Friday, May 31, 2013

කොරියානු යුද්ධය පිළිබදව පසු විපරමක්


කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි.

විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. එයින් 2/3 ක්ම සිවිල් ජනතාව වීම තුළින් බලවතුන්ගේ යුද්ධයට නතුව අහිංසක මිනිස් ජීවිත වලට අත්වූ ඉරණම සිතා ගත හැකිය. මෙම අගය කෙතරම් භයානක අගයක්ද කියතොත් සමස්ත දෙවන ලෝක යුද සමය තුළදීම මිය ගොස් ඇති ජපනුන්ගේ ගණනද මිලයන 2.3 කි. චීනය කොරියානු යුද්ධයේදී මිලියන එකක පමණ සොල්දාදුවන් පිරිසක් අහිමි කරගෙන ඇති අතර ඇමරිකානුවන් 36,934 ක් තමන්ගේ රටින් සැතපුම් 8,000 ක් පමණ දුරකදී ජීවිතයෙන් සමුගත්හ. එපමණක් නොව 103,284 සිය රටට ගියේ විවිධාකාරයේ තුවාල වලට ලක්වීමෙන් පසුවය.  
එමෙන්ම යුද්ධ වලදී බොහෝවිට සිදුවන පරිදි සතුරු ප්‍රහාර වලට පමණක් නොව ඇතැම්විට වැරදීමකින් එල්ල කරන මිතුරු පාර්ශවයේ ප්‍රහාර වලින් සහ තවත් විටක සතුරු පාර්ශවයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වලට ආසන්නයේම සිටීමෙන්ද බට පිරිස් අනතුරට ලක් වූ බව සදහන්වේ.අනෙකුත් ජාතීන්ට අයත් එක්සත් ජාතීන්ගේ හමුදා භටයන් 3322 මියගොස් 11,949 විවිචාකාරයේ ආබාධ වලට ලක් වූ බව සදහන්ය. කෙසේවෙතත් ඇමරිකාව මෙම වසර 3 තුළ අහිමි කර ගත් බට සංඛ්‍යාව ඔවුන් වියට්නාම් යුද්ධයට සම්බන්ධවූ 1962-1973 අතර කාලය වූ වසර 11 සාපේක්‍ෂව වැඩි අගයකි. මෙම කාල සීමාව තුළ වියට්නාම් යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 58,220 ක් බව පැවසේ.

විවිධ මූලාශ්‍රවල විවිධ ‍තොරතුරු උතුරු කොරියානුවන්ගේ ජීවිත හානිය පිළිදව ඇතත් පොදුවේ ගත්විට කොපමණ උතුරු කොරියානුවන් පිරිසක් මියගියේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැත.කෙසේවෙතත් උතුරු කොරියානුවන්ට අහිමිවූ යටිතල පහසුකම් සහ දේපල ප්‍රමාණය අති මහත්ය. දකුණු කොරියානුවන්ගේ ජීවිත පවා තම රටේදීම දකුණු කොරියානු හමුදාව අතින් මෙන්ම ඇමරිකානු හමුදාව අතින්ද අහිමිවූයේ සෑම විටකම ඔවුන්ටද "උතුරු ‍කොරියානු හිතවාදී හෝ උතුරු කොරියා ඔත්තුකරුවන්" යන ලේබලයද ඇලවීය. අරුමය නම් මෙම "ලේබලය" ඇලවුන මිය ගියවුන් අතර බොහෝවිට ඉතා අඩුවයසේ දරුදැරියන්ද සිටීමයි. එතරම් එදා මරණය හා මැරීම යන්න සුළු දෙයක් බවට පත්ව තිබුනි.

