විසිවන සියවසේ මුල් කාලය වන විට අළුයට ගිනිමෙන් යුරෝපයේ විවිද රාජ්‍යයන්ගේ අර්බුද, බලලෝභීත්වය, අනෙකා පරයමින් තමන් මුදුනාවෙන්නට තිබූ ඕනෑකමක් යනාදී බළුපොරයට එක්වීමට ඇමරිකානුවන්ට නොතිබුනි. ඔවුන්ගේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වෙමින් අනුන්ගෙන් යැපීමෙ අවශ්‍යතාවයක් නොතිබූ අතර 1914 වන විට ජනගහනයද 100,000,000 සීමාව ඉක්මවා තිබුනි. ඇමරිකානුවන් 1914 දී කිසිවකුගේ පැත්තක් ගෙන නොසිටි අතර බහුතර ඇමරිකානුවන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු වලට අමතර විනෝදාංශය වී තිබුනේ ඒ වන විටත් ජනප්‍රියතම පානයක් වූ කොකාකෝලා පානය, මෝටර් රථ භාවිතය හා බේස්බෝල් තරඟ නැරඹීමෙන් ලද විනෝදයයි.
එහෙත් ඇමරිකානුවන් මිත්‍රපාර්ශවයට අවශ්‍ය උපකරණ සැපයීමේ නිරතව සිටියහ. ඒ අතරින් වාහන ප්‍රමුඛ විය. තවද ඇතැම් ඇමරිකානුවන් යුද්ධයට පක්‍ෂපාතීත්වයක් දැක්වීය. විශේෂයෙන් එරට හිටපු ජනපති තියඩෝර් රුස්වෙල්ට් ගේ අදහස වූයේ මෙම යුද්ධයට ඇමරිකාවද සම්බන්ධවිය යුතු බවයි. 1915 මැයි 07 වෙනිදා ඇමරිකාවේ සුඛෝපභෝගී මගී ප්‍රවාහණ නෞකාවක් ලෙස සැලකෙන ලුසිතේනියා නෞකාව ජර්මන් සබ්මැරීන විසින් ගිල්වා දැමීමෙන් පසුව මෙම යුද්ධයට ඇමරිකාවු එක්වී ජර්මනියට පාඩමක් ඉගැන්විය යුතු මතය ක්‍රමයෙන් තීවුරවන්නට වූහ. මෙම පහරදීමෙන් 1200 ක පමණ මිනිසුන් මිය ගියහ. එයින් 120 කට වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන්ය. එහෙත් එපමණකින් මෙම විනාශකාරී යුද්ධයට සම්බන්ධවීමට ඇමරිකානු එවකට රජයට උවමණාවක් නොවීය. 1916 දී එවකට ඇමරිකානු ජනපති වුඩ්රෝ විල්සන් නැවතත් මැතිවරණයෙන් පත්වූ අතර ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වූයේද යුද්ධයට ඇමරිකාව සම්බන්ධ නොවේය යන්නයි. තවද ඔහුගේ මූලික ප්‍රයන්තනයක් වූයේද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිකොට යුද්ධය නිමාවට පත්කිරීමයි.
