-->

Tuesday, October 4, 2011

අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask

කාර්යබහුල මාසයකට පසුව දිනක් දෙකක් කිසිවක් පල කිරීමකින් බැහැරව සිටීමෙන් අනතුරුව මේ ලිපිය ලියන්නට සිතුනා. මෙම ලිපියට අදාල මාතෘකාව එක්වරක් අපි දුටුවා ඒ සුපිරි විද්‍යාඥ සමාජයේ තවත් සාමාජිකයෝ - 3 ලිපියේදී තෝම්ස් අල්වා එඩිසන් නම් නිර්මාපාකයා ගැන කතා කරද්දී.

බොහෝදෙනෙක් කතාකිරීමට තබා මතක් කිරීමටවත් අකමැති වගේම සුන්දර මාතෘකාවක් නොවන මරණය සම්බන්ධවූ මාතෘකා මීට පෙරද අපි සාකච්ඡාකර තිබෙනු ඇති බව ඔබට මතක ඇති. ඉතින් මේ ලිපියත් යම් පමණකට එම තේමාව ඔස්සේ යන එකක් කියල කියන්න පුළුවන්.

අතීතයේ පටන් විවිද චාරිත්‍ර එකම රටක එකම ජනවර්ගය අතරේ වුවද සිදුකරන අතර එක් පාර්ශවයක් සිරුර ආදාහනය කරද්දී තවත් අය භූමදානය කිරීම සිදුකරයි. තවත් අය සිරුර තම වාසභූමි ආසන්නයේ ඇති කැලෑවකට දමා ඒම "සිරුර කැලේ ගහනවා" යන නාමයෙන් හැදින්වේ. තවත් රටවල පොළව මට්ටමෙන් පහල හෝ ඉහල පිහිටි ස්ථානයක සිරුර තැන්පත් කිරීමද සිදුකරයි. පිරමීඩ ගැන ලිපිපෙලේ කියවුන කැටකෝම්බ් (Human Libraries) පිළිබදවද මෙවැනි ස්ථාන ගැන අපි කතා කල බව ඔබට මතක ඇති යයි සිතමි. (අපේ රටේ තිබෙන මෙවැනි විවිද සිරුරු මිහිදන් කිරීම් පිලිබදව ජන විවිදත්වය නම් පොතේද සටහන්ව තිබුනි).

Death mask ගත්විට එය යම් පුද්ගලයෙකු මිය ගිය පසු මියගිය වහා හෝ සිරුර එම්බාල්ම් කිරීමෙන් පසු ඉටි හෝ  යම් සුදුසු බදාම විශේෂයක් උපයෝගී කරගෙන එම පුද්ගලයාගේ ප්‍රධාන වශයෙන් මුහුණ ප්‍රදේශය හෝ උඩුකය පෙදෙස පෙරකී ඉටි හෝ බදාමය අලවා එය මුහුණේ හැඩතල තිබෙන අයුරින්ම ඉවත්කරගෙන තනන්නාවූ මූර්තියක් යයි කිව හැක. එය එම පුද්ගලයා පිළිබදව මතක සටහනක් ලෙස මෙන්ම පසුකාලයක ඔහු වෙනුවෙන් තනන්නාවූ ප්‍රතිමා ජීවමාන පුද්ගලයාගේ ස්වරූපයට ආසන්න වශයෙන්ම තැනීමට මූර්ති ශිල්පීන්ට ආධාරකයක් ලෙසද භාවිතයට ගන්නා බව පැවසේ. කෙසේවෙතත් ඡායාරූපශිල්පය හදුන්වාදීමත් සමග මෙම කලාව ලෝකයෙන් වියැකී යන්නට පවන්ගත් බවද කිවයුතු අතර දැන්නම් එවැන්නක් සිදුවන්නේද අල්පවශයෙන් වියයුතුය. එසේම වර්තමානයේ පරිගණක ත්‍රිමාණ හැඩ තල මැවීමට ඇති තාක්‍ෂනික හැකියාව ඔස්සේ මෙවැනි විශේෂ ප්‍රාගුන්‍යයකින් මෙන්ම වෙහෙසකර කටයුත්තකට නැඹුරු නොවීමද ස්වාභාවිකය.
Two men in the process of making a death mask
මෙම Death mask සංකල්පය පෞරානිකව සිද්දවී තිබෙන්නකි. ග්‍රීක්,මිසර හා රෝමන්වරු මෙසේ death masks තනා තිබේ. පෞරානික හා වඩාත් ප්‍රසිද්ධම death mask එක නම් තුතන්කාමම් මමියේ තිබූ මුහුණයි. පැරණි මිසරයන් මෙවැනි death mask කින් මමියට බලයක් ලැබෙන බවට විශ්වාස කලහ.

