Monday, October 24, 2016

පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්...

අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය පිළිබදව කතාකරන්නේ අඩුවෙන්දැයි එක් වෙලාවකට සිතේ. 

පළමු ලෝක යුද්ධයදී රුසියාව හා පසුව 1916 අගෝස්තුවේදී රුමේනියාවද නැගෙනහිර යුද පෙරමුණෙන් රුසියාවට සහයට එක්වූ අතර පළමු ලෝක යුද්ධයේදී රුසියාවේ පමණක් මිලියනයක පමණ මිනිසුන් ප්‍රමාණයක් මරුමුවටත්, මිලියනයක පමණ ජනතාවක්, සිරභාරයටත් පත්වූහ. රුසියානුවන්ට මෙය වෙනමම යුද්ධයක් වූයේය. ඔවුන් මෙය පීතෘ භූමියේ දෙවන යුද්ධය ("Second Fatherland War")ලෙසටත්, තවත් වරෙක දෙවන දේශමාමක යුද්ධය ("Second Patriotic War")ලෙසටත් හැදින්වූහ. (මෙම සංඛ්‍යා දත්තයන් එක් ඒක් මූලාශ්‍රවල පරස්පරයන් තිබෙන අතර නැගෙනහිර යුද පෙරමුණේ නිශ්චිතවම කොපමණ සංඛ්‍යාවක් මියගියාදැයි නිවැරදි දත්ත නොමැති බවක්ද පැවසේ),



මිතුරු පාර්ශවයේ ප්‍රධාන යුද වදින්නන් වූ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයට අමතරව ඔවුන්ගේ යටත්විජිතවලින්ද පැමිණි හමුදාවන් වූයේය. තවද යුද්ධයේ අවසාන භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයද ඔවුන්ගේ සහයට පැමිණි අතර රුසියාවත් දෙවනුව ඔවුන්ගේ සහයට පැමිණි රුමේනියාවත් පමණක් ඔස්ට්‍රෝ-හංගේරියන් අධිරාජ්‍යය, ජර්මන් අධිරාජ්‍යය, බල්ගේරියාව හා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය යන සියල්ල සමග උතුරින් බෝල්ටික් මුහුදත්, දකුනින් කළු මුහුදත්, නැගෙනහිර යුරෝපයේ වැඩි භූමි ප්‍රමාණයක් සහ මධ්‍යම යුරෝපයේදීද බොහෝදුරකට වන්නට යුද වැදුනහ. ඒ අතින් ගත්කල වැඩියෙන්ම කතා කරනා බටහිර යුද පෙරමුණට ඇතුලත් වූයේ ප්‍රංශයේ සහ බෙල්ජියම යන භූමියන්ගේ යුද වැදීම පමණකි. 

යුද්ධය ආරම්භ වූ මුල් මාස කිහිපයේදී එවකට රුසියන් අධිරාජ්‍ය හමුදාව ලෙස හැදින්වූ රුසියානුව හමුදාව ජර්මනියේ එක් ප්‍රාන්ත රාජ්‍යයක් වූ ප්‍රසියාවේ නැගෙනහි ප්‍රසියාව ආක්‍රමණයට කිහිපවිටකම උත්සහ දැරූ අතර ඔස්ට්‍රියාවේ නගරයක් වන ගැලිසියාව යටත් කර ගැනීමට සමත්විය. එහෙත් ජර්මන් හමුදාවේ නැගෙනහිර යුද පෙරමුණ භාරව සිටි සුප්‍රකට ජර්මන් ෆීල්ඩ්මාර්ෂල්වරයා වූ පෝල් වොන් හින්ඩන්බර්ග් සහ ඔහුගේ කණිටු නිලධාරී ජනරාල් එරික් ලුඩෙන්ඩෝර්ෆ් ගේ යුද සැලසුම් සහ උපක්‍රම නිසා අවසාන වශයෙන් සිදුකළ ටැනන්බර්ග් යුද්ධයේදී රුසියාවට අතිදැවැන්ත හානියක් සිදුවිය.



