Thursday, May 16, 2013

ජයග්‍රහණය = පරාජය - කොරියන් යුද්ධය (3 වන කොටස)

උතුරු කොරියාව විසින් පෙර දැනුම් දීමකින් තොරව ගන්නා ලද යුද ක්‍රියාමාර්ගය හෙවත් "Police Action" (http://en.wikipedia.org/wiki/Police_action) මැඩලීම පිණිස ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා ලද පියවර පිළිබදව උතුරු කොරියාව වෙනුවෙන් තිරය පිටුපස සිට ක්‍රියා කළ සෝවියට් දේශයට එය ගැනීමට පෙරම වළකා ලීම හෝ යම් ආකාරයකින් ප්‍රමාද කිරීමේ හැකියාවක් තිබුණි. ඒ ඔවුන් සහභාගීවීම වර්ජනය කළ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල‍යේදී නිෂේධ බලය යෙදවීමෙනි. වෙනත් ආකාරයකින් පවසනවා නම් සෝවියට් දේශය සිය නිෂේධ වලය යෙදවූයේ නම් එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ඇමරිකානු සොල්දාදුවන් සහ වෙනත් රටවල් කිහිපයක් එකතුවීම වැලකීමේ හැකියාව තිබුනි. ඒ අවස්ථාවේ එය සිදු නොකර මඟ හැර යාම තුළින් සිදුවූයේ උතුරු ‍කොරියාව සාර්ථකය දිනා සිටි යුද්ධය මාස තුනක් ඉක්ම ගිය තැන නැවත ආපස්සට කරකැවීමයි. කෙසේවෙතත් සෝවියට් දේශය පමණක් නොව උතුරු කොරියාව, චීනය සහ ඇමරිකාව පවා මෙම යුද්ධය මුළුමනින්ම අනාගත් අතර වැරදි බුද්ධි තොරතුරු, වැරදි උපකල්පන, සම්බන්ධවූවන්ගේ අහංකාරකම, දුරදිග නොබැලීම යනාදී කරුණු හා තවත් කාරණා නිසා ජයග්‍රහණයට වඩා අවසානයේ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සිදුවන "තරඟයකට" පරිවර්තනය කර ගත්තේය.

ඔක්තෝබරය මුල වනවිටම දකුණු කොරියාව, උතුරු කොරියානු ආක්‍රමණයෙන් මුදවා ගත්තා පමණක් නොව 1948 සහතික කෙරුණ උතුරු දකුණු වෙන්කිරීමේ සීමාව වන 38 වන අක්‍ෂාංශ රේඛාවද පසුකරමින් උතුරු කොරියානු භූමිය තුළට එක්සත් ජාතීන්ගේ හමුදාව ඇතුළු විය. මෙම ක්‍රියාදාමය ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ හිතුමතයට ගත් තීරණයක් ලෙස බොහෝදෙනා සිතා සිටියත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ දකුණු කොරියානු භූමියට මුහුදින් පැමිණ ඇතුළු වීමටත් පෙරාතුව ජනපති ටෲමන්ගේද අනුමැතිය හා අනුදැනුම ඔස්සේ සිදුවූ දෙයකි. ටෲමන් හා මැක්ආතර් යන දෙදෙනාටම කොමියුනිස්ට්වාදය උතුරු කොරියානු භූමියෙන් අතුගා දැමීම ඒකායන අරමුණ විය. එහෙත් මැක්ආතර්ට ඊටත් වඩා එහාට ගිය අධිෂ්ඨානයක් වූ අතර චීනයද ආක්‍රමණය කර වසරක වයස ඇති චීන කොමියුනිස්ට් පාලනයද ඉවත් කිරීමයි. වන විට සමස්ත කොරියානු ගුවන් තලයම ඇමරිකානු ආධිපත්‍ය යටතේ තිබූ අතර ඇමරිකානු B-29 බෝම්බ හෙළන ගුවන් යානා දැවැන්ත ලෙස උතුරු කොරියානු මර්මස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙළමින් සිටි අතර බෝම්බ වලට අමතරව ගුවනින් කොමියුනිස්ට් විරෝධී පත්‍රිකා ආදියද හෙළමින් උතුරු කොරියානුවන්ට කොමියුනිස්ට්වාදයේ ආදීනව හා එයට සහය නොදෙන ලෙස දන්වා සිටියේය
 
