-->

Wednesday, November 9, 2016

මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"...

මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ. 

දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙන පෝස්ටර් ව්‍යාපාරයක් දියත්වුනා. මෙන්න අමතක නම් එය.

මේ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් ඇමරිකාවෙත් ක්‍රියාත්මක වුනා. එම රුව ඊට අමතරව අද දක්වා විවිද අවස්ථාවල විවිදාකාරයෙන් දක්නට ලැබෙනවා. ඒ තමයි ඔබ හොදින් හඳුනන Uncle Sam නම් රූපය. මේ රූපය ඇත්තටම සැබෑ පුද්ගලයෙකුගේ රූපයක්. වෙනත් විදියට කියනවා නම් මෙය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා තමන්ගේම රූපය තමයි මේ දක්වා තිබෙන්නේ. චිත්‍ර ශිල්පියාගේ නම Montgomery Flagg. මෙම පෝස්ටර් ව්‍යාපාරයේ ඔවුන් යොදා ගත් යෙදුම තමයි "මට ඔබව ඇමරිකානු හමුදාව සදහා අවශ්‍යයයි".  

ඒ වගේම ඇමරිකානු කොල්ලන් එරට නාවික හමුදාවට බදවා ගැනීමට දියත් වුන ප්‍රචාරක ව්‍යාපාරයේදී මේ වගේ පෝස්ටරයකුත් දකින්නට තිබුනාළු.

වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා ගැනත් සදහන් කළා. තවදුරටත් පවසනවානම් මෙතුවට එම නිලයට පැමිණි පුද්ගලයන්ගෙන් උගත් හා බුද්ධිමත් කමෙන් වැඩිම පුද්ගලයා ලෙසටත් හදුන්වන්නට පුළුවන්. එයට හේතුව තමයි ඔහු තමයි මෙතෙක් ජනාධිපතිකමට පත්වූ එකම ආචාර්යය උපාධිය හිමි තැනැත්තාවීම. සැබැවින්ම ඥානාන්විත විදියට යුද්ධයට අනවශ්‍ය ආකාරයට මැදිහත්වීමකින් තොරව තවත් කරන්නට දෙයක් නොමැතිම කළ එයට මැදිහත්වූ ආකාරය පෙර ලිපියකදීත් සදහන් කළා. තවෙකක් තබා තවදුරටත් මෙවන් යුද්ධයක් ඇති නොවීමට ජාතීන්ගේ සංවිධානය නම සංවිධානයක් බිහි කිරීමට පුරෝගාමී වී එයට වැඩි ඇමරිකානු දායකත්වයක් ලබා දීමට රට අභ්‍යන්තරයේ පුද්ගලයන්, ආයතනික ව්‍යුවහය සම්බන්ධ කිරීමට දැඩි උත්සාහයක් ගත්තත් ඇමරිකාව තුලින් ඔහුුට එතරම් සහයක් නොලැබීම දෙවන ලෝක යුද්ධය හා එයට පෙර ඇතිවූ විවිද ව්‍යාකූල තත්ත්වයන් ඇතිවීම වලක්වාගැනීමට තිබූ ඉඩකඩ අහුරන්නට හේතුවුනා. කෙසේනමුත් යුරෝපයට හා සමස්ථ ලෝකයට යම් කිසි සාමයක් ගෙන එන්නට ඔහු කළ දායකත්වය අගයන්නට 1919 දී ඔහුට නොබෙල් ත්‍යාගය ලබා දීමෙන් අගය කළ බවත් පැවසිය යුතුයි.





වුඩ්රෝ විල්සන් ජනපතිවරයාගේ ජීවිත ගමන් මග මෙසේය.




මෙන්න මේ වගේ මෙවලම් තමයි ඇමරිකානු පාබල හමුදා සෙබලෙකු සතුව තිබී තිබෙන්නේ.

මේ යුද්ධයේ උච්චතම අවස්ථාවක කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවක් වගේම යුද්ධයේ දක්‍ෂකම් පෙන්වූවන්ට ලබා දුන් සම්මානයක්.

