Friday, August 19, 2011

ඇමරිකානු උභයජීවී නාවික භටයන් - US Navy SEAL

මේ දිනවල ලෝකයේ බොහෝ රටවල වැසියන් තුල ඇමරිකාව පිළිබදව තිබෙන්නේ එතරම් පහන් හැඟිමක් නම් නොවෙයි. පසුගිය දිනවල ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ලංකා‍වේ ගුවන් සීමාවට ඇතුළුවුනැයි කියා කසුකුසුවකුත් තියෙන අතරතුර දැනට මාස කිහිපයකට කලින් ලෝකයේ අන්තවාදී ත්‍රස්ථ නායතයෙකුවන ඔසමා බින් ලාඩන් ඝාතනයට සම්බන්ධවූවායැයි කියන ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව යමක් ලියන්නට සිතුනා. කෙසෙ‍වෙතත් මෙම මෙහෙයුම සිදුකලේ මෙම නාවික සීල් බලඇණිය සිදුකරන ලද බවට ප්‍රසිද්ධියේ පැවසුනත් ඇතැම් අයනම් කියා සිටියේ මෙය ඇමරිකානු හමුදාවේ තිබෙන වෙනත් රහස් ඒකකයක් මගින් සිදුකල බවයි. ඒ කොහොම වුනත් ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම ‍රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි.

ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්‍රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි‍. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).

ඉතිහාසය
1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුත‍ය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්‍ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්‍ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි‍ එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්‍ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ Naval Combat Demolition Units යන නාමයෙනි.

මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්‍රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී Underwater Demolition Teams (UDT) හෙවත් frogmen ලෙසද හැදින්වීය.

දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර්ගේ අණදීම යට‍තේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි.

60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්‍ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් U.S. Special Operations Force එකක්වන Green Beret  ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති John F. Kennedy විසින් වටහා ගත් අතර එම අවශ්‍යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the Navy SEALs (an acronym for Sea, Air, and Land) බවට නම් කලේය.

වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්‍රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්‍ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ.

කෙසේවෙතත් 1975 දී ජයග්‍රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි.

Navy SEAL  භටයෙකුවීමේ අවශ්‍යතා
ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භ‍ටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ.  එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්:
  • ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි.
  • පිරිමි නාවික භ‍ටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ.
  • වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි.
  • අක්‍ෂිවල  දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ.
  • ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි.
  • the Armed Services Vocational Aptitude Battery (ASVAB) පරීක්‍ෂනය සමත්විය යුතුයි.
  • ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි.
    1. යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ.
    2. push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක ‍විවේකයක් ලැබේ.
    3. sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක ‍විවේකයක් ලැබේ.
    4. pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක ‍විවේකයක් ලැබේ.
    5. දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය. 
මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.

පුහුණුව
මෙසේ දුෂ්කර මෙහෙයුම් වල නිරතවන සීල් භටයෙකු වීමද එයට උවමනා අවශ්‍යතා සපුරා තිබුනද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සීල් භටයෙකු ලෙස මාස 30 ක් පුහුණුව ලබන නාවික භටයන්ගෙන් අවසානයේ සීල් භටයෙකු වීමට වරම් ලබන්නේ 25% ක ප්‍රමාණයකට පමණක් බව පවසයි. 

එහිදී ඔවුන්ට කිමිදීම, පිහිණීම, දියුණු අවි ආයුද භාවිතය, පැරචුට් භාවිතා කර ගුවනේ සිට පොළවට පතිත වීම,නාවික යාත්‍රා පැදවීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් පුහුණුවීමට ලැබෙන අතර එහිදී සිය ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම වැදගත්බව පවසයි. එසේම ජලයේ කිමිදී කරනු ලබන සටන් නැතහොත් BUD/S (Basic Underwater Demolition/SEAL) පුහුණුවේදී  ආතතිය දරා ගැනීමට හැකිවීම අත්‍යාවශයෙන්ම ප්‍රගුණ කල යුතුවේ.

මෙම Basic Underwater Demolition/SEAL පුහුණුව සිදුකරනු ලබන්නේ කැලිෆෝනියාවේ කෝනාර්ඩෝ හි the Naval Amphibious Base නාවික කදවුරේ වන අතර එය අධියර කිහිපයකින් යුතුවේ.
එනම් :‍
  • Indoctrination
  • Basic Conditioning
  • SCUBA training
  • Land-warfare training
දුෂ්කර පුහුණු සමයක් වන මෙය මාස හතක් පුරා සිදුවන්නකි. මෙහිදී මුල්ම පුහුණු අධියර වන Indoctrination සති පහක පුහුණුවක් වන අතර එහිදී Navy SEALS වරුන්ගේ අභිප්‍රායන් යනාදිය පිළිබදවද අවධානය යොමුකරන ලබයි. එසේම මානසික හා කායික යෝග්‍යතාවය නොසැලී පවත්වාගන්නා අයුරුද මෙහිදී ප්‍රගුණ කරනු ලබන තවත් සාධකයකි. 

මෙම Indoctrination පුහුණුවෙන් පසු සති අටක් Basic Conditioning පුහුණුව ලබා දීම සිදුකරයි. මෙහිදී දෛනිකව සැතපුමක් හෝ දෙකක මුහුදේ පිහිණිම දිවීම හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ලබන BUD/S obstacle course කොටස සිදුකල යුතුවේ.



Basic Conditioning පුහුණුව තුලදී ජලය තුල සිදුකරන ප්‍රධාන තම පුහුණුවක් වන්නේ drown-proofing නම් අත් පා බැද ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණුවයි. මෙහිදී මිනිත්තු ගණනාවක් විවිද ක්‍රියාකාරකම් අත්පා බැද සිටියදී ජලය තුල සිදුකිරීමට පුහුණුව ලබන්නාට සිදුකිරීමට සිදුවේ.


 මෙම අධියරේ තවත් අසීරු පුහුණුවක් වන්නේ  surf torture නැතහොත් "cold water conditioning" ලෙස හදුන්වන පුහුණු සැසියයි. මෙහිදී ජලයේ උශ්නත්වය සෙල්සියස් අංශක 18 සහ 20 නොයික්මන උශ්නත්වයකදී ශාරිරික අභ්‍යාස හෝ සැතපුම් එකහමාරක් පමණ තෙතබරිත වූ ඇදුම් හා බූට්ස් සමග ධාවනයේ යෙදිය යුතුවේ. ඉන්පසු ඔවුන් නැවතත් ජලය මතට පැමිණිය යුතුය.


