-->

Friday, May 31, 2013

කොරියානු යුද්ධය පිළිබදව පසු විපරමක්


කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි.

විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. එයින් 2/3 ක්ම සිවිල් ජනතාව වීම තුළින් බලවතුන්ගේ යුද්ධයට නතුව අහිංසක මිනිස් ජීවිත වලට අත්වූ ඉරණම සිතා ගත හැකිය. මෙම අගය කෙතරම් භයානක අගයක්ද කියතොත් සමස්ත දෙවන ලෝක යුද සමය තුළදීම මිය ගොස් ඇති ජපනුන්ගේ ගණනද මිලයන 2.3 කි. චීනය කොරියානු යුද්ධයේදී මිලියන එකක පමණ සොල්දාදුවන් පිරිසක් අහිමි කරගෙන ඇති අතර ඇමරිකානුවන් 36,934 ක් තමන්ගේ රටින් සැතපුම් 8,000 ක් පමණ දුරකදී ජීවිතයෙන් සමුගත්හ. එපමණක් නොව 103,284 සිය රටට ගියේ විවිධාකාරයේ තුවාල වලට ලක්වීමෙන් පසුවය.  
එමෙන්ම යුද්ධ වලදී බොහෝවිට සිදුවන පරිදි සතුරු ප්‍රහාර වලට පමණක් නොව ඇතැම්විට වැරදීමකින් එල්ල කරන මිතුරු පාර්ශවයේ ප්‍රහාර වලින් සහ තවත් විටක සතුරු පාර්ශවයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වලට ආසන්නයේම සිටීමෙන්ද බට පිරිස් අනතුරට ලක් වූ බව සදහන්වේ.අනෙකුත් ජාතීන්ට අයත් එක්සත් ජාතීන්ගේ හමුදා භටයන් 3322 මියගොස් 11,949 විවිචාකාරයේ ආබාධ වලට ලක් වූ බව සදහන්ය. කෙසේවෙතත් ඇමරිකාව මෙම වසර 3 තුළ අහිමි කර ගත් බට සංඛ්‍යාව ඔවුන් වියට්නාම් යුද්ධයට සම්බන්ධවූ 1962-1973 අතර කාලය වූ වසර 11 සාපේක්‍ෂව වැඩි අගයකි. මෙම කාල සීමාව තුළ වියට්නාම් යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 58,220 ක් බව පැවසේ.

විවිධ මූලාශ්‍රවල විවිධ ‍තොරතුරු උතුරු කොරියානුවන්ගේ ජීවිත හානිය පිළිදව ඇතත් පොදුවේ ගත්විට කොපමණ උතුරු කොරියානුවන් පිරිසක් මියගියේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැත.කෙසේවෙතත් උතුරු කොරියානුවන්ට අහිමිවූ යටිතල පහසුකම් සහ දේපල ප්‍රමාණය අති මහත්ය. දකුණු කොරියානුවන්ගේ ජීවිත පවා තම රටේදීම දකුණු කොරියානු හමුදාව අතින් මෙන්ම ඇමරිකානු හමුදාව අතින්ද අහිමිවූයේ සෑම විටකම ඔවුන්ටද "උතුරු ‍කොරියානු හිතවාදී හෝ උතුරු කොරියා ඔත්තුකරුවන්" යන ලේබලයද ඇලවීය. අරුමය නම් මෙම "ලේබලය" ඇලවුන මිය ගියවුන් අතර බොහෝවිට ඉතා අඩුවයසේ දරුදැරියන්ද සිටීමයි. එතරම් එදා මරණය හා මැරීම යන්න සුළු දෙයක් බවට පත්ව තිබුනි.