එවකට යුරෝපයේ රටවල් බොහොමයකට යටත් විජිත තිබුනා වගේම දහනම වන සියවසේ හා විසිවන සියවසේ මුල්ම අවධියේ යුරෝපාකරයේ රටවල් අසල්වැසි රටවල් සමග විවිද අවස්ථාවල යුද වැදී තිබුන නිසා එම හමුදාවල සෙබළුන් තමන් උපන් ප්‍රදේශයෙන් වගේම උපන් රටෙනුත් විවිද අවස්ථාවල බැහැරව ගොස් තිබුනා. එත් ඇමරිකානු සෙබළුන් බහුතරයකට එවැනි අත්දැකීමක් ලැබී තිබුනේ නැහැ. ඔවුන් බොහෝමයක් තමන් උපන් නගරයෙන්වත් පිටතට ගොස් නොතිබුන නිසා ඔවුන්ට සිය සමීපමතයන්ගෙන් දුරස්වීම සෑහෙන්න දැනෙන දෙයක් වුනා. 

තවත් අතකින් ඇමරිකානු සොල්දාදුවන් සේවයේ යෙදෙව්වේ ප්‍රංශයේ නිසා, තමන් කතා කළ ඉංග්‍රීසි බස නොව ප්‍රංශ බස කතාකරන මිත්‍රපාර්ශවික සෙබළුන් සමග ගැවසෙන්නට වීම නිසා අදහස් හුවමාරුවටත් බාධාවක්ව තිබුනා. මේ නිසා තමන්ගේ ගෙවල්වලට නිරතුරු ලියුම් ලිවුවා වගේම, තම හිතවතුන්ගෙන්, ගෙදරින් එන ලියුම්,  පින්තූර සහිත තැපැල්පත් මෙන්ම එවන කෑමබීම වලටත් ඔවුන් දැඩි ලෙස ඇළුම් කළා.

ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වීමට මුල්වූ ප්‍රධානතම හේතුව වූයේ ලුසිතානියා නෞකාව විනාශ කිරීමට ජර්මනිය ක්‍රියාකිරීමයි. මේ එදා අවසාන වතාවට නිව්යෝර්ක් වරායෙන් එම නෞකාව ගමන් ආරම්භ කරන මොහොතයි.

මේ එම නෞකාවේ තිබූ ජීවිතාරක්‍ෂක මෙවලමක්.

1914 වන විට ඇමරිකාවේ මුළු ජනගහනය මිලියන 100 ක් ලෙස යයි පවසන අතර තවත් විදියකට කියනවා නම් කෝටි 10 ක්. ඒත් මෙතරම් ජනගහනයකට සිටි නිත්‍ය යුද හමුදාව 100,000 කට යන්තම් වැඩියයි කියුවොත් සමහරවිට ඔබ විශ්වාස කරන එකක් නැතුව වෙන්න පුළුවන්. එවකට දුර්වල හමුදාවක් ලෙස සැලකුන බෙල්ජියම් හමුදාව පවා මෙම හමුදාව මෙන් තුන්ගුණයක් වුනා. එත් ඇමරිකාව සතුව කාලයට ඔබින නවීන අංගෝපාගයන්ගෙන්ද යුතු උපකරණද ඇති ශක්තිමත් නාවික හමුදාවක් තිබූ බව පැවසිය යුතුයි. එවන් ශක්තිමත් නාවික හමුදාවක් පවත්වාගැනීමටත් හේතු තිබුනා. තමන්ගේ මුහුදුබඩ දේශසීමාව රැකගැනිම, නාවික වෙළඳ මාර්ගය ආරක්‍ෂා කරගැනීම මෙන්ම ශක්තිමත් නාවිත හමුදාවක් ඇත යන අන්තර්ජාතිකව ඇති පිළිගැනීම තබා ගැනීමටත් මෙම ප්‍රභල නාවික හමුදාවක් පැවතීම උපකාරීවූවා.

යුද්ධයට සම්බන්ධ නොවී මැදහත් ස්ථාවරයක සිටින්නට ඇමරිකාවේ ජනගහනය විවිද ජාතීන්ගේ සමන්විත වීමද බලපෑවා. ඇමරිකාවේ පාලන තන්ත්‍රය බ්‍රිතාන්‍ය සම්භවයකට උරුමකම් කියූ ප්‍රභූවරුන්ට හිමිවූවත් ජනගහනයෙන් 10% ක් පමණ වූයේ ජර්මානු සම්භවයක් යුතු ජනතාවයි. තවෙකක් තබා ස්කැන්ඩිනේවියානු රටවලින් පැමිණි බොහෝ ජනයාද ජර්මානු සම්භවයක් යුතුවූ බව තහවුරුව තිබුනා. යුද්ධයට ඇමරිකාව සම්බන්ධ විය යුතු යයි ප්‍රභල හඩක් නැගුවේ අයර්ලන්ත සම්භවයක් තිබූ ජන කොටස බවද පැවසෙනවා.

