Monday, June 13, 2011

භීතිය අගසිට මුලට සහ මුල සිට අගට - සත්‍ය මිනීමරුවෙකුගේ ක්‍රියාදාමයන් ඇතුලත්ව තැනුන විවිදාකාර චිත්‍රපටි සමූහයක කැපී පෙනෙන අවස්ථා - The Texas Chainsaw Massacre

මා ඔබට මුලින්ම කියන්න ඕන මා නැරඹූ චිත්‍රපටි අතරින් භීතිය වැඩියෙන්ම දැනුන චිත්‍රපටි අතර මුලින්ම තබන චිත්‍රපටි දෙකක් වන්නේ 2003 දී තිරගතවූ The Texas Chainsaw Massacre හා 2006 දී තිරගත වූ The Texas Chainsaw Massacre: The Beginning යන ඒවායි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙවන කොටස ලෙස සැලකිය හැකි නිර්මාණය මුලින් සහ දෙවනුව මෙම චිත්‍රපටියේ ප්‍රධාන දුෂ්ඨ චරිතයන් ගොඩනැංවෙන ප්‍රථම කොටස ලෙස සැලකිය හැකි නිර්මාණය බිහිවීමයි. ‍ඒ කොහොමවුනත් මෙම චිත්‍රපටි දෙකේම භීතිය, ත්‍රාසය හා කුතුහලය මෙන්ම මතක හිටින ආකාරයේ කැමරාකෝණ ආදිය මෙන්ම වර්ණයන්ද මෙම චිත්‍රපටිදේකේම සිතට තදින් කා‍වැදෙන ආකාරයෙන් යොදවා ගෙන තිබීමයි.

අපි චිත්‍රපටි දෙකෙහි කතාව ගැන අවධානය යොමුකරන්නේ නම්, The Texas Chainsaw Massacre දී නිරූපණය වන්නේ මිතුරන් කිහිපදෙනෙක් චාරිකාවක් යමින් සිටියදී නීතිය රකින නිළධාරියෙකු විසින් ඔවුන් රදවා ගෙන ඉන් පසු ඔහු විසින් මෙම අය මෙම චිත්‍රපටිවල භීතිය ගෙන දෙන චරිතය වන Chainsaw මිනීමරුවාගේ ග්‍රහණයට හසුවන්නට ඉඩහැර මිතුරන්ගේ ඉරණම විසදීමට ඉඩහරින අයුරුයි.

The Texas Chainsaw Massacre: The Beginning හිදී මෙම මිනීමරුවා බිහිවන්නේ කෙසේද? මුලින් කී නීතිය රකින නිළධාරියා කවරෙක්ද? ආදිය මෙන්ම වියට්නාම් යුද්දයට යාමට පෙර චාරිකාවක නිරතවෙන මිතුරන් පිරිසකට මොවුන්ගෙන් සිදුවන දේ හා දුටු විට බිය ගෙන දෙන හුදකලාව තිබෙන විශාල නිවසකට මොවුන් රැගෙන යාමෙන් පසු සිදුවන දේ ගැන මෙම චිත්‍රපටියෙන් දැක ගත හැකියි. මෙම චිත්‍රපටි දෙක තමයි මෙම මාතෘකාවට අදාලව ලිපියේ ඔබට කැපීපෙනෙනම The Texas Chainsaw Massacre චිත්‍රපටි ලෙස හැදින්විය හැක්කේ.

නමුත් මෙයට පෙරද The Texas Chainsaw Massacre චිත්‍රපටි තැනී තිබෙනවා. ඒ අතරින් මුල්ම එක තමයි 1974 දී තිරගත වූ The Texas Chainsaw Massacre: චිත්‍රපටිය. එහිදී මිතුරන් පස් දෙනෙක් සිය සීයාගේ පැරණි නිවසට ගිය පසු  Chainsaw මිනීමරුවෙකුගේ ගොදුරු බවට පත්වන අයුරු පෙන්වා ඇතත් එය මා මුලින් කී චිත්‍රපටි අහලකටවත් නොඑන බව මගේ මතයයි. එසේවුවත් එය 70 දශකයේ ප්‍රචණ්ඩත්වය වැඩිම චිත්‍රපටි අතරටද වෙන් කර ඇති අතර අඩු වියදමකින් බිය ගෙන දෙන්නට තැනූ සිනමා නිර්මාණයක් අතරටද එය සැලකේ.

