-->

Monday, August 20, 2012

ලොකු ගල් දෙකක් වෙනුවෙන් රණ්ඩුවෙන ජපානය හා දකුණු කොරියාව - Dokdo a.k.a. Takeshima island incident

ජපානය හා දකුණු කොරියාව කියන්නේ ආසියාවේ මුලින්ම සංවර්ධනය වූ හා ආසියාවේ සිටින ඇමරිකාවේ සුමිතුරුම රටවල් දෙකයි. වර්ථමානයේ ජපානය කියන්නේ බොහොම ගෞරවනීය සාමකාමී රටක් ලෙස පැවතුනත් අතීතයේ, ඒකියන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව නම් බොහොම දඩබ්බර, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැති රණකාමී, යුදකාමී රටක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. එදා අග්නිදිග ආසියාවේ බලය ඉතා දරුණු හා බිහිසුනු ක්‍රමවේදයන් ඔස්සේ අනුගමනය කළ ජපානය, මෙල්ල වූයේ ඇමරිකාව විසින් අවසාන විසදුම ලෙස එල්ල කළ පරමාණු බෝම්බ දෙක නිසයි.

ඉන්පසුව යුදකාමී පිළිවෙතෙන් ඔබ්බට යාමට සිදුවූ ජපානය තමන් අතින් හානියට පත්වූ ජාතීන්ට වන්දි ගෙවමින් තමන්ගේ සංවර්ධනයට ශිඝ්‍රයෙන් ලගාවූවා. කෙසේවෙතත් ජපානය දෙවන ලෝක යුද්ද කාලේදී චීනයට හා කොරියානු අර්ධත්වීපයේ ජනයාට කළ අකටයුතුකම් නම් අසීමිත බව පැවසෙනවා. මේ සබැදියේ ඒ සම්බන්ධයෙන් කාරණා ඇති.
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්


එයින් වඩාත් සංවේදීම කාරණයක් වූයේ කොරියානු මෙන්ම තවත් රටවල් ගණනාවක ලඳුන් සිය සොල්දාදුවන්ගේ මනදොල සපිරීමට යොදා ගැනීමයි. ඔවුන් ඒ අවධියේ හදුන්වන් ලැබුවේ "Comfort Women" නමින්. මෙම "සැපදෙන ‍ලඳුන්" ගේ සිද්ධිය යුද්දයෙන් පසුවද වරින්වර කරලියට නැගෙන්නක්. 

 
පසුව කොරියානු අර්ධත්වීපය උතුරු-දකුණු සේ ‍බෙදී ගිය අතර ජපානය හා ‍දකුණු කොරියාව  මිතුරුන් බවට පත්වූ අතර උතුරු කොරියාව තවමත් පවතින්නේ ලෝක සිතියමේ දේශපාලනික හා සාමාජීය වශයෙන් හුදකලා රටක් ලෙස

කාලයක පටන් ඉතා මිතුරු දැන් මේ  රටවල් දෙක අතර සබදතාව ගිණියම් වෙන්නට පටන් අරන්. එයට හේතුව තමයි කාලෙකට ඉස්සෙල්ලා ජපානය විසින් අයිති කරගත්තා යයි පැවසෙන එහෙත් දෙවන ලෝක යුද්දයෙන් අනතුරුව දකුණු කොරියාව තමන්ගේ මතයේ සිට අයිති යයි පවසා 1952 සිට අයිතිය කියා පාමින් පරිපාලණය කරන එහෙත් ජපානයත් අයිතිය කියා පාන දකුණු කොරියානුවන් "Dokdo" ("solitary island") ලෙසත්, ජපානය "Takeshima" ("bamboo island") ලෙසත් හදුන්වන දූපතට පසුගිය අගෝස්තු 10 වනදා දකුණු කොරියානු ජනපති Lee Myung Bak මහතා සංචාරයක යෙදීමයි. 

