-->

Tuesday, August 30, 2011

අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම පෙන්නුම් කල පොතක් - ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව

මෙවරත් කියන්නට යන්නේ නීති ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ පොතක් පිළිබදවයි. මෙම පොතේ නම් තමයි. ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව සහ එහි තේමාව ලෙස දක්වා තිබෙන්නේ ක්‍රි.පූ. රාවණා යුගයේ සිට විසිඑක්වැනි සියවස දක්වා... මෙම පොතේ කතුවර මහතා තමයි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ආරියසේන එදිරිවීර මහත්මයා.

පර්යේෂනාත්මක ග්‍රන්ථයක් වූ මෙහි ඒ මහතා රාවණා යුගයේ සිට මෑත කාලවකවානුවක් දක්වා අප රටේ බන්ධනාගාර ව්‍යුවහය හා සම්බන්ධව ඒ ඒ රජවරුන් යුක්තිය පසිදලීම පිණිස ගන්නා ලද විවිද ක්‍රියා මාර්ගයන් වගේම පසුකාලීනව බටහිර පාලනයට අප රට නතුවූ පසු අතීතයේ පැවති ක්‍රම වෙනස් වී රෝම-ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියට අනුව එය වෙනස් වූ ආකාරයත් කියා තිබෙනවා. එතරම් විශාල නොවන මෙම පොතේ විශේෂයෙන්  දක්වා තිබෙන්නේ සිංහල රාජ්‍ය සමයන්හි සහ එළාර, කාලිංඝ මාඝ වැනි ‍විජාතික රජවරුන් ‍ලංකාවේ නීතිය ක්‍රියාත්මක කල ආකාරයයි.

පොතේ අන්තර්ගතය සුළුවෙන් විස්තර කරන්නේ නම්, එතරම් කෲරත්වයක් නොතිබූ දඩුවම් ක්‍රමයක් තිබූ ලංකාවේ එම තත්වය කැළනි තිස්ස රජු සමයේ වෙනස් වූ බවත්, රහතන් වහන්සේ නමක් උණුතෙල් කටාරමක ගිල්වා මරාදැමීමට තරම් සැහැසි වූ බව මෙන්ම, මුගලන් හෙවත් කාශ්‍යප රජුගේ සොහොයුරා, කාශ්‍යප රජු පරාජය කිරීමෙන් පසු එතෙක් නොතිබූ පවුල් පිටින් දඩුවම් දී මරාදැමීමේ ක්‍රමයක් ඇරඹූ බවද මෙම පොතේ සදහන් කරුණු අතරින් කැපී පෙනෙන බවද කිවයුතුයි. එසේම එළාර රජු විසින් වරදක් කලේ කවෙරෙකු වුවත් දඩුවම් දීමේ ප්‍රතිපත්තිය තුල විචාරශීලී බවක් නොතිබූ බවද මෙහි සදහන් කර තිබේ. මෙම අවස්ථා භාරතීය ආභාශය අනුව සිදුකල දඩුවම් ක්‍රම බවද මෙහි සදහන් වේ.

තවද මෙම පොතෙන් අපගේ රටේ ඉතිහාසය තුල බහුලව කතා නොවෙන සැගවී ඇති කරුණු රැසක්ද තිබෙන බව කිව හැක. බටහිර ජාතීන්ට යටත්වීම කිසිසේත්ම අනුමත කල නොහැකි වූවක් මෙන්ම  පෘතුගීසි පාලනය අප රටට ඉමහත් ලෙස අහිතකර බලපෑමක් ගෙන දුන්නක් වූ අතරම ලන්දේසි පාලනය තුල තිබූ ඇතැම් අංග මෙන්ම ඉංග්‍රීසි පාලනයෙන් පසු රටේ පාරම්පරික ප්‍රභූ පැලැන්තියට කෙසේවෙතත් සාමාන්‍ය ජනතාවට නම් යම් අස්වැසිල්ලක් ලැබී තිබෙන බවක් පෙනේ. මන්ද ඉංග්‍රීසි කිරීටයට නතුවීමේ ගිවිසුම වන  1815 ගිවිසුමට අනුව කෲර වදහිංසා පැමිණ වීම තහනම් කල බවද, එතෙක් පැවති අංගඡේදනය (අත් පා කැපීම)  , නොමරා ශරීරයේ වෙනත් අවයව සිදලීම වැනි දඩුවම්ද තහනම් කොට තිබේ.