මෙතරම් ඉවසීමක් ඇමරිකාව පළ කර තිබියදීත් ජනපති වුඩ්රෝ විල්සන් නැවත පත්ව තුන්මසක් ඇතුලත ජර්මනිය දියත් කළ තවතවත් හිතුවක්කාර ක්‍රියාදාමයන් ඇමරිකාව සිය සංයමයෙන් යුතු ස්වභාවය වෙනස් වීමකට භාජනය කිරීමට හේතුවිය. 1917 ජනවාරියේදී ජර්මනිය තමන්ගේ සබ්මැරීන් වලට, යම් නෞකාවක් මොනම ආකාරයේ සැපයුමක් බ්‍රිතාන්‍යයට හෝ ප්‍රංශයට රැගෙන යත්නම් එයට පහරදීමේ අවසරය එම සබ්මැරීන් වල අණදෙන්නන්ට ලබාදුන්හ (Unrestricted Submarine Warfare). ප්‍රධාන වශයෙන් මෙම රටවල් වලට යුද උපකරණ පමණක් නොව වෙනත් සාමන්‍ය සැපයුම්ද කරන ඇමරිකානු වෙළඳ නෞකාවලට පහර දීම ජර්මනියේ අරමුණ විය. මෙම සබ්මැරීන කිසිම අනතුරු ඇගවීමක් නොමැතිව නිහඬවම පහරදීම සිදු කළහ. මෙයින් ඔවුන් නාවුක යුද ධර්මතාවන්ද උල්ලංඝනය කරන ලදි. මෙම තත්ත්වය 1800 මුල් වකවානුවෙන් පසු උල්ලංඝනය වූ පළමු අවස්ථාවද විය. සති කිහිපයක්ය තුල පමණක් ඇමරිකානු නෞකා 4 ක් මුහුදේ ගිල්වීමට ඔවුන් පසුබට නොවූහ.
තවත් ජර්මානුවන් පිරිසක් ඇමරිකාවේ දොරකඩටම යුද්ධය රැගෙන ආහ. ඔවුන් රහසිගතවම මෙක්සිකානු රජයට දන්වා සිටියේ තමන්ට සහය දුනහොත් ටෙක්සාස් සහ නිරිතදිග ඇමරිකානු භූමිය මෙක්සිකෝවට ලබා ගැනීමට ආධාර කරන බවයි. මෙය ජර්මනිය විසින් විදුලි පණිවිඩයක් ලෙස මෙක්සිකෝවේ අගනගරය වන මෙක්සිකෝ සිටි වෙත යවන ලද අතර මෙම රහස් පණිවිඩිය බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට ලැබී ඔවුන් විසින් ඇමරිකානු රජයට දැනුම් දෙන ලදි.
1917 අප්‍රේල් 06 දා ඇමරිකානු රජය නිල වශයෙන් ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි. විනාශකාරී සහ නිමක් නොපෙණෙන තුන්වසරක යුද්ධයෙන් හෙම්බන්ව සිටි බ්‍රිතාන්‍යට හා ප්‍රංශයට මෙය දිව්‍යලෝකයෙන් ආ පණිවිඩයක් වැනි විය. මිතුරු හමුදා මේ වන විට සොල්දාදුවන්ගෙන්, ආහාරවලින් සහ සෑමදෙයකින්ම හිඟයකට ලක්ව සිටියහ. මේ නිසා ඇමරිකානු මැදිහත්වීම ඔවුන්ගේ ධෛර්යය වැඩි වීමටත් ප්‍රීතිඝෝෂා කිරීමටත් හේතුවිය. යැන්කින්ගේ පැමිණීමත් සමග යුද්ධයේ රළ වෙනස් වනු ඇතැයි යුරෝපයේ මිතුරු බලවතුන්ගේ විශ්වාසය විය. ඇමරිකාව හෙමිහෙමින් Million Man American Expeditionary Force නම් වූ, මහා යුද්ධයට යන සේනාව ගොඩනගන්නට වූහ. මේ අනුව මිලියන දෙකක ඇමරිකානු සොල්දාදුවන් ලෝකය පුරා මෙහෙයුම් දියත් කරන්නට නියමිත විය. මේ තරම් ප්‍රමාණයක් එතෙක් ඇමරිකානු හමුදා සංග්‍රාමයන් සදහා සම්බන්ධ වී නොසිටියහ. මෙම සේනාංක හැදින්වූ American Expeditionary Force යන්න කෙටියෙන් A.E.F ලෙසට නිලවශයෙනුත් ජනමාධ්‍ය Daugh Boys ලෙස හැදින්වූ අතර Daugh Boys ලෙස හැදින්වීමට හේතුවූ කාරණය කිසිවකු නොදත්හ. එහෙත් එයට විවිද සිද්ධාන්ත ඉදිරිපත් විය.