එය ජපානය කුපිත කරවන්නට හේතුවූවා පමණක් නොව ජපානය විසින් තම තානාපතිවරයාව දකුණු කොරියාවෙන්  තාවකාලිකව ඉවත් කර ගන්නට තරම් හේතුවූ බවද පැවසෙනවා.

මෙම රටවල් දෙකම ලංකා‍ව හා ඉතා මිතුරු මෙන්ම අපට නිරතුරු උපකාර කරන රටවල් දෙකක් වීම මෙන්ම යුද්ධයකින් බැට කන්නේ සාමාන්‍ය මිනිසුන් නිසා අමිහිරි  සිදුවීම් වලින් තොරව මෙම ගැටළුව සාමකාමීව  විසදා ගැනීමට ඉඩකඩ ලැබේවායි පතන අතරම මෙම දූපත කෙබදු එකක් දැයි අපි කෙටියෙන් විමසා බලමු.

ඉහත පැවසූ  Dokdo සහ Takeshima යන නම් වලට අමතරව මෙම දූපත Liancourt Rocks ලෙසද හදුන්වනු ලබනවා. දූපතක් කියුවන් ඇත්තෙන්ම  ප්‍රධාන වශයෙන්   ගල් පර්වත දෙකක් කුඩා ගල් පර්වත 35 ක් පමණ විසිරී ගිය කලාපයක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඉංග්‍රීසි-ප්‍රංශ උරුවකට මෙම දුපතට Liancourt Rocks නැත්නම් Le Liancourt ලෙස හදුන්වන්නට හේතුව තමයි 1849දී මෙම දූපත් ආසන්නයේදී ප්‍රංශයට අයත් තල්මසුන් දඩයමේ යන නැවක් ගල් පරවල වැදී සුනුවිසුනුවීයාම.

මේ සමස්ථ ගොඩබිම් ප්‍රමාණයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 0.18745 ක් හෙවත් අක්කර 46.32 ක්. ප්‍රධාන වශයෙන් විශාල පර්වතයන් දෙකක් ලෙස පවතින මෙහි විශාලත්වයෙන් වැඩි කොටස බටහිර පර්වතය වන අතර එහි තමා උසම ස්ථානය වන මීටර් 168 ක ස්ථානය පිහිටා තිබෙන්නේ. එසේම ගල් ගුහා ආදියෙනුත් පිරුණ මෙම දූපත අක්කර 21.90 ක විශාලත්වයෙන් යුතුයි.

නැගෙනහිරින් පිහිටා තිබෙන දූපත කුඩා වුවත් ප්‍ර‍යෝජනයට ගතහැකි භූමිභාගය ලෙස සැලකෙන්නේ නැගෙනහිරින් පිහිටි දූපතයි. එය වශාලත්වයෙන් අක්කර 18.1 ක්.

මෙම දූපත් දෙකට දකුණු කොරියාවේ සිට හා ජපානයේ සිට ඇති දුර පවසනවා නම් දකුණු කොරියා ප්‍රධාන භූමියේ සිට කිලෝ මීටර් 216.8 ක් සහ ජපාන ප්‍රධාන භූමියේ සිට 157.5 ක්. ඒත් දකුණු කොරියාවට අයත් තවත් දූපතක් වන Ulleung-do නම් දූපතේ සිට මෙම Dokdo දූපත් වලට දුර කිලෝ මීටර් 87.4 ක් පමණයි.

මෙම දූපතට මේ රටවල් දෙකම මෙතරම් ආසාවෙන් සිටීමට හේතුව තමයි හොද මතස්‍ය සම්පතක් මෙන්ම ස්වාභාවික ගෑස් නිධි පිහිටා තිබීම.

