Saturday, November 30, 2013

තිරයෙන් පිටුපස සිදුවු දේවල් සියල්ල සවිස්තරව..............

1962 වසරේ ඔක්තෝබරයේ ඇතිවුන කියුබානු මිසයිල අරබුදය ගැන පැවසුන ලිපියේ දෙවැන්න මෙයයි. (මෙම ලිපිය තරමක් දීරඝ ලිපියකි).

1962 ඔක්. 26 වනදා සෝවියට් තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස තනතුරක් දැරූ එහෙත් නියාමාකාරයෙන් ගත් විට සෝවියට් තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ Aleksandr Fomin හෙවත් Alexander Feklisov ගෙන් දහවල් ආහාරය සදහා ඇරයුමක් ලැබුනේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ ඉහළ නිලධාරියෙකු නම් නොවේ. ඔහු ආරධනා කළේ එවකට ABC News ආයතනයේ සේවය කළ John.A.Scali නම් මාධ්‍යවේදියා හටයි. ඔහුට ඇමරිකානු පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් සමග සබඳතාද තිබුනි.

 එම සෝවියට් නිලධාරියා කළබලයට පත්වූ ආකාරයෙන්, ඉතාමත් ඉක්මනින් සහ මෙම හමුවීම සිදුකළ යුතුම ආකාරයෙන් ආරාධනය කළ බව පසු කලෙක එනම් 1964 දී මාධ්‍යවේදියා විසින් මෙම තිරයෙන් පිටුපස වූ දෙය හෙළිකළ අවස්ථාවේ පවසා සිටියේය.

ඔවුන් දෙදෙනා 26 වනදා දහවල් 1.00 ට පමණ හමුවී දිවාආහාරය ගැනීමට තෝරාගත්තේද ධවල මන්දීරයට නුදුරින් පිහිටි අවන්හලකි. මෙහිදී වේටර්වරයා ආහාර මේසයට රැගෙන ආ පසු සෝවියට් නිලධාරියා කතාව කෙලින්ම දරුණු තත්ත්වයට පත්ව තිබූ මාතෘකාවෙන්ම අරඹමින් පවසා සිටියේ 
"දැන් යුද්ධය ඇතිවීමට ඉතාමත් ලඟයි. ඒ නිසා මෙය වලකා ගැනීමට මොකක් හෝ දෙයක් කළ යුතුයි!".

එවිට මාධ්‍යවේදී John.A.Scali පිළිතුරු වශයෙන් :
"ඔව් ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න තිබුනේ ඔබලා කියුබාවට මිසයිල ගෙනල්ල සවිකරන්න ඉස්සෙල්ලනේ?"

මෙවිට Aleksandr Fomin :
"මේ ප්‍රශ්නේ විසද ගන්න ක්‍රමයක් තිබෙනවා. මෙහෙම වුනොත් අපි ඒ කියන්නේ ජනාධිපති කෲශේව් විසින් පොරොන්දුවුනොත් තවත් යුධ මිසයිල කියුබාවට රැගෙන එන්නෙත් නැහැ. ඒවගේම තිබෙන ඒවත් ඇමරිකාවේ අධීක්‍ෂනය යටතේම ඉවත් කරගන්නවා. හැබැයි එක දෙයක් ජනාධිපති කෙනඩිත් ප්‍රසිද්ධියේ පොරොන්දුවෙන්න ඕන කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ කියලා? ඔබට ඒ සම්බන්ධයෙන් ඔබගේ ලොකු මිතුරන් සමග කතා කරන්න පුළුවන්ද?"

John.A.Scali  :
"මම නම් ඒ දේවල ගැන දන්නේ නැහැ. හැබැයි මට ඒ වෙනුවෙන් උත්සහ කරන්න පුළුවන්."


මින් අනතුරුව දෙදෙනා අතර කතාබහක් නොමැතිව ආහාර ගැනීම සිදුව තිබෙන අතර, නිහඬව සිටියද සෝවියට් නිලධාරියා කොතරම් කලබලයට පත්ව තිබුනේද යත්, ඔහු තමන් සමග ආහාර ගත් සඟයාගේ ආහාරයෙන් කොටසක්ද අමතව රැගෙන තිබෙන අතර John.A.Scali විසින් Aleksandr ගේ ආහාරයෙන් කොටසක්ද අරගත් නමුත් ඒ පිළිබදවවත් අවධානයක් සෝවියට් බුද්ධි අංශ නිලධාරියාට තිබී නොමැත.

John.A.Scali විසින් අනතුරුව මේ හමුවීම හා අදාල සාකච්ඡාව පිළිබදව රජයට සම්බන්ධ ඉහළ පෙළේ තම මිතුරන් හරහා ජනපති කෙනඩිට මේ පිළිබදව දැන ගැන්නට ඉඩ සැලසූ අතර ජනපති කෙනඩි හා ඔහුගේ සොයුරු හා නීතිපති රොබට් කෙනඩි (බොබී) මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රහසිගතවම බ්‍රසීල රජය හරහා කිය්‍රබානු නායකයා හට අතිශය වැදගත් හා රහසිගත පණිවිඩයක් යවන්නට යෙදුනි. එම පණිවිඩයෙන් කියවුනේ "මිසයිල ඉවත් කරගන්නවා නම්, අපි කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ".

එදිනම එනම් ඔක්.26 වනදාම සවස 6.00 ට පමණ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් සෝවියට් දේශයෙන් ලැබුනේය. එය සෝවියට් ජනපති කෲෂේව් විසින්ම ලියා තිබූ බවක් දැක්වුන අතර දිගු ලිපියක් වූ එය පරිවර්ථනය කරගන්නටද ටික වේලාවක් ගතවිය.

රොබට් කෙනඩි විසින් මෙම ලිපිය සිය සොයුරු ජනපති කෙනඩි හට පැහැදිලි කරන්නට වූ අතර මහුගේ අදහස අනුව එම ලිපිය "දීර්ඝ සහ හැගීම්බරවූ ලිපියකි".  කෲෂේව් විසින් නැවතත් පවසා තිබුනේ ඊට පැය කිහිපයකට පෙර මාධ්‍යවේදී John.A.Scali හට, ඔත්තු සේවා නිලධාරී Aleksandr Fomin පවසා තිබූ දෙයමය. වෙනසකට තිබුනේ එය මෙවර පැහැදිලිව, නිරවුල්ව සහ නිල වශයෙන් දැනුම්දීමකි. ලිපියෙන් නිලනොවන වශයෙන් සිදුකෙරුනු ඉල්ලීම පිළිබදව සදහනක් නොවූ අතර එය Aleksandr Fomin විසින් පෞද්ගලිකව ඉදිරිපත්ව සාමදානයකට එකඟ වීමක් ලෙස පැවසීමට ව්‍යංගාර්තයෙන් උත්සහ දැරීමක් විය. කෙසේවෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට ජනපති කෙනඩි ඇතුළු වගකිවයුත්තන් එදින රැයම ගත කළේය.

