෝ මාෆියා සංවිධාන සමග ඇයිහොදැයියක් තිබුනා යැයි දූෂමාන ආරංචි තිබෙනවා සේම ජෝ කෙනඩිගේ පියා ගේ මිතුරෙකු වූ ඉලිනොයිස් ප්‍රාන්තයේ සංචාරක උසාවියක විනිසුරෙකු වූ William J Tuohy හරහා චිකාගෝ මාෆියා නායක Sam Giancana සමග ඇතිකරගත් සමබඳතාවය කෙනඩිගේ ජනාධිපති සටනේදී පිටිවහලක් කරගත් බවටද මතයක් තිබේ.

1960 ජනාධිපතිවරණයේදී කෙනඩි හා සටන් වැදුන නික්සන් කෙනඩිට වඩා ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් අතින් පරිපූර්ණ වූ දේශපාලනඥයෙකු විය. මේ නිසා යම් වාසියක් නික්සන් හට තිබුනත් හොදින් මුදල් වියදම් කිරීමේ හැකියාව හා රූපවාහිනී මාධ්‍යය මනා ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබී තිබූ කෙනඩි ජනාධිපති සටනේ නියමුවන්ට නික්සන්ට වඩා කෙනඩිව ඉහල ආකර්ශයකට ලක්කර ගැනීමේ හැකියාව උදාවී තිබුනි. මෙම ජනාධිපතිවරණයේදී නික්සන් සිදුකර ගත් අතපසු වීමක් ලෙස සලකන්නේ තීරණාත්මක හා වැඩි ඡන්ද විද්‍යාල සංඛ්‍යාවක් දිනා ගත හැකි ප්‍රාන්ත වලට වැඩි අවධානය යොමු කරනවා වෙනුවට සියළු ප්‍රාන්ත වල රැස්වීම් පවත්වමින් වැඩි වෙහෙසක් දැරීම නිසා එම වැදගත් ප්‍රාන්ත අහිමි කර ගැනීමත් තීරණාත්මක රූපවාහිනි විවාද වලදී කෙනඩිට වඩා වෙහෙසට පත්ව සිටි ඔහුට කෙනඩි හා විවාදයේදී පසුබෑමක්ද සිදුවූ බවයි.

කෙසේවෙතත් මෙම ජනාධිපතිවරණයෙන් කෙනඩි ජයගත්තත් එය ඉතා ආසන්නම ජයග්‍රහණයක් වූ අතර විශේෂයෙන් කෙනඩිගේ සහායක එසේත් නැතහොත් උපජනපති අපේක්‍ෂක ලින්ඩන් බී ජොන්සන්ගේ උපන් බිම වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ඡන්ද කෙනඩිගේ ජයග්‍රහණයට ඉතාමත් තීරණාත්මක වූ පැවසේ.


කෙසේවෙතත් අවසානයේ කෙනඩිගේ ඉරණම තීරණය වූයේද මෙම ටෙක්සාස් ප්‍රාන්තයේදී වීමද දෛවෝපගත සංසිද්ධියකි.

ජනපති කෙනඩිගේ පාලන සමය ගැන තවදුරටත් යමක් පවසන්නේ නම්, ඔහුට සහ ඔහුගේ හිතවාදීන්ට ජෝන් එෆ් කෙනඩි ජනපති පුටුවට රැගෙන ඒම මිස ඉන් ඉක්බිති ඇමරිකානු අභ්‍යන්තරය තුළ සහ ඉන් පිටත දේශපාලනය කළ යුත්තේ කෙසේදැයි දැක්මක්, වැටහීමක් නොතිබුනාදැයි සැකයක් අවුල්වියවුල් පිරි ඔහුගේ පාලන සමය තුළ සිදුවූ කරුණුකාරණා තුලින් පෙනේ. ඔහුගේ ජනාධිපති සටනg මාසයකට පෙර කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදුන මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) අත්අඩංගුවට ගත් අවස්ථාවේ කෙනඩි ඒ පිළිබදව කණගාටුව පළ කළත් සැබෑලෙසම කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් යමක් කිරීමට ප්‍රමාද කිරීම 1963 අගෝස්තුවේ ඇමරිකානු අගනුවරට 200,000 කට අධික කළු ජාතීන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතු පෙළපාලියක් ඇතිකරවීම දක්වා උත්සන්න වී තිබුනි.

කෙසේවෙතත් ඉන් මාස 3 කට පමණ පසු කෙනඩි ඝාතනය සිදුවීමෙන් පසුව ප්‍රායෝගිකව කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සහන සැලසීමේ අවස්ථාව උදාවූයේද ජනපති ලින්ඩන් ජොන්සන් වෙතිනි.

