-->

Friday, December 23, 2011

රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3

මේ ලිපිය ලියන්නට හිතුනේ කලින් ලිපියේදී මිතුරෙකු අසා තිබූ පැනයකට යම් පිළිතුරක්ද ලබාදීම සදහායි. කෙසේවෙතත් පසුගිය ලිපියේ මාතෘකාවට අදාලව නම් මේ ලිපිය තරමක් බැහැරට ගියත් ඒ ලිපියේ යම් යම් කරුණු වලට සබැදියාවක් ඇති ‍නිසා මේ ලිපියත් ලිපි පෙලේම තවත් ලිපියක් ලෙසම නම් කරන්න බලාපොරොත්තුවුනා.

මේ ලිපි පෙලේ කලින් ලිපි -
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era
රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2 

(මේ ලිපි පෙල ලියන්න හේතුවුනේ මේ ලිපිය නිසයි - ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? +18 - This Post is MORE SUITABLE for ADULTS)

ඇත්තෙන්ම සමෘධිමත් රෝම යුගයෙන් පසු එහෙමත් නැත්නම් දීර්ඝ කාලයක් විවිද ක්‍ෂෙත්‍රයන් ඔස්සේ දියුණුවෙන් දියුණුවට පත්වූ  රෝම අධිරාජ්‍ය හෝ රෝම සමූහාණ්ඩුවලට පසුව එළඹුන මධ්‍යතන යුගය ඉතාමත් පසුගාමී හා පුනරුද යුගය පැමිනෙන තෙක්ම දේශපාලනික, ආර්ථික, සංස්කෘතික මෙන්ම හරපද්දතීන්ගේ දැවැන්ත බිදවැටීමක් තිබුන යුගයක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවනවා. එහෙත් සත්‍ය වශයෙන්ම මෙතරම් පසුගාමී තත්ත්වයකට එම යුගය පත්වුනේ ඇයිද කියන මතය විවිද ඉතිහාසඥයන්ගේ අදහස් මෙන්ම තර්කානුකූල මතයන් ඔස්සේද විමසූ විට පිළිතුරු රැසක් ලබාගත හැකියි.

දහ අටවන ශතවර්ශයේ විසූ ඉතිහාසඥයෙකු හා දේශපාලනඥයෙකුවන Edward Gibbon විසින් 1776 දී පමණ ලියන ලද The History of the Decline and Fall of the Roman Empire නම් කෘතියට අනුව ඔහු සදහන් කරන්නේ රෝම යුගයේ බිදවැටීමට මිනිසුන්ගේ ගුණදම් මෙන්ම සභ්‍යත්වය, ශීලාචාරකම බිදවැටීමත් හේතුවූ බව. මෙය බොහෝවිට රෝම අධිරාජ්‍යයට දැවැන්ත තර්ජනයක්වුන ම්ලේච්ඡ ආක්‍රමණ එහෙමත් නැත්නම් Barbarians වරුන් අතින් සිදුවූ ආක්‍රමණ හේතුවන්නට ඇති.  Barbariansවරුන් විවිද ප්‍රදේශවලින් පැමිණි විවිදාකාරයේ මිනිසුන්. ඉතින් ඔවුන් අතර සංස්කෘතිකමය හෝ හරපද්දතින් වලින් බැදීමක් නොතිබුනා වගේම ආක්‍රමණිකයාට හැකි උපරිම හානියත්, ඒවායේ ස්ථාපිතව තිබූ සංස්කෘතිකමය ලක්‍ෂන විනාශකිරීමත් ඔවුන් සිතාමතාම හෝ කිසිදු අදහසකින් තොරව නිකරුනේ වුවත් සිදුකරන්නට ඇති. සතුරා කෙරේ කිසිදු අනුකම්පාවක් නොදැක්වූ බව කියන මේ ආක්‍රමණිකයන්, නීතිමය බැදීමකින්ද තොරවූ නිසා විවිද අශිලාචාරකම්වලින් සතෘප්තවූ මොවුන් ඒ ප්‍රදේශවල ස්ථානගතවීමත් සමග  ටික කලෙකට පසුව මොවුන් සංග්‍රාමිකව දක්‍ෂයන් වූවත් සිවිල් පරිපාලන ව්‍යුවහයන් නිසිපරිදි පවත්වාගෙන යානොහැකිවීමත් අනිවාර්යයෙන්ම සිදුවෙන්නට ඇති. 
පිරිමින් යුද්දයේදී බාබේරියන්වරුන්ට ගොදුරු වූ පසු රෝම ස්ත්‍රීන් හා ළමුන් බාබේරියන්වරුන්ට ගොදුරුවීම

