-->

Wednesday, March 30, 2011

ආසියාවේ හෘදසාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් හෙවත් Cambodian guerrilla (the Khmer Rouge) commander Pol Pot

මුලින්ම ලිපිය පටන් ගැනීමට කලින් පොඩි දෙයක් කියන්න ඕන. මේ ලිපියත් සත් සමුදුරේ එක් සංධිස්ථානයක් කියන්න පුළුවන්. මේ ලිපියට අවශ්‍ය මූලාශ්‍ර හා අදහස ලබා දුන්නේ සත් සමුදුරේ පාඨකයෙක් වන උදාර මිතුරා විසින්. මේවගේ තවත් මූලාශ්‍ර කිහිපයක් ඔහු විසින් සහ ස්වාමීන්වහන්සනමකුත් එවා තිබෙනවා. ඒවාට අදාල ලිපිත් නුදුරු අනාගතයේදීම සත් සමුදුරේ පල කරන්න බලාපොරොත්තුවෙනවා. ඒවගේම තවත් පාඨක මිතුරෙක් මූලාශ්‍ර ලබා ගත හැකි ස්ථාන කිහිපයක් පිළිබදවත් දැනුවත් කරල තියෙනවා. මේ සෑම දෙනාටම ස්තූතිවන්ත වෙමින් ඔබටත් යම් මාතෘකාවක් පිළිබද මූලාශ්‍ර හා අදහස් තියෙනවා නම් ඒවා ගැන දන්වන්න පුළුවන්නම් ඒ ඔස්සේත් අපට හරවත් මාතෘකා ගැන සාකච්ඡාකිරීමේ අවස්ථාව තිබෙන බවද මතක් කරමින් අද ලිපිය අරඹමු.

කව්ද මේ පොල්පොට්?

පොල්පොට් කියන නම අහල නැති කෙනෙකුට නම් ඒ නම ටිකක් විහිළුවක් වගේ පේන්නත් ඉඩ තියෙනවා. ඒත් දන්න අය නම් දන්නවා නම විතරක් නෙමෙයි පුද්ගලයාත් විහිළුවක් නොවන බව. ඔහු තමයි 1975 සිට 1979 දක්වා කාම්බෝජයේ පාලකයා වගේම දල වශයෙන් මිලියන 1.7  ක් වූ මිනිසුන්ගේ ජීවිත අහිමි කල කෙමර්රූජ් සංවිධානයේ අනදෙන නිළධාරියා නැතහොත්එහි නායකයා (මෙම 1.7 යන අගය ලේඛණගත දත්ත සැකසීමේදී ගන්නා ලද අවම අගයක් වන අතර සත්‍ය අගය මෙයට වඩා ඉතා අධික වන බව වෙනස් වෙනස් මූලාශ්‍ර සැසදීමේදි පෙනීයයි). ඒ වගේම කාම්බෝජය ඔහුගේ භීෂනාකාරී මෙන්ම අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා කාම්බෝජය උගතුන් බුද්ධිමතුන්ගෙන් තොර නිසරු බිමක් වූවා පමණක්‍ නොව එරට ආර්ථිකය හා සංවර්ධනය දශක කිහිපයක් ආපස්සට ගෙන ගිය බවද අවධාරනයෙන්ම කිවයුතුයි.

පොල්පොට් උපත ලැබුවේ 1925 දී කා‍ම්බෝජයේ Kompong Thom කියන පලාත. ඔහුගේ නියම නම Saloth Sar. ඒ අවධියේ කාම්බෝජය බෞද්ධ රටක් වගේම එය ප්‍රංශ යටත් විජිතයක්. මෙම පොල්පොට්ගේ පවුලේ අයට එරට රාජකීයන් සමගත් සබදතා තිබුනා. ඔහුගේ ඥාති සහෝදරියක් එරට ‍රජු වූ Sisovath Monivong ගේ භාර්යයාවක්. ඔහුගේ සොහොයුරිය සහ සහෝද‍රයාත් රජ මාලිගාවේම ප්‍රබලයන්. කෙසේවෙතත් අප කතානායකයාගේ කුඩා කාලය දෙමව්පියන්ගේ නීති රීති වලට යටත්වූ කාලයක් බවත් කියවෙනවා.

ඔබට හිතෙන්න පුළුවන් මෙබදු ම්ලේච්ඡ ක්‍රියාසිදුකල මොහු නූගතෙක් කියා. නැහැ. ඔහු 1948 දී ප්‍රංශයට යන්නේ රේඩියෝ ඉලෙක්ට්‍රොනික් පිළිබද ඉගනීමටයි. එහිදී ඔහු එ‍රට කොමියුනිස්ට් පක්‍ෂයටත් සම්බන්ධවෙනවා. ඒවගේම ඔහුට එහිදී  Khieu Ponnary නම් කාන්තාව මුණ ගැසෙනවා. ඇය තමයි කා‍ම්බෝජයේ Khmer කියන ජනවර්ගයෙන් ප්‍රථම වරට සරසවි උපාධියක් ලබා ගත් තැනැත්තිය. ඇය හා පොල්පොට් 1956 දී විවාහ වෙනවා. ප්‍රංශයේදී ඔහුට මිතුරන් කිහිපදෙනෙක්ද සිටිනවා. ඔවුන් නම් Khieu Samphan, Ieng Sary, සහ Son Sen යන අයයි. අපූරුම කාරණයවන්නේ පොල්පොට් හා මෙම මිතුරන් කණ්ඩායම අමුතුවෙන් දාගත්ත නමකින් කණ්ඩායම්ගත වී සිටීමයි. පොල්පොට්ම තමයි මෙම නම දෙන්නේ. ඒක තමයි “Khmaer Da’em” එහි තේරුම නමි “Original Cambodian” යන්නයි. හැබැයි අනෙක් මිතුරන් නම් මෙම කණ්ඩායමට වෙනත් නම් කිහිපයකුත් භාවිතා කරනවා “Free Khmer” සහ “Khmer Worker” තමයි එම නම්. 1970 මැද භාගයේදී Saloth Sar තමන්ගේ නම ලෙස භාවිතා කරන්නේ පොල්පොට් (Pol Pot) කියන නමයි. මෙම නම බිදි ආවේ Politique Potentelle යන නමෙන් වන අතර එහි අර්ථය වූයේ සක්‍රීය දේශපාලඥයා යන්නයි.

නිදහස සොයා සටනේ ....
1953 දී නැවත පොල්පොට් සිය රටට පැමිනෙනවා. ඒ ඔහු සිය පාඨමාලවද අසාර්ථක කරගෙන. දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමගම කාම්බෝජයේ නිදහස් සටන එසේත් නැත්නම් ප්‍රංශ යටත් විජිතයෙන් මිදීම සදහා සටන් ආරම්භවී තිබෙනවා. මේ අවධියේ වියට්නාමයත් කොමියුනිස්ට්වරු ප්‍රංශයෙන් නිදහස ලැබීමට සටන් කරන අතරම දෙරටේම පොදු සතුරාවූ ප්‍රංශයට එරෙහිව සටනට පොල්පොට් එක්වෙනවා. වියට්නාම්වරු, පොල්පොට්ට උගන්වනවා කොහොමද ගම්බද ජනතාව සටන් සදහා සංවිධානය කරන්නේ කෙසේද යන්න. නමුත් මෙම ගුරුහරුකම් වලින් ජනතාව පෙල ගැස්සීමේ කාර්යයභාරයත් ඔහු අසාර්ථක කරගන්නවා. මේකට හේතුව තමයි ඔහු රජ මාලිගය ආශ්‍රිතව හැදුන වැඩුන ප්‍රභූ පවුලක අයෙක් නිසා ඔහුගේ අහංකාරකමත් සහ මාන්නාධික කමත් තිබීම. අනෙක තමයි ඔහු වියට්නාම්වරු සමග අමනාපයෙන්ද සිටියා ඔහුගේ විදේශීය අත්දැකීම සලකා ඔහුව ඉතා ඉක්මනින්ම මෙම විරෝධතා ව්‍යාපාරයේ ඉහල තනතුරක් නොදීම ගැනත්‍.

