Saturday, June 25, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? ආගම මායාවරුන්ට අබිංවලටත් වඩා වැඩියෙන් වටිනා දෙයක් විය- 3 කොටස

දෙවන ලිපියේදී අපි සම්භාව්‍ය යුගය හෙවත්  Classical Period ගැන කතාබහ කරමින් සිටි අතර එය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය නැතහොත් එම ශිෂ්ඨාචාරයේ හිනි පෙත්තට නැගි යුගය ලෙස හැදින්වූයෙමු. තෙවන ලිපිය අරඹමින් එම යුගයේ තවත් ප්‍රධානතම අංගයක් වන මායාවරුන්ගේ ආගම් නැමති මාතෘකාව ඔස්සේ නැවතත් මායාවරුන්‍ගැන හා ඔවුන්ගේ ආන්දෝලනාත්මක ලිපිපෙලේ තෙවැන්න අරඹමු.

ආගම්
Hunab Ku දෙවියන්ගේ සංකේතය
පුරාතන ශිෂ්ඨාචාරවල ආගමික වශයෙන් ඇති සංකීර්ණත්වය මායාවරුන් තුලද දක්නට ලැබුනි. විශේෂයෙන් ඇමරිකානු ප්‍රධාන පුරාතන ශිෂ්ඨාචාරයන් වන මායා, ඇස්ටෙක් හා ඉන්කාවරුන් පොදුවේ විශ්වාසකල පරිදි විශ්වය ප්‍රධාන කොටස් තුනකින් යුතුවිය. එනම් දෙව්ලොව, පෘතුවි පෘෂ්ඨය හා පාතාල ලෝකයයි. එපමණක් නොව ඔවුන් පුළුල් ලෙස විවිද දෙවිවරුන් සහ දේවතාවියන්, විවිද අද්භූත බලවේග කෙරේ තදින් ඇලී සිට ඇති අතර අහසේ තරු, ග්‍රහලෝක ආදියටද ආගමික වශයෙන් වැදගත් කමක් දී තිබූ අතර අහසේ ඒ ඒ කලාපද ඔවුන්ගේ දේව ඇදහිල්ලට අදාලවිය. මෙම ප්‍රධාන ශිෂ්ඨාචාර තුනේම තව ‍පොදු ලක්‍ෂනයක් වූයේ ආගම හා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය අතර ගසට පොත්ත මෙන් ඇති තදබල බැදීමයි. මෙම ඇදහීම් සදහා විශේෂිත වූ ආගමික වත් පිළිවෙත්, පූජකයන්, ස්ථාන හා එම දෙවියන්ට ආවේණික වර්ණයන්ද තිබී ඇත.

මායාවරු ඇදහූ දෙවියන් අතරින් ප්‍රධානම දෙවියා Hunab Ku ලෙස හදුන්වා ඇති අතර එම දෙවියා ලෝකයේ මැවුම්කරු ලෙස ඔවුන් හැදින්වූ අතර ඔහු මිනිසාට වඩා ඉතා ඉහල ශ්‍රේෂ්ඨත්වයක් ඇති අයෙකු ලෙස ඔවුන්ගේ විශ්වාසය විය.

Itzamna දේවතා ස්වරූපය
එසේම ඔහු පෙනී සිටින තවත් ස්වරූපයක් මායාවරු Itzamna ලෙස හදුන්වාගත් අතර එය අකාශයට නැතහොත් ඔවුන්ගේ විශ්වාසය අනුව දිව්‍යලෝකයට අධිපතියා ලෙසද, දහවලට හා රාත්‍රියට අධිපතියා ලෙස හා ලේඛණයට හා ඖෂධ පිළිබදව දෙවතාවාලෙසද මායාවරුන්ගේ ගරුබුහුමනට ලක්විය.

Kinich Ahau 
Kinich Ahau යනු හිරු දෙවියායි. එම දෙවියා, Itzamna දෙවියාගේ තරුණ ස්වරූපය බවට මායාවරු විශ්වාස කර අදහා ඇත. තව ආකාරයකින් ඔවුන් සිතා ඇත්තේ Itzamna දෙවියාගේ පුතා, Kinich Ahau ලෙසයි. 