ඇතැම් ඉතිහාසඥයන් පළමු ලෝක යුද්ධය තුල ඇමරිකානු දායකත්වය මිතුරු පාර්ශවයේ අනෙක් රටවල දායකත්වයට වඩා අඩු වටිනාකමක් දෙන අවස්ථාද තිබේ. එයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ යුද්ධයේ අවසාන වසරට ආසන්නය වනතෙක් ඔවුන්ගේ දායකත්වය පමා වූ බැවිනි. කෙසේවෙතත් 1917 අවසාන වනවිට ඇමරිකානු මැරීන් සෙබළුන් පිරිසක් සහ පළමු පාබල හමුදාවේ සේනාංක කිහිපයක් පමණක් මිතුරු පාර්ශවයේ සෙබළුන් සමග ජර්මනිය ප්‍රමුඛ අක්‍ෂ බලවතුන්ට එරෙහිව සටන් වැදුනහ. එහෙත් මෙය ඇමරිකාවට මෙම යුද්ධය වෙනුවෙන් යෙදිය හැකි සම්පූර්ණ ශක්තිය නොවූහ. ඉක්බිතිව එළඹි වසන්ත ඍතුවේදී මහා පරිමාණ යුද මෙහෙයුම් සදහා A.E.F සේනාංකයන්ගේ මැදිහත්වීම කැපී පෙණුනි. කෙසේවෙතත් මිතුරු-අක්‍ෂ දෙපාර්ශවයේ කවුරු ජයගත්තත් යුද අගල් වල මඩ ගොහොරුවේ දෙපිළම එරී සිටියහ. අැමරිකාව වසරක පමණ කාලයක් මෙම මහා යුද්ධයේ නිරතව සිටියද ලද හානිය සුළුවෙන් තැකිය නොහැකිය. දළ වශයෙන් 50,000 ක සොල්දාදුවන් යුද්ධය වන අවස්ථාවේ මිය ගිය අතර 200,000 කට වැඩි පිරිසක් තුවාල ලදහ. තවත් අය ඉන්ෆලුවෙන්සා වැනි වසංගතයන්ට ගොදුරු වූහ. සමස්ථයක් ලෙස යුද්ධය වන අවස්ථාවේද? තුවාල ලබා පසුව සහ රෝගාබාද ලක් වීමෙන් 120,000 ක පමණ ඇමරිකානුවන මිය ගියහ.
දෙවන ලෝක යුද්ධය තිබූ සමස්ථ කාලය පුරාවටම ඇමරිකානුවන් 300,000 ක පමණ පිරිසක් මිය ගිය අතර එයට සාපේක‍්ෂව මෙම යුද්ධයේ ඇමරිකානුන් වසරක් පුරා මිය ගිය ගණන සැලකූ විට දෙවන ලෝක යුද්ධයට සාපේක‍්‍ෂව ශීඝ්‍ර මරණ සංඛ්‍යාවකි. එය ඇමරිකානු සිවිල් යුද්ධයේ සිදුවූ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍රතාවයට යම් සමාන බවක් ගත්තකි. සිව් වසරක සිවිල් යුද්ධය අවස්ථාවේදී මිලියනයකට අධික ඇමරිකානුවන් දෙපාර්ශවයේ මිය ගොස් තිබුනි. කෙසේවෙතත් වසරක පමණ කෙටිකාලයක් ඇමරිකාව මහා යුද්ධයේ හවුල්කාරයන් වුවද වර්ථමානයටම දිග්ගැස්සෙන සමාජ වෙනස්කම් ඇති කරන්නට සමත්විය. චිත්‍ර, සංගීතය, සාහිත්‍ය, විවිද ජාතීන් වර්ග අතර සහයෝගය සහ සබඳතාවයන්, කාන්තා අයිතිවාසිකම් වල ඇති වූ වෙනස්කම්, භාෂාවේ නව එකතුවීම්, එදිනෙදා ජීවිතයේ අදහස් පළකිරීම් යනාදී කාරණා රැසක මුල මෙම යුද්ධයෙන් ජනිතවූහ.
