Monday, September 12, 2011

ගුවනේ අනාගත හිමිකාරයන් දැක ගන්න ඔබත් කැමතිද? The 2011 Paris Airshow Le Bourget




අපේ රටේ නම් ගුවන් යානා ප්‍රදර්ශනයකදී බොහෝවිට දක්නට ලැබෙන්නේ අපේ විරෝධාර ගුවන් හමුදාව දැනට භාවිතා කරන ගුවන්යානා පමණයි. එහෙත් දියුණු බටහිර රටවලදී නම් ගුවන් යානා ප්‍රදර්ශනයකදී අනාගතයේ ගගන ආක්‍රමණය කරන විවිදාකාරයේ නව ගුවන් යානා රැසක් මෙන්ම ඒවා හැබෑවටම අහස්තලය සිසාරා සිය සුරුවිරුකම් පානා අයුරු පියවි ඇසින්ම දැකගත හැකියි. ලෝකයේ මෙවැනි ප්‍රධාන පෙලේම ගුවන් යානා ප්‍රදර්ශනයක් ජූනි 20 සිට 26 දක්වා ප්‍රංශයේ Le Bourget හිදී දැක ගන්නට ලැබුනා. මෙවර එය පැවැත්වුනේ අර්ධ ශතකයකට එකක් අඩුවෙන් එනම් 49 වන වරටයි. මේ ප්‍රදර්ශනයේ තවත් විශේෂත්වයක් වුනේ එය අධියර දෙකකට පැවැත්වීමයි. එනම් පළමු අධියර ලෙස ජුනි 20 සිට 23 දක්වා එය ගුවන් යානා මිලදී ගන්නට බලාපොරොත්තුවෙන ව්‍යාපාරිකයන් සහ විවිද රටවල නියෝජිතයන් හෙවත් Trade Visitors වෙනුවෙනුත්, ජුනි 24 සිට 26 දක්වා සාමාන්‍ය මහජනතාවට ලෙසත් දෙවන අධියර ප්‍රදර්ශනය පැවැත්වූවා. පුදර්ශනය සංවිධානය කරනු ලැබුවේ Salon International de l'Aeronautique et de ආයතනය වන අතර එය The French Aerospace Industries Association හි අනුබද්ධ ආයතනයකි. 


මෙම ප්‍රදර්ශනයේ ඉතිහාසය දෙසද එබිකම් කලොත්, මෙවර එය 49 වන වරට පැවැත්වූවද එය ආරම්භවී වසර 100 කටත් වැඩියයි පැවසූවහොත් ඔබ විශ්මයට පත්වනු නිසැකයි. එනම් මෙම ප්‍රදර්ශනය මුලින්ම පැවැත්වී ඇත්තේ 1909 දී ප්‍රංශයේ Grand Palais හිදීය. එසේනම් මෙවර කෙසේද මෙවැනි දීර්ඝ අතීතියක් ඇති ප්‍රදර්ශනයක් 49 වන වරට පැවැත්වෙන්නේ කියාද ඔබට ගැටළුවක් මතුවනු ඇත. එයට හේතුව නම් මෙම ප්‍රදර්ශනය ඔත්තේ අගයන් එන වසර වල පැවැත්වීම මෙන්ම ලෝකයේ ඒ ඒ අවධිවල සිදුවූ විවිද හැලහැප්පීම් නිසාද ප්‍රදර්ශනය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොවීමයි. පලමුවෙන්ම මෙම ප්‍රදර්ශනය 1909 සැප්තැම්බර් මස පැවැත්වීමෙන් අනතුරුව සිව් වතාවක් පළමු ලෝක යුද්දයට පෙර පවත්වා ඇත. ඉන්පසු තාවකාලිකව නතරවුන ප්‍රදර්ශනය නැවත 1919 දී පස්වන වරට පවත්වා තිබේ. ඉන්පසු නැවත 1924 දී පවත්වා ඇති මෙම ගුවන් ප්‍රදර්ශනය එතැන්සිට දෙවන ලෝක යුද්දය තෙක් සෑම වසර දෙකකට වරක් පවත්වා තිබේ. දෙවන ලෝක යුද්දයෙන් පසු මෙය 1946 දී පවත්වා ඇත. ඉන්පසුව 1949 දී පැවැත්වූ මෙය එතැන් සිට සෑම ඔත්තේ අගයන් එන වසර වල ජූනි මාසයේ මෙම ප්‍රංශ ගුවන් ප්‍රදර්ශනය දැක  බලා ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
1909 දී ප්‍රංශයේ, Paris හි Grand Palais  පැවති පළමු ගුවන් ප්‍රදර්ශනය