1991 දී මෙම දූපතට දකුණු කොරියාව විසින් තම පුරවැසියන් දෙදෙනෙකු පිටත් කර පදිංචි කරනු ලැබුවා ඒ බුවල්ලන් දඩයම් කරන මසුන් මරන්නෙකු හා ඔහුගේ බිරිදයි. ඒත් ඔවුන් තනිපංගලමේ නෙවෙයි ඒ දූපතේ සිටින්නේ. දකුණු කොරියානු පොලීසියේ මහත්වරුන් 37 දෙනෙක්, ඒවගේම දකුණු කොරියානු ධීවර හා සමුද්‍ර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන් තිදෙනෙකු සහ මෙම දූපිතේ පිහටා ඇති ප්‍රදීපාගාරයේ වැඩ මුර වශයෙන් සේවය කරන නිලධාරීන් තිදෙනෙකුත් සිටිනවා.

දකුණු කොරියාව විසින් මෙහි කර ඇති ඉදිකිරීම් ලෙස පෙර පැවසූ ප්‍රදීපාගාරයට අමතරව පොලිස් බැරැක්කයක්, හෙලිකොප්ටර් බෑමට ස්ථානයක්, උඩු ගුවනට පෙනෙන විශාල දකුණු කොරියානු ධජයක්, පියගැට පෙලක් වගේම දිනකට ටොන් 28 ක ජලය පිරිපහදු කළ හැකි මුහුදු ජල පිරිපහදුවකුත් පිහිටා තිබෙනවා. ඒවගේම එරටේ ප්‍රධාන පෙළේ දුරකථන සමාගම් වල කුළුනුත් මෙහි පිහිටුවීමට වගබලාගෙන තිබෙනවා.

මේ දූපත පිළිබදව වැඩි විස්තර පහත සබැදියන්ගෙන් අවශ්‍ය නම් ලබා ගත හැකියි.  මේ ගැටළුව කොහොම නිරාකරණය වේ දැයි අපට ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකිවේවි.

en.wikipedia.org/wiki/Liancourt_Rocks
http://www.dokdo-takeshima.com/

25 comments:

  1. එතකොට ඒඉදිකිරීම් කරද්දි ජපානෙ කොරියාවත් එක්ක රණ්ඩුවට ඇවිත් නැද්ද...?
    නොදැනම සිටි විස්තරයක් දැනගන්නට සැලැස්සුවාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ‍එහෙම දෙයක් දන්නා තරමින් නම් සිදුවී නැහැ. ඒත් දකුණු කොරියාව මේ දූපත් 1952 සිට පාලනය කළත් එය එක්සත් ජාතීන්ගේ අනුමැතිය හෝ වෙනයම් නිල එකඟතාවයක් මත සිදුවී නැහැ. සමහර විට ජපානය කාලයක් තිස්සේ කරබාගෙන ඉන්න ඇති නිළ වශයෙන් අයිතිය පැවරීමක් සිදුවී නොමැති නිසා. ඒත් දකුණු කොරියානු නායකයා එහි සංචාරය කිරීමත් සමග නිළ පිලිගැනීමක් මේ සම්බන්ධයෙන් ලැබීමක් සිදුවුනිද කියා දන්නේ නැහැ. කොහොමත් ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් වල අර්ථය ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැතුව වටහා ගැනීම අසීරුයි...

      Delete
  2. කලින් තාක්ෂණය පිලිබඳ හිනි පෙත්තේ සිටි ජපානය අභිබවා යන්නට කොරියාවට හැකි වුයේ මන්දැයි මට දැන් පැහැදිලියි. එය ගැබ්ගත් comfort women ලාගේ දරුවන්ගේ ජයග්‍රහණයක් විය යුතුයි. (Samsung, LG)

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ඇත්තෙන්ම "දවසේ කියමන" විය යුතුය. ඔව් සමහර විට ඒකද දන්නෙත් නැහැ. ඒකෙනුත් පාඩුව ජපනටමයි...

      Delete
    2. සූදීක කියපු දේ තමයි මටත් මුලින්ම හිතුනේ... හි හි
      හෑබෑට ඒකෙනුත් පාඩුව ජපානෙටම තමා...

      Delete
    3. ඒ මදිවට කොරියන් කාරයෝ සමාව ගන්නත් කියනවා තව වන්දිත් ඉල්ලනවා...

