Monday, September 26, 2011

බ්ලොග්කරණය එදා සහ අද - Blogging in the past and the present

මගේ බ්ලොග්කරණය ගැන බොහෝවිට නැතහොත් මේ වන තෙක් කතා කර ඇත්‍තේ 50 වන බ්ලොග් සටහන, 100 වන බ්ලොග් සටහන,  150 වන බ්ලොග් සටහන සහ බ්ලොග් අඩවියේ පිටු නැතහොත් Hits 100,000 ක් ලැබුන අවස්ථාවලදී තමයි. කො‍හොමවුනත් දැනට සතියකට හෝ දෙකකට පෙර අප සහෝදර බ්ලොග් ලේඛකයෙක්ගේ අඩවියක් වන මාරයාගේ හෝරාව තුල ලියා තැබූ බ්ලොග් එක ලියන එක අතාරිනවද..? ලිපිය කියවූ පසු යම් පසුවිපරමක යෙදීම සදහා සහ  පාඨකයන්ගේ අදහස් තවත් විවෘතව ලබාගැනීමේ අරමුණකින් මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කරා.  මෙය සමහර විට පෙර කියූ බ්ලොග් ලිපියට සමාන වන්නත් පුළුවන්. ඒවගේම වෙනස් වන්නටත් හැකියි.

මුලින්ම මේ බ්ලොග්කරණයට එනකොට මෙතරම් දුරක්වත් එන්න හිතේ තිබුනෙත් නැහැ. ඉදිරිය මොනවගේ වේ දැයි කල්පනා කලෙත් නැහැ. මුල්ම කාලේ ඉතින් කවුරුවත් මෙ‍හෙම බ්ලොග් එකක් තිබෙනවාදැයි දන්නෙත් නැති නිසා එතරම් පාඨකයන් ගණනක් අවෙත් නැහැ වගේම ආරම්භක අවධියේ ලිපි ලිවීම හැර ඒවා කියෙව්වාදැයි නැත්දැයි ඒතරම් හිතයොමුකරෙත් නැහැ. කොහොමවුනත් මුල්ම අවධියේ ටිකක් මහන්සිවෙලා ලියපු මොකක්ද මේ Phishing කියන්නේ?  යන මාතෘකාවෙන් ලියවුන ලිපි 3 දැන් ලිවුවා නම් පාඨක අවධානය යොමුවෙන්නට ඉඩක‍ඩ තිබුනත් ඒ අවධියේ ඒකියන්නේ පාඨකයන් අතරට යන්නට පෙර හා ප්‍රධාන පෙලේ සින්ඩිකේටර් වලට සම්බන්ධ නොවූ අවධියක ලියූ නිසා එය පාඨකයන් බොහොම අඩුදෙනෙක් තමයි එය කියවා තිබෙන්නේ. පළමු ලිපිය අද වන විට 300 ගණනකුත් දෙවන හා තෙවන ලිපි වලට 200 ට අඩු සංඛ්‍යායක් තමයි පිවිසිලා තිබෙන්නේ.

ඊට පස්සේ ලියවුන ලිපි අතරින් සත් සමුදුරේ අනන්‍යතාවය වූ එතරම් අවධානය යොමු නොවූ කරුණු වෙනුවෙන් ලිපි ලිවීම ඇරඹූ ලිපිය තමයි මහ පොළව මත ඇදි අභිරහස් සිතුවම් කියන ලිපිය. හැබැයි කියන්න ඕන දැන් මම ඒ ලිපිය ලියනවා නම් එයට ඊට වඩා බොහෝ විස්තර ඇතුලත් වේවි. ඒක සාමාන්‍යයෙන් හොද පාඨක අවධානයක් දිනා ගත්ත ලිපියක් කියලා කියන්න පුළුවන්.

ඔන්න ඒ ලිපියට පස්සේ ලියන්නේ මම මේ දක්වා වැඩියෙන්ම වෙහෙසුන ලිපියක් වගේම සෑහෙන්න ප්‍රියකරපු ලිපියක්ද වන සුන්දර ටජ්මහලේ ‍නොදත් තතු ලිපි පෙලයි. බොහෝවිට ලිපි 3 කින් සීමා වෙන්නට ඉඩතිබුනත් කිසියම් තාක්‍ෂනික ගැටළුවක් මතුවීම නිසා එය ලිපි 4 කට නිමකරන්නට සිදුවූ අතර එය මීට පෙරත් කිවුවා වගේ සත් සමුදුර බ්ලොග් අඩවියේ හැරවුම් ලක්‍ෂයක් කියන්න පුළුවන්. මොකද ඒ ලිපිවලට තමයි ඒ වන විට පැමිණ නොතිබූ පාඨකයන් ප්‍රමාණයක් වගේම ඔවුන්ගේ අදහසුත් එකතුවෙන්නට පටන්ගත්තේ.

ඊට පසුව ලියපු කොටස් හතරකින් යුතු The Godfather - “The Greatest Movie of all time” ලිපි පෙලට යම් පාඨක අවධානයක් යොමු වුනත් එහි පළමු ලිපිය හැරුන කොට අනිත් ලිපි 3 ට නම් මේ වන විටත් එතරම් හොද ප්‍රවිශ්ඨයක් සිදුවෙලා නැති බව තමයි කියන්නට වෙන්නේ.

ඊට පසුව ලියන ලිපියක් තමයි කෙවින් කොස්ට්නර් නම් ‍හොලිවුඩ් නළුවා‍ රඟපෑ චිත්‍රපටි ගැන ලියවෙන වැඩිය හිනා වෙන්නේ නැති නළුවෙකුගේ ‍හොද පික්චර් කිහිපයක්..... කියන ලිපිය එහි විශේෂත්වය තමයි එය කඩිමුඩියේ ලියපු‍ කෙටි ලිපියක් වුනත් එය ඉක්මනින් අවධානය දිනාගෙන ඒ වන විට වැඩියෙන්ම පාඨකයන් පිවිසුන ලිපිය වීම හැබැයි ඔබ දන්නවද ඒ අවස්ථාවෙත් ඒ Top 10 list එකේ පළමු තැනට ආ ලිපියට තිබූ hits ගණන? යන්තම් 100 ක් විතරයි. කමෙන්ටු දෙකක් පමණයි.

මෙයින් පසුව හිතුනා ලියන්නට ජීවිතේ ලබපු යම් මතක හිටින හෝ කිසියම් වැදගත් කමක් ඇති අත්දැකීම් ලියා තබන්නට ඒ නිසා තමයි ලිව්වේ අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ කියන ලිපිය ලිව්වේ ඒකට කිසියම් කියවන පිරිසක් එකතුවුනත් එයට හා මා ඉන්පසුව ලියූ ජීවන අත්දැකීම් අඩංගු ලිපි වලට සත් සමුදුර බ්ලොග් අඩවිය තුල දකින්නට එතරම් මනාපයක් නොමැති බවක් පෙනෙන බවයි. සමහර විට පාඨකයන් බ්ලොග් අඩවි වර්ග කිරීමේදී ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියන ලිපි වලට වඩා ලෝකයේ විවිද දේ ගැන ලියන ලිපි සත් සමුදුරේ දකින්නට රුචි බවක් හෝ අත්දැකීම් ඇසුරෙන් ලියන ලිපි වලට මාගේ භාෂාවිලාශය හෝ වෙනයම් දුර්වලතාවයක් මත එවැනි ලිපි ජනප්‍රිය නොවෙන්නටත් හේතුවන්නට ඇති. හැබැයි මම හිතන්නේ සමහරවිට අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ ලිපිය එදා ලියපු කාලෙට වඩා සමහර විට මේ දිනවල සිදුවන සිදුවීම් එක්ක බැළුවහම ඒකට ගලපන්න සිදුවීම් රැසක්ම තියෙනවා වගේ.

