-->

Wednesday, November 2, 2016

ඉතාලි යුද පෙරමුණ (Italian Front)

පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය මිත්‍ර පාර්ශවයේ කොටස්කරුවෙකු ලෙස යුද්ධයට එක්වූ අතර යුද්ධයේ මුල් අවධියේ ඔවුන් පැත්තක් නොගෙන සිටියත් 1882 දී ජර්මනිය, ඔස්ට්‍රියාව යන අධිරාජ්‍යයන් සමග ගිවිසුමකට එළඹ සිටියහ. එහෙත් ඉතාලියේ බහුතරයක් මෙම තෛපාර්ශවියක ගිවිසුමට මනාපයක් නොවූ අතර ඒ යාබද ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය චිරාත්කාලයක් පුරා තම සාම්ප්‍රධායික සතුරෙකු ලෙස සැලකූ හෙයිනි. තවද ඉතාලි හමුදා දුර්වල හමුදා බලයක් සහිත හමුදාවක් වූ අතර 1911-1912 අතර තුර්කිය හා සටන් වැදුන අවස්ථාවේ එය වඩාත් හොදින් තහවුරු විය. තවද මෙම තුර්කිය හා යුද වැදීම ඉතාලි ආර්ථිකයද දුර්වල කිරීමට හේතුවී තිබුනි.

1915 මැයි 23 දා එනම් මාස කිහිපයක් යුද්ධය ඇදී ගිය තැන පැත්තක් නොගෙන සිටි ඉතාලිය යුද්ධයට එක්වූයේ තම අසල්වැසියා වූ ඔස්ට්‍රෝ-හන්ගේරියා අධිරාජ්‍යය ආක්‍රමණයෙනි. මෙහිදී ඔවුන්ගේ වඩාත්ම අවශ්‍යතාවය වූයේ ඇතිව තිබෙන යුද වාතාවරණය ප්‍රයෝජනයට ගෙන යාබද රාජ්‍යයෙන් තව බිම් ප්‍රමාණයක් තමන් යටතට ගැනීම එවකට ඉතාලි අගමැති Antonio Salandra බලාපොරොත්තුව විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ ඉතාලියානුවන් බොහොමයක් එම අත්පත් කරගැනීමට බලාපොරොත්තුවූ බිම් ප්‍රදේශ වල ඔස්ට්‍රෝ-හංගේරියානු පාලනය යටතේ වීමයි. අනෙක් අතින් ඉතාලියද මිත්‍ර පාර්ශයවය කෙරෙහි නැඹුරුතාවයක් වූ අතර මිතුරු පාර්ශවයටද ඉතාලිය යුද්ධයට එකතු කර ගෙන තම පාර්ශවය ශක්තිමත් කර ගැනීමේ අභිලාශයක් විය. ඒ සදහා ඔවුන් සිත් ඇදගන්නා සුළු යෝජනාවක්ද ඉතාලියට කර තිබූ අතර ඒ යම් හෙයකින් යුද්ධයට එක්ව සතුරු පාර්ශවයේ අල්ලා ගන්නා බිම් ප්‍රදේශ ඉතාලිය සතුකර ගැනීමට අනුමැතිය දෙනබවටයි. මේ අනුව මිතුරු පාර්ශවය සමග යුද්ධයට එළඹීමේ ගිවිසුමකටද 1915 අප්‍රේල් 26 වනදා ලන්ඩනයේදී අත්සන් කෙරුන අතර එය Treaty of London ලෙස හැදින්විනි. ගිවිසුම් ප්‍රාකාරව මසක් ඇතුලත ඉතාලිය අක්‍ෂ බලවතුන්ට එරෙහිව යුද වැදිය යුතු විය. එය ඉතාලියට හිතන තරම් පහසු කටයුත්තක් නොවීය.


කෙසේවෙතත් ජර්මනියට, ඉතාලිය මෙම යුද්ධයට එක්විම වැලැක්වීමේ උවමණාව තදින් තිබූ අතර ඉල්ල බිම්කඩ ලබාදී ඉතාලියට ඉන්නා විදියටම ඉන්නට දෙන්නැයි ඔස්ට්‍රෝ-හංගේරියානු බලධාරීන් දන්වා සිටියත් තමන් සතු බිමෙන් සුළු කොටසක් දී එවන් සංහිදියාවකට මනාපයක්ද නොවීය. ජර්මනියේ බලකිරීම් නිසාම අකමැත්තෙන්වුවද 1915 මාර්තු වන විට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ පාලනයෙන් යුතු Trentino ප්‍රදේශය ඉතාලියට ලබාදෙන්නට කැමතිවූවත් ඉතාලිය යුද්ධයෙන් ඉවත්කර තැබීමට එය ප්‍රමාද වැඩිවිය.