1989 දී 38 වන වරට පැවති ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුන 
සෝවියට් දේශයේ එකම අභ්‍යවකාශ ශටලය වන Buran හා 
එය ප්‍රවාහනය කරන යානය වන Antonov An-225 ගුවන් යානය
මෙවර ප්‍රදර්ශනය ග‍තහොත් එයට අන්තර්ජාතික ප්‍රදර්ශකයන් 2100 කට වඩා සහභාගීවී ඇති අතර 138,000 ක් Trade Visitors ද, 193,000 ක් සාමාන්‍ය ජනතාවද මෙය නැරඹීමට පැමිණ ඇත. මීට අමතරව මෙහි විස්තර සැකෙවින් පවසන්නේ නම් වර්ග මීටර 192,000 ක භූමි ප්‍රදේශයක ගුවන් යානා ප්‍රදර්ශනය කර ඇත. මෙහිදී ගුවන් යානා 140 කට වඩා ප්‍රදර්ශනයේදී දැකගන්නට ලැබී ඇති අතර එයින් 42 ක් ගුවන සිසාරා පියාසරකරනුද දැක ගැනීමට ලැබුනි. තවද රටවල් 88 ක නිල නියෝජිතයන් 205 දෙනෙකු සහ ‍ලෝකය පුරා සිටින මාධ්‍යවේදීන් 3000 ක්ද මෙය නැරඹීමට සහාභාගී වී ඇත.


ගුවන් යානා පමණක්මද මෙහිදී දැක ගත හැක්කේ? නැත. ගුවන් යානා එකලස් කරන ආකාරය, අභ්‍යවකාශ යානා හා චන්‍ද්‍රකා තාක්‍ෂන සංනිවේදන උපකරණ,  ගුවන් යානා එන්ජින් හා එම යානා වල තවත් විවිද කොටස්, නවීන ගුවන් යානා අවි ආයුද පද්දති,  නව නියමු පද්දති, ගුවන්යානා වල ඇතුලත නවීන සැකසුම්, ගුවන් යානා හා සම්බන්ධ විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික හා යොදාගන්නා ලෝහ එයට අදාල වන පරිදි සකස්කරගන්නා ආකාරයන්, ගුවන් යානායේ පිටත පෘෂ්ඨය සදහා යොදාගන්නා විවිද ක්‍රම ශිල්ප, නඩත්තු කටයුතු හා අමතර කොටස් පිළිබදව, ගුවන් යානය තුල කෙරෙන සේවාවන්, ගුවන් තොටුපලවල කෙරෙන කාර්යයන් හා ගුවන් තොටුපලවලදී යොදා ගන්නා උපකරණ ආදිය දැක ගැනීමට අවස්ථාව සලසා තිබින.
Pratt & Whitney PW4000 quarter scale model