B-29

සෝවියට් දේශයේ කිසිදු මැදිහත් වීමක් නොමැති බව පෙන්වීමට ස්ටාලින් හට සෑමවිටම තදබල ලෙසම උවමනා වූ අතර කිසිදු සෝවියට් සොල්දාදුවෙකු කොරියානු භූමියට නොයවන බව හා එය සිදු නොකරන බව කිම්ඉල් සුන්ට මෙන්ම මාවෝ සේතුංටද ඔහු කල්තියාම දැනුම් දී තිබුණි. එහෙත් 1950 සැප්තැම්බර් අග වන විට උතුරු කොරියානු ආක්‍රමණය ආපස්සට හරවනවා වෙනුවට උතුරු කොරියානු භූමිය පවා ආක්‍රමණය කිරීම විශේෂයෙන් චීන නායකයාගේ දැඩි විමසිල්ලට ලක්වූ අතර සිය වසරක වයසැති ආ‍ණ්ඩුව බිද දමනු ඇතැයිද ඔහු තුළ බියමුසු සැකයක් මෙන්ම උතුරු කොරියානුවන්වෙනුවෙන් කෘතවේදීත්වය පිදීමේ අවශ්‍යතාවයද විය. බොහෝදෙනා දන්නා අයුරින් උතුරු කොරියානු දේශසීමා රැක ගැනීම වෙනුවෙන් 1950 නොවැම්බරය මුලදී චීන හමුදා මැදිහත් වීම සිදුවූ බවට විශ්වාස කෙරුණත් ඇත්තෙන්ම සිදුවූයේ 1911-1912 දී චීන අධිරාජ්‍ය බිද දැමීම වෙනුවෙන් සිදුකළ කැරැල්ලේදීද, ජපාන හමුදාව චීනයේ රැදී සිටියදී ඔවුන්ට විරුද්ධව චීනය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් සහ 1946-1949 කාලසීමාවේදී චීන විප්ලවය වෙනුවෙන්ද කොරියානුවන් කළ ජීවිත පරිත්‍යාගයන් නිසා 1950 අගෝස්තු 4 වැනි ඇමරිකානු හමුදා ජයග්‍රහණය නොපෙනෙන කාලයකදීම කොරියාව වෙනුවෙන් සිය හමුදාව යෙදවිමට මාවෝ සේතුං ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පොලිත්බියුරෝව තීරණයකට එළඹ තිබුණි.

කෙසේවෙතත් ඔක්තෝබරය මුලදී ප්‍රතිවාදී හමුදා 38 වන රේඛාව පසුකිරීමත් සමග තමන්ගේ හමුදාද යාලු ගංඟාව හරාහා කොරියානු භූමියට යවන බව මාවෝ විසින් ස්ටාලින් හටද දන්වා සිටි අතර එවකට චීනය සතුව පුහුණුව ලැබූ ගුවන් හමුදාවක් හෝ ගුවන් හමුදාවක් නොසිටි නිසා ගුවන් ප්‍රහාර එල්ල කිරීම තුළින් එතෙක් ගුවනේ ආධිපත්‍ය නතු කරගෙන සිටි ඇමරිකානුවන් යටපත් කර සිය හමුදාවේ ගමන් මඟ සුරක්‍ෂිත කරගැනීම අභිලාෂය විය. ස්ටාලින් විසින් සිය ගුවන් හමුදා සහය ලබා දීමට එකඟ විය.


චීන පාර්ශවයේ මෙම පියවරයන් ඇමරිකානු මධ්‍යම රහස් ඒජන්සිය හෙවත් CIA පවා නොදැන සිටි අතර දෙවන ලෝක යුද්ධයට පසු සියලු ඇමරිකානු හිතවාදීන් උකුසු ඇස් යොමුකරගෙන සිටි සෝවියට් දේශය පවා තිර‍යේ ඉදිරියට පැමිණ රඟදැක්වීමක් සිදු නොකරන නිසා චීනය ගැන කිසිදු සැකයක් ඒ සංවිධානය වෙතද නොවූ අතර ඩග්ලස් මැක්ආතර් පවා සිය අධිවිශ්වාසය හෝ ඔත්තු සේවා පදනම් කරගෙන 1950 ඔක්තෝබරය මුල ප්‍රථම වරට Wake Island Conference හිදී හමුවූ අවස්ථාවේදී චීනයෙන් තර්ජනයක් එල්ල වනු ඇත්දැයි විමසන විට පවා එය ප්‍රතික්‍ෂේප කර සිටියේය. එසේම එළඹෙන නත්තලටත් පෙර කොරියානු මෙහෙයුමට යොදවා සිටි 8 වන ඇමරිකානු හමුදාව නැවත ජපානය වෙත යැවීමටද හැකියාව ලැබෙන ඇතැයි ඔහු පවසා සිටියේය.

