Friday, May 20, 2011

ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල විශිෂ්ඨතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම - Operation Entebbe - Israel’s Lightning Strike

අද ඔබ හමුවේ තබන්නට යන ඉහත මාතෘකාවට අදාල සිදුවීම ඊශ්‍රායලය පිළිබදව ලියවුන ලිපියේදීද ඔබව දැනුවත් කල දෙයක්.  නූතන ඊශ්‍රායලයට කෙටි කාලීන ඉතිහාසයක් ඇතත් ඔවුන්ගේ සංග්‍රාමික ශක්තිය හා උපක්‍රම නිරතුරුවම මුළු ලෝකය පුරා කතාබහට ලක්වූ තේමාවක් බව බහුතරයක් දෙනා දන්නා කරුණක්. ඔවුන් පලස්තීනය හා අසල්වැසි අරාබි රාජ්‍ය කෙරේ දක්වන ආක්‍රමණශීලී සතුරු ආකල්පය බොහෝවිට අනුමත කල ‍නොහැකි වූවත් යම් යම් අවස්ථාවලදී විශාල ජන ඝාතනයක් වැලැක්වීමට හෝ ත්‍රස්ථවාදය කෙරේ ඔවුන් දක්වන දැඩි ආකල්පයට හොදම උදාහරණයක් ලෙස 1976 ජූලි 4 වනදා ‍උගණ්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපලේදී  ඊශ්‍රායල ආරක්‍ෂක අංශ (Israel Defense Forces (IDF)) විසින් ප්‍රාණ ඇපකරුවන් 100 කට අධික පිරිසක් මුදවා ගත් "Operation Entebbe" ලෙස හැදින්වෙන මෙහෙයුම දැක්විය හැකියි.
පැහැරගැනීම
පසුකාලීනව චිත්‍රපටි රැසකටත්, පොත්පත් හා වාර්තාමය වැඩසටහන් රැසක් තැනීමටත් පාදකවූ මෙම මෙහෙයුම සිදුකිරීමට ඇතිවූ සිද්ධිදාමය මෙසේයි. 1976 ජූනි 27 වනදා ඊශ්‍රායලයේ  Tel Aviv හි Ben Gurion ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ප්‍රංශයේ  Air France Flight 139 දරන, Airbus A300 (Airbus A300B4-203) ගුවන් යානය ගුවනට පිවිසියේ ප්‍රංශය Charles De Gaulle ගුවන් තොටුපල බලා පියාසර කිරීමටයි. මෙම ගමන අතරතුරදී ඔවුන් එක් ස්ථානයක යානය ගොඩබස්සන ලද අතර ඒ Athens හි Ellinikon අන්තර්ජාතික ගුවන් තොටුපල වෙතටයි. යානය නැවත දහවල් 12.30 ට ගුවන් ගත කරන ලද අතර එයින් සුළු මොහොතකට පසු සිව් දෙනෙකුගෙන් සමන් විත කොල්ල කණ්ඩායමක් විසින් යානය සිය අනසක යටතට ගන්නා ලදි. මෙයින් දෙදෙනෙක් පලස්තීන ජාතිකයන් වූ අතර ඔවුන් දෙදෙනා  Popular Front for the Liberation of Palestine - External Operations (PFLP-EO) නම් සංවිධානයට අයත් වූ අතර ‍අනෙක් දෙදෙනා ජර්මානු ජාතිකයන් දෙ‍දෙනෙකු වූ අතර ඔවුන් Revolutionary Cells නම් ජර්මානු අන්තවාදී සංවිධානයකට අයත් වූ අතර නමින් Wilfried Böse සහ Brigitte Kuhlmann විය.

මේ අවස්ථාවේ මෙහි මගීන් 248 දෙනෙකු හා කාර්යය මණ්ඩලය 12 දෙනෙකුගෙන් සමන්විත වු අතර කොල්ල කල්ලියේ බලපෑම මත යානය ලිබියාවේ Benghazi වෙතට හරවා ගමන් අරඹන ලදි. ලිබියාවේ මෙම ගුවන් තොටුපලට බැස්සවීමෙන් අනතුරව පැය 7 ක කාලයක් යානයට ඉන්ධන පිරවීම සහ අනෙකුත් කාර්යයන් කරමින් ගත කර අතර මෙම ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ගබ්සාවීමේ අනතුරකට මුහුණපෑමට ඉඩතිබූ  ගර්භනී කාන්තාවක් නිදහස් කිරීමටද කොල්ලකරුවන් කටයුතු කරන ලදි. මෙම කටයුතු වලින් පසුව නැවත ලිබියාවේ Benghazi  සිට ගුවන් ගතවූ යානය 1976 ජූනි 28 වනදා පසුවරු 3.15 ට උගණ්ඩාවේ Entebbe ගුවන් තොටුපලට ගොඩ බස්වන ලද අතර ඒ එරට ආඥාදායක පාලක ඉඩි අමීන්ගේ ආරාධනාව පරිදියි.


