Saturday, June 11, 2011

Power Supply Fan එක ට්‍රැක්ටරයක් වගේ සද්දෙද? මෙන්න විසදුම...

මේ ගැටළුව කාලෙකට ඉස්සෙල්ල මටත් පැනනැගුනා. ඒ තමයි සමහර දවස් වල පරිගණකය on කරපු ගමන් power supply ‍‍‍fan එක කරකැවෙන්නේ නිකං ට්‍රැක්ටරයක් වගේ.  ඉතින් ඒ වෙලාවට ටිකක් හයියෙන් power supply එක තියෙන තැනට දැනෙන්න පහරක් එල්ල කරන එක තමයි කරේ. හැබැයි එතකොට ශබ්දය බොහෝවෙලාවට නැතිවෙලා ගියත් ඒක නම් කරන්න සුදුසුදෙයක් නෙමෙයි.ඉතින් ‍මේ වැඩේ පස්සේ විසදෙන්නෙම නැතුව ගියාම සොයල බැළුවහම වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් ලැබුනා. අද කියන්න යන්නේ ඒක තමයි.

මුලින්ම කියන්න ඕන පරිගණක අතිමහත් බහුතරයක භාවිතාවෙන cooling fanssleeve bearing assembly කියන ක්‍රමයට තනන ලද ඒවායි. ඉතා සුළු ප්‍රමාණයක පමණක් ball bearing assembly ක්‍රමයේ cooling fans  භාවිතා කරනවා. මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ වැඩියෙන් භාවිතාවන sleeve bearing assembly ක්‍රමයේ cooling fans වල ටික කලක් භාවිතා කරන කොට එන මෙම ශබ්දයන් වලකා ගන්නේ කෙසේද යන්නයි. මේ රූපයේ දක්වල තියෙන්නේ  sleeve bearing assembly ආකාරයේ cooling fan වල දල හරස්කඩක්.

මේ ගැන සුළු විස්තරයක් කරනවා නම් fan එකේ පෙති (blade)සවිවෙලා තියෙන්නේ දණ්ඩකටයි (shaft) එම දණ්ඩ නිශ්චලව පවතින සිලින්ඩරයක් තුල භ්‍රමණය වේ.  මේ කියන සිලින්ඩරය හදල තියෙන්නේ සවිවර ලෝහයකින්. ඒ වගේම මෙය තුල ලිහිසුම් තෙල් වර්ගයකුත් පුරවලා තියෙනවා. ඉතින් shaft එක කරකැවෙන කොට මේ තෙල් shaft එක හා සිලින්ඩරයේ කුහරය අතර සාදන තෙල් පටලය නිසා ඒ ලෝහ දෙක ගැටීම වැලකීම වලක්වනවා වගේම ඝර්ෂණය හා ශබ්දයන් ඇතිවීමත් වලක්වලා තියෙනවා.

දැන් මෙන්න මේ දේත් කියන්න ඕන. අපි ගන්න පරිගණක උපාංග වලින් කීයෙන් කීයද නියම ගුණාත්මක බව තියෙන්නේ. ඉතින් සාමාන්‍ය‍යෙන් හොද  sleeve bearing ආකාරයේ සිසිලන පද්දතියක නම් එහි ජීවිත කාලයටම නිසි පරිදි ක්‍රියාත්මකවීමට සරිලන පරිදි තෙල් ප්‍රමාණයක් එහි අන්තර්ගත කරල තියෙනවා. ඒත් එම මෙම පද්දතිය නිසි පරිදි මුද්‍රා (seal) තබලා නැත්නම් එම තෙල් ටික කාලයක් යනකොට වියලීමට ලක්වෙන්න පුළුවන්. මේක සිදුවීම නිසා භ්‍රමණය වන shaft එක සිලින්ඩරය සමඟ ඍජුවම ස්පර්ශවීම සිදුවෙන කොට අනංමනං ශබ්ද fan එකෙන් ඇහෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඔබලා හි‍තන්නේ මෙලෙස ශබ්දය ඇතිවීම විතරක් වෙනවා කියලද? ඒ එක්කම ඝර්ෂණය ඇතිවීම නිසා fan එක  භ්‍රමණය වෙන්නෙත් මන්දගාමීව. මෙසේ මන්දගාමීව එහෙමත් නැත්නම් තේරෙන විදියට නම් හෙමිහිට කරකැවෙන  fan එකකින් ඇතිවෙන වායුප්‍රවාහයත් අඩුවෙන එක වලකන්න බැහැ. ඒක නිසා අදාල සිසිලනය ලබාදිය යුතු පද්දතිය රත්වීමට බදුන්වන අතරම ඒ නිසා එහි කාර්යක්‍ෂමතාව අඩුවීම වගේම ඇතැම්විට එය මුළුමනින්ම ක්‍රියාවිරහිතවෙලා යෑම හෝ විනාශවී යාම සිදුවීමත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇබැද්දියෙන් ගැලවෙන්න කරන්න දැන් හදන්නේ  fan එකට අළුතින් තෙල් ටිකක් (ටිකක් කිව්වට බිංදුවක් වගේ) දාන එකයි.

