Tuesday, February 21, 2012

හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII?

සාමාන‍්‍යයෙන් ඕනෑම රටක රහස් කියා දෙයක් ඇත. රටක පමණක් නොවේ ඕනෑම ආයතනයක රහස් කියා දෙයක් ඇත. අන්තර්ජාතිකව ගත්තද මෙම සංකල්පයේ වෙනසක් නැත. ඇතැම් විට යම් සංසිද්ධියක සත්‍ය කුමක් වුවත් එය මිනිසුන් කැමති ආකාරයකට නිර්මාණය වන්නට ඉඩදී හෝ නිර්මාණය කර රහස රැක ගැනීම අන් හැම දේකටම වඩා වැදගත්ය. අපේ රටේ වුවද ඇතැම් සිදුවීම් වල නියම සත්‍ය දැනගැනීමට ලැබෙන්නේ තවත් වසර ගණනාවක් ඉක්මගිය තැනයි. සමහරවිටක කිසිදා සත්‍ය දැනගැනීමට නොහැකිවනු ඇත.

ඉතිහාසය නිර්මාණය වන්නේද මේ ආකාරයෙනි. සත්‍ය සිදුවීමට එපිටින් බහුතරයකගේ සුභ සිද්ධිය ‍වෙනුවෙන් හෝ රාජ්‍යයක හෝ පාලකයන්ගේ අභිමතාර්ථය වෙනුවෙන් ඉතිහාසය වෙනස් ආකාරයකට පෙල ගැස්සීමට ඉඩ ඇත. ආගමික සංකල්පයක වුවද මෙය යථාර්තයකි. උදාහරණ ලෙස ගතහොත් අපේ රටේ මහාවංශය ඇතැම් රජවරු ගැන පිටු ගණන් ලියවෙද්දී සමහර රජවරු ගැන ඉතා කෙටියෙන් දක්වා ඇති බවත් සදහන්වේ. එහෙත් සමහර විට කෙටියෙන් කියූ පාලකයන් කර ඇති වැඩ කොටස මහාවැල්වටරම් වලින් සදහන් රජවරුන්ට වඩා සිදුකර තිබීමටත් පුළුවන. අදාල කතුවරයා කැමති කෙනා ගැන වැඩියෙනුත් එතරම් කැමැත්තක් නැති හෝ තමන්ට වැදගත් නොවේ යයි සිතන අය ගැන අඩුවෙනුත් ලිවීම මහාවංශයේ නොව ලෝකයේ බොහෝ ඉතිහාසගත ග්‍රන්ථ, ලේඛණ වල දැකිය හැකි දෙයක් විය හැක.

තවත් උදාරණයක් නම් සාමාන්‍යයෙන් කිතුනු බැතිමතුන් මෙන්ම ලෝකයේ බොහෝ දෙනා දන්නා හා උගන්වා ඇති පරිදි යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා කුරිරු ලෙස මරණයට පත්කර ඇති බව පැවසෙන නමුත් තවත් අය පවසන්නේ එතුමා කුරුසගත කිරීමෙන් මිය නොගිය බවත් පසුව ඉන්දියාවට පැමිණ ජීවත්වූ බවත්ය. එසේම එතුමාගේ ජීවිත කාලයේ වසර හයක පමණ කාලයක් පිළිබදව නිසි සාක්‍ෂි නොමැති නිසා එතුමා එම කාලයේදිද ඉන්දියාවට පැමිණ පෙරදිග ධර්මයන් ගැන හැදෑරුබවද පවසති. පැවසීමෙන් පමණක් නොසිට එම ස්ථානයන්, ඒවායේ පිහිටුවා ඇති ස්මාරක ගැනද සදහන් කරති. එහෙත් බොහෝදෙනා කැමති මෙම විකල්ප ඉතිහාසගත කරුණු වලට නොව තමන් පොදුවේ දන්නා කරුණු සත්‍ය ලෙස පිළිගැනීමටය. කෙසේවෙතත් ඉතිහාසගත කරුණු පිරික්සීමේදී අප එම කාලයේ ජීවත් නොවුන නිසා පිළිගැනීමට බොහෝවිට සිදුවන්නේ බහුතරය පිළිගන්නා කරුණුම වේ. එහෙත් මෙය සාවද්‍ය වීමටද ඉඩ ඇත.

මෙවැනිම කාරණා පසුගිය සියවසේදීද දැකගන්නට ලැබුනි. 1945 අප්‍රේල් 30 වනදා ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුතම ඒකාධිපතියෙකු වන ඇ‍ඩොල්ෆ් හිට්ලර් තම බිරිද වූ ඊවා බ්‍රව්න් සමග සියදිවි නසා ගත් බවත් ඉන්පසු ඔවුනගේ දේහයන් ඔවුන් සඟව සිටි බන්කරයෙන් පිටත දී දවා අළු කල බවත්ය.
එහිදී කියන ආකාරයට තමන් නිරුපද්‍රිතව සෝවියට් හමුදා වෙත හසුවුවහොත් විවිද වදබන්ධනයන්ට ලක්කර මරා දමා මිය ගිය පසුව තම සිරුර රුසියන් හමුදාව විසින් විවිද අඩම්තේට්ටම් වලට ලක්වේය යන බිය හේතුවෙන් විනාශ කර දමන මෙන් තම කාර්යය මණ්ඩලයට පැවසූ බව සදහන්වේ. මෙයට හේතුව නම් තම මිතුරා වන ඉතාලියේ ආඥාදායක පාලක බෙනිටෝ මුසලෝනිගේ දේහය ඔහු මරා දැමූ පසුව හිස පහලට සිටින සේ දෙපාවලින් එල්ලා ඉන්ධන පිරවුම් හලක ප්‍රදර්ශනය කල නිසා තමන්ටද එවැනි තත්ත්වයකට පත්වීමට සිදුවේය යන බිය හිට්ලර් තුල තිබූ නිසා මෙසේ තම දේහය විනාශ කිරීමට පැවසූ බව සදහන්ය. කෙසේවෙතත් කරුණු කාරණා සිදුවූ‍යේ මෙලෙසද?

එක ජාතියේ මිනිසුන් (තිරිසනුන්) දෙදෙනෙක් : මුසලෝනි සහ හිට්ලර්

මුසලෝනි සහ ඔහුගේ පෙම්වතිය මරා දැමූ පසු හිස පහලට එල්ලා තැබීම
මෙසේ ලෝකයේ බහුතරයක් පිළිගන්නා හා පිළිගැනීමට සිදුව තිබෙන හිට්ලර්ගේ මරණය සම්බන්ධ සිද්ධියට පරස්පරව ඒ ගැන විශ්වාසයක් ඇති නොවීමට බලපෑ හේතු ගණනාවක් තිබේ. ඒවා නම්‍;

හිට්ලර් මිය ගිය බව පවසන්නේ තමන් විසින්ම වෙඩිතබා ගෙන බව වුවත්, ඔහු අවසානයේ සැඟව සිටියායයි පවසන රයිෂ් චාන්ස්ලරියට පහලින් පොළව යට පිහිටි බන්කරයේ සිටි අනෙක් කිසිවකු ඔහු වෙඩි තබා ගන්නවා දැක නැත.

ජර්මනිය නිලවශයෙන් හිට්ලර්ගේ මරණය ඊට පසුදින එනම් 1945 මැයි 01 දා නිලවශයෙන් නිවේදනය කල අතර, සෝවියට් හමුදා ඊට පැය 24 කට පසු එනම් 1945 මැයි 02 දා අත්පත් කර ගත්තත් හිට්ලර්ගේ දේහය හෝ අවශේෂ කිසිවක් කිසිදු ස්ථානයකින් සොයා ගත නොහැකිවූ බව පැවසේ. අඩුම තරමින් ඔහු වෙඩි තබා ගත් උණ්ඩයේ කොපුව වත් හමුවූයේ නැත.

එහෙත්  ඔවුන් පවසා සිටියේ හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ දේහ යයි අනුමාන කල හැකි සිරුරු සමුවූ බවයි. කෙසේවෙතත් එවා හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ යයි සියයට සියයක්ම සහතික නොකිරීමටද සෝවියට් පාලනාධිකාරය වගබලා ගනී.

එම වසරේ ජූලි 17 වනදා රාජ්‍ය නායකයන්ගේ භෝජන සංග්‍රහ උත්සවයකදී සෝවියට් නායක ස්ටාලින් විසින් ඇමරිකානු ජනපති ටෲමන් වෙත හිට්ලර් සියදිවි හානි නොකරගත් බවත් ඔහු පැනගිය බව  පවසා සිටි බවත් පැවසේ.

(As the Third Reich collapsed in the spring of 1945, the Russians were the first to enter Berlin and capture Adolf Hitler’s bunker. Then, the Soviet Union made a series of contradictory statements or lies concerning Hitler’s death. Stalin announced to Truman during lunch in Potsdam on July 17, that Hitler did not commit suicide but had probably escaped. After that, the Russians released photographs of what they claimed to be Hitler’s corpse on a dingy floor. Finally, they asserted that Hitler’s burnt remains, together with the body of his mistress Eva Braun, were discovered on May 4, by Soviet soldiers outside the Berlin Chancellery bunker, in the garden.)




බර්ලිනයට සෝවියට් හමුදා ඇතුළු වූ පසු සෑම විටකම හිට්ලර් සැඟව සිටි බව පැවසෙන බන්කරයට මුරකාවල් යොදා ගෙන සිටි අතර අනෙක් මිත්‍රපාර්ශව හමුදාවලට පවා එම ස්ථානයට ඇතුළුවීමට අවහිර කර තිබූ බවද පවසයි.