ඉඩි අමීන්
මෙසේ මෙම ගුවන් යානා මංකොල්ලයට උගණ්ඩාව සම්බන්ධවීමට හේතු කිහිපයක් විය. එයින් එක් හේතුවක් වූයේ කලකට පෙර ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට ඉල්ලන ලද Phantom jets ප්‍රහාරක යානා සැපයීම ඊශ්‍රායලය විසින් ප්‍රතික්‍ෂේප කර තිබීම නිසා දෙරට අතර තානාපති සබදකම් අත්හිටුවීමට ඉඩි අමීන් ක්‍රියා කල අතර කම්පාලා නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයද PLO (The Palestine Liberation Organization) සංවිධානයේ මූලස්ථානය ලෙස පවත්වාගෙන යාමටත් අවස්ථාව දෙන ලදි. මේනිසා PLO සංවිධානය හා ඉඩි අමීන් අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබූ අතර අනෙක් අතින් ඔහු අරාබි ලෝකයේ මුස්ලිම් ගැලවුම්කාරයෙකු ලෙස පෙනී සිටීමට තිබූ ගිජු බව නිසා ඒ කාලයේ අරාබි ලෝකයේ පොදු සතුරා වන ඊශ්‍රායලයට විරුද්ධව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවීම ඔහුට ලැබුන හොද අවස්ථාවක්ද විය.

මෙලෙස ඉඩි අමීන්ගේ  පූර්ණ අනුදැනුම මත උගණ්ඩා භූමියට ගොඩ බැස්සවූ ගුවන් යානයේ සිටි කොල්ලකරුවන් සමග තවත් සිව්දෙනෙකුගෙන් යුත් ත්‍රස්ථයන් පිරිසක් එක්වීමද සිදුවිය. ඉන්පසු මෙම කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය කොන්දේසිය ඉදිරිපත් කරන ලද අතර ඔවුන් නියම කර සිටියේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවූ 40 ක් වන පලස්තීන ජාතිකයන් පිරිසක් හා කෙන්යාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය හා එවකට බටහිර ජර්මනියේ සි‍රභාරයේ පසුවූ තවත් රැදවියන් පිරිසක්  නිදහස් කිරීම වූ අතර එම ඉල්ලීම ඉටු නොවුවහොත් 1976 ජූලි 01 දා සිටි ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කිරීම ආරම්භකරන බවට තර්ජනය කරන ලදි.

කෙසේවෙතත් මෙම ත්‍රස්ථයන්ගේ තර්ජනයේ යම් ලිහිල්වීමක් දැකිය හැකිවූ අතර ඔවුන් සිය ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් කොටස් දෙකකට බෙදන ලදි. ඒ ඊශ්‍රායල ජාතිකයන් වන හා නොවන ලෙස හෝ යුදෙව්වන් හෝ අන්‍යජාතිකයන් වන ලෙසයි.  මෙම දෙපිරිසම ගුවන් තොටුපලේ the old terminal හදුන්වන ස්ථානයේ රදවා ගෙන සිටින අතරතුර යුදෙව්වන් නොවන අය සහ කාර්යය මණ්ඩලය නිදහස් කරන ලද අතර වෙනත් Air France ගුවන් යානයක්  Entebbe වෙත ලගාවූයේ ඔවුන් පිරිස රැගෙන යාමටයි. එහෙත් පැහැරගන්නා ලද ගුවන් යානයේ ප්‍රධාන නියමු කපිතාන් Michel Bacos ත්‍රස්ථයන්ට කියා සිටියේ මෙම ගුවන් යානයේ පැමිණි සියළුම මගීන්ගේ වගකීම රදා ඇත්තේ තමන් මත නිසා තමන් සියළුදෙනාම නිදහස් කරන තෙක් නොයන බවයි. ඔහුගේ සහචර කාර්යය මණ්ඩලයද ඔහු අනුගමනය කල අතර මගීන් අතර සිටි ප්‍රංශ ජාතික පූජකවරියක්ද නිදහස ලබා යන පිරිස සමග යෑම ප්‍රතික්‍ෂේප කල අතර ඇය කියා සිටියේ නිදහස් නොකරන ලද ප්‍රාණ ඇපකරුවන්ගෙන් එක් අයෙකුද තමන් සමග යා යුතු බවයි. එහෙත් ඇයගේ ඉල්ලීමට ඉඩ නොලැබුන අතර උගණ්ඩා සොල්දාදුවන් ඇය බලහත්කාරයෙන්ම නිදහස ලබා නැවත යන පිරිස සිටි ගුවන් යානයට නංවන ලදි.

මේ අනුව ඉතිරිවූයේ ඊශ්‍රායල ජාතිකයන් වන හෝ නොවන යුදෙව්වන් 85 දෙනෙකු හා කාර්යය මණ්ඩලයේ අයද ඇතුළුව 20 දෙනෙකු පමනි.

මෙහෙයුම් සැලසුම් කිරීම
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට සතියකට පෙරාතුව ඊශ්‍රායලය රාජ්‍ය තාන්‍ත්‍රික මට්ටමෙන් විසදා ගැනීමට ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලද අතර සමහර මූලාංශ්‍ර වල දැක්වෙන පරිද යම් හෙයකින් හමුදාමය ක්‍රියාමාර්ගයකින් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම අසාර්ථකවුවහොත් ත්‍රස්ථයන් විසින් නිදහස් කරන ලෙස බල කරන සිරකරුවන් මුදා හැරීමට අවශ්‍ය ක්‍රියාදාමයන් සිදුකිරීමට අවශ්‍ය අවසර ලබා දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණයද කර සිටි බවයි.

එසේම කැබිනට් මණ්ඩලයේ අවසරය මත, විශ්‍රාමික හමුදා නිලධාරියකුවන හා වසර ගණනාවක් ඉඩි අමීන්ගේ පෞද්ගලික මිතුරෙකුද වන Baruch "Burka" Bar-Lev  ඉඩි අමීන් සමග මෙම ගැටළුව දුරකථනයෙන් කතා කර නිරාකරණය කර දීමට කිහිපවිටක්ම උත්සහ දැරුවද ඒ සියළු ප්‍රයත්නයන් ව්‍යවර්ථවිය.