ආක්‍රමණිකයන්ට කලා නිර්මාණ වැදගත් දේ නොවූහ
 ඒ එක්කම යුදවාතාවරණය නිසා රෝම යුගයේ සිටි වැදගත් වෘත්තිකයන් මෙන්ම, කලා ශිල්පීන් ආදිය සතුරාගෙන් මියයාම හෝ අදාල ප්‍රදේශ හැරදා යෑම නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රයන්ගේ බිදවැටීමත් මෙවන් අදුරුයුගයක් බිහිකරන්නට නිතැතින්ම එක් හේතුවක් වන්නට ඇති. තවද අධ්‍යාපනික මධ්‍යස්ථාන හා ශාස්ත්‍රීය අධ්‍යාපනය පිළිබදව කීර්තිමත්බාවයක් ඉසිලූ පුද්ගලයන්ගේ මරාදැමීම හෝ එවන් අය බිහිනොවීමත්  නිසා දැනුමෙන් පෝශනය වූ මිනිසුන් වෙනුවට හිස් මිනිසුන් බිහිවී සිතන්නට, තර්කකරන්නට ශක්‍යතාවය ඇති පුද්ගලයන් බිහිනොවීමත් උඩ කලින් ලිපියේද පැවසුවාසේ ප්‍රභූවරුන්වූවත් දැනුමෙන් නුවනින් හෙබි අය වෙනුවට මරණීය ක්‍රීඩා ප්‍රිය රනශූරයන් එදා සුපිරි වීරයන් වීම සිදුවන්නට ඇති.
රෝම හමුදාව සතුව තිබූ මෙවන් බර ආයුධ අභිබවා යෑමේ ශක්තිය බාබේරියන්වරු සතුවූහ

ඒ එක්කම මේ ඉතිහාසඥයා මේ අදහස එනම් මිනිසුන්ගේ ගුණදම් බිදවැටීමට ප්‍රතිවිරුද්ධ අදහසකුත් දක්වනවා. එනම් පසුකාලීනව ක්‍රිස්තියානිකරණයවූ රෝම අධිරාජ්‍යයේ මිනිසුන් ඒ නිසා රණකාමීත්වයෙන් තොර මිනිසුන් බවට පත්වු බවටද අදහසක් දක්වනවා. ක්‍රිස්තියානි ආගමත් සමග මිනිසුන් මෙලොව එකිනෙකා පරයා සිටිනවාට වඩා මරණින් මතු දෙව්ලොව යාමේ බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් වැඩකටයුතුවල නිරතවීමත් රණකාමිත්වය දුර්වලවූ බවට ඔහු හේතු දක්වනවා.


