-->

Tuesday, February 15, 2011

Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy a.k.a. .ගුලාග් (GULag) - තෙවන හෙලිදරව්ව

දෙබරයට ගල් ගැසීම
Aleksandr Solzhenitsyn යන නාමයත් ගුලාග් ගැන කතා කිරීමේදී අමතක කල නොහැකිම නමක්, මක් නිසාද යත් ගුලාග් පිළබද දැඩි ආන්දෝලනයක් ලෝකය තුල ඇති කිරීමට ප්‍රධානම භූමිකාවක් ඉටුකරේ මොහුවීමයි. ඔහු පිළිබද ලෝකය හදුනන්නෙ ලේඛකයෙකු ලෙස සහ ඉතිහාසඥයකු ලෙසයි. 

ඔහු රුසියාවේ Rostov-na-Donu විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද උපාධියක් ලබාගත්තෙකුවන අතර දෙවන ලෝක යුද්දයේදී සෝවියට් දේශය වෙනුවෙන් කාලතුවක්කු රෙඩිමේන්තුවක කපිතාන්වරයෙකුලෙස සේවය කර ඇත. කෙසේ වෙතත් 1945 දී මොහු අත්අඩංගුවට ගන්නා ලද අතර ඉන් පසු වසර අටක කාලය ගුලාග් තුල ගෙවීමට මොහුට සිදුවී ඇත. එයට හේතුව Aleksandr ලියන ලද ලියුමක ස්ටාලින්ව විවේචනය කර තිබීමයි. 
Gulag photo of Solzhenitsyn
ඔහු 1956 දී පුනරුත්තාපනය ලැබ හිරෙන් නිදහස් වන අතර ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර ලේඛන කලාවටද පිවිස ඇත.

මුලින්ම ‍ Aleksandr Solzhenitsyn 1962 දී කෙටි නව කතාවක් ලියා පල කර ඇති අතර එය ඉංග්‍රිසි බසින් නම් කෙරු‍නේ One Day in the Life of Ivan Denisovich ලෙසයි. මෙහි දැක්වුනේ ඔහු ස්ටාලින් පාලන සමය තුල බලහත්කාර කම්කරු කදවුරු හෙවත් ගුලාග් තුල ගත කරද්දී ලැබූ අත්දැකීම්ය. මේ නවකතාව පල වීමත් සමගම මෙම ලේඛකයා ක්‍ෂනිකව ජන්‍ප්‍රියත්වයට පත්වූ අතර සෝවියට් දේශය තුල මෙන්ම ඉන් පිටතද බලවත් කම්පනයක් ඇති කිරීමටද මෙම පොත හේතුවිය. ඒ සමගම ගුලාග් පිළිබද විවිද පොත පත ඒ තුල විසූ හෝ ඒ පිළිබද අත්දැකීම් ඇති අයවළුන්ගෙන් පල වීම සදහා උත්තේජනයක් සහ මූලාරම්භයක්ද ඇතිවිය.

ඉන් පසුවද මේ මාතෘකාව පාදක කොටගෙන සහ විවිද කරුණු අරභයා කුඩා ග්‍රන්ථ පල කර ඇති Aleksandr Solzhenitsyn හට 1964 ඔක්තෝම්බර් 14 වන දින Nikita Khrushchev ගේ පාලනය බිද වැටීමෙන් පසු ලැබුවේ එතරම් හොද කලදසාවක් නොවේ. ඉන් පසුව නැවතත් සෝවියට් දේශය තුල නීති රීති දැඩි වෙන්නට පටන් ගත් අතර, අපගේ ලේඛකයාටද විවිද අඩම්තේට්ටම්වලට ලක්වීමටද සිදුවිය.