මීට අමතරව 1986 දී The Texas Chainsaw Massacre 2 චිත්‍රපටියක් තිරගතවී ඇති අතර එය මා නරඹා නැති නිසා ඒ ගැන යමක් මේ ‍මොහොතේ පැවසීමට අපහසුබව පැවසිය යුතුය.

දැන් අපි මොහොතකට සිනමා ලෝකයෙන් ඔබ්බට ගොස් කවුද මේ කතාවලට හේතුපාදකවූ සාහසික මිනීමරුවා කවුරුන්දැයි කෙටියෙන් විමසා බලමු. ඔහු Ed Gein. දැන් නම් ඔහුගේ නම කාලයේ වැලි තලාවෙන් මිනිසුන්ගේ මතකයෙන් වැසී තිබුනත් දශක පහකට පමණ පෙර නම් ඇමරිකාව බියෙන් තැතිගැන්වූ ප්‍රසිද්ධම භයාණක පුදගලයෙක්.  ඒ අවධියේ පුවත් පත් වල හෙඩිම වෙන්වී තිබුනේ ඔහු බවට ඒ අවධිය ගැන ලියවුන සටහන් වල  තිබෙනවා. කෙසේවෙතත් ඔහු අද ජීවතුන් අතර නොසිටියත්, ඒ ව‍ගේම ඔහු ගැන මතකයේ අද කාලේ මිනිසුන් අතර නොතිබුනත් ඔහුගේ ආත්මය වැලද ගත් පුද්ගලයන් දැන්ද සමාජයේ සිටින බව කිවයුතුයි.

1906 දී Wisconsin හි උපත ලැබූ Gein පසුකලෙක මෙම ප්‍රදේශයෙන් ඉවත්ව ගොවිපලක පදිංචියට ගොස් තිබෙනවා. ඔහුගේ පියා වඩුවෙකු වූ අතර පවුලේ මූලිකයා ලෙස ක්‍රියාකර ඇත්තේ ඔහුගේ මවයි. ඔහුට තව ‍සහෝදරයෙකුද සිට ඇති අතර මොවුන් දෙදෙනාම යන්තම් ගැටවර වියේදීම අයථා සබදතා වල පැටලී සිටීම ගැන ඔවුන්ගේ මව තරවටු කිරීම්ද කර තිබෙනවා. 1940 වන විට Gein ගේ පියා මිය යන අතර සහෝදරයාද ඉන් වසර 4 ක් ඉක්මගිය තැන මිය යන්නේ ගින්නකට හසුවී පිලිස්සීමෙනුයි. එයින් වසරක් ගිය තැන මව හෘදයාබාදකින් මිය ගොස් මෙම සිද්ධිදාමයට ප්‍රධානියා වන තැනැත්තා මෙලොව තනි වෙනවා.මෙයින් Gein කම්පනයට පත්වී තිබෙනවා.

කුඩා කල සිටම තමන් පිරිමියෙක්‍ද? නැතහොත් ගැහැණියක්ද? යන මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටි Gein    කිහිපවරක්ම තමන්ගේ පුරුෂභාවයේ නැතිකරගැනීමට "නිවසේදී තමන්විසින්ම" උත්සහ දරා ඇති අතර ඒ අවධියේ ස්ත්‍රී-පුරුශභාවය වෙනස් කිරීමේ සැත්කම් මිල අධික හා බියජනක දෙයක් නිසා එය වෛද්‍ය විද්‍යාත්මකව  සිදුකර ගැනීමද වැලකී ඇත. නමුත් ඔහු විටින් විට කාන්තාවක සේ  ඇදපැලදගෙන සැරසී තාවකාලිකව කාන්තාවක සේ සිටීමටද ලොල් බවක් දක්වා තිබේ.