එසේම අතීතයේ පැවතී විද්‍යාත්මක සාක්‍ෂි විමසීමකින් තොර අහඹුලෙස නැතහොත් යම් සම්භාවිතාවයක් මත චූදිතයා නිර්ණය කිරීමේ ක්‍රියාපටිපාටියද ‍අවලංගු වී ඇති බව මෙහි සදහන්ය. අතිතයේ චුදිතයා සෙවීමට නයෙකු සහ රිදී කාසි දැමු මල්ලකට හෝ පෙට්ටියකට අතදමා එහි කාසි ගන්නට සලස්වා නයා දෂ්ඨකර තිබේ නම් චූදිතයා ලෙසද නැත්නම් නිර්දෝශීවීමට යම් හේතුවක් ලෙසද එදා සලකා තිබේ. එසේම නටන උණූ තෙල් තාච්චියකට සුලැගිල්ල හෝ මාපට ඇගිල්ල තෙවරක් දැමීමට සලස්වා ඉන්පසු එම ඇගිල්ල ගොම දිය බදුනකට දමා එය පිළිස්සීම හෝ නොතිබීම මත චූදිතයා නිර්ණය කිරීමට සැලැස්වීම වැනි ක්‍රියා මාර්ග අතීත ශ්‍රී විභූතියේ සියළුම අංග නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට කැසකවන අයට දෙවරක් සිතීමට හොද කාරණයකි. එසේම එදා විශේෂයෙන් නුවර යුගය වන විට බලහත්කාරයෙන් පාපොච්ඡාරණ ලබා ගැනීම පිණිස ගිණියම් යකඩයක් පුළුස්සා රැයක් පුරා දඬුකදේ දමා සිටීම, සැකකරුගේ නිය අස්සෙන් යකඩ කූරු දමා පාපොච්ඡාරණ ලබා ගැනීමට උත්සහ දැරීම මෙන්ම පියවර හතක් ගිණියම් කල යකඩයක් අතින් ගෙන පියමැනීම වැනි ක්‍රමවේදයන් ගේ චිරස්චීනභාවය මෙන්ම මිනිසුන් ‍කොතෙක් අතීතයට පෙම් බැද එහිම ජීවත්වූවත් එහි අදුරුපැත්තද නොදැකීමට හොද සාක්‍ෂියක් ලබා ගැනීමට මෙවැනි සැඟවුන කාරණා ඇතුලත් ඉතිහාස පොත් වටිනාකමකින් යුක්තය.

තවද අපේ දේ පහත් කොට කතා කිරීමක් මෙම ලිපියෙන් කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර මෙම පොතෙන් කතා කරන්නේ වෙනත් ක්‍ෂෙත්‍රයක් පිළිබදව වුවත් අප පිටස්තර ලෝකයට බැණ අඩගැසීම සෑම විටකම කරනවා වෙනුවට අපගේ මානුෂික ‍ගුණාංගයන් වර්ධනය කර ගැනීමට මොන සංස්කෘතියෙන් වූවත් හොද දේ අපගේ සංස්කෘතියට හෝ සමාජ ව්‍යුවහයට ඇතුලත් කරගත යුතු බවද මෙවැනි පොත් කියවූ පසු හැගේ.

මෙම පොත කතෘ ප්‍රකාශනයක් වන අතර 2004 ප්‍රථම මුද්‍රණයට අනුව එහි මිල රු.350/= කි.
ISBN අංකය - ISBN 955-98985-0-X

Monday, August 29, 2011

මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka

මෙන්න ‍මීට පෙර බ්ලොග් සටහන වූ වසර 100 කට පෙර භාරතයේ ඡායාරූප දැක්වුන ලිපියේදී ඔබ බලාපොරොත්තුවුන ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා‍.

මහනුවර - දළදා මාලිඟය
 මහනුවර

 මහනුවර වීදියක එදා දසුන්

හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව
ගල්කිස්ස හෝටලය
මාතර දුම්රිය ස්ථානය -1895 දී
Royal Hotel - 1860
තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව
දිඹුල බංගලාව
ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු
ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී
වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම
දළදා මාලිඟාව
Temple at Slave Island
සමාධි පිළිමවහන්සේ
ශ්‍රීපාදය
රුවන්වැලිසෑය
ශ්‍රීපාදය
නුවර - කොළඹ දුම්රිය මඟ
කෞතුකාගාරය

