-->

Thursday, September 15, 2016

මහා යුද්ධයේ තවත් පින්තූර රැසක් (ගුවනේ සිදුවූ යුද්ධය පිළිබදවයි) ...

මෙම මහා යුද්ධය ප්‍රධාන ලිපිය ලියනා අතරතුර එයට සබැඳෙන නොදුටු පින්තූර/සේයාරූ කිහිපයක්ම ගෙන එන්නයි සැරසෙන්නේ.

ගුවන් ප්‍රහාර, පළමු ලෝක යුද්ධය ආරම්භය සිදුවන 1914 අගෝස්තුව වන විට කෙසේ යොදාගන්නදැයි අවබෝධයක් එවක යුද නායකයන්ට වූයේ නැහැ. එක් අතකින් ගුවන් යානා යුද්ධයකට යොදා ගෙන තිබුනේ මෙම සුවිශාල සංග්‍රාමය සිදුවීමට යන්තම් වසර 10 ක් අතරතුර කාලයකදීය. පැහැදිලිවම කියනවා නම් 1911 දී ඉතාලිය හා තුර්කිය අතර ඇතිවූ යුද්ධයකටයි. යුද කටයුතු සදහා එතෙක් ගුවන් යානා නිපදවීමක් සිදු නොවූ අතර සිවිල් කටයුතු සදහා පමණක් එතෙක් ගුවන් යානා නිෂ්පාදනය කළහ.


කෙසේවෙතත් යුද්ධයේ තීව්රතාවය වැඩිවත්ම සතුරාට මොනයම්ම ආකාරයකින් හෝ වැඩි හානියක් කිරීමේ අභිලාශය දෙපාර්ශවය වෙතම තිබූ නිසා යුද නායකයන් වැඩිකල් නොගොස්ම ගුවන් යානා සිය සංග්‍රාමික ශක්තිය වර්ධනය කර ගැනීමට යොදා ගන්නේ කෙසේද යන්න වටහා ගනිමින් සිටියහ. මුලින් ප්‍රහාරත්මක කටයුතු වලට නොව සතුරාගේ ආරක්‍ෂක වලල්ලේ ස්ථානගත වීම පිළිබදව ඔත්තු බැලීමට යොදා ගත්තේ ඒ ස්ථානය නිශ්චිතව දැන ගෙන කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමයි. මෙසේ තමන්ගේ ඔත්තු බලන විට එම ගුවන් යානා පහරදී බිම හෙලීමට අනෙක් පාර්ශවයේ ගුවන් යානාද සැදී පැහැදී සිටි අතර එක්කෝ සතුරාගෙන් ගැලවී යාම හෝ සතුරාට පහර දී එය බිද හෙලීම සදහා ගුවනේ මේ දෙපාර්ශවය අතර ගැටුම් නම් උත්සන්නව පැවතින. ගුවනේ සිදුවූ මෙවැනි ගැටුම් හැදින්වූවේ Dogfight ලෙසටයි.