මධ්‍යතන යුගයේදී මෙම death mask නිර්මාණය කිරීම බහුල හා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ අතර 20 වන සියවසේ මුල් කාලය දක්වාම එම ප්‍රවණතාව භාවිතා වී තිබේ. එසේම එහිදී මියගිය පුද්ගලයාගේ දේහය භාර ගන්නා අවමංගල්‍ය සංවිධායකයන් නැතහොත් සිරුරු එම්බාම් හා මිහිදන් කිරීම භාරගන්නා අයවළුන්ම සිය ආයතනය විසින් එසේ death mask තනවා දී තිබේ. කෙසේවෙතත් මීට පෙරද පැවසූ සේ death mask නිර්මාණය කිරීම විශේෂ දක්‍ෂතාවයකින් යුතු වූ ශිල්පයක් වූවා සේම මුහුනේ සත්‍ය ස්වරූපය එලෙසම සිය මූර්තියේ සටහන් කරගැනීමත්, සිරුරට  හානියක් නොවන සේ එය කිරීමත් බැරෑරුම් කටයුත්තක් විය. එසේම සමහර ශිල්පීන්ගේ දක්‍ෂතාවය කොතෙක්ද යත් ඇතැම් අජීවි මුහුණ, මියගිය සත්‍ය පුද්ගලයාගේ මුහුණින් වෙන් කර හදුනාගැනීමට බැරිතරම් සමාන බවක් ඉසිලූ අවස්ථාද ඔබට වුවද මෙම ලිපියේ දැක්වෙන සේයාරූ හෝ එම විශය සම්බන්ධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වටහාගත හැකිය.

දැන් මෙම කලාව අභාවයට ගොස් හෝ යමින් පැවතියත් පෙරදී මෙසේ තනන ලද ලෝකයේ බිහිවූ නමක් තැබූ පුද්ගලයන්ගේ death mask කෞතුකාගාරවල හා පුස්තකාලවලදී දැකගත හැකිවේ.  මෙවැනි ආයතන සමහරක් සිය එකතුවේ ඇති death mask ඒ අයුරින්ම ඒ ප්‍රමාණයෙන් හෝ වෙනස් ප්‍රමාණවලින් පිටපත් කර ‍අවශ්‍යතා අනුව ලබාදීමද සිදුකෙරේ.

මෙම භාවාත්මක ප්‍රයත්නයන් ගරුබුහුමන් වලට හා ඓතිහාසික වටිනාකමක් ඇති දෙයක් සේ සැලකුනා සේම   වෝහාරික හා ව්‍යාධිවෛද්‍ය විද්‍යාවේදීද (forensics and Pathologists) භාවිතාවට ලක්වන බව පැවසිය යුතුය. විශේෂයෙන් මියගිය නන්නාදුනන පුද්ගලයන් හදුනාගැනීමට ආධාරකයක් ලෙසද මෙය භාවිතා කරන ලබයි.