තවද ඊශ්‍රායල ආණ්ඩුව මෙන්ම ඔවුන්ගේ මිතුරු ඇමරිකානු ආණ්ඩුව,එවකට අරාබි ලෝකයේ දැවැන්තයෙකු වන ඊජිප්තු ජනාධිපති Anwar Sadat ගෙන් මෙම තත්වය නිරාකරණය කර ගැනීමට ඉඩි අමීන් හා එකඟතාවයක් ඇති කර දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඊජිප්තු ජනාධිපතිවරයාද කිහිපවිටක්ම මෙය සම්බන්ධයෙන් උගණ්ඩා ආඥාදායකයා සමග පමණක් නොව අදාල ත්‍රස්ත කණ්ඩායම සමගද විශේෂ ධූතයන් එරටට පිටත්කර සාකච්ඡාකලද ප්‍රතිළුල රහිතවම ඒවා අවසන්විය.

ඉන්පසු ඊශ්‍රායලය දෙසින් තව ඉල්ලීමක් ඉදිරිපත් විය ඒ අඩුම තරමින් ජූලි 01 වනදාට දී තිබූ රැදවියන් නිදහස් කිරීමට තව කල් ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම  ඉඩි අමීන් විසින් කොල්ලකරුවන් වෙත ඉදිරිපත් කරන ලද අතර ජූලි 04 වනදා දක්වා කල් දීමට ඔවුන් එකඟවිය. මෙම ඉල්ලීමට කන්දීමට  ඉඩි අමීන් එකඟවීමට කාරණයක් විය. එනම් Mauritius වෙත ඔහුට රාජ්‍යතාන්ත්‍රික චාරිකාවක් යාමට තිබූ අතර ඒ  Organisation of African Unity හි ඔහු දරමින් සිටි සභාපතිත්වය නිලවශයෙන් Mauritius  හි අගමැති  Seewoosagur Ramgoolam වෙත භාරදීමටයි. ඊශ්‍රායලයටද මෙම කල් ඉල්ලීමේ අරමුණක් විය.එනම් ඊශ්‍රායල ආරක්‍ෂක අංශයන්ට උගණ්ඩාව වෙත ලගාවීමට ඇවසි කාලවේලා ලබා ගැනීමයි.

සියළු උත්සායන් ප්‍රතිඵල රහිතවම නිමාවට පත්වන බව පෙනෙන්නට වූ නිසා Mossaහෙවත් Israel's foreign intelligence agency ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සදහා වූ මෙහෙයුමට පිඹුරුපත් සැකසීම ආරම්භකලේය. මේ සදහා ඔවුන් මුලින්ම නිදහස ලබා පැමිණි ප්‍රාණ ඇපකරුවන් වෙතින් කරුණු විමසා මෙම සිද්ධිදාමයේ හා ඔවුන් රදවා තිබූ ස්ථාන ආදී වැදගත් තොරතුරු පිළිබද නිවැරදි චිත්‍රයක් ගොඩනංවා ගැනීම සිදුකලේය. මෙහිදී සුවිශේෂ තත්වයක් වූයේ කොල්ලකරුවන් වැරදීමකින් ප්‍රංශ ජාතික යුදෙව්වෙකුද නිදහස් කර තිබීමයි. ඔහු මනාව හමුදා පුහුණුව ලැබූවකුද වූ අතර ප්‍රපංචයන් පිළිබද මතකයන් ("a phenomenal memory") තබා ගැනීමේ ශූරයෙකුද වූ නිසා Entebbe ගුවන් තොටුපල හා එහි පවතින තත්වය පිළිබද බුද්ධි තොරතුරු ලබා ගැනීම තවත් පහසුවක් විය.

එපමනක් නොව 60 හා 70 දශකවල බොහෝ අප්‍රිකානු රටවල ඉදිකිරීම් සිදුකරන ලද්දේ ඊශ්‍රායල ඉදිකිරීම් සමාගම් විසිනි. එයින් එක් සමාගමක් විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් රදවා ඇති ‍ගුවන් තොටුපලේ ගොඩනැගිලි තනා තිබූ අතර ඔවුන් ලබා දුන් blueprints හා විස්තර ආධාරයෙන් ගුවන් තොටුපලේ අනුරුවක්ද තනා මෙහෙයුම සිදුකරන භූමිය පිළිබද පුළුල් අධ්‍යයනයක්ද සිදුකරනු ලැබූහ.


1976 ජූලි 03 වනදා තීරණාත්මක දිනයක් විය.   එයට හේතුව ඊශ්‍රායල  කැබිනට් මණ්ඩලය විසින් අදාල මුදවා ගැනීමේ මෙහෙයුමට අවසරය ලබා දීමයි. ඒ අනුව Major General Yekutiel "Kuti" Adam මෙම මෙහෙයුමේ අණදෙන නිළධාරියා ලෙස පත් කරන ලද අතර ඔහුගේ දෙවනියාවූයේ  Major General Matan Vilnai වන අතර  Brigadier General Dan Shomron භූමියේ සිදුකරන මෙහෙයුම් වල අනදෙන්නා විය.
මෙම මෙහෙයුම සිදුකිරීමට පෙර ගුවන් නියමුවන් රාත්‍රීකාලයේ ආධාරක නොමැතිව ගුවන්යානා ගොඩබැස්සවීම හා නැවත ගුවන් ගත කිරීම පිළිබදවද පුහුණුවීම් සිදු කලේය. තවද මෙම මෙහෙයුම සදහා 
C-130 Hercules ප්‍රවාහණ ගුවන් යානා 4 ක් හා Boeing 707 jets ගුවන් යානා 2 ක් යොදා ගැනීමටත් තීරණය වූ අතර මීට අමතරව‍ මෙහෙයුම සදහා කළුපැහැ විශාල මර්සිඩීස් වර්ගයේ ලිමොසින් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක්ද රැගෙන යාමට කටයුතු සම්පාදනයකලයුතුවිය.

