-->

Friday, December 16, 2011

වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට පදනම් වන්නේ මේ මාතෘකා ටික පමණක්ද?

මේ ලිපිය ලියන්න හිතුනේ අහම්බෙන් වගේම ක්‍ෂනිකවම හිතට දැනුන අදහස් මතයි. මෙන්න මේකයි කාරනේ අපි කුඩා කාලේ චිත්‍රපටි නැරඹුවේ චිත්‍රපටි ශාලාවලට ගිහිල්ලා. එහෙමත් නැත්නම් රූපවාහිනියේ පෙන්වන චිත්‍රපටි. හැබැයි මුල් කාලේ සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්නුවේ නැහැනේ. පස්සේ මෑත කාලෙක තමයි බහුලවම සිංහල චිත්‍රපටි පෙන්වන්න පටන්ගත්තේ. දැන්නම් මොකක් හරි චැනල් එකක දිනකට එකක් හරි බොහෝවිට සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය වන නිසා පැරණි වගේම අළුත් චිත්‍රපටියක් සිනමා ශාලාවකට යන්නේ නැතුවම ගෙදර ඉදලා බලන්න පුළුවන්.

ඒත් පැරණි චිත්‍රපටි අතරින් 70 දශකයේ වගේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි පැවසෙන යුගයෙන් පසු නිපදවූ චිත්‍රපටි අතරින් කීයෙන් කීයද රසවිදින්න පුළුවන්. ඉංග්‍රීසි චිත්‍රපටියක් ගත්තම අඩුම තරමින් කතාව හොද නැතත් දර්ශනීය පසුතලයන්, කතාබට ඔබින ආකාරයේ ඇදුම් පැලදුම්, තාක්‍ෂණික උපක්‍රම වගේම ඒ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සුලභ සිදුවීම්, ජීවන පිළිවෙත් වගේ දේවල් හරි දැනකියාගන්න අවස්ථාවක් ලැබෙනවා. වෙන එකක් තියා ඉන්දියානු සිනමාව ගත්තත් කතාව හා අනෙකුත් සිදුවීම් අභව්‍ය වූවත් අලංකාරත්වයක්, ජීවී බවක් හා විශිෂ්ඨ සංගීත නිර්මාණයන් අපේ හිතට කා‍වැදෙන ආකා‍රයෙන් ඉදිරිපත් කරන්න ඔවුන් කෙතරම් සමත්වෙලා තියෙනවාද? ‍සමහර පාසල් යන කාලේ බලපු හින්දි සිනමා නිර්මාණ වල කතාව නම් ගන්න දෙයක් නැහැ. ඒත් අදටත් ඒවායේ තිබුන ගීත කොතරම් රසවින්දන ශක්තියකින් යුක්තද?

අපේ සිනමාවට මොනවද වෙලා තියෙන සංවර්ධනය හරිනම් ස්වර්ණමය දශකය ‍වුන 70 දශකයෙන් පසුව ඉදිරියට යායුතු වූවත් මොකක්ද වෙලා තියෙන්නේ. එක්කෝ භීෂණ කාලය පදනම් කරගත්ත චිත්‍රපටියක් හදාවි, නැත්නම් එකම ආකාරයේ ළමා චිත්‍රපටි පෙලක්, නැත්නම් දැන් කෙරෙනවා වගේ අවුරුදු 30 ක් ගැන තිබුන යුද්දය ගැන. මේ යුද්දය ගැන චිත්‍රපටි හදලා ආයෙමත් ඒ අමිහිර මතකය අවදි කල යුතුද? මිනිස්සු ඒ කාලකන්නි කාලේ විවිද අමිහිරි අත්දැකීම් විදල හෙම්බත්වෙලා තියෙන අතරේ ආයෙමත් ඒවා ආවර්ජනය කරන්න ඕනද? 70 දශකයේ චිත්‍රපටි බැළුවහම පේනවා ඒවායේ තේමාවන් විවිදයි කියන එක. ඒ ලක්‍ෂනය ඇයි පසුකාලෙක ගිලිහිලා ගියේ?

උදයකාන්ත වර්ණකුලසූරිය, ජයන්ත චන‍්ද්‍රසිරි, එතනින් ගියාම බුද්ධි කීර්තිසේන කියන අධ්‍යක්‍ෂකවරු නම් අඩුම තරමේ වෙනස් තේමාවල චිත්‍රපටි කිහිපයක්ම කරා. ඒකට නම් ස්තූතිවන්ත විය යුතුයි. ඉතින් ඒවගේ වෙනස් ආකාරයේ තේමාවන් ඇති සරල, පහත් විහිළු නැති, අනෙකා රිදවා කරන විහිළු නැති, බොරුවට කෑගහල අනෙකාට බැනල විහිළු ආතල් එකක් නොදෙන චිත්‍රපටි හදන්න බැරිකමක් නැහැනේද?