පියවරෙන් පියවර මේ දේවල් කරගන්න හැටි කියන්නම්. සමහර දේවල් නම් දන්නවා වුනත් මේ වැඩකටයුතු සිදුකරන විට පිළිපදින්න ඕන ආරක්‍ෂාව පිළිබදව දේවල් ගැන නැවත මතක් කරගන්න වගේම නොදන්න කෙනෙකුටත් දැනකියාගන්න මේ විදියට ලියන්නම්.

මුලින්ම පරිගණකයට සැපයෙන විදුලි සැපයුම ක්‍රියාවිරහිත කරල පරිගණකයේ casing එක ඉවත් කරල power supply එකෙන් මව්පුවරුවට හා අනෙකුත් තැටි දාවකයන් ආදියට සැපයෙන බල සැපයුම් රැහැන්ද ඉවත් කරන්න.

ඉන්පසුව  casing එක පිටුපස තිබෙන  power supply එක සවිකරල තියෙන ස්කුරුප්පු ඇන සුදුසු ස්කුරුප්පු නියනක් ආධාරයෙන් ගලවාගෙන  power supply එක casing එකෙන් ඉවතට ගන්න.

දැන් power supply එකේ කවරය ගැලවීම සදහා එහි ස්කුරුප්පු ඇනද, සුදුසු ස්කුරුප්පු නියනක් ආධාරයෙන් ගලවාගත යුතුයි.

දැන් ඔන්න ටිකක් ප්‍රවේශමෙන් කරන වැඩ ටිකක් තියෙනවා. power supply එකේ කවරය ගැලෙව්වාට පස්සේ ඒකේ ඇතුලේ තියෙන උපාංග එහෙම අතපත ගාන්න යන්න එපා. මොකද මේවායේ කැපෑසිටර්වල එහෙමත් නැත්නම් සමහර අය කන්ඩෙන්සර් කියල කියන සිංහලෙන් කියනවානම් ධාරිත්‍රක වල විද්‍යුත් ආරෝපණයක් පරිගණකය සෑහෙන්න කාලයක් භාවිතානොකර තිබුනත් තියෙනවා. මේක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. මමත් නොදැනුවත්ම මුලින්ම ගොඩක් පැරණි පරිගණකයක බලසැපයුම් පද්දතියක් ගලවල දන්නෙම නැතුව එකේ ඇතුලේ උපාංග ස්පර්ශවෙලා කරන්ට් එක වැදිලා තියෙනවා. (මේදේවල් කරන්න නිසිපරිදි පරිගණක දැනුමක් නොමැතිනම් හා නිසිපරිදි ආරක්‍ෂක විධිවිධාන පිළිපදින්න නොහැකිනම්  power supply unit එකේ ඇතුලේ වැඩ නොකර ඉන්න එක හොදයි).

දැන් පොඩි paint brush එකක් අරගෙන power supply unit එක ඇතුලේ තියෙන දූවිලි පිසදාන එකත් කරන එක වඩාත් සුදුසුයි. මොකද දුහුවිලි පරිගණක උපංග වල රැදී තිබීමත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකවීමට බාධාවක් නිසා.

දැන්කරන්න තියෙන්නේ නැවතත් සුදුසු ආකාරයේ ස්කුරුප්පු නියනක් අරගෙන cooling fan එක ගලවල ඒකට බලය ලබා දෙන රැහැන් නොකැඩෙන සේ පිටතට ගන්න එකයි. එහෙම පිටතට ගත්ත cooling fan එකේ පෙතිවල තවදුරටත් දුහුවිලි තියෙනවා නම් ඒවත් ඉවත්කරන්න.