අහිමි වූ කිරුල...
1953 දී ප්‍රංශය විසින් කාම්බෝජයට නිදහස ප්‍රධානය කරනු ලබනවා. එරට පාලකයා බවට පත්වන්නේ නොරදම් සිහනුක් (Norodom Sihanouk) රජතුමායි. මේ ක්‍රියාදාමයත් සමග පොල්පොට් සහ අනෙකුත් රැඩිකල් විප්ලවවාදීන් යටපත්වීමත් සිදුවෙනවා.

පොල්පොට් Phnom Penh වෙත සංක්‍රමණය වෙන අතරම ඔහු නැවතත් එරට කොමියුනිස්ට් ආණ්ඩුවක් ගෙන ඒමේ ව්‍යාපාරයකුත් ගෙන යනවා. පොල්පොට්  තම පක්‍ෂය වන the Workers Party of Kâmpŭchéa හි ඉහලට යන අතර එහි නම පසුව Communist Party of Kâmpŭchéa හෙවත් CPK ලෙසද වෙනස් කරනවා. 1963 දී ඔහු එහි මහ ලේකම් ධූරයට නැතහොත් ඉහලම නායකයා බවට පත්වන අතර ඔහුට කලින් එම තනතුර දැරූ කලින් බෞද්ධ හිමිනමක්ද වී සිටි පුද්ගලයා අභිරහස් ලෙස අතුරුදන් වීමද සිදුවෙනවා.

1963 ජූලි වන විට Phnom Penh සිට කාම්බෝජයේ ඊසාන දිග කදුකරය වෙත යන්නේ ගරිල්ලා කදවරක් ස්ථාපනය කිරීමටයි. 

1967 වන විට CPK සංවිධානය රජයට ‍එරෙහි ගරිල්ලා මෙහෙයුම් පටන්ගන්නා ලදි.
කෙසේවෙතත් සිහනුක් රජුගේ පාලනයටද ජනතා කැමැත්ත දුරස් වෙමින් පැවතුනි. එයට හේතුව ඔහු සාම්ප්‍රධායික මත වල එල්බ ගත් වැඩවසම් මානසිකත්වයෙන් යුත් පසුගාමී පාලන තන්ත්‍රයක් ගෙන යාමයි. ඔහුගේ කාලයේ රාජ්‍ය දූෂණය වර්ධනයවීම කැපී පෙනුන අතර ජනතාවද දිනෙන් දින  දුගී බව ‍හිනි පෙත්තට නගින්නට විය.

කොමියුනිස්ට්කරණයට බියෙන් සිහනුක් පාලනය පොල්පොට් ඇතුළු කොමියුනිස්ට් යැයි කියවුන පිරිස් මර්ධනයද කරමින් සිටි නිසා නගරයෙන් බැහැරව සිටි  CPK වැනි සංවිධාන වලට මුල් කාලයේ එරට ගැමි ජනතාවගේ සහයද ලැබුනි.

කෙසේවෙතත් 1966 දී ඇරඹි වියට්නාම් යුද්ධය වියට්නාමයට පමණක් සීමාවූවක් නොවීය. එහි අමිහිර ප්‍රතිවිපාක බුක්තිවිදීමට අහිංසක කාම්බෝජවැසියන්ටද සිදුවිය. එයට හේතුව උතුරු වියට්නාම ගරිල්ලන් කාම්බෝජයේ  රහසිගත යුද කදවුරු ගොඩනැගීම හා සැපයුම් මාර්ග කාම්බෝජය හරහා යොදා ගැනීමයි. මේ නිසා ඇමරිකානු යුද යන්ත්‍රණයේ ගොදුරක් වීමට කාම්බෝජයට නිතැතින්ම සිදුවන බව හොදන් පෙනී ගියේය. සිහනුක් රජුට වියට්නාම යුද්ධයේ ගොදුරක් බවට කාම්බෝජය පත්වීම වැලකීමට උවමනාව තිබුනත් ඔහුගේ පාලනයේ අකාර්යක්‍ෂමබව නිසා එයින් ගැලවීමේ හැකියාවක් ඇතිබවක්ද නොපෙනින.

එසේම මේ අවධිය වන විට කෙමර්රුජ් ගරිල්ලා සංවිධානයද පොල්පොට් විසින් බිහිකර තිබූ අතර කෙමර්රුජ් යනු ප්‍රංශ බසින් රතු කෙමර්වරයා හෙවත් රතු කාම්පුචියානුවන් යන්නයි  (Khmer Rouge - French for “Red Khmers”).

කරුණු මෙසේ සිදුවෙද්දී සිහනුක් රජු 1970 දී චීනයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අගමැති ජනරාල් Lon Nol  හා Sisowath Sirik Matak  කුමරු විසින් සිහනුක් රජු සිහසුනෙන් නෙරපා පාලන බලය සියතට ගත් අතර ඔවුන්ගේ ක්‍රියාපටිපාටියට ඇමරිකාවේ පූර්ණ ආශිර්වාදය හා සහයෝගය ලැබිනි.

මෙයට අමතරව 1969 වන විට කාම්බෝජයේ කදවුරු බැද සැගව සිටින වියට්කොන් ගරිල්ලන් ඉලක්කොට ඇමරිකානු B-12 බෝම්බ .හෙලන යානා රහසිගත මෙහෙයුමක් දියත් කරන ලදි.  1969 සිට 1974 දක්වා වසර පහක් මෙම රහසිගත මෙහෙයුම වියට්නාම යුද්ධයට පරිභාහිරව ලෝකයට රහසිගතව සිදුකරන ලද අතර ඔවුන් විසින් හෙලන ලද බෝම්බ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 490,000 පමණ වෙතැයි පැවසේ. මෙම කාලය තුල මිය ගිය සංඛ්‍යාව පිළිබද නිසි සංඛ්‍යාලේඛණ පැවසීම අපහසු අතර අඩුම තරමින් කාම්බෝජයේ කෙමර්වරුන් පමණක් 100,000 ක් පමණ වත් මියයන්නට ඇතැයි සැලකේ.

මමයි රජා...
වසර අටකට පසු එනම් 1975 අප්‍රේල් 17 වන දිනදී පොල්පොට්ගේ කෙමර්රුජ් ගරිල්ලා කණ්ඩායම කාම්බෝජයේ Lon Nol පාලනය බිද දමා රාජ්‍ය බලය ලබා ගන්නා ලදි. 




















Khmer Rouge fighters celebrate as they enter PhnomPenh on April 17, 197

ඒ සමගම කාම්බෝජය හැදින්වූයේ ප්‍රජාතාන්ත්‍රික කැම්පුචියාව ලෙසයි Democratic Kâmpŭchéa (DK). මේ සමගම කාම්බෝජය බාහිර ලෝකය හා තිබු සබදතාද කපා දැමීමට පොල්පොට් ක්‍රියා කලේය. එසැනකින්ම ශුන්‍ය වසර නැතහොත් Year of Zero නිවේදනය කළේය. මෙයින් ඔහු අදහස් කලේ නැවුම් කාම්බෝජයක් නිර්මාණය කිරීමට නම් පැරණි මතකයන් ඉවත් කල යුතුයි. විදේශීය ආභාෂයන්, බුද්ධිමතුන්, මුදල්ථ පොත් පත්, පාසල් සහ තවත් ඔහු විසින් නම් කල බොහෝදේ එසේ නව රටක් බිහිකිරීමට බාදකයන් බව පැවසූ ඔහු ශුන්‍ය වසර තුල අතීත සැමරුම් නැති ශුද්ධවූ වසරක් ලෙස සලකා මෙම නම් කිරීම සිදුකලේය.

