පසුගිය දිනවල විවිද මාධ්‍ය වල අප රටේ හා වෙනත් රටවල මේ සම්බන්ධයෙන් කතාවුන කාරණ රැසක් අසන්නට ලැබීමෙන් පසු මෙවන් ලිපියක් ලිවීමට සිතුනා. මුලින්ම අසන්නට ලැබුනේ දැන් ආර්ථීක අර්බුදයකට මුහුණදී සිටින ඇමරිකාවේ ඇතැම් පාඩුලබන හා අනාගතයේ අර්බුදයන්ට මුහුණ පෑමට ආසන්න සමාගම් වල සේවකයන් නියමිත වයසටත් කලින් සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ පුවතයි. දෙවැන්න අප රටේද පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන වලද රාජ්‍ය සේවකයන් වන්දිගෙවා විශ්‍රාම ගැන්වීමට යන පුවතකුත් අසන්නට ලැබුනි.
එසේම පසුගිය දිනෙක රූපවාහිනියෙන් දකින්ට ලැබුන පාසල් ළමයින්ගේ විවාද වැඩසටහනකදී වයස අවුරුදු 60 දී විශ්‍රාම යාම කාලෝචිත සහ ප්‍රතිවාදී පිලේ තර්කය වූ වයස අවුරුදු 60 න් පසුවද සේවය කිරීමට ඉඩ දිය යුතුය යන තර්කයන් අසන්නට දකින්නට ලැබුන නිසා මෙවැනි ලිපියකට කරුණු අමුණන්නට සිතුවෙමි.
පෞද්ගලික අංශයේ මා සේවය කර නැති නිසා එවන් රාජකාරී ව්‍යුවහක් ඇති ස්ථානයක ස්වරූපය ගැන කතා කිරීම එතරම් ප්‍රායෝගික නොවන නිසා බොහෝවිට රාජ්‍ය අංශය මුල් කරගනිමින් ඉදිරියට ලිපිය සාකච්ඡාකරමි. රාජ්‍ය අංශයේ රාජකාරියට පැමිණි මුල් වකවානුවේ මාහටද පොදුවන පරිදි සෑමවිටකම ඒ සේවකයාට අවශ්‍යවන්නේ තම සේවය උපරිමයෙන් හා කාර්යයක්‍ෂමව කිරීමයි. එහෙත් කලක් ගතවෙත්ම ඒ ස්ථානයේ රාජකාරියේ යෙදෙන අනිත් අයගේද ස්වරූපයන් අනුව ක්‍රමයෙන් මන්දෝත්සාහිවන බව සහ අකාර්යක්‍ෂම වන බවක් පෙනේ. ඉතින් වයස විසිගණන් වල බොහෝවිට සේවයට බැදෙන තැනැත්තා වයසට ක්‍රමක්‍රමයෙන් යන කල්හි මේ තත්ත්වය තවත් වැඩිවන බවක්ද තිබේ. එවන් පසුබිමක් උඩ වයස 60 ට ආසන්නවන විට ඇතිවන ශාරිරික දුබලතාවයන් හා වෙනත් මානසික ගැටළු නිසාද මේ වයසෙන් පසු සේවයේ යෙදීමට සෑම කෙනෙකුටම හැකිදැයි ගැටළුවකි. එහෙත් මෙම තත්ත්වයන් සාර්ථකව මැඩපවත්වාගෙන වයස අවුරුදු 60 නොව 65 න් පසුව පවා කාර්යක්‍ෂමව සේවයේ යෙදිය හැකි රාජ්‍ය සේවයකයන් නැතුවා නොවේ.
බහුතරයක් මත්පැනට ලොල්වී සිටීම නිසා වයස ගතවෙත්ම ආර්ථිකව මෙන්ම සෞඛ්‍යමව පිරිහී සිටීමද මා සේවය ආරම්භ කල දින සිට මේ දක්වා අප ආයතනය තුලද දක්නට ලැබුනි. එසේම දියවැඩියාව වැලදී ඒවාට අදාලව ප්‍රතිකාර හා ආහාර පුරුදු ඇතිකර ගැනීමට සිදුවූ අයද බහුලවම දුටිමි. මත්පැන් නිසා රෝගතුරවූ ජ්‍යෙෂ්ඨ සේවක මහතුන් මෙන්ම අවසනාවන්ත ලෙස විවිද පිළිකා රෝග වලට බදුන්වූ මාගේ දෙමව්පියන්ගේ වයසේ සේවක මහතුන් සමහරක් විශ්‍රාම යාමටත් පෙර මිය ගිය අතර ඇතමෙක් වයස 60 දී විශ්‍රාම ලබා ටික දිනක් ඉක්ම ගිය තැන මිය ගියහ.