ඊලගට හොදින් දුහුවිලි ඉවත් කර ගත්ත fan එකේ ඉදිරියේ තියෙන ස්ටිකර් එක ප්‍රවේශමෙන් මෙන්න මේ විදියට ඉවත් කරගන්න.

ඉන්පසුව ඔබට පේනවා ඇති මැද තිබෙන ‍රබර් ප්ලග් එකක්. එය කුඩා පැතලි හිසක් ඇති ස්කුරුප්පු නියනක් ආධාරයෙන් ප්‍රවේශමෙන් ගලවා ගන්න.

දැන් මෙම ප්ලග් එක ගැලවීමෙන් ඇතිවූ සිදුර තුලට තමයි තෙල් බිංදුවක් දාන්න ඕන. මේකට දාන්න අවශ්‍ය කරන්නේ බොහොම තුනී ලිහිසි තෙලක්. එය ඔබේ නිවසෙන්ම සොයාගන්න හැකියි. ඔබ නිවසේ මහන මැෂිමට  ගෙනා තෙල් බදුනක් තිබෙනවා නේද? අන්න ඒ තෙල් වර්ගයෙන් බිංදුවක් මෙය තුලට දමන්න.

දැන් ප්‍රධානම වැඩ කොටස නිමයි. දැන් නැවත ගලවපු රබර් ප්ලග් එක සවි කරල ස්ටිකරයත් නැවත අලවන්න. ඊට පසුව Fan එක වරක් හෝ දෙවරක් අතින් කරකවා නැවත එය power supply unit එකට අදාල ඇන මගින් සවිකර එහි පියනද ඇන වලින් සවිකර Casing එකට සවිකරගන්න.

දැන් අදාල රැ‍හැන් මව්පුවරුවට හා අදාල තැටි දාවකයන් වෙත සවිකර විදුලි බලය power supply එක වෙත සපයා පරිගණකය ක්‍රියාත්මක කරන්න. දැන් ඔබට කලින් අසන්නට ලැබුන එම අමිහිරි ශබ්දයන් ඇසෙන්නේද?

එහෙනම් එපමණයි කියන්න තියෙන්නේ. මෙය මමත් කරන ලද දෙයක් නිසා අත්දැකීමෙන් කියන්නේ මෙය කරායින් පසුව නැවත power supply fan එකෙන් ඝෝශාකාරී ශබ්ද පැමිණියේ නැහැ.

26 comments:

  1. මගේ යන්තරෙත් මේ ටිකක් සද්දෙ දානව තමයි. මේ වැඩේ කරල බලන්න පුළුවන්... පරිගණක පාවිච්චි කරන හැමෝටම වැදගත් වෙන වටින සටහනක්!

    ReplyDelete
  2. මටත් මේ ප්‍රශ්නෙ තියෙනව. මේක කරල බලනව.

    ReplyDelete
  3. වැදගත් ලිපියක්. මට යමක් දැනගන්න පුළුවන්ද?
    Switching Power Supply එකක් යනු කුමක්ද? ඒ වගේම Dual power supply යනුවෙන් හැඳින්වෙන්නේ මොනවාද?

    ReplyDelete
  4. කියලා දුන්නට ඔන්න Thank you කිව්වා. මටත් මහා වදයක් වෙලා තිබුනේ මේ සද්දේ.

    ReplyDelete
  5. ගොඩක් දෙනෙකුට මේ ලිපිය ප්‍ර‍යෝජනවත් වෙයි.

    ReplyDelete
  6. ප්‍රොසෙසර් එකේ ෆෑන් එකටත් මේ දේම කරන්න පුලුවන්ද ?

    ReplyDelete
  7. වැදගත් ලිපියක් මචං.. දිගටම ලියන්න..