සෝවියට් මුරකාවල් යෙදූ බන්කරය

1968 දී සෝවියට් බලධාරීන් විසින් පවසා සිටින්නේ තම හමුදා 1945 දී සොයා ගත් දේහයන් හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ යයි පවසන අතර තමන් සතුව ඔවුන් බන්කරය තුල මියගිය බවට සාක්‍ෂි ඇති බවද පවසයි.
ඔවුන් එසේ සොයා ගත් බව පැවසෙන හිට්ලර්ගේ දේහය බවට පැවසෙන සිරුරේ සේයාරූ පවා ඉදිරිපත්කරයි.

කෙසේවෙතත් ඔවුන් එදින සොයා ගත් දේහයන් කිහිපයක් නැගෙනහිර ජර්මනියේ, Magdeburg හි පිහිටි හමුදා කදවුරක භූමියේ වලලා ඇති බව අනාවරණය කරන්නේ නැත. මෙම දේහයන් ලෝක යුද්දය නිමවී දශක දෙකක් යනතෙක් මෙම ස්ථානයේ වලලා තිබුනත් 1970 දී නැවත ගොඩගන්නේ සෝවියට් රහස් සේවාව වන KGB සංවිධානයේ අණෙනි. ඒවා ගොඩගෙන දවා, අළු එල්බ් නදියේ පා කර බවද පැවසේ. එහෙත් මෙම දේහයන් හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්යන අයගේමද? නැත්නම් වෙනත් අයගේ දේහ වූ මේවා යම් දිනයක ලෝකය ඇත්ත තතු දැන ගැනීම වැලැක්වීමට දවා විනාශ කලාද? නැත්නම් මෙසේ සිරුරු ගොඩගැනීම හා දවා විනාශ කිරීම පිළිබදවත් අළුත් කතාවක් ගෙතුවාද?

මේ සම්බන්ධව ගවේෂනය කර ඇති බොහෝ විද්වතුන් පවසන්නේ හිට්ලර් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ මුල සිටම තමන් වැනිම වූ සඟයෙකු හෙවත් "Double" එකක් නොව කිහිපයක්ම භාවිතාකල බවයි. Julius Schreck යන නම මේ අතරින් පළමුවෙන්ම කියවෙන නමයි. ඔහු හිට්ලර්ගේ ප්‍රියතම රියදුරායි. ඔහු 1921 තරම් ඈත කාලයේ පටන්ම නාසි පක්‍ෂයේ සාමාජිකත්වය ලැබූවකු වන අතර හිට්ලර් හා ඔහු අතර ඇති රූප සමානාත්මකබව නිසා හිට්ලර් වෙනුවට ඔහු යම් අවස්ථාවල පෙනී සිටි බවද පැවසේ. කෙසේවෙතත් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙරාතුව 1936 දී ඔහු රිය අනතුරකින් මිය ගිය බව පැවසෙන අතර ඇතැම් දත්ත වල ඔහු මුඛයේ හටගත් රෝගී බවක් උත්සන්න වීමකින් මිය ගිය බවද පැවසේ.


මෙවැනිම තවත් අයෙකු ලෙස Heinrich Bergner නම් පුද්ගලයා දැක්විය හැකිය. ඔහුද හිට්ලර්ගේ රූපය හා හිට්ලර් ලෙසම හැසිරෙන්නට පුහුණු කල අයෙකු බව පැවසේ.  ඔහු 1944 ජූලි 20 වනදා සිදුවූ Operation Valkyrie ලෙසද හැදින්වෙන, හිට්ලර්ගේ රහසිගත කදවුරක් වන නැගෙනහිර ප්‍රසියාවේ පිහිටි වුල්ෆ්ලෙයාර් කදවුරේදී හිට්ලර් ඝාතනයට ඇටවූ බෝම්බයෙන් මිය ගිය බව පැවසේ. එසේනම් එදින හිට්ලර් ලෙස ආරක්‍ෂක ප්‍රධානීන් හමුවේ පෙනීසිට ඇත්තේ මෙම පුද්ගලයා විය යුතුය. කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු නිල ප්‍රකාශ වල සදහන් වූයේ Berger නම් ලඝුලේඛකයාද මෙම බෝම්බ පිපි‍රීමෙන් මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කල කාරණය වූයේ හිට්ලර් මෙම ඝාතන ප්‍රයත්නයෙන් දිවිගලවාගත් බවයි. තවද හිට්ලර් මෙම ස්ථානයේ සිටියා හෝ නොසිටියා කුමක්වුවත් ඉන්පසුව ඔහු තිරයෙන් පිටුපස චරිතයක් වූ බවත් ඉන්පසුව හිට්ලර් සිටිය යුතු ස්ථානවල සිටියේ ඔහු වැනි වෙනත් අයෙකුබවටද මතයක් ඇත. එසේම මෙසේ හිට්ලර් වෙනුවට යොදාගන්නා පුද්ගලයන්ගේ මුහුනේ, හිට්ලර් පළමු ලෝක යුද්දයේ සොල්දාදුවෙකුව සිටියදී මුහුනේ වූ තුවාල නිසා හටගත් ලක්‍ෂනයන්ට අනුකූලව වෙනස් කරනු ලැබූබවටද මතයක් ඇත.

Gustav Webar යනු යුද්‍දයේ අවසාන අවධියේ හිට්ලර් වෙනුවෙනු පෙනීසිටි තවත් තැනැත්තෙකු බවද පැවසේ. කෙසේවෙතත් යුද්දයෙන් පසුව හෝ මෙම පුද්ගලයා ජීවමානව සොයාගන්නට නොහැකිවූ අතර ඔහුද මෙම බන්කරයේ සිටි බව කියනු ලැබේ. එසේනම් ඇතැම් විට මිය ගිය හා සෝවියට් හමුදා විසින් සොයාගනු ලැබූ බව පැවසෙන හා සේයාරූවල දැක්වෙන පුද්ගලයා ඔහුවීමටත් ඉඩ ඇත. ඇතැම් ලේඛණ වල පැවසෙන්නේ හිට්ලර් සතුව සිටි දක්‍ෂ නාසි නිළධාරියෙකු වන නාසි ප්‍රචාරණ ජාලයේ අධිපතියා වූ ආචාර්ය ගොබෙල්ස් විසින් හිට්ලර් වැනි මිනිසුන් හය දෙනෙක් සෑම විටකම හිට්ලර් වෙනුවෙන් පෙනීසිටීමට සූදානම් කොට තිබූ බවයි.


හිට්ලර්ගේ බන්කරයේ දල සැලැස්ම

Rochus Misch යනු හිට්ලර්ගේ ශරීරක්‍ෂකයා වන අතර තවමත් ජීවත්ව සිටින හිට්ලර්ගේ අවසාන මොහොත දක්වාම සිටි පුද්ගලයා ඔහු පමණක් යැයි සැලකේ. ‍ඔහු මෙම මරණය පිළිබදව පවසන්නේ මෙවන් කතාවකි. හිට්ලර් තම වෛද්‍යවරයාගෙන් ඉක්මනින්ම මැරෙන්නට හැකි පහසු ක්‍රමය අසා තිබේ. එවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ සයනයිඩ් කරලක් හපන අවස්ථාවේම වෙඩි තබාගැනීමෙන් මරණය ඉක්මන් කරගත හැකිබවයි. හිට්ලර් සහ ඊවා කාමරය තුලට ගිය පසු වෙඩි තබා ගත් විට තමන්ට නොඇසුන නමුත් අනෙක් අයට එය ඇසුන බව ඔහු පවසයි. එසේම තමන් ඇතුළු කාමරයට ගිය විට ඔවුන් මිය ගොස් ඇති අයුරු දුටුවිට කම්පනයට පත්වූ බවද පවසයි. එහෙත් වසර කිහිපයක් ගිය තැන ඔහු මුලින් කියූ කරුණු වලට වඩා වෙනස් යමක් පැවසීය. එනම් මුලින් ඔහු මෙම වෙඩි ශබ්දය නොඇසුන බව පැවසූ නමුත් මෙවර ඔහු පවසා සිටියේ තමන්ටද වෙඩි ශබ්දය ඇසුනු බවයි. (http://www.spiegel.de/international/germany/0,1518,497306,00.html). කෙසේවෙතත් සෝවියට් බලපෑම හෝ යුද්දය අවසන්වුවද තවත් සෑහෙන්න කාලයක් රහසිගතව ක්‍රියාත්මකවූවායයි කියන හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලීසියේ බලපෑම මත හිට්ලර් ඒ අවස්ථාවේ මිය ගිය බව ලෝකයට තහවුරු කරන්නට මෙම ශරිරාරක්‍ෂකයා තම මතය වෙනස් කරන්නට ඇති බවටද සැකයක් පවති.
හිට්ලර් වෙඩිතබා‍ගෙන මියගියා යයි පැවසෙන ස්ථානය

(Rochus Misch, 94, Hitler’s former radio operator and the last survivor of the Berlin bunker, says he saw the bodies of ‘the boss’ and Eva Braun with his own eyes.

He said: ‘I was in the room next door when he shot himself. I did not hear the shot but I saw his uncovered corpse when the door was opened.

‘I saw Hitler slumped with his head on the table.