මෙහිදී 13,873 ක ජර්මානු සොල්දාදුවන් පිරිසක් මරුමුවට පත්ව හෝ තුවාල ලබද්දී, 78,000 ත පමණ රුසියානු සොල්දාදුවන් මරුමුවට පත්ව හෝ තුවාල ලැබූහ. එපමණක් නොව 92,000 ක පමණ රුසියානු සොල්දාදුවන් පිරිසක් යුද සිරකරුවන් ලෙස සිරභාරයට ගැනීමටද ජර්මන් හමුදා සමත්වූහ. තවද රුසියානු පළමු හමුදාවේ විශාල ප්‍රමාණයක් හානියට පත්වූ අතර දෙවන හමුදාව සහමුලින්ම වාගේ මෙම යුද්ධයේදී (ටෙනන්බර්ග් යුද්ධය - https://en.wikipedia.org/wiki/Battle_of_Tannenberg) විනාශ වූ බව පැවසේ. එම රුසියානු දෙවන හමුදාව භාරව සිටි ජනරාල් Aleksandr Vassilievich Samsonov  තම හමුදාව ලැබූ විනාශය හමුවේ සියදිවි නසාගත් බවද පැවසිය යුතුය.


තවද මෙම පරාජයන් හමුවේ රුසියානු හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ Grand Duke Nicholas සේවයෙන් ඉවත් කර තමන්ම රුසියානු හමුදාවන්ට අණදීමේ රාජකාරිය එදා රුසියානු රජු වූ දෙවන නිකලස් සාර් රජු විසින් භාරගත්හ. මෙම සේවයෙන් ඉවත් කළ Grand Duke Nicholas, රජුගේ මාමා කෙනෙකුද විය.

ජර්මන් සහයද සහිතව ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාව, රුසියානු හමුදා කාපෙන්තියන් කඳුවැටි ප්‍රදේශයෙන්ද පළවා හැරීමට ඉමහත් වෑයමක් දරමින් සිටියහ. ජර්මන් සහය හැරුන කොට ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාවට රුසියානු හමුදා සමග තනිව ගැටීමට තරම් ශක්තියක් නොවීය. ශීතල දේශගුණය ඇති අවස්ථාවේ යුද ගැටුමකට අවශ්‍ය මෙවලම් වල හිඟය, නොපුහුණු හමුදා පිරිස් යනාදිය නිසා ඔස්ට්‍රෝ-හන්ගේරියන් භූමියේ සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව අත්පත් කරගෙන සිටියේය. 1915 මාර්තු 22 දා අවසාන ප්‍රභලම බලකොටුව වූ Przemsyl ද තමන් සතු කරගන්නට රුසියාව සමත්ව සිටියේය. ඔස්ට්‍රෝ-හන්ගේරියන් සොල්දාදුවන් 800,000 ක් පමණ මෙම යුද්ධ වලදී ඔවුනට අහිමිව සිටියෝය.


කෙසේවෙතත් රුසියාවේ මේ ප්‍රහාර මාලාව පාලනය කරගැනීමට ජර්මනිය, ඔස්ට්‍රෝ-හන්ගේරියාව ආරක්‍ෂා කිරීමට යුද බිමට පිවිසීමත් සමග හැකියාව ලැබී තිබුනි. 1915 මැයි 10 වන විට මෙම යුද බිමේ වාසිය ජර්මනිය වෙත නතුකරගනිමින් රුසියානුවන් පසුබස්සනටත්, රුසියානු හමුදා සොල්දාදුවන් 140,000 ක පමණ පිරිසක් යුද සිරකරුවන් ලෙස අල්ලා ගැනීමටත් සමත්ව තිබුනි. තවද ජුනි මාසයේ අගහරිය වන විට අත්පත්කරගෙන සිට ගලිසියාවෙන් පවා ඉවත්වීමට රුසියානුවන්ට සිදුව තිබුනි. 