    ReplyDelete
  8. තැන්කූ වේවා . . මටත් ඔය පුරස්නේම තිබේ . . අද හෝ හෙට මේ විදිහට ගොඩ දාන්න ට්‍රයි කොරමි. තැන්කූ වේවා

    ReplyDelete
  9. @hare :-),Hishan Melanga,All in one.......,Praසන්ன ,Kanishka | කණියා & උදාර - ස්තූතියි! මේක ඇත්තටම මට නම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුන උපක්‍රමයක්. ඒවගේම මේක අවශ්‍ය නම් ප්‍රොසෙසර් එකේ ෆෑන් එකටත් කරන්න පුළුවන්. හැබැයි සමහර Processor cooling fan වල ස්ටිකර් එක ප්‍රවේශමෙන් ගලවගන්න ඕන. හැකි සෑම වෙලාවකම මේ වගේ පොදුවේ පැන නගින ගැටළු ගැන ලිපි ලියන්නම්. ඔබටත් මේ වගේ ගැටළු තියෙනවා නම් කියන්න. එය ‍බොහෝවිට අපි ගොඩක්දෙනෙකුට මුහුනපාන්න වෙලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. එවිට එයට දෙන විදසුම බහුතරයකටම ප්‍රයෝජනවත් වේවි...

    ReplyDelete
  10. @දුකා - ස්තූතියි! මචං මේ solution එක හරියන එකක්. ප්‍රවේශමෙන් වැඩේ කරල බලන්න...

    ReplyDelete
  11. මමත් මේකට වසදුමක් හොය හොය හිටියෙ. තැන්කිව් වේව මේ දුන්නු උපදෙස් ටිකට.

    ReplyDelete
  12. @Networkදිසා - ස්තූතියි! මිතුර...

    ReplyDelete
  13. @Anonymous - ස්තූතියි! පිළිතුර දෙන්න ප්‍රමාදවුනේ එය සරලව වගේම තේරෙන විදියට දෙන්න අවශ්‍ය නිසා ටිකක් වෙලාව ගන්න වුනා. මම ඒක මෙහෙම පැහැදිලි කරන්න පටන්ගන්නම්. ඔබ දන්නවත් ඇති linear power supply කියන එක ඒකෙදි කරන්නේ Transformer එකකට විදුලිය මුලින් ලබා ගෙන එම විදුලිය අඩු හෝ වැඩි කරල එය රෙක්ටිෆයර් ඩයෝඩ මගින් ඍජුකරණය කරල එය ලොකු filter කැපෑසිටරයක ආධාරයෙන් Smooth කර ගැනීම තමයි කරන්නේ. මේ ක්‍රමය ගැටළුවක් නැහැ කුඩා ප්‍රමාණයේ බලසැපයුම් පද්දති වලට. ඒ කියන්නේ කුඩා වෝල්ටීයතාවයන් පදනම් කරගත් පද්දතිවලට. නමුත් එම වොල්ටීයතාවයන් විශාල පරිවර්ථනය කරන පද්දතිවලට මෙම ක්‍රමය උචිත නැහැ. මොකද ඒවගේ දෙයකදී භාවිතාකරන්න වෙන Transformer එක විශාලවගේම වියදමත් වැඩියි. දැන් ඔබ අසා සිටින Switching Power supply එකක කරන්නේ කෙලින්ම සෘජුකරණය කිරීම හා filter කරල ඒ ප්‍රතිධානය අඩු බරක්, කුඩා ප්රකමාණයකින් වගේම මිල අතින් linear power supply එකකට සාපේක්ෂව අඩු මිලෙන් යුතු Transformer කින් අවශළ්‍ය ප්‍රමාණයට වෝල්ටීයතාවය අඩුකරගැනීමයි. මේ ගැන වාසි අවාසි වගේ ගොඩක් විස්තර තියෙනවා.ඒවා ඉදිරියේදී ලිපියක් විදියට හරි පල කරන්නම්.

    ඔබ ඊලඟට අහල තිබෙන Dual power supply ගැන electronics විදියට කියනවා නම් සමහර electornic circuit වලට positive(+v), negative (-v) වගේම Zero voltage (0v) එකත් අවශ්ය වෙන වෙලාවල් එනවා. මෙන්න මේවගේ බල සැපයුම් වලට තමයි Dual power supply කියල කියන්නේ. හැබැයි සමහර වෙලාවට ‍අප භාවිතා කරන Server වගේ availability, reliability වගේ සෛධාන්තික ගති ලක්ෂනන පවත්වාගතයුතු උපකරණ වලදී බලසැපයුම් පද්දති දෙකක් භාවතාකරන නිසා එහිදීත් සමහර අය එයටත් Dual power supply කියන අවස්ථා මම අහලා තියෙනවා. කොහොමවුනත් ඔබට වැඩි දුරටත් dual power supply ගැන දැන ගන්න මේ Link එකට ගිහිල්ලත් පුළුවන්. http://www.kpsec.freeuk.com/powersup.htm#dual

