-->

Tuesday, November 19, 2013

ඇමරිකාව භීතියට පත් කළ දින 13... II

මෙම ලිපිය ලියන්නට මෙතරම් කලක් ගතවූයේ තවත් ස්වල්ප වේලාවකින් ඔබට කියවන්නට ලැබෙන කරුණු වඩාත් හොදින් තහවුරු කරගැනීමට සහ නොදත් දේ බොහෝමයක් කරුණු කාරණා මෙම ලිපියට එක් කිරීමට මූලාශ්‍ර කිහිපයක්ම පසුගිය දිනවල පරිශීලනය කරන්නට කාලය වැය කිරීමට සිදුවූ නිසා බව ලිපිය ආරම්භක අවස්ථාවේම පවසන්නට කැමැත්තෙමි.

පසුගිය ලිපියෙන් ඇමරිකාවේ 35 වන ජනපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතා පිළිබදව කරුණු රැසක්ම ඔබ වෙත ගෙන ඒමට හැකිවූ අතර එම ලිපියේ දෙවැන්න ලෙස ඔහු සිය පාළන කාලය තුළ මුහුණු දුන් අසීරුම අවස්ථාවක් වූ කියුබානු මිසයිල අර්බුදය පිළිබදව සවිස්තරාත්මක ලිපියක් ගෙන එන්නෙමි. 

එසේම මෙම අර්බුදය සේම ඊට හරියටම වසරකට පෙරාතුව එනම් 1961 දී බටහිර බර්ලිනයේ Checkpoint Charlie නම් ස්ථානයේදී ඇතිවූ අර්බුදය සේම 1961 වසර පුරාවට සිදුවූ බටහිර සහ නැගෙනහිර බර්ලින් අර්බුදය පිළිබදව සවිස්තරාත්මකව ලිපි දෙකක්ම ඔබ වෙත ගෙන ආ නිසා ඒ පිළිබදව මේ ලිපියේදී කතා කරන්නට බලාපොරොත්තු නොවන අතර කියුබානු මිසයිල අර්බුදය පිළිබදව පමණක් මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

ජෝන් එෆ් කෙනඩිගේ වයසින් අඩුකම මෙන්ම දේශපාලන ජීවිතයද අරඹා දශක එකහමාරක පමණ කාලයක් පමණක් වීම නිසා ඔහු දුර්ලවල පාලකයකු බවට සෝවියට් පාලක නිකිතා කෲෂේව් ගේ මතය විය. මෙය තවදුරටත් ඔහු තහවුරු කරගන ලැබුවේ 1961 දී ඇතිවුන බර්ලින් අර්බුදයේදීද කෙනඩි විසින් ඵල කළ මෘදු ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමිනි. උක්ත අර්බුදයට පසුව සෝවියට් පරිපාළනයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවකදී ඔහු පවසා සිටියේ "කෙනඩි ශක්තිහත් දේශපාලන පසුබිමක් නොමැත්තෙකු ලෙස මම දැන සිටියා. ඒ වගේම බොහෝම බැරෑරුම් අභියෝගාත්මක අවස්ථාවකදී ඔහුට එයට මුුහුණදීමටත් නොහැකිවේවි. ඔහු යම් ගැටළුවකදී මුලින් අභියෝගයක් එල්ල කළත් අවසානයේ එයට පරාජය වන බව නියතයි".

(In addition, Khrushchev's impression of Kennedy's weakness was confirmed by the President's soft response during the Berlin Crisis of 1961, particularly the building of the Berlin Wall. Speaking to Soviet officials in the aftermath of the crisis, Khrushchev asserted, "I know for certain that Kennedy doesn't have a strong background, nor, generally speaking, does he have the courage to stand up to a serious challenge." He also told his son Sergei that on Cuba, Kennedy "would make a fuss, make more of a fuss, and then agree.")

කියුබාවට සෝවියට් මිසයිල කොටස් ලෙස ගෙන ආ දිනය ආරම්භ වූ දිනය නිශ්චිත වශයෙන්ම පැවසිය නොහැකි මුත් 1961 අගභාගයේ සිටම කියුබාව වෙත සෝවියට් නෞකා කියුබානු අගනුවර වන හවානා වෙත පැමිණෙන බව ඇමරිකානු ජාතික රහස් ඒජන්සිය (NSA) විසින් තහවුරු කරගෙන සිටියේය. 1962 අගෝස්තු මාසයේ පමණක් මාසයක් ඇතුලත නෞකා ගමන් වාර 57 ක් සිදුව තිබෙන බව අනාවරණය කරගෙන තිබුනි.

සත්‍ය වශයෙන්ම සමස්ථ සිදුවීම් මාලාව පුරාවට කියුබාව වෙත සෝවියට් නෞකා ගමන් වාර 150 ක් පැමිණ තිබුනේ සෝවියට්දේශයේ පිහිටි වරාය 5 කින් වරින්වර පටවන ලද මිසයිල කොටස්, ට්‍රක් සහ ට්‍රැක්ටර් ඇතුළු විවිද වාහන සහ සෝවියට් මිලිටරි අංශ වල  43,000 ක්ද සමගය.  ඒ අතර අදාල මිසයිල කියුබාවේදී නැවත එකලස් කිරීමට හා ඒවා ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කාර්යය කිරීම සදහා තාක්‍ෂන ශිල්පීන්ද විය. මෙම නෞකා පැමිණී අවස්ථාවල නෞකාවේ ඉහළින් පෙනෙන ලෙස ට්‍රැක්ටර් ආදී කෘෂිකාර්මික උපකරණද, නෞකාවල පහළ තට්ටුවල අදාල යුද උපකරණද රහසිතගව රැගෙන එන ලදි.

මෙතරම් දේවල් ඇමරිකාවේ සිට යන්තම් සැතපුම් 90 ක් දුරින් වූ කුඩා දූපතක සිදුවන ඇමරිකානු 100% ක් නොදැන සිටියා නොවේ. කියුබාවේ හවානාවේ සිටි CIA ඒජන්තවරුන් විසින් තමන් හවානා හිදී සෝවියට් මිසයිල නගරය හරහා ගෙන යනු දුටුබව වොෂින්ටනය වෙත දන්වා යැවූවත් ඒවා නිකම්ම කටකතා හා දූෂමාන ආරංචි ලෙස සලකා වොෂින්ටන් පරිපාළනය විසින් නොසලකා හරින ලදි.

