-->

Monday, October 14, 2013

ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර


මේ පින්තූරයේ සැඟවී පවතින සතුට ගැන පවසනවාත් සමගම අද ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ දැක්වෙන්නේ 1989 නොවැම්බර් 09 වනදා සීතල යුද්ධයේ ප්‍රධානතම දෘශ්‍යමාන සාධකයක් වන බරලින් තාප්පය විනාශය ඇරඹීමත් සමගම ඇතිවුණ සතුට ඒ අය සැමරූ ආකාරයයි.

බර්ලින් තාප්පය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ දැන සිටියත් ඒ ඒ කාරණා වල විවිධාකාර වෙනස්කම් තිබෙනවා. මොකක්ද මේ බර්ලින් තාප්පය? එය ඉදිකළේ ඇයි? කවදා සිට කවදා දක්වා මේ තාප්පය පැවතුණාද? මේ වගේ ගොඩක් කාරණා මේ ලිපියේදී කතා කරමු.

බර්ලින් නගරය කියන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන තීරණාත්මක  කේන්‍ද්‍රස්ථානය බර්ලින් නගරයයි. මිතුරු හමුදාවන්ගේ  ගුවන් ප්‍රහාරවලට, කාලතුවක්කු ප්‍රහාරවලට හා සෝවියට් හමුදා සහ ජර්මානු හමුදා අතර මෙම නගරයේ ඇතිවූ වීදි සටන් නිසා ඉතා දරුණු අන්දමින් බර්ලින් නගරය විනාශයට පත්ව තිබුණා.

සෝවියට් රතු හමුදාවන්ගේ නොනවත්වා එල්ල වන ප්‍රහාර හමුවේ දුර්වලව සිටි ජර්මානු හමුදාවන්ට තවදුරටත් බර්ලින් නගරය තමන් අත තබා ගැනීමට නොහැකිවූ අතර 1945 මැයි 08 වනදා වන විට නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට සමත්වූවා. මෙම අවස්ථාව Zero hour නැතහොත් ජර්මන් බසින් Stunde Null ලෙසද ඉතිහාසයේ හදුන්වනු ලබනවා.

තවද මෙම අත්පත්ගැනීම් වලදී රතු හමුදාව අතින් බර්ලින් නගරයේ කාන්තාවන් අතිවිශාල සංඛ්‍යාවක් දූෂණයටද ලක්වූ බව සදහන් වේ.

(Following the Red Army's capture of Berlin in 1945, Soviet troops raped German women and girls as young as eight years old.[72] Estimates of the total number of victims range from tens of thousands to two million.[73]

After the summer of 1945, Soviet soldiers caught raping civilians were usually punished to some degree, ranging from arrest to execution.[74] The rapes continued, however, until the winter of 1947–48, when Soviet occupation authorities finally confined troops to strictly guarded posts and camps. - http://en.wikipedia.org/wiki/Red_Army_atrocities#Mass_rapes)

බර්ලිනය අත්පත් කරගත් පසු ජර්මන් හමුදාවන්ගෙන් තම දේශයට වූ හානිය ප්‍රතිපූරණය කර ගැනීම උදෙසා සහ නැවත තම රට ගොඩනගා ගැනීමට බර්ලින් නගරයේ තිබූ කර්මාන්ත ශාලා, දුම්රිය මාර්ග යනාදිය ගලවා රැගෙන යාම 1945 මැයි සිට ජූලි දක්වා සෝවියට් හමුදා විසින් සිදුකරනු ලැබූ බව පැවසෙන අතර පසුව බර්ලිනයේ බටහිර කොටස අනෙකුත් මිතුරු ජාතීන්ට ලබා දුන් පසුවත් නැගෙනහිර ජර්මනියේ මේ තත්ත්වය පැවතුන බව පැවසෙනවා.

යුද්ධයට පෙරාතුව ලන්ඩනයේදී 1944 දී ඇති කරගත් යුද්ධයෙන් අනතුරුව ජර්මනියේ ඉරණම කෙසේ තීන්දුවිය යුතුද? යන්න තවදුරටත් සාකච්ඡා කිරීමට 1945 ජූලි 16 සිට අගෝස්තු 2 දක්වා මිතුරු බලවතුන් අතර පොස්ට්ඩෑම් හි පැවතුන සමුළුවෙන් අනතුරුව ජර්මනිය පරිපාලක ඒකකට 4 කට බෙදා පාලනය කිරීමට තීරණය වූ අතර බටහිර කොටස් ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා වෙතත් නැගෙනහිර ජර්මනිය මුදාගැනීමේදී අතිමහත් ජීවිත හා සම්පත් දායකත්වයක් ලබාදුන් සෝවියට් දේශය වෙතටත් ලබා දුන්නා.