කළුපැහැ විශාල මර්සිඩීස් වර්ගයේ ලිමොසින් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක් කුමකටද? ඒ උගණ්ඩා හමුදා භටයන් නොමග යැවීමටයි. ඒ මන්ද යත් ඉඩි අමීන් මෙවැනි රථයක් භාවිතා කල අතර ප්‍රාණ ඇපකරුවන් මුරකිරීමට අමීන්ගේ සොල්දාදුවන්ද යොදවා සිටි හෙයින් ඔවුන්ට තම නායකයා එම ස්ථානයට පැමිණිබව ඒත්තු ගැන්වීමට මෙම රථ හා ලෑන්ඩ් රෝවර් රථ යොදා ගන්නට අදහස් කර තිබුනි. එහෙත් ගැටළුවක් මතුවිය ඊශ්‍රායලයේ මෙවැනි රථයක් නොතිබූ අතර සුදුපැහැ මෙවැනි රථයක් නම් සොයා ගන්නට ලැබුනි. එය කඩිමුඩියේ කළු පැහැ ගැන්වුන අතර එය සහ අනෙකුත් රථ දෙකද C-130 Hercules ගුවන් යානයක් වෙත පැටවිනි.

මෙහෙයුම ඇරඹුමට පෙර අදාල කාර්යයන් හා එය සිදුකරන ආකාරය රහසේම තීරණය විය. මෙහෙයුමට
100 කගෙන් පමණ සමන්විත කොමාන්ඩෝ භට කණ්ඩායමක් සහභාගී වන අතර එයින් Lt. Col. Netanyahu ගේ නායකත්ව‍යෙන් යුතු 29 දෙනෙකුගෙන් යුතු ප්‍රහාරක කණ්ඩායමක්ද, ඊට අමතරව අනෙක් භට කණ්ඩායමද කොටස් වලට බෙදා ඔවුන් Sayeret Matkal, Major Betser හා Matan Vilnai යන හමුදා නිළධාරීන් යටතේ මෙහෙයුමේ ඒ ඒ අවස්ථාවල සිදුකල යුතු කාර්යයන් සදහා යොමු කරන ලදි. එනම්  C-130 Hercules යානා ගොඩබැස්සවූ මොහොතේ සිට භූමිය හා යානා නිරුපද්‍රිතව ආරක්‍ෂා කිරීම, ප්‍රතිප්‍රහාර සිදුවීම වැලකීම සදහා උගණ්ඩා ගුවන් හමුදාවේ MiG fighter jets යානා විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් සුරක්‍ෂිතව C-130 Hercules යානා වෙතට නංවා ගැනීම හා නැවත ගමන සදහා ඇවසි ඉන්ධන පුරවා ගැනීමයි. මීට අමතරව එක් Boeing 707 jet ගුවන් යානයක් වෛද්‍ය කාර්ය මණ්ඩල හා වෛද්‍ය උපකරණ වලින් සමන්විත කරන ලද අතර එය "Hospital" ලෙසද හැදින්විය.

ආක්‍රමණය
ඊශ්‍රායලයේ සිට උගණ්ඩාවට සැතපුම් 2500 ක් නැතහොත් 4000 Km පමණ දුරක් විය. මේනිසා රටවල් ගණනාවකට ඉහලින් ඔවුන්ගේ ගුවන් පථ ඔස්සේ ගමන් ගත යුතු වූ අතර මෙය අතිශය රහසිගත මෙන්ම දැඩි අවධානම්කාරී මෙහෙයුමක් නිසා කිසිවකු දැනුවත් කර යා හැකි ගමණක්ද නොවීය. මේ අනුව ඔවුන් Senai අර්ධද්වීපයේ  Sharm el-Sheikh නගරයට ඉහලින් පියාසර කර රතු මුහුද හරහා වැටී ඇති අන්තර්ජාතික ගුවන් මාර්ගය කරා ප්‍රවිශ්ඨ විය. මෙහිදී මෙම C-130 Hercules ගුවන් යානා හා එය පසු පසින් පැමිණි  Boeing 707 jet  ගුවන් යානා මුහුදු ජල පෘශ්ඨයෙන් මීටර් 30 ක් නැතහොත් අඩි 100 කට වඩා ඉහලට ගමන් නොකල අතර ඒ ඊජිප්තු, සුඩාන හා සෞදි අරාබි රේඩාර්වලට හසුනොවී ගමන් කිරීම සදහායි. 