කාම්බෝජය තුල කිසිදු විදේශිය භාෂාවක් හෝ උප භාෂා භාවිතය තහනම් කල අතර උපැස් යුවල් පැලදීම, මියගිය ඥාතීන් අනුස්මරණය, අහාර ගබඩාකර තබා ගැනීම, අතීතය ගැන කල්පනාකිරීමත් පොල්පොට්ගේ නීති පද්දතිය යටතේ සපුරා තහනම් දේවල්විය.

අසල්වැසි රටවල් වන ලාඕසය, වියට්නාමය හා තායිලන්තයටද ඔහු පහර දුන්නේය. ඔහු මෙම සියළු මුග්ධ ක්‍රියා සිදුකලේ නැවත කාම්බෝජය තුල පැරණි නැතිවූ දේශය (“lost territory”) ස්ථාපනය කිරීමටයි. මෙමගින් ඔහු කාම්බෝජයේ බහුතර ජනවර්ගය වන කෙමර් වරුන්ගේ පවිත්‍රතාවයක් ඇති කිරීමටයි (Seeking to restore the “purity” of the Khmer race (the ethnic majority in Cambodia).

ඔහුගේ පැරිස් මිතුරන් හැර වෙනත් කිසිදු විදේශවලට ගොස් ශිල්ප හැදෑරූ කිසිවකුට කාම්බෝජය තුල ඉඩක් නොතිබූ අතර ඔවුන් මෙලොවින් තුරන් කිරීමේ වැඩ පිළිවෙලක්ද ආරම්භවිය. එසේම කෙමර් වරුන් නොවන අයට, විශේෂයෙන් වියට්නාම් ජාතිකයන්ටද ඉහත ඉරණමේ හිමිකරුවන් වීමට සිදුවිය.

උගතුන්ට පමණක් නොව ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් යනාදී සමාජ සංස්ථාව තුල සාධනීය කාර්යයභාරයක් ඉටුකල සෑම කොටසකටම මරණ වරෙන්තුව නිකුත්කිරීමට පොල්පොට් ප්‍රමුඛ කෙමර්රුජ් වරු දෙවරක් නොසිතීය. නූගතුන් සමාජයට වෛර කරන්නන්ගෙන් පිරි එම සංවිධානයේ පහලම ස්ථර මෙම ක්‍රියාදාමයේ අර්ථය නොදන්නවුන් අතර ඔවුන්ට ලේ පිපාසිත බාවය තව තවත් වර්ධනය කරන විනෝදජනක කටයුත්තක් වූ මෙය සමහරෙකුට අකමැත්තෙන් වුවද සිදුකල යුතුවූයේ ඔවුන් එම ක්‍රියාදාමයෙන් ඉවත්වුවහොත් ඔවුන්ටද සිය සංවිධානයේ ගොදුරක් බවට පත්වන බව හොදින් දැනසිටි නිසයි.

නමුත් පොල්පොට්ගේ සි‍තේ තිබුනේ වෙන දෙයකි‍. ඔහු බිය වූයේ උගතුන් බුද්ධිමතුන් තව දුරටත් කා‍ම්බෝජයේ ඉතිරව සිටියහොත් ඔවුන් සංවිධානගතවී තමන්ට එරෙහිව කටයුතුකරාය යන බිය හා ඔහු තුලද උගතුන් කෙරේ වූ වෛර සහගත සිතුවිල්ලයි‍.
An undated photograph shows forced laborers digging 
canals in Kampong Cham province, part of the massive 

agrarian infrastructure the Khmer Rouge planned for the 
country



ඔහු මුලින්ම අනුගමනය කලේ වියට්නාමයේ කොමියුනිස්ට් ක්‍රමයයි. එහෙත් ක්‍රමයෙන් ස්ටාලින්වාදී කොමියුනිස්ට් ක්‍රමයකට ගිය ඔහු පසුව ඔහු එයින්ද ඉදිරියට ගොස් තමන් විසින්ම ගොඩනැගූ අමුතුම කොමියුනිස්ට් වාදයක් කරා යොමුවිය. එය ස්ටාලින්වාදී, මාවෝවාදී, නට්සිවාදී මෙන්ම ජාතිවාදී වූ දුර්ධාන්ත දේශපාලන න්‍යායක්විය.

ර‍ටේ තිබූ ආහාර අහේනියද නොසලකා සහල් චීනයට අපනයනය කල අතර රටේ වනන්තර වල සිටි දුර්ලභ සතුන්ටද චීනය බලා අපනයනයවීමට සිදුවිය. එසේ අපනයනය කල ‍දේවල් වෙනුයෙන් ඔහු කාම්බෝජයට ආනයනය කලේ අවි ආයුදයි.

අදේව වාදය කරා කාම්බෝජය පරිවර්ථනය කිරීමේ “පින්වත්” කාර්යයට අතගැසූ පොල්පොට් ප්‍රමුඛ කෙමර්රුජ් බල ඇනිය බෞද්ධාගම එරටින් තුරන් කිරීමේ “පව්කාර” වැඩේද පටන්ගත්තේය‍.  බෞද්ධ හිමිවරුන්ට අඩම්තේට්ටම් කිරීම හා එතෙක් ගෞරවනීය තත්වයකින් කාම්බෝජය තුල ලබා දී තිබූ තත්වය අහිමි කරන ලදි. පන්සල්, පෞරානික නටඹුන් හා බෞද්ධ ප්‍රතිමා විනාශ කර දමන ලදි.  අනෙක් ආගම් ඇදහූවන්ටද මෙයන් වෙනස් හිමිකමක් නොලද අතර ඔවුන්ටද ඉක්මනින් මරුවා දැකීමේ වරම් උදාවිය.

මොනව තිබුනත් වදකාගාර තියෙන්න නැතුව ඇති...
වදකාගාර කාම්බෝජයේ නොතිබුනා යයි ඔබ සිතනවාද. නැහැ පොල්පොට් ගේ කෙමර්රුජ් සංවිධානයටද වදකාගාර සංස්කෘතියෙන් මිදිමට නොහැකි විය. එයින් ප්‍රධානත්වයක් ගත්තේ Security Prison 21 හෙවත් S-21 ලෙස හැදින්වූ වදකාගාරයයි. මෙය Phnom Penh හි පිහිටා තිබූ අතර මෙය  පෙර ශිල්ප බෙදා දුන් විදුහලක් වූ අතර එය නමින් the Tuol Svay Prey High School විය. 1975 අගෝස්තුවේදී මෙය සිරකදවුරකින්ද සමන්විත වදකාගාරයක් බවට පරිවර්ථනය කල අතර ගොඩනැගිලි 5 කින් සමන්විත වූ මෙම සංකීර්ණයේ පංති කාමර සියල්ල සිරකුටි බවට පත් කරන ලදි. ‍ජනෙල් වලට යකඩ පොලු සවිකොට එයට කටුකම්බිද යොදා අවහිර කරන ලදි.  බිම් මහලේ පංතිකාමර තවත් බෙදා ඒවා එකක් 0.8 x 2 meters ප්‍රමාණයේ කුඩා සිරකු‍ටි බවට පත් කරන ලදි.
S-21 Tuol Sleng Prison wasformerly a school