එසේම අත්පත් කරගත් බර්ලින් නගරයේ 2/3 ක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ පාලනයට එහි බටහිරින් වෙන්කෙරුණ අතර ඉතිරි 1/3 ක් වූ නැගෙනහිර කොටස සෝවියට් පාලනයට නතු කෙරුණා.
බෙදුන බර්ලිනය

මේ අනුව බර්ලින් නගරයේ බටහිර කොටස හෙවත්  බටහිර බර්ලින් කොටසද පැවතුණේ නැගෙනහිර ජර්මනිය තුළ බව සැලකිය යුතුයි. එය සංඛ්‍යාත්මකව පවසනවා නම් බටහිර ජර්මනියේ සිට සැතපුම් 110 ක් (කි.මී. 180 ක්) දුරින් බටහිර බර්ලිනය පිහිටා තිබුණා.

යුද සමයේදී සහයෝගයෙන් යුද වැදුණත් යුද්ධය නිමාවීමටත් පෙරම ස්ටාලින් ප්‍රමුඛ සෝවියට් අභිලාෂයවූයේ ලෝකයම කොමියුනිස්ට්කරනයට ලක්කිරීමයි. යුද්ධය නිමාවීමත් සමග දෙපාර්ශවයේ තිබූ වෙනස්කම් සහ අනෙකුත් භේදයන් යළි ඇතිවන්නට වූ අතර තමන් සතුව පැවති ජර්මානු ප්‍රදේශයන්ගේ දේශ සීමාවන්ගේ ආරක්‍ෂාව තර කිරීමට සෝවියට් හමුදා පියවර ගත් අතර ක්‍රමයෙන් සීතල යුද්ධය උණුසුම් වන්නට පටන් ගත්තා.

යුද්ධයෙන් විනාශයට පත් ජර්මනිය ප්‍රමුඛ අනෙක් රටවල් නගා සිටුවීමේ ප්‍රයත්නයනක් ලෙස මාර්ෂල් සැලැස්ම 1948 අප්‍රේල් සිට වසර 4 ක් දක්වා වූ කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර මෙයට සෝවියට් දේශය එකඟත්වයක් නොදැක්වූ හෙයින් ඔවුන්ගේ පාලනයට යටත්ව පැවති නැගෙනහිර ජර්මනිය හෝ ඔවුන්ගේ බලපෑමට නතුව සිටි සමහර නැගෙනහිර යුරෝපීය රටවල් එයින් ප්‍රතිලාභ නොලැබූහ. මෙම මාර්ෂල් සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙහිලා පුරෝගාමීත්වය උසුලනු ලැබුවේ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකු, ආරක්‍ෂක ලේකම්වරයෙකු සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කළ ජනරාල් ජෝර්ජ් මාර්ෂල් මහතාය.

මෙම මාර්ෂල් සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික පහසුව සහ ඒ වන විට ජර්මනියේ ක්‍රියාත්කව පැවතුන අස්ථාවර රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය වෙනුවට වෙනත් මුදල් ක්‍රමයක් භාවිතාකිරීමට බටහිර පාර්ශවය යෝජනා පළ කළත් සෝවියට් පාලනය එයටද විරුද්ධ විය. මෙම රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය ක්‍රියාවට නැංවීම ඇරඹුණේ පළමු ලෝක යුද්ධයෙන් පසුව 1920 ගණන් වල ජර්මනිය අත්විදිමින් සිටි ආර්ථික අවපාතන අවදියේදීය. තවද නව මුදල් ක්‍රමය සමස්ථ බර්ලනියේ ඒකක හතරේම ක්‍රියාවට නැංවීම බටහිර පාර්ශවයේ අදහස වූවත් සෝවියට් විරුද්ධත්වය හමුවේ එවැන්නක් සිදුකිරීම අසීරුවිය. මේ අනුව බටහිර- නැගෙනහිර ජර්මනියේ සහ බටහිර-නැගෙනහිර ජර්මනිය යන ඒකක් වල මුදල් ක්‍රම දෙකක් භාවිතා වීම 1948 ජූනි 23 වනදා සිට ක්‍රියාත්මක වූ අතර නැගෙනහිර ජර්මනිය හා නැගෙනහිර බර්ලිනයේ ඒ වන විටත් ක්‍රියාත්මත්ව පැවති රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වූ අතර, බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනයේ ඩොයිෂ්මාර්ක් නම් නව මුදල් ක්‍රමයද භාවිතා කිරීමද ආරම්භ විය.