රතු මුහු‍දේ දකුණු දිග කෙලවර ආසන්නවත්ම මෙම ගලවා ගැනීමේ ගුවන් යානා සමූහය දකුනට හරවා Djibouti රාජ්‍යය දෙසට ගමන් ගත් අතර එතැනින් ඊසාන දිගට ගොස් කෙන්යාවේ නයිරෝබි, සෝමාලියාව හා ඉතියෝපියාවේ Ogaden පෙදෙස පසුකොට African Rift නිම්නය ඔස්සේ වික්ටෝරියා විලට ඉහලින් පියාසර කරන්නට විය.
Aerial photo of the city of Entebbe and
the Entebbe International Airport in sunset
මෙම යානා සමග පැමිණි වෛද්‍ය ආධාරක සමග පැමිණි Boeing 707 jet යානය කෙන්යාවේ නයිරෝබි නුවර Jomo Kenyatta අන්තර්ජාතික ගුවන් තොටුපලේ බස්වන ලදි. අනෙකෙහි මෙහෙයුමේ ප්‍රධානියා වන Major General Yekutielපැමිනි අතර එය මෙහෙයුම සිදුවන තාක් Entebbe Airport ට ඉහලින් රවුම් ගසමින් මෙම සිටින්නට විය.

1976 ජූලි 4 වනදා ඊශ්‍රායල සම්මත වේලාවෙන් රාත්‍රී 11 ට C-130 Hercules ගුවන් යානා Entebbe ගුවන් තොටුපලට බස්වන ලදි. බස්සන අතරතුරදීම ඒවායේ පිටුපස දොරවල් විවෘත කරගෙනම සිටි අතර යානය නැවත්වීමටත් ‍පෙර මර්සිඩීස් රථය හා ලෑන්ඩ් රෝවර් රථ ඒවායෙන් එලියට ගෙන ඉඩි අමීන් නැවත පැමිණියා සේ අදාල පර්යන්තය වෙත ගමන් ඇරඹූ අතර ඒවායේ කොමාන්ඩෝ භටයන්ගෙන පිරී පැවති එම රථ ඉක්මනින්ම ධාවනය කරන ලදි.

මෙහිදී මෙම ස්ථානයේ සිටි උගණ්ඩා රැකවලුන් දෙදෙනෙකුට ඒවා ඇස ගැටුන අතර ඊශ්‍රායල ආරක්‍ෂක අංශවලට මඟහැරුන දෙයක් ඔවුන් දෙදෙනා දැන සිටියේය. එනම් ඉඩි අමීන් තමන්ගේ කළු පැහැ රථ වෙනුවට ඒ වෙනුවට සුදුපැහැ රථ ලබා ගෙන තිබීමයි. මෙනිසා සැක සිතූ රැකවලුන් දෙදෙනා වාහන නැවැත්වීමට අණදුන් අතර එයට පිළිතුරු ලෙස හඩ නොඇසෙන සේ උපකරණ සවිකරන ලද (silenced pistols) පිස්තෝල වලින් ඔවුන්ට වෙඩි තැබුවද ඔවුන් මිය නොගියේය. මේ බව දුටු ලෑන්ඩ් රෝවර් රථයේ සිටි එක් කොමාන්ඩෝ භ‍ටයෙක් තමන් සතු රයිෆලයෙන් ඔවුන්ට වෙඩි තැබූ අතර එම ශබ්දයත් සමග කොල්ල කරුවන් හා උගණ්ඩා භටයන්ද කලබලයට පත්විය. මෙනිසා රහසේ සිදුකිරීමට ආ කටයුත්තට ඔවුන්ගෙන් බලපෑම් එල්ල වීමට පටන් ගත් අතර මෙහෙයුමට පැමිණි ප්‍රහාරක ඒකකද සිය ප්‍රහාරයන් ක්‍ෂනිකවම දියත් කලේය.

පර්යන්තය (the terminal) කරා ලගා වෙත්ම වාහනවලින් බැස ගත් කොමාන්ඩෝ භටයන් ප්‍රහාර එල්ල කරමින්ම එය තුලට ගොස් මෙගාෆෝන මගින් ඉංග්‍රීසි හා හීබෲ භාෂාවලින් "පහත් වන්න, පහත් වන්න, අපි ඊශ්‍රායල් සොල්දාදුවෝ ("Stay down! Stay down! We are Israeli soldiers." යයි හඬනගා පැවසූහ.
From Israel’s Lightning Strike - The raid on Entebb 1976  Book
එහෙත් මේ අතරේත් තවත් අවසනාවන්ත සිදුවීම් කිහිපයක් සිදුවිය. ඒ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ප්‍රංශ ජාතික යුදෙව්වකු වන Jean-Jacques Maimoni මෙම වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේ නැගී සිටි අතර ඔහු කොල්ලකරුවෙකුයයි වරදවා වටහා ගත් ප්‍රහා‍රක හමුදාවේ කො‍මාන්ඩෝ භටයන් ඔහුට වෙඩි තැබූ නිසා ඔහු ජීවිතක්‍ෂයට පත්විය. එසේම 52 හැවිරිදි Pasco Cohen හා 56 හැවිරිදි රුසියානු සංක්‍රමණික යුදෙව්වකු වන Ida Borochovitch ද වෙඩි හුවමාරුවට මැදිවීමෙන් මිය ‍ගියහ.

මේ අතර කොල්ලකරුවන් පිළිබදව හීබෲ බසින් ප්‍රාණ ඇපකරුවන් වෙතින්ම විමසමින් ඔවුන් සිටි ස්ථාන වලට වෙඩි තබා සහ ග්‍රෙනෙඩ් ප්‍රහාර එල්ල කරමින් සියළුම ත්‍රස්ථ කොල්ලකරුවන් ඝාතනය කිරීමට මෙම ගලවා ගැනීමේ භටකණ්ඩායම සමත්විය.  එසේම ඉතිරි C-130 Hercules යානා තුනද ගොඩබැස්සවූ අතර ඒවායේ ගෙන එන ලද සන්නද්ධ රථ (armoured personnel carriers) ආදිය පිටතට රැගෙන ගුවන් තොටුපොලේ තිබූ  උගණ්ඩා ගුවන් හමුදාවේ MiG-17 යානා 11 ක්ම විනාශ කර දැමීය.ඊට අමතරව නැවත ගමන සදහා ගුවන් තොටුපලේම තිබූ ඉන්ධන යානාවලට පිරවීමද සිදුකරන ලදි.

