Monday, May 6, 2013

නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1

මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම විරාමය බිඳ දමමින් නැවතත් ගිනියම්ව ඇති කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය වසර 63 කට පෙරත් උදාවූ ආකාරය මෙම ලිපියෙන් විස්තර කරමි.

යාළු නම් ගංගාවෙන් වෙන්ව චීනයට යාබදව හා කි.මී. 200 ක් ඔබ්බෙන් පිහිටි ජපාන ප්‍රධාන භූමියට අයත් ජපන් මුහුදේ ඇති කයිෂු හා හොන්ෂූ දූපත් වලට අසන්නව පිහිටා තිබෙන සමස්ථ කොරියානු අර්ධත්වීපය වර්ග කිලෝ මීටර් 219,140 නැතහොත් වර්ග සැතපුම් 84,610 කින් සමන්විතය. වසර දහස් ගණනක් චීන ආධිපත්‍යයටත්. 1910 දී ජපාන අධිරාජ්‍යයටත් නතුවූ කොරියාව එතැන්සිට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පැරදෙන තුරාවට ජපාන යුධ යාන්ත්‍රණයට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද සපයමින් කෘරතර ජපාන මිලිටරි යකඩ සපත්තුවට යටවුනා පමනක් නොව ජපාන ඉතිහාසයේ අපකීර්තියක් ඇති කරදුන් ජපාන සෙබළුන්ගේ මනදොළ පිනවීමට “සැප ලඳුන්“ (Comfort Woman) සැපයූ ප්‍රධානම රටක් ලෙස එදා කොරියාව සලකනු ලැබුවේය.

1945 මැයි මාසයේ මුල වනවිටම හිට්ලර්ගේ මිය යාම හෝ පලා යාමත් සමග ජර්මනිය යුද්ධයේ පරාජය භාරගත් මුත් අභිමානවත් හා යුධාකමී ජපානය ලේසියෙන් පරාජය භාරගැනීමට කැමති නොවුනේය. දැන් බටහිර ඇමරිකාව ප්‍රමුඛ හමුදාවට මෙන්ම කොමියුනිස්ට් සෝවියට හමුදාවට සිටි ප්‍රධානම සතුරා ජපානයයි. 1943 දී ටෙහෙරානයේදී හා 1945 යාල්ටාවේදී ඇති කරගත් එකඟතාවයන්ට අනුව මෙම කදවුරු ද්විත්වය ජපානයට එරෙහිව යුද වදින්නට තීරණය කළ අතර ජර්මනිය බිදවැටී මාස තුනක් අතරතුරදී සෝවියට දේශය ජපානයට එරෙහි යුද්ධයට මුලපිරූ අතර ඔවුන් මැන්චූරියාව හරහා කොරියානු අර්ධත්වීපයේ උතුරු දෙසින් 1945 අගෝස්තු 09 වන දා වනදා ඇතුළුවී 38 වන අක්‍ෂාංස රේඛාව පිහිටන ස්ථානයට වී සති තුනක් තිස්සේ ඇමරිකානු හමුදාව ප්‍රමුඛ අනෙකුත් හමුදාවන් දකුණු දෙසින් ඇතුළු වී මෙම 38 වන අක්‍ෂාංස රේඛාව පිහිටන ස්ථානයට පැමිණෙන තෙක් රැකගෙන සිටිහය.

පරමානු බෝම්බ පර්යේෂන මට්ටමෙන් මේ වන විට අත්හදා බලා තිබුනත් එය ජපානයට එරෙහි යුද්ධයකට යොදා ගනු වෙනුවට සාම්ප්‍රධායික හමුදා ක්‍රමවේදයන් ඔස්සේ යුද්ධය කරගෙන යාම මුලින් බලාපොරොත්තුවුනත් වේගයෙන් ඉදිරියට එන සෝවියට් හමුදා ආක්‍රමණයට ජපානයද නතුවී ජපානයද කොමියුනිස්ට්කරණයකට ලක්වනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කැමැත්තක් නොවීය. ඒ වන විට තනි අශ්වයාගේ රේස් එකක් මෙන් ජපානය පමණක් දෙවන ලෝක යුද්ධයේ අක්‍ෂ බලවතුන්ගේ කැමැත්ත නොවීය එසේම ජපානයද පරාජයේ එළිපත්තේ සිටියත් දැවැන්ත සෝවියට හමුදා සේනාංකයන්ද කම්පනයට ලක්කිරීමට ඒ වනවිට එක්සත් ජනපදය සොයා ගෙන සිටි අතිවිනාශකාරී අවිය ජපානය වෙනුවෙන් යොදා ගැනීමට එවකට ඇමරිකානු ජනපති ටෘමන් තීරණය කළේය.