කෙනඩි පාලනය ආරම්භයේදීම කියුබාව සරණාගතයන් ලවා ආක්‍රමණය කිරීම අවුල්ජාලාවක් කරගත්හ. ඉන්ඉක්බිතිව බර්ලින් නගරය දෙකට කඩමින් බර්ලින් පවුර ඉදිවීම ඇරඹුනා පමණක් නොව එයට එරෙහිව යමක් කිරීමේ අවස්ථාවක් කෙනඩි පාලනය තුල නොවීය. ඊට පසුවසරේ ඇමරිකාව පමණක් නොව සමස්ථ ලෝකයම සසල කරමින් කියුබානු මිසයිල අර්බුදය හටගත් අවස්ථාවේ අවසාන මොහොතේ එය නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබුනත් කෙනඩිගේ දේශපාලනයට එයින් සෑහෙන්න හානියක් සිදුවිය. සීතල යුද්ධය සමනය කරගැනීමට සංයමයෙන් සහ දුරදක්නා නුවනින් කෙනඩි ජනපති කටයුතු කළත් ඔහුගේ මෘදු ස්වභාවය නිසා ලතින් ඇමරිකාව කොමියුනිස්ට්කරණයට ලක්වේදොයි යන සැකයක්ද උග්‍ර ධනවාදී ඇමරිකානු ඉහළ දේශපාලනය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල කැපවීමක්, සැලැස්මක් අනුගමනය කළ CIA , FBI සහ අනෙකුත් නිල සහ නිල නොවන සංවිධාන තුල තිබුනි.

කෙනඩි පාලනය තුළ යම් පමණකට හෝ සාර්ථක කටයුතුද සිදුනොවුනා නොවේ. ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ, ආසියාවේ  දූගී රටවල තත්ත්වය නගාසිටුවීමට යම් සහනදායි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. අභ්‍යවකාශය ජයගැනීම සදහා වූ කඩිනම් වැඩ වැඩ පිළිවලද (Space Race) ඔහුගේ කාලය තුල ආරම්භ විය. ඇමරිකානු ආරක්‍ෂක අංශ කොතරම් දුරකට සතුටට පත්වූයේදැයි සැක සහිත මුත් න්‍යෂ්ඨික ගැටුමකින් ලෝකයට ඇතිවිය හැකි විනාශය අවමකරලනු වස් ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්.03 වනදා න්‍යෂ්ඨික අවි සීමාකිරීමේ ගිවිසුමකටද සිය අත්සන තැබීය.


බොහෝදෙනෙකු නොදන්නා කාරණයක් නම් ජනපති කෙනඩි බිහිසුනු වියට්නාම් යුද්ධය ඇතිවීම වලකනු පිණිසද කටයුතු යොදමින් සිටීමයි. ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්. 11 වනදා අත්සන් තැබුන ජාතික ආරක්‍ෂාව පිළිබදව 263 වැනි නිල ලේඛණයේදී වියට්නාමයේ එවකට රදවා සිටි 16,000 ක් පමණ වූ හමුදා නිලධාරීන් ඉවත්කර ගැනීම 1963 අවසානයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබුනි. තවද 1965 වන විට මුළුමනින්ම වියට්නාමයෙන් ඇමරිකානු සන්නද්ධ අංශ ඉවත් කිරීම ඔහුගේ අරමුණ විය. එයින් අතිවිනාශකාරී යුද්ධයක් ඇතිවීම වැලකීම ඔහුගේ අරමුණ විය. එහෙත් එමගින් සමස්ථ වියට්නාමයම කොමියුනිස්ට්කරණයට ලක්වීම කෙසේනම් ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණය දරා ගන්නටද?
කෙනඩිගේ  අවසාන කටයුතු සිදුවී දිනකට පසු එනම් 1963 නොවැ. 26 වනදා ජනපති ලින්ඩන් බී ජොන්සන් විසින් නිකුත් කළ ප්‍රථම ආරක්‍ෂන නිල ලේඛණය වූ 273 න් පෙර පැවසූ 263 ලේඛණයේ අන්තර්ගත විධානයන් බලරහිත කරන ලදි. ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණයට මෙන්ම ඇමරිකානු අවි ව්‍යාපාරයටද වියට්නාම් යුද්ධය නිධානයක් මෙන් විය. මෙවන් කාරණා පසුකළෙක කෙනඩි ඝාතනයේ සැකසහිත කාරණා අතරටද එක්ව තිබුනි.

http://www.fas.org/irp/offdocs/nsam-jfk/nsam-263.htm



http://www.lbjlib.utexas.edu/johnson/archives.hom/nsams/nsam273.asp

ඇමරිකාවේ ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද මෙතරම් සබඳතා තිබු වෙනත් ජනාධිපති කෙනෙකු සත්‍ය වශයෙන්ම ඇමරිකාවේ ඉන් පෙර හෝ පසු නොසිටියා විය යුතුය. එහෙත් එවැනි බලයක් තිබූ ජනපති කෙනඩිගේ ඉරණම එසේ විසදුනේ ඇයි? මේ ගැන ඊලඟ ලිපියේදී කතාකරමු...


Thursday, January 2, 2014

සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජීවත්වන්නේ එකම මිනිසුන් තුලය

මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද? නැත්ද? නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්‍ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල්ප තිබෙනා බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සමස්ථ ලෝකය පුරාවටම සදාතනික සත්‍යයකි. එවන් වූ මිනිස් සිතුම් පැතුම් ක්‍රියාකාරකම් පිළිබදව ලියවුන පොතක් සිංහල පරිවර්ථනය වී තිබේ. 

මෙම පොතේ සිංහල නම සුදු ඇඳිරිය නම් වූ අතර එය අශෝක නිස්සංක මහතාගේ පරිවර්ථනයකි. එහි මුල් කෘතිය රචනා කර ඇත්තේ ඇමරිකානු කතෘවරයෙකු වන Parley J Cooper විසින් වන අතර එම කෘතිය Dark Desires නම් වේ.

