-->

Thursday, October 6, 2016

මේ පින්තූර ඔබට කම්පනය, ත්‍රාසය, කුතුහලය, සහ ශෝකය මෙන්ම සතුටද ගෙනදෙනු ඇතැයි සිතමි...

කාලෙකට පස්සේ කැමතිම තේමාවක් වන කතාකරන රූප ටිකක් ගෙන එන්නට සිතුනා.

මේ හාදයෝ සතුටින් ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි වසර ගණනක් ජපාන හමුදා අත්අඩංගුවේ සිට නිදහස ලබපුනිසයි. දෙවන ලෝක යුද සමයේදී සිංගප්පූරුවේ ජපාන හමුදා ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ මෙම ඕස්ට්‍රේලියානු සෙබළුන්ට උණු තේ කෝප්පයක් සමග පත්තරේ කියවමින් සැහැල්ලුවෙන් ඉන්නට ලැබීම දිව්‍යලෝකේ ගියා හා සමාන වෙන්නට ඇති.


ළමයින් කියන්නේ හිස් කොලයක් වැනියි. එම හිස් කොලය විවිදාකාරයේ දේ වලින් පුරවාලිය හැකියි. ළමයින් අත්විදින්නාවූ හොද මෙන්ම නරකද ඔවුන්ගේ ජීවිතය පුරාවටම ඔවුන්ට මෙන්ම සමාජයටද බලපෑම් ඇතිකරනු ඇත. මේ දෙවන ලෝක යුද සමයේ වදකඳවුරක සිය ළමාවිය ගෙවූ දැරියක් සිය නිවස පිළිබදව චිත්‍රයක් අදින්නට දුන් විට ඇද තිබූ ආකාරයයි. ඇය කුඩා වියේදී අත්විදි කටුක නිරස අත්දැකීම් නිවස පිළිබදව ඇති චිත්‍රයෙන් සවිස්තරවම පෙන්නුම් නොකරන්නේද?


ලක්‍ෂ ගණනකට මරණය අත කර දුන් අවුස්විට්ස් කඳවුරේ පාලකවරයා වූ රුඩොල්ෆ් හොස් හට නඩු විභාගය අවසානයේ එල්ලා මැරීමට ගිය විටදී අවසාන මොහොතේදීද තමන් පවා මරණයට බිය බව සහ තප්පරයකින් හෝ මරණය පමා කරගැනීමට දරන උත්සාහයයි මේ.


යාන්ත්‍රික වාහන මහමඟ අරක් ගෙන අණසක පතුරුවන්නට පෙර අශ්වයන්ට හිමිව තිබුනේ සුවේශේෂී ස්ථානයක්. චිරාත්කාලයක් පුරා අශ්වාරෝහක හමුදාවන්ටද ලැබී තිබුනේ ප්‍රමුඛස්ථානයක් බව චතුරංගනී සේනාවන් ගැන පැවසීමේදීද සදහන් වූ බව මතක් කරමි. නිකම්ම පාරේ දුවන අශ්වයන් නොව ශීඝ්‍ර බෑවුම් සහිත කදු වලද යාමට ඒමට අශ්වයන් පුහුණු කරන ලද පළමු වරට දුටුවේ මෙම සේයාරුවෙනි.


පළමු ලෝක යුද්ධය ගැන සෑහෙන්න දේවල් දැනටමත් අපි කතා කර අවසන්. මේ එම යුද්ධයේදී මිතුරු පාර්ශවය, ජර්මනියට එදිරිව භාවිතා කළ කාලතුවක්කු උණ්ඩ වල කොපු වලින් බොහෝම පොඩ්ඩක් පමණි.


යුද්ධ ටැංකි ගැන එතරම්ම දැනීමක් නොතිබුන 1914 තරම් ඈත කාලයේ අලින්ගේ පිට මත සවි කළ මැෂින් තුවක්කුවලටද හොද තැනක් තිබෙන්නට ඇති යයි සිතමි.