පළමු ලෝක යුද්ධය අවධිය වන විට විට ඉතා ශක්තිමත් ආර්ථිකයක් ඇමරිකාවට හිමිව තිබූ අතර ලෝකයේ කාර්මික අංශයේ 1/3 ක් ඔවුන් සතුවූවා. එසේම ආහාර හා අනෙකුත් විවිද මූල ද්‍රව්‍ය වල විශාල නිෂ්පාදන හිමිකාරීත්වයක් ඔවුන් සතුවූවා. මේ විශාල සම්පත් ප්‍රමාණය යුද්ධය කරගෙන යාමට මිතුරු පාර්ශවයට මෙන්ම අක්‍ෂ බලවතුන්ට අවශ්‍යව තිබුනා. බ්‍රිතාන්‍ය විසින් ජර්මනියට නාවුක සැපයුම අවහිර කර තිබූ නිසා ජර්මනියෙ ඒජන්තවරු වෙනත් මැදිහත් රටවල් ඔස්සේ භාණ්ඩ ඇමරිකාවෙන් මිලදී ගෙන වක්‍රාකාරව ජර්මනියට ලැබීමට සලස්වාතිබූ බවද පැවසිය යුතුයි. එහෙත් එයින් එතරම් වැඩි වාසියක් ජර්මනියට අත්වූයේ නැහැ. ජර්මනියට ඇමරිකාවෙන් ඍජුව වෙළදාම කරගෙන යාමට නොහැකිවූවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද්ධයට මෙන්ම රටට අවශ්‍ය විවිද දේ ඇමරිකාවෙන් මිලදී ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. එයටත් වඩා වැදගත් කාරණයක් වූයේ මිතුරු-සතුරු දෙපාර්ශවයටම ඇමරිකානු බැංකු ණය ලබාදී තිබූ අතර එයින් වැඩි ණය ප්‍රමාණයක් ලබා දී තිබුනේ මිත්‍ර පාර්ශවයටයි. මේ නිසා මිතුරු පාර්ශවය ජය නොගතහොත් එයින් ඇමරිකානු ආර්ථිකයට වන බලපෑම ඉතා හානිකර වීමට ඉඩ තිබු බවද පැවසිය යුතුය.

යුද්ධයත් සමග 1915 වන විට ඇමරිකානු අපනයනය කිහිපගුණයකින් වැඩිවූ අතර මේ වැඩිවීමට හේතුව මිතුරු පාර්ශවයේ රටවලට අවශ්‍ය ද්‍රව්‍ය නැව් මගින් යුරෝපයට යැවීම නිසා බව ඇමරිකාවේ සිට ජර්මන් ඔත්තුකරුවන්ට රහසක් නොවීය. මේ නිසා මෙලෙස යුරෝපයට බලා යෑමට නියමිත තොග ගබඩා කර තිබූ ගබඩා, නැව් යනාදිය ගිනිබත් කළ අවස්ථා බොහෝය. මේ තත්ත්වය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින්ද කිහිපවිටකම ඇමරිකාවට දැනුම් දෙන ලදි.

සීමාවන්ගෙන් තොර නාවික පහරදීම් ජර්මනිය නිවේදනය කළ අවස්ථවේද එය ඇමරිකානු නෞකාවන්ට බලනොපාන නීතියක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජර්මනිය හා සමථයකට පත්වීමට උත්සහ දැරූවද එය ජර්මනිය විසින් ඉවත ලන ලදි. වුඩ්රෝ විල්සන් ජනපතිවරයාට පළමු ලෝක යුද්ධයට මහ පරිමාණයෙන් සම්බන්ධ නොවී සිටීමට වැඩි උවමණාවක් තිබූ අතර ජර්මනියේ තර්ජනයට විසදුමක් ලෙස මුල් අවස්ථාවලදී ඇමරිකානු වෙළඳ නැව් වලට අවි සවි කොට අවශ්‍ය වෙතොත් පමණක් භාවිතා කිරීමට කටයුතු යෙදීම යෝග්‍ය යැයි ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයටද යෝජනා කළේය.