Thursday, August 25, 2011

භාරතය වසර 100 කට පෙර දී

භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව ගැන කතා කරන්නට ගියොත් ඒ රට ගැන ඕනෑතරම් කරුණු කාරනා තිබෙන බව මම මෙන්ම ඔබද පිළිගනු ඇති. ලෝකයේ වැඩිම භාෂා, ආගමික, සංස්කෘතික, භූවිෂමතා හා වෙනත් ක්‍ෂෙත්‍රයන් ගණනාවක විවිදත්වයක් තිබෙන දේශයක් ලෙස ඉන්දියාව පෙන්විය හැකියි. ඒ වගේම "දිව්‍යලෝකය" හා "අපාය" යන ලෝක දෙකම ඇති රටක් ලෙසද ඉන්දියා‍ව පෙන්විය හැක්කේ ලෝකයේ ලොකුම ධනවතුන් මෙන්ම එදාවේලවත් සොයාගත‍ නොහැකි දිළින්දන් රැසක්ද ඉන්දියාවේ සිටින නිසාය. එසේම ලෝකයේ ලොකුම මුඩුක්කු ජනාවාසයද පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි නුවරයි. ඒ කොහොම වුනත් අද ඉන්දියාව ගැන සවිස්තරාත්මකව වචන බදින්නට අදහස් නොකරන අතර කතාකරන රූප තේමාව යටතේ ඉන්දියාවේ වසර 100 කට පෙර හැඩරුව ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙමි.

ඉන්දියාවේ මෙවැනි පැරණි සේයාරූ රැසක්ද ඔබ මීට පෙරද සුන්දර ටජ්මහලේ නොදත් තතු ලිපි පෙලින්ද දැක ගන්නට ඇති. මේ එයට වඩා ටිකක් වෙනස් පින්තූර කිහිපයකි.

















Wednesday, August 24, 2011

NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි...

පූර්ව දැනුම් දීමයි : මෙම ලිපිය ලියවෙන්නේ පසුගිය වසර ගණනාවත් තුල අසන්නට දකින්නට ලැබුන ‍දේ පදනම් කරගෙන වන අතර මෙහිදී කිසිදු අදහසක් දේශපාලනික ධ්‍රැවතාවයකට ලක් නොවී පවතින බවද කිවයුතුය.

ලිබියාව දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයට නතුවීමේ ආසන්න අවස්ථාවෙ පවතී. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මෙසේ ලිබියාවට අතපෙවීමට අවස්ථාව ලැබීමේ ආසන්නතම හේතුන් වූයේ මුලින් ටියුනීසියාවත්, ඉන්ඉක්බිතිව මෙම සුඛිත මුධිත ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල ආශිර්වාදය හා අනුබලය ලැබූ ඊජිප්තුවේ ජනපති හොස්නි මුබාරක් මහතාටත් දැන් ඔහුගේ කල් ඉකුත්වී ඇති බව වටහා ගත් ඇමරිකාව ඔහුගේ නික්මයෑමට අවශ්‍ය පිඹුර පත් සැකසීමට දායක වීමත් සමගයි. එනම් ඒ රැල්ලට ගොස් මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක මෝදුවේගෙන පැමිනෙන අවස්ථාවේ 80 දශකයේ රොනල්ඩ් රේගන් පාලන සමයේ සිට ලිබියානු ජනපති මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi) මහතා පරසක්වල යැවීමේ සැලසුමේ හොදම අවස්ථාව මෙය බව, ඔහු බටහිර හා ඇමරිකාව සමග කිසියම් සංහිදියාවක් ඇතිවෙමින් පවතින මොහොතේවුවත් එම මිතුරකම් වලට වඩා ලිබියාව තුල තමන්ට හිතවාදී නායකත්වයක් මෙන්ම ලිබියානු භූමිය පතුලේ ඇති තෙල් සම්පත කෙසේ හෝ හූරා ගැනීමේ සද්කාර්යය ඉටුකර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් බව බලලෝභී පාලකයන්ට, කුරුස යුද්ධයේ නූතන කතාංගය පසුගිය වසර දහය තුල ආරම්භ කර ඇති වේලාවෙම සුදුසු බව වැටහුනි.