1970 දී Aleksandr Solzhenitsyn හට සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයට හිමිකම් කීම සදහා භාග්‍ය ලැබූ අතර එය ලබා ගැනීමට Stockholm වෙත යාමට ඔහු මැලි වූයේ, නැවත සිය රට පැමීනීමට වරම් නොලැබේදෝ යන බියෙන්. කෙසේ වෙතත් ඉන් පසුව ඔහු ලියූ ‍පොත පත සෝවියට් භූමියෙන් පිටත ඔහු පල කලේය. 

ගුලාග් හෙවත් සෝවියට් දේශය තුල තිබූ හිංසාකාරී වහල් කදවුරු පීළිබද විශ්ව කෝෂය ලෙස වුවද සැලකිය හැකි Arkhipelag Gulag හෙවත් The Gulag Archipelago ග්‍රන්ථ මාලාවේ පළමු වැන්න 1973 දෙසැම්බරයේ පැරීසියෙදී ඔහු පල කලේය. කෙසේ වෙතත් සෝවියට් භූමිය තුල මෙය පලකිරීමට හෝ පරිහරණය කිරීමට එකල එරට තිබූ රහස් ඔත්තු සේවය වන KGB (Komitet Gosudarstvennoy Bezopasnosti) ය  ඉඩ ලබා දුන්නේ නැත.

මෙම The Gulag Archipelago ග්‍රන්ථ මාලාවේ අපගේ ලේඛකයා ගුලාග් තුල ලැබූ අත්දැකීම් මෙන්ම, එතුල විසූ විවිද පාර්ශව වලින් ලබා ගත් කරුණු සහ අත්දැකීම් ඇතුලත් කර ඇති  අතර 1917 සිට 1953 දක්වා ගුලාග් තුල සිදු හා සම්බන්ද ක්‍රියාකාරකම්, අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම්, චෝදනා ගොනු කිරීම් හා දඩුවම්, පිටුවහල් කිරීම්, සහ තවත් ඒහා සබැදුන විවිදාකාරයේ කරුණු ඇතුලත් කොටස් තුනකින් යුතු ග්‍රන්ථ තුනක් පල කිරීමට Aleksandr Solzhenitsyn වග බලා ගත්තේය. මෙහි පළමු කොටස පල වීමත් සමගම Aleksandr Solzhenitsyn හට ක්‍ෂනිකවම ප්‍රහාරයන්ට ලක්වීමට සිදුවූ අතර, අත්අඩංගුවට ගෙන 1974 පෙබරවාරි 12 වන දින ඔහුගේ සෝවියට් පුරවැසිභාවය අවලංගු කොට පිටුවහල් කරන ලදි. ඉන්පසු විවිද රටවල වාසය කල ඹහුට 1990 දී නැවතත් සෝවියට් පුරවැසිභාවය නිල වශයෙන් ලැබුන අත, සෝවියට් දේශය ඉතිහාසයට එක්වී තෙවසරක් ගෙවුන තැන, එනම් 1994 දී රුසියාවට පැමිණ යලි පදිංචිවිය.
After returning to Russia from exile in 1994
කෙසේවෙතත් Aleksandr Solzhenitsyn අනෙක් ලේඛකයන්ට දුන් පන්නරය නිසා තව තවත් මේහා බැදුන විවිද මාධය එළිදැක්වෙන්නට පටන්ගත් අතර, එමගින් යකඩ කඩතුරාවකින් හෙවත් “Iron Curtain” කින් වසා තිබු රහස් රැසක් එළ‍වෙන්නටද පටන් ගත්තේය.

Vladimir Putin with Aleksandr Solzhenitsyn

ප්‍රධාන නළුවාගේ භූමිකාව - Stalin Era of Soviet Russia (1924-1953)

මෙම ලිපියේ අවසානය කරා දැන් ආසන්නවී ඇත. මේ මොහොතේදීවත් මෙම සංසිද්ධියේ ප්‍රධානම චරිතය වන ජෝසෆ් ස්ටාලින් ගැන චචනයක්වත් නොකියුවොත් මෙම ලිපිය අසම්පූර්ණ වන බව ඉතා පැහැදිලියි. මෙම කොටස උක්ත මාතෘකාවෙන් බැහැරව ගියත් ඔබගේ දැනුවත්වීම සදහා ඉදිරිපත් කරන්නම්. 1878 දෙසැම්බර් 18 වන දින උපන් ස්ටාලින් උපතින් රුසියානුවෙක් නොවේ. ඔහු උපන්නේ Geoprgia හිදී ජෝර්ජියානුවෙකු ලෙසයි. එය ඒ වන විට රුසියානු අධිරාජ්‍යයේ කොටසක්. 