මේ දෙයත් කිව යුතුය. භූමියේ සටන් කළ යුද භටයාට වඩා ගුවන් භටයාට සුව පහසු ජීවිතයක් මෙම යුද සමයේදී ලැබුහ. භූමියේ භටයා මඩගොහොරු වල සීතලේ ගැහෙමින්. නොනවත්කාවා එල්ලවන තුවක්කු ප්‍රහාර නිසා තැතිගැන්මෙන් හා බියෙන්ද, කුසගින්නේද, මදුරුවන් සහ අනෙකුත් පීඩාකාරී කෘමිසතුන්ගේ අඩම්තේට්ටම් වලටද ලක්වෙමින්ද, ඇතැම්විට දින ගණනක් මාරු නොකරන ලද ඇදුම් කට්ටලය භාවිතා කරමින් කට්ට කද්දී, ගුවන් භටයන් සුවපහසු යහන්, ඇදුම්පැලදුම්, ප්‍රිය සම්භාෂන, ප්‍රණීත ආහාරපාන, රූමත් කාන්තාවන් අතරද ගැවසෙමින් ආඩම්බරකාර ජේත්තුකාර ජීවිතයකට උරුමකම් කීහ. හැබැයි එක් දෙයක් පැවසිය යුතුය. ඒ ඔවුන්ගේ ජීවිතාපේක්‍ෂාව බොහෝවිට ගණනය කෙරුනේ  දින 3-5 ක් වැනි කාලයකටයි. ඇතැම් විට පළමු ගුවන්ගත වී සුළු මොහොතකින්ම ඔවුන්ගේ ජීවිතය අවසානය උදාවීම සුලභවිය. එයට හේතුව ප්‍රාථමික අවස්ථාවේ පැවති ගුවන් සංග්‍රාමික යානා හා උපකරණ වල ඇතිවිය හැකි දෝෂ නිසා නැවත පොළවට පැමිණීමට පෙරම එම යානයද සමග විනාශව යාමට තිබූ ඉඩකඩ, සතුරු ගුවන් යානායක ප්‍රහාරයකට ගොදුරු විය හැකි වීම හෝ භූමියේ සිට ගුවන් යානාවෙත සතුරන් එල්ල කරන ප්‍රහාරයකට ලක්ව මිය යාමට තිබූ ප්‍රවණතාවය සහ ගුවන් යුද නිපුණත්වයේ තිබූ අඩුපාඩුයි.

ගුවන් නියමුවන්ට මේ ආකාරයේ ඇදුමක් ලබා දී තිබුනි.

මේ ආකාරයේ බෝම්බ ගුවන් යානා මගින් බිමට හෙළු අතර මුලින් සිදුවූයේ ගුවන් නියමුවාටම යානයේ පැත්තකින් බෝම්බය අතින් ගෙන බිමට දැමීමටයි. එහෙත් පසුව එය යාන්ත්‍රිකව සිදු කිරීමට හැකි වන සේ මෙවලම් ගුවන් යානාවලට අළුතින් එක් කරන ලදි. එම යන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම ගුවන් නියමුවා විසින්ම හෝ ඔහු සමග අැතැම් යානාවල යන සහායක නියමුවා අතින් සිදුවිය.




මුල්ම ගුවන් යානා නාශක අවි මෙවැන්නකි. කෙසේවෙතත් මෙය ගුවන් යානා නාශනයටම තැනූවක් නොවූ අතර ටෝපිඩෝ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කිරීම සදහා නැව් වල සවිකරන ලද ගින අවියකි. විවිද ආනතයන් ඔස්සේ වෙනස් කරමින් ප්‍රහාර එල්ල කිරීමෙ හැකියාව නිසා භූමියේ සිට ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කිරීමටද මෙය ප්‍රයෝජනවත් විය.

පෙර පැවසූ පරිදි ගුවන් සංග්‍රාමික ශිල්පය ආගන්තුක දෙයක් විය. ඒ නිසා ඒ පිළිබදව දැන කියා ගැනීමට ප්‍රවීණයන් නොවූ අතර කාටත් මුල සිටම ඉගනගතයුතු ශිල්පයක් විය. මෙම බ්‍රිතාන්‍ය ගුවන් හමුදා පෝස්ටරයෙන් දැක්වෙන්නේ "කොහොමද ජර්මන් ගුවන් යානාවලට පහර දී බිම හෙලන්නේ" යන්නයි. කෙසේවෙතත් පොළවේදී හදාරනු ලබන මෙම න්‍යයයන් අහසේ යුද වදිද්දී ඒ ආකාරයටම භාවිතා කිරීම ප්‍රායෝගික නොවීය.