ජර්මනිය හා ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුද වැදීම මෙන්ම රුසියන් හමුදා ඔටෝමන් තුර්කින්ට එරෙහිවද යුද වැදුනහ. තුර්කිය කාලයක පුරා "යුරෝපයේ රෝගියා" යන අන්වර්ථ නාමයෙන්ද හැදින්වූ අතර සියවස් ගණනක් පුරා ඔවුන් සාම්ප්‍රදායික සතුරන් වූ අතර මේ අවස්ථාවේ එම පැරණි එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මේ දෙපාර්ශවයම කටයුතු යොදමින් සිටියෝය. තුර්කින් පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වූයේ 1914 නොවැම්බරයේ සිට වූ අතර තුර්කි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය සිය ග්‍රහණයට නතුකර ගැනීම රුසියාවේ එක් අරමුණක් විය. එමගින් සිය නෞකාවන්ට කළු මුහුදේ සිට මධ්‍යධරනී මුහුද දක්වා නිරුපද්‍රිතව ගමණාගමනයේ යෙදීමේ අවස්ථාව ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවිය. තවත් අතකින් බ්‍රිතාන්‍යයට හා ප්‍රංශයටද, තුර්කිය මට්ටු කර මැදපෙරදිග ආධිපත්‍ය වැඩිකරගැනීම එක් අරමුණක් විය.

කෙසේවෙතත් කාලයක් පුරා විවිද පරිවර්ථන, කාර්මික විප්ලවය, ආකල්පය වෙනස්කම් ආදී නොයෙකුත් විපර්යාසයන්ට බදුන්වූ යුරෝපයේ අනෙකුත් හමුදාවන් සමග පෑහීමට ඒ වකවානුව වනවිට තුර්කි හමුදාව අසමත්ව සිටියෝය. ලෝක යුද්ධයට පෙර 1912-1913 අතර සිදුවූ බෝල්කන් යුද්ධයේදී තුර්කි හමුදාවන්ගේ දුර්වලකම් ප්‍රදර්ශනයවන්නට විය. කාර්මික විප්ලවයේ “සුලඟට” වත් හසුනොවී තිබූ දැවැන්ත තුර්කි අධිරාජ්‍යය මහාමාර්ග, දුම්රිය මාර්ගවල හිඟකමින්ද පෙළෙන්නට වූහ. ඒ මොනවා නැතත් තුර්කි හමුදා දැඩි බවකින් හා නොපසුබට වීර්යයෙන් යුතු වූ බවද පැවසිය යුතුය. ඔවුන්ට ජර්මනියේ සහයද ලැබී තිබීම නිසා මෙම යුගයට නොගැලපෙන හමුදාව ශක්තිමත් වීමට හේතුවක් විය. 

ශීතල Caucasus ප්‍රදේශයේදී, 1914 දෙසැ. 21 වෙනිදා තුර්කි හමුදා විසින්, රුසියන් හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි. මෙම ප්‍රහාරය තුර්කි තුන්වන හමුදාව විසින් සිදු කරන ලද අතර පිරිස් බලයෙන් 66,000 ක් පමණ වුවද විවිද කාරණා ඔස්සේ දුර්වල බවෙන් යුතු හමුදා කණ්ඩායමක් වූහ. කඳුකර, හිම සහිත රළු වාතාවරණය මෙම හමුදාවන්ට අභියෝගයක් වූහ. ඔවුන්ගේ අවිආයුදද මෙම පරිසර තත්ත්වයට නොගැලපෙනවා පමණක් නොව ශීතලට ඔරොත්තු දිය හැකි උණුසුමු ඇඳුම් ආදියද හිඟවිය.

