Tuesday, March 6, 2012

මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5

විවිද හේතු නිසා මන්දගාමී තත්ත්වයට පත්ව ඇති බ්ලොග් ලිවීම යථා තත්ත්වයට පත් කරගැනීමට, අද ලියා තිබෙන්නේ කාලෙකට ඉස්සර ආරම්භ කරල තවම ඉවරයක් දකින්නට නොලැබුන මධ්‍යතන යුග‍ය ගැන තවත් විස්තර ටිකක්.

අපි මුල් ලිපි වලින් කියවපු විදියට රජවරු ගාවින්ම ඉන්න බලපුළුවන්කා‍ර‍යෝ තමයි බැරන්වරු, ඒවගේම බිශොප්වරු වගේ කෙලිකාරයෝ. ඔවුන්ට වඩා බලයෙන් අඩු ඒත් ගමේ හෝ ඒ ඒ ප්‍රදේශවලදී බලය තහවුරු කරගෙන සිටිය අය තමයි Lords හෙවත් තේරෙන විදියට කියනවා නම් ස්වාමිවරු/වංශාධිපතිවරු/රඳලයෝ/සාමිවරු/ප්‍රභූ ඊටත් වැඩියෙන් කියනවා නම් හාමු කියල හදුන්වන අය‍.

සමහර වංශාධිපතිවරු "නිර්භීත" නයිට්වරුද විය
ඒ කාලේ ගමක මුලික් ස්වරූපය ගත්තහම ප්‍රධානම ස්ථානය තමයි මේ හාමුලා සිටිය හාමු ගෙදර ‍(Lord's house).එහෙම කිවුවට ඇත්තම කිවුවොත් මේක බලකොටුවක්. ඊට අමතරව පල්ලිය සහ ගොවිබිම් සමග ප්‍රවේණි දාසයන්ගේ යන්තම් ගෙවල් කිව හැකි පැල්පත් තමයි තිබුනේ.  මේ හාමුගේ බලකොටුව තමයි ඒ ගමේ ප්‍රධානම කේන්‍ද්‍රස්ථානය.



හාමුලා තමයි ඒ ඒ ගම්බිම් පාලනය කලේ. එයට හේතුව වෙන්නට ඇත්තේ ගමේ බහුතරයක් ඉඩකඩම් ඔවුන් සතුවීම, ඔවුන්ට වඩා ඉහලින් සිටි බැරන්වරු විසින් පැවරූ ඉඩකඩම් වල පරිපාලනය, මේ ප්‍රභූවරු සමහරක් නයිට්වරු වීම වගේ හේතුනිසා හමුදාමය බලය අතින්ද බලය ඇති අය වීම වගේම පරම්පරාවෙන් ඉඩකඩම් හා බලය හිමිවතිබූ අයවීම වැනි කාරණා හා ඔවුන්ගේ පිහිටෙන් තොරව එම ගමේ දිළින්දන්ට හව්හරණක් නොමැති නිසා නිරායාසයෙන්ම ඔවුන් බලවතුන්. ඒ එක්කම රජු යම් යුද්දයකට පැටලෙනවා නම් එයට සහය වීම වගේම එයට අවශ්‍ය බලසේනා සැපයීමද මෙම ගමේ ලොක්කො අතින් සිදුවුන නිසා රජ්ජුරුවොත් ඔවුන් කරන්නේ මොනවාද කියන එක වැඩිය හොයා බැළුවේ නැහැ. ඒ නිසා මේ ගම්බ්මවලත් තිබුන නිතිය වුනේ රඳලයන්ට කැමති නීති තමයි. ඔවුන්ගේ නින්දගම් වලට අයත් චංචල හා නිශ්චල දේපල සියල්ලේම අයිතිය හාමුලට අයිති නිසා මේ කාලයේ යුක්තිය වඩා රජකලේ අයුක්තිය බව තමයි අයන කියන සෑම දෙයකින්ම දැනගන්නට ලැබෙන්නේ.