සාකච්ඡා සම්මුති හෝ මොන සැලැස්මක් හෝ මොන මුදල් ක්‍රමයක් හෝ යටතේ ජර්මනියේ උන්නතිය සැලසීමට වඩා සමස්. ජර්මනිය හෝ අඩුම තරමින් සමස්ථ බර්ලිනය තමන් වෙතට ලබා ගැනීම සෝවියට් අභිලාෂය විය. මේ අනුව ඔවුන් සීතල යුද්ධයේ පළමු ප්‍රධානතම ඝට්ටනයේ පෙරගමන් කරුවන් වූ අතර 1948 ජූනි 24 වනදා බර්ලිනය අවහිර කිරීමේ ක්‍රියාදාමයේ නිරත විය. මෙය The Berlin blockade යනුවෙන් හැදින්වූ අතර මෙයින් බර්ලිනයේ බටහිර කොටස වෙත දිවෙන මංමාවත්, දුම්රිය මාර්ග, ඇල මාර්ග යනාදී සියලු ප්‍රවේශයන් අවහිර කරනු ලැබූ අතර මෙයින් ඔවුන් බලාපොරොත්තුවූයේ බටහිර බර්ලින්වාසීන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ අනෙකුත් ආධාරයන් ලැබීම වැළැක්වීම තුළින් ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ප්‍රංශ බටහිර බලවතුන් බටහිර බර්ලිනයෙන් ඉවත්වීම තුලින් සමස්ත නගරයේම පාලනය සෝවියට් පාලනය වෙතට නතුකර ගැනීමයි.

මුලදී සෝවියට් වෑයම සාර්ථක වන ලකුණු පෙනුණත් බටහිර පාර්ශවයේ බටහිර බර්ලිනය අත් නොහැරීමේ අප්‍රතිහත උත්සාහය හමුවේ එම ක්‍රියාදාමය 1949 මැයි 12 වනදා අත්හැර දැමීමට සිදුවිය. මේ අතරතුර කාලයේදී ඔවුන් ගුවන් මගින් බටහිර බර්ලිනයේ වාසය කළ ජනතාවට අවශ්‍ය දෑ ලබාදුන් අතර මේ සදහා ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු-කැනේඩියානු-නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ගුවන්හමුදා සම්බන්ධ වූහ. ගමන්වාර 200,000 කට වඩා මේ සදහා යොදගැනුණ අතර දිනකට ටොන් 4700 ක පමණ ද්‍රව්‍ය ගුවන් මගින් ප්‍රවාහනය කරනු ලැබීය.

1948 ජූනි 24 දා සෝවියට් අවහිරතාවය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම ආරම්භවූවත් එම වසරේ අප්‍රේල් සිටම විවිධාකාරයේ බාධා කිරීමේ බටහිර බර්ලිනයට ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම උදෙසා එම පාර්ශවය විසින් ඇතිකරනු ලැබූ බවද පැවසිය යුතුය. 
නැගෙනහිර ජර්මනියේ පළමු නායකයා -
Walter Ulbricht
මෙම අවහිර කිරීමේ ක්‍රියාදාමයේ අවසානයත් සමග බටහිර නැගෙනහිර ජර්මානු රාජ්‍ය බිහිවීමද නිල වශයෙන් සිදුවූ අතර ඇමරිකා-බ්‍රිතාන්‍ය හා ප්‍රංශ රාජ්‍යයන් විසින් පාලනය කළ බටහිර කොටස ඒකාබද්ධවී බටහිර ජර්මනිය (The Federal Republic of Germany (West Germany))ලෙස රාජ්‍යයක් බිහිවූ අතර ඒ 1949 මැයි 24 වනදායි.

තවද එම වසරේම ඔක්තෝමබර් 7 වනදා, මුල සිටම සෝවියට් අතකොළුවක්ව පැවති නැගෙනහිර කොටසද නැගෙනහිර ජර්මනිය (the German Democratic Republic (East Germany))ලෙස ස්ථාපිත වූ අතර එහි නායකයා ලෙස ජර්මානු කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ධූරය දැරූ Walter Ulbricht පත්වීය. බටහිර ජර්මනියේ ජනපති ලෙස ලිබරල් මතධාරී Theodor Heuss පත්වූ අතර එහි චාන්ස්ලර් වරයා ලෙස Konrad Adenauer පත්විය. නැගෙනහිර ජරමනිය තවදුරටත් තම අගනුවර ලෙස නැගෙනහිර බර්ලිනය තබා ගත් අතර බටහිර ජර්මනියේ අගනුවර වුයේ බොන් නගරයයි.