ඔහුට වසර 16 ක් වන විට  Georgian Orthodox seminary ක පූජකවරය ලැබීමට දේවධර්මය හැදෑරීමට ගිය ස්ටාලින්, ඒ වන විට රැඩිකල් අදහස් තිබූ තරුණයෙක්. ඒ නිසාම ඔහු අතරැදුනේ පූජක ශීෂ්‍යයෙකු අත රැදිය යුතු ශුද්ධවූ බයිබලය නොව, විප්ලවවාදීන්ගේ අත්පොත වන් Karl Marx ගේ පොතපතයි. රුසියානු විප්ලවයේ බීජ‍ය මෝරමින් පැවති එම යුගයේ එම සංවිධාන වල සාමාජිකත්වය ලැබ ගත් ස්ටාලින් පූජකවරයෙකුවීමේ අභිලාෂය බැහැරකොට සන්නද්ධ ක්‍රියාකාරකම් කරා යොමුවිය.

රුසියානු විප්ලවයේද කැපී පෙනෙන චරිතයක් වූ ස්ටාලින් ඉන් පසු Bolsheviks පක්‍ෂයේ ප්‍රධාන නිල තල කරා කුමයෙන් පිය නැගූහ. ඔහු 1924  ජනවාරි 21 දින ලෙනින් මිය යාමටත් පෙරාතුවම තම බලය තහවුරු කර ගැනීමට සමත් විය. 1927 දී, ස්ටාලින්ගේ අදහස අනුව සෝවියට් දේශය කඩිනම් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපත්ති සම්පාදනය ඇරඹුන අතර, 1928 දී පස් අවුරුදු සැලැස්මක් යටතේ එය ක්‍රියාවට නැංවීම ඇරඹින. ඔහුගේ අභිප්‍රායවූයේ සෝවියට් දේශයේ ආර්ථිකයේ එකල ප්‍රධාන ස්ථානයක් ඉසිලූ කෘෂිකාර්මාන්තයෙන් ඔබ්බට කාර්මික අංශ කරාද කඩිනමින් ලංවීමයි. එය කෙතරම් වේගයෙන් ඔහු අපේක්‍ෂාකරාද කියතොත් 250% ක සමස්ත කර්මාන්ත ක්‍ෂෙත්‍රයේ වර්ධනයද, දැවැන්ත කාර්මික ව්‍යාපෘති තුලින් 330% ක හිතාගතවත් නොහැකි වර්ධනයකි.

මේ සදහා අවශ්‍ය ශ්‍රම හමුදාව සපයා ගැනීමට කදිම තෝතැන්නක්වූයේ ඒවවිටත් සුළු හෝ මධ්‍ය පරිමාණයෙන් පැවති සමූහ සිරකදවුරු පද්දතියයි. මුලින්ම ඔහුගේ අවධානය යොමු වූයේ ඒවන විටත් ඉඩම් හිමි වංශවත් වැවිලිකරුවන්වූ Kulak වරුන් වෙතයි. දළ සංඛ්‍යාලේඛන අනුව මිලියන පහක්වන Kulak වරුන් සිය භූමියෙන් පිටුවහල් කර දේපල රාජසන්තක කරන ලද අතර ඔවුන් පිළිබදව නැවත කිසිදා අසන්නට හෝ දකින්නට නොලැබුන බව කියවේ. එසේම 1940 වන විට එරට ගොවි ජනතාවගේ පෞද්ගලික දේපල 97% ක ප්‍රමාණයක් රාජසන්තක කර ඒවායේ අයිතිකරුවන් මරා දමා හෝ ගුලාග් කදවුරු වල වහල් සේවයේ යෙදවුන බව කියවේ.  