මේ හාමු පැලැන්තියේත් බහුතරයක් දෙනා ඒ කාලේ ඉගන ගත්ත අය නොවෙයි. පියාගෙන් හෝ සහෝදරයාගෙන් උරුම වුන නින්දගම් හා තානාන්තර සමග බලපුළුවන්කාරයෝ බවට පත්වුන මේ හා‍දයෝ සම්බන්ධවුන යුද්දවලින් පණ නහගන්නේ නැතුව අවොත් ඉතින් තවත් ආඩම්බරකාරයෝ වෙලා නම්බුනාමත් එක්ක බලය වැඩිකරගන්න එක තමයි කරල තියෙන්නේ. කලිනුත් කිව්වවගේ නීතිය ඒ ඒ හාමුලට ඕන විදියට සකස් කර ගත්ත එක විතරක් නොවෙයි, ගමේ උසාවියේ නඩු අහලත් තියෙන්නෙ මේ අයම තමයි. ඒ කාලේ ඉතින් වරදකට අහුවෙනවා කියන්නේ ඉතින් බොහොම අභාග්‍ය සම්පන්න දෙයක් වෙන්න ඇති.

මධ්‍යතන යුගයේ ගමක් ගත්තම අද තරම් දියුණු නොවුනත් යම් තරමකට ස්ව්‍යංපෝශිතබවක් තිබුන බව කියන්න පුළුවන්. ආහාරපාන, ඇදුම් ආයිත්තම් තමන්ගේ ප්‍රදේශයෙන්ම සකස් කරගත් ඔවුන් බාහිරව ලබා ගෙන තිබෙන්නේ මස් උයන්නට අවශ්‍ය ලුණු, ආයුධ නිශ්පානයට අවශ්‍ය යකඩ වගේ දේවල් පමණයි. ඒවගේම ගමෙන් පිටතට ගිය පිරිසත් ඉතා අල්ප වුන අතර ගමට පැමිණෙන පිරිසද අල්ප බව තමයි කියන්නේ. ඒ විදියට ගමෙන් පිටතට හෝ ගමට ඇවිත් තියෙන්නේ සංචාරකයන්, වන්දනාකරුවන්, සොල්දාදුවන් හෝ ඉබාගතේ යන මිනිස්සු විතරයි.

මේ හාමුලාට තමන්ගේ නින්දගම් වල නිශ්චල චංචල දේපල සියල්ල අයිති නිසා ඇහැටකනට පේන ප්‍රවේණි දාස පැලැන්තියේ ලමිස්සියෙකුට වුනත් ගැලවීමක් නම් නැතිවනු බව තමයි ඒකාලේ වගතුග ගැන කියනකොට කියන්නේ.මේ ව‍ගේ ගැහැණු දඩයම් වලට අමතරව රදලයන්ගේ විවේක කාලය ගතවෙලා තියෙන්නේ අසල ලදුකැලෑවට ගිහිල්ල දඩයම් කරන එක වගේ දේවල් තමයි. ඒකට රදල නාම්බෝ විතරක් නෙමෙයි ඔවුන්ගේ රදල නැම්බියොත් හරිහරියට සහභාගිවෙලා තියෙනවා.



මේ හාමු මහත්තුරු හැම වෙලාවෙම තමන්ගේ දේපල පරිපාලනය කරන්න, ඒවගේම දේපල වල ගණුදෙනු ආදිය පවත්වාගෙන යන්න තමන්විසින්ම මහන්සි වුනේ නැහැ. ඒ සදහා ඔවුන්ට ලියන මහත්තුරු සිටියා. ඔවුන් හදුන්වනු ලැබුනේ The Steward නමින්. ඔවුන්ට හොද ගෙවීමකුත් ලැබි තිබෙනවා. ඒ එක්කම රඳලයන් තමන් දුරබැහැර යන විට වගකීම් පවරල ගිහිල්ල තියෙන්නෙත් මෙම අයට තමයි.