1950 ඔක්තෝබරය සත්‍ය වශයෙන්ම ඇමරිකානුවන්ටම වාසිදායක කාලයක් විය. ඔවුන් ඔක්.19 වන විට 38 වන රේඛාවට ඊසාන දෙසින් සැතපුම් 90 ක් වූ උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ද අත්පත් කර ගැනීමට වැඩි අපහසුවකින් තොරවම සමත් විය. මේ ප්‍රධාන ඉලක්කය මෙන්ම උතුරු කොරියානු භූමිය යාලු නදියේ කෙළවරටම තල්ලු කරමින් යාලු නදිය ආසන්නයටම ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ලංව සිටියෝය.

චීන හමුදා මැදිහත්වීමක් පිළිබදව CIA හෝ මැක්ආතර්ගේ බලාපොරොත්තුවක් නොවූ අතර අදෘශ්‍යමානව සිදුවෙමින් පැවති චීන මැදිහත් වීම කෙසේවෙතත් 1950 නොවැම්බර් වන විට ලෝක යුද ඉතිහාසයේ යුද ජයග්‍රහණ පෙනී පෙනී සිටියද හරස් කපා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඇතැම්විට සියලු වාසි අත්කර දෙන ස්වභාවික සතුරා නම් දෘශ්‍යමාන විය. ශීත කාලගුණයයි. අංශක 0 ටත් වඩා අඩු උෂ්ණත්වයක් සමග සොල්දාදුවන්ට ඉතා අපහසුගෙන දෙන්නට වූ අතර රථවාහන වල තෙල් ආදියද මිදෙන්නට වූයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වයද ඇණහිටියේය.

නොවැම්බරය 1 දා වන විට උතුරු කොරියානු මායිමේ වූ චීනයේ මැන්චූරියාවද ආක්‍රමණය කරනු ඇතැයි බියකින් චීනය මැන්චූරියාව වෙත හමුදාව එක්රැස් කරමින් සිටින බව CIA ලොක්කා දන්වා සිටියත් එය විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමක් නොවනු ඇති බවද ඔහුගේ විශ්වාසය විය. යුද බිම තම නිවස මෙන් වූ මැක්ආතර් හටද චීනයේ යම් මැදිහත්වීමක් ඇති බවට ප්‍රහාරයන්ගේ වෙනස් කම් වලින් නිරායාසයෙන්ම දැනෙන්ටද ඇති බව සිතිය හැකිය. ඔහු නොවැම්බර් 24 වන දින Douglas C-54 Skymaster (http://en.wikipedia.org/wiki/Douglas_C-54_Skymaster) ගුවන් යානයකින් උතුරු කොරියානු උතුරු ප්‍රදේශයේ නිරීක්‍ෂණය කළ අතර කිසිදු වෙනසක් ඔහුට දැන ගන්නට ඉඩක් නොවීය. එයට හේතුව චීන භටයන් දහවලේ කොළ අතු වලින් ආවරණය වී සිටිමින් රාත්‍රිකාලයේ ක්‍රියාකාරීවීමයි. එසේම මෙදින ඇමරිකාව ප්‍රමුඛ හමුදා දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළ නමුත් නොවැබර් 25 දින ඇමරිකානු ප්‍රමුඛ හමුදාවන්ට එවැනිම දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ජනරාල් මැක්ආතර්ගේ නිගමනයන් බොරු කරමින් වන විටත් දින 3 කට‍ පෙරාතුවම චීන හමුදා යාළු තරණය කරමින් උතුරු කොරියාවට ඇතුළුව තිබුණා පමණක් නොව මැක්ආතර්ගේ නිගමනය වූ 70,000 පමණ හමුදාවක් නොව 300,000 පමණ බට කණ්ඩායමක් පැමිණ තිබුණි


