Tuesday, September 25, 2012

සත් සමුදුරේ 300 වන ලිපිය සමග බ්ලොග්කරණයට පිවිසෙන්නට බලාපොරොත්තුවන අයට උපදෙස් කිහිපයක්...


මාතෘකාවේ විදයට මේ සත් සමුදුර බ්ලොග් අඩවියේ 300 වන ලිපියයි. හැමදාම කඩයිමක් පහුකරන අවස්ථාවකම කියනවා වගේම ඔබගේ වටිනා සහයෙන් ඉදිරියට යාමෙන් ලබන්න පුළුවන් වූ සතුටක් තමයි මෙය. 

කොහොමවුනත් මේ වගේ කඩයිමක් ගැන කියන හෝ සත් සමුදුර බ්ලොග් අඩවිය ගැන යමක් කියන කොට ලබන අමිහිරි අත්දැකීම ලැබුවත් කමක් නැහැ කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. ඒ අමිහිරි අත්දැකීම මොකක්ද කියනවා නම්, මොකක් හරි විශයක් ගැන, විශේෂයෙන් යම් පින්තූරයක් පළ කළොත් වැල නොකැඩී එන පිරිස මේ අඩවිය ගැනම කියන ලිපියකට නොඑන එක ගැන නම් කණගාටුවක් තිබෙනවා. ඒත් බ්ලොග් අවකාශයේ මේ වගේ සැතපුම් කනුවක් පහුකරපු බ්ලොග් අඩවි තිබෙන්නේ අත‍ලොස්සක් සහ සාමාන්‍යයෙන් අධ්‍යාපනික පැත්තට නැඹුරු බ්ලොග් අඩවි අතුරින් සාපේක්‍ෂව වැඩි පාඨක පිරිසක් පැමිණෙන බ්ලොග් අඩවියක් නිසාත් බ්ලොග්කරණයට යම් වැදගත් තොරතුරු කිහිපයක්ද සමගින් මෙවන් ලිපියක් ලියන්නට සිතුනා.

හැමදාම කියනවා වගේ බ්ලොග් ලියන්නවත්, බ්ලොග් ලියල මෙතරම් දුරක් එන්නවත් කවදාවත් හිතුවේ නැහැ. මේ කියන්නේ අවංකවමයි. කොහොමවුනත් අපි වැඩිය හිතන්නේ නැතුව අතගහන සමහර දේවල් අපි බලාපොරොත්තුවුනාටත් වඩා සාර්ථකව සිදුකරගෙන යන්න පුළුවන් කියන එක මම නම් ජීවිතයේ කිහිප අවස්ථාවකම ලබපු අත්දැකීමක්. සාමාන්‍යයෙන්ම නම් යමක් කරනකොට ඉලක්කයක්, අරමුණක්, සැලැස්මක් තිබීම හොදයි කියලා කියනවා. ඒකත් සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි සමහර ‍‍දේවල් වලට ඒ සිද්ධාන්තයට පටහැනිව සාර්ථක වෙන්න හැකියාව ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ. සමහරවිට සැලසුම් හදලා, ඉලක්ක අටවලා සිතෙන් චිත්තරූප මවාගෙන ඒ දේවල් කරන එක සිහින ලෝකයේ සිට බැළුවට ප්‍රායෝගිකව වෙලත් නැහැ. ඒවගේම හිත හිත ඉන්න කාලය වැයකරනකොට මානසිකවම වෙහෙසට පත්වෙලා ඉලක්කය ලගාවීම කෙසේවෙතත් සමහර වෙලාවට වැඩේ ආරම්භ කරන්නෙත් නැතුව පැත්තකට දාන එක තමයි වෙන්නේ. ඒකනේ කතාවක් තිබෙන‍්නේ වැඩක් කරන එක නෙමෙයි අමාරු ඒක පටන් ගන්න එකයි අමාරු කියන එක. ඒක නම් මමත් අත්විදල තිබෙන දෙයක්. උදාහරණයක් විදියට සමහර ලිපි ලියන්න පස්මහ බැළුම් බල බල හිත හිත ඉදල ලියන්න ගියාම අර තිබුන බැරෑරුම් බව මොනවත් නැහැ. ඒවගේම සමහර ලිපි මොනවත් හිතන්නේ නැතුව හිතුන ගමන්ම ලියලා තිබෙනවා. ඒ වගේම සාර්ථක ප්‍රතිචාරත් ලබලා තිබෙනවා.

ඒ වගේම තමන් ලියන දේ ගැන විශ්වාසයක් තබන්න. ඒවගේම එයට පසුව ලැබෙන ප්‍රතිචාරයට තමන්ට පිළිතුරු දෙන්න හැකියාවත් තියෙන එක හොදයි. ඒ එක්කම තමන්ගේ අඩවියේ ලිපි වැඩි දෙනෙකු බලන එක හොදයි කියන එක බලාපොරොත්තුවේ ඉන්න. තමන් යමක් පළ කරල ඒක බැළුවත් එකයි නැතත් එකයි කියල ඉන්න එක තේරුමක් නැති දෙයක්. මොකද අපි බ්ලොග් ලියන්නේ බහුතරයකට ඒක කියවන්න ලබා දෙන්න බව බොරුවක් නෙමෙයිනේ. තමන්ට විතරක් බලාගන්න ඕන නම් දිනපොතක ලියල තියා ගන්න එක හරි යාළුවන්නට තමන්ගේ හිතමිතුරන්ට විතරක් බලන්න දෙන්න නම් කොල කෑල්ලක ලියල මෙන්න මේක කැමති නම් බලන්න කියන එකයි බ්ලොග් ලියන එකයි දෙකක්. තමන් සාර්ථකව ලිපියක් ලියන එක, ඒකට ගැලපෙන ආකර්ශනය දිනාගන්න මාතෘකාවක් ලබාදෙන එක, ලිපිය පළ කරාට පසුව තමන්ට පුළුවන් අවස්ථාවල එයට යම් පබ්ලිසිටියක් ලබා ගැනීමටත් නැඹුරුවෙන ‍එකේ පාඩුවක් නැහැ. 