      Delete
  3. මේ වගේ ගල් ගොඩවල් වලට මරා ගැනීම මහ ගොන් කමක් නේ කියලා හිතුව කාලෙක අපේ තාත්තා කයිට්ස් දූපතට ඉන්දියාව මෙච්චර දඟලන්නේ මොකද කියලා තේරුම් බේරුම් කරලා දුන්න නිසා, මාතෘකාවෙන්ම මං දැනගත්තා මොකක් හරි ස්වාභාවික සම්පතක් ගැන යටිකූට්ටු මගඩියක් ඇති කියලා මෙතන.....

    ReplyDelete
    Replies
    1. ඔව් හුඟක් වෙලාවට ස්වභාවික සම්පත් නිසා‍ වගේම අභිමානය රැකගන්න ඕන නිසත් මේ වගේ අඩදබර ඇතිවෙනවා...

      Delete
  4. කොහොම හරි ගොඩින් බේරගත්තොත් හොඳයි. ලොකු මිනිස්සු අර්බුධවල පැටළුනාම අපි වගේ පුංචි එටවල මිනිස්සුන්ටත් ඒකෙ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... කොහෙන් ගියත් අපිට තමයි දැනෙන්නෙ..!

      Delete
    2. අනිවාර්යයෙන්ම ලංකාවේ අපිටත් දැනේවි. මොකද දැන් බොහෝවිට රැකියා සදහා යන්නේ දකුණු ‍කොරියාවට නිසා එම රටේ යම් ගැටළුකාරී තත්ත්වයක් මතුවුනොත් අපිටත් දැනේවි...

      Delete
  5. හොදවැඩේ ඔවුන්ට එක එකාට කොට ගත්තුවාදෙන්.ඒත් යුද්ධයකට පැටලුනොත් උඩින් කිවුවා වගේ අපි වගේ රටවල් වලටත් ලොකු ප්‍රශ්නයක්.දූපත ගැන නම් මම දැනන් හිටියේ නෑ.ගොඩක් ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙමෙයි. දැන් කොයි රට අර්බුදයකට පැටළුනත් ඒක ලෝකයේ එයට සම්බන්ධ නැති රටවල්වලට පවා බලපාන්න පුළුවන්. දැක්කනේ ඉරාකයට ඇමරිකාව ගහන්න පටන් ගැනීමත් එක්ක තෙල් මිලත් එදා ඉදන් වැඩි වෙච්ච විදිය...

      Delete
  6. භු දේශපාලනික වශයෙන් රටවලි මේ විදිහට කුඩා දුපත් කෙරේ බලපෑම් කරන්නේ සිට බලය විහිදුවාලන්නට මේ දුපත් අවශ්‍ය නිසයි. අනෙක සම්පත් වලින් ගහණ සාගර ප්‍රදේශයක් කෙරේ මේ යාළුවෝ දෙන්නා රණ්ඩු උනොත් බොර දියේ මාළු බාන අය ඕන තරම් ඉදීවි. අනෙක චිනයේ කණ ලඟම ‍බලවතුන්ගේ යුද පිටියක් හැදෙන්න එයා ඉඩ දෙන එකක් නෑ. ඉඩ දුනනත් ඇමරිකාව කිසිම යුද්ධයක් පටන් ගන්න දෙන එකක් නෑ චීනයට සිය ප්‍රබල බව පෙන්නන්න පුළුවන් වෙන ආකාරයේ. ඒ නිසායි මං හිතන්නේ ඔය දුපතේ ප්‍රශ්නේ එක්කෝ යට යනවා. නැත්නම් සාමකාමීව විසදෙනවා.යුද්ධයක් නම් වෙන එකක් නෑ. ඇමරිකාව කියන්නේ චීනයේ ණය කාරයෙක්.එහෙම බලද්දි දේශපාලන ප්‍රශ්න ගොඩක් ඔය පුංචි දුපතේ තියනවා. ලෝකය දැන් බලවතුන්ගේ පිල් දෙකක් / නායකයන් දෙන්නෙක් හදාගෙනයි ඉන්නේ. එක කැලේ රජවරු දෙන්නෙක් ඉන්න බෑ කියලා දෙන්නම දන්නවා.

