Monday, February 13, 2012

ගබඩා සමීක්‍ෂනයකදී අත්විදි අත්දැකීම් හා යෝජනා - Physical Verification of Consumables

මේ ලිපිය ලියන්නට සිතුවේ කාරණා කිහිපයක් අපේක්‍ෂාවෙන්. පසුගිය දිනවල මාහට පැවරී තිබුන රාජකාරීයක් තමයි පරිභෝජන භාණ්ඩ පිළිබදව ගබඩා සමීක්‍ෂනයක්. ඒ කියන්නේ එදිනෙදා භාවිතා කර ක්‍ෂය වෙලා යන දීර්ඝ කාලයක් නොපවතින භාණ්ඩ පිළිබදව. මේ කාර්යය අවසානයේ පැවරුන තවත් දෙයක් තමයි මේ කාර්යය පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම. මම මේ පිළිබදව යෝජනා හා අත්දැකීම් පිළිබදව සටහනක් මේ වනවිටත් පිලියෙල කර අවසන්. ඉතින් මට සිතුනා ඔබටත් යම් විටක එය ප්‍රයෝජනවත් වේවි යන සිතුවිල්ලද සමග ඔබටත් එය කියවීමට ඉදිරිපත් කරන්න. ඒවගේම මේ පිළිබදව අත්දැකිම් ඇති අයෙක් වෙතොත් මා‍ නොදන්නා කරුණුද ඔවුන් ලබාදේවි යන අපේක්‍ෂාවද ඇතිව අදාල යෝජනා පිළිබදව ඉදිරිපත් කරමි.


2012 වසරේ *** පීඨයේ සිදුකෙරුන පරිභෝජනීය භාණ්ඩ පිළිබදව ගබඩා සමීක්‍ෂන ක්‍රියාවලියේදී අත්දැකීමට ලැබුන කාරණා සහ ගබඩා වල ඇති එම භාණ්ඩ පිළිබදව මෙන්ම ඒවා ලේඛණ ගත කිරීමේදී අනුගමනය කලහොත් යෝග්‍ය යයි අනුමාන කෙරෙන යෝජනා පහත දක්වමි.
ඇතැම් ස්ථාන වල ගබඩා වලින් භාණ්ඩ නිකුත් කිරීමට සහ ඒවා ලේඛණ ගත කිරීමට ප්‍රමාණවත් කාර්යය    මණ්ඩලයක් නොමැතිකම නිසා සිදුවී ඇති දෝශය නිවාරණයට එයට වෙනමම නිළධාරියෙකු පත් කිරීම.
මේ වෙනුවෙන් පත්කර සිටින්නේ තවත් රාජකාරි රැසක් ඉටුකල යුතු නිළධාරියෙකු බැවින් නිසි ලෙස භාණ්ඩ නිකුත් කර ඇතත් රාජකාරී බහුල වීම හේතුවෙන් එයට යොදවා ඇති නිළධාරී මහත්මයාට ඇතැම් විට ඒවා ඒ අවස්ථාවේම ඉන්වෙන්ට්‍රියට ලේඛණගත කිරීමට නොහැකිවීමෙන් පසුව එය අමතක වීමට භාජනය වීම නිසා ඉතිරිව තිබෙන භාණ්ඩ සංඛ්‍යව හා ‍ඉන්වෙන්ට්‍රියේ සටහන් අගය අතර පරස්පරතා ඇතිව තිබෙනු දක්නා ලදි.

ඉන්වෙන්ට්‍රියට ලේඛණය භාරව සිටින නිළධාරී මහත්වරුන්ට ඒ පිළිබදව සරල හා වැදගත් තොරතුරු එය යාවත්කාලීන කරගනිමින් පවත්වාගෙන යාම පිළිබදව දැනුවත් කිරීමක් සිදුකිරීම.
ඇතැම් ස්ථාන වල ඉන්වෙන්ට්‍රිය ලේඛණය පවත්වා ගෙන ගියත් එය නිසි ක්‍රමවේද‍ය අනුගමනය කිරීමෙන් තොරව සිදුකර ඇති නිසා එයින් බලාපොරොත්තුවන තොරතුරු ලබාගැනීම දුෂ්කර වූ අවස්ථද හමුවිය.