Vegetius කියන ඉතිහාසඥයා පවසන අන්දමට දුර්වල හමුදා බිහිවීම නිසාරෝම යුගය බිදිවැටීමට හේතුවක් බවයි.තවද Arther Ferrill සහ A.H.M. Jones වැනි ඉතිහාසයඥයන්ද මේ අදහසට යම් නෑකමක් කියන අදහසක් දක්වනු ලැබේ. එනම් රෝම අධිරාජ්‍ය පුළුල් වෙත්ම එය ආරක්‍ෂාකිරීමට මෙන්ම අල්ලා ගන්නා ලද ප්‍රදේශ වලින් ජර්මැනික් කුලී හේවායන් රෝම legions තුලට අන්තර්ග්‍රහණය කිරීම හේතුවෙන් පසුකාලීනව මේ හමුදා කණ්ඩ විශාල වශයෙන් සමන්විත වූයේ ජරමැනික් කුලී හේවයන්ගෙනි. මේ ඉතිහාසඥයන් මෙය "Germanization" ලෙස අර්ථ දක්වන අතර කලක් ගතවෙත්ම හමුදාව තුල සභ්‍යත්වය මෙම විවිද අදහස් ඇති පුද්ගලයන් නිසා ‍බිදීයන්නට ඇති බවත් මේ නිසා ඉබේම හමුදා "barbarization" වීම අධිරාජ්‍ය‍යේ සමස්ථ හමුදා පද්දතිය දේශ හිතෛශී ආකල්පයන්ගෙන් දුරස්වූ පද්දතියක් බවට පත්වීම මෙන්ම අධිරාජ්‍යයාට හෝ තම උසස් හමුදා නිලයන්ට හිතවත්භාවය ගිලිහී යාම නිසා පිටත Barbarians ආක්‍රමණ මෙන්ම හමුදාව තුලින්ම සිදුවූ Barbarians නොසන්සුන්තාවයන්, කැරලිගැසීම් අධිරාජ්‍යයේ පැවැත්මට බරපතල තර්ජනයක් වන්නට ඇති බවටයි. එමෙන්ම එංගලන්තයේ යුද ඉතිහාසඥයෙකුවන Adrian Goldsworthy ගේ පොතක් වන The Complete Roman Army (2003) අනුව රෝම හමුදාවන්ට පසුකාලීනව බාහිර සතුරන් මර්ධනයට වඩා රට අභ්‍යන්තරයේ හටගත් සිවිල් යුද්ද මැඩපැවැත්වීමට මුල්තැන දෙන්නට සිදුවීමද මෙම අධිරාජ්‍යයේ අස්ථාවරත්වයට තවත් හේතුවක් වී ඇත.

එසේම හා හමුදා නඩත්තුව වැනි කටයුතු සදහා අධික බදු අය කිරීම නිසා මිනිසුන් කෘෂිකර්මාන්තයෙන් දුර්ස්වීම වැනි හේතු තවත් ආකාරයකින් ආර්ථිකයට පහරක්වීම රෝමයේ සමෘද්ධිමත්භාවය ගිලිහී යන්නට එක් හේතුවක් බවයි.

Arnold J. Toynbee සහ James Burke යන ඉතිහාසයඥයන් තවත් ආකාරයක අදහසක් මෙම රෝම යුගය බිදවැටීමට දක්වයි. එනම් ආරම්භයේ පටන් රෝම අධිරාජ්‍යයේ තිබූ පාලන විධික්‍රම යාවත්කාලීන නොවී එකතැන පල්වූ බවයි. එහි අයවැය සම්පාදනයක් වැනි ආර්ථික කළමණාකරණ සංකල්පයක් නොතිබූ බවට ඔවුන් මත පල කරයි. තවද ක්‍ෂය වන සම්පත් හා නාස්තියට පත්වන සම්පත් හදුනාගැනීමට හෝ ඒවා රැක ගැනීම පිළිබදව අතීත රෝමානුවන්ට ආකල්ප නොතිබූ බවද ඔවුන්ගේ අදහසයි. එහි තිබුනේ හැකි පමණින් කොල්ලකෑමේ නැතහොත් ලූටන සංකල්පයක් බව ඔවුන් පවසන අතර යටත්විජිතයක් අල්ලාගත් පසු එහි සම්පත් අවිචාරවත් අන්දමට කොල්ලකෑම හෝ ඒවායෙන් හිතූමනාපයෙන් බදු එකතුකිරීම ආර්ථික වශයෙන් රෝම අධිරාජ්‍ය පසුකාලීනව පසුගාමීවීමට බලපෑ අන්දම ඔවුන් පැහැදිලි කරයි.මේ තත්ත්වය රෝම යුගයේ පමණක් නොව ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේ පවා දීර්ඝ කාලයක් පැවති බවට සාක්‍ෂි එමටය.