රසවත්බව, සංවේදී බව, ශෝකය, සතුට, යනාදී බොහෝ දේ ඇතුලත් අපිට අපි ගැනත් සිතන්නට සිතෙන පොතක් ලෙස මෙය කියොව්වොත් ඔබටත් දැනේවි.



Wednesday, January 1, 2014

අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්....

අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සිතුවා.වසර දෙකහමාරකට සුළු කාලයකට වැඩි කෙනඩි පාළන කාලය තුළ විවිධාකාරයේ අර්බුදවලට ඔහුට මුහුණ දෙන්නට වූවාසේම ඇමරිකානු දේශපාලනය හා අනෙකුත් ක්‍ෂෙත්‍රයන් තුළ කැපී පෙනෙන වැඩසටහන් කිහිපයකද මුලපුරන්නට ඔහුට හැකිවූවා.
ජෝන්.එෆ්.කෙනඩි හෙවත් කවුරුත් ආදරයට ඇමතූ "ජැක්" ගේ ජනාධිපති බවට පත්වීමේ සිහිනය ඔහුටත් වඩා තිබුනේ ඔහුගේ පියාටයි. ඔහු සෑම විටකම පවසා තිබුනේ ඔහුගේ පුතුන් අතරින් කවරෙකු හෝ ජනාධිපතිවරයෙකු වන බවයි.  1888 වසරේ උපන් ජැක් ගේ පියා
ජෝසෆ් කෙනඩි(ජේයෂ්ඨ) ජෝ කෙනඩි හෙවත් නම් වූ අතර ඔහු සිය පවුලේ අය පිළිබදව විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි අයෙක්. බොස්ටන් නුවර කතෝලික පවුලකට අයත් වූ ඔහු ධනවතෙකු වූවා සේම මුල් අවධියේ හොලිවුඩයේ චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ෆ්‍රෑන්ක්ලින් රුස්වෙල්ට් ජනපතිගේ කාලයේදී දේශපාලනයට පිවිස තිබෙනවා. එසේම ඔහු මහා බ්‍රිතානයේ 44 වන ඇමරිකානු තානාපතිවරයා ලෙසද සේවය කර රාජ්‍යතාන්ත්‍රිකවශයෙන්ද සිය අත්දැකීම් මුවහත් කරගෙන තිබූ අයෙක්. තද ගතිගුණ තිබුන අයෙකු ලෙස සැලකෙන කෙනඩි ජනපතිගේ පියා දරුවන් කෙරෙහිද ඇතැම්විට දැක්වූයේ දැඩි සැරපරුශ ක්‍රියාකලාපයක් බව පැවසෙනවා. ඔහුගේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා මෙම පවුලේ දියණියකවූ රෝස්මරී හට ඇතිවූ මානසික රෝගී තත්ත්වය මත වයස අවුරුදු 23 තරම් අඩු කාලයකදී ඇයට මොලයේ සැත්කමක් පවා කිරීම සිදුවූ බවට මතයක් තිබෙනවා. විශේෂයෙන් ඔහුගේ ඉහළ බලාපොරොත්තු සිය දරුවන් කෙරෙන් ඉටු නොවන බව පෙනුන විට රළු ලෙස ඔහු හැසිරුන බව පැවසෙනවා.
http://en.wikipedia.org/wiki/Joseph_P._Kennedy,_Sr.

තවදෙයක් තමයි ජෝ කෙනඩි හට මාෆියා කල්ලි සමගත් සබඳතා තිබුන බවට හාහූවක් තිබෙනවා. එයින් ඔහු සයි ප්‍රතිවාදීන්ට ට අභියෝග කිරීමේ හෝ බලපෑම් කිරීමේ බලයක්ද ලබා ගත් බවට කතාබහක් තිබෙනවා. ඒ තත්ත්වය එදා බොහෝ දේශපාලනඥයන්, සල්ලිකාරයන්, බලපුළුවන්කාරයන් කළ දෙයක් බව රහසක් නොව (ඇත්තෙනම් එදා විතරක් නෙමෙයි අදත් ලෝකයේ කොතනත් වෙන්නේ මේ දේම තමයි). ජෝ කෙනඩිගේ නීත්‍යානුකූල විවාහයෙන් පිට අනියම් සබඳතා  පුරාවෘත්ත වැනි යයි සදහන් කෙරෙනවා.  මෙම අනියම් සබඳතා නිසා ඔහුගේ බිරිඳ නැතහොත් ජෝන් එෆ් කෙනඩිගේ මව වන රෝස් එලිසබත් මහත්මිය හට දරා ගන්නට වූ පීඩාවත් සදහන් කළ යුතුයි. එසේම මෙම මව හා පියාට තම දරුවන් නව දෙනාගෙන් පුතුන් තිදෙනෙකු හා දියණියක් තම ජීවිත කාලය තුලදීම මොලොව හැර යනු දකින්නට සිදුවීමත් ඛේදනීයයි. එයින් පුතුන් තිදෙනා සහ දියණිය හදීසි අනතුරු වලින් මිය යාම මෙන්ම වැඩිමහල් පුතු සහ එම දියණිය ගුවන් අනතුරු වලින් මිය යාමත් අනෙක් පුතුන් දෙදෙනා වෙඩිතැබීම් වලින් බිහිසුනු මරණ වලට මුහුණ දීමත් මෙම යුවල කෙසේ දරාගත්තා දැයි සිතා ගැනීමටත් නොහැකිය.