ස්ටාලින් නිරතුරුවම සාහසිකත්වය සමග සමීප සබදතාවයක් පැවැත්වූයෙකි. එනිසාම සෝවියට් දේශයේ ස්ටාලින්ගේ පාලනයේ නිල කාල සමය වන 1924 සිට 1953 දක්වා කාලය තුල අකාලයේ මියපරලොව ගිය මිනිසුන් හෝ ගැහැණුන් සංඛ්‍යාව නිල සංඛ්‍යාලේඛන වල දැක්වුන අගයට වඩා අතිමහත් අගයක් ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. ඔහුගේ මෙම අතිශය භීෂනකාරී කාල සමය නිරතුරුවම හැදින්වූයේ  “Great Terror” ලෙසයි.
එක සමාන මිතුරන් දෙදෙනෙකු‍‍ගේ සුසංයෝගය
ඔහුගේ සමකාලීනයකුවූයේ ඇඩොල්ෆ් හිට්ලර්ය, දෙවන ලෝක යුද්දයේදී ජර්මානු හමුදා සෝවියට් දේශයට පහර දීමට ප්‍රථම කළන මිතුරෙක්. ඉන්පසු පසමිතුරන් වූ ඔවුන්, එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සටන් වැදුනා. 
ඇඩොල්ෆ් හිට්ලර්
දෙදෙනාගෙන් වඩාත් උපක්‍රමශීලි සහ කපටි වූ හිට්ලර්ට ගිවිසුමක් මගින් දෙවන ලෝක යුද්දයේ සෑහෙන දුරක් යන තුරු තමන්ට එරෙහි නොවන ලෙස ස්ටාලින්ව දුරස් කර තබා ගනීමට වගබලා ගත්තා. කෙසේවෙතත් යුද්දය ඇරඹීමට පෙර සිටම අතිදැවැන්ත සෝවියට් පීතෘ භූ‍මයේ මූලෝපායික වැදගත් කම හා ස්වාභාවික සම්පත්වලින් අනූන සෝවියට් භූමිය පිළිබද වටහා ගත් හිට්ලර් කල් යල් බලා පහරදීම ඇරඹුවා. ඒ සමගම දෙවන ලෝක යුද්දය නිසා වැඩිම ජීවිත සහ දේපල හානිය සිදුවූ රට ලෙස සෝවියට් දේශය නම් කිරීමටද නිරායාසයෙන්ම සිදුවුනා. එය මිලියන ගණනක අගයකින් දැක්වීමටද අකමැත්තෙන්වුවද පැවසිය යුතුයි.

කෙසේ නමුත් හිට්ලර්ටද වැරදුන තැනක් තිබුනා. එනම් සෝවියට් ශීත ඍතුව තුල රුසියානුවකු හෝ ඒ සමූහආණ්ඩුවේ අයෙකුට මිස විවෘත භූමියේ යුද්දකරන තම සොල්දාදුවන්ට මුහුනදීමට ඇති දුෂ්කරතාවයයි. පරාජය පෙනි පෙනී සිටි සෝවියට් හමුදාවට සහයට පැමිණියේ ශීත ඍතුවයි. එය බොහෝවට සෙල්සියස් අංශක ඍන  අගයක පවතින නිසා, එයට සූදානම්ව නොසිටි ජර්මානු හමුදාවට සිදුවූයේ වස වැරැද්දක්.