මෙලෙස කටයුතු සිදුවෙද්දී 1962 ඔක්. 14 වනදා ගුවන් ගත කළ ඇමරිකානු ඔත්තු බලන යානා වන  U-2 යානාවකින් කියුබාවට ඉහළ අහසේදී ගන්නා ලද සේයාරූ විශ්ලේෂනය කළ විට ඇමරිකානු බලතන්ත්‍රයේ සියළු දෙනා කම්පනයට පත් කරණ දේවල් දැක ගන්නට ලැබුනි.ඒ Medium Range Missile අංගනයක් මෙන්ම විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රවාහණය කරනා වාහන 8 ක් සහ කෙලින් සිටුවන ලද මිසයිල නිකුත්කරණයන් 4 කි.
U-2 ඔත්තු බැලීමේ යානාවල කැමරාවේ සටහන්ව ඇති
කියුබාවේ ස්ථාන ගත කරමින් පැවති මිසයිල
එසේම මෙහි පැවති මිසයිල එම වසරේ මැයි දිනයදා මොස්කව් හිදී ප්‍රදර්ශනය කළ R-12 මිසයිල බවටද අනුමාන කරන ලදි.
මැයි දිනයේදී R-12 බැලස්ටික් මිසයිල ප්‍රදර්ශනය කළ අයුරු
CIA ආයතනයේ  National Photographic Interpretation Center මගින් නිර්ණය කර ගත් මෙම තොරතුරු ජනාධිපතිවරයාට නිල වශයෙන් දැන්වීම ඔක්. 16 වනදා සිදුවූ අතර එයට පෙර දින රාත්‍රියේ (15 වනදා) , එවකට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් ඔක්නොමාරා විසින් කෙටියෙන් මේ තැතිගන්නා සුළු තොරතුරු පිළිබදව ජනපතිවරයා දැනුවත් කර තිබුනි.

ජනපතිවරයා එදින සවස ජාතික ආරක්‍ෂක කවුන්සිලය කැඳව ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම ඇරඹූහ. (මෙම කවුන්සිලය  Executive Committee of the National Security Council (EXCOMM) ලෙසද හැදින්වෙන අතර මෙයට ප්‍රධාන වශයෙන් නව දෙනෙකු හා ඒ ඒ අංශකෙරේ උපදෙස් සපයන උපදේශකයන් 5 දෙනෙකුගෙන්ද සමන්විත වූවකි.)

 මෙම සාකච්ඡාවට සහභාගී වූ ඇමරිකාවේ ඉහළම නිලධාරී පිරිසට අදාල අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව කිසිදු සැලැස්මක් නොවීය. එයට හේතුව එවැනි සැලැස්මක් ඇතිවීමට නම් මේ ගැටළුව පිළිබදව කල්තියාම දැනුවත්භාවය ලබා තිබීම සිදුවිය යුතුවූවත් එරට බුද්ධි අංශ විසින් සෑමවිටකම තහවුරු කරමින් සිටියේ සෝවියට්දේශය කිසිදු ආකාරයකින් කියුබාවේ මිසයිල ස්ථානගත නොකරනු ඇතිබවයි. ඒත් ඒ පූර්ව නිගමනය පුස්සක් කරමින් සෝවියට් දේශය කියුබාවේ මිසයිල ස්ථනගත කිරීම ආරම්භකර ඒවන විටත් සෑහෙන්න කාලයක් ගතව තිබුනි.

EXCOMM කමිටුව කඩිනමින් මේ කාරණය නිරාකරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග 6 ක් පිළිබදව සැලකිල්ල යොමු කළහ. ඒවා නම්;
1. කිසිවක් නොකර සිටීම : අඇමරිකාවට සෝවියට් මිසයිල තර්ජන අළුත් දෙයක් නොවන නිසා සහ කියුබාවේ ස්ථාපිත මෙම නව මිසයිල නිසා සිදුවන්නේ සුපිරි බලවතුන් දෙදෙනා අතර බලතුලනයේ සුළු වෙනස් කමක් සිදුවීම පමණි.

2.රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගැනීම : රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සෝවියට් පාලකයන් වෙත පීඩනය යොදවා අදාල මිසයිල කියුබාවෙන් ඉවත්කරවා ගැනීම.

3. අනතුරු ඇඟවීම : කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ හට පණිවිඩයක් යවා එමගින් ඔහු සහ ඔහුගේ කියුබානු ජනතාව මෙම මිසයිල අර්බුදය නිසා දැඩි අනතුරක පාමුළ සිටින බව දැන්වීම.

 4. අවහිර කිරීම : ඇමරිකානු නාවික හමුදාව යොදවා නැව් මගින් සෝවියට්දේශයේ සිටි කියුබාව වෙත රැගන එන මිසයිල කියුබාවට ලගා වීම නතර කිරීම.

5. ගුවන් ප්‍රහාර : ඇමරිකානු ගුවන් හමුදාව විසින්, දැනට මෙම මිසයිල කියුබාවේ ස්ථාපනය කර ඇති සහ ස්ථාපනය කරමින් පවතින ස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම්‍.

6. ආක්‍රමණය : සියළු ශක්තිය යොදව කියුබාව ආක්‍රමණය කර කස්ත්‍රෝ පාළනය පෙරලා දැමීම්‍.

මෙහිදී හමුදාවේ ඉහළම අණදෙන නිළධාරීන්ගේ එකම විසදුම වූයේ කියුබාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සමග ආක්‍රමණය කිරීම පමණකි. ඔවුන්ගේ විශ්වාසය අනුව කියුබාවට එරෙහිව දියත් කරන ප්‍රහාරයකදී එය නැවැත්වීමට සෝවියට් දේශය ප්‍රතිචාරයක් නොදක්වනු ඇති බවයි. එහෙත් කෙනඩි ජනපතිවරයා එම අදහස එසේ සැහැල්ලුවෙන් පිළිගැනීමට එකඟ නොවීය.