මෙලෙස ප්‍රහාර සිදුකරන අතුරතුරදීම ප්‍රාණ ඇපකරුවන් ගුවන්යානා වලට නැංවීම සිදුකරන ලද අතර ප්‍රහාර වලින් උගණ්ඩා සොල්දාදුවන් 45 ක් පමණ මිය ගිය අතර තුවාල ලද සංඛ්‍යාව අති විශාල විය. මේ අතර ගුවන් තොටුපලේ පාලක කු‍ළුනේ සිටි ඊශ්‍රායල හමුදා වෙත එල්ල කරන ලද ප්‍රහාරවලදී මෙම මෙහෙයුමේ සිදුවූ එකම කො‍මාන්ඩෝ භටයාගේ මරණය සිදුවිය. ඒ වෙනකෙකු නොව මෙම මෙහෙයුමේ කැපී පෙනෙනම චරිතයක් වන Lt. Col.Yonatan Netanyahu විය. ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයට ලක්වන්නට ඇතැයි සැලකෙන අතර මෙම දක්‍ෂ හමුදා නිලධාරියා වර්තමාන ඊශ්‍රායල අගමැතිගේ වැඩිමහල් සොහොයුරාදවේ. මෙම කණගාටුදායක මරණයට අමතරව ඊශ්‍රායල  සොල්දාදුවන් 5 දෙනෙකුද තුවාල ලැබූ අතර ප්‍රාණ ඇපකරුවන් 10 ක්ද තුවාල ලැබීය. ප්‍රහාරවලින් පසු මෙම මියගිය හමුදා නිලධාරියාගේ සිරුරද ගුවන් යානයක තබන ලද අතර 
ගුවන්යානා සියල්ල ගුවන් ගත විය. මෙම සමස්ථ මෙහෙයුමට ගතවූ කාලය විනාඩි 53 ක් වන අතර ප්‍රහාර සදහා එයින් විනාඩි 30 ක් වැයවිය.ගුවන් යානා සියල්ලම කෙන්යාවේ නයිරෝබි හරහා ඊශ්‍රායලය වෙත පියාසර කලේය.





උගණ්ඩාවේ ප්‍රතිචාරය


Dora Bloch යනු මෙම පැහැරගත් ගුවන්යානයේ ගමන් ගත් 75 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සංක්‍රමණික යුදෙව් කාන්තාවකි. ඇය රෝගී තත්වයක් හේතුවෙන් ගුවන් තොටුපලෙන් ඉවත් කොට කම්පාලා නුවර Mulago රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.මෙම ප්‍රහාරය නිසා කෝපයට පත්ව සිටි ඉඩි අමින් සිය කෝපය සංසිදුවා ගැනීමට මෙම කාන්තාව මරා දැමීමට නියෝග කල අතර රෝහ‍ලේ වෛද්‍යවරු හා හෙදියන් කොතෙකුත් එය වලක්වා ගැනීමට උත්සහ දැරුවත් අමීන්ගේ අණ මත පැමිනි උගණ්ඩා සොල්දාදුවන් දෙදෙනෙක් ඇය ඇදගෙන ගොස් වෙඩි තබා මරා දැමූ අතර සිරුර උගණ්ඩා බුද්ධි අංශයට අයත් අංක තහඩු සහිත වාහනයක දමාගෙන ගොස් කම්පාල නුවරින් 20 km පමන දුරකින් පිහිටි උක් වත්තක අත්හැර දැමුන අතර සිරුරේ කොටස් හමුවුනේද මෙම සිදුවීම සිදුවී වසර 3 ක් ගතවී එනම් 1979 දීය.

එසේම කෙන්යාව මෙම ගලවා ගැනීමේ ප්‍රහාරයට ඊශ්‍රායලයට සහය වීමට පලිගැනීමක් ලෙස උගණ්ඩාවේ විසූ කෙන්යානු ජාතිකයන් සිය ගණනක් මරා දැමීමටද අන දුන්නේය.

එසේම උගණ්ඩා විදේශ අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත නිල වශයෙන් පැමිනිලි කොට කියා සිටියේ ඊශ්‍රායලය තමන් ආක්‍රමණය කොට තම ස්වෛරී භාවය විනාශ කොට දැමූ බවයි. උගණ්ඩාවේ සහයට අරාබි රටවල් හා කොමියුනිස්ට් රටවල් පෙල ගැසුන අතර ඔවුන් පැවසූවේ ඊශ්‍රායලය මෙම ක්‍රියාව සිදුකිරීමෙන් තම ගණන්කාරකම් පෙන්වූ බවයි (The Arab and Communist world condemned the operation calling it an act of aggression.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් වූ  Kurt Waldheim පැවසුවේ "මෙමගින්  එක්සත් ජාතීන්ගේ සාමාජික රටක ජාතික ස්වෛරී භාවය බරපතල ලෙස උල්ලංඝනය වූ බවයි" ("a serious violation of the national sovereignty of a United Nations member state" )

මෙම කිසිදු බලපෑමකට කම්පා නොවූ ඊශ්‍රායල වෙනුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පෙල ගැසී සිටි අතර බටහිර ජර්මනියේ අදහස වූයේ මෙය ආත්මාරක්‍ෂාව වෙනුවෙන් සිදුකල ක්‍රියාවක් ("an act of self defense")බවයි. එසේම ප්‍රංශය සහ ස්විට්සර්ලන්තයද ඊශ්‍රායල වෙනවෙන් කතා කල අතර ඇමරිකාව හා එක්සත් රාජධානියේ අදහස වූයේ මෙය විශ්මිත මෙහෙයුමක් ("an impossible operation") බවයි.