1950 සිට 1954 දක්වා මෙම පුද්ගලයා සිය ප්‍රදේශයේ තිබූ සුසානභූමි තුනක මිනී වලවල් සාරා එවායේ මිහිදන් කර තිබූ මෘතදේහ ගොඩ ගෙන ඒවායෙන් සිය නිවස සරසා සිටි බව කියන අතර නිවසේ භාවිතාකරන උපකරණ සදහා හිස් කබල්, ඇට කැබලි ආදිය භාවිතා කර තිබූ බවද පසුව සොයාගෙන තිබෙනවා. එපමණක් නොව මෘතදේහවල මුහුණ ඉවත්කර එය වෙස්මුහුණක් ලෙස පැලද වෙනත් පුද්ගල වේශයක් ආරූඪ වී සිටි මෙම මානසික ව්‍යාධියකට ලක්වූ පුද්ගලයා තවමත් ජීවත්ව සිටින මනුෂ්‍යන්ට තර්ජනයක්ව සිට නැහැ.

එහෙත් 1954 න් පසුව එම තත්වය වෙනස් වී ජීවත්ව සිටින්නන් කරාද සිය මානසික රෝගයේ බලපෑම එල්ල කිරීමට පෙලඹී ඇත. මුල් වරට Wisconsin හි සිටි Mary Hogan නම් 51 වියැති කාන්තාව අතුරුදහන්ව ඇති අතර ඇයගේ නිවසින් හමුව ඇත්තේ ලේ විලක් හා .32-caliber pistol හිස් පතරම් ‍කොපුවකි. මේ අවස්ථාවේ සැකය  Ed Gein වෙත යොමුව ඇතත් එය ඒ අවස්ථාවේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවී නොමැති අතර පසුව වසර 3 කට පසුව ඔහුගේ නිවසින් සොයාගත්  .32-caliber pistol න් නිකුත්වූ උණ්ඩයක් බව එලිවුනි.

Ed Gein අත්අඩංගුවට ගත් අවස්ථාව
1957 දී නැවතත් 58 හැවිරිදි කාන්තාවක් අතුරුදන් වන අතර ඇයගේ පුතා පසුව ප්‍රකාශ කල පරිදි ඔහු හා මෙම කාන්තාව මිත්‍රව සිටි අතර පසුව එක් වරම ඇය අතුරුදහන් වී ඇති බව පවසා ඇත. පසුව Gein  ගේ නිවසින් ඇයගේ ප්‍රාණය නිරුද්ධ මල සිරුර හමුවන විට එය හිසසුන්ව තිබූ අතර සිරුරු කොටස් තැන තැන අලංකාරයට එල්ලා තිබූ බවද කියයි.

1958 දී Gein ට මිනීමැරුම් චෝදනා හා සොහොන් ගොඩදැමීමට එරෙහිව විභාගවන අතර එහිදී දීර්ඝ නඩු විභාගයකින් අනතුරව මොහු මෙවන් සාහසික ක්‍රියා සිදුකර ඇත්තේ උමතුභාවයට පත්වීමෙන් බව තීන්දු කොට ඔහු මානසික රෝහලකට යවනු ලැබ එහිදී 1984 දී මිය ගොස් ඇත.
කෙසේවෙතත් Gein පසුකාලයක සිය මිනී මැරුම් පිළිබදව පාපොච්ඡාරනය කර ඇති අතර තවත් එක් මිනී මැරුමක් සිදුකිරීමට තැත්කල බවටද පවසා තිබේ. එසේනමුත් ඔහු වසන්කරන ලද තවත් මිනී මැරුම් කිහිපයකටම ඔහු වගකිවයුතුබව ආරක්‍ෂක අංශ විශ්වාස කර තිබේ.

වැදගත්ම කරුණක් ඇත. එනම් The Texas Chainsaw Massacre කිහිපයේදී මිනීමරුව Chainsaw එකක් ආධාරයෙන් මිනීමරන බව අපිට සිනමා තිරයේ පෙන්වූවත් සත්‍ය මිනීමරුවා මිනී මරා ඇත්තේ වෙඩි තැබීමෙනි. එසේ වුවත් ඔහු ගැන පැවසූ බොහෝකරණු චිත්‍රපටිය තුලදීද නිරූපනය වන බව ඔබ මෙම චිත්‍රපටි නැරඹුවේ නම් දැක ගත හැකිවේ.