    ReplyDelete
    Replies
    1. චීනයට නම් මේ රටවල් දෙකේ වැඩ වලට ඇගිලි ගහන්න බැරි වේවි. මොකද මේ රටවල් දෙකේම හොදම යාළුවා ඇමරිකාව නිසා. අනිත් එක චීනය නැගී එන බලවතෙක් බව ඇත්ත.ඒත් ඔවුන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඇමරිකාවේ සුරක්‍ෂිතබාවයෙන් සිටින තායිවානයට මොනවත්ම දෙයක් කරන්න චීනයට පුළුවන් වෙලා නැහැ...

      Delete
  7. ඔය අස්සෙ ජපන්නු 10 දෙනෙක් පීනලා ගිහින් එයාල Senkaku කියන චීන්නු Diaoyu කියන පුංචි දූපතට වැදිච්ච නිසා, ඒකත් කාගේ දැයි හරි නිශ්චයක් නැති නිසා, චීන්නු නගර 10 ක පෙළපාලි තියලා. බිලියනයක් ඉන්න චීනයේ නම් දහස් ගණන් රැස්වෙන පෙළපාලි ගැන කුමන කතා ද?!!!

    චිනය ජපානය ගැටීම ජපානය දකුණු කොරියාව හා ගැටීමට වඩා දරුණු වේවි ද?

    http://www.knoe.com/story/19316879/activists-up-ante-in-china-japan-isle-dispute

    භූමියක අයිතිය සඳහා තමයි එදා පටන් යුද්ධ වැදුනේ. මූද මැද්දෙ තියන ගල් ගොඩක් වුනත් පණිවුඩ හුවමාරුවක් යහපත් කරන්න හෝ බාධා කරන්න එතැනින් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයක් මේ. අනාගතයේ තව කොහොමින් වැදගත් වේවි ද?!!

    ReplyDelete
    Replies
    1. ආසියා‍වේ සැබෑ බලවතාගේ දෑත් බැදලා නේද තියෙන්නේ ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානයට ලබාදුන්න ව්‍යවස්ථාව නිසා. නැත්නම් ජපානය චීනයටත් වඩා ඉදිරියට යයි නේද ඔවුන්ට තියෙන තාක්‍ෂනය හා ඔවුන්ගේ පාරම්පරික රණකාමීත්වය නිසා...

      Delete
    2. ඒ ව්‍යවස්ථාව නිසා තමයි ජපන් ආර්ථිකය නැඟලා ගිහින් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවක් ජපානය තුල ඇති වූයේ. ඒත් පාරම්පරික සිරිත් වලින් ගැලවෙන්නට හා අලුත් විදියකට හිතන්නට ඉඩක් ජපන් සමාජයේ තවමත් හරි හැටියකට නොතිබීම නිසා තමයි මෑත කාලීන ප්‍රගතියක් දකින්නට නොලැබෙන්නේ.

      රණකාමීත්වයක් ඕනෑම රටක තරුණ පිරිමි ඉන්නවා නම් හදාගන්න පුළුවන්, අවශ්‍ය ඔවුන් දක්කන්න උසිගැන්විය හැකි නායකයෙක් පමණයි. ඒක දීර්ඝ කාලීනව වාසිදායක නැහැ. රණකාමීත්වයට වඩා සැබෑ බලවතෙක් වෙන්නට නම් අවශ්‍ය ශක්තිමත් ආර්ථික දැක්මක් ඇති නායකයෙක්. ජපානය අද මුහුණ පාන පුහුණු ශ්‍රමිකයන් වයස්ගත වීම හෙට චීනය මුහුණ පාන්නක් වෙනවා. ඔවුන් දෙපළම ඊට විසඳුම් සොයාගත යුතු වෙනවා සෙසු ලෝකය එක්ක තරඟ කරන්නට. ඒ අතින් දකුණු කොරියාව ඉදිරියෙන්: තමන්ට නැති ශ්‍රමිකයන් පිටතින් ගෙන්වා ගන්නා සැලසුම් දැනටමත් තියෙනවා. ඒත් ඒ අය සමාජයට අනුකූල නොවී මැද පෙරදිග වගේ ඇවිත් වැඩ කරලා යන සංස්කෘතියක් වුවොත් එයින් ඇතිවන දකුණු කොරියාවේ ප්‍රගතිය තාවකාලිකයි.

