Friday, August 31, 2012

මෙම අධි බිනර පසලොස්වක පොහෝ දිනයේ ඔබට වටිනා දහම් කරුණු දැනගැනීමට මඟක් සටහන් කරමි...

අධි බිනර පසලොස්වක පොහෝ දිනයක් යෙදෙන අද දිනයේ ඔබට මම කියන්නට යන්නේ උතුම් බෞද්ධාගමික කටයුත්තක් පිළිබදව හා එයින් ඔබගේ දහම් පිපාසාව නිවා ගැනීමට හැකි බවයි. මෙම උතුම් කාර්යය තමයි භාෂා 65 ක් භාවිතා කර නිර්මාණය කළ "පින්සිරි" නම් දහම් වෙබ් අඩවිය. http://www.pinsiri.com/


මෙම වෙබ් අඩවිය ආරම්භකර තිබෙන්නේ ප්‍රංශයේ ඡේතවනාරාමයේ වැඩවසන මුරුංගස්යා‍යේ ඤානිස්සර හිමියන්ගේ අනුශාසනාවෙන්. මෙමගින් පැය 24 පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පිරිත්, බොදු බැති ගී ආදිය ශ්‍රවණය කිරීමේ අවස්ථාවත් සලසා තිබෙන බව පැවසෙනවා. ඒවගේම දහම් පොත පත කියවීමේ අවස්ථාවත් ලබා දී ඇති බව පැවසෙන අතර ඔබට යම් දහම් ගැටළුවක් පැන නැගුනහොත් එයත් මෙම වෙබ් අඩවිය යොමු කිරීමෙන් විසදා ගත හැකි බවත් පවසා තිබෙනවා. 

මම මේ කරුණ දැන ගත්තේ 2012 අගෝස්තු 28 වන දා අඟහරුවාදා ලක්බිම පුවත්පතෙන්.

ඉතින් මෙම ලිපිය ඉතා කෙටි වූවත් එයින් දීර්ඝකාලීනව ඔබගේ දිවියට ලබා ගත හැකි සැනසුම නම් කෙටි නොවනු ඇති....

Sunday, August 26, 2012

රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද?


රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපියේ Gnanendra Pradeep Pathirana මහතාගේ කමෙන්ටුවට පිළිතුරු - 

ඔබ කාලය පිළිබදව කියා තිබෙන දෙයට මට කියන්නට තිබෙන්නේ. කාලය තීරණය කළ යුත්තේ මෙවන් මහා ග‍වේෂනයක් කිරීමට නිපුනත්වයෙන් යුතු සෑම අංශයක්ම නියෝජනය කරන පිරිසක් අප සතුද, ව්‍යාපෘතිය අවසන් වන තුරාවටම එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට හැකිද? යම් පුරාවස්තුවක් හමුවූ පසුව එයට ලැබෙන ආරක්‍ෂාව කුමක්ද? එය ‍මෙම අවධියේ ආරක්‍ෂා කළ හැකිද? යනාදී සදහන් කළ හා නොකළ කාරණා සැලකිල්ලට ගැනීමෙනුයි. ඔබත් මේ රටේ ජීවත්වන කෙනෙක් නිසා වර්ථමානයේ පුරාවස්තු වලට නිදන් හොරුන්ගෙන් එල්ලවී ඇති තර්ජනය දන්නවානේ. ඉතින් "මේ අපේ රට, මේ අපේ දැය, මේ අපේ රාවණා, අපිට ඕන වෙලාවට තමයි මේ දේවල් ගොඩ ගන්නේ" කියා ප්‍රායෝගිකව සමාජ වටපිටාව ගැන නොවිමසා කටයුතු කිරීමෙන් අවසානයේ නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ ව‍ගේ දෙයක් තමයි වෙන්නේ.

අනෙක බුද්ධාගමේ වසර 5000 ක පැවතීම ගැන සලකා පුරාවිද්‍යා කටයුතු කළ හැකිද? කිරීම ප්‍රායෝගිකද? තවත් කාරණයක් නම් මෙම වසර 5000 යනු වර්ථමාන භාවිත බසින් පවසනවා නම් Guaranty ක් බවයි. තේරෙන්නම කියනවා නම් ඔබ රූපවාහිනී යන්ත්‍රයක් ගෙදරට ගෙනා විට ලැබෙන වසරක වගකීමේ සහතිකයකි. නමුත් එයින් වසරක් ඉක්ම යන මොහොතේම එය නැවත භාවිතයට ගත නොහැකි අයුරින් කැඩෙනවාද? සමහර විට වසරක් ඉක්මවා යන්නට පෙර කැඩෙන්නට හැකි අතර ඇතැම් විට වසරක් ඉක්මවා සෑහෙන්න කාලයක් ගතවූ පසු කැඩෙන්නටත් පුළුවන්. ඒ වගේම එය අළුත්වැඩියා කර ගැනීමට හැකි ලෙස හෝ අළුත්වැඩියා කර ගැනීමට නොහැකි ලෙස පෙර පැවසූ අවස්ථා දෙකේදී කැඩෙන්නට පුළුවන්. ඉතින් පුරාවිද්‍යාව වෙනමමත් ආගම වෙනමමත් තබා කටයුතු කිරීම නුවනට හුරුයි. මොකද හෙම්බිරිස්සාවට හරියන බෙහෙත බඩේ අමාරුවට හරියන්නෙත් නැහැ. බඩේ අමාරුවට හරියන බෙහෙත හෙම්බිරිස්සාවට හරියන්නෙත් නැහැ.

අනෙක් බෞද්ධයන් ලෙස මෙම වසර 5000 කින් බුදු දහම විනාශ වී යාම සිදුවනවා නම් එය අනෙකුත් ආගමිකයන්ට බලපාන්නේ කෙසේද? ඔවුන් බුදු දහමේ දේවල් විශ්වාස කරන්නේ නැ‍හැනේ. ඉතින් විද්‍යාවයි ආගමයි පටලවා ගන්න ගියොත් වෙන්නේ මධ්‍යතනය යුගයේ යුරෝපයට ‍වුන දේ තමයි. මොකද සියල්ල දෙවියන්ගේ ඕනෑ එපාකම් මත සිදුවන, සියල්ල දෙවියන් විසින් මැවූ බවට මත පළ කළ එම යුගයේ අදුරු කම අමුතුවෙන් ඔබට කියන්නට ඕනෑ නැති බව සිතමි. අවශ්‍ය නම් ඒ පිළිබදව ලියූ ලිපි කිහිපයකුත් සත් සමුදුරේ තිබේ.

අනෙක තමයි රාවණා රජුගේ මෙතරම් තාක්‍ෂනයක්, මේවගේ ඉදිකිරීම් තිබුනා කියලා විශ්වාසයක් මේ රාවණා පුරාවෘතය සත්‍ය බව ඔප්පුකරන්න ඉන්න උදවිය ඉදිරිපත් වෙන්න තිබුනේ පසුගිය කාලයේ අපි ත්‍රස්ථවාදීන් එක්ක යුද්ද කරපු කාලේ. මොකද එතුමා සතුවූ දඩු මොනරය තවත් බිහිසුණු ආයුද ඒ අවධියේ සොයා ගන්නට හැකිවුනා නම් අපට විදේශ විනිමය විශාල වශයෙන් ඉතුරු කරගන්නටත් හැකියාව ලැබෙනවා. මොකද එහෙම නම් රුසියාවේ මිග්, MI24, ඊශ්‍රායලයේ කෆීර්, චීනයේ F7 ආදී ගුවන් යානා, උණ්ඩයක් පවා ඉතා මිළ මල්ටි බැරල් ලොන්චර් ගෙන්වන්න ඕනෙත් නැහැ. මොකද හෙළ ගුවන් යානා තාක්‍ෂනය, හෙළ බිහිසුනු ආයුද යොදාගෙන සතුරා පහර දෙන්න තිබුනා. 

ඒ වගේම ඔබ කලින් කමෙන්ටුවේ පවසා තිබුනා 



"විජය රජු හා ගෞතම බුදුන් අතර නෑදෑකම මගින් සිංහලයින් යනු ශුද්ධ ථේරවාදී බෞද්ධයින්ය යන මතය කාවැද්දීමට හා බුද්ධාගම වෙනුවෙන් මෙරට රජවරුන් කළ උදව් උපකාරයන් උලුප්පා දැක්වීම සඳහා මහානාම හිමියන් ලියූ "මහාවංශය" පාදක කරගෙන හෝ ඉන්පසු ඉංග්‍රීසි යුගයේ ලංකා ඉතිහාසය අධිකරණමය දෘෂ්ඨිකෝනයකින් විමසා බැලූ කොඩ්රින්ටන්- පරණවිතාන ගුරුකුලයේ පැහැදිලි කිරීම් ඉස්මුදුනින් පිළිගන්නා අයෙකු වෙත්නම් ඔවුන් "රාවණා" පිළිනොගන්නවා ඇත.

අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්‍ර විනාශ විය. ඉතිරි වී සුරැකී තැන් තැන්වල හුදකලාවූ යමක් ඇත්නම් බ්‍රිතාන්‍ය පාලකයන් දවස එම ග්‍රන්ථ බොහෝමයක්ද විදෙස් කෞතුකාගාර කරා සංක්‍රමනය විය." ඉතින් ඔබ ඉතිහාසයේ කරුණු සමග සන්සන්දනය කර තර්ක කලොත් මේ පවසා තිබෙන දේවල් පරස්පරයි නේද? මෙන්න මම ඒ ගැන ඉදිරිපත් කරන තර්කය ;

පැරණි මහාවංසය ලියපු මහානාම හිමි වැඩ වසන්නේ ධාතුසේන රජතුමාගේ කාලයේ ඒ කියන්නේ ධාතු‍සේන රජතුමා රජකම් කළේ ක්‍රි.පූ. 459 - 477 අතර කාලයේ ඒ වගේම මහසෙන් රජතුමා රජකරන්නේ ක්‍රි.පූ. 276 -303 අතර කාලයේ. දැන් එතකොට ඔබ පවසන  අන්දමට 
//අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. // 
යන කාරණේට අනුව ඒ වන තෙක් රාවණා රජු ගැන තොරතුරු තිබිලා තිබෙනවා. ඒ කියන්නේ ඊට පෙර සිටි හෙළ රජ දරුවන් පවා රාවණා රජු ගැන දැන සිටියාය කියන එකනේ. එතකොට ඊට පෙර ක්‍රි.පූ.161-131 දී රජකම් කළ දුටු ගැමුණු රජතුමා  සහ ඊට පසුව ක්‍රි.පූ. 103 - 102 සහ නැවත ක්‍රි.පූ. 89 -77 අතර රජකම් කළ වලගම්බා වැනි රජවරුන් තමන්ගේ යුද්ද සදහා රාවණා රජුගේ යුදායුද සහ දඩු මොණර යන්ත්‍රය ආදිය නිපදවාගෙන සටන් නොකරන්නේ ඇයිද කියන ගැටළුව ඇතිවෙනවා නේද? මොකද අපි අහලා තියෙන විදියට දුටු ගැමුණු රජතුමාට සෑහෙන්න සටනක් කරන්න වුනා කියනවා එළාර සමග විජිතපුර සටනේදී. ඉතින් අතීත රජදරුවන් රාවණා හා එතුමාගේ දඩුමොණර යන්ත්‍රය තව එතුමාගේ බිහිසුනු අවි ගැන දැන සිටියා නම් ඒවා නැවත නිපදවලා යොදා ගත්තා නම් මේ යුද්ද පහසු වෙනවානේ. ඒ එක්කම තර්කයක් ගේන්න පුළුවන් අංගම් පොර ශිල්පය දත් දසමහා යෝදයන් එම යුද්දයේ සිටි බව හා ඒ අංගම් පොර ශිල්පයේ දක්‍ෂයෙකු වගේම විවිද එකතු කිරීම් කරනු ලැබු‍වේ රාවණා රජු බවට. නමුත් අංගම් පොර ශිල්පයට වුනත් රාවණා රජුගේ සම්බන්ධයක් තිබෙන බවට සාක්‍ෂි තිබෙනවාද? මොකද එයත් අනෙකුත් කාරණා වගේම උපකල්පන හා අනුමාන කිරීමක් පමණයි. අනෙක දැන් පවා අංගම්පොර ගුරුන්නාන‍්සේලා අතරවත් එකමුතුවක්, එකමතයක් නැහැනේ. එක්කෙනෙක් කියනවා මම තමයි අංගම්පොර උගන්වන්නේ කියලා. අනෙකා කියනවා මගේ තමයි අංගම් පොර හරියට තියෙන්නේ අනිත් කෙනා උගන්වන්නේ චීනාඩි, කරාටේ තව ඉන්දියානු සටන් ශිල්ප කියලා. ඒ නිසා ලංකාවේ අංගම්පොර වලට රාවණා රජ්ජු‍රුවොන්ගේ සම්බන්ධතාවයත් අනුමානයක් ලෙස තමයි සලකන්න වෙන්නේ.

ඒ වගේම //අද වන විට රාවණා ගේ පාලන සමයේ ඉතිරි වී ඇති සාක්ෂ්‍ය වන්නේ සීගිරිය,නාලන්දා ගෙඩිගේ,ඉසුරුමුනියේ කැටයම්,රන්මසු උයනේ සක්වළ චක්‍රය, තිවංක පිළිමගෙය, පොළොන්නරුවේ පුලස්ති (පුලතිසි නොවේ) පිළිමය වැනි (මේවා එකකට වත් කොඩ්රින්ටන් - පරණවිතානට හෝ ඔවුනගේ පසු විශ්ලේශකයින්ට අර්ථ ගැන්වීම් නැත.)ශෛලමය නිර්මානයන්ය. එසේම බොල්තුඹේ සමන් දෙවොලේ ඇති දඬුමොණරය , මඩබාවිට විහාරයේ ඇති විමාන යන්ත්‍ර රූපය ආදියද ඊට සාක්ෂ්‍ය කර ගත හැක. එසේම අංගම්පොර සටන් ක්‍රමය, කොහොඹා කංකාරි ශාන්තිකර්මය,හෙළ වෙදකම, නිල වෙදකම ආදිය සියුම් විමසා බලන්නෙකුට රාවණාගේ දක්ෂතාවයන් හා ක්‍රමෝපායයන් පිළිබදව අවබෝධ කර ගත හැක.// මේවා නිත්‍ය වශයෙන්ම රාවණා රජුට සම්බන්ද බවට ඔප්පු කළ හැකි සාධක, සාක්‍ෂි ඔබ සතුද? මොකද මේවා නිකං කිව්වට ඵලයක් නැහැ. ඔප්පුකිරීමට කිසියම් ලේඛණයක් හෝ සංකේතයක් හෝ වෙනයම් නිර්ණායකයක් තිබිය යුතුයි. නැතුව තව ටික කළෙකින් මේවා කළේ රාවණා නොවන මේ මේ අය විසින් කියා යමෙකු සාධක, සාක්‍ෂි ඇතුව පැවසුවහොත් ඔබ විසින් පවසා ඇති මෙම කරුණු හිස් වචන සමූහයක් පමණක් වනු ඇත.



තවද // අප අද දිනයේ සමච්චලයට ලක්කරන ඒ උතුම් මිනිසාගේ බල පරාක්‍රමයන් හොදින් දන්නා ඇමරිකානුවෝ (රාවණාගේ බසින් පාතාලයෝ)ඔවුනගේ රටේ විශේෂ කලාපයක් තුළ අපේ ඉතිහාස සාධක පැරණි ශිෂ්ඨාචාරවල ඉතිහාස හා සසඳමින් වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධ වීමට තොරතුරු 
සෙවීමට,පණිවුඩ යැවීමට උත්සහ ගනිමින් සිටී. // 
එතුමන්ව සමච්චලය ලක් කිරීමට හේතුවී ඇත්තේ මේ පවසා ඇති ආකා‍රයේ කරුණු නිසාමය. මන්ද බටහිර අජීර්ණය වූ බවක් බොරුවට පෙන්වන අය විසින් මෙහෙයවන වෙබ් අඩවි වල නිරතුරු දැකිය හැක්කේ ඇමරිකානුවන්ගේ පසුබෑම් වලට සතුටු වෙන හැටි,ඔවුන් දැන් හිගමනට වැටී කූඩාරම් වල ජීවත් බවට බොහොම සතුටින් පවසන, ලෝකයේ ශ්‍රේෂ්ඨතමයන් අප බව, අපගේ ආගම බව, බිල් ක්ලින්ටන්  සියළු සැප සම්පත් බුක්ති විද අවසානයේ විමුක්තිය අවබෝද වී ඇත්තේ බුදු දහමින් බව යනාදී විකාරයන්ය. නමුත් බුදු දහම ප්‍රධාන ආගම වන හැම රේඩියෝ චැනල් එකකම පිරිත් බණ දෙසන, රූපවාහිනියේ නිරතුරු දහම් සාකච්ඡා යන පන්සල්, අසපු මාලිගා මෙන් ඉදිවන ලංකාවේ වැසියන්ට කිසිසේත් විමුක්තිය උදා නොවී තිබීම අභාග්‍යයකි. මම දන්නේ නැහැ ඔවුන් අපගේ පුස්කොල පොත් විශේෂ කලාප වල කියවමින් සිටිනවාද කියා. ඒත් ඇමරිකානුවන් ලෝකයේ සෑම රටකම සියළු ශිෂ්ඨාචාර පිළිබදව ගවේෂනය කරන බව නම් අසා තිබේ.




ලෝකය තුළ ඇතිවන සංස්කෘතිකමය හෝ දේශපාලනික බලපුළවන්කාර කම් වසර 500-2500 අතර කාලය තුළ බිඳවැටී අළුත් තත්වයන් මතුවීම නියතයක් නොවෙයිනේ. ඒක ඔබ දක්වා ඇති කාල සමයන්ට පෙර වෙන්නටත් පුළුවන් පසුව වෙන්නටත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ එම ශිෂ්ඨාචාරය ‍කොතෙක් දුරට යාවත්කාලීන වෙනවාද? ඔවුන් බාහිර හා අභ්‍යන්තර ප්‍රතිරෝදයන්ට මුහුණදෙන්නේ කෙසේද? ඔවුන්ගේ සංස්කෘතිකමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් තිබෙන දුර්මත, අනිටු හැසිරීම් මොනවාද? යනාදී කාරණායි. මේ බව මායා ශිෂ්ඨාචාරය ගැන සදහන් කළ ලිපි පෙළේ වගේම රෝම යුගය බිදවැටීම ගැන මම ලියූ ලිපියේත් සදහන් කළා. අවශ්‍යනම් බලන්න.

රෝම අධිරාජ්‍යවාදයට පසුව අදුරු යුගයක්, ඉන්පසු එළඹි මධ්‍යතන යුගයක්, පුනරුද යුගයක්, කාර්මික යුගයක්, යටත්විජිත යුගයක් යනාදී පැහැදිලි වශයෙන් වෙන්කර ගත හැකි යුග නොතිබූ බව ඔබ නොදනීද? නැතහොත් අධ්‍යයනය කර නොමැතිද? අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලියූ ලිපි (තවම මේ ලිපි මාලාව සම්පූර්ණ කර නොමැත) සත් සමුදුරේද තිබේ.

යම් සංස්කෘතියක, ක්‍රම‍වේදයක බිද වැටීමක් සිදුවේනම් එය පිළිගැනීමට අප අසතුටු වන්නේ මන්ද? යථාර්තය හා පැහැදිලි සාක්‍ෂි සමග පවසන කිසිදු කරුණක් නොපිළිගැනීමට හෝ බැහැර කිරීමට තරම් පටු ආකල්පයක් මා තුළ නම් නොමැත්තේමය. බොහෝ රටවල කඩාවැටීමට හේතුව වී ඇත්තේ එක තැන පල්වන යල්පැන ගිය ක්‍රමවේදයන් හා වෙළඳ පොල තුල බිහිවන නව තරඟකාරීත්වය හා තරඟකිරීමට සුදුසු කල්හි පියවර නොගැනීමයි. අනෙක චීනය වැනි රටවල නිපදවන බාල ලාභ දේ අතේ ඇති මුදලට ගත්තත්, ඒ ජපානයේ බඩු වලට ඇති ආශාව හෝ එහි ඇති වරදක් නිසා නොව ඒවා ගැනීමට අතමිට සරු නොවීමයි. අන්න ඒ සිද්ධාන්තය ජපානය වැනි රටවල් වටහා ගත යුත්තේ. High end නොවුන්ත ගුණාත්මක හා ඉටුවිය යුතු අවශ්‍යම කාර්යයන් ගෙන් යුතු උපකරණ වෙළඳ පොලට දෙපාර්ශවයටම පාඩු‍ නොවෙන මිලකට නිකුත් කළහොත් චීනයේ බඩුවලට වෙන සන්තෑසිය අමුතුවෙන් කිව යුතුද?

මෙන්න ඔබට අවශ්‍ය නම් පැරණි කාලයේ චීනය කෙබදු වන්නට ඇත්ද පිළිබදව චිත්‍රයක් මවා ගැනීමට උපකාරී වන සේයාරූ කිහිපයක් - 

ඉන්දියාව, මලයාසියාව, තායිවානය යන රටවල් නිකම් සංවර්ධනය වූයේ නැත. එම රටවල මිනිසුන්ගේ කැපවීම, ආකල්ප, නාස්තිය අවම වීම, නීති පද්දති වල ඇති පාරදෘෂ්‍ය බාවය, යනාදී ගුණාංග රැසක් දිගු කලක් ප්‍රායෝගිකව ක්‍රියාවේ නැංවීම තුලින් ලැබූ සංවර්ධනයකි. මිනිසුන්ගේ හෝ ආයතනයක හෝ යම් සංවිධානයක Qualities වලට මානව හිතවාදී බව පරිසරයට ඇති ආදරය හේතුවනවා නිසැකයි. ඒත් ඒවා තිබූ පමණින් යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක වී සංවර්ධනයේ පාර ඇරෙන්නේද නැත. අනෙකුත් සාධකද එහා සාපේක්‍ෂව එක්විය යුතුමය.

ඔබ මට කරුණාකර පිළිගත හැකි සාක්‍ෂි සමග පවසන්න අතීත ආර්ථික ක්‍රමෝපායයන් අදට ගැලපෙන සේ සකස් කරගෙන සංවර්ධනයේ ධනාත්මක වර්ධනය ලැබූ රටක්. මොකද ඔය අතීතයයේ දේවල් කරන්න ගිහින් ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සුත් මැරිලා, රට දශක ගණනාවකට ගිය රටවල් ගැන තමයි අහන්නට, දකින්නට ලැබුනේ. පොල්පොට් කාම්බෝජෙට ඔය සිද්ධාන්තය Apply කරන්න ගිහින් වුන දේ ඔබත් දන්නවා ඇති යැයි සිතමි. අවශ්‍ය නම් ඒ පිළිබදවද ලිපියක් මෙහි ඇත. 

