-->

Thursday, September 13, 2012

වසර 45 කට පෙර සීගිරි ලඳුන්ට කළ "අතවර" ගැන ඔබ දැන සිටියාද? මෙන්න ඒ ගැන පුවත්පත් තුනක වාර්තාකර තිබූ අන්දම...

මෙම ලිපියත් ටිකක් වෙනස් එකක්. මට ඊයේ දිනයේදී වෙනත් කාරණයක් ගැන ලිපියක් බලන අවස්ථාවක දැක ගන්නට ලැබුන 1967 දී සීගිර අප්සරාවන්ගේ සිතුවම් කිහිපයකට සාහසිකයකු හෝ සාහසිකයන් පිරිසක් විසින් කළ විනාශය පිළිබදව මෑත කාලයේ පුවත් පත් තුනක් වාර්තා කර තිබූ ආකාරය පිළිබදව වටිනා තොරතුරු ගෙන ඒමට සිතුනා. ඇත්තටම දිවයින, ලංකාදීපය හා විදුසර යන පුවත්පත් වල තිබූ එම වැදගත් තොරතුරු මෙහිදී ඉදිරිපත් කරන අතර එම පුවත්පත් වලට මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් ස්තූතියද පළ කරමි.

අදාල ලිපිය, එයට ඈදුන සබැඳිය හා එම ලිපිය ලියූ ලේඛකයාද මෙහිදී සදහන් කරමි.

මේ 2010 අගෝස්තු 29 වැනිදා දිවයින පත්‍රයේ තිබූ වාර්තාවයි. මෙහිදී ලිපියේ මුල් කොටස මෙම මාතෘකාවට අදාල නොවන නිසා එම කොටස හැරෙන්නට අනෙක් කොටස ඉදිරිපත් කරමි.
http://www.divaina.com/2010/08/29/feature09.html


සීගිරි ලාලනියන් නොඑන ගමන් යයිද.....!

මීට වසර 43 ඉහතදී සීගිරි ළඳුන් රෝගී වූ අවස්‌ථාවක්‌ ගැන විමසා බැලීමටද මේ කදිම අවස්‌ථාවකි.

ඒ ඉතා බිහිසුණු රාත්‍රියකි. සීගිරි මහා කැලෑව පැත්තෙන් උළලේනුන්ගේ හඬක්‌ ද බස්‌සන්ගේ සහ බකමූණන්ගේ භයානක හඬක්‌ ද ඇසෙන්නට වූ ඒ මූසල රාත්‍රිය 1967 ඔක්‌තෝබර් 14 වැනිදා සීගිරි බෙයඳේ ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේ උපත ලද සීගිරි ලාලනියන් විනාශ කිරීමට කුරිරු හස්‌තයන් අවතාර ලෙසින් ආහ. එදා සීගිරි ලාලනියන් මියෑදෙන්නට නොදී රැක ගත්තේ එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටි ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතාගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්‌ (රසායන සංරක්‍ෂණ) වරයකු වූද ආචාර්ය රාජාද සිල්වා මහතා සහ ඉතාලියේ මේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ සිටි ලුසියානෝ මරාන්සි මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි පිරිස විසිනි. ඔවුන්ට පින් සිදුවන්නට යළිත් සීගිරි බෙයඳේ සීගිරි ලාලනියෝ සුවපත් වූහ. යළිත් වරක්‌ සීගිරි බෙයඳේ සිටින සීගිරි ලාලනියන් 22 ගෙන් කීපදෙනෙක්‌ රෝගී වූ බැව් අපි දැනගතිමු. ඒ ගැන අප පමණක්‌ නොව ඈත එපිට පිටිසර ගම් දනව්වල සිටින අප රටේ ජනතාව බොහෝ දුකට පත් වී සිටින බවද අපි දනිමු. කෙසේ හෝ එම සීගිරි ලාලනියන් ඉතා ඉක්‌මනින් සුවපත් වේවායි අපි දු ප්‍රාර්ථනා කරමු.

අප මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ හරියටම මීට වසර 43 පමණ ඉහතදී ඒ සීගිරි ලාලනියන් විනාශ කළ පසුව ඔවුන් යළිත් සුවපත් කළ ආකාරය හා එහි පසුබිම පිළිබඳ විමසා බැලීමටය. පළමුව සඳහන් කළ යුතු ඉතා සංවේදී කරුණක්‌ද ඇත. එනම් සිය සේවා කාලයෙන් ඉතා වැඩි වසර ගණනාවක්‌ සීගිරි කැටපත් පවුර අසල සිට සීගිරි කුරුටු ගී 685 ක්‌ පිටපත් කර (Estampaqes හස්‌පිටපත්) Sigiri Graffit නමින් මහා ග්‍රන්ථ 2 ක්‌ ලියූ ඒ මහා ප්‍රාඥයා මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා එදා සීගිරි ලාලනියන්ගේ මුහුණුවල පමණක්‌ නොව සිරුර ද නිල් සායමින් වැසූ ඒ හතිබ්‍රෂ්ටයින් යින් කළ කුරිරු ක්‍රියාව නිසා කඳුළු සැළුවේය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෙනෙතට එදා කඳුළු නැඟුණේ ඒ මහා විනාශයෙන් සිදුවූ ජාතික ව්‍යසනය දරාගත නොහැකි වූ නිසාය.

මෙවර දුර්වර්ණ වෙමින් තිබෙන සීගිරි ලාලන රූපවලට වහාම පිළියමක්‌ යෙදීමට ජනාධිපතිතුමාගේ උපදෙස්‌ අනුව දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කිරීම අපට ඇති එකම අස්‌වැසිල්ලකි.

එදා සීගිරි ලාලනියන් ඝාතනය කිරීමේ ඒ මහා පාපකර්මය පිළිබඳව 2003 වර්ෂයේදී අප විසින් ලියන ලද සීගිරි කාශ්‍යප" නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කරන ලදී.

ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේදී අපේ උදාර මුතුන් මිත්තන්ගෙන් පැවත එන චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද සීගිරි චිත්‍ර 1967 ඔක්‌. 14 වැනිදා රාත්‍රි කිසියම් පිරිසක්‌ විසින් සායම් ගා විනාශ කරන ලදී. මේ විනාශය ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නෙතඟට කඳුළු නැඟුණු බවද ඉතා ප්‍රකට කරුණකි. මන්ඩෝදක කුටි ලෙසින් මෙම සීගිරි චිත්‍ර සිතුවම් කළ ලෙන් පෙදෙස හැඳින්වේ. එහි තිබූ සිතුවම් දහනවයෙන් දහ හතකට වඩා කොළ සායම් තවරා තිබුණි . (A කුටියේ 5 ක්‌ හා B කුටියේ 14 කි.) තවද විකෘති කර ඇති සිතුවම් දෙකකින් එකක (B කුටිය අංක 3) හිසත් ඊළඟ සිතුවමේ (B කුටිය අංක 4) ඉඟෙන් උඩ කොටසක්‌ සූරා දැමීමෙන් එම රූප දෙක අලුත්වැඩියා කළ නොහැකි අයුරින් විනාශ කර තිබුණි. ඊළඟ සිතුවම් (B කුටිය අංක 5) උල් ආයුධයකින් ඇන තිබුණි.

ඉතාලියේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි චිත්‍ර සංරක්‍ෂකයෙක්‌ වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක්‌ ලංකාවේ නැවතී සිට සීගිරි චිත්‍රවලට සිදුවූ හානිය ඉවත් කළේ. මේ පිළිබඳව එවක උනන්දුවකින් කටයුතු කළේ පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු ද වූද ආචාර්ය රාජා ද සිල්වා මහතා ය. මේ සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහායද නොබඳව ලැබුණි.

සීගිරි කාශ්‍යප -2003 - සිරිසමන් විඡේතුංග පි. 32.) මෙම විනාශය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙසේ සඳහන් වේ.

"කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිෆොaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා (ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමක්‌ කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වනවිට ඒ පළාතම වර්ෂා කාලය එළැඹ තිබුණෝය. එහි ගිය අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. (එහි ඡායාරූප දෙකක්‌ මේ සමඟ ඉදිරිපත් කරන ලදී.) පෙරදින පරීක්‍ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‍ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අඟුලු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967 - 68 ආචාර්ය ආර්. එච්. ද සිල්වා පි. ඨ23)

එම අවස්‌ථාව සැබැවින්ම කඩා බිඳ දමා තිබුණු කොටස්‌වල ගලේද තින්ත උලා තිබීම නිසා චිත්‍ර පළමුව කඩා බිඳ දමා දෙවනුව තීන්ත උලා ඇති බව ද ඉහත සඳහන් වාර්තාවේ දැක්‌වේ. ඒ කාලයේ තිබුණු එකම විද්යුත් මාධ්‍යය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පමණි. පුවත්පත්වලින්ද මේ විනාශය පිළිබඳ වාර්තා කර තිබුණි.

ආචාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රමුඛ රසායන සංරක්‍ෂකයන් විසින් තීන්ත ඉවත් කිරීමේ කටයුතු කරන ලදී. එම පුරාවිද්‍යා වාර්තාවේ මෙසේද සඳහන් වේ.

මේ වැඩය 1967 ඔක්‌තෝබර් මස 21 වැනි දින අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම් ඇම්. ඡේ. පෙරේරා මහතා විසින් පරීක්‍ෂා කරන ලදී. සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට දැනගන්නට ලැබුණු වහාම ඇමැති තැම්පත් අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විශේෂඥයාගේ සේවය ලබාදෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්‌කෘතික වස්‌තූන් හැදැරීමේ සහ සංරක්‍ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්‌ථානය විසින් තහවුරු කිරීම පිළිබඳ විශේෂඥයෙකු වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක වැඩ සඳහා ලංකාවට පැමිණීමට සූදානම් විය. 1967 ඔක්‌තෝබර් මස 22 දා මරාන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්‌ඩායම සමග වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

පසු දිනම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතාට තමා විසින් ගෙනෙන ලද ද්‍රව්‍යයන් හා ලංකාවේ ලබාගත හැකි ද්‍රව්‍යයන් යොදා අප විසින් යොදාගෙන තිබුණාට වඩා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ තෝරා ගැනීමට සමත් විය. සමහර චිත්‍ර කොටස්‌ වටේ වැඩුqණු දිලීරත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරැණි සකස්‌ කිරීමත් යන දෙකම අස්‌කරන ලදී. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. ඨ25)

කෙසේ හෝ සීගිරි බිතු සිතුවම් විනාශ කර දින 8 ක්‌ ඇතුළත ලුසියානෝ මරාන්සි මහතා මෙරටට ගෙන්වාගෙන තීන්ත ගෑ බිතු සිතුවම්වල එම තීන්ත ඉවත් කර ඒවා නැවත සංරක්‍ෂණය කිරීමේ කටයුතු සති දෙකක්‌ පුරා ඉටු කළ බව වාර්තා වී ඇත.

වසර 43 ඉහතදී කරන ලද සංරක්‍ෂණ ක්‍රියාදාමය 1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාවල ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර තිබේ.

එහිදී අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ මෙසේද සඳහන් වේ.

"ක්‌ෂාරය භාවිතා කිරීමෙන් මේ වර්ණ ද්‍රව්‍යයේ පාට නැති කළ හැක. එහෙත් සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් වැනි වූ ඉතා තනුක කාබනික ක්‍ෂාරයන් වුවද පාවිච්චියෙන් අතිරික්‌තය සෝඩියම් කාර්බොනේට්‌වලට පෙරළීම නිසා පසුව නොයෙක්‌ පැටලිලි ඇතිවන්නට පුළුවන. මේ සඳහා වාෂ්පශීලී කාබයින මූලස්‌ථ සමග බුට්‌ල් ඇමින් පාවිච්චි කිරීම රෝම මධ්‍යස්‌ථානය විසින් යෝජනා කරන ලදී. මෙය අවශ්‍යතාවට සෑහෙන බව පෙනී ගියේය. ඇමිනයද යොදන ලද්දේ කෙළවරේ කපු පුළුන් ඔතා වීදුරු කූරකිනි.

(පුරාවිද්‍යා වාර්තාව 1967-68 පි. 25)

ලුසියානෝ මරාන්සි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු සීගිරි බිතු සිතුවම්වල එම සාපරාධී නරුමයන් විසින් ගාන ලද තීන්ත ඉවත් කිරීමේ කාර්ය කොතරම් සාර්ථකව ඉටු කළේද යත් සකස්‌ කරන ලද්දේ කුමන කොටස්‌ද යන්න නරඹන්නාට තේරුම් ගත හැකි පරිදි කළ බවද වාර්තාවේ සඳහන් වී ඇති අතර එහි තවදුරටත් මෙසේ සඳහන් වේ.

බෙල් මහතා (ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල්) සීගිරි බිතු සිතුවම් වල දුටු කඩතොලු වුණු බොහෝ තැන් පුරවා නූතන පාටවල් යොදා ඒ කාලයේදීම කරන ලද සකස්‌ කිරීම් අප විසින් තහවුරු කළ යුතුව තිබුණු කොටස්‌වලට පිටට විහිදී තිබුණේය. 1889 දී චිත්‍ර පිටපත් කිරීම සඳහා මරේ මහතා (ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඒ. මරේ මහතා) විසින් ඒවා මත එලන ලද ටිසියු කඩදාසි අස්‌කර ගනිද්දී එම චිත්‍ර කොටස්‌ අවටින් තිබුණු වර්ණ තට්‌ටුව ගැලවී ඇත. මේ සුදට තිබුණු කොටස ඒ කාලයේදී සකස්‌ කළ නමුත් ඒ යොදන ලද වර්ණයන් සමග ගැලපුනේ නැත. මේ කොටස්‌වල මරුන්සි මහතා විසින් කළේ දිය කළ සායම් (රිවස්‌ පොලිටර් පාටවල් සහ අක්‌වාටෙක්‌ ඇරිලික්‌, පොලිටර් ඉමල්ෂන් බොකුර් කොලොම්බි නිව්යෝක්‌) යොදා අවශ්‍ය වූ ඉතාම අඩු ප්‍රමාණයේ සකස්‌ කිරීම් කරන ලදී. මේ කටයුතුවලදී එකල සැලසුම්කරු ඇස්‌. ඇම්. සෙනෙවිරත්න පසුව (සහකාර කොමසාරිස්‌) හා ඡායාරූප ශිල්පී ඇම්. ඩබ්. ඊ. කරුණාරත්න (පසුව සහකාර අධ්‍යක්‍ෂ) යන මහත්වරුන් විසින් මේ වැඩ කොටස සඳහා මරුන්සි මහතාට දක්‍ෂ ලෙස සහාය දුන්හ.

(පුරාවිද්‍යාව පි. 26)

බිතු සිතුවම්වල විනාශ කිරීමට ගෑ තීන්ත ඉවත් කිරීමෙන් හා ප්‍රතිසංස්‌කරණවලින් පසුව ටි්‍රලින් හි දිය කළ ඇරලොයිඩ් නම් රෙසිනයක්‌ චිත්‍ර මත තවරන ලදි. මෙය චිත්‍රවල ආරක්‍ෂාව සඳහා පමණක්‌ නොව. පැහැදිලි බව වැඩි කිරීමටද හේතු වූ බව එම වාර්තාවේ සඳහන් වේ. (ඉහතින් වරහන් තුළ සඳහන් කරන ලද්දේ මේ ලියුම්කරු විසිනි.)

මේ වැඩ කොටස අවසන් කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 නොවැම්බර් මස 4 වැනිදා ආපසු ගියේය. ඉන්පසු දෙවැනි වතාවටත් ඒ මහතා 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සීගිරි බිතු සිතුවම් සංරක්‍ෂණයේ කටයුතු ඒ වසරේ අප්‍රේල් මස 11 දින දක්‌වා සිදු කළ යළි සිය රට බලා ගියේය. මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ළඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‍ෂණයට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‍ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය" යනුවෙන් 67-68 පුරාවිද්‍යා පාලන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද 1968 මැයි මාසයේ 9 වැනිදා සීගිරි ළඳුන් නැවත සුවපත් කිරීමෙන් පසුව සිදුවූ සිදුවීමක්‌ පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ සඳහන් කර ඇත.

1968 මැයි මස 9 වැනි දින සම්භාවනීය අමුත්තනුත් දහස්‌ ගණන් රටවැසියනුත් ඉදිරියේදී සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරැණි රාජ සභා ශාලාවෙහි පවත්වනු ලැබූ ඉතිහාසගත විය යුතු රැස්‌ වීමකදී අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමා (අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා) විසින් සීගිරි බිතු සිතුවම් ගුහාව උත්සවාකාරයෙන් යළිත් විවෘත කරන ලදී. එහි මෙසේද සඳහන් වී ඇත. මෙම උත්සවය සාර්ථක කර ගැනීමෙහිලා මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විශේෂ කොට සහකාර කොමසාරිස්‌ මාකස්‌ ප්‍රනාන්දු සහ ප්‍රකාශන සහකාර (පසුව නියෝජ්‍ය කොමසාරිස්‌ හා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ව සිට අභාවප්‍රාප්ත (1993) වූ) ඇම්. එච්. සිරිසෝම යන මහත්වරු බොහෝ වෙහෙස ගෙන වැඩ කළෝය.