ඒ සමග ලෝකයේ එකම සුපිරි බලවතා නිල වශයෙන් උත්පාදනය වූ අතර  සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වනදා සිය ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම අත්හදා බැලීමත් සමග ලොව දෙවන සුපිරි බලවතාද බිහිවිය. 

කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය ගත්විට එය බටහිර හා නැගෙනහිර බලවතුන් අත්පත්කරගත්තත් එහි ස්වාධීන මැතිවරණයක් පවත්වා නැවත එය එත්සත් කිරීම කොරියානුවන්ගේ සේම එය ජපනුන්ගෙන් ගලවාගත් අයගේද බලාපොරරොත්තුව වුවත් මේ දේපාර්ශවයේම යටිඅරමුණ වූයේ තම දේශපාලන සිද්ධාන්තය ඔස්සේ එය එක්සත් කිරීමයි. එනම් සෝවියට් දේශයට සිය කොමියුනිස්ට් න්‍යාඥ ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම බලාපොරොත්තුව වූ අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිරි බලවතුන්ගේ අභිප්‍රාය වූයේ ධනවාදී එක්සත් කොරියාව බිහිකිරීමයි. දෙවන ලෝක යුද්ධයේ අවසාන අවධිය වන විට මේ කඳවුරු දෙකම එකිනෙකා කෙරෙහි සැකයෙන් හා යටිහිතේ අමනාපයෙන් පසුවුවද කොරියාව ගලවා ගැනීමේදී ඇමරිකාව ප්‍රමුඛ බලවතුන් කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් සෝවියට් දායකත්වය හා එහි ගරුත්වය ඔවුන්ට ලබාදීමට පසුබට නොවීය. කෙසේවෙතත් මෙම කොරියානු බෙදීමට කොරියානුවන්ගේ අදහස් බලවතුන් නොගත් අතර ඔවුන් කයිරෝහිදී ඇතිකාරගත් සම්මුතියකට අනුව මෙම බෙදීම සිදු කෙරින.

පසුව ස්වාධීන මැතිවරණයක් පවත්වා මෙම ගැටළු විසදා ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමේ එකඟතාවයන් තිබුනත් පසුව සෝවියට් දේශය එම අරමුණින් බැහැර වූ නිසා 1948 මැයි 10 වන දා දකුණු කොරියාවේ මැතිවරණයක් පැවැත්වූ අතර මෙම මැතිවරණය වාමාංශික පක්‍ෂ විසින් වර්ජනය කළ අතර දකුණු කොරියාවේ ජනපති ලෙස ඇමරිකානු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ හා කොමියුනිස්ට්වාදය තදින් පිළිකෙව් කළ 73 හැවිරිදි Syngman Rhee ජනපති ලෙස පත්වීය.
Syngman Rhee 1956 දී

උතුරු කොරියාවද එයින් මාස තුනක් ඉක්ම ගිය තැන එනම් එම ව‍සරේ අගෝස්තු 25 වනදා මැතිවරණයක් පැවැත්වූ අතර එයින් අගමැති ලෙස 36 හැවිරිදි තරුණ සටන්කාමී නායකයකු වූ Kim Il-sung පත්වූ අතර මොවුන් දෙදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වූයේ තමන් ඇදහූ දේශපාලන දර්ශනය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීමයි.
Kim Il-sung 1946 දී

මේ අරමුණු ඔස්සේ 1950 දී කොරියන් යුද්ධය ඇරඹෙන තුරාවටම විටින් විට දෙපාර්ශවයේ සාකච්ඡා ආදිය සිදුවූවත් එය දෙපාර්ශවයම පිළිගන්නා එකඟතාවයකට වඩා තමන්ගේ දර්ශනය ඔස්සේ එය කිරීම යටි අරමුණු නිසා ව්‍යාවර්ථ වූ ප්‍රයත්නයක් විය. මේ නිසා කොරියාව එක්සත් වීමකට වඩා උතුරු දකුණු ලෙස දෙකඩ වීම තවතවත් ශක්තිමත් වන්නටද විය.