Steward හෙවත් අපි මේ කතා කල ලියන මහත්තුරුන්ටත් පහලින් සිටිය අයව හදුන්වා තියෙන්නේ The Bailiff නමින්. ඔවුන් සාමන්‍යයෙන් ඇඳපු ඇදුම ටිකක් ප්‍රවේණි දාසයන්ගේ ඇදුමට සමාන වුනත් ඔවුන් ප්‍රවේණි දාසයන්ට වඩා සෑහෙන්න ඉදිරියෙන් වගේම බලයක් තිබුන අය. ඒ එක්කම ඔවුන් ප්‍රවේණි දාසයන් වගේ තම ඉහල හාම්පුතුන්ට සෑම අතින් බැදීම් තිබුන අය නොවෙයි.  ඔවුන් ඉඩකඩම් සුළු ප්‍රමාණයක් හිමි නිදහස් මිනිසුන්. හැබැයි ඉතින් ඔවුනුත් හාමුලට යටහත් පහත්ව වතුපිටිවල වැඩකරපු අය ගැන විශේෂ යමක් තිබුනොත් තමන්ගේ හාම්පුතුන්ව දැනුවත් කරල අදාල පියවර ගන්න උදව් කල අය.


Bailiff ට සහය වෙන්න තවත් තනතුරක් තිබුනා. ඔවුන් තමයි The Reeve නමින් හදුන්වපු නිලය. හැබැයි මෙම නිලය තාවකාලික එකක් වගේම එය වසරකට වරක් ප්‍රවේණි දාසයන් අතරින් තොරාගත් පුද්ග‍ලයෙකුට ලබාදුන් තනතුරක්. මෙම නිලය දරපු කෙනා හදුනාගන්න දුන් සලකුන තමයි ඔවුන්ට සුදු සැරයටියක් අත දරාගන්නට ලබාදීම.

මොවුන්ට පැවරුන රාජකාරිය තමයි තමන්ගේ පැලැන්තියේ අනෙක් ප්‍රවේණි දාසයන් නියමිත වෙලාවට වැඩට වාර්තාකරනවාද? ඔවුන් හොරබොරු නොකර හරියට වැඩ කරනවාද? අස්වැන්න ‍හොරෙන් රැගෙනයනවාද? යන කාරණ නිරීක්‍ෂනය කර තමන්ගේ ඉහල නිලධාරීන්ට වාර්තා කිරීම. මේ තනතුර හරියට අපේ වතුවල කංකානි වගේ එකක්.

මධ්‍යතන යුගයේ පහලින්ම සිටිය මිනිසුන් පිරිස තමයි ප්‍රවේණි දාසයන් යනුවෙනු හදුන්වපු පිරිස. ඒ කාලේ මොවුන් හදුන්වලා තියෙන්නේ Peasants/Villeins/Serf යන නම් වලින්. කොටින්ම කියතොත් මොවුන් ගොවියන් ඒ කියන්නේ ඉපදිලා වැඩකරන්න පුළුවන් කාලේ ආව දවසේ ඉදන් මැරෙනකම්ම ගොවිතැන, සත්ව පාලනය කියන දේවල් තමයි මොවුන්ට උරුම වෙලා තිබුනේ. අයිතීන් නොමැතිම පීඩිතයන් පිරිසක් වුන මොවුන්ට අයිතියි කියල තිබුනා නම් තිබුනේ කුසගින්න ඇති උදරය පමණක් කියල තමයි උපමාවට කියන්නේ. ඔවුන්ගේ ගොවිබිම, ඔවුන්ගේ සත්තු, ඔවුන්ගේ කෑමබීම, ඔවුන්ගේ ඇදුම් පැලදුම්, නිවාස යන මේ හැමදෙයකම අයිතිය ප්‍රවේණි දාසයකු ඉපදෙන්නටත් පෙර අයිතිව තිබුනේ ඔවුන්ගේ රදල හාම්පුතුන්ට. ඒ විතරක් ‍නොවෙයි සියුම්ව බැළුවොත් ඔවුන්ගේ ජීවිත පවා අයිතිව තිබුනේ හාම්පුතුන්ටමයි. ඔවුන් ජීවත්වෙනවාද? නැත්ද? යන කාරණය සුළු දෙයකින් පවා තීරණය කරන්න මෙම හාම්පුතුන්ට හැකියාව තිබුනා.