ඔහුගේ අදහස අනුව ඇමරිකාව යමක් කරනාතෙක් කරබාගෙන නොසිටිනු ඇති බවත් යුද්ධය ඇවිලී රුසියානුවන්ද රැසක් මියගොස්, කියුබාවේ ඇති මිසයිලද විනාශ වී හෝ එය ඔවුන් විසින්ම ඉවත් කර ගත්තත්, ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ බර්ලිනයේදී බවයි. ඒ අනුව කියුබාවට ගුවනින් පහර දීම සමග එය රුසියාවට අනෙක් අතින් බර්ලිනය ආක්‍රමණය කිරීමට සාධාරණ හේතු ඇතිකර දෙනු ඇතිබවයි. ඒ නිසා හැකි උපරිම අයුරින් කියුබානු මිසයිල ගැටළුව සාමකාමීව විසඳා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවත් එසේ නොමැති වීමෙන් සිදුවන්නේ බර්ලිනය අහිමිකර ගැනීමත් යන කාරණය බුද්ධිමත්ව වටහා ගැනීමට කෙනඩි සමත්වීය.

ඉක්බිතිව ඔවුන් සාකච්ඡාවට ලක්කළේ උපායමාර්ගික වශයෙන් දේශපාලනිකව හා හමුදාමය වශයෙන් බලතුනයක් ඇතිවීම පිළිබදවයි. හමුදා නායකයන්ගේ අදහස වූයේ ඉතා බැරෑරුම් ලෙස හමුදාමය බලතුනයක් මෙම මිසයිල කියුබාවේ ස්ථාන ගත කිරීමෙන් සිදුවූ බවයි. එහෙත් ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අදහස එයට වඩා වෙනස් එකක් විය. ඔහුගේ මතයව අනුව හමුදාමය වශයෙන් මෙයින් සිදුවූ බලතුනය අවම බව හා ඒ වනවිටත් ඇමරිකාව සතුව න්‍යෂ්ඨික හා වෙනත් විනාශකාරී අවි ශීර්ෂයන් 5,000 ක් පමණ ඇතිමුත් සෝවියට් සංගමය සතුව ඇත්තේ 300 ක් පමණ තරම් ප්‍රමාණයක් බවයි. එය ඔහු එදත් විශ්වාස කළ අතර එයින් වසර 28 කට පසුව එනම් 1990 දී වරක් ඔහුගෙන් විමසූ විට එදත් ඔහුගේ විශ්වාසය එයම විය. එහෙත් මුළු කමිටුවම මෙයින් දේශපාලනික වශයෙන් බලතුනයක් ඇතිකිරීමට හේතුවූ බවට එකඟවිය.

කෙසේවෙතත් ඇමරිකාවේ සිට  සැතපුම් 90 ක් දුරින් ස්ථානගත කර තිබූ මෙම මිසයිල වලට විනාඩි ගණනක් ඇතුලත ඇමරිකාවට කඩා වැදී මිලියන ගණනක ජනතාවක් ඇසිල්ලකින් විනාශ කිරීමේ හැකියාව තිබූ අතර මෙම ප්‍රහාරයක් එල්ල වුවහොත් නිරුපද්‍රිතව පවතින්නේ සියැටල් පමණක් බවද තහවුරු කෙරින.

ඔක්.18 වනදා ජනපති කෙනඩි, එවකට සෝවියට් විදේශ කටයුතු අමාත්‍ය Andrei Gromyko ධවල මන්දීරයේදී හමුවූ අතර මෙම අවි ස්ථානගත කිරීම පිළිබදව පවසා සිටියේ ලිස්සා යන සුළු පිළිතුරක් වූ අතර ආරක්‍ෂාව සදහා පමණක් වූ යන අරමුණ මත අවි ලබා දීම ගැන පමණක් පවසා සිටියේය.
ජනපති-විදේශ ඇමති හමුව
ඇමරිකානු ජනපතිවරයාද තමන් මේ වනවිටත් දැනසිටි කාරණා පිළිබදව සෝවියට් අමාත්‍යවරයාට හෙළි කිරීමක් සිදු නොකළේය. තවද ඇමරිකානු ජනතාවටද මෙම මිසයිල අර්බුදය පිළිබදව ඒවන විටත් හෙළි කිරීමක් සිදු නොකළ අතර ඒ එසේ වුවහොත් ඔවුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවීමට ඉඩ ඇති හෙයිනි.

ඔක්.19 දා  U-2 ඔත්තු බලන යානා වලින් තවදුරටත් ගන්නා ලද සේයාරූ විසින් තවත් මිසයිල අංගන 4 ක් පිළිබදව අනාවරණය කර ගත් අතර ඇමරිකානු හමුදා අංශ අවශ්‍ය ඕනෑම දැනුම්දීමකදී කියුබාව ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කිරීම ඇරඹූ අතර පළමුවන සන්නද්ද සේනාංකය ජෝර්ජියාව වෙත යැවීමටත්් තවත් හමදා සේනාංක පහකට හමුදා මෙහෙමුකට සූදානම් කිරීමටත් කටයතු යොදන ලදි. ගුවන් හමුදාවේදි ප්‍රහාරක යානා ගුවන් ප්‍රාහර එල්ල කිරීම සදහා අවශ්‍ය සූදානම් කිරීමද මෙලෙස ආරම්භ කෙරුනි.

ඔක්.20 දා පුරාවටත් කෙනඩි සහ ආරක්‍ෂක මණ්ඩලය සහ අනෙකුත් උපදේශකයන් මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කළත් මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකි නිශ්චිතම විසදුමක් පිළිබදව තීරණයකට එළඹීමට නොහැකිව සිටියෝය.

ඔක්.21 දා නැවතත් EXCOMM සහ උපදේශකයන් ජනපති සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට යොදා ගත් අතර  මෙම අර්බුදයට ගතහැකි මූලිකම විසදුම් දෙකක් ගැන මූලිකත්වය දෙනු ලැබීය.එනම්  ගුවන් මගින් අදාල මිසයිල ස්ථානගත කොට ඇති ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම හෝ නාවික හමුදාව යොදවා සෝවියට් දේශයේ සිට මිසයිල රැගෙන එන නෞකා අවහිර කිරීමයි.සම්පූර්ණ හමුදා බලය යොදවා කරන ආක්‍රමණයක් පළමු විකල්පය සදහා යොද නොගැනීම සුදුසු බවද සාකච්ඡා වුනි.

ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරීන්ගේ සභාපතිවරයා වන ජනරාල් මැක්ස්වල් ටේලර් විසින් මෙහිදී පවසා සිටියේ ගුවන් ප්‍රහාර වලින් කියුබාවේ ස්ථාපිත මිසයිල සියල්ලම විනාශ කිරීමට හැකිවෙතැයි තමන්ට 100% ක සහතිකයක් දීමට නොහැකි බවද පැවසීය.

ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අදහසද වූයේ නාවික බාධකයක් යෙදවීම වඩාත් ශක්තිමත් එහෙත් සීමාවකින් යුතු විසදුමක් බවයි. එහෙත් බාධකයක් ("blockade") යන යෙදුම ගැටළුකාරී වීය. අන්තර්ජාතික නීතියට අනුව මෙවැනි බාධකයක් යෙදවීම යනු එක්තරා අතකින් යුද ප්‍රකාශ කිරීම හා සමාන විය. එහෙත් කෙනඩි පරිපාළනයේ විශ්වාසය වූයේ මෙවන් බාධකයක් යෙදවීම තුලින් සෝවියට් පරිපාළනය විසින් ඊට එදිරිව ප්‍රහාරත්මක ස්ථාවරයට නොපැමිණෙනු ඇති බවයි.

මේ අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශාරදයින් ගෙන හැර දැක්වූයේ මෙබදු අවස්ථාවක යුද තත්ත්වයක් ඇති වීම වැලකීමට අවශ්‍ය නීති විධිවිධානයන් ඇතිවූයේ කලකට ඉහත බිහිකළ රියෝ ගිවිසුම මගින් බවයි.  (මෙම ගිවිසුමට දකුණු ඇමරිකාවේ බහුතර රටවල් ප්‍රමාණයක් මෙන්ම ඇමරිකාවද ඇතුලත් වන අතර සාමාජික රටකට ඉන් පිටත රටකින් කිසියම් යුදමය බලපෑමක් ඇතිවුවහොත් සංවිධානයට අයත් රටවල් සියල්ල එක්ව එම බලපෑම පරාජය කිරීම මෙහි මූලික අරමුණක් විය. කෙටියෙන් රියෝ ගිවිසුම ලෙස එහි මූලික අරමුණු හැදින්වෙන මෙම සංවිධානය නියම වශයෙන් හදුන්වන්නේ Inter-American Treaty of Reciprocal Assistance ලෙසයි.1947 දී මෙම සංවිධානය පිහිටුවන ලදි.)

එසේම Organization of American States (OAS) නම් 1948 දී පිහිටුවා ගත් සංවිධානයේද සාමාජික රටවල 2/3 ක අනුමැතියෙන් ඇමරිකාවට හිතවාදී ලෙස නීති ආරක්‍ෂනයක් ලබා ගත හැකි බව මෙම නීතිය පිළිබදව විද්වතුන්ගේ මතය විය.


මේ අවස්ථාවේ හොදම මතය ඉදිරිපත් කළේ එවකට ඇමරිකානු නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් George Whelan Anderson විසින් වූ අතර ඔහුගේ මතය වූයේ "quarantine" යන තේමාව මේ සදහා යෙදීම සුදුසු බවත්,අන්තර්ජාතික මුහුදු සීමාවේදී සංග්‍රාමික යුද උපකරණ රැගෙන එන නෞකා අවහිර කිරීමට මේ යටතේ නීතිමය ආවරණයක් ලැබෙන බවත් ඔහුගේ මතය විය.  මෙම අදහසට ජනපති කෙනඩිගේද එකඟත්වය පළවූ අතර රියෝ ගිවිසුමටද යටත්ව ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේද අනුමැතිය යටතේ මෙම අවහිරතාවයන් ඇතිකිරීමේ ක්‍රියාමාර්ගය ගැනීමට කතිකා කර ගත්හ.

ඒ අනුව අදාල සංවිධාන වල රටවල සහභාගීත්වයෙන් යුතුව අදාල අවහිරතාවය ඇතිකිරීමට  ඔක්. 22 දා සිටම කටයුතු යෙදූහ.  එදින රාත්‍රියේ ජනපති කෙනඩි විසින් මෙම මිසයිල අර්බුදය පිළිබදව ප්‍රථම වරට ඇමරිකානු ජනතාවට දන්වා සිටීමද එරට සියළු රූපවාහිනී නාලිකා ඔස්සේ සිදුකෙරින.

මෙම දිනයේම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. එනම් කාලයක් තිස්සේ සෝවියට් හමුදාවේ කර්නල් නිලයක් දරමින්ම ඇමරිකාව වෙත සෝවියට් රහස් සැපයූ කර්නල් ඔලෙග් පෙන්කොස්කි යන අයව සෝවියට් අත්අඩංගුවට පත්වීමයි. මොහු කාලයක් තිස්සේ සෝවියට් රහස් පමණක් නොව මෙම මිසයිල ස්ථාන ගත කර ඇති ස්ථාන නිශ්චිතවම ඔහු දන්වා එවා තිබුනි. තවද ඉහල හමුදා නිලයක් දැරූ ඔහුට නිරතුරුවම සෝවියට් දේශපාලන හා හමුදාමය වශයෙන් ඉහළ නිල දරන්නන් අසලටම යාමට හා ඔවුන්ගේ සිතුම්පැතුම් හදුනාගන්නටද පුළුවන්කම තිබූ නිසා ඔහු වැන්නෙකු සැපයූ රහස් සෑමවිටකම ඇමරකානු බුද්ධි අංශ වලට ඉතා වැදගත්විය. ඔහු මේ වෙනුවෙන් බලාපොරොත්තුව සිටියේ ඇමරිකානු හමුදාවේ ඉහල නිලයක් පසු කලෙක ලබා ගැනීමයි.  එහෙත් ඔහුගේ එම සිහිනය බොද කරවමින් මෙදින ඔහු සිරභාරයට පත්වූයේ නියත මරණ දඩුවමක වරප්‍රසාදයක් ලැබීමේ අවස්ථාවද සහිතවයි. ඔහුට මරණ දඩුවමෙන් මෙහා දෙයක් සෝවියට් පරිපාලනයෙන් නොලැබෙන බව ප්‍රථ්‍යක්‍ෂ කරමින් 1963 මැයි මාසයේදී ඔහුව ඝාතනයට ලක්කරනු ලැබීය.

