-->

Friday, November 25, 2016

අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම...

මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි.

1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය රාජ්‍යයන්වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඥය, ඉතාලිය, පෘතුගාලය, බෙල්ජියම හා ජර්මනියට නතුව පැවතුනි.

යටත් විජිත තරඟ‍යේ අවසාන තරඟකරුවා වූ ජර්මනිය සතුව 1880 වන විට  අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම අයත්ව පැවතුනි. ඒ අතුරින් වර්ථමානයේ ටැන්සානියාව, බුරුන්ඩි හා රුවන්ඩා ලෙස හැදින්වුන රටවල් German East Africa ලෙසද, වරථමානයේ නැම්බියාව ලෙස හදුන්වන ප්‍රදේශය German West Africa යනුවෙන්ද එදා හැදින්වුන අතර වර්ථාමානයේ ටෝගෝ හා කැමරුන් ලෙස හදුන්වන රාජ්‍යයේ කොටසක්ද ජර්මනිය අයිති කරගෙන තිබුනි. එදා අප්‍රිකාවේ තිබූ අධික වන ගණත්වය, පිවිසුම් මාර්ග වල ඇති දුෂ්කරතා වැනි හේතු කොටගෙන බ්‍රිතාන්‍ය හමුදා, ජරමනිය සතුව තිබූ අප්‍රිකානු කලාප යටත් කරගැනීමේදී වඩාත් අවධානය යොමුකළේ වෙරළ බඩ ප්‍රදේශ පිළිබදවයි.

ආසියාව ගත් විට ඉන්දියාව ප්‍රමුඛ රටවල් ගණනාවක් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි යුරෝපීය අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යයට නතුව පැවතුනි. දැවැන්ත මිනිස් ජීවිත විනාශය නිසා තම රටවලින් පමණක් සොල්දාදුවන් බදවා ගැනීම ප්‍රමාණවත් නොවන බව වටහා ගත් මෙම රටවල පාලකයන් හා හමුදා නායකයන් සිය ඈත යටත් විජිත වලින්ද ඒ ඒ ගෝත්‍රවලට අයත් ජනයා බදවා ගැනීම ආරම්භ කළහ. බ්‍රිතාන්‍ය ගත්විට ඉන්දියාවේ සීක්,ගුර්කා, නේපාල සහ පන්ජාබ් වැනි ගෝත්‍ර වල සාමප්‍රධායික යුද වීරත්වයද ඉස්මතුවන පරිදි ඔවුන්ගේ සිතුම්පැතුම් මුවහත් කරමින් සිය යටත්විජිත හමුදාමය ශක්තිය වර්ධනය කර ගැනීම ආරම්භ කර සිටියෝය.

ප්‍රංශය සිය හමුදාවේ ශක්තිය වැඩිදියුණු කර ගැනීමට යොදා ගත්තේ උතුරු අප්‍රිකානු යුදකාමී ගෝත්‍ර වූ Berbers, අරාබින් වැනි ගෝත්‍ර ඇල්ජීරියාවෙන්ද Tirailleurs වැනි ගෝත්‍ර මොරොක්කෝව හා ටියුනීසියාව වැනි රටවලින්ද එක් කර ගත්හ. මීට අමතරව French West Africa කොටසින්ද, මැඩගස්කරය, ප්‍රංශ ඉන්දු-චීන කලාපයෙන්ද සොල්දාදුවන් බඳවා ගත්හ. කෙසේවෙතත් මෙලෙස හම කළු සොල්දාදුවන් සිය හමුදා ශක්තිය වැඩකර ගැනීමට යොදා ගත්තත්, General Charles Mangin වැනි ප්‍රංශ යුද නායකයන් මෙයට වැඩි මනාපයක් නොදක්වා කියා සිටියේ මතුයම් දිනයක අනාගතයේ මෙයද යුරෝපයට තවත් ගැටළු ඇති කිරීමට හේතුවිය හැකි බවයි. කෙසේනමුදු යුද්ධයේ ආරම්භක අවධියේම ප්‍රංශයේ ඒ වනවිටත් වාසය කළ ඉහත පැවසූ ගෝත්‍ර වලට අයත් ජනයා හමුදාවට බඳවා ගැනීම සිදු කර තිබූ බවද පැවසේ.

මෙලෙස අප්‍රිකානුවන් හා අසියානුවන් ලක්‍ෂ ගණනින් යුද්ධයට බදවා ගෙන සිටි අතර යුද පෙරමුණට අමතරව යුද්ධය සම්බන්ධ නිපැයුම් සිදු කරණ කර්මාන්ත ශාලා ගණනාවකද යටත්විජිත වාසීන්, විශේෂයෙන් ඉන්දු-චීන කලාපයට අයත්වූ වියට්නාම් වැසියන්, චීන ජාතිකයන් දසදහස් ගණනින් එසේ කම්කරුවන් ලෙස යොදවා ගෙන තිබුනහ.

