-->

Wednesday, September 14, 2016

පළමු ලෝක යුද්ධය තවදුරටත්


මෙම යුද්ධයට සම්බන්ධ නිලධාරීන් පිළිබදව යම් සාංරාශයක් මෙසේ ඉදිරිපත් කරද්දී ජර්මනිය වෙනුවෙන් යුද වැදුන තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම්ද මේ මොහොතේ සටහන් කිරීම යෝග්‍ය යයි සිතමි. ඒ අවධියේ මෙම නිලධාරීන් දෙදෙනා කනිෂ්ඨ නිලධාරීන් ලෙස සේවය කළත් ඔවුන් දෙවන ලෝක යුද්ධයේ ප්‍රධානතම භූමිකාවක් නියෝජනය කළ අයවළුන් වූහ. ඇතැම් අය පළමු ලෝක යුද්ධය අවසන් වීමටත් ප්‍රථම සිය දිවියට සමුදී සිටියහ.

Hermann Wilhelm Göring ගැන පැවසීමේදී පළමු ලෝක යුද්ධයේ ගුවන් නියමුවෙකු ඔහු පසුව හිට්ලර්ගේ දෙවැන්නා ලෙස ප්‍රභල ස්ථානයක් නාසි පක්‍ෂයේ සහ ජර්මානු දේශපාලනය තුළ හිමි කර ගත්තේය.

එසේම ඔහු පළමු ලෝක යුද්ධයේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළේ ජර්මානු ගුවන් හමුදා ඉතිහාසයේ කැපී පෙනෙන සහ ජර්මනිය ජාතික වීරවරයෙකු ලෙස පුදනු ලැබූ  Manfred Albrecht Freiherr von Richthofen යටතේය. මෙම නාමය ඇතැම්විට ඔබට නුහුරු වූවත් පළමු ලෝක යුද්ධය පිළිබදව හැදෑරිමක් ඔබ මීට පෙර කර තිබේ නම් ජර්මානු යුද විරුවෙකු ලෙස සළකන "Red Barron" නාමය මඟහැරී නොමැති ඇති.

මිතුරු හමුදාවන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර 80 කට පමණ නායකත්වය දුන් ඔහු අවසානයේ ප්‍රංශයේදී මිතුරු පාර්ශවයේ ගුවන් හමුදා අතින් 1918 අප්‍රේල් 21 වනා ප්‍රහාරයට පත්ව මිය ගියත් ඔහු ඔවුන්ගේද ගෞරවයට ලක්වූවෙක් බව පැවසිය යුතුයි. මිය යන විට ඔහුගේ වයස අවුුරුදු 25 ක් පමණයි.
https://en.wikipedia.org/wiki/Hermann_G%C3%B6ring
https://en.wikipedia.org/wiki/Manfred_von_Richthofen

දෙවන ලෝක යුද්ධයේ හමුදා සොල්දාදුවන්ගේ අයිකනයක් ලෙස පවා හැදින්වෙන මෙන්ම “කාන්තාරයේ හිවලා (The Desert Fox)“ යන අන්ර්ථ නාමයෙන්ද හැදින්වූ Field Marshal Erwin Johannes Eugen Rommel හෙවත් Erwin Rommel නාමයද පැවසිය යුතුමය.

පළමු ලෝක යුද්ධයේදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස ඉතාලි දේශ සීමාවේ ඇල්පයින් යුද පෙරමුණේ සේවය කළ ඔහු යටත් වූ ඉතාලි සොල්දාදුවන්ටද මානුශීය ලෙස සලකමින් යුද අපරාධ වලට සම්බන්ධ නොවූ නිලධාරියෙකු ලෙස දැක්වේ. තවද දෙවන ලෝක යුද්ධයේදීද අනෙකුතු ජර්මානු යුද ප්‍රධානීන්ට කදු උසට යුද අපරාධ පිළිබදව චෝදනා ලැබූවත් අර්වින් රොමියෙල් හට එවන් චෝදනා නොවීය. සතුරන්ගේ පවා ඉමහත් ගෞරවයට පත්වූ මෙම සොල්දාදුවා පිළිබදව වෙනම ලිපියකින් ඔබ වෙත ගෙන එන්නටද අදහස් කරමි.
https://en.wikipedia.org/wiki/Erwin_Rommel

පළමු ලෝක යුද්ධයේ මූලාරම්භයට ඉතාම ආසන්න හේතුව වූ  ඝාතනයට ලක්වූ ෆර්ඩිනැන්ඩ් කුමරුගේ මාමා වූයේ ඔස්ට්‍රෝහන්ගේරියා අධිරාජ්‍යයේ අධිරාජ්‍යයත්වය ඉසිළු පළමු ෆ්‍රාන්ස් ජෝසෆ් අධිරාජ්‍යයායයි.