ඒ වගේම ඊට පසුකාලෙක සත් සමුදුරේ කැපී පෙනෙන අවස්ථා වූ 50 වන බ්ලොග් සටහන පිළිබදව හා 100 වන බ්ලොග් සටහන පිළිබදව ලියූ ලිපි වලටත් සැමදා අදහස් පල කරන මිතුරන් කිහිපදෙනා හා තව ඒ වන තෙක් අදහස් පල කල අය හැරුන කොට වෙනදා නිහඬව යන එන අය පවා නාවේ මන්දැයි ගැටළුවක් මතුවුනා පමණක් නොව ඒ අවස්ථාවේ සියුම් කලකිරීමක්ද ඇතිනොවූවා නොවේ. මොකද ඒ ලිපි කියවා ඇත්තේත් අඩු පාඨක සංඛ්‍යාවක් නිසා. හැබැයි ඉතින් 100 වන බ්ලොග් සටහ‍නේදී හිතහදා ගත්තා මීට පසුවත් බ්ලොග් අඩවියේ ඒ ඒ අවස්ථාවලදී සාම්ප්‍රධායිකව එවැනි ලිපියක් සැමරුම් අවස්ථාවක් ලෙස පලකලත් ඒවා කවුරුවත් කියෙව්වේ නැහැ කියා සිත නොරිදවා ගෙන සිටින්නට. කොහොමවුනත් කාටවත් බලකරන්නට බැහැනේ අපි ලියන හැමදේම කියවන්නට කියලා.

අපි සමහර  ලිපි ලියන්නේ ඒවා පාඨකයන් සෑහෙන පිරිසක් කියවාවි යන චේතනාවෙන්, අනිත් ලිපිත් කියවනානම් තමයිනේ අවංකවම ගත්තොත් අපි කැමති. ඒත් ඒවා අර තරම් ජනප්‍රිය වේ යයි සිතන්නේ නැහැ. ඒත් මා අත්දුටු දෙයක් තමයි ඒ අදහසට ප්‍රතිවිරුද්ධව කරුණු කාරනා යෙදීම පලමු උදාහරණය තමයි දැන් ටිකකට පෙර කියපු කෙවින් කොස්ට්නර් ගේ චිත්‍රපටි ගැන ලිපිය. ඒ වගේ එතරම් බලාපොරෙත්තු නොවූවත් ‍හොද hits ගණනක් වැටුන ලිපි කිහිපයක්ම කියන්නම්

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion) - මේ ලිපිය තමයි ඒ වන විට තිබූ ලිපි අතරින් එක් දිනක් තුල වැඩිම පාඨක පිරිසක් ආකර්ශනය කර ගැනීමට සමත් වූ ලිපිය. මමත් ඉතාම කැමති ලිපියක් වන මෙය පල කල දින තමයි ඒ දක්වා දිනයේ වැඩිම hits සංඛ්‍යාව ලැබූ දිනයත් මතක හැටියට 657 ක්. එය පල ‍කලෙත් දහවල් 1.00 ට විතර ඒ වුනත් ඉතා ඉක්මනින් එයට පාඨකයන් ඇදී ආවා විතරක් නෙමේ ඊට පසු දිනයේත් එවැනිම පාඨකයන් පිරිසක් වගේම නව පාඨකයන් පිරිසකුත් එකතු වෙලා තිබුනා. ඒ ලිපිය ටික කාලයක් Top 10 list එකේ ඉහලින්ම තිබුනා වගේම ඒක පසුව දෙවන ස්ථානය පත්කලේ පාඨක අවධානය ලැබේ යන විශ්වාසය ඇතුව ලියූවා වගේම එක් දිනකින් පෙර තිබූ වාර්තාවද බිද දමා වැඩිම පාඨක සංඛ්‍යාව, වැඩිම අළුත් පාඨක සංඛ්‍යාව වගේ හොද ප්‍රතිඵල පෙන්වූ Tsar  bomb පිලිබද ලිපියට දෙවනි වුනා. ඒත් අපි භාවිතා කරන blogger සමහර වෙලාවට අමුතු ආකාරයෙන් හැසිරෙන නිසා Tungaska ලිපියට තිබූ hits සංඛ්‍යාව අවරෝහන පැත්තට ගණනය වෙන්නට ගෙන එය  Top 10 list එකෙන්ද ඉවත්වූවා. කුමක් හෝ දෝශකයකට එසේ නොවූවානම් තවමත් එය හොදම ලිපි 5 අතර රැදෙන ලිපියක්.

ඒ වගේම බලාපොරොත්තු තබා සිටියත් පාඨක අවධානය අඩුවෙන්ම යොමූවූ ලිපි අතර ගුලාග් කදවුරු ගැන ලිපි පෙල, පොල්පොට් ගැන ලිපිය , මොහොමඩ් අලි ගැන ලියූ ලිපිය වගේම පසුගිය දිනවල ලියූ   NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි යන ලිපි දැක්වි හැකියි. හැබැයි එතරම් බලාපොරොත්තුවක් නැතුව ලියූ හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර කියන ලිපියට ඉතා හොද පාඨක ප්‍රතිචාර ලැබුනා වගේම විවේඡන දෝශාරෝපණ වගේ දේවලුත් ලැබුන නිසා ඒක හොද අත්දැකීමක් වුනා. ඒ වගේම ඒ ලිපියට තමයි මේ වන විට වැඩිම කමෙන්ටු ලැබිලත් තියෙන්නේ. සමහර කමෙන්ටු ලියන්න යන කාලය හා ඒවායේ විස්තරාත්මක බව නිසා ඒ වෙනුවෙන් වෙනමම ලිපියක්ද ලියන්න සිදුවුනා. ඒකත් සැහෙන්න වාදවිවාද වලින් පිරීතිබුන ලිපියක් තමයි. හැබැයි ඒ ලිපිය ලියන කාලය වන විට මම මේ සම්බන්ධයෙන් ලියවී ඇති හොදම පොතක් වන අවසන් විසදුම කියන පොත කියවා තිබුනේ නම් එයට තවත් සෑහෙන්න කරුණු ඇතුලත් වෙන බවත් පැවසිය යුතුයි.

ඒ වගේම Top 10 list එක අසලවත් එයි කියා බලාපොරොත්තුවූ ලිපියක් වන Laptop computer battery usage ගැන ලියපු ලිපියට ඒ තත්වයට තවම ලඟාවෙමින් පවතින් අතර ඊට පසුව ලියූ ඉංග්‍රීසියෙන් ලියද්දී යම් විශ්වාසයක් ගොඩනගා ගැනීමට උපකාරීවන WhiteSmoke software එක ගැන ලිපියට Top 10 list එක අතරට එන්නත් ලැබුනේ අනපේක්‍ෂිත ලෙසයි. එම තත්වයම තමයි තිබුනේ පරිගණක භාවිතයේදී ඇස්වල ඇතිවන අපහසුතාවයෙන් වලකින්නට පලදින කන්ණාඩියක් ගැන කියවුන ලිපියටත්.