ඇමරිකානු-ලෝක ජනපති බැරක් ඔබාමා මහතා ජනපති අපේක්‍ෂකත්වය, හිලරි ක්ලින්ටන් මැතිනියගේ කපටි ‍මෙන්ම මඩ ව්‍යාපාර වලින්ද යුතුවූ ජනපති අපේක්‍ෂක සටනින් දිනා ගැනීමට පෙරාතුවම, මෙම මහතා කළු ජාතික මිශ්‍රනයකින් යුතු වීමද සිය පියාගේ මුස්ලිම් සම්භව්‍යද නිසා වර්ණභේදවා‍දයෙන් අතීතයේ බහුලව බැටකෑ හා දැන් එළපිට නොවුනත් එයින් අනියමින් බැටකමින් සිටින ඇමරිකානු-අප්‍රිකා කළු ජාතික ජනතාව මෙන්ම ලෝකයේ අපගේ රටවල් වැනි අදුරු සමක් ඇති මිනිසුන්ද, ජෝර්ජ් ඩබ්‍ බුෂ් පාලනය යටතේ කිලෝ ගණන් බර ගුවන් බෝම්බ වලට යටවීමෙන් සහ මෝසම් වැසි වසින්නාක් සේ විනාඩියකට මිසයිල බරගණනකින් මිය පරලොව ගිය ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් ජනතාව පෙරටුකරගත් මැදපෙරදිග හා ලෝකවාසී මුස්ලිම් ජනතාවද බලපොරොත්තුවූයේ ලෝකය පුරා සහජීවනය පැතිරුන සාමකාමී වටපිටාවකි. (මෙහි ඇමරිකානු-ලෝක ජනපති ලෙස හුවා දක්වා ඇත්තේ ඇමරිකානු ජනපතිවරයා ලෝකයටම ජනපතිවරයා ලෙස හැගීයන නිසාය. මන්ද ලෝකයේ රටවල් අතලොස්සක හැර අනෙක් රටවල සිදුවන දේවලට ඇමරිකාවේ අවසරය හා ආශිර්වාදය ලබා ගත යුතු අතරම ඔවුන් අප වෙනුවෙන්ම නියෝජිතයෙකුද පත්කරන බැවිනි. එයට උදාහරණයක් නම් දකුණු ආසියාව පිළිබදව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු පත්කරන නිසාය).

එහෙත් යුදවාදී රිපබ්ලිකන් ජනපතිවරයා වූ ජෝර්ජ් ඩබ්‍ බුෂ් මහතා ගිය දුරටත් වඩා දුර යමින් ලෝක ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමේ ලේබලයද සහිතව බැරක් ඔබාමා මහතා නොනැවතී ඉදිරියට යන බවක් පෙනේ. මන්ද ඔහුට ජනපති පදවි ප්‍රාප්තියට එළඹුන වහාම සිය ධූරයේ කලින් සිටි ජෝර්ජ් ඩබ්‍ බුෂ් මහතා ගෙන ගිය යුදවාදී වැඩ පිළිවල දුෂ්ඨ දෙයක් වූයේ නම් ලෝකයේ බොහෝරටවල් නිහඬව හෝ ආශිර්වාද කල ඇෆ්ගනිස්ථාන යුද්දයෙන් කෙසේවෙතත් සිය හිතමිතුරෙක් මෙන්ම අතීතයේ දෙවන ලෝක යුද්දයේදී බටහිර යුද පෙරමුණ ජර්මනියේ ඉදිරිගමන වැලකීමට ප්‍රවිශ්ඨ වූ ප්‍රංශයේ සහභාගිත්වයද තොරවූ ඉරාකයෙන් සියළු හමුදා ඉවත් කරගැනීමට තිබුනි. එහෙත් එය ඇල් මැරුණ ප්‍රතිපත්තියකින් යුතුවූවා‍සේම අසල්වැසි ඉරානයටද පහරදිය හැකි හේතු සොයා සොයා සිට පසුගිය කාලයේ එකවරම සිය දීර්ඝකාලීන දකුණු ආසියා මිතුරා වූ පකිස්ථානයටද නොදන්වා ඔවුන්ගේ රටට ඇතුළුව 90 දශකයේ සිට ඇමරිකානු ජනපතිවරුන් වැඩියෙන්ම සිහිනයෙන් පවා බය කලාවූ ඔසමා බින් ලාඩන් ඝාතනයට සියළු බරපැණ යෙදවූහ.