සිය කිරුලට හිමිකම කියූ බෑනා මරා දැමීම මෙන්ම එරට හමුදා නායකයන්ගෙන් නැගුන පීඩනයත් සමග සර්බියාව ආක්‍රමණය කිරීම හැරුන කොට වෙනත් විකල්පයක් ඔහුට නොමැතිවිය. කෙසේවෙතත් 1848 සිට ඔහු මියගිය 1916 දක්වා වසර 68 ක විශාල කාලයක් ඔස්ට්‍රෝහන්ගේරියා අධිරාජ්‍යයේ පාලකයා වූ ෆ්‍රාන්ස් ජෝසෆ් අධිරාජ්‍යයා සාමකාමී පාලකයකු ලෙසද සලකනු ලබනවා. කෙසේවෙතත් සිය පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුම අකාලයේ මියයාම (ඝාතනයට ලක්වීම හෝ සියදිවි හානිකර ගැනීම) වැනි  අභාග්‍යසම්පන්න කාරණාද ඔහුට පීඩාගෙනදුන්නා. ඔහු යුද්ධය අවසාන වන්නට ප්‍රථම මිය ගිය අතර ඒවන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.

සියවස් ගණනාවක් පුරා සමස්ථ යුරෝපයටම තර්ජනයක් එහෙමත් නැත්නම් හිසරදයක්ව ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය පැවතුනා. 1914 දී මෙම අධිරාජ්‍යයේ පාලකයා වූයේ 5 වන මෙහෙමුද් සුල්තාන්වරයායි.

යුද්ධයට පෙරාතුවම ජර්මනිය හා යුද ගිවිසුම් වලට එළඹ සිටි තුර්කිය යුද්ධය පටන්ගෙන දින 5 ක් යන තැනම එනම් 1914 අගෝ.2 දා ජර්මනියේ පාර්ශවය ගෙන යුද්ධයට සම්බන්ධවූවත් එය රහසිගතව සිදුවූවා. එහෙත් එම රහස්‍යභාවයද අවසන් කරමින් 1914 ඔක්. 29 දා සිට එළිපිටම අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවයෙන් යුද වැදී සිටියා. මේ අවධිය වන විට මෙම අධිරාජ්‍යය එහි උච්චතම අවස්ථාව වූ 1683 ට වඩා කුඩා වූවත් ඔවුන්ගේ රණකාමීත්වය මෙන්ම ආගමික මූලධර්මවාදී ආකල්ප පළමු ලෝක සංග්‍රාමය තුලදීද කැපී පෙනුනා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය නාවික හා ගොඩබිම් යුද ඉතිහාසයේ අදුරුතම අවස්ථාවක් වූ ගලිපොලී වැනි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිතුරු හමුදාවන්ගේ මිලියන කාලක පමණ සොල්දාදුවන් මියගොස් හෝ තුවාලවී හෝ අතුරුදහන් වූ අතර ඔටෝමන් තුර්කි හමුදා පාර්ශවයේද මියගිය තුවාල වූ හෝ අතුරුදන් වූ ප්‍රමාණය මෙයටද වඩා ඉක්මවූවත් නොනවත්වා එල්ල කළ ප්‍රතිරෝදය හමුවේ මිතුරු හමුදා සිය කැමැත්තෙන්ම පසුබැස ගියා. එපමණක් නොව මැදපෙරදිග කලාපයේ සියවස් ගණනක් පුරා ඓතිහාසික ස්ථානයක් වූ බැග්ඩෑඩය යටත් කර ගැනීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම් වලදීද තුර්කි පාර්ශවයෙන් එල්ල වූයේ දැවැන්ත ප්‍රතිරෝදයක් එහෙත් අවස්ථා ගණනක ලත් පරාජයන් යටපත් කරගනිමින් මිත්‍ර හමුදා බැග්ඩෑඩයත් පසුව මැදපෙරදිග ජලය සදහා සුපතල ගාසා තීරයද සිය අනසකට යටත් කර ගත්තා.