තවත් හොද අත්දැකීමක් වුනේ මීට දින කිහිපයකට පෙර අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන ලියවී ඇති පොතක් වන ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිළිබද අධිකරණ වෛද්‍ය පරීක්‍ෂන කියන පොතේදී අප නොදත් කරුණු රැසක් ගැන ප්‍රවීණ වෛද්‍ය මහතෙකු විසින් දැනුවත් කර තිබීම. එයින් අප කිසිදා නොදත් කරුණු දැනගන්නට ලැබීමත් සතුටට කරුණක්.

මෙම ලිපිය අවසන් කරන්නට මොහොතෙන් තව කරුණු කිහිපයක් කියන්නම්. මට දැනෙනා හැටියට නම් සත් සමුදුරු බ්ලොග් අඩවිය සාර්ථකත්වයක් ඇති ‍එකක තමයි. හැබැයි ජනප්‍රිය කියන කාණ්ඩයට මෙය අයත් නොවෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. මොකද මේ වන විටත් ලිපියකට ලැබෙන කමෙන්ටු ගණන හා එක්වී ඇති followers ගණනත් කාලය හා ලිපි සංඛ්‍යාව අනුව ප්‍රමාණවත්ද කියන සැකය ඇතිවෙනවා. කොහොමවුනත් සැප්තැම්බර් මාසය තමයි මේ බ්ලොග් අඩවියේ වැඩිම hits ගණන වාර්තාවුනේ. පසුගිය 8 වෙනිදා 100,000 ක් වූ එය ගතවූ දින 19 තුල තව hits 25,000 ක් එකතු කරගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම දිනකට hits 1000 ඉක්මවා යන අවස්ථාත් දැන් බහුලව තිබෙනවා.

ඉතින් ඒ තත්වයට ලඟවීමට පාඨක ඔබගේ සහය අතිශයින්ම අගය කරන අතරේ සින්ඩිකේටර් පහසුකම ලබාදෙන සින්ඩිකේටර අතරින් ප්‍රධාන වශයෙන් සිංහල බ්ලොග් කියවනය, ලාංකීය සිතුවිලි හා කොත්තු යන ඒවාට මූලිකවම ස්තුතිය හිමිවිය යුතුයි. අනෙක්වාද සෑහෙන්න සහයක් දෙනවා. ඒ වගේම Facebook Group කිහිපයක් මගින්ම ලබාදෙන සහයත් අමතක කරන්න හොද නැහැ. ඒ එක්කම බ්ලොග් අවකාශයේ සෑහෙන්න මිතුරන් සංඛ්‍යාවක් සිය බ්ලොග් අඩවියේ blog roll හරහාද සත් සමුදුරට දී ඇති අවකාශය හරහාද පාඨකයන් රැසක් සත් සමුදුරට එන බව කෘතවේදීව මතක් කල යුතුයි. තවද බ්ලොග් අඩවිය විවිද දෝශවලට ලක්වූ විට එයට උදව් කල මිතුරන්ටද ස්තුති කල යුතුමයි.

ඉතින් මේ ආකාරයෙන් තමයි මෙතෙක් කරුණු යෙදී තිබුනේ. තව කාරණා රැසක් තිබුනත් මේ ලිපියත් එතරම් පාඨක අවධානය දිනා ගන්න කාණ්ඩයටද අයත් නොවේවිද යන අදහසද සහිතව අවසන් කරන්නම්...

39 comments:

  1. ඔය සංඛ්‍යාත්මක තොරතුරු කෙසේ වෙතත් “සත්සමුදුර“ දැන් “ඔබේ නොවන එය අපේම වන දෙයක්“ බවට පත් වී හමාරයි. මා දන්නා ලෙසින් සත්සමුදුර “ලාභ ජනප්‍රියත්වයක් “ ගන්නට කිසිදාක නොවෙහෙසුන නිසා වෙන්නට පුළුවන් ඔය සංඛ්‍යාත්මක වෙනස .නමුත් ඔබේ හරබර ලිපි මගින් අන්තර්ජාලයේ සිංහල බ්ලොග් සමාජය තුල යහපත් පෙළඹවීම් වූ බව නම් ස්ථීරයි. ලියන්න , ඔබේ දැනුමින් තවත් එක් පහනක් දැල්වුනත් ඒ සතුට නිරාමිසයිනේ , අපි මේ බ්ලොග් මගින් උපයන්නේ ඒ නිරාමිස සතුට නිසා අපි ලියමු , යමක් කියවා සමාජහිතකාමී පෙළඹවීමක් , දැනුමක් ප්‍රෙයෝජනයක් ලබා ගනීවි , ස්තුතියි හැමදාමත් ඔබ වන මේ වෙහෙස වෙනුවෙන්.

    ReplyDelete
  2. ඔය සංඛ්‍යාත්මක දියුණු කර ගැනීම් සඳහා භාවිත වන “රසකාරකයක් “ (හෝ ඇබ්බැහිකාරකයක් ) ගැන “මාරයාගේ හෝරාවේ http://ctkumara.blogspot.com/2011/09/blog-post_5477.html?showComment=1317015373258#c7536474952359699708 කතා කරල තිබුණා..

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ඔබ තරම් විශාල හිට් ප්‍රමාණයක් නැතත් (මුලු බ්ලොග්ගෙටම තියෙන්නෙ 35000ක්) ඔය එක අත්දැකීමක් මටත් පොදුයි ඒ තමයි මම සාර්ථකයි කියල හිතන ලිපි බලපු සංඛ්‍යාව ඉතාම අඩුවීම . මම සාමාන්‍යයෙන් එදිනෙදා දේශපාලනික සිදුවීමක් හරි කොහේ හරි තැනක දැක්ක දෙයක් හරි , ටිකක් සැර විවේචනයක් හරි වෙනුවෙන් ලියපු ලිපි වලට එන ප්‍රමාණය , මම දවසක් දෙකක් ගත කරල ටිකක් සමබරව (මම හිතන විදිහට ) විග්‍රහයක් ලිව්වොත් ඒකට ඉන්න පාඨ්කයින් ගානට වඩා ගොඩක් වැඩියි . උදාහරනයක් විදිහට අන්තිමට ලියපු ලිපිය තමයි මාස තුනකට පස්සෙ අඩුම පිර්සක් බලපු ලිපිය , ඒක සම්පූර්න කරන්න දවස් තුනක විතර කාලයක ඉඳන් ලිව්වා . මගේ බ්ලොග් ඉතිහාසයේ දැනට ජනප්‍රියම ලිපිය ඊට ලිපියකට කලින් ලිපිය නාමල් ගැන එක ලියන්න ගතවුනේ මිනිත්තු 10ක් විතර , හිතට අදහස ආවා ලියල දැම්මා .


