Wednesday, September 28, 2016

මියගිය තරුණිය වසර 7 ක් පුරා සිය සහකාරිය කරගත් වියපත් වෛද්‍යවරයා (විඩියෝ රැසක් සහිතය) - Man Sleeps with Corpse for 7 Years...

මෙම කතාව ආරම්භවනවිටත් ඔහු වියපත් මිනිසෙකි. මේ කතාව ආරම්භ වන විටත් ඔහු වයස අවුරුදු 50 ක්ව තිබුනි. වෛද්‍යවරයෙකු ලෙස හැදින්වූවද ඔහු වරෙක බැක්ටීරියා පිළිබදව පර්යේෂණය කරනා විද්‍යාඥයෙකු ලෙසද, තවත් විටෙක X-Ray විකිරණවේදියෙකු ලෙසද සලකණු ලැබීය. ඒ කෙබඳු ආකාරයේ වෘතියක් වුවද ඔහු සෞඛ්‍ය ක්‍ෂේ‍ත්‍රයට සම්බන්ධ වෘත්තිකයෙකි. ජර්මනියේදී 1877 දී උපත ලැබූ ඔහු නමින් Carl Tanzler ලෙසත්  තවත්විටෙක Count Carl von Cosel ලෙසත් හදුන්වනු ලැබීය. ඔහු තමන් ජර්මිනියේ සිටුවරයෙකු ලෙසට හදුන්වාගත්තත් ඔහු එවැනි ප්‍රභූවරයෙකු නොවූ බව ඔහු පිළිබදව තතු දත්තෝ පැවසූහ. තවත් විටෙක ඔහුට උපාධි 8 ක් තිබෙන බව පැවසුවත් එහිද සත්‍ය අසත්‍යතාවය දන්නේ ඔහු පමණකි. කෙසේවෙතත් මිලමුදල් හොදින් තිබූ ඔහු 1920 ගණන් වල සිය භාර්යාව හා දියණිය ජර්මනියේ රැදී සිටියදීම ඇමරිකාවට සංක්‍රමණය වූ බව පැවසේ. 

ඔහු ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ Key West නම් ප්‍රදේශයේ රෝහලක සේවය කරමින් සිටිනා අතරතුර 1931 වසරේ මුලදී ක්‍ෂය රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කියුබානු සම්බවයකින් යුතු Elena Milagro Hoyes නම්ඉ තා රූමත් තරුණියක් පැමිණියාය. එහෙත් ඒ එසේ පැමිණෙන විට ඇයට ක්‍ෂය රෝගය වැලදී ඇති බවක් ඇය නොදැන සිටි අතර එයට අදාල රෝගී ලක්‍ෂන නිසා එය නිර්ණය කර ප්‍රතිකාර ගැනීම සදහා ඇය පැමිණි සිටි අතර අදාල පරීක්‍ෂන වලදී ඇයට මෙම රෝගය වැලදී තිබුන බවද තහවුරු විය. ඇය දුටු සැනින් von Cosel හට ඇය පිළිබදව තදබල ලෙස සිතක් පහළ වූ අතර ඇයට ඔහු දන්නා සියළු ක්‍රමවේදයන් අනුගමනය කරමින් ප්‍රතිකාර කරන්නටද විය. 1909 දී උපත ලැබූ ඇය මේ වනවිටද විවාහකව සිටියත් රෝගය වැලඳී ඇති බව දැනගත්විට ඇයගේ සැමියා ඇය හැරගොස් තිබුනේය. තවද සිය අදහස සිතෙහි සඟවාගෙන සිටි von Cosel විවිදාකාරයේ ප්‍රතිකර්ම සිදුකරමින් ඇය සුවපත් කරන්නට හැකි සියළු දේ කරමින් සිටි නිසා ඔහුට නිවසට පැමිණීමට පවුලේ අයගෙන්ද බාධාවක් නොවීය. මුලින් මුලින් මල් හා වෙනත් ත්‍යාගයද ඇයට පිරිනමමින් සිටි ඔහු, ඇයගේ සැමිය හැරයාමත් සමග තමන් හා විවාහ වීමට කැමති දැයි ඇය හමුවන සෑම විටකම ඇසුවේය. එහෙත් එයට ඇයගේ කැමැත්තක් නොවූ අතර ඇයට උවමණාවූයේ සිය රෝගය සුවකර ගැනීම මිස තමන්ගේ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩි වියපත් පෙණුමැති පුද්ගලයෙකු හා විවාහවීමට නොවේ. von Cosel ගේ විවිද අත්හදාබැලීමේ ප්‍රතිකර්ම ඇය සුවපත් කිරීම කෙසේවෙතත් ඇයව වඩාත් ඔත්පළ කරන්නට හේතුවූ අතර 1931 ඔක්. 25 වනදා මිය ගියාය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 22 කි. (ක්‍ෂය රෝගය යනු ඇමරිකාවේ එම අවධියේ දෙවනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවූ රෝගය වූ අතර 1940 ගණන් වනතෙක් ක්‍ෂය රෝගය සුවකරගැනීමට විශ්වාසනීය ඖෂධයක්ද නොවීය).