මේ කරන දේ රූපයේම පැහැදිලිවම කියා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයත් තරුණ තරුණියන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ ආකාරයට තවත් නිදසුනක්.

දෙවන ලෝක යුද්ධය හා ඉන් පෙර ජපාන හමුදාවන්ගේ ක්‍රියාකාරකම් බොහෝ විවේචනාත්මක මෙන්ම කෲරත්වය පිළිබදවද සාක්‍ෂි එමටයි. මේ 1937 තරම් කාලයේ ඔවුන් චීනයේ සිදුකළ රසායණික ප්‍රහාරක් අතරතුරයි.
.
මේ බයිසන් ගවයන්ගේ හිස්කබල් වලින් සැදි කන්දකි. කෙතරම් ප්‍රමාණයක් 1870 තරම් ඈත කාලයේ මරාදමන්නට ඇත්දැයි මෙම පින්තූරයත් හොද සාක්‍ෂියක්.

දැන් එතරම් සමීපබවක් නොවුනත් 50/60/70 වගේ දශක වල සෝවියට්-කියුබා මිත්‍රත්වය ප්‍රසිද්ධ කාරණයක් 1963 දී ක්‍රෙම්ලිනයේදී සෝවියට් පාලක නිකිතා කෲෂේව් හමුවන්නට ගිය ෆිදෙල් කස්ත්‍රෝ සුරුට්ටුවක් පත්තු කරගෙනම කතාවට සූදානම් වන ආකාරයයි.

30 දශකයේ ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අවපාතය පිළිබදව නිදසුනකි.

බෝම්බ පිපිරීම් කියන්නේ මීට වසර 7 කට විතර ඉස්සර අපේ රටෙත් දිනපතාවම වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම්. දැන් නිමාවට පත්ව ඇතත් 70 දශකය වගේ කාලයේ මහා බ්‍රිතාන්‍ය පුරාවටත් උතුරු අයර්ලන්ත ගරිල්ලාවන්ගේ බෝම්බ වල නිරස රස විදීමට සිදුවූ බව ඉතිහාසය පිළිබදව දත්තෝ දනිති. මේ සොල්දාදුවාත් එසේ ඇටවූ බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්නට යන අවස්ථාවේ ඔහුට සමහර විට එම දුර හැතැක්ම වලින්ම දැනෙන්නට වුනාදැයි ඔහුගෙන්ම තමා අසා දැනගන්නට වෙන්නේ.


ඇමරිකාවේ තිබූ සුදු කළු වර්ගවාදය කෙතරම්ම පිළිකුල්ද කියන එන මේ පින්තූරයෙනුත් පෙනෙනවා. එරට හෝටලයක කළමනාකාරවරයා මේ පිහිණුම් තටාකයට දමන්නේ ඇසිඩ් වර්ගයක්. ඒ වතුර පිරිසිදු කරන්න නෙමෙයි. තටාකයේ කළු ජාතිකයන් බැස සිටින නිසා ඔවුන්ට අනතුරුදායක් වෙන්න තමයි මේ ම්ලේච්ඡ සහගත ක්‍රියාව සිදුකරන්නේ. සිද්ධිය වෙලා තිබෙන්නේ 1964 දී.


සුද්දෝ- සුද්දෝ අතරත් පංති භේදය සෑහෙන්න ඉස්සර තිබුනා. දෙවන ලෝක යුද්ධයෙන් බැටකාලා හෙම්බත් වන්නට පෙර අැති හැකි ළමයි සහ නැති බැරි පීඩිත පන්තියේ ළමයින් අතර වෙනසත් කොහොමද?