එසේම ඉතිහාසය පුරා කුරුස යුද්ධයට පදනම් වූ ප්‍රධානතම නගරයක් වූ සහ යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ආගම් ත්‍රිත්වයටම වැදගත් වූ ජෙරුසලම 1917 දී ජනරාල් එඩ්මන්ඩ් අැලන්බයි විසින් නායකත්වය දුන් සේනාංක වීසින යටත් කර ගනු ලැබුවා.

යුද්ධයේදී තවත් නගරයක් මිත්‍ර පාර්ශවයක් යටත් කරගැනීමකට වඩා ඓතිහාසිකව මෙන්ම චෛතසික වශයෙන්ද සමස්ථ මිතුරු පාර්ශවය වෙත ගෙන දෙන්නට ඇත්තේ ජයග්‍රාහී සිතුවිල්ලක්. ඇතැම්විට එය පසුමිතුරන් වුවද ජර්මන් හා ඔස්ට්‍රෝහන්ගේරියානුවන්ටද සතුටක් ගෙනදුන්නාදැයි ඇතැම්විට සිතේ.

තුර්කිය විසින් සිය රටේ වාසය කළ ආමේනියානුවන් ලක්‍ෂ පහලොවක පමණ ප්‍රමාණයක් පිටුවහල් කිරීම සහ ඔවුන් සාගතයෙන් මරණයට පත්වීමට සැලැස්වීම සහ ඇතමුන් ඝාතනය කිරීම අදටත් ලෝකය ශෝකයෙන් යුක්තව සිහිපත් කරන කාරණයක්. මෙම ආමේනියානු ජනවර්ගය, රුසියානුවන්ට පක්‍ෂපාතවීමේ වරදට ඔවුන්ට මෙම කුරිරු දඩුවම ලබාදුන් බව පැවසේ. 1915 දී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේ සියවසද මෙම වසරේ යෙදී තිබීවද සිහිපත් කළ යුතු කාරණයක්. 1915 අප්‍රේල් 24 වනදා උක්ත කාරණයට අදාලව අදලා පිරිස් හදුනාගැනීම, වර්ගකිරීම, අත්අඩංගුවට ගැනීම් මෙන්ම ආමෙනියානු ප්‍රජාවට අයත් බුද්ධිමතුන් හා ජන ප්‍රධානීන් 250 ක පමණ ප්‍රමාණයක් ඝාතනයටද ලක්කරනු ලැබීය. ඔටෝමන් අධිරාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය තලාත් පාෂා විසින් මෙම කටයුතු සිදුකිරීම සදහා වූ නියෝග නිකුත් කළ ප්‍රධානියා ලෙස සලකනු ලබයි. මෙම ජනතාව මුලිනුපුටා දැමීමේ ඔටෝමන් ක්‍රියාදාමය අධියර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කළ බව පැවසේ. ශක්තිමත් වැඩ කළ හැකි හෝ යුද වැදිය හැකි පිරිමින් ඝාතනයට ලක්කිරීම, බලහත්කාරයෙන් යුද හමුදාවට බදවා ගෙන යුද පිටියට යැවීම හෝ වහල්සේවයේ නිරත කිරීම සිදුකරනු ලැබුහ. අනෙක් අධියර වූයේ ගැහැණුන්, ළමයින් සහ වියපත්භාවයට පත්ව සිටින්නන් සහ දුර්වලතාවයෙන් යුතුවූවන් පිටුවහල් කිරීමේ මරණීය පෙළපාලියට (Death March)එක්කරනු ලැබ සිටියා. ඔවුන්ව සිරියානු කාන්තාරයේ පිහිටුවා තිබූ සාමුහික කදවුරු (Concentration Camp)වෙත තුර්කි සෙබඵන්ගේ දැඩි රැකවල් ඔස්සේ රැගෙන යමින් සිටියහ.