විශේෂයෙන් මාතෘකාව ගැන සැලකිලිමත් වෙන්න. මමත් ගොඩක් මහන්සිවෙලා ලියපු ලිපි කිහිපයකටම යොදපු මාතෘකාව එතරම් "ශක්තිමත්" හා "කැපී පෙනුන" නැති නිසා ලැබුන ප්‍රතිචාරය අඩුබව අත්දැකීමෙන්ම දන්නා කෙනෙක්. මම ඕනනම් උදාහරණයක් විදියට එහෙම ලිපි දෙකක් ගැන කියන්නම්. එකක් තමයි මොහොමඩ් අලි ගැන ලියපු ලිපිය. ඒකට මම යෙදුවේ මොහොමඩ් අලි පිළිබදව නිරතුරුවම කියවෙන  "Float like a Butterfly, Sting like a Bee" කියන පාඨය නමුත් ඒක එතරම් සාර්ථක මාතාකාවක් වුනේ නැහැ. ඒ වගේම ලියනාඩෝ සම්බන්ධයෙන් ලියපු අති දීර්ඝතම ලිපියක් වන ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? කියන මාතෘකාවත් එතරම් සාර්ථකත්වයක් ලිපිය පළ කළාට පසුව ලැබුන ප්‍රතිඵලයෙන් දුටුවේ නැහැ. ඒනිසා මාතෘකාව ගැලපෙන හොද එකක් වීම වැදගත්.

තවදෙයක් තමයි බ්ලොග්කරණයට ආව ගමන්ම සාර්ථකව ප්‍රතිචාර ලබන පිරිස අඩුයි. ටික කාලයක් ගියාම මේ ක්‍ෂෙත්‍රයේ රැදී සිටින්නටත් පුළුවන් නම් ධනාත්මක ප්‍රතිඵල කරා ලගා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ලගා වුනායින් පසුව ඒක දිගටම තබාගන්න නම් හැකි සෑම වෙලාවකම ලිපි පළ කරන්න ඕන. මමත් අත්දැකීමෙන් දන්නා නිසයි කියන්නේ. ටික කාලයක් හොදට කරල අතහැරල දාල ආපසු මේවා ලියන්න එන කොට යම් පාඨකයන් පිරිසක් අපෙන් ගිලිහිලා ගිහින් තිබෙන්න පුළුවන්. අපේ රටේ තියෙන තත්ත්වය උඩු තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, ගෙදරදොර කටයුතු එක්ක කම්පියුටරේ ඉස්සරහට වෙලා බ්ලොග් ලිය ලිය ඉන්නව කියන එක යථාර්ථයක් නෙමෙයි. හැබැයි අඩුම තරමින් සතියට ලිපි දෙකක් හෝ තුනක්වත් පළ කරන්න හැකියාවක් තිබෙනවා නම් හොදයි. මොකද බ්ලොග්කරණය කියන්නේ නිරතුරුවම ලිවිය යුතු දෙයක් සාමාන්‍ය වෙබ් අඩවියක් වගේ එකම තොරතුර දීර්ඝ කාලයක් පැවතීම ගැලපෙන දෙයක් නෙමෙයි.

තව දෙයක් තමයි අවශ්‍ය අවස්ථාවල පින්තූර භාවිතයත් ලිපියේ වටිනාකම තවත් වැඩි කරාවි.

ඒ වගේම දීර්ඝ ලිපි ඇතැම් විට කොටස් වශයෙන් ලියන්න වෙනවා. හැබැයි පුළුවන් නම් ලිපිය එක කොටසකට හෝ අවම කොටස් ගණනකට සීමා කරගන්න. එහෙම කොටස් වශයෙන් පළ කරනවා නම් එක් දිනයක එක් කොටස වශයෙන් පළ කරන්න. හැම කොටසම එක දවසේ පළ කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය ඍනාත්මකයි. මම අත්දැකීමෙන් එය විදලා තිබෙන නිසයි කියනනේ. මෙහි පළ කළ ගුලාග් කදවුරු ගැන ලිපියේදී එය අත්වින්දා.

බ්ලොග්කරණය ගැන නම් කියන්න තිබෙන කරුණු එමටයි. ඒ හැම එකක්ම කියන්න අසීරුවුනත් මට නම් බ්ලොග්කරණය නිසා දන්නා දේවල් ක්‍රමානුකූලව පෙලගස්වා ගැනීමට, අමතකව තිබූ කුඩා කරුණු මතකයට නගා ගැනීමට හා ඒවා තවත් දියුණු කරගැනීමට, දැනුම යාවත්කාලීන කරගැනීමට, නොදන්‍නා දේවල් දැනගැනීමට, යම් යම් දේවල් පිළිබදව තර්කානුකූලබව වැඩිකරගැනීමටත් ඉවහල්වුනා. ඔබටත් මෙම ලිපියේ කරුණු ඇතැම්විට ප්‍රයෝජනවත් වේවි. ඒවගේම බ්ලොග්කරණයේ යෙදෙන, යෙදීමට බලාපොරොත්තුවෙන අයටත් මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙන කරුණුත් ප්‍රයෝජනයක් වේවි කියන එකත් පවසමින් ලිපිය අවසන් කරන්නම්. ඉදිරියේදිත් ඉඩක් ලැබෙන අවස්ථාවක බ්ලොග්කරණයේ අත්දැකීම් තුලින් ඔබටත් යමක් ලබාදීමට අමතක කරන්නේ නැහැ...