මහා යුද්ධය ඇමරිකානු මිනිසුන් රැසක් වීරයන් බවට පත්කිරීමටද හේතුවිය. ඇමරිකාව පළමු ලෝක යුද්ධයට නිල වශයෙන් එක් වීමට පෙරාතුවම, යුද්ධයේ මූලාරම්භයේ පටන් ස්වේච්ඡාවෙන් ඇමරිකානුවන් රැසක් බහුල ලෙස ප්‍රංශ හමුදාවත් සමග එක්ව යුද්ධයට සම්බන්ධව සිටියහ. ඇතමෙක් ගිලන් රථ සේවයේද, තවත් පිරිසක් ඉදිරි ආරක්‍ෂක වළලු වලද යුද වදිමින් සිටියහ. එක්කෙනෙක් දෙන්නෙක් නොව දහස් ගණනක් මෙසේ යුද්ධයට ඈදී සිටියහ. තවත් ඇමරිකානු විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබමින් සිටි හා අධ්‍යාපනය නිම කර නික්මුණ සිසූහු ප්‍රංශ හමුදා ප්‍රමඛ මිතුරු පාර්ශවය විදින ගැහැට සිය පෑන හසුරුවමින් අැමරිකානු පුවත්පත් වලට ලිපි ලියා, ඇමරිකානු ජනතාව දැනුවත් කළ අතර හාවඩ් ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සිසූහු මෙම කර්තවයට අත ගසා ඇමරිකානු චින්තනය යුද්ධයට තමන්ගේ දායකත්වය සැපයිය යුතුය යන තැනට ගෙන යමින් සිටියහ. මෙම සියල්ලන්ම හාවඩ් සිසුන් නොවුනද පොදුවේ ඔවුන්ව හැදින්වූයේ Harvard Volunteers ලෙසයි. ලිපි පමණක් නොව කාව්‍ය පවා මේ වෙනුවෙන් නිර්මාණ කළ අය වූහ.
Alan Zeeger එසේ කාව්‍ය ලියූ ස්වේච්ඡා හාවර්ඩ් ක්‍රියාදරයෙකි. සිය උපාධියෙන් අනතුරුව 1910 දී පමණ ප්‍රංශයේ හා යුරෝපයේ කළ සංචාරයන් වල අත්දැකීම සිය කාව්‍යයන්ට ඔහු යොදා ගත්හ. පෑනෙන් පමණක් නොව යුද්ධයේ මූලාරම්භයේදීම ප්‍රංශ හමුදාවන්ගේ සයහ පිණිස සොල්දාදුවෙකු ලෙසද යුද්ධයට එක්වීය. යුද්ධයට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ බොහොදෙනෙක් ගුවන් භටයන් ලෙස යම් පහසු ජීවිතයකට උරුමකම් කී සොල්දාදුවන් ලෙස එක්වීමට වඩාත් නැඹුරු වූවත් Alan Zeeger, දුක්වීදීමට සිදුවන බව දැනදැනම එක්වූයේ පාබල හමුදා සමගය. යුද වදින අතරතුරුත් ඇමරිකානු පුවත්පත් වලට සහ සිය මවට තමන් සහ සිය සඟයන් විඳිනා අත්දැකීම් ඔහු ලියා එවීය. එහෙත් 1916 දී යුද අගල් වල දුක්විදිමින් කළ බිහිසුනු සටනකදී ඔහු මිය ගිය අතර ප්‍රංශ රජය ඔහුට ගරු සම්මානයෙන් පිදීමටද අමතක කළේ නැත.
Francis.P.Duffy නාමයද මතක් කළ යුතුය. අවි දැරූ සොල්දාදුවෙකු ලෙස නොව කතෝලික දේවගැතිවරයෙකු ලෙස, ඇමරිකාවට සංක්‍රමණකි අයර්ලන්ත ජාතිකයන්ගෙන් සැදුම්ලත් හමුදාවේ සේවය කරමින් කළ සේවයද ඇමරිකානුවන් ගෞරවයෙන් ආවර්ජනය කරනු ලබයි. මෙම දේවගැතිවරයා දාර්ශණිකයෙකු හා ලේඛකයෙකු ලෙසද කටයුතු කළ අයෙකු නිසා පසුකාලීනවද මෙම යුද්ධයේ බියකරුබව ඔහුගේ ලේඛණවලින් ලෝකයටම දැනගන්නට හැකියාවද ලැබුනි.