ඇතැම් සේවක මහතුන්ට ආයතනයේම රාජකාරී නිවාස අඩුමිලට ලැබුන නිසා ඒවායේ විනෝදයෙන් සිටී. නිවාස නොමැති සමහර අය නිවාස විශ්‍රාම ගිය කලෙක හෝ සැදීමට ඉතිරි කිරීම පසෙක තබා තමන් හරිහම්බුකරන ධනය බීමත් කමට හා විවිදාකාරයේ බඩුමුට්ටු ගැනීමට වියදම් කරනවා මිසක අනාගතය ගැන නොසිතීම මත ඇතැම් විට විශ්‍රාම යාමටත් පෙර මියපරලොව ගියකල ඔවුන්ගේ අඹුදරුවන් අසරණව සිටිනුද දකින්නට ලැබුනි.
එසේම මේ වයස් සීමාවට එළඹෙන කල්හි ඔවුන්ගේ දූදරුවන්ද උස්මහත්වී සිටින නිසා පුතාට හෝ දියණියට රැකියාවක් සොයාදීම හෝ ඔවුන්ගේ විවාහ කටයුතු සිදුකරදීම හෝ තවත් උසස් අධ්‍යාපනය ලබා දීමට මුදල් සෙවීම වැනි මානසිකව පීඩා ගෙන දෙන කාරණවලටද ඔවුන් ලක්ව සිටිති. මෙවන් පසුබිමක් තුල වයසින් වියපත්ව සන්ධ්‍යාභාගයට ලගාවන සේවයකයන්ගෙන් කාර්යක්‍ෂම සේවයක් ලබාගැනීමට සෑම විටකම හැකිදැයි ගැටළුවකි.
එහෙත් මෙහිදි ඔවුන්ට පක්‍ෂව නැගෙන තර්කයක් වන්නේ බොහෝවිට වසර 30 කට වැඩි කාලයක් විවිද උසස්වීම ලබා රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල පිරිසක් විශ්‍රාමයැවීම වෙනුවට ඔවුන්ගෙන් තවදුරටත් සේවය ලබාගත හැකිය යන්නයි. එසේම අළුතින් අයෙකු ගෙන පුහුණු කරනවාට වඩා එය සුදුසු බව ඇතැමෙකුගේ මතයයි. නමුත් එය කොතරම් යථාර්ථවාදීදැයි පැනයක් මතුවේ. මන්ද දිනෙන් දින උසස් පෙල අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඇතැමෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අතර තවත් අය විශ්වවිද්‍යාල අධ්‍යාපනයද ලබා කෙනෙක් පෞද්ගලික අංශයේද තවත් අයෙක් රජයේ රැකියාවක්ම කල යුතුය යන මතයේ සිටින කල තරුණ සේවයකයන්ගෙන් පුරප්පාඩු පිරවීම පසෙක තබා වයස අවුරුදු 60 න් පසුවද සේවය දීර්ඝ කොට සේවයේ නිරත කිරීම යම් දිනයක නුපුහුණු සේවකයන් පුහුණු කර සේවයේ නිරත කිරීමේදී ඔවුන් නිසි පුහුණුව ලැබීමට ගතවක කාලයේදී සිදුවන අත්වැරදීම්වලට වඩා උග්‍ර ගැටළුවක් මතුකරනු ඇති යැයි සිතේ.
මටනම් හැගෙන කරුණ වන්නේ සෞඛ්‍ය හා ශාරීරික ශක්තියෙන් යුක්ත වූවත් රාජ්‍ය සේවයේ සේවයේ නියලිය හැකි උපරිම හොදම වයස අවුරුදු 60 බවයි. සේවකයෙකුගේ සේවා දිගුවට ආසන්න කාලවකවානුව එළඹෙත්ම ඒ වන විට පුරප්පාඩු නැති වූවත් විශ්‍රාම යාමට නියමිත සේවකයා වෙනුවෙන් නව සේවයකයන් බදවා ගත යුතුය. එවිට ජ්‍යෙෂ්ඨ සේවකයාගේ වැඩකටයුතු වෙනුවෙන් නවක සේවකයා පුහුණු කිරීමටද කාලය තිබෙන අතර රාජකාරී කටයුතු නවක සේවකයා අතරද බෙදී යන බැවින් ජ්‍යෙෂ්ඨ සේවකයා ඇතැම්විට පීඩාවිදින ඇතැම් කාරණා නිසා කාර්යක්‍ෂමතාව හීන වන ගැටළුවද අඩුවන අතර සමහර විට පළපුරුදු සේවක මහතා විශ්‍රාමයාමෙන් පසු අහිමිවී යන අත්දැකීම් ආදිය නවක සේවකයා හරහා ආයතනයට නැවත ලබා ගැනීමේ අවස්ථාවද හිමිවේ.