      Delete
    3. ඔව් මමත් දන්නා ආකාරයට නම් ඇමරිකානු ව්‍යවස්ථාන තමයි ජපානයේ දියුණුවට එක් සාධකකයක් වු‍නේ. මෑත කාලීන ප්‍රගතියක් ලෙස ඔබ අදහස් කළේ ආර්ථිකවද, දේශපාලනිමය හෝ සාමාජීය වශයෙන් කුමක්දැයි හරිහැටි නොවැටහේ.

      රණකාමීත්වය කියා අදහස් කළේ ක්‍ෂනිකව ඇතිවන තත්ත්වයක් මත උසිගැන්වීම හෝ කුපිත කිරීම හෝ නායකත්වය දීම මත ඒ ගැටුම සමනය වූ පසු පැත්තකට වීම නොවේ. උදාහරණයක් විදියට ගත්තොත් ජපානයේ සමුරායිවරුන් සිටියා. ඒවගේම ආත්මගරුත්වය හා තම අභිමානය වෙනුවෙන් සතුරා හමුවේ දනින් වැටෙනවා වෙනුවට තමන් විසින්ම "හරාකිරි" ක්‍රමයට දිවි තොර කර ගැනීමට තරම් ඔවුන් මානසිකවද ශක්තිමත් වූවා. දෙවන ලෝක යුද්දයේ නියමුවා වූ ජර්මනිය පරාජයට ලක්වී 1945 මැයි පළමු සතිය වන විට පැත්තකට වූවත් තනිවම හෝ 1945 අගෝස්තුව වෙනකම් සටන් කිරීමට තරම් ධෛර්යයක් ඔවුන්ට තිබුනා. ඒවගේම ඇමරිකානු සාජන්ට්වරයෙකු වරක් පවසා තිබුනා ජපනු‍න්ගේ යුද උන්මාදය කෙසේද යත් උසස් නිළධාරීන් යුද්දයට එන්නෙත් තමන්ගේ පදක්කම් තාන්නමාන්න හැගවෙන උපාංගද සමග බව, ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් යුදබිමක ප්‍රායෝගිතව සහ ආරක්‍ෂක ක්‍රමවේදයක් ලෙස උසස් නිළධාරීන් එසේ සියළු ආයත්තම් සමග නොපැමිණෙන බවත් එසේ පැමිණීමෙන් සතුරාට දුර තියා ඉහළ නිළධාරීයාව නිරීක්‍ෂනය කිරීමට හැකිවනවා පමණක් නොව ඕනෑම යුද්දයක මුලින්ම ඉලක්ක කරන්නේ එම සේනාව මෙහෙයවන ඉහළ නිළධාරීන් නිසා එය අවාසියක් වීමට ඉඩතිබෙන බවත්. මම කියන්නේ නැහැ තම දිවි පරදුවට තබා තාන්නමාන්න, පදක්කම් සහිතය යුද බිමට පැමිණීම නුවැණැති හා ප්‍රායෝගික ක්‍රියාවක් ලෙස ඒත් ඔවුන්ගේ අභිමානය ඒ අවස්ථාවේ සිතන්නට ඇති.