තවත් අතකින් ඇමරිකානුවන්ට දකුණු කොරියාව අවශ්‍යව තිබුණේ, දෙවන ලෝක යුද්ධයේදී තමන්ට රිදෙන්නටම පහරදුන් ජපනුන් පාලනය කර ගැනීමට අවශ්‍ය මූලෝපායික රටක් ලෙස පවත්වා ගැනීමට බවද ඇතැම් විද්වතුන් සදහන් කරති. එහෙත් කොරියානු යුද්ධය නිසා සිදුවූයේ ජපානය කෙරේ තිබූ ප්‍රතිපත්තිය වෙනස් කොට නොසිතූ ඉලක්කයන් සපුරා ගැනීම කෙරේ අවධානය යොමුකිරීමටයි. මෙම යුද්ධය නිසා ජපානයට අත්වූ එක් වාසියක් වන්නේ අතරමැදි සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම නිසා ආර්ථික හා අනෙකුත් යටිතල පහසුකම් දියුණුවීම මෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගෙන් පසුව ඈත නැගනහිර ආසියාව හා ජපානය භාරව පැමිණි ජනරාල් රිජ්වේ ජපානයේ සෛවරීත්වය සහ නිදහස පිළිබදවද අවධානය යොමුකිරීමයි. තවත් මූලාශ්‍ර වල කියවෙන කරුණක් නම් ඇමරිකාව තුළ ව්‍යාප්තිය තහනම් කළ අන්තවාදී ආගමික සංවිධාන බොහෝමයකට ඇමරිකානු අනුදැනුම ඇතුවම දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් දකුණු කොරියානුවන් වෙනත් ආගම් වලට බදවා ගැනීමද සිදුවූ බවයි. මෙවන් සැඟවුන කාරණා බොහෝමයක් තව තිබෙන්නට ඉඩ ඇත.

මිනිස් ජීවිත හා සම්පත් විනාශ කර දමන යුද්ධය යන බිහිසුණු සිදුවීම කිසිසේත් අනුමත නොකරත් මෙම යුද්ධයෙන් ඇමරිකාවට පූර්ණ වශයෙන් ජය ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමට හැකියාවක් තිබූ කරුණු පිළිබදව වඩාත් සැලකිලිමත් වීමේදී පෙනේ. ලෝක යුද්ධයෙන් පසුව යුද වියදම් හා අවි නිපදවීම අඩු කළත් ඔවුන් සතුව සෝවියට්දේශය අභිබව තිබූ න්‍යෂ්ටික හැකියාව මෙන්ම අනෙකුත් සම්පත් කළමනාකරණය කර ගැනීමේ සියුම් හැකියාවන් ප්‍රයෝජනයට ගත්තේ නම් මේ දක්වා නිල වශයෙන් යුදමය තත්ත්වයකට පත්ව සිටින එකම ජාතියක් එයින් මුදවා ගැනීමේ හැකියාව තිබුණි.
තවත් අතකින් එතරම් ප්‍රසාදයක් නොතිබූ ටෲමන් ජනපතිවරයාට වඩා යුද පරිපාලනය අතින් මෙන්ම අනෙකුත් කාරණා අතින්ද ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට පත්ව සිටි අයිසන්හවර් වැනි ජනාධිපතිවරයෙකුට සෝවියට් හා චීන බලපෑමද යටපත් කරමින් කොරියානු යුද ජයග්‍රහණය මුළුමනින්ම තමන් සතුකරගැනීමේ හැකියාව තිබුණත් වන විට ඇමරිකානුවන්ට මේ යුද්ධයෙන් සිදුව තිබූ මිනිස් ජීවිත අහිමිවීම්, දේපල අහිමිවීම් සහ එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්වය සැපයූ එක්සත් රාජධානිය වැනි රටවල් මෙම යුද්ධය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයෙන් පසු නොවීම වැනි කාරණාද බලපෑහ. තවත් අතකින් ආසියාවේ ඈත කෙළවරක කුඩා රටක් එක්සේසත් කරනවාට වඩා ඒවන විට ගිනියම් වෙමින් පැවති සීතල යුද්ධයේ බලපෑම යුරෝපය වෙලා ගනිමින් තිබූ නිසා වෙනුවෙන් අවධානය වඩාත් යොමුවීම කොරියානු යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීම ඇමරිකානු බලාපොරොත්තුවද විය
යුද්ධයට පෙරාතුව උතුරු කොරියාව කාර්මිකකරණයට වඩාත් නැඹුරු වූ රටක් ලෙසත් දකුණු කොරියාව කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට හුරුවූ රටක් ලෙසත් සැලකුණි. එහෙත් යුද්ධයෙන් පසුව දකුණු කොරියාව කෙරේ ඇමරිකානු බලපෑම හා මැදිහත්වීම් සහ හමුදා කඳවුරු ඇතිවීම වැනි කාරණා සමග උතුරු කොරියාවට වඩා පසුකාලීනව කාර්මිකකරණයට හා ආසියාවේ දෙවන සංවර්ධිත රට බවටද පත්වීමට හැකිවිය. උතුරු කොරියාව යුදමය අතින් දැනටත් දකුණු කොරියාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටියත් එරට සාමාන්‍ය ජනතාවට ඇති අවම පහසුකම් හා මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට ඇති අපහසුතාවය ගැන සැලකීමේදී දශක කිහිපයක සිටම දකුණු ‍කොරියාව සිටින්නේ යහපත් ජීවන තත්ත්වයක්, සහ අනෙකුත් කාරණා අතින්ද ගව්ගාණක් ඉදිරියෙනි


