Sunday, August 21, 2011

ආත්මාරක්‍ෂක සටන් කලාව ආත්මාරක්‍ෂාව සදහාම පමණක් බව කියාදුන් Karate Kid චිත්‍රපටි මාලාව

පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට හා වෙනත් වැඩ රාජකාරී සමූහයකට යටවෙලා සිටිය නිසා චිත්‍රපටි බැලීමෙන් ටිකක් බැහැර වෙලා සිටියත් කාලෙක සිට පරිගණක යන්ත්‍රයේ තිබුන Karate Kid චිත්‍රපටි කිහිපය බලන්නට සිතුනා. කෙසේවෙතත් ගියවසරේ (2010) The Karate Kid චිත්‍රපටිය නරඹලා තිබුනත් එය ගැන නම් එතරම් මනාපයක් ඇතිවුනේ නැහැ.

හැබැයි අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ඒ ගැන නොවෙයි. ඊට දශකයට හා දෙකකට පමණ පෙර නිපදවන ලද  John G. Avildsen විසින් අධ්‍යක්‍ෂනය කරන ලද, Ralph George Macchio විසින් ප්‍රධාන චරිතය රඟපාන ලද හා ප්‍රධාන චරිතයටත් වඩා ඉක්මවා ගිය රංගන පෞරශයක් පෙන්වූ සහය චරිතයට පණපෙවූ Noriyuki "Pat" Morita දායකවූ The Karate Kid (1984), The Karate Kid, Part II (1986) සහ The Karate Kid, Part III (1989) චිත්‍රපටි ත්‍රිත්වය හා 1994 දී තිරගත වූ Christopher Cain විසින් අධ්‍යක්‍ෂනය කරන ලද Hilary Swank විසින් ප්‍රධාන චරිතයටත් නැවත වරක් ප්‍රධාන චරිතය ඉක්මවා යන සහය චරිතයටත් දායකවූ Pat Morita රිදී තිරය වර්ණවත් කල The Next Karate Kid චිත්‍රපටිය පිළිබදවයි. මෑතක තිරගතවූ  The Karate Kid (2010) පිළිබදව අවසාන වශයෙන් සංසන්දනාත්මක විශ්ලේශනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

කරාටේ සටන් කලාවට හිතැති කොල්ලෙකු වටා ගෙතුන කතාවක් ‍වන 1984 දී තිරගතවූ The Karate Kid චිත්‍රපටියේදී ප්‍රධාන චරිතය රඟපෑ ඇමරිකානු හා ඉතාල සම්භව්‍යයකින් යුතු Ralph George Macchio මෙම චිත්‍රපටියේදී ගැටවරයෙකු ලෙස පෙනුනත් ඔහු ඒ වන විටත් අවුරුදු 23 ක තරුණයෙක්. එහෙත් ඔහුගේ ලාබාල පෙනුම නිසා ඔහු මෙම චරිතයට මනාව ගැලපුන බව පෙනෙන අතරම ඔහු විසින් Daniel Larusso නම් ගැටයාගේ චරිතයට පණපොවනු ලැබීය. මෙම Daniel Larusso සිය මව සමග නිව් ජර්සි හි සිට කැලිෆෝනියාවට යන ජවනිකාවෙන් චිත්‍රපටිය ඇරඹෙන අතර ඔවුන් එසේ යන්නේ අප කතා නායකයාගේ මවට ලැබුන නව රැකියාව ඇත්තේ කැලිෆෝනියාවේ නිසයි. එහිදී ඔවුන් වාසය කරන නිවාස පෙලේ සිටින විවිද නඩත්තු සේවා සපයන්නෙකු ලෙස දැන් සේවය කරන විශ්‍රාමලත් හමුදා භටයෙකු වන ජපාන ජාතික Mr. Kesuke Miyagi නම් චරිතය රඟදක්වන Noriyuki "Pat" Morita හමුවන අතර එම පලාතේදී Daniel ට මිතුරියකද හමුවන අතර ඇයගේ කලින් පෙම්වතා Daniel ට අඩම්තේට්ටම් කිරීමත් සමග Mr.Miyagi, අප කතා කරන කොළු ගැටයාට කරාටේ ඉගැන්වීමට ඉදිරිපත් වන අතර ඒ අප වෙනත් චිත්‍රපටිවල දකින ආකාරයට දුෂ්ඨයාගෙන් කප්පරක් ගුටි කෑමෙන් පසු ගුරුවරයාගේ අතිදුශ්කර වූ පුහුණු schedule එකකින් පසු මනාව සටන් කලා ප්‍රාගුණ්‍ය ලද මස්පිඩු වලින්ද සන්නද්ධ කරාටේ ශූරයෙකු මෙහිදී දක්නට නොලැබේ. මෙහිදී Mr.Miyagi අමුතුම ආකාරයකට එදිනෙදා කරන සාමාන්‍ය වැඩ කටයුතු ඇසුරු කරගෙන Daniel ව පුහුණු කරන අතර අවසානයේ පැවැත්වෙන කරාටේ ශූරතාවලියේදීද ප්‍රතිවාදී ක්‍රීඩකයා knock out කරන ආකාරයේ අතිදරුණු සටනක් බලාගෙන චිත්‍රපටිය නැරඹුවේ නම් ඔබගේ සිත අපේක්‍සා භංගත්වයට පත්වන බවද කිවයුතුය. එයට වඩා මෙහිදී කියවෙන්නේ අවශ්‍යනම් පමණක්ම සටන් කරන්න යන පණිවිඩයයි.