සමහරවිට මේ කියන සරල චිත්‍රපටිවල එතරම් තේරුමක් නැතිවෙන්න පුළුවන්.ඒත් විවිද ගැටළු අතරේ මානසික විඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට ඒක ලොකු සහනයක් වේවි. ටෙලිනාට්‍ය ගත්තත් සතියකට අතේ ඇගිලි ගානකට අඩුයි මේ වගේ විනෝදාස්වාදය දෙන සරල, පහත් ගණයට නොවෙන ටෙලි නිර්මාණ.

මේ මොනවත් බැරිනම් ස්වතන්ත්‍ර නිර්මාණ නොවුනත් කමක් නැහැ. හින්දි, දෙමල හෝ ඉංග්‍රීසි හරි වෙන මොන රටේ මොන භාෂාවේ වුනත් හොද නිර්මාණ කොපි කරල හරි හිත සැහැල්ලු වෙන ආකාරයේ නිර්මාණයක් කරන්න බැරි මිනිහෙක් නැතිවෙන්නේ විදියක් නැහැ. දුක් අදෝනායි, පහුගිය අමිහිරි දේවලුයි, ලංකාවේ දුප්පත් කමයි, හැමදාම පෙන්වන්න හදන ගැමි සුවදයි නැතුව වෙනස් ආකාරයේ හොද නිර්මාණයි දැන් අවශ්‍ය.

අඩුම තරමේ සම්භාව්‍ය වගේම සරල ආකාරයේ විදේශීය නිර්මාණ හරි රූපවාහිනියේ මීට වඩා පෙන්වනවනම් කොච්චර හොදද? මෙගා ආකාරයේ විදේශීය සිනමා හෝ ටෙලි නිර්මාණ හැරුන කොට අනෙක් ඒවා බදු වලින් ඉවත් කරනවනම් ඒවවත් බලන්න හැකියාවක් ලැබෙනවා. නැත්නම් ඉතින් පරණ තැටිම තමයි අහන්න බලන්න වෙන්නේ...

15 comments:

  1. රූපවාහිනියේ පෙන්වන ෆිල්ම් මාත් කාලයක් බැලුවා. ඒත් දැන් නම් බලන්නේ නැහැ. මොකද ඒවා පෙන්වන විදිහට බලල කිසිම රසවින්දනයක් ලබන්න බැහැ.
    අනිත් කාරණේ තමයි ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනික් හුඟක් දේවල් සම්බන්ධයෙනුත් හොඳක් කියන්න ඉතුරුවෙලා තියෙනවා නම් ඒ අතීතයේ කියපු කරපු දේවල් සම්බන්ධයෙන් විතරක් පමණයි යන්න මගේ අදහසයි.

    ReplyDelete
  2. මේකට නිදහසට කරනා විදිහට කියන්නේ ලංකාවේ ඔයවගේ චිත්‍රපට හදන්න සල්ලි නෑ කියල .... මොන බොරු කතාවක්ද මෙන්න මේ විද්‍යා ප්‍රබන්ද කතාව බලන්න , මුළු චිත්‍රපටම ගිහින් තියෙන්නේ රුපියල් ලක්ෂ 7 ක් වගේ ගානක් .

    http://www.imdb.com/title/tt0390384/

    මෙන්න ලබාගත්ත සම්මාන තොගය
    http://www.imdb.com/title/tt0390384/awards

    හොද චිත්‍රපට හදන්න ඕනි වෙන්නේ නිර්මාණාත්මක හැකියාව .. ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙත් එක.. එක වහගන්න බොරු හේතු කියනවා

    ReplyDelete
  3. Box Office
    Budget:
    $7,000 (estimated)
    Opening Weekend:
    $28,162 (USA) (10 October 2004) (4 Screens)
    Gross:
    $424,760 (USA) (19 December 2004)