volunteer army හෙවත් ස්වේච්ඡා හමුදාව ලෙස නම් කොට එවූ මෙම චීන හමුදාවේ ඉහළම අණදෙන ජනරාල්වරයා හැරුණ කොට සෙසු නිලයන් සියල්ලම සමාන ලෙස සැලකූ බව පසුව ඇමරිකානු සොල්දාදුවන් පවා පවසනු ලැබූහ. මෙම චීන ස්වේච්ඡා හමුදාව විසින් ඇමරිකාව ප්‍රමුඛ හමුදාවට වටකොට පහර දුන් අතර නොවැම්බර් 27 වනදා එල්ලවූ අතිදැවැන්ත මිනිස් රැළි මෙන් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබානු හැර වෙන යමක් ඇමරිකානු හමුදාව ප්‍රමුඛ අන්‍යයන්ට නොවීය. කෙසේවෙතත් මෙම දෙපාර්ශවයටම කිරාමැනීමකින් තොරව දඩුවම් දුන් බලවේගය වූ එවකට පැවති ශීත කාලගුණයයි. එ‍හිදී ඇමරිකානු පාර්ශයට යම් තරමක හෝ වාසි දායක වූයේ ඔවුන්ට උණුසුම් ඇගලුම් යම් ප්‍රමාණයක් හා ආහාරද සැලකිය යුතු ප්‍රමාණයක් සතුවීමයි. අතින් චීන හමුදාවන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නටද සිදුවූ අතර ඔවුන් විද අහිතකර ප්‍රතිඵලවලටද මුහුණ දෙමින් සතුරාට එළව එළවා පහර දීමට හැකි බලය ඔවුන්ට සතුවූයේ බටහිර අධිරාජ්‍යවාදයට එදිරිව ඔවුන්ගේ මොළ ශෝධනයට ලක් කර තිබූ නිසා බවද පැවසේ.

‍දැවැන්ත පිරිස් බලයක් තිබූ චීන හමුදාවන්ට කාලතුවක් වැනි බර අවි ප්‍රහාර එල්ලවූවද ඔවුන්ගේ කිසිදු පසුබෑමක් සිදුනොවීය. ඇතැම් එක්සත් ජාතීන්ගේ හමුදා බලඇනී හුදකලා තත්ත්වයකට පත්ව තිබූ අතර සැපයුම් මාර්ගද අවහිර වීමෙන් සියලු සැපයුම් ගුවනින් සිදුකළ යුතුව තිබූ නිසා ඇතැම් අවස්ථාවල එයට පැන නැගී බාධා හේතුවෙන් පතරොම් ආදියද හිඟවීමෙන් 600-700 ප්‍රමාණයේ බට පිරිස්වලට සතුරාට යටත්වනු හැර වෙන කරන්නට යමක් නොවූයේ ඒ වන විට ඔවුන්ට පසුබැසීමට හෝ නොහැකිවන සේ වට කොට සිටි හෙයිනි.

‍කොරියානු යුද්ධයේ මූලාරම්භයේ ගුවනේ ආධිපත්‍ය ඇමරිකාව සතුවූ මුත් චීනයද යුද්ධයට සම්බන්ධ වූවාත් සමග  සෝවියට් MiG-15 ගුවන් යානාද ඇමරිකානු ගුවන් යානා වලට නිදහසේ රාජකාරී කිරීමට අවහිර කරමින් සැරි සරන්නට වූ විය. 

ඇමරිකානු B-29 ගුවන් යානා කලින් චණ්ඩිකමින් හිතෙන හිතෙන වෙලාවට බෝම්බ හෙළමින් සතුරා භීතියට පත්කළත් මිග් යානා පියාසර කිරීමත් සමග ඇමරිකානු යානා කිහිපයක්ම සදහටම පොළව මත පතිත කරවීමත් සමග ඉන්පසු රාත්‍රිකා‍ලයේ හැරෙන්නට B-29 ගුවන් යානා වලට ‍පියාසර කිරීම දැන දැන විපතේ වැටීමක් විය.