දැන් ඔබට පැනයක් ඇතිවන්නට පුළුවන් සජීවි මුහුණ ලෙස ‍අපේ බසින් හැදින්වූවත් Life Mask ලෙස හැදින්වෙන්නේ මොනවාදැයි කියා. මෙම Life Mask තනනු ලබන්නේ යමෙකු ජීවත්ව සිටින අතරතුර වන අතර එම පුද්ගලයාගේ මුහුණ මත Death mask හදන අවස්ථාවේදීම මෙන් ඉටි හෝ සුදුසු බදාමයක් අලවා මෙම නිර්මාණය ලබාගන්නා බව පැවසේ. කෙසේවෙතත් ජීවමාන පුද්ගලයකුට මෙම කාර්යය කිරීමේදී ශිල්පියා සිය නිර්මාණයට වෙහෙසවන්නා සේම අදාල පුද්ගලයාදටද සිය මුහුණ මත හෝ උඩුකය මත මෙම නිර්මාණය තැනීම ‍යොදාගන්නා ද්‍රව්‍ය අලවාගෙන සිටීමෙන් ඒ අවස්ථාවේ යම් සුළු අපහසුතාවයකට ලක්වීමට සිදුවන බව රහසක් නොවේ. මා දැක අයුරින් නම් Life Mask වලදී අදාල පුද්ගලයා ඇස් විවෘතකරගෙන සිටින අයුරු දුටු අතර Death mask සියල්ලකම පාහේ ඇස් වසාගෙන සිටින අයුරින් නිර්මාණය කර තිබෙන දක්නා ලදි.

දැන් අපි ලෝපතල පුද්ගලයන් කිහිපදෙනෙකුගේ එවැනි Death mask සහ  Life Mask පිළිබදව වමසා බලමු.

ඇමරිකාවේ වඩාත් ආදරයට පාත්‍ර වූ ජනපතිවරයෙකු වූ Abraham Lincoln
1860 දී  ලින්කන් ජනපතිවීමට පෙර අධිකරණ කටයුත්තක් වෙනුවෙනු චිකාගෝවට පැමිණි අතර එහිදී මූර්ති ශිලපී Leonard Volk ගේ ඉල්ලීම පරිදි මෙම Life Mask තනන ලදි. එහිදී මෙම ශිල්පීයා ලින්කන්ට අවම අපහසුතාවයක් ඇතිවන සිය නිර්මාණය සිදුකිරීමට වගබලාගෙන තිබූ අතර තෙත බදාම සිය මුහුණ මත අලවා ඒවා වියලෙන තුරු තබාගැනීම මෙන්ම මුහුනේ සම අදිමන් ඒවා සංයමයෙන් යුතුව ඉවත්කිරීමේ ක්‍රියාවලියටද අපහසුතාවයෙන් වූවත් ඉවසීමෙන් හා විනෝදයෙන් මුහුන දී තිබේ. අවසානයේ සිය මුහුනේ රුව පිළිමයෙන් දිස්වූ විට ලින්කන් ඉමහත් සංතෘෂ්ඨියට පත්ව තිබේ. පසුකලෙක මෙම නිර්මාණය කල මූර්ති ශිල්පියා මෙම  life mask  මුළු සිරුරේ ප්‍රමාණයේ පිළිරූ තැනීමේදීද යොදාගෙන තිබේ.

