Showing posts with label මතිමතාන්තර. Show all posts
Showing posts with label මතිමතාන්තර. Show all posts

Sunday, June 5, 2011

බ්ලොග් එක සම්බන්ධයෙන් උදව්වක් ඔබගෙන් අවශ්‍ය මො‍හොතකි මේ...

ආදරණිය සත් සමුදුර පාඨක මිතුරන් සියල්ලන්ම වෙත,

සත් සමුදුර බ්ලොග් අඩවිය දැන් කිසියම් ගැටළුවකට මුහුණපා ඇති බව ඔබට කණගාටුවෙන් වුවත් කීයන්න සිදුවෙලා. ඒකට හේතුව තමයි ජුනි 01 දා සිට බ්ලොග් එක සමහර පාඨක මිතුරන්ට බලන්නට නොහැකි බවට කිහිපදෙනෙක්ම දන්වා තිබෙනවා. ඒ ‍එක්කම මට පවා මෙහි කමෙන්ට් යොදන්නට හා පැරණි ලිපිද බැලීමට නොහැකි තත්වයක් තමයි උද්ගතවෙලා තියෙන්නේ. මෙය හැබැයි උද්ගතවුනේ බ්ලොග්ර් විසින් නව ratings icon එක හදුන්වාදුන් පසු කියලයි සිතෙන්නේ.කෙසේවෙතත් මීට පෙර ඔවුන් නඩත්තු කටයුතු සිදුකිරීමේදි අප විසින් ලියන ලද අවසන් ලිපිය ඉවත් කර නැවත එය බොහෝ දෙනෙකුට ලබා දුන්නත්, සත් සමුදුරට එම සහනය ලබා දුන්නෙත් නැහැ. ඒවගේම ඒ වන විට පැවති Template එකේ දෝශයක් දැයි සැකයෙන් එයද කිහිපවිටක්ම වෙනස් කල අතර එක් කර තිබූ Gadgets කිහිපයක්ද ඉවත් කරනු ලැබුවා.

මෙම ගැටළුව පිළිබදව blogger help වෙතද ඊයේ යොමුකරත් තවම පිළිතුරක් ලැබුනේ නැහැ.

දැන් තිබෙන්නේ විසදුම් කිහිපයක් පමණයි. 
එනම් ඔවුන්‍ වෙතින් යම් දෝශයක් සිදුවී ඇත්නම් කවදා‍ හෝ එය නිරාකරණය කරන තුර ඉවසා සිටිම. 
එසේ නැතහොත් blogger වෙතින්ම ලබා ගෙන ඇති දෙවන බ්ලොග් අඩවියේ ලිපි පල කිරීම (එය මේ වන මීට කලකට පෙර අරඹා ඇතත් එහි ලිපි කිසිවක් තවම පල කර නොමැත). 
එසේ නැතහොත් බොහෝ වෘත්තීය මට්ටමේ බ්ලොග් කරුවන්ගේ පවා ප්‍රසාදය දිනා ඇති Wordpress වෙතින් බ්ලොග් පහසුකම ලබා ගැනීම.

කරුණු මෙසේ හෙයින් සත් සමුදුරේ මෙම ගැටළු නිරාකරණය කර ගත හැකි ආකාරයක් ඔබ කවුරුන් හෝ දන්නේ නම් එය මගේ විද්‍යුත් ලිපියන වන dguruge@gmail.com වෙත එවන මෙන් ඉල්ලා සිටින අතර, එම ගැටළු සහගත තත්වය නිරාකරණය කර ගත නොහැකි වුවහොත් මේ දක්වා පවත්වාගෙන ආ සත් සමුදුර බ්ලොග් අඩවියේ පලවන අවසාන ලිපිය මෙය වනු ඇති බවට අතිශයින්ම කණගාටුවෙන් වුවද ඔබට පැවසීමට සිදුවී ඇත.

මේ ආකාරයෙන් විවිද අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවුවත් ජනවාරි 13 වන දා සිට මේ දක්වා ඔබ දුන් අනගි සහය සැමදා අගය කරන අතර යම් හෙයකින් සත් සමුදුරේ අවසන් ලිපිය මෙය වුවහොත් ඇරඹීමට බලාපොරොත්තුවන නව බ්ලොග් අඩවියටද එලෙසින්ම සහය දෙනු ඇතැයි කාරුණිකව අපේක්‍ෂාකරමි.

