Tuesday, February 21, 2012

හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII?

සාමාන‍්‍යයෙන් ඕනෑම රටක රහස් කියා දෙයක් ඇත. රටක පමණක් නොවේ ඕනෑම ආයතනයක රහස් කියා දෙයක් ඇත. අන්තර්ජාතිකව ගත්තද මෙම සංකල්පයේ වෙනසක් නැත. ඇතැම් විට යම් සංසිද්ධියක සත්‍ය කුමක් වුවත් එය මිනිසුන් කැමති ආකාරයකට නිර්මාණය වන්නට ඉඩදී හෝ නිර්මාණය කර රහස රැක ගැනීම අන් හැම දේකටම වඩා වැදගත්ය. අපේ රටේ වුවද ඇතැම් සිදුවීම් වල නියම සත්‍ය දැනගැනීමට ලැබෙන්නේ තවත් වසර ගණනාවක් ඉක්මගිය තැනයි. සමහරවිටක කිසිදා සත්‍ය දැනගැනීමට නොහැකිවනු ඇත.

ඉතිහාසය නිර්මාණය වන්නේද මේ ආකාරයෙනි. සත්‍ය සිදුවීමට එපිටින් බහුතරයකගේ සුභ සිද්ධිය ‍වෙනුවෙන් හෝ රාජ්‍යයක හෝ පාලකයන්ගේ අභිමතාර්ථය වෙනුවෙන් ඉතිහාසය වෙනස් ආකාරයකට පෙල ගැස්සීමට ඉඩ ඇත. ආගමික සංකල්පයක වුවද මෙය යථාර්තයකි. උදාහරණ ලෙස ගතහොත් අපේ රටේ මහාවංශය ඇතැම් රජවරු ගැන පිටු ගණන් ලියවෙද්දී සමහර රජවරු ගැන ඉතා කෙටියෙන් දක්වා ඇති බවත් සදහන්වේ. එහෙත් සමහර විට කෙටියෙන් කියූ පාලකයන් කර ඇති වැඩ කොටස මහාවැල්වටරම් වලින් සදහන් රජවරුන්ට වඩා සිදුකර තිබීමටත් පුළුවන. අදාල කතුවරයා කැමති කෙනා ගැන වැඩියෙනුත් එතරම් කැමැත්තක් නැති හෝ තමන්ට වැදගත් නොවේ යයි සිතන අය ගැන අඩුවෙනුත් ලිවීම මහාවංශයේ නොව ලෝකයේ බොහෝ ඉතිහාසගත ග්‍රන්ථ, ලේඛණ වල දැකිය හැකි දෙයක් විය හැක.

තවත් උදාරණයක් නම් සාමාන්‍යයෙන් කිතුනු බැතිමතුන් මෙන්ම ලෝකයේ බොහෝ දෙනා දන්නා හා උගන්වා ඇති පරිදි යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා කුරිරු ලෙස මරණයට පත්කර ඇති බව පැවසෙන නමුත් තවත් අය පවසන්නේ එතුමා කුරුසගත කිරීමෙන් මිය නොගිය බවත් පසුව ඉන්දියාවට පැමිණ ජීවත්වූ බවත්ය. එසේම එතුමාගේ ජීවිත කාලයේ වසර හයක පමණ කාලයක් පිළිබදව නිසි සාක්‍ෂි නොමැති නිසා එතුමා එම කාලයේදිද ඉන්දියාවට පැමිණ පෙරදිග ධර්මයන් ගැන හැදෑරුබවද පවසති. පැවසීමෙන් පමණක් නොසිට එම ස්ථානයන්, ඒවායේ පිහිටුවා ඇති ස්මාරක ගැනද සදහන් කරති. එහෙත් බොහෝදෙනා කැමති මෙම විකල්ප ඉතිහාසගත කරුණු වලට නොව තමන් පොදුවේ දන්නා කරුණු සත්‍ය ලෙස පිළිගැනීමටය. කෙසේවෙතත් ඉතිහාසගත කරුණු පිරික්සීමේදී අප එම කාලයේ ජීවත් නොවුන නිසා පිළිගැනීමට බොහෝවිට සිදුවන්නේ බහුතරය පිළිගන්නා කරුණුම වේ. එහෙත් මෙය සාවද්‍ය වීමටද ඉඩ ඇත.

මෙවැනිම කාරණා පසුගිය සියවසේදීද දැකගන්නට ලැබුනි. 1945 අප්‍රේල් 30 වනදා ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුතම ඒකාධිපතියෙකු වන ඇ‍ඩොල්ෆ් හිට්ලර් තම බිරිද වූ ඊවා බ්‍රව්න් සමග සියදිවි නසා ගත් බවත් ඉන්පසු ඔවුනගේ දේහයන් ඔවුන් සඟව සිටි බන්කරයෙන් පිටත දී දවා අළු කල බවත්ය.
එහිදී කියන ආකාරයට තමන් නිරුපද්‍රිතව සෝවියට් හමුදා වෙත හසුවුවහොත් විවිද වදබන්ධනයන්ට ලක්කර මරා දමා මිය ගිය පසුව තම සිරුර රුසියන් හමුදාව විසින් විවිද අඩම්තේට්ටම් වලට ලක්වේය යන බිය හේතුවෙන් විනාශ කර දමන මෙන් තම කාර්යය මණ්ඩලයට පැවසූ බව සදහන්වේ. මෙයට හේතුව නම් තම මිතුරා වන ඉතාලියේ ආඥාදායක පාලක බෙනිටෝ මුසලෝනිගේ දේහය ඔහු මරා දැමූ පසුව හිස පහලට සිටින සේ දෙපාවලින් එල්ලා ඉන්ධන පිරවුම් හලක ප්‍රදර්ශනය කල නිසා තමන්ටද එවැනි තත්ත්වයකට පත්වීමට සිදුවේය යන බිය හිට්ලර් තුල තිබූ නිසා මෙසේ තම දේහය විනාශ කිරීමට පැවසූ බව සදහන්ය. කෙසේවෙතත් කරුණු කාරණා සිදුවූ‍යේ මෙලෙසද?

එක ජාතියේ මිනිසුන් (තිරිසනුන්) දෙදෙනෙක් : මුසලෝනි සහ හිට්ලර්

මුසලෝනි සහ ඔහුගේ පෙම්වතිය මරා දැමූ පසු හිස පහලට එල්ලා තැබීම
මෙසේ ලෝකයේ බහුතරයක් පිළිගන්නා හා පිළිගැනීමට සිදුව තිබෙන හිට්ලර්ගේ මරණය සම්බන්ධ සිද්ධියට පරස්පරව ඒ ගැන විශ්වාසයක් ඇති නොවීමට බලපෑ හේතු ගණනාවක් තිබේ. ඒවා නම්‍;

හිට්ලර් මිය ගිය බව පවසන්නේ තමන් විසින්ම වෙඩිතබා ගෙන බව වුවත්, ඔහු අවසානයේ සැඟව සිටියායයි පවසන රයිෂ් චාන්ස්ලරියට පහලින් පොළව යට පිහිටි බන්කරයේ සිටි අනෙක් කිසිවකු ඔහු වෙඩි තබා ගන්නවා දැක නැත.

ජර්මනිය නිලවශයෙන් හිට්ලර්ගේ මරණය ඊට පසුදින එනම් 1945 මැයි 01 දා නිලවශයෙන් නිවේදනය කල අතර, සෝවියට් හමුදා ඊට පැය 24 කට පසු එනම් 1945 මැයි 02 දා අත්පත් කර ගත්තත් හිට්ලර්ගේ දේහය හෝ අවශේෂ කිසිවක් කිසිදු ස්ථානයකින් සොයා ගත නොහැකිවූ බව පැවසේ. අඩුම තරමින් ඔහු වෙඩි තබා ගත් උණ්ඩයේ කොපුව වත් හමුවූයේ නැත.

එහෙත්  ඔවුන් පවසා සිටියේ හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ දේහ යයි අනුමාන කල හැකි සිරුරු සමුවූ බවයි. කෙසේවෙතත් එවා හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ යයි සියයට සියයක්ම සහතික නොකිරීමටද සෝවියට් පාලනාධිකාරය වගබලා ගනී.

එම වසරේ ජූලි 17 වනදා රාජ්‍ය නායකයන්ගේ භෝජන සංග්‍රහ උත්සවයකදී සෝවියට් නායක ස්ටාලින් විසින් ඇමරිකානු ජනපති ටෲමන් වෙත හිට්ලර් සියදිවි හානි නොකරගත් බවත් ඔහු පැනගිය බව  පවසා සිටි බවත් පැවසේ.

(As the Third Reich collapsed in the spring of 1945, the Russians were the first to enter Berlin and capture Adolf Hitler’s bunker. Then, the Soviet Union made a series of contradictory statements or lies concerning Hitler’s death. Stalin announced to Truman during lunch in Potsdam on July 17, that Hitler did not commit suicide but had probably escaped. After that, the Russians released photographs of what they claimed to be Hitler’s corpse on a dingy floor. Finally, they asserted that Hitler’s burnt remains, together with the body of his mistress Eva Braun, were discovered on May 4, by Soviet soldiers outside the Berlin Chancellery bunker, in the garden.)




බර්ලිනයට සෝවියට් හමුදා ඇතුළු වූ පසු සෑම විටකම හිට්ලර් සැඟව සිටි බව පැවසෙන බන්කරයට මුරකාවල් යොදා ගෙන සිටි අතර අනෙක් මිත්‍රපාර්ශව හමුදාවලට පවා එම ස්ථානයට ඇතුළුවීමට අවහිර කර තිබූ බවද පවසයි.