Francis.P.Duffy ප්‍රතිමාව |
අද සමාජය එතරම් නොදන්නා නමුත් colonel William J Donovan නමත් ඇමරිකානු හමුදා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි. "Willed Bill" යන අන්වර්ථනාමයෙන්ද හැදින්වුන ඔහු ඉහළ නිළධාරියෙකු වුවද සාමන්‍ය සොල්දාදුවන්ට පිටපසින් සිට නොව සොල්දාදුවන් සමග ඉදිරියෙන්ම සිට ස්නයිපර් උණ්ඩයට නොබියව තදබල ලෙස යුද වැදුන සෙන්පතියෙකි. එක්වරක් සිය දනහිසට වෙඩි වැදුන විටකද ඒ ගැන නොසිතා යුද වැදුන බව දේවගැති ඩෆීගේ වාර්තාවල සදහන්ය.
පළමු ලෝක යුද්ධයේ මලවුන් අතරට යාමට "වාසනාවක්" නොතිබූ ඩොනවන් නැවත් ඇමරිකාවට පැමිණි පසු ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට්ගේ දේශපාලන ව්‍යාපාරයන් තුල කැපීපෙනන මෙහෙවරක් ඉටුකළ අතර ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් ධවල මන්දීරයට පැමිණි පසු ජනපතිවරයාගේ පෞද්ගලික් ඔත්තුකරුවා ලෙසද කටයුතු කළේය. Pearl Harbor ප්‍රහාරයෙන් පසුව Officer Strategic Services නම්වූ රහස් ඔත්තුසේවය බිහිකිරීමටද මූලික වූයේද William J Donovan ය. පසුව CIA ලෙස තවදුරටත් සංවිධානාත්මක ආයතනයක් බවට පත්වූයේද Officer Strategic Services ආයතනයයි.
ජනරාල් John J. Pershing |
මේ ආකාරයේ ඇමරිකානු යුද ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය නොවන එහෙත් වඩාත් කැපවීමෙන් සිය කාර්යය වෙනුවෙන් කැපවුන සොල්දාදුවන් රැසක් ගැන පළමු ලෝක යුද්ධය ගැඹුරෙන් හැදෑරීමෙන් සොයාගත හැකිය. දෙවන ලෝක යුද්ධය සහ ඉන් පසුකාලීනව ඇමරිකානු හමුදා වර්ණවත් කළ නිළධාරීන් රැසක් මෙම යුද්ධයේදී ජ්‍යෙෂ්ඨ නිලයන් හෝ කනිෂ්ඨ නිලයන් දැරීය. ඊට පෙර AEF සේනාංකයන් සදහා අණ දුන් නිලධාරියා ගැන අමතකවුවහොත් එය මේ ලිපියේ අඩුපාඩුවකි. ඇමරිකානු හමුදාවන්හි සේවයේ නියුතු හෝ නියතුව සිටි සොල්දාදුවෙකුට ලැබිය හැකි ඉහළම නිලය වන General of the Armies නම් නිලය සිය සේවාකාලය අතුරතුරදීම ලැබීමට භාග්‍යය තිබූ ජනරාල් John J. Pershing එම නිලධාරීයාය. තරු හයක ජනරාල් නිලයක් වන මෙය දරන ඇමරිකානුවන් දෙදෙනෙකු පමණක් වන අතර එම අනෙක් නිලධාරියා වෙනකෙකු නොව ඇමරිකාවේ පළමු ජනපතිවරයෙකු වූද හමුදාවේ ඔහු ජීවත්ව සිටියදී පැවති ඉහළම නිලය වන තරු තුනක ජනරාල් නිලයක් වන ලුතිනන් ජනරාල් තනතුරද හෙබවූ ජෝර්ජ් වොෂින්ටන්ය. එහෙත් ඔහුට එම නිලය ජීවත්ව සිටියදී ලැබීමේ භාග්‍ය අහිමිවූ අතර ඔහුට එම නිලය ලැබූනේ 1976 තරම් මෑතකදීය.