තිරයෙන් පිටුපස සාමදානයකට අවශ්‍ය පසුබිම සකස් කරමින් පැවතුනත් එළිපිට පෙනෙන්නට තිබුනේ ජනපති කෙනඩි තවදුරටත් හමුදා මැදිහත්වීමක් හරහා කියුබාවේ මිසයිල ගැටළුව ඉවරයක් කරන්නට ඇති කැමැත්තයි. මෙම අර්බුදය විසදා දැමීමට දියත් කරන මෙහෙයුම "Operation Mongoose" ලෙස හැදින්වූ අතර එයට කියුබාවට හමුදා බලය යෙදවීමෙන් මිසයිල ඉවත් කිරිම මෙන්ම පෙරලා දමන කස්ත්‍රෝ පාළනය වෙනුවට ආණ්ඩුවක් පිහිටුවීම දක්වා විහිදී තිබුනි. ජනපති කෲෂේව්ගේ ලිපිය ජනපති කෙනඩිට එසේ ලැබෙද්දී, කියුබානු ජනපති කස්ත්‍රෝ කෲෂේව් හට ටෙලිග්‍රෑමයක් යවමින් කියා සිටියේ "මොනදේ වුනත් දැන් ඇමරිකාව තමන් හට කොයිමොහොතේ හෝ ප්‍රහාර එල්ලකරනු ඇති නිසා එයට ප්‍රථම තම රටේ දැන් ස්ථාපිත කර ඇති න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ මිසයිල වලින් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීම වඩාත් සුදුසු බවට නිර්දේශ කරන බවයි".

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් වසර 48 කට පසු එනම් 2010 වසරේදී කස්ත්‍රෝ හා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් එදා දැනුවත්ව සිටි ප්‍රමාණයට එසේ ඉල්ලීමක් සිදුකළත් පසුව කාරණා සිදුවූ හා නියමාකාරයෙන් තතු දැනගත් පසු එවන් නිර්දේශයක් කිරීම කිසිසේත්ම නුවනට හුරු නොවන දෙයක් බව දැන් වැටහෙන බවයි.

තවද 1962 දී මෙලෙස අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ කස්ත්‍රෝ විසින්,  කියුබාවේ ස්ථාන ගත කර ඇති සියළුම ආකාරයේ ගුවන් යානා නාශක අවි භාරව සිටි නිලධාරීන්ට නියෝග කර තිබුනේ ඇමරිකානු ගුවන් යානා කුමක් වුවත් කියුබාවට ඉහළින් පියාසර කරයි ඒවාට පහර දී බිම හෙලන ලෙසයි. මීට පෙර කියුබාවේ මර්මස්ථාන දෙකකට හෝ ඉන් ස්වල්පයක් වැඩි ගණනකට මෙවන් නියෝගයක් පනවා තිබුනත් මේ මොහොත වන විට සියළුම ගුවන් යානා නාශක අවි මේ නියෝගයට යටත්ව තිබුනෝය.

කුමකින් කුමක්වේදොයි බහුතරයක් නොදන්නා තීරණාත්මක දිනයක් ලෙස ඔක්.27 වනදා උදාවිය. එදින උදෑසන 6.00 ට පමණ CIA ආයතනය සිය ජනපතිවරයාට දන්වා සිටියේ කියුබාවේ San Cristobal ඇති මිසයිල අංගන හතරක සහ Sagua la Grande හි ඇති මිසයිල අංගන දෙකක මිසයිල දැන් සම්පූර්ණයෙන්ම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්කර ඇති බවයි. එසේම අනෙකුත් මිසයිල සක්‍රීය කිරීමේ ක්‍රියාවලියද නොකඩවා සිදුවන බව සහ කිය්‍රබාවේ හමුදාද ප්‍රහාරාත්මක ස්ථානගතවීම් සිදුවන බවයි.

ඔක්. 27 දා උදෑසන 9.00 ට මොස්කම් ගුවන්විදුලි සේවාව මගින් ජනපති කෲෂේව්ගේ ප්‍රකාශයක් විසුරුවා හැරීමට කටයුතු කළ අතර එය ඊට පෙරදින කෲෂේව් විසින් කෙනඩිට යවන ලැබූ ලිපියෙන් ගැටළුව විසදා ගැනීමට අදාලව එකඟවීමට කැමති කරුණු කාරණා වලට පටහැනි ප්‍රකාශයක් විය. එයින් කියවුනේ කියුබාවේ මිසයිල ඉවත් කිරීමට නම් ඇමරිකාව විසින් තුර්කියේ සහ ඉතාලියේ ස්ථානගකර ඇති ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බවයි.

එදින උදෑසන 10.00 ට නැවතත් රැස්වූ සෝවියට් දේශපාලන තන්ත්‍රයේ විධායක කමිටුව මෙලෙස වෙනස් කළ පණිවිඩය නිසා ඇතිවිය හැකි ඵලවිපාක පිළිබදව විවිදමත ඉදිරිපත් කරන්නට වූහ. අයෙක් මෙලෙස නව යෝජනාවට පක්‍ෂවූ අතර තවකෙක් එයට විරුද්ධව තත්ත්වය සාමකාමීව විසදාගත යුතු බවට යෝජනා කළහ.

මෙලෙස දිනක් ගතවීමටත් පෙරාතුව එකඟවන්නට හැකිව තිබූ යෝජනාවට පරස්පරව තවත් ඉල්ලීම් සහිතව නව යෝජනාවක් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කරවීම ඇමරිකාවටද සිය හමුදා ක්‍රියාමාර්ගය වලකා රාජ්‍යතාන්ත්‍රිකව විසදා ගැනීමට බාධාවක් වනු කෙනඩිට පසක්වන්නට විය. මෙලෙස තුර්කියේ මිසයිල ඉවත් කිරීම සම්බන්ධයෙන් සෝවියට් බලපෑම තුලින් ඔවුන් කියුබාවේ මිසයිල ස්ථානගත කිරීමටද සාධාරණීකරණයක් ලබා ගැනීමට තැත්කිරීම හා තුර්කියේ ඉවත්කරනවා නම් කියුබාවෙන්ද ඉවත්කිරීම එක්සත් ජාතීන් හමුවේද තම ප්‍රයත්නය සාධාරණීකරනය කර ගැනීමට ඔවුන් යොදනා අවසන් තුරුම්පුවක් ලෙසද ඇමරිකානු පාලන තන්ත්‍රය වටහා ගෙන සිටියහ.

ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපදේශකවරයා වූ McGeorge Bundy ගේ නිර්දේශය වූයේ කෲෂේව් විසින් නිල වශයෙන් එකඟව එවූ ලිපිය හැරෙන්නට, අද දින ඔවුන්ගේ ගුවන් විදුලි නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධියේ පළ කළ අදහසට එකඟ නොවිය යුතු බවයි. තවද ගැටළුව ඇත්තේ කියුබාවේ මිස තුර්කියේ නොවන නිසා මේ යෝජනාවට එකඟ වීමට හේතුවක් නොමැති බවයි. 

මෙලෙස ඇමරිකාවේ ඉහළම බලධාරීන් එක්රැස්ව මෙය සාකච්ඡා කරමින් පවතිද්දී උදෑසන 11.30 ට සෝවියට් නායකයා නව පණිවිඩයක් ඇමරකාවට ලැබුනි. එහි සාරාංශයක් ලෙස ගත් කළ පවසා තිබුනේ "ඔබට සැතපුම් 99 ක් දුරින් පිහිටි කියුබාව දැන් ගැටළුවක්ව ඇති බවත් එයට හේතුවූ මිසයිල ඉවත් කර ගැනීමට නම්,| අපට (සෝවියට් දේශයට) ආසන්නයෙන් තුර්කියෙ සහ ඉතාලියේ ස්ථාන ගත කර ඇති  ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බව සහ මේ කාරණය ඒ ආකාරයෙන් සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් බලය පවරන ලබන පුද්ගයන් විසින් අධීක්‍ෂනය කළ යුතු බවත්ය".

මෙලෙස තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට එම දෙරටේම බලධාරීන්ගේ කැමැත්තක් නොවූ බවද සදහන් වන අතර  එම දෙරටද අපහසුවට ලක් නොකරමින් ගැටළුව විසදා ගැනීම ඇමරිකානු බලාපොරොත්තුව විය. තවද මෙලෙස ඉල්ලීමකට එකඟ වීම තුලින් අනාගතයේදීද සෝවියට් දේශය, ඇමරිකාවට සංවේදී කිසියම් ස්ථානය  මිසයිල ස්ථානගත කිරීම හෝ වෙනයම් හමුදාමය බලපෑමක් තුලින් ඔවුන්ගේ බලය සහ අරමුණු තහවරු කර ගැනීමකට යොමුවිය හැකි බව කෙනඩිගේ උපදේශකයන්ගේ සහ ඉහළ හමුදා නිලධාරීන්ගේ මතය විය.

කියුබාවේ තවදුරටත් වර්ධනය වන කාරණා මොනවාදැයි දැන ගැනීමට ඇමරිකාවට අවශ්‍ය විය. ඒ සදහා මෙදින ෆොලොරිඩාවෙන් ගුවන් ගත කළ U-2 යානයක් කියුබාව බලා පියාසර කළේ යුද්ධයේ ආසන්නම අවස්ථාව එළඹීමටත් ඉඩ ඇති කාරණයක් තව ස්වල්ප මොහොතකින් සිදුවන බව නොදැන විය හැකිය. මෙම යානය පැදවූයේ ඇමරිකානු ගුවන් හමුදාවේ මේජර්වරයෙකු වන Rudolf Anderson විසින් වූ අතර එදින දහවල් 12.00 ට පමණ මෙම යානය කියුබානු ගුවන් යානා නාශක මිසයිල අංගනයක ඇති උපකරණ වල සටහන් වූ අතර කෂනිකව ගුවනට නැගුන S-75 Dvina SAM මිසයිල වලින් බේරීමට U-2 යානයට නොහැකිවුයේය. අධිබලැති මිසයිල වල ගැටුන යානය පුපුරා ගියේ එය පැදවූ ගුවන් නැවි Rudolf Anderson ගේ දිවිද තොරකරමිනි.

මේ සිදුවීම ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඇතිවෙමින් තිබූ එකඟතාවයට දැඩි ආතතියක් එක්කිරීමට හේතුවිය.පසුකාලීනව දැනගන්නට ලැබුන කාරණා අනුව මෙම ප්‍රහාරය එල්ල කීරීමට තීරණය කර නියෝගය නිකුත් කර තිබුනේ ඉහළ සෝවියට් බලධාරීන්ගේ නියෝගයකින් නොව එම ප්‍රදේශය භාරව සිටි ප්‍රාදේශීය හමුදා ප්‍රධානීයා විසින් බවයි. එදිනම පස්වරු 3.41 ට පමණ ඇමරිකානු පහළ උසකින් පියාසර කළද තවදුරටත් ප්‍රහාර එල්ල වීමක් සිදුනොවීය.

අදාල U-2 යානයට ප්‍රහාර එල්ලවීම හා එය සහ එහි නියමුවා විනාශවීම රහසක් වශයෙන් පවත්වාගෙන ගිය අතර අදාල නියමුවාගේ පවුලේ උදවිය වෙත  සිය ශෝකය කෙනඩි විසින් දන්වන ලදි.

එදින එනම් ඔක්.27 සවස 4.00 ට ජනපති කෙනඩි විසින් ඇමරිකානු ආරක්‍ෂක මණ්ඩලය ධවල මන්දීරයේදී රැස් කළ අතර ඉක්මනින්ම එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා වූ යූ තාන් වෙත පණිවිඩයක් යවන ලෙස නියෝග කරමින් කියා සිටියේ ඔහු හරහා ඇමරිකානු-සෝවියට් එකඟතාවයක් මේ අර්බුදය සම්බන්ධයෙන් ඇති වනු තුරු කියුබාවේ සිදුවන මිසයිල සම්බන්ධ කටයුතු "තාවකාලිකව අත්හිටුවනු" ලෙස සෝවියට් බලධාරීන්ට දන්වන ලෙසයි.