මෙම දුර්ධාන්ත සමයෙන් පසු සිදුකරන ලද අධිකරණමය ක්‍රියාදාමයන් වලදී මෙම ස්ථානයේ නිලධාරියෙකුව සිටි කලින් ගුරු‍වරයෙකුද වූ Comrade Duch තමන් සිදුකල අපරාධවලට සමාව අයැද සිටි අතර ඔහු එම සිරකදවුරකින්ද සමන්විත වදකාගාරයේ තත්වය හෙලිකලේය. ඔහුගේ කරුණුවලට අනුව මෙම ස්ථානයේ කාර්යයමණ්ඩලය ලෙස 1720 දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගේ රාජකාරිද විවිද වි‍ය. ඔවුන් අතර සිරකුටි මුර කරන්නන්, කාර්යාල කටයුතු කරන්නන්, සි‍රකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නන්, සාමාන්‍ය වැඩ කටයුතු කරන්නන් විය. මොවුන් අතරින් වැඩි දෙනෙක් අවුරුදු 10 -15 අතර ගැ‍ටවර වියේ වූවන් වු අතර ඔවුන් ඒ ඒ ක්‍රියා සදහා විශේෂයෙන් තෝරා පුහුණූව ලබාදුන් අය විය.  හරිහැටි අධ්‍යාපනයක් සම්පූර්ණනොකල මෙම අය ක්‍රමයෙන් බිහිසුනු පුද්ගලයන්බවට පත්වන්නටවි‍ය. කෲරත්වය හා කිසිවකුට ගරුනොකරන පිරිසක්වූ මොවුන් වැඩිහිටි සිරකරුවන්ට පමණක් නොව තව සඟයන්ටද කිසිදු තෙතමනයක් නොදැක්වූ බවද කීවේය. එසේම මෙම ස්ථාන වල වෛද්‍ය කටයුතු පැවරී තිබුනේද මෙම මෝඩයන් පිරිසටයි.

මෙම ස්ථානයේ සිරකොට වදදි මරාදැමූ සංඛ්‍යාව ඉලක්කම් පහේ සංඛ්‍යාවක් හෝ ඊටත් වැඩි බව පැවසෙන අතර මෙම ස්ථානයේ සිරබත් කා ජීවතුන් අතර සිටින බවට තොරතුරු ඇත්තේ 12 දෙනෙකුගේ පමණක් බව කියයි.
එසේම මෙම ස්ථාන වල සිටි සිරකරුවන්ගේ එකිනෙකාගේ වෙනවෙනම විස්තර හා ඡායාරූපද කෙමර්රුජ්වරු තබා ගත් අතර 1979-1980 අතර කාලයේදී මෙම ඡායාරූප ඔවුන්ගේ ලිපිගොනුවලින් වෙන්කරන ලද නිසා අද වන විට මෙම ඡායාරූපවල සිටින්නන්ගේ විස්තර නොදන්නා කමින් ඒවා නිර්නාමික තත්වයට වැටී තිබේ. දැන් මෙම පින්තූර S-21 වධකාගාරය පිහිටි තැනම පිහිටුවා ඇති the Tuol Sleng Genocide Museum  හි ප්‍රදර්ශනය කරනු ලබයි. කෙමර් භාෂාවෙන් Tuol Sleng යනු  “Hill of the Poisonous Trees” නැතහොත් “Strychnine Hill” යන්නයි.

Thousands of children died in S-21 Tuol Sleng


පොල්පොට්ගේ අභිප්‍රාය...
මෙසේ කිරීමෙන් ඔහු යත්නදැරුවේ කාම්බෝජය තුල නැවතත් බලසම්පන්න, කෘෂිකර්මාන්තය මත පදනම වූ ආර්ථිකයක් සහිත මධ්‍යතන යුගයේ පැවති අන්කෝර් රාජධානිය බිහිකිරීමයි (In an effort to rebuild the powerful, agriculture-based economy of the medieval Ângkôr kingdom)‍. එසේම ඔහු එම කාර්යය ඉටුකර ගැනීමට බාදක ලෙස නාගරිකකරණය, මුදල් භාවිතය, උගත් බුද්ධිමත් බව දුටුවේය. ස්ටාලින්ගේ බලහත්කාර කම්කරුශ්‍රමය යොදා ගන්නා ගුලාග් කදවුරු, යුක්රේනය වැනි රටවල 1930 දශකයේ ඇතිකල කෘතිම සාගත වැනි ‍දේ සහ චීනයේ සංස්කෘතික විප්ලවය වැනි දේට ලොභ බැදි  පොල්පොට් ඒවා අනුගමනය කරමින් කම්කරු ජනතාවට වඩා ගොවි ජනතාවට රට සමෘධිමති කිරීමේ කාර්යය සිදුකල හැකි බවට මිත්‍යාවිශ්වාස තම සිතේ රෝපණය කර ගත්තේය.
අන්කොර් රාජධානියේ ස්වර්ණමය යුගයේ ඉදිකල  අන්කොර් වට් පන්සල
කෙමර්රුජ්වරුන්ගේ දහම වූයේ අන්කා (Angkar) දේශපාලන දහමයි. එයද සියවසට නොගැලපෙන්නක් වූ අතර ඒ දහමට අනුව නම් නැවත ප්‍රාථමික ජීවන රටාවකට ගොස් ක්‍රමයෙන් තාක්‍ෂනික යුගයක් කරා  පිය නැගිය යුතුවිය. එම දහම තුල නාගරිකත්වය පිලිකෙව් කර අතර පොල්පොට්ගේ අභිලාශයවූයේ රටේ සෑම පුරවැසියෙකුම ගොවියකු කර එමගින් ඔහු ස්ව්‍යංපෝශිතවී එයින් රටද ස්ව්‍යංපෝශිතවී ඉන් පසු  තාක්‍ෂනික යුගයක් කරා පිය නැගීමයි. (Pol Pot said, “If our people can make Angkor, we can make anything.” His victory in 1975 was of “greater significance than the Angkor period.”)

රජය විසින්ම එරට නගර වල වැසියන් ඉවත් කොට නගර හිස් කරන ලදි. අඩුම වශයෙන් මිලියන දෙකක පමණ ජනගහණයක් කඩිමුඩියේ ඉවත් කරන ලද බවපැවසේ‍. එසේ හිස් කරනු ලැබූ නගර වල සිටි ජනතාවට පිටිසර ගම්බිම් කරා යාමට සිදුවිය. එසේ ගම්වැදුන ජනතාවට සමූහ ගොවිපලවල් වල අධික ලෙස  වැඩ කිරීමට සිදුවූ අතරම කෑමබීම නැතිව හාමතේම එම රාජකාරිය ඉටුකල යුතුවිය. මෙම ගොවිබිම් Cheoung Ek හෙවත් Killing Fields නමින් හැදින්වින.
Cheoung Ek හෙවත් Killing Fields

Stupa which houses the skulls of those killed by the Khmer Rouge at Choeung Ek


එසේම ඔවුන්ට ලෙඩ රෝගවලට ගොදුරුවී මියැදීමටත් සිදුවිය. විවාහකයන්ගේ පවුල දෙකඩ කල අතර කුඩා දරුවන් අතිමහත් බහුතරයක් ඉතාමත් සාහසික ලෙස මරා දමන ලද්දේ වචනයෙන් විස්තරකිරීම පවා අපහසු සිත කීරි ගැහෙන ආකාරයේ ම්ලේචඡත්වයකිනි. පොල්පොට්ගේ දුර්ධාන්ත පාලන සමය තුල දල වශයෙන් මිලියන 1.7 ක් නැතහොත් ලක්‍ෂ 17 ක් හෙවත් කාම්බෝජයේ ජනගහනයෙන් 20% ක් පමණ අධික ලෙස වැඩකර, නිරාහාරවද සිට මරණ මංචකය කරා අවාසනවන්ත ලෙස යාමට සිදුවිය.