සෝවියට් මුරකාවල් යෙදූ බන්කරය

1968 දී සෝවියට් බලධාරීන් විසින් පවසා සිටින්නේ තම හමුදා 1945 දී සොයා ගත් දේහයන් හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්ගේ යයි පවසන අතර තමන් සතුව ඔවුන් බන්කරය තුල මියගිය බවට සාක්‍ෂි ඇති බවද පවසයි.
ඔවුන් එසේ සොයා ගත් බව පැවසෙන හිට්ලර්ගේ දේහය බවට පැවසෙන සිරුරේ සේයාරූ පවා ඉදිරිපත්කරයි.

කෙසේවෙතත් ඔවුන් එදින සොයා ගත් දේහයන් කිහිපයක් නැගෙනහිර ජර්මනියේ, Magdeburg හි පිහිටි හමුදා කදවුරක භූමියේ වලලා ඇති බව අනාවරණය කරන්නේ නැත. මෙම දේහයන් ලෝක යුද්දය නිමවී දශක දෙකක් යනතෙක් මෙම ස්ථානයේ වලලා තිබුනත් 1970 දී නැවත ගොඩගන්නේ සෝවියට් රහස් සේවාව වන KGB සංවිධානයේ අණෙනි. ඒවා ගොඩගෙන දවා, අළු එල්බ් නදියේ පා කර බවද පැවසේ. එහෙත් මෙම දේහයන් හිට්ලර්ගේ හා ඊවා බ්‍රවුන්යන අයගේමද? නැත්නම් වෙනත් අයගේ දේහ වූ මේවා යම් දිනයක ලෝකය ඇත්ත තතු දැන ගැනීම වැලැක්වීමට දවා විනාශ කලාද? නැත්නම් මෙසේ සිරුරු ගොඩගැනීම හා දවා විනාශ කිරීම පිළිබදවත් අළුත් කතාවක් ගෙතුවාද?

මේ සම්බන්ධව ගවේෂනය කර ඇති බොහෝ විද්වතුන් පවසන්නේ හිට්ලර් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ මුල සිටම තමන් වැනිම වූ සඟයෙකු හෙවත් "Double" එකක් නොව කිහිපයක්ම භාවිතාකල බවයි. Julius Schreck යන නම මේ අතරින් පළමුවෙන්ම කියවෙන නමයි. ඔහු හිට්ලර්ගේ ප්‍රියතම රියදුරායි. ඔහු 1921 තරම් ඈත කාලයේ පටන්ම නාසි පක්‍ෂයේ සාමාජිකත්වය ලැබූවකු වන අතර හිට්ලර් හා ඔහු අතර ඇති රූප සමානාත්මකබව නිසා හිට්ලර් වෙනුවට ඔහු යම් අවස්ථාවල පෙනී සිටි බවද පැවසේ. කෙසේවෙතත් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙරාතුව 1936 දී ඔහු රිය අනතුරකින් මිය ගිය බව පැවසෙන අතර ඇතැම් දත්ත වල ඔහු මුඛයේ හටගත් රෝගී බවක් උත්සන්න වීමකින් මිය ගිය බවද පැවසේ.


මෙවැනිම තවත් අයෙකු ලෙස Heinrich Bergner නම් පුද්ගලයා දැක්විය හැකිය. ඔහුද හිට්ලර්ගේ රූපය හා හිට්ලර් ලෙසම හැසිරෙන්නට පුහුණු කල අයෙකු බව පැවසේ.  ඔහු 1944 ජූලි 20 වනදා සිදුවූ Operation Valkyrie ලෙසද හැදින්වෙන, හිට්ලර්ගේ රහසිගත කදවුරක් වන නැගෙනහිර ප්‍රසියාවේ පිහිටි වුල්ෆ්ලෙයාර් කදවුරේදී හිට්ලර් ඝාතනයට ඇටවූ බෝම්බයෙන් මිය ගිය බව පැවසේ. එසේනම් එදින හිට්ලර් ලෙස ආරක්‍ෂක ප්‍රධානීන් හමුවේ පෙනීසිට ඇත්තේ මෙම පුද්ගලයා විය යුතුය. කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු නිල ප්‍රකාශ වල සදහන් වූයේ Berger නම් ලඝුලේඛකයාද මෙම බෝම්බ පිපි‍රීමෙන් මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කල කාරණය වූයේ හිට්ලර් මෙම ඝාතන ප්‍රයත්නයෙන් දිවිගලවාගත් බවයි. තවද හිට්ලර් මෙම ස්ථානයේ සිටියා හෝ නොසිටියා කුමක්වුවත් ඉන්පසුව ඔහු තිරයෙන් පිටුපස චරිතයක් වූ බවත් ඉන්පසුව හිට්ලර් සිටිය යුතු ස්ථානවල සිටියේ ඔහු වැනි වෙනත් අයෙකුබවටද මතයක් ඇත. එසේම මෙසේ හිට්ලර් වෙනුවට යොදාගන්නා පුද්ගලයන්ගේ මුහුනේ, හිට්ලර් පළමු ලෝක යුද්දයේ සොල්දාදුවෙකුව සිටියදී මුහුනේ වූ තුවාල නිසා හටගත් ලක්‍ෂනයන්ට අනුකූලව වෙනස් කරනු ලැබූබවටද මතයක් ඇත.

Gustav Webar යනු යුද්‍දයේ අවසාන අවධියේ හිට්ලර් වෙනුවෙනු පෙනීසිටි තවත් තැනැත්තෙකු බවද පැවසේ. කෙසේවෙතත් යුද්දයෙන් පසුව හෝ මෙම පුද්ගලයා ජීවමානව සොයාගන්නට නොහැකිවූ අතර ඔහුද මෙම බන්කරයේ සිටි බව කියනු ලැබේ. එසේනම් ඇතැම් විට මිය ගිය හා සෝවියට් හමුදා විසින් සොයාගනු ලැබූ බව පැවසෙන හා සේයාරූවල දැක්වෙන පුද්ගලයා ඔහුවීමටත් ඉඩ ඇත. ඇතැම් ලේඛණ වල පැවසෙන්නේ හිට්ලර් සතුව සිටි දක්‍ෂ නාසි නිළධාරියෙකු වන නාසි ප්‍රචාරණ ජාලයේ අධිපතියා වූ ආචාර්ය ගොබෙල්ස් විසින් හිට්ලර් වැනි මිනිසුන් හය දෙනෙක් සෑම විටකම හිට්ලර් වෙනුවෙන් පෙනීසිටීමට සූදානම් කොට තිබූ බවයි.


හිට්ලර්ගේ බන්කරයේ දල සැලැස්ම

Rochus Misch යනු හිට්ලර්ගේ ශරීරක්‍ෂකයා වන අතර තවමත් ජීවත්ව සිටින හිට්ලර්ගේ අවසාන මොහොත දක්වාම සිටි පුද්ගලයා ඔහු පමණක් යැයි සැලකේ. ‍ඔහු මෙම මරණය පිළිබදව පවසන්නේ මෙවන් කතාවකි. හිට්ලර් තම වෛද්‍යවරයාගෙන් ඉක්මනින්ම මැරෙන්නට හැකි පහසු ක්‍රමය අසා තිබේ. එවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ සයනයිඩ් කරලක් හපන අවස්ථාවේම වෙඩි තබාගැනීමෙන් මරණය ඉක්මන් කරගත හැකිබවයි. හිට්ලර් සහ ඊවා කාමරය තුලට ගිය පසු වෙඩි තබා ගත් විට තමන්ට නොඇසුන නමුත් අනෙක් අයට එය ඇසුන බව ඔහු පවසයි. එසේම තමන් ඇතුළු කාමරයට ගිය විට ඔවුන් මිය ගොස් ඇති අයුරු දුටුවිට කම්පනයට පත්වූ බවද පවසයි. එහෙත් වසර කිහිපයක් ගිය තැන ඔහු මුලින් කියූ කරුණු වලට වඩා වෙනස් යමක් පැවසීය. එනම් මුලින් ඔහු මෙම වෙඩි ශබ්දය නොඇසුන බව පැවසූ නමුත් මෙවර ඔහු පවසා සිටියේ තමන්ටද වෙඩි ශබ්දය ඇසුනු බවයි. (http://www.spiegel.de/international/germany/0,1518,497306,00.html). කෙසේවෙතත් සෝවියට් බලපෑම හෝ යුද්දය අවසන්වුවද තවත් සෑහෙන්න කාලයක් රහසිගතව ක්‍රියාත්මකවූවායයි කියන හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලීසියේ බලපෑම මත හිට්ලර් ඒ අවස්ථාවේ මිය ගිය බව ලෝකයට තහවුරු කරන්නට මෙම ශරිරාරක්‍ෂකයා තම මතය වෙනස් කරන්නට ඇති බවටද සැකයක් පවති.
හිට්ලර් වෙඩිතබා‍ගෙන මියගියා යයි පැවසෙන ස්ථානය

(Rochus Misch, 94, Hitler’s former radio operator and the last survivor of the Berlin bunker, says he saw the bodies of ‘the boss’ and Eva Braun with his own eyes.

He said: ‘I was in the room next door when he shot himself. I did not hear the shot but I saw his uncovered corpse when the door was opened.

‘I saw Hitler slumped with his head on the table.