කෙනඩි විසින් ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එකඟව තිබුනේ, කිසියම් හෝ ප්‍රහාරයක් ඇමරිකානු දේපලකට එල්ල වුවහොත් පෙරලා පහර දීමට තමන් නියෝග නිකුත් කරන බවයි. එහෙත් මෙම යානයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඔහුගේ තීරණය වූයේ නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් මිස මේ අවස්ථාවේ ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග නිකුත් නොකරන බවයි. ඔහුගේ මතය අනුව පළමු ලෝක යුද්ධයට හේතුවූයේ සර්බියාවේ සිදුවූ එක් සිදුවීමට දුරදිග නොබලා ප්‍රතිචාර දැක්වීමට එදා හමුදා නිලධාරීන්ගේ බලපෑම මත ක්‍රියා කළ නිසා ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වූ දැවැන්ත විනාශයක් සිදුවූ බවත්, ඉන් අනතුරුව සිදුකළ යුතු බොහෝ වෙනස් කම් හා විසදුම් ක්‍රියාත්මක නොකළ නිසා දෙවන ලෝක යුද්ධයද ඇතිවී අති විශාල ව්‍යවසනයක් සිදුවූ බවත්ය. ඒනිසා මේ අවස්ථාවේ තවත් ලෝක යුද්ධයකට නොගොස් මෙම ගැටළුව විසදා ගැනීම තම අරමුණ බවත්ය. 

ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් පසුකාලීනව පවසා සිටියේ;
"අප විසින් යවනු ලැබූ U-2 යානායට පහර දෙනු ලැබුවේ සෝවියට් මිසයිල වලිනි. ඒ හැරුන කොට ඉහලින් පියාසර කරන එවැනි යානාවලට පහර දීමේ හැකියාවක් කියුබාව සතු නොවීය. අපි විශ්වාස කරනවා එයට හිතාමාතාම පහර දුන්නා. එයින් බොහෝවිට සෝවියට් දේශය බලාපොරොත්තු වෙන්නට ඇත්තේ මේ අර්බුදය තවත් උත්සන්න කරන්නට වෙන්නත් ඇති කියලා අපි හිතනවා. U-2 යානා කියුබාවට යවන්නට පෙරාතුවම අපි තීරණයකට එළඹ සිටියා යම් හෙයකින් ඒවාට පහරදුන්නොත් අපිත් පහරදෙනවාමයි කියා. ඒත් මේ සිදුවීම සිදුවුන සිකුරාදා දිනයේදී වාසනාවට අපිට අපේ තිරණය වෙනස් කර ගන්න පුළුවන් වුනා. අපි එම සිදුවීම හදිසි අනතුරකින් සිදුවූ ලෙස සලකන්න තීරණය කළා. ඒ නිසා අපි පෙරලා පහර දෙන්න ගියේ නැහැ. අපිත් පසුව දැන ගත්තා, කෲෂේවි විසින් පවා එයට ප්‍රතිචාර දක්වා තිබුනේ අපි කළ ලෙසමයි. ඔහුත් මේ සිදුවීම සිදුවූ වහාම කියුබාවේ සිටි සෝවියට් හමුදා භාරව සිටි ප්‍රධානියා වූ ජනරාල් Lssa Pliyev හට නියෝග කර සිටියේ මින් පසු කියුබාවට ඉහළින් ගමන් ගන්නා කිසිදු U-2 යානයකට ප්‍රහාර එල්ල නොකරන ලෙසයි".

ඇමරිකානු ආරක්‍ෂක කවුන්සිලයවත් නොදන්නා තවත් දෙයක් සිදුවුනි. එනම් රොබට් කෙනඩි සහ එවකට සෝවියට් තානාපතිවරයා අතර රහසිගත හමුවීමයි. මෙම හමුවීමෙන් දෙපාර්ශවයටම අවශ්‍යවූයේ තමන් මෙම ගැටළුව සාමකාමීව විසදා ගැනීමට යොදන ප්‍රයත්නයේ අවංකබව දෙපාර්ශවයටම අවංක බව හැඟවීමයි. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නව විසදුමක සැලැස්මක් ගොඩනගන්නට වූ අතර එයින් කියවුනේ ජනපතිවරයා දෙවනවරට කෲෂේව් එවූ ලිපිය නොතකා හැරිය යුතු බවත් එය එසේ කිරීමට කළ යුත්තේ එවන් ලිපියක් නොලැබුන සේ සිටිය යුතු බවත්ය. එසේම තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට පොරොන්දු නොවූ එය ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතව පැවරුන වගකීමක් ලෙස සැලකිය යුතු බවත්ය. මේ සම්බන්ධයෙන් වූ කාරණා ලේඛණගත කොට ලිපියක් ලිවීම නීතිපති රොබට් කෙනඩි සහ ධවල මන්දීරයේ විශේෂ උපදේශක Ted Sorensen හට භාර කෙරුන අතර ඔවුන් විසින් කෙටුම්පත් කරන ලද ලිපිය ජනපතිවරයා විසින් තවත් සුළු වෙනස්කම් කොට එය ටයිප් කර සෝවියට් නායකයා වෙත යැවීමට සූදානම් ලදි. මෙම EXCOMM රැස්වීමෙන් පසුව තවත් කුඩා හමුවක් ඕවල් කන්තෝරු කාමරයේ පැවැත්වූ අතර එය විවිද මත  පළවූ වාදවිවාද වලින් පිරුන එකක් විය.

ඇමරිකානු-සෝවියට් සාමකාමී වෑයමට මුලපීරූ මාධ්‍යවේදියා සහ රහස් ඔත්තුසේවා නිලධාරියා නැවතත් හමුවිය. එවිට මාධ්‍යවේදී Scali විමසා සිටියේ ;
"ඇයි ලියුම් දෙකක් ඔබගේ ජනපතිවරයා එව්වේ? ඒවගේම ඒවා එකකට එකක් වෙනස්."

එවිට රහස් ඔත්තු සේවා නිලධාරි Fomin;
"එහෙම දෙයක් වෙන්න හේතුව සන්නිවේදනයේ දුර්වලතා නිසා !"

Scali :
"ඒකනම් අදහන්නත් බැරි දෙයක්, මම නම් හිතුවේ බොහොම කැත විදියට අපිව රවට්ටනවයි කියාල". කියුබාව ආක්‍රමණය තව පැය කිහිපයකින් සිදුවේවි."

මෙවිට ක්‍ෂනයකින්ම Fomin;
"ඔබලා විසින් කෲෂේව්ට යවන ලිපියට පිළිතුරු ඔහු ඉතාම ඉක්මනින් එවාවි. ඒ නිසා රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වන්න කිසිම දැඩි ක්‍රියාමාර්ගයකට යන්න එපා කියලා. කිසිම ද්‍රෝහීකමක් මේ කටයුතු සම්බන්ධයෙන් අපගේ පැත්තෙන් සිදුවෙන්නේ නැහැ කියලත් සහතිකවම කියන්න පුළුවන්."

Scali : "මම නම් හිතන්නේ නැහැ, ඔබ ඔය කියන දේවල් මම කාටවත් කිව්වයි කියල ඒ අය මාව විශ්වාස කරයිද කියලා. හොදයි කොහොම නමුත් මම ඒ ගැන ඒ අයට දන්වන්නම්".