ස්තූතියි! 
දිනේශ් දීපාල්
සත් සමුදුර

Tuesday, May 3, 2011

මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post

මේ තබන්නේ 100 වන බ්ලොග් සටහනයි. 50 වන බ්ලොග් සටහන තබා දින 53 ක් ගිය තැන දෙවන බ්ලොග් අර්ධ ශතකය තැබීමට හැකිවීම ගැන සතුටකුත් හිතට දැනෙන අතර එම කාලයේදී තරමක වේගයෙන් එම කාර්යයේ නියලුන නිසා ඒ ඉලක්කය කරා යෑමට හැකිවූ බවද කිව යුතුය. මේ දැක්වෙන්නේ එම වේගවත් ගමනේදී වැදගත් සංධිස්ථානයන් කිහිපයක මතකයන්...

























100 කියන අගය ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ඕනෑම එකදිගට නියලෙන ක්‍ෂෙත්‍රයක ඒ කාර්යය කරන කෙනාට වැදගත් අගයක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඇත්තම කියනවානම් බ්ලොග් අඩවිය ආරම්භ කලේ 2010 වසරේ අප්‍රේල් වල වුවත් බ්ලොග් සටහනක් මුලින්ම දැම්මේ 2011 ජනවාරි 13 වන දිනයි. එදින ‍කිසිසේත්ම බ්ලොග් සටහන් 100 ක් ලියනවා තබා ඊලඟ සටහන ගැන කිසිම අදහසක් තිබුනෙත් නැහැ. කෙසේ වෙතත් මීට පෙරත් කිවුවා වගේ සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය කියල කියන්න පුළුවන් බ්ලොග් සටහන් මාලාව තමයි ටජ් මහල ගැන ලියපු සටහන. එතැන් සිට මාතෘකා ගලා ඒම ටිකෙන් ටික සිද්දවෙන්න පටන් ගත් අතරම දැන් තියෙන තත්වය තමයි කාලවේලාව මදි කම හා තාක්‍ෂනිකව මුහුණපාන්‍න වෙලා තියෙන දුෂ්කරතා.

දෙවන බ්ලොග් 50 අතුරතුර සිදුවූ විශේෂිත සිදුවීම් අතරට මෙතෙක් වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් බ්ලොග් පිටු කියවූ දිනය සටහන් වූයේ Tsar න්‍යෂ්ඨික බෝම්බය ගැන ලිපිය පලවු දි‍නයවන අතර වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් පැමිණි දිනයද එය වේ. එසේම මෙතුවකට සත් සමුදුරේ පලවු ලිපි අතරින් තවමත් වැඩිම දෙනෙක් කියවූ ලිපියද එය බව සටහන් කරනු කැමැත්තෙමි.

එසේම දෙවන වැඩිම දෙනෙක් කියවූ ලිපිය වන පැරණි ශල්‍ය උපකරණ ගැන ලිපිය පල කිරීම පමා කරමින් තිබී   පසුව එක් දිනක එය පල කලේ එයට කිසිවකුගේ කැමැත්ත හිමිනොවේදෝයි යන සැකයද හිතේ ඇතිවයි. එහෙත් එය ඉතාමත් ජනප්‍රියම ලිපියක් වූයේ කිසිදුලෙසකින් නොසිතූ ලෙසයි.

එසේම කණගාටුවට පත්වූ අවස්ථාද නැතුවා නොවේ. වෙහෙසවී ලියූ ලිපි දෙකක් වන ආසියාවේ හෘද සාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් ලිපියට හා ගෑස් මුහුණු ගැන ලිපි දෙකට නම් ලැබුනේ කිසිලෙසකින් බලාපොරොත්තුවූ ප්‍රතිචාර නොවූ අතර එම ලිපි දෙකම එතරම් පාඨක අවධානයට යොමු නොවූ ඒවා විය.


කෙසේවෙතත් සමස්ථයක් ලෙස ගත් කල මෙම කාලය තුල සත් සමුදුර වටා එක්වූ පාඨක මිතුරන් සංඛ්‍යාව නම් වර්ධනය වූ බව සදහන් කරන්නේ ඉතා සතුටිනි. එසේම මිතුරන් කිහිප දෙනෙකුම ඉදිරි ලිපි සැකසීමට අවශ්‍ය මූලාශ්‍ර රැසක් හා ඉදිරියේදී පල කල යුතුයයි යෝජනා කර ඇති හරවත් මාතෘකා ගැනද දන්වා එවා ඇති බවද සදහන් කරන අතරම ඉඩ ලැබෙන අයුරින් ඒවායෙන්ද අනිවාර්යයෙන්ම ලිපි සකස් කරන බවද දන්වා සිටිමි.