කලින් පැවසූ මිග් යානාවල තිබුණේ බ්‍රිතාන්‍ය Rolls-Royce RB.41 Nene එන්ජින් වලට සෑම අතින්ම සමාන එන්ජින් යයි පැවසුවහොත් ඔබ සමහර විට පුදුම වන්නටත් පුළුවන්. ඒත් එය සත්‍යයක්. 1945 දී සෝවියට් දේශය සමග හොද හිත වර්ධනය කරගනුවස් එවකට බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් විසින් ස්ටාලින් හට මෙම එන්ජින් ලබා දුන් අතර සෝවියට් ඉංජිනේරුවන් එය පහසුවෙන් කොපි කර මෙම මිග් යානාවලට එන්ජින් නිර්මාණය කරනු ලැබීය. අවසානයේ ඇමරිකාවේ හොදම හිතවතා ලබාදුන් තාක්‍ෂණය සෝවියට් දේශය ඇමරිකාවට පහරදීමට යොදා ගත්තේය.

ඇමරිකානු යුද ඉතිහාසයේ දැවැන්තම පසුබැසීම මෙම යුද්ධයෙන් වාර්තාවිය. බටහිර දෙසින් වූ හමුදා ගොඩබිම දෙසින් දකුණු කොරියාව වෙත පසුබැසීම සිදුවූ අතර එයින් දීර්ඝතම පසුබැසීම සැතපුම් 200 ක් පමණ විය. ඇතැම් විට තුවාල ලබන සඟයන් දමා එනු විනා සතුරා ළඟ ළඟම පහර දෙමින් ලුහු බදින නිසා වෙන කරන්නට යමක් නොවූ බවද පසු කලෙක මෙම යුද්ධයට සම්බන්ධවූ සොල්දාදුවන් පැවසුවේ ඉතා කණගාටුවෙනි. එහෙත් නැගෙනහිරින් පසුබසින සේනාව මොවුන් තරම් අවාසනාවන්ත නොවීය. උතුරු කොරියානු භුමියේ නැගෙනහිරින් වූ වරායන් වලින් නැව් මගින් ඔවුන් උතුරු කොරියානු භූමියෙන් ඉවත් වූ අතර ඔවුන් සමග උතුරු කොරියානු සරනාගතයන්ද විශාල ප්‍රමාණයක්ද යාමට පැමිණීම විශේෂත්වයක් විය. මෙම පිරිස් ඉවත්වූ වහාම එම භූමියට නැව් මගින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සතුරාට මෙන්ම එම භූමියේ වූ භෞතික සම්පත්ද නැවත ඔවුන්ට ප්‍රයෝජනයට ගත නොහැකි වන දේ විනාශ කර දමන ලදි

උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ඇමරිකානුවන් අත තිබුණේ යන්තම් දින 17 කි. 1950 දෙසැම්බර් 6 වන දින නැවත එය අත්පත් කර ගැනීමට චීන හමුදාවලට හැකිවූ අතර ඊළඟ දිනයේ ඔවුන් තවත් සැතපුම් 58 ක් තරම් දුර ගමන් කරමින් 38 වන රේඛාවට සැතපුම් 32 ක් දුරට වන්නට ස්ථාන ගත වන්නට තරම් වේගවත් විය.

දෙවන ලෝක යුද්ධයේදී යම් ප්‍රමාණයකට හෙලිකොප්ටර් යොදා ගත්තත් විශාල පරිමාණයෙන් හෙලිකොප්ටර් යොදා ගත් ප්‍රථම යුද්ධය ලෙස කොරියානු යුද්ධය ඉතිහාසගතවන අතර සටනේදී තුවලා ලබන ‍සෙබළුන් ඉක්මනින් ප්‍රතිකාර සදහා රැගෙන යාමට මෙම හෙලිකොප්ටර් විශාල දායකත්වයක් ලබාදුන්නෝය. 