දැන් ඔබගේ අදහසුත් මේ වෙනුවෙන් ලබාදෙන්න...
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
මමත් දිනේශ් කතාවට එකඟයි. ඇත්තටම විශ්‍රාම යන කෙනෙක්ගෙ අනුප්‍රාප්තිකයා වෙන්නෙත් ඊට තරමක් පහළින් ඉන්න අත්දැකිම් තියන කෙනෙක්. ඒ නිසා මෙතන පළපුරුද්ද කියන එක ආයතනයට අහිමි වෙන්නෙ නැහැ. අලුත් ජවය එකතු වීමත්, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති අය තමන්ගේ වගකීම් සුදුසුම අනුප්‍රාප්තිකයන්ට පැවරීමත් ක්‍රමාණුකූලව සිදුවිය යුතුයි. එසේ නොමැතිව සැමදාමත් ජ්‍යෙෂ්ඨයින් මත රැඳී සිටීම දිගු කාලීනව අයහපත් ප්‍රථිපල ගෙන දෙන්නක්. රාජ්‍ය අංශය විතරක් නෙවෙයි. බලන්න විටින් විට ක්‍රීඩා කණ්ඩායම් නැගිටින හා ඇද වැටෙන ආකාරය.
ReplyDeleteදිනේශ්,
ReplyDeleteමගේ අදහසනම් මෙහෙමයි. දැන් ඔබම කිවු පරිදි බොහොමයකට පොදු වූ දුර්වලතා මගහරවාගන වයස 60 දී වුවද හොඳින් සේවය කරන සේවක මහතුන්ව පමනක් හඳුනාගන ඔවුන්ට සේවා දිගු ලබා දීම සුදුසුය. අන් සියළු දෙනා නිසි වයසේදී විශ්‍රාම ගන්වා නව ජවය එක් කර ගැනීම වඩා පලදායී වේයැයි මට හිතේ.
ඉතා නිවරදි ලෙස ඔබ කියූ පරිදිම, එලෙස එක් කරගන්නා තරුණ සේවකයන් අනිවාර්යයෙන්ම පළපුරුදු සේවකයන් යටතේ මනා පුහුනුවක් ලැබිය යුතුමය. එවිට කාර්යක්ශම ශ්‍රම හුවමාරුවක් වේයයි මට සිතේ.
නමුත් ආයතන වල පවත්නා පහත් දේශපාලන ( මෙයින් අදහස් කලේ Politics යනුවෙන් අප හදුන්වන හීන් නූල් ව්‍යපෲති මිස රාජ්‍ය කිරිම සම්බන්ධ දෙයක් නොවේ ) ක්‍රියාදාමයන් නිසා මෙවන් වූ සාර්ථක ශ්‍රම හුවමාරුවක් වේදැයි සැකයකි.
ඔය මට හිතෙන හැටිය..
අළුත් රාජ්‍ය සේවකයෙක්ගෙ ජවය බිඳල දාන්නෙ පරණ අය තමයි. ඒක සහතික ඇත්ත. :D
ReplyDeleteඅවුරුදු 60ක් ඉක්මවා සේවය කරන කෙනෙක්ගෙ අධීක්ෂණය තරුණ සේවකයන්ට ලැබෙන විධියෙ වැඩපිළිවෙලක් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒකට පිරිස තෝරාගැනීමේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම දූෂිත වෙන නිසා ඒක හරි යන එකක් නෑ. ඒ නිසා 60 උපරිමයෙන් කෙනෙක් විශ්‍රාම යන එක හොඳයි. රස්සාවල් නැති තරුණ පිරිසකට ඒකෙන් වැඩක් වෙනවනේ. අනික පුහුණුව කියන දේටම වෙන්වුණ රාජ්‍ය ආයතනත් තියෙන එකේ අළුත් අයව පුහුණු කරන එක අමාරු දෙයක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය විධිමත් නොවීමයි අවුල. කොහොමත් අළුත් රාජ්‍ය සේවකයෙක් අවුරුදු 3ක පරිවාස කාලයකට යටත්නේ. කොහොමත් රාජ්‍ය ආයතනයක ගිණුම් ව්‍යූහය, ධුරාවලි සැකැස්ම වගේ ඕනම රාජ්‍ය සේවකයෙක් දැනගන්න ඕන කරුණු ගැන පැහැදිලි ප්‍රකාශණයක් කොහෙවත් නෑ. ආයතන සංග්‍රහයයි මුදල් රෙගුලාසියයි පලපුරුදු කෙනෙක්ට වුණත් තේරුම්ගන්න පුළුවන් ලියවිලි නෙවෙයිනේ. මුලින්ම ඒ දෙක සංශෝධනය වුණානම් හැමෝටම හොඳ වෙයි. එතකොට විශ්‍රාම යන අය සහ අළුත් අය අතර වෙනස සෑහෙන්න අඩුකරගන්න පුළුවන් වෙයි.