ජනරාල් John J. Pershing ගේ පළමු ලෝක යුද්ධයේ යුද නායකත්වය පිළිබදව එතරම් පැහැදීමකින් විචරකයන් කතානොකරන අතර ඔහුගේ ඇතැම් තීරණ හේතුවෙන් පළමු ලෝක යුද්ධයේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත අහිමිවීම් සහා තුවාලවීම් වැඩිවීමට හේතුවූ බවටද මතයක් තිබේ. කෙසේවෙතත් ඇමරිකානු හමුදා ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් හිමි මේ නිලධාරියා පිළිබදව පසුව සවිස්තරව කතාකිරීමට බලාපොරොත්තුවෙමි.
මෙම ලිපියේ එක් ස්ථානයකද පැවසූ පරිදි ජනරාල් John J. Pershing ගේ නායකත්වය යටතේ පළමු ලෝක යුද්ධයේ විවිද නිලයන් දරමින් යුද මෙහෙයවූ, සටන් කළ නිලධාරීන් රැසක්ම ඉන් වසර කිහිපයකට පසු එළඹී යුද්ධ කිහිපයකම ප්‍රමුඛ පෙළේ කාර්යයභාරයක් කළ වූවන් වූ අතර George Marshall, Dwight D. Eisenhower, Omar Bradley, George S. Patton, සහ Douglas MacArthur ඒ අතරින් කිහිප දෙනෙකු පමණි.
කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සීමා කර තිබූ එම අවධියේ පළමු ලෝක යුද්ධයේදී ඇමරිකාව වෙනුවෙන් සේවය කළ කළු ජාතිකයන් විශාල ප්‍රමාණයක්ද වූහ. සටන් වදින යුද සෙබළුන් ලෙසද සේවය කළද වඩාත්ම ඔවුන් යෙදවූයේ සුදු ජාතික සෙබළුන්ගේ සහායක සේවා සදහාය. තවත් අතකින් ජනරාල් John J. Pershing පවා ඔවුන් සොල්දුවන් ලෙස සැලකීමට මැලිවූ අතර ඔවුන්ට අවශ්‍ය නම් ප්‍රංශ හමුදා සමග එක්ව යුද වැදීමේ අවසරයද ලබාදී තිබුනි. නම් ගම් වශයෙන් ප්‍රචලිත වීමක් නොවුනද හම කළු නීග්‍රෝ සෙබළුන්ද සිය ජීවිතය, අවයව සහ සිය තරුණවිය අවධානමේ තබමින් සහ අහිමිකරගනිමින් කළ සේවයද ඇගයීම අත්‍යාවශයය. ඔවුන් ඇතැම් විට සුදු සෙබළුන් හා සමානවම වීරක්‍රියාවන්හි නිරතවූවද ඔවුන්ගේ උපතින් ලැබූ හමේ කළුබව දස්කම් අභිබවා, තවදුරටත් කොන්කළ මිනිසුන්බවට පත්කිරීමට කුරිරු වී තිබුනි.
යුද්ධය නිසි නිමාවකින් තොරව නිමාවූ අතර තවදුරටත් මෙවන් යුද්ධය නැවතත් ඇතිවීම වැලකීමට වුඩ්රෝ විල්සන් ජනපතිවරයා සෑහෙන්න උත්සාහයක් ගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දී බිහිවීමට පෙරාතුව ජාතීන්ගේ සංවිධානය නම් වූ සංවිධානය බිහි කිරීමටද විල්සන් ජනපතිවරයා පුරෝගාමියෙකු විය.