සෝවියට් ආක්‍රමණයට පැමි‍ණියේද ප්‍රංශය ආක්‍රමණය කළ හිටිලර්ගේ සුවිශේෂ හමුදා සේනාංකයක් වූ “06th Army ලෙස හදුන්වන හමුදා කණ්ඩායමයි. ප්‍රංශ ජයග්‍රහණයෙන් අනතුරුව පැරිස් නගරයේ අභිමානවත් අයුරින් ගමන් කල ඔවුන් කෙරේ තවදුරටත් සිය විශ්වාසය තැබූ හිට්ලර් සෝවියට් ආක්‍රමණයටද ‍යෙදවීමට දෙවරක් සිතුවේ නැහැ. හිට්ලර්ගේ එම චේතනාව වරදක් නොමැති බව හොදින් පෙන්නුම් කරමින් අතිශය ජවසම්පන්න ලෙද සෝවියට් භූමිය ආක්‍රමණය කරේ උදේ එම හමුදාව සිටි ස්ථානයේ සිට සවස දිනය නිමා වන විට එයින් සැතපුම් සිය ගණනක් එපිට රට තුලට ඇදෙන ලෙසිනුයි.

කෙසේ වෙතත් කටුක ශීත ඍතුව හොදින් දැන සිටි සෝවියට්ව දේශයේ වැසියන්ට ශීත කාලය ආශිර්වාදයක් වුනා. එසේම ගුලාග් ජාලය හරහා හමුදාවට ඕනෑතරම් මිනිස් නියෝජනය සොයා ගැනීම ඉතා පහසුවීමත්, ස්ටාලින්ගේ බල පරාක්‍රමය හමුවේ බලහත්කාරයෙන් හෝ දියුණුවූ කාර්මික අංශයේ දායකත්වයෙන් නිපදවුන නවීන මැශින් තුවක්කු, කාලතුවක්කු සහ යුද ටැංකි වැනි  භෞතික උපකරණ හමුවේ පෙරලා පහර දී ජර්මානුවන් පලවාහැරීමට පමණක් නොව ජර්මනියද ආක්‍රමණය කොට නැගෙනහිර යුද පෙරමුනේ ජය කොඩි නැංවීමට ස්ටාලින්ට හැකිවූ අතර සෝවියට් හමුදාවට හසුවීමට බියෙන් හිට්ලර්ට සියදිවි ‍තොරකරගැනීමටද සිදුවිය. 

ඒ අනුව බැළු විට දෙවන ලෝක යුද්දය අවසාන කිරීමේ "සද්කාර්යයේ" ප්‍රධාන ස්ථානයක් නියෝජනය කිරීමටද ස්ටාලින්ට හැකිවිය.

නැතිවුන ගෞරවය
ස්ටාලින්ට වඩා ඔබ හිට්ලර් ගැන දන්නවා ඇති. දෙදෙනාම සිදුකලේ එක සමානව සැලකිය හැකි ක්‍රියාවන්. මේ දෙදෙනාගේම තතු නිසිලෙද හැදෑරුවොත් ස්ටාලින් හිට්ලර් අභිබවා සිටින බව පහසුවෙන් කිව හැකියි. කෙසේ නමුත් ඉතිහාසය සරදමට ලක් කරමින් ස්ටාලින්ට හිමිවියයුතු ප්‍රථම ස්ථානය හිට්ලර් දිනා ගත්තා. ඒ ඔහු මුලින් සාර්ථකවුනත් පසුව ගන්න ලද වැරදි තීරණ නිසා (උදා: ප්‍රංශය ආක්‍රමණය වැනි දේවල්) පරාජය උරුම කර ගත්තා. නැතහොත් ඔහුගේ දර්ශනය ඔහු හා සටන් වැදුන මිත්‍ර පාර්ශවයේ රටවල්හා බෙහෙවින් සමාන වූවක් බව ගැඹුරින් නිරීක්‍ෂනය කල හොත් පෙනී  යයි.  ඔහු වැරදි තීරණ නොගෙන උපක්‍රමශීලි ලෙස කටයුතු කලා නම් ඉතිහාසය තුල හිට්ලර්ට උරුම වූ තැන ස්ටාලින්ට ලබා දීමට මිත්‍ර පාර්ශ‍වය සතුටින් එකඟවනු ඇත. කෙසේ වෙතත් අවසානයේ කියන්නට ඇත්තේ “හිට්ලර් සහ ස්ටාලින් යනු එකම කාසියේ මූහුනත් දෙක වැනිය” කියාය.