තම ජීවිත කාලය පුරාවටම ඉරිදා හා ආගමික නිවාඩු දිනයන් හැර අනිකුත් දිනවල අධික ලෙස වෙහෙසවී වැඩකරන්නට වූ මෙම ප්‍රවේණි දාසයන් බහුතරයක‍ගේ ජීවිත කාලයද වසර විසිපහක් තරම් කෙටි එකක් වූ බව තමයි පැවසෙන්නේ. කටුක දේශගුණික තත්ත්වයන් යටතේ සහ තමන්ට අසනීප තත්ත්වයන් යටතේ ප්‍රමාණවත් තරම් කෑමක් බීමක් නැතිව හාම්පුතුන්ගේ ගොවිපොලවල වැඩකරන්නට වූ මොවුන්ගේ ‍දිවිය කෙටි එකක් වීම ගැන පුදුමයක් වන්නට දෙයක් නැහැ. අධ්‍යාපනයක් නොලද නිසා නූගත් ගැමියන් වූ මොවුන්ගේ ආකල්පමය වශයෙන් පරාධීන පුද්ගලයන්වූ නිසා ඇතැම් විට ඒ කාලයේත් ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට පහසුවෙන් ගොදුරුවෙන්නටත් ඇති. තමන් රදල හාම්පුතුන්ගේ ඉඩම් වවල වගා කල බෝගයන්ගෙන් හාම්පුතුන්ගේ කොටස හැරුන කොට පල්ලියට. රජයට යනාදී විවිද පාර්ශය වලට බදුගෙවූ පසු තම පරිභෝජනය ඉතිරි කරගන්න හැකි වන්නට ඇත්තේ ඉතා සුළු අස්වැනු ප්‍රමාණයක් ඇතැම් විට එයත් ඉතිරි කරගන්නට බැරි වන්නට ඇති.

තමන් අයත් නින්දගමින්, හාම්පුතුන්ගේ අවසරයකින් තොරව මොන ලෙසකින් පිටව යාම තහනම් ව තිබූ මොවුන්ට යම් හෙයකින් ‍නිදහස් පුරවැසියන් වන්නට ඉඩක් ලැබුනේ එක්කෝ සල්ලි ටිකක් ඉතිරි කරගෙන තමන්ගේ කියා ඉඩම් කෑල්ලක් මිලට ගැනීම, එහෙමත් නැත්නම් නිදහස් කාන්තාවක් හෝ පුරශයෙකු සරණපාවා ගැනීම. ඒත් මේ  විකල්ප දෙකම ලේසියෙන් සපුරා ගත නොහැකි නිසා ඔවුන්ට නිදහස් පුරවැසියන් බවට පත්වීමට තිබූ ලේසිම ක්‍රමය මරණය පමණක් වන්නට ඇති.

තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය බඩුබාහිරාදියත් තමන්ටම සකස් කරගන්නවා විනා ඒවා අධික මිලක් දී මිලට ගන්නටවත් නොමිලේ කවුරුවත් ලබාදෙන්නටවත් ඔවුන්ට සිටියේ නැහැ. ඒ නිසා අත්කම් වැඩ දන්න ප්‍රවේණි දාසයන් තමන්‍ට අවශ්‍ය මැටිබඩු, හම් වලින් සකස් කරපු බඩු යනාදිය සකස් කරගත්තා. ඔවුන්ට මේ දේවල් වලටත් වඩා පහසුවෙන් වගේම ප්‍රයෝජනවත්ම දේවල් සකස ගන්න උපකාර වුන අමුද්‍රව්‍යයක් තමයි තමන්ම ඇති කල බැටළුවන් සහ හරක් යන සතුන්ගේ අඟ. මොකද මෙය ලීවලට වඩා සැහැල්ලු හා ශක්තිමත් බවක් තිබුනා නිසා විවිද උපකරණ තනා ගන්න අමුද්‍රව්‍යයක් විදියට සත්ව අං භාවිතා කරල තියෙනවා.