    ReplyDelete
  14. @ දීපාල්
    මම උදාරට දුන් පිළිතුරට යමක් එකතු කරන්නම්.
    Processor Cooler එකේ ඇත්තේ ball bearing මේවාද Sealed type නිසා ඒවාට තෙල් දැමීම අනවශ්‍යයයි. එහෙත් පරණ 486 වල නම් Sleeve bearing භාවිතා වෙනවා. ඒවාට මෙසේ තෙල් දාන්න පුළුවන්. විශේෂයෙන් Original Intel Cooler එක නම් ball bearing වලින් සැදී ඇත්තේ. එය නිසි නඩත්තුවක් වේ නම් මුළු ආයු කාලය පුරාම ශබ්ද ඇතිවන්නේ නෑ.
    හොඳ ලිපියක්. බොහෝ දෙනෙක්ට වැඩක් ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  15. තැන්කු කීවා දීපු උපදේසෙට , වෙලාවක ඕක ගලවලා බලනවා . මොකක් හරි මගුලක් වෙන්නෙ නැතෑ ........ ! කොහොමත් අත්හදා බැලීම් නොකර ඉගෙන ගන්න බෑනේ.................

    ReplyDelete
  16. @priyantha - ස්තූතියි ප්‍රියන්ත, ඔබ මට මඟහැරී ගොස් ඇති දෙයක් මතක් කර දීම හොදයි. Processor Cooler එක මොන වර්ගයට අයත්ද කියන එක ටිකක් අවධානය යොමුකරන්න වෙනවා. මම ලිපියෙත් කියල තියෙන විදියට හොද Cooling fan brand එකක් වීම වගේම හොද නඩත්තුවක් ඒ කියන්නේ දුහුවිලි ආදිය යම් කාලයකට සැරයක් ඉවත් කිරීම නිසා අනවශ්‍ය ශබ්ද නොනැගී භාවිතාකරන්න හැකියි. ඒ වගේම දුහුවිලි අධික වගේම තෙතමනය අධික පරිසරයක පරිගණකය තිබෙනවානම් එයින්ද fan දුහුවිලි ඇලීම වැඩි නිසා එය අයාසයෙන් ක්‍රියාකල යුතුවා මෙන්ම නිසි පරිදි වායු ප්‍රවාහය සිදුනොවීම හේතුවෙන් ශබ්දය වැඩියෙන් fan එකෙන් ඇසීමත් සිදුවෙන්න පුළුවන්.ඒ නිසා එවැනි පරිසරයක පරිගණකය භාවිතයේදී නිසි නඩත්තුව මෙවැනි කරදර වලින් ගැලවිමට මඟක් ලෙස කියන්න පුළුවන්...

    ReplyDelete
  17. @sameera - ස්තූතියි! ප්‍රවේශමෙන් කරල බලන්න...

    ReplyDelete
  18. මාත් මැෂින් එක පිටිපස්සට තඩිබබා හිටියෙ, ෆෑන්වල සද්දෙත් එක්ක ෆිල්ම් එකක්වත් බලන්න බැරුව, අද හෙටම තෙල් ටිකක් දාන්න ඕන, බොහොම ස්තුතියි උපදෙසට..

    ReplyDelete
  19. @Akhila - ස්තූතියි! ඔබේ ගැටළුවත් නිරාකරණ‍යවේ යයි සිතමි...

    ReplyDelete
  20. කට්ටියටම මේ ප්‍රස්ණෙ තිබිල ‍වගේ නේ... ඒ කියන්නෙ දැන් අපේ යන්තර ටික තෙල්වලින් දුවන්නයි යන්නේ... :D :D

    ReplyDelete
  21. @hare :-) - ඔව් ඔව්... දැන් බලාගෙන ගියාම තෙල් වලට තව වැඩියෙන් ඉල්ලුමක් එයි වගේ...:D

    ReplyDelete
  22. පට්ට පට්ට...

    ReplyDelete
  23. @නිශාන් & සාරංග - Thanks!!!

    ReplyDelete
  24. ලෙඩේ ්කම තමයි... බෙහෙත් වලට ස්තූථියි.

    ReplyDelete
  25. @සොඳුරු සිත - මේ බෙහෙතෙන් ලෙඩේ සනීපවේවායි පතමි...

    ReplyDelete