කෙසේ වෙතත් ගුලාග් කදවුරුවල එකම හිමිකාරය වීමට සෝවියට් දේශය හෝ රුසියාවට නොලැබී ගියා. ඔවුන්ට ලැබුනේ ගුලාග් සොයා ගැනීමේ “ගෞරවය” පමණයි. එයට හේතුව ස්ටාලින් ගිය මග යමින් බොහෝ රටවල් ගුලාග් වලට සමාන කදචුරු ජාල එම රටවල බිහිකිරීමයි. මේ ඒ ගැන දැන ගැනීමට මාර්ගයයි.

දැන් මම සත් සමුදු‍රේ මේවන විට ලියා ඇති දෙවන දිගම බ්ලොග් ලිපිය අවසන් කරන්නම්. මෙම ලිපිය සැකසීම සදහා අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වලින් මෙන්ම, සෝවියට් දේශය හා ගුලාග් පිළිබද ලියවී ඇති මෘදිත මාධ්‍යද, ඒ පිළිබදව තනා ඇති වීඩියෝ දර්ශනද උපයෝගීකර ගත්තා.  පින්තූරද විකිපිඩියා ඇතුළු අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසකින් ලබාගනු ලැබුවා.

මේහි දැක්වෙන කරුණු කිසිවෙකුට මඩ ගැසීමට හෝ අපහසුතාවයට ලක්කිරීමට භාවිතා කිරීමට යොදා ගත් කරුණු නොව ඉතිහාසය තුල පහසුවෙන් සොයාගතහැකි කරුණු බවද මතක් කරමි. එසේම මීට පෙරත් කී කරුණක්ද නැවත මතක්කරමින් ලිපිය නිමා කරන්නෙමි. ඒ එක්කම අවසානයේ මෙයට අමුනා ඇති වි‍ඩියෝ ක්ලිපය තුල සමස්ත ලිපියම සාරාංශකර ඇතැයි කීවත් වැරදි නැත. 
Watch tower of the Labor Camp 9-10 at Vorkuta 1955
Today the Gulag system is a correctional institution rather than a slave labor concentration camp. However, despite these changes, the Gulag remains a dramatic bloodstain on Russian history. The memory of its horrors will never be able to be washed away. 


5 comments:

  1. ඔයා ගොඩක් මහන්සි වෙල වටින ලිපි ලියනව අය්යෙ. නියමයි

    ReplyDelete
  2. me lagadi mama godak honda film ekak balanna labuna,,, ehi kiyawenne syberiawe thibu gulag sira kadurakin pena yana kandaayamak... mowun pain 4000km yanawa,, mowun baikal wila haraha gos trans saibeeriyan dumriya maga pahu kara mongoliyawata piwisenenawa,, eth ehith atte komiunist palayanak nisa mowun painma tibet ratata enawa,,, eyainda nonawathi mowun anthimata indiwata enawa, e ena gamanedi boho aya jeewithayata samu denawa..godak aya kiynawa meka kala nohakkak bawa, eth me film eka godaak watina usas film ekak... oyalath balanna ..eke nama the way back.... www.baiscope.lk web eken ekata sinhala sub pawa deela thiyenawa, kandawure minisun winda duka niyameta meke pennanawa,, me lipi liyana sahodarayata godaak thanx,, budusaranai,, mama saudiyen mahesh