Basic Conditioning පුහුණුවේ සිව්වන සතිය Hell Week ලෙස හැදින්වේ. මෙම සතියේදී පුහුණුවන සීල් භටයා දහවල් පහක් හා රාත්‍රී පහක් පුහුණු සැසියකට සහභාගීවේ. මෙම සමස්ථ කාලසීමාව තුලදී ඔහුට නිදාගැනීමට ලැබෙන්නේ පැය හතරක් පමණ බවද කියයි. මෙම පුහුණුව ආරම්භවන්නේ තෙවන සතියේ ඉරු දින හිරු බැස ගිය පසු වන අතර අවසන් වන්නේ සිව්වන සතියේ සිකුරුදා දිනයේදීය. මෙම කාලයේදී නොනවත්වා පුහුණුවීම් වල යෙදෙන පුහුණුවන සීල් භටයන්ට දිනකට ආහාර වේල් හතරක් ලැබේ. මෙහිදී ඔවුන්ට බොහෝවිට MRE (meal ready to eat, a US military precooked ration pack) නැතහොත් කලින් සකස් කල ආහාරද ලැබෙන අතර ඒ සෑමවිටම උණුසුම් ආහාර සීමාවකින් තොරව ලබාදෙනු ලබයි‍.  පුහුණු කාලයේදී නිරතුරුවම ශීතලට නිරාවරණය වන නිසා එසේ උණුසුම් ආහාර‍ වේලක් ලබාදීම තුලින් නැවතත් උණුසුම් බවක් සිරුරට ලබා ගැනීමට ඔවුන්ට හැකිවන අතර එය ඔවුන්ට මානසිකව උද්දීපනයක් ලබා ගැනීමටද හේතුවක් වේ. කෙසේවෙතත් මෙම පුහුණු කාලය කෙතරම් වෙහෙසකරද කියතොත් ඔවුන් වැඩි දෙනෙක් ආහාර ගන්නා වේලාවේදිත්  නිදිකිරා වැටෙමින් සිටින බවද පැවසේ.





මෙම Hell Week පුහුණු කාලයේදී ඒ ඒ පුහුණු කණ්ඩායම් වලට නිරතුරවම වාගේ ඔවුන්ගේ පුහුණුවීම් සදහා යොදා ගන්නා හුලං පුරවා භාවිතා කරන Zodiacs නම් රබර් බෝට්ටු හිසමත තබා ගෙන ඔසවා ගෙන යාමටද සිදුවන බව පවසයි. එසේම විවිද ශාරිරික අභ්‍යාස, දිවීම, මඩ සහිත භූමියේ දනගසා ගෙන ගමන් කිරීම ආදිය මෙම දින පහමාර තුල ඔවුන් සම්පූර්ණ කල යුතුය. මෙම Hell Week පුහුණු සමය අතිශයින් දුශ්කර නිසාම මෙම පුහුණුව ලබන බොහෝදෙනෙක් නාවික සීල් භටයෙකු වීමේ සිහිනය ඉවතලා පාඨමාලවෙන් ඉවත් වීමට සිදුවන බවද පැවසේ.


Basic Conditioning පුහුණුවෙන් අනතුරුව සති අටක් SCUBA (self-contained underwater breathing apparatus) training සිදුකරනු ලබන අතර එය නිරතුරුවම ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණු වීමකි.

මෙම SCUBA පුහුණුවෙන් පසු සති නවයක් Land-warfare training සදහා යෙදවේ. මෙහිදී බුද්ධි තොරතුරු එක් රැස්කිරීම සහ ඒවා නිවැරදිව විශ්ලේෂනය කිරීම, දිඟදුර මෙහෙයුම් පිළිබද පුහුණුව හා මුරසංචාරයන් පිළිබද පුහුණුව, සමීප සටන් පිළිබදව අධ්‍යයනය, "edged" weapons නැතහොත් තියුණු අවිආයුද වන පිහි වැනි ආයුද භාවිතා කර සටන් කිරීම, සැඟවී පහර එල්ල කරන ස්නයිපර් ප්‍රහාරයන් වලට ප්‍රතිචාර දැක්වීම, ඕනෑම ගොඩබිම් වාහනයක් ධාවනය කිරීමේ පුහුණුව හා වේගයෙන් වාහන ධාවනය කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම හා වාහන ධානයේදී ප්‍රයෝග යොදාගනිමින් ධාවනයේ ප්‍රාගුණ්‍යද පුහුණු කරනු ලබයි. තවද ආයුධ රහිතව සටන් කරන ආකාරයද මෙම පුහුණු අධියරේ තවත් කොටසක් බව පැවසේ. මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සතුරු ආරක්‍ෂක වලලු හරහා ඇතුළුවීමේ පුහුණුව, සතුරාගෙන් ගැලවීමේ උපක්‍රම (recovery (snatch-and-grab) techniques) සහ සීල් භටයෙකු මෙහෙයුමකදී කෙසේහෝ තම පැවැත්ම ආරක්‍ෂාකරගත යුතු නිසා එවැනි අවස්ථාවක සිදුවන තුවාල ආදියට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය පුහුණුවද මෙහිදී ලබා දේ  (field medicine).

මෙම පුහුණුවට පසුව ජෝර්ජියාවේ Fort Benning හි Army Airborne School හිදී සති තුනක පැරචුට් පාඨමාලාවකින් අනතුරුව තවත් සති පහලොවක් EAL Qualification Training (SQT) පුහුණුව ලබයි. මෙහිදී සීල් භටයන්ට අදාල විවිද උපක්‍රම හා ක්‍රමවේදයන් තවදුරටත් පුහුණුකරනු ලැබේ. මෙම පුහුණුවෙන් අනතුරුව මෙම නාවික භටයන් Naval Enlisted Code යන කේතය හිමිවන අතර  SEAL Trident pin ද පිදුම් ලබයි. දැන් ඔහු නිලවශයෙන් US Navy SEAL භටයෙකි.