වුඩ්රෝ ජනපතිවරයා කෙතෙක් උත්සහ දැරූවද ඔහුගේ වෑයමට නිසි ප්‍රතිඵල හැමඅතිකින්ම නොලැඹූන අතර ඔහු රට පුරා යමින් විවිද වගකිවයුත්තන් දැනුවත් කරමින් ඇමරිකාවට මෙවන් සංවිධානයක දැරිය යුතු වගකීම පැහැදිලි කළද සිය රටින්ම බලාපොරොත්තු වූ තරම් සහයක් නොලැබීම ජාතින්ගේ සංවිධානය එතරම් බලසම්පන්න සංවිධානයක් නොවීමට බලපෑවේය. එය එසේ නොවුනි නම් දෙවන ලෝක යුද්ධය ඇතිවීමට ප්‍රථම විවිද රටවල් තවත් රටවල් ආක්‍රමණය වීම වැලකීමටත් මුසලෝනි - හිට්ලර් වැනි ෆැසිස්ට්වාදීන්ට හිතුමතේ සිය න්‍යායන් මත පිහිටා ක්‍රියාකිරීමේ අවස්ථාව අඩුවීමට ඉඩතිබුනි. එසේවුනිනම් පළමු ලෝක යුද්ධයටත් වඩා බිහිසුනු දෙවන ලෝක යුද්ධය ඇතිවීමේ අවකාශ අඩුවීම හෝ හානිය අඩුකරගැනීමේ අවස්ථාව ලැබෙන්නට තිබුනි. කෙසේවෙතත් පළමු ලෝක යුද්ධයෙන් පසුව එයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ රටවල් සියල්ලටම පාහේ යුද්ධයෙන් සිදුවූ අලාභය, හානිය, සදාකාලික රෝගීන්, රැකියාවිරහිත වූවන්ගේ ගැටළු යනාදී ගැටළු විසදීමේ බර පැටවී තිබුනි.
අමතක වූ කරුණක් සදහන් කරමි - මේ ලිපිය ලියන්න පාදක කර ගත්තේ World War I- American Legacy නම් වූ වීඩියෝවයි. මෙය අවශ්‍ය නම් Youtube හරහා නැරඹිය හැකිය.
godak honda, godak wadagath thorathuru samuhayak. godak sthuthiyi saho...
ReplyDeleteස්තූතියි!
Deleteඅපුරු ලිපියක්.අහක හිටපු ඇමරිකාව යුද්ධයට ඇදගැනීමෙන් ජර්මනිය කරගත්තේ ලොකු වරදක් වෙන්න ඇති.
ReplyDeleteදේවෙනි ලෝක යුද්ධෙත් වුනේ ඔහොමමයි නේද ? යුද්ධෙට නැතුව පැත්තක හිටපු ඇමෙරිකාවේ පර්ල් වරායට ගහලා නේද ඉල්ලන් කෑවේ...
ReplyDelete@මනෝජ් සහ සෙන්නා - ඔව් මේ යුද්ධ දෙකේදීම පැත්තක හිටිය ඇමරිකානුවන් ඍජුවම යුද්ධයට දායක කර ගත්තේ ජර්මනිය සහ ජපානයයි. එහි අන්තිම ප්‍රතිඵලය වූයේ ලෝකයටම බලපෑම කරන සුපිරි බලවතෙක් බිහිවීමයි.
Delete/ ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් ධවල මන්දීරයට පැමිණි පසු ජනපතිවරයාගේ පෞද්ගලික් ඔත්තුකරුවා ලෙසද කටයුතු කළේය. /
ReplyDeleteමෙතන මේ පෞද්ගලික ඔත්තුකරුවා කියන්නෙ මොකක්ද දිනේෂ්? මට එතන පැහැදිලි නැහැ. ඉංග්‍රීසියෙන් කොහොමද තිබ්බෙ?
Personal Spy. බොහෝවිට ජනපතිවරයාට ඍජුවම රහස්, ඔත්තු යනාදිය සොයා බලා වාර්තා කිරීම වෙන්න ඇති. මොහු ඒ ඔත්තු සොය සොය යනවා වෙනුවට ඔහු යටතේ වෙනම කණ්ඩායමක් සිටින්න ඇති.
Delete