කෙසේවෙතත් මෙම රැගෙන ගිය පිරිස් අතරින් බහුතරයකට ගමණාන්තය වූයේ සිරියානු කාන්තාරය නොව ජීවිතාවසනායයි. කාන්තාවන් හා ළමයින් බහුතරයක් වූ මෙම පිරිස රැගෙන ගිය තමන්ගේ වටිනායයි හැගෙන දේවල් මගදී රැක සිටි දාමරික පිරිස් විසින් පැහැර ගැනීම, කාන්තාවන් දූෂනයට ලක් කිරීම, විවිදාකාර වදබන්ධනවලට ලක්කිරීම හෝ විශාල වශයෙන් ඝාතනයට ලක්කිරීමද සිදුකරනු ලැබ තිබුනා. තවද ආහාර සහ ජලය යන දේ මෙම පිරිසට නොලැබුන තරම් වූ නිසා බොහෝමයකට සාගතයෙන් සිය දිවි අවසන් කරන්නට සිදුව තිබුනා. ආමේනියානු ජනවර්ගයට අමතරව තුර්කි අධිරාජ්‍යයේ කාලයක් පුරාවටම වාසය කළ ඇසිරියානු ජන ප්‍රජාවට මෙන්ම ඔටෝමන් ග්‍රීක ජන ප්‍රජාවටද අත්වූ ඉරණම මෙයට සමාන වූ බව පැවසේ. සිරියානු කාන්තාරයේ පිහිටුවා තිබූ කදවුරු අතරින් Der Zor කදවුරු ප්‍රසිද්ධ හා ප්‍රධානතම කදවුරක් වූ අතර එහි පමණක් 300,000 ක පමණ පිරිසක් මිය ගිය බව ප්‍රකාශිතය. එහෙත් මෙම දත්ත හා මෙම අවසානාවන්ත සිදුවීම් වලට අදාල සියල්ල තුර්කි රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඉතිහාසය පුරාවටම යුදෙව්වන්සේම ආර්මේනියනුනවන්ද කිහිපවරක්ම සංහාරයට, පිටුවහල් කිරීමට හෝ වෙනයම් මහා පරිමාණ මර්ධනයන්නට ලක්වූ අතර විසිවන සියවසේදී දෙවන ලෝක යුද්ධයේ යුදෙව්වන්ට ුඅත්විදින්නට සිදුවූ කුරිරු අත්විදීමට පසුව ප්‍රමාණාත්මකව විශාල සිදුවීම ලෙසද පළමු ලෝක යුද්ධයේ ආර්මේනියානුවන් මර්ධනය සැලකේ.
http://en.wikipedia.org/wiki/Deir_ez-Zor_Camps
http://en.wikipedia.org/wiki/Death_march
https://en.wikipedia.org/wiki/Armenian_Genocide

පිරිහී, වියපත් වී යමින් පැවති ඔටෝමන් අධීරාජ්‍යයේ පළමු ලෝක යුද්ධයේ කැපී පෙනෙනම යුද සෙන්පතියා වූයේ මාර්ශල් මුස්තාෆි කෙමාල් අටාටර්ක් සෙන්පතියායි.

බ්‍රිතාන්‍ය නාවික හමුදා ඉතිහාසයේ දරුණුතම පරාජයක් වූ ගලිපොලී යුද්ධයේ වැඩි ගෞරවය තුර්කි අධිරාජ්‍යයට නතුකරදීමටද දායක වූ ඔහු යුද්ධයෙන් පසුව සිය දේශයේ පැවැත්ම තහවරු කර ගැනීමටද උරදුන්නේ දේශපාලනයටද පිවිසෙමින්. යුද්ධයෙන් පසුව සියවස් කිහිපයක් පුරා පැතිර තිබු කීර්තියද, විසිරුණු තුර්කි අධීරාජ්‍යයේ අවසානයේ ඉතිරිවූ තුර්කි ජනරජයේ පළමු ජනාධිපතිවරයා වූයේද ඔහුය. 
https://en.wikipedia.org/wiki/Mustafa_Kemal_Atat%C3%BCrk

තුර්කියට අමතරව බල්ගේරියානු රාජධානියද අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවය 1915 ඔක්. 14 වනදා සිට ගනු ලැබූවා ඒවන විට එහි රාජ්‍යත්වය උසුලනු ලැබුවේ ෆර්ඩිනැන්ඩ් සාර් රජු විසිනුයි.