දෙවන කොටස වන 1986 දී තිරගතවූ චිත්‍රපටියේදී Daniel Larusso සහ Mr.Miyagi, Mr.Miyagi ගේ උපන් බිම වූ ජපානයේ ඔකිනාවා වෙත යන අතර මෙම චිත්‍රපටිය පළමු එකට එතරම් යාවීමක් දක්නට නොලැබේ. කෙසේවෙතත් මෙහි පෙනෙන දසුන් අනුව ඇමරිකානු හමුදා කදවුරුද පිහිටවා තිබෙන ඔකිනාවා දූපත ජපාන ප්‍රධාන දූපත තරම් සංවර්ධනාත්මක ලක්‍ෂන වලින් බැහැරව ගිය ගතියක් පෙන්නුම් කරයි. තවද මෙම චිත්‍රපටියේදී කතාවේ යම් නොගැලපෙන ලක්‍ෂන පෙන්නුම් කලත් ජපාන වැසියන්ගේ සංස්කෘතිකමය හා ඔවුන්ගේ අනන්‍යතා ලක්‍ෂන පෙන්නුම් කරන බවද පැසසිය යුතු කරුණකි. එසේම මෙහිදීද Daniel Larusso ට නර්ථනයට හිතැති ජපාන මිතුරියක් හා හාදවීමේ අවස්ථාව ලැබෙන බව පෙන්නවන අතර පළමු චිත්‍රපටියේ මිතුරිය ගැන මෙහිදී සදහනක්වන බවට මතකයක් නොමැත‍‍. මෙම චිත්‍රපටියේදී දකින ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ ජපාන වැසියකු වන Mr.Miyagi හා ‍අනෙක් ජපාන වැසියන් ජපන් බසින් නොව ඉංග්‍රීසියෙන් කතාකිරීමයි.

තෙවැන්වන 1989 දී තිරගතවූ චිත්‍රපටිය පළමු නිර්මාණය හා යම් බද්ධ වීමක් පෙන්වන අතර මෙහිදී ඔහු පළමු චිත්‍රපටියේදී පරාජය කල කරාටේ ක්‍රීඩකයාගේ ගුරුවරයා, සිය ගෝලයාගේ පරාජය නිසා වූ හිත්වේදනාව සමනය කරගැනීම පිණිස ඔහුගේ වියට්නාම හමුදා මිතුරෙකු හා එක්ව Daniel Larusso ගෙන් පලිගැනීමට යොදන යටිකූට්ටු වැඩ පෙන්නුම්කරන අතර අවසානයේ ඔවුන් එයින් ජයක් නොලබන බව පෙන්වමින් චිත්‍රපටිය අවසන්වේ.  හැබැයි මෙම චිත්‍රපටියේදී ජපාන මිතුරිය වෙනුවට නව මිතුරියක හා හාදවීමට Daniel Larusso ට සිදුවන බවක්ද පෙන්වයි.