"කරන කළ පව් මීරිය මී සේ
  විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" - 
දහස් ගණනක්, ලක්‍ෂ ගණනක් සමූහ වදකාගාර සිර කඳවුරු වලට රැගෙන යාමට වද දීමට, ගෑස් චේම්බර කරා රැගෙන යාමට මෙතැන සිටිනා ජර්මන් සොල්දාදුවන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සම්බන්ධ වෙන්නට ඇති. ඇතැම් විට අකමැත්තෙන් වුවත් ඉහළ නිලධාරීන්ගේ අණ පිළි පැදීමට ඔවුන් බැදී සිටින නිසා එසේ කළා වුවත් ඒ පිළිබදව යුද්ධයෙන් අනතුරුව ඔවුන්ටම පෙන්වද්දී ලැජ්ජාවට හෝ තමන් දැන හෝ නොදැන කළ පව්කාර ක්‍රියාවන් පිළිබදව ඔවුන් කණගාටුවී ඇත්තේ මෙලෙසින්.


විදුලි සැර වැදී මරුවා අසලටම ගිය සිය සඟයා කෙසේ හෝ බේරා ගැනීමට ප්‍රයත්න දරන විදුලි කාර්මිකයෙකු අනතුරට පත් වූ සඟයාට කෘත්‍රීම ශ්වසනය ලබා දෙන සංවේදී අවස්ථාවකි.

රටරටවල ක්‍රියාත්මක කළ මරණ දඩුවම් පිළිබදව කලකට පෙරම සත් සමුදුරේදී කතා කළා. මේ අවසන් වතාවට ප්‍රසිද්ධියේ ගිලටීන් මරණ දඬුවම ප්‍රංශයේ ක්‍රියාත්මක කල අවස්ථාවයි.

බර්ලිනය යුද්ධයෙන් පසුව.

ජනපති කෙනඩි මහතා ගැන හෝ ඔහුගේ ඝාතනය ගැන තවදුරටත් කතා කළ යුතු නැහැ. ඒ පිළිබදව සවිස්තරවම ලියුවා. මේ ඔහුගේ සිරුර සහිත දෙන මහජන ගෞරවයට තබා ඇති අවස්ථාවේ ඉහළ සිට ගත් සේයාරුවකි.


හොකී ක්‍රීඩාවට හරි හැටි ආරක්‍ෂිත මෙවලම් නොමැති කාලයේ.

මේ කුඩාවට පෙට්ටියක රැගෙන යන්නේ කෑම පාර්සලයක් නොවේ. දහස් ගණනකට මරු කැදවූ, සදාකාලික රෝගීන් බවට පත් කළ, අනාගත පරපුරද ලෙඩුන් බවට පත්කළ නාගසාකී පරමාණු බෝම්බයේ ප්ලූටෝනියම් අන්තරගත කොටසයි.


යුද්ධය නිමාවට පත්වීමෙන් පසු කටකපලා සෙනඟ ඇදගෙන එන නැවකි.

ස්ටාලින් පාළනෙය් යකඩ හස්තය නිසාම  සෝවියට් ජනතාව ජර්මන් ආක්‍රමණය දුටුවේ දෙව්ලොවින් පැමිණි ආශිර්වාදයක් ලෙසටයි. ඔවුන් ඒ තරම්ම ජර්මානුවන් දෙවන ලෝක යුද්ධයේදී තම රට අක්‍රමණය සතුටින් වැලද ගත්තා. ඒත් ඉතා ස්වල්ප කාලයකින් අනුකම්පා විරහිත ලෙස සෝවියට් ජනතාව දැඩි මර්ධනයකට ලක්කරන්නට ජර්මන් පාළනය ක්‍රියාකරන විට "දන්න යකා නොදන්න යකාට වඩා හොදයි" කියනවා ඇරෙන්න දෙයක් සෝවියට් මිනිසුන්ට ඉතිරව තිබුනේ නැහැ. ඒත් ඇතැම් සාමන්‍ය ජර්මන් සොල්දාදුවන් තුල තිබූ මානුෂිකත්වය ඉස්මතුවූ අවස්ථා නැතුව නොවේ. ඕනෑම යුද්ධයක මෙවන් අවස්ථා දෙපාර්ශවය තුලින්ම හමු වෙනවා. මේ ජර්මන් සොල්දාදුවත් තමන්ගේ කෑමවේල දරුවන් සිටින සෝවියට් මවක් සමග බෙදා ගන්නා දසුනක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.