105 Tips To Make Your Blog Rock



ස්තූතියි!

61 comments:

  1. බුදු අම්මේ 300ක්... මේ ටික කියවන්නම මට මාසයක් දෙකක් වත් යයි.. ( මේ ටිකේ හොඳ බ්ලොග් ගොඩක් මුල ඉදලා අඟටම කියවනවා මම..)

    300ක් ලිව්වා කියන්නේත් ලේසි දෙයක් නෙවෙයි නේ... හැබැයි මේ මාතෘකාව යෙදීම පිළිබඳව නම් ටිකක් සැලකිලිමත් විය යුතුයි කියන එක නම් මාත් මේ ටික දවසේදි තේරුම් ගත්තා...

    ඔය මොහොමඩ් අලිගේ ලිපියට දාලා තියෙන මතෘකාව මම දැක්කා නම් දුවලා එනවා ඒක බලන්න.. මොකද මොහොමඩ් අලී ගැන නම් දන්න දෙයක් නැති උනාට ඔය යෙදුම නම් හුරුපුරුදු නිසා... හිහි

    බොහොම වැදගත් දේවල් ගොඩක් ලියවිලා තියෙනවා නවකයෙක්ට වැදගත් වෙන... දැක්ක දවසේ ඉදන්ම පළ උන හැම ලිපියම කියෙව්වා නොවැ....

    ඉතිං බො‌හෝ දේ ඉගෙන ගත්තා වගේම විවාදාත්මක මතෘකා ගැන උනත් සංයමෙයන් සාකච්ඡා කළහැකි අයුරක් තියෙනවා කියලා පෙන්නුව බ්ලොග් එකක් හැටියට තව තවත් දියුණු වී ඉදිරියට යන්න හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබේ අදහස් සෑහෙන්න වටිනවා. පාඨකයෙක් ලෙස වගේම කාන්තා නියෝජනය අඩුම බ්ලොග් අඩවියක් ලෙසත් මෙය තවම තිබෙන නිසා එහි වැදගත් කම තවත් වැඩියි.

      ඔව් 300 ක් ලියන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි තමයි. තව මාතෘකා රැසක් ගොඩගැහිලා තිබුනත් මගේ තියෙන අඩුපාඩුවක්දත් කියල හිතෙන සමහර දේවල් තවම ලියන්න හිතුනේ නැති ලෙඩකුත් තියෙනවා. ඒවත් හිතුන ගමන්ම ලියන බවත් කියන්න ඕන.

      මොහොමඩ් අලි ගැන ලිපිය ගොඩක් දෙනෙක් නොදන්න ලිපියක් තමයි. ඒක Sidebar එකෙත් පෙනෙන්න දාන්න ඕන.

      විවාදාත්මක මාතාකා නම් මුලින් මුලින් කතා කරන්න බයක් තිබුනත් දැන්නම් බයක් නැහැ. කැමති නම් ඒවගේ මාතෘකා කිහිපයක් කිව්වොත්, කරුණුත් සොයාගන්න ලැබුනොත් හා කාලයට ගැලපෙනවානම් ලියන්න පුළුවන්...

      Delete
    2. සුබ පැතුම් ..!
      කාන්තා නියෝජනය අඩුයි? හැබැයි මම නම් හැම ලිපියක්ම වගේ බලනවා. මම නම් අතඇරියේ, පරිගණක ආශ්‍රිත තාක්ෂණික කරුණු තියෙන ලිපි විතරයි. අනෙක් බොහෝ ලිපි, මගේ සිත් ගත් ඒවා.
      ඇත්තෙන්ම මම කමෙන්ට් කරන්න හරි කම්මැලියි, ඒකට සමාවෙන්න..
      නමුත් අපිත් මේවා බලනවා හොඳේ....
      ඇත්තෙන්ම සත් සමුදුර දැනුම් සාගරයක්.

      Delete
    3. ස්තුතියි! පරිගණක විශය ගැන ලිපි වලට ගැහැණු ළමයින් එතරම්ම කැමැති නැහැ තමයි. ඔබ වගේම මමත් ටිකක් අඩුවෙන් කමෙන්ටු ලියන කෙනෙක් තමයි. හැබැයි මගේ ප්‍රියතාවය ඇති විශයක් සම්බන්ධයෙන් ලිපියක් තිබුනොත් කමෙන්ටු ඉ‍බේම ලියවෙනවා...

      Delete
    4. මමත් පරිඝනක විශය ගැන ලියවෙන ලිපිවලට උදාසීනයි.. දිනේශ් සමහර විට නිරීක්ශණය කරලත් ඇති මම ඒවට කමෙන්ට් නොකරන බව..ඇත්තෙන්ම හුගක් වෙලාවට ඒව කියවෙනවත් අඩුයි. ඒත් ඒවා ගැන උනන්දු වෙන අය ඉලක්ක කරගනිමින් ඒවත් ලියවෙන්ඩ ඕනා.

      Delete
    5. ප්‍රියතම විශය, විනෝදාංශය, රැකියාව යනාදී සියළු කාරණා පරිගණකය සමග බැදී පවතින නිසා ඒගැන නොලියා කෙසේ ඉන්නද?

      ස්තූතියි සෙන්නා මේ අවස්ථා‍වෙදිත් ඔබ ලබා දුන් අනගි සහයට...