අවසානයේ සිය පාර්ශවය ලද පරාජයත් සමග සිය රටට සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට සිය කිරුල අත්හැරීමට ඔහු තීරණය කළ අතර 1918 ඔක්. 03 දා රාජ්‍යයත්වයෙන් ඉවත්ව සිය වැඩිමහල් පුතුට එය පවරනු ලැබුවේය. නව රජු, 3 වන බොරිස් සාර් රජු ලෙස අභිෂේක ලැබීය.

මිතුරු හමුදාවන්ට අණදුන් නිලධාරීන් රැසක් පිළිබදව අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවයට වඩා අපට දැන ගැනීමේ අවස්ථාව තිබේ. එයින් ප්‍රධානතම නාමයක් වන්නේ Field Marshal Horatio Herbert Kitchener එසේත් නැතහොත් Lord Kitchener යන නාමයයි. ඇතැම්විට බොහෝදෙනෙක් ඔහුගේ නම නොදැන සිටියත් රුව දැක ඇතුමාට සැක නැත. ඒ අදටත් හමුදා ප්‍රවර්ධන වැඩසටහන්වලට යොදා ගන්නා පෝස්ටර් වලට එදා පළමු ලෝක යුද්ධයට බ්‍රිතාන්‍ය සෝල්දාදුවන් ලෙස එහි වැසියන් ස්වේච්ඡාවෙන්ම බදවා ගැනීමට රට පුරා ඇලවූ මේ පෝස්ටරයේ රුව බ්‍රිතාන්‍යෙයන් පමණක් නොව අදටත් බොහෝ රටවල යොදා ගැනීමයි. 

මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් ලෝකය පුරා අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහු 1902 සට 1909 දක්වා මහා බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා ලෙසද සෙවය කරනු ලැබ එයින් ඉවත්වීම සිදුවේ. එහෙත් 1914 දී පළමු ලෝක යුද්ධයේ ඇරඹුමත් සමග මහා බ්‍රිතාන්‍ය යුද ලේකම්වරයා ලෙස පත්වන ඔහු එම යුද්ධයේදී වරෙක ගෞරවයටද පරාජයන් ලබන විට අප්‍රසාදයට ලක්වේ. එහෙත් මහා බ්‍රිතාන්‍යයේ හමුදා පිරිස් ශක්තිය වැඩි කිරීමට මෙන්ම යුද බලය වැඩි කිරීමටද ඔහුගේ දායකත්වය කැපී පෙනෙන අතර 1916 දී යුද්ධයේ අවසානයක් නොපෙනෙනා මානයකදී ඔහු මිය යන්නේද අනපේක්‍ෂිත අයුරකින්. පැවසෙන පරිදි 1916 ජූනි 05 දා HMS Hampshire නෞකාවෙන් රුසියාව බලා යුද මෙහෙයුම් වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් වෙනුවෙන් ගමන් ගන්නා අතර පැය කිහිපයකට පසුව ජර්මනිය විසින් මුහුදේ අටවා තිබූ මුහුදු බෝම්බයක ගැටුනු නැව මුහුදුබත් වන්නේ එහි ගමන්කළ 600 කට වැඩි පිරිසක්ද සමගයි. ඒ අතර Lord Kitchener ද වන අතර ඔහුගේ සිරුරද කිසිදා සොයා ගන්නට නොලැබුනි.