ඇමරිකානු මහාචාර්යවරයෙකු වන Joseph Tainter ගේ පොතක් වන The Collapse of Complex Societies අනුව රෝම අධිරාජ්‍යයේ පුළුල් වීම මෙන්ම දිනෙන් දින වැඩිවන ජනගහණයට ප්‍රමාණවත් පරිදි කෘෂිකාර්මිකව ආහාර නිපදවීම විවිද කාරණා නිසා සිදුනොවීමද රෝම අධිරාජ්‍ය බිදවැටීමද තවත් හේතුවකි. මෙයින් මිනිසුන් කුසගින්නේ සිටීමට සිදුවීම, දිළින්දන් හා වහලුන් මේ නිසා විවිද රෝගාබාද වලට ලක්ව මියයාමෙන් ශ්‍රම බලකායේ හීනවීම හා බෙලහීන තත්ත්වයකට පත්වීම මෙන්ම විවිද නොසන්සුන් තත්ත්වයන් ජනතාව අතර ඇතිවීම සිදුවන්නට ඇත. මෙවැනි තත්ත්වයන් ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේදීද දැකගත හැකිවිය.

Plagues and Peoples නම් පොත සම්පාදනය කල   ඉතිහාසයඥ William.H.McNeil‍ ගේ මතයට අනුව වසූරිය, සරම්ප ‍මෙන්ම තවත් විවිද ලෙඩරෝග වසංගත තත්ත්වයෙන් විවිද කාලවකවානුවල ව්‍යාපත්වීමද රෝම අධිරාජ්‍යයට උදාකලේ අයහපතක් බවයි. ක්‍රි.ව. 165 තරම් ඈතකාලයේ පටන් මෙලෙස රෝග වසංගත තත්ත්වයෙන් ව්‍යාපත්වීම සිදූවූ බව ඔහු සදහන් කරන අතර එය අධිරාජ්‍යයේ සියළු අංශ ඒ අවදිවලදී අඩපණකර දමන්නට ඇති බව ඔහුගේ මතයයි. එසේම පසුව රෝම අධිරාජ්‍යයේ කොටස් නතුකරගත් ම්ලේච්ඡයන් වෙතින්ද ඔවුන් අතර තිබූ විවිද ලෙඩරෝග ව්‍යාපත්ත වන්නට ඇති අතර මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා ශාකවලට වැලදෙන ලෙඩරෝගද ඔවුන් සමග පැමිනෙන්නට ඇත.

Jerome Nriagu නම් භූරසායණික විද්‍යාඥයා පවසන අන්දමට රෝමානුවන්ට එදා අද්භූත ලෙඩවලටද ගොදුරුවන්නට සිදුවිය. එයට හේතුව ලෙස ඔහුදක්වන්නේ ඊයම් විශ‍වීමෙන් ඔවුන් නොදැනුවත්වම සුවකල නොහැකි පිළිකා ආදියට ගොදුරුවී ඒවා වැලදුන හේතුවවත් නොදැන විවිද රෝමානුවන් මිය පරලොව යන්නට ඇති බවයි. ඔහු විසින් 1983 දී රචිත "Lead poisoning contributed to the decline of the Roman empire" පොතට අනුව කරුණු රැසක් මේ පිළිබදව ඔහු විසින් හෙලිකර ඇත. ඔහු විසින් ගැඹුරින් පුරාණ රෝමවරුන් ගැන පර්යේෂන කල අතර එහිදී ඔහු රෝමවරුන්ගේ රසකාරක ද්‍රව්‍ය ගැනද අවධානය යොමුකලේය. එහිදී සොයාගත් කරුණුවලට අනුව රෝමවරුන් defrutum නම් සීනි සිරප් වර්ගයක් මී පැණි වලින් තනා ගෙන ඇති ඒ සදහා මී පැණි උණු කර ඇත්තේ ඊයම් මිශ්‍රිත බදුන්වලය. මේ සීනි සිරප් වර්ගය එදා ඔවුන්ගේ විවිද ආහාර රසවත් කර ගැනීමට බහුලව භාවිතා කර ඇති අතර එයින් රෝමවරුන් බහුලව ඊයම් හේතුකාරක වූ‍ රෝගාබාදයන්ටද නිරායාසයෙන්ම ලක්වන්නටද ඇත. මේ විතරක් නොව එදා විද්‍යාවට හසුනොවූවද ඒඩ්ස්, සමාජ රෝග, වෙනත් ආකාරයේ සුවකල නොහැකි රෝග මනුෂ්‍ය සමාජයට දැවැන්ත බලපෑමක් ඇති කරන්නට ඇති.