එසේම ඔහුගේ අනුශාසනා හා මෙහෙයවීම යටතේ කෙමර්රුජ්වරු එකවර මිනිසුන් දස දහස් ගණනක් හෝ ඇතැම් විට ලක්‍ෂයද ඉක්මවිය හැකි මිනිස් ඝාතන සිදුකල අතර කාම්බෝජය පුරා තවමත් එම මරාදැමුන මිනිසුන්ගේ හිස්කබල්, ඇට කැබලි හමුවන බව පැවසේ. මෙවැනි එක් සුප්‍රසිද්ධ තැනක් ලෙස Choeung Ek දැක්විය හැකිය.

මෙම සිරකරුවන්ට කතා කිරීම, කල්පනා කිරීම පවා තහනම් වූ අතර ආහාර නොලැබුන තරමක්ය. මෙසේ කුසගින්නේ සිටි අසරණයන් අඩුම තරමේ හූනෙකු මරාගෙන කෑවත් එයද තම දිවි අවසන් කරගැනීමට හේතුවක් විය. තම උගත්කමද සඟවාගෙන සිටීම ඇඟට ගුණ වූ අතර එය වැරදීමකින් හෝ දැන ගැනීමද අභාග්‍යසම්පන්න ඉරණමක හිමිකරුවෙකු‍වීමට හේතුවක් විය.

කාම්බෝජයේ සිටි ගෝත්‍රික මුස්ලිම් ජනයාටද අත්වූ ඉරණම ඔබට අමුතුවෙන් කිවයුතු නැත. දරුවන්ද තම මව්පියන්ගෙන් වෙන්කරන ලද අතර ඔවුන් කෙමර්රුජ් සංවිධානය යටතේ අන්කා දර්ශනය අනුව ඇතිදැඩි කරන ලද අතර යෞවනයන් විවාහ විය යුත්තේද සංවිධානය විසින් සොයාදෙන මනාලයා හෝ මනාලිය විය. මෙමගින් දෙදෙනාගේම තොරතුරු නිරතුරුවම සංවිධානය වෙත ලබා ගැනීම අරමුණවිය.

මෙවැන්නෙකුවටා මිනිසුන් ඒකරාශී වුයේ ඇයි?
පොල්පොට් හට තනිවම කිසිදා මෙබදු දෙයක් කිරීමට නොහිකිබව ඔබටත්, මටත් පිළිගැනීමට සිදුවන සත්‍යයකි. ඔහුට භයානක සංවිධාන පද්දතියක්ගොඩ නගා ගැනීමට ඔහු මුල් කාලීනව භාවිතා කල කොමියුනිස්ට් දර්ශනය මෙන්ම ඔහුතුල පැවතුනා යයි කියන චර්යාරටාවන්ද හේතුවු බව තතුදත් අය කියයි.
ඔහු ආචාරශීලී අයෙකුලෙස හැසිරුන බව කියයි. ගතිපැවතුම්ද මෘදු ස්වභාවයක් ගත්තේය. කථනයට වඩා ශ්‍රවණයට මුල් තැන දුන් නිසා එයද මිනිසුන්ගේ සිත් පැහැර ගැනීමට හේතුවී ඇත. මෙසේ ක්‍රමයෙන් මිනිසුන් වසඟයට පත්වීමත් සමගම කාම්බෝජයේ බලාපොරොත්තුවද ඔහුම විය.

එසේම ඔහු වියට්නාමයට එරෙහිවූවෙක් නිසා ඇමරිකානු හා බ්‍රිතාන්‍ය යන රටවල නොමද සහයද ලැබුනබව කියන අතර ඔහුට අවශ්‍ය අවි ආයුද හා යුධ පුහුණුවද රහසිගතව ලබා දුන් බව කියවේ. මේ තත්වය ඔහු බලයෙන් පහවූ පසුවද තිබුන බව කියන අතර පොල්පොට් ප්‍රමුඛ කෙමර්රුජ් ඝාතක‍යින් අධිකරණයට ඉදිරිපත් කර යුක්තිය පසිදලීම වැලකීමට ඇමරිකාව ක්‍රියාකොට තිබුනේ එවිට තමන් රහසිගතව කාම්බෝජයට කරන ලද යුද අපරාධදද හෙලිවන බව දන්නා නිසයි. එසේම කොමියුනිස්ට් දර්ශනය මත පදනම් වූ පාලනයක් නිසා චීනයේ සහයද පොල්පොට් පාලනයට ලැබුනි.

පොල්පොට් පාලන කාලය තුල කිසිදු සංවිධානයක් හෝ රටක් සම්භාදක හෝ තහංචි පනවා නොතිබූ අතරම රටවල් 63 ක් ඔහුගේ පාලනය පිළිගෙනද තිබුනි.

කළුගලේ ඔළුව ගසා ගැනීම සහ සැනසුම් සුසුම්...

 වියට්නාම හමුදාව ප්‍රජාතාන්ත්‍රික කැම්පුචියාන 1979 ජනවාරි 7 වනදා ආක්‍රමණය කරන ලදි. ඒ වියට්නාමයට එරෙහිව කෙමර්රුජුවරු සිදුකල පහර දීමට එකටෙක කිරීමක් ලෙසටයි. ප්‍රංශය සමග ඉන්දු - චීන යුද්ධයේ ජයග්‍රහනයත්, ඇමරිකාව සමගත් යුධ වැද ජයග්‍රහණයකර, ගරිල්ලා යුධ ශිල්පයේ තෙම්පරාදුවී සිටි වියට්නාමය සමග හැප්පෙන්නට යාම මෝඩකමක් මිස වෙන කුමක්ද?  පොල්පොට් සහ ඔහු සමග අවශේෂව සිටි පිරිසට පසුබැසීම විනා වෙන විකල්පයක් නොවූ අතර ඔවුන් තායි- කාම්බෝජ දේශ සීමාව වෙත පැන ගිය අතර නැවත බලය ලබා ගැනීම සදහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක්ද සැලසුම් කරමින් කඳවුරු බදින්නට විය.

1980 දී පොල්පොට් නැවත විවාහ වූ අතර එම විවාහයෙන් ඔහුට දියණියක්ද ලැබින‍. ඔහු නැවත විවාහවීමට හේතුවූයේ 1970 පටන් ඔහුගේ බිරිද වන Khieu Ponnary උමතු භාවයට පත්වන්නට පටන් ගත් අතර මේ අවධිය වන විට ඇයගේ උමතුභාවය උත්සන්නවීම නිසා ඇය දික්කසාද කර තිබීමයි.
1993 දී නැවතත් නරදොම් සිහනුක් රජු සිහසුනට පත්වූ අතර ඒ අවස්ථාවේ කිසිදු රටක් තමන් පොල්පොට්ට සහය දුන් බවද අමතක කර තිබුනි.

1996 දී කෙමර්රුජ් ගරිල්ලා හමුදාව බිද වැටෙන්නට පටන් ගත්තේ පොල්පොට්ගේ මස්සිනා සහ ඔහුගේ රජයේ අගමැති වූ Ieng Sary කාම්බෝජ ආණ්ඩුව හමුවේ පරාජය භාරගත් නිසයි.

1997 දී කෙමර්රුජ් සංවිධානය විසින්ම පොල්පොට් නිවාස අඩස්සියට පත් කරන ලද එයට අළ දුන්නේ කෙමර්රුජ් සන්නද්ධ නායකයෙක් වන තා මොක් විසින්. 1998 අප්‍රේල් 15 වනදින විසිවන සියවසේ පමණක් නොව මනුෂය ඉතිහාසය පුරාම සිටි භයානක සමූල ඝාතක මනුෂ්‍යයෙක් නීතියෙන් දඩුවම් නොලබාම මිය ගියේය. 