කෙසේවෙතත් මෙම මරණය පිළිබදව මෙයට වඩා වෙනස් කතා බොහෝමයක් තිබෙන අතර ඒවායෙන් කියවෙන්නේ විවිද විවිද පාර්ශවයන්ගේ කුමන්ත්‍රණයන් හේතුවෙන් නැව පිපිරීමට සැලැස්වීමෙන් Lord Kitchener මරණයට පත් කළ බවයි. 
https://en.wikipedia.org/wiki/Herbert_Kitchener,_1st_Earl_Kitchener


Field Marshal Kitchener සේම පළමු ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය වෙනුවෙන් වැඩියෙන්ම කියවෙන හමුදා නිලධාරියේකුගේ නාමයකි   Field Marshal Douglas Haig නාමය. "Master of the Field", "the Butcher of the Somme", 'Butcher' Haig යන අන්ර්ථ නාමයන්ගෙන් පවා හැදින්වෙන ඔහු the Battle of the Somme, the Third Battle of Ypres සහ the Hundred Days Offensive යන යුද පෙරමුණුවල අණදෙන්නා ලෙස කටයුතු කළ අතර අනුකම්පා විරහිත හමුදා නිලධාරියෙකු ලෙස සතුරන් මෙන්ම තම පාර්ශවයෙන් හමුදාවන්ගෙන්ද “පැසසුම්“ ලැබීය. 

පළමු ලෝක යුද්ධය අවසානය දක්වා කැපී පෙනෙන ජයග්‍රහණ මෙන්ම ඔහුගේ නායකත්වය හමුවේ බ්‍රිතාන්‍ය සෙබළුන් විශාල සෙබළුන් සංඛ්‍යාවක් මියයාමද ප්‍රකට කාරණයකි. ඒ කොතෙක්දයත් ඔහුගේ නායකත්වය දුන් යුද පෙරමුණුවල සමස්ථයක් වශයෙන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් සොලදාදුවන් මියගොස්, තුවාල ලබා හෝ අතුරුදන්ව ඇත්තෝය.

https://en.wikipedia.org/wiki/Douglas_Haig,_1st_Earl_Haig

යුද්ධයට දායකවූ ප්‍රංශ සොල්දාදුවන් අතිමහත් සංඛ්‍යාවද අමතක කළ නොහැකිය.

Joseph Joffre, Philippe Pétain, Robert Nivelle,  Ferdinand Foch යන ජනරාල්වරුන් ප්‍රංශය වෙනුවෙන් පළමු ලෝක යුද්ධයේදී කැපී පෙනෙනම මෙහෙවරක් ඉටුකළ සෙන්පතියන් වූහ. 

මාර්ෂල් Joseph Joffre පළමු ලෝක යුද්ධය ආරම්භයේ සිට 1916 දක්වා බටහිර යුද පෙරමුනේ ප්‍රංශ  සෙබළුන් මෙහෙයවනු ලැබූ අතර යුද්ධය ආරම්භක අවධියේදී එනම් 1914 සැප්තැම්බරයේදී ජර්මානු හමුදා පළමු වරට පරාජයට පත්කළ මාර්න් හි පළමු යුද්ධය ජයග්‍රහණය කළේ ඔහුගේ මෙහෙයවීම යටතේය.

ෆීල්ඩ් මාර්ෂල් Ferdinand Foch නාමය පළමු ලෝක යුද්ධයේ ප්‍රංශයේ කීර්තිය වැඩියෙන්ම තැබූ අණදෙන නිලධාරියා ලෙස වුවත් හැදින්විය හැකිය. යුද්ධයේ අවසාන අවධියේදී එනම් 1918 වන විට බටහිර යුද පෙරමුණේ සමස්ථ අණදෙන නිලධාරීයා ලෙසද කටයුතු කළ අතර ඇමරිකානු හමුදා බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියෙකු යටතේ ක්‍රියාකාරීමට අකමැතිවූවත් ෆීල්ඩ් මාර්ෂල් Ferdinand Foch  යටතේ යුද වැදීමට එකඟවීම ඔහු තුල තිබූ නිපුනත්වයට තවත් සාධකයකි. 

ජනරාල් Robert Nivelle ද ප්‍රංශය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ යුද සෙන්පතියෙකු වූ අතර කාලතුවක්කු රෙජිමේන්තු භාරව සිටි නිලධාරියෙකු වශයෙන්ද යුද්ධයේදී ඔහු ක්‍රියාකොට ජයග්‍රහණ රැසකට දායකවී අැත.

මාර්ෂල් Philippe Pétain ගැන කතානොකර සිිටියහොත් විශාල අඩුපාඩුවකි. පළමු ලෝක යුද්ධය තුල කැපී පෙනෙනම කාර්යයභාරයක් ඉටුකළ මෙම නිලධාරියා වර්ඩන් යුද ජයග්‍රහණය නිසා ප්‍රංශයේ වීරයෙකුලෙසද නම්කෙරිණ.