අද ලෝකය කියන්නේ එදා තිබුන ලෝකය නෙමෙයි. එදා අද එක්සත් යයි දකින රටවල් බොහෝමයක් කැඩී බිදී එකිනෙකා යුද්ද කර ගනිමින් හුදකලාවේ තමන්ගේ ක්‍රමවේදයකට සෙමින් ඉදිරියට ගිය රටවල්. ඒත් ගතවූ සියවස තුළ එක රටක් තවත් රටවල් ගණනාවක් හා සම්බන්ධ වෙමින් එකිනෙකා අතර සහසම්බන්ධතාවයන් ගොඩ නගා ගනිමින් ලෝකයේ සිදුවන ශීඝ්‍ර වෙනස් කම් වලට මුහුණ දෙමින් සහ දායක වෙමින් ඉදිරියට ගිය රටවල්. ඒක අපිට ‍බොහෝවිට ‍නොවැටහෙන්නේ දැඩි මතදාරී, දැඩි ආගම්වාදී කොදෙව්වක ජීවත් වන නිසයි.  අනෙක ක්‍රමිකව, නිසි ක්‍රමවේදයක් ඔස්සේ අප ජීවතවන කාලයේ දියුණුව සොයාගන්නවා වෙනුවට "ඒ ඒ රටේ මේ ආර්ථික වර්ධනය වැටී ඇත. ඔවුන්ගේ සංස්කෘතිය බිදී ඇත. දැන් ඔවුන්ටත් අපට මෙන්ම දුක්විදින්නට සිදුවේ" යනුවෙන් සැනසෙනවා හැරෙන්නට අපේම කියා ඉදිරිදැක්මක් තිබේද? පරලොව දියුණුව ගැන, සැමවිටකම අල්පේච්ඡතාවය සියල්ලටම තෛලය යයි සිතීමට කලින් සදාචාරවත්, විනය ගරුක, නීති ගරුක සමාජයක වෙසෙමින් ‍මෙලොව දියුණුව ගැන සිතිය යුතුයි. 

යම් විදියකින් ලෝකය තුල ආර්ථික, සාමාජීය කඩා වැටීමක් සිදුවුවහොත් යම් හෙයකින් එය ඉතා ටික කාලයක් අකර්මන්‍යව තිබී නැවත යථා තත්ත්වයට පත්වනු ඇත. දෙවන ලෝක යුද්දයට පසු ජර්මනිය, ඉතාලිය හා ජපානයට මෙම තියරිය සිදුනොවුයේ නම් තවමත් ඔවුන් ලෝකයේ අනෙක් රටවලට වන්දි ගෙවමින් දුක් විදිනු ඇත. වෙනකක් තබා මෙය බොරුවක් නම් අතිමහත් විනාශයක් කළ සුනාමියට පසු අප ලෝකයේ අනෙක් රටවල උදව්වෙන් නැවත නැගී සිටින්නේද නැත. එය තුල සිදුවූ අකටයුතුකම් නොවූවා නම් එම ලැබුන ආධාර සහ උදව් වලින් රට මීට වඩා ඉදිරියට ගෙනයාමට පවා අවස්ථාව තිබුනි.

මේ ඡේදයට අනුව //රාවණා යුගයේ දී භාවිතා කළ සරල තාක්ෂණය කරා යාමට අපට පමණක් නොව ලෝකයටම සිදුවනු ඇත.පොසිල ඉන්ධන දහනයෙන් ඒවා ක්ෂය වූ දිනෙක දැනට භාවිතා වන යකඩ කඳන් කම්මලකදී උණුකරවා යළි සරල යන්ත්‍ර යුගයකට යාමට අප සූදානම් විය යුතුය. යළි පරිසර හිතකාමී වාතය,ජලය, හිරු රැස් උපයෝගී කරගෙන ක්‍රියාත්මක කළ දඬුමොණර,විමාන තාක්ෂණයට යාමට දිනයක් ලෝකයේ ඉතුරු බිතුරු වන පුද්ගල ශිෂ්ඨාචාරයන්ට සිදුවනු ඇත. ඉතින් ඒ රාවණ යුගය නොවේද?// 
පොසිල ඉන්ධන යම් දිනෙක ක්‍ෂය වී අවසන් වන බව ලෝක‍යේ සිටිනා යමක් කමක් දන්නා කුඩා දරුවන් පවා දැන් දනී. ඉතින් මේ අවසන් වුනොත් අපේ රටේ නම් ගොන් කරත්ත හා ඔබ පවසනා අයුරින් සරළ යන්ත්‍ර යුගයට යනු ඇතත් ලෝකයේ අනෙක් රටවල් මෙම තත්ත්වයට මුහුණ දීමට දැන් තියා සූදානම් නොවී ඇතැයි සිතනවාද? රටවල් වල මෙන්ම ඕනෑම සංවිධානයක රහස් ඇත. ඒ අනුව මෙම තත්ත්වයට මුහුණ දීමට සුදුසු තත්ත්වයන් ඔවුන් අනිවාර්යයෙන්ම ගොඩනගා ගෙන ඇතිවා නිසැකයි. තවද ලෝකයේ ශක්ති ප්‍රභව කොතෙක් පසුගිය කාලයේ සොයා ගෙන තිබේද? වාතය, ජලය, හිරුරැස් ආදියෙන් දැනටමත් බලශක්තිය උපදවා ගැනීමට විවිදාකාරවූ යන්ත්‍ර සූත්‍ර උපක්‍රම ඇතුවා පමණක් නොව ඒවා අප නොදන්නා ඔබ දන්නා රාවණා රජුගේ ක්‍රමයට අනුව ගොඩනංවා නොතිබීම වෙනත් කාරණයකි. ඒවා ඔහුද භාවිතා කළ බව වචනයෙන් කියනවා හැරෙන්නට මෙන්න ඒ දෙය කියා පෙන්වන්නට කිසිවෙකුට හැකිද?

අනෙක පොසිල ඉන්දන නොමැතිව විදුලි බලයෙන් හා දෙමුහුන් තාක්‍ෂනය ඔස්සේ අප රටේ මාවත් මත දිවෙන රථ වාහන මේ වන තෙක් දැක නොමැතිද? අවශ්‍ය නම් එහි භාවිතා කරන තාක්‍ෂන ක්‍රමවේදයන් ගැන තොරතුරු මෙම ලිපියේ ඇත.http://sathsamudura.blogspot.com/2011/05/about-hybrid-vehicles-car-of-era.html

ඒ අනුව සහ යථාර්තයක් ලෙස මිනිසුන්ට බලශක්තිය උපදවා ගැනීමට දැන් ලෝකයේ පොසිල ඉන්ධනම අවශ්‍ය නැත. හිරු රැස්, සුළං, මුහුදේ උදම් රළ, න්‍යෂ්ඨික බලය, ජලය, ජීව වායු, වෙනකක් තබා ඇතැම් ශාක වලින්, හෝ අඩුම තරමින් තමන්ගේ ගෙවත්තේ තනා ගත හැකි ජීව වායු ජනකයකින් හෝ මේ දේ කර ගත හැකිය. අනෙක මොනයම් හෝ ක්‍රමවේදයකින් උපදවා ගන්නා විදුලිය ගබඩා කර ගැනීමට විදුලි කෝෂ නිපදවා ඇත. පොසිල ඉන්ධන අහිමි වූ කල ලෝකයම අකර්මන්‍ය වේ නම් පොසිල ඉන්ධන සොයා ගැනීමට පෙර ගල් අගුරු භාවිත කළ අතර ඒවා හිග වෙන්නට යාමේදී ලෝකය අකර්මන්‍ය වී අද තිබෙන අඩියෙන් ඉතා පහළට වැටී තිබිය යුතුය. 

අප දන්නා දේ හරියට ජලයෙන් මතුපිටට පෙනෙන අයිස් කුට්ටියක් වැනිය. නොදන්නා දේ ඒ අයිස් කුට්ටියේ ජලයෙන් යට තිබෙන කොටස වගෙයි. ඒ නිසා ලෝකය දිහා ඇස් වගේම මනසත් ‍හොදට විවෘත කරල බලන්න. ඔබ දන්නවාද දන්නේ නැහැ ලෝකයේ සමහර රටවල පොළව මතුපිට වගේම පොළව යටත් මිනිසුන් නිර්මාණය කර තිබෙන විවිද ඉදිකිරීම් විශ්මය ජනකයි. මම එක් නිදර්ශනයක් ඔබට ලබා දෙන්නම්. ඔබට හැකියාවක් ලැබුනොත්  History Channel මගින් නිපදවලා තිබෙන Cities of the Underworld Series එක නරඹලා බලන්න. එකේ බටහිර රටවල විතරක් නෙමෙයි. ඉතියෝපියාවේ, තුර්කියේ, රුසියාව වගේ රටවල පවා මෑත ඉතිහාසයේ හා ඈත ඉතිහාසයේ කළ පොළව යට හිතා ගන්නටත් බැරි ඉදිකිරීම් තිබෙනවා. නමුත් එයින් ඒ රටේ මිනිස්සු ලෝක‍යේ සිටින සුපිරිම හා අනාගතයේ ලෝකය ගලවාගැනීමේ ජාතිය බවට පත්ව ඇතැයි පවසන්නේ නැහැනේ. මේ වගේ ඉදිකිරීම් විශ්මිතය, ඒත් එහෙම දෙයක් කළ පමණකින් ඒ ජාතිය ලෝකයේ සියළු ජාතීන් අභිබවා යන්නට හේතුවක් නැහැ. කොයි රටක මිනිස්සුන්ටත් අභිමානයක් තිබෙනවා. ඒ වගේම සුවිශේෂ වූ දස්කම් තිබෙනවා. දැන් ඔච්චරම ලංකාවේ අපි සුපිරි නම් ඇයි සුනාමි තත්ත්වය වෙලාවේ ලෝකයේ සහය ගත්තේ.  අපි අපේ සත්‍ය තත්ත්වය වටහා ගත යුතුයි.

තව ගොඩක් දේවල් ඇති අපි නොදන්න. ඒක නිසා නොපෙනෙන අතීතයක, පුරාවෘත්ත වල ඇති චරිත නිසියාකාර අධ්‍යයනකින් තොරව ඒ ගැන එකහෙළාම අදහස් පළ කිරීම වර්ගපූර්ණිකාවෙන් ලබා දෙනවාටත් වඩා විනෝදයක් ගෙන දෙනවා නිසැකයි.

Friday, August 24, 2012

රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth?

මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා රජු පිළිබදව ලිපි මතුපිටින් බැළු විට විහිළුවක් හෝ මානසික රෝගයක් ඇති අය විසින්  ‍ලියන්නේදැයි හැඟුනත් ගැඹුරින් බැළුවිට අතීතකාමයේ ගිලී මනංකල්පිත ‍ලෝකයක හෝ ඇත්ත තත්ත්වයෙන් ඔබ්බට සිතන්නට යන අයට මෙම ලිපිය ගෝචර වෙන්නේ යයි සිතමි.මේ ලිපියෙන් කිසිවිටක අපගේ හෙළ මුතුන්මිත්තන් අපහාසයට හෝ අවමානයකට හෝ හෑල්ලු කිරීමකට ලක්කිරිමට අදහස් නොකරන අතර යථාර්තය පිළිබදව යම් පණිවිඩයක් දීමට පමණක් අදහස් කරමි.

මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වන කරුණක් නම් රාවණා රජු පිළිබදවයි. අපගේ කුඩා කාලයේ මෙතරම් හාහුවක් මේ ගැන නොතිබුන අතර දැන් යුද්දයත් ඉවරවුන පසුව කතාකිරිම දෙයක් නැති කමටදෝ බොහෝ මෘධිත හා බ්ලොග් වැනි විද්‍යුත් මාධ්‍ය වලද රාවණා රජු පිළිබදව කතා කරනවා බොහෝ විට දැකිය හැකිය. අප සාමාන්‍යයෙන් දන්නේ රාවණ නමින් ඉතා ඈත අතීතයේ ලක්දිව රජකම් කළ බවත් ඔහු සතුව දඬුමොනරය නම් ගුවනින් ගමන් කළ හැකි යානාවක් තිබූ බවත්, එම යානයෙන් ඉන්දියාවට ගොස් එහි සිටි රාම කුමරුගේ බිරිය වූ සීතා කුමරිය පැහැරගෙනවුත්, අඩම්තේට්ටම් කිසිවක් නොකර රඳවා ගෙන සිටි බවත්, ඉන්පසු හනුමා නම් දැවැන්ත වදුරු රාජයා මෙරටට පැමිණ මහත් අලකලංචියක් කොට ගිය පසුව දැවැන්ත හමුදාවක්ද රැගෙන පැමිණෙන රාම කුමරු හා යුද්දයෙන් රාවණා රජු පැරදුන බවත්ය.

එහෙත් දැන් දැන් ඊටත් වඩා එහා යමින් රාවණා රජු විසින් නොකරන ලද නිර්මාණයක් ‍නැත. ලංකාවේ කිසිදුවිටෙක රාවණා රජු සිටි බවට ලිඛිත සාක්‍ෂියක් හමුවී නැත. එහෙත් එයින් රාවණා නම් රජකෙනෙකු ලංකාවේ නොසිටි බවටද ස්ථීරවම කිව නොහැක. උදහරණයක් ලෙස අපගේ ඉතිහාසය ගැන කියවෙන ප්‍රධානම ලේඛණය සේ සැලකෙන මහාවංශය ගත‍හොත් එය ලිවීමට පෙර ශතවර්ශ කිහිපයකට පෙර කරුණු එහි ඇත. ඒවා නිසි අයුරින්ම දැන ගැනීමට එකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හෝ ඉතිහාස කටයුතු පිළිබද ආයතනයක් නොතිබූ අතර මහානාම හිමි විසින් සිංහල අට්ඨකතා, ජනවහර ආදියෙන් ලබා ගත් තොරතුරු වලින් මහාවංශයේ තමන් සිටි කාලවකවානුවට පෙර කාලයේ තොරතුරු සම්පිණ්ඩනය කර තිබෙන බව මහාවංශය පදනම් කරගෙන ලියූ මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේද සදහන්ය.


උක්ත ග්‍රන්ථයේ සදහන් පරිදි ඉන්දියාවේ පවා මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයක් නොමැති අතර එරටේ ඇති පුරාණ රාජවලින් ගැන සදහන් ග්‍රන්ථයක් ලෙස සැලකෙන්නේ "රාජතරංගණී" නම් ග්‍රන්ථයයි. එහිද ලියවී ඇත්තේ කාශ්මීරයේ රජකම් කළ රජවරුන් කිහිපදෙනෙකු ගැන පමණි. 

(උපුටා ගැනීම :  මහාවංශය හා සිංහල ජනජීවිතය - සමාරම්භය පිටු අංක xix, xx, xxi)



(උපුටා ගැනීම අවසන්.)

මෙවන් කරුණු සැලකිල්ලට ගත් කළ පුරාතණ ඉන්දියාවේ විසූ වාල්මිකී නම් ඍශිවරයා විසින් රචිත රාමායණය ගුරු කොට ගනිමින් රාවණා සංකල්පයන් මෙන්ම පිළිගත හැකි නිශ්චිත සාක්‍ෂි නොමැතිව රාවණා සංකල්පයන් පුන පුනා පැවසීමෙන් සමාජයට අත්වන වාසිදායක ප්‍රතිඵලයක් පිළිබදව නම් සැක සහිතය.

අනේකවිද ආගම්, ජාතීන් අදත් සිටින ඉන්දියාවේ රාමායණය වැනි කෘති අතිශෝක්තිය, දේවභක්තිය, මිත්‍යාවන් පදනම් කර ගනිමින් පුරාවෘත්තයක් ගොඩනගන්නට ඇත්තේ පුරාතන ඉන්දියානු  මනුෂ්‍ය මනසට ගැලපෙන ආකාරයෙන් විය යුතුය.

ඔබගේ පහසුව පිණිස 2012 ජූනි 02 දා දිවයින බදදා අතිරේඛයේ පළවූ "වාල්මිකීගේ රාමායණය ඉතිහාස විරෝධී ග්‍රන්ථයකි" ලිපියේ මෙම කොටස පළ කරන්නේ හුදෙක් මා ලියන ලිපියේ කරුණු එකහෙලාම පිළිගත යුතුයි කියන මතයේ සිට නොවේ.

උපුටා ගැනීම : වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක්‌ වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක්‌ නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක්‌ ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක්‌ බැවිනි. එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. ප්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක්‌ දැයි හඳුනාගත යුතුය. මුල් අවස්‌ථාවේ ග්‍රන්ථයක්‌ ලෙස නොපැවති මෙය සංස්‌කෘතික ශ්ලෝක 24000 කින් සැකසී තිබුණි. සමස්‌ත රාමායණයට අනුව වාල්මිකී යනු සොර දෙටුවෙකි. ඔහු වනාන්තරයේ මං පහරමින් සිට පසුව සෘෂිවරයෙක්‌ බවට පත්විය. මෙය වාල්මිකී නම් සොරදෙටුවා රාජ වරප්‍රසාද ලබා ගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්‌වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවකු පහළ කර දෙයි. මෙවැනි ප්‍රකාශ, මනස්‌ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතකු පිළිගනී. රාමායණයට අනුව එම දරුවන් දෙදෙනා ලව, කුස නම් වේ. මින් එක්‌ දරුවෙක්‌ වාල්මිකීගේ බව ඊතණ ගසකින් සීතාවට දරුවකු ලබාදීමෙන් තහවුරු වී ඇත. ස්‌ත්‍රියක්‌ වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සති පූජා පැවැත්වූ මිලෙච්ඡ ජන කොට්‌ඨාසයකි. ලක්‌දිව හෙළ කාන්තාව කිසි විටෙකත් තම සැමියා මියගිය පසු ගිනිමැලයට ඇද දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. එබැවින් වික්‍රමතුංග මහාචාර්යවරයා රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් නම් තැනැත්තෙකුගේ බිරිඳ සැමියාගේ වියෝවෙන් පසු ගිනිමැලයට පැන්නේ කුමන පරිච්ඡේදයේ දැයි හෝ සංස්‌කෘතික ශ්ලෝක පාඨයක්‌ රාමායණ තුළින්ම පෙන්වන ලෙස ඉල්ලා සිටිමි. : උපු‍ටා ගැනීම අවසන්.
(මෙම ලිපියද රාවණා රජු සම්බන්ධයෙන් ඊට පසුකාලෙක එම පුවත් පතේ පළවූ ලිපියකි - ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!

රාවණා රජු‍ හෝ වෙනත් රජෙකු ලක්දිව විජයාවතරණයට පෙර මෙහි සිටින්නට ඇත. අනිවාර්යයෙන්ම සමස්ථ හෙළයට හෝ ප්‍රාදේශීය වශයෙන් පාලනය ගෙන ගිය රජෙකු සිටින්නට ඇති බව පිළිගැනීමට සිදුවේ. එහෙත් කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් නොමැතිව ඒ රජු විසින් මේවා නිර්මාණය කළාය. ඔහු මේ මේ විශයන්ට දක්‍ෂයෙකු යයි කීම එම රජුටද කරන නිග්‍රහයකි.

විශේෂයෙන් ලෝකයේ පුනරුදයෙන්, කාර්මික විප්ලවයෙන් පසුකාලීනව මිනිසුන් තුල යමක් පිළිගන්නට විද්‍යාත්මක පදනමක් ඇතිවූවායින් පසුව ඉතිහාසයේ පැවසූ බොහෝ කාරණ "තාරබර" හැරදමා පිළිගත යුතු හෝ අතිශෝක්තිය ඉවත ලා පිළිගත යුතු තත්ත්වයකට පත්විය. උදාහරණයක් ලෙස ගත් කළ යුරෝපීය මධ්‍යතන යුගයේදී රාක්‍ෂයන්, මන්තරකාරියන්/කාරයන්, මකරුන්, අද්භූත සතුන් පරදවා කුමාරිකාවන් ගලවා ගන්නා නයිට්වරුන් යනාදීය ගැන එකළ බුද්ධියෙන් උගත්කමින් අරාජිකව තිබූ මිනිස් මනසට තකටතක විය.
ඈත අතීතයට ගිය ඇමරිකානුවා - A Connecticut Yankee in Kin Arthur's Court වැනි පොත් වල උපහාසය හා ගැඹුරු පණිවිඩයක්ද සහිතව මේ බව පැහැදිලි කර තිබුනි.

‍ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ඉතා ගරුත්වයෙන් අදහන පුරාවෘතයන් තිබේ. එය දියුණු යයි සම්මත රටවලට පවා පොදු කාරණයකි. උදාහරණයක් ලෙස එංගලන්තයේ වැසියන් විශ්වාස කරන, කවදා හෝ නින්දෙන් අවධිවනවා යයි සිතන මහා ආතර් රජුගේ පුරාවෘතයද එවන් එකකි.ඇතැම් දෙනෙකු මෙම පුරාවෘත්තය සත්‍ය චරිතයක් ලෙස පිළිගත්තත් තවත් අයෙකු මෙවන් අයෙකු සත්‍ය ලෙස නොපිළිගන්නා අතර ඇතැමෙකු පවසන්නේ ඉතිහාසයේ මවා ඇති අයුරින් ආතර් රජු මුළු එංගලන්තය පුරා බලය විහිදවූ බලසම්පන්න රජෙකු නොව ප්‍රාදේශීයව සිටි පාලකයෙකු බවයි. 

තවෙකක් තබා මධ්‍යතන යුගයේ චරිතයක් වන රොබින් හුඩ් පවා සත්‍ය චරිතයකට වඩා මිනිසුන්ගේ හිත් පිණවන පුරාවෘත්තයක් බවද පවසයි. (මෙයින් ඔබ රාවණා රජු යනු රොබින් හුඩ්ට සමාන පුද්ගලයෙකු ලෙස අර්ථයක් මනසේ ‍රෝපණය නොකරගත යුතු අතර අදහස් කරනු ලැබුවේ අතීත පුරාවෘත්ත ගොඩ නැගීමේදී සත්‍යයට වඩා එහා ගිහ යමක් එම කතා ගෙතීමේදී එවායේ නිර්මාතෘවරු විසින් කාලයත් සමග යොදා ගෙන ඇත බවයි.)