ඉතාලිය යුද පෙරමුණු දෙකකින් ප්‍රතිවාදියාට එරෙහිව යුද වැදුන අතර ඒ උතුරු හා නැගෙනහිර පැති වලින් ප්‍රහාර එල්ල කරමින්ය. එහෙත් ඉතාලි හමුදා හොදින් යුද්ධයට සූදානමක් හෝ යුද මෙවලම් ආදියෙන්ද ඌනතාවයන්ගෙන් යුතු වූ අතර වසර කිහිපයක් යනතුරුම  කිලෝමීටර් 600 ක් පමණ වූ ඉතාලි-ඔස්ට්‍රියා දේශසීමා ආරක්‍ෂක වලල්ල බිද දමා ඔස්ට්‍රෝ-හන්ගේරියා අධිරාජ්‍යය තුලට ඇතුළු විමේ හැකියාවක් ඔවුන් සතු නොවීය. යුද්ධයේ අවසානතම අවස්ථාවේ, එනම් 1918 ඔක්තෝබරයේදී  Vittorio Veneto සිදූවූ යුද්ධයේදී පමණක් මෙම අරමුණ සඵල කරගැනීමට ඉතාලි හමුදා සමත්වූහ. තවත් අතකින් ඔස්ට්‍රෝ - හංගේරියන් හමුදාවටද තුන්පාර්ශවයක් සමග යුද වැදීමට සිදුව තිබුනි. ඒ යුද්ධයේ ගිනි පුපුරු දැල්වූ සර්බියාව, සර්බියාවේ සහයට ආ රුසියන් හමුදාව සහ දැන් ඔවුන් සමග යුද වදින ඉතාලිය සමගයි. එහෙත් ඔස්ට්‍රෝ - හංගේරියන් හමුදාව කලින්ම යුද්ධයට සම්බන්ධව ඇල්පයින් කඳුකරයේ වැදගත් කපොලු, බාධක, මර්මස්ථාන යනාදී තමන්ට වැදගත් ආරක්‍ෂිත අත්පත් කරගෙන සිටිනිසා ඉතාලියට සාපේක්‍ෂව වාසි සහගත තත්ත්වයක් ඔවුන් සතුවිය.

කෙසේවෙතත් ගිවිසුමේ ආකාරයට ජර්මනිය සමග එක්වරම යුද වැදීමට ඉතාලිය ඉක්මන් නොවූ අතර ජර්මන් හමුදාවන්ට එරෙහිව පහරදීම ආරම්භ කර තිබුනේ 1916 වසරේදීය. 

මෙම ඉතාලියානු යුද පෙරමුණ දෙපාර්ශවයටම අසීරු සහ අවධානම වැඩි යුද පෙරමුණක් වූ අතර අධික ශිතලෙන් යුතු ඉතාලි ඇල්පේනියානු කඳුකරයේ ඒ වෙනුවෙන්ම පුහුණුව ලැබූ හමුදා සෙබළුන් සටන් කළ අතර ඉතා ශීඝ්‍ර බෑවුම්, ඉහළ කඳුගැට අල්ලා ගත් පාර්ශවය විසින් ඇටවූ බර අවි වල ප්‍රහාර, යුද උගුල් මෙන්ම හිටිගමන් හිමකඳු කඩා වැටීම් වැනි ස්වභාවික උපද්‍රව සහ කාලතුවක්කු ප්‍රහාර නිසාද තියුනු ගල් සහිත කඳු මුදුන් කඩා වැටීම නිසා සිදුවන මියයාම් අධික වීම්ද නිසා කාටත් මෙම යුද පෙරමුණ ඉතා අවධානම් සහගත විය.

බර කාලතුවක්කු අවි වල හිඟතාවයක් ඉතාලි හමුදා සතුවූවා සේම ශීතල හිම ශිකරයන්හි සටන් වල කෙළපැමිණි ඇල්පයිනි සහ Bersaglieri සේනාංක යුද්ධයෙන් නිපුනයන් වුවද මෙම හමුදාවේ අනෙක් සෙබළුන් අඩු පුහුණුවක් ලැබූ සාමාන්‍ය ගම්බද ජනයා විය. ඔවුන් බොහෝමයක් දකුණු ඉතාලියෙන් පැමිණි අය වූ අතරම ඔවුන්ට උතුරු ඉතාලිය පිළිබදව තිබූ හැගීමද අල්පවිය. මේ නිසා ප්‍රධාන යුද භූමියක් වූ Isonzo වැනි යුද පිටි වලදී ඉතාලියට හිමිව තිබුනේ අවාසියමය.