මෙම පුහුණුවෙන් සීල් භට‍යෙකුගේ පුහුණුව අවසන් නොවේ.Hospital corpsmen යන තනතුරු දරන්නන් තවත් සති 30 ක් ඊට අදාල පුහුණුව ලැබිය යුතුය. තවද  Special Reconnaissance සහ Direct Action යන මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය පුහුණුවද සීල් භට‍යෙකු ලබා ගත යුතුයේ. එයට අදාලව පහත පුහුණුවීම් ඔවුන් ලබන බව පැවසේ.

  • tactical ambushes
  • sniper assaults
  • close-quarters combat
  • underwater demolition
  • combat-swimming attacks
  • close air support
  • naval gunfire support
  • raids
  • hydrographic reconnaissance

මෙම පුහුණුවට පසුව ඔහුට විවේක ලැබේ යයි ඔබ සිතනවාද? නැත. නව සීල් භටයන් වහාම සිය මෙහෙයුම් ඒකක වෙත වාර්තා කල යුතු අතර ඔහු නැවත මාස 12 සිට 18 දක්වා වූ පුහුණුවක් ලැබිය යුතුය. එහිදී තනි ව‍ශයෙන්, Platoon එකක් ලෙස හා squadron-level ලෙස පුහුණුවීම නැවත නැවත සිදුකරන අතර එමගින් සීල් භටයන්ගේ දක්‍ෂතාව නිරතුරු පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීම බලාපොරොත්තුවී ඇත.

කණ්ඩායම් හැගීම ප්‍රගුණ කිරිම සමස්ථ පුහුණුවීම් තුල අනිවාර්ය‍යෙන්ම සිදු‍කරන අතර  සීල් භටයෙකු කිසිවිටක සිය සඟයා මෙහෙයුම් තුලදී දමා නොපැමිණීම අනිවාර්යයෙන්ම සිදුකරන දෙයකි. මෙවැනි දේ සම්පූර්ණ කරන නාවික සීල භටයෙකුට අවසානයේ සිය ඒකකයේ යුද ‍ඝෝශාව වන Hooyah! යන්න ආඩම්රයෙන් කෑගසා කීමට හැකිය යන්න නොසඟවා කිවහැකිය.

Navy SEAL හි ව්‍යුවහය
මෙම විශේෂ හමුදා කණ්ඩයේ මෙහෙයුම් සිදුකරන්නේ ඉතා කුඩා ඒකක වශයෙනි. බොහෝවිට එය සීල් භටයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් සම්බන්ධවන මෙහෙයුම් වේ. එහෙත් සමහර අවස්ථාවල මෙහි එක් platoon ක් භටයන් 16 කින් පවා සමන්විත වන අවස්ථා තිබේ. මෙම භටයන් පුහුණුකර තිබෙන්නේ විශේෂිත වූ කාර්යයක් ඕනෑම පරිසරයක, ඕනෑම තත්වයක ඉෂ්ඨ කර ගැනීම පිණිස වන අතර එය කාන්තාරයක, කැලෑවක වීමට හෝ උෂ්න මෙන්ම ශීත කාලගුණික තත්වය යටතේ මෙන්ම අධික නාගරික පෙදෙසක වුවත් විය හැකිය.

SEAL භටයන් සම්බන්ධවන මෙහෙයුමකදී ඔවුන් පළමුව පුළුල්ව මෙන්ම සවිස්තරාත්මකව සැලැස්මක් ගොඩනගන අතර එය ක්‍රියාත්මක කිරීමටද මැනවින් සංවිධානය වන බව පැවසේ. එසේම ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහකට බෙදා වෙන්කර ඇත. එනම්:
  1. Unconventional Warfare (UW) - මෙහිදී ගරිල්ලා යුද උපක්‍රම ‍භාවිතා කරනු ලබයි. මෙහිදී කුඩා ජංගම ඒකක යොද ගනිමින් "unorthodox" නැතහොත් සාම්ප්‍රධායික නොවන යුද ක්‍රමයන් යොදා ගනිමින් සතුරු සැපයුම් විනාශ කිරීම, කුඩා සතුරු කණ්ඩායම් වෙත සැඟවී සිට පහර දීම සහ "hit and run" නැතහොත් පහර දී පලායාම වැනි මෙහෙයුම් වල නිරතවේ.
  2. Foreign Internal Defense (FID) - විදේශීය සතුරු යුද භූමි තුලදී maritime infiltration techniques නැතහොත් සමුද්‍රාසන්න කඩා වැදීමේ උපක්‍රම යනාදිය යොදාගෙන එම ප්‍රදේශවල සිටින සිය හිතවාදීන් සමග සබදතා ගොඩනගා ගැනීමද මෙම විශේෂ සංග්‍රාමික ඒකකට පැවරී ඇති තවත් රාජකාරියකි.
  3. Direct Action (DA) - සතුරු ඉලක්ක වලට පහර දීම මෙහිදී සිදුකරන අතර එය ගොඩබිමේ හෝ ජලාශ්‍රිතව තිබෙන ඉලක්කයකට විය හැකිය. එසේම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා සැගවී සිට පහර දීම්ද මෙයට ඇතුලත්ය.
  4. Counterterrorism (CT) - මෙහිදී ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සදහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිවිල් වැසියන් හා සහෝදර හමුදාමය ඒකක ආරක්‍ෂා කිරීමත් ඇතුලත්ය.
  5. Special Reconnaissance (SR) - බුද්ධි තොරතුරු එක්රැස් කිරීම තවත් එක් ප්‍රධාන කර්තව්‍යයකි. එහිදී සතුරු මර්මස්ථාන, සතුරු කදවුරු ආදිය මෙන්ම අනෙකුත් වැදගත් සියළු දේ පිළිබද තොරතුරු එක්රැස් කිරීම සිදුකරන අතර ඒවා විවෘත කරුණු මෙන්ම රහස්‍ය කරුණුද විය හැකිය.
මෙම ඒකකයේ සුවිශේෂ කරුණක් වන්නේ කිසිවිටක ප්‍රතිවාදින් සිරභාරයට ගැනීම වැනි මෙහෙයුම්වල නිරත නොවේ. මේ වන විට සක්‍රීය සීල් භටයන් ලෙස සේවයේ නිරතව ඇත්තේ 2,290 පමණ සංඛ්‍යාවක් බවද දල වශයෙන් කියවේ.