‘I saw Eva Braun sitting dead in the corner of the sofa, her head turned to Hitler, her knees pulled up to her chest. She had a dark blue dress on and a white frill on her collar
.’Read more: http://www.dailymail.co.uk/news/article-2050137/Did-Hitler-Eva-Braun-flee-Berlin-die-old-age-Argentina.html#ixzz1muZaf6cu)

එසේම සෝවියට් හමුදා විසින් දිගින් දිගටම විවිදාකා‍රයේ තර්ජනද කරමින් ප්‍රශ්න කරන විටද Rochus Misch සහ එම බන්කරයේ සිටි අ‍නිත් නිළධාරීන්ද ඉදුරා පවසා සිටියේ මිය ගොස් සිටි පුද්ගලයා හිට්ලර් බවයි. එසේම හිට්ලර්ගේ යයි සැක කල හකු කොටස්, හිට්ලර්ගේ දන්ත වෛද්‍යවරයෙකුගේ සේවිකාවකට ඉදිරිපත් කොට ඇය සතුව තිබුනේ යයි කියන ජර්මන් නායකයාගේ දන්ථි සටහන් සමග සසදා විමසූවිට ඇයද කියා සිටියේ ඒවා හිට්ලර්ගේ බවයි. කෙසේවෙතත් මේවා බාහිර ලෝකයට මෙසේ ප්‍රකාශ වූවත් ඇතැම් විට එක්කෝ සෝවියට් හමුදාවේ උවමනාව මත එය කරන්නට ඉඩ ඇත. නැතහොත් රහසිගතව ඒවනවිටත් යම් මට්ටමකින් ක්‍රියාත්මකව පැවති ගෙස්ටාපෝ වැනි ජර්මානු මිනීමරු පොලිස් අංශවලට බියෙන් මෙවැනි ප්‍රකාශ කරන්නටත් ඉඩ ඇත. ‍මන්ද හිට්ලර් මිය ගිය බව කීවිට කිසිවෙකු ඔහු ගැන නොසොයයි. එසේම ඔහු ජීවත්ව සිටින බවක් ප්‍රකාශ වුවහොත් එය ජර්මනිය ඒ වන විට අත්පත් කරගත් මිත්‍ර හමුදාවලට තර්ජනයක් වීමට ඉඩ ඇත. මන්ද හිට්ලර්ගේ අනුගාමිකයන් ධෛර්යසම්පන්නවී නැවතත් සන්නද්ධව යුද්දයට එළඹීමටත් ඉඩ තිබුන හෙයිනි.

1945 අප්‍රේල් 29 වනදා හිට්ලර් තම පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් සමග විවාහ වූ අතර විවාහයක් යනු දීර්ඝ කාලීනව එකිනෙකා එක්ව දිවිගෙවීමට ඇති කරගන්නාවු ආදර බන්ධනයකි. ඉතින් මෙවන් බන්ධනයක් ඇති කරගෙන පැය 24 ක් ඉක්ම ගිය තැන දිවි තොර ගැනීම විශ්වාස කල නොහැකි දෙයක් බවද ඇතැමුන් පවසයි.
1993 දී රුසියාව පවසා සිටින්නේ තමන් සතුව හිට්ලර්ගේ මරණයට සම්බන්ධ භෞතික සාක්‍ෂි මොස්කව් හි රහසිගතව තබා ගෙන ඇති බවයි. කොටින්ම තමන් සතුව හිට්ලර් මිය යන අවස්ථාවේ අසුන්ගෙන සිටි ‍ඔහුගේ රුධිරය ඇති‍ සෝපා‍වේ කොටස්, හිට්ලර්ගේ හනුවක කොටස් සහ වෙඩිතබා මූනිස්සම නිසා ඇතිවූ සිදුරද ඇති හිස්කබලේ කොටසක්ද තමන් සතුව ඇති බව පවසයි. මේවා කිසිවක් DNA පරීක්‍ෂාව වැනි නූතන ජාන විද්‍යාත්මක ක්‍රමයන්ටද බදුන්කර නොමැති බවද පවසයි. රුසියානුවන් කවදත් රහස් රැකීමේ සූරයන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් බොහෝ දේවල්වල සාක්‍ෂි පිටස්තරයන්ට දැකගැනීමට සලස්වන්නේද අඩුවෙනි. ඔවුන් මෙම හිට්ලර්ගේ යයි කියන දේහ කොටස් තැන්පත් කර ඇත්තේ මොස්කව්හි, රුසියානු සමූහාණ්ඩු රාජ්‍ය ලේඛණාගාරයේ  (Russian Federation State Archive) බව පැවසේ.

කැනේඩියානු ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නික් බැලන්ටොනි මහතාට වරක් දුෂ්කරතා මධ්‍යයේ මෙම ලේඛණාගාරයේ ඇති හිට්ලර්ට සම්බන්ධ කොටස් නිරීක්‍ෂනයට ඉඩකඩ ලබා දෙන අතර එය පැයකට පමණක් සීමා කර තිබූ අතර එම අවස්ථාවේ ඔහු විසින් ලබාගත් සාම්පල පරීක්‍ෂාවේදී ලැබුන ප්‍රතිඵල කෙබදුවන්නට ඇත්ද?

ඒ ගැන ලිපියේ ඉදිරියේදී කතාකරන්නට තබා තවත් මෙම ස්ථානයේ තිබූ ලේඛණයක් ගැන කිවයුතුය. එනම් Operation Myth නම් මෙහෙයුමට අදාල ලේඛණයි. Operation Myth යනු ස්ටාලින් විසින් අණදීමෙන් ක්‍රියාත්මක කෙරුන මෙහෙයුමකි. 1945 දෙසැම්බරයේදී ක්‍රියාවට නැංවීම ආරම්භ කල මෙයින් බලාපොරොත්තුවූයේ හිට්ලර්ට සත්‍යවශයෙන්ම කුමක්වූවාද යන්න සෙවීමයි. මෙයට Myth යන නම යෙදීමටත් හේතුව හිට්ලර්ගේ බංකරයේ සියදිවි නසා ගැනීමේ මරණය මිත්‍යාවක් බව ස්ටාලින් විසින් විශ්වාස කිරීමයි. මෙම වාර්තාවේ අදාල දේහවල පශ්චාත් මරණ පරීක්‍ෂන වාර්තා හා ඇසින් දුටු සාක්‍ෂි ඇතුළුව මෙයට අදාල සිද්ධීන් සටහන් තබා ඇති බව සදහන්ය.

මේ සෝවියට් දේශය විසින් පවත්වන ලැබූ පරීක්‍ෂන පිළිබදව විස්තරයි. ඇමරිකාවේ මේ පිළිබදව ප්‍රතිචාරය කෙබදුවන්නට ඇත්ද? හිට්ලර් මිය ගිය බව ලොවට පැවසුවද ඔවුන්ගේ FBI ආයතනය හිට්ලර් මිය ගිය  පසුවද වසර 11 ක් යනතෙක් හිට්ලර් පිළිබදව ලිපි ගොනුවක් පවත්වාගෙන ගියේය. එසේත් නැතහොත් හිට්ලර්ගේ මරණය පිළිබදව විමර්ශනය කලේය. 1956 දී නිල වශයෙන් මෙම ලිපිගොනුව වසා දැමුනු බව පැවසුනත් එයින් පසුවද ඇතැම්විට විමර්ශන පවත්වන්නට නැති යයි යමෙකුට කිව හැකිද? වෙනකක් තබා හිට්ලර් යම් හෙයකින් ජීවත්වනවා නම් වෙස්වලාගෙන සිටිය හැකි ආකාරයන් පවා ඔවුන් නිර්මාණය කර විමර්ෂනයට ලක්කර තිබෙන බව සදහන්.

 ආචාර්ය නික් බැලන්ටොනි මහතා රැගෙන ආ හිස්ක‍බලේ කොටස් මෙන්ම වියලී ගිය ලේ සහිත සෝපාවෙන් රැගෙන ආ සාම්පල පැරණි නිසා එක්වරම පරීක්‍ෂන සදහා භාවිතා කල නොහැකි වූවත් නවීන ක්‍රමවේදයන් ඔස්සේ ඒවා ඇමරිකාවේදී පරීක්‍ෂා කරන ලදි. රසායනික පරීක්‍ෂන වලට පෙර හිස්කබලේ කොටසින් ගන්නා ලද සේයාරූ වලින් එහි හිස්කබලේ අස්ථි කොටස් බැදී ඇති ආකාරය නිරීක්‍ෂනය කල විට ඒවා හිට්ලර් මිය ගිය වයස අවුරුදු 56 ක කෙනෙකුගේ නොව ඊට වඩා වයසින් අඩු වයස විසිගණනේ සිට හතලිස් ගණනක අයෙකුගේ බවටද සැකයක් ඇතිවිය. මේ සැකයද ඇතිව රසායණික පරීක්‍ෂනද අරඹන ලදි. එහිදී ලේ සාම්පල වලින් Allosomal DNA නම් කොටස් වෙන්කරගත් අතර එමගින් මෙම ලේ පිරිමියෙකුගේද? ගැහැණියකගේද? යන්න තීරණය කල හැකිවේ. එම ලේ පිරිමියෙකුගේ බව තහවුරු විය. එහෙත් ඒවා හිට්ලර්ගේම යයි කීමට ඔහුගේ ලේ ඥාතියෙකුගේ DNA සමගම පරීක්‍ෂාකලයුතුවිය. ඒ සදහා සුදුසුම කෙනා ඇමරිකාවේම පදිංචිව සිටියේය. එනම් හිට්ලර්ගේ සොහොයුරියයයි. එහෙත් මෙම පරීක්‍ෂන කණ්ඩායම ඒ ගැන විමසීමක් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හෙයින්. හිස්කබලෙන් ලබා ගත්  DNA සමග පරීක්‍ෂා කල විට පරීක්‍ෂන ව්‍යාකූල කරවන පිළිතුරක් ලැබුනේය. එනම් හිස්කබලේ හිමිකරුවා පිරිමියෙකු නොව ගැහැණියකගේ බවයි.

හිට්ලර්ගේ යයි සැකකල හිස්ක‍බල කොටස

එසේ නම් හිට්ලර්ට කුමක් සිදුවුනිද?

හිට්ලර් 1945 දී බර්ලින් බන්කරය තුල මිය නොගිය බවට මතය දරන අය පවසන්නේ හිට්ලර් යුද්දය අවසන් වීමට ටික කලෙකට පෙර‍ හෝ මේ දිනයට ඔන්න මෙන්න තියා පැනගිය බවයි.