සෝවියට් දේශයේ පූර්ණ ආශිර්වාදය හා ආධාරද ලැබෙමින් බිහිවූ කොමියුනිස් ආණ්ඩුවක් කොරියානු අර්ධත්වීපයේ උතුරු අර්ධයේ පවතිත්දී දකුණු අර්ධයේ බිහිවූ දක්‍ෂිනාංශික කොරියානු ආණ්ඩුව පිහිටි ප්‍රදේශයේද වාමාංශික වැඩකටයුතු ආදිය ක්‍රමයෙන් එයට ප්‍රියකළ පාර්ශව වෙතින් සිදුවන්නට වූ අතර ඒවා මැඩපැවැත්වීම දකුණු කොරියානු පාර්ශවයෙන් ඉතා කුරිරු සහ අනුකම්පා විරහිත ආතාරයෙන් සිදුවිය. විශේෂයෙන් උතුරු කොරියාව වෙනුවෙන් ඔත්තු බැළුවේයයි සැකපිට අත්අඩංගුවට ගත් දකුණු කොරියානුවන් වෙඩි තබා මරා දැමීමට කිසිදු ආකාරයකට පසුබට නොවූ දකුණු කොරියානු හමුදාව කොමියුනිස්ට්වාදීන් සිරගත කිරීමටත් විවිද වදබන්ධන වලටත් ලක් කෙරෙනු අතර විශේෂයෙන් 1948-1949 අතර කාලයේදී පැන නැ‍ගුන Jeju දූපතේ නැගී සිටීමේදී කොරියානු සොල්දාදුවන් අතින් එහි වැසියන් 14,000-60,000 ක් අතර සංඛ්‍යාවක් මරා දැමීමට ලක්වුනි. මෙවන් අවස්ථාවලදී මුලින් පිරිමින් පළමුව මරා දැමීමටත් ගැහැණුන් සමූහ වශයෙන් දූෂනයට ලක් කර වද දී මරා දැමීමත් සිදුවූ බව ඉතිහා‍සයේ අපකිර්තිමත් වාර්තා සාක්‍ෂි දරයි.

දකුණු කොරියානු ආණ්ඩුවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ආධාර කරනු ලැබූ අතර උතුරු කොරියාවට සොවියට් ආධාර ලැබුනේය. සෝවියට් - ‍උතුරු කොරියන් සබඳතාවයේදී හමුදාමය වශයෙන් බොහෝ ආධාර ලැබුන අතර පසුව 1950 ජූනි 25 වනදා සිදු කෙරුන දකුණු කොරියාව ආක්‍රමණයද සෝවියට නායක ස්ටාලින්ගේ අනුමැතිය ඉල්ලා එය ලැබුන පසු සිදු කිරීමෙන් සහ මෙම සංග්‍රාම අවධියේද සෝවියට ආධාර හා උපදෙස් ඉතා බැගෑපත්ව ඉල්ලමින් සිදුකිරීමෙන්ම එදා සෝවියට් දේශයේ බලපෑම් ශක්තිය  පිළිබදව අමුතුවෙන් කිවයුතු නොවේ.

1950 ජූනි 25 වනදා උතුරු කොරියාව විසින් 38 වන අක්‍ෂාංස රේඛාව පැන දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවේ කිසිදු පෙර දැනුම්දීමකින් නොවූ අතර ඉන් වසරකට පෙර චීන විප්ලවයට පවා සම්බන්ධව චීන මහජන විමුක්ති හමුදාවේ පවා සටන් කර හොද පලපුරුද්දක්ව තිබූ ඇතැම් උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන්ට, යන්තම් වසර තුනක හමුදා පුහුණුවක් හා තම රටේම සිවිල් වැසියන් මර්ධනය කරමින් පමණක් සිටි දකුණු කොරියානු හමුදාව මැඩපැවැත්වීම එතරම් දෙයක් නොවීය. දකුණු කොරියානුවන්ට යුද ටැංකි කිසිවක් නොවූ අතර අඩුම තරමින් යුද ටැංක විනාශ කිරීමේ අවිවත් සතු නොවීය තවද බර කාලතුවක්කුද සතු නොවූ අතර සෝවියට් දේශයේ නොමසුරුව ලැබුන ඉහත කී අවි ආයුද වලින් උතුරු කොරියානු හමුදාව මනාව සන්නද්ධව සිටි අතර දීන විප්ලවයට සම්බන්ධව එයින් නිදහස් කරනු ලැබූ පළපුරුදු උතුරු කොරියානුවන් එසේ තම චීන මහජන විමුක්ති හමුදාවෙන් මුදාහරිනු ලැබුවේද ඔවුන් දැරූ අවි ආයුදද සමග වීම නිසා උතුරු කොරියානුවන්ට සැම අතින්ම පක්‍ෂියා රජ කළා හා සමාන විය.