1961 වසරේ දෙසැම්බරයේදී හටගත් අංශභාග තත්ත්වයක් මත ජෝ කෙනඩිගේ කතා කිරීමේ හැකියාව මුළුමනින්ම අහිමිව ගිය අතර ඔහු සිය තෙවන පිරිමි දරුවා වූ රොබට් කෙනඩිගේ අකල් වියෝවෙන් යන්තම් වසරක් ගෙවී ගිය තැන එනම් 1969 නොවැම්බර් 28 වනදා වයස අවුරුදු 81 දී මියගියේ රෝගී තත්ත්වයන් නිසාවෙන්මයි. එහෙත් ඔහුගේ බිරිඳ වන කෙනඩි සොහොයුරන් හා සොහොයුරියන්ගේ මව වන රෝස් එලිසබෙත් වයස අවුරුදු 104 ක් තරම් දීර්ඝ කාලයක් ජීවත්වීමේ වාසනාව ලැබූවා. ඇය 1995 ජනවාරි 22 වනදා මිය යන විට ඇයට තම දරුවන් අතරින් පස් දෙනෙකු ජීවතුන් අතර සිටිමේ භාග්‍යය ලැබී තිබූ අතර මුනුපුරු මිනිපිරියන් 28 දෙනෙකු හා ඔවුන්ගේ දරුවන්ද 41 දෙනෙකු ඇයට ඒ වන විට සිටියා.
http://en.wikipedia.org/wiki/Rose_Kennedy

 කෙනඩි පවුලේ දරුවන් අතරින් කවදා හෝ ජනාධිපති පුටුවේ වාඩිවනු ඇතැයි කාගෙත් බලාපොරොත්තුව තිබුනේ වැඩිමහල්ම පිරිම දරුවා වූ ජෝසෆ් කෙනඩි(කනිෂ්ඨ) මතයි. ඔහු දේශපාලනය වෙත නිරායාසයෙන්ම යොමුව තිබුනේ පියා සහ ඔහුගේ සීයා (මවගේ පියා) වූ බොස්ටන් නුවර නගරාධිපතිවරයා වූ ජෝන් එෆ් ෆිට්ස්ජෙරල්ගේ දේශපාලන කටයුතු නිසාවෙන්ම බන්නට ඇති. එපමණක් නොව ඔහුගේ සීයා පවා වරක පවසා තිබුනේ "මේ දරුවා කවදා හෝ ඇමරිකාවේ ජනාධිපතිබවට පත්වනු ඇති" බවටයි.  එසේම ඔහුගේ දේශපාලනික ගමන්මගට සිය දරදඬු පියාගේ බලපෑම පවා අනවශ්‍ය වුයේ ඔහු සිය අනාගත දේශපාලනය පිළිබදව සිහින මෙන්ම සැලුසුමු තමා විසින්ම නිර්මාණය කර ගැනීමේ හැකියාවෙන්ද යුතුවූ නිසයි. ඔහු අප කතානායක "ජැක්" කෙනඩිට වඩා වයසින්ද වැඩිවූයේ වසර දෙකක් පමණයි. එසේම ඔහුද නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ අතර දෙවන ලෝක යුද සමයේදී ලුතිනන් වරයෙකුද වූවා. කෙසේවෙතත් ඔහුගේ මෙන්ම කෙනඩි පවුලේද බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් ඔහු දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයට ආසන්න කාලයකදී එනම් 1944 අගෝස්තු 12 වනදා මහා බ්‍රිතාන්‍යයේ East Suffolk හිදී ගුවන් අනතුරකින් මියගියේ අතිශය රහසිගත මෙහෙයුමක යෙදී සිටියදී. තවද ඔහුගේ සිරුරේ කොටස් වත් නැවත සොයා ගැනීමටද නොහැකිවූවා.

ඔහුට සේම කෙනඩි පවුලේ තෙවන දරුවා වූ කැත්ලින් කෙනඩි හටත් මිය යාමට සිදුවූයේ ගුවන් අනතුරකින්. ඒ 1948 මැයි 13 වනදා ප්‍රංශයේදී ඇය ඇතුළු පිරිසක් ගමන් කළ ගුවන් යානය කුනාටුවකට හසුවීමෙන් අනතුරුව සිදූවූ අනතුරකින්. 

කෙනඩි පවුලේ සාමාජිකයන්ට ගුවන් අනතුරු මෙන්ම වෙඩි තැබීම් වැනි අවාසනාවන්ත සිදුවීම් වලින් මිය යාමට සිදුවීම ශාපයක් දැයි සිතෙන තරමට සුලභ දෙයක් වුයේ ඉන් වසර 51 ක් ඉක්ම ගිය තැන කෙනඩි පවුලේ ඉහළම බලාරොත්තුවක් වූ කෙනඩි ජනපතිගේ පුත්‍රයා වන  ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද 1999 ජූලි 16 වනදා ඔහු, ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරියද සමග ගුවන් අනතුරකට ලක්ව අවසනාවන්ත ලෙස මිය යාම නිසාවෙනි. 

ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද පියා මෙන්ම කඩවසම් සහ උගත් තරුණයෙක්. ඔහු පිළිබදව කෙනඩි පවුලේ සියළු දෙනාම බලාපොරොත්තු තබා සිටියේ කවදා හෝ පියා මෙන්ම ඔහුද ධවල මන්දීරයේ පදිංචියට යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බවටයි. එහෙත් ඒ සිහිනය, බලාපොරොත්තුවද කවදාවත් ඉටු නොවන දෙයක් බවට පත් කරමින් ඔහු විසින්ම පැදවූ කුඩා ගුවන් යානය රාත්‍රීයේදී අනතුරකට ලක්වීමෙන් විනාශයට ලක්වන්නේ දින පහක් යනතුරු ඔවුන්ගේ සිරුරුවත් සොයා ගැනීමට නොහැකි වන ලෙසයි. අවසානයේ ජූලි 21 වනදා ඔවුන්ගේ සිරුරු මුහුදින් ගොඩගන්නේ කෙනඩි පවුලේ  ජනාධිපති වීමේ සිහිනය ඉහලින්ම තබා සිටි තවත් සාමාජිකයෙකුගේ වියෝව සනිටුහන් කරමින්. මෙම අනතුර මුළුමනින්ම ගුවන් නියමුවා නැතහොත් කෙනඩි පුතුගේ වැරැද්ද නිසා බව අවසාන පරීක්‍ෂන වලින් තහවුරු වූවා. ඔහු ගුවන් යානා පැදවූවද ඒ සදහා අවශ්‍ය සියළු සුදුසකම් ඒ වනවිට සම්පූර්ණ නොකළ අයෙකු  බවද හෙළි වූ අතර විශේෂයෙන් මේ නිසා රාත්‍රී කාලයේ ගුවන් යානා පැදවීම කිසිසේත්ම නුසුදුසු කාර්යයක් බවද සැලකියු යුතු කාරණයක් වූවා.  පියා මෙන්ම පුතුද ඉතා අඩු වයසින් මරු තුරුලට යනවිට වයස අවුරුදු 38 ක තරුණයෙක්.

එදා පියාගේ අවසාන කටයුතු සිදුවන දිනයේදී සිය පියාට අවසාන වශයෙන් ආචාර කරන දසුන කෙනඩි ජනපතිදුන්ගේ අවසාන කටයුතු කෙරෙන අවස්ථාවේ කැපී පෙනෙන මෙන්ම අතිශය සංවේදී සහ සංවේගජනකම අවස්ථාවක් බව ලෝකය පුරාම පිළිගැනුන කාරණයක්.

පියාගේ මරණයේදී මෙන්ම කෙනඩි පුතුගේ වියෝවද ඉතාම ඛේදනීය මතකයක් කෙනඩි පවුලට එක් කරනු ලැබුවා. ඔහුගේ උපන්දිනය යෙදී තිබූ දිනයේ සිය පියාගේ අවමගුල් කටයුතු කරන දිනයද යෙදී තිබීම ඔහුට පසු කළෙක කෙසේ දැනෙන්නට ඇත්ද? 1963 නොවැම්බර් 25 වන දිනය ඔහුගේ ජීවිතයේ තෙවන උපන්දිනය යෙදී තිබූ දිනයද වේ.

http://www.nydailynews.com/new-york/daily-news-photo-jfk-jr-s-salute-dad-haunts-article-1.1520240

අනාගතයේදී ඇමරිකානු ජනාධිපති බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු කෙනඩි පුතුගෙන් ගිලිහුනා සේම ඔහුගේ පියාගේ අභාවයෙන් අනතුරුව ජනාධිපතිවරුන් බවට පත්වීමේ කෙනඩිවරුන්ගේ බලාපොරොත්තු කෙනඩි සොහොයුරන් වෙතින්ද ගිලිහී ගියේ අවසානාවන්ත අන්දමිනුයි. ඒ අවස්ථා දෙකම කෙනඩි සොහොයුරන් වෙතින් ගිලිහී ගියේ ඔවුන්ගේම අතපසුවීම් වලින්දෝ සිතෙන තරමටම එක් අවස්ථාවක් ඛේදනීය වූ අතර අනෙක් අවස්ථාවේ යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු නොකිරීමේ වරදකට ඔවුන්ට එය ගිලිහී ගියෝය. 