Centauro VTOL UAS

IAI ETOP electrical tethered observation platform
The tiny Thales Spy Arrow UAV

IAI Harop Lon-endurance loitering wepons system



Belly of the beast - Inside the C-5M Super Galaxy heavy lift aircraft
මෙවර ප්‍රදර්ශනයේ කැපී පෙනෙනම ගුවන් යානයක් වූයේ 2010 ජූලි මාසයේ නිපදවුන සූර්ය බලයෙන් දිවා රෑ දෙකෙහිම ධාවනය කල හැකි සහ වෙනත් ඉන්ධනයක් අවශ්‍ය නොවන The Solar Impulse airplane ලෙස නම් කල ගුවන් යානායයි. 1600 kg ක බරින් යුතු මෙම ගුවන් යානය එකදිගට පැය 26 ක් සූර්ය බලයෙන් ගුවන්ගත කර තැබිය හැකි බව පැවසේ. මෙහි පියාපත් වල දිග  63.40 m දිගින් යුතුවිය.
Solar Impulse HB-SIA is a special guest at the 49th Paris Airshow

එසේම කාගෙත් අවධානය දිනාගත් තවත් නව ගුවන් යානායක් වූයේ වාණිජ කටයුතු සදහා මෑතක නිපදවුන මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානයක් වන Boeing 787 Dreamlinerගුවන් යානයයි. අඩි 235 අඟල් 2 ක් නැතහොත් මීටර් 71.68 දිග මෙම යානය, දිගින් අඩි 70 අඟල් 8 ක්ද (මීටර් 21.54) තටු දෙකේ මුළු දිග අඩි 211 අඟල් 5 (මීටර් 64.44) ක් විය. මගීන් 210-250 ක් අතර සංඛ්‍යාවක් රැගෙන Mach 0.85 ක් වේගයකින් එකවර 14,200 - 15,200 km ක දුරක් ගමන් කල හැකි මෙම යානය මේ වනවිට රටවල් 50 ක ගුවන් සේවා 800 ක විසින් ඇනවුම් කර ඇති බවද සදහන් වේ.

යුද බිමේ නියමුවන් රහිත ඔත්තු බැලීමේ යානායද මෙහි අඩුවකින් තොරව ප්‍රදර්ශනය වූ බව පැවසේ. ඒ අතරින් ලෝකයේ මේ දක්වා භාවිතා වූ එවැනි යානාවලට වඩා වෙනස් ආකාරයේ කුඩා එහෙත් ස්ථායිභාවයෙන් වැඩි භ්‍රමකයන් (rotor) 4 කින් යුතු Datron Scout යානායද සදහන් නොකර බැරි සොයාගැනීමකි. මෙය ක්‍ෂුද්‍ර ගුවන් යානා හෙවත් Micro Air Vehicle (MAV) ලෙස හැදින්වෙන කාණ්ඩයට අයත් ගුවන් යානයක් වන අතර මෙය නිපදවා ඇත්තේ දුෂ්කර පරිසර තත්ව යටතේ ගුවනේ සිට පිරික්සුම් කටයුතුවලට හා ගලවා ගැනීමේ කටයුතු වලට බව මෙය තැනූ Datron සමාගම පවසයි.

10X Optical Zoom කැමරාවකින් සමන් විත මෙය කිලෝ මීටර් 1.8 ක් දුරින් සිටින පුද්ගලයකු ග්‍රහණය කරගැනීමට සමත්බව කියන අතරම මෙහි lithium polymerබැටරිය ආධාරයෙන් වරකට 2.4 Km දුර ප්‍රමාණයක මෙහෙයුම් සිදු කල හැක. මෙයට ගුවන් ගත විය හැකි උපරිම උස ප්‍රමාණය මීටර් 500 ක් වන අතර උපරිම වේගය පැයට කි.මී. 35 කි.  යානයේ දිග අඟල් 31.5ක් , පළල අඟල් 31.5 ක් හා අඟල් 7.87කි.
Tablet PC touch-screen පාලක පද්දතියකින්ද සමන්විත මෙහි 5 Megapixels වූ කැමරාවට දිවා රාත්‍රී දෙකේදීම ඡායාරූප ගත හැකිවා පමණක් නොව ඒවා එසැනින්ම මෙහි ඇති wireless modem සම්ප්‍රේශනය කල හැකි අතර ඒවා එදිනෙදා භාවිතාවන, 802.11 b/h Wi-Fi තාක්‍ෂනය ඇති  iPhone, iPad, BlackBerry,හෝ laptop පරිගණකයක් මගින් නිරීක්‍ෂනය කිරීමේ හැකියාවෙන්ද යුක්තය.
මෙය නිපදවූ Datron සමාගම පවසන පරිදි මෙම යානයට අධික සුලං පවතින අවස්ථාවලදී, අහස වලාකුළුවලින් ගහණ අවස්ථාවලදී හා උශ්නත්වය 360C අවස්ථාවකදී උවත් සිය රාජකාරිය ඉටුකල හැකි අතර මුහුදු ජලයේ ලවණතාවයටද මෙය ඔරොත්තුදේ.
කෙසේවෙතත් තවම වාණිජ මට්ටමෙන් මෙය නිපදවානොමැති බව පැවසෙන අතර ලබන ඔක්තෝම්බරයෙන් පසු එසේ මිලදී ගත් හැකි මට්ටමට මෙම යානා නිපදවන බව හා එහිදී මෙයට සුදුසු මිලක් නියම කරන බව අදාල සමාගම පවසයි.