මෙසේ රටවල් තුනක් විසින් පාලනය කළ බටහිර ජර්මනිය බිහිවීම එක් අතකින් සෝවියට් නායකයාගේ සිහිනයක්ද බොදවීමකට හේතුවිය. ඒ ඔහුගේ බලාපොරොත්තුව වුයේ දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරක් දෙකක් ගිය තැන ඇමරිකානු හමුදා ඔවුන්ට අයත් ජර්මානු භූමියෙන් ඉවත්ව යනු ඇති බවත් ඉන් අනතුරුව තනිවන බ්‍රිතාන්‍ය හමුදා සහ ප්‍රංශ හමුදාද තමන්ට අයතව පැවති කොටස් වලින් ඉවත් යාමෙන් අනතුරුව සෝවියට් පාලනයට යටත්ව සමස්ත ජර්මන් භූමියම එක්සේසත් කිරීමත්ය.

තවද තවත් වැදගත් කාරණයක් වනුවේ මෙම අවහිරතාවයන් ඇතිවූ සමයේ ගුවන් යානා ගොඩබැස්සවීමට බටහිර බර්ලිනයේ පිහිටුවනු ලැබූ ගුවන් තොටුපළ තුනක් ඊළඟ වසර 50 පුරාවටම බටහිර බර්ලිනයට ඇතුළුවීමේ හා පිටවීමේ ප්‍රවේශයන් තුනක් ලෙසද ක්‍රියාත්මකවීම සිදුවීමයි. එපමණක් නොව අදටත් ක්‍රියාත්මකව පවතින බටහිර බලවතුගේ ප්‍රධානතම යුද සංවිධානයද මෙම අවහිරතා පැවති කාලවකවානුවේදී බිහිවිය. එනම් උතුරු අත්ලාන්ටික් ගිවිසුම් සංවිධානය හෙවත් ලෝකයම දන්නා නේටෝ සංවිධානයේ උපතද 1949 අප්‍රේල් 4 වනදා සිදුවිය. වොෂිංටනයේදී ඇමරිකාව, කැනඩාව හා බටහිර යුරෝපීය රටවල් විසින් එදින අත්සන් තැබීමෙන් සෝවියට් ප්‍රමුඛ කොමියුනිස්ට් රටක් විසින් යම් හෙයකින් පහර දුනහෝත මෙම සංවිධානයට අයත් රටවල් එක්ව පෙරළා පහරදීම මෙම සංවිධානයේ ප්‍රධානතම අරමුණ විය.(North Atlantic Treaty Organization (NATO)).

1949 සැප්තැම්බර් 30 වන දා ගුවන් මගින් බර්ලිනයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාන්විතයද අවසන් කෙරිණ.



1952 අප්‍රේල් 1 දින නැගෙනහිර ජර්මානු නායකයන් සෝවියට් දේශයට ගොස් එහි නායක ස්ටාලින් මුණ ගැසුන අතර සෝවියට් විදේශ අමාත්‍ය Vyacheslav Molotov ගේ යෝජනාවක් පරිදි බටහිර බර්ලින් වාසීන්ට නැගෙනහිර බර්ලිනයට ඇතුළු වීම සදහා අවසර පතක් නිකුත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කෙරුණි. එයින් බටහිරින් ඔත්තු බැලීමට නැගෙනහිර බර්ලිනයට පැමිණිම අවහිර කිරීම අරමුණු විය.

1952 මැයි 26 වනදා නැවතත් දේශසීමා වසා දැමීමක් සිදුවිය. ඒ නැගෙනහිර සහ බටහිර ජර්මන් දේශ සීමා සහ නැගෙනහිර ජර්මන් සහ බටහිර බර්ලින් දේශ සීමාය. කෙසේවෙතත් තවදුරටත් නැගෙනහිර-බටහිර බර්ලින් දේශසීමා විවෘතව පැවතුණි.නැගෙනහිර ජර්මනිය තුළ ක්‍රමයෙන් තවදුරටත් ආතතිය, අසහනය හිස ඔසවන්නට විය. එහි ගොඩනැගිලි ඉදිකරන්නන් පිරිස් විසින් තමන් වැඩකරන වටපිටාව සම්බන්ධයෙන් වු විරෝධතාවයක් රතු හමුදා විසින් සාර්ථකව මැඩපවත්වන ලදි. මෙම සිදුවීම සිදුවූයේ 1953 ජූනි 17 වනදාය.

මේ වනවිට සෝවියට් පාලක ස්ටාලින් මියගොස්, අනුප්‍රාප්තිකයා ලෙස නිකිතා කෘෂේව් බලයට පත්ව සිටියත් සෝවියට් ප්‍රතිපත්තියේ ලිහිල්වීමක් සිදුව නොතිබුණි. 