    මුල් කාලෙදි පොඩි දුකක් තිබුනත් දැන් නම් ගානක් නැ

    ReplyDelete
  5. හිට්ස් ගාන අඩු වැඩි උනාට ඇත්තටම සත්සමුදුර කියන්නේ බ්ලොග් අවකාශයේ තියන වැදගත්ම බ්ලොග් අතරින් එකක්. සමහර ජනප්‍රිය බ්ලොග් වගේ තේරුමක් නැති වල්පල් ලියලා ජනප්‍රියවනවාට ව‍ඩා වැදගත් දෙයක් අන්තර්ජාලයට එකතු කරන එකයි ගොඩක් වැදගත්. සිංහල බ්ලොග්කරණය රැල්ලකට ගියපු කාලේ මෙවැනි හොඳ බ්ලොග් අනිවාර්යයෙන් තියෙන්න ඕන.. ‍මොනව උනත් අන්තර්ජාලයට සිංහලෙන් එකතු වෙන මේ දැණුම සොයාගෙන සෙවුම් හරහා අනාගතයේ ගොඩක් අය මේ පැත්තට ඒවි. ස්තූතී ඔබ මේ කරන කැපවීමට. ඔබට ජය!

    ReplyDelete
  6. ස්තුතියි හැමදාමත් ඔබ වන මේ වෙහෙසට ,,, ජය පතනවා ...

    ReplyDelete
  7. මහන්සි වෙලා ලියන දේ කියවන ප්‍රමාණය අඩු වුනහම දුක තමයි. ඒත් මේ ලියන දේවල් මැකෙන්නේ නැහැනේ දිනේෂ් . කාට හරි පස්සේ වෙලාවක පරිහරණයට මේවා එකතු වෙනවා . අනික මේ වගේ ලිපි බලන හුඟක් දෙනෙක් කමෙන්ට් කරන්නේ නැහැ . මමත් සමහර වෙලාවලට ඔබේ ලිපි නිකන් බලල ගිය වෙලාවල් තියෙනවා . මොකද විවිධ ඉසව් වලින් ලියවෙද්දී තමන්ට බුද්ධි ගෝචර වෙන තැන වලදී තමයි යමක් ලියන්නේ හුඟක් විට . එහෙම නැතුව ''අනේ හරි ෂෝක්'' වර්ගයේ කමෙන්ට් ලියන්න සුදුසු තැනක් නෙමේනේ මේක . අධ්‍යාපන බ්ලොග් එකක් පවත්වාගෙන යන එක මන් හිතන්නේ ලොකු පින්කමක් . ලංකාවට ගියහම අක්කගේ ළමයින්ට බ්ලොග් කීපයක් අඳුන්වල දෙන්න ඉන්නේ . සත්සමුදුර ප්‍රධානයි. අනික මන් මුලින් ආපු කාලෙට වඩා දැන් මේක කියවනවා වැඩියි නේද . දිගටම ලියන්න . ජය

    ReplyDelete
  8. Many Happy Returns Of the day ....

    ReplyDelete
  9. හිට්ස් අඩුවීමෙන් ඔබේ බ්ලොගය අසාර්තකයි කියන්න බෑ.මම මේ වනතුරු කියවල තියෙන සිංහල බ්ලොග් අතරින් මන් වඩාත් අගය කරන බ්ලොගය සත්සමුදුර.මම හිතන විදිහට මේ වගේ දැනුමක් අපට වෙන කිසිම බ්ලොගයක් හරහා ලැබෙන්නෙ නෑ.මගෙ පුද්ගලික අදහසනම් දේශපාලන ලිපි කියවීමට වැඩිදෙනෙක් තුල කැමැත්තක් නෑ.මමත් එහෙමයි.සමස්ත අදහස ඒකද කියන්න මම දන්නෙ නෑ.මම කිව්වෙ මගෙ පෞද්ගලික මතය.

    ලිපියක් ලිවීමේදි ඔබ විසින් කරනු ලබන කැපවීම ශ්‍රේෂ්ඨයි.මම එය අගය කරනවා.සත්සමුදුරට සමකලහැකි සිංහල බ්ලොගයක් බ්ලොග් අවකාශයේම නැතිබව මේක කියවන කවුරුත් පිලිගන්න සත්‍යයක්.තවදුරටත් මෙවැනි හරවත් ලිපි කියවීමට අපට අවස්තාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනව.

    (සජී)

    ReplyDelete
  10. Well... May be the number of hits and comments are low for the blog. But what we learnt from them is invaluable. I have to admit, that this is my favourite, and I mostly goto other blogs through your කියවන්න වටින දේවල් links.

    Keep up the good job. All the best.

    (Sorry I do not have a Sinhala IME installed on the machine to type in Sinhala)

    ReplyDelete
  11. මේක ඉතාම සාර්තක බ්ලොග් එකක් . . දිගටම ලියන්න . .. හිටස් ෆොලොවර්ස් ලා නිකම්ම ඒවී . . . ජය

    ReplyDelete
  12. තමන්ට ලියන්න තියෙන දේ ලිවීම මිස ඒක කී දෙනෙක් කියවනවාද කියන එක හිතන්නෙ ඇයි? අන්තර්ගතයට රුචිකත්වයක් දක්වන අය ඒ ඒ ලිපි කියවයි. කවුරුත් ප්‍රිය කරන විශේෂ ඉසව් තියෙනව වගේම උන්නදුවක් නොදක්වන ඉසව්ද තියෙනව. ඉතින් එක් අයෙක්වත් වින්දනයක් ලබනවනම් ඒ ඇති මම හිතන්නෙ. මොකට ‍ඔය ඉලක්කම් කැරැකෙන විදිය බලනවද?
    තව තවත් හොඳ ලිපි ලියන්න.

    ReplyDelete
  13. ඔබේ බ්ලොග් අඩවිය ඉතා සාර්ථක බවයි මට ප්‍රකාශ කරන්න පුලුවන්. අපි බ්ලොග් ලියන්නෙ මොකටද? කියල ඔබ, ඔබෙන්ම ප්‍රශ්න කරන්න. අපි බ්ලොග් ලියන්නෙ සමාජය දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම සාර්ථක ලෙස සිදු වෙයි නම් එයින් ඔබේ උත්සාහයේ සාර්ථකත්වය පිලිබිඹු වෙනවා. ඔබේ බ්ලොග් අඩවිය නොයෙක් නොයෙක් මාතෘකා යටතේ සටහන් ලියැවෙනවා. මෑතකදී සිට මම නිති පතා ඔබේ සටහනකට යම්කිසි දෙයක් එකතු කිරීමට පුලුවන් නම් ඒක කරනවා. ඒ නිසා මේක මතක තබා ගන්න. ජනප්‍රියභාවය යනු වෙනම දෙයක්. ප්‍රයෝජනවත් බව වෙනම දෙයක්. මේ දෙකේ සම්බන්ධතාවයක් නැහැ. සමහර සටහන් දිහා මම බලන්නෙවත් නැහැ. ඒ, ඒ සටහන් වල ඇති හරයක් නැති නිසා. තව දෙයක් තියෙනව, ඒක හොඳට බැලුවමයි පේන්නෙ. කාන්තාවන් අතින් රචනය වෙන සටහන් වලට ප්‍රතිචාර වැඩියි. ඒ ස්වභාව ධර්මය යි. ඒ ලෝකයේ ස්වභාවයයි.