මෙහිදී ලුසියානෝ මරාන්සි මහතාගේ සංරක්‍ෂණ කටයුතු වාර්තා කිරීම සඳහා ගුවන් විදුලි සංස්‌ථාවේ නියෝජිතයා ලෙස ගිය ප්‍රවීණ මාධ්‍යවේදී අප හිතවත් පාලිත පෙරේරා මහතාගේ අත්දැකීමක්‌ මේ ලේඛකයා සමග පැවැසුවේය. එය මේ අවස්‌ථාවේදී මේ ලිපියේ සඳහන් කිරීම මැනවැයි සිතුවෙමි. අප හිතවත් පාලිත පෙරේරා මහතා එදා ලුසියානෝ මරාන්සි සමග කළ සාකච්ඡාවේදී ඒ මහතා පාලිත පෙරේරා මහතාගෙන් අප සිත් කම්පා කරවන ප්‍රශ්නයක්‌ ඇසුවේය.

"වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන ආ මේ ඉතාම ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරයකට අයත් වූ සංවේදී මිනිසුන් ජීවත් වූ ඔබේ රටේ මිනිසුන් ඇයි මෙවැනි මහ පොළව නුහුලන අපරාධයක්‌ කළේ."

අදත් අපට අසන්නට ඇත්තේ ඒ ප්‍රශ්නයමය. සංවේදී චිත්‍ර ශිල්පීන් පමණක්‌ නොව සංවේදී පුරවැසියන්ද ගම්වැසියන්ද අප රටේ සිටි බවට සීගිරි කැටපත් පවුරේ ක්‍රි.ව. 6 සියවසේ සිට ක්‍රි.ව. 15 වැනි සියවස තෙක්‌ ලියූ කුරුටු ගී (ගීත නොවේ) ඒ රසිකයන්ට පමණක්‌ නොව අනාගත පරපුරට ඉතිරි කර ඇති මෙහි සිදු කළ ඒ මහා විනාශය සැබවින්ම 20 වැනි සියවසේ දකුණු ආසියාවේ පමණක්‌ නොව ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් වාසය කරන මේ ලෝකයේ සිදු වූ 20 වැනි සියවසේ මහා සංස්‌කෘතික ෙ€දවාචකය ලෙසින් මෙහි සටහන් කළ යුතුව ඇත.

සිරිසමන් විඡේතුංග
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සහ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හිටපු ජනමාධ්‍ය උපදේශක 

මේ විදුසර 2012 සැප්තැම්බර් 08 වැනිදා මෙම අපරාධය හා සීගිරිය ගැන තවත් කොරතුරු පළ කර තිබූ ආකාරයයි - http://www.vidusara.com/2010/09/08/feature1.html

(පින්තූරය මතට mouse pointer ගෙන ගිය විට විශාලනය වේ).
සීගිරි සිතුවම්

ක්‍රි.ව. 459 සිට ක්‍රි.ව 477 දක්‌වා අනුරාධපුරයේ රජ කළ ධාතුසේන මහ රජුට දා ව යකඩ දෝලියක හෙවත් දෙවැනි පෙළ බිසවක ගේ කුසින් කාශ්‍යප උපන් බැව් ඉතිහාසයේ සඳහන් වෙයි. පරිසරයේ සුන්දරත්වය, තාක්‌ෂණය, කලා කෞශල්‍යය එක්‌ කළ රමණීය ස්‌මාරකයක්‌ වන සීගිරිය රට දැයට දායාද වූයේ කාශ්‍යප රජු ගේ සහ දේශීය කලා ශිල්පීන් රැසක ගේ දැඩි අධිෂ්ඨානයක ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ඉතිහාසය දක්‌වන පරිදි ක්‍රි.ව. 477 සිට මහා කාශ්‍යප රජු සිය අගනුවර කරගත් තැන් සිට අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්‌ වෙයි.

සීගිරිය අද අපට හිමි ලෝක උරුමයකි. ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමට හේතු වූ කරුණු කාරණා අතර සීගිරි චිත්‍ර සුවිශේෂී තැනක්‌ ගනී. එසේ ම සීගිරි චිත්‍ර පිළිබඳව කියවෙන කුරුටු ගී ද ලෝ පතළ වෙයි. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුළට නෙරුණු නැම්මට ඉහළින් කරවන ලද මේ බිතු සිතුවම් එකල කරවන ලද්දේ අව් වැසි උවදුරුවලින් ආරක්‌ෂා වන පරිදි ය. මුල් යුගයේ දී සීගිරියේ බටහිර පෙදෙස පුරා ම විහිදී තිබුණු මේ රමණීය සිතුවම්වලින් අද ආරක්‌ෂා වී ඇත්තේ චිත්‍ර 21ක්‌ පමණි. මෙයින් චිත්‍ර කිහිපයක්‌ 60 දශකයේ අග භාගයේ දී සිත් පිත් නැති අයකුගේ ගල් උල් පහරකින් හා තාර ගෑමකින් විනාශ විය. මේ විනාශය දුටු එකල ජීවත් ව සිටි ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයකු මෙන්ම ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ දෑසින් උණු කඳුළු කැට කඩා වැටුණේ ඔහුට ද නො දැනී ය. ඒ තරමට ම එතුමා සීගිරි චිත්‍රවලටත් චිත්‍ර ගැන කියවෙන කැටපත් පවුරටත් ආදරය කළේ ය.

මේ සිතුවම්වලට වස්‌තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් යෑයි මතයක්‌ පවතින අතර රජතුමා ගේ මෙහෙසියන් ය යන්න ද මතයකි. මහාචාර්ය මංගල ඉලංගසිංහ විද්වතුන්ට අනුව අප්සරාවන් යනු දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු වස්‌තු විෂයයකි. කසුප් රජු ගේ අන්තපුර ස්‌ත්‍රීන් යනුවෙන් ද හැඳින්වෙන මේ ලලනාවෝ සීගිරි චිත්‍ර ශිල්පීන් ගේ නිරූපිකාවන් වූවාට ද සැක නැත.

සීගිරි චිත්‍ර පිළිබඳව මේ වන විට විද්වතුන් 13 දෙනකු විවිධ අදහස්‌ පළ කර ඇත. වර්ෂ 1898 ද ලෝ පතළ ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ඉදිරිපත් කරන ලද මතය කිසියම් පිළිගැනීමකට ලක්‌ වී ඇත. එතුමා ගේ අදහසට අනුව චිත්‍රවල දකින්නට ලැබෙන රතු පැහැය සවස බටහිරින් හිරු බසින විට නැඟෙනහිර අහස රත් පැහැ වීමක්‌ දක්‌වයි. චිත්‍රවල ඉනෙන් පහළ කොටස වැසී ඇතත් ලලනාවන් ගමන් කරන විලාසයක්‌ පෙන්නුම් කරයි. සැම ලලනාවක ගේ ම අතේ මල් වට්‌ටියක්‌ හෝ මල් පොකුරකි.

මේ කරුණු අනුව බෙල් මහතා පෙන්වා දෙන්නේ හිරු බැස යන සැන්දෑවේ දෝතින් මල් ගෙන පිදුරංගල විහාරය වඳින්නට යන රජතුමා ගේ බිසෝවරුන් හා පිරිවර කාන්තාවන් චිත්‍රවලින් පෙන්නුම් කරන බව ය. මේ මතය සනාථ කිරීමට තිබෙන එක ම ප්‍රධාන සාධකය වන්නේ පිදුරංගල විහාරය දෙසට හැරී සිටින ලෙස මේ ලලනා චිත්‍ර නිර්මාණය කර තිබීම ය.