එම වසරේ නොවැම්බර් 14 වනදා බටහිර පාර්ශවය විසින් බර්ලිනයේ නැගෙනහිරට යාමට තම ප්‍රදේශයේ වැසියන්ට භාවිතා කිරීමට සිදුව තිබූ අවසර පත් පිළිබදව විරුද්ධත්වය පළ කළ අතර එයට සෝවියට් පාලනය එකඟවූ නමුත් නැගෙනහිර බර්ලින් වාසීන්ට බටහිරට යාමට නම් අවසර පත අනිවාර්යය විය.

1957 දෙසැම්බර් 11 වනදා සෝවියට් පාලනය නැගෙනහිර ජර්මනියට තවත් නීතියක් ක්‍රියාවට නැංවීය. ඒ නිසි අවසරයකින් තොරව නැගෙනහිර ජර්මනියෙන් පිටව යාම තහනම් කළ අතර එම වැරැද්ද සිදුකළහොත් වසර තුනක සිර දඬුවමකටද යටත් වීමටද සිදුවිය.

නැගෙනහිර ජර්මනිය පිළිබදව සුබවාදී චිත්‍රයක් අවට ලෝකයට පෙන්වන්නට උත්සහ කළත් එහි තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පැවතුණි. එයට හාත්පසින්ම වෙනස් ලෙස බටහිර ජර්මනියේ ජීවන තත්ත්වය උසස් හා නවීන පහසුකම්වලින් යුතුවූ අතර නැගෙනහිර ජර්මන්වාසීන් මෙම පහසුකම් අත්විදිනු පිණිස කොතරම් බාධක පමුණුවා තිබුණත් තමන් සිටි නැගෙනහිර කොටස හැරදා බටහිරට යාම අතිවිශාල වශයෙන් සිදුවිය. මේ තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර බර්ලිනයේ උග්‍ර තත්ත්වයේ පැවතු‍ණි. 

එසේම මේ නිසා නැගෙනහිර ශ්‍රම බලකායේ තරුණ  මෙන්ම දැනුම අතින්ද සන්නද්ධ අතිවිශාල ජනතාවක් බටහිරට පලායාමෙන් නැගෙනහිර ජර්මනිය නගා සිටුවීමට නොහැකිවනු ඇති බව එහි නායකන් තේරුම්ගත් අතර මෙම තත්ත්වය බලහත්කාරයෙන් හෝ වැළකීමට බටහිර බලපෑම ඍජුවම දර්ශනය වන බටහිර බර්ලිනයට පිවිසීම වැළකීමට බාධයක් ඉදිකිරීමට සෝවියට් අවසරය පැතීය. එයට සෝවියට් අවසරය ලැබුණ අතර දෙරටේම නායකයන් මේ නව ප්‍රවණතාවය රහසක් වශයෙන්ම තබා ගැනීමට තරයේ වගබලා ගත්හ.
ඒ වන විටත් මිලියන 2 කට වැඩි පිරිසක් නැගෙනහිර ජර්මනියෙන් නික්මගොස් තිබුණහ.



(Meeting between Nikita Khrushchev and Walter Ulbricht. “We must create the conditions so that the GDR economy will not be vulnerable to our enemies. We didn’t know that the GDR was so vulnerable to West 
Germany. This is not good; we must correct this now.” - November 30, 1960)

(First Secretary of the Socialist Unity Party of the GDR and Staatsrat chairman Walter Ulbricht states at an international press conference: “No one has the intention to erect a wall“. It was the first time the colloquial term Mauer (wall) was used in this context. - June 15, 1961)

තාප්පය ඉදිකිරීමේ සිට අනෙකුත් කාරණා ඊලඟ ලිපියෙන්....

මූලාශ්‍ර -

22 comments:

  1. වැදගත් ලිපියක්..නොදන්නා කාරණා කිහිපයක්ම ඉගෙන ගන්නන ලැබුනා..

    ReplyDelete
  2. සත්සමුදුරෙන් කලකට පසු සුපුරුදු ලිපියක්. ස්තූතියි දිනේශ්..

    මේක මට තේරෙන්නෑ)නෙ.. බර්ලිනය තියෙන්නෙ නැගෙනහිර ජර්මනිය මැද්දෙ නොවැ. ඉතින් බර්ලිනය දෙකට බෙදලා තාප්පයක් ගහලා බටහිර ජර්මනියට යන එක නවත්වන්නෙ කොහොමද ? මම ඇත්තටම අද වෙනකම් හිතන් හිටියෙ බර්ලිනය තියෙන්නෙ බටහිර, නැගෙනහිර ජර්මනියෙ දේශ සීමාවෙ කියලා.. හරි පුදුමයිනෙ මේ කතාව.. බලමුකො ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. උත්තරය නම් දිවේ මුලම තියෙනවා. ඒත් ඊලඟ ලිපිය බලලම තේරුම් ගන්න ඉඩ තියන්නම්කෝ....