ජනපති කෙනඩිගෙන් පසුව ජනාධිපති පුටුවට පත්වනු ඇතැයි බලාපොරොත්තු තබා සිටියේ රොබට් කෙනඩි කෙරේය. කීර්තිමත් නීති නිලධාරියෙකු වූ ඔහු සිය සොහොයුරාගේ ජනාධිපති කාලසීමාව තුල ඇමරිකානු නීතිපතිවරයා සේම ඉන් පෙර ද මාෆියා කල්ලිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් අවෙකු ලෙසද ප්‍රසිද්ධ කාරණයකි. විශේෂයෙන් ඇමරිකානු වෘත්තීය සමිති නායකයෙකු හා  ඒ හරහා සාපරාධි ක්‍රියා ගණනාවකට සම්බන්ධ Jimmy Hoffa සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග ඇමරිකානු නීති ක්‍ෂෙත්‍රය පුරා දැඩි කතා බහට මෙන්ම එකල කැපී පෙනුන සිදුවීමක් විය. දැඩි පුද්ගලයෙකු වූ Jimmy Hoffa, රොබට් කෙනඩි මරා දැමීමට තරම් දැඩි වෛරයකින් සිටි පුද්ගලයෙකු ලෙසද සැලකෙන අතර රොබට් කෙනඩිට මරණීය තර්ජන එල්ල කිරීමට තරම් නිර්භයවූ අයෙකු බවද නොසලකා හැරිය හැකි කරුණක් නොවේ. එහෙත් මෙම තර්ජනවලට බියට පත් නොවූ රොබට් කෙනඩි සිය නීතිමය මැදිහත් වීම් වලදී මෙන්ම සිය සොහොයුරාගේ පාළන කාල සීමාව තුලදී ඔහු මුහුන දුන් අපකීර්තිමත් Bay of Pig මෙහෙයුම, බර්ලින් අර්බුදය, කියුබානු මිසයිල අර්බුදය සහ සොහොයුරාගේ ස්ත්‍රී ලෝලීත්වය නිසා පැනනැගුන ගැටළු වලදීද ඔහුව ගලවා ගැනීමට මුල් තැන ගත් පුද්ගලයන් අතර ප්‍රමුඛතමයා ලෙස අවිවාදයෙන් පිළිගත යුතුවේ. එසේම කියුබානු නායකයා ධූරයෙන් නෙරපා දැමීම සදහා වූ Operation Mongoose, Freedom operation වැනි අතිශය රහස් මෙහෙයුම් වල ප්‍රධානතම සැලසුම්කරුවෙකු හා නායකයෙකු ලෙසද ඇමරිකානු දේශපාලනය වෙත ඔහුගෙන් ඉටුවූ "සේවයද" ඇමරිකානුවන් කෙසේ අමතක කරන්නද?

බොබී කෙනඩි හෙවත් රොබට් සිය සොයොයුරාගේ අභිරහස් ජනක අකල් වියෝවෙන් පසුව 1964 දී නීතිපති ධූරයෙන් ඉවත්ව මැන්චුසෙට් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු ලෙස පත්වන අතර ජැක් කෙනඩිගෙන් පසුව ජනාධිපති බවට පත්වන ලින්ඩන් බී ජොන්සන්, තමන් මුල්තැනගත වියට්නාම් යුද්ධයේ පසුගාමී තත්ත්වය නිසාම දෙවනවර ජනාධිපති ධූරයට තරඟනොකරන බව පැවසීම නිසා 1968 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඩිමොක්ක්‍රැටික් පක්‍ෂය වෙනුවෙන් නාමයෝජනා ලැබීමට රොබට් කෙනඩි ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් 1968 ජූනි 5 වනදා රාත්‍රියේ කැලිෆෝරිනියාවේ ඇම්බැසඩර් හෝටලයේ පැවති රැස්වීමකින් අනතුරුව ඉන් පිටවීමට කෙටිමඟක් ලෙස ඔහු තෝරාගත් එහි කුස්සිය හරහා යාමට තීරණය කළේ ඔහු නොව මාරයා විය යුතුය. මන්ද ආරක්‍ෂක අංශපවා මෙම මඟෙහි නොයන්න යයි තරයේ පවසද්දී එය නොතකා හරිමින් මිනිසුන් වඩාත් ගැවසුන එම මාර්ගය ඔස්සේ යමින් සිටියදී, මිනිසුන් අතරින් පැමිණි 24 හැවිරිදි Sirhan Sirhan නම් පලස්තීන ජාතික කිතුනුවා විසින් .22 කැලිබර් රිවෝල්වරයකින් එල්ල කළ වෙඩි උණ්ඩ තුනකින් තවත් අනාගත කෙනඩි ජනපතිවරයෙකුගේ සිහිනය බොදකර දැමුවේය. මෙම පලස්තීන ජාතිකයේ රොබ්ට් කෙනඩිගේ ඊශ්‍රායල් හිතවාදීත්වය තරයේ හෙලාදුටු අයෙකු වූ අතර එයට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කළ බව පැවසීය. කෙසේවෙතත් ඔහුට, ජනපති කෙනඩි ඝාතකයා යයි "නිළ" පිළිගැනීම ලත් ලී ඔස්වල්ඩ් හාවිගේ ඉරණම නම් අත්පත් නොවූ අතර අදද ඔහු කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ ප්‍රාන්තයේ සිරගෙයක ජීවිතාන්තය දක්වා සිරබත් බුදිමින් සිටියි.