සද දෙවියා දෙයාකාරයකින් අදහා ඇති අතර සදේ මහළු කාලය Ix Chel දෙවියා ලෙසත් තරුණ කාලය Ix Ch'up දෙවියා ලෙසත් ඔවුන් සලකා ඇත.
Yum Kaax
 කෘෂිකර්මාන්තයේ යෙදුන සාමාන්‍ය ජනයා බහුලව ඇදහූ දෙවියෙක් Yum Kaax..මෙම දෙවියාබඬඉරිගුවලට සම්බන්ධ දෙවියා ලෙස ඔවුන් සැලකූ අතර ඔවුන්ගේ තවත් වැඩියෙන් ඇදහීමට ලක්වූ දෙවියා වූයේ Chacs හෙවත් වැසි දෙවියාය. මෙම වැසිදෙවියා ලෝකයේ කෙලවරේ විසූ බව මායා විශ්වාසයයි. අකුණු වලටද අධිපතිවූයේ මෙම දෙවියා බව මායා විශ්වාසයයි.

කාන්තාවන් පමණක් ඇදහූ දෙවිදෙවතාවන්ද සිට ඇත. Ix Chel දෙවියා එවැනි කාන්තාවන් විසින් පුදපූජා කල දෙවියකුවන අතර එම දෙවියා සඳට, ජලයට, ප්‍රතිකර්ම සදහා, දරු උපත් සදහා මෙන්ම පෙහෙකම් කටයුතු සදහාද අධිගෘහිත දෙවියා විය.
Ix Chel

සියළුම මායාවරු ඇදහු දෙවියා Ixtab නම් විය. මෙම දෙවියා අධිපති වූයේ සියදිවි නසා ගැනීමටය. මායා  විශ්වාසය අනුව සියදිවි හානිකරගන්නා විශේෂ දිව්‍යලෝකයකට යාමට වාසනාව ලැබූවෙක් විය. එසේම සෑම දිනයක්, මාසයක් හා වසරක් පාලනය කිරීමටද දෙවියන් මැදිහත්වූ බව ඔවුන්ගේ විශ්වාසයයි.
Ixtab

මායා ශිෂ්ඨාචාරය තුල දෙවියන් හා සංනි‍වේදනය සදහා බොහෝ පූජා විධි මෙන්ම උත්සවද රැසක්විය. ඔවුන්ගේ නව වසර ජූලි මාසයෙන් ඇරඹී ඇත. මෙම මාසයේ විශේෂයෙන්ම ඔවුන් දෙවියන් පුදා ඇති අතර ඊට අමතරව හදිසි අවස්ථාවන් ලෙස සැලකූ දුර්භීක්‍ෂය, ඉඩෝර කාල, සුලිසුලං වැනි අවස්ථාවලදීද දෙවියන්ට ගරුත්වයෙන් යුතුව විවෘත ප්‍රදේශක ඒකරාශී විපුදපූජා පවත්වා ඇත. පිරිමින් හා කාන්තාවන් අලංකාර පිහාටුවලින් වර්ණවත් වූ ඒ ඒ නිලයන් හදුනාගත හැකි ඇදුම් හා හිස්පලදනා පැලද, සිවුරුහම්කරමින්, ආගමික වාක්‍ය කියමින්, නලා පිඹිමින්, බෙර වයමින් හා අත්වල හා පාදවල සවිකරගත් සීනු නාද කරමින් නට නටා දෙවියන් පුදා ඇත. එසේම තව ආගමික වත් පිළිවෙතක් වී ඇත්තේ රත්වූ ජලයේ ස්නානයයි.

එසේපමණක් නොව මෙවැනි අවස්ථාවල ආගමික පුදපූජාවක් ලෙස ඔවුන් පියවි සිහියෙන්ද සිට නොමැති බව සදහන් වේ. ඒ සදහා මත්වෙන බීමක් වූ balche ද පානය කර ඇත. එයින් පමණක් සෑහිමකට පත්වී නැත සිතින් විවිද විකාර චිත්තරූප මවා ගැනීමට උපකාරීවන මත්ද්‍රව්‍යද ඔවුන් භාවිතයට ගෙන ඇත ඒවා විශේෂිත හතු ඇසුරෙන් හා ඔවුන් දුම්පානයට යොදාගෙන ඇති ප්‍රභල මතවීමේ හැකියාවකින් යුතු දුම්කොල විශේෂයකින් සිදුකරගෙන ඇත.