හෙළ ගවේෂන බ්ලොග් අඩවියේ,"මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට"ලිපිය සම්බන්ධයෙන්ද යමක් කීමට සිතුනේ බොහෝ දෙනා මහාවංශ කතුවරයා විසින් රාවණා රජු පිළිබදව නොසලකා හැරි බවට චෝදනා නගන නිසයි. මහාවංශයේ යම් යම් දුර්වලතා තිබිය හැකිය. එහෙත් අපගේ රටේ ස්වෛරීත්වය බිදින්නට පසුගිය කාලයේ යුදමය වශයෙන් මෙන්ම න්‍යයාත්මක, සෛධාන්තිකව සිදුකළ කටයුතු වලදී අපට යම් තාක් දුරට පිළිගත හැකි ඉතිහාසය පවා විකෘති කිරීමට උත්සහ දැරීමේදී එය වලකා ගැනීමට බොහෝදුරට උපකාරී වූ යේ මෙම මහාවංශයම වේ. මේ ඒ පිළිබදව මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේ සන්සෝනි කොමිස පිහිටුවා එහි කටයුතු සිදුවූ අයුරු සදහන් වන කොටසේ සදහන් වන කරුණු වලින් බිදකි.
(උපුටා ගැනීම  - මහාවංශය හා සිංහල ජනජීවිතය පිටු අංක xxvi සහ xxvii -)

උපුටා ගැනීම අවසන්.

ලිපිය අවසන් කරමින් කියන්නට ඇත්තේ සමහර විට රාවණා රජු මෙරට සිටින්නට ඇත. සමහර විට නොසිටින්නටත් ඇත. සමහර විට ඔහු ඉතා බලසම්පන්න වෙන්නට ඇති අතර ඇතැම් විට ඔහු ප්‍රා‍දේශීයව ලක්දිව රජකළ පාලකයෙකු වන්නටත් ඇති. ඒ කවර අයෙකු වූවත් ඔහු හා ඔහු හා සබැඳුන අනෙකුත් කරුණු කාරණා ගැන විද්‍යානුකූල හා පිළිගත හැකි සාක්‍ෂි වලින් තොරව කරුණු හුවා දැක්වීම තර්කානුකූල නොවනාසේම ඔහුට කරන අගෞරවයක් බවද සලකමි.

එවන් අගෞරවයක් කීරීමෙන් වලකිනවා සේම, ඔහු ගැන ලියා ඇති http://vargapurnikava.blogspot.com/ වැනි බ්ලොග් අඩවියක් කියවීම අතීතකාමයේ ගිලී වර්ථමානය හෝ අනාගතය රාවණා රජ්ජුරුවන්ට බාරදී සිටිනවාට වඩා අපගේ ලේ පිරිසිදු කර ගැනීම තුලින් සෞඛ්‍ය වර්ධනය කර ගැනීමටවත් හේතුවනවා ඇත.

Thursday, August 23, 2012

කතා ඇතුලේ තවත් කතාවක් ලිවීම - Writing thinsgs insidide another things -

අද ලිපියත් ඔබට බ්ලොග් ලිවීමේදී ප්‍රයෝජනවත් වේ යයි අදහස් කරනවා. මුලින්ම අද මේ හදුන්වාදෙන්න යන දෙය ඔබට යොදාගත හැකි අවස්ථාවක් සදහන් කරනවා නම්,  අප ලියන බ්ලොග් පෝසට් එකක් ඇතුළේ එම ගලාගෙන යන කතාව හෝ යම් සිද්ධියට බලපෑමක් නොවන අයුරින් ප්‍රධාන ලිපියට ඍජුව හෝ වක්‍රව හෝ යම් ඔබගේ අදහසක් හෝ විස්තරාත්මක සටහන් කිරීමේ පහසුකම ලැබෙනවා. මේ භාවිතයට අමතරව තවත් ඔබට විවිද භාවිතයන් සමහර විට සිතේවි. ඒවා ඉතින් අවස්ථානෝචිතව භාවිතය ඔබට භාරයි.

මෙන්න මේකයි කරන්නේ. ඔබට මතක ඇතිනේ මීට කලින් බ්ලොග් ලිපියක යම් අවශ්‍ය තැනකට Box එකක් යොදාගන්න ආකාරය පැවසුවා.

ඒත් මෙහිදී අප යොදාගන්නා Box එකට අසුරාගත හැකි ප්‍රමාණයට වඩා වචන තිබුනොත් Box එකට පිටතටත් ඒවා පැමිණෙනවා. ඉතින් අද කරන්නේ මේ Box එකට Scroll Bar එකක් එකතු කිරීම මගින් කලින් යොදගත් ප්‍රායෝගික අවස්ථාවන්ට වඩා වෙනස් ආකාරයෙන් භාවිතා කිරීමයි.

මෙම උපයෝගීතායත් ක්‍රම දෙකකට කර ගන්න පුළුවන්. පළමු ක්‍රමය තමයි Add CSS වලට එකතු කිරීම.නැත්නම් අවශ්‍ය ස්ථානයේදී HTML mode වලදී එම box එක ලබා ගැනීමට අවශ්‍ය කේතය ඒ ඒ වෙනස්කම් ඇතිව ලිවීම.

මුලින්ම Add CSS වලට CSS කේතය එකතු කරන හැටි කියන්නම්. මෙයට අවශ්‍ය මූලික පියවරයන් පසුගිය
ලිපි වලින් දැන ගැනීමට පුළුවන්.

මෙන්න කේතය

<style> #box2{ background-color:#CCFFFF; overflow:auto; width:500px; height:200px; border:double; border-bottom-style:outset; padding-left:5px; padding-right:5px; text-align:justify; } </style>

ඉන්පසුව කරන්නට තියෙනනේ අපි ලිපියක් ලියන විට එහි HTML mode එකට ගිහිල්ලා. මෙන්න මේ විදියට කේතයන් හා අවශ්‍ය ඡේදයන් භාවිතා කරන්න
<div id="box2"><p>ලිපියට බලපෑමක් නොවන අයුරින් එකතු කළ යුතු ඡේදය</p></div> 

මෙන්න මේ වගේ දෙයක් ඔබට දැක ගැනීමට ලැබේවි.

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.


මේ දැක්වෙන Properties ඔබට අවශ්‍ය නම වෙනස් කර ගැනීමට පුළුවන්. එසේම දක්වා නැතත් border සහ border-bottom-style කැමති නම් වෙනස් කිරීමට හෝ ඒවා ඉවත් කර ‍මුල් කේතය භාවිතා කිරීමත් පුළුවන්.
දැන් ඔබට ADD CSS වලට කේතය ඇතුළු කරන්නේ නැතුව අවශ්‍ය ස්ථානයේදී CSS code එකම ලිවීමෙන් මෙය කරන හැටි දක්වමි.

<div id box style="overflow: scroll; width:520px; height:200px; background-color:#CCFF99; padding-left:10px; padding-right:10px; border:thin; border-style:ridge;"><p>අවශ්‍ය ඡේදය</p></div>

මේ කැමති ආකාරයකට ඔබ භාවිතා කර බලන්න...

Wednesday, August 22, 2012

කුරුමිණි අඩු ලොකු කර පෙන්වීම - Zooming Effect

ඔබගේ බ්ලොග් එකේ අකුරු විශාලනය කර තිබෙන ප්‍රමාණය ඒ ඒ අවස්ථාවල ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සෑම විටකම අකුරු ප්‍රමාණය වෙනස් කිරීම එක් බ්ලොග් ලිපියකට හොද ප්‍රතිඵල ගෙන දුන්නට සමහර විට අනෙක් ලිපි වලට එය එතරම් සුදුසු නොවෙන්න පුළුවන්. මේ නිසා අවශ්‍යනම් කෙනෙකුට ලිපියක් කියවන අවස්ථාවේම අකුරු ආයාසයකින් තොරවම ලොකු කරල බලන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. මේ ලිපියෙන් ඒ කාර්යය කර ගන්නා ආකාරය ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි. ඒ වගේම යම් වැදගත් සබැඳියක් ව‍ගේ දෙයක් ටිකක් අවධාරණයෙන් ඒ මතට Mouse pointer එක ගෙන ගිය විට පෙන්වන්නත් මෙම ක්‍රමය යොද ගන්නට පුළුවන්.

සුපුරුදු ආකාරයටම මේ CSS code එකත් Blogger Template Designer හිදී Add CSS වලට එකතු කර ගන්න ඕන. ඉතින් මේ ‍මොහොතේත් කියන්නේ කලින් ලියන ලද බ්ලොග් ඉඟි තේමාව යටතේ ලිපි පරිශීලනයෙන් එම කාර්යයට ඇවසි මූලික පියවරයන් දැනගැනීමට හැකියි.

මෙන්න මේ කේතය තමයි ඉහත කී ස්ථානයට අලවා ගන්න ඕන.

<style> #text:hover{ font-size:2em; } </style>

මෙහිදී 2em ලෙස දක්වා ඇත්තේ පවතින අකුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් විශාලත්වයෙන් අකුරු පෙන්වන ලෙසයි. ඔබ කැමති නම් එම අගයට කැමති අගයක් දී අත්හදා බලන්න.
දැන් මෙන්න මේ ආකාරයට එය ඔබට අවශ්‍ය ලිපියේ අවශ්‍ය කැනට යොදාගන්න. එය සදහා සුපුරුදු පරිදි HTML mode එකේදී මේ කේතය ඇලවීමෙන් එම ජේදයක් මතට Mouse pointer එක ගෙන ගිය විට විශාල කර බැලිමට හැකියි.
<div id="text"><p>අවශ්‍ය ඡේදය</p></div>
මෙන්න එවිට දිස්වන ආකාරය :

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.

ඔබට යම් සබැඳියක් මේ ආකාරයෙන් විශාලනය කර පෙන්වීමට මේ ආකාරයට කේතය  HTML mode එකේදී භාවිතා කරන්න.

<div id="text"> <a href="httt://www.google.lk">Google</a></div> <div id="text">

මෙන්න එවිට :

<a href="httt://www.google.lk">Google</a> වෙනුවට ඔබ කැමති සබැඳිය ලබා දෙන්න.

බලන්න මේ උපක්‍රමත් ඔබගේ බ්ලොග් ලිවීමේ කාර්යයට ප්‍රයෝජනවත් වේවිද කියා...

Tuesday, August 21, 2012

බ්ලොග් පෝස්ට් එකක අකුරු අවශ්‍ය විට Blink වීමට සකසා ගැනීම - How to Blink Your Blog Text -

මේ පෝස්ට් එකත් බ්ලොග් එකේ අකුරු සම්බන්ධවයි. මෙහිදී කරන්නේ අපිට අවශ්‍ය ස්ථානයක්, උදාහරණයක් විදියට කියනවා නම් යම් මාතෘකාවක්, කැපී පෙනෙන සේ යමක් හැඟවිය යුතු තැනක් හෝ යම් සබැඳියක් වඩා කැපී පෙනෙන සේ මෙන්න මේ ආකාරයට blink කර ගැනීමේ ක්‍රමය තමයි කියලා දෙන්න යන්නේ.

මේකත් ක්‍රම දෙකකට කර ගන්නට පුළුවන්. අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් class එකක් Blogger Template Designer වලදී Add CSS වලට එකතු කිරීමෙන් හෝ පෝස්ට් එකේ අවශ්‍ය ස්ථානයේදී HTML Mode එකේදී CSS code එකක් භාවිතයෙන් මේ කාර්යය කර ගැනීමට සැකසිය හැකියි.

පළමුවෙන්ම Add CSS වලට class එකක් එකතු කරන විදිය බලමු. සුපුරුදු පරිදි මෙයට අවශ්‍ය මූලික පියවරයන් වන අදාල ස්ථානයට පිවිසීම
බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...

සහ 
පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?
යන පෝස්ට් වලින් දැන ගැනීමට පුළුවන්. 

ඉන්පසු එම ස්ථානයට මෙන්න මේ කේතය අලවන්න.


<style> .blink_Text{ text-decoration:blink; } </style>


ඉන්පසුව යම් ස්ථානය අකුරු blink කර ගන්න ඕන නම් මෙන්න මේ විදියට HTML Mode එකේදී භාවිතා කරන්න.

<span class="blink_Text">මෙන්න Blink විය යුතු අකුරු</span>


මෙන්න Blink විය යුතු අකුරු

ඔබට යම් සබඳැයික් මේ විදියට Blink කර ගන්න ඕන නම්; උදාහරණයක් ලෙස Google.lk සබැඳිය භාවිතා කර ඇත.
<span class="blink_Text"><a href="httt://www.google.lk">Google</a></span>

Google

ඔබට යම් මාතෘකාවක් මේ විදියට Blink කර ගන්න ඕන නම්;
<span class="blink_Text"><h1>මාතෘකාව</h1></span>

එතකොට මෙන්න මේ විදියට ලැබේවි -

මාතෘකාව



ඒ වගේම ලිපියේ ආරම්භයේ කියන ලද දෙවන ක්‍රමය වන Class එකක් භාවිතා කරන්නේ නැතුව අවශ්‍ය ස්ථානයේදී blink කර ගන්නෙ මේ විදියටයි.

<span style="text-decoration: blink;"><a href="https://www.google.lk/">https://www.google.lk/</a></span>


ප්‍රතිඵලය කලින් පරිදිමයි -
https://www.google.lk/
(මෙහි <a href="https://www.google.lk/">https://www.google.lk/</a> යන්න දක්වා ඇත්තේ උදාහරණයක් ලෙස වන අතර එයට ඔබට මුලින් පැවසූ ආකාරයට යම් වචනයක්, මාතෘකාවක් හෝ කැමති ස්ථානයකට උචිත ආකාරයෙන් උපයෝගී කරගන්න).
දැන් ඔබට මේ දේවල් අත්හදා බැලීමේ අවස්ථාවයි...

Monday, August 20, 2012

ලොකු ගල් දෙකක් වෙනුවෙන් රණ්ඩුවෙන ජපානය හා දකුණු කොරියාව - Dokdo a.k.a. Takeshima island incident

ජපානය හා දකුණු කොරියාව කියන්නේ ආසියාවේ මුලින්ම සංවර්ධනය වූ හා ආසියාවේ සිටින ඇමරිකාවේ සුමිතුරුම රටවල් දෙකයි. වර්ථමානයේ ජපානය කියන්නේ බොහොම ගෞරවනීය සාමකාමී රටක් ලෙස පැවතුනත් අතීතයේ, ඒකියන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව නම් බොහොම දඩබ්බර, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැති රණකාමී, යුදකාමී රටක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. එදා අග්නිදිග ආසියාවේ බලය ඉතා දරුණු හා බිහිසුනු ක්‍රමවේදයන් ඔස්සේ අනුගමනය කළ ජපානය, මෙල්ල වූයේ ඇමරිකාව විසින් අවසාන විසදුම ලෙස එල්ල කළ පරමාණු බෝම්බ දෙක නිසයි.

ඉන්පසුව යුදකාමී පිළිවෙතෙන් ඔබ්බට යාමට සිදුවූ ජපානය තමන් අතින් හානියට පත්වූ ජාතීන්ට වන්දි ගෙවමින් තමන්ගේ සංවර්ධනයට ශිඝ්‍රයෙන් ලගාවූවා. කෙසේවෙතත් ජපානය දෙවන ලෝක යුද්ද කාලේදී චීනයට හා කොරියානු අර්ධත්වීපයේ ජනයාට කළ අකටයුතුකම් නම් අසීමිත බව පැවසෙනවා. මේ සබැදියේ ඒ සම්බන්ධයෙන් කාරණා ඇති.
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්


එයින් වඩාත් සංවේදීම කාරණයක් වූයේ කොරියානු මෙන්ම තවත් රටවල් ගණනාවක ලඳුන් සිය සොල්දාදුවන්ගේ මනදොල සපිරීමට යොදා ගැනීමයි. ඔවුන් ඒ අවධියේ හදුන්වන් ලැබුවේ "Comfort Women" නමින්. මෙම "සැපදෙන ‍ලඳුන්" ගේ සිද්ධිය යුද්දයෙන් පසුවද වරින්වර කරලියට නැගෙන්නක්. 

 
පසුව කොරියානු අර්ධත්වීපය උතුරු-දකුණු සේ ‍බෙදී ගිය අතර ජපානය හා ‍දකුණු කොරියාව  මිතුරුන් බවට පත්වූ අතර උතුරු කොරියාව තවමත් පවතින්නේ ලෝක සිතියමේ දේශපාලනික හා සාමාජීය වශයෙන් හුදකලා රටක් ලෙස

කාලයක පටන් ඉතා මිතුරු දැන් මේ  රටවල් දෙක අතර සබදතාව ගිණියම් වෙන්නට පටන් අරන්. එයට හේතුව තමයි කාලෙකට ඉස්සෙල්ලා ජපානය විසින් අයිති කරගත්තා යයි පැවසෙන එහෙත් දෙවන ලෝක යුද්දයෙන් අනතුරුව දකුණු කොරියාව තමන්ගේ මතයේ සිට අයිති යයි පවසා 1952 සිට අයිතිය කියා පාමින් පරිපාලණය කරන එහෙත් ජපානයත් අයිතිය කියා පාන දකුණු කොරියානුවන් "Dokdo" ("solitary island") ලෙසත්, ජපානය "Takeshima" ("bamboo island") ලෙසත් හදුන්වන දූපතට පසුගිය අගෝස්තු 10 වනදා දකුණු කොරියානු ජනපති Lee Myung Bak මහතා සංචාරයක යෙදීමයි. 

එය ජපානය කුපිත කරවන්නට හේතුවූවා පමණක් නොව ජපානය විසින් තම තානාපතිවරයාව දකුණු කොරියාවෙන්  තාවකාලිකව ඉවත් කර ගන්නට තරම් හේතුවූ බවද පැවසෙනවා.

මෙම රටවල් දෙකම ලංකා‍ව හා ඉතා මිතුරු මෙන්ම අපට නිරතුරු උපකාර කරන රටවල් දෙකක් වීම මෙන්ම යුද්ධයකින් බැට කන්නේ සාමාන්‍ය මිනිසුන් නිසා අමිහිරි  සිදුවීම් වලින් තොරව මෙම ගැටළුව සාමකාමීව  විසදා ගැනීමට ඉඩකඩ ලැබේවායි පතන අතරම මෙම දූපත කෙබදු එකක් දැයි අපි කෙටියෙන් විමසා බලමු.

ඉහත පැවසූ  Dokdo සහ Takeshima යන නම් වලට අමතරව මෙම දූපත Liancourt Rocks ලෙසද හදුන්වනු ලබනවා. දූපතක් කියුවන් ඇත්තෙන්ම  ප්‍රධාන වශයෙන්   ගල් පර්වත දෙකක් කුඩා ගල් පර්වත 35 ක් පමණ විසිරී ගිය කලාපයක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඉංග්‍රීසි-ප්‍රංශ උරුවකට මෙම දුපතට Liancourt Rocks නැත්නම් Le Liancourt ලෙස හදුන්වන්නට හේතුව තමයි 1849දී මෙම දූපත් ආසන්නයේදී ප්‍රංශයට අයත් තල්මසුන් දඩයමේ යන නැවක් ගල් පරවල වැදී සුනුවිසුනුවීයාම.

මේ සමස්ථ ගොඩබිම් ප්‍රමාණයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 0.18745 ක් හෙවත් අක්කර 46.32 ක්. ප්‍රධාන වශයෙන් විශාල පර්වතයන් දෙකක් ලෙස පවතින මෙහි විශාලත්වයෙන් වැඩි කොටස බටහිර පර්වතය වන අතර එහි තමා උසම ස්ථානය වන මීටර් 168 ක ස්ථානය පිහිටා තිබෙන්නේ. එසේම ගල් ගුහා ආදියෙනුත් පිරුණ මෙම දූපත අක්කර 21.90 ක විශාලත්වයෙන් යුතුයි.

නැගෙනහිරින් පිහිටා තිබෙන දූපත කුඩා වුවත් ප්‍ර‍යෝජනයට ගතහැකි භූමිභාගය ලෙස සැලකෙන්නේ නැගෙනහිරින් පිහිටි දූපතයි. එය වශාලත්වයෙන් අක්කර 18.1 ක්.

මෙම දූපත් දෙකට දකුණු කොරියාවේ සිට හා ජපානයේ සිට ඇති දුර පවසනවා නම් දකුණු කොරියා ප්‍රධාන භූමියේ සිට කිලෝ මීටර් 216.8 ක් සහ ජපාන ප්‍රධාන භූමියේ සිට 157.5 ක්. ඒත් දකුණු කොරියාවට අයත් තවත් දූපතක් වන Ulleung-do නම් දූපතේ සිට මෙම Dokdo දූපත් වලට දුර කිලෝ මීටර් 87.4 ක් පමණයි.

මෙම දූපතට මේ රටවල් දෙකම මෙතරම් ආසාවෙන් සිටීමට හේතුව තමයි හොද මතස්‍ය සම්පතක් මෙන්ම ස්වාභාවික ගෑස් නිධි පිහිටා තිබීම.

1991 දී මෙම දූපතට දකුණු කොරියාව විසින් තම පුරවැසියන් දෙදෙනෙකු පිටත් කර පදිංචි කරනු ලැබුවා ඒ බුවල්ලන් දඩයම් කරන මසුන් මරන්නෙකු හා ඔහුගේ බිරිදයි. ඒත් ඔවුන් තනිපංගලමේ නෙවෙයි ඒ දූපතේ සිටින්නේ. දකුණු කොරියානු පොලීසියේ මහත්වරුන් 37 දෙනෙක්, ඒවගේම දකුණු කොරියානු ධීවර හා සමුද්‍ර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන් තිදෙනෙකු සහ මෙම දූපිතේ පිහටා ඇති ප්‍රදීපාගාරයේ වැඩ මුර වශයෙන් සේවය කරන නිලධාරීන් තිදෙනෙකුත් සිටිනවා.

දකුණු කොරියාව විසින් මෙහි කර ඇති ඉදිකිරීම් ලෙස පෙර පැවසූ ප්‍රදීපාගාරයට අමතරව පොලිස් බැරැක්කයක්, හෙලිකොප්ටර් බෑමට ස්ථානයක්, උඩු ගුවනට පෙනෙන විශාල දකුණු කොරියානු ධජයක්, පියගැට පෙලක් වගේම දිනකට ටොන් 28 ක ජලය පිරිපහදු කළ හැකි මුහුදු ජල පිරිපහදුවකුත් පිහිටා තිබෙනවා. ඒවගේම එරටේ ප්‍රධාන පෙළේ දුරකථන සමාගම් වල කුළුනුත් මෙහි පිහිටුවීමට වගබලාගෙන තිබෙනවා.

