Sunday, September 18, 2011

කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරය

අද වගේ නෙමේ එදා ඒ කියන්නේ මීට වසර 100 කට පෙර විද්‍යාඥයෝ යම් කිසි නව නිපැයුමක් සොයාගත්තහම ඒක විශාල ප්‍රවෘත්තියක් වුනා. අද වුනත් ඒ තත්වය නැත්තෙම නැහැ. නමුත් අද කාලයේ එසේ සොයා ගන්නා දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට ඉතා ඉක්මනින් භාවිතය පැමිණියත් එදා කාලයේ එසේ වුනේ නැහැ වගේම දෙයක් සොයා ගන්නට අවශ්‍ය තාක්‍ෂනික පහසුකම් වුනත් අද තරම් දියුණු මට්ටමක පැවතු‍නේ නැහැ. එම විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නිපැයුම් හෝ අත්හදා බැලීම පිළිබදව ඔවුන් විසින්ම තැබූ සටහන් හෝ පුවත්පත් වල එම සොයා ගැනීම් මීට වසර 100 කට හෝ ඊටත් පෙර දක්වා තිබූ අයුරු අද බලමු.

අප දන්නා ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (ALEXANDER GRAHAM BELL) ගේ ‍නොදන්නා පරීක්‍ෂන 
දුරකථනය සොයා ගත්තේ කවුදැයි ඇසු‍වොත් ලෝකයේ නොදන්නා අය ඇත්නම් ඒ ඉතා අල්පයක් විය යුතුය. මන්ද මේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් යන නාමය එතරම්ම දුරකථනය හා සම්බන්ධයි. ඔහු එම සොයා ගැනීමෙන්ම නතර වෙලා නැහැ. මේ තියෙන්නේ 1881 දී බෙල් විසින් ජාතික විද්‍යා ඇකඩමියට සිය සොයාගැනීම පිළිබද ඉදිරිපත් කල නිබන්ධනය පසුව පොතක් ලෙස ඉදිරිපත් කල අයුරුයි. එහිදී ඔහු විකරණශීලී මූලද්‍රව්‍ය යොදාගෙන කල පරීක්‍ෂන වාර්තා සටහන් කර තිබෙනවා. එසේම එහි ඔහු විසින් අදින ලද ඇතැම් පරීක්‍ෂන වල රූප සටහන්ද ඇතුලත්.






ඔබට මෙම පොත මුළුමනින්ම කියවන්න සිතක් පහලවුනා නම් මෙතනින් එය ලබා ගෙන කියවිය හැකියි.
UPON THE PRODUCTION OF SOUND BY RADIANT ENERGY.

ඔබ ප්ලාස්ටික් භාවිතා කරන්නෙක් නම්Leo Hendrick Baekeland ගැන දැන සිටිය යුතුමයි.
Leo Baekeland, ඔහු තමයි ප්ලාස්ටික් යුගය ලෝකයට ගෙනාවේ. ප්ලාස්ටික් යුගය කියල එකක් මානව ශිෂ්ඨාචාරයේ නැහැනේද කියලත් ඔබට සිතේවි. එහෙම නැහැයි කියල කියන්නත් බැහැ. මොකද ගල් වලින් උපකරණ තනා ගෙන වැඩ කල යුගය ගල් යුගය නම්, ඊට පසුව යකඩ සොයා ගෙන තව වැඩකටයුතු පහසු කරන උපකරණ තනා ‍ගෙන වැඩ කල යුගය යකඩ යුගය නම් ප්ලාස්ටික් යුගයකුත් නැතිවෙන්න බැහැ.