1997 තරම් මෑත කාලයේ එලිදැක්වුන වාර්තාවකට අනුව, නාසි පාලනය ඇති කාලයේ පටන් ජර්මනියේ ප්ලාටික් ශල්‍යකර්ම ඉතා සාර්ථකව සිදුකර තිබේ. නාසි SS හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රමුඛ පෙලේ නිළධාරිනියකවූ Magda Zeitfeld ජර්මිනියට පමණක් නොව ඇමරිකානු රජයටද තොරතුරු සැපයූ ද්විත්ව ඔත්තුකාරිනියකි. එවන් තත්ත්වයකට ඇය පත්ව ඇත්තේ තම පවුලට ඇය සේවය කල SS හමුදාව විසින්ම සිදුකරන ලද කෲර ක්‍රියාවක් හේතුවෙනි. එය දක්වන්නේ නම්, ඇයගේ පියා සහ සොහොයුරා දක්‍ෂ ප්ලාටික් ශල්‍ය වෛද්‍යවරුන් වූ අතර ජර්මනියේ ප්‍රමුඛතම ප්ලාස්ටික් ශල්‍යාගාරයක්ද බර්ලිනයේ පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් ජර්මනියේ මිනිසුන්ට ආවේණික යයි කියන ශක්තිමත් හකු සහ නාසා, ඒ ආකාරයෙන් නොමැති අයගේ සකස් කිරීමේ ශල්‍යකර්ම බහුලව සිදුකර තිබෙන අතර 1943 දී නාසි රජයේ ඉහලම පුද්ගලයන් තිදෙනෙකු දැඩි ආරක්‍ෂාව මධ්‍ය‍යේ මෙම ශල්‍යාගාරයට පැමිණ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකර ගෙන තිබෙන අතර නැවත පැමිණිමට අවශ්‍ය නොවන ආකාරයෙන්ම සති දෙකක් නේවාසිකවම එහි සිට අදාල කාර්යයද ඉටුකරගෙන ගොස් ඇත. එහෙත් ඉන්පසුව SS හමුදාවේ ප්‍රහාරයට අනපේක්‍ෂිතව ලක්වන මෙම ස්ථානයේ සියළු දෙනාම කුරිරු ලෙස මරාදමා අදාල ස්ථානය මුළුමනින්ම විනාශයටද පත්කරනු ලැබේ. මෙයින් කලකිරීමට පත්වන Magda Zeitfeld සතුරු පාර්ශවයටද ‍තොරතුරු දෙන ඔත්තුකාරනියක බවට පත්වන අතර ඇයගේ මතය අනුව මෙසේ පැමිණි පුද්ගලයන් තිදෙනා නම් හිට්ලර්, හිට්ලර්ගේ පෞද්ගලික ලේකම් සහ නාසි පක්‍ෂයේ ප්‍රධානියා වූ මාටින් බෝමන් සහ SS ප්‍රධානී හයින්රිෂ් හිම්ලර් යන අය වන අතර රූපය වෙනස් කරගත් හිට්ලර් පසුව බර්ලිනයෙන් පැනගියේ පූජකයෙකුගේ වෙස් අරගෙන බවද පවසයි. එසේම පසුව මිත්‍ර හමුදාවලට හසුවූ හිම්ලර් යයි පැවසෙන්නේද ඇතැම්විට ඔහු වැනිම වෙස්ගැන්වූ වෙනත් අයෙකු යයිද ඇතැම් අය පවසයි. පසුව ඔහු සිරභාරයේ සිටියදීම සියදිවි නසාගත්තේය.
ප්‍රානය නිරුද්ද හිම්ලර් : මේ සිටින්නේද වෙනත් අයෙකු යයි සැකයක් තිබේ


මෙම රූපය වෙනස් කරගැනීමට අධාරක වන තවත් කරුණක් වන්නේ මුල් කාලයේ හිට්ලර්ගේ නාසය ඍජු සිහින් එකක් වුවත් පසුකලෙක සේයාරූවල එය පැතලි මහත ස්වරූපයක් ගැනීමයි. එක්කෝ මෙය ප්ලාස්ටික් ශල්‍යකර්මයක් මගින් වෙනස් කරගත් හෝ හිට්ලර් වෙනුවෙන් පෙනීසිටින වෙනත් ‍අයෙකු පසුකලෙක ප්‍රසිද්ධියේ පෙනීසිටින්නට ඇති යයි සැකයටද ඉවහල් වේ.

පළමු ලෝක යුද සමයේ හිට්ලර්ගේ සේයාරුවක් එහි නාසය සිහින් දිගටි එකකි

හිට්ලර්ගේ සේයාරූ රැසක් සන්සන්දනය

හිට්ලර් පැනයාම ගැන පැවසීමේදී මුලින් ඔහු ස්පාඥයට ගුවන් මගිනුත් ඉන් අනතුරුව සබ්මැරීනයක ආධාරයෙන් ආර්ජෙන්ටිනාවටත් පැනගිය බවයි. එසේ පැවසීමට හේතු ගණනාවක් ඇත. එවකට ආර්ජ‍න්ටිනාවේ පාලකයන් වූ Juan Perón වැනි අයද හමුදා පාලකයන්වූ අතර ඔවුන්ද හිට්ලර් වැනිම තද ෆැසිස්ට් පාලනයක් ගෙන ගිය ජර්මනියේ හිතවතුන් බව පැවසේ. (Juan Perón යනු මීට කලෙකට ඉහත සත් සමුදුරේ පලවූ විසවන සියවසේ මමි දෙවන ලිපියේ කතා කල Eva Perón ගේ සැමියාය).

එපමණක් නොව සැකයට තුඩු දෙන ජර්මන් U-boat U-977 සබ්මැරින් යාත්‍රාවක් ජර්මනියේ යුද්දය නිමවී මාස කිහිපයක් ඉක්මගිය තැන එනම් 1945 අගෝස්තු 17 වනදා ආර්ජන්ටිනාවේ Mar Del Plata වරායට පැමිණි ඇති අතර එයින් ගොඩ බැස ඇති අය අතර ඉහල පෙලේ හමුදා නිළධාරියෙකු හා තවත් පිරිමි වෙස් ගත් ඇති අයෙකු සිටි අතර ඒ හිට්ලර් සහ ඊවා බ්‍රවුන් බවට මතයක් ඇත. යුද්දය නිමවීමෙන් පසුව ජර්මානු සබ්මැරීන මෙසේ ජර්මනියෙන් ඉතා බැහැර රටකදී දැකගන්නට ලැබීමද සැක සහිතය

මේ බව විවිදකාලවල ප්‍රකාශයට පත්වුන පර්යේෂන ග්‍රන්ථ වලද සදහන් වන අතර Hitler In Argentina සහ මෑත කාල‍යේ ප්‍රකාශයට පත්වුන Grey Wolf වැනි පොත්වලද සදහන්ය. පොත්වල පමණක් නොව ‍කිසිසේත් ඉවත ‍නොදැමිය හැකි ඇමරිකානු FBI ආයතනයේ වාර්තාවලද හිට්ලර් සහ ඔහුගේ සඟයන් ආර්ජන්ටිනාවේ නිරුපද්‍රිතව වාසය කල බවට සාක්‍ෂි එමටය.
කෙසේවෙතත් මේ ලේඛණවල සදහන් කරුණු ඉහත දැක්වූ දිනවකවානුවලට වඩා වෙනස් වීම හැරෙන්නට අනෙක් කරුණු බොහෝමයක් සමානය.



මේ එම FBI වාර්තාවලට පිවිසිය හැකි සබැදියන්ය -

http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-01-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-02-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-03-of-04/view
http://vault.fbi.gov/adolf-hitler/adolf-hitler-part-04-of-04/view




මෙවන් සාක්‍ෂි රැසක් ඇමරිකානු ‍FBI ආයතනයේ වාර්තාවේ සදහන් වන අතර බුවනෝර්ස් අයර්ස් සිට සැතුපුම් 450 ක් පමණ වයඹ දෙසින් පිහිටි ප්‍රදේශයක රහසිගතව වාසය කල බව කියයි. මෙම භුමිය එරට පාලක පෙරෝනගේ ව්‍යාපාරික මිතුරෙකුට අයත් බව කියන අතර එයට පිවිසීමට ගොඩබිම් මාර්ග නොමැති අතර ගුවනින් පමණක් ගමන් ගත හැකි ප්‍රදේශයක් වේ.

හිට්ලර් ආර්ජන්ටිනාවේ වාසය කල බවට සැක කරන නිවස

හිට්ලර් පිළිබදව පමණක් නොව තවත් බොහෝ නාසි නිළධාරින් ආර්ජන්ටිනාව හෝ වෙනත් දකුණු ඇමරිකානු රටවල වාසය කල බවට සාක්‍ෂි තිබේ. අවුට්ස්විට්ස් රැදවුම් කදවුරේ මිනීමරු වෛද්‍යවරයා වූ දොස්තර ජෝසෆ් මැන්ගලද මිතුරු පාර්ශවයන්ට හසුනොවී පැනයාමට සමත් වූ අතර ආර්ජන්ටිනාවේදී ඔහු "ග්‍රි‍ගෝරියො ගිගොරි" වන ව්‍යාජ නාමයෙන් ජීවත්ව ඇතත් ඔහු පසු පස ජාත්‍යන්තර පොලීසිය, ඊශ්‍රායල ඔත්තු අංශ හා නාසින් දඩයම් කිරීමේ යෙදුන වෙනත් කණ්ඩායම් වලට හසුනොවීම පිණිස විවිද දකුණු ඇමරිකානු රටවල වාසය කර ඇති අතර පසුව 1979 තරම් යුද්දය අවසන් වී වසර තිස් ගණනකට පසු බ්‍රසීලයේදී සුසාන භූමියක තිබූ මලසිරුරක් ඔහුගේ බවට සනාථ වී ඇත.