මේ දූපත පිළිබදව වැඩි විස්තර පහත සබැදියන්ගෙන් අවශ්‍ය නම් ලබා ගත හැකියි.  මේ ගැටළුව කොහොම නිරාකරණය වේ දැයි අපට ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකිවේවි.

en.wikipedia.org/wiki/Liancourt_Rocks
http://www.dokdo-takeshima.com/

Sunday, August 19, 2012

හොද මිනිසුන්ගේ හොද වැඩ සදහා ප්‍රසිද්ධිය හා ජාතිවාදය අවශ්‍ය නොවේ. මේ එයට උදාහරණයකි...

ඔබට මතකද දැනට මාස දෙකකට පමණ පෙර මා මෙහි පළ කළා ගලහ ප්‍රදේශයේ කුඩා දරුවන් පිරිසකට පෙර පාසලක් සාදා ගැනීමට උපකාර කරන ලෙස. ඔබට මතක නැතිනම් මෙන්න ඒ ලිපිය.


කියන්නට සතුටුයි අගෝස්තු 10 වනදා එම පෙර පාසල තනා අනාගතය භාර ගැනීමට සිටින එම අහිංසක දරුවන්ට භාර දීමට පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි ප්‍රමුඛ හෙළ විජය තරුණ සංවිධානයට හැකිවුනා. තවත් කාරණයක් තමයි එය සදා නිම කිරීමට ඇස්‍තමේන්තු කළ මුදලටත් වඩා සෑහෙන්න අඩු මුදලකට එම කාර්යය කරගැනීමට හැකිවීම. මෙන්න මේ සබැදියේ තිබෙනවා එම පින්වත් පිරිස කුඩා උත්සවයක් පවත්වා පෙර පාසල විවෘත කළ අවස්ථාවේ ගත් සේයාරු හා විස්තර.


තවත් කාරණයක් තමයි සත් සමුදුරේ එදා මේ ගැන පළ කළ ලිපිය දැකලා දෙස්විදෙස් පින්වතුන් රැසක් මූල්‍යමය ආධාර කර තිබෙනවා එම සත් කාර්යය ඉටු කර ගැනීමට. ඒ එක්කම ඔවුන් හැම දෙනෙක්ම, තමන් එයට දායක වූ බවට කිසිදු ප්‍රසිද්ධියක් හෝ සදහනක් නොකරන ලෙස ඉල්ලා සිටි බවද අවධාරණයෙන් මතක් කළ යුතුයි. ඒ නිසා කණගාටුවෙන් වූවත් එවන් මහඟු වැඩ සටහනකට දායක වූ හා ඉදිරියේදිත් දායක වීමට බලාපොරොත්තුවන එවන් සුගන්ධවත් මිනිසුන් ගැන නම් වශයෙන් කතා කිරීමට නොහැකී වූවත් පුහු ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් ඕනෑම අන්තවාදයක් පසෙක ලා තමන්ගේ යුතුකම රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ඉෂ්ඨ කිරීමට සම්බන්ධ වූ සියල්ලන්ටම මේ අවස්ථාවේ ස්තූතී පූර්වක මල් පොකුරක් පිළිගන්වමි.

Saturday, August 18, 2012

19 වන සියවසේ විසූ චිත්‍රශිල්පීන් ඇමරිකානු ජන ජීවිතය සිතුවමට නැගූ හැටි - How early American Artists saw their 19th Century life

මෙම ලිපියට පෙර පළවූ "ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything" ලිපිය මෙතෙක් සත් සමුදුරේ පළ කරන ලද දීර්ඝම ලිපියයි. ඒත් එය එතරම් දෙනෙකුට විශය වී නොමැති බව හැගුනේ එය කියවන්නට ආ පිරිස ඉතාමත් ස්වල්පදෙනෙකු වීම නිසයි. කෙසේවුවත්  සතියක් පුරාවට ඉමහත් වෙහෙසක් දරා ලියූ  එවන් ලිපි කවදා කාට  හෝ ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ලෙන් සිතට නැගුන සියුම් කණගාටුව අවම කර ගනිමින් ඇමරිකානු ජන ජීවිතය 1800 ගණන් වල එනම් 19 වන සියවසේදී ඇමරිකාවේ සිටි දක්‍ෂ චිත්‍රශිල්පීන් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස්‍ රෙද්ද මත සිතුවමට නැගූ අයුරු අද ඉදිරිපත් කිරීමට සිතුවා. වැඩි විස්තර මොනවත් කියන්නේ නැහැ. චිත්‍රශිල්පියා, සිතුවම් කළ කාලවකවානුව හා තේමාව  සිතුවම සමග ලියවී තිබේවි.

George Caleb Bingham (American artist, 1811-1879)
Raftsmen playing cards

Carl Hirschberg (American artist, 1854 – 1923)
The Orange

George Caleb Bingham (American artist, 1811-1879)
The Jolly Floatmen

George Caleb Bingham (American artist, 1811-1879)
Fur Traders Going down the Missouri

Henry Mosler (American artist, 1841 – 1920)
Canal Street Market

Henry Mosler (American artist, 1841 – 1920) Just Moved

Henry Ossawa Tanner (American artist, 1859–1937)
Spinning by Firelight

Henry Ossawa Tanner (American artist, 1859–1937)
The Banjo Lesson

James Wells Champney (American artist, 1843–1903)
Wedding Presents

Jennie Augusta Brownscombe (American artist, 1850-1936)
Love's Young Dream

Jerome B. Thompson (1814–1886) Apple Gathering

Jervis McEntee (American painter, 1828-1891) My Little Fisher Girl 1875

Otto Henry Bacher (American painter, 1856-1909)
Richfield Center, Ohio, 1885

Theodor Kaufmann (American painter, 1814–1896) On To Liberty

Thomas Le Clear (American artist, 1818–1862) Young America

Thomas Prichard Rossiter (American artist, 1818–1871)
Spilt Milk

Thomas Waterman Wood (American artist, 1823–1903)
Election Returns

Thomas Waterman Wood (American artist, 1823–1903)
Politics in the Workshop

Thomas Waterman Wood
(American artist, 1823–1903)
His First Vote

Thomas Waterman Wood (American artist, 1823–1903)
The Toothache His Own Doctor

Thomas Waterman Wood (American artist, 1823–1903)
The Yankee Pedlar

William Smith Jewett (American artist, 1812–1873)
The Promised Land The Grayson Family

Virgil Macey Williams (American artist, 1830–1886)
Garden Gate in Nantucket

William Lippincott (American artist, 1849–1920)
Love Finds the Way

William Lippincott (American artist, 1849–1920) Love's Ambush
මේ පින්තූර ලබා ගත්ත තැන නොකියුවොත් අඩුවක් වගේම එම වටිනා කාර්යය කළ කෙනාට අසාධාරණයක් වේවි. මෙන්න මෙම පින්තුර ලබා ගත් සබැඳිය - http://bjws.blogspot.com/2011/06/genre-paintings-of-everyday-life-in.html#comment-form

කාලෙකට ඉස්සෙල්ලත් සත් සමුදුරේ මේ වගේ සියවසකට පමණ පෙර ඇමරිකානු ජන ජීවිතය ගැන කතා
කළ ලිපි දෙකක් තිබුනා. මෙන්න අවශ්‍ය නම් ඒ ලිපි දෙකටත් යන මඟ

ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ ගට්ඨනය පෙන්නුම් කෙරෙන The Last of Mohicans සහ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America

ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America - දෙවන කොටස

Thursday, August 16, 2012

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything - The Life of Leanardo Da Vinci

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුද ඔහු?  පසුගිය ලිපි කිහිපයෙන්ම ඔහුගේ විවිද නිර්මාණ ඔස්සේ ඔබගේ අවධානය ලබා ගත් පුනරුද යුගයේ විශ්මකර්මයා ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණය කලාකරුවා, විද්‍යාඥයා, ඉංජිනේරුවා, තාක්‍ෂනවේදියා පිළිබදව වඩාත් සවිස්තරව කතා කිරීමේ අවස්ථාව මේ ලිපිය ඔස්සේ ලබා දෙන්නයි මේ බලාපොරොත්තුව. මේ ලිපිය තුල ප්‍රධාන කතාව තුල තව උපකතා මැවේවි. තවත් විටක ඒ උපකතා ඇතුලේ තවත් උපකතා මැවේවි. මේ කතා සියල‍්ලේදීම කියවෙන්නේ එකම පුද්ගලයා පිළිබදවයි. ඒත්  සමහර දේවල් ගැන පටු විදියට නොබැළුවොත් ඒ කියන දේවල් වලින් අගෞරවයක් සිදු නොවේවි. නැත්නම් පෙනෙන්නේ පහත් පෙළේ ඕපාදුප ටිකක් පමණක් වේවි. කොහොමවුනත් නිරවල් මනසකින් මෙම ලිපිය කියෙව්වොත් ඒ හැම දෙයකින්ම කියවෙන්නේ ඔහුගේ විවිද නිර්මාණයන්ට මනුෂ්‍ය හැගීම්, සිතුම් පැතුම් දායක වූ ආකාරය බව ඔබට වැ‍ටහේවි.

The Man Who wanted to know everything

Leonardo da Vinci – The genius and his inventions


පුනරුදයුගය (Renaissance) එහෙමත් නැත්නම් "නැවත ඉපදීම" (Rebirth) ලෙස සැලකෙන යදම් වලින් වෙලී තිබූ මිනිසාගේ භෞතික ශරීරය මෙන්ම අධ්‍යාත්මය නිදහස් තත්ත්වයකට පත්වී ලෝකය අභිවෘද්ධියට හේතුවූ කාලපරිච්ඡේදයේ ප්‍රමුඛතමයා ලෙස පවා සැලකෙන්නේ අප මේ කතා කරන ලියනාඩෝ ඩාවින්චි නම් "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන්න බොරුවක් කළ තැනැත්තායි. ඔහු අනාගතය දුටු අයෙක් ලෙසද යමෙකු පවසයි. එදා පල්ලියේ ග්‍රහණයට හසුව මිනිස් අධ්‍යාත්මය පවා ඔවුන්ට ඕනෑ අයුරින් හසුරුවන ලැබූ යුගයක තම කාලයේදී නිර්මාණය නොවන දේවල් පවා තම සටහන් පොතේ චිත්‍රණය කිරීමට ඔහු සමත් වූයේය. එදා ශාස්ත්‍රීය අධ්‍යාපනය ලෙස සැලකෙන ලතින් හෝ ග්‍රීක සාහිත්‍ය හැදෑරිමක් කිසිදු කළෙක ඩාවින් සිදු නොකළත් ලෝක පූජිත දාර්ශනිකයන් සේ සැලකෙන සොක්‍රටීස්, ආකිමීඩිස්, ඇරිස්ටෝටල් ආදීන් හා සමතත්ත්වයේ ලා සැලකිය යුතු ගෞරවයක් උත්පාදනය කර ගැනීමටද සාමාර්ථයක් දැක්වීය. ඉතාලි පුනරුදයේ දේව සංකේතය (God Symbol of Italian Renaissance) ලෙසද මෙම විශ්මිත මිනිසාව, ඔහුගේ මරණයෙන් පසුව පසුගිය සියවස් කිහිපයදී සැලකීමද අතිශයින්ම සුවිශේෂී බව මතක් කළ යුතුය.


තවම අවසන් කර නැතත් මේ දක්වා පළවී ඇති මධ්‍යතනය යුගය පිළිබදව ලිපි පෙළේදී යමක් පවසා ඇති නිසා කුමක්ද මධ්‍යතන යුගය යන්න පිළිබදව මේ මොහොතේ කතා නොකරත් ප්‍රංශයෙන් ඇරඹුනායැයි පවසන පුනරුදය වඩාත් සාර්ථක ලෙස ඉහළට නැගුනේ අප කතානායකයා ඉපදුන ඉතාලිය නම් රාජ්‍යයේදී බව මේ පිළිබදව විද්වත් මත දරන්නන්ගේ මතයයි. 

ඉතාලියේදී සිදුවූ පුනරුදයේදී පතාක යෝදයෙකු වූ ඩාවින්චිගේ උපත ගැන කතා කරන්නේ නම් එය අද සමාජ සම්මත බසින් පවසන්නේ නම් අවජාතක දරුඋපතක් සේ සැලකුනා. එයට හේතුව ඔහුගේ පියා සහ මව විවාහ වී නොසිටීමයි‍. පුනරුද යුගයේ සුප්‍රකට වාණිජ නගරයක් හා එවකට ස්වාධීන පාලනයක් තිබූ Florance නගරයෙන් පිටත පිහිට වින්සි නම් නගරයේ, ටුස්කන් නම් තරමක් කදුකර ගමේ උපත ලබන ලියනාඩෝගේ පියා  Piero Fruosino di Antonio da Vinci වන අතර ඔහු වින්සි නගරයේ ධනවතෙක් මෙන්ම නීති උපදේශකයෙකු සහ වෘත්තියෙන් නොතාරිස් ලෙසද සේවය කළ ප්‍රභූ පැලැන්තියේ අයෙක්. ‍‍නොතාරිස් වෘත්තිය ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ගිය රැකියාව ලෙසද ඔවුන් සලකා තිබුනා.

මේ අනුව ලියනාඩෝ ඩාවින්චිගේ උප්පත්ති නම ලෙස තැබෙනේනේ "Lionardo di ser Piero da Vinci" (meaning "Leonardo, (son) of (Mes)ser Piero from Vinci".The inclusion of the title "ser" indicated that Leonardo's father was a gentleman) ලෙසයි. කැත්රිනා නම් ඔහුගේ මව ගම්බද කාන්තාවක් වන අතර තවත් අය පවසන්නේ එම කාන්තාව ඩාවින්චිගේ පියා යටතේ සේවය කළ මෙහෙකාර කතක් බවයි. කෙසේවෙතත් පසුකළෙක මෙම දෙදෙනාම වෙනම විවාහයන් කර ගන්නා අතර ඩාවින්චිට මේ දෙදෙනාගේ කසාද නිසා ඔවුන්ට ලැබුන දරුවන් අනුව ඥාති සොහොයුරු සොහොයුරියන් 17 දෙනෙකු සිටි බවද පැවසෙනවා. ලියනාඩෝ ඩාවින්චිගේ උපන් දිනය සේ සැලකෙන්නේ 1452 අප්‍රේල් 15 වෙනිදායි.
ඩාවින්චිගේ ටස්කන් නිවස

සාම්ප්‍රධායික අදහස් වලින් එක තැන පල්වී ඇති වර්ථමාන රටවල් සේම එකල ඉතාලියේ පවා අවජාතක දරුවන්ට ලැබුනේ සමාජයේ අඩු සැලකිලිබව ඩාවින්චි ගැන කතා කිරීමේදීද පෙනීයන කරුණකි. එසේ පැවසීමට හේතුව නම් තම පියා සහ මවගේ කසාදය කොලේක අත්සන් නොතැබීම හෝ පල්ලියේ චාරිත්‍ර අනුව ‍සිදුනොකිරීම යන හේතුව මත ඩාවින්චිට සිය පියාගේ වෘත්තිය වූ නීතිඥයකු වීමේ වරම හෝ අද මෙන්ම එකළද ලොව ප්‍රමුඛතම වෘත්තියක් වූ වෛද්‍යවරයෙකු වීම සදහා යොමුවීමේ අවස්ථාව නොලැබේ.

කෙසේවෙතත් සමාජයේ උසස් වෘත්තියක ලෙස සැලකෙන නීතිඥයෙකු වීමේ වරම අහිමිවුවත් ඔහුව චිත්‍රකර්මයෙන්වත් ඉහළ යැවීමේ අරමුණින් ඩාවින්චිගේ පියා විසින් ඩාවින්චිට වයස අවුරුදු 15 වන පමණ වන තැනදී එවකට ඉතාලියේ නමගිය චිත්‍රශිල්පියෙකු වූ  Florance හි Andrea del Verrocchio වෙත භාරකරනු ලබනවා.

එසේ භාරකිරීමට ප්‍රථමයෙන් පවා කුඩා කල සිටම චිත්‍ර ඇදීමට ඩාවින්චි තුල තිබූ සහජ හැකියාව දුටු ඔහුගේ පියා, තම පුතා විසින් ඇදි සිතුවම් පෙර පැවසූ චිත්‍ර ශිල්පී Verrocchio වෙත රැගෙන ගිය පසු ඔහුද විශ්මයට පත්වන අතර ඩාවින්චි සතු මෙම මහඟු හැකියාව තවත් ඔපමට්ටමක් කර ගැනීමට තමන්ට ඩාවින් තමන්ගේ චිත්‍රාගාරයට (bottega or artists’ studio)  එක්කරන මෙන් දන්වනවා. මෙතැන් සිට වසර 10 ක් යන තෙක් Verrocchio ගෙන් චිත්‍ර ශිල්පය, මූර්තිශිල්පය, ලෝහ වාත්තු කිරීම මෙන්ම රත්‍රංවලින් නිමැවුම් කිරීම පිළිබදවද හැදෑරීම අප කතානායකයා විසින් කරනු ලැබේ.

Verrocchio ගැන සුළුවෙන් හෝ යමක් පවසන්නේ නම් රන්කම් ශිල්පයේ පවා සුවිශේෂ දසකම් තිබුනේ යයි පවසන ඔහු විසින්ද අගනා කලා නිර්මාණ රැසක් බිහිකර ඇතත් අදවන විට ඒවා බොහෝමයක්ම සොයාගැනීමට නැහැ. ඒත් තවමත් වැනීසියේ තිබෙන සුප්‍රකට සොල්දාදුවෙකුගේ ලෝකඩ ප්‍රතිමාවක් වන Bartolomeo Colleoni ඔහුගේ දක්‍ෂතාවය කොතෙක්දැයි පවසන්නක්. එහිදී සොල්දාදුවෙකු අශ්වයකු පිට නැගි නිරූපනයක් දක්නට ලැබෙන අතර එතෙක් මෙතෙක් ප්‍රතිමා කලාවේදී අශ්වයෙකු සිය පාදයක් ඔසවා තබාගෙන තිබෙන අයුරින් නිමවූ ප්‍රථම පිළිරුව ලෙසද මෙය සැලකෙන අතර සම්පූර්ණ බර දරා සිටින්නේ බිම ස්පර්ශවන අනිත් පාද තුනෙනි. මෙය බලා සිටින අපට කලාත්මක අලංකාරයක් ගෙන දුන්නත් නිර්මාණකරණයේදී අසීරු කර්තව්‍යයක් ලෙසද සැලකේ.

පුනරුදයුගයේදී චිත්‍ර ශිල්පියාද අනෙක් වෘත්තිකයන් මෙන්ම වී යයි පැවසේ. එනම් අද මෙන් විශේෂිත වූ තත්ත්වයක් එදා චිත්‍රශිල්පීන්ට නොලැබ තිබූ අතර උදාහරණයක් ලෙස කම්හල්කරුවෙකු, එහෙමත් නැත්නම් එදා තිබූ අනෙකුත් සාමාන්‍ය වෘත්තීන්හිම ලා සලකා තිබේ. තවද අද මෙන් චිත්‍ර ශිල්පියෙකු තම නිර්මාණය මුල සිට අගටම යම් මාධ්‍යක් යොදාගෙන නිමකිරීමක් සිදු නොවූ අතර එදා මූර්තියක් නිම කිරීම හෝ චිත්‍රයක් සිතුවම් කිරීම යම් ව්‍යාපෘතියක් විය. එනම් යම් නිශ්චිත කාලරාමුවකදී යම් නිර්මාණයක ඒ ඒ කොටස් එක් එක් ශිල්පියා විසින් නිම කරන ලදි.

මෙයට හොදම උදාහරණයක් නම් ලියනාඩෝගේ ගුරුවරයා විසින් ප්‍රමුඛතාවය ගෙන නිර්මාණය කරන ලද The Baptism of Christ නම් ලෝ ප්‍රකට සිතුවමයි.

මෙහි වම් පස කෙළවරේ සිටින දේවධූතයා පමණක් ඩාවින්චිගේ නිර්මාණක් වන අතර මෙහිදී ඔහු නව අත්හදා බැලීම් පවා සිදුකළ බව පැවසේ. එතෙක් ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස භාවිතා කල ඉක්මනින් වියැලෙන  "Egg Tempara" ක්‍රමය වෙනුවට තෙල් සායම් (Oil painting) ක්‍රමවේදය යොදා ගත්තේය.
http://en.wikipedia.org/wiki/Oil_painting

ඇතමෙක්  පවසන පරිදි සිය සිසුවාගේ අසාමාන්‍ය දක්‍ෂතා දැක ඉන් අනතුරුව Verrocchio නිර්මාණකරණයෙන් බැහැරවූ බව පවසතත් සැබෑවටම සිදුවන්නට ඇත්තේ ලියනාඩෝගේ දස්කම් වලින් Verrocchio ගේ නිර්මාණකරණය සැගවී යාම වන්නට ඇත. කෙ‍සේවෙතත් ඇතැම් මූලාශ්‍ර වල පවසන පරිදි ඩාවින්චිගේ දස්කම් ගැන ගුරුවරයා අවංකමවම සතුටු වූයේය.