දෙදෙනා ඉන්පසු වෙන්වScali ඉතා ඉක්මනින් අදාල කරුණු EXCOMM වෙත ලිඛිතවම ලැබෙන්න සලස්වන  ලදි.

ඇමරිකාව විසින් ප්‍රතිචාර දක්වන ලද ආකාරයට එනම්, පළමු ලිපිය ගැන පමණක් සලකා සහ දෙවන ලිපිය නොසලකා හැර කටයුතු කිරීමෙන් කෲෂේව් ගැටයේ හිරවෙන බව හොදින් පෙනී ගිය කරුණක් විය. හමුදා සූදානම් කිරීම හා යුද සූදානම තවදුරටත් තීවුර කරන්නට වූ අතරම ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සියළුම අය තමතමන්ට නියමිත හමුදා කඳවුරු වෙතට වාර්තා කිරීමටද දැනුම් දෙන ලදි.

පසුකාලක රොබට් කෙනඩි විසින් මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසය;
"අපි මේ ගැටළුම සුභවාදීව නිමා වේ යයි කළ ප්‍රාර්ථනයේ දිගටම සිටියා. හැබැයි ඒ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීමට ඉතිරිව තිබූ එකම හැකියාව කෲෂේව් විසින් ඉදිරි පැය කිහිපය තුළ මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් පමණයි. එය එසේ ඉටුවේවායි ප්‍රාර්ථනය කිරීම හැරෙන්නට එය බලාපොරොත්තු වෙන්නට හැකියාව තිබුනේ නැහැ. බලාපොරොත්තුව ලෙස තිබුනේ හමුදා මැදිහත්වීම පමණයි. එය බොහෝවිට ලබන සතියේ අඟහරුවාදා වන්නට පුළුවන්කම තිබුනා. සමහරව විට එය හෙට (ඔක්.28) වන්නටත් ඉඩකඩ තිබුනා."

එදින (ඔක්.27) රාත්‍රී 8.05 ට කෲෂේව්ට යවන්නට සකස් කළ ලිපිය ඔහුට යවන්නට ඇමරිකාව විසින් කටයුතු යෙුදූ අතර එහි මූලිකම කරුණු වූයේ;
1) ඔබ විසින් එකඟවී ඇති පරිදි කියුබාවේ ස්ථාන ගත කර ඇති ඔබගේ අවි, එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂනය යටතේ ඉවත් කළ යුතු අතර ඉදිරියේදීද මෙවන් ගැටළු ඇති නොවීම පිණිස මේ ආකාරයේ විනාශකාරී අවි කියුබාවේ නොරැදවීමටද වගබලා ගත යුතුවේ.
2)අපගේ පාර්ශවයෙන් මේ මේ කාරණා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉෂ්ඨ කිරීම, හා ඒවාට බාධාවක් නොවන සේ කටයුතු කිරීම වගකීමක් ලෙස සලකන්නෙමු ;
    a) කියුබාවට යොදා ඇති නාවුක බාදකය ඉවත් කරන්නෙමු.
    b) කියුබාවට එරෙහිව හමුදා ආක්‍රමණයක් නොකිරීමටද සහතිකයක් ලබාදෙන්නෙමු.

මේ ලිපිය ඒ මොහොතේම පුවත් පත් වලද පළ කිරීම සදහා යවන ලදි. එයට හේතුව යම් හෙයකින් කෲෂේව් අතට මෙය පත්වීම ප්‍රමාද වුවහොත් හෝ හිතාමතා මෙම ලිපිය නොතකා හැරීමක් සිදුකළ හොත් එය වලකා ගැනීමටයි.

එදින රාත්‍රී 9.00 ට ඇමරිකානු ආරක්‍ෂක කමිටුව නැවත රැස්වූ අතර ඔවුන්ගේ කතිකාවත වූයේ එළඹෙන දිනයේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවයි. එහිදී මිසයිල අංගන හා කියුබාවේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබදව සැලසුම්කරන්නට වූයේය. විශේෂයෙනම එරට ඉන්ධන ගබඩා මූලිකම ඉලක්කයක් විය. එසේම රොබට් මැකනමාරාගේ අදහස වූයේ කියුබාව සේම යුරෝපය තුළ සෝවියට් දේශය සිදුකළ හැකි සහ සිදුවිය හැකි ප්‍රහාර පිළිබදව සැලකිය යුතු බවයි. එදින රාත්‍රී 12.12 ට පමණ ඇමරිකාව විසින් නේටෝ සංවිධානයට අයත් යුරෝපීය රටවලට ඉදිරි පැය කිහිපය තුළ යුරෝපය තුළ ඇතිවිය හැකි සංග්‍රාමික තත්ත්වයට සූදානම් වන ලෙස දන්වන ලදි.

තවද ඔක්.27 වනදා, කස්ත්‍රෝ විසින් කරණා ලද ඇමරිකාවට කියුබාවේ ඇති අවිවලින් පහර දිය යුතු බව නිර්දෙශ කරන ලිපිය සෝවියට් නායකයා වෙත ලැබුනි. ලෝකයේම වාසනාවට මෙය ක්‍රියාවට නැගුනේ නැත.

ඔක්.28 වන දා එළඹුනි.එදා සෙනසුරාදා දිනයකි. පසුකළෙක හෙළිවූ පරිදි ධවල මන්දීරය එදින හදුන්වා ඇත්තේ "කළු සෙනසුරාදාවක් (Black Saturday)" ලෙසයි. එලෙසටම එදින තීරණාත්මක හා කුමකින් කුමක්වේදොයි නොදන්නා අසුභවාදී මත වලට මිස සුභවාදී මතවලට වැඩි ඉඩක් නොලද දිනයක් විය.

මෙදින දරුණු ගණයේ නොවූවත් යම් යම් හමුදාමය ක්‍රියාකාරකම් සිදුවූ දිනයක්ද විය. ඒවා සැකවින් දක්වන්නේ නම් ; ඇමරිකානු නාවික හමුදාවේ යුද නෞකා 11 ක් සහ USS Randolph ගුවන් යානා ප්‍රහාරක නෞකාව එක්ව, කියුබාවට ගමන්ගන්නා නාවුක යාත්‍රා පරීක්‍ෂාවට යොදා ඇති බාදකය අසලදී සෝවියට් ඩීසල් බලයෙන් ගමන්ගන්නා B-59 සබ්මැරීනයකට Practice Depth Charges නමින් හදුන්වන බෝම්බ හෙලන්නට පටන්ගත්තා. මෙම බෝම්බ සබ්මැරීන අවට ප්‍රදේශයේදී පුපුරා ගිය පසු ඇතිවන කම්පනය නිසා ඒවා ජල මට්ටමෙන් ඉහලට එන අතර එවිට සබ්මැරීනය කාහට අයත් එකක්දැයි හදුනාගැනීම මෙහි අරමුණ වූවා.