තමන්ගේ රෙදිපිළිද ගෘහස්ථව, ගෙවිලියන් විසින් සකස් කරගනු ලැබූ අතර පහත දැක්වෙන්නේ මෙම රෙදිවලින් මධ්‍යතන යුගයේ පිරිමි පාර්ශවයේ ප්‍රවේණි දාසයන් පොදුවේ සකස් කරගත් ඇදුමයි. මෙහි පිට කබාය නම් කිසිදා සෝදන එකක් නොවූ අතර ඇතුලත ඇදුම් නම් සෝදනු ලැබූ බව පැවසෙනවා. කොහොමවුනත් රෙදි හෝද හෝද හෝ ඇඟ හෝද හෝද කාලය ගතකරන්නට වැඩි අවකාශයක් නොලැබුන නිසා නිරතුරුවම ගස්ගස වහනය වූ පිරිසක් ලෙසද හාස්‍ය හෝ අපහාසයකින් තොරව සානුකම්පිතව මොවුන් ගැන පැවසීමට සිදුවෙනවා.


මධ්‍යතන යුගයේ ජීවත්වූ මිනිසුන් 90% ක් දෙනාගේ පූර්ණකාලීන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය බව පැවසෙනවා. මේ අතරින් තිරිඟු වගාව ප්‍රමුඛ තැනක් ගත් අතර තුන් කෙත් ක්‍රමයට (Three Field System) ගොවිතැන සිදුවී තිබෙනවා. සාම්ප්‍රධායික ලෙස කෙරුන මෙම ගොවිතැන අකාර්යක්‍ෂම එකක් ලෙසද සැලකෙනවා. ඔවුන් භාවිතා කල මෙම තුන්කෙත් ක්‍රමයේදී ගොවිබිම විශාල කොටස් තුනකට සමසේ බෙදන අතර එම කොටස් වල හොද සාරවත් හා නිසරු පස් ඇති භූමි දෙවර්ගයම සමසේ බෙදී යනසේ බෙදන ලද බවද පැවසේ. මෙම කොටස් තුනෙන් දෙකක බීජ වපුරන අතර අනෙක එම වසරේ අතහැර පුරන්වීමට තබනු ලබයි. එසේ කරනු ලබන්නේ එම කොටස සාරවත්වීම පිණිසයි. වසරක් ගත් විට ශීත ඍතුවේදී එක් ලියද්දක තිරිඟු වපුරන අතර එම වසරේ වසන්ත කාලයේදී අනෙක් ලියැද්දේ බාර්ලි, රයි හෝ ඕට්ස් වගා කරනු ලබයි.

මේ සෑම ක්‍රියාවලියක් සිදුකිරීමට ඔවුන් සතුව යන්ත්‍රසූත්‍ර කිසිවක් නොවූ අතර මිනිස් ශ්‍රමයෙන් සියල්ලක්ම සිදු කල යුතුවූ අතර සුළු ලෝහ ආම්පන්න කිහිපයක් පමණක් ඔවුන්ගේ සහයට විය.



ග්‍රීස්ම ඍතුවේ අගභාගයේදී අස්වනු නෙලද්දී ගමේ පිරිමි සමග ගැහැණු සහ ළමයින්ද අස්වැනු නෙලීමට සම්බන්දවිය. 

අස්වැනු නෙලීමේදී පිදුරු ඇවිස්සීමට හා අනෙකුත් කාර්යය සදහා මේ ආකාරයේ දිගමිටක් ඇති ලී මුල්ලුවක් භාවිතා කර තිබේ.

තවද අස්වැනු ප්‍රවාහණය සදහා ඔවුන් පහත ආකාරයේ කරත්ත ප්‍රයෝජනයට ගෙන ඇත.

