-->

Tuesday, October 11, 2016

පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්...

කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින් පැවතුනා. බ්‍රිතාන්‍ය සිය පළමු Dreadnought කාණ්ඩයේ පළමු යුද නෞකාව වු HMS Dreadnought නෞකාව 1906 දී දියත් කළ කාලයේ පටන් ජර්මනියද නාවුක යුද බලය වර්ධනය කර ගනිමින් පැවතුනා. කෙසේවෙතත් යුද්ධයේ මුල් කාලයේ ගොඩබිම මිස මුහුදේ යුද ගැටුම් සිදු නොවූ අතර බ්‍රිතාන්‍යයට උවමණා වූයේ මුහුද මාර්ගයන් නිදහසේ තබා ගනිමින් සිය රටට උපද්‍රවයකින් තොරව භාණ්ඩ සැපයුම් ලබාගැනීමත් ජර්මනියට භාණ්ඩ හා සැපයුම් ලැබීම අවහිර කිරීමත්ය. එහෙත් ජර්මනියද එයින් යටපත් කිරීමකට ලක් කළ නොහැකි වූ අතර U-Boat නම් සබ්මැරීන, ජර්මනියේ ප්‍රධානතම නාවික ප්‍රහාරකයා විය. (මෙම රූප මත Click කර විශාලනය කර ගන්න)


ජර්මනිය යුද්ධය පිළිබදව ධෛර්යය වැඩවීමට මෙන්ම ප්‍රචාරයටච සිය U-Boat පිළිබදව තොරතුරු මහජනතාව අතරට පත්වීමට කටයුතු කළ අතර U-Boat සබ්මැරීන හි සේවය කිරීම හිතෙන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. නිසිලෙස වාතාශ්‍රය හුවමාරුවට හැකියාවක් නොවීම, එන්ජින් වලින් නිකුත් වූ තාපය මෙන්ම ශ්වනයට අපහසු දුර්ගන්ධයන් සේම ඉතා සීමිත කාලයකට පමණක් මුහුදු මතුපිටට පැමිණීමට අවස්ථාව ලැබී තිබීම නාවිකයන් විදි අපහසුතාවයන්ය. මුහුද මතුපිටට පැමිණිම සීමා කර තිබුනේ අහසේ පියාසර කරණ ගුවන් යානයකට ඇස ගැටුනොත් එයින්ද ප්‍රහාර එල්ලවීමට හෝ අසල යුද නෞකාවකට සතුරු සබ්මැරීනය පිළිබදව ඔත්තු සැපයීම සිදුවිය හැකි නිසාය.

මුහුදේ ගිලී පමණක් නොව මුහුද මතුපිට සිටද සතුරු නෞකාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් මෙම U-Boat සතුවිය. ඒ විතරක් නොව ඔවුන් මිතුරු පාර්ශවයේ හෝ කිසිදු පාර්ශවයක් නොගත් රටවල වෙළඳ හෝ යුද නැව් 5,554 ක් ගිල්වා තිබෙනවා. කෙසේවෙතත් ජර්මානු  U-Boat 372 ක් පළමු ලෝක යුද්ධයේදී මුහුද යටින් ගොස් සතුරන් වෙත ප්‍රහාර එල්ල කර තිබෙන අතර එයින් 178 ක් පමණක් විනාශ කිරීමට මිතුරු හමුදා බෝම්බ හෙලීමෙන් හෝ ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීමෙන් සමත්ව තිබේ.

ලෝකයේ පළමුවරට Aircraft Carriers නැව් කරලියට පැමිණියේද මහා යුද්ධයේදීය. HMS Furious එම පළමු නෞකාව ලෙස සැලකේ.


එවකට ලෝකයේ බල සම්පන්නම හා විශාලතම නෞකා බලඇණිය හිමිවී තිබුනේ මහ බ්‍රිතාන්‍යයටයි. එය කොතරම් විශාලද කිවහොත් ඊලඟට විශාලතම නාවිකා හමුදා හිමි රාජ්‍ය දෙකේම නාවික බලයේ එකතුවට සමාන වන තරම් විය. එහෙත් පළමු ලෝක යුද්ධයේදී ගොඩබිම හමුදා කළ මෙහෙයතරම් මෙහෙයක් මෙම දැවැන්ත නාවික හමුදාවෙන් ඉටුනොවූ බව යුද් විශ්ලේෂකයන්ගේ මතයයි. බොහෝවිට මෙම නාවික හමුදා ජර්මානු නාවික හමුදා සමග සොය සොයා සටන් කොට මුහුදේ බලය අත්පත් කරගන්නවාට වඩා තම වෙළඳ නෞකාවලට නිදහසේ එමේ අත යාමේ පහසුකම පමණක් සැලසූ බවටද මතයක් තිබේ.