මෙම සාර්ථක ඝාතන ප්‍රයත්නයේදී අවසන් තප්පරයේදී හෝ සියළු මුරකාවල් යොදවා සිය ප්‍රධානම සතුරා හෙවත් පැරණි ඇෆ්ගනිස්ථාන යුද්ද සමයේදී සෝවියට් දේශයට පහර දීම පිණිස ඔවුන්ම නිපදවූ AK-47 අවි වක්‍රමාර්ගිකව අල්කයිඩාව වෙත ලබාදී පෝෂනය කලා වූ දැන් තමන්ගේ අරක්කු තමන්ටම ගහන්නා වැනි ක්‍රියාවක නිරත වන ඔසමා බින් ලාඩන් මරා දැමීමට පෙරාතුව පකිස්ථානය දැනුවත් කිරීමේ හැකියාව තිබුනත් එයට වඩා ඔසමා බින් ලාඩන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම වෙනුවට ඔහු මොනම තත්වය යටතේ‍ හෝ මරාදැමීම සිත් සතුටු කරන්නක් බව ඔවුන් සිතා සිටියා විය යුතුය. තවද එය වඩාත් හොදින් පෙනුනේ එම සියළු ජවනිකා ඇමරිකාවේ ධවල මන්දීරයේ සිට ටෙලිනාට්‍යයක් නරඹන්නාක් වැනි සතුටකින් නරඹමින් සිටි ජනපති ඔබාමා, හිලරි ක්ලින්ටන් හා එරට ප්‍රධානීන් දැකීමෙනි.

කෙසේවෙතත් දැන් ඔබාමා පාලනය තමන්ට අතීතයේ සිට එරෙහි වූ සියළු රාජ්‍යයන්ට මදිනොකියන්නට බැට දෙන්නට සැරසෙන බවක් පෙනීයයි. 90 දශකයේදී බිල් ක්ලින්ටන් මහතාගේ රාජ්‍ය කාලය තුල කියුබාව කෙරේ එතරම් තද ප්‍රතිපත්තියක නොසිටි බවක් පෙනුන අතර වරක් ඔහුගේ දෙවන කාල සමයේදී කියුබාවේ සිට සංක්‍රමණය වූ දරුවෙකු නැවත කියුබාවේ සිට ඔහුගේ පියා ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට දරුවා ලබා දෙන්නට ක්‍රියාකිරීම වැනි දේවල් තුලින් යම් සංහිදයාවක් කෙසේවෙතත් තුවාලය පාරා නොසිටීමේ තත්වයක් වත් පෙනුනි. එසේම ඔහුගේ කාලසීමාවේදී සෝමාලියාවේ සිදුකල අසාර්ථක සාම සාධක මෙහෙයුම, හයිටියේ සිදුකල සාම සාධක මෙහෙයුම, හා වරින්වර ඉරාකයේ උතුරු හා දකුණු ගුවන් කලාප වලදී ඉරාකයට සුළු වශයෙන් එල්ල කල පහර දීම් හා කෝසෝවේ, ‍ස්ලොබොඩාන් මෙලසොචික් ගෙන ගිය වාර්ගික සංහාරය මැඩලීම වෙනුවෙන් NATO ව මෙහෙයවීම හැරුන කොට වෙනත් දරුණු යුද තත්වයන් දක්නට නොලැබින. එහෙත් ඔහුට තමන්ගේම වෙනත් යුද්ද නම් තිබුන බවක් පෙනුන අතර කඩවසම් ක්ලින්ටන් ජනපතිවරයා හා සබදතාවයන් තිබූ කාන්තාවන් රැසක් ගැන ඒ කාලයේ මාධ්‍යවල රසකරමින් පැවති අතර එයින් මොනිකා ලෙවෙන්ස්කි සිද්ධියෙන් සිය පදවිය බේරා ගැනීමට ඔහුට හැකිවීමද විශේෂ වූ කරුණක් වූයේ අවශ්‍ය වූයේ නම් ඔහුගේ ප්‍රතිවාදීන්ට මෙම කරුණ මුල්කරගනිමින් ජනපති පුටුවෙන් ඉවත් කිරීමට හැකියාව තිබුනද එසේ නොකල බැවිනි. 





 කෙසේවෙතත් ඔහුගේ කියුබානු ක්‍රියාකලාපය නිසා ඔහුගෙන් පසු ඇමරිකානු ජනපති පුටුව අපේක්‍ෂාවෙන් තරඟවැදුන අල් ගෝර්ට එය සිය ඡන්ද මෙහෙයුමේදී පාඩුවක් වූ බවද ඇතැම් විට පවසා තිබේ.