ලෝකය පුරා ජාලයක් ලෙස ඇමරිකානු කඳවුරු පිහිටුවන්නට කොරියානු යුද්ධයද තවත් අතකින්‍ හේතුවක් විය. එදා කොරියානු යුද්ධයට මුලපිරූ කිම් ඉල් සුන්ගේ පුතණුවන් හා දැන් ඔහුගේ මුණුපුරාද විටින් විට දකුණු කොරියාවට එරෙහිව තර්ජනාංගුලිය දිගු කළත් යම් හෙයකින් නැවත කොරියානු යුද්ධයක් ඇතිවුවහොත් එක්සත් කොරියාවක් දකුණු කොරියානු අර්ථ ක්‍රමය යටතේ බිහිවීමට ඇති ප්‍රවණතාවය වැඩිය. මන්ද දැන් ලෝකයේ සුපිරි බලවතුන් ඇත්තේ එක් පාර්ශවයක් පමණි. සෝවියට් දේශය බිද වැටීමෙන් පසු රුසියාව ලෝකයේ ඇමරිකාවට එරෙහි යුද්ධ වලදී අතපෙවීම නැති තරමටම වී ඇති අතර චීනයේ යුද-ගුවන්-නාවික බලය මෙන්ම න්‍යෂ්ටීක බලයද හිමි මුත් ඇමරිකානු හා නේටෝ බලය හමුවේ ඔවුන්ද සිටින්නේ ඇතැම් විට පසුපස වුවත් එදා මෙන්ම අදද චීන හමුදාව සතු ධෛර්යය හා අධික පිරිස් බලය යම් හෙයකින් උතුරු කොරියාවට හිමි වුවහොත් එය ඇමරිකාවට මහත් හිසරදයක් වනු නොඅනුමානයි.


එදා විශාල න්‍යෂ්ටීක බෝම්බ ගුවනින් පැමිණ හෙළා නගර ගම්බිම් මිනිසුන් විනාශය උච්චතම අවස්ථාවේ සිදුවෙතැයි අපේක්‍ෂා කළත් ඇමරිකානු හමුදාව ගල්ෆ් යුද්ධයේදීද M1A2 Abrams යුද ටැංකි භාවිතා කරන M829A1 "Silver Bullet" උණ්ඩ හා A-10 Thunderbolt II ප්‍රහාරක ‍ජෙ‍ට් යානාවල භාවිතා කරන GAU-8/A Avenger is a 30 mm උණ්ඩ සදහාද යුරේනියම් අපද්‍රව්‍ය මුසු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති නිසා එදාටත් වඩා සාර්ථක හා විනාශකාරී අවි ඔවුන් සතුවීම උතුරු කොරියානුවන්ට හිතකර නො‍වීමට ඉඩ ඇතිවා මෙන්ම දැන් උතුරු කොරියාවද යම් තාක් දුරකට නයෂ්ටික බලය අත්පත් කරගෙන ඇති මුත් එය භාවිතා කළ හොත් ඇමරිකාවටද මහා පරිමාණයෙන් එම අවි භාවිතා කිරීමට හැකි සාධාරණ හේතුවක් ලැබීම කිසිසේත්ම උතුරු කොරියාව ලෝක සිතියමෙන් මැකීයාම වැළැක්වීමට හැකිනොවන අත්වැරදීමක් වනු ඇත.
http://en.wikipedia.org/wiki/M1_Abrams
https://en.wikipedia.org/wiki/Fairchild_Republic_A-10_Thunderbolt_II
http://en.wikipedia.org/wiki/GAU-8_Avenger

එසේනම් දැන් කාලයකට පසුව සත් සමුදරේ පළවූ දීර්ඝතම ලිපි පෙළක් අවසන් කරන්නට අදහස් කරමි. මෙම ලිපි‍ය සැකසීමේදී විටින් විට සටහන් කළ මූලාශ්‍ර වලට අමතරව පහත දැක්වෙන මූලාශ්‍රද ගැඹුරින් හදාරන ලද බව පවසන අතරම මෙම කාල සමයට අදාළ සේයාරූ හා දත්ත ඇතුළත් සටහන් කිහිපයක්ද ඉදිරිපත් කරමි.

Korean War in Color
Retreat from hell
Secret of War : Korea - Startlin Secret Air War

Korea: Behind The Bamboo Curtain 
Forgoten War - US Army film
Genaral Douglas MacArther - US Army film