      Delete
  2. බොහොම සතුටුයි. ඔබ වගේ දැනුම බෙදන අයෙක් ලිපි 300 ලිව්ව කියන්නේ සෑහෙන විශාල ජයග්‍රහනයක්. ලිපි 1000 ලියන දිනය වැඩි ඈතක නොවේවා.

    මගේ ප්‍රියතම බ්ලොග් එකක් ඔබේ බ්ලොග් එක. ජයෙන් ජය!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෛද්‍යතුමනි, වෘත්තීමය වශයෙන් රටට මහඟු සේවයක් කරන්නා සේම, බ්ලොග්කරණයේදීද තමන්ගේ දැනුම, අත්දැකීම් යනාදිය බෙදා දෙන ඔබතුමන් වැනි අයෙකුගේ දිරි ගැන්වීම හා පැමිණීමද මා ලබන භාග්‍යයක් සේම ධෛර්යය සපයන්නාවූ මහඟු අවස්ථාවක් බව අවංකවම පවසමි....

      Delete
  3. බොහෝම සතුටෙන් සුභ පතනවා දිනේශ්... තව තවත් වැඩි වැඩියෙන් ලියන්නට හැකියාව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාරයෝ ගොඩක් කාලෙකට පස්සේ සත් සමුදුරේදි හමුවුන එකත් ලොකූ සතුටක්...

      Delete
  4. පළමුවෙන්ම ලිපි 300 කඩඉමට සුභ පැතුම්..සත් සමුදුරේ ලිපි එන්න එන්න ආකර්ශනීය වෙනවා දකින්න ආසාවෙන් ඉන්නවා..

    කෙමෙන්ට් ගැන අවධානය යොමු නොකර හිට්ස් ගැන හිතන්න දිනේශ්..මොකද මම වුනත් හැමදාම කෙමෙන්ට් කරන්නැත්තෙ ඒ විශය ගැන ගොඩක් වෙලාවට දැනගන්නෙත් සත් සමුදුරෙන් නිසා..ඉතින් හැමදාම ලිපි කියවලා යන එක මගේ පුරුද්දක්...

    සත්සමුදුරේ ලිපි වලින් ලබාගන්නා දැනුම ගොඩක් වෙලාවට මම මගේ එදිනෙදා වැඩ වලටත් උපයෝගී කරගන්නවා. ඒ ඇරෙන්න බ්ලොග් ඉඟි පුළු පුළුවන් විදිහට මගේ බ්ලොග් එකටත් දාගන්න බලනවා..ඉතින් ඒ ගැන විශේෂයෙන් ස්තුතියි..

    සත්සමුදුර තව තවත් මහඟු මිණි කැට වලින් පෝෂනය කිරීමේ හැකියාව ඔබට නිරතුරු ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒවගේම සත් සමුදුර නිරතුරුවම අළුත් දේවල් ගෙන එන්න වගේම අළුත් වෙන්නත් උත්සහ දරන බ්ලොග් අඩවියක්. අළුත් වෙනස්කම් කිහිපයක්ම ඉදිරියේදී කරනවා. ඒ එක්කම කියන්න ඕන මම අදහස් කළේ කමෙන්ටු ගැන නෙමෙයි. සත් සමුදුරේ සමහර ලිපි තිබෙනවා කමෙන්ටු විශාල සංඛ්‍යාවක් තිබෙන. ඒත් ඒවායේ හිට්ස් අඩුයි. ඒ එක්කම හිට්ස් නොනවත්වා ලැබෙන ඒවා තිබෙනවා කමෙන්ටු අඩු. මමත් මේ කිව්වේ හිට්ස් අඩු වීම සම්බන්ධයෙනුයි. බල කිරීමකුත් නෙමෙයි. නමුත් අවංකවම අගය කරන කෙනෙක් ‍නම් බොහෝවිට මේ කඩයිම්වලදී එනවාමයි. ඒක සාමාන්‍යයෙන් ස්වභාවික දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඉදිරියේදී තවත් අත්හදා බලපු බ්ලොග් ඉඟි රැසක් දැක ගැනීමට හැකිවේවි...

      Delete
  5. සුභ පතනවා අයියේ. තව තවත් ඉදිරියට මේක කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී, ඉදිරියේදිත් එන්න. විවිද දේ වෙනස් විදියකට දැකගන්නට මෙහිදී ලැබේවි...

      Delete
  6. මගෙනුත් සුභ පැතුම් දිනේෂ්, ලිපි 300 ක් කියන්නෙ සුළු පටු ගානක් නෙවි. බ්ලොග් ලිවීම ඇරෙන්න වෙනත් කිසිඳු වැඩක් නැතුව ලිපි 500 ක් පළකලත් මේ වගේ තෘප්තියක් නොලැබෙන්න පුලුවන්. ඔබ ඒ කඩ ඉම පසු කළේ දහසක් බාධක මැද වෙන්න පුළුවන්, එයයි ජයග්‍රහණය. තවත් බොහෝ කාලයක් මේ වගේ ලිපි ලියන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර, ඔව් මෙතරම් ලිපි ලිවීම (ඇතැම් ඒවා වල නම් එතරම් දේවල් ලියලා නැහැ තමයි) එතරම්ම ලේසි නැහැ එය වඩාත් තහවුරු වන්නේ සත්‍ය වශයෙන්ම ඇතැම් අවස්ථාවල ඔබ පවසා ඇති පරිදි යෙදෙන වැඩකටයුතුත් සමග සමබරව පවත්වාගෙන යන විටයි. අපි ඉදිර්යේදිත් හමුවෙමු...

      Delete
  7. 300 ට සුබ පැතුම් දිනේශ් !!