    ඔබ රචනා කල Mostly Murder පිලිබඳ සටහන දුටු විගසින් මගේ මතකය යලිත් අවදි වුනා. සතාසිවම් නඩුව අවසානයේදී ඒ නඩුව විනිශ්චය කල විනිශ්චය කාර තුමා විලියම්ට දුම්රියෙන් මාතර බලා යාමට තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන ලෙස පවා අණ කල බව එදා උදෑසන හතේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ගුවන් විදිලියෙන් මා අසා සිටියා මට අද වගේ මතකයි. මේ අපරාධය පිලිබඳ කිසිවක් නොදත් මහ ජනතාව, ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ට ශාප කලා. එතුමා ආපහු යන ගුවන් යානාව අනතුරකට පත් වේවා කියල ශාප කල බව ලංකාදීප පුවත් පතේ සඳහන් වුනා.

    ඔබට යහපතක්ම වේවා.

    ReplyDelete
  14. දිනේෂ්,

    රචකයෙකුට පාටක ප්‍රතිචාර තරම් වැදගත් දෙයන් නෑ තමයි... එත් ඒ ගැන එච්චර හිතන්නැතුව ඔයාගේ වැඩේ දිගටම කරගන යන්න... තව ඉස්සරහට යද්දී ..දියුණුවේ තරම ඔයාට හිතා ගන්නවත් බැරිවේවි... එදාට වැඩිය අද දියුණුයි නේද.... ? අනාගතයේ තවත් සරු වේවි... මේ වගේ යහපත් දේවල් සමග අපි නිරන්තරයෙන් රැදී සිටිනවා සහ හැකි සෑම විටම උපරිම ප්‍රචාරයක් ලබා දෙනවා...

    යෝජනාවක් කරන්න කැමතියි... හැබැයි එක කොච්චර ප්‍රායෝගිකද කියන්න මට තේරෙන්නෑ .. නරකද ඔයාගේ වෙබ් අඩවිය තව ටිකක් දියුණු කරලා.. නිකන් විකිපීඩියා එකෙන් වගේ සර්ච් කරලා විස්තර හොයා ගන්න ක්‍රමයකුත් හැදුවානම්... මේක නිකම් මට ආව අදහසක් විතරයි... කරන්ඩ පුලුවන්ද බැරිද කියලා කියන්ඩ තරම් මගේ පරිගණක දැනුම දියුණු නෑ. එහෙම පුලුවන්නම් හොඳ බව තමා මගේ අදහස... මොකද මේකේ එතරම් වැදගත් තොරතුරු තියන නිසා..

    ඔබට ජය !!!!!!!!!

    ReplyDelete
  15. මේ වගේම දිගටම ලියාගෙන ගියොත් සත් සමුදුර ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක් බවට පත් වෙනවා නිසැකයි. (දැනුත් ජනප්‍රියයි)

    ඕනෙම හොඳ දෙයක අගය මිනිස්සු වටහාගන්නෙ පරක්කු වෙලා නොවැ!

    ReplyDelete
  16. @මහේෂ් නිශාන්ත - ස්තූතියි! ඔව් මෙය ලාභ අපේක්‍සාවකින් තොරව කරගෙන යන බ්ලොග් අඩවියක්. ජනප්‍රියත්වය හා හොදම යන කාණ්ඩ දෙක එකට පෑහෙන අවස්ථා වගේම නොපෑහෙන අවස්ථාත් තියෙනවා. කොහොමවුනත් මුල් කාලයේ පාඨකයන් පැමීනීම හෝ නොපැමිණිම යම් කම්පනයක් ඇති කලත් අත්දැකීම් හා පාඨක රුචිකත්වයන් වටහා ගැනීමට ඇති හැකියාවන් අනුව දැන් එවැන්නක් සිතෙන්නේ නැහැ. මම මේ වගේ පසුවිපරමක් කරන්නට සිතුවේ මේ අවස්ථාව වන විට ‍මේ දක්වා පැමිණි ගම‍‍නේ ඉහලම ස්ථානයේ සිටියදී තමයි එය කරන්නට හොදම අවස්ථාව ලෙස සිතූ නිසයි...

    ReplyDelete
  17. දිනේෂ් සහෝ... මගේ ආසම බ්ලොග් 05 අතර තියෙන එක බ්ලොග් එකක් තමයි සත්සමුදුර... කවදා හරි දවසක මේක සත් සමුදුරක් තරමටම ලොකු දැනුම් සාගරයක් වේවි... එදිනෙදා බලන අයට වඩා මේ වගේ බ්ලොග් වලට එන්නේ යම් කරුණක් ගැන සෙව්මක් කරන අය තමයි... ඒක නිසා මේ බ්ලොගේ තියෙන ලිපි පරණ වෙන්නෑ. ඒවා හැමදාටම ප්‍රයෝජනවත්...

    ඔබ බ්ලොග් රචනය උදෙසා දරනු ලබන වෙහෙස සඳහා ගෞරව පූර්කවව ස්තුතිය පුද කිරීමට කැමතියි... දිගටම ලියන්න සහෝ... හදිසියේ, කලබලේ, තදියමේ කඳු නගින්න බෑ. ඒක ඉවසිල්ලේ කරන්න ඕනේ... ඔයා කවදා හරි කන්ද මුදුනටම එන එක ෂුවර්... ඒ නිසා අනෙක් මොනවා වත් ගණන් ගන්න එපා... කරපු විදියටම කරගෙන යං...

    සත්සමුදුරට ජයවේවා !!!

    ReplyDelete
  18. සත්සමුදුර මම මුලින්ම කියවන්න පටන් ගත්ත බ්ලොග් එක, මේ බ්ලොග් එක දැනුම් සාගරයක්.
    මම මුලින්ම දැක්කේ 2012 ගැන ලියපු එක, ඒක ටිකක් කියෙව්වා මට අනෙක් ලිපි කියවන්න වෙලාව තිබුනේ නැහැ මගේ අද්‍යාපන වැඩ වගයක් තිබුණු නිසා. එත් මේකේ තියෙන වැදගත් කම නිසාම මම බුක් මාක් එකක් වගේම ඉ මේල් ඇලට් දාගෙන තිබුනේ.දැන් මට නිවාඩු අද ඉඳල ඔක්කොම ටික කියවන්න පටන් ගන්නවා.
    තව ලියන්න සහෝ ඔබට ජය.

    ReplyDelete
  19. මම මුලින්ම සත් සමුදුර තේරුම් ගත්තේ "අයියෝ මාර කම්මැලි බ්ලොග් එකක් වගේ කියලා." හැබැයි කල් යද්දී අයියට පුළුවන් උනා ඒක වෙනස් කරන්න.මම මේක ඕන කමින් කියවන්න පටන් ගත්තේ "මහ පොළොව මත ඇදී ගිය අබිරහස් සිතුවම" ලිපියෙන්....එදායින් පස්සේ දිගටම කියවනවා.අයියට වරදින්නේ නෑ....නියම අඩවියක් වෙයි කල් යන කොට........:D

    ReplyDelete
  20. දීපාල් අයියා . මම වගේම මම වැඩ කරන ඉන්ස්ටිටියුට් එකට එන ගොඩාක් ළමයින්ට මම බලන්න කියන බ්ලොග් එකක් තමයි මේක ..පොඩි එවුන් හරිම ආසාවෙන් මේ බ්ලොග් එක කියවන්නේ . උන් කමෙන්ට් කරන්න නම් දන්නේ නෑ ..