ඉන්දියාව, මෙම යුද්ධය වෙනුවෙන් සොල්දාදුවන් සැපයූ ප්‍රධාන බලාගාරයක් වැනිය. එහෙත් යුරෝපයට සාපේක්‍ෂව ඉන්දියානු විවිද ගෝත්‍රික ජනයාගේ යුද නිපුනත්වය හා නව තාක්‍ෂනික යුද උපාංග හැසිරවීම පිළිබදව වූ නිපුනත්වයද මද තත්ත්වයක පැවතුනි. එය පිළිබදව එක් අතකින් කණගාටුවීමටද හේතුවක් නොමැත්තේ ඔවුන්ව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් එ් වන විටත් ඉන්දියාවේ ස්වදේශික හමුදාවක් ගොඩනගා තිබුනත්, තමන්ට යම් දිනයක ඔවුන් තර්ජනයක වේදෝ යන සැකය නිසා ඇතැම්විට බ්‍රිතාන්‍ය යුද ශිල්පය හෝ නවීන තාක්‍ෂනික මෙවලම් භාවිතය පිළිබදව හුරුවක් ඉන්දියානුවන්ට ලබා නොදෙන්නටද ඇති නිසාය. කෙසේවෙතත් යුද්ධය හා මුසුවත්ම යුදබිමේ සටන් වැදුන ඉන්දියානු සොල්දාදුවන්ද "රෝමයට ගියා නම් රෝමයේ මිනිසෙකු විය යුතුය" යන නඥාය හා අවස්ථාවට ගැලපීම අත්‍යාවශ්‍ය භාවය නිසාම යුරෝපීයන් හා සම සමව යුද්ධයට ගැලපී තිබුනි. නවීන තාක්‍ෂනය සමග මුලින් නොගැලපීමක් තිබුනද සාම්ප්‍රධායිකව ඔවුන් හැදෑරූ යුද ශිල්පයන් හා කැපවීම, ජීවිත පරිත්‍යාගයද අවතක්සේරුවට ලක් නොකළ යුතුය. විශේෂයෙන් නේපාලයේ ගුර්කා වැනි ගෝත්‍රවල යුද නිපුණත්වය හා වීරත්වය අදටත් නොනැසී පවතින්නකි.
https://en.wikipedia.org/wiki/Gurkha


සංඛ්‍යාත්මකව ගත්විට ඉන්දියානුවන් මිලියන 1.25 ක් යුද්ධයට සම්බන්ධව තිබූ අතර ඒ අතුරින් 70,000 ක පිරිසකට නැවත සිය රටට නිරුපද්‍රිතව පැමිණීමේ වරම අහිමිව තිබුනහ.

මෙලෙස තමන්ගේ වාසියට යටත්විජිත වල විවිද ජාතිකයන්, විවිද ආගමිකයන් බදවා ගත්තද පක්‍ෂපාතීත්වය පිළිබදව කුකුසක් පැවතුනි. විශේෂිතම කරුණක් වන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත්විජිත හමුදා බලයේ වැඩි පිරිසක් මුස්ලිම් මිනිසුන්ය. 1914 ඔක්තෝබරයේ තුර්කියද පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමග මෙම මුස්ලිම් ජාතිකයන්සේම මුස්ලිම් ජාතිකයන් වූ තුර්කින් හා යුද වැදීම පිළිබදව විවිද මතභේදයන් ගොඩනැගෙමින් පැවතුනි. එසේම තුර්කියද යුරෝපීයන්ට එරෙහි ජිහාඩ් යුද්ධයකට එක්වන ලෙස විවිද රටරටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියද එහි ප්‍රතිඵල අල්ප විය.

මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පසුව ලෝක සිතියමේ වෙනස්කම් සිදුවූ මැදපෙරදිග ගැනද යමක් කිව යුතුය. සියවස් ගණනකට පෙර අරාබි ගෝත්‍ර මෙම කලාපයේ බලය පතුරුවා ගෙන සිටියත් පසුව මෙම කලාපයේ බලය අධිරාජ්‍යයක් ලෙස ලබා ගෙන සිටියේ තුර්කි ඔටෝමන්වරුය. තුර්කිය යුරෝපීය රටක් වුවද ඉස්ලාමීය රටක් ලෙස පැවතීම. ජෙරුසලම වැනි කතෝලිකයන්ට ඉතා වැදගත් ස්ථාන අත්පත්කර සිටීම, යුරෝපයට ඉස්ලාමීය බලපෑම සියවස් ගණනක් පුරා දැඩි ලෙස එල්ල කිරීම මෙන්ම යුද්ධයේදී ජර්මන් පාර්ශවය ගැනීම වැනි කාරණා රැසක් නිසා තුර්කි අධිරාජ්‍යය දියකර, එය කැබල කර තමන්ට හිතවාදී ලෙස මැදපෙරදිග පාලනයක් ඇති කිරීම යුරෝපීය රටවල අභිලාශය විය. ඒ සදහා සාමප්‍රධායික ගොඩබිම්, මුහුදු ආක්‍රමණය මෙන්ම ගරිල්ලා යුද මෙහෙයුම් සහ විවිද කැරලි මගින් තුර්කි පාලනය අසමතුලිත කිරීමේ ව්‍යාපාරයක්ද මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපීය රාජ්‍යයන් මෙම අවස්ථාවේ දියත් කර තිබුනෝය.