මටනම් හිතෙන්නෙ අවුරුදු 60 කියන්නෙත් ඕනෑවට වැඩියි. ගොඩක් සේවකයො සම්බන්ධයෙන් ගත්තොත් අවුරුදු 50 සීමාවට එද්දිම ඔවුන් කායිකව නැතත් මානසිකව පිරිහිලා යහපත් සේවයක් ලබා ගන්න බැරි විදියට. අපේ රටවල වෙලා තියෙන්නෙ මේ බංකොලොත් තුට්ටු දෙකේ ආර්ථික සහ රාජ්‍ය ස්වභාවය නිසා සේවය කරන කාලයට හොඳ වැටුපක් ගෙවන්නෙ නෑ වගේම විශ්‍රාම ගන්නා විටද සොච්චමක් අත මිට මොළවල යවන නිසා තමයි මේ අවුරුදු 60 හෝ 60 ට වැඩි කාලයක් සේවයේ යෙදෙන්න අවස්ථාව දිය යුතුයි කියන කථිකාව පැමිණෙන්නෙ.
ReplyDeleteඒ නැතත් සමාජීය පැත්තෙන් ගත්තත් අපේ රටේ තියෙන මේ කාළකණ්නි ක්‍රමවේදය සහ දූෂිත ස්වභාවය කවදත් පුරෝගාමීව නඩත්තු කරන්නෙ පප්පල කියන එක කාට වුණත් වැටහෙනව. රාජ්‍ය සේවයේ යොදවල ඉන්න මහල්ලන් තමයි රාජ්‍ය සේවයේ හැම වැරැදි තීරණයක්ම අරන් තියෙන්නෙ. දේශපාලනික වශයෙන් ගත්තොත් මහල්ලො තමයි මේ රට හැමදාම අතට අරන් ඉන්නෙ. ඉතින් තරුණ ජවය, තරුණ අදහස්, තරුණ සංකල්ප තමයි රටක ජීවය බවට පත්වෙන්න ඕනි. ඒත් මහල්ලන්ගෙ අභයභූමියක් වෙච්ච අපේ රටේ දේශපාලනයත්, ඉහළ පෙළේ රාජ්‍ය තනතුරුත් නිසා තමයි හැම ව්‍යුහයකම දකින්න තියෙන්න පසුගාමී බවක්. පටු ආත්මාර්ථකාමීත්වයක්.
man kiyapu obatumage sautthmalipiya man hitanne bahutaraykata ahema wenna ati.
ReplyDeleteඔබ ඉතා නිවරැදිව රැකියාවක් කරන්නවුන්ගේ ඵලදායිතාවය හීන කරන සාධක හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතය අප රටේ සෑම දූෂණයකටමත් නීති විරෝධි වැඩ කිරීමටත් බලපාන ප්‍රධාන හේතුව වී ඇත. මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුය. මේ ගැන අපි අපට හැකි අයුරින් www.pivisuma.blogspot.com හි කතා කරන අතර ඒ සඳහා ඔබ සැමට ද පැමිෙණන ලෙස ආරාධනා කරනවා.
ReplyDeleteඔබ සමඟ එකඟයි.
ReplyDeleteඉතින් මිතුරනි ඔබලා සැමටම ස්තූතිකරන අතරේ රාජ්‍ය සේවය ගැන තවත් හොද අදහස් දැකගන්න ලැබුනා. ඒ වගේම ඇනෝ මිතුරටත් ස්තූතිකරනවා අවංකවම මේ ලිපිය නරකයි කිව්ව එක ගැනත්. ඒවගේම නරක ලිපි තිබුනොත් තමයි හොද ලිපි තවත් හොදට පේන්නේ...
ReplyDelete