‘I saw Eva Braun sitting dead in the corner of the sofa, her head turned to Hitler, her knees pulled up to her chest. She had a dark blue dress on and a white frill on her collar
.’Read more: http://www.dailymail.co.uk/news/article-2050137/Did-Hitler-Eva-Braun-flee-Berlin-die-old-age-Argentina.html#ixzz1muZaf6cu)

එසේම සෝවියට් හමුදා විසින් දිගින් දිගටම විවිදාකා‍රයේ තර්ජනද කරමින් ප්‍රශ්න කරන විටද Rochus Misch සහ එම බන්කරයේ සිටි අ‍නිත් නිළධාරීන්ද ඉදුරා පවසා සිටියේ මිය ගොස් සිටි පුද්ගලයා හිට්ලර් බවයි. එසේම හිට්ලර්ගේ යයි සැක කල හකු කොටස්, හිට්ලර්ගේ දන්ත වෛද්‍යවරයෙකුගේ සේවිකාවකට ඉදිරිපත් කොට ඇය සතුව තිබුනේ යයි කියන ජර්මන් නායකයාගේ දන්ථි සටහන් සමග සසදා විමසූවිට ඇයද කියා සිටියේ ඒවා හිට්ලර්ගේ බවයි. කෙසේවෙතත් මේවා බාහිර ලෝකයට මෙසේ ප්‍රකාශ වූවත් ඇතැම් විට එක්කෝ සෝවියට් හමුදාවේ උවමනාව මත එය කරන්නට ඉඩ ඇත. නැතහොත් රහසිගතව ඒවනවිටත් යම් මට්ටමකින් ක්‍රියාත්මකව පැවති ගෙස්ටාපෝ වැනි ජර්මානු මිනීමරු පොලිස් අංශවලට බියෙන් මෙවැනි ප්‍රකාශ කරන්නටත් ඉඩ ඇත. ‍මන්ද හිට්ලර් මිය ගිය බව කීවිට කිසිවෙකු ඔහු ගැන නොසොයයි. එසේම ඔහු ජීවත්ව සිටින බවක් ප්‍රකාශ වුවහොත් එය ජර්මනිය ඒ වන විට අත්පත් කරගත් මිත්‍ර හමුදාවලට තර්ජනයක් වීමට ඉඩ ඇත. මන්ද හිට්ලර්ගේ අනුගාමිකයන් ධෛර්යසම්පන්නවී නැවතත් සන්නද්ධව යුද්දයට එළඹීමටත් ඉඩ තිබුන හෙයිනි.

1945 අප්‍රේල් 29 වනදා හිට්ලර් තම පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් සමග විවාහ වූ අතර විවාහයක් යනු දීර්ඝ කාලීනව එකිනෙකා එක්ව දිවිගෙවීමට ඇති කරගන්නාවු ආදර බන්ධනයකි. ඉතින් මෙවන් බන්ධනයක් ඇති කරගෙන පැය 24 ක් ඉක්ම ගිය තැන දිවි තොර ගැනීම විශ්වාස කල නොහැකි දෙයක් බවද ඇතැමුන් පවසයි.
1993 දී රුසියාව පවසා සිටින්නේ තමන් සතුව හිට්ලර්ගේ මරණයට සම්බන්ධ භෞතික සාක්‍ෂි මොස්කව් හි රහසිගතව තබා ගෙන ඇති බවයි. කොටින්ම තමන් සතුව හිට්ලර් මිය යන අවස්ථාවේ අසුන්ගෙන සිටි ‍ඔහුගේ රුධිරය ඇති‍ සෝපා‍වේ කොටස්, හිට්ලර්ගේ හනුවක කොටස් සහ වෙඩිතබා මූනිස්සම නිසා ඇතිවූ සිදුරද ඇති හිස්කබලේ කොටසක්ද තමන් සතුව ඇති බව පවසයි. මේවා කිසිවක් DNA පරීක්‍ෂාව වැනි නූතන ජාන විද්‍යාත්මක ක්‍රමයන්ටද බදුන්කර නොමැති බවද පවසයි. රුසියානුවන් කවදත් රහස් රැකීමේ සූරයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් බොහෝ දේවල්වල සාක්‍ෂි පිටස්තරයන්ට දැකගැනීමට සලස්වන්නේද අඩුවෙනි. ඔවුන් මෙම හිට්ලර්ගේ යයි කියන දේහ කොටස් තැන්පත් කර ඇත්තේ මොස්කව්හි, රුසියානු සමූහාණ්ඩු රාජ්‍ය ලේඛණාගාරයේ  (Russian Federation State Archive) බව පැවසේ.

කැනේඩියානු ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නික් බැලන්ටොනි මහතාට වරක් දුෂ්කරතා මධ්‍යයේ මෙම ලේඛණාගාරයේ ඇති හිට්ලර්ට සම්බන්ධ කොටස් නිරීක්‍ෂනයට ඉඩකඩ ලබා දෙන අතර එය පැයකට පමණක් සීමා කර තිබූ අතර එම අවස්ථාවේ ඔහු විසින් ලබාගත් සාම්පල පරීක්‍ෂාවේදී ලැබුන ප්‍රතිඵල කෙබදුවන්නට ඇත්ද?

ඒ ගැන ලිපියේ ඉදිරියේදී කතාකරන්නට තබා තවත් මෙම ස්ථානයේ තිබූ ලේඛණයක් ගැන කිවයුතුය. එනම් Operation Myth නම් මෙහෙයුමට අදාල ලේඛණයි. Operation Myth යනු ස්ටාලින් විසින් අණදීමෙන් ක්‍රියාත්මක කෙරුන මෙහෙයුමකි. 1945 දෙසැම්බරයේදී ක්‍රියාවට නැංවීම ආරම්භ කල මෙයින් බලාපොරොත්තුවූයේ හිට්ලර්ට සත්‍යවශයෙන්ම කුමක්වූවාද යන්න සෙවීමයි. මෙයට Myth යන නම යෙදීමටත් හේතුව හිට්ලර්ගේ බංකරයේ සියදිවි නසා ගැනීමේ මරණය මිත්‍යාවක් බව ස්ටාලින් විසින් විශ්වාස කිරීමයි. මෙම වාර්තාවේ අදාල දේහවල පශ්චාත් මරණ පරීක්‍ෂන වාර්තා හා ඇසින් දුටු සාක්‍ෂි ඇතුළුව මෙයට අදාල සිද්ධීන් සටහන් තබා ඇති බව සදහන්ය.

මේ සෝවියට් දේශය විසින් පවත්වන ලැබූ පරීක්‍ෂන පිළිබදව විස්තරයි. ඇමරිකාවේ මේ පිළිබදව ප්‍රතිචාරය කෙබදුවන්නට ඇත්ද? හිට්ලර් මිය ගිය බව ලොවට පැවසුවද ඔවුන්ගේ FBI ආයතනය හිට්ලර් මිය ගිය  පසුවද වසර 11 ක් යනතෙක් හිට්ලර් පිළිබදව ලිපි ගොනුවක් පවත්වාගෙන ගියේය. එසේත් නැතහොත් හිට්ලර්ගේ මරණය පිළිබදව විමර්ශනය කලේය. 1956 දී නිල වශයෙන් මෙම ලිපිගොනුව වසා දැමුනු බව පැවසුනත් එයින් පසුවද ඇතැම්විට විමර්ශන පවත්වන්නට නැති යයි යමෙකුට කිව හැකිද? වෙනකක් තබා හිට්ලර් යම් හෙයකින් ජීවත්වනවා නම් වෙස්වලාගෙන සිටිය හැකි ආකාරයන් පවා ඔවුන් නිර්මාණය කර විමර්ෂනයට ලක්කර තිබෙන බව සදහන්.

 ආචාර්ය නික් බැලන්ටොනි මහතා රැගෙන ආ හිස්ක‍බලේ කොටස් මෙන්ම වියලී ගිය ලේ සහිත සෝපාවෙන් රැගෙන ආ සාම්පල පැරණි නිසා එක්වරම පරීක්‍ෂන සදහා භාවිතා කල නොහැකි වූවත් නවීන ක්‍රමවේදයන් ඔස්සේ ඒවා ඇමරිකාවේදී පරීක්‍ෂා කරන ලදි. රසායනික පරීක්‍ෂන වලට පෙර හිස්කබලේ කොටසින් ගන්නා ලද සේයාරූ වලින් එහි හිස්කබලේ අස්ථි කොටස් බැදී ඇති ආකාරය නිරීක්‍ෂනය කල විට ඒවා හිට්ලර් මිය ගිය වයස අවුරුදු 56 ක කෙනෙකුගේ නොව ඊට වඩා වයසින් අඩු වයස විසිගණනේ සිට හතලිස් ගණනක අයෙකුගේ බවටද සැකයක් ඇතිවිය. මේ සැකයද ඇතිව රසායණික පරීක්‍ෂනද අරඹන ලදි. එහිදී ලේ සාම්පල වලින් Allosomal DNA නම් කොටස් වෙන්කරගත් අතර එමගින් මෙම ලේ පිරිමියෙකුගේද? ගැහැණියකගේද? යන්න තීරණය කල හැකිවේ. එම ලේ පිරිමියෙකුගේ බව තහවුරු විය. එහෙත් ඒවා හිට්ලර්ගේම යයි කීමට ඔහුගේ ලේ ඥාතියෙකුගේ DNA සමගම පරීක්‍ෂාකලයුතුවිය. ඒ සදහා සුදුසුම කෙනා ඇමරිකාවේම පදිංචිව සිටියේය. එනම් හිට්ලර්ගේ සොහොයුරියයයි. එහෙත් මෙම පරීක්‍ෂන කණ්ඩායම ඒ ගැන විමසීමක් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හෙයින්. හිස්කබලෙන් ලබා ගත්  DNA සමග පරීක්‍ෂා කල විට පරීක්‍ෂන ව්‍යාකූල කරවන පිළිතුරක් ලැබුනේය. එනම් හිස්කබලේ හිමිකරුවා පිරිමියෙකු නොව ගැහැණියකගේ බවයි.

හිට්ලර්ගේ යයි සැකකල හිස්ක‍බල කොටස

එසේ නම් හිට්ලර්ට කුමක් සිදුවුනිද?

හිට්ලර් 1945 දී බර්ලින් බන්කරය තුල මිය නොගිය බවට මතය දරන අය පවසන්නේ හිට්ලර් යුද්දය අවසන් වීමට ටික කලෙකට පෙර‍ හෝ මේ දිනයට ඔන්න මෙන්න තියා පැනගිය බවයි.