“Lawrence of Arabia” මේ නාමය ඉතිහාසය පිළිබදව තතු දත්තන්ට අමුත්තක් නොවන අතර විවිද චිත්‍රපටි පවා මෙම චරිතය පදනම් කරගෙන ගොඩනැගුනි. මෙලෙස හැදින්වූවද මෙම නිලධාරියාගේ සත්‍ය නාමය Thomas Edward Lawrence වන අතර ඔහු යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට මැදපෙරදිග පුරාවිද්‍යාඥයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ප්‍රදේශය පිළිබදව තිබූ දැනුම නිසා යුද්ධය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කයිරෝවේ සේවය කරන ලදි.  1916 දී ඔහුව අරාබියට පිටත් කර යවන ලද අතර තුර්කින්ට එරෙහිව කැරලි ගැසූ එමීර් ෆයිසාල් හට අවශ්‍ය සහය ලබාදීම සහ එමීර්වරයා හා බටහිර සමග සම්බන්ධීකරන කටයුතු මෙහෙයවනු ලැබුවේද Lawrence  විසිනි.




ප්‍රංශයේ යුද අගල් වල මඩගොහොරු සේම කාන්තාරයේ යුද ගැටුම්ද යුරෝපීය හමුදාවන්ට පීඩා රැසක් ගෙනදුන්නෝය. විශේෂයෙන් අධික උනුසුම සේම ජල හිඟතාවයත්, මැසිමදුරු ආදී සතුන්ගෙන් වන පීඩාද දරා ගැනීමට සිදුව තිබුනි. කෙසේවෙතත් මේ පීඩා හා කැපකිරීම් යනාදියද සමග යුද්ධයේ අවසානය වන විට තුර්කිය යටත්කර ගැනීමට බටහිර යුරෝපීය ජාතීන් සියවස් කිහිපයකට පසු සමත්ව සිටියෝය.


4 comments:

  1. මහදිග ඉතිහාස කතාවක් මෙහෙම සංක්‍ෂිප්ත කොට දැක්වීම අමාරු වැඩක්. බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම දීර්ඝ ක්‍රියාදාමයක් කෙටි කර දැක්වීම අපහසු කටයුත්තක්...

      Delete
  2. ජර්මනිය යටත් විජිත තරඟයේ සිටියා කියලා ඕන් මම අද මේ ලිපියෙන් තමා දැනගත්තේ...

    මැද පෙරදිග ඉතිහාස කතාවත් වෙලාවක් ලැබුනොත් හොයලා ලියන්න දිනේෂ්.. ඒක බොහොම රසවත් වේවි...අරාබි ඉතිහාසය හා සංස්කෘතිය ට ලෝක ඉතිහාසය තුල ලොකු ඉඩක් තියනවා මට හිතෙන හැටියට.. අලෙක්සැන්ඩර් දියුමා "මොන්ත ක්‍රිස්තෝ" පොතේදි අරාබි සංස්කෘතිය මහ ඉහලින් වර්ණනා කරනවා මතක ඇති...

    ReplyDelete
  3. කැබලි සිය ගණනකට බෙදී තිබුන රාජ්‍යයන් ජර්මනිය ලෙස එක්සත් වුනේ දහනම වන සියවසේ අගබාගයේදී. ඒ වගේම කාර්මිකකරණයෙන් සීඝ්‍රයෙන් ලද දියුණුව නිසා අන්තිමට යටත් විජිත තරඟයට පැමිණියත් සැලකිය යුතු ජයක් ලබා ගන්නට ඔවුන් සමත්ව සිටියා. ඒ වගේම එදා එම තරඟයේ ප්‍රමුඛයා වූ මහා බ්‍රිතාන්‍ය නිරතුරුවම ජරමනිය ගැන සැක සිතින් තමයි බැළුවේ.

    අරාබි ඉතිහාසය සුවිශේෂයි. අද එතරම් මොලයක් නැති ජාතියක් ලෙස මැද පෙරදිග හංවඩු ගසා සිටියත් මීට සියවස් ගණනකට පෙර අරාබිය දැනුමෙන්, ධනයෙන් සුවිශේෂ මධ්‍යස්ථානයක්. මේ පිළිබදව තොරතුරු සොයා බලා ලියන්නම්...

    ReplyDelete