එපමණක් නොව නාසි ආණ්ඩුවේ රයිෂ් මධ්‍යම ආරක්‍ෂක කාර්යාලයේ ප්‍රධානීයා වූද යුදෙව්වන් මිලියන ගණනකට ඝාතනයට දායක වූ ඇඩොල්ෆ් අයික්මාන් 1960 දී මොසාඩ් සංවිධානය විසින් අත්අඩංගුවට ගැනුනේද ආර්ජන්ටිනාවේදීය.

මේ වාර්තාවලට අනුව හිට්ලර් මිය ගොස් ඇත්තේ ඔහු මිය ගියා යයි පවසන 1945 දී නොව එයින් වසර 17 ක් ඉක්ම ගිය තැන 1962  දීය. ඒවන විට ඔහුට දියණියන් දෙදෙනෙකු සිටි බවද පැවසේ.

හිට්ලර්ගේ ගනු ඇතැයි සිතූ විවිද වෙස්


හිට්ලර් හා අනෙකුත් නාසීන්ට පැනයාමට ඇතැම් විට මිත්‍ර පාර්ශවයේ ඇමරිකාව වැනි රටවල් උදව් කරන්නට ඇතුවායයිද සැකයක් පවතී. සෝවියට් දේශයට නම් ජර්මානුවන්ගෙන් වුන හානිය අතිමහත්වූවත් ඇමරිකාවට යුරෝපයේදී යුද්දයට සම්බන්ධවූවායින් පසුව හමුදාවට මිස ඇමරිකානු භූමියට ජපනුන්ගෙන් හැරෙන්නට හානියක් සිදුවූයේ නැත. එසේම ඇමරිකාව සේම ජර්මනියද දැරුවේ කොමියුනිස්ට් සමාජවාදයට එරෙහි පිළිවෙතකි. ජරමන් නාසි විද්‍යාඥයන් රාශිකට යුද්දයෙන් අනතුරුව ඇමරිකාවට පිවිසීමට අවස්ථාව ලබාදුන් ඇමරිකාව විවිද පර්යේෂන සදහා ඔවුන්ගෙන් ලද සහය අතිමහත්ය. මීට පෙරත් සත් සමුදුරෙන් පැවසූ රොකට් තාක්‍ෂනයද ඇමරිකාව ලබා ගත්තේ ජර්මන් V2 රොකට් බෝම්බ තැනීමේ නිර්මාතෘවරයා වූ Wernher von Braun වෙතින්ය. ඒ බව මීට පෙර සත් සමුදුරේ
පලවූ   "රොකට් තාක්‍ෂනය මුලින් සොයා ගත්තේ ඇමරිකානුවන් නොව ජර්මානුවෝයි" ලිපියේදීද සදහන් කෙරුනි. ඇමරිකාව පමණක් නොව සෝවියට් දේශයද, ජර්මානු භෞතික හා මානව සම්පත් යුද්දයෙන් පසුව තම පර්යේෂන සදහා යොදාගත් බව විවිද මූලාශ්‍ර වල සදහන්වේ. තවද ඇමරිකාවේ FBI ආයතනයේ රහස්‍ය වාර්තාවල හිට්ලර් ජීවත්ව සිටින බවට සාක්‍ෂි රැසක් සදහන්ව තිබියදී ඔහුව අල්ලා ගන්නට මෙහෙයුමක් දියත් නොකර සිටීමද ‍මෙම රටවල රහසිගත දේශපාලන හා ආරක්‍ෂක න්‍යාය පත්‍ර අනුව කුමන හේතුවදැයි පැහැදිලි කිරීමට අපහසු හා වටහා ගැනීමට අපහසු කරුණකි.

කෙසේවෙතත් මේ කාරණා සත්‍යවුවද ඉතිහාසය ලියවී ඇති ආකාරයට අනුව මෙය නොපිළිගන්නා පිරිසද අතිමහත්ය. අවසානයේ පැවසීමට සිදුවන්නේ හිට්ලර් ඇතුළු යුද අපරාධකරුවන් බොහෝමයක් තමන්ගේ වැරදිවලට නිසි දඩුවම් නොලබාම සුවසේ මෙලොවින් සමුගත් බවද?

පසුවදන :
මුලින්ම පැවසිය යුතුයි මෙවැනි ලිපි‍යකින් ඉතිහාසය වෙනස් කිරීමේ අදහසක් හෝ අළුත් මතයක් ඉදිරිපත් කිරීමේ අදහසක් නොවේ තිබෙන්නේ. කාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ඇතැම් ආන්දෝලනාත්මක කරුණක් සාක්‍ෂි සමග විශ්ලේෂනයක් තමයි කරනු ලැබුවේ.

කොහොමවුනත් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙවැනි දීර්ඝ ලිපි අතීතයේදී නිතර දකින්නට ලැබුනත් මෑතකාලයේ රාජකාරී වැඩ සහ ගෙදරදොරේ වැඩ කටයුතු බහුලවීම, ශාරිරික හා මානසික වෙහෙස, ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කරගැනීමේ වැඩ කටයුතුවල නිරතවීමට සිදුවීම හා කම්මැලිකම කියන සාධක සියල්ල එක්වීමත් සමග දීර්ඝතම ලිපි ලිවීමට ටිකක් අඩුවෙලා තමයි තිබුනේ. මේ ලිපියත් කොටස් වලින් දැමීමට තරම් දීර්ඝ වූවත් එක් ලිපියක් විදියටම පලකරන්න සිතුනේ සමහර තේමාවලින් පටන්ගත්ත ලිපි උදාහරණයක් විදියට මධ්‍යතන යුගය හා මාෆියා හා විවිද සමාජ විරෝධී කණ්ඩායම් ගැන ලියන්නට පටන් ගත් ලිපි පෙලත් ලියා අවසන් කිරීම දිනෙන් දින කල්යන නිසා කොටස් විදියට වඩා එක් දීර්ඝතම කොටසක් විදියට හරි පල කරන්න වගේම මගේ සිත් ඇදගත් මාතෘකාවක් නිසා එක් හුස්මට මේ ලිපිය ලියාගෙන යන්න හැකිවුනා. ඉතින් ඉදිරියේදිත් මෙවැනි කරුණු සමූහයක් තියෙන දීර්ඝ ලිපි ලිවීමේ බලාපොරොත්තුවෙන් දැනට නවතිමි...

මේ ලිපියත් හිට්ලර් ගැන ලියන ලද්දක් වන අතර නොසෑහෙන්න දොස් අහන්නත් සිද්දවුන ලිපියක් -
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර 


මූලාශ්‍ර :
http://www.blackraiser.com/nredoubt/identity.htm
http://www.coverups.com/hitler/index.htm
http://reinep.wordpress.com/2010/09/14/the-truth-about-hitlers-death-the-allies-served-us-a-big-fat-lie/
http://newworldorderreport.com/News/tabid/266/ID/8913/New-book-claims-Adolf-Hitler-escaped-Berlin-never-commited-suicide-died-in-Argentina.aspx
http://www.dailymail.co.uk/news/article-2050137/Did-Hitler-Eva-Braun-flee-Berlin-die-old-age-Argentina.html
http://www.rense.com/general47/refuge.htm
http://au.news.yahoo.com/thewest/a/-/world/10487933/hitler-lived-to-73-in-south-america-book-claims/
http://gizmodo.com/5860250/hitlers-secret-argentine-sanctuary-is-for-sale
http://www.thethirdcraft.org/?p=15232
History Channel - Mystery Quest - Hitler's Escape

Tuesday, February 14, 2012

අල්ලස දූෂණය තෙවන ලොව රටවල පමණක් දැකිය හැකි දෙයක්ද?

අන්නා හසාරේ
පසුගිය දිනවල අපේ අසල්වැසි ඉන්දියාවේ අල්ලස හා දූෂනයට දැවැන්ත හඩක් නඟන පුද්ගලයෙකු පිළිබදව දැනගන්නට ලැබුනි. ඒ අන්නා හසාරේ පිළිබවයි. ඔහු උපවාස හා සත්‍යග්‍රහ මගින් එරට අල්ලස හා දූෂනයට එරෙහිව වැට බැදීමට විශාල කාර්යභාරයක් කෙරෙද්‍දී එරට පාලණාධිකාරියට පවා ඒ වෙනුවෙන් යමක් නොකර සිටීමට ඉඩක් නොමැතිවිය.

බොහෝවිට අල්ලස හා දූෂණය පිළිබදව කතා කිරීමේදී ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකානු කලාපයේ ඇති සංවර්ධනය වෙමින්  පවතින එසේත් නැතහොත් තුන්වන ලෝකයට අයත් රටවල මේ තත්ත්වය වඩාත් කැපී ‍පෙනින. කෙසේවෙතත් මේ අහිතකර තත්ත්වය ඔඩුදුවා ඇතැයි කියන ඉන්දියාවේ පවා ඇමතිවරු හෝ වගකිව යුතු නිළධාරීන් තමන්ට අයත් විශය ක්‍ෂෙත්‍රයේ යම් බිදවැටීමක් සිදුවුවහොත් එහි වගකීම තමන් මතට ගෙන තම තනතුරෙන් ඉල්ලා අස්වීමට තරම් නිර්භීත හා කොන්දපණ ඇති අය වීම ගැන නම් මොන තත්ත්වය මත වුවද ප්‍රශංසා කල යුතුය.

හැබැයි මේ ලිපියෙන් කියන්නට යන්නේ අල්ලස හා දූෂණය පැතිරී ඇති ක්‍ෂෙත්‍රයක එය දුරලීම සදහා වෙහෙස වන්නා වූ නිළධාරියෙකු පිළිබදයි. මේ චිත්‍රපටියේ නම Serpico. සත්‍ය සිදුවීමක් අලලා තැනූ මෙම චිත්‍රපටිය තිරගතවූයේ 1973 තරම් ඈත කාලයේ.