      Delete
  3. ඉතුරු කොටස බලන්න ආයෙත් එන්නං

    ReplyDelete
  4. කවදද දිනේෂ් මේ වගේම උතුරු දකුණු කොරියා දෙක එක්වෙන්නේ. නමුත් සිද්දවෙන්නේ සුඩානය වැනි තවත් රටවල් දෙකට කැඩීයාම පමණයි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම් කවදා හෝ කොරියාව නම් එක්සත් වේවි. හැබැයි ඒක කවදා කොයි හේතුවක් නිසා වෙයිදයි කියන්න අසීරුයි. ඒත් ඊට වඩා වෙනස් සංස්කෘතියක්, බෙදීමක්, විවිධාකාර බලපෑම් තියෙන සුඩානය වගේ රටවල් නම් තවදුරටත් බෙදීම මිස එක්සත් වීමක් ගැන හිතන්න අමාරුයි. සමහර වෙලාවට විශාල ජීවිත හානියක්, කල්ගතවන විසදුම් දුර ගැටළු තියෙන ඒ වගේ රටවලට එක්සත් වීමකට වඩා අකමැත්තෙන් වුනත් බෙදීයාම හිතකර වෙන්න පුළුවන්. මේ ගැන අපි ඉදිරියේදී වැඩි දුරටත් කතා කරමු...

      Delete
    2. තෙල් සම්පත සොරා ගැනීමේ අරමුණින්, සූඩානයේ පැවති අර්බුධකාරී තත්ත්ව වර්ධනය කර එය කඩා දැමුවා මිසක කැඩී ගියා නොවේ නේද?

      Delete
    3. මෙහෙමයි, බොරදියේ මාළු බෑම් කොතනත් සිදුවෙනවා. ඒත් මේ හේතුව ලෝකයේ හැම අර්බුදයටම ආදේශ කරල ඒ හේතුව නිසා රට දෙකඩකරන්නට හේතුවූවා යයි උපකල්පනය කිරීම 100% ක් නිවැරදි නොවේවි කියන එකයි මගේ නම් අදහස. අප්‍රිකානු කලාපයේ රටවල වල තිබෙන අර්බුද අනෙක් කලාප වලට වඩා වෙනස් ආකාරයන්ගේ ගැටළු තිබෙනවා. ඒ නිසා යුරෝපයේ තත්ත්වයට වඩා වෙනස් ආසියාවේ ඇතිවුන තත්ත්වය ඊටත් වඩා වෙනස් වෙනවා. එය “අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ“ හෝ “බටහිර බලවේග“ උපැස් යුවල පලදාම බලන්නට නොහැකියි....

      Delete
    4. මා කියනුයේ මෙම සාධක මත පදනම්වය.
      ---------------------
      ආර්ථික වශයෙන් අතිශය වැදගත් වූ රාජ්‍යයක් වන සූඩානය කඩා ඉහිරවීමේ තම අරමුණ, සටන් විරාම ගිවිසුම හා සාම ගිවිසුම මොඩලය යොදා ගනිමින් ක්‍රියාත්මක කර ගැනීමේදී ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහාය යොදා ගැනීමට අධිරාජ්‍යවාදීන් සමත්විය.
      1) සූඩානය අල්කයිඩා සංවිධානයට උදව් කරන්නේය යන පදනම මත 1995 දී, ඇමරිකාව, සූඩානයට එරෙහිව සම්භාධක පැනවීම. එක්සත් ජාතීන්ටද එසේ කරන ලෙස බල කරන ලදී. නමුත් එහිදී එක්සත් ජාතීන් එසේ නොකරන ලදී.
      2) සූඩාන ආණ්ඩුවට හා සූඩාන ජනතා විමුක්ති ව්‍යාපාරය/හමුදාව අතර 2005-01-09 එළඹීමට නියමිත වූ විස්තීරණ සාම ගිවිසුම නිරීක්ෂණය කිරීම හා ක්‍රියාවට නැඟීම සඳහා සූඩානයට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඇතුළු එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් යැමීමට 2004-06-11 දිනැති 1547 දරණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මාණ්ඩල යෝජනාව පරිදි තීරණය කිරීම.
      3) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2005-03-24 දිනැති 1590 දරණ යෝජනාව මඟින් සූඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කණ්ඩායම යැවීමට තීරණය කිරීම. එම යෝජනාව මඟින් විස්තීරණ සාම ගිවිසුම ක්‍රියාවට නැගීම ඇතුළු කරුණු රාශියකට හිමිකම් පවරා දෙනු ලැබීය.
      4) තවද 1590 යෝජනාව ආර්ථික හා රාජතාන්ත්‍රික සම්බාධක පැනවීම මඟින් එක්සත් ජනපදයේ හින්සනයට සූඩානය විශාල ලෙසින් ගොඳුරු විය.
      මේ අනුව 1995 සිට 2006 දක්වා කාලය තුළ සූඩානය කඩා ඉහිරුවා එය තම ග්‍රහණයට ගැනීමේ ඇමරිකානු අදිරාජ්‍යවාදී වැඩ පිළිවෙලේ ප්‍රධාන සංධිස්ථාන කිහිපයක් එක්සත් ජාතීන් ලවා ඉටුකර ගන්නා ලදී.
      තවද,
      සූඩානය තුළ බොදුම්වාදය ඇවිලවීම සමඟින් සූඩානය බෙදා වෙන් කිරීම සඳහාත් වන ඇ. එ. ජ වැඩ පිළිවෙල සාක්ෂාත් කිරීම සඳහාත් විශාල වශයෙන් මැදිහත්වූ අනෙක් අධිරාජ්‍යවාදී රටවල් දෙක වූයේ නොර්වේ සහ බ්‍රිතාන්‍යයයි.