1997 තරම් මෑත කාලයේ එලිදැක්වුන වාර්තාවකට අනුව, නාසි පාලනය ඇති කාලයේ පටන් ජර්මනියේ ප්ලාටික් ශල්‍යකර්ම ඉතා සාර්ථකව සිදුකර තිබේ. නාසි SS හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රමුඛ පෙලේ නිළධාරිනියකවූ Magda Zeitfeld ජර්මිනියට පමණක් නොව ඇමරිකානු රජයටද තොරතුරු සැපයූ ද්විත්ව ඔත්තුකාරිනියකි. එවන් තත්ත්වයකට ඇය පත්ව ඇත්තේ තම පවුලට ඇය සේවය කල SS හමුදාව විසින්ම සිදුකරන ලද කෲර ක්‍රියාවක් හේතුවෙනි. එය දක්වන්නේ නම්, ඇයගේ පියා සහ සොහොයුරා දක්‍ෂ ප්ලාටික් ශල්‍ය වෛද්‍යවරුන් වූ අතර ජර්මනියේ ප්‍රමුඛතම ප්ලාස්ටික් ශල්‍යාගාරයක්ද බර්ලිනයේ පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් ජර්මනියේ මිනිසුන්ට ආවේණික යයි කියන ශක්තිමත් හකු සහ නාසා, ඒ ආකාරයෙන් නොමැති අයගේ සකස් කිරීමේ ශල්‍යකර්ම බහුලව සිදුකර තිබෙන අතර 1943 දී නාසි රජයේ ඉහලම පුද්ගලයන් තිදෙනෙකු දැඩි ආරක්‍ෂාව මධ්‍ය‍යේ මෙම ශල්‍යාගාරයට පැමිණ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකර ගෙන තිබෙන අතර නැවත පැමිණිමට අවශ්‍ය නොවන ආකාරයෙන්ම සති දෙකක් නේවාසිකවම එහි සිට අදාල කාර්යයද ඉටුකරගෙන ගොස් ඇත. එහෙත් ඉන්පසුව SS හමුදාවේ ප්‍රහාරයට අනපේක්‍ෂිතව ලක්වන මෙම ස්ථානයේ සියළු දෙනාම කුරිරු ලෙස මරාදමා අදාල ස්ථානය මුළුමනින්ම විනාශයටද පත්කරනු ලැබේ. මෙයින් කලකිරීමට පත්වන Magda Zeitfeld සතුරු පාර්ශවයටද ‍තොරතුරු දෙන ඔත්තුකාරනියක බවට පත්වන අතර ඇයගේ මතය අනුව මෙසේ පැමිණි පුද්ගලයන් තිදෙනා නම් හිට්ලර්, හිට්ලර්ගේ පෞද්ගලික ලේකම් සහ නාසි පක්‍ෂයේ ප්‍රධානියා වූ මාටින් බෝමන් සහ SS ප්‍රධානී හයින්රිෂ් හිම්ලර් යන අය වන අතර රූපය වෙනස් කරගත් හිට්ලර් පසුව බර්ලිනයෙන් පැනගියේ පූජකයෙකුගේ වෙස් අරගෙන බවද පවසයි. එසේම පසුව මිත්‍ර හමුදාවලට හසුවූ හිම්ලර් යයි පැවසෙන්නේද ඇතැම්විට ඔහු වැනිම වෙස්ගැන්වූ වෙනත් අයෙකු යයිද ඇතැම් අය පවසයි. පසුව ඔහු සිරභාරයේ සිටියදීම සියදිවි නසාගත්තේය.
ප්‍රානය නිරුද්ද හිම්ලර් : මේ සිටින්නේද වෙනත් අයෙකු යයි සැකයක් තිබේ


මෙම රූපය වෙනස් කරගැනීමට අධාරක වන තවත් කරුණක් වන්නේ මුල් කාලයේ හිට්ලර්ගේ නාසය ඍජු සිහින් එකක් වුවත් පසුකලෙක සේයාරූවල එය පැතලි මහත ස්වරූපයක් ගැනීමයි. එක්කෝ මෙය ප්ලාස්ටික් ශල්‍යකර්මයක් මගින් වෙනස් කරගත් හෝ හිට්ලර් වෙනුවෙන් පෙනීසිටින වෙනත් ‍අයෙකු පසුකලෙක ප්‍රසිද්ධියේ පෙනීසිටින්නට ඇති යයි සැකයටද ඉවහල් වේ.

පළමු ලෝක යුද සමයේ හිට්ලර්ගේ සේයාරුවක් එහි නාසය සිහින් දිගටි එකකි

හිට්ලර්ගේ සේයාරූ රැසක් සන්සන්දනය

හිට්ලර් පැනයාම ගැන පැවසීමේදී මුලින් ඔහු ස්පාඥයට ගුවන් මගිනුත් ඉන් අනතුරුව සබ්මැරීනයක ආධාරයෙන් ආර්ජෙන්ටිනාවටත් පැනගිය බවයි. එසේ පැවසීමට හේතු ගණනාවක් ඇත. එවකට ආර්ජ‍න්ටිනාවේ පාලකයන් වූ Juan Perón වැනි අයද හමුදා පාලකයන්වූ අතර ඔවුන්ද හිට්ලර් වැනිම තද ෆැසිස්ට් පාලනයක් ගෙන ගිය ජර්මනියේ හිතවතුන් බව පැවසේ. (Juan Perón යනු මීට කලෙකට ඉහත සත් සමුදුරේ පලවූ විසවන සියවසේ මමි දෙවන ලිපියේ කතා කල Eva Perón ගේ සැමියාය).

එපමණක් නොව සැකයට තුඩු දෙන ජර්මන් U-boat U-977 සබ්මැරින් යාත්‍රාවක් ජර්මනියේ යුද්දය නිමවී මාස කිහිපයක් ඉක්මගිය තැන එනම් 1945 අගෝස්තු 17 වනදා ආර්ජන්ටිනාවේ Mar Del Plata වරායට පැමිණි ඇති අතර එයින් ගොඩ බැස ඇති අය අතර ඉහල පෙලේ හමුදා නිළධාරියෙකු හා තවත් පිරිමි වෙස් ගත් ඇති අයෙකු සිටි අතර ඒ හිට්ලර් සහ ඊවා බ්‍රවුන් බවට මතයක් ඇත. යුද්දය නිමවීමෙන් පසුව ජර්මානු සබ්මැරීන මෙසේ ජර්මනියෙන් ඉතා බැහැර රටකදී දැකගන්නට ලැබීමද සැක සහිතය

මේ බව විවිදකාලවල ප්‍රකාශයට පත්වුන පර්යේෂන ග්‍රන්ථ වලද සදහන් වන අතර Hitler In Argentina සහ මෑත කාල‍යේ ප්‍රකාශයට පත්වුන Grey Wolf වැනි පොත්වලද සදහන්ය. පොත්වල පමණක් නොව ‍කිසිසේත් ඉවත ‍නොදැමිය හැකි ඇමරිකානු FBI ආයතනයේ වාර්තාවලද හිට්ලර් සහ ඔහුගේ සඟයන් ආර්ජන්ටිනාවේ නිරුපද්‍රිතව වාසය කල බවට සාක්‍ෂි එමටය.
කෙසේවෙතත් මේ ලේඛණවල සදහන් කරුණු ඉහත දැක්වූ දිනවකවානුවලට වඩා වෙනස් වීම හැරෙන්නට අනෙක් කරුණු බොහෝමයක් සමානය.



මේ එම FBI වාර්තාවලට පිවිසිය හැකි සබැදියන්ය -

http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-01-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-02-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-03-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-04-of-04/view




මෙවන් සාක්‍ෂි රැසක් ඇමරිකානු ‍FBI ආයතනයේ වාර්තාවේ සදහන් වන අතර බුවනෝර්ස් අයර්ස් සිට සැතුපුම් 450 ක් පමණ වයඹ දෙසින් පිහිටි ප්‍රදේශයක රහසිගතව වාසය කල බව කියයි. මෙම භුමිය එරට පාලක පෙරෝනගේ ව්‍යාපාරික මිතුරෙකුට අයත් බව කියන අතර එයට පිවිසීමට ගොඩබිම් මාර්ග නොමැති අතර ගුවනින් පමණක් ගමන් ගත හැකි ප්‍රදේශයක් වේ.

හිට්ලර් ආර්ජන්ටිනාවේ වාසය කල බවට සැක කරන නිවස

හිට්ලර් පිළිබදව පමණක් නොව තවත් බොහෝ නාසි නිළධාරින් ආර්ජන්ටිනාව හෝ වෙනත් දකුණු ඇමරිකානු රටවල වාසය කල බවට සාක්‍ෂි තිබේ. අවුට්ස්විට්ස් රැදවුම් කදවුරේ මිනීමරු වෛද්‍යවරයා වූ දොස්තර ජෝසෆ් මැන්ගලද මිතුරු පාර්ශවයන්ට හසුනොවී පැනයාමට සමත් වූ අතර ආර්ජන්ටිනාවේදී ඔහු "ග්‍රි‍ගෝරියො ගිගොරි" වන ව්‍යාජ නාමයෙන් ජීවත්ව ඇතත් ඔහු පසු පස ජාත්‍යන්තර පොලීසිය, ඊශ්‍රායල ඔත්තු අංශ හා නාසින් දඩයම් කිරීමේ යෙදුන වෙනත් කණ්ඩායම් වලට හසුනොවීම පිණිස විවිද දකුණු ඇමරිකානු රටවල වාසය කර ඇති අතර පසුව 1979 තරම් යුද්දය අවසන් වී වසර තිස් ගණනකට පසු බ්‍රසීලයේදී සුසාන භූමියක තිබූ මලසිරුරක් ඔහුගේ බවට සනාථ වී ඇත.

එපමණක් නොව නාසි ආණ්ඩුවේ රයිෂ් මධ්‍යම ආරක්‍ෂක කාර්යාලයේ ප්‍රධානීයා වූද යුදෙව්වන් මිලියන ගණනකට ඝාතනයට දායක වූ ඇඩොල්ෆ් අයික්මාන් 1960 දී මොසාඩ් සංවිධානය විසින් අත්අඩංගුවට ගැනුනේද ආර්ජන්ටිනාවේදීය.