Navy SEAL භාවිතා කරන වාහන සහ අවි ආයුද
ඔවුන්ගේ මෙහෙයුම් වලදී මුහුදු මාර්ගිකව සිදුකිරීමේදී ජලය මතුපිට යාත්‍රාකරන යාත්‍රා ලෙස MK V Special Operations Craft (SOC), NSW Rigid-hull Inflatable Boat (RHIB),Special Operations Craft-Riverine (SOC-R), Combat Rubber Raiding Craft (CRRC) යනාදිය භාවිතා කරයි. 
MK V Special Operations Craft (SOC)

එසේම ජලයේ කිමිදී කරනා මෙහෙයුම් සදහා Open-circuit System, Closed-circuit Oxygen Systems සහ Closed-circuit Mixed Gas System පද්දති භාවිතා වේ.
Closed-circuit Mixed Gas System 

අවි ආයුද ලෙස සැහැල්ලු ගිනි අවි, මැෂින් තුවක්කු මෙන්ම ස්නයිපර් අවි හා ග්‍රෙනෙඩ් විදිනයන් හා යුද ටැංකි නාශක අවිද භාවිතා කරනු ලබයි.

මෙම Navy SEAL ඒකකය වියට්නාමයේ හා තවත් බොහෝ රටවල ඇමරිකාව මැදිහත් වූ මෙහෙයුම් සදහා සහභාගී විය. සෝමාලියාවේ සාම සාධක මෙහෙයුම් සදහාද ඔවුන් ඇතැම් අවස්ථාවල සහභාගී වී ඇති අතර මෑත කාලයේ සිදුවී ගල්‍ෆ් යුද්දයන් වලදීද ඔවුන්ගේ දායකත්වය බෙහෙවින් සිදුවී ඇත.

දැන් එසේ නම් මෙම ලිපිය අවසන් කරන අතර ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව ඔබ නොදන්නා බොහෝ කරුණු මෙයින් දැන ගන්නට ඇතැයි සිතන අතර මෙහි සදහන් නොවූ කරුණු ඇත්නම් ඒවාද සටහන් කරන මෙන් ඉල්ලමි.

62 comments:

  1. මේ ලගඳි තලිබානුවන් ‍බිම දැම්ම හෙලිකොප්ටරයෙ ඉඳල තියෙන්නෙ සීල් භට කණ්ඩායමක්. හුඟක් අය කියන්නෙ බිල් ලාඩන් අත්අඩංගුවට ගන්න ගිය අයමයි කියල.

    ReplyDelete
  2. සුපිරි ලිපියක්!!!!

    ReplyDelete
  3. @පිටස්තරයා - මමත් ඒ පිළිබදව ප්‍රවෘත්ති වාර්තා වල දැක්කා. හැබැයි මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවා. බින් ලාඩන් ඝාතනය ක‍ල මෙහෙයුමේ භටයන් පිළිබදව තොරතුර තවත් සඟවා තබා ගන්න මෙහි සිටියේ ඔවුන් යයි ඇමරිකාව කියනවා වෙන්නත් පුළුවන්.මොකද ලෝකයේ ‍සමහර රටවල විශේෂිත වූ ඒකක වල සොල්දාදුවන් කිසිවිටකත් බාහිර සමාජයට නිරාවරණය නොකර සිටීමේ ප්‍රතිපත්තියක් ඇති නිසා...

    ReplyDelete
  4. great............

    ReplyDelete
  5. @..ChAnDiKa.. - ස්තූතියි! අයෙත් හමුවෙමු...

    ReplyDelete
  6. එල... උඹව සී අයි ඒ එකෙන් උස්සයිද දන්නෙ නෑ.. ;)

    ReplyDelete
  7. නියම ලිපියක්
    ජයවේවා

    suneth

    ReplyDelete
  8. @සාතන් - අයියෝ මාව බය කරන්න එපා. මීට කලිනුත් එකෙක් ඔහොම කිව්වා...

    ReplyDelete
  9. සත් සමුදුරට දුම්වැටිය ගැන කමෙන්ට් එක දැම්මට පස්සේ අධික වැඩ කටයුතු නිසා ඔබගේ බ්ලොග් එකට එන්න බැරි උනා. හදිස්සියේම මගේ වෙබි සයිට් එකට යන්න හදද්දී මේකට දාපු කමෙන්ට් එක පෙනුනා. ඉතින් ඇවිත් බලන්න ඔන කියලා හිතුනා.
    ඇත්තටම ඔබ වගේ තරුණ ළමයි රටක ඉන්නවා කියලා තේරුනාම මට ලොකු සතුටක් ආවා. ඔබ වගේ අය ලංකාවටම 10 දෙනෙක් හිටියොත් හොඳටම ඇති. අප වගේ වයසක උදවියට හිතේ බයක් නැතිව දෑස් පියා ගන්න පුඵවන්.
    මේකට කමෙන්ට්ස් දාන අය ගැනත් මොනවත් නොලිව්වොත් ලොකු අඩුවක්. මා දැක්ක ආචාරශීලි ම කමෙන්ට්ස් දාන අය ඉන්නේ මා හිතන හැටියට මෙහි.
    මේ හැම ලිපියක්ම ඉඩ ලැබෙන හැටියට කියවීමට මා අදහස් කරනවා. කියවූ බව ඇගවීමට පොඩි කමෙන්ට් එකක් හරි දාන්නම්.
    හැබැයි වයසක මට ඔය යූආර්එල් එක එක ඒවා තේරෙන්නේ නෑ. ඉතින් මේ විදියටවත් එවන්නම්.
    තිලකා රන්දෙනි
    www.thilakarandeni.lk

    ReplyDelete
  10. පුදුම පුහුනුවක් නේ දෙන්නේ කියවද්දිත් ඇග හිරි වැටෙනවා...ගොඩක් ස්තූතී අයියේ අදත් විශේශ ලිපියකින් අපිව දැනුවත් කලාට,,