1915 සිසිර ඍතුව වන විට පළමු ජර්මන් ගුවන් නෞකාව බ්‍රිිතාන්‍යයේ රාත්‍රී අහසේ දිස්විය. සුවිශාල හා සෙමින් ධාවනය වන මෙම යාත්‍රා දුටුවිට ප්‍රහාරයටත් පළමුව බිම සිටියවුන් මුල් අවධියේ භීතියට පත්වූ පවද පැවසේ. කෙසේවෙතත් සමස්ථ යුද්ධය තුල මෙම ගුවන් නෞකාවල දායකත්වය ලබාගත්තේ අඩුවෙන් බවද සදහන්ය. ලෝකයේ මුලින්ම ගුවන් නෞකාවද තනනු ලැබුවේ ජර්මානුවෙකුවන Count Ferdinand Von Zeppelin විසිනි. ඒ 1900 වසරේදී. මේ නිසා ගුවන් යානා සත්‍ය වශයෙන් හදුන්වනු ලැබුවේද Zeppelin යන නාමයෙනුයි. සෙමින් ගමන් කළත් යුද්ධයේ මුල් අවධියේ මෙම යානාවලට වාසි සදහගත තත්ත්වයක් තිබුනි. එයට හේතුව මෙම ගුවන් නෞකා වලට ගුවන් යානා වලට වඩා ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබූ නිස වෙඩි තබා බිද හෙලීමට අපහසුවීමයි. ඒ නිසා පොළොවේ පිහිටි සතුරු ඉලක්ක වලට බෝම්බ හෙලීමට ප්‍රයෝජනවත් විය. 


එහෙත් ටික කලක් ගතවත්ම මෙම ගුවන් නෞකාවලටත් වඩා ඉහලින් පියාසර කළ හැකි ගුවන් යානා නිපදවුන අතර ඒවාගේ උණ්ඩ වලට ගොදුරුවීමෙන් Zeppelin යානා බිම පතිත කරලීම මහලොකු දෙයක් නොවීය. මේ කාරණය නිසා 1917 වත්දී දෙපාර්ශවයම සිය Zeppelin යානා යොදා ගත්තේ මුහුදේ ඔත්තු බැලීමේ කටයුතු සදහා පමණි.

මෙන්න මේ හතරදෙනා තමයි පළමු ලෝක යුද්ධයේ කැපී පෙනුනම නියමුවන්.

කොහොමවුනත් දක්‍ෂතාවය, තැනට සුදුසු ලෙස ක්‍රියාකිරීම, ප්‍රායෝගිකත්වය සහ වාසනාවත් තිබූ ගුවන් නියමුවන් අර මුලින් කියුව දින කිහිපයේ ආයුෂත් ඉක්මවා ජීවත්ව තම ඉහල දක්‍ෂකම් වෙනුවෙන් සම්මාන පදක්කම් පවා ලබා ගෙන තිබෙනවා. මෙම BLUEMAX කියන පදක්කම ජර්මානු ගුවන් නියමුවන්ට ලබා දුන් ඓතිහාසික ගෞරව පදක්කමක් කියුවත් වරදක් නැහැ. එයට හේතුව තමයි මේ දැක්වෙන පදක්කම මුලින් දී තිබෙන්නේ 1740 දී එවකට ජර්මනිය හැදින්වුන ප්‍රසියාව කියන රාජ්‍යයයේ පාලකයා වූ මහා ෆෙඩ්රික් රජු විසින් එදා සිටි යුද විරුවන්ටයි. එය නැවත වරක් සියවස් දෙකකට ආසන්න කාලයකට පසුව ගුවනේ දස්කම් පෑ නියමුවන්ටත් ලබා දී තිබෙනවා. හැබැයි එය සතු කර ගැනීමට මුලින් ගුවන් යානා 8 ක් බිම හෙලිය යුතුව තිබූ අතර පසුව එය 16 දක්වා වැඩි කර තිබෙනවා.

මෙන්න මේ සබැඳියෙනුත් වැඩි විස්තර දැන ගන්න පුළුවන්.  https://en.wikipedia.org/wiki/Aviation_in_World_War_I

පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපියෙන් හමුවෙමු...