The Solar Impulse airplane  වැනි අනාගතයේ උග්‍රවියහැකි ඉන්ධන අර්බුදයට විසදුමක් මෙන්ම දිනෙන් දින පොසිල ඉන්ධන දහනය නිසා සිදුවන පරිසර දූශනයද වැලකිය හැකි ආකාරයේ අනාගතයේ අහසේ කිය හැකි ගුවන් යානා වලටද මෙම ප්‍රදර්ශනය තුල හොද පිළිගැනීමක් තිබින. මෙයට තවත් හොදම උදාහරණයක් නම් 2050 දී මගී ප්‍රවාහණයට යොදාගතහැකියැයි බලාපොරොත්තුවන  VoltAir ගුවන් යානායයි. මෙය මුළුමනින්ම විදුලිබලයෙන් ක්‍රියාත්මක වන අතර එය සදහා බලය ලබාගැනීමට ඊලග පරම්පරාවේ lithium-air බැට්රි යොදාගැනීමට අදාල සමාගම බලාපොරොත්තුවේ.

The VoltAir is a concept all-electric airliner, 
that could be flying within 25 years

ඔවුන් පවසන පරිදි මෙය සමහර විට 2050 ට ත් පෙර ඊලග වසර 25 තුලදීම ප්‍රායෝගිකව මෙම zero-emission hypersonic  මගී ගුවන් යානය දැකගතහැකි බවද, පැය 2 ½ ක් තුල  ටෝකියෝ සිට ලන්ඩන් වෙත ලගාවිය හැකිබවද කියා සිටි.

එසේම මෙම ගුවන් යානය නිපදවූ EADS ආයතනය  Mach 4 ක වේගයකින් යුතු ගුවන් යානයක් තැනීමටද පර්යේෂන කරමින් සිටින අතර එම ව්‍යාපෘතිය Zero Emission Hypersonic Transport හෙවත් ZEHST නම්වේ.


තවත් අනාගත ගුවන්යානයක් මෙන්ම අප මෙතෙක් නොදුටු ආකාරයේ යානයක් වන්නේ
D-Dalus යානයයි.

 

මෙහි සාමාන්‍ය ගුවන්යානයක මෙන් පියාපත් නොමැත. එසේම හෙලිකොප්ටරයක මෙන් ඉහලින් භ්‍රමණය වන භ්‍රමකයක්ද නොමැත. මෙයට ගුවන් ගත වීමට බලය ලබාදෙන්නේ යාන්ත්‍රිකව එකිනෙකට සම්බන්ධකර ඇති එකිනෙකට වෙනස් දිශාවලට භ්‍රමණය වන සිලින්ඩරාකාර ටර්බයින (mechanically-linked, contra-rotating cylindrical turbines) 4 ක් මගිනි. මේවා එකක් මිනිත්තුවකට වට 2200 ක් භ්‍රමණය වේ.
කෙසේවෙතත් මෙය තවම මිනිසකු රැගෙන ගුවන් ගත වීමට තරම් දියුණු කර නොමැති අතර දුරස්ථ පාලකයක් ආධාරයෙන් නියමුවෙකු රහිතව ගුවන් ගත කල හැකිවේ. එසේම මෙයද රළු කාලගුන තත්ව යටතේ වුවත් ගුවන් ගත කල හැකි බවද මෙහි නිෂ්පාදකයෝ පවසති.