මෙම අවස්ථාව ගැන ඔබ හා කතා කිරීමට දේවල් තව බොහෝමයක් ඇති නමුත් ඉදිරිකාලයේදීත් දිගටම අපි එකිනෙකා සත් සමුදුර තුලින් හමුවන නිසා දැනට මෙම 100 වන බ්ලොග් ලිපිය අවසන් කරන අතර මේ තාක් දුර පැමිණීමට සම්පූර්ණයෙන්ම ශක්තිය වූයේ ඔබ සැම බව කෘත්‍යපූර්වකව නැවත නැවතත් මතක් කරමි. එසේම ඉදිරියේදීත් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා, නව සංකල්ප ආදියද පෙරමෙන්ම ලැබෙනු ඇතැයිද බලාපොරොත්තුවෙමි.

බො‍හෝමයක්ම ස්තූතියි!!!!

Friday, March 11, 2011

50 වන බ්ලොග් සටහන තබමි....



අද සත් සමුදුරට සතුටු දවසක්. ඒ තමයි මාතෘකාවේ කියනව වගේම 50 වන බ්ලොග් සටහන තමයි මේ තියන්නේ. ඇත්තටම සත් සමුදුර ක්‍රියාකාරීව වැඩ ආරම්භකරල දින 56 ක් වගේ කාලයකදී ඇත්තටම මෙවැනි සංධිස්ථානයක් පසුකරන්න ලැබීමත් ආඩම්බරයක් දැනෙන කරුණක්.

මේ බ්ලොග් එක ඇත්තටම නම් ආරම්භ කරල වසරක් පමණ වෙනවා. මුලින්ම මේකට තිබුන නම නම් මේක නෙවෙයි. එදා ඒක නම් කලේ "නිදහස් අදහස්" ලෙසයි. ලියන්න අදහස් කරල හිටියේ නම් අ‍පේ රටේ සිදුවන එක එක වැඩ ගැන නම් තමයි. හැබැයි වෙනත් සිංහල බ්ලොග් කියවල බැළුවහම මම ලියන්න හිතාගෙන හිටිය දේවල් මම ලියන්න හිතාගෙන හිටියට වඩා හොදට ඒවායේ ලියල තියෙන බව දැක්කම මමත් ඒවා ලියන එකේ තේරුමක් නැහැ කියල බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවමින් සිටියා.

අනිත් කාරනේ තමයි මම දාපු නමට සමාන නම් ඒ වෙනකොටත් වෙනත් බ්ලොග් වලටත් භාවිතා කරල තිබුනා. ආරම්භකරන වෙලාවේ හිතට වෙනත් නමක් ආවේ නැති නිසා මේ නම දැම්මත්, මටත්  "නිදහස් අදහස්"  කියන නම එතරම් හිතට ඇල්ලුවෙත් නැහැ. මට ඇත්තටම යම් කෘතගුන සැලකීමක් විදියට එක නමක් නම් මේකට දාන්න ඕන කියල හිතේ තිබුනා. මොකද මගේ දැනුම වර්ධනයට ඒ මාධ්‍ය විශාල රුකුලක් වූ නිසා.

මොකක්ද මේ නම සහ මොකක්ද මේ කියන මාධ්‍යය කියල දැන් ඔබට ගැටළුවක් ඇති. ඒ නම තමයි "සමුදුර".  මම 1993 ඔක්තෝබරයේ සිට මේ දක්වාම සමුදුර පුවත්පතේ පාඨකයෙක්. මට ඒ පුවත්පත කියවීම නිසා ලැබුන දැනුම සහ විවිද ක්‍ෂෙත්‍ර හඹා යාමට ඇවසි කුතුහලය ලබා දීම නිසාම එම නම මගේ බ්ලොග් අඩවියට දාන්න උවමනා වුනා. ඒත් අවාසනාවට ඒනම නම් මට භාවිතා කිරීමට ඒ අවස්ථාවේ නොලැබුනේ සමුදුර යන නම වෙනත් බ්ලොග් රචකයෙක් තම බ්ලොග් අඩවිය ලියාපදිංචි කරගැනීම සදහා යොදා ගෙන තිබීම නිසායි.

ඒත් මම, මගේ අදහස ඉවත ලන්නට සිතක් දුන්නේම නැහැ. ඒ වෙලාවේ සමුදුර කියන නාමය තව තවත් ශක්තිමක් කරමින් "සත් සමුදුර" යන නාමය සිතට ආවා. ඒත් මේ නම දැම්මට මොනව ලියනවද කියල කිසිම අදහසක් හිතට ආවෙත් නැහැ. ඒ වගේම ඒ කාලේ මේ යුනිකෝඩ් වලින් සිංහල ටයිප් කරන එකත් මට නිකං ග්‍රීක් වගේ. ඒක නිසාත් ලිපි ලියනවට වඩා කියවන එක හොදයි කියල හිතල ලිවීම තව ප්‍රමාද කලා.