මේ වාර්තාවලට අනුව හිට්ලර් මිය ගොස් ඇත්තේ ඔහු මිය ගියා යයි පවසන 1945 දී නොව එයින් වසර 17 ක් ඉක්ම ගිය තැන 1962  දීය. ඒවන විට ඔහුට දියණියන් දෙදෙනෙකු සිටි බවද පැවසේ.

හිට්ලර්ගේ ගනු ඇතැයි සිතූ විවිද වෙස්


හිට්ලර් හා අනෙකුත් නාසීන්ට පැනයාමට ඇතැම් විට මිත්‍ර පාර්ශවයේ ඇමරිකාව වැනි රටවල් උදව් කරන්නට ඇතුවායයිද සැකයක් පවතී. සෝවියට් දේශයට නම් ජර්මානුවන්ගෙන් වුන හානිය අතිමහත්වූවත් ඇමරිකාවට යුරෝපයේදී යුද්දයට සම්බන්ධවූවායින් පසුව හමුදාවට මිස ඇමරිකානු භූමියට ජපනුන්ගෙන් හැරෙන්නට හානියක් සිදුවූයේ නැත. එසේම ඇමරිකාව සේම ජර්මනියද දැරුවේ කොමියුනිස්ට් සමාජවාදයට එරෙහි පිළිවෙතකි. ජරමන් නාසි විද්‍යාඥයන් රාශිකට යුද්දයෙන් අනතුරුව ඇමරිකාවට පිවිසීමට අවස්ථාව ලබාදුන් ඇමරිකාව විවිද පර්යේෂන සදහා ඔවුන්ගෙන් ලද සහය අතිමහත්ය. මීට පෙරත් සත් සමුදුරෙන් පැවසූ රොකට් තාක්‍ෂනයද ඇමරිකාව ලබා ගත්තේ ජර්මන් V2 රොකට් බෝම්බ තැනීමේ නිර්මාතෘවරයා වූ Wernher von Braun වෙතින්ය. ඒ බව මීට පෙර සත් සමුදුරේ
පලවූ   "රොකට් තාක්‍ෂනය මුලින් සොයා ගත්තේ ඇමරිකානුවන් නොව ජර්මානුවෝයි" ලිපියේදීද සදහන් කෙරුනි. ඇමරිකාව පමණක් නොව සෝවියට් දේශයද, ජර්මානු භෞතික හා මානව සම්පත් යුද්දයෙන් පසුව තම පර්යේෂන සදහා යොදාගත් බව විවිද මූලාශ්‍ර වල සදහන්වේ. තවද ඇමරිකාවේ FBI ආයතනයේ රහස්‍ය වාර්තාවල හිට්ලර් ජීවත්ව සිටින බවට සාක්‍ෂි රැසක් සදහන්ව තිබියදී ඔහුව අල්ලා ගන්නට මෙහෙයුමක් දියත් නොකර සිටීමද ‍මෙම රටවල රහසිගත දේශපාලන හා ආරක්‍ෂක න්‍යාය පත්‍ර අනුව කුමන හේතුවදැයි පැහැදිලි කිරීමට අපහසු හා වටහා ගැනීමට අපහසු කරුණකි.

කෙසේවෙතත් මේ කාරණා සත්‍යවුවද ඉතිහාසය ලියවී ඇති ආකාරයට අනුව මෙය නොපිළිගන්නා පිරිසද අතිමහත්ය. අවසානයේ පැවසීමට සිදුවන්නේ හිට්ලර් ඇතුළු යුද අපරාධකරුවන් බොහෝමයක් තමන්ගේ වැරදිවලට නිසි දඩුවම් නොලබාම සුවසේ මෙලොවින් සමුගත් බවද?

පසුවදන :
මුලින්ම පැවසිය යුතුයි මෙවැනි ලිපි‍යකින් ඉතිහාසය වෙනස් කිරීමේ අදහසක් හෝ අළුත් මතයක් ඉදිරිපත් කිරීමේ අදහසක් නොවේ තිබෙන්නේ. කාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ඇතැම් ආන්දෝලනාත්මක කරුණක් සාක්‍ෂි සමග විශ්ලේෂනයක් තමයි කරනු ලැබුවේ.

කොහොමවුනත් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙවැනි දීර්ඝ ලිපි අතීතයේදී නිතර දකින්නට ලැබුනත් මෑතකාලයේ රාජකාරී වැඩ සහ ගෙදරදොරේ වැඩ කටයුතු බහුලවීම, ශාරිරික හා මානසික වෙහෙස, ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කරගැනීමේ වැඩ කටයුතුවල නිරතවීමට සිදුවීම හා කම්මැලිකම කියන සාධක සියල්ල එක්වීමත් සමග දීර්ඝතම ලිපි ලිවීමට ටිකක් අඩුවෙලා තමයි තිබුනේ. මේ ලිපියත් කොටස් වලින් දැමීමට තරම් දීර්ඝ වූවත් එක් ලිපියක් විදියටම පලකරන්න සිතුනේ සමහර තේමාවලින් පටන්ගත්ත ලිපි උදාහරණයක් විදියට මධ්‍යතන යුගය හා මාෆියා හා විවිද සමාජ විරෝධී කණ්ඩායම් ගැන ලියන්නට පටන් ගත් ලිපි පෙලත් ලියා අවසන් කිරීම දිනෙන් දින කල්යන නිසා කොටස් විදියට වඩා එක් දීර්ඝතම කොටසක් විදියට හරි පල කරන්න වගේම මගේ සිත් ඇදගත් මාතෘකාවක් නිසා එක් හුස්මට මේ ලිපිය ලියාගෙන යන්න හැකිවුනා. ඉතින් ඉදිරියේදිත් මෙවැනි කරුණු සමූහයක් තියෙන දීර්ඝ ලිපි ලිවීමේ බලාපොරොත්තුවෙන් දැනට නවතිමි...

මේ ලිපියත් හිට්ලර් ගැන ලියන ලද්දක් වන අතර නොසෑහෙන්න දොස් අහන්නත් සිද්දවුන ලිපියක් -
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර 


මූලාශ්‍ර :
http://www.blackraiser.com/nredoubt/identity.htm
http://www.coverups.com/hitler/index.htm
http://reinep.wordpress.com/2010/09/14/the-truth-about-hitlers-death-the-allies-served-us-a-big-fat-lie/
http://newworldorderreport.com/News/tabid/266/ID/8913/New-book-claims-Adolf-Hitler-escaped-Berlin-never-commited-suicide-died-in-Argentina.aspx
http://www.dailymail.co.uk/news/article-2050137/Did-Hitler-Eva-Braun-flee-Berlin-die-old-age-Argentina.html
http://www.rense.com/general47/refuge.htm
http://au.news.yahoo.com/thewest/a/-/world/10487933/hitler-lived-to-73-in-south-america-book-claims/
http://gizmodo.com/5860250/hitlers-secret-argentine-sanctuary-is-for-sale
http://www.thethirdcraft.org/?p=15232
History Channel - Mystery Quest - Hitler's Escape

71 comments:

  1. ඉතාමත් වටින ලිපියක්. මුල් වතාවට තමයි මේ කරුනු ඇහුවෙ. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගේ පලායාම ගැන කියවෙන කොට පියාඹන පිරිසි ගැනත් කියවෙනවා නේද?

      Delete
    2. කාලය හරහා ගමන් ගත් කාල යන්ත්‍රයක් ගැනත් කියවෙනවා

      Delete
    3. කාලය හරහා ගමන් ගත් කාල යන්ත්‍රයක් ගැනත් කියවෙනවා

      Delete
  2. මම කල්ක පටන් හිට්ලර් යුද්ධයේදී මිය නොගිය බව විශ්වාස කලා , මෙවැනි බලසම්පන්න දක්ශ පුද්ගලයකු නිකම්ම සතුරාට හසුවී හෝ සියදිවි නසා ගනී යයි සිතීම විහිලුවක් .....එයට හොදම උදාහරණය ප්‍රරභාකරන් ... අවසන් අවස්ථාවේ හෝ පැන යාමට උත්සාහ ගත්තා....... ,
    හිට්ලර් ගොඩ නගා තිබූ සංවිධාන ජාලය කෙතෙක් බලසම්පන්න ද යත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව පවා ඉතා සංවිදානාත්මකව ක්‍රියාත්මක වු ආකාරය The Odessa file වැනි ග්‍රන්ථ වල දැකිය හැකියි .

    ReplyDelete
    Replies
    1. මේකේ පැති දෙකක් තියෙනවා. හිට්ලර්ගේ සැලසුම් සහගත නාසි ව්‍යාපාරය හා ඒවායේ ශක්තිමත් භාවය වගේ කාරණා එක්ක නිකම්ම සියදිවි නසා ගනීවි කියල හිතන්න අමාරුයි. ඒ එක්කම හිට්ලර් වගේ ජාතිවාදයේ අහංකාරයෙන් පිම්බුන කෙනෙක් සතුරාට හසුවෙනවාට වඩා මැරෙන එක නම්බුකාරයි කියල හිතන්න තියෙන ඉඩකඩත් වැඩියි.කොහොමවුනත් මේ දෙකෙන් කෝක සිද්දවුනාද කියන එක අපිට කියන්න අමාරුයි...