    ReplyDelete
  3. දිනේෂ්
    ගුලාග් පිළිබඳව වූ ඔබේ ලිපි කියවුවේ අදයි. බටහිර මාධ්‍ය හරහා ඔබ සොයාගෙන ඇති තොරතුරු ඒ ලෙසින්ම පල කොට තිබෙන බව පෙනේ. ඔබ පල කර ඇති වීඩියෝ පටයෙහි කිසිදු හිංසනයක් දක්නට නොමැත. දුම්රිය මාර්ගයක් තැනීමට වෙහෙසෙන මිනිසුන් පිරිසක් එහි දර්ශනය වෙයි. අඩු ගනනේ ඒ මිනිසුන් සිර කරුවන් නම් ඔවුන්ට පැනයා නොදී රැකගෙන සිටින එකද සොල්දාදුවකු හෝ දක්නට නොවීය. 20 වන සියවසේ මුල් භාගයේ මෙන්ම 19 වන සියවසේ අගභාගයෙදීද රුසියාවේ පමණක් නොව බොහෝ රටවල දුම්රිය මාර්ග නිර්මාණය වුයේ එලෙසයි. (ඇමරිකාවේ, ලංකාවේ පවා). එම වීඩියෝ පටය ලිපියෙහි කරුණු වලට සාක්ෂ්‍ය ලෙස අපටනම් සැලකිය නොහැක. අනෙකුත් බොහෝ කරුණුද සපයා ඇති සංඛ්‍යා ලේඛනද විවාදාත්මකය. ඔපමණ මිනිසුන් සංඛ්‍යාවක් වහල් කඳවුරු වල සිරවී සිටියා නම් එකල රුසියාවේ ජීවත්වුයේ කවරෙක්ද? දෙවන ලෝක සංග්‍රාමයේදී රුසියාව රැකගැනීමට යුද්ධයට ගියේ කවරෙක්ද? වහල් කඳවුරු වල රැඳවියන් යුද්ධ කළා යයි කීම පිළිගත හැකිද? තවත් ප්‍රශ්න රාශියක් පැන නගී. රුසියාව තුල දේශපාලන කඳවුරු නොතිබුනා යයි මම නොකියමි. එහෙත් ඔය බටහිර මාධ්‍ය පවසන තරමට යකා කළු නැත.

    තවද ජෝසෆ් ස්ටාලින් සහ ඇඩොල්ෆ් හිට්ලර් එකම කාසියක දෙපැත්තට සමාන කිරීම මිනිස් කමට නිග්‍රහයකි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ හිට්ලර් පරාජය කිරීමේදී ස්ටාලින් රඟපෑ භූමිකාව අවතක්සේරු කිරීමට බටහිරට ඇති උවමනාවයි. ලංකාවේ ලේකඛයකු වූ ඔරුවල බන්දු මහතා ගැන ඔබ අසා ඇතැයි සිතමි. ඔහු රුසියාව තුල සිටිමින්ම රුසියානු පාලනය විවේචනය කල සිංහලයෙකි. ඔහු පවා පිළිගන්නා එක් සත්‍යයක් තිබේ. එනම් ජෝසෆ් ස්ටාලින් නොහිටින්නට ලෝකයේ හැඩරුව බෙහෙවින් වෙනස් වන බවයි. අනික ස්ටාලින් කිසි විටක හිට්ලර්ගේ මිතුරකු ලෙස ක්‍රියා කර නැත. ඔහු හිට්ලර් සමග ගිවිසුමකින් යුද්ධයට සහභාගීවීමෙන් වැළකුණේ ළදරු සමාජවාදී සමුහාණ්ඩුව රැක ගැනීමේ පරමාර්ථයෙනි.

    ශීත කාලය නොතිබෙන්නට රුසියානු හමුදාව පරාජය වන බව බටහිර මාධ්‍ය ගොඩනගා ඇති අනෙක් මිත්‍යාවයි. සෝවියට් ජනතාව දෙවැනි ලෝක යුද්ධයේදී සටන් කල ආකාරය අවම වශයෙන් සෝවියට් සාහිත්‍ය කෘති වලින් වත් ඔබ කියවා නැද්ද? එසේ නොමැති නම් "සැබෑ මිනිසකුගේ කතාව" අදම කියවන්න. මෙවැනි ලිපියක් සම්පාදනයට පෙර කරුණාකර අනෙක් පාර්ශවයෙන්ද ලියවුනු කරුණු සොයා ගැනීමට උත්සුක වන්න. අපහසු නමුත් සොයාගත හැකියි. අන්තර්ජාලයෙන් එපිටත් බලන්න. සුගතපාල ද සිල්වා ශූරීන් ලියු "හිට්ලර් එල්ලා මරයි" කෘතිය අනිවාර්යයෙන් කියවන්න.