තරුණ වංශාධිපති මායාවරු පාරිශුද්ධ වූ  ක්‍රීඩාවක් ලෙස සැලකූ ball game ලෙස හැදින්වෙන ක්‍රීඩාවක් සෙල්ලම් කර ඇත.

 මේ සදහා වූ විශේෂිත අංගනයන්ද තනා තිබිනි. මෙම සෙල්ලම ක්‍රීඩාවක් ලෙස හැදින්වූවත් මෙය එක්තරා අතකින් සමහර අවස්ථාවලදී පරාජිත පිලට මාරාන්තික විය. මන්ද සෑමවිටම නොවුනත් ඇතැම් අවස්ථාවලදී පරාජයට පත්වන පිලට හෝ එහි නායකයාට අත්වන ඉරණම මරණය වූ බැවිනි. මෙම ක්‍රීඩාව ගැන සැකෙවින් දක්වතොත් මෙසේය.මෙයට ‍යොදාගත් අංගන නැතහොත් "court" ඉංග්‍රීසි කැපිටල් “I” හැඩයෙන් හා විවිද ප්‍රමාණයෙන් තිබූ බව පැවසෙන අතර විශාලතම අංගනය අඩි 459 ක් දිග හා අඩි 114 ක් පළල එකක් බව කිව යුතුය. ‍අංගනය දෙපසින් ඇති බිත්තිවල උස අඩි 26 ක් පමණ වී තිබේ. 
Great Ball Court
 මෙය කණ්ඩායම් ක්‍රීඩාවකි. කණ්ඩායමකට ක්‍රීඩකයන් 2 සිට 5 දක්වා ඇතුලත්ව තිබේ. ‍යොදා ගත් බෝලය රබර් වලින් සාදන ලද එකක් බව කියන අතර එය අඟල් 12 ක පමණ විශ්කම්භයෙන් හා කිලෝග්‍රෑම් 8 ක පමන බරකින් යුක්තවූ බවද පැවසේ. 

මෙහිදි කලයුතු ක්‍රීඩාව වූයේ මෙම ක්‍රීඩා අංගනයේ බිත්තියක ඉතා ඉහල උසක ඇති ඉහත කී බෝලය ඇතුල්කල හැකි ප්‍රමාණයේ සිරස් අතට පිහිටි පාශානමය මුදුවක් තුලින් බෝලය යැවීමයි.

මෙය වර්තමාන පාපන්දු ක්‍රීඩාවටද යම් නෑකමක් කීවාද කියා සිතෙන්නේ මෙහිදීද දෙපිලේ ක්‍රීඩකයන්නට පන්දුව අතින් ඇල්ලීමට තහනම්වීමයි. අතින් ඇල්ලීමෙන් තොරව පන්දුව කෙසේ හෝ මුදුව තුලින් යැවිය යුතුවූ අතර මෙය අසීරු දෙයක් බවද සදහන් කරයි. එනිසා මෙම පන්දුවට පහර දිය යුතුවූයේ කලවයෙන්, උකුලෙන් හා බාහුවෙනි.මේ ‍බෝල ක්‍රීඩාව අවසන් වන්නේ එක් පිලක් හෝ මුදුව තුලින් බෝලය යැවූ විට හෝ ‍බෝලය මොනයම් අවස්ථාවක කිසියම් කණ්ඩායමක් අතින් බිමට පතිත වුවහොත් එවිටද ක්‍රීඩාව අවසන් වේ.

බෝලය අතින් ඇල්ලීමට නොහැකි නිසා මෙය පාපන්දු ක්‍රීඩාවට සමාන යයි පෙනුනත් මෙය සිදුකරන විට අදින ලද ඇදුම් ආයිත්තම් ඇමරිකාවේ ක්‍රීඩා කරන ඇමරිකන් පාපන්දු ක්‍රීඩාවට ආසන්න බවක් දක්වයි. එනම් මායා ක්‍රීඩකයන් මුව දඩයමේ යන්නා සේ දිස් වී ඇති අතර හිස් වැස්මකින්ද, දනහිස් සදහා ආවරණද (Knee Pads), උරහිස් සදහා ආවරණද (Shoulder Pads), පාවහන්, අත්ආවරණ, වළළු (Wrist bands) හා ඉණ පටියකින් (Padded Belts) සන්නද්ධවී සිට ඇත. මෙම ඇදුමට ස්පාඤය ජාතිකයන් Yugo ලෙස හදුන්වා ඇති අතර මෙම ඇදුමට තවත් සුවශේෂී අංගයක්ද තිබී ඇත. එනම් බඩවටා පැලද සිටි බව කියන අශ්වලාඩමක හැඩයෙන් යුතු ඝන ලීයකින් නිමවන ලද පලිහයි.