මුලින්ම මෙම පෙරමුනේ සිදුවූ ප්‍රධාන පෙලේ ගැටුම් හතරදී පමණක් ඉතාලි සොල්දාදුවන් 27,000 ක් පමණ මිය ගියත් අල්ලා ගත් බිම් ප්‍රමාණය ඉතා අල්ප විය. තවත් අතකින් යුද පෙරමුණේ ජයට වඩා ලබන පරාජය නිසා දුර්මුඛ වූ ඉතාලි හමුදාපතිවරයා විසින් ජනරාල්වරුන් 217 තරම් විශාල ප්‍රමාණයක් යුද පෙරමුනෙන් නෙරපා දමමින් නව ජනරාල්වරයෙකු, පෙරසිටි කෙනාට වඩා කෙසේ හෝ ප්‍රගතියක් ලබාගනීදැයි තරයේ අපේක්‍ෂා කළේය. ජනරාල් Luigi Cadorna එවකට ඉතාලි හමුදාවේ හමුදාපතිවරයා වු අතර ඔහු තම සෙබළුන් කෙරෙහි ඉතා තද විනයකින් යුතුව පාළනය කළා වුවද යුද්ධයේ ජය ලැබීමේ ක්‍රමවත් සැලසුම් මූලෝපායන් ආදියෙන්ම නම් අඩු පුද්ගලයෙකු විය.

ඉතාලි හමුදාවන්ගේ නිපුණත්වය නිසා නොව, යුද්ධයේ අවසාන අවධිය වනවිට මිතුරු පාර්ශවයට වාසි සහගත තත්ත්වයක් උදාවීම නිසා ඉතාලි යුද පෙරමුණේ අනපේක්‍ෂිත ජයක් ඉතාලියට සතු වුවද ඔවුන් මෙම යුද්ධයට සම්බන්ධ වීමේදී බලාපොරොත්තු වූ තරම් බිම් ප්‍රමාණයක් සතුකරගැනීමේ හැකියාවක් නොලැබූහ. ඔවුන් ඔස්ට්‍රෝ - හංගේරියන් අධිරාජ්‍යයෙන්, තමන්ට ලබා ගන්නට වූ භූමි ප්‍රමණයන් ඇතැම් විට වෙනත් රාජ්‍යයන් බිහිවීමත් සමග ඒ ඒ රටවල් වලට අයත්විය. 1920 දී අත්සන් කෙරුණ Treaty of Trianon නම් ගිවිසුම මගින් ඔස්ට්‍රෝ - හංගේරියන් අධිරාජ්‍යයෙන් කැබලි වලට කැඩී කුඩා ඔස්ට්‍රියා රාජ්‍යය බිහිවූ අතර යුද්ධයට පෙර මෙම අධිරාජ්‍යය සතුව තිබූ භූමියෙන් 70% ක පමණ ප්‍රමාණයක් රුමේනියාව, චෙකොස්ලෝවැකියාව සහ යුගොස්ලෝවියා යන රාජ්‍යයන්ට බෙදී ගියහ.

මෙලෙස තමන් අපේ්‍ක්‍ෂා කළ තරම් ප්‍රතිඵලයක් නොලැබීම දෙවන ලෝක යුද්ධයේදී ඉතාලිය මිතුරු පාර්ශවය හැරදා අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවය ගැනීමට එක් හේතුවක් ලෙසද සැලකේ.

5 comments:

  1. කියවාගෙන යද්දී Guns of Navaron කතාව මතක්වුනා.

    බොහොම සිත්ගන්නා සුළු විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ පවසා තිබෙන පැරණි චිත්‍රපටියත් ලඟදීම බලන්න ඕන...

      Delete
  2. Replies
    1. විල්බර් ස්මිත්ගේ Cry Wolf කියවන්න. ඉතාලි හමුදා ඉතියෝපියාවේ කොමිකල් විදිහට !

      Delete
  3. ආකර්ශනිය පොරොන්දු මතින් ඉතාලිය යුද්දෙට ඇදගෙන තියෙනවා වගේ මිත්‍ර පාර්ශවය.

    ඔස්ට්‍රෝ - හංගේරියන් අධිරාජ්‍යයෙන් කැඩිලා බිහි වෙච්චි "ඔස්ට්‍රියාව"දෙවැනි ලෝක යුද්ධය තුලත් සැහෙන වටිනා තැනක් වගේම විශාල අහිමිවීම් හිමිකරගත්තා නේද?

    ReplyDelete