      ඒවගේම දීර්ඝකාලීනව යුද මානසික්තවයෙන් සිටීම අවාසිමෙන්ම ප්‍රා‍යෝගික නැහැ. ඒ රණකාමීත්වය වගේම, ඇමරිකානු ව්‍යවස්ථාව හා ඊට සුදුසු නායකත්වයක් වගේම ආකල්ප වල ඇති සංවර්ධනයත් නිසා නේද එතෙක් රටක් මුහුණ දුන් විනාශකාරීම අවි ප්‍රහාරයට ලක්වීත් ආසියාවේ පළමු සංවර්ධන රට බවට මෙන්ම වසර 20 ක් යන්නත් පෙරම 1964 දී ඔලිම්පික් තරගාවලිය පවත්වන්නට හැකි තරම් ජපානය ශක්තිමත් වී සිටියේ.

      ජපානයට පුහුණු ශ්‍රමිකයන් අඩුවීමට හේතුව ඔවුන්ගේ ජනගහන වර්ධනය අඩුවීම නේද? දන්නා ‍තොරතුරු වලට අනුව නම් ජපාන යුවතියන් විවාහය පමා කිරීම, විවාහ නොවී සිටීම හා විවාහකයන් පවා දරුවන් හදන්නට නොපෙළඹීම නිසාද ජපානය මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? ඒවගේම චිනයට බලපා ඇත්තේ පවුලකට එක් දරුවෙකු ප්‍රතිපත්තියද?

      Delete
  8. දකුණු කොරියාව කියන්නෙ හොඳ ආර්තික බලවතෙක් දැන්...මම දන්න විදිහට මේ මැදපෙරදිග කෙරෙන නොයෙක් සංවර්ධන ව්‍යාපෘති වල වැඩි හරියක් නිරත වෙලා ඉන්නෙ දකුණු කොරියානුවො.. ඒවට අදාල බඩු වැඩි හරියක් එන්නෙ දකුණු කොරියාවෙන්.. මට හිතෙන්නෙ ඔවුන් දැන් ලෝකෙ අල්ලලා ඉවරයි..


    ජපානයත් එක්ක යන සටන නම් කොහොම කෙලවර වෙයිද දන්නෑ.. ජපන්නුත් ලේසි පාසු පොරවල් නෙමේනෙ..

    ReplyDelete
    Replies
    1. මේක මගේ අදහස සමහර විට වෙනස් තත්ත්වයක් තිබෙන්නත් පුළුවන්. ආසියාවේ පළමු ස්ථානයේ වගේම ලෝකයේ පළමුවෙනි දසදෙනා අතරේ හොදම තාක්‍ෂනය, නිපුනත්වය යනාදී කාර්මික සහ බොහෝ ක්‍ෂෙත්‍රවල ප්‍රමුඛයා ජපානයයි. ඒත් ජපානයේ භාණ්ඩ හා සේවාවන්ගේ ගුණාත්මක බව වගේම මිලෙනුත් වැඩියි. ඒක නිසා ආර්ථිකව බලද්දී අඩුම තරමෙන් ඊට තරමක් හෝ ආසන්න තත්ත්වයේ සහ මිලෙන් අඩු කොරියාවට අවස්ථාව වැඩිවෙලා තියෙනාවා. හොදම උදාහරණයක් විදියට අපි ගමු එදිනෙදා ජීවිතයේදී අත්විදින්න ලැබෙන දෙයක් කොරියාවේ LG හා Samsung වගේ නිෂ්පාදනයක් හා Sony වගේ නිෂ්පාදනයක මිල සහ ගුණාත්මක බව අතර වෙනසක් තිබෙනවා නේද? (මේ කතා කළේ Original Sony Accessories ගැන, Sony නම යටතේ වෙන රටක හදන උපකරණ නෙමෙයි)....

      Delete
    2. භාණ්ඩය කාගේ ද තාක්ෂණය කාගේ ද යන්න තමයි වැදගත්. උදාහරණයක්: LG හදන හැම ටැබ්ලට් එකකම, හැම ස්මාට් ෆෝන් එකකම ඇති සෑම යුනිට් එකකටම $3.75 ක් මයික්‍රොසොෆ්ට් සොෆ්ට්වෙයාර් කොම්පැණියට ගෙවන්න සිද්ධ වුනාම කවුද බලවතා?