බෝල ක්‍රීඩාව ගාම්භීරත්වයෙන් යුතු ආගමික පූජා චාරිත්‍රවලින්ද යුතු වැදගත් උත්සව අවස්ථාවක් වූ බව කියන අතරම එය සදහා ඉහල පෙලේ ආගමික පූජකවරුන් මෙන්ම රාජ්‍යයේ ඉහලපෙලේ පාලකයන්ද මෙම අවස්ථාව නැරඹීමට හා ඒ ඒ චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වී තිබේ.

තරඟයේ ජයග්‍රාහකයන්ට කාගෙත් ගරුසැලකිලි වලට ලක්විය. එහෙත් පරාජිතයන්ට ඇතැම් අවස්ථාවලදී එතරම් සුභදායක තත්වයක් හිමිනොවීය. එම කණ්ඩායමටම හෝ එහි නායකයාට දෙවියන් සතුටු කිරීමට හා එනිසා ජීවත්ව සිටින්නගේ කෘෂිකර්මය, ව්‍යාපාර හා සෞඛ්‍යය දියුණූවීම වෙනුවෙන් දිවිපිදීමට සිදුවූ අතර ඔවුන්ගේ දේහ ක්‍රීඩා අංගනය යටම වලලා ඇති අතර හිස් කබල් මෙම ක්‍රීඩාවේ පන්දුව තැනීමෙදී එහි මධ්‍යය සදහා යොදාගෙන ඇත. 

කෙසේවෙතත් මෙම ක්‍රීඩාව එකල අතිශයින් ජනප්‍රිය එකක් වී ඇති අතර එය නැරඹීමට විශාල ජන සහභාගීත්වයක් මෙන්ම මායා ශිෂ්ඨාචාරය පැවති ප්‍රදේශවලින් මෙම බෝල ක්‍රීඩාව සිදුකල අංගනයන් සිය දහස් ගණනකගේ නටඹුන්ද හමුවී ඇත.

බොහෝ ආගමික උත්සව දෙවියන් සතුටු කිරීම උදෙසාවූ බිලිපූජා ආදියෙන් බහුල වී ඇත. මෙම බිලිපූජා සිදුකර ඇත්තේ විවෘත ප්‍රදේශ වල තනා ඇති සුවිශාල පිරමීඩ වල මුදුනේදීය. මෙම පිරමීඩ මුදුනට නැගීමට පඩි විශාල ගණනකින් සමන්විත පියගැට පෙලවල් තිබූ අතර අල්තාරය මුදුනේ විය. මෙම මුදුනේ ඇති පූජ්‍යස්ථානයේ දෙවියන් වැඩ සිටින බවට මායාවරු විශ්වාස කල අතර එය කැටයමින් හා බිතුසිතුවමින් අලංකාර කර තිබූ අතරම වහල සදහා යොදා ගෙන තිබූ කැටයම් සහිත පාශානමය පුවරුව roof comb ලෙස හැදින්වීය. මෙහි අල්තාර‍යට ඉදිරියෙන් දෙවියන් සදහා සුවද ධූප වල දුමින් සුවදවත් කර තිබූ අතර  දෙවියන්ට පිදීමට ධාන්‍ය, පළතුරු හා ඇතැම් බැතිමතුන් රුධිරයද රැගෙන විත් ඇත. එපමණක්ද? නැත. අතිභක්තිමත් බැතිමතුන් සිය තොල්, දිව පමණක් නොව සිය රහස් අවයවද උල් කටුවලින් විද දෙවියන් සතුටුකර ඇත. 