නෙලාගත් තිරිඟු ආදියේ අස්වැන්න පිටි කර ගැනීමට මෝලට රැගෙන යායුතු විය. එතැනදීද තිබුනේ රදලයන්ගේ සූරාකෑමය. එක් නින්දගමක තිබිය යුතුවූයේ එක් මෝලකි. එය ජල ප්‍රවාහයක ආදාරයෙන් ක්‍රියාත්මකවූ අතර එහි හිමිකරුවාද තම හාමු මහත්මයාම විය. අඩුම තරමින් අතින් ක්‍රියාකරවිය හැකි කුඩා මෝලක්වත් පවත්වාගෙන යාම තහනම් වු අතර මෙම එකම මෝලට අස්වැන්න රැගෙන විත් සකසා ගතයුතුවූ අතර ඒ සදහා අස්වැන්නෙන් කොටසක් රදලයාට ගෙවිය යුතුවිය.

කවදත් මිනිසාට නැතුවම බැරි තිරිගු
එහෙත් හාමු මහත්තයා හිතන තරම්ම නරක නැත. ප්‍රවේණි දාස ගොවීන්ට අවශ්‍යනම් තම පාන් පුළුස්සා ගැනීමට රදලයාගේ පෝරණු භාවිතා කල හැකිවිය. එසේම සූර් වීමට අවශ්‍ය නම් තමන්ගේ මිදි හාමු‍ සතුව තිබූ වයින් හදන Wine Press උපකරණයෙන් වයින සාදා ගැනීමේ අවකාශද ලබාදුනි. හැබැයි මේ දේවල් කරගැනීමට ගාස්තු නම් ගෙවිය යුතුවිය.


ඒ විතරක් නෙමෙයි මේ හාම්පුතුන් විසින්, හැම වාරයකදීම ඕක් ඇට, බීච් ඇට ‍වැටෙන කාලෙට තමන්ගේ ගොවියන්ට, ඔවුන්ගේ ඌරන්ට ඒ ගස් අතර ගැවසෙන්නට ඉඩ ලබාදුන් නිසා ඒ සතුන්ගේ කෑම බීම ප්‍රශ්නෙ නම් ටිකක් විසදගන්න පුළුවන් වුනා.

මධ්‍යතන යුගයේ තිබුන හොද ව්‍යාපාරයක් තමයි බැටළු ලොම් අලෙවිය. මොකද යුරෝපයේ ශීත ඍතුවේ ලෝම් ඇදුම් නැතුව වාසය කිරීම අපහසු නිසා හොද ඉල්ලුමක් මේ වෙනුවෙන් තිබුනා.


මේ යුගයේ කාන්තාවන්ගේ රාජකාරිත් සදහන් නොකලොත් අඩුපාඩුවක් නේ. ඒ ගැන විස්තරත් සමග ඊලඟ ලිපියෙන් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතින්නම්... (මේ පින්තූර විශාල ඒවා නිසා කුඩා කරල තමයි මෙහි පල කර තිබෙන්නේ. ඒවා මත Click කිරීමෙන් විශාල පින්තූර බලා ගත හැකිය).

මේ වන විට මේ ලිපි මාලාවට අදාලව පලකර ඇති අනෙක් ලිපි -
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3
මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4


17 comments:

  1. දීර්ඝ විස්තරයක් ඔබගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. හොඳ ලිපියක්.
    ලංකාවෙ අතීතයත් මීට වඩා වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පැවතුනා යයි කියන රාජකාරී ක්‍රමය තුල සාමාන්‍ය වැසියන්ට අත්විදින්නට සිදුවන්නට ඇත්තේත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ ප්‍රවේණි දාසයන් සිටි තත්ත්වයට තරමක් සමාන කමක් තමයි. හැබැයි සියළු අතින්ම ලංකාවේ තත්ත්වය යුරෝපයේ මධ්‍යතන යුගයට සමාන වන්නේ නැහැ. අසමානකම් බොහෝමයක් තිබෙනවා...