මෙහෙම ටික කාලයක් ගතවෙලා ගිහිල්ල ‍එක බ්ලොග් ලියන සහෝදරයෙක් දාල තිබුන Video Player ක් දැකල හිතුනා මෙ මාතෘකාව ගැන මොනව හරි ලියන්න. ඔන්න ඒකත් කොටස් දෙකකට ලිවුවා "Video and Audio Players වල අප නොහි‍තන දේවල්" කියලා.

ඊට පස්සේ Softwares කිහිපයක් ගැන ලියුවට පස්සේ ලිව්වා අපේ රටේ ටිකක් අඩුවුනත් ඉදිරියේදී වැඩියෙන් සිද්දවේවි කියල හිතෙන අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන වංචාවක් වන Phishing ගැන "මොකක්ද මේ Phisshing කියන්නේ" . මේක ලියන්න හේතුවුනේ විදේශ ගත වෙලා ඉන්න මගේ ඥාති සහෝදරයෙකුට විශාල මුදලක් තෑග්ගක් ලෙස ලැබීමට නියමිතයි කියල ඔහුට ලැබිල තිබුන email එකක් නිසයි. මම මේ ‍කාරණේදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියල ඔහු දැනුවත් කල නිසා කරදරයක් නොවුනත් ඒ පිළිබදව යමක් සටහන් කරල තැබීම කොයි කාටත් ප්‍රයෝජනයක් වේවි යන් චේතනාවෙන් තමයි ඒක ලියවේ.

මින් පස්සේ මගේ ප්‍රියතම විශයක් වුන ලෝකයේ තිබෙන ‍මිනිසුන්ගේ ඇස එතරම් නොගැටුන හෝ කාලයකට ඉහත සිද්දවුන නමුත් වර්තමානයේ එතරම් කතාබහට ලක් නොවන දේවල් ගැන ලියන්න සිතුන නිසාම මුලින්ම "මහපොළව මත ඇදි අභිරහස් සිතුවම්" නමින් Nazcar lines ගැන ලිව්වා.

එයින් පස්සේ තමයි සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය ලෙස වුවත් සැලකිය හැකි සහ බොහෝ ‍දෙනෙක්  සත් සමුදුර බලන්න එන්න සහ ගොඩක් Followers එකතු වෙන්නත් හේතුවුන ටජ් මහල ගැන ලියවුන "සුන්දර ටජ් මහලේ නොදත් තතු" නම් දීර්ඝතම ලිපිය සටහන් තැබුනේ. ඒ ලිපියට හොද ප්‍රතිචාර තවමත් ලැබෙනවා.

මේ අතරතුරේදී සිනමාව කියන තේමාව යටතේ බ්ලොග් සටහන් කිහිපයක්ම තැබූ අතර එයින් The Godfather කියන චිත්‍රපටි මාලාව ඇසුරෙන් නිර්මාණය වූ "The Godfather Family Album" කියන Coffee Table Book එක ගැන සටහන් තැබුවා. ඒක ගැන මම මුලින්ම දැක්කේ Taschen  සඟරාවේ පිටු තුනක විතර විස්තරයක්. ඒක වැඩි දියුණු කරල තව කරුණු රැසක් හොයාගෙන තමයි ලිපිය සැකසුවේ. මේකටත් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුනා.

ඊට පස්සේ තව තව සටහන් තේමා කිහිපය යටතේම තැබු අතර ඉන් පසු සත් සමුදුරේ දෙවන විශාලතම ලිපිය වන "ගුලාග් කදවුරු" ගැන සටහනක් තැබුවේ.මම මේ කදවුරු ගැන මුලින් දැන ගෙන හිටියේ ‍ඒවා සාමාන්‍ය වැඩ බිම් කියල. නමුත් වෙනත් දෙයක් ගැන හොයන කොට අහම්බෙන් දැකල තව විස්තර සොයා ගැනීමේදී තමයි ඇත්තනැත්ත දැන ගත්තේ. අපි හිට්ලර් ගැන විවිද කතා කිව්වට ඔහුටත් වඩා දුරදිග ගිය අයත් ලෝකයේ සිටි බවට හොදම සාක්‍ෂියක් තමයි ගුලාග් කදවුරු ගැන කියන්න තියෙන්නේ. හැබැයි එම ලිපියට නම් සත් සමුදුරේ පාඨකයන්ගෙන් නම් එතරම් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුන බව පේන්න තිබුනේ නැහැ. මොකද ඒක තවමත් බලල තියෙන්නේ බොහොම ටික දෙනයි.