 කෙසේවෙතත් මෙම සබ්මැරීනයේ න්‍යෂ්ඨික ශීර්ශ සවිකළ ටෝපිඩෝ සහිත බව දැන සිටියේ නැහැ. තවත් කරුණක් වූයේ මෙම සබ්මැරීනයේ ගමත් ගත කාර්යමණ්ඩලයත් දින ගණනාවකින් තම මව්රට සමග පණිවිඩ හුවමාරුවක් නොතිබූ නමුත් ඇමරිකානු ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ කියුබානු ගැටළුව සම්බන්ධයෙන් වූ කාරණා වලට නම් ඒවනවිට සවන්දී තිබුනා.  ඔවුන් මෙම ඇමරිකානු පහරදීම මඟහැර සැඟවී යන්නට උත්සහ දරමිනුයි සිටියේ.

ඔවුන් දැන් ඇමරිකාව-කියුබාවට එරෙහිව යුද වදිනවාදැයි පවා හරිහැටි නොදත් අතර එම සබ්මැරීනයේ කපිතාන් Valentine Grigorievitch Savitskyසිතා සිටියේ ඒවන විටත් යුද්ධය ඇරඹී ඇති බවයි. ඒ නිසා ඔහු සිතුවේ දැන් එහෙනම් මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස න්‍යෂ්ඨික ශීර්ෂද සවිකළ ටෝපිඩෝ වලින් පහර දීම කළ යුතු කාර්යය බවයි. මෙම සබ්මැරීනයේ කපිතානවරයාට අමතරව තවත් වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකු විය එනම් දේශපාලන නිලධාරියා ලෙස Ivan Semonovich යන අයද, දෙවන අනදෙන නිලධාරියා ලෙස Vasili Arkhipov ද සේවය කළේය. Arkhipov මෙහි දෙවැන්නා ලෙස සේවය කළද, ඔහු ඊට ප්‍රථම සබ්මැරීන කිහිපයකම අණදෙන නිලධාරියා ලෙසද සේවය කළ නිලයෙන් මෙම සබ්මැරීනයේ කපිතාන් තැනගේ සමාන අයෙකුම විය.

මෙම තිදෙනා අතර ටෝපිඩෝ ප්‍රහාරය එල්ල කරනවාද? නැත්ද? යන්න සම්බන්ධයෙන් වාදයක් ඇතිවිය. කපිතාන් හා දේශපාලන නිලධාරියා ප්‍රහාරයට පක්‍ෂවද, දෙවැනි අණදෙන නිලධාරියා ප්‍රහාරයට එරෙහිවද සිටියේය. ඔහුට ඒ සදහා කරුණු දැක්වීම පහසුවූයේ ඊට පෙර වසරේ  සිදවූ සෝවියට් K-19 සබ්මැරීන අනතුරයි. ඔහුගේ මතය වූයේ වහා සබ්මැරීනය මුහුදු පත්ලෙන ඉහළට ගොස් සෝවියට් දේශයෙන් ඉන් ඉදිරියට කළ යුතු කාර්යය පිළිබදව උපදෙස් ලැබෙන තුරු ඉවසා සිටිය යුතු බවයි. කොහොමටත් මේ අවස්ථාවේ සබ්මැරීනයේ දෝශ සහිත තත්ත්වයක්ද පැන නැගී තිබූ නිසා මුහුදු මට්ටමට පැමිණීමට ඔවුන් තීරණය කළහ. තවද වොෂින්ටනයෙන් අදාල ප්‍රහාර එල්ල කළ නාවික කණ්ඩායමට අණකර සිටියේ සබ්මැරීනය මුහුදේ මතුපිටට ගෙන ඒමට කටයුතු කිරීම හැරුන කොට එයට පිවිසීමට මොනමහේතුවටත් කටයුතු නොකරන ලෙසයි.

ඇත්තෙනම් පසු කලෙක මෙම ව්‍යසනය ඇති නොවීමට වගබලා ගත් දෙවන අණදෙන නිලධාරි Arkhipov හට ලෝකයම ප්‍රශංසා කළේ ඔහු ලෝකයම විනාශයෙන් ගලවා ගත් අයෙකු බව පවසමින්. යම් හෙයකින් ඔවුන් අතින් වැරදීමකින් හෝ න්‍යෂ්ඨික ටොපිඩෝ ප්‍රහාරය එල්ල වූයේ නම් එය අති විනාශකාරී යුද්ධයක් ඇතිවීමට හේතුවන්නට අසන්නම හේතුව විය හැකිව තිබුනි.

ඇමරිකානු ආරක්‍ෂක ලේකම මැක්නමාරා 2002 වසරේදී අදහස් දැක්වූ පරිදි "න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමට  ඉතාම ආසන්නයට අපි මේ කාරණයේදී පැමිණියා. එදා ඇත්තෙන්ම අපි දැනසිටියාත් වඩා ආසන්නයට පැමිණ තිබූ බව දැනගත්තේ පසුකලෙකයි".

(මෙහි දැක්වූ K-19 සබ්මැරීන අනතුරු සම්බන්ධයෙන් වූ චිත්‍රපටියක්ද 2002 වසරේදී තිරගතවූ අතර එය නමින් K-19 : The Widow Maker නම් විය. මෙහි ප්‍රධාන චරිත සම්මානීය හොලිවුඩ් නළුවන් වන Harisson Ford සහ Liam Neeson විසින් නිරූපණය කරන ලදි.)මෙදිනම ඊට සැතපුම් දහස් ගණනක ඈතින් එනම් සෝවියට් දේශයේ ඈත නැගෙනහිර මුහුදු තීරයට නුදුරින් ඇමරිකානු U-2 ඔත්තු බලන යානයක්  මිනිත්තු 90 ක පමණ කාලයක් පියාසර කරමින් සටියදී සෝවියට් දේශයට අයත් Wrangel නම් දූපතේ සිට ඉහළට නැගුන මිග් ප්‍රහාරක යානා ඉහත කී ඔත්තු බලන යානාව වෙත පියාසර කරන ලදි.  ප්‍රහාර එල්ල කිරීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමරිකාවද සිය ප්‍රහාරක F-102 වර්ගයේ ජෙට් යානා බීරින්ග් මුහුදට උඩින් පියාසර කරවන්නට විය. ඝට්ටනයක් දෙපාර්ශවය අතර සිදු නොවීය.