ගලිපොලී යුද්ධය, පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් අතර ප්‍රමුඛයි. මේ පිළිබදව මෙම ලිපි පෙලේ පළමුවැන්නේදී පැවසූ නිසා මෙහිදී සුළු විස්තරයක් සමග එයට අදාල සේයාරූ කිහිපයක්ම පළ කරමි. මෙහිදී මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිතුරු හමුදා මෙම යුද මෙහෙයුමේදී දුර්වල තුර්කි ප්‍රහාරයක් බලාපොරොත්තු වුවද ජර්මනිය විසින් කල්තියාම තුර්කි හමුදා හොදින් සන්නද්ධ කර යුද උපක්‍රමද උගන්වා තිබුනි. තවද ජර්මානු සොල්දාදු සහයද ලැබී තිබුනහ.
(පළමු ලිපිය - https://sathsamudura.blogspot.com/2015/08/blog-post.html)

සතුරු මිතුරු දෙපාර්ශවයටම ප්‍රතිවිරුද්ධ වෙඩි උණ්ඩයට අමතරව මැස්සන් ආදී සතුන් මගින් ව්‍යාප්තවන රෝග සහ තවත් බොහෝ බොවන රෝගාධියන් සිදුවූ පීඩාද අධිකය. මල සිරුරු කඩිනමින් ඉවත් කිරීමට නොහැකිවීමද ලෙඩරෝග ව්‍යාප්තවීමට හේතුවක් විය.

ගලිපොලී යුද්ධයේදී තුර්කියේ ප්‍රභලතම අණදෙන නිලධාරියෙකු වූවේ Mustafa Kemal Atatürk වූ අතර මීට පෙර ලිපියකදීද ඔහු පිළිබදව පවසන ලදි. 1923 දී තුර්කියේ ජනාධිපතිධූරයටද පත් වූ ඔහු පසුව තුර්කියේ පියා ලෙස පවා සැලකීමට තරම් ඉහළ ගෞරවයට ලක්වූ තැනැත්තෙකි.

පළමු ලෝක යුද්ධයේදී හා ඒ සමගම සිදුවූ ගලිපොලි යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යට ලොකු සහයක් දැක්වූ හමුදා කණ්ඩායම් දෙකකි. ඒ ඔස්ට්‍රේලියානු හා නවසිලන්ත හමුදා. මෙම රටවල් දෙකම විශාල සොල්දාදුවන් පිරිසක් ඔවුන්ගේ රටවල ජනගහනයට සාපේක‍‍්ෂව අහිමිකර ගත්හ. එවකට ඕසට්‍රේලියාවේ ජනගහනය මිලියන පහකි. ඔවුන්ට 60,000 ක සොල්දාදුවන් පිරිසක්ද, නවසීලන්තයේ මිලියනයක ජනගහනයෙන් 17,000 ක් අහිමිවූහ. 

මෙම 77,000 ක සොල්දුදුවන් අතරින් 11,100 ක ඔස්ට්‍රේලියා-නවසීලන්ත සොල්දාදුවන් මියගියේ ගලිපොලි යුද්ධයේදීය. ඒ අතරින් පටු වෙරළ තීරයක් වූ ANZAC හිදී මෙම හමුදා ද්විත්වයට අපේක්‍ෂා නොකළ පරාජයකටද මුහුනදී විශාල පිරිසක් අහිමිකර ගැනීමටද සිදුවිය.




මෙම ගලිපොලී යුද්ධය තමන් දිනන යුද්ධයකට වඩා විදවන, පරදින යුද්ධයක් බව වටහා ගත් මිතුරු පාර්ශවය සිය කැමැත්තෙන්ම හමුදා ඉවත්කර ගැනීමට 1915 දෙසැ. 7 වෙනිදා තීරණය කළහ.

වර්ඩන් යුද ගැටුම පිළිබදවත් මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වන්නෙමි.

වර්ඩන් යනු ප්‍රංශයේ නගරයක් වන අතර එය හොදින් ආරක්‍ෂිත, ජර්මන් දේශසීමාවට ආසන්නයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැගිලි ආදියෙන්ද සමන්විත වූ නගරයකි. 1916 පෙබ. 21 වෙනිදා ජර්මනියෙන් එල්ල වූ දැවැන්ත ප්‍රහාරයකින් නගරය ජර්මන් හමුදා අතට පත්වූයේ ප්‍රංශ බලකොටු රැසක්ද ප්‍රංශ හමුදාවටන් අහිමිකරමිනි. ඒ අතරින් ආරක්‍ෂිත විධිවිධාන රැසකින් සමන්විත ප්‍රමුඛතම බලකොටුවක් වූ Douaumont ද අහිමි වූ දේපළ අතරවිය.