1917 ජනවාරි 16 වනදා ජර්මන් විදේශ ලේකම් Arthur Zimmermann විසින් මෙක්සිකෝවේ ජර්මන් තානාපතිවරයා වෙත යවන ලද විදුලි පණිවිඩයකින් කියවුනේ මෙක්සිකෝවට යුද ආධාර ලබා දීමට සූදානම් බවට යෝජනා කරන ලෙසත් එමගින් තමන්ට පක්‍ෂව හා ඇමරිකාවට එරෙහිව ක්‍රියාකරන ලෙස සහ එයට තුටු පඬුරු ලෙස ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්, එනම් ටෙක්සාස්, නිව් මැක්සිකෝ සහ ඇරිසෝනා යන ප්‍රාන්ත මෙක්සිකෝවට ලබා දෙන බවත්ය. මේ රහස් පණිවිඩය බ්‍රිතාන්‍ය නාවික ඔත්තු සේවා විසින් decrypted කරගන්නා ලද අතර පෙබරවාරිය වන විට ඔවුන් විසින් ඇමරිකානු බලධාරීන්ට මේ බව දැනුම් දෙන ලදි. එහෙත් මුලින් ඇමරිකානු ආරක්‍ෂක අංශ සහ ඉහල දේශපාලන අධිකාරිය මෙය බොරුවක් ලෙස විශ්වාස කරන ලදි. එහෙත් අවසානයේ මෙම පණිවිඩයේ හිමිකාරිත්වය එනම් පණිවිඩය එවූ Arthur Zimmermann විසින්ම මෙය පිළිගත් පසුව ඇමරිකාවට මෙම පණිවිඩයේ බැරෑරුම්කම වැටහෙන්නට විය. මෙය සත්‍යක් බව දැනගත් විට ඇමරිකානු ජනමාධ්‍ය හරහා රටපුරා ක්‍ෂනයකින් මහජනතාව දැනුවත් වූ අතර ඒ වනතෙක් ජර්මනියේ පාර්ශයවය වෙනුවෙන් හිතවාදීව සිටි ජර්මානු සහ ස්වීඩන් සංක්‍රමණිකයන්, බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කර ඇමරිකාවේ විසූ බ්‍රිතාන්‍ය විරෝධී අයර්ලන්ත වැසියන් පවා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයට විරෝධය පෑම ආරම්භ කළ අතර මිතුරු පාර්ශවය වෙනුවෙන් යුද්ධයට එළඹිය යුතු බවද ඇදහූහ.

එසේම ඇමරිකාව යුරෝපයේ සිදුකෙරුණ මෙම විනාශකාරී යුද්ධයට සම්බන්ධවීමට තවත් හේතුවක් විය එනම් 1917 මුල් කාලය  විට රුසියාවේ සාර් පාලනය බිදවැටීමත් සමග යුද්ධයට රුසියානු දායකත්වය තවතවත් දුර්වල වීම සහ දේශපාලනික මතිමතාන්තරවල සිදුවෙමින් පැවති වෙනස්කම් මිතුරු පාර්ශවයන්ට හිතකර නොවන ලෙස නිර්මාණය වීමද තවදුරටත් අහකබලාගෙන සිටීමේ ප්‍රතිපත්තියෙන් ඇමරිකාව ඉවත්වීමට තවත් කාරණයක් විය.

යුද්ධයට ඇමරිකාව සම්බන්ධව තිබීම තමන්ගේ යුද ක්‍රියාකාරීත්වයට හිතකර නොවන බව වටහා ගත් ජර්මනිය 1917 ඔක්තෝබරයේදී සටන් විරාමයකට එකඟත්වයක් පළ කළත් ඒ වන විට ඔවුන් ප්‍රමාද වැඩි වී තිබුනි.

1917 අප්‍රේල් 06 වන දා පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූවත් මෙවන් විශාල පරිමාණයේ යුද වාතාවරණයට මුහුණ දීමට තරම් සූදානමක් ඇමරිකාව සතුව නොවීය. විශාල ප්‍රමාණයේ හමුදාවක් මෙන්ම විශාල සම්පත් ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුලත ගොඩනංවා ගැනීම හා කළමනාකරණය කර ගැනීම අත්‍යාවශ්‍ය විය.