    උපදෙස් ටිකත් මසුරන් වටිනවා.. මාතෘකාව හරිම වැදගත් තමයි..මම නම් හුගක් වෙලාවට ලියන්නෙ සිදුවෙච්ච සිදුවෙම් ගැන නිසා කුතුහලය රැදෙන විදිහේ මාතෘකාවක් දෙන්න උත්සහා කරනවා..ඒක සාර්ථකද නැද්ද කියන්න මට තේරෙන්නෑ..

    පාඨක ආකර්ශණය ගැන එච්චර තැවුලට පත් නොවිය යුතු බවයි මටනම් හිතෙන්නෙ. සිංහල බ්ලොග් අවකාශයේ නැම්ම තියෙන්නෙ එදිනෙදා තමන් මුහුන දුන්නු සිදුවීම් ගැන ලියවෙන කතා වලට සහ බ්ලොග් වලට.. ඒ අතර මෙවැනි අධ්‍යාපනයට යොමුවුන බ්ලොග් එකක් ලබාගන තියන සාර්තකත්වය ප්‍රශංසනීයයි දිනේශ්. මම නම් හිතෙන්නෙ එක්කෙනෙක් හරි කියවලා යමක් අරගත්තොත් ඇති කියලයි.

    මමත් විශ්වාසකරණ දෙයක් තමයි ඕනෑම දෙයක් හරියන්න නම් ඉස්සෙල්ල පටන් ගන්ඩ ඕනා. ඊට පස්සෙ ඒක කරගන යන්ඩ පොටවල් පෑදෙනවා.. කල් යල් බල බල හිටියොත් කවදාවත් වැඩේ වෙන්නෑ..

    අවසාන වශයෙන් නැවතත් දිගුකාලීන බ්ලොග් ගමනකට ශක්තිය ධෛර්යය පතනවා !!


    ReplyDelete
    Replies
    1. නැවතත් ඔබට ස්තූති කරනවා සෙන්නා.

      ඒවගේම අතලොස්සක් වුනත් ඔබ ලියා තිබෙන ලිපි ඉතා ආකර්ශනීයයි. තවත් ලිපි උනන්දුවෙන්න හැකි නම් හොදයි කියාත් පවසන්නට කැමැතියි.

      පාඨක ආකර්ශනය ගැන මධ්‍යස්ථ ආකල්පයක් තමයි තිබෙන්නේ....

      Delete
    2. මම බ්ලොග් කරණයෙන් කිනම් හෝ සාර්තකත්වයක් ලබාගන තියනවනම් ඒකෙ මූලික ගෞරවය හිමි ඔබටයි දිනේෂ්.. සත් සමුදුර තමයි මට ඒකට පාර කිව්වෙ හා ආසාව ඇති කළේ.. ඒ ගැන වැඩි විස්තර කුරුන්දෙ කඩ ඉමකදි කියවේවි..

      ලිවීමට තියන ප්‍රභලම බාධකය තමයි කාලය. සතියෙ දවස් හතම බොහෝවෙලාවට වැඩට යන මට, බ්ලොග් කරණය වෙනුවෙන් වෙන්කරන්ඩ තියෙන්නෙ දවසකට සීමිත කාලයක්.. ඒ කාලෙන් අනිත් අයගෙ ඒවා කියවන්ඩ, කමෙන්ට් කරන්ඩත් සැළකිය යුතු කොටසක් ගියාම ලිවීම බොහොම හිමින් වෙන්නෙ. ඒකයි පමාවට ප්‍රධාන හේතුව. පුළුවන් විදිහට හිමීට යනවා..

      Delete
    3. සත් සමුදුර හා කටයුතු කිරීමෙන් ලබන්නා වූ සතුට හා සමානවම ‍මේ නිසා බ්ලොග්කරණයට පිවිසීමට හේතුවූවා නම් ලබන බවද පැවසිය යුතුමයි...

      Delete
  8. 300 ට සුබ පැතුම්.
    දිගටම ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැකිතරම් කාලයක් උත්සහ දරනවා..

      Delete
  9. උණුසුම් සුභ පැතුම් ,

    මම දැනට ලියන වේගෙට 300ට එන්න නම් අවුරුදු 12ක් විතර යනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, මට නම් මේ වගේ ඉලක්කයක් තිබුනේ නැහැ. ඒත් උත්සහ කළොත් අපහසුත් නැහැ..

      Delete
    2. +1 බුවා, මමත් තවම 100 කිට්ටුවටවත් ඇවිත් නෑ... වල්පල් නැති අධ්‍යාපනික බ්ලොග් එකක් විදියට දිනේෂ් සහෝගේ උත්සාහය ගොඩක් අගය කරනවා...!

      Delete
  10. තව දිගු කලක් ඔබට මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දීර්ඝතම කාලයක් සත් සමුදුර සමග සිටි මිතුර, ඔබ ලබාදුන් ශක්තියත් මෙතරම් දුරක් ඒමට උදව් වූවායයි මේ මොහොතේද ඉතාම ස්තූතිපූර්වකව මතක් කරමි...

      Delete
  11. ඉහලට යන්න යන්න බාධක එමටයි ඒත් ඒවාට මුහුණ දෙමින් සාර්ථකව ගමන යන එකයි ජයග්‍රාහනය.ඔබට සුබ පතනවා දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා.
    300ටත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර, ඉදිරිකාලයේදිත් විවිද වෙනස්කම් සහ නවීනත්වය සමග හමුවෙමු...