Verrocchio ගේ සිතුවම් පාසලේදි ලියනාඩෝගේ හොදම මිතුරා වූයේ ‍ලොරෙන්සෝ නම් සිසුවාය. "Baptism of Christ" සිතු‍වමේ දේවධූතයන් සිතුවම් කරන දුටු ඔහුට ඇස් අදහසා ගැනීමට නොහැකිව පැවසුවේ “ලස්සනයි, ලස්සනයි මාස්ටර් Verrocchio ඇන්ද දේවධූතයන්ටත් වඩා ලස්සනයි”. එසේ පවසන විට ඔහුගේ පිටු පසින් සිටියේ වෙනකෙකු නොව මාස්ටර් Verrocchio යි. ලොරෙන්සෝ දිහා රවා බලා පසකට තල්ලු කළ ඔහු, අසල ලිදේ රෙදි හෝදමින් සිටි කෙල්ලන්ට විහිළු කරමින් දවල් කෑම ගනිමින් සිටි සිසුන්ටද බැන වැද ඔවුන් නැවත ඒ ඒ කාර්යයන්ට යොමුකරන අතරේ “උඹ මොකක්ද කිව්වේ? මම ඇන්ද දේවධූතයටත් වඩා ලස්සනයි. ඔව් ඇත්තනේන්නම්, මගේ දේවධුතයන්ටත් වඩා ලස්සනයි, විශිෂ්ඨයි” කියා මද සිනහවකින් පවසා ලියනාඩෝගේද පිටට තට්ටුවක් දමමින්, සිතුවම දෙස  ඇසිපිය නොහෙලා බලා සිට හ්ම්, දිගටම කරගෙන යනවා”යයි අවංකවම සිත යටින් තම සිසුවා තමන්ටද වඩා දක්‍ෂයකුවීම ගැන සතුටුවෙමින් සිටියේය. 
(According to the Movie : The  Life of Leanardo Da Vinci - Part 1)

1477 - 1478 වන විට ලියනාඩෝ Florance වෙතින් පිටවී Milan වෙත යාම සිදුවී තිබෙනවා. මෙයට බොහෝවිට හේතුවූයේ 1476 වන විට ඩාවින්චිට අත්විදින්නට සිදුවූ ඇතැම් කරදරයි. ඩාවින්චිට කිසිදා පවුල් ජීවිතයක් කියා දෙයක් එනම් බිරිදක් හා ළමයින් සිටියේ නැහැ. එයට හේතුව ඔහු සමලිංගිකයෙකු වීමයි. කඩවසම් පිරිමි සිරුරු දකින සැනින් ඊට ලොල් බදින බවක් ඩාවින්චි තුළ තිබූ බව පැවසෙනවා. අද මෙන් නොව එකල සමලිංගික සේවනයට නිදහස් සමාජ වාතාවරණයක් නොතිබු අතර හසුවන අයට මරණීය දණ්ඩනය ලබා දෙන තරම් එකල නීති දැඩිව තිබූ බව පැවසේ. 1476 Florance හි උසාවි වාර්තා අනුව ලියනාඩෝට සහ ඔහුගේ මිතුරු කොල්ලන් තිදෙනෙකුට උසාවිය විසින් අසාමාන්‍ය ලිංගික චර්යා පිළිබදව විභාග කර තිබූ බවද සටහන්ය. (Florentine court records of 1476 show that Leonardo and three other young men were charged with sodomy and acquitted).

එහෙත් එකළ දැඩි දඩුවම් ලැබිය යුතු වරදකින් ගැලවීමට තරම් ලියනාඩෝ භාග්‍යසම්පන්න වූයේ එම නඩුව විභාග කළ එක් නඩුකාරයෙකු ලියනාඩෝගේ පියාට කිසියම් ඥාති සම්බන්ධතාවයක් තිබීමයි. ඔහු මෙම නඩුව අහක දමන්නට අනෙක් නඩුකාර දෙපළගෙන් විමසූවිට තම සඟයාගේ ඉල්ලීම කෙසේනම් ඔවුන් අහක දමන්නද? නැවත මේ පිළිබදව සාක්‍ෂි වැඩිදුරටත් විමසා බැලීමට නඩුව කල්තැබූ අතර එම නඩුව කිසිදා නැවත ඇසුනේනම් නැත.

කෙසේවෙතත් මින් පසුව 1478 වන තෙක් වසර දෙකක් පමණ ඩාවින්චි පිළිබදව එතරම් කැපී පෙනුන සිදුවීම් නොතිබු අතර තවදුරටත් සිය පියාගේ නිවසේ වාස‍ය කිරීමෙන්ද බැහැරවී තිබේ. තවත් මූලාශ්‍රවල පවසන්නේ 1476-1478 අතර කාලයේ ඩාවින්චිගේ ක්‍රියාකාරකම් පිළිබදව කිසිදු තොරතුරක් හමුනොවන බවයි. ඒ ගැන විවිද මත පවතී.

ඉන්පසුව 1478 දී පමණ Milan වෙතට නික්මීමෙන් අනතුරුව 1482 වසරේ සිට මිලාන් හි ආදිපාදවරයා වන Ludovico Sforza ගේ අනුග්‍රාහකත්වය යටතේ ඩාවින්චි සේවය කර තිබේ. මිලාන් ආදිපාදවරයාට යැවූ රැකියා අයදුම්පතද සුරක්‍ෂිතව පවතී.

මෙහි ඉංග්‍රීසි පරිවර්ථනය මෙහි තිබේ - http://www.cenedella.com/job-search/leonardo-da-vincis-resume-2012/

එතැන් සිට වසර 17 ක පමණ කාලයක් එනම් ප්‍රංශ ආක්‍රමණ වලින් මිලාන් හි පාලනය බිද වැටී මෙම ආධිපාදවරයාගේ බලය බිද වැටෙන තෙක් ‍ සේවය කරන අතර  මෙම පාලකයා දැඩි පාලනයක් ගෙන ගිය අයෙකු ලෙසද පැව‍සේ.

මෙම ආදිපාදවරයා යටතේ සිටියදී ඩාවින්චිගේ පරසිදු සිතුවම් ඇදීම පමණක්ම සිදුවී නැත. සංදර්ශන සංවිධානය කිරීම, වේදිකා සැරසිලි, ඇදුම් ආයිත්තම් නිර්මාණය, අවි ආයුද නිර්මාණය, ගොඩනැගිලි නිර්මාණය සහ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය යනාදී කලාවට සම්බන්ධ මෙන්ම තාක්‍ෂනික කටයුතු පවා ඩාවින්චි ඇතින් සිදුව තිබේ.



ඩාවින්ගේ සටහන් පොත් වල පිටු සිය ගණනක් පිරී පැවතුනේ ඔහුගේ නිර්මාණාත්මක, කලාත්මක මෙන්ම එතෙක් නොදැකපු ආකාරයේ නිර්මාණ පිළිබදව සටහන් බව පැවසේ. සමහරක අවි ආයුද නිර්මාණය පිළිබදවය, තවත් සමහරක් යුද ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට අදාල උපක්‍රමය, තවත් තැනක නගර සැලසුම්ය, එතෙක් නොතිබූ ආකාරයේ පාලම් නිර්මාණය. ඒ අවධියේ මේවා එම සමාජයට නුහුරු විය. මේවා හිතක හටගත් සිතුවිලි මිස කිසිදා ප්‍රායෝගිකව යථාර්තයක් කර ගත හැකිවේයයි ඩාවින්චි හැර කිසිවකු ‍නොසිතන්නට ඇත. කෙසේවෙතත ඩාවින්චි ගේ කාල සීමාවෙන් පසුවද, කාර්මික විප්ලව යුගය වන තෙක් මේවා පිළිබදව විශ්වාසනීයත්වයක් මිනිසුන් තුළ නොතිබුනත් කාර්මික විප්ලවයත් සමග ලැබුන නව තාක්‍ෂනික දැනුම හා එදා පහලොස්වන සියවසේදී ඩාවින්චිගේ සි‍තේ හටගත් සිතුවිලි සටහන් පොතේ සටහන් ලෙස දක්වා තිබූ ආකාරයත් පසුකාලීන විද්‍යාඥයන් අත්හදා බැලූ විට සැබැවින්ම ඩාවින්චිගේ සටහන් ‍පොතේ නිර්මාණ ප්‍රායෝගික යථාර්තයක් විය. පසුකලෙක තුර්කියේ ඉදිවුන Golden Horn පාලම නිර්මාණය කරන ලද්දේද ඩිවින්චි විසින් සිය සටහන් පොතේ තබන ලද රූප සටහන් හා අදාල තොරතුරු අනුවයි.


බොහෝවිට මෙම නිර්මාණ එදා බිහිනොවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ඩාවින්චිට යම් දෙයක් මුළුමනින්ම අවසන් කිරීමට කාලයක් ගතවීම මෙන්ම එය දැනුවත්ව හො නොදැනුවත්ම පැහැර හැරීම වැනි කාරණා විය යුතුයයි ඇතැම් විද්වතුන්ගේ මතයයි. වසර 17 පුරාවටම මිලාන් හි ආදිපාදවරයා යටතේ සිටිය මුත් ඔහු සිදුකර ඇති නිර්මාණයන් 6 ක් පමණක් වීම මෙයට හොදම නිදසුනකි.

ඩාවින්චිගේ ලිවීමේ හැකියාවද විශේෂිත වූ බව බොහෝ දෙනා පවසන කරුණකි. වමතින් ලියූ ඔහු වෙනත් අයෙකුට බැලිය යුතු දෙයක් නම සාමාන්‍යයෙන් වම් පස සිට දකුණු පසට ලියූවත් ඔහුට පමණක් බැලිය යුතු දේවල ලේඛණගත කළේ දකුණ සිට වම් පස දෙසටයි."Mirror writing"ලෙස හැදින්වූ අතර මෙසේ කරන්නට ඇත්තේ සිය අදහස් වෙනකෙකුට සොරකම් කර ගැනීම අවම කිරීමටත්, එකළ විද්‍යාත්මක අදහස් වලට වැට බැද තිබූ කතෝලික පල්ලියේ බලපෑමෙන් හැකිතාක් මිදී සිටීමටත් විය හැකි යයි සැලකේ. තවද පිහාටු පෑනෙන් ලිවීමේදී අතේ තීන්ත තැවරීමෙන් වැලකී සිටීමට මෙම වමතින් දකුනේ සිට වම් පස දෙසට ලිවීම තුලින් ඔහුට ලැබුන බවද අනුමාන කරයි. සිතුවම් ඇදීමේදී දෑතින්ම පින්සල් හැසිරවීමට හැකිවීමද සුවිශේෂය.
http://www.engineering.com/Library/ArticlesPage/tabid/85/ArticleID/34/Leonardo-da-Vinci.aspx

කෙසේවෙතත් බාලවියේදී ඩාවින්චි වමතින් අකුරු ලිවීම පියාට නම් එතරම් සිත්ගන්නා කරුණක් නොවීය. මන්ද එකළ ඇතැම් අයගේ විශ්වාසයක් වූයේ වමතින් කටයුතු කරන්නේ යක්‍ෂයාගේ බලපෑමට ලක්වූ අය බවයි. පියා මේ පිළිබදව තරමක් දැඩිව විමසා සිටියත් ලියනාඩෝ තම සහජ පුරුද්දදෙන් මිදීමට කැමති නොවීය.

එක් අවස්ථාවක දැවැන්ත ලෝකඩ අශ්වයෙකු නිර්මාණය කිරීමට ඩාවින්චිට ආදිපාදවරයා විසින් භාරකරන ලදි. එහෙත් දිනෙන් දිනම ප්‍රමාද වූ එම කටයුත්ත ආදිපාදවරයාගේ බලකිරීම මත කෙසේ හෝ සිදුකිරීමට චාවින්චි මුලින් මැටියෙන් එම නිර්මාණය කිරීමට නියමිත අශ්වයාගේ පිළිරුව සාදන ලදි. ඉන්පසුව එය ලෝකඩින් නිමවීමට තිබුනත් එම අවධිය වන විට ආදිපාදවරයාට එරෙහිව ප්‍රංශ සෙබළුන් සටන් වැද සිටි නිසා අශ්වයාගේ පිළිරුව නිර්මාණය කිරීම පසෙක තබා ලෝකඩ යොදා ගෙන කාලතුවක්කු නිර්මාණයට ප්‍රමුඛතාවය දුන් නිසා එම කාර්යය සිදුනොවීය. ඩාවින්චි නිර්මාණය කරන ලද මැටි අශ්වයා පවා පසුව ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලදි.

ඇතමෙක් පවසන පරිදි ලියනාඩෝගේ සටහන් පොත් වල ඇදි ඇතැම් නිපැයුම් ඔහු විසින්ම ඇදි ඒවා නොවන බවයි. ඔහුගේ සිසුන් විසින් ඇදි නිර්මාණාත්මක නිපැයුම් වල අයිතිය පවා ඩාවින්චිට ලැබුන බව ඔවුන් පවසයි.

කෙසේවෙතත් පසුකළෙක බොහෝමයක් අනුසාරයෙන් නිර්මාණය කරන ලද ඇතැම් ඒවායේ ආකෘතිද සාර්ථක ක්‍රියාකාරීත්වයෙන් යුතුවූ බව පැවසෙන අතර ඉංජිනේරු ශිල්පයට අමතරව පසුගිය ලිපියේද පැවසූ මිනිස් හා සත්ත්ව කායවිච්ඡේදන සටහන් වෛද්‍ය විද්‍යානුකූලවම සටහන් කිරීමේ හැකියාව ඔහු සතුවිය. ඔහු බොහෝවෙලා කුරුල්ලන්ගේ පියාසැරීම හා අනෙකුත් චර්යා බලා සිට තමන් ජීවත්වන කාලයෙන් සියවස් කිහිපයකට පසු බිහි වේ යයි ඔහු නොදැන සිටියත් Glider, හෙලිකොප්ටර්, පැරචුට් සහ තවත් ගුවන්චාලක විද්‍යාවට අදාල නිපැයුම් වල විවිදාකාර කටුසටහන් තැබීමට සමත්විය.





එහෙත් National Geographic විසින් නිපදවූ Leanardo Da Vinci - Mystery Files වාර්තාමය චිත්‍රපටියට අනුව ඔහුගේ සෑම නිර්මාණයක්ම ප්‍රායෝගිකව භාවිතා කළ නොහැකිය. උදාහරණයක් විදියට ඔහු සටහන් පොතේ ඇදි හෙලිකොප්ටරය ඉහලට එසවීමට තරම් බලසම්පන්න නිර්මාණයක් නොවේ.

තවද ඔහු විසින් ඇදි Glider සහ ජලය යට කිමිදුම් ඇදුම ඊට ප්‍රථම අත්හදා බලන ලද ඒවායෙ. උදාහරණක් ලෙස Glider අත්හදා බලා ඇත්තේ 12 වන සියවසේ ජීවත්වූ, සියල්ලම දේව ධර්මයට අනුකූල වන බවට වැදෑරු පල්ලියේ ධර්මයට වඩා තර්කානුකූල බුද්ධියකින් විමසීමට නිර්භීත වූ තරුණ පූජකයෙකි. කෙසේවෙතත් ඔහුගේ ප්‍රයත්නය යන්තම් ජීවිතය ගලවා ගත්තත් මීටර් දෙසීයක් පමණ ගිය තැන වැටී කකුල් දෙකම කඩා ගෙන අහවර විය. මේ දේවල් ගැන වැඩි තොරතුරු නොමැත්තේ එකල පල්ලියේ ආධිපත්‍යය ය‍‍ටතේ මෙවන් දේවල් අත්හදා බැලීමද පල්ලියේ ඉගැන්වීම් වලට වඩා පටහැනි නිසා විය යුතුය. තවද කිමිදුම් ඇදුම්ද පෙර අත්හදා බලා තිබූ අතර ඩාවින්ච කළේ එය වැඩි දුරටත් සාර්ථක මට්ටමකට රැගෙන ඒම බව පවසයි.

උද්භිද විද්‍යාවේදී ගසක වළලු වලින් එම ගසේ වයස කීමටත්, ශාක පත්‍ර පිහිටන රටාව පැවසීමටත් ඔහු ප්‍රමුඛ විය. ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගේ මතය වන්නේ මෙතෙක් ලොව පහළවූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලියනාඩෝ ‍ඩාවින්චි බවයි. එවිට ඔබටවුවත් "ඇයි අයිසෙන් නිව්ටන්, එහෙමත් නැත්නම් අයින්ස්ටයින් ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් ලෙස සැලකිය නොහැකිද?" යන්න අසාවි. ඔව් ඔවුනුත් විශිෂ්ඨතම බුද්ධිමතුන්. එහෙත් ඔවුන් යම් ක්‍ෂෙත්‍රයකට පමණක් කොටුවූ බුද්ධිමතුන්. ඒත් ඩාවින්චි මෙම ලිපියෙන් කතා ‍‍කරන හා නොකරන ක්‍ෂෙත්‍ර ගණනාවක නියැළුන අයෙක්. 

ආදිපාදවරයාගේ නියමය පරිදි,  ජේසුස්වහන්සේව කුරුසයේ ඇණගැසීමට පෙර දින රාත්‍රියේ අවසන් රාත්‍රී භෝජනය ඔහුගේ අනුගාමිකයන් සමග ලබාගන්නා අයුරු මිලාන් හි පිහිටි Santa Maria delle Grazie තාපසාරා‍මයේ බිත්තියක් මත සිත්තමට නැගීමට 1495 දී පමණ ඩාවින්චි ආරම්භ කළ බව පැවසේ. කෙසේවෙතත් ඒ වන විටත් මෙම සංසිද්ධිය චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකු විසින් සිතුවමට නගා ඇති මුත් ඊට වඩා වෙනස් හා ස්වාභාවික අයුරින් සිතුවටම නැගීම ඩාවින්චිගේ අදහස විය. ඔහු ඒ වන විට භාවිතා කරන තෙත් බදාමය මත සිතුවම් ඇදීමේ සම්ප්‍රධාය වන  Fresco ක්‍ර‍මවේදයට වඩා වියළුන බිත්තියක් මත තෙල් සායම් හා වාර්නිශ් භාවිතයෙන් සිතුවම ඇදීම ආරම්භ කළේය. ඔහුගේ වැඩකටයුතු නිරතුරු ප්‍රගතිය ආදිපාදවරයාට පැවසීමටද අයෙකු පත්කර සිටියේය.
http://en.wikipedia.org/wiki/Fresco
http://www.britannica.com/EBchecked/topic/219703/fresco-painting

ඩාවින්චි ගැන මේ තොරතුරු සපයන්නා සැලකරන තොරතුරු නම් සතුටුදායක නොවීය. ඉර උදාවත් සමග පැමිණෙන ඩාවින්චි අට්ටාලයට නැග සිටින මුත් එකම පින්සල් පාරක්වත් සිතුවමේ සටහන් නොකරන බව පැවසුවේය. තවත් වරෙක කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව ඒ දිහා බලා සිටින බව පැවසුවේය. දවස් තුන හතරකින් අඩුම තරමින් සිතුවම අල්ලලා වත් නැතැයි පැවසුවේය. ඇතැම් දිනක එක පින්සල් පහරකට වඩා සිතුවමට නොයොදන බව පැවසුවේය.තවත් විටෙක ඒ ගැන කල්පනා කරමින් බලා සිටින බව පැවසූ අතර තවත් විටෙක අදාල ස්ථානයේ පැත්ත පළාතක සොයා ගැනීමටත් නොහැකි බව පැවසුවේය.

එහෙත් ඔහුට ඩාවින්චිගේ මෙම ක්‍රියාකාරකම් තුලින් සිතුවම නොඅදින ලෙස පෙනුනත් ලියනාඩෝ සෑම විටකම සිතුවම කෙරේ අවධානය යොමුකර සිටියේය. ඔහුට සිතුවමේ වැදගත්ම චරිත වූ ජුදාස්ගේ මුහුණට සුදුසු රුවක් සොයමින් සිටියේය. ඔහු අදාල ස්ථානයෙන් බැහැරව මංමාවත් වලදී, කඩපිල් වලදී දකින පුද්ගලයන්ගේ අංගචලන, මුහුණු සිය සටහන් පොතේ සටහන් කර ගත්තේය. සැබැවින්ම ඔහුගේ සිතුවම් වල දක්නට ලැබුන මිනිස් රූප ඔහුට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දකින මිනිස්රූපම විය. තවත් විදයකින් කියනවානම් ඔහුගේ සිතුවම් වලට අවශ්‍ය වස්තුබීජයන් ලැබුනේ අවට සමාජ‍යෙන්මය.

අවසානයේ ඔහු සෙවූ ජුදාස් එදිනෙදා දකින මිනිසුන් අතරින්ම සොයා ගැනීමට සිදුවිය. සැබැවින්ම ඔහුගේ සිතුවම් හැම එකකම පාහේ දකින්නට ලැබුන මිනිසුන් ඔහුට එදිනෙදා ජීවිතයේ පාරේ තොටේදී, කඩපිල්වල, මුහුනට මුහුන හමුවෙන හෝ ඔහු ඕනෑකමින් හොරෙන් බලා සිටි මිනිසුන්ගේ වූවෝය.

1498 දී ඔහුට සහ ඔහුගේ සහායකයන්ට දෑසට පෙනෙන අවසන් රාත්‍රී භෝජන සිතුවමට වඩා මනසින් විසදා ගත යුතු කරුණු රැසක් සැගවුන "අවසන් භෝජන සංග්‍රහය" අවසන් කිරීමට හැකියාව ලැබුනි.
one of you will betray me
 http://en.wikipedia.org/wiki/The_Last_Supper_%28Leonardo_da_Vinci%29

අවාසනාවකට ඩාවින්චිගේ නව Fresco ක්‍රමය අසාර්ථක ප්‍රයත්නයක් විය. සිතුවම අවසන් කර වසර කිහිපයක් ඉක්ම ගිය තැන එය තැනින් තැන පුපුරා යන්නටත් එයින් යම් යම් හානි සිදුවන්නට විය‍. භාග්‍යයකට මෙන් ඩාවින්චිගේ සහායකයන් මෙම සිතුවමින් ලබා ගත් ඒ ප්‍රමාණයේම සහ එම සිතුවමටම සමාන කැන්වස්මතට ලබා ගත් පිටපත් සුරක්‍ෂිතව පැවතුනි. දැනටත් අතිශය වැදගත් සියුම් තොරතුරු ඇතුලත් ඩාවින්චි‍‍ගේ ගෝලයකු, සිය ගුරුවරයාගේ අනුදැනුමද ඇතිව පිටපත් කළ එවන් සිතුවමක් එංගලන්තයේ තිබේ.

මේ වෙනත් චිත්‍රශිල්පීන් අවසන් භෝජන සංග්‍රහය සිතුවම් කළ අයුරුයි. ඒවා හා ලියනාඩෝගේ  අවසන් භෝජන සංග්‍රහය සිතුවම සසදන්න.




සිතුවමට යොදා ගත් ක්‍රමවේදයන් නිසා ස්වභාවික හේතුමත පමණක් නොව මනුෂ්‍ය ක්‍රියාකාරකම්ද සිතුවම හානි වීමට බලපෑ බව පැවසේ. සිතුවම ඇද වසර 50 ක් ඉක්ම ගිය තැන අදාල සිතුවමට පහලින් බිත්තියේ සිදුරක් සාදන්නේ ඊට යාබද මුළුතැන්ගෙයට පිවිසීමට දොරටුවක් සවිකිරීමටයි. තවද ඉතාලිය ආක්‍රමණය කළ නැපෝලියන් මෙම සිතුවම ඇති කාමරය සිය අශ්වයන් සදහා ඉස්තාලය ලෙසද භාවිතා කර තිබේ.
මේ සිතුවමේ පහලින් කොටුවක් ලෙස පෙනෙන්නේ  එදා පසුව සවිකරන ලද දොරටුව තිබූ ස්ථානය විය යුතුය


තවද දෙවන ලෝක යුද සමයේ ගුවන් ප්‍රහාර වලින් එල්ල වන හානිය වලකා ලීමටද මෙම මුල් සිතුවම වැලිකොට්ට යොදා ආවරණය කර තිබූනි. එම කාමරයේ අනෙකුත් බිත්ති බිද වැටුනද ප්‍රාතිහාර්යකට මෙන් සිතුවම ඇද තිබූ බිත්තිය පමණක් ඉතිරිව තිබුනි.