ඔක්. 23 වනදා තුර්කියේ ඇමරිකානු තානාපතිවරයාට සහ නේටෝවේ ඇමරිකානු තානාපතිවරයාට කේබල් පණිවිඩියක් යවනු ලබන අතර එමගින් පවසනු ලබන්නේ  කියුබාවේ මිසයිල ඉවත්කිරීම වෙනුවෙන් තුර්කියේ සහ ඉතාලියේ ස්ථානගත කර ඇති ඇමරිකානු ජුපිටර් මිසයිල ඉවත්කර ගැනීමේ අදහසක් පවතින බවයි. කෙසේවෙතත් තුර්කි බලධාරීන් නම් මේ සම්බන්ධයෙන් මනාපයක් පළ කර නොමැති අතර කියුබාවද මේ අතරේ තම රටේ  ඇති අවි වෙනත් පාර්ශවයකට පරීක්‍ෂාකිරීමේ අවස්ථාවක් දීමට එකඟ නොවූ අතර ඒවා තමන්ගේ ආරක්‍ෂාව සදහා ඇති ඒවා බවට අවධාරණය කර සිටියේය.

එසේම කෙනඩි ජනපතිවරයා රූපවාහිනියෙන් තම රටවැසියන් අමතා උද්ගතව ඇති තත්ත්වය පිළිබදව පැහැදිලි කළ පසු අන්තර්ජාතිකවද දෙපාර්ශවයට සහය දක්වන්නන් සිටයෝය. චීනයේ පුවත්පත් තම රටේ හැටපන් කෝටියක් වූ මිනිසුන් කියුබාවට සහය දක්වන බව පවසද්දී, බටහිර ජර්මනියේ පුවත්පත් ඇමරිකාවට පක්‍ෂව සිටියෝය. එපමණක් නොව ප්‍රංශයද සිය සියළුම පුවත්පත් වල මේ සම්බන්ධයෙන් ලිපි පළ කර සිටියේ වැඩි බරක් ඇමරිකාවට පක්‍ෂවය.

මේ අතරවාරයේ මෙම අර්බුදයද විසදුමක් නොමැතිව නොවෙනස්ව පවතිද්දී ඔක්.24 වනදා එවකට සෝවියට්දේශයේ ප්‍රධාන ප්‍රවෘත්ති ඒජන්සිය වූ ටාස් ඒජන්සිය මගින් කෲෂේව් කෙනඩි වෙත ටෙලිග්‍රෑමයක් එවනු ලබයි. එමගින් ඔහු කෙනඩිට චෝදනා කරන්නේ ඇමරිකාව නාවික බාධකයන් පැනවීම වැනි නීතිවිරෝධී ක්‍රියාමගින් යුද්ධයකට පාරකබනු ඇති බවටයි. තවද ඇමරිකාව විසින් ඉල්ලනු ලබන හිතුවක්කාර කොන්දේසි හමුවේ සෝවියට් දේශයට සිය පියවර ආපස්සට ගත නොහැකි බවත් උක්ත නාවුක බාධකයන් පිළිබදව තමන් තැකීමක් නොකරන බවත්ය.

තත්ත්වය තවත් උග්‍රවනු මිස විසදුමකට සෝවියට් පාර්ශවයද නොයන බව පෙනෙන නිසාදෝ ඇමරිකාව හදිස්සියේම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමක් කැදවීමට ඉල්ලීමක් ඔක්.25 වන දින කරන ලදි. මෙහිදී එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිතයා වන Adlai Stevenson විසින් සෝවියට් තානාපතිවරයා වන Valerian Zorin වෙත කෙලින්ම කියුබාවේ මිසයිල තිබේද? නැත්ද? යන වගට ඍජුවම පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලුවත් එය ඔහුවිසින් පිළිතුරුදීම ප්‍රතික්‍ෂේප කරන ලදි. මේ අවස්ථාවේ ඇමරිකාව විසින් ගුවනින් අදාල මිසයිල අංගනයන් සහ ඒවායේ ස්ථාපනය කර තිබූ මිසයිල පිළිබදව ඡායාරූප ආරක්‍ෂක මණ්ඩලයේදී ප්‍රදර්ශනය කළ විට සෝවියට් නියෝජිතයා නිරුත්තරවිය.
ආරක්‍ෂක මණ්ඩලයේදී සෝවයට් - කියුබන් රහස් ගණුදෙනු හෙළිවීම

ඔහුට තවදුරටත් තමන්ගේ විසින් කියුබාවේ ස්ථාපනය කළ සහ දැන් ලෝකයටම න්‍යෂ්ඨික භීතිකාවක් ගෙනදුන් ගැටළුවේ මූලිකයන් තමන් බව සඟවාගෙන සිටීමේ හැකියාවක්ද නොවීය.
http://en.wikipedia.org/wiki/Adlai_Stevenson_II

Adlai Stevenson ගැන යමක් පවසන්නේ නම් ඔහු ඇමරිකානු දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයෙකි. ජනපති කෙනඩිට වඩා වයසින් මෙන්ම අත්දැකීම් හා දේශපාලනයෙන්ද මුහුකුරා ගිය ඔහු 1952 සහ 1956 යන දෙවතාවේදීම ඩිමොක්‍රැටික් පක්‍ෂ අපේක්‍ෂකයාද විය. එහෙත් ඔහු ඒ දෙවරම ජනප්‍රියත්වයෙන් ඉහළින් සිටි ඩිවයිඩ් ඩී අයිසන්හවර් හට පරාජය වූ අතර තෙවන වරටත් 1960 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට පක්‍ෂයෙන් නාමයෝජනා ඉල්ලුවත් එවර මැන්චුසෙට් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයකු වූ ජෝන් එෆ් කෙනඩි හට පරාජයවිය. කෙසේනමුත් කෙනඩි විසින්  Adlai Stevenson ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයා ලෙස පත්කිරීම ඉතා කාලෝචිත තීරණයක් විය. ඔහු සතුව තිබූ රාජ්‍යතාන්ත්‍රික ඥාානය, චතුර කතිකත්වය, තැනට සුදුසු ඥානය වැනිදා මෙවන් අවස්ථාවක ඇමරිකාවට අත්‍යාවශ්‍යම සාධකයක්විය. සැබැවින්ම ලෝකයේ බොහෝ රටවල් ආදර්ශයට ගතයුත්තේ මෙවැනි පුද්ගලයන් අවශ්‍ය තැනට පත්කිරීමට වග බලා ගැනීමයි.