      Delete
  12. සුභ පැතුම්..!
    උපදෙස් ඉතා වටිනවා..! ඒ වගේම ඔබේ ගොඩක් ලිපි බොහෝ වැදගත් තොරතුරු තියෙන නිසා නිරන්තරයෙන් බලනවා.
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බ්ලොග් ලිවීම ගැන තව බොහොදේ තිබෙනවා ඉදිරි කාලයේ ඉඩක් ලැබෙන අයුරින් ඒවාත් කියන්නම්. ඒ වගේම මම දන්නා දෙයක් තිබේ නම් කවුරුන් හෝ ඇසුවොත් නොසඟවා කියන බවත් කියන්න කැමතියි...

      Delete
  13. ඔය පරිඝනකය පිළිබඳ ළිපි ලියන එක ජාතික අපරාදයක්. ඒ කාළය වෙනත් දෙයකට යොමු කිරීම බොහොම වටිනා දෙයක්. සාමාන්‍යෙන් බොගක් දාන කෙනෙකුට සුළු හෝ ඉන්ගිරිස් දැණුමක් තිබෙනවා. ඒ නිසා ගැටළු විසඳාගැනීමට ගූගල් වගේ ඒවලින් පුළුවන්. එහෙම නැතත් උදවි කරන්න ඉන්න අය බොහෝයි.

    අනෙක් කාරනය කොමෙන්ටුවලට රිප්ලයි නොකීරීම. බ්ලොග් එකක් ලියලා පෝස්ට් එකක් දාලා ඒකට කොමෙන්ට්ස් එනකන් බලාගෙන ඉන්නවා වගේම කොමෙන්ට එකට රිප්ලයි එකක් දානකන් කොමෙන්ට් කරපු කෙනා බලාගෙන ඉන්නවා. නමුත් අපේ පරිනත අය පමණක් නොව අළුත් අයත් මේ දේ කරනවා අඩුයි. (ප්‍රථිපත්තියක් ලෙස කොමෙන්ට්ස් වලට රිප්ලයි නොකිරීම මීට අදාල නැත. (උදා. සමහර ගොසිප් බ්ලොග්))

    කෙසේ හෝ 300 ක් කියන්නේ විශාල දෙයක්. බ්ලොග් ලියන අය තම කඩයිම් සැමරීමත් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්.

    මගේ උණුසුම් සුභ පැතුම්.. දිගටම ලියන්න... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැබැයි පරිගණක ලිපි සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහස ගැන මගේ අදහස් නම් එකඟ විය හැකි හා එකඟ විය නොහැකි කරුණු තිබෙන බවයි. ඇත්ත අන්තර්ජාලයේ ඒවගේම ඒ පිළිබදව උදව් කරන්න අය ඉන්නවා. ඒත් අපි ඇතැම් දේ අන්තර්ජාලයෙන් හෝ ඒ මොහොතේ යමෙකුගෙන් විමසූ විට අපිට අවශ්‍ය උදව්ව නොලැබෙන්න පුළුවන්. ඒ සමහරවිට අපිට ඕනම ටික ඒ කෙනා නොදැනීම හෝ අන්තර්ජාලයේ මේ කරුණු අපිටි සොයාගන්නට නොහැකි තැනක සැඟවී හෝ අපිට තේරුම් ගැනීමට ටිකක් අපහසු විදියට තිබෙන්න පුළුවන්. ඉතිං මම දන්න හා හැමෝටම ප්‍රයෝජනවත් විය හැකි යමක් මෙහි සටහන් කළොත් කවදා කාට හරි ඒ දේ ප්‍රයෝජනවත් වේවි.

      මම නම් වැඩකටයුතු වලින් ගැලවෙන්නට බැරිකමක් හෝ තාක්‍ෂනික දෝශයක් හෝ කිසියම් හේතුවකින් යම් කමෙන්ටුයක් දෑසෙන් ගිලිහී නොගොස් තිබුනොත් හෝ හැරෙන්නට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවාමයි. හැබැයි වෙනකෙනෙකුට අදාල වන දෙයක් හො ් උත්තර දීමට වඩා උත්තර නොදී සිටිය යුතු සංවේදි කරුණක් වුවහොත් පොඩි වෙනසක් වෙන්නට ඉඩ තියෙනවා. සමහර විට මීට මාස කිහිපයකට පෙර දුන් කමෙන්ටුවක් යම් විදියකින් ගිලිහී ගොස් තිබුනත් කාලය ගැටළුවක් කර නොගෙන හැකි අයුරින් රිප්ලයි ලබා දෙනවා. ඒවගේම තවමත් ගැටළු සහගත තත්ත්ව ඇතිකරන නිර්නාමික කමෙන්ටුවලටත් බාධා ඇති නොකර සිටිනවා...

      Delete
  14. තමන් ලියන දේවලනියම තේරුම නොදන්නා, මොකක් හරි ලිවීම බ්ලොග් ලිවීම යයි සිතන පිරිසකුත් අපි අතර ඉන්නවනේ. එවැනි බ්ලොග් අඩවි ආදර්ශයට ගන්න පිරිස වැඩි වෙන බවකුයි පෙනෙන්නේ. තමන් ලියනදේ පිලිබඳ ඇත්තටම දැනුමක් තිබීම, අවබෝධයක් තිබීම, වගකීමක් තිබීම වැනි ඔබකියා ඇති වැදගත් කරුණු අවබෝධ කරගන්න ඕනෑම කෙනෙකුට බ්ලොග් නරාවලෙන් ගොඩ යාමට හැකිවෙනු ඇති. සුබපැතුම් පිළිගන්වමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම බ්ලොග් සම්බන්ධයෙන් සෑම දෙයක්ම නොදනිතත් දන්නා දෙයක් කියා දීම කාට හෝ ප්‍රයෝජනයක් වේ යයි සිතමි...