ප්‍රංශයේ වීචි රජය බන්දේසියක තබා තම රටේ කොටස්, ජර්මනියට භාර දුන්නත් එයට එකඟ නොවූ පිරිස් සෑහෙන්න ප්‍රමාණයක් එරට සිටියා. එවන් පිරිස් එක්වූ සංවිධානයක් French Resistance ලෙස එවකට හැදින්වූ අතර ඔවුන් ගරිල්ල මෙහෙයුම් දියත් කරමින් ජර්මනියට හිතුමතේ නිදහසේ පාළන කටයුතු කරගෙන යාමේ අවස්ථාව ඇහිරීමට හැකි සෑම උත්සායක් දැරුවා. හැබැයි ඉතින් මේ සාමාජිකයන් ජර්මන් හමුදාවට අහු වුනොත් අත්වන ඉරණම අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. මේ එම සංවිධානයේ සාමාජිකයෙක් ජර්මන් හමුදාවට අහු වූ පසු වෙඩිතබා  ඝාතනය කරන්නට ඔන්න මෙන් අවස්ථාවයි. කෙසේවෙතත් මරණය තව මොහොතකින් නියත වුවත් ජර්මන් හමුදා සමච්චලයට ලක්කරන්නට හා තමන් කැපවූ ව්‍යාපාරය පිළිබදව මරණය ආසන්න මොහොතේත් තමන් සතුටු වන බව දැන්වීමට සිනාසෙමින් තමයි මේ වෙඩි උණ්ඩ වලට මුහුණ දීමට ඔහු සැරසී සිටින්නේ. https://en.wikipedia.org/wiki/French_Resistance


සතුරන්ගේ දේපල අත්පත් කරගත්විට ඇතැම්විට සිදුවන දෙයකි මෙය. දෙවන ලෝක යුදධයේදී බර්ලිනය සෝවියට් හමුදා පාළනයට නතුවූ පසුව ජර්මන් පාර්ලිමේන්තු බිත්ති වල මේ ලියා තිබෙන්නේ ශිෂ්ඨ දේවල්මදැවි නොදනමි.


පැහැදිලි සිංහලෙන්ම කියනවා මේ කරන්නේ අන්තිම කැත වැඩක්. පළමු ලෝක යුද්ධයේදී ආර්මේනියානුවන්ට තුර්කි රජය සහ හමුදාව සැලකූ ආකාරය එම යුද්ධය පිළිබදව ලියන ලද ලිපි වලදී ඔබට කියුවා. මේත් එයටම සම්බන්ධ දෙයක් සාගතයෙන් පීඩිතවූ ආර්මේනියන් පිරිසකට මේ තුර්කි ජාතිකයා තමන් අතේ තිබෙන කෑම පෙන්වමින් අගය කරන අවස්ථාවකි.

මේ මාඕරි ගෝත්‍රික ජනතා පිරිසක්. ඔවුන් සිය පැරණි යුද නැටුම අද පවා ඔවුන් ක්‍රීඩාවේ නියළුනත් වෙනත් ප්‍රසිද්ධ කාර්යයක නියලීමට ප්‍රථමයෙනුත් සංකේතාත්මකව දක්වනවා. ඉස්සර නම් ඔවුන් යුද්ධ වලදී සතුරාට යම් අධෛර්යයක් ගෙන දීමටත් මෙම නැටුම් භාවිතා කරන්නට ඇති. මේ යුද සෙබළුන් යම් අවස්ථාවක සංකේතාත්මකව සිය යුද නැටුම පෙන්වන අවස්ථාවකි. 
https://en.wikipedia.org/wiki/M%C4%81ori_people


වෙඩි නොවදින කබා සොයා ගත්ත කාලේ ඒවා අත්හදා බලා තිබෙන්නේ මෙහෙමයි.

හිසට එල්ල වූ වෙඩි පහරින් වාසනාවන්තව ගැලවුන බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්.