    ReplyDelete
  4. පලමුවෙන්ම සමාවෙන්න ලිපියට ප්‍රතිචාර දැක්වීමට පමාවීම ගැන.

    “පොත් ගුල්ලා“ ලියා ඇති පරිදිම ඹබ සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය තුල ඇති තොරතුරු ඒ අන්දමින්ම පරිවර්ථනය කර ඇතුවා මිස මේ සම්බන්ධව නිසි සොයා බැලීමක් කර නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම මෙවැනි සටහන් ලිවීමේදී ඒ කරුණු මතම නොයැපී වෙනත් ස්ථාන (sources) වලින්ද කරුණු විමසීමක් කළානම් ඔබේ ලිපිය වෙනස් වීමට ඉඩ තිබුණා.

    උදාහරණයක් වශයෙන් කියනවා නම් පහත ඡේදය බලන්න

    “ස්ටාලින්ට වඩා ඔබ හිට්ලර් ගැන දන්නවා ඇති. දෙදෙනාම සිදුකලේ එක සමානව සැලකිය හැකි ක්‍රියාවන්. මේ දෙදෙනාගේම තතු නිසිලෙද හැදෑරුවොත් ස්ටාලින් හිට්ලර් අභිබවා සිටින බව පහසුවෙන් කිව හැකියි. කෙසේ නමුත් ඉතිහාසය සරදමට ලක් කරමින් ස්ටාලින්ට හිමිවියයුතු ප්‍රථම ස්ථානය හිට්ලර් දිනා ගත්තා. “

    ඉහත ඡේදය සම්පූර්ණයෙන්ම කරුණු කනපිට හැරවීමක්. ස්ටාලින් සහ හිට්ලර් යන දෙදෙනාම සිදු කළේ එක සමානව ක්‍රියාවන් යයි කීම විහිලුවක්. හිට්ලර් සම්බන්ධව ලියවී ඇති කතන්දර හෝ චිත්‍රපට හෝ අන්තර්ජාලයේ සැරිසරන කරුණු නොව, යුද්ධයෙන් පසු ඉදිරිපත් කෙරුණු සත්‍ය කරුණු සොයා බලන්න. හිට්ලර් ගේ සමීපතයන් ගේ ප්‍රකාශ කියවා බලන්න. ඔහු කළ අතිශය අමානුෂික සහ විස්තර කළ නොහැකි තරම් කෘර ක්‍රියාවන් හොදින් හදාරන්න. හිට්ලර්ගේ මානසික තත්වය ගැන ලියවී ඇති සත්‍ය කරුණු සොයා බලන්න.

    ස්ටාර්ලින් හෝ මාවේ සේතුන් කළ ක්‍රියාවක් බොහෝ දුරට කළේ තම දේශපාලන විරුද්ධවාදීන් ඉවත් කිරීමටයි. බොහෝ විට බටහිර රටවල් සමාජවාදී ආන්ඩු කෙසේ හෝ පෙරලා දැමීමය ක්‍රියා කිරීම නිසා ඒ ආකාරයට පියවර ගැනීම හිට්ලර්ට සමාන කළ නොහැකියි. එදා සමාජවාදී රුසියාව නොවන්නට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ප්‍රමුඛ රටවල් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ යටත් විජිතවාදී ක්‍රමය නිසා ලෝකය හිට්ලර්ගේ නාසිවාදී ලෝකයටත් වඩා අන්ත වීමට ඉඩ තිබුණි.

    ReplyDelete