තවත් අතකින් ඇමරිකානුවන්ට දකුණු කොරියාව අවශ්‍යව තිබුණේ, දෙවන ලෝක යුද්ධයේදී තමන්ට රිදෙන්නටම පහරදුන් ජපනුන් පාලනය කර ගැනීමට අවශ්‍ය මූලෝපායික රටක් ලෙස පවත්වා ගැනීමට බවද ඇතැම් විද්වතුන් සදහන් කරති. එහෙත් කොරියානු යුද්ධය නිසා සිදුවූයේ ජපානය කෙරේ තිබූ ප්‍රතිපත්තිය වෙනස් කොට නොසිතූ ඉලක්කයන් සපුරා ගැනීම කෙරේ අවධානය යොමුකිරීමටයි. මෙම යුද්ධය නිසා ජපානයට අත්වූ එක් වාසියක් වන්නේ අතරමැදි සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම නිසා ආර්ථික හා අනෙකුත් යටිතල පහසුකම් දියුණුවීම මෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගෙන් පසුව ඈත නැගනහිර ආසියාව හා ජපානය භාරව පැමිණි ජනරාල් රිජ්වේ ජපානයේ සෛවරීත්වය සහ නිදහස පිළිබදවද අවධානය යොමුකිරීමයි. තවත් මූලාශ්‍ර වල කියවෙන කරුණක් නම් ඇමරිකාව තුළ ව්‍යාප්තිය තහනම් කළ අන්තවාදී ආගමික සංවිධාන බොහෝමයකට ඇමරිකානු අනුදැනුම ඇතුවම දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් දකුණු කොරියානුවන් වෙනත් ආගම් වලට බදවා ගැනීමද සිදුවූ බවයි. මෙවන් සැඟවුන කාරණා බොහෝමයක් තව තිබෙන්නට ඉඩ ඇත.

මිනිස් ජීවිත හා සම්පත් විනාශ කර දමන යුද්ධය යන බිහිසුණු සිදුවීම කිසිසේත් අනුමත නොකරත් මෙම යුද්ධයෙන් ඇමරිකාවට පූර්ණ වශයෙන් ජය ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමට හැකියාවක් තිබූ කරුණු පිළිබදව වඩාත් සැලකිලිමත් වීමේදී පෙනේ. ලෝක යුද්ධයෙන් පසුව යුද වියදම් හා අවි නිපදවීම අඩු කළත් ඔවුන් සතුව සෝවියට්දේශය අභිබව තිබූ න්‍යෂ්ටික හැකියාව මෙන්ම අනෙකුත් සම්පත් කළමනාකරණය කර ගැනීමේ සියුම් හැකියාවන් ප්‍රයෝජනයට ගත්තේ නම් මේ දක්වා නිල වශයෙන් යුදමය තත්ත්වයකට පත්ව සිටින එකම ජාතියක් එයින් මුදවා ගැනීමේ හැකියාව තිබුණි.
තවත් අතකින් එතරම් ප්‍රසාදයක් නොතිබූ ටෲමන් ජනපතිවරයාට වඩා යුද පරිපාලනය අතින් මෙන්ම අනෙකුත් කාරණා අතින්ද ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට පත්ව සිටි අයිසන්හවර් වැනි ජනාධිපතිවරයෙකුට සෝවියට් හා චීන බලපෑමද යටපත් කරමින් කොරියානු යුද ජයග්‍රහණය මුළුමනින්ම තමන් සතුකරගැනීමේ හැකියාව තිබුණත් වන විට ඇමරිකානුවන්ට මේ යුද්ධයෙන් සිදුව තිබූ මිනිස් ජීවිත අහිමිවීම්, දේපල අහිමිවීම් සහ එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්වය සැපයූ එක්සත් රාජධානිය වැනි රටවල් මෙම යුද්ධය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයෙන් පසු නොවීම වැනි කාරණාද බලපෑහ. තවත් අතකින් ආසියාවේ ඈත කෙළවරක කුඩා රටක් එක්සේසත් කරනවාට වඩා ඒවන විට ගිනියම් වෙමින් පැවති සීතල යුද්ධයේ බලපෑම යුරෝපය වෙලා ගනිමින් තිබූ නිසා වෙනුවෙන් අවධානය වඩාත් යොමුවීම කොරියානු යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීම ඇමරිකානු බලාපොරොත්තුවද විය
යුද්ධයට පෙරාතුව උතුරු කොරියාව කාර්මිකකරණයට වඩාත් නැඹුරු වූ රටක් ලෙසත් දකුණු කොරියාව කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට හුරුවූ රටක් ලෙසත් සැලකුණි. එහෙත් යුද්ධයෙන් පසුව දකුණු කොරියාව කෙරේ ඇමරිකානු බලපෑම හා මැදිහත්වීම් සහ හමුදා කඳවුරු ඇතිවීම වැනි කාරණා සමග උතුරු කොරියාවට වඩා පසුකාලීනව කාර්මිකකරණයට හා ආසියාවේ දෙවන සංවර්ධිත රට බවටද පත්වීමට හැකිවිය. උතුරු කොරියාව යුදමය අතින් දැනටත් දකුණු කොරියාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටියත් එරට සාමාන්‍ය ජනතාවට ඇති අවම පහසුකම් හා මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට ඇති අපහසුතාවය ගැන සැලකීමේදී දශක කිහිපයක සිටම දකුණු ‍කොරියාව සිටින්නේ යහපත් ජීවන තත්ත්වයක්, සහ අනෙකුත් කාරණා අතින්ද ගව්ගාණක් ඉදිරියෙනි