ඔක්. 27 වනදා ඇමරිකානු-සෝවියට් රාජ්‍ය නායකයන් අතර රහස් එකඟතාවයක් ඇතිව තිබුනි. ඒ කියුබානු මිසයිල ඉවත්කර ගැනීම වෙනුවෙන් දකුණු ඉතාලියේ හා තුර්කියේ ස්ථාන ගත කර ඇති ඇමරිකානු ජුපිටර් මිසයිල ඉවත් කර ගන්නා බව හා එය රහසක් වශයෙන් පවත්වාගත යුතු බවයි. මෙය ඉතාම රහසිගත එකඟතාවයක් වූ අතර කාලයක් යනතුරු බොහෝදෙනෙක් මෙය දැන සිටියේ නැත.

1962 ඔක්.28 සෙනසුරාදා දා ලෝකයටම කළු සෙනසුරාදාවක් නොවූ දිනයක් බවට පත්වෙමින් කියුබානු මිසයිල අර්බුදය නිමා වූයේ උදෑසන 9.00 ට කෲෂේව් විසින් අදාල මිසයිල ඉවත්කරගන්නා බවට වූ ප්‍රකාශය මොස්කව් ගුවන්විදුලි සේවාව මගින් විකාශය කිරීමත් සමගයි. එයට ප්‍රතිචාර දක්වමින් කෙනඩිද සිය ස්තූතියි පළ කළේ ලෝක සාමය වෙනුවෙන් කෲෂේව් විසින් ගන්නා ලද මෙම තීරණය ඉමහත් ලෙස අගය කරන බවයි.

එලෙස ලෝකයම කම්පනයට පත් කළ මෙම සිදුවීම විනාශයකින් තොරව අවසන් වු අතර තවත් දින කිහිපයක් ඇමරිකාව සිය කියුබාවට නෞකා ඇතුළුවීම වලකමින් පවත්වාගෙන ගිය නාවුක බාදකය පවත්වාගෙන යන ලදි. කියුබාවේ තිබූ මිසයිල 42 ක් සහ ඒවාට අදාල අනෙකුත් උපකරණ නැව් 8 කට පටවනු ඇමරිකාව විසින් ගුවන් ඡායාරූප ඇසුරෙන්ම නිරීක්‍ෂනය කරන ලදි. එම නැවූ නොවැ.5-9 අතර දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඒවා ඇමරිකානු නාවුක බාදකය හරහා ගිය බවද තහවුරු කර ගත් අතර කියුබාවට රැගෙන එන ලද සෝවියට් ප්‍රහාරක යානා වන IL-28 යානා රැගත් නෞකාද දෙසැ. මස 5-6 දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඇමරිකාවු පවත්වාගෙන ගෙන නෞකා බාදකයද නොවැ. 20 වන දින 6.45 ට ඉවත් කළ බව ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

සෝවියට් තානාපතිවරයා සහ නීතිපති රොබට් කෙනඩි තිරයෙන් පිටුපස එකඟ වූ පරිදි ජුපිටර් මිසයිල ඉවත් කිරීම මෙම අර්බුදය නිමාවී ටික කලකින් රහසින්ම සිදුවූ අතර 1963 අප්‍රේල් 24 දා වන විට අවසාන මිසයිලයද කොටස් වලට ගැලවීම සිදුකර අවසන් වූ අතර ඒවා පසුව තුර්කියෙන් ඉවත් කරන ලදි.

මිසයිල ඉවත් කරනා තීරණය ඇත්තෙන්ම කස්ත්‍රෝ පවා මොස්කව් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරනා තුරු නොදැන සිටි කාරණයක් විය. එයින් ඔහු කෝපයටද පත්වූ බව පැවසෙතත්, මෙම මිිසයිල අර්බුදය නිසා කියුබාව තුල ඔහුගේ ප්‍රතිරූපය තවදුරටත් ස්ථාවර වූ බව පැවසෙන්නේ අර්බුදය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව තම රට ආක්‍රමණය නොකරන බවට සහතිකයක්ද ලැබීම නිසයි. එසේම සෝවියට් නායකයා මෙම ගැටළුවේදී පරාජයට පත් සහ අපහාසයටද ලක්වූ බව සහ කෙනඩි එයින් ජයගත් බව ලෝකයට පෙනුනත් සත්‍ය වශයෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස තුර්කියේ සහ ඉතාලියේ ස්ථාන ගත කර තිබූ ඇමරිකානු මිසයිල ඉවත්කරවා ගැනීමේ අවස්ථාවද ඔවු්නට හිමිවිය. කෙසේවෙතත් මේ දෙදෙනාටම සිය රජයෙන් එල්ල වන පීඩනය හමුවේ ඉතාම පරිස්සමෙන් සියළු කාර්යය සිදු කළ යුතු වුවාවන්නට විය හැකිය. කෙසේවෙතත් සෝවියට් නායකයාගේ ප්‍රතිරූපය ඔවුන්ගේ දේශපාලන යන්ත්‍රණය තුළ පසුබෑමකටද ලක්වූයේ තම දේශපාලන න්‍යාඥ ලෝකය තුල හෑල්ලුවට පත්වූ බව සෝවියට් ඉහළ දේශපාලන සාමාජිකයන් තුල ආකල්පයක් උද්ගතවූ බැවිනි. සැබැවින්ම සෝවියට්දේශයට වාසිසහගත තත්ත්වයක්ද තුර්කියේ සහ ඉතාලියේ මිසයිල ඇමරිකාව විසින් ඉවත්කර ගැනීම තුලින් සිදුවූවත් එය කෲෂේව් හට සිය දේශපාලන සඟයන්ටද පැවසීමට නොහැකි තත්ත්වයක් වූයේ එය කෙනඩි සහ කෲෂේව් අතර වූ රහස් ගණුදෙණුවක් වු බැවිනි.

සෝවියට් නායකයාගේ ධූරකාලයද එයින් වසර දෙකක් ගිය තැන ගිලිහී යන අතර, ජනපති කෙනඩිගේ දිවියද මෙම සිදුවීම් සිදුවී යන්තම් වසරක් ගතවූ තැන නිමා වන්නේ අදටත් අභිරහසක්ව පවතින ඔහුගේ ඝාතනය සිදුවීමෙනි.

1974 දී තිරගතවූ රූපවාහිනි චිත්‍රපටියක් වන The Missiles of October සහ වසර 2000 දී තිරගතවූ Thirteen Days චිත්‍රපටි මෙම කියුබානු මිසයිල අර්බුදය තේමාකොට ගෙන තැනුන ඒවාවේ.