ජූනි 27 වනදා Rhee පාලනය සෝල් නුවරින් ඉවත් වු අතර 28 වනදා දකුණට වේගයෙන් පැමිණෙන උතුරු කොරියානු හමුදාවේ ගමන අඩාල කරනු වස් හෑන් ගංගාවට ඉහලින් තිබූ පාලම විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව කටයතු කිරීම නිසා එය මතින් ගමන් කරමින්  සිටි අගතියට පත් සිවිල් ජනතාව 4000 පමණ පිරිසකින් සිය ගණනක් මරු මුවටද පත්වීය. තවද මෙදින සෝල් නගරය උතුරු කොරියානුවන් අතට පත්වීමද සිදුවිය. තවත් විශේෂත්වයක් වන්නේ සෝල් නුවර රැදී සිටි රජයේ ඉහළම නිළධාරීන් 48 දෙනෙකුද උතුරු කොරියාවට පක්‍ෂපාතීත්වය දැක්වීමයි.

යුද්ධයේ මුල් දින කිහිපයේදී දෙපාර්ශවයේම හිංසනයට සිවිල් වැසියන් ලක් වූ අතර මහා පරිමාණයේ සමූහ මිනිස් ඝාතනයද සිදුවිය. ඒ අතරින් දකුණු කොරියානු නායකයාගේ අනදීම යටතේ සිදුවූ Bodo League හෙවත් දකුණු කොරියානු කම්කරු පක්‍ෂයට අයත් නියෝජිතයන් ඝාතනයට ලක්කිරීමයි. වාර්තාවන්ට අනුව මෙහිදී 100,000–200,000 ක අතර පිරිසක් කිසිදු නඩු විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ අතර මො‍වුන් න්‍යාඥාත්මකව උතුරු කොරියාවට පක්‍ෂපාතී වෙතැයි යන සැකය හා නඩු විභාගයක් පැවැත්වීමට කාලයක් නොමැති වීම වැනි හේතු කොට ගෙන නිරපරාදේ මරා දමන ලදි. මෙම ඝාතන බොහෝමයක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි සිය බටහිර මිතුරු රටවල නිළධාරීන් ඉදිරිපිටදී පවා සිදු කර තිබෙන අතර වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව සිය දකුණු කොරියානු හිතවාදීත්වය පවා පසෙක ලා බොහෝමයක් මෙවැනි ඝාතනයන් වැලැක්වීමට උත්සහ කර ඇති මුත් ඉන් කිහිපයක් පමණක් සාර්ථක වී තිබේ. 

මෙපමණක් නොව ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානුවන් පළවා හරමින් උතුරු දෙසට ගමන් කරන අවස්ථාවේදී සිදුවූ නිරායුද ඝාතන අතිමහත් බව පැවසේ. වාමාංශිකයන්, උතුරු කොරියාවට හිතවත්කම දක්වන්නන් පමණක් නොව 2008 දී මෙවන් ඝාතන සිදුකර සිරුරු වලදමා ඇති ස්ථාන පිළිබදව ගවේෂන‍යේදී කුඩා දරුවන් පවා ඝාතනය කර තිබූ බවට හෙලිවිය. ‍මෑතකදී අනාවරණය කළ ඇමරිකානු ජාතික ලේඛණාගාරයේ සේයාරූ වලට අනුව ඇමරිකානු සොල්දාදුවන් පවා මෙම ඝාතන සිදුවන ස්ථානවල සිටින අතර මෙයින් සනාථ වන්නේ ඔවුන් පවා නිසැකවම මෙම අවස්ථාවන් දැන සිටි බවයි. එකළ ඒකාබද්ධ හමුදා අනදෙන නිලධාරියාව සිටි ජනරාල් ඩගලස් මැක් ආතර්ට අනුව මෙම මිනී මැරුම් දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු විය (Reports were also released in various articles that General Douglas MacArthur called the executions "An internal South Korean matter" at that time).
මෙම මිනිසුන් 1950 ජූලියේදී සමූහ වශයෙන් ඝාතනයට මොහොතකට පෙර ඇමරිකානු සොල්දාදුවෙකු විසින් ගන්නා ලස සේයාරුවකි