ඔක්.25 වනදා කෙනඩි විසින් කෲෙෂ්ව් විසින් එවූ ටෙලිග්‍රෑමයට ප්‍රතිචාරය ලෙස දක්වා සිටියේ කියුබාවේ සෝවියට් දේශයේ නිෂ්පාදිත සංග්‍රාමික මිසයිල නැති බවට දිගින් දිගටම සහතිකයක් ලබා දුන්නත් යම් හෙයකින් එය අසත්‍යයක් වුවහොත් එයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි.

ඊලඟ දිනයේ එනම් ඔක්.26 වනදා උදෑසන 10 පමණ වන විටම ඇමරිකාව විසින් යුද සූදානම තවදුරටත් ඉහළ දමමින් සීතල යුද සමයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරක බලඇනියක් ලෙස ස්ථාපනය කර තිබූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් Strategic Air Command (SAC forces) සේනාංකයට ඇමරිකානු යුද සූදානමේ මට්ටම් 2 යටතේ යුද සූදානමට පත් කරන ලදි (Defense readiness condition 2 - DEFCON2).

(ඇමරිකාව විසින් 1947 සිට සීතල යුද්ධය අවසන්වූ කාලවකවානුව වන 1992 දක්වා කාලය තුළ සිය ගුවන් හමුදාවේ සේනාංකයක් ලෙස පවත්වාගෙන ගිය  Strategic Air Command (SAC forces) බලඇණිය විශේෂිත වූ එකකි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය අතරට ගොඩබිම් ඉලක්කවලට ගුවනින් බෝම්බ දැමීම පරිපාළනය, අන්තර්මහද්වීපික මිසයිල පරිපාළනය, ගුවනේදීම තම සහෝදර ගුවන් යානාවලට ඉන්ධන ලබා දීම, උපක්‍රමිකව ගුවන් මෙහෙයුම පිරික්සුම යනාදිය අයත්වේ.)
http://en.wikipedia.org/wiki/Strategic_Air_Command

(DEFCON2 යන මට්ටමට යුද සූදානම නංවනු ලුැබුවේ ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම කියුබානු මිසයිල අර්බුදයේ 12 වන දිනය වන මෙම ඔක්.26 වනදාය. වරකට කිලෝ ග්‍රෑම් 32,000 ක පමණ බෝම්බ රැගෙන යා හැකි  B-52 යානා වලට අකණ්ඩ විමසිල්ලක (continuous airborne alert) තැබූ අතර මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙලන යානා වන B-47 යානා ඇමරිකාවේ වූ හමුදාමය සහ සිවිල් ගුවන් තොටුපල වලට යවා සීරුවෙන් තබන ලද අතර මෙම යානා සියල්ල මුළුමනින්ම සන්නද්ධ කොට මිනිත්තු 15 ක කෙටි දැනුම්දීමකින්ම ප්‍රහාර සදහා පිටත්වීමට සූදානමේ තබනු ලැබූහ.

Strategic Air Command සේනාංකයට අයත් වූ සමස්ථ යානා 1,436 ව් 1/8 ක් එනම් යානා 180 ක් පමණ මේ අනුව යුද සූදානමේ පවත්වාගෙන යනු ලබනවාට අමතරව අනතර් මහද්වීපික බැලස්ටික් මිසයිල 145 ක්ද සූදානමේ තබන ලදි. මෙම යුද මට්ටම කෙතරම් බැරෑරුම්ද යත් 161 ක් වූ න්‍යෂ්ඨික බලය ඇති අවි ප්‍රමාණයක්ද පැය නවයක් ඇතුලත අදාල ස්ථාන වෙත ගෙන යාමට කටයුතු යෙදූ අතර ඒවාද මිනිත්තු 15 ක පෙර දැනුම්දීමකදී ප්‍රහාර සදහා නිකුත්කිරීමට බල ගන්වන ලදි.

එපමණකින් නොනැවතුන ඇමරිකානු හමුදා යාන්ත්‍රණය තවත් න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ B-52 ගුවන් යානා 23 ක් සෝවියට් දේශයට පහර දිය හැකි සීමාවේ සීරුවෙන් තබන ලද්දේ මෙම යුදමය තත්ත්වය උග්‍රඅතට පත්වුවහොත් න්‍යෂ්ඨික අවි වලින් සෝවියට් දේශයටද පහරදීමේ අරමුණනි. පසුකලෙක හෙලිවූයේ මෙම යුද්ධය ඇතිවුයේ නම් SAC සේනාංකයට අයත් ගුවන් යානා වලින් 80% ක් මෙම සංග්‍රාමයට සම්බන්ධවීමට සූදානමේ තබා තිබු බවයි.)
http://en.wikipedia.org/wiki/Boeing_B-52_Stratofortress
http://en.wikipedia.org/wiki/Boeing_B-47_Stratojet

(DEFCON මට්ටම් ගත් විට එය මට්ටම් 5 කින් යුතුවූවකි. ඇමරිකානු යුද යාන්ත්‍රණය අවශ්‍ය අවස්ථාවක කාර්යක්‍ෂ ලෙස හා ක්‍රමාණුකූලව හැසිරවීම පහසුකරනු පිණිස ක්‍රියාත්මක කරන මෙහි කොන්දේසි, කේතයන්, එයට අදාල සවිස්තරාමක මෙහෙයුම් මාර්ගෝපදේශනය, අදාල මට්ටම් පැහැදිලිව දැක්වීමට වර්ණයන් යනාදියෙන් සමන්විතය. මෙය පිළිබදව තොරතුරු හෙළිකරන ලද්දේ 2006 තරම් මෑත කාලයකදී වීමද විශේෂත්වයකි.