මෙම ලිපියේ මාතෘකාවට අනුව NATO සංවීධානයේ මූලික පරමාර්ථය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය පුරා සෝවියට දේශය ගෙනගිය සමාජවාදී නතුකර ගැනීම නිසා එයට විරුද්ධ බටහිර රටවලට මෙම සමාජවාදී කදවුරෙන් එල්ල විය හැකි සංග්‍රාමික ව්‍යවසනය එකමුතුව වලකා ගැනීමයි. නැතුව තම කලාපයෙන් පිටත සිදුවන තමන්ට අදාල නොවන සිදුවීම් වලට ඈදෙන්නට හෝ ලිබියානු ගැටළුව වැනි අභ්‍යන්ත‍ර‍යේ හට ගැනුන ගැටළුව ඔවුන්ටම හැකියාවක් ඇතොත් විසදා ගැනීමට ඉඩදී මනුශ්‍ය සංහාරයක් සිදුවීමට යන බව පෙනීයන්නේ නම් පමණක් එක්සත් ජාතින්ගේ සංවිධානය (මෙම සංවිධානය ගැන අපටද ඕනෑතරම් විවේචන ඇතත්, තවමත් අන්තර් ජාතික මට්ටමෙන් යම් පමණකට හෝ මෙවැනි ගැටළුවලට මැදිහත් වීය හැකි යාන්ත්‍රණයක් ඇති සංවිධානයක් ලෙස තිබෙන්නේ මෙපමනකි). ඔස්සේ සාධාරන ක්‍රමවේදයකට එම ගැටළු විසදනවා විනා යටි අරමුණුද පෙරදැරි කරගෙන එහි කැරලිකරුවන්ට අනවශ්‍ය ලෙස ගිණිබලය හෝ මූල්‍යමය සාධකයන් ලබාදී ලෝකයේ හැමෝටම බලපාන අර්බුද නිර්මාණය කිරීම නොවටිනා බව කිවයුතුය.


මීට පෙරද මෙම බ්ලොග් අඩවියේ ලිබියාව ගැන සවිස්තරාත්මක විස්තර කර තිබූ අතර එහිද දක්වා තිබූ ලෙස නූතන ලිබියාවේ එනම් විසිවන සියවසේ ලිබියාවේ මෙම දියුණුවට මුල් තැන ගත් තැනැත්තා අන්කවරෙක් නොව අද එරටින් එලවා දැමීමට හෝ මරාදැමීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආක්‍රමණිකයන් ගත හැකි සියළුම ප්‍රයත්නයන් ගන්නා මුවම්මර් අල් ගඩාෆි වේ. ඔහු ඒකාධිපතියෙකු ලෙස බොහෝ මාධ්‍ය වල කියන අතර ඔහු අන්තර්ජාතික ත්‍රස්තවාදයට අවශ්‍ය මූල්‍යමය සහය දුන් බවටද චෝදනා එල්ලවේ. තවද 1976 දී කොළඹදී පැවති නොබැදි ජාතීන්ගේ සමුළුවටද ගඩාෆි සහභාගී වූ අතර එහිදීද කැපීපෙනෙන චරිතයක් වූ බව පැවසේ.

SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI
 looks at a hostess during a session.

SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI
 during a press conference. Behind him is his own portrait

SRI LANKA. Colombo. Non Aligned Summit. 1976. Libyan Colonel-President Muammar QADDAFI,
dressed in traditional burnous, makes his speech
(1976 නොබැදි සමුළුවට අදාල ඡායාරූප http://www.magnumphotos.com/Catalogue/Abbas/1976/SRI-LANKA-Colombo-Non-Aligned-Summit-1976-NN145566.html අඩවියෙන් ලබා ගන්නා ලදි).