1978 දී විවිද හේතු නිසා විනාශවෙමින් පැවති සිතුවම සුක්‍ෂම ක්‍රමවේදයන් ඔස්සේ යථා තත්ත්වයට පත්වීම ඇරඹී අතර මෙය කොතරම් වෙහෙසකර හා කාලය ගතවන කර්තව්‍යයක්ද කියතොත් එය නිම කිරීමට වසර 21 ක් ගතවිය.


එහෙත් මුල් සිතුවමේ සියුම් සහ ඇතැම් වැදගත්ම කොටස් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි විය. එදා කෑම කාමරයක සිතුවම් කළ මෙම සිතුවම, පසුව එහි පහලින් දොරටුවක් සවිකිරීමට සිදුර කළ හා නැපෝලියන් අශ්ව ඉස්තාලයක් ලෙස භාවිතා කළත් දැන් නම් මෙම අඩි 15 ක් පමණ උස සහ අඩි 29 කට ආසන්න උසකින් යුතු සිතුවමට ප්‍රවිෂ්ඨවීමට වායුරෝදක දොරටු  කිහිපයක්ම පසු කළ යුතු අතර දිනකට එය බැලීමට ලබා දෙන්නේද ඉතා සුළු පිරිසකට පමණක් බවද පැවසේ.

සිය අනුග්‍රාහක ආදිපාදවරයාගේ බිදවැටීමත් සමග එය ඩාවින්චිටද බලපාන අතර ඔහුට ආදායම් මාර්ග අහිමි වේ. එසේම ඔහු සේවය කළ ආදිපාදවරයාට ප්‍රංශය එරෙහි වූ නිසා ඔහුගේ සේවකයෙකු වූ එහි වාසය කිරීම ඩාවින්චිගේ ජීවිතයටද තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තිබුනි. ඔහු ඉන්පසුව ඉතාලියේ එවකට පැවති ප්‍රාදේශීය පාලකයන් වෙත ගියත් ඔවුන් ලියනාඩෝ එහි රැදී සිටීම ගැන එතරම් කැමති නොවන්නේ ඔවුන්ටද මොහු රැදී සිටීමෙන් ප්‍රංශයේ උදහසට ඔවුන්ද ලක්වේය යන බිය නිසයි.

මේ නිසා වැනීසිය බලා යන ඩාවින්චි  සේවය ලබා දෙන්නේ චිත්‍රශිල්පියෙකු ලෙස නොව යුද උපකරණ නිමවීමේ ප්‍රධාන සැලසුම් කරු හා ඉංජිනේරුවක ලෙසයි. මෙහිදී ඔහු වැනීසිය ජලාශ්‍රිත නගරයක් හා එදා යුරෝපයේ ධනවත්ම මෙන්ම වෙළද මාර්ගවල ප්‍රධානම සංධිස්ථානයක් නිසා එය එදා ආක්‍රමණික හමුදාවක් වූ තුර්කීන්ගෙන් ගලවා ගැනීමට ජලය යට සිට සටන් කළ හැකි හමුදාවක් නිර්මාණය කිරීමේ අරමුණින් කිමිදුම් ඇදුමක් පවා නිර්මාණය කළේය. ලියනාඩෝගේ මෙම පිහිණුම් ඇදුම ඔහුට එම අවධියේදී නිර්මාණය කරගන්නට නොහැකි වන අතර වැනීසිටය එල්ලවන තුර්කි ප්‍රහාර හමුවේ වැනීසිය හැරදා  ලියනාඩෝ නික්මේ.

1502 දී Valentinois හි ආදිපාදවරයා වන  Cesare Borgia හට සේවය ලබාදෙන අතර Cesare Borgia යනු මනුෂ්‍ය ඉතිහාසයේ තවත් දරුණු පාලකයෙකු බව පැවසේ. ඔහු ඔහුගේම සහෝදර සහෝදරියන් පවා විවිද ක්‍රමවලින් මරණයට පත් කරන ලද බවද ඔහුගැන තොරතුරු විමසීමේදී හෙළිවේ.
http://en.wikipedia.org/wiki/Cesare_Borgia

Cesare Borgia වැනි දරුණු පාලකයෙකු වෙත ලියනාඩෝ ඩාවින්චි වැනි කලාකාමියෙකු රැදුනේ ඇයි දැයි පැනයක් මතුවිය හැකිය. අද ලියනාඩෝ අද්විතීය ලෙස සැලකුනත් එදා විවිද හැලහැප්පීම් ඇති සමාජයක ලියනාඩෝටද ජීවිත අරගලයක් තිබුනි. අද ඔහුගේ චිත්‍ර මිලියන ගණනින් මිල කෙරුනත් එහි නිර්මාණකරුවූ ඔහුට ජීවත්වීමට එම චිත්‍ර විකුණා ධනවතෙකු විය නොහැකි නිසා රැකියාවක් කර මුදල් හම්බුකළ යුතුවිය. කෙසේවෙතත් Cesare Borgia විසින් ලියනාඩෝව තම ප්‍රධාන යුද උපකරණ සැලසුම් ඉංජිනේරුවරයා බවට පත්කර වරප්‍රසාදද ලබා දෙන ලදි. මෙහිදී විවිද යුද උපකරණ මෙන්ම සිවිල් ඉංජිනේරු කාර්යයන් පවා ඩාවින්චි විසින් සැලසුම් කරන ලද බව පැවසේ.

එහෙත් වැඩිකලක් යන්නට මත්තෙන් මෙම රුදුරු පාලකයා වෙතින් ඉවත්ව යනු ලබන අතර එයට හේතුව අපැහැදිලිවූවත් බොහෝවිට එයට හේතුවන්නට ඇතැයි ඇතැම් මූලාශ්‍රවල පැවසෙන්නේ Cesare Borgia විසින් ලියනාඩෝගේ සහායකයෙකු මරණයට පත්කිරීම බවයි. එසේම Borgia වෙතින් කිසිදු ගෙවීමක්ද නොලැබුනේය.

ලියනාඩෝ නැවත Florence වෙතට 1503 දී පැමිණේ. ඔහු Florence වෙත පැමිණෙන විට තවත් ලෝක පූජිත කලාකරුවෙක් සිය ප්‍රතිභා පූර්ණ කලා ජීවිතය ආරම්භ කරමින් තිබූ කාලයක් වූයේය. ඔහු අන් කිසිවෙකු නොව මයිකල් ආන්ජලෝ නම් තවත් දක්‍ෂ කලාකරුවාය.කෙසේවෙතත් ලියනාඩෝ සහ මයිකල් ආන්ජලෝ අතර කිට්ටු සුහද සබඳතාවයක් තිබු බවට වාර්තා නොවේ. එසේම මයිකල් ආන්ජලෝ විසින් ඩාවින්චිගේ නිර්මාණ පිළිබදව පරිභව කිරීම මෙන්ම ලියනාඩෝ තම නිර්මාණ අවසානය දක්වා නිමා නොකිරීම පිළිබදවද අවඥාවට ලක් කළේය. ලියනාඩෝගේ මෙම වැඩක් නිමා නොකිරීමේ පුරුද්ද නිසා නැවත කිසිවෙකු ඔහුට වැඩක් නොපරන බවටද මයිකල් ආන්ජලෝ විශ්වාසනීයත්වයකින්ම පැවසූහ. එය සත්‍යයක් විය ලියනාඩෝට වැඩක් පැවරීමට කවුරුත් මැලිවිය. ඒ නිසා ඔහුට Cesare Borgia වැනි දරුණු පාලකයෙකු‍ වෙනුවෙන් සේවය කරන්නට සිදුවීමද පුදුමයක් නොවේ.

ලියනාඩෝට වඩා මයිකල් ආන්ජලෝ වයසින් අවුරුදු 23 ක් බාල වූ අතර ඔහු ආඩම්බරකාරයෙකුද විය. ඔහු නිරතුරු පැවසුවේ ලියනාඩෝට අයිති සිතුවම් ඇදීම බවත් ඔහුට අයිති මූර්ති නෙලීම බවත්ය. ඔහු ලියනාඩෝ මූර්ති කලාවට අතතබනවාට කිසිදු කැමැත්තක් නොදැක්වූ බවද පවසයි.

ලොව වැඩියෙන්ම කතාබහට ලක්වෙන අතිවිශිෂ්ඨම සිතුවම බිහිවේ !


මේ අතර තුර කාලයේදී එනම් 1503 දී ඔහු Florence හි ධන‍වතෙකු වූ Francesco del Giocondo ගේ භාර්යාවගේ සිතුවම අදිනු ලබයි. එහෙත් මෙම සිතුවම කිසිදා මෙම සිතුවම ඇදීම භාර කළ අයට ඩාවින්චි ලබා නොදුන් බවද අවධාරණය කළ යුතුයි.

එය එතෙක් මෙතෙක් මිනිස් අතකින් ඇදි විශිෂ්ඨතම හා කවුරුත් දන්නා සිතුවම බවට පත්වේ. ඒ Mona Lisa නැතහොත් La Gioconda,“the laughing woman” සහ තවත් නම් ගණනාවකින් හැදින්වෙන සිතුවමයි.

විවිද දස්කම රැසක් කැටි කරමින් ලියනාඩෝ ඩාවින්චි සිතුවම් කරනු ලබන මෙම සිතුවමට ඔහු sfumato නම් ක්‍රමවේදය භාවිතා කරනු ලබනවා.
http://en.wikipedia.org/wiki/Mona_Lisa

‍එසේම මෙම සිතුවමේ සේම ලියනාඩෝගේ තවත් සිතුවම් බොහෝමයක ද්විමාන තලයක ත්‍රිමාන දසුනක් මැවීම හෙවත් “linear perspective” සංකල්පය පුනරුද යුගයේ වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමේ පුරෝගාමියෙකු ලෙසද ඩාවින්චි ගෞරවය දිනා ගනු ලබනවා.
(sfumato - A technique in painting where the background of a picture is shown in hazy lines and colours to increase the effect of 3 dimensions. - http://en.wikipedia.org/wiki/Sfumato)


Linear perspective - One of the most interesting and important changes in art that occurred during the Renaissance was the discovery of an idea that made it possible for painters to translate the three-dimensional world they lived in onto the two-dimensional surface of a painting. This idea is called “linear perspective.”

http://daphne.palomar.edu/design/space2.html
http://en.wikipedia.org/wiki/Perspective_(graphical)

වචනයෙන් විස්තර කළ නොහැකි හා මිළ කළ නොහැකි මෙම සිතුවම කුතුහලය දනවන්නකි. කෙනෙකුට එය අඬන ස්ත්‍රීයකගේය.තවත් කෙනෙකුට ඇය සිනහවෙනවා සේ පෙනේ.තවත් අයෙකු ඇයට දරුවෙකු ලැබෙන්නට සිටින ගැබිනියක බව පවසති.තවත් අයෙකු ඒ ලියනාඩෝ විසින් ඇදි තමන්ගේම චිත්‍රයක් බව පවසති.තවත් අය මෙහි කිසියම් රහස් කේතයන් වගයක් සැගවී පවතිනවායයි පැවසේ. නුතන විසිවන සියවසේදී ප්ලාස්ටික ශල්‍යකර්මයන් සිදුකර ගැනීමට හැකිවීමත් සමග දියුණු බටහිර රටවල ඇතැම් කාන්තාවන් මොනාලිසා රුවට සමාන රුවක් ලබා ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය‍ වෛද්‍යවරුන්ගේ සහය පැතූ බවද  විරල පුවත් ඇතැම් විට අසන්නට ලැබුනි. ඒ තරමටම මොනාලිසා මිනිස් සිත වශිකෘත කළාය. ඇතමෙක් මොනාලිසා ගැන කතා ලිවූහ. තවකෙක් මොනාලිසා මෙන් රුව ඇති යුවතියක සිය පෙම්වතිය කරගැනීමට සෙවූහ. තවකෙකු මොනාලිසා ගැන ගීත ලියූහ, ගැයූහ, එම ගී වලට සම්මානද දිනා ගත්තෝය. 1800 මැද භාගය වන විට මොනාලිසා පුරාවෘත්තයකි.
(When the Louvre opened to the public, the Mona Lisa became accessible to the masses. Many painted copies and reproductions emerged. Writers and poets wrote about her, and idealized her. By the mid-1800's she was a legend.)

1950 දී තිරගතවූ Captain Carey, U.S.A. චිත්‍රපටියට Ray Evans සහ Jay Livingston විසින් ලියූ සහ Nat King Coles විසින් ගායනා කළ "Mona lisa, mona lisa, men have named you" ගීතයට හොදම සංගීතයට හා හොදම ගීතයට හිමි ඔස්කාර් සම්මානයද හිමිකරගත්තේය. ඒ තරමටම ලෝකයේ ඉන්නා විට බැබලෙන, බලය නැතිවිට කූජිත වන රාජ්‍ය නායකයන්ට වඩා කිසිදා බලයක්, නිලයක් නැති මොනාලිසා ප්‍රභල ආකාර්ශනයක්, නිල නොලත් බලයක් හිමි කරගෙන සිටියාය.
Mona lisa, mona lisa, men have named you
You’re so like the lady with the mystic smile
Is it only ’cause you’re lonely they have blamed you?
For that mona lisa strangeness in your smile?

Do you smile to tempt a lover, mona lisa?
Or is this your way to hide a broken heart?
Many dreams have been brought to your doorstep
They just lie there and they die there
Are you warm, are you real, mona lisa?
Or just a cold and lonely lovely work of art?

Do you smile to tempt a lover, mona lisa?
Or is this your way to hide a broken heart?
Many dreams have been brought to your doorstep
They just lie there and they die there
Are you warm, are you real, mona lisa?
Or just a cold and lonely lovely work of art?

Mona lisa, mona lisa

(Nat King Coles song; Mona Lisa is an Academy Award-winning song written by Ray Evans and Jay Livingston for the Paramount Pictures film Captain Carey, U.S.A. (1950).
http://www.youtube.com/watch?v=EG-A_qTAKEI

ලියනාඩෝගේ ජීවිතයේ අවසන් වසර 16 තුළ මෙම මොනාලිසා සිතුවම ඔහු යනඑන හැමතැනකම රැගෙන ගිය බවද පැවසේ. ගතවූ වසර 500 තුල ලෝකයේ අධිරාජ්‍යයන්,රජවරුන්, ජනාධිපතිවරුන් යනාදී රාජ්‍ය නායකයන් සියල්ලක්ම පාහේ මෙම මොනාලිසා සිතුවමට වශීවූහ. ජීවමාන කාන්තාවකට වඩා මෙම සිතුවමට ගරු කළහ. (Kings, Emperors and Presidents have all paid their respect to her. On the Mona Lisa's American tour President Kennedy greeted her "The Ultimate Symbol of Western Civilization" - According to the Documentary movie, Leonardo Da Vinci The Mona Lisa,)

 ලොව අග්‍රණ්‍යම සිතුවම වන මෙය මිල කිරීම පවා එයට කරන අගෞරවයක් වූවත් 2010 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු‍ ඩොලර් මිලියන 720 ක් වත් වේ යයි පැවසේ. වර්ථමානයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මෙය එහිදී හදුන්වනුයේ Painting No. INV 779 යන කේතයෙනි.

ලියනාඩෝගේ මරණයෙන් පසුව මෙම මොනාලිසා සිතුවම අයිති වුයේ එවකට ප්‍රං‍ශයේ රජකම් කළ I වන ෆ්‍රාන්සිස් රජු හටයි. ඔහු මෙය තමන්ගේ නානකාමරයේ එල්ලා තැබූ බව පැවසේ. සෑහෙන්න කාලයක් මෙසේ නානකාමරයේ බිත්තියේ එල්ලා තැබුන අතර රජුගේ ස්නානයට භාවිතා කළ උණු ජලයේ දුම වැදීමෙන් පින්තූරයේ ඇතැම් ස්ථානවල ඇති සුළු හානිවීම් සිදුවීමට හේතුවිනැයි ප්‍රවීණයෝ පවසති. රජුගේ නානකුටියේ මෙසේ වටිනා මොනාලිසා සිතුවම එසේ දුක්විදිමින් සිටියදී ලියනාඩෝගේ ශිෂ්‍යයකු වන Salai විසින් සිතුවම් කරන ලදැයි පැවසෙන Mona Vanna නම් මොනාලිසාගේ රුවට සමාන කතකගේ උඩුකය නිරුවත් සිතුවමක් නිදන කාමරයේ එල්ලා තිබු බවත් පැවසේ.
Mona Vanna

Salai යනු අනෙක් අතින් ලියනාඩෝගේ හොදම අනුගාමිකයාසේම දිවිය පුරා සිටි ලිංගික සහකරුවාද බව පැවසේ. (Salai පමණක් නොව ඩාවින්චිගේ සිසුවකු වූ  Melzi නම් සිසුවාද ලිංගික ජීවිතයේ සමීපතමයන් වූ බව පැවසේ. ඩාවින්චිගේ මරණය, ඩාවින්චිගේ සහෝදරයාට දැන්වූයේද Melzi බව පවසයි.
Leonardo's most intimate relationships were perhaps with his pupils Salai and Melzi. Melzi, writing to inform Leonardo's brothers of his death, described Leonardo's feelings for his pupils as both loving and passionate. It has been claimed since the 16th century that these relationships were of a sexual or erotic nature. http://en.wikipedia.org/wiki/Francis_I_of_France
http://www.thehistoryblog.com/archives/14881

කෙසේවෙතත් වයස අවුරුදු 10 දී පමණ ලියනාඩෝගේ සෙවනට පැමිණි Salai ලියනාඩෝට වඩා වසර 30 ගණනකින් පමණ ලාබාල තැනැත්තෙකි. The Life of Leanardo Da Vinci වාර්තාමය චිත්‍රපටියට අනුව නම් පසුකාලීනව ඔහු තමන්ගේ ජීවිතය පිළිබදව ස්වයං කණගාටුවකටද පත්ව තිබූ බව පැවසෙන අතර ඩාවින්චිගේ අවසාන කාලය වන විට ඔහු ‍ඩාවින්චි හැරදා ගොස් සිටි අතර ඩාවින්චි මිය ‍ගොස් වසර දෙක තුනක් ඉක්ම ගිය තැන කිසිවෙකු තැබූ වෙඩි පහරකින් ඔහු ඝාතනය වී තිබේ. එම වාර්තාමය චිත්‍රපටියේ හසේ කීවත් තවත් මූලාශ්‍ර වල පැවසෙන්නේ Salai ලියනාඩෝගේ දිවිය පුරා ඔහු සමග සිටි බවත් ලියනාඩෝගේ මරණයෙන් පසුව ඔහුගේ නිර්මාණ වල අයිතිය පැවරෙන්නේද ඔහුට බවයි. එසේම මොනාලිසා සිතුවම පළමුවන ෆ්‍රැන්සිස් රජුට විකිනන්නේද Salai විසින් බවද පැවසේ.

එහෙත් නැපෝලියන් ප්‍රංශයේ බලයට පත්වූ පසුව ලූවර් කෞතුකාගරයේ ඒ වන විට තැන්පත් කර තිබූ මොනාලිසා සිතුවම සිය නිදන කාමරයේ එල්ලා ගනු ලබන අතර ඔහු එයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ "Madam Lisa" ලෙසයි. එසේ ආමන්ත්‍රණය කිරීමද වරදක් නැත මන්ද මෙම Madam යන ගරු නාමය සමාන වන්නේද Mona යන්නට වන අතර එය Ma’am හෝ my lady ලෙස ආමන්ත්‍රණය වූවද වරදක් නැත.



පෙර පැවසූ අයුරින්ම විවිද කාල වලදී මොනාලිසා හි පෙනී සිටින පුද්ගලයා පිළිබදව විවිද මත පළ වූහ. එහි එක් එක් කොටස් පිළිබදව විවිද මත පළ වූහ. 2005 දී නියත වශයෙන්ම මෙහි සිටින්නේ Florence හි මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක වූ  Lisa Gioconda (http://en.wikipedia.org/wiki/Lisa_del_Giocondo) බව නොරහසක් වූවත් එම රුව තුළ ඩාවින්ගේ යටි සිතෙහි තිබූ තවත් දේවල් අන්තර්ගතවූ බවද විශේෂඥ මතයයි. එනම්;
A note by Agostino Vespucci 1503 in a book at Heidelberg University
states that Leonardo was working on a portrait of Lisa del Giocondo.

මේ ලිපියේ ඇරඹුමේදීද පැවසු පරිදි ලියනාඩෝගේ මව කැතරීනා ගම්බද සාමාන්‍ය තරුණියකි. එහෙත් ලියනාඩෝගේ පියා හා ඇය අතර පැවතියේ විවාහයක් සිදුවිය හැකි ආකාරයේ ගැඹුරු සබදතාවයක් නොවූවාසේම දෙපාර්ශවයේ සමාජ තත්ත්වය මත එවන් විවාහයක් සිදුවීමේ ප්‍රවණතාවයද අවම විය. ඇයද යාබද ගමක තරුණයෙකු හා විවාහවිය. මේ තත්ත්වයන් නිසාම ලියනාඩෝට තම ජීවිතයේ මව හා ගත කිරීමට හැකිවූයේ ඔහු ඉපදී අඩුම තරමින් මාස 18 ක කාලයකි. ඔහු ජීවිතයේ ළමාවියේ ඉතිරි කාලය ගත කළේ පියා සමගය. ඔහුව ඇති දැඩි කළේ පියාගේ එක් කසාදයක බිරිදක වූ Dola albiera විසිනි. එහෙත් කුඩම්මාවුවද ඇය ලියනාඩෝට ආදරයෙන් සැලකූ බව පැවසේ. තම මවගේ සේම කුඩම්මාගේ ආදරයද ලියනාඩෝගේ සිතෙහි ගැඹුරින් තැන්පත්ව තිබූ බවද කිව යුතුය.


