-->

Wednesday, June 1, 2011

සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime - පළමු කොටස

මොන තැනක සිදුවුනත් යුද්දය ගැනනම් සුභවාදී යහපත් පිළිතුරක් දියනොහැකි මාතෘකාවක්. හැබැයි මානව වර්ගයාගේ යහපත හෝ පහසුව පිණිස අද නිෂ්පාදන වන දේවල් බොහෝමයකට තිඹිරිගෙය වෙලා තියෙන්නේ යුද්දයක් හෝ එයට ආසන්න හේතුවක් බව අප බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්. එසේ සොයාගන්නා ලද නිපැයුම් කිහිපයකම තොරතුරු ඔබ හමුවේ අද තැබීමට තමයි බලාපොරොත්තුවෙන්නේ.

මුලින්ම කියන්න යන්නේ අපි කවුරුත් දන්න තැපැල් සේවය එහෙමත් නැත්නම් Postal Service ගැන.
විධිමත් තැපැල් සේවයක් මුලින්ම පවත්වාගෙන යාම අරඹලා තියෙන්නේ ක්‍රි.පූ. 522 - 480 අතර කාලයේ රාජ්‍ය විචාරන ලද පර්සියානු අධිරාජ්‍යයෙකු වන Darius the Great විසින්. ඒ ඔහුට සහ යුද පෙරමුණු වල සිටි ඔහුගේ සේනාංක සමග හොද සන්නිවේදනයක් පවත්වාගෙන යාම සදහායි.

ගිලන් රථය හෙවත් Ambulance කියන අද වන විට අපට නැතුවම බැරි සේවාවත් ජනිත වෙලා තියෙන්නේ යුද්දයකින් තමයි. ඒ 1487 කාලයේ ස්පාඤය විසින් සිය තුවාල ලබන සොල්දාදුවන් යුද බිමෙන් ඉවත් කරන්න තමයි මෙම සේවාව සපයන වාහන භාවිතා කරල තියෙන්නෙ.
A horse drawn ambulance from theAmerican Civil War
(1861-1865)
ඉස්සර කාලයේ නම් ඉතින් යොදාගෙන තියෙන්නේ කරත්ත තමයි මේ ක්‍රියාවට. ඔවුන් මෙය හදුන්වල තියෙන්නේ ‘ambulancias’ (medical hospitals) ලෙසින්.

මෙම  ඒවගේම මෙම Ambulance කියන වචනය බිදී ආබව කියන්නේ ලතින් භාශාවේ ambulare කියන වචනයෙන්. එහි අර්ථය ඇවිදගෙන යාම හෝ ගමන් කිරීම කියන එකයි. තව දෙයක් කියන්න ඕන මෙම ගිලන් රථය කියන දෙය  හදුන්වා දෙනතෙක් යුදබිමේදී තුවාල ලබන්නන් යුද්දය ඉවරවෙන තාක් එතනින් ඉවත් කර ගැනීමක් සිදුවෙලා නැති බවත් කියන්න ඕන. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ 1487 ට පෙර යුද්දයකදී තුවාල ලබන එක මැරෙන එකට වඩා භයානක බව.
Cycle Ambulance
දැන්නම් ගොඩබිමේ තියෙන ගිලන් රථ විතරක් නෙමෙයි හෙලිකොප්ටර් ගිලන් රථත් තියෙනවා.

අපි කවුරුත් දන්න මාගරින් සොයාගන්න හේතුවත් යුද්දයට සම්බන්ධ‍ දෙයක් තමයි. ප්‍රංශයේ 1869 කාලයේ රජකම් කල Emperor Louis Napoleon III කියන රජුට අවශ්‍ය වෙලා තියෙනවා සිය යුදබිමේ සොල්දාදුවන්ට බටර් යවනවා වෙනුවට ඊට වඩා ලාභදායි විකල්පයක් යවන්න. මොකද සොයා බැළුවහම බටර් වලට සැලකිය යුතු වියදමක් යන නිසා. ඉතින් ඔහු බටර් වෙනුවට ලාභදායි විකල්පයක් සොයාගන්න කෙනාට ත්‍යාගයක් පවා දෙන්න තීරණය කරල තිබුනළු. මේ අභියෝගය ජයගත්ත කෙනා තමයි ප්‍රංශ රසායන විදඥ්‍යයකුවන Hippolyte Mège-Mouriés. ඔහු මාගරින් තනල තියෙන්නේ වෙන්කරගත් ගව මේදය, ජලය හා tributyrin ස්පල්පයක් එකට මිශ්‍ර කිරීමෙනුයි.