මෙම සිදුවීම් අවසානයේ තවත් අපූරු සිදුවීමක් සිදුවිය එනම් පැහැරගත් ප්‍රංශ ගුවන් යානයෙ ප්‍රධාන නියමු Captain Bacos හට වසරක සේවා තහනමක් අදාල ගුවන් සමාගමෙන් පැනවීමයි. එයට හේතුව කොල්ලකරුවන් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් සමග පැමිනීමට ඔහු ප්‍රතික්‍ෂේපකොට නැවතිමයි.

දැන් ලිපියේ අවසානයට පැමිනෙන අවස්ථාවේ මෙම පැහැරගත් ගුවන් යානයට කුමක් වන්නට ඇත්ද? එය උගණ්ඩාව විසින් විනාශ කලේද? එසේත් නැතහොත් ඊශ්‍රායලයේ ගුවන් කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත්ද? පිළිතුර නම් නැත යන්නයි. එය පසුව නැවත ප්‍රංශයට භාර දුන් අතර තවමත් එය සේවයේ යෙදී සිටි. එහෙත් දැන් එහි ලියාපදිංචි අංකය F-BVGG නොව TC-MNA වේ. එයට හේතුව දැන් එය තුර්කියට අයත් වන භාණ්ඩ ප්‍රවාහණ ගුවන් යානයක් බවට පත් කර තිබීමයි.

එසේම මෙම මෙහෙයුම Operation Thunderbolt සහ මෙම මෙහෙයුමේ මිය ගිය  Lt. Col.Yonatan Netanyahu  සිහි කිරීමක් ලෙස Operation Jonathan ලෙසද හැදින්වේ.

මෙම මෙහෙයුම හා අදාල සිද්ධි සමුදාය අරඹයා චිත්‍රපටි හා පොත්පත් රැසක් බිහිවූ අතර එයින් ප්‍රසිද්ධම පොතක් ලෙස  Israel’s Lightning Strike - The raid on Entebb 1976  හැදින්විය හැකිය. එයට අමතරව ම් පිළිබදව වැඩි විස්තර රැසක් පහත වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැක.

33 comments:

  1. මේ සිදුවීම අලලා කරපු හොදම චිත්‍රපටිය මොකද්ද?

    ReplyDelete
  2. කලින් දැනගෙන හිටියෙ නෑ. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  3. හොදට ල්යලා තියනවා විස්තරයට ස්තූතියි

    ReplyDelete
  4. තවත් එක සුපිරි ලිපියක් දීපාල් අයියේ ..බොහොම පැහැදිලිවට කියවන්න ආසා හිතෙන්න ලියලා තියනවා .. මේවගේ දෙයක් ගැන මම අහලා වත් තිබුනේ නෑ ..ස්තූතියි මෙවන් ලිපියක් පල කලාට

    ReplyDelete
  5. බොහෝ කල් සිට කියවීමට සිටි තොරතුරකි. මෙ ලිපිය ආසාවෙන් කියෙව්වෙමි. ස්තිතියා

    ReplyDelete
  6. ගොඩාක් මහන්සි වෙලා ලිපිය ලියලා තියෙනවා... ඇත්තටම ඔයාගේ බ්ලොග් එක දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ වගේ ගවේෂණාත්මක ලිපි නිසා... බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් සහෝ... !!!

    ReplyDelete
  7. සිද්ධිය සිතෙහි චිත්‍රණය වන අයුරින් ලස්සනට ලියා තිබෙනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. කලින් දැනගෙන හිටිය දෙයක් නැවත මැවෙන පරිදි විස්තරාත්මකව ලියලා තියනවා. නියමයි මිත්‍රයා

    ReplyDelete
  9. @ItalyDilan - මම තවම මේ පිළිබදව හදල තියෙන චිත්‍රපටි නම් නරඹලා නැහැ. ඉදිරියේදී එයින් කිහිපයක් බලන්න හිතාගෙන ඉන්නවා. ඉන් පසු අනිවාර්යයෙන් ඒ ගැන කියන්නම්...

    ReplyDelete
  10. @``` Outsider```, MaRLaN, ඉෂාර ගුණවර්ධන, චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි! ඉදිරියේදිත් හැකියාවක් ලද විගස මේවගේ ලිපි සකස්කිරීමට බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  11. @නලිනි චන්දිමා, රොබින් - ‍ස්තූතියි! මේවගේ සත්‍ය සිදුවීම් පිළිබදව ලිවීම තරමක් අසීරු දෙයක් වුනා. එයට හේතුව මෙවැනි කාරණ පිළිබදව විවිද තොරතුරු තිබීමයි. එයිනුත් සත්‍ය තොරතුරු පමණක් තෝරා ගත යුතුයි...

    ReplyDelete
  12. ලිපියනම් ඉතාම සුපිරියි.....මමත් ආසාවෙන් කියෙව්වා.......දිගටම මෙවැනි ලිපි ලියන්න..(තව පුලුවන්නම් ඊශ්‍රායලය අයික්මාන්ව පැහැරගත් කතාවත් මේ වගේම ත්‍රාසජනකයි...ඒ කත් පුලුවන්නම් ලියන්න).ඔබට ජය...........