මෙම අර්බුදය පසුකාලීනව හෙළිවූ තොරතුරු ගැන ඉදිරි ලිපියෙන් බලාපොරොත්තුවන්න.

මෙන්න මුල් ලිපිය - ඇමරිකාව භීතියට පත් කළ දින 13

20 comments:

  1. මේක අහලවත් නොතිබුන කතාවක් දිනේශ්.. ස්තූතියි මේ කළ තොරතුරු නිරාවරණයට. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ඔය දෙගොල්ලොම දෙගොල්ලන්ටම බයෙන් තමා හිටියෙ නේද ? ලෝකෙට පේන්න එකිනෙකාට පිප්පුවා මිසක්, කවෘවත් කාටවත් දශ්ඨ කරන්න ඉදිරිපත් වුනේ නෑ.. ඇතිවිය හැකිව තිබුනු ලෝක යුද්ද කිහිපයක්ම ඔය නිසා මග හැරිලා ගිහින් තියන බවක් තමා පේන්ඩ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කොහොමත් මේ දෙපාර්ශවය අතර යුද්ධයක් ඇතිවූවා නම් දෙපාර්ශවයටම සිදුවන විනාශය අධිකයි. කොහොමවුනත් බියත් තිබෙන්න ඇති, හැබැයි බියකට වඩා මටනම් හැගෙන්නේ මේ සිදුවීම වෙන කාලයේ පාලනය කළ පුද්ගලයා මත තමයි මේ වගේ යුද්ධයකට යනවද? නැත්ද? කියන තීරණය තිබුනේ. යම් හෙයකින් කෙනඩි වෙනුවට වෙනත් කෙනෙක් ඒ අවස්ථාවේ තනතුරේ සිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඒ ගැනත් ඉදිරියේදී කතාකරමු...

      Delete
  2. අපිට පැය 1/2 ක article එකක් වුනාට දිනේෂ් අයියට අඩුම ගානේ දවස් තුන හතරක වැඩක් කියලා දන්නවා. අවංකවම අගය කරනවා මේ දේ

    ReplyDelete
    Replies
    1. මමත් එකගයි.බොහොමත්ම ස්තුතියි ඔබට මේ ලිපි වලට.

      Delete
    2. aniwa .... hamadama wage godak sthoothiyi dinesh ....

      Delete
    3. ස්තූතියි! ලියන්න දවස් තුනක්-හතරක් විතර සහ කරුණු අධ්‍යයනය කරන්න ඊටත් වඩා කාලයක්....

      Delete
  3. ඉතාමත්ම වටිනා ලිපියක් දිනේෂ්.. බොහෝ කරුණු මේ ලිපියෙන් දැනගත්තා. මේ වෙනුවෙන් ඔබ දැඩි වෙහෙසක් ගන්න ඇති. ඒ වෙහෙසට නියම මිල ලැබෙන්නේ පාඨකයන් බොහෝ දෙනෙක් අතට මේ ලිපිය ගියොත් තමා. මේ ලිපිය ගැන මේලයක් මාතලන් ට යවන්න.

    ReplyDelete
  4. කැමති වර්ගයේ ලිපියක් ..ස්තුතියි..වැඩිය බ්ලොග් බැලුනේ නැහැ පහුගිය ටිකේ. කාලෙකින් නිදහසේ කියවන්න ගත්තේ ..

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්... ගොඩක් කාලයකට පස්සේ ආයෙත් පැමිණියාට බොහොම ස්තූතියි වගේම ගොඩක් ස්තූතියි! තව ලිපි කිහිපක්ම කෙනඩි සම්බන්ධයෙන් ලියන්න තිබෙනවා..

      Delete
  5. ගොඩාක් වැදගත් තොරතුරු.මෙලො දෙයක් අපි දන්නෙ නැනෙ ඔය ගැන.ආපහු ලොක යුද්දෙයක් ගැන කාගෙත් තියන බය නම් ගොඩාක් හොදයි

    ReplyDelete
    Replies
    1. ලෝක යුද්ධයක් පැමිණියොත් එය අප කාටත් දරාගන්න නොහැකි දෙයක් වේවි...

      Delete
  6. ලිපියට ස්තුතියි. මේ ගැන දැන සිටියේම නෑ..

    කලින් ලිපියට ලින්ක් එකක් දැම්මොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කලින් ලිපියට ලින්ක් එකකුත් දැම්මා....

      Delete
  7. කෙනඩි ඝාතනය ගැනම නිමැවුණු අලුත් ම සිනමාපටය parkland http://www.baiscopelk.com/?p=33825
    ලිපියට බොහොම ස්තූතියි දිනේෂ්...............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියී උදාර, මේ දිනවල මේ සම්බන්ධයෙන් තමයි අධ්‍යයනය කරමින් සිටින්නේ...

      Delete
  8. මේක නම් ලිපියට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි.

    මම දිනේෂ්ගේ God Father ලිපි මාලාව කියෙව්වා. ඒ චිත්‍රපටිය බලද්දි ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි සැරින් සැරේ එක් එක් ප්‍රසිද්ධ පුද්ගලයන් ඝාතනය වීම් පෙන්වන්නේ ඇයි කියන එක.. ඒක vito ගේම වැඩක් හැටියට පෙන්වනවාද නැත්නම් කාලය පිළිබඳ අදහසක් දෙන්නද හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම දෙන පිළිතුර ඔබ අසා තිබෙන දේට ගැලපෙනවාදැයි නම් කියන්නට බැහැ. හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා ඇමරිකාවේ කෙනඩි ඝාතනය ඇතුළු ඇතැම් ආන්දෝලනාත්මක සිදුවීම් වලට එරට මාෆියාවත් සම්බන්ධදැවි සැකයක් තිබෙනවා. විශේෂයෙන් CIA සංවිධානය කලක් තමන්ගේ කියුබානු විරෝධී සහායකයන් ලෙස තබා ගත්තේ ඇමරිකානු මාෆියාවයි. ඒ වගේම කෙනඩි සොහොයුරන් මාෆියාවට එරෙහිව දැඩි ප්‍රතිපත්තියකුත් අනුගමනය කළා. මේ වගේ කාරණා කෙනඩි ඝාතනය ගැන කියවෙන ලිපියේදී අපි සවිස්තරාත්මකව කතා කරමු....

      Delete
  9. ඇත්තටම ඉස්සර ඇමෙරිකාව හා රුසියාව කරට කර හිටියානෙ. දැන් ඉතින් රුසියන් බලය බිඳිල නිසා ඇමෙරිකාවට වාසියි. අපේ වාසනාවට දෙගොල්ල සමාදාන වුනේ.

    ReplyDelete