වර්ෂ 1902 දී ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන් මේ සිගීරි ලලනාවන් අර්ථ දැක්‌වූයේ වලාකුළුවල පා වන දිව්‍ය අප්සරාවන් ලෙසිනි. වර්ෂ 1968 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වූ රාජා ද සිල්වා විද්වතුන් ඉදිරිපත් කළ මතය වූයේ රජතුමා ගේ අග මෙහෙසිය හා සේවිකාවන් ආගමික උත්සවයකට සහභාගී වන අවස්‌ථාවක්‌ මින් නිරූපණය වන බව ය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් ද සීගිරි ලලනාවන් පිළිබඳව මතයක්‌ පළ කළ විද්වතෙකි. ඔහු ගේ මතය රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් සීගිරි ලලනාවන් පිළිබඳව සම්භාව්‍ය මතයක්‌ ඉදිරිපත් කළ විද්වතා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් හැඳින්විය හැකි ය. මෙතුමා සීගිරි ලලනාවන් වලාකුළු හා විදුලි කෙටීම් සංකේතවත් කරන බැවින් මේඝලතා සහ විජ්ජුලතා යනුවෙන් හැඳින්වී ය. ගල මත ගොඩනැඟූ මාළිගාවේ කුවේර ලීලාවෙන් කාශ්‍යප ජීවත් වූ බැව් අදහස්‌ කෙරෙයි. එහෙයින් මෙය කුවේරයා ගේ හෙවත් වෙසමුනි ගේ ආලකමන්දාව යනුවෙන් ද හැඳින්විණි. සෙනරත් පරණවිතාන මහාචාර්යතුමන්ට සංස්‌කෘත සාහිත්‍යය පිළිබඳව හසළ දැනුමත් තීබීම මෙවන් සම්භාව්‍ය අදහසක්‌ ඉදිරිපත් කිරීමට හේතුවක්‌ වූවා නිසැක ය.

මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක විද්වතුන්ට අනුව දුරාතීතයේ සිට සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට මෙන්ම අපට ද මේ චිත්‍ර සුන්දර වනිතාවන් පෙළක ගේ ආහ්ලාදජනක සිතුවම් කිහිපයකට වැඩි දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් කුරුටු ගීවලට අනුව සීගිරියේ ලලනා රූප 500ක්‌ තිබී ඇත. මේ රූප අතරින් අද ඉතිරි ව ඇත්තේ රූප 21ක්‌ පමණි. මේ ලෙනේ හැරුණු කොට සීගිරි පර්වතය ප්‍රදේශයේත් අනෙකුත් ගල් ගුහාවලත් සිතුවම් තිබුණු බවට සාක්‌ෂි ඇත. සීගිරිය නරඹන්නකුට චිත්‍ර දක්‌නට නැතත් චිත්‍ර ඇඳි බදාම කැබැලි අදත් ගල් ගුහාවල වහල පෙදෙසේ දැකගත හැකි ය.

දැනට ඉතිරි ව ඇති චිත්‍රවලින් පැරැණි ම චිත්‍ර ලෙස පිළිගැනෙන සීගිරි චිත්‍ර දේශීයත්වයක්‌ පෙන්නුම් කරන බැව් පැහැදිලි ය. ශිලා උද්‍යානයේ ගුහාවල ඉතිරි ව ඇති බොහෝ චිත්‍ර කොටස්‌ ප්‍රධාන චිත්‍ර ගුහාවේ චිත්‍ර තරම් ප්‍රකට නැත. එහෙත් කාල පරිච්ඡේදය සමාන වෙයි. ඉතා සියුම් ලෙස අදින ලද මල් හා සත්ත්ව රූපවලින් පිරි වියන් සිතුවම් ප්‍රධාන චිත්‍ර ගුහාවේ ඇති ලලනා රූපවලට නොදෙවැනි අන්දමින් නිර්මාණය කර තිබේ.

වර්ෂ 1899 දී එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවා ද වූ මරේ නමැති අයකු බිතු සිතුවම් ගුහාවලට නැඟ එම සිතුවම් පිටපත් කළ මුල් ම තැනැත්තා ලෙස ඉතිහාසගත වී ඇත. ඉන්පසු 1894 දී පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා සමග වැඩ කළ මුහන්දිරම් පෙරේරා නම් අයකු මේ චිත්‍ර පිටපත් කර ඇත. මේ සිතුවම් අද ජාතික කෞතුකාගාරයේ දක්‌නට ලැබේ. විදෙස්‌ සිත්තරුන් ගේ අවධානය සීගිරි චිත්‍ර කෙරෙහි යොමු වී ඇති බවක්‌ ද දක්‌නට ලැබේ. වර්ෂ 1935 දී ජපන් චිත්‍ර ශිල්පියකු මෙහි පැමිණ චිත්‍ර ගුහාවට ගොස්‌ ඒ අයුරින් ම පිටපත් කළ චිත්‍ර අදත් ජපානයේ ටෝකියෝ නුවර ජාතික කෞතුකාගාරයේ ආරක්‌ෂා සහිතව තිබෙන බැව් එය දුටු අය සාක්‍ෂි දරති. මේ චිත්‍රවල ඇති සුවිශේෂී ලක්‌ෂණය වන්නේ වර්ෂ 1935 දී චිත්‍රවල තිබුණු වර්ණ පැහැය ඒ අයුරින් ම එම පිටපත් චිත්‍රවල ඇතුළත් වීම ය. මෙහි දී කිවයුතු දෙයක්‌ ඇත. එදා සීගිරි චිත්‍රවල වර්ණ ස්‌වභාවය අධ්‍යයන කරන්නකුට අද එම වර්ණ පැහැය අධ්‍යයන කිරීම වඩාත් ප්‍රයෝජනවත් වන බව කිව යුතු වෙයි. හේතුව අද චිත්‍රවල එදා වූ වර්ණ පැහැය දක්‌නට නොමැති වීම ය. අද මේ චිත්‍ර නැරඹීමේ දීත් කාශ්‍යප රජු දවස චිත්‍ර නැරඹීමේ දීත් දක්‌නට ඇත්තේ පැහැදිලි වෙනසකි. අද පහළ සිට ඉහළ චිත්‍ර ගුහාව දක්‌වා ඉදි කළ පඩි පෙළක නැඟී ගොස්‌ චිත්‍ර අසල ම සිට නැරඹීමට හැකියාවක්‌ ඇත. එහෙත් කාශ්‍යප රජු දවස ජල උද්‍යානයේ සිට චිත්‍ර නැරඹූ බවට සාක්‌ෂි ඇත. මෙහි දී ලෙනේ වූ චිත්‍ර ජල උද්‍යානයේ පොකුණු තුළ ප්‍රතිබිම්බයක්‌ ලෙසින් දිස්‌ වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බහුතර ජනකායක්‌ සීගිරි චිත්‍ර දුර තියා නැරඹූ බවයි. සමහර විට ජල උද්‍යානයට ඉහළින් කිසියම් ස්‌ථානයක චිත්‍ර නැරඹීම සඳහා වේදිකාවක්‌ හෝ ඒ සඳහා වෙන ම ස්‌ථානයක්‌ හෝ ස්‌ථාපිත කර තිබෙන්නට ඇත.

සීගිරි පර්වතයේ බටහිර පෘෂ්ඨය බැස යන හිරු රැසින් මෙන්ම දහවල දී දැඩි හිරු රැසින් ද රත් වීමෙන් සිදු වන හානිය අවම කර සිතුවම් රැක දුන්නේ සීගිරි පර්වතය වටා පිහිටි දිය අගල ඇතුළත් ජල උද්‍යානයේ දිය පිරි පොකුණු සමූහය යෑයි කිව හොත් නිවැරැදි ය. මෙයට අමතරව සීගිරියට නිරිත දිගින් හා දකුණින් පිහිටි වැව් නැඟෙනහිර දෙසින් පිහිටි, තම්මන වැව, නාලන්දාගම වැව, මහ වැව, කළු ගල් වැව, ගලහිටියාව වැව, කිඹිස්‌ස වැව, බටහිරින් පිහිටි පොතාන වැව, ඊසාන දෙසින් පිහිටි හාගල වැව, කිටිය කොළ වැව, රඹවල වැව, උතුරු දෙසින් පිහිටි පහළ වැව, ඉලුක්‌ වැව, ඉහළ වැව, උඩගොල්ල වැව, පහළ නිකොට වැව යන වැව් හරහා හමා ආ සිසිල් සුළං සිතුවම් සහිත සීගිරි පර්වතයට සිසිලස ලබා දෙන්නට ඇත.

ජල උද්‍යානයේත් ඒ අවට පරිසරයේත් කිසියම් සැලැස්‌මකට අනුව උද්‍යාන විද්‍යානුකූලව විවිධ ශාක විශේෂ වගා කර තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ භූමියේ ස්‌වාභාවික පිහිටීමේ විකෘති කිරීමක්‌ නො කළ බැව් අදත් දක්‌නට ලැබෙන බැවිනි.