හැබැයි මෙහි තේමාවට අදාල මාතෘකාව නම් තවමත් ලෝකය පුරා පිළිලයක් මෙන් ඔඩුදුවා ඇති සහ තවතවත් වර්ධනය වන ව්‍යවසනයක් වන අල්ලස හා දූෂණය වන අතර විශේෂත්වය වන්නේ මෙහි පදනම් වී ඇත්තේ තෙවන ලෝකයේ රටක ආයතනික ව්‍යුවහයේ මෙම ගැටළුව පිළිබදව නොව ලෝකයේ අංක එකේ සංවර්ධිත හා ප්‍රභලම රටවන ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන දූෂිත තත්ත්වය පිළිබදවයි.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන‍්නේ ප්‍රවීණ දක්‍ෂ නළුවෙකු වන Al Pacino විසින්. සමහරවිට ලංකාවේ සිනමාලෝලීන් නම් මෙම චිත්‍රපටිය ගැන එතරම් නොදන්නවා වෙන්නත් පුළුවන්. කොහොමවුනත් හැකියාවක් ඇතොත් ඔබත් මෙය නරඹන්න. එතකොට ඔබටත් දැන ගන්නට පුළුවන් Serpico නම් පොලිස් නිළධාරියාට තම දෙපාර්තමේනතුවේ තිබෙන අල්ලස හා දූෂණය මැඩලීමට හැකිවූවාද යන්න...

Monday, February 13, 2012

ගබඩා සමීක්‍ෂනයකදී අත්විදි අත්දැකීම් හා යෝජනා - Physical Verification of Consumables

මේ ලිපිය ලියන්නට සිතුවේ කාරණා කිහිපයක් අපේක්‍ෂාවෙන්. පසුගිය දිනවල මාහට පැවරී තිබුන රාජකාරීයක් තමයි පරිභෝජන භාණ්ඩ පිළිබදව ගබඩා සමීක්‍ෂනයක්. ඒ කියන්නේ එදිනෙදා භාවිතා කර ක්‍ෂය වෙලා යන දීර්ඝ කාලයක් නොපවතින භාණ්ඩ පිළිබදව. මේ කාර්යය අවසානයේ පැවරුන තවත් දෙයක් තමයි මේ කාර්යය පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම. මම මේ පිළිබදව යෝජනා හා අත්දැකීම් පිළිබදව සටහනක් මේ වනවිටත් පිලියෙල කර අවසන්. ඉතින් මට සිතුනා ඔබටත් යම් විටක එය ප්‍රයෝජනවත් වේවි යන සිතුවිල්ලද සමග ඔබටත් එය කියවීමට ඉදිරිපත් කරන්න. ඒවගේම මේ පිළිබදව අත්දැකිම් ඇති අයෙක් වෙතොත් මා‍ නොදන්නා කරුණුද ඔවුන් ලබාදේවි යන අපේක්‍ෂාවද ඇතිව අදාල යෝජනා පිළිබදව ඉදිරිපත් කරමි.


2012 වසරේ *** පීඨයේ සිදුකෙරුන පරිභෝජනීය භාණ්ඩ පිළිබදව ගබඩා සමීක්‍ෂන ක්‍රියාවලියේදී අත්දැකීමට ලැබුන කාරණා සහ ගබඩා වල ඇති එම භාණ්ඩ පිළිබදව මෙන්ම ඒවා ලේඛණ ගත කිරීමේදී අනුගමනය කලහොත් යෝග්‍ය යයි අනුමාන කෙරෙන යෝජනා පහත දක්වමි.
ඇතැම් ස්ථාන වල ගබඩා වලින් භාණ්ඩ නිකුත් කිරීමට සහ ඒවා ලේඛණ ගත කිරීමට ප්‍රමාණවත් කාර්යය    මණ්ඩලයක් නොමැතිකම නිසා සිදුවී ඇති දෝශය නිවාරණයට එයට වෙනමම නිළධාරියෙකු පත් කිරීම.
මේ වෙනුවෙන් පත්කර සිටින්නේ තවත් රාජකාරි රැසක් ඉටුකල යුතු නිළධාරියෙකු බැවින් නිසි ලෙස භාණ්ඩ නිකුත් කර ඇතත් රාජකාරී බහුල වීම හේතුවෙන් එයට යොදවා ඇති නිළධාරී මහත්මයාට ඇතැම් විට ඒවා ඒ අවස්ථාවේම ඉන්වෙන්ට්‍රියට ලේඛණගත කිරීමට නොහැකිවීමෙන් පසුව එය අමතක වීමට භාජනය වීම නිසා ඉතිරිව තිබෙන භාණ්ඩ සංඛ්‍යව හා ‍ඉන්වෙන්ට්‍රියේ සටහන් අගය අතර පරස්පරතා ඇතිව තිබෙනු දක්නා ලදි.

ඉන්වෙන්ට්‍රියට ලේඛණය භාරව සිටින නිළධාරී මහත්වරුන්ට ඒ පිළිබදව සරල හා වැදගත් තොරතුරු එය යාවත්කාලීන කරගනිමින් පවත්වාගෙන යාම පිළිබදව දැනුවත් කිරීමක් සිදුකිරීම.
ඇතැම් ස්ථාන වල ඉන්වෙන්ට්‍රිය ලේඛණය පවත්වා ගෙන ගියත් එය නිසි ක්‍රමවේද‍ය අනුගමනය කිරීමෙන් තොරව සිදුකර ඇති නිසා එයින් බලාපොරොත්තුවන තොරතුරු ලබාගැනීම දුෂ්කර වූ අවස්ථද හමුවිය.

ඉන්වෙන්ට්‍රිය පරිගණක ආශ්‍රිතවද පවත්වා ගත හැකි ආකාරයේ සරල පරිගණක ක්‍රමලේඛණයක්වත් අඩුම තරමින් හදුන්වාදීම.
මෙම ගබඩා සමීක්‍ෂනයේදී විශාල කාලයක් වැයවීමට ‍එක් හේතුවක් වූයේ ඉන්වෙන්ට්‍රි පොතේ ඇතුලත් කරුණුද අදාල ලේඛණ වලට සහමුලින්ම ‍නැවත ලේඛණගත කරමින් අදාල භාණ්ඩ භෞතිකවද නිරීක්‍ෂනය කල යුතු නිසාවෙනි. මේ නිසා මේ භාණ්ඩ පිළිබදව මේ වෙනුවෙන් තැනූ පරිගණක ක්‍රමලේඛණයකට ඇතුලත් කල හැක්කේ නම් අවශ්‍ය මොහොතක ඒ භාණ්ඩ පිළිබදව මුද්‍රිත පිටපත් ලබා ගැනීමට හා පරිගණක තිරය ඔස්සේද නිරීක්‍ෂනය කරමින් කඩිනමින් භෞතිකවද නිරීක්‍ෂනය කල හැකි නිසා අනාගතයේ මෙවැනිම තොග ගබඩා සමීක්‍ෂනයකදී කාලය ඉතිරිකර ගැනීමට මෙන්ම එය කාර්යක්‍ෂම කරගැනීමට උපකාරී විය හැක. එසේම අදාල ඉන්වෙන්ට්‍රිය භාරව සිටින නිළධාරී මහත්වරුන්ටද මෙම කාර්යය එදිනෙදා ඉටුකිරීමේදී පහසුවක් වනු ඇත.
භාවිතා නොකරන, කල්ඉකුත්වූ රසායණික ද්‍රව්‍ය ගබඩා වලින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම
පරීක්‍ෂවට ලක්කල සෑම රසායණික ගබඩාවකම දක්නට ලැබුනේ ඇතැම් රසායණික ද්‍රව්‍ය වසර 40 කටත් වඩා පැරණි මෙන්ම සමහර ඒවා කිසිදා භාවිතා නොකල හෝ එක්වරක් හෝ දෙවරක් පමණක් භාවිතා කල පැරණි කල්ඉකුත්වූ රසායණික ද්‍රව්‍යද ගබ‍ඩා වල තබා ගැනීමට සිදුව තිබීමයි. මෙය ඉන්වෙන්ට්‍රි ලේඛණය පවත්වාගෙන යාමේදී බාධාවක්සේම ඒවා කල්ඉකුත්වූ නිසා අහිතකර ප්‍රතිඵල ඇති කරමින් තිබීම නිසා ‍එම ගබඩා භාවිතා කරන නිළධාරී මහතුන්ගේ සෞඛ්‍යයට ගැටළු ඇතිකීරමට හේතුවිය හැකියාවද පවතී එමෙන්ම ගබඩාවේ ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන්කිරීමටද සිදුවීම එම ගබඩා පවත්වාගෙන යාමේ කාර්යයටද බාධාකාරීවීමද සැලකිය යුතුය. මේ නිසා නැවත භාවිතා කල නොහැකි කල් ඉකුත්වූ රසායණික ද්‍රව්‍ය විනාශ කිරීමට, ඒ පිළිබදව විශේෂඥ දැනුම ඇති ආයතනයකට භාරදීම හෝ තවදුරටත් භාවිතා කල හැකි එහෙත් එම දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂන සදහා තවදුරටත් භාවිතා කිරීමක් සිදුනොකරන රසායණ ද්‍රව්‍ය *** පීඨයේ හෝ වෙනත් පීඨයක දෙපාර්තමේන්තුවක පරීක්‍ෂන සදහා ප්‍රයෝජනවත් නම් ඒවා ඔවුන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම.
භාවිතා නොකරන විද්‍යාගාර වීදුරු උපකරණ ඒවා ප්‍රයෝජනවත් වන වෙනත් දෙපාර්තමේන්තුවෙත ලබාදීම
ඇතැම් විද්‍යාගාරවල ගබඩා තුල ඇති වීදුරු උපකරණ දීර්ඝ කාලයකට පෙරාතුව පරීක්‍ෂන සදහා භාවිතා කල ඒවා වන අතර ඒවා පසුව නැවත භාවිතා කිරීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් මේවා නොකැඩී ආරක්‍ෂිතව පවත්වාගෙන යාමට සිදුවීම මෙන්ම ඒවා සදහා අමතර ඉඩක් වෙන් කිරීමට සිදුවීම හා ඇතැම් විට අබලන්ව ඇති ගබඩා වල වහලින් රිලව් වැනි සතුන් ඇතුළුවී අදාල වීදුරු උපකරණ කඩා දැමීම ගැටළුවක්ව ඇති නිසා යම් දෙපාර්තමේන්තුවකට තවදුරටත් එම වීදුරු උපකරණ ප්‍රයෝජනවත් නොවන්නේ නම් ඒවා ප්‍රයෝජනවත් වන වෙනත් දෙපාර්තමේන්තුවකට ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කල හැක්කේ නම් වඩාත් යෝග්‍ය යයි යෝජනා කරමි.
සුදුසු ගබඩා පහසුකම් නොමැති දෙපාර්තමේන්තුවලට ඒ වෙනුවෙන් සුදුසු ඉඩකඩක් වෙන්කිරීම හා නියමිත ආකාරයෙන් වාතාශ්‍රය නොමැති ගබඩා සදහා ‍එම පහසුකම් ලබාදීම.
ඇතැම් දෙපාර්තමේන්තුවල රසායණික ද්‍රව්‍ය ගබඩා කිරීමට නියමිත ආකාරයෙන් තැනූ ගබඩාවක් නොමැති නිසා වෙනත් කාර්යයක් වෙනුවෙන් තැනූ කුඩා කාමර  ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනු හා ඇතැම් ගබඩා වල නියමිත ආකාරයෙන් වාතාශ්‍රය නොලැබෙනු දක්නට ලැබුන අතර මේ නිසා එවන් ස්ථානවල රසායණික ද්‍රව්‍ය වල දුර්ගන්ධය හා ඒවායේ බලපෑම නිසා එම ස්ථාන වල රැදී සිටිමේදී හුස්මගැනීමේ අපහසුතා හා ඇස්වල වේදනාකාරී තත්ත්වයන්ද දක්නට ලැබුන නිසා සුදුසු රසායණික ගබඩා කිරීමේ පහසුකම් ඒවා අවශ්‍ය දෙපාර්තමේන්තුවලට ලබාදෙන ලෙසද යෝජනා කරමි.