දරාගැනීමට නොහැකි ශෝකය සිතෙහි දරාගත් අපකතා නායකයා තමන් වඩාක් ආදරය කළ මෙම තැනැත්තියගේ Death Mask එකක් ඇය භූමදානය කිරීමට පෙර ලබා ගැනීමට අමතක කළේ නැත. මෙසේ සිරුර වල දමා ටික කලකින් එම සුසාන භූමියේ පොලොවේ තෙතමනය වැඩි බව වටහා ගත් ඔහු එයින් Elena ගේ සිරුර ඉක්මනින් දිරාපත්වන බව දැන සිටි නිසා එම සිරුර සොහොන් ගැබක තැන්පත්කරන්නට ඇයගේ පවුලේ අයගෙන් අවසර පැතූ අතර එයට ඔවුන්ගේද අනුමැතිය ලැබුන නිසා කොන්ක්‍රීට් වලින් තැනූ විශාල ප්‍රමාණයේ සොහොන් ගැබක් තනා එහි තැන්පත්කෙරුවේය. මෙසේ තැන්පත් කළේ නිකම්ම ලී පෙට්ටියක නොව වායුරෝදක ලෝහමය දෙනකය. තවද තවදුරටත් දේහය නරක්වීම වැලැක්වීම පිණිස සිරුර දිරාපත්වීම වැලකීමට යොදගන්නා Formaldehyde අඩංගු Incubator ටැංකියක්ද මෙයට සම්බන්ධ කිරීමට ඔහු වගබලාගත්තේය. (එහෙත් ඇතැම් මූලාංශ්‍ර වල මෙලෙස Formaldehyde අඩංගු Incubator ටැංකියක් සවිකිරීම පිළිබදව නොපවසන අතර තවදුරටත් සිරුර දිරාපත්වූ බවක් පැවසේ) 

සිය රැකියාවෙන්ද නික්මුණ මෙම ආදරවන්තයා ඉන්පසු වැඩිපුරම කාලය ගතකළේ මෙම කුඩා කොන්ක්‍රීට් නිවස්නයේය. ඔහු සිය ජර්නලයේද සදහන් කර සිටියේ ඇයත් සමග මෙසෙ කාලය ගතකරමින් සිටින්නට ලැබීම ඉතා සතුටක් බවයි. තවත් ටික කලකින් තම නිවසට ඇයව කැඳවාගෙන යන බවද පැවසීය. දහවලේ පමණක් නොව රාත්‍රියේද මෙම කුටිය තුලට ඔහු පැමිණෙන්නට වූ අතර බොහෝදෙනෙකුට මෙය ප්‍රහේලිකාවක් වූහ. මෙසේ රාත්‍රියේ පැමිණිවිට ඇය ඔහුට දර්ශනය වන බවත් ඇය ස්පාඥය බසින් ගීයක් ගයන බවත් එයින් ඇයව රැගෙන යන ලෙස පැවසූ බවත් ඔහු පසුව පැවසුවේය. කෙසේවෙතත් යම් දිනයකට පසු එක්වරම ඔහු මෙම සොහොන් ගැබට පැමිණීම නතරවිය. ඔහුගැන තොරතුරක්ද දැනගැනීමට නොමැතිවූ අතර ඔහු පිළිබදව සොයමින් විමසිලිමත් වූ මිනිසුන්ට මෙයද ප්‍රහේලිකාවක් වූයෝය.