11 comments:

  1. මේ ලිපිය කියවද්දී මට මෙහෙම හිතුනා දිනේෂ්. අද තිබෙන යුද තාක්‍ෂණය එක්ක සංසන්දනය කරලා, මේවට හිනාවෙන්න අපිට පුළුවන්. නමුත් මේ තමා ඒ කාලේ තිබුණු දියුණුම තාක්‍ෂණය. අද අපි පාවිච්චි කරන යුද තාක්‍ෂණය දිහා බලලා, තව අවුරුදු පනහකට පස්සේ ඉන්න අය හිනාවෙයි. (හැබැයි අද තියන යුද තාක්ෂණය පාවිච්චි කරන්න ගිහින්, මහපොළොව කියලා එකක් ඉතුරුවුනොත් විතරයි)

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම. ඒත් මෙහෙම දෙයක් හිතුනේ නැත්ද මීට අවුරුදු 100 කට ඉස්සර මේ නිපදවලා තිබෙන දේවල් එක්ක සසදනකොට ලංකාවේ මොනවද අදටත් මේවාට අාසන්න වශයෙන්වත් නිපදවලා තියෙන්නේ ඉතාම අල්ප දෙයන් නේද කියලා. විශේෂයෙන් යුද්ධය තිබුන අවධියේ හොර තුවක්කු හදන මිනිස්සු ටික හරි එකතු කරගෙන ‍ඔවුන් සිරගත කර දඬුවම් දෙනවාට වඩා ඔවුන්ගේ දැනුමට තවත් තාක්‍ෂනික දේ එක් කර අපේ සටන් වලට අවශ්‍ය කුමක් හෝ සාර්ථක අවි කිහිපයක් නිපදවා ගත්තනම් ඒකෙනුත් විශාල විනිමයක් පිටතට යාම අඩු කර ගන්න තිබුනා කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ ඒක කොතරම් ප්‍රායෝගිකද යන කාරණයනම් ඒත් යම් තරමකින් හෝ එහෙම දෙයක් කරන්න තිබුනා කියලා හිතෙනවා...

      Delete
    2. එහෙම දේවල්අ පේ රටේ නිපදවන්න උත්සාහ කළා දිනේෂ්. නමුත් අපේ තියන පසුගාමී චින්තනය සහිත දේශපාලන බල අධිකාරියෙන් ඊට අවසර ලැබුනේ නැහැ.

      කර්නල් කෙම්පිටිය සහ කර්නල් පියසෝම එක්ව හැදුවා 'කෙම්පියා' කියලා මෝටාර් එකක්. ඒකට ලොකු කැපිල්ලක් ආවා. වැඩේ එතනින් ඉවරයි.

      මෙන්න මේ බ්ලොග් එක ලියන කෙනාත් නාවික හමුදාවේදී ඒ වගේ ලොකු වැඩ ගොඩක් කරන්න උත්සාහ කලත් ඉඩ ලැබී නැහැ. මේ බ්ලොග් එකේ පරණ ලිපි වලට ගිහින් බලන්නකෝ.

      http://4s7sw.blogspot.com/2016/08/blog-post.html

      Delete
    3. ස්තූතියි නොදැන සිටි බ්ලොග් අඩවියක් ගැන දැන්වූවාටත්. ඒ වගේම කණගාටුවක් දැනුනා ලෝකයේ අසීරුම යුද තත්ත්වයක් තිබුන අපේ රටේ ඒ දේට ආධාරයක් විය හැකි දෙයක් නිෂ්පාදනය වැලකීම සම්බන්ධයෙන්. කොහොමත් ලෝකයේ අවිආයුද වෙළදාම කියන්නේ සල්ලි උල්පතක්. Lord of the War වගේම The War Dogs කියන චිත්‍රපටි වලත් එය හොදින් නිරූපිතයි.