120,000 ක් පමණ වූ කුඩා හමුදාව විශාල කරගත යුතුව තිබූ අතර අනිවාර්යය යුද සේවාවක් සදහා ඇමරිකානු පුරවැසියන් කැඳවීම ඒ වන විට තිබූ ව්‍යවස්ථාව අනුව පුද්ගල නිදහසට එරෙහිව යාමක් විය. අනෙක් අතින් මහා පරිමාණ යුද්ධයකට බැහැරව යන හමුදාවට අවශ්‍ය අවි ආයුද, රථ වාහන, අනෙකුත් යුද මෙවලම් සහ විවිද කාර්යයන්ට අවශ්‍ය මෙවලම්ද කෙටිකලකින් හා විශාල පරිමණයෙන් නිෂ්පාදනය සදහා කර්මාන්ත ශාලා සදහා පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයද අධික විය.

මේ නිසා හමුදාවට අවශ්‍ය පිරිස ස්වේඡාවෙන් බඳවා ගැනීමට උත්සහ දැරුවත් 1917 අප්‍රේල් අග වන විට බැදුන සංඛ්‍යාව 97,000 ක් තරම්විය. මෙය ප්‍රමාණවත් නොවන බව හා තවදුරටත් ස්වේච්ඡාවෙන් බදවා ගැනීම සාර්ථක නොවන බව වටහා ගත් පාලනාධිකාරිය 1917 මැයි 18 වනදා සම්මත කර ගත් The Selective Service Act නම් නීති ප්‍රතිපාදනය ඔස්සේ මෙම බදවා ගැනීම් නීත්‍යානුකූලවම අනිවාර්යය සේවාවක් නියම කරගැනීම තුලින් අපේ්‍ක්‍ෂා කළේය.  මේ අනුව අවු.21 සිට 31 දක්වා වූ සියළු ඇමරිකානු පිරිමි ලියාපදිංචි වීම අනිවාර්යය වු අතර ඒ අතරින් සුදුස්සන් හමුදාවට හෝ කර්මාන්ත ක්‍ෂෙත්‍රය සදහා බදවා ගැනීම අරමුණ විය. පසුව මෙම වයස් සීමාව අවු. 18 සිට 45 දක්වා පරාසයකින් වැඩි කළහ. මෙම බදවා ගන්නා හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමට රටපුරා හමුදා කඳවුරුද ස්ථාපිත කරන ලදහ.

සුදු කළු භේදය නිසා හමුදාවට කළු ජාතිකයන් බදවා ගැනීමට සීමා පැවතින. කළු ජාතිකයන් වැඩිපුර යොදා ගත්තේ හමුදාවේ සේවා සැපයිම් වැනි අංශ වලට වූ අතර සන්නද්ධ අංශ සදහා බදවා ගැනීම සාපේක්‍ෂව ඉතා අඩු අගයක් ගත්තේය. සන්නද්ධ කළු ජාතික හමුදා සෙබළුන් ප්‍රචණ්ඩව සුදු ජාතිකයන්ට පහර දීමට හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට නැඹුරුවේය යන බියද විය. එහෙත් ඒ වන විටත් ප්‍රංශයේ, ප්‍රංශ හමුදාවත් සමග එක්ව ස්වේච්ඡාවෙන් සටන් වදින කළුජාතික සේනාංකයන් කිහිපයක්ද විය. එසේම මෙම ස්වේච්ඡා භටයන් අතර ගුවන් යානා පැදවීමේ හැකියාව සහ දක්‍ෂකම් පෙන්වූ කළුජාතිකයන්ද විය. එහෙත් යුද්ධයෙන් පසුව ඇමරිකාවේ නිත්‍ය ගුවන් හමුදා භටයෙකු වීමට ඔවුන්ගේ හමේ පැහැය තවදුරටත් බාධකයකව පැවතුනි.

තවද සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත් සේනාංක වලින් වෙන්කොට වෙනම සේනාංක ලෙස කළු ජාතිකයන් සිටි සේනාංක පවත්වාගෙන යාමද ප්‍රතිපත්තිය විය.

මුලින්ම කාන්තාවන් යුද හමුදාවට සම්බන්ධ වූයේ හෙදියන් ලෙස වුවත් පසුව සේවා සැපයීම අංශ සදහා දකාන්තාවන්ද හමුදාවට බදවා ගත්හ.