වසර කිහිපයකට පසු ඔහු ගැන නැවත දැනගන්නට ලැබුන අතර මුහුදට ආසන්න කුඩා නිවසක ඔහු වාසය කරමින් සිටියේය. අසල්වැසියන් පැවසූ ආකාරයට ඔහු මධ්‍යම රාත්‍රියේ පවා ඕගන් වාදනය කරමින් සිට ඇත. ඔහු දිනපතාම වාගේ අසල නගරයෙන් වැඩිපුරම රැගෙන ගියේ සුවඳ විලවුන් සහ කල්තබාගන්නා ද්‍රව්‍ය බවද දැනගන්නට ලැබුණි. කටකතා දසත වැපිරෙන්නට විය. මේ කසුකුසු Elena ගේ සොහොයුරියකටද දැනගන්නට ලැබුන අතර ඇයට Carl von Cosel ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබදව සැක මතුවෙන්නටද වූවාය.

ඇය වියපත් Carl von Cosel ගේ නිවසට පැමිණි අතර Elena තැන්පත් කර තිබූ සොහොන් ගැබට රැගෙන යන ලෙසද දැන්වීය. පුනපුනා මේ පිිළිබදව විමසා සිටීමෙන් අනතුරුව සොහොන්ගැබට යාමේ ඇවසි බවක් නොමැති බවද පවසා සිය නිවසේ ඉහළ මාලයේ පිහිටි නිදන කාමරයක් වෙත Elena සොයුරියව අඬගසා ගෙන ගියේය. ඇය එහිදී ඇදක් මත මඟුල් ගවුමක් අන්දවා බෝනික්කෙකුගේ ස්වරූපය ගත් ඉටි පිළිරුවක් දුටුවේය.එහි ඇස් කෙවෙනි වල තිබූ වීදුරු ඇස් ඉහළ අවකාශය දෙස බලා සිටියාය. භීතියට පත් මෙම තැනැත්තිය මෙහි ඇදක් මත හොවා සිටින්නේ සිය සහෝදරිය යයි පිළිගැනීමට අකමැතිවූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂනයක් අත්‍යාවශය බවද පවසා සිටියාය. ඒ අනුව කියුබානු තරුණිය මියගොස් මාස 18 ක් ඉක්ම ගිය තැන Elena ගේ සිරුර සිය නිවසට රැගෙන ගොස් තිබූ අතර එතැන්සිට වසර 7 ක් පුරා මෙසේ බෝනික්කෙකුගේ ස්වරූපය ගත් සිරුර නිවසේ තබා ගෙන සිට ඇත. ඇය මිය ගොස් ඒ වන විට වසර 9 ක් ගතව තිබුනි.

අදාල බලධාරීන්ට ඇය මෙය දැන්වූ පසු වර්ථාමානයේ පවා එම ප්‍රදේශයේ ප්‍රචලිත මලසිරුරු මිහිදන් කරනතෙක් තබන Lopaz Funeral Home නිවස්නයට මෙම ඉටි බෝනික්කෙකුවන් දේහය රැගෙන යන ලදි. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂනයක් පවත්වන ලදි. මෙහිදී  වෛද්‍යවරුන් විසින් දිරාපත්වීමකට යම් ප්‍රමාණයකට ලක්වූ සිරුරක් බව සොයා ගත් අතර සමේ වූ ඉරිතැලීම්, ලේ කිසිවක් නොමැති වීම යනාදියට අමතරව අස්ථී පඤජරය පියානෝ වයර් වලින් ගැටගසා තිබූ බවද සොයාගත්හ.ඇස් දෙක වීදුරු ඇස් දෙකක් වූ අතර බොරු කොන්ඩය මිය ගිය Elena ගේ හිසකෙස් වලින්ම තැනුනක් විය. ඒ ගතවූ වසර කිහිපය තුල සිරුර දිරාපත්වෙද්දී කඩාවැටුන හිසකෙස් වලිනි. දිරාපත්වන සමට තෙල් ආකාරයේ සිලිකන් ඉටි ගල්වා තිබුනි. සිරුර දිරාපත වෙද්දී ඇතිවන දුර්ඝන්ධය දුරලීමට බහුල වශයෙන් සුවඳ විලවුන් යොදා ගෙන තිබුනේය.