බරින් හා නිපදවීමේ ක්‍රියාවලියද සංකීර්ණ වූ ලෝහ වලට වඩා සෑම අතින්ම පහසුවූ ප්ලාස්ටික් නිසා පසුකාලීනව නව නිපැයුම් බොහෝමයකට එයින් ලද පහසුව අද අපේ ජීවිතය මෙතරම් පහසුවිදියකට ගත කරන්නට එක් හේතුවක් වූ බව නොරහසක්. එයට ස්තූතිය හිමිවිය යුතු විද්‍යාඥයන් රැසක් සිටින්නට ඉඩ ඇතත් එයින් ප්‍රමුඛයා බෙල්ජියානු සම්භව්‍යයකින්ද යුතු මෙම ඇමරිකානු විද්‍යාඥ්‍යයායි. පොදුවේ ප්ලාස්ටික් ලෙස හදුන්වන 1907 දී සොයාගත් මෙම නිපැයුම ඒ කාල‍යේ හදුන්වලා තියෙන්නේ BAKELITE නමින්.
ඔබට මෙම පින්තූරයෙන්ම වැටහේවි එදා මෙම Backlite කොතරම් වැදගත්වූවාදැයි ඒ වන විටත් භාවිතා කරමින් තිබූ විවිද ලෝහ යොදා තැනූ උපකරණ වෙනුවට මෙම නව ද්‍රව්‍ය භාවිතා කිරීම.


එහි රසායණික නාමය තමයි polyoxybenzylmethylenglycolanhydride.

ඇත්තෙන්ම පසුකාලයක ජපානය වගේ රටවලට කාර්මික ක්‍ෂෙත්‍රයේ මෙතරම් දුරක් එන්නට යම් අත්වැලක් වූයෙත් මෙවැන් ප්ලාස්ටික් වර්ග සොයාගැනීමත් එක් හේතුවක් කියල කියන්න පුළුවන්. මොකද ජපානය ලෝහ වර්ග ස්වාභාවික වශයෙන් ලබාගත හැකි ප්‍රවණාතාව අඩුම රටක්. ඉතින් ඔබටම පේනවා ඇති ජපන් මෝටර් රථ වල ඔවුන් හැකි තරම් ලෝහමය කොටස් වෙනුවට මෙවැනි නොයෙක් ප්ලාස්ටික් වර්ගවලින් ඒවා තනා ඇති බව. ඔවුන් පසුකාලීනව විවිද ගුණාංගයෙන් යුතු ප්ලාස්ටික් නිපදවනන්ට ඇති තමයි. ඒත් එහි මුල අඩිතාලම 1907 දී දමා දුන්නේ Leo Baekeland විද්‍යාඥයා කියන එක රහසක් නොවෙයි.

මෙතනින් ඒ ගැන තව විස්තර දැනගන්න පුළුවන්.
A Modern Chemist's Magic

කොහොමවුනත් ප්‍ලාස්ටික් පිළිබදව අදුරු පැත්තද සටහන් කල යුතුමයි. ඉක්මනින් නොදිරන වගේම ඇතැම් විට ස්වාභාවිකව ‍නොදිරන ද්‍රව්‍යයක් වන ප්ලාස්ටික් නිසා අද පරිසර දූෂනයට එයින් වන බලපෑම අතිශයින්ම වැඩියි. ඒ වගේම අවිධිමත් ලෙස පරිසරයට ප්ලාස්ටික් මුදාහැරීම නිසා ඒවා නොදැනුවත්ව ආහාරයට ගැනීමෙන් අහිංසක සතුන් රැසක්ම සිය ජීවිතය කෙලවර කර ගන්නා බවද සිතට ගත යුතුයි.

කාන්තා විද්‍යාඥයින් අතර ප්‍රමුඛයා Madame Marie Curie
Marie Curie මැතිනිය ගැන අපි මුලින්ම දැනගත්තේ අපගේ පාසල් පෙලපොත් ඇසුරෙන්මයි. එතුමිය තමයි විද්‍යාඥයන්ගේ ලෝකයේ මේවන තෙක් කාන්තා නියෝජනයේ ප්‍රමුඛතම තැනැත්තිය. ඉතා කැපවීමෙන් තම ජීවිතය ගොඩනගා ගත් ඇය විද්‍යාව වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය පවා සෑහෙන්න කැපකල තැනැත්තියක්. 1934 දී සිය ජීවිතයෙන් සමුගැනීමට පවා ඇයගේ මෙම විද්‍යාව වෙනුවෙන් කැපවීම එක් හේතුවක් වුනා. මන්ද ඇය සිය පර්යේෂන සිදු‍කිරීමේදී විකිරණවලට නිරතුරුවම ලක්වීම නිසා ඇතිවූ රෝගී තතවයක් වන Aplastic anemia නම් රෝගයට බදුන්වීම නිසයි.