 DEFCON මට්ටම් 5 අවම අගය වන අතර 1 යනු ඉහළම මට්ටමයි. ඒ 1 වන අවස්ථාව උදානොවීම ලෝකයේම වාසනාවක් වු අතර එම මට්ටම පිහිටුවන ලබන්නේ න්‍යෂ්ඨික යුද තත්ත්වයක් ඇති වුවහොත්ය.මෙහදී ඇමරිකානු ඉතිහාසය තුල ඉහළම DEFCON අගය එනම් 2 ට පත්වූයේ උක්ත මිසයිල අර්බුදයේදී වන අතර මෙම මට්ටමේදීද මූලිකම අරමුණ ඊලඟ පියවර වන න්‍යෂ්ඨික යුද්ධයට සූදානම් වීමයි.

මීට අමතරව ඇමරිකානු ඉතිහාසය තුළ DEFCON 3 අවස්ථාවට පත්වූ අවස්ථා දෙකක් වාර්තාවේ.  එනම් 1973 දී ඇතිවූ Yom Kippur War නැතහොත් 1973 Arab–Israeli War අවස්ථාවේදීද ඊශ්‍රායලයට අවශ්‍යවුවහොත් යුදමය සහය ලබාදීමට ඇමරිකාවුද සූදානම් සිටි අතර ඒ අවස්ථාවේදී මෙම මට්ටම් 3 අගය සක්‍රීය කර තිබුනි. තවද මෙම මට්ටම සක්‍රීය කළ අවසාන අවස්ථාව වූයේ 2001 සැප්තැම්බර් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවයි. මෙහිදී මටටම් 3 අගයට අමතරව අවශ්‍ය ඕනෑම මොහොතක මට්ටම් 2 ට එය නැංවීමට අවශ්‍ය පෙරසූදානමද තබන ලදි. එහෙත් එම අවස්ථව උදා නොවුනි.එසේම මෙම ලිපියේ මීට ස්වල්ප මොහොතකට පෙර පැවසූ DEFCON 2 අවස්ථාව SCS සේනාංකයට බලපාද්දී අනෙකුත් සියළුම ඇමරිකානු සන්නද්ධ අංශ DEFCON 3 අවස්ථාවේ තබන ලැබූහ.)
http://en.wikipedia.org/wiki/DEFCON
http://en.wikipedia.org/wiki/Yom_Kippur_War

කෙසේවෙතත් මෙවන් යුද තත්ත්වයක් ප්‍රකාශයනයට පත් කළ ඔක්.26 වනදා රැස්වු EXCOMM රැස්වීමේදීද කෙනඩි අවධාරණය කර සිටියේ සංග්‍රාමික මෙහෙයුමකින් පමණක් මිසයිල කියුබාවේන් ඉවත් කළ හැකිමුත් දේශපාලනික වශයෙන්ද පීඩනයක් ඇතිකිරීම මෙම ගැටළුව තවදුරටත් කාර්යක්‍ෂමව විසදා ගැනීමට ඉවහල්වනු ඇති බවයි. තවද දැවැන්ත යුද සූදානමක් පවතිද්දී පහළ මට්ටමින් අදාල මිසයිල පිහිටුවා ඇති කියුබානු දූපතට ඉහළින් අඩු උස් මට්ටමකින් යුද ජෙට් යානා පැය දෙකකට වරක් පියාසර කරවා තවදුරටත් යුද පීඩනය කියුබාව වෙත ඇති කිරීමටද නියෝග දෙන ලැබූවේය. එපමණක් නොව යුද මෙහෙයුමක් ඇති වුවහොත් ඉන්පසුව බිදවැටෙන කස්ත්‍රෝ පාළනයේ හිදැස පිරවීමට නව සිවිල් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිධානයන් ඇතිකිරීමට අවශ්‍ය පියවරයන්ද ගන්නා ලෙස නියෝග කළේය.
ඔක්.26 දා එසේ කටයුතු රාජ්‍ය තාන්ත්‍රිකව හා යුදමය වශයෙන් ක්‍රියාත්මක වෙද්දී තරයෙන් පිටුපස සිට මෙම අර්බුදය විසදා ගැනීමේ තවත් ක්‍රියාමාර්ගයක් නිලනොවන වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතියේය. 

එම රහස මෙහෙයුම කුමක්දැයි ඊලඟ ලිපියේදී බලමු....

මූලාශ්‍ර -
Cold War - Cuba (TV Documentary Series)
Secret of War - (TV Documentary Series)
http://en.wikipedia.org/wiki/Cuban_missile_crisis#Secret_negotiations
http://www.cubanmissilecrisis.org/background/frequently-asked-questions/#1

16 comments:

  1. Good post, thanks.

    ReplyDelete
  2. And I'm waiting for next episode.

    ReplyDelete
  3. Niyamai. mama 1 post 1k wath miss nokara me blog 1 kiyawala thiyenawa. Digatama liyanna

    ReplyDelete
  4. ඔය සිද්දිය හේතු උනා කියනව නේද කෘශ්චොෆ් බලයෙන් අයින් කරන්නත්.ඔකෙන් පස්සෙ තමා සෝවියට් දේශෙට හොද නායකයො අඩුවක් උනා කියල කියවල තියනව.ඒ ගැනත් ටිකක් හොයල අන්තිම ලිපියට එකතු කරන්න හැකියාවක් තියේ නම්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන පළමු මතය නම් සත්‍යයක්. කෲෂේව් 1964 දී බලයෙන් පහ කරන්නට එයත් හේතුවක් වුුනා. ඒත් දෙවැනි මතය නම් නිවැරදි නැහැ. සෝවියට් දේශයේ හෝ චීනය වගේ රටවල අන්තර්ජාතිකව කැපී පෙනෙන නායකයා ජනපතිවුනාට සත්‍ය වශයෙන් වැඩි බලයක් තිබෙන්නේ කොමිවුනිස්ට් පක්‍ෂ ලේකම්වරයාටයි. ඊටත් අමතරව ඔවුන්ගේ බල සංක්‍රාන්තිය කියන ක්‍රියාදාමය ඔස්සේ තමයි ජනපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනා තෝරන්නේ. ජනපතිවරයාට කොමියනිස්ට් පක්‍ෂ ලේකම් පදවියත් ලැබුනොත් ඔහුට ලැබෙන බලය වැඩියි. ඒ එක්කම ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය ලෙස සිංහලයෙන් හැදින්විය හැකි Politburo කියන යාන්ත්‍රණයකුත් තිබෙනවා. ඒ ඔස්සේ තමයි ප්‍රධාන වශයෙන් තීරණ ගන්නේ. ඉතින් ඔවුන්ට හොද නායකයෝ කියලා අමුතුවෙන් දෙයක් නැහැ. කොහොමත් ඒ පක්‍ෂයේ ප්‍රවීණ සහ දේශපාලනික හා අත්දැකීම් අතින් තෙම්පරාදු වුන දේශපාලනඥයෝ තමයි ජනපතිපුටුවට පත්වන්නේ...