      Delete
  3. මට මතක් උනේ රොබින් හූඩ් ,ඒකෙන් තමා මේ වචන මුලින්ම කනට ඇහුනේ බැරන් වරු,ලෝඩ් වරු,කොටින්ම මේ ලිපිය කියවනකොට මතක් උනෙත් ඒ බලපු රොබින් හූඩ්,ඒකේ ගියේ මේ වගේ සිදුවීම් නේ,ගොඩක් ස්තූතී ලිපියට.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ලිපි පෙළ බලන්නෙ රොබින්හුඩ් හිතේ තියාගෙන..මේ ලිපි ටික තියරි නම් රොබින් හුඩ් තමයි ප්‍රැක්ටිකල් එක..

      Delete
    2. ස්තුතියි! ඇයි රොබින් හුඩ් විතරද? මෙල් ගිබ්සන්ගේ Brave heart, තව Timeline කියන චිත්‍රපටියෙත් මේ කියපු දේවල්වලට සමාන දේවල් තිබුනා...

      Delete
  4. දිගටම ලියමු.....

    ReplyDelete
    Replies
    1. මොන හේතුවක් නිසාද දන්නෑ උදාර, මේ ලිපි පෙලේ ලිපි කියවන පිරිස හරිම අඩුයි...

      Delete
  5. එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනගෙන තිබුණු කරුණු විස්තරාත්මකව හරියට දැනගත්තේ මේ ලිපියෙන්. විස්තරවලට ස්තුතියි! මටත් මතක්වුනේ රොබින්හුඩ්.

    ReplyDelete
  6. මමත් ඉතිහාසයට යම්යම් කරුණු ඉගෙනගෙන තිබුණ,මේ හාමුල හිත්පිත් නෑති ජාතියක් වෙන්න ඕන,ඉගෙනගෙනත් නෑහෑනෙ.ලOකාවෙත් මේ වගේ පරිසරයක් තිබිල තිබෙනව ඒත් මම අහපු විදියට මේ තරම් කෘර නෑහෑ හදිසි රදලයෙක් හෑර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මමත් හිතන්නේ ලංකාවේ මීට තරමක් සමාන තත්ත්වයක් තිබුනත් මේ කියන තරම් නරක නැහැ...

      Delete
  7. හොඳ විස්තරයක් දිනේශ්. කොහෙන්ද මේ විස්තර හොයාගත්තේ.. ලංකාවෙත් ඔය තත්ත්වයම තමා මම හිතන්නේ තිබිලා තියෙන්නෙ..

    කිව්වත් වගේ රොබින් හූඩ් එකෙත් පෙන්නන්නේ ඕකම තමා.. මට අර මෝල එහෙම මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අන්තර්ජාලයේ විවිද මූලාශ්‍ර කිහිපයක්ම පරිශීලනයෙන් තමයි මේ විස්තර ලබාගත්තේ...

      Delete
  8. ඇත්තටම මේ විස්තරය කියවනකොට රොබින් හුඩ් කතාව මතකයට එන එක නම් වලක්වන්න බෑ.... මේ කියන සෑමදෙයක්ම වගේ ඒකෙ පෙන්වනවනෙ.... ඒ වගේම ඇඳුම් පවා සකස් කරලා තියෙන්නෙ ඔය දාපු පින්තූරවල තියෙන වගේ ඒවා අනුසාරයෙන් කියල හිතෙනවා..... අර අසරණ දාසයන්ගෙ ජීවිත මොන වගේ වෙන්න ඇතිද කියල හිතනකොට හරිම දුක හිතෙනව.... ඒ මිනිස්සුන්ට සතුටක් සැනසීමක් කියල දෙයක් තියෙන්නම නැතුව ඇති...
    බොහොම ස්තුතියි දිනේෂ් සෑහෙන කාලයක් වැය කරන් තොරතුරු හොයලා මේ විස්තර අපට කියවන්න සලස්වන එකට.... අධෛර්යමත් නොවී දිගටම ලියන්න... ආසයි කියවන්න....

    ReplyDelete
  9. නියමයි අයියා

    ReplyDelete
  10. ela ela ela elakiri

    ReplyDelete