Thursday, February 9, 2012

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂබවනිරතුරු කතා කලත් ඊටත් වඩා ඇතැම් අවස්ථාවල අන්ත පෞද්ගලික අංශයේ සේවය ගැනත් කතා කල යුතුයි!!! Gov. Vs PVT

මේක ලියන්න සිතු‍නේ ඊයේ සුපිරි වෙළඳසැලකදී අකාර්යක්‍ෂමතාවය පිළිබදව මුහුණපාන්නට වූ සිදුවීමක් නිසාමයි.එම සිදුවීමේදී නම් එතරම් ගණන් ගත යුතු දෙයක් සිදුනොවූවවත් ඊ‍‍ට පෙර මුහුණ පාන්නට සිදුවූ සිදුවීම් කිහිපයක්ද කියන්නට සිතුනේ ඔබටත් මේ ආයතන වලින් ඇතැම් විට මේ අත්දැකීමම ලබාදී ඇති බව සිතුනු නිසයි. මේ සියළු සිදුවීම් සිදුවූයේ නුවර හා ඊට යාබද නගරවලදී බවත් පැවසිය යුතුයි. සමහර විට ඔබගේ පළාතේ තිබෙන මෙම ආයතන වල ශාඛාවලින් ඔබට හොද සේවයක් ලබාදෙනවාවන්නට  පුළුවන්. සමහරවිට මම මේ කියන දේවල වලටත් වඩා අන්ත සේවාවක් ලබාදෙනවා වෙන්නටත් පුළුවන්.

මුලින්ම කියන්නම් පෞද්ගලික බැංකුවක සිදුවීමක්. මේ බැංකුවේ නම නොකියුවත් එයට යොදාගන්නා සලකුණ "පුන්කලසක්" කියා කිවුවොත් ඔබ දන්නවා ඇති මේ මොන ආයතනය ගැනද කියන්නේ කියලා. මම මේ බැකුවේ ගිණුමක් ආරම්භ කලේ රැකියාවට ගිය මුල් අවධියේමයි. සෑම මසකම වැටුප් ලැබූ දිනයේ මෙම බැංකුවේ මුදල් තැන්පත් කිරීමද කලා. කෙසේවෙතත් විවාහයෙන් පසු ගෙවල් හදන්නට සහ වෙනත් කටයුතු වලට මුදල් වෙන් කල පසු ඉතිරිකිරීමට අපහසු නිසා වසර කිහිපයක් යනතුරු මේ බැංකුවේ පැත්ත පළාතකට නම් යන්න හැකිවුනේ නැහැ. කෙසේවෙතත් විවාහ මංගලෝත්සවයට මුදල් අවශ්‍ය වූ නිසා එක්දහස් ගණනක මුදලක් ඉතිරි කොට අනෙක් මුදල් ගැනීමෙන් පසු වසර තුන හතරකට පසු නැවත මුදල් තැන්පත් කිරීමට ගියේ දැන් අර එක්දහස් ගණන පොළී වී යම් මුදලකුත් එකතුවී ඇති යන සිතුවිල්ලද සමගයි. ඒත් වෙලා තියෙන්නේ එම ගිණුමේ ගණුදෙනු වසර දෙකක් තුල සිදුනොවූ නිසා ඔවුන් එවැනි ගිණූම් වලින් රු.30 ශත ගණනක් මාසිකව අයකරගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලාළු.

කෙසේවෙතත් කිසිදුවිටක ඔවුන් මාහට කිසිදු අවස්ථාවක ලිඛිතව එවැනි දෙයක් නොදැන්වූ අතර එම අවස්ථාවේ බැංකුවට යනතෙක් දැනගන්නට ලැබුනේද නැහැ. කොහොම වුනත් හොදවෙලාවට 2008 වසරේදී ඔවුන් එම ප්‍රතිපත්තියෙන් බැහැරුවූ නිසා ඉන්පසු මුදල් කපා ගැනීමක්  සිදුකර තිබුනේ නැහැ. ඒක හොදට ගියා නැත්නම් මට අතිනුත් ගෙවන්න වේවි ගිණුමේ මුදල් ඉවරවුනායින් පසුව මාසිකව රු.30 ශත ගණන කැපීම වෙනුවෙන්.

මේ විදියට කාර්යක්‍ෂම යයි කියනා පෞද්ගලික ආයතනයක මෙසේ සිදුවූවත් ප්‍රසිද්ධම රාජ්‍ය බැංකුවක නම් වසර දෙකක්තුල ගණුදෙනු සිදුනොවූ නිසා ඔවුන් කර තිබුනේ ගිණූම අක්‍රීය කිරීම පමණයි. එයින් කිසිදු මුදලක් කපා ගැනීම සිදු නොකල අතර නැවත ගණුදෙනු සදහා ගිණුම සක්‍රීය කර ගැනීමද සිදුකර දුන්නා.

ඊලඟට කියන්න යන්නේ පෞද්ගලික දුරකථන සමාගමක "කාර්යක්‍ෂම, පාරිභෝගිකයන්ට හිතවත් සේවාව පිළිබඳවයි". මේ ආයතනය නමින් නොකියුවත් ඉඟියකින් හදුන්වාදෙන්නේ නම් මේ දිනවල ඔවුන්ගේ ආදර්ශ පාඨය "අපේ රටේ මිනිස්සු වෙනස්.....................අපේ ‍රටේ දේ ගරුකරන.............". දැන් යම් වැටහීමක් වෙන්න ඇතිනේ මොන ආයතනය ගැනද කියන්නේ කියලා. මේක වුනේ ගිය වසරේ. මේ කොම්පැනියෙන් ගත්ත CDMA දුරකථනයේ බැට්රි‍ය ආරෝපණය වෙන්නේ නැති නිසා අළුත් බැටරියක් ගැනීම සදහා දුරකථනයද රැගෙන ඔවුන්ගේ ආයතනයට පැමිණෙන ලෙස ඒ පිළිබදව ඔවුන්ගෙන් විමසූ විට දැන්වූවා. ඉතින් සෙනුසරාදා දිනයක දුරකථනයද රැගෙන ඔවුන්ගේ ආයතනයට ගියවිට එහි එදා පාරිභෝගිකයන් එතරම් නොසිටි අතර පාරිභෝගික සේවා සපයන එක් අයෙක් වෙත ගියවිට තවත් අයෙක් වෙත යන ලෙස දන්වන ලදි. ඔහුට අදාල කරුණ පිළිබදව කියූ විට ඔහු වෙත එන්නට කිව්වේ කව්දැයි පවසා නුරුස්නා සුළු ලෙස පැරණි බැට්රිය ගලවා දෙන ලෙස පවසන ලදි. එයද ගලවා දුන් පසු නව බැට්රියක් ලබා දුන්නා මිස එය සවිකරවත් නොදුනි.