    ReplyDelete
  11. @තිලකා රන්දෙනි මහත්මිය - ස්තූතියි! සිංහල ලේඛණ කලාවේ යෙදෙන ප්‍රවීණයෙකු සත් සමුදුරට ගොඩවී අදහස් පල කිරීම ඉමහත් සතුටක් මෙන්ම අපහට ඔබගෙන් ඉගන ගැනීමට ඇති දේ අතිමහත් බව නිහතමානීව හා අවංකව සටහන් කරනු කැමැත්තෙමි. මේසා දුරක් ගෙවීමට සත් සමුදුර ඇරඹි මොහොතේ මා නොසිතුවත් එය ක්‍රමයෙන් දළු ලා අතුලා ඵල ඇති දැවැන්ත වෘක්‍ෂයක් බවට පත්වෙමින් ඇති බව දැන් ක්‍රමයෙන් මාහටද වැ‍ටහී යයි. එහෙත් ආමග කෙටි බවත් යා යුතු මග මෙයට වඩා අතිශයින් දුර සහ දුශ්කර බවද මා පසක් කර ගෙන සිටිමි. එය හැකිතාක් කාලයක් සත් සමුදුර සමග සිටින පාඨක සහෘදයන් වෙත ලබා දෙන්නේ කිසිදු වරදාන වරප්‍රසාදයක් රහිතව බවද පැවසීමට කැමැත්තෙමි. එසේම ඔබ සත් සමුදුරට අදහස් පල කර ඇති පාඨක සහෘදයන්ගේ අචාරශීලීභාවයට ප්‍රශංසා කිරීම පිළිබදව ඔබටද ඔවුන් සෑම විටම හිතවත්ව හා සිය ගෞරවය රැකෙන පරිදි අදහස් පල කිරීම ගැන ඔවුන්ටද මාගේ ගෞරවය පිරිනමමි. අවසාන වශයෙන් පවසන්නේ හැකි සෑම විටම සත් සමුදුරට ගොඩවී ඔබ සතු වටින අදහස් මෙන්ම ලේඛණකරණයේ යෙදීමේදී මාගෙන් සිදුවී ඇති දෝශද පෙන්වා දෙන මෙන් ඉල්ලමි...

    ReplyDelete
  12. @ItalyDilan - ස්තූතියි සහෝ, ඉදිරියේදී තව තව දේවල් එනවා...

    ReplyDelete
  13. අපුරු විස්තරයක් . ඒ වගේම තිලකා රන්දෙනිය මහත්මියගෙන් ලැබුණු සහතිකය හරි වටිනවා . ඇත්තටම සත්සමුදුර මිට වඩා පිරිසක් අතරට යා යුතුයි කියන මතයේ මා සැමදා සිටින්නේ

    ReplyDelete
  14. නියමයි මචං! දැනගන්න දෙයක් දුන්නට ජය වේවා!

    ReplyDelete
  15. @Bindi - ස්තූතියි! පාඨකයන් අතරට රැගෙන යාමට ඔබගේ සහයද ලබාදෙන මෙන් ඉල්ලමි...

    ReplyDelete
  16. @මුචලින්ද - ස්තූතියි! අයෙමත් මේ වගේ සහ වෙනස් ආකාරයේ මාතෘකාවලින් හමුවෙමු...

    ReplyDelete
  17. නොදන්නා දෙයක්‌ දැන ගැනීමට සලස්‌වපු එක වටිනවා..හැකිනම් ලංකවේ ආමී එක ගෙනත් ලියන්න
    ස්‌තූතී......

    ReplyDelete
  18. ගොඩක් වටිනවා දිනේෂ්.., මේක බලනකොට මට මතක් වෙන්නේ ලක්බිම කන්තොරුවෙන් පල කල සමුදුර පත්‍රයේ ආරම්භක අවධිය.., [දැන් ඒ ගැන කතා කරන්නටත් දෙයක් නොමැති තරම්]
    සුභ පැතුම් සහ ස්තූතියි මිනිස්සුන්ගේ මොලේට මේතරම් ලස්සනට ආමන්ත්‍රණය කරනවාට..!
    ජය!

    ReplyDelete
  19. @සොදුරු මිනිසා - ස්තූතියි! අපි බටහිර ගැන තිබෙන චිත්‍රය බොහෝවිට මැවී තිබෙන්නේ ඔවුන්ගේ චිත්‍රපටිවලින් පෙන්වන දේවල් තුලිනුයි. ඉතින් එයින් ඔබ්බට ගිහිල්ලා කරුණු සොයා බැලීමක් තමයි කලේ...

    ReplyDelete
  20. @Lishan Puwakowita - ස්තූතියි! සමුදුර කියන්නේ මගේත් ප්‍රියතම පුවත්පත වගේම දැනුම ලබාගන්නා ලද ප්‍රමුඛතම මාධ්‍යයයි. මුල් අවධියේ සමුදුර දැනටත් වඩා ගුණාත්මක බවෙන් ඉහල බව මමද අකමැත්තෙන් වුවද පිළිගනිමි...

    ReplyDelete
  21. වටිනා ලිපියක්.ඇමරිකානු හමුදා සම්බන්දයෙන් මගේ පැහැදීමක් නැතිවුවත්.මෙම උභය ජීවී හමුදා ඒකකය නම් අගය නොකරම බැරිය.මෙම පුහුණුව කොතරම් අසීරු ඇතිදැයි මට සිතාගත හැක.ඒ කලකට ඉහත දියයට ක්‍රියාකාරකම් නොමැතිව,ඉතා අසීරු දිවා රාත්‍රී එකලෙස සිදුකල,දුෂ්කර ගොඩබිම් පුහුණුවක් මා ලැබූ නිසාය.නමුත් එම ඇමරිකානු පුහුණුවට මා ගියේ නම් නිසැකවම අසමත් වනු ඇත.එය නම් ඒ තරමට දුෂ්කර බව වැටහේ.

    ReplyDelete
  22. @Anonymous - ස්තූතියි! ඔබ කවුරුන්දැයි හදුන්වාදෙන්නේ වඩාත් සුදුසුබවද කීමට කැමැත්තෙමි. එසේම ඔබ ආරක්‍ෂක අංශයකට සම්බන්ධ අයෙක් බව හැගේ. කරුණාකර අකමැත්තක් නැත්නම් ඔබ පිළිබදව හැදින්වීමක් ලබා දිය හැකිද?