කිසිදු උත්සවයකින් තොරව පොල්පොට්ගේ දේහය ආදාහනය කරන අයුරු
එසේම තාමොක්ද යුද අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුන අතර ඔහු 2006 ජූලි වල මියගියේ අසනීප තත්වයකින් වන අතර ඔහුද තම වැරදි වලට දඩුවම් නොලබා මෙලොවින් නික්මීමට වාසනාවන්තවිය.

කෙසේ වෙතත් පොල්පොට් මිය යන දින ඇමරිකානු ගුවන් විදුලි නාලිකාවට සවන්දි ඇති අතර එහි කියවි තිබුනේ යුද අපරාධ සදහා වූ නඩු ඇසීමකට ඔහු කෙමර්රුජ් සංවිධානය විසින්ම භාරදීමට නියමිත බවයි. මෙය ඇසුන විට ඔහු කලබලයටත් නොසන්සුන් වීමකටත් ලක්ව සිටි බව කියන අතර මේ නිසා ඔහු සිය දිවි තොරකර ගත්තාද? යන සැකයද මතුව ඇත. කෙසේවෙතත් ඔහුගේ අවමගුල නම් කිසිදු ගරුබුහුමනකින් තොරව තායි-කාම්බෝජ දේශ සීමාවේදී සිදුකරන ලදි.

එම වසරේ මැයි මාසයේ තායිලන්ත රජය විසින් තායි - කාම්බෝජ දේශ සීමාවේ හොල්මන් කරන ලද ඉතිරි කෙමර්රුජ් භටයන් පිරිසද අල්ලා ගන්නා ලද බවට නිවේදනය කෙරුනි.

ගැටළු සියල්ල විසදුනාද?

පිළිතුර නම් නැහැ යන්නයි. දශක ගණනාවක් ආපස්සට දැමූ රටේ සමෘධිය හා ආරථිකය මෙන්ම තවමත් කාම්බෝජය පුරා බිම්බෝම්බ රකුසා සිය අනසක පතුරා සිටින හෙයිනි. මෙම බිම්බෝම්බ වැඩි ප්‍රමාණයක් කෙමර්රුජ්වරු විසින් වලලා දැමූ ඒවා වන අතර ඒවා නිසා තවමත් එරට අහිංසක මිනිසුන් කකුල් අහිමිකර ගනිති. මිය පර‍ලොව යති. එරට සියළු බිම්බෝම්බ නිශ්ක්‍රියකොට ඉවත් කිරීමට ගතවන කාලය කිව නොහැකි තත්වයක්ව පවති.


හෘද සාක්‍ෂය නොමැති අපරාධකරුවා...
පොල්පොට් සමග අවසාන සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ  Far Eastern Economic Review සඟරාව වෙනුවෙන් Nate Thayer විසින්.

Nate Thayer

 ඒ 1997 ඔක්තෝබරයේදී. මෙහිදී මෙම කෲර ඒකාධිපතියා ජනමාධ්‍ය වේදියාට පැවසූවේ මෙලෙසින් - 
“පළමුවෙන්ම ඔබට දැනගැනීමට කියන්න ඕන මම විපලවයක් කිරීමට තමයි සම්බන්ධවුනේ, නැතුව කාම්බෝජයේ ජනතාව මරන්න නෙමෙයි. බලන්න මම දිහා. ඔබ හිතනවද මම අපරාධකාරයෙක් කියල? නැහැ. මගේ හෘද සාක්‍ෂය හා පරමාර්ථය පැහැදිලියි. එකේ ගැටළුවක් නැහැ. මම ඔබට අවධාරනයෙන් කිවයුතුයි අපි මේ වැඩේට එනකොට අළුත්.  ඒවගේම අත්දැකීම් මොනවත් තිබුනෙත් නැහැ. ඒක නිසා ඒ ඒ අවස්ථාවලදී සිදුවන සිදුවීම් වලට ඊට අදාල වෙන විදියට කටයුතු කරන්න සිදුවුනා. මේවා කරනකොට වැරදීමුත් සිද්ධවුනා. මම ඒ ගැන සටහන් කරලත් තියෙනවා. මට කවු‍රුහරි මේ ගැන බනිනවනම් හරි මට දඩුවම් කරන්න හිතනවනම් මට කියන්න තියෙන්නේ සිදුවෙච්ච දේවල් හැම එකක්ම පාලනය කරන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ. අනිත් එක අපිට කරදර එක පිට  එක ආවේ.  වියට්නාමයට, කාම්බෝජය ‍යට නොවෙන්න අනෙක් කොමියුනිස්ට් අය එක්කත් වැඩකරන්න වුනා. අපි ඉතින් ජනතාවට ආදරයෙන් හොදමදේ තමයි කරන්න බැළුවේ. එකේදී වැරදීම් සිදුවුනා තමයි” 
("First, I want to let you know that I came to join the revolution, not to kill the Cambodian people. Look at me now. Do you think ... am I a violent person? No. So, as far as my conscience and my mission were concerned, there was no problem. This needs to be clarified...My experience was the same as that of my movement. We were new and inexperienced and events kept occurring one after the other which we had to deal with. In doing that, we made mistakes as I told you. I admit it now and I admitted it in the notes I have written. Whoever wishes to blame or attack me is entitled to do so. I regret I didn't have enough experience to totally control the movement. On the other hand, with our constant struggle, this had to be done together with others in the communist world to stop Kampuchea becoming Vietnamese. For the love of the nation and the people it was the right thing to do but in the course of our actions we made mistakes.”)  

එසේම ඔහු 1981 දී Phnom Malai දීද සිය දිවියේ  මතක හිටිනම කතාවක් කල තිබූ අතර එහිදීද සිය අපරාධ ප්‍රති‍ක්‍ෂේපකරමින් කතා කර තිබුනේද මීට සමාන අකාරයෙකුනුයි .

 [Pol Pot] said that he knows that many people in the country hate him and think he’s responsible for the killings. He said that he knows many people died. When he said this he nearly broke down and cried. He said he must accept responsibility because the line was too far to the left, and because he didn’t keep proper track of what was going on. He said he was like the master in a house he didn’t know what the kids were up to, and that he trusted people too much. For example, he allowed [one person] to take care of central committee business for him, [another person] to take care of intellectuals, and [a third person] to take care of political education.... These were the people to whom he felt very close, and he trusted them completely. Then in the end ... they made a mess of everything.... They would tell him things that were not true, that everything was fine, that this person or that was a traitor. In the end they were the real traitors. The major problem had been cadres formed by the Vietnamese.

කෙසේවෙතත් මෙවැනි භීෂකයින් මනුෂ්‍ය ඉතිහාසය පුරා කල ඇති අපරාධයට නම් මොන ආගම යටතේ වුවත් මරණින්මතු හෝ වන්දි ගෙවනවා නිසැකයි. ස්ටාලින්ද මීටත් වඩා සැහැසි කම් කල අතර අඩුම තරමෙන් එය ඔහු සෝවියට් දේශය හෝ දියුණුවට යොදාගත්තා යැයි සිත හදා ගත හැකියි. පොල්පොට් කල සාහසිකකම් වලින් එරට ජනතාවට ඉතිරිවුයේ දූගී දුප්පත්කමත්, කදුළු, දුක සහ මිනී ඇට ගොඩක් පමනි.