ඉන් වසර පහක් ඉක්ම ගිය තැන එනම් 1865 දී දෙවන වරටද එබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ Life Mask ක් තනා ඇති අතර එය තනා මාස 2 ක් ගිය තැන ලින්කන් ඝාතනය සිදුවී තිබේ. මෙවර මෙම නිර්මාණයේ ශිල්පියා වූයේ Clark Mills නම් ප්‍රතිමා ශිල්පියාවේ. මෙවර එය සිදුකර ඇත්තේ මුලින් ලින්කන්ගේ මුහුනේ තෙල් තට්ටුවත් ආලේපකර එය මත තෙත තුනී බදාමය අලවා තිබේ. මිනිත්තු 15 කට පසු Mills විසින් ලින්කන්ට මුහුණ තදකරන්නැයි පවසා ඇති අතර අලවා තිබූ බදාමය බුරුල්ව මුහුණ ගැලවි තිබේ. එහෙත් මෙහිදී මුහුනේ බදාමයෙන් විශාල කැබැල්ලක්ද ගැලවී වැටී ඇති අතර එය නැවත Life Mask ට අලවා එහි වැඩ අවසන් කර ඇත. කෙසේවෙතත් 1860 දී කල මුහුනට සාපේක්‍ෂව මෙහි සෑහෙන වෙනස්කම් තිබූ අතර එයින් ලින්කන් තුල තිබූ මානසික ව්‍යාකූලත්වයන්ද නිරූපනය වන බව ඔහුගේ සමීපතමයන්ගේ අදහසයි. විශේෂයෙන් ඇමරිකානු සිවිල් යුද්දය නිසා ලින්කන් මුහුනදුන් මානසික හැලහැප්පීම් නිසා මෙම මුහුණ රෝගී අයෙකුගේ මෙන් දිස්වන බවද ඔහුගේ මිතුරන් පවසා ඇත.

ලින්කන් ජනපතිතුමාගේ මුහුණ පමණක් නොව ඔහුගේ දෑතද ඔහු ජීවත්ව සිටින අවධියේම නිර්මාණය කර ගෙන තිබේ. මෙයද සිදුකර .තිබෙන්නේ එතුමාගේ පළමු  Life Mask තැනූ Leonard Volk  විසින්ම වන අතර ඒ ඔහුගේ ස්ප්‍රින්ග්ෆිල්ඩ්හි පිහිටි නි‍වසේදීම වේ. මේ අවධිය වන විට ලින්කන් රිපබ්ලිකන් ජනපති අපේක්‍ෂකයා ලෙස නාමයෝජනා දිනාගෙන සිටි අතර දකුණු අතින් කොස්සක මිටත් අනිත් අතිනුත් කිසිවක් අල්ලා සිටින අයුරකිනුත් දැත තබා ගෙන සිටියදී මෙය නිර්මාණයකලහ. මෙය සිදුකර අවසානයේ ලින්කන්ගෙන් ලැබුනේ පෙර පරිදිම ප්‍රශංසාමාලාවකි.

මෙතුමාගේ Life Mask මෙන්ම Death mask ද තිබෙන බව කිවහැකිය. ඒ the National Museum of Health and Medicine, Washington DC හි ඇති මෙම Death mask පහලින් සටහන් කර තිබෙන්නේ මරණ පරීක්‍ෂනය කරමින් පවතින අතරතුරදීම මෙය නිර්මාණය කල බවයි (Made in the time of his autopsy).  තවද 2007 දී වෛද්‍ය John Sotos මහතා මෙම මුහුණ හා ලින්කන් මහතාගේ වෛද්‍ය වාර්තා සියුම්ව නිරීක්‍ෂනය කොට ඇති අතර එයින් ඔහු ලබාගෙන ඇති නිගමනය වන්නේ ලින්කන් Multiple Mucosal Neuroma Syndrome නම් රෝගී තත්වයෙන් පෙලෙමින් සිට ඇති අතර යම් හෙයිකින් ලින්කන් ඝාතනය සිදුනොවූවද ඉක්මනින් ඔහුට රෝගී තත්වය නිසා මරණය ලගාවන බව පවසා ඇත.

කෙසේවෙතත් පසුව මෙම මුහුණ පිළිබදව නම් මෙය ප්‍රදර්ශනය කරන ආයතනය විසින්ම නිවේදනයක් නිකුත් කල අතර එය Death mask නොව 1865 දී Life Mask ආධාරයෙන් 1942 දී කරන ලද ප්‍රතිනිර්මාණයක් බවත් පවසා සිටි අතර මෙය ලේබල් කල තැනැත්තාට වැරදීමකින් මෙය Death mask ලෙස සටහන් කර තිබූ බවද පැවසිනි.
මේවාද පසුව නිර්මාණය කරන ලද ඒවාය

ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට්
දැවැන්ත ජයග්‍රහණත් ඉන්පසුව ලැබූ පරාජයන්ගෙන් පසුව සාන්ත හෙලේනා දූපතට පිටුවහල් කර සිටි නැපෝලියන් බොනපාට් 1821 මැයි 21 වන දා මිය ගිය අතර ඒ වන විට ඔහු 51 වන වියෙහි පසුවී ඇත. නැපොලියන් මියගොස් දින එකහමාරක් ඉක්මගිය තැන ඔහුගේ ඇද වටා සිටි බ්‍රිතාන්‍ය හා ප්‍රංශ වෛද්‍යවරුන් විසින් මෙම Death mask නිර්මාණය කර තිබේ. මෙහිදී ඉටි හා බදාමයේ සම්මිශ්‍රනයක් යොදාගෙන ඇති අතර එය මුහුණ මත අලවා වියලුන පසුව ඉවත්කර තිබේ. කෙසේවෙතත් පසුකාලීනව මෙය ආධාර කරගෙන තඹවලින් Death mask ප්‍රතිනිර්මාණය කර ඇති බවද පැවසේ.


මෙය පසුව නිර්මාණය කරන්නට ඇත

විසිවන සියවසේ මමිකරණයට ලක්වූ ප්‍රමුඛතම යුගපුරුෂයා වන V.I. Lenin ගේ Death mask
විසිවන සියවසේ ලිපිපෙලේද කැපී පෙනෙනම චරිතය වූයේ V.I. Lenin මහතා බව ඔබටත් මතක ඇති. ඔහුගේද Death mask එකක් නොව කිහිපයක්ම තිබෙන අතර එයින් 3 ක් ඔහු මිය ගොස් ස්වල්ප මොහොතකට පසුව නිර්මාණය කරන ලද ඒවා වන අතර තවත් 11 ක් ඒවා ආධාරකරගෙන නිර්මාණය කරන ලද ඒවාවේ..

මෙම නිර්මාණ සියල්ලේම නිර්මාණශිල්පියා ඒ අවධියේ සෝවියට් දේශයේ සිටි අග්‍රගණ්‍ය මූර්ති ශිල්පියෙකු වන Sergey Merkurov වේ. ලෙනින් 1924 ජනවාරි 21 වනදා සවස 6.50 ට අභාවප්‍රාප්ත වූ බව පැවසෙන අතර ඉන් සුළු මොහොතකට පසුව Merkurov  සිය කාර්යය අරඹා තිබේ. මෙහිදී ඔහු තැනූ මුල් නිර්මාණ 3 න් එකක් ලෙනින් සමාධිය සමගද, දෙවැන්න St. Petersburg's State Museum of Political History of Russia හි ප්‍රදර්ශනයටද, අනෙක the Museum of Sergey Merkurov in Armenia ද තබා තිබුනි.

මෙම සුවිශේෂී නිර්මාණකරුවා ලෙනින්ගෙන් පසුව බලයට පැමිණි ස්ටාලින්ගේද ප්‍රතිමා කිහිපයක් නිර්මාණයට දායකවූ අතර ඔහු ස්ටාලින්ව නිසියාකාරව වටහා නොගැනීමද ඔහුගේ අගතියට හේතුවී තිබේ. Sergey Merkurov විසින් විශේෂ ත්‍යාගයක් ස්ටාලින්ගේ 70 වන උපන්දිනයට ලබාදී තිබේ. ඒ ඉතා වටිනා ගැනයිට් පාශානයක නිර්මාණය කරන ලද සිහිවටනයකි. එය නම් කර තිබෙන්නේ "Death of the Leader".නමිනි. ස්ටාලින් මෙය භාරගැනීම ප්‍රතික්‍ෂේපකල අතර ඒ සමග Merkurov නරක කාලයද උදාවී තිබේ.