ඉන් පසු‍ව ලියන ලද සයිබීරියාව ගැන ලිපිය හා ඒ එක්කම වගේ ලියපු Clint Eastwood  ගැන ලිපියටත් හොද ප්‍රතිචාරයක් ලැබුන බව කියන්න ඕන.

සත් සමුදුරට තව තව පාඨකයෝ එකතු වුන ලිපියක් තමයි "එකම පේලිය පින්තූර ගොඩක්" ලිපිය. එය තමයි ‍ඒවන විට පල කල ලිපි වලින් වැඩියෙන්ම දෙනෙක් බලන ලද බ්ලොග් සටහන.

මේ සටහනට පස්සේ තබන ලද "Tungaska හි සිදුවූ අභිරහස් පිපිරීම" ලිපිය තමයි අද ‍වන තෙක් සත් සමුදුරේ වැඩිම දෙනෙක් බලන ලද බ්ලොග් සටහන. තවමත්  ඒ සටහනට සෑහෙන පිරිසක් පිවිසෙන බව කියන්නේ ඉමහත් සතුටින්.

මෙයට දින කිහිපයකට පෙර පල කරපු "විසිවන සියවසේ මමි" ගැන ලිපිය තමයි දැන් සත් සමුදුරේ දීර්ඝතම ලිපියට හිමි ‍ගරුත්වය ලබාගෙන තියෙන්නේ. කොටස් දෙකකින් යුත් එම ලිපියටත් හොද ප්‍රතිචාර තවමත් ලැබෙනවා.

මේ තමයි සත් සමුදුරේ පසු කරපු සැතපුම් කනු. ඇත්තටම ඒ දුර ගෙවන්න ශක්තිය සහ ධෛර්යය වුනේ සත් සමුදුර කියවනලද, එය Follow කරන්න එකතුවුන, ඒකට විවිද යෝජනා ඉදිරිපත් කරපු, එයට ජය පැතූ, එයට නිර්නාමිකව හෝ නාමිකව කමෙන්ටු දැමූ සහ   නිහඩව හෝ එයට ‍ගොඩවෙලා ගිය ඔබ සැම තමයි. ඔබලාගේ සහය නැත්නම් මෙතරම් දුරක් මට එන්න හිතෙන්නේ නැහැ. අනිත් එක මෙතරම් කෙටි කාලයකින් 50 වන බ්ලොග් සටහන තබන්න හේතුවක් වෙන්නෙත් නැහැ ඔබලා නැත්නම්. මම වෙනවෙනම නම් වලින් කියන්නේ නැතිවුනත් (එක නමක් හෝ මඟහැ‍රනොත් සිතු රිදීමක් ඇතිවෙයි යන සැකය නිසා) ක්‍රමක්‍රමයෙන් සත් සමුදුරට ලැබෙන සහය වැඩිවන බව පේනවා.

මම නම නොකියුවත් ඔබ දන්නා බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අප ආයතනයේම  සොහොයුරෙක්ගෙන් තමයි මම නිරතුරුවම බ්ලෝග් එකේ පැන නගින තාක්‍ෂනික ගැටළු සදහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නේ. එසේම තව සොහොයුරෙක් තමයි සත් සමුදුරේ ලිපියක් කොපි කරල වෙන බ්ලොග් එකකට දාල තියෙද්දී මට පෞද්ගලිකව දැන්වූයේ.  එසේම සත් සමුදුර අළුත් පාඨකයන් අතරට ගෙන යන්නත් ඔබලා දායක වන බව මම දන්නවා. ඒ ගැනත් මගේ හදපිරි ස්තූතිය ඔබට පුද කරන්න මේ මොහොත මම යොදාගන්නවා.

ලිපියේ අවසානභාගයට පිවිසෙන අතරතුරේ මම ඔබට කියන්න කැමතියි, සත් සමුදුරට වැඩිපුරම ලැබුනේ ප්‍රශංසා එහෙමත් නැත්නම් "මල්" කිව්වත් වරදක් නැහැ. හැබැයි එක පොඩි ගල් පාරකුත් ලැබුනා. ඒ කමෙන්ටුව "Blog Post එක තුලට තව වෙබ් අඩවියක් ඔබ්බමු" ලිපියේ තවමත් තියෙනවා. කොහොමවුනත් මේ වගේ දේවලුත් බලාපොරොත්තුවෙන්න සිදුවෙනවා.