      Delete
  3. හොද ලිපියක් ... මමත් කලින් හිතාගෙන හිටියේ හිට්ලර් කියන්නේ රාක්ෂයෙක් වගේ එකෙක් කියල ... හැමදේකම දෙපැත්තක් තියෙන බවත් මේ ගැන අපක්ෂපාතිව බලන්න පෙලබුවේ සුගතපාලද සිල්වා මහත්තයාගේ හිට්ලර් එල්ල මරය් කියන නවකතාවෙන් ... ටිකක් හිතන්න හිට්ලර් දිනලා ඇමරිකාව ප්‍රමුක මිත්‍ර රාජ්‍ය පැරදුනා නම් අද අපි මිනීමරුවෝ විදිහට දකින්නේ ඔවුන් (පරමාණු බොම්බේ වගේ දේවල් නිසා). තව දෙයක් මේ වගේ නායකයන් මැරුණම එයට අදාල සිදුවීම් රහස් විදිහට අරක්ෂකරනවා ... එහෙම කරන්නේ අනාගතයේ හරි කෙනෙක් මේ මිනිස්සු අනුමරණය කරන එක වලක් වන්න ... ප්‍රභාකරන් ගේ සිරුරට කලදෙත් විජේවීරට කල දේත් ලංකාවේ උදාහරණ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ අන්තිමට සදහන් කල කරුණක් යමක් එක්කරන්න කැමතියි. එම පුද්ගලයන් දෙදෙනාම තව සාමාජිකයන් දුක්විදිමින් කැපවීම කරමින් සටන් කරද්දී තම සුඛ විහරණය සලසා ගැනීමත් කලා. ඒවගේම ඔවුන් මෙරටට කල අසීමිත හානියේ හැටියටට, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඕනෑම පුද්ගලයෙකු නිරායාසයෙන්ම මොවුන්ට මෙවැනි දඩුවම් දීමට යාම පුදුමයක් නැහැ...

      Delete
  4. ඉතාමත් හොඳ ලිපියක්..බොහොම කැමැත්තෙන් කියෙව්වා..ඔබ විශාල මහන්සියක් අරගන කැපවීමකින් කරපු හොද ලිපියක් බව පෙනෙනවා..ඒ උත්සාහය ඉතාමත් සාර්තකයි..
    ඉතිහාසයෙ මෙවැනි සැඟවුන තැන් ගෙන සිංහල භාෂාවෙන් වගකීමකින් සයිබරයට එක් කරන ඔබ අපට සම්පතක්..
    ජය..!!1

    ReplyDelete
  5. මල් හතයි ... .. මීට කලින් මේ ගැන අහල තිබුනත් මෙච්චර විස්තර දැක්කෙ අද තමයි ,.. දීර්ග ලිපියක් උනත් කම්මැලි නැතුව කියවන්න පුලුවන් ...

    ReplyDelete
  6. නියමයි!..ආසාවෙන් කියවපු හොඳ ලිපියක්...නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා..

    නිවැරදි කිරීමක් කරන්න තියෙනවා ජේසුස් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 18ක් ගැනම බයිබලයේ කිසිම සඳහනක් නෑ..

    අවුරුදු12දී ජේසුතුමා දේවමාළිගාවේ නැතිවී සිට හම්බවුනාට පසු "ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින්ද වැඩුණු සේක"(ලූක්2:52)කියලා නවත්වන බයිබලය ආයෙ පටන් ගන්නෙ "ජේසුස් වහන්සේ සිය සේවය අරඹනවිට අවුරුදු තිහක් පමණ වයස්ව සිටි සේක"(ලූක්3:23)කියලා...

    සඳ ගමනත් ඔය වගේම විවාදාත්මකයි නේද?

    "ප්‍රභාකරන් මැරුණාද?" ඕකත් අන්තිමට හිතුණා.. ස්තුතියි....මෙවන් ලිපි ලිවීමට තව තවත් ධෛර්‍යය ශක්තිය ලැබේවා...

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සඳ ගමන හා තවත් ඒහා සම්බන්ධ සිද්ධි ගැන කාලෙක සිට ලියන්නට සිතා සිටියත් විවිද කටයුතු නිසා ඒක තවම මඟහැරිලා තියෙන්නේ. ඒවගේම ඔබට ස්තුතිකරනවා යේසුස් වහන්සේ සම්බන්ධ කාරණ නිවැරදි කිරීම ගැනත්. ඇත්තටම මම මේක යමක කියවා හෝ අසා ඇති මතකයෙන් තමා සටහන් කලේ...

      Delete
  7. කාලෙකට පස්සෙ නියම ලිපියක්!ජේසුස් වහන්සෙ ගැනත් සඳ ගමන ගැනත්, ටුවින් ටවර් ප්‍රහාරය ගැනත්, පර්ල් හාබර් ප්‍රහාරය ගැනත් මේ වගේ කතා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! විකල්ප මත බොහෝ සිද්ධි වලට තියෙනවා. පිළිගත හැකි සාක්‍ෂි සමග ඇති සංසිද්ධි ගැන ඉදිරියේදිත් කතා කරමු...

      Delete
  8. supiri article ekak

    ReplyDelete
  9. කැමැත්තෙන් කියවපු, හිතන්න දේවල් ගොඩක් තියන ඉතා වටිනා ලිපියක්. දිනේෂ්ගේ මහන්සියට ගොඩක් සුතුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරියේදිත් මේ වගේ තව ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි...

      Delete
  10. මේ ගැන මමත් කලින් කියවලා තියනවා. ඒ අනුව මටත් හිතෙනවා ඔබ හරි. හිට්ලර් ටික කලක්වත් ජීවත් වෙන්න ඇති. ප්‍රශ්නෙ වෙන්නේ හිට්ලර් ජීවත් වුනා නම් ඇයි අත්ඩංගුවට නොගත්තේ යන්නයි. මම නම් හිතන්නේ ඒ ඇමරිකාවට ලෝක බලවතා වෙන්න 2 ලෝක යුද්ධය සෑහෙන්න උදව් වූ නිසා කියලයි. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම යමක් එකතු කරන්නට කැමතියි දෙවන ලෝක යුද්දය, ඇමරිකාවට ලෝක බලවතා වෙන්නට උදව්කල බව සත්‍යයක් හැබැයි ඒ පසුබිම හදා දුන්නට හිට්ලර්ව අත්අඩංගුවට නොගෙන සිටීමට වඩා ඇමරිකාව හා බටහිර යුරෝපයේ ධනවාදී ‍හා ‍දේශපාලනික ආකල්ප හිට්ලර්ගේ ආකල්ප වලට සමාන වීම වැනි කාරණාත් මෙවන් උභතෝකෝටික ගැටළුවක් අපිටත් ඇති කරන්නට හේතුවන්නට ඇති...

      Delete
  11. හොඳ විශ්ලේෂණාත්මක ලිපියක්,. සමහර ආන්දෝලනාත්මක කරුණු වලින් කියන්නේ හිට්ලර් ජර්මනියෙන් බැහැරව අයිස්ලන්තයේ හරි ඇන්ටාර්ක්ටිකාවේ වාසය කල කියල. ඒ වුනත් එක පිළිගන්න ගොඩක් අපහසුයි. කොහොම වුනත් හිට්ලර් මියගියේ නෑ. එත් ඒ බව හරියටම කියන්නත් බෑ.

    ReplyDelete
  12. මෙවන් ලිපියක් නම් මගෙන් මග ඇරෙන්නේ නැහැ . ලඟදි මෙන්ගල් ගැන පොතක් කියෙව්වා . තරහත් යනවා මේ වගේ මිනිස්සුන්ට නිසි දඬුවම් නොලැබීම ගැන . ඔය කොයිකත් වෙන්න නම් බැරි නැහැ . සුක්ෂම මිනිහෙක් වෙච්ච හිට්ලර් නිකන්ම මලා කියන එකත් ටිකක් සැකයි තමයි . ඉතාම මහන්සි වෙච්ච හොඳ ලිපියක් දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වැඩරාජකාරී බහුල බව නිසාම ඔබගේ අදහසට යමක් ලියන්නටත් සෑහෙන්න කාලයක් ගතවුනා. යුක්තිය, සාධාරණත්වය හා ස්වභාවධර්මයේ බලපෑමත් සමහර අවස්ථාවල අසමතුලිත්බවක් දැකගන්නට පුළුවන්. මේත් ඒවගේ අවස්ථාවක් වෙන්නට ඇති...

      Delete
  13. ප්‍රකට සිදුවීම් අලලා මෙවැනි විකල්ප කතා ගෙතෙනවා. ඇපලෝ 11 සඳ ගමන, ටයිටනික් නැව, රාවණා රජු, ආදී සිදුවීම්/පුද්ගලයන් වටා මෙවැනි විකල්ප පැහැදිලි කිරීම් කොතෙකුත් තිබෙනවා. ඇතැම් ආන්දෝලනාත්මක පැහැදිලි කිරීම්වල වලංගුතාවයක්, විශ්වාසනීයත්වයක් තිබෙනවා. අනෙක් අදහස් පදනම් විරහිතයි.

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැම රටකම එක් සිදුවීමකට හෝ මේවගේ වෙනස් අදහස් තිබෙන්නට පුළුවන්. එතනදී සමහර සංසිද්ධිගැන සෙවීමට හැකියාවක් නොමැතිම නිසා විවිද අයට විවිදාකාර කරුණු ඉතිහාසයේ යම් යම් අවස්ථාවල එක් කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවට අදාලව නම් රාවණා රජු ගැන විවිද අදහස් පලකරන්නට පුළුවන් වගේම, එම අදහස් සාවද්‍ය හෝ නිරවද්‍ය වුනත් ලේඛකයාගේ නිපුණතාවය අනුව නිරවද්‍ය කරුණු සේ සමාජගත කරන්න පුළුවන්. එංගලන්තයේ ආතර් රජු, රොබින් හුඩ් වගේ පුරාවෘත්තත් මේ ආකාරයටම ගන්නට පුළුවන්. හැබැයි මෑත කාලයේ සිදුවූ හිට්ලර් සම්බන්ධ සිදුවීම්, ඇපලෝ 11 සඳ ගමන, ටයිටනික් නැව වගේ සිදුවීම් ගැන නම් ගැඹුරින් මධ්‍යස්ථ ගවේෂනයක් සිදුකලොත් ඇත්ත තතු සොයාගන්නට බැරි වෙන එකක් නැහැ. හැබැයි අදාල පාර්ශව ඒ වෙනුවෙන් අවංක සහයක් ලබා දිය යුතුයි...