ඔහු කුඩා අවධියේ සිය නියම මව ලෙස සැලකුවේ කුඩම්වා වූ අතර කිසිවෙකු නියම මව හදුන්වාදීමට උත්සුක නොවූහ. එහෙත් තමන්ගේ වෙන් කළ දරුවා දෙස නිතිපතා දුරසිට ඔහු ටස්කන් ග්‍රාමයේ කෙළිදෙලෙන් ගතකරන විට බලා සිට ඇත. ලියනාඩෝට මෙය ගැටළුවක්ව තිබේ. එහෙත් කිසිවෙකු සත්‍ය හෙළි නොකළේය. ඔහු හදා වඩා ගත් කුඩම්මාට දරුවන් නොසිටියහ. එසේම ඇයද වැඩි කල් නොගොස් මිය ගිය අතර ලියනාඩෝට කුඩා කළ සිටම සිටි හොදම හිතවතා වූයේ තම පියාගේ සොහොයුරා වූ ෆැන්චෙස්කෝය. ඔහු ලියනාඩෝට පරිසරය ගැන, විවිද විවද එදිනෙදා දකින දේ ගැන කියා දුන්හ. ඔහු සමග සෙල්ලම් කළහ. ලියනාඩෝගේ බාප්පා සැහැල්ල, විනෝදකාමී චරිතයක් වූ අතර ඔහුට සිය පියා මෙන් හෝ ලියනාඩෝගේ පියා වන සිය වැඩිමහල් සොහොයුරා මෙන් නොතාරිස් වෘත්තිය තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් නොවීය.

ලියනාඩෝ වැඩිහිටි වයසට පත්වන විට සිය මව කව්දැයි හදුනාගෙන සිටියත් බාහිර ලෝකයේදී දෙදෙනා අතර දරුවා සහ මව සබදතාවය පිටතට නොපෙන්වා සිටියෝය. ඇයගේ එදිනෙදා මුදල් අවශ්‍යතාවලදී ඔහු මිල මුදල් ලබා දී ඇතත් එය කැටරිනාට ලබා දුන් මුදල් මෙපණයයි. ඔහුගේ පොතකද සටහන් කර ගෙන සිටි අතර මව මිය ගිය පසුව එම අවසන් කටයුතුද ඔහුගේ වියදමින් කරනු ලැබුවේය. ඉන්පසු කිසිම දිනක යලි කැටරිනා යන නම සිය ලේඛණ වල ඔහු සටහන් නොකර සිටීමටද වගබලා ගත්තේය.

කෙසේවෙතත් තමන් බිහිකළ මවගෙන් වෙන්කිරීමේ කම්පනය පසුකාලීනව දැනීම මොනාලිසා සිතුවම තුළ ගුප්තාර්ථයන් ගැබ්වීමට හේතුවූ බවද පැවසේ. එසේත් නැතහොත් තවත් සැඟවුන දේවල් මේ සිතුවමේ තිබෙන බව පවසයි. මේ බව කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙකු නොව මනෝවිද්‍යාවේ පියා සහ ලියනාඩෝ ඩාවින්චිගේ අභ්‍යන්තර චෛතසිකය පිළිබදව පොත් කිහිපයක්ම ලියා පළ කර ඇති මහාචාර්ය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතායි.
"We begin to suspect possibility that it was his mother who posses the mysterious smile. The smile that he had lost and that fascinated him so much when he founded again in the Florentine lady : Prof. Sigmund Freud - According to the Documentary movie, Leonardo Da Vinci The Mona Lisa.


මොනාලිසා සිතුවමේ පමණක් නොව ඩාවින්චි විසින් 1508 දී අදින ලද The Virgin and Child with Saint Anne සිතුවමේ St. Anne ගේ වතෙහි ඇදි සිනහවද මොනාලිසා සිතුවමට සමාන බව විද්වත් මතයයි.

http://en.wikipedia.org/wiki/The_Virgin_and_Child_with_St._Anne_%28Leonardo_da_Vinci%29

http://www.artgallery2000.com/gallery/the-virgin-and-child-with-saint-anne-by-da-vinci-leonardo-p-5173.html

ලියනාඩෝ විසින් 1513 - 1516 අතර ඇදි තවත් විශිෂ්ඨ ගණයේ සිතුවමක් වන St. John the Baptist හිද මොනාලිසාගේ සිනහව නැවත දකින්නට ලැබේ.

http://en.wikipedia.org/wiki/St._John_the_Baptist_%28Leonardo%29 - The piece depicts St. John the Baptist in isolation. St. John is dressed in pelts, has long curly hair, and is smiling in an enigmatic manner which is reminiscent of Leonardo's famous Mona Lisa.

එසේනම් මේ කාන්තා රූපයන් ත්‍රීත්වයන් තුලදී නිරූපනය කළේ ඔහුට අහිමි වු මව් සෙනෙහසද?

මොනාලිසා රූපයේ සිටින කත ගැබිනියක බව ඉහළ පෙළේ විද්වත් මතයයි. මෙම  සිතුවමේ සිටින කත අනිවාර්යයෙන්ම වයස විසිගණන්වල පසුවූ තරුණ කතක් බවට සැකයක් නැත. ඒ බව තරුණ කතකගේ අංගචලනයන් ඇගේ දෑතේ අංගචලනයන් හා සමපාත කිරීමෙන් නිරූපනය වන බවට දෙගිඩියාවක් නැත. එසේම ඇය කුස මත සිය අත් තබා ගෙන සිටින ඉරියව්ව සාමාන්‍යයෙන් ගැබිනි කාන්තාවන් බොහෝ විට තබා ගෙන සිටින ආකාරයට සමාන බවද පවසයි. මෙම සැකයන් තවත් දුරු කරමින් පවසන්නේ 1502-1503 කාලය පිළිබදව නිශ්චිතම තොරතුරු අනුව Lisa Gioconda සිය දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටි බවද පැවසේ.
මොනාලිසා දෑත් තබා ගෙන සිටින අයුරු

ගැබිණි කතක් බො‍හෝවිට සිය දෑත් කුසමත තබාගෙන සිටිනඅයුරු


මොනලීසා සිතුවමේ පසුබිමින් පෙනෙන පරිසරයට අදාල දේවල් පිළබදව විවිද මතවාද ගොඩනැගුනෝය. එහෙත් පසුකාලීනව සියුම් ලෙස විශ්ලේෂනය කළ විට එහි දැක්වෙන පාලම සහ කදු ආදිය ඔහු කුඩා කළ විසූ ටස්කනි ග්‍රාමයේම තිබූ Buriano පාලමේ හා එහි Valley of Hell   නමින් එහි ප්‍රදේශවාසීන් හදුන්වන කදුගැට බව සනාථ වුනි.









එසේම මෙම කදු ගැට ඔහුගේ තවත් සිතුවම් වන The Virgin of the Rocks, The Virgin and Child with Saint Anne ආදියේදි දැකිය හැකිය.

1911 දී මොනාලීසා කාටත් හොරෙන් තම මව්බිම වන ඉතාලිය වෙත ගියාය. හරියටම කියනාව නම් ඇය ගියේ නැත ඇය රැගෙන ගියාය. 1911 අගෝස්තු 21 වන දින ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් කාගෙත් අවධානය යොමූවන පුවතක් මැවුනි. මොනාලීසා අදාල ස්ථානයේ නොමැති බව මුලින්ම දැක්කේ Louis Béroud නම් චිත්‍ර ශිල්පියායි. ඔහු ඒ බව ප්‍රධාන ආරක්‍ෂක තැනට දැන්වූ අතර ලූවර් කෞතුකාගාරයේ ඉහළ පහළ නිල හැම කෙනාගේම "ඔළුව ගිනිගැනීමට" වැඩිවේලාවක් නොගියෝය. සතියක් පුරාවටම කෞතුකාගාරය වසා දැමුන අතර හොරා සොයා දසඅත මෙහෙයුම් ආරම්භවිය.

මුලින්ම සැකකාරයෝ කිහිපදෙනෙකුම අල්ලාගෙන මොනාලිසා හොරෙන් අරගෙන ගියා දැයි ප්‍රශ්න කරන්නට විය.මුලින්ම අල්ලා ගත්තේ ප්‍රංශ කාව්‍ය නිර්මාණකරුවෙකු වූ Guillaume Apollinaire වන අතර ඔහුව මුලින්ම සැක කිරීමට හේතුව කාලයකට ඉහත "ලූවර් කෞතුකාගාරය ගිනිබත් කළ යුතුය" යි වහසි බස් දොඩා තිබූ නිසාවෙනි. මේ හදයාගේ කටවාචල්කමට කී කාරණා නිසා නිකරුනේ රිමාන්ඩ් එකේ ඉන්නට වුනා පමණක් නොව අහක සිටි ඔහුගේ මිතුරු පැබ්ලෝ පිකාසෝ නමින් අප හොදට හදුනන චිත්‍ර ශිල්පියාද මේ පළහිලව්වට ඈදා ගත්තේය. කෙසේවෙතත් මොවුන් දෙදෙනාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අහිංසකයන් බව වටහා ගත් ප්‍රංශ පොලීසිය මොවුන් යහතින් මුදා හැරියේය.
පිකාසෝ

මොනාලීසා සදහටම අහිමිවූවාය යන සිතුවිල්ලට සියල්ලන්ම ඒකරාශී වූ අතර වසර දෙකක් යන තුරු මේ උභතෝකෝටික ගැටළුව ලිහා ගැනීමට කිසිවකුට නොහැකිවිය.
මොනාලිසා නැත. ඇයගේ රුව සවිකල ඇන 4 පමණක් ඇත

මොනාලිසා ඇයටත් හොරෙන් රැගෙන ගියේ කෞතුකාගාරයේම සේවකයෙකු වූ Vincenzo Peruggia වන අතර කෞතුකාගාරය වසන අවස්ථාවේ එහිම රහසේ සැගව සිට වැසූ පසු සිය කෝට් කබායේ සගවාගෙන පිටතට රැගෙන ගියේය (ඇතැම් මූලාශ්‍ර වල සදහන් ආකාරයට ඔහු රැකියා විරහිත පින්තාරුකරුවෙකි). Peruggia යනු තවත් අතකින් ඉතාලි දේශප්‍රේමියෙකි. ඔහු විශ්වාස කළේ මොනාලියා අයිති ඉතාලියට බවයි. ඒ නිසා ඇය සෙන් නදිය ඔස්සේ ඉතාලියට රැගෙන ගිය ඔහු වසර දෙකක් යනතුරු ඉවසා සිටියේය.

එහෙත් වසර දෙකක් ගතවූ තැන එනම් 1913 දී ඔහුගේ ඉවසීම ඉක්මවා ගියේය. එය ඔහුව හසුවීමටත් නැවත මොනාලිසා ලෝකයට උරුම වීමටත් හේතුවිය. ඔහු එය විකුණනන්ට තැත් කරන්නේ ඉතාලියේ Florence හි Uffizi Gallery හි අධ්‍යක්‍ෂකවරයාටයි. අධ්‍යක්‍ෂකවරයාට හුස්ම ගැනීමට පවා අමතක වූ බව පවසයි. "මෙන්න ආයෙමත් මොනාලිසා තමන්ගේ ගෙදරට ඇවිල්ලා" ඔහුට එහෙම හිතෙන්නට ඇත. මොනාලිසා සිතුවම පිළිබදව Uffizi Gallery හි අධ්‍යක්‍ෂකවරයාට විකිණීම පිණිස යවන ලියමනේ Peruggia අත්සන් තබන්නේ "ලියනාඩෝ" යන නමිනි'
 "I am an Italian patriot that was seized by the desire to return to my Italy one of the numerous treasures that Napolean stole from her."

ඉතාලි ආණ්ඩුව විසින් Peruggia අත්අඩංගුවට ගන්නා අතර ඔහුව අවුරුද්දකුත් දින 15 ක් සිරකර තැබීමට නියෝග කළත් එය පසුව මාස 7 කුත් දින 4 කට සීමාවේ.

මොනාලිසා ඉතාලියෙන් හමුවූ පසුව මහත් ගැටළුවකට මුහුණ දෙන්නේ ඉතාලි රජයයි. ජාතිකවාදීන් විසින් මොනාලිසා ඉතාලියට අයිති දෙයක් බව පවසයි. ලියනඩෝ ඉතාලි ජාතිකයෙකි. මොනාලිසාහි සිටින කත ඉතාලි කාන්තාවකි. ඉතින් එහෙනම් මේ සිතුවම ඉතාලියට මිසක් ප්‍රංශයට අයිති දෙයක් බව අමුතුවෙන් කියල දෙන්න ඕනැද? ඒ ඔවුන්ගේ මතයයි. අනිත් අතින් ප්‍රංශය මොනාලිසා අයිති ඔවුන්ට බව කියයි එයද සත්‍යයකි. ලියනාඩෝ සිය අවසන් වසර 3 ගත කළේ ප්‍රංශයේය. සති කිහිපයක් මොනාලිසා ඉතාලියේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කරන අතර දසදහස් ගණන ජනයා සිය නිජබිමේ අග්‍රගන්‍ය කලාකරුවාගේ අග්‍රගන්‍යයම නිර්මාණය නරඹති. කෙ‍සේවෙතත් රාජ්‍යතාන්ත්‍රිකව සාමකාමීව විසදා ගත යුතු ගැටළුවක් හා විශ්ව කලාකරුවෙකුගේ නිර්මාණ ලෝකයේ කොහේ හෝ සුරක්‍ෂිතව තිබී අනාගත පරපුරටද ඒවා බලා ගැනීමට ඉඩ හැරිය යුතුයයි සිතන ඉතාලි රජය ලෝකයේ කීර්තිමත්ම කෞතුකාගාරයක් වන ලූවර් වෙත එය භාරදීමට එකඟවන අතර මොනාලිසා දුම්රියෙන් ආරක්‍ෂිතව නැවත ප්‍රංශය වෙත 1914 ජනවාරි 4 වනදා රැගෙන එනු ලබයි. එහිදී අතිවිශාල ජනතාවකගේ උණුසුම් පිළිගැනීමක් ඇයට ලැබෙන අතර දින තුනක්ම ඇය වෙනුවෙන්ම එහි ප්‍රදර්ශනයක් පැවැත්වීමටද එහි බලධාරීන් වගබලා ගනී.
http://theartinquirer.blogspot.com/2011/08/100-years-ago-vincenzo-peruggia.html
http://www.vanityfair.com/style/features/2009/05/mona-lisa-excerpt200905
ඉතාලියට හොරෙන් ගිය ගමනේදී ඉතාලියේ නෑයන් මොනාලිසා දෙස බලා සිටි

ප්‍රංශ බලාධාරීන් සමග මොනාලිසා

උපරිම පොලිස් ආරක්‍ෂාව ලබාදීම

දැන් ඇය ලූවර් කෞතුකාගාරයේ විරාජමානව සිටින්නේ ජීවමාන හොලිවුඩ් තරුවක් මෙන් පෞද්ගලික ශරීරාරක්‍ෂකයන්ද සමග, ආර්ද්‍රතාවය නිසා හානි වීම වැලැක්වීම පිණිස වායුසමීකරණය කරන ලද කොන්ක්‍රීට් පෙට්ටියක් තුල සුරක්‍ෂිතවය. ඇය පෙනීමට ඉදිරියෙන් ඇති ත්‍රීගුණවීදුරුව (triplex glass) වෙඩි තැබීමටද ඔරොත්තු දෙන ඒවාවේ.

ඇය බැලීමට වසරකට ලූවර් කෞතුකාගාරය වෙතට මිලියන 6 ක පමණ සංචාරකයන් පැමිණෙතැයි පැවසේ.

ඇය 1911 සිදුවීමෙන් පසුව ලූවර් කෞතුකාගරයෙන් පිටතට ගියේ අවස්ථා දෙකකදී පමණි. ඒ 1962 දී ඇමරිකානු ප්‍රදර්ශනයකටත්,1974 දී ජපාන ප්‍රදර්ශනයකට පමණි. ඉහත පැවසූ වෙඩි නොවදින වීදුරුවද ජපාන ප්‍රදර්ශනයෙන් පසුව ඇයට ලැබුන ත්‍යාගයකි.

දෙවන ලෝක යුද්ද කාලයේදී මොනාලිසා ආරක්‍සා කරගැනීම ප්‍රංශය ආරක්‍ෂාකරගන්නවාටත් වඩා භාරදූර කාර්යයක් ‍සේ ලූවර් බලධාරීන් සිතුවෝය. ඔවුන් සිතුවම ප්‍රවේශමෙන් රැගෙන මුලින්ම Château d'Amboise වෙතටත් ඉන් ඉක්බිතිව Loc-Dieu Abbey සහ Château de Chambord ද, අවසානයේ Ingres Museum in Montauban වෙතද රැගෙන ගියේය.
ලූවර් කෞතුකාගාරය

එසේම 1870 ගණන් වල සිදුවූ Franco-Prussian (Franco-German) යුද්දය අවස්ථාවේදීද ස්ථාන පහක් වෙත මොනාලිසා ආරක්‍ෂා කරගැනීමට රැගෙන ගිය බව පැවසේ.http://en.wikipedia.org/wiki/Franco-Prussian_War



මොනාලිසා හා තරහෙන් අඩම්තේට්ටම් කරන්නන්ද සි‍ටියෝය. එයින් වඩාත් කැපීපෙනෙනම සිදුවීමක් වූ‍යේ 1956 දෙසැම්බර් 30 වනදා බොලිවියානුවකු වන Ugo Ungaza Villegas එල්ල කළ ගල් ප්‍රහාරයකින් මොනාලිසාගේ වම් වැලමිටට ආසන්න‍‍යේ සායම් ගැලවී යාමයි. තවද එම වසරේම ඊට ප්‍රථම මෙම සිතුවමේ වටිනාකම නොදත් මුග්දයකු ඇසිඩ් මිශ්‍රිත සායම් තැවරීම නිසා සිතුවමේ පහළ ප්‍රදේශයට යම් යම් හානි සිදුවිය.

මොනාලිසා 1974 දී ජපානයට රැගෙන ගිය විටද එය ප්‍රදර්ශනය කළ ටෝකියෝ ජාතික කෞතුකාගාරයේ ආබාධිතයන් කෙරේ අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරේ උරණ වූ ආබාධිත කතක් සිය කෝපය නිවා ගත්තේ මොනාලිසා මත රතු සායම් තැවරීමෙනි. කෙසේවෙතත් සිතුවමට හානියක් නොවීය.

කාන්තාවන්ගෙන් ඇයට කරදර පැමිණෙන්නේ ඉරිසියාවට දෝදැයි සිතේ. 2009 අගෝස්තු 02 වනදාද ඇයට රුසියානු කාන්තාවකගෙන් අතවරයක් සිදුවිය. ඒ එම රුසියානු කතට ප්‍රංශ පුරවැසි භාවය ලබා නොදීමට එම රජය ගත් තීරණයට කෝප ගත් ඇය කෝපය පිට කරන ලද්දේ මොනාලිසාගේ පිටිනි. ඇය කෞතුකාගාරයෙන්ම මිලයට ගත් මග් එකකින් මොනාලිසා වෙත දමා ගසන අතර වාසනාවකට මෙන් මොනාලිසා තැන්පත් කර ඇති ආරක්‍ෂිත ආවරණයේ කලින්ද පැවසූ වීදුරුව ශක්තිමත් නිසා ඇයට කරදරයක් නොවී මග් එක කුඩුවී ගියේය.


තුන්හිතකින්වත් මොනාලිසාට කරදරයක් නොකර ඇය වෙනුවෙන් කරන දේවල් නිසාද ඇයට යම් යම් උපද්‍රව සිදුව තිබේ. මොනාලිසාට දැන් ඇහි බැම නැති වූවත් ලියනාඩෝ ඇයට ඇහි බැමද තැබීමට අමතක නොකළේය. එහෙත් වැඩි හොදට 17 වන සියවසේදී පමණ කරන ලැදැයි කියන ප්‍රතිසංස්කරණයකදී එම ශිල්පියා භාවිතා කරන ලද දියරයක් නිසා ඇහිබැම මැකී ගියේය. මෙ‍සේ ඇහි බැම පමණක් මැකීයන්නට හේතුව ලෙස පවසන්නේ ලියනාඩෝ සිතුවම ඇහිබැම තියන ලද්දේ අවසාන වශයෙන් හා ඒ සිතුවම වියළුන පසුව වීම බවයි.

එ‍සේම මොනාලිසාට තවත් හොද පෙනුමක් ලබා දීමට සිතුවම රාමුකරන ලද ඕක් රාමුවේ භාවිතා කරනලද හරස් රීප්ප වලට යොදා ගත් බීච් ලී කෘමින් කාදැමීමට යාමෙන්ද 1951 සහ 1970 ගණන් වල සිතුවමට හානි සිදුවන්නට ගොස් තිබේ.

2011 නොවැම්බරයේ සිට 2012 පෙබරවාරි දක්වා ලන්ඩනයේ The National Gallery හි ලියනාඩෝගේ ප්‍රදර්ශනයක් පැවැත්වුන අතර එහිදී ලෝකය පුරා විසිරී තිබූ ලියනාඩෝගේ සිතුවම් සහ අනෙකුත් නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කෙරුනි. එහෙත් එහිදී විශේෂිතම සිතුවම වූ මොනාලිසා නම් ප්‍රදර්ශනය කළ බවක් දැනගැනීමට නොමැත.

http://www.nationalgallery.org.uk/whats-on/exhibitions/leonardo-da-vinci-painter-at-the-court-of-milan

කෙසේවෙතත් ලියනාඩෝ‍‍ගේ මොනාලිසා හැරුන කොට සියළු නිර්මාණ එකතැන එකවිට දැකගැනීමට හැකිවූ  එකම හා ඇතැම්විට නැවත සිදුනොවිය හැකි අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය හදුන්වා දී තිබුනි.


1506 දී වෛද්‍ය විද්‍යාත්මක කායවිච්ඡේද්‍ය සිතුවම් ඇදීම හා ශරීර අභ්‍යන්තරය හැදෑරීම ලියනාඩෝ විසින් සිදුකරන අතර ලොව පළමුවෙන්ම‍ කළලය මවගේ ගර්භාෂයේ තිබෙන අයුරින් සිතුවම් කළ පුද්ගලයා ලෙසද ලියනාඩෝ ගරුත්වය හිමිකර ගනී. කාන්තාව යනු "ජීවයේ යතුර" බව ලියනාඩෝගේ මතය විය. සැබැවින්ම එය ලෝ පතල සනාථන සත්‍යයකි. ලියා‍නාඩෝ විසින් 1504 දී මූලික්ත්වය ගෙන ඔහු හා සහායකයන් විසින් නිර්මාණය කරන ලද Leda and the Swan සිතුවම තුලදීද මාතෘත්වය සහ තවත් බොහෝ දේ සැගව තිබේ.