ලෝකය පුරා ජාලයක් ලෙස ඇමරිකානු කඳවුරු පිහිටුවන්නට කොරියානු යුද්ධයද තවත් අතකින්‍ හේතුවක් විය. එදා කොරියානු යුද්ධයට මුලපිරූ කිම් ඉල් සුන්ගේ පුතණුවන් හා දැන් ඔහුගේ මුණුපුරාද විටින් විට දකුණු කොරියාවට එරෙහිව තර්ජනාංගුලිය දිගු කළත් යම් හෙයකින් නැවත කොරියානු යුද්ධයක් ඇතිවුවහොත් එක්සත් කොරියාවක් දකුණු කොරියානු අර්ථ ක්‍රමය යටතේ බිහිවීමට ඇති ප්‍රවණතාවය වැඩිය. මන්ද දැන් ලෝකයේ සුපිරි බලවතුන් ඇත්තේ එක් පාර්ශවයක් පමණි. සෝවියට් දේශය බිද වැටීමෙන් පසු රුසියාව ලෝකයේ ඇමරිකාවට එරෙහි යුද්ධ වලදී අතපෙවීම නැති තරමටම වී ඇති අතර චීනයේ යුද-ගුවන්-නාවික බලය මෙන්ම න්‍යෂ්ටීක බලයද හිමි මුත් ඇමරිකානු හා නේටෝ බලය හමුවේ ඔවුන්ද සිටින්නේ ඇතැම් විට පසුපස වුවත් එදා මෙන්ම අදද චීන හමුදාව සතු ධෛර්යය හා අධික පිරිස් බලය යම් හෙයකින් උතුරු කොරියාවට හිමි වුවහොත් එය ඇමරිකාවට මහත් හිසරදයක් වනු නොඅනුමානයි.


එදා විශාල න්‍යෂ්ටීක බෝම්බ ගුවනින් පැමිණ හෙළා නගර ගම්බිම් මිනිසුන් විනාශය උච්චතම අවස්ථාවේ සිදුවෙතැයි අපේක්‍ෂා කළත් ඇමරිකානු හමුදාව ගල්ෆ් යුද්ධයේදීද M1A2 Abrams යුද ටැංකි භාවිතා කරන M829A1 "Silver Bullet" උණ්ඩ හා A-10 Thunderbolt II ප්‍රහාරක ‍ජෙ‍ට් යානාවල භාවිතා කරන GAU-8/A Avenger is a 30 mm උණ්ඩ සදහාද යුරේනියම් අපද්‍රව්‍ය මුසු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති නිසා එදාටත් වඩා සාර්ථක හා විනාශකාරී අවි ඔවුන් සතුවීම උතුරු කොරියානුවන්ට හිතකර නො‍වීමට ඉඩ ඇතිවා මෙන්ම දැන් උතුරු කොරියාවද යම් තාක් දුරකට නයෂ්ටික බලය අත්පත් කරගෙන ඇති මුත් එය භාවිතා කළ හොත් ඇමරිකාවටද මහා පරිමාණයෙන් එම අවි භාවිතා කිරීමට හැකි සාධාරණ හේතුවක් ලැබීම කිසිසේත්ම උතුරු කොරියාව ලෝක සිතියමෙන් මැකීයාම වැළැක්වීමට හැකිනොවන අත්වැරදීමක් වනු ඇත.
http://en.wikipedia.org/wiki/M1_Abrams
https://en.wikipedia.org/wiki/Fairchild_Republic_A-10_Thunderbolt_II
http://en.wikipedia.org/wiki/GAU-8_Avenger