    ReplyDelete
  4. දැන් වෙද්දි ලංකාවෙ තියෙන්නෙ සිනමාව සම්බන්ධයෙන් කලාත්මක කටයුත්තක් නෙවෙයි. එහෙම පිටින්ම කාලෙන් කාලෙට වැඩියෙන් විකිණෙන දේ විකිණීමයි. මේක සම්පූර්ණයෙන්ම බිස්නස්.
    කිව්ව වගේම විකිණෙන දේ හොයල සිනමාවට නගනව ඇරුණම වෙනස් විදියක දෙයක් ආවෙ නෑ දන්න කාලෙක. මම අන්තිමට බැලුවෙ එහෙම නොවන සිනමා පටය ප්‍රසන්න ජයකොඩිගේ සංඛාරා චිත්‍රපටය විතරයි කියල මට හිතෙනව. අනෙක් ඔක්කොම භීෂණය, යුද්ධය, ත්‍රස්තවාදය,පාතාලය,ලිංගිකත්වය, ළමා පරපුර කියන ඒවා වටා ගෙතුණු එකම අච්චුවේ ඒව.

    ReplyDelete
  5. "හොඳ" කියන එකේ නිර්වචනය එකිනෙකාගෙන් වෙනස් වීම තමයි ඔය අවුල. අපිට බලන්න අප්පිරිය දේවල් බලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. නව යොවුන් විය සහ යන්තම් ඒක ඉක්මවන තරුණ පරපුර වගේම අපේ පරම්පරාවලත් අපට වඩා ලොකු පරම්පරාවලත් සෑහෙන්න කොටසක් ඒකට අයිතියි. කාර්යාලයෙදි මට මේ වගේ අය සෑහෙන්න හම්බ වෙනවා. ඒ ඒ අය කතා කරන්නෙත් ඒ ‍දේවල් ගැන නිසා ඒ සංවාද පවා මට නිරසයි. ඒ මම මගේ තෘප්තිය පිහිටන තැන ගැන වෙනස් අදහසක ඉන්න නිසා. නමුත් බොහොමයක් දෙනා වර්තමානයේ හැදෙන චිත්‍රපටි සහ වෙනත් නිර්මාණ රස විඳිනව.

    ඉතිං චිත්‍රපටි හදන අයට, අපි වගේ වෙනස් රුචිකත්වයක් තියෙන මොළේ අමාරුකාරයින්ට බලන්න පුළුවන් චිත්‍රපටි හදන්න තරම් මොළේ අමාරුවක් නැතිව ඇති. ඒ හින්දා අපට ඔය ඉඳල හිටල එන එකක් බලල සැනසෙන්න සිද්ධ වෙනව :D

    ReplyDelete
  6. "දුක් අදෝනායි, පහුගිය අමිහිරි දේවලුයි, ලංකාවේ දුප්පත් කමයි, හැමදාම පෙන්වන්න හදන ගැමි සුවදයි නැතුව වෙනස් ආකාරයේ හොද නිර්මාණයි දැන් අවශ්‍ය."

    200% එකඟයි බන්.

    ReplyDelete
  7. දැන් සිංහල සිනමාව ගන්න දෙයක් නෑ තමයි. ඔබ කියූ ආකාරයට ඔය භීෂණ කාලේ සිදු වෙච්ච සිදුවීම්, යුද්දය, ගමේ සුවඳ වගේ මාතෘකාවන් විතරයි දැන් තේමා වෙන්නේ. එකත් කමක් නැහැ කියමුකෝ. පොඩ්ඩක් ලස්සනට සිත් ඇදගන්නා සුළු ආකාරයට හදනවා නම් වඩාත් හොඳ වෙන්න තිබ්බ. අනික ඔවායේ තියෙන්නේ යුද්දය විතරක් නෙමෙයි මිනිසුන්ගේ පහත් ආශාවන් කුලප්පු කරවන දර්ශන. ඔය 'මී හරකා', සුළඟ, වීසි දැල, සුළඟ එනු පිණිස, මමත් ගෑනියක් වගේ චිත්‍රපට අමුම අමු කුණුහරුප. තවත් සමහරක් චිත්‍රපට හදලා තියෙනවා ගොළු වගේ. මුළු කතාවේ තියෙන්නේ වචන කීපයක් පමණයි. ඒවා 'සම්භාව්‍ය' නොකිය 'ගොළු චිත්‍රපට' කීවා නම් වඩාත් ගැලපෙනවා.