මුලින්ම ලියන්නේ මොනවද කියල හිතාගන්නවත් බැරුව හිටියත් දැන්නම් ලියන්න වෙලාව මදිකම තමයි මට තියෙන ගැටළුව. ඇත්තටම ටජ්මහල ගැන ලිපිය ලියල වෙනස්ම පැත්තකට සත් සමුදුර යොමුවුනේ නැතිනම් මම ලියන්න හිතාගෙන හිටියේ කාලයකට ඉස්සෙල්ලා හදාරපු CCNA Course එකේ,  ඒ ඒ තෝරා ගත්ත කොටස් සිංහලෙන් සරලව. ඒත් වෙනස් වෙනස් දේවල් ගැන ලියන්න ලැබුන නිසා ඒ අදහස නම් යටපත්වුනා. මම ඔබලා සැමගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදිත් හැකි සෑම විටකම සත් සමුදුරට ගොඩවෙල, ඔබට එන ඕනෑම අදහසක් කමෙන්ටුවලට දාන්න. ඒක මෙම ගවේශනාත්මක බ්ලොග් අඩවියේ දියුණුවට සෑම අතින්ම රුකුලක් වේවි. අනිත්එක තමයි ඔබට යම් දෙයක් සත් සමුදුරට ඇතුලත් වියයුතුයයි කියල සිතනව නම් ඒකත් කියන්න. එහෙම කියපු මාතෘකා දෙකක් ඉදිරියේදී පල කරන්න සූදානම් කරගෙන යනවා.

දැන් ඉතින් මෙම ලිපිය අවසන් කරන්නම් මෙන්න මේ පොඩි පොඩි දේවල් ටිකත් කියල. මම ඔබට කියන්නෙත් හොදින් පොතපත කියවන්න. එයින් ලැබෙන දැනුම ඉමහත්. මම සියයට සීයක් සාර්ථක නොවුනත් මේ ප්‍රමාණයට හරි ලියන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ ඒ නිසා කියන එක මම අදටත් විශ්වාස කරනවා. ඒවගේම යමක් පටන් ගන්න අමාරුයි තමයි. මොකද අපි යමක් කරන්න ඉස්රවෙලා ඒ ගැන හිතනව වැඩියි. ඒක තමයි මූලිකවම යමක් කරන්න ප්‍රමාදවෙන්න එක හේතුවක් වෙන්නේ. හැබැයි කොයිවි‍දියෙන් හරි ඒක පටන් ගත්තමනම් ඒක ඉදිරියට කරගෙන යන එක එතරම් ගැටළුවක් නොවෙයි. මෙන්න මේ කාරනෙත් සමග ඔබලා සැමට මේ මල් දම පිළිගන්නවමින් සත් සමුදුර බ්ලොග් අඩවියේ 50 වන සාඩම්බර ‍බ්ලොග් සටහන අවසන් කරමි.

ස්තූතියි.

Sunday, February 6, 2011

අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ

මම මේ වගේ බ්ලොග් සටහනක් නම් ‍සත් සමුදරට එක් කරන්න එතරම් කැමැත්තක් නැහැ. ඒත් මේ මාතෘකාව ගැන කාලයක් තිස්සේ හිතේ තියෙන කලකිරීම නැතිකරගන්න මේක දැම්මොත් හොදයි කියල හිතුවා. හැබැයි මේකෙන් කාගෙවත් හිත් රිදවන්නවත්, මඩක් ගහන්නවත් හිතල ලියන එකක් නොවෙන බව  අවධාරනයෙන් කියන්න ඕන.