කාම්බෝජයේ වර්ථමානය පවා අතීත අදුරු යුගයේ භිෂනත්වයේ
දුක් දොම්නස් බව ඉතිරව ඇති බව හොදින්ම කිව හැකි සංවේදී  සිතුවමක්

ලිපිය අවසන් කිරීමට‍ පෙර කුඩා විස්තරයක්...

ඇත්තමට මාහට මෙම මාතෘකාව යටතේ ලිපිය ලිවීමට යෝජනා කලේ හා එයට අවශ්‍ය තොරතුරු රැසක් ලබාදුන්නේ සත් සමුදුරේ හිතවතෙක් වන උදාර මිතුරායි. එසේම මම ලියා තියෙන ලිපිය මෙම මාතෘකාව සාරාංශ ගත කර තිබෙන එකක් කියායි මගේ හැගීම. ඔබ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියට ගියොත් එහිදී මෙය වෛද්‍ය රුවන් ජයතුංග මහතා විස්තරාත්මකව විස්තර කර ඇති ආකාරය බලා ගත හැකියි. ඊට අමතරම පහත දැක්වෙන වෙබ් අඩවි වලිනුත් විස්තර දැන ගත හැකියි. සත් සමුදුරේ මීට ප්‍රථම මීට නැදෑකමක් දක්වන ලිපි පෙලක් තිබුනා ඔබට මතක ඇති ගුලාග් කදවුරු ගැන ඊට අදාල link එකත් පහල දක්වා තියෙනවා.

ඒ වගේම මෙම කාම්බෝජයේ සිදුවූ සිදුවීම ගැන චිත්‍රපටියක් තිරගත වූවා 1984 දී ඒක තමයි "The Killing Field" (http://www.imdb.com/title/tt0087553) ඒක නැරඹුවොත් මෙම සිදුවීම් වල සංවේදී බව ඔබ‍ට හොදින් වටහා ගන්න හැකිවේවි...

ගුලාග් කදවුරු ලිපි ත්‍රිත්වය - පළමු කොටස
                                           දෙවන කොටස
                                           තෙවන කොටස



22 comments:

  1. මම ඊයෙත් රහස් පරික්ෂය්ගේ උපකරණ ගැන ලිපිය බැලුවා.කමෙන්ටි එකක් දාන්න බැරි වුනා.‍කාමිබෝජය ගැන බොහො තොරතුරැ දැන ගත්තා.මට දවසක් සද මත තිබෙන ගොඩ නැගිලි ගැන ලිපියක් කියවන්න ලැබුා.එවනි තොරතුරැ ලැබු‍ොත් පල කරන්න.

    ReplyDelete
  2. @බංඩාර - ස්තූතියි! ඔබ හොද තොරතුරක් ලබා දුන්නේ ඒ ගැනත් සොයා බලනවා...

    ReplyDelete
  3. මම හිතුවේ මෙම ලිපිය කොටස් කීපයක් දක්වා දීර්ඝ වෙයි කියල යි. කොහොම වුණත් අවශ්‍ය කරන සියලුම කරැණු නිවැරදිවත් සංක්ෂිප්තවත් අඩංගු වී තිබෙන නිසා තව කොටසකට හෝ දෙකකට යෑමේ අවශ්‍යතාවයක් නැති බවයි පේන්නෙ.ඉදිරියටත් වටිනා දුර්ලභ දෑ ගැන ලියන්න ඔබට ශක්තිය හා ​​ධෛර්යය ලැබේවා යැයි මම පතමි.

    ReplyDelete
  4. @උදාර - ස්තූතියි උදාර මිතුරේ, ඇත්තටම මේ ලිපිය වුනත් කොටස් දෙකකට කඩන්න තිබුනත් කොටස් වලට ලිපි කැඩීම ගැන සුළු විරෝධතාවයක් තිබෙන නිසා ඒගැනත් සලකා තනි කොටසකට ගත්තා. ඒ වගේම භීෂනත්වය පිළිබද කරුණු තව ගෙන හැර පෑමට හැකි වුනත් එය එතරම් රසවත් නොවේයන අදහස නිසා එයත් සිතට දැනෙන ප්‍රමාණයට පමණක් අඩුකරා. තවද මේ වන විටත් වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ ලිපිය ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ තිබෙන නිසා එයට සමානවම ලිපියක් සකසනවාට වඩා එහි අඩංගු කරුණුද සැලකිල්ලට ගෙන එහි නොමැති කරුණුද ගෙන සහ එහි ඇති ඇතැම් කරුණු තව ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය යයි සිතුවා. කෙසේ නමුත් අද දින‍යේද සුළු සංස්කරණ කිහිපයක් ලිපියට එක් කිරීමට සිතා ඉන්නවා. වි‍ශේෂයෙන් ඉංග්‍රීසියෙන් දක්වා ඇති කරුණු බොහෝමයක් පාඨකයන්ගේ පහසුව පිණිස සිංහලට සංක්‍ෂිප්තව පරිවර්ථනය කිරීමටත් අදහස් කරගෙන ඉන්නවා...

    ReplyDelete
  5. පොල්පොට් ගැන අසා තිබුනත් ඔහු කල දේවල් ගැන සවිස්තරාත්මකව දැන ගත්තේ මේ ලිපියෙන්. ස්තූතියි දිනේෂ් ලිපියට. තවදුරටත් කම්පූචියාවේ ඉතිහාසය ගැන කියවන්නට හිතුනා.

    ReplyDelete
  6. @Pravin Indranama - ස්තූතියි! ප්‍රවීන්, ඉදිරියේදී සිතියම් පොතේ කම්පුචියාව ගැන වගේම අන්කෝර් පන්සල ගැනත් ලියන්න හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  7. Download The Killing Fields http://sickofshare.com/viewtopic.php?f=2&t=63

    ReplyDelete
  8. මේ ගැන හුඟක් කියවල තිබෙනවා. එත් ඔබේ ලිපියත් කියවූවා.වෙනද වගේම අනර්ගයි . මේ වගේ භයානක අපරාධයන් නැවත නොවෙන්නට නම් සියලු පරම්පරාවන් මේවා ගැන දැන ගත යුතුමයි.
    cambodia මායිමේ හිටියත් තවම යන්න බැරි වුණා. එකක් ලාංකිකයන්ට වීසා ගන්න අමාරුයි. අනික 'අන්ග්කොර් වැට්' වලට පුංචි ළමයි එක්ක යන එක ටිකක් දුෂ්කරයි. නැත්නම් ඉතාම ලස්සන බව අසා තිබෙනවා.
    ජනප්‍රිය රැල්ලෙන් මිදුණු මෙවන් ලිපි තවත් ලිවීමට දිරි!

    Chamila

    ReplyDelete
  9. @Chamila - ස්තූතියි! මම හිතන්නේ ඔබ සිටින්නේ තායිලන්ත‍ය හෝ වියට්නාමය හෝ චීනයේ විය යුතුයි. මමත් එක පාරක් රූපවාහිනියේ ගිය වැඩ සටහනක දැක්ක විදියට කාම්බෝජයට යෑමට අපහසුබව තේරුනා. සෑහෙන්න මුරකපොලු සහ රෙගුලාසි බොහෝමයක් තියන බව තමයි ඒ වැඩසටහන කරපු මාධ්‍යවේදියාත් කිවුවේ. ඒවගේම හිස් කබල් මිනීඇ‍ට ආදිය ගොඩගැසූ තැනුත් සෑහෙන්න තිබුනා. ඔබට එම රටට යාමට හැකිවුනොත් සහ එහිදි විශේ‍ෂයෙන් අන්කෝර් වැට් යන්න පුළුවන්වුනොත් කරුණාකර ඡායාරූප කිහිපයක් එවන ලෙසද ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ඔබ කියපු කතාව මමත් පූර්ණවශයෙන්ම පිළිගන්නවා. මෙම ලිපිය ජනප්‍රියත්වයෙන් අඩුම එකක් තමයි. අද දිනයේ මේ සටහන තබන මොහොතේත් බොහොම ටික දෙනෙක් තමයි බලල තියෙන්නේ. මේ තත්වය ගුලාග් ලිපි වලටත් තිබුනා.කෙසේනමුත් ජනප්‍රියත්වය තකා හරසුන් දෙයක් කරනවා වෙනුවට එක් අයෙක් බැළුවත් යමක් ඉගෙනගන්න හැකියාවක් තියෙනවා නම් ඒක කිරීම තමයි වඩාත් සුදුසු කියලයි හිතන්නේ...