එහෙයින් දිය අගල්, ජල උද්‍යානයේ දිය පිරි පොකුණු හරහාත් තුරු වදුළු පිසිමිනුත් සීගිරි පර්වතය දෙසට හමා ගිය සුළඟ පර්වතය සිසිල් කළා පමණක්‌ නො ව බාහිර පරිසරයට නිරාවරණය වුණු සිතුවම් සමූහය ද සිසිල් කර, වැඩි වන උණුසුමින් සිදු විය හැකි හානි අවම කළා විය හැකිය.

සාමාන්‍යයෙන් ගස්‌ සෙවණක හෝ බඩවැටි සමූහයක්‌ ඇති ප්‍රදේශයක්‌ අසල වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය අවම මට්‌ටමක පවතී. එමෙන්ම ජල වාෂ්ප ප්‍රමාණය ද යම් මට්‌ටමක පවතී. දහවල දී හමන සුළඟින් වැඩි වන ජල වාෂ්ප ප්‍රමාණය විසිරී යන අතර හිරු එළියෙන් තෙතමනය යම් පමණකට අඩු කරයි. මේ නිසා අවට පරිසරය නිතර ම සිසිල් ස්‌වාභාවයකින් යුක්‌ත වෙයි. එහෙයින් පරිසර උෂ්ණත්වය සමබරව පවතී. මෙවන් ස්‌වාභාවික සංරක්‌ෂණ ක්‍රමවේද සීගිරි සිතුවම් සංරක්‌ෂණය වීමට හේතු වූවා නිසැක ය.

කල් යැමේ දී එම පරිසර තත්ත්ව වෙනස්‌ වීම සමස්‌ත සීගිරි සිතුවම්වලට විවිධ හානි සිදු කිරීමට හේතු වූවා විය හැකි ය. අදින් දශක 4කට පමණ පෙර තිබූ තත්ත්වයත් අද තත්ත්වයත් අතර තිබෙන වෙනස, අධ්‍යයනය කරන්නකුට අවබෝධ කර ගැනීමට අපහසු වන්නේ නැත. අදින් දශක කිහිපයකට පෙර සිතුවම් ලෙනට පහළින් පිහිටි කුඩා ලෙන්වල කළ සිතුවම් සුළු වශයෙන් හෝ දක්‌නට ලැබුණත් සංරක්‍ෂණයක්‌ නො කළ බැවින් එම සිතුවම් ගුහාවල බදාම කැබැලි පමණක්‌ අද දක්‌නට ලැබේ.

බිතු සිතුවම්

අතීතයේ දී සිතුවම් 500ක්‌ පමණ දක්‌නට ලැබුණු නමුත් අද දක්‌නට ලැබෙන්නේ චිත්‍ර 22ක්‌ වැනි ප්‍රමාණයකි. මෙයින් අංග සම්පූර්ණ ලෙස ඉතිරි වූ චිත්‍ර ඇත්තේ 12 ක්‌ පමණි. මෙයින් තනි කාන්තා රූප 6ක්‌ හා යුගල කාන්තා රූප 3ක්‌ ද වන අතර අනෙක්‌ කාන්තා රූපවල විවිධ කොටස්‌ මැකී ගොසිනි. සමහර තැන්වල බදාම ගැලවී ගොස්‌ ඇත. වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ සිතුවම් ලෙනට රහසේ ඇතුළු වූ සාහසිකයන් පිරිසක්‌ මේ සිතුවම් මත කොළ පැහැති සායම් තවරා උල් තියුණු ආයුධයකින් ඇන විනාශ කර තිබිණි. මේ සිදුවීමත් සමග අද අපට දක්‌නට ලැබෙන්නේ සිතුවම් කිහිපයකි.

කැටපත් පවුරට අඩි 44ක්‌ පමණ ඉහළින් පිහිටි සිතුවම් ලෙනේ දිග අඩි 60ක්‌ පමණ වෙයි. සිතුවම් ඇඳීමේ තාක්‌ෂණය පිළිබඳව විමසීමේ දී ගලේ රළු බිත්තියේ මතුපිට සුමට කිරීම පිණිස සුවිශේෂී බදාමයක්‌ භාවිත කර ඇත. බදාම සෑදීමේ දී මී පැණි, දිවුල් ලාටු, මකුළු මැටි හුණු යනාදිය භාවිත කළ අතර මේ බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ශාක යුෂ වර්ග උපයෝගි කරගෙන ඇත. චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර ඇත.

මේ සුමට බදාමය මත රතු හෝ දුඹුරු රේඛා අඳිමින් චිත්‍රය ඇඳි බවක්‌ දක්‌නට ලැබේ. මෙහි දී සිතුවමේ කිසියම් අංගයක්‌ වෙනස්‌ වූයේ නම් එනම් වැරැදි ආකාරයට සටහන් වූයේ නම් හෝ වෙනස්‌ කර සටහන් කළේ නම් වැරදුණු තැන් මකා දැමීමට චිත්‍ර ශිල්පියා උත්සාහ කර නැති බවක්‌ දක්‌නට ලැබේ. සමහර විට එම වරද තෙත බදාමය නිසා මකා දැමීමට අපහසු වන නිසාත්, මැකීමේ දී බදාමය පලුදු වන නිසාත් වරද නිවැරැදි කිරීමට සිත්තරා උත්සාහ කර නැත. එසේ අපහසුතා ඇති ව වුවත් සිත්තරා තෙත බදාමය භාවිත කළේ සිතුවම් දිගු කලක්‌ පැවතීමට හේතුවක්‌ වන බැවිනි. තෙත බදාමයේ අඳින ලද බැවින් මේ චිත්‍ර ඉංග්‍රීසියෙන් ෆ්රෙස්‌කෝ (Fresco) යනුවෙන් හැඳින්වෙයි.

ක්‍රි. ව. 5 වැනි සියවසේ විසූ කලාකරුවා ගේ කලා රසිකත්වය හා නිර්මාණ කුසලතාව මෙන්ම ඉවසීම හා සංයමය ද මේ චිත්‍රවලින් පිළිබිඹු කරයි.

ඉන්දියාවේ අජන්තා බිතුසිතුවම් සමග සීගිරි බිතුසිතුවම් සසඳන විට අජන්තා චිත්‍ර සම්ප්‍රදායට වඩා සීගිරි චිත්‍ර සම්ප්‍රදායේ වෙනසක්‌ දක්‌නට ලැබේ. අජන්තා ගුහා සිතුවම් ආගමික මුහුණුවරක්‌ ගනු ලැබුව ද සීගිරි සිතුවම් ලෞකික සෞන්දර්යය පිළිබිඹු කරන බවක්‌ පෙන්වයි. හේතුව සීගිරිය කාශ්‍යප රජු ගේ රාජධානියක්‌ වූ බැවිනි.

ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන්ට අනුව සීගිරි චිත්‍රවලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා සම්ප්‍රදායක්‌ පැවැති බැව් පෙන්වා දෙයි. එසේaම චිත්‍ර නිර්මාණය කළ ශිල්පීන් ඉන්දියානුවන් හෝ වෙනත් අය නො ව ශ්‍රී ලාංකිකයන් ම වන බැව් පෙන්වා දෙන්නේ මේ ලලනා රූපවලින් සිංහල කතුන් ගේ රුව පිළිබිඹු වන බැවිනි.