එපමණක්ද නොව 1917 සිට 1920 දක්වා ප්‍රංශ යුද හමුදාවේ හමුදාති ධූරයද හොබවනු ලැබුවේ මොහු විසිනි.1934 පෙබරවාරියේ සිට එම වසරේ  නොවැම්බරය දක්වා යුද අමාත්‍යධූරයද දරණු ලැබූවේය. එසේම 1935 දී මාසයක පමණ කාලයක ප්‍රංශයේ ස්වදේශ කටයුතු අමාත්‍යධූරයද දරණු ලැබීය. 1940 මැයි සිට ජුනි දක්වා ප්‍රංශයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වූයේද මෙම යුද සෙන්පතියාමය. 1940 ජුනි සිට 1942 අප්‍රේල් දක්වා ප්‍රංශයේ අග්‍රාමත්‍යධූරයද, එයට අමතරව 1940 ජූලි මස සිට ප්‍රංශයේ පාලකයා ලෙස 1944 අගෝස්තු දක්වා කටයුතු කරනු ලැබීය.

පළමු ලෝක යුද්ධයේදී වීරයෙකු ලෙස පිදුම් ලැබූ මෙම සෙන්පතියා දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශය ජර්මනිය අතින් විනාශයට ලක්වීම වැලකීමට හෝ සිය බලය නොවැටී පවත්වා ගැනීමේ අරමුණින් හෝ 1940 ජූනි 22 වනදා ජර්මනිය සමග සාම ගිවිසුමකට එළඹුන අතර එයින් ප්‍රංශයේ උතුරු සහ බටහිර කොටස් පාලනයට, ජර්මනියට යුද්ධයකින් තොරවම අවස්ථාව ලැබුන අතර එයට පැරීසිය හා අත්ලාන්තික් සමුදුරු වෙරළ තීරයද අයත්විය.

ඉතිරි භූමි ප්‍රමාණය ප්‍රංශ රාජ්‍ය ලෙස සලකනු ලැබුන අතර එයට වීචි ප්‍රංශය ලෙස හැදින්වුනි. කෙසේවෙතත්වෙ නත් මහද්වීප වල පිහිටි ප්‍රංශ කොලනි බොහෝමයක පාළනයද සතුවූයේ Philippe Pétain හටයි.

කෙසේවෙතත් 1944 දී ප්‍රංශය මිතුරු හමුදාවන් සතුවූ පසු මෙම ජර්මානු පාලනය සේම Philippe Pétain ගේ පාලනයද අවසන් වූ අතර මුලින් රටින් පිටුවහල් කෙරුණ ඔහු පසුව 1945 ජූලි සිට එම වසරේ අගෝස්තු දක්වා පැවති නඩු විභාගයකින් ඔහු විසින් රට පවාදීම,  රටේ ගෞරවය කෙලසීම යනාදී කරුණු ප්‍රධාන කොට වරදකරු විය. එහිදී ජූරියේ එක් ඡන්දයකින් මරණ දඬුවමද නියම වූ අතර ඔහු  ඒ වන විට 89 වන වියෙහි පසුවූ නිසා ඔහුගේ වයෝවෘදභාවයත්, යුද සෙන්පතියෙකු ලෙස පළමු ලෝක යුද්ධයේදී ඔහු කළ මෙහෙයට ගරුකිරීමක් ලෙසත් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරගත කිරීමකට පරිවර්ථනය විය. එහෙත් ඔහු උපයාගත් සියළු හමුදා නිලයන් සහ ගෞරවයන් ඉවත් කළ අතර එක් දෙයක් පමණක් ඉතිරි කරණු ලැබීය ඒ ඔහුට ලබා දී තිබූ Marshal of France යන ගරු නාමය තබා ගැනීමට ඉඩ දීමයි.