ඇයගේ දක්‍ෂතාවට කොතෙක් දුරටද කියතොත් ඇය තමයි ප්‍රථමයෙන්ම රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන ක්‍ෂෙත්‍ර දෙක සදහාම නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබුවේ.  ඒ වගේම ඇය තමයි ප්‍රථ‍ම නොබෙල් ත්‍යාගලාභී කාන්තාවත්. 1903 දී ඇය Pierre Curie සහ Henri Becquerel යන අය සමග විකිරණශීලතා සංසිද්ධිය සොයා ගැනීම සදහා කරන ලද සේවය වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. ‍එහෙත් ඇයට හා ඇයගේ ස්වාමියාවූ Pierre Curie මහතාට ස්ටොක්හෝම් වෙත ගොස් එය ලබාගැනීමේ අවස්ථාවට සහභාගීවීමට හැකියාව ලැබුනේ නැහැ. කෙසේවෙතත් එම ත්‍යාගය සමග ලැබුන මුදලද ඇය සිය පර්යේෂන සදහාම යොදාගත්තා. මේ ත්‍යාගයන් ලැබීමත් සමගම ඔවුන් දෙදෙනාම අතිශයින් ප්‍රසිද්ධියටද පත්වුනා. ඒ කෙතෙක්ද යත් සෝබෝන් විශ්වවිද්‍යාලය පියරි කියුරිට මහාචාර්ය පදවියකින් පවා පුදනු ලැබූ අතර ඔහුගේම වූ විද්‍යාගාරයක් ගොඩනංවා ගැනීම සදහා වූ අවසරයද ලබා දෙනු ලැබුවා. තවද අප කතානායිකාව වන මාරි කියුරි මැතිනියට  පර්යේෂන අධ්‍යක්‍ෂක තනතුරද හිමිවූවා.


එයින් වසර 8 ක් ඉක්ම ගිය තැන මෙම අද්විතීය කාන්තාව සිය දෙවන නොබෙල් ත්‍යාගය ලබන්නේ රසායණ විද්‍යාව වෙනුවෙන්. ඒ රසායණ විද්‍යාව වෙනුවෙන් කරන ලද ඉහල පර්යේෂන නිසා විකිරණශී මූලද්‍රව්‍යයන් වන radium සහ polonium සොයාගන්නට ලැබුන නිසාවෙන්.
1911 දී ලද නොබෙල් ත්‍යාගය
එහෙත් ඇයට එම සුවිශේෂ ‍මොහොතේ ලද සතුට බෙදා හදාගන්නට ඒ වන විට ඇයගේ සැමියා වූ  පියරි කියුරි නම් සිටියේ නැහැ. ඒ ඔහු ජීවතුන් අතරින් සමුගෙන තිබීම නිසයි. 1906 දී එක් අධික වැසි දිනයක Rue Dauphine හිදී අශ්ව රියකින් වැටී එහි රෝදවලට යටවීමෙන් ඔහුගේ හිස් කබල පිපිරීමෙන් මිය ගිය අතර ඒ වන විටත් ඔහුද විකිරණවලට නිරාවරණය වීමෙන් දුර්වල තත්වයට පත්වෙමිනුයි සිට ඇත්තේ. කොහොම වුනත් ඔහුගේ මරණයට එය කිසිදු ආකාරයකින් ඍජුව බලපා තිබුනේ නැහැ.

මිය යන විට සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් දරමින් සිටි පියුරි කියුරිගේ මහාචාර්ය පදවිය ඔහු වෙනුවෙන්ම ලබාදුන් එකක් වූ අතර එය තවදුරටත් පවත්වා ගනිමින් එය සහ ඔහු විසින් කරගෙන යනු ලැබූ පර්යේෂන ඉදිරියට කරගෙන යාමේ වගකීමත් පැවරෙන්නේ මාරි කියුරි මැතිනියටයි. ඒ සමගම ඇය සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම මහාචාර්යවරිය බවටද පත්වනවා.