මෙයත් එම සොල්දාදුවා විසින්ම ඝාතනයට පසු ගත් සේයාරුවකි
උතුරු කොරියානුවන්ද "හාවුන්","මුවන්" ‍නොවූවද, දකුණු කොරියානුවන් ඇමරිකානුවන් පවා දැනුවත්ව කළ මෙම මිනිස් ඝාතන බැර කළේ උතුරු කොරියානුවන්ගේ ගිණුමටයි. මේ නිසා දශක ගණනාවයක් යනතුරාවටම උතුරු කොරියානුවන්ගේ මනුෂ්‍ය ඝාතන ගිණුම සරුසාරවත් විය.

තවතවත් කරුණු සවිස්තරව කථා කිරීමේ බලාපොරොත්තුවෙන් මම ලිපිය තව කොටසකට කඩමි...

36 comments:

  1. බොහොම සංතෝශයි දිනේශ්, නිහැඩියාව බිඳපු එක. හිමීට කියවලා අදහස කියන්නම්කො..

    ReplyDelete
  2. ආපහු ලියන්න ගත්තු එක හොදයි .. හොද ලිපියක් .. විචාරක තුමා ගේ සමුල ඝාතක අවි ගැන පොස්ටුව කියවලා ආවා විතරයි ....

    ReplyDelete
  3. බොහෝ කරුණු සවිස්තරව දැනගත්තා ගොඩක් ස්තුතියි වටිනා ලිපියක්

    ReplyDelete
  4. ගොඩක් කාලෙකින් හොද ලිපියක් . . .

    ReplyDelete
  5. හොද ලිපියක් සහෝ.. දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්න. ජය ඔබට..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දෙවන කොටසත් අරඹමින් පවතිනවා...

      Delete
  6. උතුරු‍, දකුණු වශයෙන් බෙදුනෙ අැයි කියලා මගේ හිතේ තිබුන ප්‍රශ්නෙට අද තමා පිළිතුරක් ලැබුනෙ. බොහොම කාලෙකට පස්සෙ දිනේශ් ගෙන් සුපුරුදු රසවත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඇත්තෙන්ම වසර 100 කට අඩු කාලයක දේවල් වුනත් අපි දන්නා ප්‍රමාණය සත්‍ය තත්ත්වයෙන් ඈත වෙන අවස්ථා තිබෙනවා. මේ කොරියානු යුද්ධය දෙවන ලෝක යුද්ධය හා ඉන්පසුව කාගෙත් ජනප්‍රියම යුද්ධය වුන වියට්නාම් යුද්ධයෙන් වැසී තිබුනට සීතල යුද සමයේ ප්‍රථම ගිණි පුපුර තමයි කොරියන් යුද්ධය. තව තොරතුරු දෙවන කොටසින් දැන ගනිමු...

      Delete
  7. ලියන්න ලියන්න කදිමයි

    ReplyDelete
  8. හැමදාම බලන්න ඇවිල්ල හිස් අතින් ගියත් ඔන්න අද නම් මල්ල පිරෙන්න ම තියෙනවා....
    ඊළඟ කොටසත් ඉක්මනට ම දෙන්න දිනේෂ්.
    බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. උදාර මිතුර මා පැවසූ ලෙසම මෙන්න නැවතත්...

      Delete
  9. දිනේෂ්ගේ අදහස මොකක්ද ?නැවතත් කොරියන් යුද්දයක් ඇතිවෙයිද????

    ReplyDelete
    Replies
    1. මෙම යුද්ධය ඇතිවීමට හෝ ‍නොවීමට බලපාන්නේ උතුරු කොරියාවේ ක්‍රියා කලාපයයි. එහෙත් යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත් එය 1950-1953 යුද්ධයට වඩා බොහෝ වෙනසක් ඇති විය හැකි අතර එදා සෝවියට්-චීන උදව් උතුරු කොරියාවට ලැබුනත් දැන් තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබෙනවා පමණක් නොව එදාට වඩා තාක්‍ෂනය හා දේශපාලන සමාජ වටපිටාව වෙනස් නිසා ඇමරිකාව-නේටෝ-දකුණු කොරියා එකමුතුව අනිවාර්යයෙන්ම මෙම යුද්ධය දිනාවි...