      අනිත් යුද්ධ වගේ නෙමෙයි වැඩියෙන් අහන්න ලැබෙන්නෙ නැති, අගක් මුලක් අල්ලා ගන්න බැරි පේටන්ට්/පැටන්ට් යුද්ධ!!!

      Delete
    3. ඔව් ඒකත් ඇත්ත තමයි මයික්‍රොසොෆ්ට් වගේ අතරමැදියෝ පැත්තක සිට ලබන දීරඝකාලීන ලාභය නිසා දකුණු කොරයාව හෝ ඒ මෘදුකාංග භාවිතයෙන් උපකරණ තනන කොයි රටටත් නිසි ලාභය ලැබෙනවායැයි කියන්නට බැහැ.

      ඔබ අදහස් කළ පේටන්ට්/පැටන්ට් සංසිද්ධිය බලපාන අයුරු තවදුරටත් පැහැදිළි කළ හැකිද?

      Delete
    4. දිනේශ්,

      පේටන්ට් යැයි කියන්නෙ කට්ටියක්. එයම පැටන්ට් යයි හඳුන්වන්නෙ තව කට්ටියක්. එතැන නෙමෙයි අවුල.

      නොතිබෙන යමක් නිපදවීමෙන් අයිතිය පෙන්වීම පහසුයි. ඒත් තියන දේවල් යොදා නොතිබිච්ච යමක් නිපැද වූවාට පස්සෙ ඊට යොදා ගත්තු කොටස් අයිති අයට නොතිබිච්ච නිෂ්පාදනයෙන් ලැබෙන ලාභ බෙදා දෙන එක තමයි අර්බුදයට මුල.

      කවුරු එවැන්නක කොයි කොටසට අයිතිය කියනවා ද යන්නත්, කොයි කොටස කොයි කාලයකට පාවිච්චියට අවසර ඇත්දැයි යනාදී ඉතා සංකීර්ණ වූ පටලැවිලි වලින් තාක්ෂණික උපකරණ නිපදවන සමහර කොම්පැණි වසර ගණනාවක් ඇදී යන නඩුවල හිරවෙලා. සමහර කොම්පැණි යම් තාක්ෂණයක් විකුණන කොට එහි ඇතුලත් සුළු කොටස්වල අයිතියක් ගැන විනිවිදතාවයෙන් යුතු නොවූ නිසාත් සමහර විට අයිතිය තිබ්බත් පාවිච්චිය නැති නිසා සත්‍යයෙන් ම අමතක වී ගිය අවස්ථා ද ඇති නිසාත්, තවත් විවිධ හේතු නිසා පේටන්ට් තාක්ෂණයක් මිල දී ගන්නා කොම්පැණියට පසුව සෑහෙන්න අලාබ විඳින්නටත් සිද්ධ වෙනවා. සමහර කොම්පැණි ඒවා මිල දී ගෙන තව අයට විකුණා තම අත් සෝදාගන්නවා ටික කාලයකට ලාභයක් උපයා ගෙන. ඊට පස්සෙ ඒ ගණුදෙනු කළ කොම්පැණිය කොහේද කියා හොයාගන්නවත් බැහැ මුල් අයිතිය ගැන දැනගන්නට.

      Delete
    5. ස්තුතියි! දැන් තමයි ඔබ කියූ දේවල් වල අරුත වැටහුනේ. හොදට අවධානයෙන් බැළුවහම මේක හරිම නූල් බෝලයක්නේ. මම හිතන්නේ ලංකාවේ අපිට මේ නීති එතරම් සංවේදී නොවෙන්නේ නව නිපැයුම් ඉතාම අතලොස්සක් පමණක් නිපදවෙන නිසා වෙන්න ඇති. ඒ එක්කම තියෙන ගැටළුවක් තමයි ඉදල හිටලා හරි සොයා ගන්නා ඒ නව නිශ්පාදනවලට ඇත්තටම මොකද වෙන්නේ. අපි ඒවා කවදාවත් වාණිජමය වශයෙන් නිශ්පාදනය වෙනවා දැකලා නැහැනේ...

      Delete