      Delete
  15. සුභ පැතුම් අය්යා..... දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා හැමදාමත් නාවත් මේ පැත්තේ ඇවිත් යනවා අපිත් ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී, ඔව් තිබෙන වැඩ රාජකාරි එක්ක හැමෝටම හැමදාම මෙහි එන්නට බැහැ. පුළුවන් වෙලාවට ඇවිත් ප්‍රයෝජනවත් යමක් තිබෙනම් ගන්නා මෙන් ඉල්ලමි...

      Delete
  16. 300ට සුභ පැතුම්... බ්ලොග් ලිවීම ගැන ඔබේ අදහස් හොඳයි.. නමුත් මේක ජීවිතේ තවත් එක් වැදගත් වැඩක් විදියට සලකගෙන කැපවීමෙන් ලියන අය හරි අඩුයි... ඔබ එහෙම කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, ඔව් මේ ක්‍ෂෙත්‍රයේ අධ්‍යාපනික හෝ ඉතිහාසය වැනි දීර්ඝ කරුණු ගැන තිබෙන ලිපි සම්බන්ධයෙන් කැපවී ක්‍රියා කිරීම ටිකක් අපහසු කරුණක් තමයි. මටත් සමහර අවස්ථාවල මෙයින් දුරස්වෙන්න වෙලා තිබෙනවා යෙදෙන වැඩ කටයුතුත් එක්ක. විවේකය ලැබෙන පරිද්දෙන් මේ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදිත් හැකි පමණින් එසේ ක්‍රියා කරනවා...

      Delete
  17. දිනේශ් සහෝදරයා
    සුභ පැතුම් හදවතින්ම
    තව ඉදිරියටත් ගොඩාක් වටිනා දේවල් ලියන්න
    ජයෙන් ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශශී මිතුර, ඔබ දෙන සහයත් අගය කරනවා. ඒවගේම ඔබ අවසන් වරට එවූ Email එකට පිළිතුරු දෙන්නට බැරි වුනේ වැඩ රාජකාරි ඒ අවස්ථාවේ තරමක් වැඩිවූ නිසයි...

      Delete
  18. මුලින්ම මගේ හෘදයාංගම සුබ පැතුම් ..

    දෙවනුම , මම ඔබේ සේවය මහත් ඉහළින් අගය කරනවා , මොකද , මෙවන් සාර්ගර්භ , නිවැරදි ලිපියක් ලියන්නට වෙන වෙහෙස කෙතරම් දැයි සිතාගත හැකි නිසා  , එවන් ලිපි 300ක් ලියන්නට ඔබ වූ කායික , මානසික වෙහෙස කෙතරම්දැයි සිතාගත හැකියි මට , ඒ වූ ඵලදායී වෙහෙස වෙනුවෙන් මගේ ආචාරය ...

    තෙවෙනුව මේ බ්ලොග් ගැන කවුරුන් කෙසේ කීවත් මගේ මතයත් ඔබේ මතය වන “තමන්ට විතරක් බලාගන්න ඕන නම් දිනපොතක ලියල තියා ගන්න එක හරි යාළුවන්නට තමන්ගේ හිතමිතුරන්ට විතරක් බලන්න දෙන්න නම් කොල කෑල්ලක ලියල මෙන්න මේක කැමති නම් බලන්න කියන එකයි බ්ලොග් ලියන එකයි දෙකක්. “මයි ...ඒ සත්‍යය නිසයි සිංහල බ්ලොග් පරිශ්‍රයක් පවතින්නේ ..

    අවසන , අනුනගේ ජීවිත වලට සතුට , දැනුම නිරාමිසව බෙදා දෙමින් ඔබ ලබනා සතුට වෙනුවෙන් මගේ හදවතින් නැගෙන සතුට පිළිගන්න .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් මහත්මයා, ඔව් මම කාටවත් බලකරන්නේ නැහැ මගේ බ්ලොග් එක බැලිය යුතුයි, හැමදාම එන්නත් ඕන, කමෙන්ටු දාන්නත් ඕන, මගේ ගැන හොයල බලන්න ඕන කියන දේවල්. ඒත් ඇතැම් දේවල් ගැන දින ගණනක් වෙහෙසිලා ලියන ලිපි හුදකලා වෙනකොට කණගාටුවක් නොදැනෙනවා නම් ඔහු හෝ ඇය මනුෂ්‍යත්වය ඉක්මවා ගිය කෙනෙක් විය යුතුයි. මම හිතන්නේ බ්ලොග් විතරක් නොවෙයි ඕනෑම ක්‍ෂෙත්‍රයක නිර්මාණකරුවෙකුට ඒ දෙය පොදු දෙ‍යක්. ඕනෑම නිර්මාණයක් කැපවීමෙන්, ආශාවෙන් කරන කෙනාට තමන්ගේ නිර්මාණ දරුවෙකු හා සමානයි කියලයි මට හිතෙන්නේ...

      Delete
  19. මමත් සුබ පතනවා ඔබට!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන හැකි අවස්ථාවල නැවත එන්න...

      Delete
  20. දිනේෂ්,
    ගේ බ්ලොග් එකේ මුල් කාලේ ඉඳලම මම නම් හිටියා. ඒ කාලේ ඔබ කරන සේවය ගැන මම කිප විටක දීම ස්තුතියි කලා. ඒ නිසා නැවත ඒ ගැන නොකියන්නම්.

    ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? කියන ලිපිය බොහෝ දෙනෙක් කියෙව්වෙ නැ කිව්වට කාලයත් එක්ක බොහෝ පිරිසක් කියවාවි. දිනේශ්ගේ ඔය විස්තර ටික ගොඩක් වටින්නෙ පාසල් යන අයට. ඒ කාලේ ඔය විස්තර හොයාගන්න අපි කොච්චර මහන්සි උනාද? දිනේෂ්ගේ බ්ලොග් එක ඒ කාලේ තිබුනනම් මම ප්‍රොජෙක්ට් එක කරන්නෙ ඔය මාතෘකාවෙන්:).

    තාක්ෂණික ලිපි නම් මමත් එච්චර උනන්දුවෙන් කියවන්නෑ. හැබැයි අනේක් ලිපි නම් අනිවාර්යෙන් කියවනමායි.

    දිගම ම මේ කාර්ය කරන්න සුබ පතනවා. සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි මිතුර, ඔබත් මා සමග දීර්ඝම කාලයක් සිටි කෙනෙක්. ඒවගේම ඔබගේ අඩවියට මම කමෙන්ටු ලියනවා අඩු වුනත් හැකි සෑම අවස්ථාවකම ලිපි පළ කළත් නැතත් ඇවිත් යනවා. ඒ වැඩිපුරම එන්නේ කියවන්නටත් වැඩිය ඔබ විසින් ඇඳි සිතුවම් බලන්නයි. ඒවා දිහා බලා සිටීමෙන් ඔබ අකුරුවලින් කියා ඇති දේටත් වඩා අදහසක් ඇතැම් විට මගේ සිතට එනවා. ඒ තරම්ම හිත් ඇදගන්නා සුළු විශිෂ්ඨත්වයක් එහි තිබෙනවා....

      Delete
  21. මමත් සත්සමුදුර කියවනවා . සමහර විටක තාක්ෂණික අංශයේ ලිපි ඇරුනම .හැබැයි උවමනා විටක ඒ ලිපිත් ප්‍රයෝජනවත් වෙයි. ඉතිහාස කතාවලට වඩා කැමතියි..දිනේෂ් මගේ බ්ලොග් එක පටන් ගන්න කොච්චර උදව් කලාද . ඔබේ ලිපි වැදගත් වන්නේ එදිනෙදා කියවීමටත් වඩා නැවත පරිහරණයටයි . දිගින් දිගටම ලියන්නට සුබ පැතුම්,

    ඒ වගේම සුබ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමිලා, සත් සමුදුරට පැරණිම සාමාජිකයෙක් මෙන්ම කාන්තා සහභාගීත්වය අඩුවෙන්ම පැවති කාලයේ නිරතුරුවම පැමිණි ඔබ ලබා දුන් සහය මේ මොහොතේත් අගය කරන්නට අමතක නොකරමි. ඒ වගේම දැන් තරමක් බැහැරව ඇතත් නැවතත් ඉදිරියේදී ඉතිහාසය ගැන ලිපිද ලියමි...

      Delete
    2. ඔබ‍ගේ බ්ලොග්කරණයට මගෙන් සේවයක් වූවා නම් එයත් සත් සමුදුර වෙනුවෙන් ලබන සතුටක් වන බවත් පැවසිය යුතුමයි...

      Delete
  22. 300 ට මගෙනුත් සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අළුත් මල්ලී....

      Delete
  23. ලිපි 300 ක් ලිවීම ගැන ඇත්තටම පුදුමයි සහෝ... මොකද මෙච්චර මහන්සි වෙලා කරුණු හොයලා අවුරුදු දෙකක් වගේ කාලයකදී ලිපි 300 ක් - නිකන් වල් පල් නෙවේ, වැදගත් ලිපි - පළකලා කියන්නේ සෑහෙන්න අගය කරන්න ඕනේ දෙයක්...

    සත් සමුදුර කියන්නේ බ්ලොග් කියවන්න/ලියන්න පටන් ගත් දවස් වල ඉඳලාම මම එන තැනක්... මම ආසම බ්ලොග් අඩවි කීපයෙන් එකක්... මේ වගේ බ්ලොග් වල වටිනාකම තියෙන්නේ තව ඉස්සරහටයි...

    දිනේෂ් සහෝට තවත් සාරගර්භ ලිපි වලින් බ්ලොග් අවකාශය පුරවන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ප/ලි - ඔන්න සහෝ මේ කඩඉම් ලිපියට නම් සෑහෙන්න හොඳ ප්‍රතිචාර තියෙනවා... අධෛර්යය වෙන්න එපා... ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලිපි 300 අතරින් සමහර ඒවා නම් ඉතාම කෙටි හා කුඩා ඒවාත් තිබෙනවා. හැබැයි සමහර ලිපි එකක් ලෙස පෙනුනත් ලිපි 4-5 ක කරුණු ප්‍රමාණයක් අඩංගු වූ අවස්ථාත් තිබෙනවා. කොහොමවුනත් මේ කාර්යයේදී අධෛර්යමත් වුනේ නැහැ. එසේ වූවා නම් මෙවැනි කඩයිමක් ගැන ලිපියක් ලියන්න ඕන වෙන එකක් නැහැ. හැබැයි අවංකවම කිවයුතු දේ නම් හංගන්නේ නැතුවම කියන්නයි මේ වගේ කඩයිම් ලිපි වලට වෙන දේ ගැන කිව්වේ...

      Delete
  24. සුභ පැතුම් දිනේෂ් අයියේ.. අධ්‍යාපන දේවල් ගොඩක් දැන ගන්න මේක හොදම බ්ලොග් එකක්.. මහන්සි වෙලා කරුණු එකතු කරන් අපිට කියවන්න ලියන එක ඇත්තටම වටිනවා.. සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී, අපි ඉදිරියේදිත් හමුවෙමු...

      Delete