දේශපාලනික වශයෙන් රොබට් කෙනඩිගේ මතයන් කෙරේ වූ වෛරය නිසා ඔහුව ඝාතනය කළ බව එරට වගකිවයුත්තන් පැවසුවද මෙම ඝාතනයටද එරට CIA සංවිධානයේ නම ඈදුනේය. එයට සාධාරණ හේතු ගණානවක් තිබුනි. ජනපති කෙනඩිගේ පාළන කාලයේ මුල් සමයේ පටන්ම CIA සංවිධානය හා ඔහු අතර සබඳතාවය හොද එකක් නොවීය. එයට හේතුව ආසර්ථක හා අපකීර්තිමත් Bay of Pig මෙහෙයුමයි. එයට එක් අතකින් සාධාරණත්වයක්ද තිබේ. මන්ද එය එක්කෝ ක්‍රියාත්මක නොකර සිටීමට කෙනඩි ජනපතිට හැකියාව තිබුනි. එහෙත් ඔහු එම අවස්ථාවේ එයට ප්‍රතිරෝදයක් නොදක්වා මෙහෙයුමට ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් සහය දැක්වීම වැලැක්වීම මගින එම මෙහෙයුමට සම්බන්ධ විශාල පිරිසක් මියගොස්, තුවාල ලබා හෝ සිරභාරයට පත්වීමෙන් කෙනඩි සේම ඇමරිකානු පාලන තන්ත්‍රයම නින්දා සහගත තත්ත්වයකට පත්වීය. එයින් පසුව CIA ප්‍රධානියා වූ Allen Dallus හට සිය ධූරයෙන් නික්මයාමට සිදුවීම මෙන්ම CIA සංවිධානයට අයිසන්හවර් පාළන කාලය තුල ලැබුන තත්ත්වය සැලකිල්ල නොලැබීම නිසා එක් අතකින් CIA සංවිධානය කෙනඩි කෙරේ යහපත් සිතකින් පසුනොවීය. මේ නිසා ජනපති කෙනඩි ගේ සමීපතමයෙකු වූ ඔහුගේ සොහොයුරා කෙරේ වුවද ඔවුන්ගේ ආකල්පය එතරම්ම යහපත් වෙතැයි සිතිය නොහැකිය. තවත් අතකින් කෙනඩි ඝාතනයටද CIA සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට මතයක් තිබුනි. එසේ නම් ආන්දෝලනාත්මක කරුණු වලින් ගහණ වූ එම ඝාතනයේ සුලමුල රොබට් කෙනඩි යම් හෙයකින් ජනපති වුවහොත් සොයනු ඇතැයි බියක් CIA සංවිධානය මෙන්ම එම ඝාතන ක්‍රියාවලියට සම්බන්ධ වූවන් වෙතොත් ඇතිබවට අනුමාන කළ හැකිය. 

තවත් කරුණක් වන්නේ ඇතැම් මූලාශ්‍ර වල සටහන් වන පරිදි (මෙය පිළිබදව තවම ගැඹුරින් මා අධ්‍යයනය කර නොමැති නිසා එකහෙළාම පැවසිය නොහැකිය) රොබට් කෙනඩි ඝාතනයට සම්බන්ධ වූ ඉහත කී තැනැත්තා එම අවස්ථාවේ සිහිවිකල්වූ තත්ත්වයේ පසුවූ බවටද මතයක් තිබේ. මෙහි ඇති අපූරුම කාරණය වන්නේ මෙම අවධියේ CIA සංවිධානයද මිනිසුන් මනස සිතුවිලි වලින් තොරකර හෝ මනස විකල් කර එහි ක්‍රියාකාරීත්වය කෙබද වනු ඇත්දැයි පරීක්‍ෂන කරමින් තිබූ බව පසුකාලීනව හෙලිවීමයි. මේ කුමන ආකාරයකට, කුමන සම්බන්ධතාවය මත හෝ සිදුවූවත් අවසානයේ සිදුවූයේ උගත්, හා ඇමරිකාවේ කැපී පෙනුනම පවුලක තවත් සාමාජිකයෙකුගෙන් තවත් සේවය සිදුවීමට පෙරාතුව නික්ම යාමයි. රොබට් කෙනඩි මිය යනවිට වයස අවුරුදු 42 ක් වූවා පමණකි. 

තවත් කෙනඩි සාමාජිකයෙකු ජනාධිපති බවට පත්වනු ඇති බවට විශ්වාසය තිබුනේ කෙනඩි පවුලේ ලාබාලතම් පිරිමි සාමාජිකයා වූ එඩ්වඩ් කෙනඩි හෙවත් ටෙඩ් කෙනඩි පිළිබදවයි.

1932 දී උපන් ටෙඩ් මියගියේ 2009 වසරේ අගොස්තු 25 වනදායි. ඒ මොලයේ හටගත් පිළිකා තත්ත්වයක් උත්සන්න වීමෙන්. ටෙඩ් කෙනඩි මුලින්ම සෙනෙට් මණ්ඩලයට පත්වූයේ 1962 දී ඒ ඔහුගේ වැඩි මහළු සහෝදරයා වූ ජැක්, ජනාධිපතිධූරයට පත්වූ නිසා ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් පැවැත්වූ විශේෂ මැතිවරණයට ඉදිරිපත්වීමෙන්. ඔහුත් නියෝජනය කළේ මැසයුචෙට්ස් ප්‍රාන්තයම තමයි. එයින් පසු හත් වතාවක්ම මෙම ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් මණ්ඩලයට පත්වූ ඔහු වසර 47 ක් තරම් දීර්ඝකාලයක් එම ධූරය හොබවමින් සිටියා. ඔහුගේ චතුර කථිකත්වය, සිය වැඩිමහළු සොයුරු ජැක් මෙන් සිත් ඇදගන්නා සුළු භාවය මෙන්ම දේශපාලනයේ ඇති සහජ නිපුණතාවයත් ඔහු මෙතරම් කාලයක් දේශපාලන ලෝකයේ වැජබෙන්නට කෙනඩි පරම්පරාවට අයිතිවීම හැරෙන්නට තවත් හේතුවක් වූවා. දේශපාලනයට පෙර සුළු කාලයක් එරට යුද හමුදාවේද, ඉන්පසු නීතිඥයෙකු ලෙසද කටයුතු කළ ඔහු සම්බන්ධයෙන් දූෂමාන තොරතුරක් වූයේ සිය සහෝදරයාගේ ජනාධිපති සටන අවස්ථාවේ එරට මාෆියා සංවිධානවල සහයද ලබාගත් බවටයි. කෙසේවෙතත් කෙනඩි පරපුරේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව එම සංවිධාන සමග සබඳතා පැවැත්වූ බවට තිබෙන සාක්‍ෂි බොහෝමයක් තිබෙනවා. තවද කෙනඩි ජනපති පවා වක්‍රව හෝ මාෆියා සංවිධාන සමග සම්බන්ධතාවක් තිබුනේදැයි යන සැකය මතුවෙන්නේ ඔහු හාදවී සිටි Judith Campbell නම් තැනැත්තිය, ඒ අවධියේ ඇමරිකානු මාෆියා සංවිධානවල නායකයන්ම සිටි Sam Giancana සහ John Roselli යන අය සමගද සබඳතා පවත්මින් සිටි තැනැත්තියක් නිසයි.