සිතුවම් විනාශය

වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ දී අනවසරයෙන් සීගිරි සිතුවම් ගුහාවට පැමිණි සාහසිකයන් පිරිසක්‌ සිතුවම් මත කොළ පැහැති වර්ණයක්‌ තවරා තියුණු උල් අයුධයකින් ඇන කඩා දමා විකෘති කර තිබිණි. මේ සිදුවීමට පෙර මේ චිත්‍ර සියල්ල ම පිටපත් කර තිබුණු අතර අද එම චිත්‍රයේ ස්‌වභාවය දැක ගැනීමට හැකියාවක්‌ නැත. එවකට මෙරට පාලනය කළ අගමැති ඩඩ්ලි සේනානායක මහතාත් සංස්‌කෘතික ඇමැති ලෙස කටයුතු කළ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාත් වහාම ක්‍රියාත්මක වී එවකට බිතු සිතුවම් කලාව පිළිබඳව ලෝ පතල විද්වතකු වූ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි ඔක්‌තෝබර් 22 දින ශ්‍රීලංකාවට ගෙන්වා ප්‍රතිසංස්‌කරණ කටයුතු එතුමාට බාර දී ඇත. ඊට පසු දින සීගිරිය බලා යන විට එවකට පුරාවිද්‍යාඥ කොමසාරිස්‌ වූ රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත් කිරීමේ කාර්යයේ යෙදී සිට ඇත. මෙහි දී ආචාර්ය ලුසියානෝ මරන්සි විසින් ගෙනෙන ලද ඩෙකාපෙක්‌ස්‌ නමැති රසායන ද්‍රව්‍යයක්‌ කපු පුළුන්වලින් පොඟවා ඇතිල්ලීමෙන් තීන්ත ඉවත් කර ඇත. ඉන්පසු පැතලියට සාදාගත් කපු පුළුන් කැබැල්ලක්‌ ට්‍රීලෙන් නමැති රසායන ද්‍රව්‍යයෙන් පොඟවා ඩෙකා පෙක්‌ස්‌ ආලේප කළ මතුපිට නැවත පිරිමැද ඇත. නැවත නැවත මෙය කිරීමෙන් පසු කොළ පැහැති තීන්ත හා කහ පැහැය ද ඉවත් විය. එහි දී චිත්‍ර මතුපිට තිබුණු දිලීර මෙන්ම බෙල් මහතා පලුදු වැසීම සඳහා භාවිත කළ තීන්ත ද ඉවත් විය. මෙයින් සිදු වූයේ මුල් ම සිතුවම නැවත මතු වීම ය. එහෙයින් අද අපට කාශ්‍යප රජ දවස අඳින ලද මුල් ම සිතුවම් දක්‌නට ඉතිරි වී ඇත.

එතැන් සිට අද දක්‌වා ම සීගිරි සිතුවම් මහජනයාට නිදහසේ නැරඹීමට අවස්‌ථාව උදා වී ඇතත් සිතුවම් සංරක්‌ෂණයකට කිසිදු මුලපිරීමක්‌ හෝ මේ වන තෙක්‌ කර නැත. මහජනයා, නිදහසේ වැල නො කැඩී සිතුවම් නරඹති. ආරක්‌ෂාවට කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් සිටිය ද ඔවුන් ගෙන් සිදු වන එක ම සේවාව සංචාරකයන් ගේ අවසර පත් පරීක්‍ෂා කිරීමත් සිතුවම් විදුලි ආලෝක භාවිතයෙන් ඡායාරූප ගන්නේ ද යන්න සොයා බැලීමත් ය. ඔවුන්ට මේ සිතුවම් පිළිබඳව හැඟිමක්‌ නැති බව මේ ලිපිය සකස්‌ කිරීම සඳහාත්, ඊට පෙරත් විටින් විට සීගිරියේ කළ ගවේශන චාරිකාවල දී මේ ලියුම්කරුට දක්‌නට ලැබිණි. මහජනයා වැල නො කැඩී එන සිතුවම් ලෙන් බිත්තියත් මඟී පාලමේ කෙළවරත් අතර ඇත්තේ කුඩා ඉඩකි. එය එසේ විය යුතු ය. එම ඉඩකඩ ප්‍රමාණයට දැරිය නොහැකි ප්‍රමාණයක්‌ සංචාරකයෝ එහි රැඳී සිටිති. තිබෙන කුඩා ඉඩකඩේ උණුසුම ඉහළ යන්නේ ප්‍රශ්වාස වාතයෙන් පිට වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩි වීම හා පිටතින් පිරිසිදු වාතාශ්‍රයක්‌ සිතුවම් ලෙනට නො ලැබීම නිසා ය. දිගු කලෙක සිට මෙය සිදු වන බැවින් සිතුවම් ලෙනේ සිතුවම් අව පැහැගැන්වීම කලක සිට ඉතා සෙමින් සිදු වන්නට ඇත.

එහෙත් පහුගිය දා අප කාගේත් සිත් සතන් මහත් සංවේගයකට පත් කරමින් පැතිරී ගිය ආරංචියෙන් කියවුණේ සීගිරි බිතු සිතුවම් අවපැහැගැන්වී ඇති බව ය. (මේ සම්බන්ධව ලිපියක්‌ පසුගිය සතියේ මේ සතියේ පළවිය)

මේ ආන්දෝලනය පැතිරීමත් සමග මේ ලියුම්කරු සීගිරිය බලා ගියේ ඇති තතු ඒ සැටියෙන් ම දැන ගැනීමේ අටියෙනි. උත්සාහය සාර්ථක විය. අවශ්‍ය ඡායාරූප ගැනීමට ද හැකි විය. ඉකුත් වසරේ දී එනම් වසර 2009 සැප්තැම්බර් මස මුල් සතියේ සීගිරියේ කළ සංචාරයේ දී බිතු සිතුවම් ලෙන ආවරණය කර තිබුණු කාකි ඝන කපු රෙද්දකින් සාදන ලද තිරය ඉවත් කර කළු පැහැති කෘත්‍රීම රෙද්දකින් සාදන ලද තිරයකින් සීගිරි බිතු සිතුවම් ආවරණය කර තිබිණි. කපු කාකි ඝන තිරය ඉවත් කර කෘත්‍රීම රෙද්දකින් සාදන ලද සුමට කළු තිරය සිතුවම් ආවරණය කිරීමට යෙදීම සිතුවම් අවපැහැ ගැන්වීමට හේතුවක්‌ වූවා විය හැකි ය.

කෙසේ වෙතත් පවතින තත්වය යටතේ සිතුවම් ආරක්‌ෂා කර ගැනීමට සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ යෙදිය යුතු වන්නේ මේ අවපැහැ ගැන්වීම වඩාත් වේගවත්ව සිදු විය හැකි බැවිනි. වගකිවයුතු අමාත්‍යංශයත් ඊට අදාළ නිලධාරීනුත් මේ පිළිබඳව අවබෝධයෙන් තොර මන්දගාමී පිළිවෙතක්‌ අනුගමනය කිරීම අභාග්‍යයකි.

සීගිරි සිතුවම් සංරක්‍ෂණය කිරීමට විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය අවශ්‍ය නැත. මෙරට සිටින විද්‍යාඥයන් ගේ දැනුම හා අවබෝධය ප්‍රමාණවත් වන්නේ ය. එහෙත් වැඩි අවබෝධයක්‌ හා නව ක්‍රමවේදයක්‌ යටතේ සිතුවම් සංරක්‌ෂණය කිරීම උදෙසා විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය ලබා ගත්තාට වරදක්‌ නැත. ප්‍රමාද වුවත් තිබෙන තත්ත්ව යටතේ සිතුවම් සංරක්‍ෂණය කිරීමට පෙලඹීම අනාගත පරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙයක්‌ වනු ඇත. සොබා දහම මගින් වසර 1500කට වඩා වැඩි කාලයක්‌ රැක දුන් සීගිරි සිතුවම්වලට සොබාදහමට වින කටින්නට යැමෙන් සිදු වී ඇති හානිය බලධාරීන් අවබෝධ කරගත යුතු ව ඇත.

මහජනතාව තවදුරටත් සිතුවම් අසල ගැවසී ඒවා ඡායාරූප ගනිමින් නැරඹීමට තිබෙන අවසරය ඉවත් කළ යුතු ය. සංචාරකයන් ගෙන් බහුතරයක්‌ සීගිරි පැමිණෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා ම ය. එහෙත් විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගවේශනයක යෙදෙන්නකුට සැබෑ සීගිරි චිත්‍ර නරඹා අධ්‍යයනය කිරීමට අවසර තිබිය යුතු වෙයි. එසේ නො වුණ හොත් තවත් දශකයක්‌ වැනි සුළු කාලයෙක දී සීගිරි සිතුවම්වල විනාශය වඩාත් වර්ධනය වීම වැළැක්‌විය නොහැකි දෙයක්‌ වෙයි.

අද සතියේ විමසුම
අමල් උඩවත්ත

තොරතුරු මූලාශ්‍ර එදා සහ අද සීගිරිය -
ආචාර්ය ඊ. ඇම්. රත්නපාල

සීගිරි පවත -
මහාචාර්ය මංගල ඉලංගසිංහ


http://www.elakiri.com/forum/showthread.php?t=659167&page=6 වෙබ් අඩවියේ සීගිරි සිතුවම් විනාශ කර තිබූ ආකාරය දැක්වෙන සේයාරූ තිබේ.