Carl von Cosel ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් පැවතුන බාහිර ලෝකය මෙම සිද්ධිය දුටුවේ ආදරවන්තයෙකු තම ආදරය මරණින් මතුද ප්‍රකාශ කළ ආකාරයයි. තවද ඔහු විසින් බෝනික්කුගේ ස්වරූපයට පත් කර තිබූ Elena ගේ සිරුර පෙර පැවසූ ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණි. දින තුනක්  පුරා මෙලෙස ප්‍රදර්ශණය කෙරුණ අතර පාසල් පවා මේ වෙනුවෙන් නිවාඩු දෙන ලදි. 6000 කට වැඩි පිරිසක් මේ කාලය පුරා මෙය නරඹා තිබූ අතර අදාල Key West ප්‍රදේශයේ පවා ජනගහනය එවකට 2500 ක් බව පැවසේ. ඒ අනුව පිටපලාත් වලින්ද මෙම අසාමාන්‍ය දේ දැකිීමට පැමිණි ඇත. ඉන්අනතුරුව රහසිගත ස්ථානයක සිරුර වැලලීමට නියෝග ලබා දුන් අතර ඇතැම් තොරතුරු වලි තිබෙන්නේ සිරුර කොටස් තුනකට වෙන කර ස්ථාන තුනක වැලලීමට උපදෙස් ලබාදුන් බවයි. ඒ Carl von Cosel හට කිසිදු ආකාරයකින් සිරුර නැවත ලබා ගැනීමට වලක්වාලීමටයි.

කෙසේවෙතත් Carl von Cosel ට එරෙහිව තිබූ අධිකරණ ක්‍රියාවලින් ඔහුව නිදහස් කෙරුණ අතර එයට හේතුවූයේ මෙහිදී මිනීමැරුමක් ඔහු අතින් සිදුනොවීමත් මරණය සහ මෙය සිදුවූ කාලය පිළිබදව තිබූ දිගු බව යනාදී කරුනු නිසා Statute of Limitations යන ප්‍රතිපාදනය ඔස්සේ මෙම නිදහස ඔහුට හිමිවිය.
http://legal-dictionary.thefreedictionary.com/statute+of+limitations

නිදහස ලබා පැමිණි ඔහු තවදුරටත් එම ප්‍රදේශයේ නොසිට වෙන පලාතකට යාමට අදිටන් කරගෙන සිට ඇති අතර ඔහු එසේ නික්මයාමට පෙර රාත්‍රියේ මහා පිපිරුම් හඬක් Elena මුලින්ම මිහිදන් කළ සුසාන භූමියෙන් ඇසී තිබේ. පසුව බැලූ විට  Elena වෙනුවෙන් තැනූ සොහොන් ගැබ පුපුරා විනාශව ගොස් තිබූ අතර මෙය  Carl von Cosel  විසින් සිදුකරන ලද්දක් බවට සැක කෙරුණි.