1994 දී තිරගතවූ සිව්වැන්නවන The Next Karate Kid වෙනත් අධ්‍යක්‍ෂකවරයෙකු යට‍තේ නිර්මාණය වූවා සේම එහි කතාවද මුල් නිර්මාණ ත්‍රිත්වයට වඩා වෙනස් වූවාසේම එහිදී Ralph George Macchio වෙනුවට රඟපාන්නේ ගැටිස්සියකි. එනම් පසුකාලයකදී ප්‍රධාන චරිතය වෙනුවෙන් දෙවරක්ම ඔස්කාර් සම්මානය දිනා ගත් හා ලාබාලම වයසකින් එය හිමිකරගත් තෙවන කාන්තාව ලෙසද හදුන්වන Hilary Swank විසිනි. ඇය මෙහිදී Julie Pierce යන චරිතය රඟපායි. එසේ ප්‍රධාන චරිතයට වෙනස්  අයෙකු යොදාගන්නට ඇතැම් විට හේතුවන්නට ඉඩ ඇත්තේ ඒ වන විට Ralph George Macchio අවුරුදු 30 ගණනක තරුණයක් නිසා විය යුතුය. තෙවන නිර්මාණයේදීද ඔහුගේ තරුණ පෙනුම ඒ වනවිටත් ගැටවර පෙනුමට වඩා ‍වැඩිබවක් පෙනුනි. මෙහිදීද කරාටේ ගුරුවරයාගේ චරිතය මනාව ඔපදමන්නට Mr.Miyagi  හෙවත් Pat Morita සමත්ව ඇති බව ප්‍රශංසනාත්මකව කිවයුත්තේ බොහෝ ආත්මාරක්‍ෂක සටන් ඇති චිත්‍රපටිවල සතුරාට ලෙලියන්නට පහරපිට පහර දෙන්නට උගන්වන ගුරුවරයාට වඩා  ඉවසීම මෙන්ම අවශ්‍යනම් පමණක් සටනේ යෙදෙන්න සහ අනෙකාට මෛත්‍රිය වඩන්න යන පෙරදිග චින්තනය එය කැටිනොවූ  බටහිර චින්තනයට ලබාදීමට ඔහු සමත්ව ඇති බැවිනි. එසේම මෙහිදී Hilary Swank  ගේ කරාටේ දක්‍ෂතාවය මුල් නිර්මාණවල සිටි George Macchio ගේ දක්‍ෂතාවයට වඩා මටසිලිටු හා නිපුණත්වයකින් යුතුවූ බවද පෙනීගිය කරුණක් විය.

මෙම චිත්‍රපටිවලට පසුව ගිය වසරේ තිරගතවූ Harald Zwart අධ්‍යක්‍ෂනය කල, Jaden Smith කරාටේ කොළුවාගේ චරිතයටත් Jackie Chan ගුරුවරයාගේ චරිතයටත් පණදුන් චිත්‍රපටිය මුල් චිත්‍රපටිවල චතුර්වයේ අහුලාගත් කැබලිවලින් තැනූවක් බව පෙනෙන අතර එය කලින් නිර්මාන වල තිබූ නිර්මාණාත්මක බව හෝ මටසිලිටුබවෙන් ඔබ්බට ගිය එකක් බව මට නම් පෙනේ. එහිදීද මෙම ‍ප්‍රධාන නළුවා සිය මව සමග චීනයට එන්නේ ම‍වගේ නව රැකියාව චීනයේ ඇති නිසයි. එහිදීද මට මතක හැටියට මිතුරියක් හා හාදවීමට යාමේදී චීන කොල්ලන් ඔහුට තඩිබෑමට එන්නේ මුල් නිර්මාණයේදී මෙන් "ගමේ වැල ගමේ කපුටන්ට" සංකල්පය අනුව බව පෙනේ. එයද 1984 නිර්මාණයෙන් කොපිකර ගත්තකි. එසේම එහිදීද සේවා සපයන්නෙකු ලෙස Jackie Chan  සේවය කරන අතර එහෙන් මෙහෙන් අහුලාගෙන කරාටේ හෝ කුංෆු ගහන්නට යන මේ කොළුවාට එය නිසි ලෙස උගන්වා පිහිට වීමට Jackie Chan  ඉදිරිපත්වේ. තවද මෙහිදීද සිව්වැන්නේ Mr.Miyagi හා Julie Pierce පූජක ආරාමයකට යන අතර මෙහිදීද එවැන්නක් තිබූ බව මතකයට යන්තමට නැගේ. කෙසේවෙතත් මෙය ප්‍රථම නිර්මාණතරම් ගුණාත්මක බවක් නොතිබූ බව කිව යුතු යයි මට නම් සිතේ.

කරුණු කෙසේවෙතත් ඔබත් සමහරවිට අද කියූ චිත්‍රපටි පහම බලා ඇති. අවසාන වශයෙන් කිවයුත්තේ 1984 දී තිරගතවූ ප්‍රථම  Karate Kid චිත්‍රපටියේදී Noriyuki "Pat" Morita රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහාද නිර්දේශවන්නේ හොදම සහය නළුවා ලෙසයි. එසේම තව කණගාටුදායක කරුණක් වන්නේ මෙම ‍රංඟන ශිල්පියා 2005 දී මෙලෙවින් සමුගෙන ඇතිබවයි. එසේ නම් ලිපිය අවසන් කරමින් සිව්වැනි චිත්‍රපටිය අවසා‍නයේ Mr.Miyagi පැවසූ කරුණ සටහන් කරන්නම්...
                                           "Fighting not good. But if must fight win"




15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලිපියේ විචාරය සමග සීයට සීයක් ම එකගයි ....... මුල් කරාතේ කිඩ් චිත්‍ර පටි නැරබීමෙන් ඇතිවූ ආශ්වාදය නව නිර්මණ්යේ නොමැත , එමෙන්ම නව චිත්‍රපටය තරමක ප්‍රචණ්ඩත්වයක් පෙන්නුම් කරයි ඒය මුල් කතා තේමාවන්ට පරස්පර වේ . නව නිර්මාණය KUNG FU කලාව පදනම් කර ගැනීම නිසා කාරාතේ කිඩ් යනුවෙන් නම් කිරීම පරස් පර භාවයක් මතු කරයි .