මෙහිදි පැය අටක් පුරා එකදිගට එල්ල වූ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර ප්‍රංශ ප්‍රතිරෝදය අභිබවමින් ජර්මන් හමුදාවන්ට මෙම නගරය ප්‍රමඛ මර්මස්ථාන අත්පත් කරගැනීමට සහයක් විය.

එහෙත් ග්‍රීස්ම ඍතුව වන විට නැවතත් ප්‍රංශ හමුදා, ජර්මන්  හමුදාවන් පසුපසට තල්ලු කරලීමට සමත්ව සිටි අතර එම වසරේ දෙසැම්බර් වනවිට ජර්මානු හමුදා ආක්‍රමණයට පෙර සිටි ස්ථානයටම එලවා දැමීමට ප්‍රංශ හමුදා සමත්ව සිටියහ. මෙම ගැටුම් දෙපාර්ශවයටම රිදෙන්නම ප්‍රතිඵල ගෙන දී තිබු අතර ප්‍රංශ හමුදා අතරින්, මියගොස් හෝ තුවාල ලබා හෝ අතුරුදන්ව සිටි සංඛ්‍යාව 400, 000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබූ අතර ජර්මන් හමුදාවන්ගේද මියගොස් හෝ තුවාල ලබා හෝ අතුරුදන්ව සිටි සංඛ්‍යාව 336, 831 ක් පමණ වෙතැයි සැලකුනි.

හමුදා සහ අනෙකුත් ජීවිත අහිමි වීම් වලට අමතරව ඉතිහාසමය අතින් වැදගත්වූ මෙම නගරයේ පෞරානික ගොඩනැගිලි බොහෝමයක් ප්‍රහාර වලට නතු වීමෙන් හෝ ගිනි ගැනීමෙන් විනාශයට ලක්වීම අපරාධයකි.

කඳුකර පෙදෙසක්ද වූ Verdun කාලතුවක්කු ප්‍රහාර, ඇදැ වැටෙන වැස්ස නිසා ඇතැම් විට බොහෝ ප්‍රදේශ මඩගොහොරුවක්ව පැවතුනි. තැන්තැන්වල කුණුවන මලසිරුරු, බාගෙට වැලලුන මලසිරුරුද සුලභ දසුනක් විය.

තවත් මෙම යුද්ධයට සම්බන්ධ ලිපියක් කඩිනමින්ම...

(අද පළ කළ අනෙක් ලිපිය -

සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්...

8 comments:

  1. ලංකාවට වඩා ටිකක් ලොකු බ්‍රිතාන්‍යය මෙච්චර බලවත් වුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දේශපාලන ප්‍රතිසංස්කරණ, කාර්මික විප්ලවය, අළුතින් සිතන්නට එම දේවල් ක්‍රියාවේ නංවන්නට ඇති බිය නැතිකම, ආකල්පමය අතින් ඇති වර්ධනය, ලිබරල් චින්තනය, සිදුවූ වැරදි පිළිබද අධ්‍යයනය හා එම වැරදි නිවැරදි කර ගැනීමට ක්‍රියාකිරීම (ඇතැම්විට ප්‍රසිද්ධියේ නොවූවත් රහසිගතව හෝ), ආගමික වශයෙන් ඇති බාධාවල අවමවීම යනාදී කරුණු රැසක් ඇත.

      Delete
  2. ඔස්ට්‍රේලියානු හා නවසිලන්තයට තවමත් බ්‍රිතාන්‍ය පත් කර එවන ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා නේ.

    "වර්ඩන් යුද්ධය"පොඩි යුද්ධයක් නෙමේයි වගේ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ විතරක් නෙමයි කැනඩාව, බටහිර ඉන්දීය කොදෙව් වගේ රටවල් රැසක් තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ සිටින්නේ. මෙන්න ඒ සියල්ලම https://en.wikipedia.org/wiki/Commonwealth_realm

      ඔව් වර්ඩන් විතරක් නෙමෙයි සෝම් වගේ ස්ථානවල යුද්ධත් අතිවිශාලයි. මේ වගේ යුද්ධ ගණනාවක් තිබෙනවා...

      Delete
  3. බොහොම හොඳ විස්තරයක්. සංග්‍රාමික තොරතුරු කවදත් පාඨක අවධානය දිනාගන්නවා.

    ඔබේ බ්ලොග් අඩවියේ තොරතුරු ලියන තීරයේ පළල වැඩි කලොත් හොඳ නැද්ද? එතකොට මේ පින්තූර මීටවඩා විශාලව පෙනෙනවා. නැවත ක්ලික් කර බලන්න අවශ්‍ය නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔබලාට එම ආකාරය පහසුනම් එලෙස සකසන්නම්...

      Delete
  4. අගනා විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ තේමාවේ ඊලඟ ලිපියත් ඉක්මනින්ම දැකගැනීමට ලැබේවි...

      Delete