    මේ බ්ලොග් එක නතර කරන්න නිකමටවත් හිතන්න එපා .. මේ කමෙන්ට් එක අපි හැමෝම වෙනුවෙන්

    ReplyDelete
  21. දිගටම ලියන්න..

    ReplyDelete
  22. හිතවත් දිනේශ්...

    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..මං ‍කැමති බ්ලොග් අතරින් ඉස්සරහම තියෙන බ්ලොග් එකක් සත් සමුදුර කියන්නේ.. පෞද්ගලිකව බැළුවම මං වැඩි පුර කැමති පෞද්ගලික අත්දැකීම් මත ලියවෙන බ්ලොග් වලට.

    ඒත් එහෙම නොවන බ්ලොග් කිහිපයකුත් තියෙනවා. ඒ අතරින් අංක එක ඔබ. ඒ වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි.. ලිපියක් තුළින් පිළිබිඹු වන ඔබේ මහන්සිය...

    ඇත්තටම ඔබ කිව්ව වගේ අපි මුල්ම කාලේ ලියපු සමහර වටිනා ලිපි පාඨක අවධානයට යොමු නොවීම අපරාධයක් තමා..ඔබට විතරක් නෙවෙයි ඒ ගැටළුව තියෙන්නේ..බොහෝමයක් බ්ලොග් කරුවන්ට ඔය දේ බලපානවා.

    හුග දෙනෙක් යම් ‍පාඨක අවධානයක් ලබා ගන්නා අවධිය වන විට ඔහුගේ හෝ අයගේ බ්ලොග් එකේ ලියවුන විශිෂ්ඨම ලිපි සෑහෙන ප්‍රමානයක් අතීතයට එකතු වෙලා. එහෙමත් කෙනෙක තමයි තමන් කියවන්න ගන්න බ්ලොග් එහෙක පරණ ලිපි කියවන්නේ.ඒත් එහෙම අයත් නැතිවා නොවේ.. මගේ පාඨක පිරිස අතර එහෙම අය වැඩියි. මගේ බ්ලොග් එකේ දිනපතා කමෙන්ට් කරන හුග දෙනෙක් මගේ පැරණි ලිපි පිළිවෙලකට කියවගෙන ආපු අය. ඇත්තටම ඒ වගේ අයට රචකයින් හැටියට අපි ගරු කරන්න ඕන. ලේසියෙන් කෙනෙක් එහෙම කැප වෙලා පැරණි ලිපි කියවන්නේ නැහැ. ඒත් හරි අපූරු මිනිසුන් ඉන්නවා එහෙම පැරණි ලිපිත් හොය හොයා කියවන.

    මං දකින කමෙන්ට්ස් වැඩි බ්ලොග් හුගකම ශක්තිය අන්න ඒ වගේ අයයි.

    ඊට අමතරව වරින් වර ඇවිත් යන උදවියත් ඉන්නවා. සමහරු දිගටම අපිත් එක්ක ඉන්නවා..සමහරු එක්තරා අවස්ථාවකදී අපව හැර යනවා.. ඒ ‍අපේ බ්ලොග් එක නීරස වීම හෝ..ඔවුන් ගේ පෞද්ගලික අපහසුතාවයන් වැනි දේවල් මතයි..

    කොහොම උනත් වැදගත්ම දේ හැටියට මං දකින්නේ අපි ලියන්න ඕන..දිගටම ලියන්න ඕන. කවුරු කොහොම අපි ගැන හිතනවද කියන එකවත්..අදහස් දක්වනවද කියන එකවත් නෙවෙයි වැදගත්..අපි කොයි තරං අපේ ලියමනට සාධාරණයක් කරනවාද කියන එකයි වැදගත්...

    මගේ දැක්ම අනුව ඔබ තාමත් ඔබේ ලිපිවලට සාධාරණයක් කරන කෙනෙක්...

    හැකි සෑම වේලාවකදීම ඔබ සමග සිටින මා..මාරයා...

    ReplyDelete
  23. මම සත්සමුදුර බ්ලොග් එක කියවන්න අරන් ලොකු කාලයක් නෑ. ඒත් මම ගොඩක් ලිපි කියවලා තියනවා. මේකෙ තියන කරුණු හරිම සිත්ගන්නා සුළුයි. මීට ගොඩකාලෙකට කලින් පළවෙලා අවසන් වුනු “කල්පනා“ සඟරාව කියෙව්වා වාගේ දැනෙනවා.
    මා ගාව තාමත් ඒ සඟරාවෙ පිටපත් කිහිපයක් තියනවා. ඔබට තව බොහෝ දුර යන්න මම සුභ පතනවා.

    ReplyDelete
  24. කමෙන්ට් වලින් ජනප්‍රියත්වය මනින්න බෑ දිනේශ් අයියේ. ඔබේ බ්ලොග් අඩවිය මා දන්නා තරමින් ජනප්‍රියත්වයෙන් උපරිමයි. ඔබ ඉතා වෙහෙස වී ලියන ලිපි කියවන්න එන හැම වරකම ඔබ ගැන මගේ සිතේගෞරවයක් උපදිනවා. අන්තර්ජාලයේ සිංහලෙන් දැනුම සොයන්නන්ට ඔබේ සත් සමුදුර ඉතාමත් වටිනවා

    ReplyDelete
  25. @buwa - ස්තූතියි! ඔබ මුහුණ දීපු අත්දැකීම මම කිහිපවිටක් අත්වින්දා හැබැයි මම ඒ වෙලාවල යම් පසුබෑමකට ලක්වූවත් එය බ්ලොග්කරණය අවසන් කිරීමට තරම් හේතුවක් කර නොගත්තේ අවංකවම ගත්තොත් ලිපියක් ලෙස ලියන්නේ මුලින්ම අප කැමති වගේම දෙවනුව පාඨකයා කැමතිවේයයි සිතන දෙයක්නේ. අප කැමති නොවන දෙයක් නම් එය කොතරම් වචන වලින් පිරෙව්වත් එය සාර්ථක ලිපියක් වේ යයි සිතන්නට බැහැ.

    ගුලාග් ලිපිය ලියන්නට ගතවූ කාලය මට මතක හැටියට සති දෙකකට කිට්ටු විය යුතුයි.

    පොල්පොට් ලිපියට දින හතරක් ගතවුනා.

    පිරමීඩ ගැන අවසන් ලිපිය ලියා අවසානයේ පින්තූර දමා අවසන් වන විට අළුයම 1 ත් පසුවී තිබුනා.

    මම දැන්නම් ඒ ගැන කලකිරීමක් නැහැ. නමුත් එදා ඒ ලිපි වලට ලැබූ අවධානය ගැන පොඩි දුකක් නොතිබුනා නොවෙයි.

    හැබැයි ඔබලා දැන් ‍වැඩියෙන් බලපු ලිපි 10 අවසානයට තිබෙන වසර 70 ක් පරණ යුද්දයක පින්තූර ලිපිය හදන්නට ගතවුනේ විනාඩි 10 ක් එය හැදුවේ දහවල් කෑමට යන්නට පෙර එදා සවස් වන විටම එය මේ ලැයිස්තුවට ඇවිත්, රේඩාර් සොයා ගැනීමට පෙර ලිපියත් එහෙමයි උදේ 5.15 ට විතර ඒක හදන්න පටන් ගත‍්තේ විනාඩි 15 න් ඉවරයි. ඒ කාලයත් ගියේ තව අමතර ඡායාරූප ටිකක් හොයන්න.