කාලයත් සමග මේ සි්‍යළු කාරණා යට ගිය අතර වසර 1952 දී අත්හැර දැමූ නිවාසයක තිබූ මල සිරුරක් පිළිබදව පිළිබදව පොලීසිටය තොරතුරක් ලැබුණි. පොලීසිය අදාල ස්ථානයට ගියවිට බිමවැටී සිටි මිනිසෙකු සහ Death mask එකක් පැලදී ජීවමාන මිනිසෙකුගේ ප්‍රමාණයට සමාන බෝනික්කෙුද ඔහු අසල තිබුනි. මියගොස් සිටි මිනිසා 75 වන වියෙහි පසුවූ Carl von Cosel  වූ අතර Death mask එක Elena ගේ විය. මරණයේදී පවා Elena නම් වූ සිය ආදරවන්තිය අතහැරදැමීමට සූදානමක් නොවීය. තවද ඔහුගේ ජර්නලයේ සදහන් කර තිබූ අවසන් වැකි කිහිපය වූයේද, මිනිසුන් තුල ඇති ඊර්ෂයාව එලේනාගේ සිරුර මගෙන් වෙන්කිරීමට හේතුවූ බවත්, එහෙත් දිව්‍යමය ආදරය සදා මා තුල රැදී තිබෙන බවත්ය. ඇය මරණයෙන් ගැලවුන බවත් සැමදා මා සමග ඇය  සිටිනු ඇති බවත්ය.

කෙසේවෙතත් මෙයින් වසර 20 කට පසු Elena ගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂනයට ලක් කළ වෛද්‍යවරයා හෙළි කළ කරුණ ලොව මවිත කරවන්නක් විය. ඒ සොහොන් ගැබේ සිට සිය නිවසට රැගෙන විත් බෝනික්කෙකුගේ ස්වරූපයට පත්කළ සිරුර ලිංගික ඇසුරක් පැවැත්වීමටද හැකිවන සේ ඔහු සකස් කර තිබූ බවයි. එහිදී දිරාපත්වෙමින් තිබූ සිරුරේ අදාල ස්ත්‍රී ලිංගයන්ට බට ඇතුළු කර එය සකසා තිබූ බවත් සදහන් කර තිබුනි. මෙසේ මල සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වීම Necrophilia තත්ත්වයක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හැදින්වේ. එසේම තවත් කාරණයක් පසු කාලීනව නිල නොවන මට්ටමෙන් කියවුන අතර ඒ කොටස් තුනකට වෙන් කර වලදැමීමට නියෝග ලබාදුන් සිරුර, එම කාර්යය කිරීමට පැවරූ අය එසේ නොකොට මුදලට  Carl von Cosel හටම නැවත ලබා දුන්බවයි.
https://en.wikipedia.org/wiki/Carl_Tanzler

මේ මෙම සමස්ථ කාරණාම තවත් කරුණු රැසක් ඇතිව වීඩියෝ මගින් පෙන්වා ඇති ආකාරයයි.



පසුව ලියමි - මීටම සමාන කමක් නැතත් යම් යම් කරුණු වලට නෑකම් කියන ලිපි දෙකක් මීට පෙරද සත් සමුදුරේ පළ කළ බව මතක් කරමි. ඒ මෙම ලිපි දෙකයි.

"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults)
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century - දෙවන කොටස

17 comments:

  1. House of wax ෆිල්ම් එකේ වගේ. මම හිතන්නෙ ආදරේටත් වඩා මානසික රෝගියෙක්.කොහොමවුනත් ඔය සිද්දියෙ එලි නොවුන කතාවකුත් ඇති.

    ReplyDelete
    Replies
    1. හෙළි නොවුන කතාවක් ලෙස ඔබ කුමක්ද අදහස් කළේ?

      Delete
    2. මම කිව්වේ සමහරවිට ඇයව සිතාමතාම මැරුව වෙන්න පුළුවන්නේද?( අදහසක් පමණයි)