රුසියන් හමුදාව 77,000 ක පමණ වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා පිරිස් බලයෙන් හා ශීතල පරිසර තත්ත්ව වලට තුර්කින්ට වඩා හුරු සහ හැඩගැසිය හැකිවූවත් ඔවුන්ටද මෙය පහසු යුද්ධයක් නොවූහ. තම සහයට මිතුරු පාර්ශවයේ බලවතුන් වූ බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශයෙන් සහය ඉල්ලා සිටියත් ගලිපොලී යුද්ධය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූ නිසා රුසියන් සහයට පැමිණීමේ හැකියාවක්ද නොවූයෝය. 

(රුසියාවත් කෙරෙන මේ යුද්ධයට අමතරව, සූවස් ඇල සිය ග්‍රහණයට නතුකරගන්නටද තුර්කිය විසින් 1915 පෙබරවාරි වනවිට යුදවැදීම ආරම්භකර සිටිහය).

කෙසේවෙතත් දෙපාර්ශවයටම දැඩි අභියෝගිකාරී වාතාවරණයක් ඔස්සේ යුද්ධය ඇදී යද්දී තුර්කි හමුදාවන්ට දැඩි හානි ගෙන දෙමින් ඉදිරියට යාමට රුසියන් හමුදා එම වසරේ දෙසැම්බර්වන විට සමත්ව සිටියහ. 1916 ජනවාරි වන විට රුසියන්-තුර්කි සටන් දැඩි බව වැඩිවී තිබුන අතර රුසියන් හමුදාවන්ට මෙම සටන් වලදී අණදීමේ වගකීම පැවරී තිබුනේ ජනරාල් නිකොලායි යුඩෙනිච් හටය. ඔහුගේ නායකත්වය යටතේ රුසියන් හමුදා තුර්කි භූමිය පවා අත්පත් කරගනීමින් සිටි අතර එම වසරේ අගෝස්තු දක්වා රුසියන් හමුදා සාර්ථකව තුර්කි මර්මස්ථාන අත්පත් කරගනිමින් ඉදිරියට ඇදුනහ. එහෙත් අගෝ-සැප්. වන විට රුසියන් හමුදාවන්ට තවදුරටත් ඉදිරියට ගමන්කිරීමේ බාධා ඇතිවෙමින් තිබූ අතර සතුරු ප්‍රතිරෝදයට වඩා තුර්කි භූමියේ ගැඹුරට විහිදී ගිය හමුදාවන්ට සැපයුම් ලබාදීමේ දුශ්කරතාව රුසියන් පාර්ශවයට තිබූ අභියෝගයක් විය.

දේශපාලනික වශයෙන් රුසියාවේ ගොඩනැගෙමින් පැවති විවිද පරිවර්ථනයන්, සැපයුම් මාර්ග වල දුර්වලතා, උපක්‍රමික දුර්වලතා මෙන්ම නායකත්වයේ තිබූ අඩුපාඩුකම් මෙන්ම යුද මෙවලම් වල හිඟකම, තිබෙනා මෙවලම් අක්‍රීය හෝ බලාපොරොත්තු සහගත ප්‍රතිඵල වලින් තොරවීම සහ  අාහාර හිඟකමින් සාගතයටද ලක්ව, ධෛර්යය හීන වූ රුසියානු හමුදාව ජයග්‍රහණයට වඩා පරාජය දිශාවට වේගයෙන් ඇදෙමින් සිටියහ. 1916 වන විට රුසියානු හමුදාවේ බොහෝමයක් සොල්දාදුවන් තවදුරටත් යුද්ධ කිරීමට අකමැත්තෙන් පසුවූහ. යුද්ධයේ ජයග්‍රහණයක් පේනතෙක් මානයකවත් නොතිබූ එම අවධියේ තම ජීවිතය නිශ්ඵල යුද්ධයකට දියකර හැරීමට තවදුරටත් ඔවුන්ගේ මනාපයක් නොවූහ. මේනිසා ඉහළ නිලධාරීන්ට තම සොල්දාදුවන් යුදබිමට ඇදගෙන යාමට වූයේ තර්ජනයෙන්, බලහත්කාරකමින්ය. තවද හමුදාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිව නිරතුරු කැරලිගැසීම්ද සුලභවිය.