ඉන්වෙන්ට්‍රිය පරිගණක ආශ්‍රිතවද පවත්වා ගත හැකි ආකාරයේ සරල පරිගණක ක්‍රමලේඛණයක්වත් අඩුම තරමින් හදුන්වාදීම.
මෙම ගබඩා සමීක්‍ෂනයේදී විශාල කාලයක් වැයවීමට ‍එක් හේතුවක් වූයේ ඉන්වෙන්ට්‍රි පොතේ ඇතුලත් කරුණුද අදාල ලේඛණ වලට සහමුලින්ම ‍නැවත ලේඛණගත කරමින් අදාල භාණ්ඩ භෞතිකවද නිරීක්‍ෂනය කල යුතු නිසාවෙනි. මේ නිසා මේ භාණ්ඩ පිළිබදව මේ වෙනුවෙන් තැනූ පරිගණක ක්‍රමලේඛණයකට ඇතුලත් කල හැක්කේ නම් අවශ්‍ය මොහොතක ඒ භාණ්ඩ පිළිබදව මුද්‍රිත පිටපත් ලබා ගැනීමට හා පරිගණක තිරය ඔස්සේද නිරීක්‍ෂනය කරමින් කඩිනමින් භෞතිකවද නිරීක්‍ෂනය කල හැකි නිසා අනාගතයේ මෙවැනිම තොග ගබඩා සමීක්‍ෂනයකදී කාලය ඉතිරිකර ගැනීමට මෙන්ම එය කාර්යක්‍ෂම කරගැනීමට උපකාරී විය හැක. එසේම අදාල ඉන්වෙන්ට්‍රිය භාරව සිටින නිළධාරී මහත්වරුන්ටද මෙම කාර්යය එදිනෙදා ඉටුකිරීමේදී පහසුවක් වනු ඇත.
භාවිතා නොකරන, කල්ඉකුත්වූ රසායණික ද්‍රව්‍ය ගබඩා වලින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම
පරීක්‍ෂවට ලක්කල සෑම රසායණික ගබඩාවකම දක්නට ලැබුනේ ඇතැම් රසායණික ද්‍රව්‍ය වසර 40 කටත් වඩා පැරණි මෙන්ම සමහර ඒවා කිසිදා භාවිතා නොකල හෝ එක්වරක් හෝ දෙවරක් පමණක් භාවිතා කල පැරණි කල්ඉකුත්වූ රසායණික ද්‍රව්‍යද ගබ‍ඩා වල තබා ගැනීමට සිදුව තිබීමයි. මෙය ඉන්වෙන්ට්‍රි ලේඛණය පවත්වාගෙන යාමේදී බාධාවක්සේම ඒවා කල්ඉකුත්වූ නිසා අහිතකර ප්‍රතිඵල ඇති කරමින් තිබීම නිසා ‍එම ගබඩා භාවිතා කරන නිළධාරී මහතුන්ගේ සෞඛ්‍යයට ගැටළු ඇතිකීරමට හේතුවිය හැකියාවද පවතී එමෙන්ම ගබඩාවේ ඉඩකඩ ඒ වෙනුවෙන් වෙන්කිරීමටද සිදුවීම එම ගබඩා පවත්වාගෙන යාමේ කාර්යයටද බාධාකාරීවීමද සැලකිය යුතුය. මේ නිසා නැවත භාවිතා කල නොහැකි කල් ඉකුත්වූ රසායණික ද්‍රව්‍ය විනාශ කිරීමට, ඒ පිළිබදව විශේෂඥ දැනුම ඇති ආයතනයකට භාරදීම හෝ තවදුරටත් භාවිතා කල හැකි එහෙත් එම දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂන සදහා තවදුරටත් භාවිතා කිරීමක් සිදුනොකරන රසායණ ද්‍රව්‍ය *** පීඨයේ හෝ වෙනත් පීඨයක දෙපාර්තමේන්තුවක පරීක්‍ෂන සදහා ප්‍රයෝජනවත් නම් ඒවා ඔවුන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම.
භාවිතා නොකරන විද්‍යාගාර වීදුරු උපකරණ ඒවා ප්‍රයෝජනවත් වන වෙනත් දෙපාර්තමේන්තුවෙත ලබාදීම
ඇතැම් විද්‍යාගාරවල ගබඩා තුල ඇති වීදුරු උපකරණ දීර්ඝ කාලයකට පෙරාතුව පරීක්‍ෂන සදහා භාවිතා කල ඒවා වන අතර ඒවා පසුව නැවත භාවිතා කිරීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් මේවා නොකැඩී ආරක්‍ෂිතව පවත්වාගෙන යාමට සිදුවීම මෙන්ම ඒවා සදහා අමතර ඉඩක් වෙන් කිරීමට සිදුවීම හා ඇතැම් විට අබලන්ව ඇති ගබඩා වල වහලින් රිලව් වැනි සතුන් ඇතුළුවී අදාල වීදුරු උපකරණ කඩා දැමීම ගැටළුවක්ව ඇති නිසා යම් දෙපාර්තමේන්තුවකට තවදුරටත් එම වීදුරු උපකරණ ප්‍රයෝජනවත් නොවන්නේ නම් ඒවා ප්‍රයෝජනවත් වන වෙනත් දෙපාර්තමේන්තුවකට ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කල හැක්කේ නම් වඩාත් යෝග්‍ය යයි යෝජනා කරමි.
සුදුසු ගබඩා පහසුකම් නොමැති දෙපාර්තමේන්තුවලට ඒ වෙනුවෙන් සුදුසු ඉඩකඩක් වෙන්කිරීම හා නියමිත ආකාරයෙන් වාතාශ්‍රය නොමැති ගබඩා සදහා ‍එම පහසුකම් ලබාදීම.
ඇතැම් දෙපාර්තමේන්තුවල රසායණික ද්‍රව්‍ය ගබඩා කිරීමට නියමිත ආකාරයෙන් තැනූ ගබඩාවක් නොමැති නිසා වෙනත් කාර්යයක් වෙනුවෙන් තැනූ කුඩා කාමර  ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනු හා ඇතැම් ගබඩා වල නියමිත ආකාරයෙන් වාතාශ්‍රය නොලැබෙනු දක්නට ලැබුන අතර මේ නිසා එවන් ස්ථානවල රසායණික ද්‍රව්‍ය වල දුර්ගන්ධය හා ඒවායේ බලපෑම නිසා එම ස්ථාන වල රැදී සිටිමේදී හුස්මගැනීමේ අපහසුතා හා ඇස්වල වේදනාකාරී තත්ත්වයන්ද දක්නට ලැබුන නිසා සුදුසු රසායණික ගබඩා කිරීමේ පහසුකම් ඒවා අවශ්‍ය දෙපාර්තමේන්තුවලට ලබාදෙන ලෙසද යෝජනා කරමි.