එහෙත් කණගාටුවට කරුන නම් මෙම සිතුවමේ මුල් සිත්තම දැන් විනාශ වී ගොස් හෝ අතුරුදහන්ව තිබේ.
http://en.wikipedia.org/wiki/Leda_and_the_Swan_%28Leonardo%29

තවත් අසාමාන්‍ය සිතුවමක් වන The Virgin and Child with Saint Anne හි බොහෝ දේ සැගව ඇති බව මනොවිද්‍යාවේ පියා තර්ක කරයි.එනම් ලියනාඩෝගේ සමලිංගික රුචිකත්වය ඔහුගේ කුඩා අවධියේ සිටම ඇතිවූ දෙයක් ලෙස ඔහු විසින් ලියනාඩෝගේ The Codex Atlanticus (Atlantic Codex) නම් අත්පිට‍පතෙහි සදහන් කරුණු හා මෙම සිතුවම ගැඹුරින් විශ්ලේෂනය කිරීමෙන් ලැබෙන සැගවුන අර්ථයන්ගෙන් එය නිරූපිත වන බවට ඔහු තර්කයක් ඉදිරිපත් කරයි.

http://en.wikipedia.org/wiki/Codex_Atlanticus - It seems uranous and rose are the love of my life and that I was always destined to be so deeply concerned with vultures — for I recall as one of my very earliest memories that while I was in my cradle a vulture came down to me, and opened my mouth with its tail, and struck me many times with its tail against my lips.

http://en.wikipedia.org/wiki/Leonardo_da_Vinci,_A_Memory_of_His_Childhood

එසේම ඔහු විසින් සිතුවම් කරනා ලද පිරිමින් නිරූපනය වන පින්තූරවල පුන පුනා කාන්තා ශරීර ලක්‍ෂනද නිරූපනය වන අතර එයින්ද ඔහු තුළ තිබූ සමලිංගික රුචිකත්වය නිරූපනය වන බව ඔහු පිළිබදව සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අධ්‍යයනය කළ විද්වතුන්ගේ මතයයි.

තවද ඔහු‍ගේ සිතුවම් බොහෝමයක ලිංගික ව්‍යාකූලත්වයක් නිරූපනය වන බවද පැවසේ. එපමණක් නොව John the Baptist සිතුවමේ සහ තවත් සිතුවම් කිහිපයකම දක්නට ලැබෙන රැලි වැටුන කොන්ඩයක් ඇති පිරිමි රුව Salli ගේ රූපය බවට මතයක් තිබේ. 1515 දී සිතුවම් කරන ලද මෙම සිතුවම ලියනාඩෝගේ අවසාන සිතුවම ලෙසද සැලකෙන අතර එයත් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ලියනා‍ඩෝ ඇසුරු කළ මිතුරන්ද පසුකළෙක විශිෂ්ඨයන් ලෙස ගෞරවයට පාත්‍රවූ මිනිසුන් වූහ. ඔහුගේ එක් මිතුරෙකු වූයේ ගනිතඥයෙකුවූ Luca Pacioli වන අතර 1490 පටන් ලියනාඩෝ ඔහුගෙන් ගණිතය හැදෑරු බව පැවසේ. 1509 දී ප්‍රකාශයට Luca Pacioli  පත් කළ The Divine Proportion නම් ජ්‍යාමිතික ගණිත කරුණු ඇතුලත් පොතේ රූප සටහන් අදිනු ලැබුවේද ලියනාඩෝ ඩාවින්චිමය.



ලියනාඩෝගේ යුගයේදී සිතුවම් වල සංකේතාත්මක නිරූපණයන් බො‍හෝමයක් නිරූපනය වූ අතර ඇසට පෙනෙන සිතුවමට වඩා සැගවුන අර්ථයක් ඒවායේ වූයේය. උදාහරණයක් ලෙස Portrait of Cecilia Gallerani (The Lady with an Ermine, Mistress of Ludovico SforzaDuke of Milan) සිතුවම ගත්විට එහි දැක්වෙන Ermine නම් සත්ත්වයා යනු අපට පෙනෙන්නේ ඇයගේ සුරතලා ලෙස වුවත් එයට වඩා වෙනස් ගැඹුරු අර්ථයක් මෙහි තිබෙන බව පවසයි. එම සත්ත්වයාගේ සුදු පැහැය යනු පාරිශුද්ධත්වයයි. ඔහුගේ මස්පිඩු ඉල්පිනු බාහු වලින් බලය හා ලිංගිකත්වයත් නිරූපනය කර තිබෙන බව පවසන අතර මෙහි ආදරයෙන් තුරුළුකරගෙන සිටිමෙන් සංකේතාත්මකව නිරූපනය කර තිබෙන්නේ මෙම කාන්තාවගේ ස්වාමියා වූ Ludovico Sforza බව ලියනාඩෝගේ සිතුවම් පිළිබදව විශේෂඥ දැනුම ඇත්තන්ගේ මතයයි.

එසේම ලියනාඩෝ විසින් ඇන්දා යයි සැලකෙන එහෙත් අතුරුදහන්ව තිබූ තවත් චිත්‍රයක් මතුවූයේ පසුගිය ශතවර්ශයේදී එනම් 1958 දී ට්‍රන්ක් පෙට්ටියක් පතුලේ ඔහේ දමා තිබියදීය. මෙම සිතුවම එය හිමිව තිබූ අය මිලයට ගෙන තිබුනේ පවුම් 45 කටය. එහෙත් එහි නිර්මාපකයා ලියනාඩෝ බව දන්නේ නම් එය කොතරම් මිල වනු ඇත්ද? මෙම සිතුවම නමින් Salvator Mundi හෙවත් The Saviour of the World නම් වූ අතර ලියනාඩෝ විසින් 1513 දී මෙය සිතුවම් කරන ලදැයි පැවසේ. කාලය ඉක්ම යාම හා නොසැලිකිලිමත් කම මෙන්ම නොදැනුවත් කම නිසා පහත දැක්වෙන අයුරින් ලැබෙන අවස්ථාවේ තිබූ මෙම සිතුවම දක්‍ෂ සිතුවම් ප්‍රතිසංස්කරණය කරන්නන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා දෙවනුව දක්නට ලැබෙන ආකාරයට ලියනාඩෝ එදා සිතුවම් කළ වර්ණ හා තත්ත්‍වයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් කරන ලදි.




එසේම 1505 දී Florence හි Palazzo Vecchio බිත්තියක් මත ඔහුට අදින්නට භාර වූ 1440 දී සිදුවු අන්ගිහාරි යුද්දය පසුබිම් කර ගත් The Battle of Anghiari සිතුවමද ලියනාඩෝ විසින් භාවිතා කරන ලද ක්‍රමවේදයන් අසාර්ථක වීම නිසා අහිමිවූ සිතුවමක් සේ සැලකෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ එම සිතුවම ඇදි ස්ථානයේ ඉන් පසුව භාවිතා කළ frescoes පෘෂ්ඨයට ඇතුලතින් ඉතිරිව තිබෙනු ඇති බවයි.

http://en.wikipedia.org/wiki/The_Battle_of_Anghiari_%28painting%29The Battle of Anghiari (1505) is a currently lost painting by Leonardo da Vinci, at times referred to as "The Lost Leonardo", which some commentators believe to be still hidden beneath one of the later frescoes in the Salone dei Cinquecento (Hall of the Five Hundred) in the Palazzo Vecchio, Florence.

In March 2012, it was announced that a team led by Maurizio Seracini has found evidence that the painting still exists on a hidden inner wall behind a cavity, underneath a section of Vasari's fresco in the chamber.
http://www.nationalgeographic.com/explorers/projects/lost-da-vinci/
http://www.ibtimes.com/articles/312939/20120312/da-vinci-lost-painting-battle-anghiari-discovered.htm
http://www.calit2.net/newsroom/release.php?id=1967


කෙසේවෙතත් මෙම සිතුවමට අදාලව ලියනාඩෝ විසින් කරන ලද අධ්‍යයනයන් හා කටුසටහන් තවමත් ඉතිරිව තිබීම එක් අතකින් මහත් භාග්‍යයකි.




ලියනාඩෝ නැවත Florence සිට Milan බලා 1506 නැවත යන අතර එයට හේතුවන්නට ඇත්තේ 1504 දී ඔහුගේ පියා මිය යෑමෙන් පසුව ලියනාඩෝගේ අර්ධ සහෝදර සහෝදරියන් ඔහුට ගණන් නොගැනීමත් ඒ වන විට Florence හි තරඟකාරී තරුණ කලාකරුවන් සිටීම වැනි කාරණා වන්නට ඇත. එ‍යින් මයිකල් ආන්ජලෝ ප්‍රමුඛ වන අතර ඔහු නිරතුරු ලියනාඩෝව අවඥාවට ලක් කළ අතර කාන්තාවකට සම කර සමච්චලයකට ලක් කළ බව පැවසේ. තවද ඔහු ලියනාඩෝව හෑල්ලුවට ලක්කරමින් නිරතුරුවම ලියනාඩෝට නිර්මාණය කිරීමට අපොහොසත් වූ ලෝකට අශ්වයා පිළිබදවද ඇසූ බව The Life of Leanardo Da Vinci චිත්‍රපටියේ පවසයි. තවද රෆායල්ද ලියනාඩෝගේ සමකාලිනයෙකි. ඔහු ලියනාඩෝට වඩා වසර 30 කින් පමණ ලාබාල වූ අතර ඔහු හා ලියනාඩෝ අතර ගැටුම් කාරී නොවූ වාතාවරණයක් තිබූ බව පැවසෙන අතර  ඔහු ලියනඩෝගේ මොනාලිසා සිතුවම දැක  ඔහු අඩාවැලපෙන්නට තරම් කෙතරම් සංවේදීව තිබේ.
http://en.wikipedia.org/wiki/Raphael

ලියනාඩෝ මිලාන් වෙත යාමට පෙර ඒ වන විට ජීවත්ව සිටි එකම ඔහුගේ හිතවත්ම ඥාතියා වූ පියාගේ සොහොයුරු වන ෆ්‍රැන්චැස්කෝ මුන ගැසුන විට නැවත මිලාන් වෙත නොයන මෙන් දන්නා හැම අයුරකින්ම ලියනාඩෝට පවසා සිටියේය. එයට හේතුව මිලාන් හි ඒ වන විට පාලනය ගෙන ගිය ප්‍රංශ පාලකයන් ලියනාඩෝ සමගද තරහෙන් පසුවනු ඇතැයිද , ඒ නිසා ඔහුව මරා දැමීමට වුවද ඔවුන් පසුබට නොවේය යන කරුණ කියා පෑවේය.

එහෙත් නැතිවීමට යමක් නොතිබූ ලියනාඩෝ නැවත මිලාන් වෙත ගිය අතර ඔහුට තමන් කලකට පෙර නිර්මාණය කළ අවසන් භෝජන සංග්‍රහය සිතුවම දෙස බැලීමට සිත්විය. ඒ වන විට එය සිතුවම් කළ තාපසාරාමයේද ප්‍රංශ සොල්දාදුවන් පවා සිටි අතර ඔහු හැදැන ගත හැකි පූජකයෙකු හෝ එහි නොසිටියේය. ඔහු එය බැලීමට යනවිට එය දෙස බලා සිතුවම් කරන චිත්‍රශිල්පීන්ගේ බාගෙට ඇදි සිතුවම් විය. කෑමකාමරයක් වූ මෙහි කෑම සූදානම් කරමින් තිබූ අතර යාබද කුස්සිය සිතුවමට එපිටින් යාබදව තිබුනත් වටෙන් කෑම රැගෙන වැඩි දුරක් පැමිණීමට සිදුවීම ගැන ආහාර ගෙන පූජකයා මැසිවිලි නගමින් "මෙතන ඉක්මනටම දොරක් දාන්න ඕනෑ"යයි ලියනාඩෝ පිලිබදව නොදත් පූජකයා ලියනාඩෝටම පැවසීය. එයට හිස වැනූ ලියනාඩෝ තමන් විසින් ඇදි දැවැන්තම සිතුවම ආධුනිකයන් විසින් සිතුවමට නගා ඇති අයුරු බලමින්, සිනහසෙමින් එක් සිතුවම යම් දෙයක් නිවැරදි කිරීමට පින්සලෙන් රේඛාවන් කිහිපයක් ඇන්දා පමණි. එවිටම එක් සිසුවෙකු පැමිණි අතර ලියනාඩෝව හදුනාගත්තා පමණක් නොව විශ්මයට පත්ව අනෙක් සිසුන්ටද කෑගසා අඬ ගැසුවේය.

මිලාන් හි ප්‍රංශ බලධාරීන් ලියනාඩෝව පිළිගත්තේ මහත් හරසරිනි. ඉහළම පිළිගැනීමක් ලියනාඩෝට දුන් අතර ඒ අවධියේ මිලාන් පාලනය  ප්‍රංශ  ආණ්ඩුකාරවරයා කලාවට ලැදි පුද්ගලයෙකු වූ අතර ලියනාඩෝ යනු ඔහුට මහත් සම්පතක්විය. ඔවුන් ලියනාඩෝගෙන් මිලාන් වෙතම රැදී සිටින සේ ඉල්ලා සිටි අතර ලියනාඩෝ එය ප්‍රතික්‍ෂේප කළේ තමන් මාස තුනකට පමණ කාලයක් මිලාන් වෙත රැදී සිටින බවත් ෆොලොරන්ස් හි භාරගත් කොන්ත්‍රාතුවක් අවසන් කිරීමට තිබෙන බවත්ය. එහෙත් මිලාන් වෙතින් ලියනාඩෝ නික්ම යාමට අකමැතිවූ ප්‍රංශ බලධාරීන් ෆොලොරන්ස් හි අදාල නිළධාරීන් හා කතා කොට ලියනාඩෝ එහි භාරගත් කාර්යයෙන් නිදහස් කරගැනීමටද කටයුතු යෙදු‍වෝය. ඔහුට ප්‍රංශ බලධාරීන්ගෙන් ඉහළ සැලකිලි ලැබුන අතර ප්‍රංශ රජතුමාපවා ලියනාඩෝගේ චිත්‍රාගාරයට පැමිණි ඔහුගේ සිතුවම් නරඹමින් සතුටටත්, විශ්මයටත් පත්වූ‍ බව පැවසේ.

1513 සිට 1516 දක්වා ලියනාඩෝ රෝමයේ Pope Leo X වෙනුවෙන් සේවය කරන අතර ඒ එතුමාගේ සොහොයුරු සහ පාප් තුමාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී Giuliano de Medici යටතේය. එහිදී ලියනාඩෝට හොදින් ගරු සැලකිලි ලැබුනත් සතුටින් සේවය කළාදැයි සැක සහිතය.ඔහුට එහිදී මෘත ශරීර කපා ඒවායේ අභ්‍යන්තරය සිතුවම් කිරීම පාප් තුමාගේ අණ පරිදි තහනම් කෙරෙන අතර ඒ "මලවුන් මරණින් මතු ලබන ආත්මයට මෙය හානි කර ක්‍රියාවක්" යැයි පසමිනි.
http://www.sparknotes.com/biography/davinci/section9.rhtml

ලියනාඩෝ දැන් වයස 60 ඉක්මවූ වයස්ගත කෙනෙකි. ඔහුට බිරිදක්, දරුවන් නැත. ඔහුගේ මෙම ජීවිතයේ සන්ධ්‍යා කාලයේදී එම තනිකම දුරුකරමින් ප්‍රංශයේ එවකට රජකම් කළ Francis I රජතුමා ඔහුට ප්‍රංශයේ පදිංචියට ආරාධනා කරන අතර තරුණ රජතුමා ලියනාඩෝට සලකන්නේ පියකුට මෙනි. ඔහු ලියනාඩෝට ජීවත්වීමට සිය මාලිගයට යාබදවම පිහිටි මන්දීරයක් ලබා දෙන අතර මෙම මන්දීරය හා රජමාලිගය අතර උමං මඟක්ද තිබූ බව පැවසෙන අතර ඒ අවශ්‍ය ඕනෑම විටක රජතුමාට ලියනාඩෝව හමුවීමටයි. රජතුමාද ලියනාඩෝට ඉතා හොදින් සලකන අතර වරක් ලියනාඩෝ විසින් තැනූ යාන්ත්‍රික සිංහයකුද රජතුමාට තිළින කරන අතර එය ලෝකයේ ප්‍රථම රෝබෝවරයා ලෙසද සැලකේ.

මේ අවධිය වන විට ඩාවින්චිගේ දකුණු අත ආශ්‍රිත ප්‍රදේශය අංශභාග තත්ත්වයකට පත්ව තිබූ බව ඇතැම් තොරතුරු වල සදහන්වේ. 1519 මැයි 02 දා ඩාවින්චි මෙලොව හැරගියේය. බොහෝ මූලාශ්‍ර වල සදහන් ආකාරයට ඩාවින්චි සිය අවසන් හුස්ම හෙලන්නේ එවකට ප්‍රංශයේ රජකම් කළ පෙ‍රද පැවසූ Francis I රජතුමාගේ දෑත මතය.
ලියනාඩෝ මිය ගොස් තිබෙන්නේ මෙම නිවස තුලදීය

කොතෙක්දුරට එය සත්‍යයක්ද, නැත්ද යන්න පැනයක් වූවත් මෙම අවස්ථව පසුකලෙක චිත්‍රශිල්පීන් කිහිප දෙනෙකු විසින්ම සිතුවමට නැගූහ. ඒ අතරින් Jean-Auguste-Dominique Ingres ඇදි සිතුවම වඩාත් ජනප්‍රිය සිතුවමක් වූයේය.
Jean-Auguste-Dominique Ingres1818 දී දුටු ලියනාඩෝගේ අවසාන මොහොත
 මේ වෙනත් චිත්‍ර ශිල්පීන් එම අවසාන ‍මොහොත දුටු ආකාරයයි



ඔහුගේ දේහය Chateau d’Amboise හි ශාන්ත ෆොලරන්ටයින් පල්ලියේ  තැන්පත් කළ අතර මරණයෙන් පසුවද වැඩි කාලයක් නිදහසේ සිටින්නට ඔහුට ඉඩක් නොලැබුනේය. 1562 දී ප්‍රංශයේ සිදුවූවායයි කියන ක‍තෝලිකයන් හා ප්‍රොතෙස්තන්තවාදීන් (Huguenots) අතර සටනේදී ප්‍රොතෙස්තන්තවාදීන් ෆොලරන්ටයින් පල්ලිය කඩා බිද දමන අතර එහි තැන්පත් කළ ඩාවින්චිගේ දේහය තැන්පත් කළ ස්ථානයටද හානිසිදුවන අතර 1700 අග භාගයේ සිදුවූ ප්‍රංශ විප්ලවයේදී පල්ලියේ ඉතිරිව තිබූ දේහයන්ට විප්ලවවාදීන් විසින් වෙඩිතබන ලද බවද පැවසෙන අතර සියළුම දේහ කොටස් සමූහ මිනී වලක වැලලූ අතර ඒ දේහයන් අතර ඩාවින්චිගේ දේහයේ අවශේෂ කොටස්ද වූ බව පවසයි. තවත් කතාවක කියවෙන්නේ 1860 දී ඩාවින්චිගේ දේහය හදුනාගත් බවත් එය Chateau d’Amboise හි ශාන්ත හර්බට් දේවස්ථානයේ තැන්පත් කර ඇති බවයි.
http://discoveringfrance.com/tag/chateau-damboise/


ලියනඩෝ ඩාවින්චි, "විශ්වයේ මිනිසා", ඔහු ගැන තව කතා කිරීමට බොහෝ දේ ඇත. එහෙත් මෙම ලිපිය පළ කිරීම තවත් පමා වන නිසා මෙම සටහන් මෙතැනින් තාවකාලිකව නවතන්නේ ඔබ හමුවේ ඉදිරි කාලයේදීද තැබිය යුතු තවත් කරුණු රැසක් සඟවාගෙනය.

මෙන්න පසුගිය දිනවල ඩාවින්චි ගැන පළ කළ අනෙක් සටහන්. මේවාද මෙම ලිපියට ප්‍රයෝජනවත් වේවි.

ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි

ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්‍ෂනික මෙවලම් රැසක පින්තූර

මෙම දර්ශනීය පසුබිම් සේයාරූ ඉදිරියේදී ඔබට චිත්තරූප මවාවි - The Eye chatching Landscape Pictures of Italy

මෙන්න මේ මූලාංශ්‍ර වලිනුත් මේ ලිපියට අවශ්‍ය කරුණු අඩු වැඩි වශයෙන් ලබා ගත්තා.
http://www.napoleon.it/rome/events
http://news.discovery.com/tech/leonardo-davinci-inventions-slideshow.html
http://en.wikipedia.org/wiki/Science_and_inventions_of_Leonardo_da_Vinci
http://www.gutenberg.org/files/7785/7785-h/7785-h.htm
http://www.chinaoilpaintinggallery.com/famous-artists-da-vinci-c-141_142/st-john-the-baptist-p-7991
http://www.thehistoryblog.com/archives/14881
http://bookishgirl.com.au/2012/02/15/art-and-maths-the-divine-proportion-of-luca-pacioli-with-drawings-by-leonardo-da-vinci/
http://en.wikipedia.org/wiki/Luca_Pacioli
http://www.monalisamania.com/crimesmain.htm  
http://en.wikipedia.org/wiki/Ch%C3%A2teau_d%27Amboise
http://en.wikipedia.org/wiki/French_Wars_of_Religion
http://en.wikipedia.org/wiki/French_Revolution

මෙන්න මේ වාර්තාමය චිත්‍රපටිද මෙම ලිපිය වෙනුවෙන් භාවිතා කළා -
Leonardo Da Vinci The Mona Lisa - Documentary
The Life of Leonardo da Vinci
Leonardo da Vinci- -Dangerous Liaisions
Leonardo da Vinci- -The Man Who Wanted to Know Everything
Da Vinci - The Lost Treasure (BBC)

මෙම ලිපිනයෙන් ඩාවින්චිගේ සිතුවම් සේම ඔහු සටහන් පොතේ තබන ලද විවිද උපකරණ වල රූප අනුරූ බවට පත් කර ප්‍රදර්ශනයට තබා තිබූ අවස්ථාවක් දැක ගත හැකිය.
Da Vinci Experience & 25 secrets of the Mona Lisa- http://www.youtube.com/watch?v=2xTZFEffwno