1917 වන විට රුසියාවේ රාජ්‍ය පාළනය වෙනස් වීම උච්ඡතම අවස්ථාවට එළඹ තිබූ අතර මාර්තුවේ රුසියාවේ පළමු විප්ලවය තුලින් සාර් රජු රාජ්‍ය පාළනයෙන් ඉවත් කිරීම සිදුවිය. එහෙත් ලෝක යුද්ධයට රුසියාවේ හවුල්කාරකම ඒ මොහොතේ ඉවත්වීමක් සිදුනොවූ අතර ඔක්තෝබරයේ සිදුවූ දෙවන විප්ලවයේදී එනම් අප දන්නා බෝල්ෂෙවික් පක්‍ෂය පාලනය ලබාගත් විප්ලවයෙන් පසු රුසියානු හමුදා මහා යුද්ධයෙන් ඉවත්වීම සිදුවිය. තිරයෙන් පසුපස සිදුවූ දෙයක් ලෙස සැලකෙන්නේ මෙම විප්ලවයට පෙර සිටම ව්ලැඩ්මීර් ලෙනින් හා ජර්මන් බලධාරීන් අතර තිබූ විප්ලවයට පෙර සිටම තිබූ රහස් එකඟතාවයක් මත මෙය සිදුවූ බවයි. වෙනකක් තබා ස්විට්සර්ලන්තයෙන් ලෙනින් පිටුවහල් කළ පසු රුසියාවට යාමට අවස්ථාව සලසා දුන්නේ ජර්මනිය හරහා දුම්රිය මගින් බවත් පැවසේ. 1918 මාර්තු 3 වන දින මෙම එකඟතාවය නිලවශයෙන් ගිවිසුම් ප්‍රාකාරව දෙරට අත්සන් කිරීමෙන් සිදුවු අතර මෙම ගිවිසුම The Treaty of Brest-Litovsk ලෙස හැදින්වේ.
https://en.wikipedia.org/wiki/Treaty_of_Brest-Litovsk

තමන්ට තවදුරටත් හානිගෙන දෙන අනර්ථකාරී යුද්ධයකින් ඈත්වීම රුසියානු බලධාරීන්ට සේම සොල්දාදුවන්ටද ඉමහත් අස්වැසිල්ලක් වූවා සේම එය ජර්මන් පාර්ශවයටද "ඉබ්බා දියේ දැම්මා" සේ විය. මන්ද ඔවුන්ට තවදුරටත් බටහිර- නැගෙනහිර යුද පෙරමුණු දෙකක් ගැන අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවූ අතර සමස්ථ යුද ශක්තිය බටහිර යුද පෙරමුණට යොදවා එය ජයග්‍රහණය කර ගැනීම ජර්මනියේ අභිලාශය විය.

8 comments:

  1. මේ යුද්ධයේ කැපවීමක් කරපු රුසියාව සටන් බිමෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය නිසා බටහිර පෙරමුණත් ලොකු අමාරුවක වැටෙන්න ඇති නේද ?
    අගේ ඇති ලිපියක්.මේ අන්තිම පින්තුරේ දැක්කාම විචාරක නිතරම කියන "යුද්ධයක් ඇති වීමට අකමැතිම පුද්ගලයා සොල්දාදුවා" කියන කියමන මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මිතුර, අදට වඩා එදා මේ යුද්ධ ගැන පසුබිම්වූ කාරණා වෙනස්. රාජ්‍ය නායකයන්ට තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්න තමයි එදා මේ යුද්ධයට සම්බන්ධ වූයේ. උදහරණයක් වශයෙන් රුසියාව සම්බන්ධ වූයේ සර්බියාවට ඔස්ට්‍රියාව පහරදුන් නිසා. මොකද රුසියාව වගේම සර්බියාවෙත් හිටියේ ස්ලාව් කියන ජනවර්ගය. ඉතින් තමන්ගේ වර්ගයාට පහරදෙන නිසා තමයි රුසියාව ඔස්ට්‍රියාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ. නැතුව ඔස්ට්‍රියාව සමග තිබුන ගැටළුවකට නොවෙයි. ඉතින් ඔස්ට්‍රියාවට එරෙහිව යුද වදින්න රුසියාව පැමිණියාම, ඔස්ට්‍රියාවේ සහායකයා වුන ජර්මනිය රුසියාවට එරෙහිව යුද බිමට එනවා. රුසියාව සමග ආරක්‍ෂත ගිවිසුමක් ප්‍රංශයට එකල තිබූ නිසා රුසියාවට එරෙහිව ජර්මනිය යුද ප්‍රකාශ කළ නිසා ජර්මනියට විරුද්ධව ප්‍රංශය යුද්ධයට සම්බන්ධ වෙනවා. ප්‍රංශයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ජර්මනිය සැරසුනත් ප්‍රංශ - ජර්මන් දේශ සීමා වල ආරක්‍ෂාව හොදින් ප්‍රංශය විසින් තහවුරු කරලා තිබුන නිසා ජර්මනිය විසින් බෙල්ජියම හරහා ප්‍රංශයට පහර දෙන්න පැමිණි විට බෙල්ජියම හා මහා බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ගිවිසුමක සිටි නිසා බෙල්ජියමේ ආරක්‍ෂාවට මහා බ්‍රිතාන්‍ය යුද පිටියට පිවිසෙනවා. ඔයවගේ නූල් පන්දුවක් තමයි පළමු ලෝක යුද්ධය. තවත් අතකින් රටේ නායකයන්ට, හමුදාවේ ජනරාල්වරුන්ට එදා මිනිස් ජීවිත පිළිබදව අගයක්, වටිනාකමක් තිබුනේ නැහැ. කොතරම් මිය ගියත් ගැටළුවක් ඔවුන්ට නොතිබුනා සේම වැඩිම සේනාව තමන්ගේ හමුදාවේ සිටීම ඔවුනට අභිමානයක් වුනා. මිනිස් ජීවිතයක වටිනාකම වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක වටිනාකම හා වෙනසක් ඔවුන් එදා දුටුවේ නැහැ. තවත් අතකින් නැගෙනහිර යුද පෙරමුන ඉවත්වුනත් ඒ වනවිට ජර්මනියත් යුද්ධයෙන් හෙම්බන්වෙලා සිටියේ ඒ වැඩි විස්තර ඉදිිරි ලිපියකදී දැනගැනීමට ලැබේවි...

      Delete
  2. මහා දීර්ඝ ඉතිහාස කතාවක් මෙහෙම සංක්ෂිප්ත කර දැක්වීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙම කාරණය පිළිබදව ලියන්නට පුළුවන් ඕනෑතරම්. ඒත් අනවශ්‍ය විස්තරවලට වඩා අවශ්‍ය විස්තර හැකිතරම් සාරාංශකර ලිවීම තමයි කර තිබෙන්නේ...

      Delete
  3. සුපිරියි ....ඒ වගේම සංකීර්ණයි

    ReplyDelete
    Replies
    1. ඔව් සංකීර්ණයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ යනු සැබැවින්ම සංකීර්ණ සහ මනුෂ්‍ය ඉතිහාසයේ අති දැවැන්ත යුද්ධ දෙකයි. තවමත් ඉන්පසු ලෝකයේ එකම යුද්ධයක්වත් එතරම් සංකීර්ණ සහ විශාලත්වයෙන් යුතුව නැහැ.

      Delete