මෙම  The Texas Chainsaw Massacre චිත්‍රපටි වල පමණක් නොව වෙනත් ලෝ සුපතල සිනමා නිර්මාණ කිහිපයකටද මෙම පුද්ගලයාගේ කෙරුම්කාරකම් පාදක වී ඇති අතර ඒවා අපි පසුව ලිපියකදී කතාකරමු...


11 comments:

  1. බලන්න අකමැතිම මතෘකාවක බයිස්කෝප් 1 ක් ..... , හොද වෙලාවට තවම අපේ රටේ ඔය වගේ මානසික රෝගීන් නෑ ..........

    ReplyDelete
  2. 2000 වසරේ දි මේ පුද්ගලයගේ නමින් ම ෆිල්ම් එකක් රිලීස්වෙලා තියෙනවා. කොහොමවුණත් ඒ ගැන මං දැනගත්තෙත් ඔබේ ලිපිය කියවල මේ සම්බන්ධයෙන් තවදුරටත් හොයද්දියි.

    ReplyDelete
  3. Ed Gein ගෙ මේ කතාව කියවෙන චිත්‍රපටයක් බැලුව. ඒත් නම මතක නෑ. සමහර විට උදාර කියන 2000 වසරේ තිරගතවූ චිත්‍රපටය වෙන්න ඇති. බියකරු දර්ශණ තමයි තිබුණෙ.

    ReplyDelete
  4. @sameera - මේ වගේ මාතෘකා ගැන තියෙන චිත්‍රපටි සුන්දර අත්දැකීමක් විදගන්න බැරි එකක් තමයි. හැබැයි මේ වගේ සමහර නිර්මාණවල සිනමාවේ දැකගන්න ලැබෙන නිර්මාණාත්මක ලක්‍ෂන දැක කියා ගැනීමේ අරමුනින් බැලිය හැකියි. අපේ රටේ මෙතරම් උත්සන්නබාවයට පත්වුන මානසික රෝගීන් නම් අඩුයි තමයි. ඒත් මෙවැනි අය‍ගේ ආත්මය වැලද ගත් දාමරිකයන් පසුගිය කාලේ පුරාම අපේ රටෙත් විවිද අපරාධකල බව අමතක කරන්න බැහැ...

    ReplyDelete
  5. @උදාර & ``` Outsider``` - ඒ ගැන මම දැනසිටියේත් නැහැ. ස්තූතියි දැනුවත් කලාට ඉදිරියේදී සොයාගන්න හැකි වුනොත් එයත් බලන්න ඕන...

    ReplyDelete
  6. මමනම් කොහොමත් ආසයි true stories බලන්න ! අවසන් වතාවට බැලුවේ The Way Back , ඔත්තුවට ස්තුතියි ! අනිවා මේකනම් බලනවා

    ReplyDelete
  7. @රොකියා | Udara - ඔව් මේක සත්‍ය සිදුවීමෙන් තරමක් වෙනස් ආකාරයක් ගත්‍තත් හොද නිර්මාණයක්...

    ReplyDelete
  8. මට නම් බෑ ඕව බලල හීනෙන් බය වෙන්න .

    ReplyDelete
  9. @Bindi - මේවනම් බැළුවහම හීනෙන් විතරක් නෙමෙයි මහ දවලුත් බය වෙන්න පුළුවන්...

    ReplyDelete
  10. මේවගේ ඒවා බලන්නනම් වැඩි කැමැත්තක් නෑ. ස්තූතියි බෙදා ගත්තාට

    ReplyDelete
  11. @තාරක Dilsh@n - හිංසාකාරී දේ නම් කොහොමත් අනුමත කරන්න හෝ බැලීමට ප්‍රිය උපදවන්නේ නැතුවා තමයි. ඒත් සිනමාව තුල මෙබදු චිත්‍රපටිවලටත් ස්ථානයක් වෙන් කර ඇති නිසා මෙන්ම නිර්මාණකරුවන් එවැනි නිර්මාණයක් කිරීමට වැයකරන වෙහෙස ගැන සැලකූ කල මෙවැනි නිර්මාන අපගේ හරසුන් බොලද නිර්මාණවලට වඩා ඉදිරියෙන් සිටිනවා...

    ReplyDelete