    ReplyDelete
  23. නියම ලිපියක්,මේ තරම් පුහුනුවක් මිනිස්සුන්ට දරන්න පුලුවන්ද කියලා හිතන්නත් අමාරුයි...නරකද නායකත්ව පුහුනුවත් මේ වගේ කෙරුවොත් ,එ.බී. ඇමතිතුමාට නම් මේක පේන්න දාන්න එපා.... :-)

    ReplyDelete
  24. කියලා වැඩක් නෑ නොම්මර 1 කේ ලිපියක් , ඔය පුහුනුවෙන් භාගයක් අපිට කරන්න පුලුවන් ද මන්ද ....... භාගයක් තියා අරික්කාලක් වත් බෑ.... , ඇමරිකානු ඩෙල්ටා ප්‍රරහාරක කණ්ඩායම්ත් ඔවැනි සුපිරි ප්‍රරාහාරක ඒකකයක් , වර්තමානයේදී Navy SEALභටයන් ඇෆ්ගනිස්තානයේත් ඩෙල්ටා කණ්ඩායම් ඉරාකයේත් මෙහෙයුම කටයුතු සදහා යොදවා තිබෙනවා .
    ඔබේ ලිපියට අලුතින් එකතු කරන්න දෙයක් හිතා ගන්නත් අපහසුයි , ලිපිය SEAL බලඇණිය තරම්ම විශිෂ්ඨයි.
    පොඩි දෙයක් කියන්න තියනවා මං වරක් පුවත් පතක කියෙව්වා SEAL නිලධාරීන් කණ්ඩායමක් වරක් අපේ රටේ නාවික සහ යුධ හමුදාවන් දිගුකාලයක් ගරිල්ලා යුද්ධයක් පවත්වාගැනීම සහ යුධ උපක්‍රම අධ‍ය්‍යනයක ට පැමිනි බව

    ReplyDelete
  25. නියම ලිපියක්

    ReplyDelete
  26. කමෙන්ට් එකක් දාන්න ටිකක් පරක්කු වුණා. හැමදාම වගේම කියන්න තියෙන්නේ වටිනා ලිපියක් කියලා තමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  27. hooyah!!! මට නම් මේ පුහුණුව ටිකක් අමාරුයි කියල හිතෙනවා හික්ස්.......

    ReplyDelete
  28. කියවන්න පරක්කු උන එක ගැනත් දුක හිතුනා ලිපිය දැක්කම.ඒ තරම් හොදට විස්තර කරලා තියෙනවා. නරකද මේ ඈයොන්ට කොච්චර විතර ගෙවීමක් කරනවද කියලා හොයල කිව්වොත්.. තව අමතරව ලැබෙන වරප්‍රසාද ගැන එහෙමත්... මෙච්චර කට්ටක් කන්නේ හුදෙක් ආත්ම තෟප්තියටම වෙන්න බෑනේ නේද?

    ReplyDelete
  29. ape Special Force eka ganat me wage lipiyak liyanna

    ReplyDelete
  30. @sudaraka - ස්තූතියි! මේ ලිපියේ දැම්මේ මේ පුහුණුවේ සුළු කොටසක් පමණයි. තව ගොඩක් අසීරු පුහුණු විධි මෙහි ඇති...

    ReplyDelete
  31. ඔය මොන වැඩ්ඩො උනත් අපිට ගේමක් නැ , දැක්කනේ ඇමරිකන් ගුවන් යානා ආවයි කියපු වෙලාවේ අපේ අය දාමු සද්දේ , අපේ දේශප්‍රේමී (කමෙන්ට්) ජ්නතාවට ඕවා නතින්


    එල ලිපිය , මුල් වතාවට තමයි මේ දේ ගැන දැන ගත්තේ (අඩුම තරමේ සීල් භටයෝ කියන නම වත් දන්නේ නැ මීට කලින් )

    ReplyDelete
  32. @sameera - ස්තූතියි! ඔව් ඔවුන් සතුව අප දන්නා විශේෂිතවූ හමුදා ඒකක මෙන්ම නොදන්නා ඒකක පවා ඇති. ඒ එක්කම කියන්න ඕන ඇමරිකානු හිතවාදීව අදහස් දක්වනවා නෙමෙයි. ඔවුන් ලෝකයේ බොහෝ රටවල යුද අත්දැකීම් තම හමුදාවේ ඉදිරි මෙහෙයුම් වලට ප්‍රයෝජනවත් ආකාරයකට යොදවා ගන්නවා. එය තමයි ඔවුන්ගේ හමුදාවේ ප්‍රභලත්වයටත් එක් හේතුවක් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  33. @උදාර - ස්තූතියි! අයෙමත් blogger පිස්සු වැඩ කරනවා වගේ. මේ ලිපියත් ඔවුන් අහිමි කරාවිදැයි බියකුත් ඇතිවුනා...

    ReplyDelete
  34. @Nipuna - ටිකයිනේ අමාරු ඒක ගණන් ගන්න එපා, hooyah!!!

    ReplyDelete
  35. @නාකියා - ස්තූතියි! මේ unit එකට බැදෙන්න හිතක් ඇවිල්ලා වගේ. හැබැයි අවුලකට තියෙන්නේ ඇමරිකානු පුරවැසියෙක් වෙන්නත් ඕන. අනික මේ නම දැක්කම වයස වැඩියි කියල ගනීද සැකයි. කොහොමවුනත් විවිද මූලාශ්‍රවල මේ භටයන්නට කරන ‍ගෙවීම් විවිදාකාරයෙන් දක්වලා තියෙන්නේ. හැබැයි එක දෙයක් ඔවුන් ඇමරිකානු හමුදා අංශ තුල ඉහල ගෙවීම් ලබන පිරිසක් විදියට දක්වලා තියෙනවා. කෝකටත් මම link දෙකක් දෙන්නම් ඒවායේ අනුමාන කල හැකි දත්ත තියෙනවා...
    http://wiki.answers.com/Q/How_much_do_Navy_SEALs_get_paid
    http://www.navyseals.com/pay-charts

    ReplyDelete
  36. @sampath - අදහස නම් හොදයි. හැබැයි වගකිව යුතු අංශයකින් පැහැදිලි මූලාශ්‍ර ලැබෙන්න ඕන. මොකද අපේ රටේ ආරක්‍ෂක අංශ ගැන තොරතුරු නිරාවරණය කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙතැයි චෝදනාවට ලක්විය හැකි නිසා ඒ ගැන වගකීමදරන කෙනෙක් තොරතුරු ලබා දෙන්නේ නම් කිසිවෙකු‍ට නොදැවෙනි මානව ශක්තියකින් යුතු අපගේ හමුදා ගැනත් ලිවීමට බැරිකමක් නැහැ...