      Delete
  5. Thank you very much dear..

    ReplyDelete
  6. සැමටම ස්තූතියි. තව ලිපි කිහිපයක්ම මේ සම්බන්ධයෙන් තිබේවි....

    ReplyDelete
  7. බුදු අම්මෝ..... ඔය නිකමට හරි එකක් වැරදිල ලංකාව පැත්තට ආවනම්....

    ReplyDelete
  8. බොහොම ස්තූතියි දිනේෂ්, ඔබ ගන්නා වෙහෙසට මෙන්ම කැපකරන කාලයට හරවත් වැදගත් යමක් අපිට ලබාදෙන්නට...

    මට දැන් මතක නෑ ඒ පොතේ නම ..ඒත් මතක විදිහට හෙන්රි කිසිංගර්ගෙ පොතක්..ඒකෙ තිබ්බ මෙහෙම සඳහනක්

    U.S.A. and U.S.S.R. were just one heartbeat away from a full scale nuclear war at the height of the Cuban missile crisis. To be precise actually the whole world was on the threshold of an Armageddon. In this global Eyeball to Eyeball confrontation Khrushchev blinked first and subsequently lost his position as the soviet leader as a result but he may very well have saved the world.

    ReplyDelete
    Replies
    1. ස්තූතියී රවී... ඔව් ඔබ කියනා කාරණා වලට අතිශයින්ම සමාන දේවල් මටත් මේ ලිපි සදහා තොරතුරු රැස් කරද්දී හමුවුනා. ඇත්තෙන්ම මේ කාරණේදී නිකිතා කෘෂේව් මේ මිසයිල ස්ථානගත කිරීමේදී මූලිකත්වය ගත්තට ඔහුට ඒ සදහා පිටුපසින් ලොකු බලපෑමක් තිබෙන්නට ඇති. හැබැයි මිසයිල ඉවත්කිරීමේදී ඔහු ඒ සදහා විරෝධතා මතුවුනත් යම් හෙයකින් යුද්ධයක් ඇතිවුවහොත් තමන්ගේ රටටත් එයින් ඇතිවිය හැකි විනාශය ගැන සිතලා විරෝධතා හමුවේ වුනත් මිසයිල ඉවත්කිරීමට තීරණය කරන්න ඇති. කොහොමවුනත් ඔහුටත් සිය ධූරයෙන් ඉවත්වීමට එයත් හේතුවක් වන්නට ඇති. ඒ පිළිබදවත් අපි ඉදිරි ලිපි වලදී කතාකරමු...

      Delete
  9. Thirteen Days කියන මූවි එක ඔය සිද්ධිය වටා තමයි යන්නෙ. මම ඔහොම දෙයක් ලෝකෙ උනා කියල මුලිම්ම දැනගත්තෙ ඒ ෆිල්ම් එක බැලුවම. කෙනඩි සහ ඇමරිකාවට තිබ්බ පීඩනය බොහොම හොඳින් තේරුම් ගන්න පුලුවන් ඒක බලද්දි.

    ස්තූතියි ඔබේ මහන්සියට!

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් එම චිත්‍රපටිය නැරඹුවා. එතනදී කෙනඩි හමුදා නායකයන්ට වඩා සිවිල් උපදේශකයන්ට මුල් තැන දුන් අයුරු හොදින් නිරූපනය කරනවා. එය තමයි සත්‍ය වශයෙන්ම සිදුවුනේත්. එම චිත්‍රපටියේ එක් දුර්වලතාවයක් නම් ජනපති කෙනඩි සදහා යොදා ගත් නළුවාට වඩා කඩවසම් සහ තරුණ කෙනෙක් ගත්තානම් හොදයි. මොකද කෙවින් කොස්ට්නර්ට වඩා කැපී පෙනෙන බවක් තමයි එතන වෙලා තිබුනේ. කොහොමවුනත් මෙම දින 13 හොදින්ම නිරූපිත චිත්‍රපටියක් තමයි එය....

      Delete
  10. කලින් එක වගේම මේකත් වටිනවා දිනේෂ්...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර...

      Delete
  11. කලක් පැවති සෝවියට් දේශය අද නැත එහෙත් ඇමරිකාට සැනසිය නොහැක. දිගින් දිගටම පහර වදින්නේ ඇමරිකානු ආර්තික අදිපති බාවයටයි.
    ඇමරිකාව තම රටේ යන්ත්‍රයකින් පිටවන කොලයකට මෙතරම් ජාත්‍යන්තර වටිනා කමක් ලැබුනේ කෙසේදැයි විමසන විට මට පෙනී ගියේ අවියේ බලයෙන් එසේ වන බවයි. එහෙත් අද ඇමරිකාව අභිබවා යාමට චීනය වගේම රුසියාව සමත් වී ඇතිබවක් හො අභියෝග කල හැකි මට්ටමට පැමිණ ඇතිසෙයක් දිස්වේ. මේ සමගම ඩොලරය ප්‍රතික්ෂේප කිරීම මගින් චීනය ඇමරිකානු අදිපති භාවයට තරජනය කරන අතර මේ නිසාම ඇමරිකානු ආර්තිකයේ විසාල පසුබැස්මක් ඇතිවේයයි ඔවුන් බියපත්ව ඇත.
    මේ බිය ඉතා භයානක බව මගේ වැටහීමයි

    ReplyDelete
  12. Thanks sahodaraya...nodena hitapu hugak de dena gattha.bohoma pin.

    ReplyDelete