තවත් අවධානය යොමුකල යුතු කරුණක් වන්නේ පසුගිය කාලයේ ටියුනීසියා‍‍වේ බලය බිදවැටීමක් සිදුවිය දැන් ඒගැන කතාබහක් නොමැති අතර ඊජිප්තුවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වී එරට ජනතාවට යම් යහපත් කාලයක් බලාපොරොත්තුවුවත් තවමත් එහි අර්බුද සෑම අතින්ම විසදී නැති අතර එම අර්බුද උත්සන්නව පැවති කාලවකවානුවේ ඇතිවූ ගැටුම් හේතුවෙන් එරට තිබූ පෞරානික කෞතුකවස්තු රැසක්ද විනාශයට පත්විය. ලෝකයේ මෑත අතීතයේ සිදුවූ බලය බිදවැටීම් හෝ පැවති ක්‍රමය වෙනස් වීමෙන් ඒවායේ වෙසෙන ජනතාව බලාපොරොත්තුවූ සංහිදීයාව ඔවුන්ට සෑම විටකම ලැබුනිද යන්න විමසිය යුතු කරුණකි. විසිවන සියවසේ මුලසිටම ගතහොත් රුසියානු විප්ලවය තුලින් එරට ජනතාව සාර් පාලනය තුරන් වී සමානාත්මතාවයකින් යුතු සමාජවාදී පාලන රටාවක් බලාපොරොත්තුවූවත් විප්ලවය සිදූවී ටික කාලයක් යත්ම ඇතිවූ ප්‍රතිවිප්ලව ප්‍රයත්නයත් සමග සිවිල් යුද්ධයක් එරට ඇතිවීමත් 1918 වන විට මෙම විප්ලවයේ සතුරන් සිරගත කිරීමට ගුලාග් කදවුරු වල මුල් ආකෘතිය ඇති කදවුරු ක්‍රමයක් ලෙනින් පාලනය යටතේ බිහිවූ අතර පසුව 1930 පමණ වන විට නිල වශයෙන් ගුලාග් කදවුරු ස්ටාලින් නියමයෙන් ස්ථාපිත කරන ලදහ. මෙම කදවුරු වල සිරගත කල විවිද තරාතිරමේ පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවා විවිද ව්‍යාපෘති සිදුකල අතර එහිදී සිදුවන ජීවිත හානි හෝ ආබාධයන්ට ලක්වීම් කිසිදු තැකීමකට ලක් නොකලහ. මේ පිළිබදවද සවිස්තරාත්මක විස්තර ගුලාග් කදවුරු ලිපිපෙලේ තිබෙන අතර එසේ බලහත් කාරයෙන් මිනිසුන් යොදවා ගෙන සෝවියට් දේශයේ උන්නතිය උදෙසා වූ දැවැන්ත ව්‍යාපෘති සිදුකෙරින. ඉතින් ඒ ආකාරයෙන් ගත් කල සෝවියට් දේශයේ දියුණුවට සමාජ වාදය කෙසේවෙතත් එයට මුවාවී සිදුකල නින්දිත වහල් සේවයනම් ඉවහල් වූ බව කිව හැකිය.

චීනයේද විප්ලවය සිදුවීමෙන් පසු බලාපොරොත්තුවූ වෙනස අත්දැකිමට නොහැකි වූ නිසා 60 දශකයේ සිදුකල සංස්කාතික විප්ලවය හරහාද මෙවැනිම වූ ජනපීඩක තත්වයක් ඇතිවූ අතර වර්තමාන චීනයේ දියුණුවට හේතුව චින විප්ලවය කෙසේවෙතත් 70 දශකයේ අගභාගයේ එරට සුක්කානම අතට ගත් Deng xiaoping මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා බව මේ ක්‍ෂෙත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ මතයයි.

කියුබාවේද විප්ලවයෙන් පසු එරට සිටි ජනතාව බොහෝදෙනෙක් සිය මව්බිම හැරදා අවධානම් සහගත වූවත් ඇමරිකාවට පලාඒමට තැත්කරන්නේ බලාපොරොත්තුවූ සහජීවනය ඇති වී තිබෙන නිසාද යන පැනය මතුවේ.

එසේ වූවත් මෑතකාලයේ ඉන්දුනීසියාවේ ඇතිවූ ජනතා උද්ඝෝෂණ හමුවේ පීඩාකාරී Suharto පාලනය බිද දමා ඊට වඩා යහපත් පාලනයක් ඇති කර ගැනිමට සමත්වූ අතර ඒවාට වෙනත් පිටස්තර බලපෑමක් ඇතිනොවූ නිසා ලිබියාවේ වැනි අර්බුදකාරී තත්වයන් ඇතිනොවීය.

බටහිරි යුරෝපයේ රටවල් රැසක දියුණුව සැලකූ කල මධ්‍යතන යුගයේ අවසාන කාලයේ සිදුවූ කාර්මික විප්ලවයෙන් ලද ප්‍රගමණයත් නාවික බලය දියුණු කර ගැනීමෙන් දුර ඈත මහද්වීප කරා ගොස් ඒවායේ පැවති ඉපැරණි ශිෂ්ඨාචාර ගිණිබලය යොදා අනුකම්පාවිරහිත ලෙස විනාශ කර ඒවායේ තිබූ දුර්ලභ සම්පත් තම රටවලට ගෙනයාමෙන් බවත් කිව හැක්කේ එවැනි ආක්‍රමණිකයන් තිදෙනෙකුගේ පාලනයට 1505 සිට නතුව සිට ලැබූ අත්දැකීම් ඔස්සේය.