මේ 2011 සැප්තැම්බර් 22 ලංකාදීප පුවත්පතේ මෙම ව්‍යවසනය දැක්වූ ආකාරයයි. 
http://www.lankadeepa.lk/index.php/articles/5266

සීගිරියේ බිතු සිතුවම් විනාශය

කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා ඉතිහාසයට පමණක් සීමා වූවක් නොවේ. විදේශිකයන්ද සීගිරිය පිළිබඳව දක්වන්නේ අසීමිත ආදරයකි. මෙම බලකොටුව ගොඩ නගා ඇති ආකාරය අපේ පැරණි සිංහලයන් තුළ පැවති ශිල්පීය ඥාණය ලොවටම කියා පාන සංකේතයක් බඳුය. සීගිරියේ උද්‍යාන අලංකාරය, බලකොටුවේ ආරක්ෂාව, ජල නළ පද්ධතිය ඇතුළු සෑම ඉදිකිරීමක්ම ලෝකයා ඉදිරියේ තබන්නේ ප‍්‍රශ්නාර්තයකි. සීගිරියට පැමිණෙන දස දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් වශීකරන සීගිරි බිතු සිතුවම් ලෝක ඉතිහාසයේද ලාංකීය ඉතිහාසයේද අමරණීයත්වයට පත්ව තිබේ. මෙවන් නිර්මාණ ලෝක උරුමයන් බවට පත්ව තිබෙන්නේ එහි ගැබ්වී ඇති සුන්දරත්වය හා ආකර්ශණීයත්වය නිසාමය.

සීගිරි ලඳුන්ගේ රූපශ‍්‍රියාවට වෛර බැඳගත් පිරිස්ද නැත්තේ නොවේ. එවැනි පිරිසක් සිදුකළ අමානුෂික ක‍්‍රියාවක් නිසා අපේ ඉතිහාසය ඉරිතලා ගියේය. කලාකාමී හදවත් ශෝකයෙන් මුසපත් කළ සීගිරි බලකොටුවේ ශෝක ජනක සිදුවීම 1967 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින සවස් යාමයේදී සිදුවිය. එය නූතන ඉතිහාසයේ සඳහන් වන කඳුළු කතාවකි. ශත වර්ෂ ගණනාවක් ස්වභාව ධර්මයේ උවදුරකට පවා පත් නොවූ සීගිරි ළඳුන් මිනිස් උවදුරකට ගොදුරු වූ බව ලක්වැසියන්ට දැනගන්නට ලැබුණේ 14 වෙනි දින හිරු උදාවීමත් සමගය.

හොර රහසේම සීගිරි බලකොටුවට ඇතුළු වූ කිහිප දෙනෙකු ශත වර්ෂ ගණනාවක් ලෝකයේ කලාකාමී රසවතුන්ගේ දෑස් පිනවූ බිතු සිතුවම් දහ අටක තාර වැනි ඝණ තීන්ත වර්ගයක් අතුල්ලා එම සිතුවම් විනාශයට පත් කළ අතර උල් ආයුධයකින් ඇන සිතුවම් දෙකක ළැම ප‍්‍රදේශයට තුවාල සිදු කර තිබුණි. මෙම ශෝකජනක සිදුවීම 14 වන දින පෙරවරු කාලයේදී දුරකථන පණිවුඩයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනගන්නට ලැබුණේය. අදහාගත නොහැකි එම පණිවුඩය ලද වහාම ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසඥ ආචාර්ය රාජා ද සිල්වා යන මහතුන් සීගිරියට ගොස් සිදුවී තිබෙන තත්ත්වය එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාට දන්වා සිටි අතර අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. ඔක්තෝබර් 14 වන දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. රජයේ උපදෙස් පරිදි සීගිරි ළඳුන් ප‍්‍රකෘති ස්වභාවයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනු ලැබීය. සීගිරි බිතු සිතුවම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතා එවකට ඇමරිකානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්.ඒ. සයිමන් මහතා සමගද සාකච්ඡුා පවත්වා තිබේ. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය බී.බී. ලාල් මහතාගෙන් උපදෙස් ලබා ගැනීමටත් ඉතාලියේ සිටින අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා ලංකාවට ගෙන්වා ගැනීමටත් රජය තීරණය කළේය. ඉතාලි විශේෂඥවරයා ගෙන්වා ගැනීම සඳහා එවකට ඉතාලියේ ලංකා තානාපතිව සිටි එච්.ඩබ්ලිව්. විජේකෝන් මහතා දැනුම්වත් කරමින් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 19 වෙනි දින ඉතාලියේ ලංකා තානාපති කාර්යාලයට විදුලි පුවත්පතක් යවන ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතාලියේ අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා වූ ආචාර්ය ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණීමයි. මේ වන විටත් රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ. විදේශීය විශේෂඥ පිරිස් පැමිණෙන තෙක් විනාශයට පත් කළ සීගිරි සිතුවම් මත රසායනික ද්‍රව්‍ය ආලේප නොකරන ලෙසටත් තීන්ත පාරවල් ඉවත් නොකරන ලෙසටත් සේවයේ යෙදී සිටි පිරිසගෙන් අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලීමක් කරන ලද්දේ එතුමාද සීගිරියේ බිතු සිතුවම් කෙරෙහි දැක්වූ ආදරය නිසාමය. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදවා ගැනීමට අගමැති තුමා ඇතුළු සියළුම පිරිස්වලට තිබූ අවශ්‍යතාවය එදා පැහැදිලිව දකින්නට ලැබුණේය. අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්ද කළේය.

ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි, රාජා ද සිල්වා සහ ගොඩකුඹුරේ යන මහතුන් ඇතුළු පිරිසක් ඔක්තෝබර් මස 24 වෙනි දින සීගිරියට ගොස් විකෘති කළ බිතු සිතුවම්වලට නව පණක් ලබා දීමේ ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළෝය. තමන්ට සිදුවූ විපතක් සේ සලකමින් එම මෙහෙයුමට දායක වූ සියල්ලන්ම එකාවන්ව කටයුතු කිරීම ජාතියේ වාසනාවක් විය. මරාන්සි මහතා ඇතුළු පිරිස එසේ කටයුතු කරද්දී සාහිත්‍යධරයකු මෙන්ම කලාකාමියෙකු වූ එවකට මාතලේ දිසාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා (වර්තමාන අමාත්‍ය* දිනපතාම සීගිරියට පැමිණ සේවයේ යෙදී සිටි පිරිස සමග එක්වී සිටීම සුපුරුදු දසුනක් විය. කැඩපත් පවුරේ සටහන්ව ඇති කුරුටු ගී පිළිබඳව මරාන්සි මහතාට පැහැදිලි කරමින් සරත් අමුණුගම දිසාපති වරයා ඔවුන්ට කුරුටු ගී වල ඇති රසවත් භාවය කියා දෙමින් සේවයේ යෙදී සිටි පිරිසගේ වෙහෙස නිවීමට ගත් උත්සාහය සීගිරියේ කඳුළු කථාවේ අමතක නොවන සිහිවටනයකි. ලූසියානෝ මරාන්සි මහතා ඉතාලියෙන් රැුගෙන ආ ඩෙකා පෙක්ස් නමැති රසායන ද්‍රව්‍යය භාවිතා කරමින් ඔහුගේ අත්දැකීම් ඒ හා මුසු කරමින් සීගිරි ලඳුන් ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූ අතර ආචාර්ය රාජා ද සිල්වා මහතා ප‍්‍රමුඛ දේශීය සේවක පිරිස දැක්වූ කැපවීම සීගිරි ඉතිහාසයේ නොමැකෙන සටහනක් විය. අපේ ඉතිහාසය විකෘති කිරීමට තැත් කෙරූ සීගිරියේ බිතු සිතුවම් විනාශය පරදවමින් නැවතත් සීගිරි ලඳුන් දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් පින් කර තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රුදුරු ඛේදවාචකයක් නිමා කරමින් නැවතත් සීගිරි ලඳුන් පෙර සේම තම රූප ශෝභාවන් අපේ හදවත් තුළට සමීප කරමින් කියා සිටින්නේ සීගිරි රජ දහනෙන් මෙපිට ආලකමන්දාවක් ලෝකයේ වෙනත් කිසිම තැනක නොමැති බවය. සියලූ වැඩ කටයුතු සාර්ථකව නිමකර ලංකාවෙන් පිටත් වීමට පෙර ලූසියානෝ මරාන්සි මහතා මෙම ප‍්‍රකාශය කළේය. ”මෙතරම් කලාත්මක අගයක් ඇති චිත‍්‍ර මා ලෝකයේ කිසිම රටකදී දැක නැත.”

ගාමිණී පරණයාපා 
මෙම වටිනා තොරතුරු ගෙන ඒම පිළිබදව මෙම පුවත් පත් වලට හා එම ලිපි ලියූ ලේඛකයන්නට ස්තූතිය නැවත වරක් පුද කරමින් ලිපිය අවසන් කරමි...