      Delete
  2. ගුවන් යානා මුහුනට මුහුන සටන් කරපු බව මම දැන ගත්තේ "සැබෑ වීරයෙකුගේ" කතාවක් පොත කියවද්දී...ඒක දැනගත්තු වෙලේ මම පුදුම වුනා ඔවුන් කොහොමද එහෙම කරන්න ඇත්තේ කියලා..ඇත්තටම ජීවිතේ තුට්‍ටු දෙකට දාලා වෙන්න ඇති ඔවුන් ඒ මෙහෙයුම් වලට යන්න ඇත්තේ.. ආයෙ එන්න ලැබුනොත් ඒක බෝනස් එකක් හැටියට ගන්න ඇති...

    ReplyDelete
    Replies
    1. පලමු ලෝක යුද්ධය පිළිබද වාර්ථාමය චිත්‍රපටි වල මේ ගැටුම් ඒ ආකාරයෙනම් තිබෙනවා. ඊට අමතරව Aces High වගේ චිත්‍රපටිවල ඒ කාලයේ ගුවන් නියමුවන් විදි සැප වගේම ඔවුන්ගේ ජීවිතවල අවිනිශ්චිත බවත් හොදින් පෙන්වා තිබෙනවා...

      Delete
  3. මේවා හදන වෙලේ ලොකේ පුරා බඩගින්නේ මැරෙන අයට කන්න දෙන්න අල ගෙඩියක් හදන්න බැරි ද මං අහන්නේ...:)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සහෝදරී මමත් කාලයක් ඔබ දරන මතයේ සිටියා ඒත් කාලයක් සමග මා තේරුම් ගත් දෙයක් තමයි මානව වර්ගයා ලෝකයේ ජීවත්ව සිටින තාක්කල් යුද්ධය කියන දෙය නැති වෙන්නේ නැහැ. මිනිසා පමණක් නොව සත්ව වර්ගයාම තමතමන්ගේ සතුන් සමග හෝ වෙනත් සතුන් සමග කුමක් හෝ අරඹයා (ආහාර, සහකාරියන්, තම දේශසීමාව රැකගැනීම) සටන් වදිනවා. අඩුමතරමේ ගෙදරක වුනත් දෙන්නා අතරේ පොඩි පොඩි දේවල් ගැන හරි අඩදඹර වෙනවානේ. ඉතිං ලෝකයේ යුද්ධයෙන් තොර සර්ව සාමකාමි තැනක් අපේක්‍ෂා කිරීම ප්‍රාෙයා්ගික දෙයක් නොවෙයි කියලයි මට හිතෙන්නේ...

      Delete
    2. යුද්ධයට වඩාත්ම අකමැති පුද්ගලයා සොල්දාදුවායි. හේතුව............................?

      Delete
    3. මට තේරෙනව දිනේෂ් ඔබ කියන දේ... ඒත් මේ යුධ උපකරණ ආශ්‍රිත දියුණුව මිනිස් හිත් වල ඇති කරන්න කිසිම කෙනෙක් මේ වගේ ඕනකමින් පෙළබෙන්නේ නැත්තේ ඇයි.. බලන්න මේ වගේ තාක්ෂණයක් ගොඩ නඟන්න මොන තරන් වෙහෙස වෙන්න ඕනද.. අඩුම තරමේ ලොකේ එක කොනක නාස්ති වෙලා යන ආහාර, ජලය ටික අනිත් කොන හාමතේ පිපාසෙන් ඉන්න කෙනෙක් ට යවන්න ක්‍රමයක්.. විනාස නොකර..ඇයි එහෙම දේකට මේ වෙහෙස යොදවනන් බැරි කියලා මට තේරුන් ගන්න බැ

      //සර්ව සාමකාමි තැනක් අපේක්‍ෂා කිරීම ප්‍රාෙයා්ගික දෙයක් නොවෙයි කියලයි මට හිතෙන්නේ...//

      ඔබ හරි..


      Delete
    4. විචා.. සොල්දාදුවා අකමැති ඔහු මැරෙන බව දන්නා නිසාද කොයි මොහොතක හරි..

      Delete