අපේ රටේ ඉහත කිවුව තුන් කොට්ඨාශය පිරිමි වගේම ගැහැණුත් රාශියක් බිහිවෙලත් තියෙනවා, වර්තමානයෙත් බිහිවෙනවා. ඒක ගැන ඇත්තෙන්ම සෑහෙන්න ආඩම්බරයක් හිතටත් දැනෙනවා ඒ අපි හැමෝම ලංකාවේ පුරවැසියෝ නිසා සහ ඔවුන් අපේ පුංචි රට ලෝකයට ගෙන යන්න සිදුකරන දායකත්වය නිසා. මොකද මොන ප්‍රශ්න තිබුනත් අපේ රට තරම් වටින රටක් අපිට නැති නිසා. ඒ වගේම තමයි මාළුවට වතුර නැතුව ජීවත් වෙන්න බැහැ වගේම කොතරම් නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ බිහිවුනත්, ඔවුන් අතිශයින් දක්‍ෂවුනත්, රසිකයෝ හෝ ප්‍රේක්‍ෂක ජනතාව ඔවුන්වටා නැත්නම් වැඩිකාලයක් ඔවුන්ගේ ක්‍ෂෙත්‍රය තුල, ඔවුන්ට ස්ථාවරවීමට නොහැකිවන බවත් අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණක්.  හැබැයි අපේ රටේ ජනතාවත් ‍නොමසුරුව ඔවුන් වටා රොක්වී සිටින බවත් හොදින්ම අපි දන්නවා. ඒත් බහුතරයක් දෙනා එ‍සේ ජනතාව සමග සිටිනවාද? ඔවුන් රසිකයන් හෝ ප්‍රේක්‍ෂකයන්ගේ පිහිටෙන් ලබන රන්මසු හෝ දහසින් බැදි පියලි, තමන් ඔසවා තබන ජන සහෘදයන් යම් ව්‍යවසනයකට ලක්වූ විට අල්ප මාත්‍රයකින් හෝ ලබා දෙනවාද?

මේ දවස් වල ඇත්තෙන්ම අපේ රටේ අධික වැස්ස නිසා ගංවතුර, නාය යාම් සහ ඒ සමග සමගාමීව පැමිණෙන නොයෙකුත් උපද්‍රව නිසා කී දාහක් අවතැන්වෙලාද, ගෙවල් දොරවල් අහිමිවෙලාද, මිය ගිහිල්ලද? ඒ සහෝදර ජනතාව වෙනුවෙන්, අපේ රටේ නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ කීයෙන් කී දෙනාද තමන්ගේ පෞද්ගලික ධනයෙන් දායක වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේ විතරක් නොවේ, මීට පෙර මෙවැනි අභාග්‍යසම්පන්න කාලවලදීත්, කීයෙන් කී දෙනාද තමන්ගේ පෞද්ගලික ධනය අල්ප මාත්‍රව හෝ ඒ සදහා ලබා දුන්නේ? ඔවුන් වැඩිදෙනෙක් සෑම විටම කරේ කොළඔ හෝ තදාසන්න නගරයක කැට හොල්ලපු එක විතරයි නේද?එකටවත් මේ ක්‍රීඩකයෝ කියන කොට්ඨාශය නම් සම්බන්ධවූ වගක් අහන්න ලැබුනෙත් කලාතුරකින්.

අපේ රටේ සිද්ධවෙච්ච බිහිසුනුම ව්‍යවසනය වෙච්ච සුනාමි වෙලාවෙදීත් කලාකරුවෝ මෙහෙම කැට හොල්ලල, ජනතාවගෙන්ම සල්ලි එකතු කරන එක ගැන, ‍අපේ රටේ මෑත කාලෙදී බිහිවුන බොහොම නිවුන සම්භාව්‍ය ගීත ගයන, අද ලොකු තනතුරක් දරන ගායකයෙක්ගෙන් ඇහුවාම “ඔබ කැට වලට එකතු කර ගන්නෙත් මේ රටේ මිනිස්සුගෙම සල්ලි නේද? කියල, එවිට ඔහු කීවේ “ඊට වඩා මොනව අපි කරන්නද කියල?” මම කියන්නේ නැහැ ඔවුන් තමන්ගේ දක්‍ෂකමින් බොහොම කැපවෙලා ඒ අය ගොඩනගා ගත්ත ප්‍රතිරූපයෙන් හම්බකරන හැම සතයක්ම පෙරලා නැවත අපේ රටේ මිනිස්සුන් දෙන්න කියල. හැබැයි ඔවුන් අද ඉන්න තත්වයට ඔසවා තබන්නෙ උර දූන්නෙත් අපේ රටේ මිනිස්සු කියන එක අමතක කරන්න හොද නැති නිසා, සුළුවෙන් හෝ කැට හොල්ලනවට වඩා යමක් කරන්න පුළුවන් නේද?

ඒ වගේම තමයි අපේ ක්‍රීඩකයොත් සුනාමි අනතුරට පස්සේ විශාල Publicity ක් එක්ක මොන මොනවද ව්‍යෘපෘතිවගයක් පටන්ගත්ත නේද? මොනවද කියල දැන්නම් මතකයකුත් නැහැ. කොහොමවුනත් ඒවා නියම විදියට අවසන්කරල, අදාල පාර්ශව වෙත ඒවා භාරදුන්නාද?