MASH unit (Mobile Army Surgical Hospital) ලෙස හදුන්වන හමුදා ජංගම ශල්‍යාගාර රෝහල් ගැනද සදහන් කළ යුතුමයි. සටනේදී තුවාල ලබන සෙබළුන් විශාල ප්‍රමාණයකගේ වේදනාවන් අවම කර ගැනීමට මෙන්ම ජීවිත රැක ගැනීමට මෙම ඒකකයන් ලබා දුන් සේවය අගය කළ යුතු අතර දෙවන ලෝක යුද්ධයට වඩා තුවාල ලබන සෙබළුන් 25% ක පමණ ප්‍රමාණයකගේ දිවි රැක දීමට මෙම කාර්යය මණ්ඩලය සමත් විය. එහෙත් ඇතැම් විට එක් සඟයෙකුගේ දිවි රැක ගැනීමට තවත් සඟයකුට තම පාදය ඉවත් කිරීමට ඉඩ දිය යුතුවූයේ යම් හෙයකින් ඔහුගේ පාදය රැක ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලය කාලය ගත කළහොත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අනෙක් සඟයාගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය එය විය හැකි බැවින් බව පැවසේ.

http://en.wikipedia.org/wiki/Mobile_Army_Surgical_Hospital
http://sarcasmalley.com/korea.htm

නත්තලට පෙර ගෙදර යන්නට සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක තැන්පත්වීය. මෙම යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවක ඇමරිකානුවන්ට තවත් පාඩුවක් සිදුවිය. ඒ අටවන ඇමරිකානු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් Walton Walker ගේ ජීප්රිය Seoul උතුරින් පිහිටි පෙදෙසක් වන Uijeongbu හිදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්වීමයි. ඒ අනුව ලෝක යුද්ධ දෙකකට සම්බන්ධව සිටි අත්දැකීම් පරිපුර්ණ සෙන්පතියෙකුගේ නික්ම යාම සිය දේශයෙන් ඉතා ඈතකදී සිදුවිය. http://en.wikipedia.org/wiki/Walton_Walker

1950 දෙසැම්බර් අවසාන සතිය වන විට සමස්ත උතුරු කොරියානු භූමියෙන්ම ඇමරිකාව පලවා හැරීමට චීන-උතුරු ‍කොරියා ගොඩබිම් හමුදා සමත්විය. එයින් පසුව සංග්‍රම‍යේ කටයුතු ඊළඟ ලිපියෙන්....

පළමු ලිපිය
දෙවන ලිපිය

21 comments:

  1. ඔබේ බ්ලොගයත් දැන් විචාරක තුමාගේ බ්ලොගය වගේම සන්නද්ධවෙලා තියනවා නියමයි...මේ තොරතුරුවලට බොහොම ස්තුතියි

    ReplyDelete
  2. Aiye puluwanam "6 day war" gana article ekak liyanawada?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් විස්තර ටිකක් මා සතුව තිබෙනවා. ඉදිරි කාලයේදී ඒ ගැනත් ලියන්නම්...

      Delete
  3. සත් සමුදුරේ අතිවිශිෂ්ට ලිපියක් ...

    ReplyDelete
  4. මේක නිකන් ෆුට් බෝල් මැච් එකක් වගේ යුද්දයක්නෙ. එහෙට යනවා, මෙහෙට එනවා..

    ජර්මනිය එකතු වුනා වගේ මේ දෙගොල්ලන්ටත් එකතු වෙන්න පුළුවන්නම් ඉතා හොඳයි.. ඒත් තාමත් ඇමෙරිකානු, රුසියානු, චීන බලපෑම් තියනවා වගේ.

    බොහොම ස්තූතියි දිනේෂ් මේ තොරතුරු වෙනුවෙන් කළ කැප කිරීමට.

    (මට සත් සමුදුර ලැප් එකෙන් කියවන්න බෑනෙ. ඉංග්‍රීසියෙන් දාන ඒවා පේන්නෑ.. මොකද මංදා )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා, මේකයි හේතුව මම භාවිතා කරන සිංහල යුනිකෝඩ් font එකේදී මේ ගැටළුව මටත් ආවා. හැබැයි මෙහෙම දෙයක් කරන්න ඔබ භාවිතා කරන Browser එක වෙනුවට වෙන එකක් භාවිතා කරන්න. හරිගියේ නැත්නම් කියන්න එයට විසදුම මෙහිම යොදන්න ක්‍රියා කරන්නම්...