      Delete
  10. නිහැඬියාව බිද දමමින්

    +++++++++++

    ReplyDelete
  11. මටත් කොරියන් ඉතිහාසය ගැන කියවන්න හරිම කැමැත්තක් තියෙනව . දිනේෂ් ගේ විස්තරය හරිම පැහැදිලියි . බලවතුන්ගේ උවමනාකම් වලට බෙදිලා අදටත් ආරක්ෂාවට බලවතුන් මත යැපෙන රටක් . දෙපැත්තට බෙදුන පවුල් වල උදවිය ගැන හරිම කනගාටුදායක කතා තියෙනවනේ . දිගටම ලියන්න මේ ගැන . බොහොම ආසාවෙන් කියවන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරි ලිපි වලත් නොදත් කරුණු තිබේවි. කොහොමවුනත් දකුණු කොරියාව ඇමරිකාව මත යැපීම ගැන වරදක් කියන්න බැහැ. මොකද ලෝකයම කොමියුනිස්ට්කරණය කරන්නට දත මැද ගෙන සිටි සෝවියට්දේශය සහ චීනයේ උසිගැන්වීම් මත උතුරු කොරියාවේ යුද යන්ත්‍රණයට විනාශ නොවී සිටීමට හැකිවූයේ ඒ සහයෝගීත්වය මතයි. අමුතුවෙන් කියන්න ඕන නැහැ. එදා දකුණු කොරියාවත් උතුරු කොරියාවට ඈදී කොමියුනිස්ට්කරණය වූවා නම්. එසේනම් ආසියාවේ දෙවන සංවර්ධිත රට බිහි නොවන්නටත් තිබුනා...

      Delete
  12. ඉතාමත් අගනා ලිපියක්,ඒත් දෑන්නම් උතුරු කොරියාවට උදව් කරන්නෙ චීනය නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම හිතන්නේ ඉදිරි ලිපි වලදී ඔබගේ ගැටළුවට ඉතාම හොද පිළිතුරු ලැබේවි...

      Delete
  13. මම පුදුමයට පත්වෙලා හිටියේ ඔබේ නිහැඬියාව ගැන. බොහොම සතුටුයි කලකට පසු ඉතාම වටිනා කාලීන ලිපියක් සමග නැවත පැමිණීම ගැන.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් මහත්මයා, පසුගිය දිනවල යෙදුන වැඩ කටයුතු හා ඒ සම්බන්ධ යම් යම් සිද්ධි නිසා ශාරිරිකව වගේම මානසිකවත් සෑහෙන්න වෙහෙසට පත්වෙලයි සිටියේ. ස්තූතියි!

      Delete
  14. හැමදාම වගේ දැනුමට දෙයක් එකතු වෙන ලිපියක් දිනේෂ්..ස්තූතියි ගොඩක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලඟ ලිපියේදිත් හමුවෙමු...

      Delete
  15. නිහැඬියාවට පස්සේ හුඟාක් වටිනා ලිපි පෙලක් අරන් ඇවිත්.. නොදන්න දේවල් ගැන දැන ගන්න ආස හන්දා මේක අනිවාර්‍යේන් කියවනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලඟ ලිපියේදිත් හමුවෙමු...

      Delete
  16. රුවන්තMay 7, 2013 at 9:40 PM

    අපි RSS දමාගෙන දත නියාවන් ඉන්නේ.. ඉක්මනින් තවලියන්න.... ජයවේවා!!!

    ReplyDelete
  17. නිහඩ බව බිද දමා ඔබේ නැවත පැමිණීම ලොකු සතුටක්...
    කාථවේ ඊලග කොටස බලා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නේ.....

    ReplyDelete
  18. පට්ට ලිපි පෙලක් අය්යේ... ගොඩාක් කාලෙකට පස්සේ කියවන්න ලැබුනු හොදම ලිපි පෙලක්. මගේ හිතේත් තිබුන කොරියානු වෙන්විම ගැන හරියටම දැන ගත්තේ මේ ලිපි පෙලින්.. නියමයි...

    ReplyDelete
  19. ගොඩක් සතුටුයි ....
    ඉතිහාසයෙ අලුතින් හිතන්න පුලුවන් විදියේ මාතෘකාවක්...

    ReplyDelete