    ReplyDelete
  37. @buwa - ස්තූතියි! ඔව් අපි කටින් වීරකම් කරනවා වෙනුවට ඔවුන්ගෙනුත් ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන අපේ දියුණුව සලසා ගන්න එක තමයි වඩාත් සුදුසු...

    ReplyDelete
  38. ඔය මොනවා උනත් අපේ ARMY ඵකේ කොල්ලන්ට උන් (usa) දෙවනිවෙන බව හිතෙනවා.
    මෙයාලත් හොදයි තමයි.ඵ්ත් ඈමරිකව වියට්නමයේ කාපු කෑම!!!!!!!!!!!!!!
    අපේ කොල්ලො වන්නියේ දුන්න ගේම කොහොමද?

    ReplyDelete
  39. හිතවත් දිනේෂ්,කලින් කොමෙන්ටුව දැමු අනොනිමසයා මමවෙමි.කලකට ඉහත විශේෂ බලකායක සේවය කලෙමි.සේවයේ දී සිටියදී සිදුවූ බරපතල බෝම්බ පිපුරුමක් නිසා මා සමග සිටි බොහෝ දෙනෙක් මියගිය අතර මා හට බරපතල තුවාල ලබා ජීවත් වීමට ඉඩ ලැබුණි.නමුත් මා සදහටම ආබාදිත බවට පත් විනි.මගේ වයස අව්රුදු25 දී සේවයෙන් විශ්‍රාම ලැබූ අතර.ඉහත අනතුර සිදුවී වසර 12 පමණ ගතවී ඇත.දැන් මා ඉතා අප්‍රකටව සිය කැමැත්තෙන් හුදකලා ජීවිතයක් ගත කරමි.හොඳ චිත්‍රපට,පොත් පත්,සොබා දහම මගේ මිතුරන් වී ඇත.මගේ අදහස නම් ඕනෑම හමුදාවක් යුදමය වශයෙන් සාර්ථක වීමට නම් විශිෂ්ඨ පුහුණුව මෙන්ම ධනාත්මක අරමුණක්ද තිබිය යුතු බවයි.ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේදී බොහෝ විට අසාර්ථක වන්නේ ඔවුනට මේ අරමුණ නොමැති නිසා වෙනි.මා අරමුණ යයි අදහස් කලේ මෙයයි.තම රටින් සැතපුම් දහස් ගණනක් ඈත ඇති රටක වෙසෙන දිලිදු මිනිසුන් සමුහයකට තමන් එරහි වන්නේ ඇයිදැයි ඔවුනට සිතෙනවා වෙන්නට පුළුවන.අපේ රටේ හමුදාවන්ට මෙයට වෙනස්ව යුදමය ලෙස ධනාත්මක අරමුණක් තිබුණි වසර ගණනාවක් තමන් ඇතුළු රටවැසියන් පෙලූ විපතින් ගැලවීමට ඔව්නට අවැසිව තිබුණි.මේ නිසා යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් හැම සෙබලෙකුටම පුද්ගලික අරමුණක් තිබුණි.අපේ රටේ යුද්දය සාර්ථක වීමට හේතුව වුවේ මෙයයි.

    ReplyDelete
  40. පළමුකොටම ඔබ ‍තරුණ වයසකදී සිය සිරුරේ කොටස් දන්දී රැ‍කගෙන ඇත්තේ අප බව ඔබට ඉතා ස්තුතිපූර්වකව පවසන අතර එයින් ඔබ ලැබූ වේදනාව ගැන අනේකවාරයක් කණගාටුවද පලකරමි. යුද්‍දයේ කටුකබව දන්නේ එහි පෙරපෙල සාමාජිකයන් වූ ඔබලා මිස පුටු උඩට වී පරිගණක යතුරු පුවරුවට කොටමින් සිටින අප නොවන බවද අවංකවම කියමි. කෙසේවෙතත් ඔබගේ පෞද්ගලිකත්වයට සෑම විටකම ‍ගරුකරන අතර තවදුරටත් ඔබකවුරුන්දැයි කීමට බලනොකරන බවද කීමට කැමැත්තෙමි. එහෙත් ඔබ අකමැතිනොවන්නේ නම් අන්වර්ථනාමයකින් සම්බන්ධවිය හැකිනම් අපගේ සංවාදය මීටත් වඩා සමීපවනු ඇතිබව මට හැගේ. මන්ද මෙම අඩවියට ඇනෝනිමස්ලා රැසක් එන නිසා එසේ කරන්නේ නම් ඔබ තෝරා‍බේරා ගැනීමේ අපහසුවක් එයින් ඇතිනොවන බැවිනි. නමුත් එයද කිසිදු බල කිරීමක් නොවේ. එසේම හැකිසෑම විටකම සත් සමුදුරට ගොඩවන ලෙසත් මෙහි සටහන් කල නොහැක්කක් වේ නම් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනය හා සම්බන්ධවී දැන්වීමට කිසිදූ බාධාවක් නොමැති බවද පවසමි. එසේම ඔබ යුද්ධයේ ධනාත්මක හැගීම ගැන පැවසූ කරුණු පිළිබදව මමද කොන්දේසි විරහිතව එකඟවන අතර Platoon වැනි චිත්‍රපටිවල ඔබ දැක්වූ කරුණු මනාව පෙන්වන බවද මතක් කරනු රිසිය. තවද බ්ලොග්කරණයේ යෙදීමෙන් පසුව මා ලද භාග්‍යයක් නම් ඔබවැනි විවිද අංශවල නිරතවූවන් රැසක් දැනහදුනාගන්නට ලැබීමයි. ඉතින් නැවතත් ඔබ සත් සමුදුරට එනු දැකීම හා පහසු ආකාරයකට අදහස් දක්වන දැකීමත් සතුටින් අපේක්‍ෂා කරන අතර මෙහි ලියවිය යුතු යම් ලිපියක් වේ නම් ඒ පිළිබදවද දැනුවත් කරන මෙන් ඉල්ලමි...

    ReplyDelete
  41. @Anonymous - ඔබට දිය යුතු හොදම පිළිතුර මෙහි අදහස් දක්වා ඇති කලින් ආරක්‍ෂක අංශයක සේවය කල Anonymous මිතුරා දී තිබෙනවා...