    ReplyDelete
  10. ජනප්‍රිය සියල්ල හොඳ වන්නේද හොඳ සියල්ල ජනප්‍රිය වන්නේද නැත .
    .අන්කොර් වැට් චායාරුප ටිකක් සොයා ගන්න උත්සහ කරන්නම්. ශ්‍රී ලාංකිකයන්ට අපහසු වුනාට ඉන්දියානුවන්ට පවා පහසුවෙන් විසා ගන්න පුළුවන් . අපේ කට්ටිය අර පරණ ආයුද ගන්න යන එක වලක්වන්න අපේ රජයෙන්ම කරපු ඉල්ලීමක් නිසයි ඔය අපහසුව.
    ඔබ හරි මම ඉන්නේ ඔය කිව රටක තමයි
    චමිලා

    ReplyDelete
  11. @චමිලා - ස්තූතියි! හැකියාවක් තිබුනොත් ඒ ගැන සලකා බලන්න...

    ReplyDelete
  12. කිසියම් තාක්‍ෂනික ගැටළුවක් නිසා අරුණි ශපීරෝ තබන ලද කමෙන්ටුව පල නොවූ නිසා විද්‍යුත් තැපෑලට එවන ලද ‍කමෙන්ටුව මෙතන පල කරමි.

    අරුණි ශපීරෝ ---
    මම ඉන්න ගෙදරට ඉස්සරහා ගෙදර පදිංචි වෙලා ඉන්න තාන් සහ තොන් දෙදෙනා කාම්බෝජයෙන්. ඔවුන්ගෙ කුඩා පුතා වීයෙන්. ෆොන් කියන්නෙ ඥාති සහෝදරයෙක්. ගිම්හානයේ සවස් කාලයේ සරම් ඇඳගෙන එළියට වී කතාබහේ යෙදෙන ඔවුන් මට ලංකාව මතක් කරනවා. ඔවුන් කෙමර් නොවේ. ඒක අහන්න ගියාම පොඩ්ඩක් මුලින් මා දිහා වපර ඇහැකින් බැලුවා. බය වුනා ද දන්නෑ. සරණාගත බව ලබා ඇමෙරිකාවේ පදිංචියට ආ අය. දැන් අවන්හල් පවා හිමි ධනවතුන්. අස්වාභාවික බාධක නැත්නම් මිනිසා ස්ව උත්සාහයෙන් දියුණු වන්නට හැකියාව ඇත්තෙක් බව සක් සුදක් සේ පැහැදිලි වන්නෙ මේ අය අධ්‍යාපන සහතික නැතිව, භාෂාව පවා හරියට හසුරුවන්නට නොහැකිව මෙවැනි රටක ඉහළට නඟින්න වරම් ලැබූ බව දැකීමෙන්.

    දිනේශ් දීපාල්, සටහන විස්තරාත්මකව ලිවීමට ස්තූතියි.

    ReplyDelete
  13. @අරුණි ශපීරෝ - මා ඔබට බොහෝ ස්තූතිවන්ත වෙනවා බාධක මධ්‍යයේ වුවද මා මෙන්ම හිතවත් සත් සමුදුර පාඨකයන්ද ඔබ මේ පිළිබදව සත්‍ය වශයෙන් ලබා ඇති අත්දැකීමකින්ම අප දැනුවත් කලාට. ඇත්තෙන්ම කොහේ ජීවත් වූවත් උත්සහවන්තයා ජයගන්නවා නිසැකයි. අපේ රටේ බොහෝදෙනෙක් කෙටි මාර්ගවලින් හා කෙටි කලකින් පොහොසතුන්වීමට උත්සහ දැරීම සහ තමන්ගේ අධ්‍යාපන සහතික වලට පමණක් විශ්වාසයතබා රැකියාව තමන්ගේ දෙපතුල ගාවට පැමිනෙන තෙක් බලා සිට දොස් පවරණවා මිස එක් දොරක් වැසුනොත් තව දොරවල් කිහිපයක්ම විවෘතකර ගැනීමට හැකියාව තිබෙන බව අමතක කර සිටිම. නැවතත් හැකි සෑම විටකම සත් සමුදුරට පිවිස වටිනා අදහස් වලින් අප දැනුවත් කරන මෙන ඉල්ලා සිටින අතරම අදාල තාක්‍ෂනික ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය පරීක්‍ෂාවන් කරන බවද දන්වා සිටිමි...

    ReplyDelete
  14. නියමයි යලුවා. මම අඩ තමා ඉස්සෙල්ලාම මෙ පැත්තට අවේ. කාම්බොජය ගැන
    අහල තිබුනට මෙච්චර ගොඩක් තොරතුරු දැනගෙන හිටියෙ නැ.තව ඉස්සරහටත් මෙහෙම ලිපි ලියපන් .(ආයෙ මෙ පැත්තෙ එන්ට ඔනේ)

    ReplyDelete
  15. @Theekshana - ඔන්න තැන්කිව් කිව්වා... ආයේ එහෙනම් වරෙන්, හොද හොද ඒවා ලියල තියන්නම්...

    ReplyDelete
  16. (Roshan)
    hoda lipiyak. digatama liyanna.

    ReplyDelete
  17. @Roshan - ස්තූතියි! රොෂාන් ඉදිරියේදිත් අපි කතා කරමු...

    ReplyDelete
  18. ස්තුති සහොදරයා අපිව දැනුවත් කලාට.... මගෙ බ්ලොග් 1ක තාම වැඩ ඉවර නැහැ, තව මසෙකින් විතර පටන් ගන්නව, එතකොට මමත් දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්නම්...

    ReplyDelete
  19. බොහෝම වැදගත් ලිපියක් සහෝ.. මමත් සමග මේ කොමන්ටුව ලියන මොහොතේත් කම්බෝඩියන් මිතුරන් 5දෙනෙක් මෙතන ඉන්නව. මම ලිපියේ කරුණු ඔවුන් සමග සාකඡ්චා කරමින්මයි මේක කියෙව්වෙ(මටද යම් තරමකට ඔවුන්ගේ භාෂාව කතාකල හැක) මේ සියලු කරුණු සත්‍ය බව ඔවුන් මට පැවසුවා.. ඒ විතරක් නෙවෙයි, හදවත කීරිගැහෙන ඔවුන්ගේ ඥාතීන්ගේ සජීවි අත්දැකීම් සම්භාරයකුත් ඔවුන් ගෙනහැර පෑව.. බොහෝම ස්තූතියි ලිපියට.

    ReplyDelete
  20. රෝහණ විජේවීරත් පොල්පොට් ගේ ක්‍රමයට බිහි වුන නායකයෙක නේද? පාඨමාලවද අසාර්ථක කරගෙන විප්ලවය පටන් ගත්තේ,,, හොඳ වෙලාවට අවසානයක් උනේ...

    ReplyDelete
  21. කෙමරූජ් භිෂණය
    Lanka Web
    http://www.lankaweb.com/news/items/2011/11/27/

    ReplyDelete