ටෙඩ් ගේ ජනාධිපති සිහිනයද බිදවැටුනේ ඔහුගේම වරදකින් කිව්වත් වරදක් නැහැ.  1969 ජූලි 18 වනදා රාත්‍රිය ඔහුගේ දෛවය තීරණය කළ දිනයවූවා නිසැකයි. එදින ඔහු Martha's Vineyard Cappaquiddick දූපතේ පැවැත්වූ සාදයකින් අනතුරුව, ඊට පෙර වසරේදී නැසී ගිය ඔහුගේ සොහොයුරු රොබට් කෙනඩිගේ ජනාධිපති සටනටද ක්‍රියාකාරීව සහභාගීව සිටි Mary Jo Kopechne නම් 28 හැවිරිදි තරුණිය සමග මොටර් රථයක්  ධාවනය කරමින් සිටියද එය හදිසි අනතුරකට ලක්ව පෙරලෙන අතර ඔහු කරන්නේ අනතුරට පත් රථය හා එම අනතුරින් බරපතල තුවාල ලබා මරණයට පත්වන තරුණියද හැර දමා පළා යාමයි. ඊට පසුදින ඔහු අදාල බලධාරීන්ට මෙය සැල කර සිටියත් අදාල අවස්ථාවේ ශිෂ්ඨසම්පන්න පුරවැසියෙකු සේ තමන් එම ස්ථානයේ රැදී නොසිට පලා ගොස් එයින් තරුණියට යම් වෛද්‍ය ආධාරයක් ලබාදී ඇය රැකගැනීමට හෝ උත්සාහයක් නොදැරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ අතර අත්හිටවූ මාස දෙකක සිර දඬුවමකටද ඔහු යටත් කරනු ලැබුුවා.

මේ සිද්ධිය පිළිබදව ඇමරිකානු මහජනතාව මෙන්ම රටේ වැදගත් පාර්ශවයන් රැසක් මනාපයක් නොදැක්වූ අතර අදාල සිද්ධිය අරඹයා විවිද වාර්තා වැඩසටහන් මෙන්ම පොත්පත් පවා ලියවුන බව සදහන්ය. ටෙඩ් කෙනඩි විහින් කරගත් මෙම නොහොබිනා වැඩේ නිසා ඔහුට ජනපති පුටුවේ වාඩිවීමට වැඩි අවස්ථාව තිබූ 1972 ජනාධිපතිවරණය ගිලිහී ගියා. මන්ද ජනතාවගේ අප්‍රසාදයට ලත් අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම දැනදැන පරාජයට පත්වීමක් බව මුහුකුරා ගිය මිනිසුන් සිටිනා ඇමරිකානු දේශපාලනය තුල අමුතුවෙන් සිතන්නට, කියාදෙන්නට ඕනෑදෙයක් නොවේ. යම් හෙයකින් ඔහු මෙම වින්නැහිය සිදු නොකර ඉදිරිපත්වූවා නම් කෙනඩි නාමය කෙරේ ඇමරිකානු ජනතාවගේ ඇති බැදීම නිසා ජයගැනීමට තිබූ ඉඩකඩ බොහෝවිට තිබුනි.

1972 ජනාධිපතිවරණයෙන් අයිසන්හවර් ජනපතිගේ කාලයේ උපජනාධිපති ධූරය ඉසිලූ රිචඩ් නික්සන් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඔහුගේ ඡන්ද ප්‍රතිශථය 60.7% ක් විය.

එහෙත් කෙනඩි පවුලේ එක් බලාපොරොත්තුවක් තවමත් ඉතිරිව තිබේ. ඒ ජනපති කෙනඩිගේසහ ජැකී කෙනඩිගේ දරුවන් අතරින් ජීවතුන් අතර සිටින එකම සාමාජිකාව වන කැරොලයින්කෙනඩි මහත්මිය පිළිබදවයි. 

ඇය දැනට ජපානයේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන අතර අනාගතයේ ඇමරිකාවේ ජනාධිපතිධූරයකට ඉදිරිපත් වේදැයි තවමත් මතපළ කර නොමැත. කෙසේවෙතත් 2008 සහ 2012 ජනාධිපතිවරණ වලදී තමන්ගේ පවුලේ අය නියෝජනය කළ ඩිමොක්‍රැටික් පක්‍ෂයේම අපේක්‍ෂකයා වූ බැරැක් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට ඇය සහය දුන්නාය. 

මෙම ලිපිය දීර්ඝ බව තවදුරටත් වැඩිවන නිසා ඊලඟ ලිපියේදී මේ ලිපියටම අදාල තවත් කාරණා කතාකරන්නට තබා දැනට නවතිමි....