ඊටත් එහා ගිය බැතිමතුන් බිලිපූජා පැවැත්වීමටද මැලිවී නැත. ඒ සදහා කුඩා දරුවන්, වහළුන් හා යුද්දවලදී අල්ලා ගත් සිරකරුවන් යොදාගෙන ඇත. මෙම අසරණයන් නිල්පැහැයෙන් පින්තාරු කොට ඉන්පසු ආගමානුකූලව පිරමීඩ මුදුනේදී මරාදමා ඇත. එහිදී එක්වර ඊතලයකින් විදීමකින් හෝ ඔහුගේ අත්පා අල්ලා ගෙන සිටියදී “අතිඋතුම් පූජකයන් මෙම නරබිල්ලේ පපුව flint ගලින් තැනූ ශුද්ධවූ පිහියකින් කපා හදවත එලියට ඇද අදාල බිලිපූජා දේවකාරිය ඉටුකර ඇත. යුද්දවලදී අල්ලා ගන්නා පාලකයන්වද බිලිදී ඇති අතර එවිට පොරොවක් ආධාරයෙන් අංගඡේදනය කොට එම කටයුත්ත කර තිබේ.

සාමාන්‍යයෙන් සම්භාව්‍ය යුගයේදී බලවත් පූ‍ජක පැලැන්තියක් සිටි බව කියතත්, ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය නම් එම කටයුත්තත් රජු හෝ රැජින විසින් කල බවයි. තව අයගේ මතය වන්නේ වංශාධිපතුන්ගේ එක් පෙලපතකින් මෙම පූජකයන්වීමට පුහුණුවලත් අය සිටි බවයි. කෙසේවෙතත් ස්පාඤය ආක්‍රමණ සිදුවන කාලයේ බලවත් පූජක පැලැන්තියක් සිටිබවට මතයක් තිබේ.  මෙම ආක්‍රමණය සිදුවන අවධිය වන විට සෑම නගරයකම හෝ රාජ්‍යයක ප්‍රධාන පූජකයකු සිට ඇති අතර ඔහු Ahaucan May ලෙස හදුන්වා තිබේ. මෙම ප්‍රධාන පූජකයා මායාවරුන්ගේ දිනදර්ශනයේ, ඔවුන්ගේ පූජනීය වංශකතා, ඔවුන්ගේ ඉතිහාසය හා ජ්‍යොතිශසටහන් පිළිබදව භාරකාරයද විය. ඔහුගේ මෙම තාරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම මත ඉදිරියේ සිදුවන චන්‍ද්‍රග්‍රහණ හෝ සූර්යග්‍රහණ පිළිබදවද අනාවැකි කීමට හැකියාව තිබූ බව කියයි. තවද පූජකයන්ගේ වගකීමක් වූයේ මායා ජනතාව වෙත තම ඉතිහාසය හා මාය hieroglyphic ලියන ආකාරය පිළිබදව ඉගැන්වීම හා එය ප්‍රචලිත කරවීමයි.

ප්‍රධාන පූජකයාට පහලින් තිබූ සහායක තනතුර ahkinob හෙවත් “they of the sun” ලෙස හදුන්වා ඇත. ඔවුන්ට දෛනිකව සිදුකල යුතු කාර්යයන්විය. එනම් සිද්ධස්ථානයේ ගිණිමැල දැල්වීම, සුවදකාරක ද්‍රව්‍ය දැල්වීම හා දිනපතා දෙවියන් වන්දනාවයි. එසේම මෙම පහළ ශ්‍රේණීයේ පුජකයන් විවිද ජ්‍යොතිශ කරුණු අරඹයා පැමිනෙන්ට උපදෙස් දීම හා විවාහ ආදී කටයුතු සදහා සුභ දිනයන් පිළිබදව දැනුවත් කිරීම හා දරුවන්ට නම් තැබීමද කර ඇත.