      Delete
    3. ඔබ මෙහි තිබෙන සෑම වීඩියෝවක්ම නැරඹූවේ නැහැ නේද? එම කාලයේ ඇමරිකාවේ දෙවැනියට වැිඩියෙන්ම මරණ වාර්තාවීමට හේතුවූ කාරණය ක්‍ෂය රෝගයයයි. මෙම රෝගයෙන් ඇයගේ පවුලේ කිහිපදෙනෙකුම මිය ගොස් තිබෙනවා.එයට එක් හේතුවක් තිබෙනවා. මෙම තරුණියගේ පියා වැඩ කර තිබෙන්නේ කියුබානු සුරුට්ටු නිපදවන කර්මාන්ත ශාලාවකයි. සාමාන්‍යයෙන් මිනිසුන් එකිනෙකට සමීපව වැඩකරන මේ වගේ ස්ථාන වලදී ක්‍ෂය රෝගය වැනි බෝවෙන රෝග වැලදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමකයි තිබෙන්නේ. ඉතින් මෙම ස්ථානයේදී ඔහුටද රෝගය වැලද තිබෙන අතර ඔහු, ඔහුගේ බිරිද වන එලේනාගේ මව සහ එලේනාගේ සහෝදරියක්ද මෙම රෝගය නිසා මෙලොව හැරගොස් තිබෙනවා. හැබැයි ඔහු සිතා මතා මැරීමක් නම් නොකළත් ඔහුකළ විදුලි සැර වැද්දීම වගේ ප්‍රතිකර්ම ඇයගේ මරණය ඉක්මන් කරන්නට හේතුවූවා වන්නට පුළුවන්. වෙනකක් තබා කාර්ල් විසින් එලේනාගේ සිරුර සිය නිවසට රැගෙන ආ පසුව ඇයට නැවත ජීවය ලබා දෙන්න "ෆ්‍රැන්කස්ටයින් ක්‍රමයේ" ප්‍රතිකර්ම කර තිබෙනවා. ඒ තමයි ප්‍රාණය නිරුද්ධ සිරුරටත් විදුලි සැර වැද්දීමෙන් නැවත ජීවය ලැබේ දැයි අත්හදා බලලා තිබෙනවා. කොහොමනමුත් ඔහු කුමක් හෝ මානසික විකෘතිතාවයකින් පෙලෙන්නෙක් වන්නට ඇති....

      Delete
  2. මේ යම්කිසි විකෘති මානසික රෝගී තත්වයක් විය හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. මාකසික රෝගී තත්ත්වයක් බව හැඟුනත් ඔහුව මානසික වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කළ පසුව එවැනි යමක් නොමැති බවක් වීඩියෝවලත් තිබෙනවා නේද?

      Delete
  3. අපූරු කතාවක්. පුද්ගලයකුගේ සිත ක්‍රියාකරන විවිධ තලයන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මහත්මයා, මා ප්‍රායෝගිකවම දන්නා, අපේ රටේම මිනිසුන් තුලත් මේ වගේ ජීවිතය පුරා රැගෙන යන "ආදරයන්" හෝ වෙනයම් තදින් සිතට ගත් සබඳතාවයන් තිබෙනවා. එයින් පවුල් අවුල් කරගත්, ඒ වගේම තමන්ගේ ජීවිතය උඩුයටිකුරු කරගන්නවා විතරක් නෙමෙයි තමන්ගේ බාරකාරත්වය යටතේ සිටින අනෙක් මිනිසුන්ගේ ජීවිතත් වනසා දමනා සබඳතා තිබෙනවා. විශේෂත්වය තමයි ඒ සම්බන්ධතා බොහෝමයකට පැටලෙන්නේ විවාහවෙලත් සෑහෙන්න කාලයක් ගිය වයසත් මැදිවිය හෝ මැදිවියේ අවසාන භාගයට ලංවෙමින් පවතින් පුද්ගලයන්. අර පැරණි සිංහල කතාවක් තිබෙන්නේ "නාකිවිසේ ගෙටත් උසේ" කියල මේ වගේ දේවල් ඉතිහාසය පුරාම මනුෂ්‍ය වර්ගයාගේ ඇතැම් පුද්ගලයන්නට පාළනය කරගන්න නොහැකි ආකාරයට ඉස්මතුවුන නිසා වෙන්න ඇති...

      Delete
  4. Replies
    1. ඔව් මලමිනී සමග එවන් කායික සබදතා පැවැත්වීමේ තත්ත්වය හදුන්වන්නේ මනෙමිනි. මේ පිලිබදව මීටත් වඩා සමාජය කම්පනය කළ අවස්ථාවන් තිබෙනවා. ඉතාම ශෝචනීය ඉරණමක් මිනිසුන් රැසකට අත්කරදුන්. බලමු ඉදිරියේදී ඒ ගැනත් කියන්නට...

      Delete