      Delete
  14. අපූරු ලිපියක්!
    මම විශ්වාස කරන විදිහට ඉතිහාසය කියන්නේ විවිධ තර්ක හරහා ඕන කෙනෙක්ට මේ මේ විදිහට වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක්.(එහෙම වෙන්නේ පැහැදිලි සාක්ෂි නැති ඉතිහාස සිද්ධි) ඒ හන්දා මම නම් ගොඩක් වෙලාවට එක එක අය ලියන ඉතිහාස කතා කියෙව්වට වැඩිය හිතට ගන්නේ නෑ :D කොටින්ම කිව්වොත් දුර ඈත අතීත සිද්ධි පිළිබඳ මගේ උනන්දුවක් නැති තරම්.
    කොහොම වුනත් මේ වගේ කුතුහලය රඳවලා තියෙන ලිපි කියවන්න ආසයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! Asanga ට දුන් පිළිතුරේදී ඔබ දක්වා ඇති අදහසටත් එකඟවෙන තොරතුරු ඇතැයි සිතනවා...

      Delete
  15. ඔබේ වෙහෙසට මුලින්ම තුති......
    අවසන් කාලයේ සිටි හිට්ලර්ගේ පෞද්ගලික ලේකම්වරියගේ මතක සටහන්වලට අනුව නම් හිට්ලර් සැබවින්ම සිය දිවි හානි කරගෙන තිබේ. එමෙන්ම පසුව ඔහුගේ සහ බිරිඳගේ සිරුරු ගිනි තබා අලු කර දමා තිබේ. කොහොම වුණත් මීට ප්‍රතිවිරුද්ධ ලිපිය තුළ මතු කරන දේ ත් මං අහල තියෙනවා. ඒත් ඒ දේ අද වෙනකම් නිශ්චිතව තහවුරුවෙලා නැති එක ගැටලුවක්. ඒ වගේම නාසි මතවාදය දරණ පිරිසුත් සමහර වෙලාවට මෙවැනි ප්‍රචාරවලට වැඩි ඉඩක් දෙන්න පෙළඹෙන බවයි මගේ අදහස.කොහොම වුණත් මේ දේ අද වෙනකම් නොවිසිඳුනු ගැටලුවක් බව මාත් පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබගේ අදහස මාත් පිළිගන්නවා. තම දේශපාලන මතයන් තවදුරටත් පවත්වාගෙන යන්නත් මෙවැනි විකල්ප අදහස් පවත්වාගෙන යාම නාසින් විසින් සිදුකරනවා වෙන්නට පුළුවන්. ඒවගේම ලේකම්වරියගේ ‍පොත යනුවෙන් අදහස් කරන්නට ඇත්තේ සත් සමු‍දුරේ කාලකට පෙර මමත් සදහන් කල පොත විය යුතුයි. කො‍හොමවුනත් මෙහෙම දෙයකුත් තියෙනවා. හිට්ලර්ට සම්බන්ධ අය ලියන පොතපත පිළිබදව අපට 100% ක්ම විශ්වාස තියන්නටත් අමාරුයි. ඔවුන් ලියන්නට පෙලඹෙන්නට බොහොම ඉඩකඩ ඇත්තේ හිට්ලර් හා නාසි ව්‍යාපාරයට සහය දෙන අදහස් වන්නටත් පුළුවන්. මොකද හිට්ලර් ජර්මානුවන්ගේ ‍මොලශෝදන කාර්යය ඉතාම සුමට විදියට කර තිබූ නිසා. හැබැයි මට නම් හිතෙන විදියට මේ ඵිලිබදව නිවැරදිම තොරුතුරු හොයන්නට යුද්දයෙන් පසුව සෝවියට් පාර්ශ්වය කෙසේවෙතත් බටහිර මිත්‍ර පාර්ශ්වය මඟහැරිය බවක් තමයි පෙනෙන්නේ...

      Delete
    2. ඔව්, ඔයා කියන පොත තමයි දිනේෂ්. ඔයා කියන විදිහටම ඇය හිට්ලර් සමඟ ගත කල කාලයේ දි නිසැකවම මොළ සෝදනයකට ලක්ව ඉන්න ඇති. නමුත් මේ පොත කරන සමය වෙනකොටත් ඒ තත්ත්වය එලෙසම තිබුණා ද යන්න නම් ගැටලුවක්. මට මතක විදිහට නම් පොතේ අන්තර්ගත කරුණුවලට සාපේක්ෂව එවැනි තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ. කොහොම වුණත් ඇයට ඔය කාරණාව පවසන්නේ ඒ සඳහා සම්බන්ධ වූ නිලධාරීන් විසිනුයි. එනම් හිට්ලර්ගේ සිරුර අලු කර දැමූවන්. ඒ කියන්නෙ ඒ කිසිවක් ඇය දෑහින්ම දු‍ටු දේවල් නෙවෙයි. එතකොට ආයිමත් සැකයක් එන එක වළක්වන්න බැහැ. කොහොමවුණත් බටහිර ජාතීන් ගැන අවසාන වශයෙන් ඔයා මතු කරන කාරණාවට මාත් එකඟයි.

      Delete
  16. කාලෙකට පස්සෙ දිග රසවත් ලිපියක්. පූස කිව්ව වගේ මමත් ඉතිහාසය කතාවක් විධියට දකිනවා මිස ඒගැන වැඩිය වද වෙන්නෙ නෑ. නමුත් ඉතිහාසය හැමවෙලේම වෙනස් විධියකට අහන්න පුළුවන් රසවත් කතාවක්! පාඩම් ගොඩකුත් එක්ක!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මට නම් ඉතිහාසය කියන්නේ ඉතාම කැමති මාතෘකාවක්. මොකද කාලයේ වැලිතලාවෙන් හෝ විවිද අයගේ අවශ්‍යතාමත වෙනස් කර තිබෙන සත්‍ය ඉතිහාසය ගවේෂනය කිරීමෙන් අපගේ ජීවිතයට එක්කරගත හැකි සාධනීය සාධක රැසක් සොයා ගැනීමට හැකියි...

      Delete
  17. සුපිරි ලිපියක් දිනේශ්.. ගොඩක් ස්තූතියි..!!

    හිට්ලර්ට වෙච්ච දේ අදටත් අභිරහසක් උනත් මටත් හිතෙනවා ඔය කියනවා වගේ කොහේ හරි ඉන්න ඇති කියලා.. ඔය වගේ මිනිස්සු නිකම්ම ලේසියෙන්ම මැරෙන්ඩ හිතන එකක් නැහැ.

    මිලියන ගානකට විනාශකාරි මරණයන් උරුම කරලා දීපු මිනිහෙකුට එහෙම සැනසිලිදායක මරණයක් හිමිවෙන එකත් එක අතකින් හරි අසාධාරණයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබගේ අදහස සමග මමත් එකඟයි...

      Delete
  18. හැමදාම වගේ සුපිරි ලිපියක්, ගොඩක් ආසාවෙන් , උනන්දුවෙන් කියෙව්වා, ඇත්තටම හිට්ලර් මැරුනේ නෑ, කියල හිතුනත් මේ වගේ විස්තර තිබුනේ නේ, ගොඩක් හොඳ ලිපියක්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරියේදිත් හමුවෙමු...

      Delete
  19. මම මේ කථාව සරළව දැනගෙන හිටියා. ඒත් අද තමයි විස්තර කියෙව්වෙ. කොහෙමෙත් සත් සමුදුර මම ආසාවෙන් කියවන එකක්. ඔව් දිනේෂ් අපිට ඉතින් ගෙදර වැඩ රාජකාරි වැඩ එහෙම නිසා අතලසුවීම් වෙනවා. කමක් නැහැ හෙමින් ලියමු. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් වැඩ කටයුතු එක්ක ලියන්න බැහැ වගේම යමක් ලියන්නට ඕනමයි කියන සිතුවිල්ලත් එන්න ඕන. එහෙම නැතුව සාර්ථක ලිපියක් ලියන්නට බැහැ. කොහොමවුනත් ඉඩලැබෙන අයුරින් හොද ලිපියක් ලියල ටිකක් කල් අරගෙන තවත් හොද ලිපි ලියන්නට තමයි සිතා සිටින්නේ...