    ඔය ඉස්සර කාලේ සැත්කම් කරන්න ගත්ත අවි ආයුද ලිපියට ගියේ විනාඩි 30 ක් වගේ මතක. ඒ ලිපිය පලකරම්දෝ නොකරම්දෝ අදහසින් දින කිහිපයක්ම ඉදලා තමයි එක් උදෑසනක එය පලකරේත. ඒ වෙලාවේ හිතට නැගුන සරල අදහස් සහිතව පල කල ලිපිය එක් දිනකින් වැඩිම නැරඹූ ලිපි ලැයිස්තුව අතරට ආවා.

    ඉතින් ඔබට වගේම මටත් පේන දෙයක් තමයි බ්ලොග් ලිපිවලට ලැබෙන ප්‍රතිචාරයත් අපිට පෙරසිටම නිර්ණය කරන්නට නොහැකි බව...

    ReplyDelete
  26. ඇත්තටම මම ඔබගෙ බ්ලොග් අඩවිය බොහොම ආසාවෙන් නොවරදවාම කියවන එකක් වුනත් කොමෙන්ට් කරන්නෙ අඩුවෙන්. හේතුව ඔබගෙ ලිපි වලට නිකම් ලියන්නන වාලේ කටට එන දෙයක් ලියා යාම නුසුදුසු නිසා. කොමෙන්ට් අඩු ලිපියක් දැක්කොත් නම් මම මොනව හරි ලියනවා. ඒත් කොමෙන්ට් වලින් නම් ඔබේ පොස්ට් වල වටිනා කම මනින්න එපා. හිට්ස් ගැන මට ඉතින් වැටහීමක් නැහැ.අදත් කොමෙන්ට් නොකර යන්න හදලා ආපහු හැරිලා මේ ටික කෙටුවෙ.
    කොහොම වුනත් මම නම් නවීන තාක්ෂණයට වඩා වැඩියෙන් කැමති අතීත තොරතුරු ගැන තියන ලිපි වලට.

    ReplyDelete
  27. @Yohan Kanishka | යොහාන් කණිෂ්ක,Sanjaya සිතුවිලි, සජී, BLOG ගඩොල්, ඉන්දික, මකුළුවා, හිස් අහස,රූ, විසිතුරු | visituru සහ Luckey - බොහොම ස්තූතියි, කමෙන්ටු හා Hits වලින් ලිපි පිළිබදව කිරා මැනීමකට යන්න අදහස් කලේ නැහැ. මොකද ඒ සෑම එකක්ම ලියන්න ගත් පරිශ්‍රමය හොදින්ම දන්නේ මා නිසා ඒ සෑම එකක්ම එකසේ වටිනාකමෙන් යුක්තයි. ඒ වගේම වරදවා වටහා ගන්න එපා බ්ලොග්කරණයෙන් ඉවත්වෙන්න සිතා ලියූ ලිපියක් නෙමේ මෙය. මේ දක්වා ආ ගමන් මගේ පසුවිපරමක් තමයි සිදුකලේ. එක එල්ලේ දුවන අතරේ මෙබදු ලිපියකින් ඉදිරි ගමනට වැදගත් වන කරුණු දැනගැනීමට තමයි මෙබදු ලිපියක් පල කරන්නට සිතුවේ...

    ReplyDelete
  28. @Bindi - බොහොම ස්තූතියි! හැබැයි ඉතින් තව වසරකින් වයසට ගිය දිනයක් තමයි අද :D
    ඔව් ඔබ කියන එකේ සත්‍යයක් තියෙනවා. මෙක සඟරාමය බ්ලොග් අඩවියක් කියන එක සෑහෙන්න දුරට පැහැදිලියි. සඟරාවක් සමහර විට අද නොකියෙව්වත් පසුව කියවන්න ඉඩකඩ තියෙනවා. ඔව් සැහෙන්න හොද ප්‍රගතියක් තියෙනවා. මේක ඇත‍්තෙන්ම පසුවිපරමක් එහෙමත් නැත්නම් ස්වයං විචාරයක් කිව්වත් වරදක් නැහැ. කොහොමවුනත් විවිද විවිද අදහස් ගන්නට මේක හොද අවස්ථාවක් වුනා. අද දිනයත් ටිකක් කාර්යයබහුලයි ඒ නිසා අනිත් මිතුරන්ට හෙට දිනයේ පිළිතුරු දෙන්නට සිතා සිටිනවා...

    ReplyDelete
  29. මමත් සෑහෙන කාලෙක ඉදන් සත්සමුදුරට ආවා මම නොදන්න ගොඩක් දේවල් මෙතනින් ඉගෙන ගත්තා හැම ලිපියටම කමෙන්ට් කිරීම අතපසු උනත් හැම ලිපියක්ම වගේ කියවනවා.... සත්සමුදුර කියන්නේ මම දකින හොදම බ්ලොග් අතර ඉන්න එකක්

    ReplyDelete
  30. @Buddhika Sanjeewa - Thanks friend.Yea, the blog successful in not really depends on comments or hits or followers. However, they could be useful for future modification. Please go to http://www.siyabas.lk/sinhala_how_to_install.html and you have the opportunity to choose which Unicode version is suitable with your operating system.

    ReplyDelete
  31. දිගටම ලියන්න. ජය.

    ReplyDelete
  32. දිනේශ් ඔබ ඔය කියන ජනප්‍රියත්වය අඩු බව හෝ කමෙන්ට්ස් අඩු කම ගැන කතා කරන්න යන්නේ නැතුව මං කැමතියි මං අහල තියෙන එක පුංචි කතාවක් ගැන කියන්න.

    රුසියාවේ හිටපු එක් මහා සංගීතවේදියෙක් වරක් රඟහලක දී තමන්ගේ නිර්මාණයක් වේදිකාගත කරලා තියෙනවා. කොහොම වුණත් ඔහුගේ මේ වටිනා නිර්මාණය රසවිඳින්න එදා ඇවිල්ලා තියෙන්නේ බොහොම අඩු ප්‍රේක්ෂක පිරිසක්. හැබැයි මේ පිරිස අතරේ මැක්සිම් ගෝර්කිත් ඉඳලා තියෙනවා. කොහොම වුණත් පසුව තමන්ගේ නිර්මාණය රසවිඳින්න ආපු පිරිස ගැන කතා කරපු අර මහා සංගීතවේදියා කියලා තියෙන්නේ මේ තරම් උසස් නිර්මාණයක් රසවිඳින්න මෙතරම් සුළු පිරිසක් ආවත් ඒ පිරිස අතරේ ගෝර්කි වගේ කෙනෙක් හිටියනේ ඒ මට ඇතියි කියලයි.

    ඔයා මේ වැඩේ දිගටම කරගෙන යන්න. දෙන්න පුළුවන් සහාය උපරිමයෙන්ම දෙමි.

    ReplyDelete
  33. This is a favorite blog of mine too. It is the only one of its kind in Sinhala blog sphere. Don't count on hits too much. You have a pretty good readership. So keep it up.