      Delete
    2. මම ක්‍රෝම් පාවිච්චි කරන්නෙ දිනේශ්.. හැබැයි ඔෆිස් එකේ කම්පියුටරෙන් අවුලක් නැතුව කියෙව්වෑකි. වෙන බ්‍රවුසර් එකකට තියෙන්නෙ එක්ස්ප්ලෝරා එක. ඒක වාතයක්.

      මොනවා හරි කරන්න පුලුවන්නම් බලන්නකො.. නැතත් අවුලක් නෑ.. මට ඔෆිස් එකෙන් හරි කියෙව්වෑකි.

      Delete
  5. වැදගත් ලිපියක්. මේ යුද්දේ තාම ඉවර නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් නිල වශයෙන් අවසන්ව නැහැ. 1953 දී අත්සන් කළේ සටන් විරාම ගිවිසුමක් පමණයි...

      Delete
  6. ඉතාමත් වෑදගත් ලිපියක්.මෙවගේම 1 ලොක යුද්දය ගෑනත් ලිපියක් පුලුවන්නම් දාන්නකො. ඔබගෙ ලිපිවලින් හා කොමෙන්ට් වලින් තමය් 2 ලොක යුද්දය ගෑන ගොඩක් දෑනගත්තෙ.1 ලොක යුද්දය ගෑන ඈහෙනව බොහොම අඩුයී. දන්නෙ නෑති තරම්. [දුලිත ]

    ReplyDelete
    Replies
    1. WWI ගැනත් තොරතුරු රැසක් මා සතුව තිබෙනවා. ඉදිරි කාල‍යේදී ඒ ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා...

      Delete
    2. ස්තුතියී

      Delete
  7. මම මේ යුද්ධය ගැන තොරතුරු ටිකක් දැන ගෙන හිටියා ඔබ මාව තවත් ඉදිරියට ගෙනගියා. මම ඔබගේ ලිපිවල දකින අපූරුම දේ මූලාශ්‍ර ගැන එන සටහන ඒ නිහතමානී කම ගැන මගේ ප්‍රසංශාව පිලිගන්න. ඉතිරි කොටසත් ඉක්මනින්ම දෙන්න බලන්න. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! විශේෂයෙන් තොරතුරක විශ්වාසනීයත්වය ලැබෙන්න ඒ පිළිබදව වාර්තා කර තිබෙන පැරණි මූලාශ්‍ර පිළිබදව සැලකිලිමත්වීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම එකම මූලාශ්‍රයක් මතම යැපීමකින් තොරව මූලාශ්‍ර කිහිපයක් හදාරා ඒවා අතර හරස් විමර්ශනයක් කර ගැටළු සහිත තැන් තිබේනම් සමබරව හා වඩාත් විශ්වාස කළ හැකි තොරතුර මත එහි ඇති ව්‍යාකූලත්වය පිළිබදව යම් විචාරයක්ද සහිතව ඉදිරිපත් කිරීම වැදගත් වෙතැයි මා සිතනවා. බොහෝවිට විකිපීඩියා දිඟුව පමණක් ලබාදී ලිපිය අවසානයේ සමස්ථ මූලාශ්‍ර පිළිබදව සටහන ලබා දෙන්නේ අපට ලේසියෙන්ම පිවිසිය හැකි මූලාශ්‍රය විකිපිඩියා නිසා. එහෙත් කවුරුවත් වැරදියට වටහා ගත යුතු නැහැ මේ ලිපි ලියන්නේ විකිපිඩියා මතම යැපී කියා. මොකද අතීතයේ බොහෝ දෙනෙක් එසේ පූර්ව නිගමනයකට එළඹී චෝදනා කරන අවස්ථාද තිබුනා....

      Delete
  8. හරි සවිස්තරාත්මක ලිපියක්. ගොඩක් කරුනු හොයන්න මහන්සි වෙල තියෙනව කියල මූලස්‍රවලින් පේනව. බොහොම වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එය සත් සමුදුරේ ප්‍රතිපත්තියක් හා මෙහි ඇති දීර්ඝ ලිපි අතරින් 95%කට වඩා ප්‍රතිශථයකම එය පවත්වාගෙන ගිය දෙයක්.

      Delete
  9. හොඳටම පරක්කු වෙලා ආවේ . පිස්සු හැදෙනවානේ මේවා කියවද්දී ..ඉතිහාසයේ සාහසික අපරාධ

    ReplyDelete