එසේනම් දැන් කාලයකට පසුව සත් සමුදරේ පළවූ දීර්ඝතම ලිපි පෙළක් අවසන් කරන්නට අදහස් කරමි. මෙම ලිපි‍ය සැකසීමේදී විටින් විට සටහන් කළ මූලාශ්‍ර වලට අමතරව පහත දැක්වෙන මූලාශ්‍රද ගැඹුරින් හදාරන ලද බව පවසන අතරම මෙම කාල සමයට අදාළ සේයාරූ හා දත්ත ඇතුළත් සටහන් කිහිපයක්ද ඉදිරිපත් කරමි.

Korean War in Color
Retreat from hell
Secret of War : Korea - Startlin Secret Air War

Korea: Behind The Bamboo Curtain 
Forgoten War - US Army film
Genaral Douglas MacArther - US Army film













15 comments:

  1. ඉතාම අපූරුවට පෙලගස්වා ඉදිරිපත් කල වටිනා ලිපිපෙලක්. සිංහලෙන් පලවුන කොරියානු යුද්ධය ගැන ලියවුන ඉතාම දීර්ග විස්තර සහිතව ඉදිරිපත් කල එකම ලිපිය මෙය වෙන්න ඕන. මා මෙයින් උකහාගත් දේ එමටයි. බොහෝ දෙනෙකුට එය එහෙම වෙන්න ඇති. මට යෝජනාවක් තියනවා ඒ තමයි හැකිද ඊශ්‍රායලය බිහිවීම ඒ කියන්නේ සයන් වාදය පටන් ගත් කාලයේ සිට වර්තමානය දක්වා ලිපි පෙලක් ඉදිරිපත් කරන්න එය කළ හැකිනම් ලොකු සතුටක්. ඔබට බෙහෙවෙන්ම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මමත් දන්නා තරමින් කොරියානු යුද්ධය පිළිබදව වඩාත් විස්තර සහිතව ලියා ඇත්තේ මා විය යුතුයි. මම හිතන්නේ ඔබට සත් සමුදුරේ බොහෝ ලිපි මඟහැරී තිබෙන හැඩයි. මේ වනවිටත් යම් තාක් පමණකට ඊශ්‍රායලය, යුදෙව්වන්, සියොන්වාදය පිළිබදව කෙටියෙන් ලියා තිබෙනවා. ඔබ සත් සමුදුරේ ඊශ්‍රායලය නම් ලිපිය හා දෙවන ලෝක යුද්ධයට පෙර ලිපි පෙළ බලන්න. ඔබට සොයා ගැනීමට නොහැකිවුනොත් කියන්න මා සබැඳියන් දන්වන්නම්...

      Delete
  2. අපූරුයි දිනේෂ්.. මේ ලිපි පෙල බොහොම ආශාවෙන් කියෙව්වෙ...කාලයක ඉඳන් හිතේ තිබුන එහෙත් උත්තර හොයන්න කම්මැලි කමෙන් හිටිය ප්‍රශ්ණ ගොඩකට උත්තර ලැබුනා..

    ඔබේ මහන්සියට මගෙන් මල් මිටක් !

    අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි.. මගේ එකම පැතුම කවදා හෝ කොරියාව නැවතත් එකම රටක් වේවා යන්නයි.. ඒ යුද්දයකින් නොව එකි නෙකා එකතුව ඇති කරගන්නා එකඟතාවයකින් විය යුතුයි... කොරියාව ආසියාවේ ජර්මනිය වේවා යන්න මගේ පැතුමයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! යම් දිනයක බොහෝවිට කොරියාව එක්සත් වේවි. බොහෝවිට එය උතුරු කොරියාව විසින් කරනා “අත්වැරදීමකින්ම“ සිදුවීමට ඇති ඉඩ කඩක් වැඩියි...

      Delete
  3. බොහොම ස්තුතියි දිනේෂ් මේ ලිපි පෙලට. පුස්තකාල 10 කට ගිහින් ගන්න බැරි තොරතුරු ඔබ මේ ලිපි පෙලෙන් පෙන්නුවා. හරිම ඉහලයි. බොහොම අගෙයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැකිතාක් දුරකට මා උත්සහ දැරුවා හැකි උපරිම තොරතුරු ප්‍රමාණය මේ ලිපි පෙළට එකතු කරන්නට...

      Delete
  4. අර ආගම් වලට හරවපු කතාව සම්පුර්ණ ඇත්ත . බෞද්ධ රටක් . කොටින්ම ත්‍රිපිටකය ලි පුවරුවල කොටා තිබෙනවා කොරියාවේ . නමුත් මේ වෙද්දී බහුතරය ක්‍රිස්තියානි හෝ කතෝලික . කෙනෙක් කිවේ හරියටම සංඛ්‍යා ලේඛන කියන්න දන්නේ නැහැ . අපිට වැඩක් නැහැ තමයි . නමුත් ඕවා ඉතින් බොර දියේ මාළු බාගත් අවස්ථා තමයි .

    උතුරු කොරියාවේ සමගි කම්හලක් ..ඒ කියන්නේ දෙගොල්ලම වැඩ කල කම්හලක් තිබුණ . උදේ හවා දකුණේ මිනිස්සු එහි වැඩට ගියාලු . නමුත් ඊයේ පෙරේදා සම්පුර්ණයෙන්ම ඒ ගමන් අත්හිටවල . කලකට පෙර ත් එදා වෙන්වූ පවුල් වල සාමාජිකයින් හමු වූ අවස්තාවක් මන් ටීවී එකේ දැක්ක . හරිම සංවේදියි . වෙන් වෙන්න ඔන්න මෙන්න තියලා බේරුන රටක් විදිහට අපට මේ වේදනාව හොඳින් තේරුම් ගන්න පුළුවන් .


    සමස්තයක් ලෙස නම් දකුණු කොරියානුවන් උතුරේ අය දිහා බලන්නේ වපර ඇසින් . මෙහෙ තියෙනවා රටවල් දෙකේම තානාපති කාර්යාල . [ වියට්නාමයේ විදෙස් ප්‍රතිපත්තිය නම් සුපිරි . හැමෝම ගානට තියන් ඉන්නේ . අපේ උන්දලා මෙහෙ ආව ගියාට මේ හොඳ දේවල් ඉගෙනම නොගන්නේ මොකද මන්දා ]

    කනගාටුයි කියන්න දකුණු කොරියානුවන් හැටදාහක් පමණ ඉන්න නගරයක උතුරු කොරියනුවෙක් නම් මට මුණ ගැසී නැහැ . එම්බසි එකේ අය විතරක් වෙන්න ඇති ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. උතුරු කොරියානුවො ගොළුබෙල්ලො වගේ කට්ට අස්සටම රිංගන ජාතියක්.. දකුණෙ උන් තමා ලෝකෙ වටේ ගිහින් දැන් මුළු ලෝකෙම අල්ලලා තියෙන්නෙ.. මෙහෙත් සෑහෙන්න ඉන්නවා දකුණු කොරියානුවො..