මෙම කාර්යය එනම් බැට්රිය දුරකථනයෙන් ගැලවීම සහ සවිකිරීම මාහට නම් ගැටළු සහගත නොවූවත් යම් හෙයකින් මේ පිලිබදව නොදන්නා අයෙකු ඔහුගෙන් සේවය ලබා ගන්නට ගියේ නම් එම සේවාලාභියා මුහුණපාන තත්ත්වය කෙබදුද? මහලොකුවට අපේ රටේ ආයතනයක් යයි පම්පෝරිගසන මෙම ආයතනයේ ආදර්ශපාඨය නම් ඔවුන්ට ගැලපෙන එකක්ම යොදගෙන ඇති බව නම් කිව යුතුය.

මෙසේ පාරිභෝගිකයන්ට නිසි සේවාවක් සපයන ආයතනයක දුරකථනය තවදුර‍ටත් භාවිතාකරමින් සිටින්නේ වෙන කිසිකරුණක් නිසා නොව එකල මෙම දුරකථනය ගැනීමට රු.12000/= ක පමණ මුදලක් වැයවූ නිසාය. නැත්නම් එදිනම මෙම සම්බන්ධතාවය විසන්ධි කොට වෙනත් ආයතනයක දුරකථනයක් ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරමි.

අවසානයට කියන්න යන කරුණ නම් සුපිරි වෙළඳ සැල් පිළිබදවයි. කලකට ඉහත ලංකාවේ මහත් ජනප්‍රසාදයක් දිනා සිටි සතොස ආයතනය විනාශකර දැමූ පසු සුපිරි වෙළඳ සැල්වලට ‍වාසිදායක විය. එයින්ද "ගෙදර යන ගමන්" යන ආදර්ශ පාඨය ඇති ආයතනය ප්‍රමුඛ තැනක් වූ අතර මෑතක් වන තුරු එහි සේවයේ යම් ගුණාත්මකබවක් තිබුනි. එහෙත් දැන් නගරයක සුපිරි වෙළඳ සැල් කිහිපයක්ම විවෘත කර ඇති නිසා එම ආයතනයේ පෙර මෙන් හොද සේවයක් නොලැබෙන්නේ යයි සිතේ. මෙම වෙළඳ සැල්වල බිල ගෙවූ පසු ඉක්මනින්ම එය නිවැරදිදැයි කියා බැලිය යුතුය. නැත්නම් තමන් නොගත් භාණ්ඩවලටද මුදල් අය කර ඇති හෝ ලේබල් කර ඇති මුදලට වඩා වෙනස් මුදල් අයකර ගන්නා අවස්ථාද එමටය. එපඹනක් නොව ඒවායේ යොදවා සිටින ආරක්‍ෂක අංශ පාරිභෝගිකයන් දෙස බලන්නේ සොරු දෙස බලන ආකාරයෙන් බව බොහෝවිට දැක තිබේ. සමහරවිට ඇතැම් අය ඒවායේ භාණ්ඩ සොරකම් කරන නිසා එවැනි තත්ත්වයකට පෙළඹී ඇතිවන්නටත් පුළුවන්. කෙ‍සේවෙතත් ඉහත කී ආයතනය පමණක් නොව දැන් පිහිටුවා ඇති බොහෝ සුපිරි වෙළඳ සැල් වල සේවය පෙර මෙන් හොද නැති බව මගේ අදහසයි.

Wednesday, February 8, 2012

නිර්ලජ්ජිත දැන්වීම් කලාවද? එසේත් නැතහොත් දැන් යථාර්තය මෙයද?

මේ දිනවල රූපවාහිනියේ වරින්වර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක් නිසා කෝපයකුත් කළකිරීමකුත් ඇතිවිය. මේ දැන්වීම රක්‍ෂන සමාගමක් විසින් ප්‍රචාරය කරනු ලබන්නක් වන අතර එහි තේමාව ජීවිත රක්‍ෂනයක් පිළිබදවයි. එම දැන්වීමේ පෙනී සිටින තරුණිය පවසා සිටින්නේ ඇයගේ මව කුඩා අවධියේම මිය ගිය බවත් ඉන් වසර ඉක්මගිය තැන ඇයගේ පියාද මෙලොව හැරගිය පසු ඇය සහ ඇයගේ වැඩිමහළු සොහොයුරා මෙලොව තනිවූ බවකි. ඒ දක්වා සානුකම්පිත මුහුණුවරකින් ගලායන මෙම ප්‍රචාරණ දැන්වීම එක්වරම බොහොම සතුටුදායක තත්ත්වයකට පත්වේ. ඒ එම තරුණියගේ හා ඇයගේ සොයුරාගේ පියා විසින් මිය යන්නට පෙරාතුව ජීවිත රක්‍ෂනයක් ලබාගෙන සිටි නිසා ඔහු මිය ගිය පසුව විශාල වන්දියක් ඔවුන්ට ලැබීමේ සතුටයි.

ඉන්පසුව එම ආයතනයේ මාමලා තෑගිබෝගද රැගෙන පැමිණ තමන් බැලීමට පැමිණෙන බවක්ද බොහොම සතුටින් පවසයි. මෙම දැන්වීමට ඔවුන් පෙනී සිට පවසන්නේ ජීවිතයේ අවිනිශ්චිත බව හමුවේ යම් දිනක තම දරුවන‍්ගේ යහපත තකා ජීවිත රක්‍ෂනයක් අදාල සමාගමේ අරඹන ලෙසයි.

වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් අරඹයා සහ තම අඹුදරුවන්ගේ යහපත තකා මෙවන් රක්‍ෂනයක් ගැනීම පිළිබදව දැනුවත් කිරීම වෙනත් කරුණකි. එහෙත් දෙමව්පියන් නැතිවුනද යහමින් මුදල් ලැබෙනවානම් ඔවුන් නැතත් කම්නැත. එසේත් නැතිනම් එයින්ද අත්ව ඇත‍්තේ සැපතකි යනුවෙන් හැගෙවෙන වෙළඳ ප්‍රචාරණය නම් කිසිසේත්ම අපේ රටේ ඔය පවතිනවාය කියන සාරධර්ම, ගුණගරුකබව සහ බටහිර රටවලට වඩා අපේ සෑමදේම හොදය යන මතයන් ගොඩනගන වටපිටාවකට ඔබින්නේද යන සැකයක් මතුවේ. 

පිටරට දැන්වීම් වලට හඩකවා ප්‍රචාරය කිරීමෙන් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය දැන්වීම් කලාවෙන් යැපෙන බොහෝදෙනෙකුට තම ජීවිකාව අහිමිවේය යන අදෝනාවද විටින් විට ඇසේ. එහෙත් මේ ආකාරයේ ලැජ්ජාසහගත දැන්වීම් කලාවක් අපිට දැක ගැනීමට සලස්වනවාට වඩා වෙනයම් කර්මාන්තයක යෙදීමට ඔවුන්ව යොමුකර ගුණාත්මකබවෙන් ඉහල විදේශීය දැන්වීමක් බලාගන්නට ඇත්නම් අද දකින පහත් පෙලේ ටෙලිනාට්‍ය හා උක්ත මාතෘකාවේ දැක්වුන ආකාරයේ දැන්වීම් බලා ලේ කෝපකරගන්නවාට වඩා දහස්වාරයක් හොදයයි සිතේ.

මෙම ලිපියෙන් දැක්වුනේ මේ ආකාරයේ එක් දැන්වීමක් පමණි. මේ ආකාරයේ දැන්වීම් රාශියක් රූපවාහිනිය ක්‍රියාත්මක කල මොහොතේ පටන් එය ක්‍රියාවිරහිත කරන තුරාවටම අපට දක්නට ලැබේ. ඇත්තෙන්ම නොමිලේ ලබාදෙන දේශිය නාලිකාවලින් මෙවන් විකාර බලනවාට වඩා මුදල් ගෙවා හෝ ගුණාත්මක රූපවාහිනී නාලිකා කරා යොමුවීම පුදුමයක් නොවේ...

Friday, February 3, 2012

බිත්තර අච්චු සමග තවත් නිවසට නවතම උපකරණ පෙලක් - New Stuff - 1

පසුගිය දවස් ගානෙම වැඩවල නිරත වෙලා හිටිය හින්දා දැන් ශාරිරිකව වගේම මානසිකවත් වෙහෙසකාරී බවකින් ඉන්නේ. ඒ නිසා වැඩිය ලියන්න තරම් හොද තත්ත්වයක නැතිනිසා අද හිතුනා ලංකාවේ තවම නැතත් හොද නිර්මාණශීලී උපකරණ පෙලක් ඔබට පෙන්වන්නට. අපි ඒවා බලන ගමන්ම කතාකරමු.
මාළු ටැංකියක්ද කොහෙද...

ඔෆිස් වල වැඩ කරන අයට නම් කියාපු භාණ්ඩේ

ෂුවර් එකටම ඇමරිකන්කාරයෝ හදපු එකක්

මේක එච්චර ප්‍රයෝජනයක් නැහැ වගේ

කැමරාවයි පෙන් ඩ්‍රයිව් එකයි දෙකම එකටද?

Key Board

‍බෝතලයේ ලේබලයේ තියෙනදේවල්මද දන්නෑ ඇතුලෙත් තියෙන්නේ?

ඔක්කොම එකට...

මාළු ටැංකිය + සින්ක්


බිත්තර අච්චු - 1

බියර් කොම්පැනිය පෙන් ඩ්‍රයිව් එකත් අත්පත් කර ගනී

ඇඳ

බිත්තර අච්චු - 2

බීම පුරවා ගැනීමේ නවතම ක්‍රමය

පොත් උඩ වාඩිවීම

‍මොකක් කියන්න කියලා තේරෙන්නේ නැහැ

ඔයගොල්ල කැමති නම් මේක ගෙදරදී හදා ගන්න පුළුවන්.
හැබැයි හයියට හදා ගන්න වේවි

ඉස්සරහට අලි වද වුනාම අපේ රටෙත් මේවගේ ඒවා තියේවි

ස්කෑනර් + පෑන
තව අළුත් ගැජට් ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහට බලමු...