ජර්මන් හමුදා ස්ටාලින්ග්‍රාඩ්, ලෙනින් ග්‍රාඩ් වගේ නගර ආක්‍රමණය කරන්න එනකොට එය නවත්වන්නට සෝවියට් පිරිමි යුද බිමට ගියාම ගෑනු තමයි කර්මාන්ත ශාලා වල වැඩට වගේම යුද අවි නිෂ්පාදන කර්මාන්ත ශාලාවලත් වැඩට ගියේ. ළමයි පවා ඒ වගේ කාර්යයන්ට හවුල් වුනා. මේ ඒ වගේ අවස්ථාවක්.


වියට්නාම් යුද්ධය බොහෝවිට ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා ජීවතුන් අතර සිටියානම් නොවෙන්නටත් ඉඩතිබූ බව ඒ මහතා පිළිබදව ලියූ ලිපි වලදීත් සදහන් කළා. ඊට පසුව පැමිණි ලින්ඩන් බී ජොන්සන්, හමුදාවේ ඉහළ ලොක්කන්, CIA ආදි බොහෝ කොටස් වලට අවශ්‍ය වූ යුද්ධය පහළම සොල්දාදුවාට අවශ්‍ය වුනේ නැහැ. පිරිස් හානිය සහ භෞතිකමය දේවල් අතින් වැඩි හානිය වුනේ වියට්නාමයටයි. එහෙත් ලෝකයේ එවකට සුපිරිම බලවතෙකු සමග කිසි පසුබෑමකින් තොරව සටන් කිරීම මේ යුද්ධයේ ගෞරවය ඔවුන්ට හිමිකරදීමට එක් හේතුවක් වුනා. කෙසේනමුත් වියට්නාම් යුද්ධයට ඇමරිකාව තුලින්ම ආ විරෝදයත් විශාලයි. සාමාන්‍ය  බදු ගෙවන ජනාතව, යුද්ධයට සම්බන්ධ වූ සොල්දාදුවන්ගේ ඥාතීන් වගේම යුද්ධයේ නිරතව සිට තුවාල ලබා හෝ වෙනයම් කාරණයක් නිසා පසුව එයින් ඉවත් වූ හමුදා සාමාජිකයනුත් යුද්ධයට විරුද්ධව පැවැත්වූ විරෝදතාවයකි මෙය.

ගිනිකන්දක් පුපුරන වෙලාවක!?*

ඇමරිකාවේ පිහිටි සුවිශාල හුවර් වේල්ල ජලයෙන් පිරවීමට ප්‍රථම.https://en.wikipedia.org/wiki/Hoover_Dam

දෙවන එලිසබෙත් මහ රැජින සිය පුතා වන චාර්ල් කොළුගැටයා හා දියණිය වන ඈන් කෙල්ල සමග වාහනයක් යමින්.

තමන් මරන්නට පැමිණි සාහසිකයා සමග මෙසේ සල්ලාපයේ යෙදීමට තරම් සංයමයක්, කරුණාවක් ඇත්තේ ලෝකයේ ඉතාම අල්ප දෙනෙකුට පමණක්ම විය යුතුය. මෙයද එවන් අවස්ථාවකි. දෙවන පෝල් පාප් වහන්සේට 1983 දෙසැ. 27 වනදා මෙම සාහසිකයාගේ වෙඩි පහර එල්ලවුනත් යන්තම් තුවාල ලැබීමක් පමණක් සිදුව මරණයෙන් ගැලවීමට උන්වහන්සේට හැකිවුනා. කෙසේවෙතත් කතෝලිකයන්ගේ ජීවමාන දෙවියන් සේ සමාන උන්වහන්සේ ක්‍රියාවෙන්ම අසල්වැසියට ප්‍රේම කරණ බවට සාක්‍ෂියක් මෙම පින්තූරය. උන්වහන්සේ කතාබහ කරමින් සිටින්නේ තමන්ව වෙඩි තබා ඝාතන කරන්නට පැමිණි මිනිසා සමගයි.