කොන්කෝර්ඩ් ගුවන් යානා කලක් ලෝකයේ මගී ගුවන් යානා අතර පතාක යෝදයකුව සිටිය හැටි ඔබට අමතක නොවී ඇති. එහෙත් දැන් එම යානා ඉතිහාසයට එක්වී හමාරයි. එහෙත් අනාගත ලෝකයේ එම යානාවලට යම් සමානකමක් දැකිය හැකි යානයක්ද දැක ගත හැකිවුවහොත් ඔබ පුදුමයට පත්වීමටද ඉඩ ඇත. නමුත් තවම සංකල්පයම තත්වයේ ඇතත්  HyperMach SonicStar SSBJ යානා අනාගතයේ වේගයෙන් ලෝකය පුරා යාමට අවශ්‍ය ගුවන් මගීන්ට ඉතා හොද සේවයක් කරනු නිසැකයි.
Scale model of the HyperMach SonicStar SSBJ concept

Mach 3.5 ක වේගයක් ඇති හා අඩි 60,000 ක් එසේත් නැතහොත් කි.මී 18.9 ඉහල අහසේ පියාසර කරනු ඇතැයි බලාපොරොත්තුවන මෙම යානය පැය දෙකකටත් අඩුවෙන් නිව්යෝර්ක් සිට පැරිස් වෙතටත්, පැය 5 කින් නිව්යෝර්ක් සිට සිඩ්නි වෙත ලඟාවීමටත් හැකිවෙතැයි විශ්වාස කෙරේ.

SonicStar ගුවන් යානයට 54,700 thrust class Supersonic-Magnetic Advanced Generation Jet Electric Turbine (S-MAGJET) එන්ජින් දෙකකින් බලය ලබා දීමට මෙහි සැලසුම්කරුවන් බලාපොරොත්තුවන අතරම කොන්කෝර්ඩ් යානයේ භාවිතා වූ Rolls Royce 593 එන්ජිමට වඩා 30% ක ඉන්ධන ඉතිරියක්ද සිදුවන බව ඔවුන්ගේ මතයයි.

මෙම යානයක මිල නම් අධික වන අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් වනු ඇත. එසේම 2021 දී මෙම යානා පළමුවෙන්ම ගුවන් ගත කරවීමටද අදාල සමාගමේ බලාපොරොත්තුවයි.

ගුවන් යානා පමණක්ම නොව අනාතගතයේ විශේෂයෙන් 2050 පමන වන විට Airbus වැනි ලෝකයේ ප්‍රමුඛ මගී ගුවන් යානාවල ඇතුලතද කෙබදු ආකාරයෙන් නිර්මානය වනවාද යන්න පරිගණක ගත ආදර්ශ ඔස්සේ මෙවර ප්‍රදර්ශනයේදී පෙන්වා තිබින.


සාමාන්‍ය නරඹන්නන්ටනම් මෙහි ගුවන් යානා මිලට ගත නොහැකි වූවත්, ප්‍රදර්ශනය නරඹා එය සිහිවන්නට ගෙනයා හැකි සිහිවටනද මෙම ප්‍රදර්ශනයේදී මිලට ගත හැකි විය.

හෙට දින ගුවනේ හිමිකාරයන් රැසක් හා නව තාක්‍ෂනික මෙවලම් රැසක එකතුවක් ලෝකයටම මෙම ප්‍රදර්ශනය තුලින් දැක ගත හැකි වූවත්, එවා ලෝකය සුරක්‍ෂිත කිරීමට හා හිංසාකාරී ක්‍රියාවලට යොද නොගෙන සිටීම ලෝක බලවතුන්ගේ වගකීමයි.