      Delete
    5. සාකච්ඡාවකට අවශ්‍ය දත්ත සමගම සංවාදයකට එළඹීම හොද තත්ත්වයකි. ඒ බවද පවසමින්. ඔබ පවසන කරුණු කෙසේ හෝ පරාජය කිරීම නොව ප්‍රායෝගිත තත්ත්ව යටතේ සුඩානය දෙකඩ විය යුතුද? එසේත් නැත්නම ඊටත් වඩා කොටස් වලට කැඩී හෝ මහා මනුෂ්‍ය ඝාතනයක්, මිනිසුන් මිනිසුන් ලෙස නොසලකා අතිමහත් වදබන්ධනයන්ට ලක් කිරීම අවසන් විය යුතුද? යන තීරණයත් ඔබ සැමට පවරමින් මා සුඩානයට අදාල කරුණු කිහිපයක් පවසන්නම්.

      සුඩානයේ සිවිල් යුද තත්ත්වය ඇති වූ බව පවසන්නේ 1983 තරම් ඈත කාලයේ සිටයි.ඒ රජයේ හමුදා සහ SPLA (Sudanese People's Liberation Army) යන කොට්ඨාශය අතරයි. දකුණු සුඩානයේ තෙල් සොයා ගැනීමත් සමග මෙම තත්ත්වයන් ඇතිවීමට ආසන්න හේතුව බව පැවසෙන අතර ඉහත කී ගරිල්ලා කණ්ඩායමට දකුණු සුඩනයේ බලය තමන් සතු කරගන්නටත්, රජයට දකුණු සුඩානයේ තෙල් සම්පත තමන්ටද බුක්තිවිදීමේ අභිලාශයද ඇතිව මෙම යුද්ධය ඇතිව තිබෙනවා.

      තෙල් සම්පත ඔවුන් බුක්තිවිදීම හෝ දකුණු සුඩානය SPLA වරුන් යටතට පත්වීම නොවෙයි ගැටළුව තිබෙන්නේ. ඔවුන් දෙකොටස අතර යුද්ධය නිසා මේ වන විට මිය ගොස් ඇති යයි සැලකෙන සංඛ්‍යාව මිලියන දෙකක්, ඊටත් අමතරව මිලයන 4 ක පිරිසක නිවාස අහිමිව සුඩානය තුල හෝ වෙනත් මායිම් රටක් සරණාගතයන් වශයෙන් වාසය කරනවා. උදාහරණයක් ලෙස ගතහොත් යාබද චෙඩ් රාජ්‍යයේ පමණක් 298,000 ක් තවමත් සිටින බව පැවසෙනවා.

      මෙම ගැටුම්වලට මුවා වී සිදුව ඇති කාන්තා දූෂනයන් සංඛ්‍යාව පිළිබදව ගණන් මිමි නැති තරම්. එතරම්ම අපරාධ සිදුව තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වීම සාමාන්‍ය තත්ත්වයක්, විශේෂයෙන් පිරිමි දරුවන් පැහැර ගනිමින් ඔවුන් ලමා සොල්දාදුවන් සේ යුද්ධයට යැවීමත් සිදුවෙනවා.

      මෙතරම් මනුෂ්‍ය ඝාතනයක්, මිනිසුන්ගේ අනාගතය, ඒ රටේ පමණක් නොවේ යාබද රටවල පවා අනාගතයට තර්ජනයක්ව පවතින මෙම ගැටුම් තත්ත්වය තවදුරටත් ඔඩුදුවනවාට වඩා යථා තත්ත්වයකට පත්වන විසදුමකට යොමුවීම හොද බවයි මට නම් කියන්න තිබෙන්නේ. තවද සුඩානය ගත්විට අතිවිශාල රටක් ඒ එක්කම දකුණු සුඩානය කිතුනු බැතිමතුන් බහුතරයක් වෙසෙන අතර උතුර මුස්ලිම් බැතිමතුන්ගේ බහුතරයක් වාසය කරනවා. මේ ආගම් වෙනසත් රටේ ගැටුම් උත්සන්න වීමට වගේම බාහිර බලපෑම් වලට නතුවීමටත් තවත් හේතුවක්.