    ReplyDelete
  42. දිනේශ් ඔබ සමුදුර පුවත්පත ගැන සදහන් කල ෙද් නිවැරදියි ඒවනි පුවත්පතක අඩුව තදින් දැනී තිබු අවධියක ඔබ කරන කර්තව්‍ය ඉතා වටිනවා. ඒහි ඉතා වටිනා ජායාරූප පල වුනා. හැකිනම් ඒවැනි ජායාරූප පල කරන්න‍.

    ReplyDelete
  43. @යසිත - ස්තූතියි! කොහොමවුනත් අදටත් මම සත් සමුදුර පාඨකයෙක් එහි ගුණාත්මක බව අඩුවෙන්න හේතුවුනේ මටනම් හිතෙන්නේ ඒක මුලින් ස්වාධීන වෙනම පුවත් පතක් ලෙස එළිදක්වලා පසුව ඒක අඟහරුවාදා ලක්බිමේ අතිරේඛයක් ලෙස නොමිලේ ලබා දෙන්නට යාමෙනුයි.මම නම් හිතන්නේ එය නැවතත් වෙනම පුවත්පතක් ලෙස අපට ලබාගන්නට ඉඩලබාදෙනවානම් හොදයි. මොකද සමහර විට එය මීට පෙර සතිය පුරාම මිලදී ගන්න හැකියාවද තිබුනත් දැන් එය සමහර විට ලක්බිම පුවත්පත ඉවර වීම නිසා දහවල් 12 වනවිටත් ලබාගන්නට බාදා ඇතිවීම. කෙසේවෙතත් මමනම් සමුදුර පුවත්පත දියුණුවෙන් දියුණුවට පත්වෙනු ඇතැයි අපේක්‍ෂාකරමි...

    ReplyDelete
  44. දිනේශ් ඔබ හරි. කලකට ඉහත මා සතුව පැරණි සමුදුර පුවත්පත් ගණනාවක් තිබුන. නමුත් දැන් නම් ඒව ලග නෑ. එවැනි පුවත්පත් සංරක්ෂණය කිරීමක් සිදු වෙනවාද? අන්තර්ජාලයෙන් හෝ බැලීමේ හැකියාවක් ඇත්ද? ස්තුතියි.

    ReplyDelete
  45. @යසිත - ලක්බිම පුවත්පතේ http://www.lakbima.lk/ වෙබ් අඩවියේ පැරණි දින යටතේ පුවත් පත් බලන කොටස යටතේ පරීක්‍ෂාකල යුතුයයි සිතමි. කෙසේවෙතත් කොපමණ පරණ පුවත්පත් එහි තිබේදැයි නම් දන්නේ නැහැ...

    ReplyDelete
  46. ස්තුතියි දිනේශ්..

    ReplyDelete
  47. මේ තරම් දිග ලිපියක් කරන්න හිත හදා ගත්ත එකටම ස්තුතියි සහෝ... හැමදාම කියනවා වගේ you are the ONE...

    ජය...!

    ReplyDelete
  48. @චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි!

    ReplyDelete
  49. Wow... Superbbbbbbbbbbb...............

    ReplyDelete
  50. නියම ලිපියක්...මම නොදන්න කරුනු රාශියක් ඉගෙනගත්තා...

    ReplyDelete
  51. Aiye puluwan nam Russian Spetsnaz waru ganath me wage lipiyak dannako...

    ReplyDelete
  52. පට්ටයි ට්‍රේනින්ග් එක සජීව්ව්ව්ව ගත්ත වගේ හැඟීමක් ආවේ
    කෝරලේ වලව්ව

    ReplyDelete
  53. ඔබගේ ලිපිය ඉතා අගයකොට සලකමි. එයට යමක් එකතු කරනවා නම් අමෙරිකා එක්සත් ජනපදය සතුව ප්‍රමුඛ මට්ටමේ (tier 1) විශේෂ බලකායන් 2ක් තිබේ. ඒවා නම් SEAL Team 6 (Naval Special Warfare Development Group හෙවත් DEVGRU යනුවෙන්ද හැදින්වේ ) සහ Delta Force වේ. මින් SEAL Team 6 නාවික හමුදාවට අයත් වන අතර Delta Force යුධ හමුදාවට අයත් වේ. මෙහිදී විශේෂයෙන් සදහන් කළයුතුව ඇත්තේ SEAL Team අතරින් ප්‍රමුඛ මට්ටමේ (tier 1) විශේෂ බලකායන් යටතට ගැනෙන්නේ SEAL Team 6 පමණක් බවයි. SEAL Team සාමාජිකයින් අතරින්SEAL Team 6 වෙත තෝරා ගැනීම අතිශයින් දුෂ්කර වන අතර එම අවස්තාව දක්ෂයන් අතර ඇති දක්ෂයන් අතලොස්සකට පමණක් හිමිවේ. ඔසාමා බින් ලාඩන්ඝාතනය ලද්දේ SEAL Team 6 හි ඉතා පළපුරුදු භටයන් 24ක් වන අතර මේ SEAL Team 6 පිලිබදව ඔසාමා බින් ලාඩන් ඝාතනය කල SEAL Team 6 කණ්ඩායමේ සාමාජිකයකුව සිට එම මෙහෙයුමට පසුව විශ්‍රාම ගිය Mark Owen ලියූ No Easy Day පොතේ ඉතා වටිනා විස්තරයක් දක්වා ඇත. මේ පොත සරසවි සහ විජිත යාපා යන පොත්හල් වල ඇත. ඊට අමතරව Wikipedia හි SEAL Team 6 යනුවෙන් සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. වැදගත් තොරතුරු ගොඩක් ඔබ ලබා දී තිබෙනවා. ඔබගේ කමෙන්ටුව දුටුවේ ඇත්තටම වසර දෙකකටත් පසුවයි. ඒ ගැන මම කණගාටුවද පළ කරන අතරේ මේ ලබාදුන් තොරතුරු පිළිබදව තවදුරටත් සොයාබලන්නෙමි...

      Delete
  54. seal batayo kiyana nama ahala thibunata wisthara mmukuth danagena idiye na. harima rasawath lipiyak. thank u

    ReplyDelete
    Replies
    1. මෙය වසර කිහිපයක් පැරණි ලිපියක්. ගොඩක් දෙනෙකුට අතහැරුන ලිපියක් ලෙස දැනුන නිසා ඒ ගැන පොඩි පබ්ලිසිටියක් දුන්නා. ස්තුතියි!

      Delete
  55. niyama wadak. man 3 parak kiyawe meka. thanks

    ReplyDelete