මෙලෙස තදබල ලෙස ආගම හෝ තම විශ්වාසය දිනූ ඇදහිලි ක්‍රමකෙරේ ඇලී ගැලී සිටි මායාවරු පිළිබදව මෙවැනි කෙටි සටහනකින් විස්තර කල නොහැකි වුවත් අපේ ප්‍රධාන මාතෘකාවට අදාල වන කරුණක් ඔවුන්ගේ ආගමික මතිමතාන්තර තුලින්ද හමුවේ. එය මෙසේ විස්තර කල හැක. මායාවරුන්ගේ විශ්වාසය අනුව විශ්වය කිහිපවිටක්ම විනාශවනවාසේම එය නැවත නිර්මාණය වීමද සිදුවේ. මෙය සෑම වසර 5000 කට වරක් වන සේ චක්‍රයක් ලෙස සිදුවන බවද ඔවුන්ගේ මතයයි. ඒ අනුව දැන් පවතින් විශ්වය ඇරඹී ඇත්තේ ක්‍රි.පූ. 3114 දීය. ඒ අනුව සැලකූ කල වසර 5000 පිරෙන්නේ ක්‍රි.ව.2012 දීය. ඒ නිසා 2012 දී මේ විශ්වය විනාශවී යා යුතුය. මෙලෙස විශ්වය විනාශ වී යාම හා නැවත ප්‍රතිනිර්මාණය වීම සදාකාලිකවම සිදුවන දෙයක් බවද ඔවුන් තරයේ විශ්වාස කර ඇත. එපමණක් නොව දැන්පවතින්නේ කලින් විශ්වයේම අනුපිටපතක් බවත්, ඊලඟට ඇතිවන විශ්ව‍ය දැන් විශ්වයේ අනුපිටපතක් බවද ඔවුන්ගේ මතයයි. පසුව සවිස්තරාත්මකව කතාකිරීමට බලාපොරොත්තුවන මායාවරුන්ගේ සංකීර්ණ දිනදර්ශනය ගතහොත් එය දින 365 ක සූර්ය වර්ශයකින්ද, එය තුල දින 260 ක පුදපූජා අඩංගු වසරක්ද, මෙයටත් අමතරව දින 584 ක වසරක් ලෙස සලකන සිකුරු හා අනිකුත් ග්‍රහයන්ගේ චලනයන් පදනම් කරගත් වසරක්ද විය.  ඊට අමතරව ඒ ඒ දින වාසනාවන්තද? නැත්ද යන්නද දිනදර්ශනයේ ඇතුලත් විය.

මායා සංකල්පයක් වූයේ පෘතුවිය යනු පොකුනක පාවෙමින් සිටින යෝද කේමනයකුගේ පිටුපස කොටස ලෙසයි. ජලයෙන් පිටත කේමනයාගේ පෙනෙන කොටස පැතලි හා මුළු හතරකින් දිස්වේ. මෙම කොන් හතර මාලිමාවක දිශා හතර මෙනි.
ජලයේ සිටින කේමනයා
එසේම ඒ ඒ දිශාවට ආවේණික වර්ණයන්ද ඇත. උතුරට සුදුද, රතු නැගෙනහිරටද, දකුණට කහ සහ බස්නාහිරට කළු ලෙසයි. මධ්‍යය කොළ වර්ණයෙන් යුතුබවද සලකන ලදි. පෘතුවියට ඉහලින් මට්ටම් 13 ක දිව්‍ය ලෝක පිහිටා ඇති බවද ඔවුන්ගේ විශ්වාසයයි. එහි 7 ක් ඉහලට යන ලෙසද, 6 ක් පහලට එන ලෙසද ඇතිබව පැරණි මායා මතයයි. පෘතුවියට පහලින් පාතාල ලෝක එසේත් නැතහොත් අපායවල් 9 ක් ඇත. 5 ක් පහල දෙසටත්, 4 ක් පහල සිට ඉහලටත් විහිදී ඇති බව ඔවුන් කියයි. සමස්ථ විශ්වයම ගතහොත් එය එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ ලෝක‍ය මැද ඇතැයි සලකන ‍හරිත සිබියා වෘක්‍ෂයෙනි.එහි අතු දිව්‍යලෝකය තෙක් වැඩී ඇති අතර මුල් පාතලය ‍තුලට වැඩී ඇත. මායාරජවරුන් විසින් තැනූ සිද්ධස්ථාන වල මෙය සිත්තම් කර ඇති අයුරුද දැක ගත හැකි බව පවසයි.

ආගමික වශයෙන් මෙවැනි අතිසංකීර්ණභාවයකට හිමිකම් කී මායාවරුන්ගේ ආගමික වශයෙන් තව කිවයුතු කරුණු බොහෝමයක් ඇතත් මෙම ලිපි මාලාවේ තව කතා කල යුතු වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් ඇති නිසා මෙම ලිපිය මෙතනින් අවසන් කරන අතර සිව්වන කොටසේදී තව නොදැන සිටි කරුණු රැසක් සමග හමුවෙමු.