රෝම අධිරාජ්‍ය ගැන හැදෑරූ ප්‍රවීණයන්ගේ තවත් මතයක් වන්නේ පාරිසරික සාධකද රෝම අධිරාජ්‍යයේ පිරිහීමට යම් ආකාරයකින් හේතුවක් වී ඇති බවයි. ඇතැම්විට ස්වභාවදර්මයේ බලපෑමෙනුත්, තවත් අවස්ථාවක නිසි කළමණාකරණයක් නොතිබූ රෝමානුවන්ගේ බලපෑමෙනුත් මෙවැනි දේ සිදුවූ බව පැවසේ. පාශු ඛාදනය මෙන්ම නිසි ජලකළමණාකරණයක් පවත් නොගෙනයාමද නිසා ඇතැම් සශ්‍රිකබිම් යලි කිසිදා වගාකල නොහැකි නිසරු බිම් හෝ කාන්තාරබවට පත්වූ බව ඔවුන් පවසයි. උතුරු අප්‍රිකාවේදී මෙවැනි බිම් හමුවන බවද ඔවුන් පවසන අතර තවත් අයුරකින් අවචාරවත් අන්දමින් සතුන් දඩයම් කිරීම හෝ අල්ලා ගෙන විවිද විනෝද කටයුතුවලට යොදවා ගැනීම හේතුවෙන් සමහර සතුන් මිහිතලයෙන් වදවීයාමටද රෝමන්වරු දායකවී ඇතිබවටද චෝදනා නැගේ. මෙහි දැක්වු ස්වාභාවික හා මනුශ්‍ය බලපෑමෙන් ඇතිවූ පාරිසරික විපර්යාස හා වෙනත් හේතු නිසා පිරිසිදු ස්වාභාවික ජල ප්‍රභවයන් සදාකාලිකව හිදීයාම හෝ දූෂිත තත්ත්වයට ලක්වීම නිසා ඉතිහාසයේ ඇතැම් අවස්ථාවලදී මිනිසුන් ජල හිඟයන්ටද ලක්වූ බව මෙම ප්‍රවීණයන් දක්වා ඇත. මෙවැනි හේතුද රෝම යුගයේ අවසානය ඉක්මන් කිරීමට හේතුවූබවද ඔවුන් පෙන්වා දෙයි.
එදා ජය ගෝෂාවලින් කන්බිහිරි කරන්නට ඇති කොලෝසියම් රඟමඩල අද නටඹුන්ව

ඒවගේම දැවැන්ත බාබේරියන් හමුදා ආක්‍රමණ නිසා ඒකාබද්දව තිබූ රෝම අධිරාජ්‍යයේ ප්‍රදේශ ඇතැම් කලාපවලදී විතැන්වී අකණ්ඩභාවය ගිලිහී යාම නිසා සැපයුම් මාරග අහිමිවීම, පරිපාලනමය සන්නිවේදනයන් බිදවැටීම නිසා පසුකාලීනව පහසුවෙන් සතුරාට අත්පත්කරගැනීමට හැකිවීම හා සමහරවිටෙක එවන් ප්‍රදේශ මූලෝපායිකව අධිරාජ්‍යයට වැදගත්වීම හේතුකොට ගෙන තවතවත් ප්‍රදේශ ඉබේම සතුරා අතට පත්වී රෝම අධිරාජ්‍යය දෙදරීමට හේතූවුබවද ඉතිහාසඥයන් කරුණු දක්වයි.