    -Asanga Chandrawansa

    ReplyDelete
  34. මේක ඉතාම වටිනා බ්ලොග් එකක්. ඔය කමෙන්ට්ස්, හිටිස් වැඩි නොවුනට හරියට බලන හොඳ පාඨක පිරිසක් ඔබට ඉන්නවා. මුලින්ම මමත් හිට්ස් ගැන නම් හිතුවා දැන්නම් මට බලන ගාන වැඩිය වැදගත් නැහැ. කවුරු හරි බලනවනේ. ඒ ඇති. ඔබ බ්ලොග් අවකාශය අලෝකමත් කිරීමට සිටින බ්ලොග්කරුවෙක්. ජය පතනවා.

    ReplyDelete
  35. @දුකා, ``` Outsider```, වෛද්‍ය සරත් ගුණතුංග මහත්මයා සහ උදාර, වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි! ඇත්තෙන්ම කියනවා නම් මේ වගේ ලිපියක් ලියවෙන්නේ මේ කියලා තිබෙන කරුණු අනුව ඒ ඒ සාධක ඌනතාවයක් ඇති අවස්ථාවක තමයි. ඒත් මම ලිව්වේ උච්චතම අවස්ථාව සිටියදී, හැබැයි එයට සමස්ථ බ්ලොගයේ කාලවකවානුව සමාලෝචනය කිරීමකින් පසුව තමයි ලිව්වේ. ඒ අවස්ථාවල ඒ කියන්නේ මේ බ්ලොග් ලිවීම ආරම්භක අවස්ථාවල hits සහ කමෙන්ට්ස් අඩුවීම ගැන කම්පනයක් ඇති වුනත් දැන් ඒ ගැන අවධානය යොමුනොකරන හේතුවුන කාරණා කිහිපයක් කිව හැකියි. ‍

    මොන බ්ලොග් රචකයා වුනත් මුල් අවධියේ ආශාවක් දක්වනවා මේ කියන සාධක වල ඉහල ඉලක්කම් වලට නමුත් කාලයක් යද්දී අත්දැකීම් හා මේ ක්‍ෂෙත්‍රයේ හැඩගැසීම් අදුරා ගැනීමත් සමග ඒ ඒ ආකල්පයන්ගෙන් දුරස්වෙනවා.

    ඒ වගේම බ්ලොග්කරුවන් තමන් ලියන්නට යොමුවන කැටගරියත් මෙයට බලපානවා. එයම තමයි විවිදාංගීකරණයට ලක්වූ බ්ලොග් අඩවියක වුනත් එක් අයෙකු කැමති ලිපි වගේම තමන්ගේ විශයපථයට අදාල නොවන හෝ අකමැති ලිපි බැලීම හෝ නොබැලීම කෙරෙහි යොමුවෙන්නෙත්.

    Followers වෙනම තැබුවහොත් යම් ලිපියකට ලැබෙන hits හා එයට ලැබෙන කමෙන්ටු මත ලිපියේ සාර්ථකත්වය තීරණය කරන්නට නොහැකි බව නම් ඇත්ත ඒත් ඉදිරයේදිත් එම ලිපියට සම්බන්ධයක් තියෙන ලිපි තවදුරටත් පලකරනවාද? නැද්ද? යන්න නිර්ණය කිරීමට එය යම් ආධාරකයකයක් වේවි.

    Followers ලෙස එකතුවෙන හැමෝම නිතර බ්ලොගයට නොඑන්නත් සමහර විට follower ලෙස එක්වූ අවස්ථාවේ පමණක් එම අඩවියට පිවිසුන කෙනෙකු වන්නටත් පුළුවන්. ඒක අපට වුනත් සිදුවූ දෙයක් ඇතැම් අඩවි වල අපි Follower කෙනෙක් වුවත් නැවත එම අඩවියට යෑම මඟහැරුන අවස්ථා තිබෙනවා.

    කොහොමවුනත් මේ ලිපියෙන් යම් විවෘත සංවාදයකට එළඹෙන්න ලැබුන එක සතුටක් ‍මොකද සත් සමුදුර වගේ සඟරාමය බ්ලොග් අඩවියක බ්ලොග්කරණය කියන මාතෘකාව කතා කෙරෙනවාට වඩා කිසියම් තේමාවක් ඔස්සේ ලියවෙන නිසා මේ වගේ අවස්ථාවල තමයි එම ලිපියෙන් පරිභාහිරව බ්ලොග් අඩවිය ගැන තිබෙන ආකල්ප හෝ නව අදහස් විවෘතව ලබාගන්නට හැකි වෙන්නේ...

    ReplyDelete
  36. @චතුරංග පෙරේරා | chathuranga Perera,ItalyDilan, Praසන්ன සහ Asanga Chandrawansa - ස්තූතියි! මට වුනත් හැම ලිපියකටම කමෙන්ටු දාන්න අපහසු අවස්ථා තියෙනවා. මොකද සමහර විශය ක්‍ෂෙත්‍ර අපට හුරුපුරුදු නැති නිසාත්, මේ කමෙන්ටුවලම දැක්වුන විදියට "හොදයි, තව මේ වගේ එවම ලියන්න කියන එක" ඇතැම් අවස්ථාවල එතරම් අවස්ථානෝචිත නොවන නිසා නිහඬවම යන්න වෙනවා...

    ReplyDelete
  37. @මාරයාගේ හෝරාව - ස්තූතියි මිත්‍රයා, ඔබ දරන අදහසටම සමානවම වාගේ අදහසක් තමයි මගේ තියෙන්නෙත්. ඒ නිසා වෙන්න ‍ඕන ඔබ ලියූ ලිපියක් මටත් එයට සමානබවක් ඇති ලිපියක් ලියන්නට සිත් පහල කරන්නට ඇත්තේත්. අප දරන අදහස ඇතැම් විට බ්ලොග්කරුවන් රැසකට ඇති. සමහර විට ඔවුනුත් මීට සමාන හෝ වෙනස් ආකාරයකින් මේ දේවල්ම කිව්වත් තවත් සමහරෙක් මෙවැනි දෙයක් විවෘතව පැවසීමට අකමැතිත් ඇති.

    ඔබ පවසන පරිදිම මටත් දැනී ඇති පරිදි බ්ලොග් අඩවියට නිතර යන එන අයට අමතරව අප පල කරන කිසියම් ලිපියකට ඇති නැඹුරුව නිසා එය කියවීමට පැමිණ ඇතැම් අය ඉන්පසුව දිගටමත් අනෙක් අය විටින් විට හා තවත් අය ඉන් පසුව නොපැමිනෙන අවස්ථාත් තිබෙනවා ඇති.

    ReplyDelete
  38. @Senna - ස්තූතියි! සිංහල විකිපිඩියාවට කරුණු ඇතුළු කරන්නට ආරාධානා කිහිපයක්ම තිබුනත් කාලය පිළිබද ගැටළු හා තවත් දුරක් බ්ලොග් අඩවිය ගමන් කල පසු එය කරන්නට සිතා සිටින නිසා තවම එය කරන්නට නැඹුරුවුනේ නැහැ. කොහොමවුනත් ඔබගේ යෝජනවාව බෙහෙවින් අගය කරමි...

    ReplyDelete