23 comments:

  1. අනේ....බොහොම කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවානේ...

      Delete
  2. ස්තුතියි දිනේෂ්. ලිපි වලට අනුව චිත්‍ර ඇඳීම පමණක් නෙවෙයි ඒවා ස්ථාන ගත කිරීමේදීත් ඔවුන් සිතාබලා ඇති දුර සහ ස්වභාවධර්මය ඒසදහා උපයෝගී කරගෙන ඇති ආකාරය ගැන බැලුවහම ඔවුන් සතුව අති විශිෂ්ට දැනුමක් සහ තාක්ෂණයක් තිබී ඇති බව පේනවා. මම හිතන්නේ නෑ වර්තමානයේ ඔවැනි නිර්මාණයන් කරන කී දෙනෙක් ඔය තරමට දුරක් හිතයිද කියල (වර්තමානයේ ඔවැනි නිර්මාණ කරනවාද යන්න වෙනම කතාවක්)

    ReplyDelete
    Replies
    1. එම දැනුම වර්ථමානයට ගලා නොයෑම නම් කණගාටුදායකයි...

      Delete
  3. වර්තමානයේ කොහොමද ඔවැනි නිර්මාණ කරන්නේ? නිර්මාණ බිහි වෙන්න නම් සීමා නැතුව හිතන්න ඉඩ තියෙන්න ඕනේ. අද ඔහොම එකක් කරොත් කොහෙන් තහනමකට, වාරනේකට අහුවෙයිද දන්නේ නෑනේ !

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මමත් එකඟයි...

      Delete
  4. ඔය පාහර වැඩේ කරපු එකාල කවුරුවත් පොලිසිය හොයාගෙන නැහැ නේද? අර එලකිරියෙ ගිහින් තිබු‍ණෙ විදේශිකයෙක් කියල, ඒක තහවුරු කරපු කතාවක් නෙවි වෙන්න ඇති. කොහොම වුනත් 1967 වගේ කාලෙක ඔය වගේ දෙයක් කළේ නූගතෙක් කියනවට වඩා යම් විදියක උගත්කමක් තිබුණු මිනිහෙක් හරි කණ්ඩායමක් හරි කියල තමා හිතන්න පුළුවන්. ඒ අතින් බැළුවත් උගත් වුනත් නූනත් මිනිස්සු කොයි තරම් කෘෘර ද? මෝඩ ද?

    ReplyDelete
    Replies
    1. මිනිහෙක්ගේ නොහොබිනාකම් මතුවෙන්නට උගත් නූගත් බේදයක් නැති බව මමත් අද්දැකීමෙන් දන්නා දෙයක්. කොහොමවුනත් ලෝකය අපි හිතන තරම් සරළ සුන්දර තැනක් නොවෙයි...

      Delete
  5. මම ඒලෙවල් ප්‍රොජෙකට් එකට කලේ සීගිරිය ගැන... 6 පාරක් ගියා සීගිරියට.. මේ ගැන ගොඩක් කියෙව්වා.. කෞතුකාගාරෙදි තමයි හොදට චිත්‍ර ටික බලා ගත්තේ... මේ ගැන කියවද්දි හිතට සෑහෙන ආවේගයක් දැනුනා එදාත්.. අදත් එහෙමයි....

    මට නම් හිතුනේ මේ වැඩේ කරන්න ඇත්තේ උගත් මානසික ලෙඩ්ඩු කට්ටියක් කියලා.... මොලේ හොද කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ....

    ReplyDelete
    Replies
    1. එකඟයි. අපේ දේවල් වචනයෙන් මිසක් ප්‍රායෝගිකව රැක ගැනීමට උත්සාහයක් නොදැරීම නිසා ඉදිරියේදී මීට වඩා දේවල් අපිට අහිමිවන එක සිකුරුයි...

      Delete
  6. ලියනාඩෝ ඩාවින්චි ගෙ සනුහරේම ශ්‍රේශ්ඨ කලා කරුවකු වූ ඉතාලි ජාතික ලුචියානෝ මරාන්සි මහතා සීගිරි චිත්‍ර යළි ගොඩ නැඟීමට ගත් වෙහෙස අපමණ බව මම අසා තිබෙනවා... ඔහු පුදුම අදරයක් මේ ශ්‍රී ලංකාවට දැක්වුයේලු. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක් උනා. එපමණක් නොව ඔහු ලංකාවෙද පදිංචි වී සිටියා. නමුත් මාස දෙකකට පමණ කලින් ඔහු නිහඬව ම සදාතනික නින්දට වැටුනා. අපේ රටේ වග කිව යුතු කවුරුත් ඔහු ගැන ගුණ කථනයක් වත් කළ බවක් අසන්න ලැබුනේ නෑ.. ලිපිය කියෙව්වා ඩිනේශ් සහෝ. ගොඩාක් ස්තුතීයී

    ReplyDelete
    Replies
    1. ඩාවින්චි කිව්වම මතක් උනේ. එතුමගෙ ශ්‍රේෂ්ඨ මොනාලිසා සිතුවමටත් කෙහෙද යන පිස්සෙක් මේ වගේම අතවරයක් කළානේද?

      Delete
    2. වැදගත් තොරතුරක් ශෂික ඇත්තටම මේ ලිපිය නොවෙන්නට මමවත් එය දැන සිටි‍යේ නැහැ. ලංකාවේ කොහොමත් වෙන්නේ යම් දෙයක් වුන අවස්ථාවේ (හොද හෝ නරක) ඒ ගැන කතාකරන එක සම්මාන දෙන එක මිසක් පසුව ඒ ගැන තැකීමක් නැහැ. කොහොමවුනත් මීට වඩා විනාශයට ලක්වන්නට ගිය අපේ කියා ආඩම්බරයෙන් කිව හැකි ස්වල්පයක් වූ දේවල් අතර ප්‍රමුඛ තැනක් ගන්නා සීගිරියේ මෙම මිල කළ නොහැකි සිතුවම ආරක්‍සා කරදුන් එම මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...

      Delete
    3. @DDT - ඔව් මොනාලිසා සිතුවමටත් සෑහෙන්න කරදර ඇතිවුනා. ඒ ගැන වැඩි තොරතුරු ලියනාඩෝ ගැන ලියූ ලිපියේ තිබෙනවා...

      Delete
  7. සීගිරි ලලනාවන්ට හානි කිරීම මට හොඳට මතකයි. ඒ කාලේ මම එස්.එස්.සී. පන්තියේ ඉගෙනගත්තේ. ගුවන්විදුලි ප්‍රවෘත්ති වලින් තමයි මුලින්ම දැනගත්තේ. අපේ ගුරුවරු දෙමවුපිය වැඩිහිටියෝ කම්පාවෙන ආකාරය දැකලා තමයි එහි බරපතලකම වටහාගත්තේ. ඒ විනාශය වෙන්න කලින් 1966 වසරේදී ඒ සිතුවම් දැකගන්න මම වාසනාවන්ත වුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ සමකාලීන අත්දැකීම් ඇති ඔබ වැනි අයෙකුගේ අදහස ඉතාම වටිනවා මහත්මයා...

      Delete
  8. කතා දෙකක් නැහැ අනිවාර්යයෙන්ම මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. "තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා කිව්වලු"...

      Delete
  9. "ලුසියානෝ මරන්සි" මිය ගියා දැනට මාස කිහිපයකට කලින් ...

    ReplyDelete
  10. නිර්මාණ බිහි කරන්න ඉඩක් නැති පරිසරයේ වැඩියෙන් සිද්ධ වෙන්නෙ අනුන්ගේ නිර්මාණයන්ට හානි කිරීමයි.

    වෙහෙසිලා මෙහෙම එක තැනකට මේ තොරතුරු ගෙන ඒමට ස්තූතියි.

    දිනේශ්, ඔයත් සිංහල විකිපීඩියාවට දායාද වෙන්න වේලාවක් ඇත්නම්.

    ReplyDelete
  11. මෙහෙම දෙයක් වුණා කියන එක නම් අහලා තිබුනා.. මේ තරම් විස්තර දැනගත්තේ අද... ලෝකෙම අගය කරන දෙයක අගය දන්නැති මිනිස්සුන්ගේ ජීවිත වලත් කිසිම අගයක් නෑ...

    ReplyDelete
  12. මුතූගේ පන්හිඳෙන් ලියවුනු..
    කතා සිත්තම් රසවිදින්නට...
    ඔබට ඇරයුම්...
    http/:muthugepanhida.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොදයි එන්නම් බලන්න...

      Delete