15 comments:

  1. හරිම රසවත් ලිපියක් , ප්‍රදර්ශනය බැලුවා හා සමානයි කියල හිතෙනවා , ඒ තරම් තොරතුරු දැන ගන්නට ලැබුණා , ස්තුතියි..

    ReplyDelete
  2. එල එල ... විකල්ප ඉන්ධනා භාවිතාව දිරිමත් කරන එක තමයි මම හිතන විදිහට අපේ සියවසේ අභියෝගය වෙන්නෙ

    ReplyDelete
  3. හොඳ ලිපියක්. ස්තුතියි

    ReplyDelete
  4. මගේ හිතට වැඩිපුරම ඇල්ලුවෙ 1909 දී ප්‍රංශයේ, තිබ්බයි කියන පළමු ගුවන් ප්‍රදර්ශනයට.....

    ReplyDelete
  5. වෙනදා වගේම හුඟක් වටින ලිපියක්. ස්තූතියි දිනේශ්..

    ReplyDelete
  6. බුද්ධි
    ඒකෙ මොන දේට කියලා කිව්වොත් තවත් පැහැදිලියි (හික්)

    ReplyDelete
  7. "හිංසාකාරී නොවන ක්‍රියාවලට යොද නොගෙන සිටීම ලෝක බලවතුන්ගේ වගකීමයි." වෙකස් වෙන්න ඕනෙ නේද?
    ගොඩක් වටිනව. බොහොම ස්තූතියි.

    ReplyDelete
  8. @මහේෂ් නිශාන්ත,buwa,ඉෂාර ගුණවර්ධන,බුද්ධි, උදාර,Ishara සහ Andiya - ඔන්න හැමෝටම බොහොම ස්තුතීයි කිව්වා, ඒ වගේම Andiya කිව්වා වගේ පොඩි වැරැද්දක් ලිපිය අවසාන කරන මොහොතේ සිදුවෙලා තිබුනා. ඒකත් නිවැරදි කරා...

    ReplyDelete
  9. මේ බ්ලොග් එක නියමයි.... නිවීසැනසිල්ලේ කියවන්න දැනුම ගොඩාක් තියෙනවා.... ම්ම්ම්මම්ම් නිත්‍ය සාමාජිකයෙක් වුවත් කමෙන්ට් එකක් දැම්මේ අද....

    සුභ පතනවා... දිගටම කරගෙන යන්න....

    ReplyDelete
  10. ශ්‍රීමාල්September 12, 2011 at 12:19 PM

    කදිම ලිපියක්. අර යානයේ 1.8 දුරින් ඉන්න අය ග්‍රහණය කරගන්නව කියන්නේ කිලෝ මිටර් වලින් වෙන්න ඇති නේද?

    ReplyDelete
  11. @෴ හසියා ෴ - ස්තුතියි! නැවත එන්න...

    ReplyDelete
  12. @ශ්‍රීමාල් - ස්තූතියි! 1.8 කිලෝ මීටර් තමයි. ඒ ගැන කිව්ව එකටත් ස්තූතියි. එය නිවැරදි කරමි...

    ReplyDelete
  13. නියම සැලසුම් ටිකක් තියෙනවා. අනාතග ගුවන් යානා දැන් තියෙනවට වඩා සෑහෙන්න සුමට පෙනුමක් ගනියි. අර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල තියෙනව වගේම!

    ReplyDelete
  14. එළ නියම ලිපියක් ..........:D

    ReplyDelete
  15. very good ! ....
    //1989 දී 38 වන වරට පැවති ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුන
    සෝවියට් දේශයේ එකම අභ්‍යවකාශ ශටලය වන Buran හා
    එය ප්‍රවාහනය කරන යානය වන Antonov An-225 ගුවන් යානය//...... could you please clarify this.

    ReplyDelete