මෙසේ ක්‍රමයෙන් අධිරාජ්‍ය බිදියන විට සාර්ථකත්වය කෙසේවෙතත් ඒ වන විට දීර්ඝ කාලයක් යම් පිළිවෙලකට පවත්වාගෙන ආ යාන්ත්‍රණය ලිහිල්වීමත් සමග පරිපාලණමය, දේශපාලනිකමය, ආර්ථිකමය, සංස්කෘතිකමය මෙන්ම සභ්‍යත්වයේ කඩතුරාවන්ද පාමුලට වැටී සමාජ ව්‍යුවහය නිරුවත් වීම සිදුවිය. සාධාරණත්වය, යුක්තිය වීම වෙනුවට ශක්තිය, යුක්තිය වීම සිදුවිය. මේ තත්ත්වය මධ්‍යතන යුගයේදී සුලභ ලක්‍ෂනයක් විය. එසේම මේ ලිපියේ රෝම අධිරාජ්‍යයේ පරිහාණියට පලපෑ බොහෝ කරුණු රෝමවරු හෝ එම පාලනය බිදවැටුනාට යුරෝපා සමාජයෙන් වියැකී නොගොස් ශේෂවී දීර්ඝ කාලයක් එම සමාජයට විවිද අහිතකර බලපෑම් ගෙන දෙමින් අන්ධකාර යුගයක් ස්ථාපිත කර තබාගන්නට විය.

එහෙත් මේ තත්ත්වයන් පසුගිය ආසන්න ශතවර්ශවල ව්‍යාපත්වූ අධිරාජ්‍යවාදයෙන් බැටකෑ රටවල් නැවත නිදහස ලබා ගත්පසුව උදාවී ඇත්තේ ඇතැම් අවස්ථාවල අධිරාජ්‍යවාදීන්ගේ වරදකින්ම නොව ඔවුන්ගෙන් නිදහසින් පසුව පැමිණි එම රටේම ස්වදේශික පාලකයන්ගේ වරදවල් වලිනි. ඇතැම් යටත්විජිත, අධිරාජ්‍යවාදීන්ට නතුවීම නිසා ඒ රටවල සම්පත් ආක්‍රමණික අධිරාජ්‍යවාදීන් තමන්ගේ සුභසිද්ධියට යොදාගෙන ඒවා තිබූ ර‍ටවල වැසියන්ට අහිමිකලා සේම ඔවුන් ගිය පසුවද ඔඩුදුවන ගැටළුද බොහෝ රටවල ඉතිරිකල බව සත්‍යයකි. එහෙත් බොහෝ රටවල මේ තත්ත්වයට අමතරව නිදහස ලැබූ තමන්ගේ රටේ ජනයාට සැබෑ නිදහස ලබාදෙනවා වෙනුවට තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට ක්‍රමයන් දියත් කරනවා විනා රටේ දියුණුවට නිසි විනයකින් යුතු ක්‍රියාමාර්ග නොගැනීම තවමත් බොහෝ යටත්විජිතකරණයට හසුවූ රටවල් දුක්විදිමින් සිටින්නට හේතුවකි.

සුපුරුදු ලිපිය සතරවන කොටසසේදී...

7 comments:

  1. නොදන්න කරුණු රැසක් දැනගත්තා. බොහොම ස්තූතියි...
    අන්තිම ඡේදෙදි දිනේශ් මතු කරල තියෙන අදහසට මාත් එකඟයි.

    ReplyDelete
  2. ගොඩක් වැදගත් කරුණු රැසක් තියන ලිපියක්

    ReplyDelete
  3. බාබේරියන් වරු කියන්නේ අරාබි ජාතිකයන්ටද?

    ReplyDelete
  4. නියමයි දිනේෂ්... හරි වටින තොරතුරු ටිකක්.. සෑහෙන්ඩ මහන්සිවෙලා තියනවා වැඩේට.. යුරෝපය අපිව අභිබවා ගියේ කොහොමද කියන තැනට ඔබ ක්‍රමිකව එයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  5. පට්ටයි ආ......................................

    ReplyDelete