H.R.ජෝතිපාල, විජය කුමාරතුංග වගේ ගායකයෝ සහ නළුවෝ අදටත් මිනිස්සුනගේ මතකයේ නොනැසී පවතින්නේ ඔවුන්ගේ ගායන හෝ රංගන කෞෂල්‍යය නිසාම නොවේ. ඔවුන් තුල තිබුන මනුස්සකම නිසයි. ඒක නිසා තමයි තවමත් ඔවුන් ගැන ලියවෙද්දි, කියවෙද්දි රටේ හිටිය පොඩිම මිනිහ එක්කත් ඔවුන් තුල තිබුන බැදීම ගැනත් ඕනෑ තරම් උදාහරන එලියට එන්නේ. මෑතක එහෙම හිටිය හොද මනුස්සයෙක් තමයි ගුණදාස කපුගේ. ඇත්තෙන්ම ඒවගේ ඉදිරියට එන කලාකරුවන්ට උදව් උපකාර කරපු, ඕනම මනුස්‍සයෙකුට ලගට ගිහිල්ල කතා කරන්න පුළුවන් කෙනෙක් අකාලයේ මියැදුන එක ගැන නම් සෑහෙන ශෝකයක් හිතට දැනෙනවා. ඒ‍වගේම තමයි අපේ රටේ අවර ගණයේ ගායකයෙක් කියල හංවඩු ගහපු ජිප්සීස් නායක සුනිල් පෙරේරත් තමන් උපයන ධනයෙන් කොටසක් සමාජ සේවයේ යොදවන බව ඔහු රහසක් විදියට තමයි ති‍යාගෙන ඉන්නෙ. ඒක එලිවුනෙත් ඔහු සහභාගීවෙච්ච රූපවාහිනී වැඩ සටහනකදී. නමුත් අපේ රටේ වැඩි දෙනෙක් ඔහුගේ ගීත වලට හෝ ඔහුට දොස් කියනව මිසක් ඔහුකරන සද්කාර්යය ගැන හොයල බලල ප්‍රශංසා කරනවද?

ඒවගේම තමයි විදේශ නළු නිළියෝ බොහෝ දෙනෙක් තමන් උපයන ධනය හෝ තමන්ගේ නිපුනත්වය නොමිලේ ලබාදීල බොහෝ සමාජ සේවා කටයුතු වලට දායක වන එක ප්‍රසිද්ධ කාරණයක්. ඒත් අපේ රටේ වැඩි දෙනෙක් ඔවුන්ගේ චරිතය හෝ කල්කිරියාව ගැන සමච්චල් කරනව මිසක් අර පුද්ගලයකරන පැසසිය යුතු කරුණ ගැන කතා කරනවද?

Australia Cricket team එකේ හිටපු නායක Steve War තරඟ වලට ලංකාවට ආවහම තමන්ගේ බෑග් එක උස්සන දුප්පත් මනුස්සයට ගේකුත් හදල දීල, පස්සේ ලංකාවට එන හැම අවස්ථාවෙම ඒ ගෙදරට ගිහිල්ල අර මනුස්සයගේ තොරතුරු විමසපු එක ඔය අය සමහරු දන්නවත් ඇති. ඒවගේම ඔහු ඉන්දියවේ කල්කටාවේ අනාථ දරුව්න් රැසකගේ කැපකරු පියා ලෙසත් දායක වෙලා තියෙනවා. අපේ මිනිස්සු ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කාරයොන්ට වෛර කරනව මිසක් පිටියෙන් පිටදී ඔවුන් කරන හොද දේවල් ගැන කතා කරනවද? ඔවුන් ක්‍රිකට් පිටියෙදි නම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරනව තමයි. හැබැයි පිටතදී නම් බොහොම මිත්‍රශීලි බව තමයි කියන්නේ. ඔවුන්ගේ ආක්‍රමණශීලී බව ඔවුන්ගේ ලේ තුලම තියෙනව ඇති. මොකද ඕස්ට්‍රේලියාවේ මුලින්ම පදිංචිකරල තියෙනබව කියන්නේ එංගලන්තේ හිටපු හිරකාරයොයි, පිටුවහල් කරපු අයයි කියලනේ.

අවසානයේදී කියන්නේ මම මේ කාටවත් ‍මඩක් හෝ හිත් රිදවීමක් කරා නෙවේ. අපේ රටේ දැනුත් මිනිස්සුන්ට උදව්කරන, මුල මතක තියෙන මුලින් කියපු නළුවෝ, ගායකයෝ සහ ක්‍රීඩකයෝ සිටිනවා. නමුත් එසේ නොකරන පිරිසකුත් සිටින බව නම් කණගාටුවෙන්වුනත් කියන්න සිද්දවෙනවා.