      Delete
  20. මම ගොඩක් ආසයි මේ වගේ කතා කියවන්න..
    ජේසුතුමා නම් අවුරුදු 12න් තොරතුරු නැතුව ගිහින් ආයේ 30 දී නේ එන්නේ,,ඔය කාලේදී ඉන්දියාවේ හිටියා කියලා තමා සමහර මිනිස්සු කියන්නේ.
    අයික්මාන් ව ආජින්ටිනාවෙන් ගෙනාපු හැටි තියන කතාවක් මම ආසාවෙන් කියෙව්වා.මොසාඩ් සේවය ඒ කරපු මෙහෙයුම පුදුම සහගත මෙහෙයුමක් ඒ කතාවේ හැටියට.
    ඇත්තටම හිට්ලර් වගේ කෙනෙක් ලේසියෙන් එහෙම මරනයට යයි කියලා හිතන්න බෑ,,ඒත් ස්වභාව ධර්මයේ නීතියට අනූවවත් ඒ යකාට දඩුවමක් ලැබුනේ නෑද

    ReplyDelete
  21. ස්තූතියි දිනේශ්...බොහොම මහන්සිවෙලා ලියාපු ලිපියක්...කිසිම ප්‍රතිලාභයක් නොමැතිව තමන්ගෙ කාලය සහ ශ්‍රමය වැය කරමින් ඔබ මේ කරන කාර්යය නම් අගය කිරීමට මට වචන නෑ,

    හෙහ්, හෙහ්, ගිය පාර හිට්ලර් ගැන ලියල වෙච්ච හෙයියම්මාරුව මතකයි නේද?.....මොනව උනත් ඒ සංවාදය නම් අපූරුයි...මමත් නොදන්න බොහොමයක් කරුණු ඉගෙන ගත්ත ඔබේ ඒ ලිපියෙන් සහ ඒ ආශ්‍රිතව කෙරුනු සංවාදයෙන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ගියපාර හිට්ලර් ගැන ලිපිය නම් අමතක වෙන්නෙම නැති අත්දැකීමක්. ඒවගේම එම ලිපිය මෙන්ම එම ලිපියට පසුව ලියපු පිළිතුරු ලිපියත් මේ බ්ලොග්කරණයේ වඩාත්ම ආශ්වාදයක් ලබපු ලිපිදෙකක්. පිළිතුරු ලිපිය ලිවීමේදී අළුත් කරුණු සෙවීමට වගේම දැන සිටි කරුණු තවදුරටත් තහවුරු කරගැනීමට කරුණු සෙවීම නිසා මගෙත් දැනුම තවත් තියුණු වුනා කියලා කියන්න පුළුවන්. කොහොමත් ඒවගේම ටිකක් වාදවිවාද ගැටුම් වලට පැ‍ටලෙන්න පුළුවන් දේශපාලනික ලිපි ලියන්නට කැමති වුනත් දේශපාලනය කියන මඩගොහොරුවට කැමති නැති මධ්‍යස්ථ පාඨකයන්ගේ ඉල්ලීම නිසා ඉන්පසුව වැඩිය ඒ තේමාව කරා නොගියත් ඉදහිට හෝ එවැනි ලිපිත් ලියන්නට සිතා සිටිනවා...

      Delete
  22. කාලෙකට පස්සේ කියවපු ගොඩක් ආසාවුන ලිපියක්..හිට්ලර්ට විතරක් නෙවෙයි...වැරදි කරන අපි කාට උනත් කාගෙන් ගැලවුනත් අපේ කර්මය පලදෙනවා...එක ලෝක ස්බාවනේ...මේ වගේ අයට දඩුවම් කරන්නත් පුලුවන් සොබාදහමටම විතරයි...ඒ වගේ වැරදිනේ කරලා තියෙන්නේ...ගොඩක් ස්තූතියි ලිපියට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම හිතන්නේ Bindi ට ලියපු පිළිතුරේ ඔබගේ අදහසටත් ලබාදිය යුතු පිළිතුරු තිබෙනවා...

      Delete
  23. වටිනා ලිපියක් දිනේෂ් සහෝ... කාලයකට පස්සේ ආසාවෙන් මුළු ලිපියම කියෙව්වා. මේක කියෙව්වාම මට හිතෙනවා ප්‍රභාකරනුත් ඇත්තටම මලාද කියලා. මොකද ඔය විදියට Fake කොපි හදන් ඉන්න එක හැම ත්‍රස්ත නායකයෙක්ම කරන නිසා...

    ස්තුතියි මේ මහන්සියට... ජයවේවා !!!

    ReplyDelete
  24. හිට්ලර්ලා ඉතිහාසයේ වරින්වර විවිධ දේශයන්හි විවිධ නම් වලින් උපදින බව නම අපිට පැහැදිලිව පෙනෙන දෙයක්.. ඒ වගේම ලෝකය ඒ මිනීමරුවන් මද පවත්වන්න හිතන්නෙත් විශාල මිනිස් ජෙවිත රාශියක් බිලිගත්තට පසුවයි.. එකත් සිදුවෙන්නේ අදාළ රටේ තෙල් තියෙනවානම් විතරයි.. ඔබ මෙවැනි ලිපි ලියන්න තොරතුරු සොයන්න විශාල කාලයක් ගතකරනවා ඇති .. එහෙම කරලා අපිට කියවන්න සැලසීම ගැන ඔබට බොහොම ස්තුතියි..

    ReplyDelete
  25. හුගක් දවසකට පස්සේ සත් සමුදුර ආයේ පරණ ට්‍රැක් එකට වැටිලා-හරිම සතුටුයි මේ වාගේ ලිපියක් කියවන්න ලැබිම පිළිබදව-ළගදි දියග අතිරේකයේ මේ ගැනම ලිපියක් කියෙව්වා-ඔබට මෙවන් ලිපි ලිවිමට අවශ්‍ය වටපිටාවත් නිදහසත් නොඅඩුව ලැබෙන්න කියලා පතනවා-මම පියුමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ ලිපියේ සදහන් කර ඇති පරිදි විවිද කරුණු නිසා මේ කාර්යයේ නියැලෙන්නෙට නොහැකිවුනත් ඉඩක් ලැබෙන හැම විටකම මෙවන් ලිපි ලියන්නට සිතා සිටිනවා. ඇත්තෙන්ම මේ ලිපියට අවශ්‍ය සිතුවිල්ල ආවෙත් දියත අතිරේඛයේ මේ පිළිබදව දුටුවිටයි. කෙසේවෙතත් ඒ ලිපිය හරියට කියවන්නවත් මට ලැබුනේ නැහැ. ඒ නිසාම ඒ ගැන කරුණු සෙවූ පසුව තමයි මේ ලිපිය ලියන්නට සිතුනේ...

      Delete
  26. ela ela machooo . umbta jaya.

    thawa thawath me wage article danna labewa

    ReplyDelete
  27. මමත් කියවපු ලිපියක තිබුණ,හිට්ලර් ඊව එක්ක ආර්ජන්ටිනාවට පෑනල ගියා,ඈමෙරිකානු හමුදා එයට සහය දුන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සැක හිතන්න සාධාරණ හේතු තියෙනවා...

      Delete
  28. godak wadagath lipiyak

    obata jaya
    (akila - Australia)

    ReplyDelete
  29. ඉතිහාසය කියන එකනම් කියවෙන පිළිවෙලටම පිළිගන්න ගියොත් මෝඩයෝ වෙනව. මමනම් හිතන්නෙ වැඩි හරියක් ඉතිහාසය කියන එකේ තියෙන්නෙ අතිශයෝක්තිය කියන එකයි. දෙවන ලෝක යුද්ධෙනම් සිදුවෙලා තවම අවුරුදු සීයක්වත් ගතවෙලා නෑ තමයි. ඒත් මේ මොහොතේ ඉඳන්ම ඉතිහාසය වෙනස් කිරීම ආරම්භ කරන්න පුඵවන් සංවිධානාත්මකව.

    අපූරු ලිපියක් ගොඩක් කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මමත් ඔබ කියන දේට එකඟයි මේ සිදවීම් වෙලා තවම වසර 100 ක් වත් ගතවුනේ නැතිකොට නිවැරදි ඉතිහාසය ස්ථාපනය කරන්න බැරි කමක් නැහැ...

      Delete
  30. හොද ලිපියක් :)

    ReplyDelete
  31. hugak hoda lipiyak

    ReplyDelete
  32. මහන්සිවෙලා ලියපු ගොඩක් හොද ලිපියක්. නොදැන හිටපු ගොඩක් කරුණු දැනගත්තා.

    ReplyDelete
  33. "අවසානයේ පැවසීමට සිදුවන්නේ හිට්ලර් ඇතුළු යුද අපරාධකරුවන් බොහෝමයක් තමන්ගේ වැරදිවලට නිසි දඩුවම් නොලබාම සුවසේ මෙලොවින් සමුගත් බවද?"

    ඒ ඉතින් හැමෝටම හිතෙන හැටිනේ,ඒත් අපායක් කියලා එකක් තියනවා නේද මහත්තයො?

    ReplyDelete
  34. මේ ලිපිය පල කිරීම පිළිබදව බොහෝම ස්තූතීයි. මෙහි සදහන් Gray Wolf The Escape of Adolf Hitler The case Presented කියන පොත මා සතුව තිබෙනවා. මෙහි ඇති කරුණු බොරුයයි කියා කීමට අපහසුයි. ඡයාරූප, පැනගියාට පසුව ආර්ජන්ටීනාවෙදි හිට්ලර් ආශ්‍රය කල අය සමග කල සංවාද තොරතුරුද මෙහි ඇතුලත්ය. මෙහි කතුවරුන් දෙදෙනා Simon Dunstan සහ Gerrard Williams යන පර්යේශනාත්මක මාධ්‍යවේදියෝ දෙදෙනා.. මෙහි සදහන් විදියට හිට්ලර් මැරෙන්නේ 1962 පෙබරවාරී 13... ආර්ජන්ටීනාවෙදී... වේදනාව නැසීම සදහා මෝෆින් ඉන්ජෙක්ශන් එකක් ගහලා පැය 3කට පස්සේ තමයි මැරෙන්නේ.
    ලෝක දේශපාලනය තුල බල අරගලය සහ අපට පෙන්වන සත්‍යය හා සැබෑ සත්‍යය අතර වෙනස වටහා ගැනීමට හොද පොතක්....

    ReplyDelete
  35. ඔබේ ලිපිය ඉතා වැදගත්. ඉතිහාසයේ වෙනස් වියයුතු තැන් බොහෝමයි. ලංකාවේ ඉතිහාසයේත් මෙවැනි වෙනස් වියයුතු තැන් බොහොමයි. අපේ රාවණ අධිරජු ගැන ඔබේ අදහස් කොහොමද? ස්තූතියි.......

    ReplyDelete
  36. replica bags toronto hermes replica handbags e2c25u4t21 replica bags china you can try these out j4g25c4k08 bags replica gucci 7a replica bags wholesale you could try this out v5f91a0k08 fake louis vuitton replica bags pakistan

    ReplyDelete
  37. replica bags for sale official website x6k83f6r43 replica bags and shoes replica bags from china replica hermes d6j19w4i55 7a replica bags philippines replica bags bangkok my explanation v3m71x8j15 replica bags ebay

    ReplyDelete