ඇමරිකානු පුරවැසියන් බහුතරයක් මේ වන විට යුද්ධයට පක්‍ෂපාතීව සහය දෙමින් සිටියත් අතලොස්සක් විරුද්ධව සිටිහය. යුද්ධයට ඇමරිකාව මැදිහත් වීම විවේචනය කරමින් සහ ආණ්ඩුව විසින් නියම කළ ලියාපදිංචි වීමෙන්ද බැහැරව සිටි පිරිසක්ද වූහ. මෙම පිරිස කෙරේ ආණ්ඩුවේද අනුකම්පාවක් නොවූ අතර ඔවුන් කෙරේ අනුගමනය කරන ප්‍රතිපත්තිය දැඩි කරමින් 1917 ජුනි මාසයේදී සම්මත කරගත් Espionage Act නම් වූ නීතියක් ඔස්සේ ආණ්ඩුවේ යුද මැදිහත්වීමට එරෙහිව ක්‍රියාකරන්නන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු යොදන්නට වූහ.

යුද්ධයක් සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යාමට ආර්ථිකයද ශක්තිමත්ව පැවතීම අනිවාර්යය කරුණකි. තවද යුද්ධයක් සමග ඇතැම් නිෂ්පාදන ව්‍යාපාරයන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වීමද ස්වභාවිකය. උදාහරණයක් ලෙස යුද බිමේද නිරතුරුව භාවිතා කරන වෙඩි උණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍ර ලෙස වැඩි දියුණු විය. එසේම රටපුරා විහිදුන දුම්රිය මාර්ග හා වරාය, නෞකාංගන රජයේ පාළනයට නතුකර ගත්හ. විදේශයන්ගෙන් සිදුකරන ආනයන කටයුතුද වැඩි වූ අතර ඉන්ධන සහ ආහාර නිෂ්පාදනය හා ගබඩා කිරීමද කිහිප ගුණයකින්ම වැඩිවිය. ගුවන් සටන්වල ආරම්භක අවධියක් වූ එම කාලයේ ගුවන් යානා නිෂ්පාදනය විශාල වශයෙන් දියුණුවට පත්නොවූවත් යම් වර්ධනයක් පෙන්නුම් කළේය. රජය සතුව තිබූ මුදල් යුද්ධය සදහා ප්‍රමාණවත් නොවූ නිසා නව බදු පැනවීමෙන් රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු යෙදුන අතර දේශප්‍රේමී ජනතාව විසින් ප්‍රධානය කරන මුදල් "liberty bonds" නම් වූ පදනමකට බැර කිරීමට අවස්ථාව සලසා දුන් අතර එමගින් බිලියන 21 තරම් මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට රජය සමත්විය.

තවත් කාරණා ඉදිරි ලිපියකදී සොයා බලමු...

6 comments:

  1. පරණ පින්තුරත් සමග තියෙන විස්තරය හරි වටිනවා.බොහොමයක් දේ අලුතෙන් දැනගත්තා.
    අර නැව හරියට "ටයිටැනික්"නැව වගේනේ.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ බොහෝ රටවල් අපිට වඩා ගොඩක් අනාගතයේ දුරක තමයි සිටින්නේ. වෙනත් විදියකින් කියනවා නම් අදට වසර 100 කට පෙර තිබුන ලුසිතානියා හෝ ටයිටනික් වගේ නැවක් තවම නිපදවීමේ හැකියාවක් අපිට හැකිද?

      Delete
  2. ගොඩක් වටින ලිපියක්... මමත් මෑතකදි පින්තූරයේ කතාව කියලා පින්තූර කිහිපයක පසුබිම් කතා ලිව්වා... ඔයාගෙ ලිපියට ගොඩක් කැමතියි... තව තවත් මෙවැනි දේවල් ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වගේම මම ඔබගේ අඩවියටත් ගිහිල්ලා එම ලිපි බැළුවා. නොදන්නා කාරණා කිහිපයක්ම මමත් දැනගත්තා. බොහොම සිත් ඇදගන්නා සුළු ලිපි රැසක්ම ඔබ ලියා තිබෙනවා...

      Delete
  3. හොඳ ලිපියක්. පළමු ලෝක යුද්ධය ඇමෙරිකාව පැත්තෙන් ලියපු එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකේම වැඩි වාසි ලැබුනේ ඇමරිකාවටයි.

      Delete