      තවත් අතකින් ඇමරිකානු බලපෑම, අධිරාජ්‍යාවාදය යනාදී කාරණා ඉස්මතුවෙන්නට හේතුවක් වී ඇත්තේ රුසියාව හා චීනය අනුගමනය කරන කුහක ප්‍රතිපත්තියයි. ලෝකයේ ගැටුම්, අර්බුදකාරී තත්ත්වයක් ආවිට ඔවුන් කළ යුත්තේ දෙවන ලෝක යුද සමයේදී මිතුරු බලවතුන් ඒකරාශී වී නාසි ජර්මනිය හා ඔවුන්ගේ සහයට සිටි ඉතාලිය හා ජපානය පරාජය කළා සේ කටයුත කර හැකි ඉක්මනින් සාමය උදාකිරීමයි. ඔවුන් එසේ නොකරන නිසා තමයි ඇමරිකාවට හා ඔවුන්ගේ අභිමතය පරිදි එක්සත් ජාතීන් කටයුතු කරන්නේ.

      අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ. ලෝකයේ කිසිම රටක් සදාකාලිකවම එක් රටක් ලෙස පවතින්නේ නැහැ. එසේම ඇතැම් බෙදී වෙන්ව පැවතුන රටවල් කිහිපයක් එක්වී තනි රටක් බවට පත්වූ අවස්ථාද තිබෙනවා. මේවාට උදාහරණ ඕනෑතරම් දිය හැකියි. ඇතැම්විට මෙම ගැටළු වලින් පරිබාහිර පුද්ගලයන් වන අපි මේ රටවල් බෙදීයනවාට වඩා කෙසේහෝ එක්ව පැවතීම හොදයි කීවත් එම ගැටළුවට මුහුණ පා අගතියට ලක්ව සිටික පිරිස ප්‍රාර්ථනා කරන තත්ත්වය ඊට වඩා වෙනස් තත්ත්වයක් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබට තවදුරටත් මේ දේවල් ප්‍රායෝගිකව නිරීක්‍ෂනය කරන්න පුළුවන් ඉන්දියාව හා පකිස්ථානය බෙදී ගියේ ඇයි? කියන කාරණා ගැඹුරින් අධ්‍ය්‍යනය කළා නම්...

      Delete
  5. ස්තුතියි ඔබට ආසාවෙන් කියවූවා

    ReplyDelete
  6. ස්තුතියි ඔබට මේ දැනුවත් කිරීම් ගැන.මම සත්සමුදුරට වඩාත් ප්‍රිය කරන්නේ මෙන්න මේ ලිපි නිසායි.

    ReplyDelete
  7. eelaga ekaht liyandoo

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියනවා...

      Delete
  8. හැමදාම වගේ වැදගත් ලිපියක් ... දිගටම ලියන්න දිනේෂ් ....

    ReplyDelete
  9. පහුගිය කාලය පුරාවට ඇවිල්ල බලල ගියත් එකදු හෝ ලිපියක්වත් කියවන්න බැරි වුණා. නොකියවා බොරුවට ප්‍රතිචාර දානවට වඩා කියවල ඉවරවෙලා ම ප්‍රතිචාරයක් දාන්න ඕන හින්ද ටිකක් කල් ගත්තා.
    කාලෙකට කලින් තිබුණු සත්සමුදුරේ ගතිය ආයෙම ඇවිත් කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම ලිපියේ අගයත් බොහොම ඉහළයි. ඊළඟ කොටසත් කියවල ඉවරවෙලාම ඒකටත් කමෙන්ට් එකක් දාන්නම්. බොහොම ස්තූතියි දිනේෂ්........

    ReplyDelete
  10. ඔබව කාලෙකට පස්සේ මෙහි දකින්නට ලැබීමත් සතුටක්. ඔබගේ රැකියාව හා අනෙකුත් කටයුතු නිසා කාර්යබහුල වී ඇති යයි මම දැන සිටියා.හැකි වෙලාවට මෙහි එන්න. පසුගිය දිනවල ටිකක් හෙමිහිට ලිපි ලියාගෙන ගිය නිසා දීර්ඝ ලිපි කිපියක්ම ලියන්න හැකිවුනා...

    ReplyDelete