    ReplyDelete
  3. @sameera - ඔව්, පළමු නිර්මාණ වල ලඟටවත් අන්තිම karate kid චිත්‍රපටිය තිබිය නොහැකි බව නැවත වරක් කිව යුතුය...

    ReplyDelete
  4. මිස්ටර් මියාගී & ඩැනියල් සන්... :)
    මේ ෆිල්ම් 5ම බලල තියෙනව... මුලින්ම බැලුවෙ කරාටේ කිඩ් 3 එක.. ඒ 5-6 වසරෙදි විතර...

    අලුත් එක පරණ එකට වඩා චාටර් කියන එක නම් සහතික ඇත්ත...

    ReplyDelete
  5. මම නම් ඔය අන්තිම එක විතරයි බලල තියෙන්නෙ. අනිත් ඒව බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ දැනට. ඉදිරියෙදි බලමු :D

    ReplyDelete
  6. @සාතන් - ඔය ඉන්නේ පහම බලපු තව කෙනෙක්...

    ReplyDelete
  7. @hare :-) - සමහර විට අන්තිම එක "හොද" වැඩි වුන නිසා අනිත් ඒවා එපා වුනා වගේ...

    ReplyDelete
  8. මන් නම් ජැකී චෑන්ට ඇති කැමැත්ත නිසා අන්තිම කරාටේ කිඩ් කීපවතාවක් බැලුව . පරණ ඒවා දෙකක් විතර බලා ඇති බව මතකයි . හරියට මතක නැහැ .

    ReplyDelete
  9. @Bindi - ඔබට හැකියාවක් ඇතොත් අනිත්වා නැවත බලන්න. මෙහි ජැකී චෑන් සිටියත් වෙනදා අපි ඔහුගෙන් දකින රංගනය මෙහි දක්න‍ට නොලැබුන බව තමයි හැගෙන්නේ...

    ReplyDelete
  10. මේක මමත් කැමතිම ෆිල්ම් සීරිස් එකක්. කරාටේ කිඩ් 5 නම් ඇත්තටම එහි කලින් ෆිල්ම්ස් වලට කොහෙත්ම ගැලපෙන් නැති බව කිව යුත්යි.

    ReplyDelete
  11. @Nipuna - වෛරය පදනම් කරගත් සිනමා කෘතියකට වඩා මෙහි එන ඉවසීම හා අන්‍යයන්ට හිංසා නොකිරීමේ ගුනාංග ඕනෑම සමාජයකට ඕනෑම කාලයකට ගැලපෙනවා. ඒ අතින් මුල් නිර්මාණ හතර ප්‍රශංසනීයයි...

    ReplyDelete
  12. මම නම් මේ එකක්වත් බලල නැහැ. අහල නම් තියෙනවා. කොහොමවුණත් විචාරය නම් ඉහළින්ම අගය කරනවා.

    ReplyDelete
  13. @උදාර - ස්තූතියි! හැකියාවක් ලැබුනොත් බලන්න. හොද නිර්මාණ කිහිපයක්...

    ReplyDelete
  14. තිලකා රන්දෙනි මමත් හරි ආසාවෙන් පලවෙනි කරාටේ කිඩ් බැලුවා. ඉස්සර මගේ වැඩේම බෲස්ලීගේ කරාටේ චිත‍්‍රපටි බලනවා. මොකද මගේ මහත්තයා හරි ආසයි ඒවාට.
    පහුගිය දවස්වල ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්‍වය ගැන නිතර කතා කළානේ. ඒ වෙලාවේ මා යෝජනා කළ සෑම බාලිකා පාසැලකම ආත්මාරක්‍ෂක සටන් කලාවක් උගන්වන්න කියලා. මොකද ආත්මාරක්‍ෂක සටන් ක‍්‍රමයක් ඉගෙන ගත්තාම ගැහැණියකට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. නිකරුණේ බීගෙන ඇවිත් ගුටි අනින පිරිමින්ගෙන් ගැලවෙන්න. එහෙම නැතුව තමන්ගේ සැමියා එක්ක ගහ ගන්න නෙමෙයි.

    ReplyDelete
  15. @තිලකා රන්දෙනි මහත්මිය - තාමත් හැබැයි අපේ රටේ ආත්මාරක්‍ෂක සටන් කලාව දිහා තරමක් වපරඇහින් බලන තත්වයක් තියෙන්නේ. ඒක නිසා හැම ගැහැණු ළමයටම මේ අවස්ථාව ලැබේද යන සැකය මතුවෙනවා...

    ReplyDelete