19 comments:

  1. තුන් වැනි කොටස ටිකක් පරක්කුවුණා නේද ? අවුලක් නැහැ. කලින් ලිපිවල වගේම වඩා හොඳින් විස්තර කරල තියෙනවා.

    ReplyDelete
  2. උදාර - ස්තූතියි! මෙම කොටස ඊට කලින් දිනයේ පල කරන්න සිතා සිටියත් තව කරුණු ලැබුන නිසා තව දිනක් ප්‍රමාදකරලත් පලකරන්න නොහැකිවන තත්වයක් තමයි ති‍බුනේ. කෙසේවෙතත් අද සිට නැවත කාර්යබහුල බව වැඩිවෙන නිසා ඊයේ රාත්‍රියේම එය පල කරා...

    ReplyDelete
  3. නියමයි.
    කාලය අරගෙන හැම දෙයක්ම විස්තර කරන එක තමයි හොඳ. මොකද සිංහලෙන් ලියවුණු ලියවිලි හරි අඩුයි මේ කරුණු සම්බන්ධයෙන්.
    මායාවරුන්ට අනුව ලෝකය නෙවෙයි විශ්වයම විනාශ වෙන්න ඕනිනෙ 2012 දී.

    ReplyDelete
  4. වසර 1500ක් පුරා සීල් කරලා තිබුන මායාවරුන්ගේ සොහොනට ඊයේ පෙරේදා කැමරාවක් යවලා විස්තර හොයාගනත් තියනවා

    http://www.dailymail.co.uk/sciencetech/article-2007793/Palenque-Tiny-camera-reveals-inside-Mayan-tomb-sealed-1-500-years.html

    ReplyDelete
  5. සෑහෙන්න මහන්සි වෙලා මෙහෙම ලියන එකට ස්තූතියි...

    ReplyDelete
  6. අති විශිෂ්ටයි ..එන්න පමා වුනේ නිවී සැනසිල්ලේ කියවන්න ඕන නිසයි.

    ReplyDelete
  7. @``` Outsider```- ස්තූතියි! අපි මේ ගැන දිනදර්ශනය ගැන කතා කරද්දී වැඩි දුරටත් කරුණු විමසමු...

    ReplyDelete
  8. @Saman - ස්තූතියි! මම මේ ගැන දැන ගත්තේ සවස 6 ප්‍රවෘත්ති වලදී ඉන්පස්සේ පරිගණකය වෙතට ඇවිල්ලා මේ ගැන සොයන්න යන කොටම තමයි ඔබ මේ ගැන කියලා අදාල link එකත් දීල තිබුනේ. ඒක නිසා තව මට පහසුවක් වුනා. මෙම ලිපි පෙල යන අතරතුරම මෙවැනි දෙයක් සොයාගැනීම අපූරුයි. ඒ ගැනත් ලිපියක් මේ අතරතුරේදී පලකරන්න බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  9. @මාරයාගේ හෝරාව - ස්තූතියි! ඕනෑම කාලෙකදී, ඕනෑම කෙනෙකුට ඇවිල්ලා කියවන්න දෙයක් දෙන්න තමයි හැම විට උත්සාහය...

    ReplyDelete
  10. @Bindi - ස්තූතියි! ඔබ මේ ලිපියත් හොදින් ධාරණය කරගන්නා බව මම දැන සිටියා. මායාවරුන්ගේ දිනදර්ශනය මූලික කරගත් ලිපිපෙල කොපමණ කොටස් ගණනකින් සමන්විතවේදැයි මමවත් දන්නේ නැහැ...

    ReplyDelete
  11. පිස්සු හැදෙනවා , මැක්සා ලිපිය ..............

    ReplyDelete
  12. @sameera - ස්තූතියි! සිව්වන කොටසේදිත් හමුවෙමු...

    ReplyDelete
  13. පෝස්ට් ඔක්කොම එකතු කරලා අදයි කියෙව්වෙ!

    ReplyDelete
  14. @බුද්ධි - සිව්වන ලිපිය මේ දැන් දැම්මා...

    ReplyDelete
  15. නොදන්නා ගොඩක් දේ ගැන ලොකු දැනුමක් ලබාගත්තා.
    කෝරලේ වලව්ව

    ReplyDelete