    ReplyDelete
  13. @dinesh:-
    visit this link and your blog in my Facebook page....

    http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869

    ReplyDelete
  14. දිනෙශ් අය්යා මම මේ ලිපිය ලියනකම් තමා බලන් හිටියෙ . හි හි හී අනික මම දැනගෙන හිටිය කරුනු ගොඩක් ලියවෙලා තියනවා . නොදන්න ඒවත් තියනවා(අර වාහන ගැන දැනන් හිටියෙ නැතො) ආ තව 1ක් තියනවා ඉඩි අමින් අර ඉතිරි උන උගන්ඩාවෙ සෙබලු ඔක්කොමත් මැරුවලු නේද.

    ReplyDelete
  15. @මගේ සයිබර් නිවහන & Anonymous - ස්තූතියි! ඉදිරියේදී ඒ ගැනත් සොයා ලියන්නම් & thank your very much to your corporation.

    ReplyDelete
  16. @Theekshana - බොහෝවිට ඉඩි අමීන් ඒ විදියට ඉතිරුවුන සෙබළුත් මරන්න ඇති. මීට අමතරව මූලික කරුණු වලට අමතරව විවිද ලේඛකයන් තව අමතර කරුණුත් එකතු කල අවස්ථා තියෙනවා. කාලෙකට ඉහත කියවන ලද පොතක තිබුන දෙයක් තමයි කාරෙකට අමතරව ඉඩි අමීන් වගේ සද්දන්ත සිරුරක් තියෙන කමාන්ඩෝ භ‍ටයෙකුත් ඉඩි අමීන්ගේ සොල්දාදුවන් නොමග යැවීමට රැගෙන ගිය බව හැබැයි. මේ ලිපිය ලියන්න කරුණු සෙවීමේදී නම් ඒ දේ නම් සදහන් වෙලා තිබුනේ නැහැ...

    ReplyDelete
  17. මේ ගැන අහල තිබුණට මේ තරම් විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  18. මාර මෙහෙයුමක්. මේ සිද්දිය වෙන්න කලින් මේ වගේ ​ෆිල්ම් එකක් කලා නං මිනිස්සු පිළිගන්න එකක් නෑ මේ වගේ සිද්දියක් ඈත්තටම වෙන්න පුලුවන් දෙයක් කියලා.

    ඒ වගේම උඔ ලියලා තියෙන එක කියවද්දිත් ෆිල්ම් එකක් බලනවා වගේ තමා. නියමයි!

    ReplyDelete
  19. @උදාර - ස්තූතියි! ඉදිරියෙදිත් මේ වගේ තව සිදුවීමක් කතා කරමු...

    ReplyDelete
  20. @බුද්ධි - ස්තූතියි!ඉදිරියේදිත් මේ වගේ සිදුවීමක් හැකිතාක් සජීවීව ඉදිරිපත් කරන්නම්...

    ReplyDelete
  21. movie එකක් බැලුවා වගේ දැනුණා. හැබැයි අවසාන හරිය එච්චරටම නැගලා ආවේ න වගේ. ඒ කියන්නේ, මෙහෙයුමේ අවසාන අදියර කුතුහල දනවන අයුරින් තවත් දික් උණා නම් මීට වඩා හොද වෙන්න තිබ්බා. ඔයාගේ කලින් ඊශ්‍රායල-ඉරාන ලිපියත් හරි ලස්සනයි. ඔන්න comment එකකුත් දාලා තියෙන්නේ හොදේ!! ඔයාට සුබ පැතුම්.

    ReplyDelete
  22. නියමයි මිත්‍රයා, සුපිරි ලිපියක්. thax!

    ReplyDelete
  23. නියමයි ඃ 

    ReplyDelete
  24. ඩී දිසානායකDecember 3, 2011 at 9:17 AM

    කිසිම පුවත් පතකින් හෝ සගරාවකින් මේ විස්තර කියවා නැහැ.ඉතා වැදගත් මෙන්ම අනගි විස්තරයක් .අති ශ්‍රේෂ්ඨයි බොහෝම ස්තූතියි
    ඩී.දිසානායක

    ReplyDelete
  25. මේක ගැන අදයි මම දැනගත්තේ.ලස්සනට ලියල තියෙනවා..

    ReplyDelete
  26. නියමයි මිත්‍රයා..

    ReplyDelete
  27. Raid on Entebbe 1977

    Operation Thunderbolt 1977

    ReplyDelete
  28. හොද ලිපියක් මේ film එක බැලුවා තවත් නොතේරුනු කරුනු දැන ගත්තා. ස්තුතියි ඔබට

    ReplyDelete
  29. හ්ම්ම්ම් නියම පොස්ටුස්ටුවක් නොවෑ

    ReplyDelete
  30. අද තමා මේක දැක්කේ. මගේ ආගෝ මෙහෙයුම ලිපියට ඩිඩිටී යි සෙන්නයි මෙහාට එන පාර කියලා තිබුනා ඒකත් මිට සමාන මෙහෙයුමක් නිසා. ඒත් මෙතන වෙනස හමුදා මෙහෙයුමක් වීම. ආගෝ මෙහෙයුම බුද්ධි අංශයේ වැඩක්.

    සවිස්තරාත්මකව ලියපු සිත් ඇදගන්නා පෝස්ටුවක්. බොහොම ස්තුතියි.

    ReplyDelete