      Delete
    2. උතුරු කොරියානුවන් තවමත් සීමාමායිම් තුළ විය යුතුයි සිටින්නේ. අනිත් කරුණ තමයි වියට්නාමය මාහට හැගෙන අයුරින් ඕනම දෙයක් සමබරව තියාගන්න පුළුවන් මිනිසුන් සිටින රටක්. කොමියුනිස්ට්වාදය ගත්තත් සෝවියට් හෝ චීනය මොඩලයට වඩා වෙනස් ආකාරයකට ගත්තාසේම දීර්ඝකාලීන යුද්ධයේදීද තමන්ට විශාල හානි සිදුවුනත් එය දරා ගෙන ලෝකයේ බලවත්ම රටට වුනත් හැමදාටම දැනෙන වේදනාවක් බවට පත්කරන්න පුළුවන් වුන රටක්...

      Delete
  5. ස්තූතියි දිනේෂ්...අපූරු ලිපි පෙළට...වියට්නාම් යුද්ධය කෙරෙන කාලෙ පත්තර වලින් එහෙම කියවල ඒ ගැන අවබෝධයක් තිබුණට කොරියානු යුද්ධය ගැන මේ තරම් සවිස්තරව මම දැනගෙන හිටියෙ නෑ. ඔබේ උත්සාහයට කැපවීමට ආයෙමත් ස්තූතියි.

    කොරියානු යුද්ධය නිසා ලංකාවට ඒ දවස්වල බොහොම වාසි වෙල තියනව. කෘත්‍රිම රබර් හොයාගෙන තිබුනෙ නැති පණස් ගණන් වල යුද්දෙ නිසා ස්වභාවික රබර් මිල හිටි හැටියේ වැඩි වෙලා නොසිතූ වීරු විදිහට.රබර් වතු හිමියන්ට මේ එක පාරට කඩා වැටිච්චි නිදානෙ නිසා සෑහෙන වාසි වෙලා තියනව. මම පොඩි කාලෙ හිටිය කෑගල්ලෙ. අපි හිටපු ගෙදර පිටිපස්සෙ තිබ්බෙ පොඩි කන්දක්. ඒ කන්ද එකම රබර් වත්තක්.මම පොඩි කාලෙ යාලුවොත් එක්ක ඇවිදින්ට ගිය වෙලාවක දැක්ක ඔය කන්ද මුදුනෙ මහ විසාල ගේකට අත්තිවාරං දාල තියනව. ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම කැළෙං වැහිල.

    ඔය වතු අයිතිකාරය අපෙ එක යාලුවෙක්ගෙ මාම වෙනව. එයාගෙන් විස්තර ඇහුවම තමයි කිව්වෙ පණස්ගනං වල ඔය කොරියන් යුද්දෙ ගැනයි ඒ කාලෙ රබර් ගණං වැඩි වෙච්චි එකයි, එයාගෙ තාත්ත ඔය ගේ හදන්ට පටං ගත්තු එකයි, යුද්දෙ ඉවර වෙලා රබර් ගණං බැස්සම වැඩේ කරගන්ට බැරුව අල්ලල දාපු එකයි ගැන. ඒ කාලෙ මට ඒ කිව්වෙ දේවල් ගැන ඒ හැටි තේරුමක් තිබ්බෙ නෑ. පස්සෙ තමයි හරියටම තේරුණේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් කොරියානු යුද්ධයෙන් යම් වාසිදායක තත්ත්වයක් ඒ අයුරින් ලංකාවට ලැබී තිබුනා තමයි. ඔබේ තොරතුරුවලින් එය තවදුරටත් සනාථ වෙනවා...

      Delete
  6. ලිපිය කිවනවා හැරුණුකොට අදහස් පල කිරීමට තරම් මා කොරියන් යුද්ධය ගැන දන්නේ නැත. එහෙත් ඔබේ අඩවියත් පුස්තකාලයකට දෙවෙනි නැහැ.

    ReplyDelete
  7. දිනේෂ්ගේ මේ ලිපි පෙළ ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමට ම මේ ලිපි පෙළ වටිනවා. අපි වෙනුවෙන් ඔබ මේ සිදුකරන මෙහෙය හැමවිටම අගය කරනවා දිනේෂ්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර, ටිකක් කල් අරගෙන වෙනස් වෙනස් විදියේ දීර්ඝ ලිපි කිහිපයක්ම ලියන්න සිතා සිටිනවා....

      Delete