ටින් කල ආහාර හෙවත් Canned Food ලෝකයට ලැබෙන්නත් යුද්දය හේතුවුනා.
Preserved food
ඒ එසේ මෙසේ කෙනෙක්ගේ යුද්දයකට නෙමෙයි ප්‍රංශ අධිරාජ්‍ය Napoleon Bonaparte ගේ අවශ්‍යතාවය මතයි.
Napoleon Bonaparte
1700 අගභාගයේ එහෙමත් නැත්නම් 18 වන සියවසේ අන්තිම හරියේදී නැපෝලියන්ගේ හමුදා රුසියාව දෙසට ඇදෙන කොට එම භටපිරිස් වෙත ආහාර ලැබීමේ දුශ්කරතා මතුවෙලා තියෙනවා. ඒක නිසා ප්‍රංශ හමුදාව කුසගින්නෙන් වගේම, මන්දපෝශනයෙන්, ශීතාද රෝගය වැනි රෝගාබාදවලින් පෙලෙමින් තමයි ඉදල තියෙන්නේ. යුද ශිල්පයේ කෙල පැමිනි නැපොලියන් ඉක්මනින්ම වටහා ගෙන තියෙනවා මුලින්ම තමන් පරාජය වෙන්නේ සතුරු රුසියන් හමුදාව අතින් නොවෙයි මෙම සාගතය කියන සතුරාගෙන් බව (හැබැයි පසුව නම් රුසියන් හමුදාව අතින් නැපෝලියන් පරාජය වුන බව කියනවා). මේනිසා ඔහුගේ ප්‍රංශ ආණ්ඩුව කවුරුහරි කෙනෙක් ආහාර කල්තියාගෙන යුදබිමට යවන්න හැකි ක්‍රමයක් සොයා දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් පිරිනමන බවට ප්‍රකාශ කර තියෙනවා. මේ ත්‍යාගයත් සුළුපටු ගණනක් නෙමෙයි ප්‍රංශ ෆ්‍රෑන්ක්ම 12,000 ක්ළු.

ඉතින් මේවගේ තෑග්ගක් ගන්න ඒ කාලේ ප්‍රංශ රටේ හිටිය හුඟක් අය උත්සහ කරන්න ඇති. ඔන්න මේකාලේ ඒ රටේ හිටිය Nicholas Appert කියල කෙනෙක්. ඔහු එතරම් ප්‍රසිද්ධියක් නැතුව රසකැවිලි නිෂ්පාදනය කරපු කෙනෙක්, ඒවගේම ඔහු බීර පෙරීම හා බේකරියකුත් කරගෙන උන්න කෙනෙක්. මනුස්සයා මේ තෑග්ග ගැනත් හිතේ තියාගෙන වෙන්න ඇති තමන් කරගෙන ඉන්න වැඩ කටයුතුවලට අමතරව මේ විදියට යුදබිමට කෑම යවන්න කල් තියා ගන්න හැකි ක්‍රමයකුත් සොයාගන්න හිතුවේ. 

Appert canning jar
Nicholas Appert ට මේ වෙනුවෙන් සිද්ධාන්තයක් ගොඩනගා ගන්නත් හැකිවුනා. ඒ තමයි නැවුම් ආහාර වායුරෝධක (airtight) භාජනයකට බහා  ප්‍රමාණවත් තාපයකට ලක්කල විට එය කල් තබා ගන්න හැකි බව. හැබැයි මේ සොයාගැනීම කරන්න ඔහුට සෑහෙන්න කාලයක් ගතවුනා. ඒ කියන්නේ වසර 14 ක් මෙම පරීක්‍ෂන වෙනුවෙන් ගතවෙලා තියෙන අතරම 1810 දී නැපොලියන් අතින්ම තෑග්ගත් ලබා ගෙන තියෙනවා. 

මේ Nicholas ආහාර කල් තියා ගෙන තියෙන්නේ මේ විදියට. ඔහු මුලින් බෝතල් වලට ආහාර දමා එය ඇබ ගසා වසා, නටන උණු වතුරට ගිල්වලා තියෙනවා. 

කොහොමවුනත් වීදුරු බෝතල් වගේ බිදෙන සුළු දේවල් යුද බිමකට නුසුදුසු නිසා පසුකාලීනව ටින්, බෝතල් වල තැන ගන්න ඇති. මෙම ප්‍රයෝජනවත් සොයාගැනීම වෙනුවෙන් Nicholas Appert ට ගරු කිරීමක් ලෙස ටින් කිරීමේ ක්‍රියාවලිය "appertisation" ලෙසද හදුන්වනවා.

තව ගොඩක් සොයා ගැනීම් ගැන කියන්න තියෙනවා. ඒ ගැන දෙවන කොටසේදී බලමු...

3 comments:

  1. වෙනද වගේම හොද ලිපියක්.

    ReplyDelete