මේ සිටින්නේ ඉතල් සහ ජූලියස් රෝසන්බර්ග් යුවලගේ පුත්‍රයන් දෙදෙනා. වයස දහය සහ හය වූ මෙම සොහොයුරන් දෙදෙනා බලන පුවත්පතේ පළමු පිටුවේ තිබෙන ප්‍රධාන පුවතින් කියන කාරණය ඔවුන් දෙදෙනාගේ ජීවිතයට ඍජුවම බලපාන දෙයක්. ඒ තමයි ඊට පසු දිනයේ මරණ දඬුවම හිමි වීමට තිබෙන්නේ ඔවුන්ගේ මව සහ පියාටයි. එයට හේතුව තමයි රෝසන්බර්ග් යුවල ඇමරිකානුවන් වූවත් ඔවුන් සෝවියට් දේශයට ඔත්තු සැපයීම. ඉතා රහස්‍යමය කාරණා මුදලට සැපයූ බවට මෙම යුවලට චෝදනා එල්ල වූ අතර එයින් ප්‍රධානම කාරණයක් නම් ඇමරිකානු න්‍යෂ්ඨික අවි සහ එම කටයුතු පිළිබදව තොරතුරු හොර රහසේ සෝවියට් දේශයට ලබා දීම. මේ නිසා ඇමරිකාව න්‍යෂ්ඨික බලය අත්පත් කරගෙන කෙටි කලකින්ම සෝවියට් දේශයද න්‍යෂ්ඨික බලවතෙකු බටව පත්වීමට ප්‍රභල ආධාරයක් වූ බවට සැලකෙනවා. 1953 ජූනි 19 වනදා විදුලි පුටුවේ හිඳුවා අධි බල විදුලිසැර සිරුර හරහා යෑමට සැලැස්වීමෙන් මෙම දෙදෙනාටම මරණ දඬුවම ලබා දුන් අතර එසේ මිය යන සිට දෙදෙනාම පසුවූයේ වයස තිස් ගණන් වලයි. 


බෝට්ටු ආ යුතු වැල්ලට ආ කාර්.

නූතන වහල්බාවය පිළිබදව සුළු හෝඩුවාවක් පමණි.


අද පළ කළ අනෙක් ලිපිය - ගෙදර ඉබ්බා හදන්නේ මෙහෙමයි

4 comments:

  1. බොහොම අගේ ඇති පින්තුර පෙළක්.නොදත් බොහෝ දේද දැනගත්තා.මේ සමහර පින්තුරත් ඒ කතාත් බලන,කියවන විට දැනුනු දෙයක් තමයි ලෝකය මිට සියවසකට පෙර තිබුනාට වඩා අද "මානුෂිකත්වයෙන්,සදාචාරයෙන්"දියුණු බව.අර පළවෙනි පින්තුරයේ ඉන්න ඕස්ට්‍රේලියානු සෙබළුන්ගේ ශරීර දිහා දැක්කම හිතා ගන්න පුළුවන් ජපනුන්ගේ සැලකීම කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් එදාට වඩා අද ජීවත්වන්නට ලැබීමමත් වාසනාවක්. පළමු ලෝක යුද්ධය හා ඉන් අනතුරුව දෙවන ලෝක යුද්ධය මිනිසුන් විසින් මිනිසුන් පිළිබදව මනුස්සකමෙන් සිතන්නට පොළඹ වනු ලැබුවා. ඒ වෙනුවෙනුන් එදා මිනිසුන්ට කරනනට සිදු වූ කැප කිරීම මෙතැකැයි කියන්න බැහැ. ජපන් හමුදාවේ ක්‍රියාකාරකම් ගැන අන්තර්ජාලය පිරික්සුවොත් සොයාගැනීමට හැකියි.

      Delete
  2. අගේ ඇති පින්තූර පෙළක්.

    අර බුලට් පෘප් ඇඳුම චෙක් කරන්න ඔයිට වැඩිය හොඳ ක්‍රමයක් තිබුණෙ නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මනුස්ස ජීවිතයට ලැබුන වටිනාකම තමයි ඔය...

      Delete