ඇමරිකා එක්සත් ජනපදයේ වසර 200 කට යන්තමින් වැඩි ඉතිහාසය තුල ඔවුන් මෙතරම් දියුණුවක් ලැබීමට එක් හේතුවක් වූයේ විවිද දක්‍ෂතා ඇති වෘත්තිකයන් සිය රටට ගෙන්වා ගැනීමට ඔවුන් දැක්වූ ආකර්ශනීය වැඩ පිළිවෙලයි. ඔවුන්ට වැදගත් පුද්ගලයෙකු නම් පෙර වැරදි අමතක කොට වූවත් එය සිදුකරගැනීමට පසුබවට නොවන බව ඔබ රොකට් තාක්‍ෂනය මුලින් සොයා ගත්තේ ඇමරිකානුවන් නොව ජර්මානුවෝයි. යුද්දයෙන් උපන් නිපැයුම් - තෙවන කොටස ලිපිය කි‍යවන ලද්දේ නම් වටහා ගනු ඇත. එසේම සිය සංග්‍රාමික බලය වැඩි කරගැනී‍ම වෙනුවෙන් ඔවුන් ඕනෑම අවධානමක් ගැනීමට සූදානම් බව සුපිරි යුද ශක්තිය උදෙසා දරුණු අත්හදා බැලීම් ලිපියේදී ඔබ දකින්නට ඇත.

හැබැයි ඇමරිකාවේ වැරදි ඇති බව ගතවූ වසර 60-70 තුල උදාහරණ රැසකින් පෙන්විය හැකි අතර ඔවුන් සතුව යහපත් ගුණාංගද නැතුවා නොවේ. ලෝකයේ විවිද ව්‍යාපෘති සදහාද ඔවුන් ආධාර ලබා දී ඇති අතර ඔවුන්ගේ අභ්‍යන්තරික නීති පද්දතියේ ඇති නීතිය පසිදලීමේ විධික්‍රමද විමර්ශනයට ලක් කිරීමට වටිනා අංශයකි.


ලිපියේ අවසාන කොටස කරා පැමිනෙන මෙම මොහොතවන විට පැවසීමට ඇත්තේ තව නොබෝදිනයකින් මෙම ඒකපාර්ශ්වික සටනේ අවසාන ප්‍රතිඵල දැක ගත හැකිවනු ඇත. පසුව නැවත තවත් දේ කතාකරමු.


පසුවදන :
මෙවැනි ලිපි සත් සමුදුරේ දැක ගැනීමට හැකිවන්නේ අඩුවෙන්ම වූවත් කලකට පෙර ලියන්නට සිතා සිටි ලිපියක් මෙම ලිබියානු සිද්ධියේ අවසන් අධියරට පැමිනෙත්ම ලියන්නට සිතුනේ එය ලියන්නට සුදුසු අවස්ථාව මෙය යයි හැගුන නිසාය. මෙවර එය කතුවර මත යන නව නාමය ලෙස ලියවුනත් එය පැරණි තේමාවක් ඔස්සේ ලියවූවක් බව කිවයුතුය. එනම් මීට පෙර ස්වාධීන මත ඇති ලිපි මතිමතාන්තර යන තේමාව යටතේ ලියවී තිබුනත් මින් ඉදිරියට එවැනි ලිපි කතුවර මත යන තේමාව ඔස්සේ ලිවීම වඩාත් කාලෝචිතබව පෙනේ. මෙවැනි ලිපියකින් කාහටවත් පහරදීමේ හෝ වෙනයම් ලාභ අපේක්‍ෂාවක් නොතිබූ අතර සැඟවීමට අනවශ්‍ය කරුණු මධ්‍යස්ථව ඉදිරිපත් කිරීමක් පමණක් බවද පැවසිය යුතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් පක්‍ෂපාතී, අපක්‍ෂපාතී, විරුද්ධ හෝ මධ්‍යස්ථ වැනි ඕනෑම අදහසක් ඔබ තුල ඇති බව දනිමි. ඉතින් එම වටිනා අදහස් හා මඟහැරුන යමක් වේ යයි ඔබට හැගෙන යමක් වේනම් එය කමෙන්ටු ලෙස ඉදිරිපත් කරන ලෙසද ඉල්ලමි. හැබැයි ඒවා පරුශ වචන හෝ අසැබි වදන් වලින් තොර ඒවා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නේ මෙය කියවීමට පාසල් යන වයසේ සොයුරු සොයුරියන් හා කාන්තා පාර්ශවයද සිටින නිසා ඔවුන් අපහසුතාවයට ලක් නොවීමට වගබලා ගතයුතු නිසා බවද මතක් කරමි...