2 comments:

  1. තොග පරිපාලනය සම්බන්ධව HHT එනම් හෑන්ඩ් හෙල්ඩ් ටර්මිනල් වර්ගයේ පරිඝනක භාවිතයෙන් ඉතාම විශිෂ්ඨ ප්‍රතිපල අත්කරගත හැකියි. ඒ මගින් භාණ්ඩ නිරීක්ෂණය කරන අවස්ථාවේදීම මවු පරිඝනකයේ තොග යාවත්කාලින කිරීමටත් තොගය සම්බන්ධ නිවැරදි දත්ත ඒ මොහොතේම ලබාගැනීමටත් හැකියාවක් පවතිනවා.

    ReplyDelete
  2. ඔය කටයුත්ත අපේ කාර්යාලයෙන් පාලනය වෙන ආයතන 90ක විතර හැම අවුරුද්දෙම කරනවා. ඒක කාර්යක්ෂම කරගන්න පොඩි එක්සෙල් ෆයිල් එකක ජෙනරල් ඉන්වෙන්ට්‍රිය පිටපත් කරගැනීම වුණත් ප්‍රමාණවත්. නමුත් ඒකට අකමැති පිරිසක් ඉන්නවා. එයාලට ඕන වැඩේ ගසාබසා දාල ඉවර කරන්න මිස හරියට කරන්න‍ නෙවෙයි. අපි වගේ අළුත් නිලධාරීන්ට කට දාන්නත් බෑනෙ ඕවට ඉතිං. ඕක අවුරුදු දෙකක් කරලා මට ඇති වුණා. පස්සෙ මම අධ්‍යාපන හේතු මත ඒ රාජකාරියෙන් මාව නිදහස් කරන්න කියල ලියුමක් ලොක්කට දීල වැඩේ මගඇරියා. නමුත් එතනදිත් ගැටළු ආවා. අපේ සේවාවෙ අභ්‍යන්තර ප්‍රශ්ණ වගයක් නිසා. ඒ හින්දා මේ අවුරුද්දෙ ආයෙමත් ඕකට සම්බන්ධ වෙනවා. කරන ටික හරියට කලාම ඉවරයි. රාජ්‍ය සේවයේ ඉද්දි ඔය හැම දේම කාගෙන ඉන්න එපැයි.

    ReplyDelete