නොබෙල් ත්‍යාගය බෙදාහදා ගත් ගත් පිය-පුතු සුසංයෝගය
පියෙකුට සහ පුතෙකුට එක්ව නොබෙල් ත්‍යාගය ලැබීමට හැකිනම් එය අතිශයින්ම දුර්ලභවගේම සුවිශේෂම අවස්ථාවක් වේවි. එම වාසනාව ලැබූ පියෙක් සහ පුතෙක් 1915 දී ලෝක ඉතිහාසය තුල අපිට හමුවෙනවා. ඔවුන් දෙපල තමයි William Henry Bragg සහ William Lawrence Bragg. මොවුන් දෙදෙනා 1915 දී භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබීමට වරම් ලබන්නේ X-rays සහ crystal structures වෙනුවෙන් කරන ලද පර‍්යේෂන වෙනුවෙනුයි.

මෙහි ඇති තවත් සුවිශේෂී තත්වයක් වන්නේ කනිෂ්ඨ Bragg මෙම සොයාගැනීම් කරන අවධියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ පර්යේෂන සිසුවෙකු වූ විගසම වීමයි.

තව මෙවැන් සුවිශේෂ විද්‍යාඥයින් කිහිපදෙනෙකු ගැන ඊලඟ ලිපියේදී කතාකරමු...


12 comments:

  1. මේ සීරීස් එකට නම් මම සෑහෙන්න කැමති වෙයි. ලියමු එහෙනම්!

    ReplyDelete
  2. @are :-) - හොදයි...හොදයි. තව කොටස් තියේවි මේ ලිපියේ...

    ReplyDelete
  3. මෙතන සමහර ලොකුනම් තියෙන පර්යේෂකයින් නමින් තියෙන පරීක්ෂන ඇත්තටම හිමිකරුවන් ඔවුන් නොවෙයි කියල මතයක් තියෙනව..
    මෙතනදි ඉස්සර තිබුනෙ පරීක්ෂනාගාර අයිති අයෙගෙ හෝ කැම්පස් වල හිටපු ටිකක් ලොකු අයගෙ නමින් ගිහිපු පරීක්ෂණ ගනනාවක් සඳහන් වෙනව...බොයිල් නියමය,චාල්ස් නියමය,නිවුටන්ගේ සමහර මතවල හිමිකරුවන් ඔවුන් නෙමෙ කියල මම අහල තියෙනව...

    ReplyDelete
  4. ඇත්තටම මම මෙතන ඉන්න කීප දෙනෙක්වම දැනගෙන හිටියේ නෑ

    ReplyDelete
  5. ස්තුතියි .....DNA පරීක්ශනය ගැනත් ලියමුද? ඒ ගැන ලස්සන කතාවක් තියනවා කියලා මම අහලා තියනවා.

    ReplyDelete
  6. Very informative.
    Pls keep your writing
    -From Tokyo

    ReplyDelete
  7. ඉතාම හොඳ ලිපියක්

    ReplyDelete
  8. හරිම හොඳයි දිනේෂ් . මමත් කැමතියි මේ වගේ ලිපි වලට

    ReplyDelete
  9. වටිනා ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  10. @Thusitha (දිමා), Sayuri ,ItalyDilan ,Ano, Zeus, Bindi සහ උදාර - ඔන්න හැමෝටම ස්තූතියි කිව්වා. ඒවගේම Indi කියන විදියට මේ නිර්මාණ මීට කලින් බිහිකරපු විද්‍යාඥයන් සිටින්නට පුළුවන් ඒත් එයට නිල හිමිකම ගත්ත කෙනා තමයි ඉතින් ඒ දේ සොයාගත් ගෞරවය දිනා ගන්නේ.

    DNA සොයා ගැනීම ගැනත් ඉදිරියේදී ලියමු...

    ReplyDelete
  11. ස්තුතියි මේ වගේ ලිපි පළ කරාට

    ReplyDelete