මෙම සෙන්පතියා සිරගතවූ පසුව පවා ඔහුගේ නීතිඥයයන් ඔහුව නිදහස් කර ගැනීමට බොහෝ වෙහෙස දැරුවත් එය සඵල නොවීය. වෙනකක් තබා විදේශීය රාජ්‍ය නායකයන් රැසක්ද ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා සිටියහ. එවකට ඇමරිකානු ජනපති ටෲමන් හා ස්පාඥය ආඥාදායක ෆ්‍රැන්කෝ පව එම ඉල්ලීම කළහ. එහෙත් එම අවධියේ අස්ථාවරව පැවති ප්‍රංශ රජය Philippe Pétain නිදහස් කිරීමට මැලිවූයේ එය අස්ථාවර රජය බිදවැටී නැවත ඔහුට බලය ලබා ගැනීමේ අවස්ථාවද ලැබේවි යන බියත් නිසාය. කෙසේවෙතත් සිරගතවන විට සෞඛ්‍යය සම්පන්නව සිටි Philippe Pétain සිරගත ජීවිතයේ දුෂ්කරත්වයත් සමග ගිලන්වීම ආරම්භ විය. මෙලෙස ක්‍රමයෙන් සෞඛ්‍යය පිරීහි අසාධ්‍ය තත්ත්වයට පත්වූ එක කලෙක වීරත්වයෙන් පිදුම් ලැබූ සෙන්පතියා ද්‍රෝහියෙකු ලෙස 1951 ජූලි 23 වනදා වයස 95 ක් ව තිබියදී රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ඉතිරිය පසුවට,

පසුව ලියමි - මා මෙම ලිපිය සකස්කිරීම ආරම්භ කළේ ගිය වසරේ හරියටම කියනවා නම් ගිය වසරේ සැප්. 11 වන දා තමයි අවසන් වරට ලිපියට කරුණු එක් කර තියෙන්නේ. කොහොමවුනත් ටිකකලක් මේ කාර්යයෙන් ඉවත්ව සිටි නිසා ලිපියේ ඉතිරි අර්ධයේ වැඩ ආරම්භ කළේ ඊයේ එනම් වසරකට පස්සේ තමයි ලිපිය අවසන් කර තියෙන්නේ...

6 comments:

  1. මෙවැනි වටිනා තොරතුරු බෙදාහදා ගැනීම ගැන බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිපිය කියවන්න පැමිණියාටත්....

      Delete
  2. බොහොම ඉහලයි දිනේෂ්, බොහොම ඉහලයි. පොඩි පොඩි වීඩියෝ දෙකතුනකුත් දාන්න පුලුවන්නම් තවත් හොඳයි.

    සිංහල පාඨකයාට මෙවැනි තොරතුරු ලැබෙන්නේ නැති තරම්.

    නොකඩවා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! විශාල තොරතුරු ප්‍රමාණයක් කුඩා කර තමයි මේ ලිපි පෙලේදී ලියන්නට සිදුව තිබෙන්නේ. වීඩියෝ නම් බොහෝමයක් තිබුනත් ඒවා විශාල ධාරිතාවයකින් යුතු වන නිසා ලිපියට එක් කරන්නට අවධානය යොමු නොකළත් අවශ්‍යනම් Youtube වෙත පිවිසීමෙන් මේ තේමාවට අදාල වීඩියෝ රැසක් දැකගැනීමට හැකියාව ලැබේවි...

      Delete
    2. එහෙනම් හොඳම දේ ඒ වීඩියෝ වලට ලින්ක් පෙන්වන එක නේද? එහෙම කිරීම කියවන අයට කරන උපකාරයක්. හිතලා බලන්නකෝ.

      Delete
    3. link එකක් දෙකක්, අඩුම තරමින් පහක් වත් නම් ගැටළුවක් නැහැ. ඒත් මේ ලිපියක් ලියන්න වීඩියෝ විශාල ප්‍රමාණයක් නරඹන්න වෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල පෙර කී ආකාරයට Youtube වෙත පිවිස එහි සෙවුම් මෙවලම ඔස්සේ මේ ලිපියේ කාරණාවලට අදාල වන වීඩියෝ රැසක් ලබා ගැනීමට හැකියි. කෙසේවෙතත් අවම වීඩියෝ ප්‍රමාණයක් භාවිතා වන ලිපි වලදී සබැඳිය ලබා දීමට උපරිම උත්සාය දරන්නම්...

      Delete