    ReplyDelete
  8. ඒවා 'සම්භාව්‍ය' නොකිය 'ගොළු චිත්‍රපට' කීවා නම් වඩාත් ගැලපෙනවා. ... LOL

    මට හිතාගන්න බෑ ලංකාවේ මිනිස්සු ඇයි මෙතරම් දුකහිතෙන කතාවලට කැමති කියල .... මම නම් ප්‍රතිපත්තියක් විදිහට ඒ වගේ එව්වා බලන්නෙත් නෑ... කියවන්නෙත් නෑ ..... දුක හිතනවානම් ඕනි තරම් වෙලා අඩ අඩ ඉන්න දේවල් මගේ ජීවිතේ තියෙනවා ..... තව මොකටද චිත්රපටි බලල දුක්වෙන්නේ ? එහෙම නෙවේ චිත්‍රපට පොඩ්ඩක් හරි positive තින්කින් තියෙන්න ඕනි , නැත්තම් රටක් දියුණු වෙන්නේ නෑ

    ReplyDelete
  9. ඒකනෙ අපේ මිනිස්සු මේ තරම් හින්දි චිත්‍රපටි බලන්නෙ... ගන්න සාරයක් නැති උනත් ලස්සන සින්දු, නැටුම් එක්ක ලස්සන පසුතල ටිකක්වත් තියෙනව බලන්න පුළුවන් විදියේ....

    ReplyDelete
  10. මට හිතෙන්නෙ.. අපේ මිනිස්සුන්ට නව මාන ඔස්සේ හිතිමේ හැකියාව අඩුයි. එකයි, අපෙන් අලුත් අලුත් විවිද තේමා ඔස්සේ නිපදවෙන නිර්මාන වල අඩුවක් පේන්නෙ..

    ReplyDelete
  11. හොද චිත්‍රපට හදන්න ඕනි වෙන්නේ නිර්මාණාත්මක හැකියාව .. ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙත් එක.. එක වහගන්න බොරු හේතු කියනවා. ඇත්ත කතාව!

    ReplyDelete
  12. hare :-) කියනදේට මාත් එකඟයි. වෙනස් රුචිකත්ව තමයි ඕකට හේතුව...අපිට මෙලෝ රහක් නැති විකාර රහ කර කර බලන වුන් කොච්චර ඉන්නවද? ටෙලි වලටත් වෙලා තියෙන්නෙ ඔයටිකම තමයි...ඒකනෙ කෝපිකඩේ වගේ එව්වා තාම දුවන්නෙ...

    අනික රූපවාහිනියේ වැදගත් කියලා කියන්න පුලුවන් වැඩසටහන් කීයද තියෙන්නෙ ( මට හිතෙන හැටියට )ගොඩක් එව්වා මෙලෝ රහක් නෑ.

    හොඳම උදාහරණය වැද්ගැම්මකට නැති බ්ලොග් කොච්චර තියෙනවද ( මට හිතෙන හැටියට ) ඒත් ඒවා වටා එකතු වෙච්ච පිරිසකුත් ඉන්නවනේ... රුචිකත්ව වෙනස් තමයි මූලික හේතුව...

    ReplyDelete
  13. සැමටම ස්තූතියි වටිනා කියන අදහස් ‍මේ පිළිබදව ලබා දුන්නාට ඒව‍ගේම තවදුරටත්‍ මෙතැන විවෘතයි තව ඔබගේ විවිද අදහස්වලට. මේ ගැන තව ටිකක් විස්තර ඇති ලිපියක් ඉදිරියේදී පල කරනවා...

    ReplyDelete
  14. @miyuru - //ගන්න සාරයක් නැති උනත් ලස්සන සින්දු, නැටුම් එක්ක ලස්සන පසුතල ටිකක්වත් තියෙනව බලන්න පුළුවන් විදියේ....//

    ඔය කියනවට වඩා වෙනස් හින්දි චිත්‍රපටි දැකලම් නැද්ද ? , දිනේශ්ගේ ඊලඟ පොස්ට් එකේ මම තුනක් දාල ඇති ඔය කාරණා නැති .

    මටත් මරාගන්න ඒවා , අපරාධ , ඛේදාන්ත බලන්න එච්චර කැමැත්තක් නැ , හොරර් බැලුවට බය හිතෙන්නේ නැ , ඒ නිසා හින්දි චිත්‍රපටි වලට කැමතියි . කොහොමටත් මම 90%ක් බලන්නේ ඇක්ෂන් සහ කොමඩි සහ සරල විනෝදාත්මක කථා . ඇක්ෂන් සහ ෆැන්ටසි නම් හොලිවුඩ් තමයි . බොලිවුඩය තාම හොලිවුඩ් ඇක්ෂන් ස්පර්ශ කරන්න ට්‍රයි කරනව .

    ReplyDelete