කෙ‍සේවෙතත් සෝවියට් පාලන සමයේදී අතිශය ගෞරවාදරයට පත්වූ මෙම සිහිවටන ‍සෝවියට් දේශය බිදවැටීමත් සමග ගෞරවය කෙසේවෙතත් සිහිවටන ලෙස අලෙවි කරන්නට පාලනාධිකාරිය පෙලඹුනි. ඒ අනුව 1989 දී $12,500 මෙයින් එකක් විකිනි ඇති අතර වර්තමානයේ මෙම නිර්මාණයේ මුල්ම මුහුණක් පවා $57,000 කට මිල කර ඇති බව පැවසේ.

මෙය Generalissimo joseph stalin ගේ Death mask වේ 
Joseph Stalin Museum in Gori, Georgia හි ඇති මෙය තඹ වලින් නිමවා ඇති අතර බොහෝවිට පසුකාලීනව මුල්නිර්මාණයක් ඇසුරුකර තනන්නට ඇත.


සුප්‍රසිද්ධ හා අග්‍රගණ්‍යම සංගීත නිර්මාණකරුවෙකු වූ Ludwig Van Beethoven
මේවා බිතෝවන්ගේ Life Mask ලෙස සැලකෙන අතර


මෙය Death mask වේ.

විද්‍යාඥ අයිසැක් නිව්ටන්ගේ  Death mask

ශ්‍රේෂ්ඨ කතුවර ලියෝටොල්ස්ටොයි මියගිය පසු ඔහු කොට්ටයේ හිස තබා ගෙන සිටි ආකාරයෙන්ම.

ත්‍රාසය උත්පාදනය කල සිනමා අධ්‍යක්‍ෂක Alfred Hitchcock

ඩයිනමයිට් සොයා ගත් හා නොබෙල් ත්‍යාගය ලොවට ලබා දුන් Alfred Nobel


හිට්ලර්ගේ මිනීමරු අදහස් ක්‍රියත්මක කල නාසීන් අතර කෲරතම පුද්ගලයා වූ Heinrich Himmler
දෙවන ලෝක යුද්දයේදී හා නාසි පාලන කාලයේදී හිට්ලර්ගේ සමීපතමයෙකුමෙන්ම හිට්ලර්ගේ මිනීමරු අදහස් ක්‍රියාවේ නැංවූ පුද්ගලයාද ලෙස හැදින්වෙන Heinrich Himmler පසුව මිත්‍ර පාර්ශ්වික හමුදාව යටතට පත්වන අතර ඔහුගේ වැරදි සදහා වූ විනිශ්චය ලබා දීමට පෙරාතුව ඔහු විසින් සිය දිවි හානි කරගනු ලැබුවේය. ඒ සයිනයිඩ් කරලක් හැපීමෙනි. 

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය හමුදාව විසින් සාක්‍ෂියක් ලෙස ඔහුගේ Death mask සකස් කරන අතර එය දැන් Imperial War Museum, London හි ප්‍රදර්ශනයට තබා ඇත.

දැන් මෙම ලිපිය අවසන් කිරීමට අදහස් කරන අතර ඔබට මූලාශ්‍ර හරහා ගොස් තවත් Death mask  හා Life Mask  රැසක තොරතුරු දැනගැනීමට හැකි බවද දන්වමි.

සත් සමුදුරේ මීට පෙර පල කරන ලද මෙම ලිපියට සබදතා ඇති ලිපි -
පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහන - 1

15 comments:

  1. මේක නම් නියමයි... මෙහෙම දෙයක් ජීවිතේටම අහලා තිබුනේ නෑ. ඇත්තටම ගොඩක් ස්තුතියි දිනේෂ් සහෝ...!!!

    ReplyDelete
  2. නොදන්නා , ඒ වගේම වටින තොරතුරු අපිට රැගෙන ආවාට බොහොම ස්තුතියි

    ReplyDelete
  3. සෑහෙන මහන්සිවෙලා තියනවා වැඩේට.. අලුත් දෙයක් දැනගන්ඩ සැලැස්සු එකට බොහොමත්ම ස්තුතියි..

    නැපොලියන්ව බලා ගන්ඩ ලැබුන එකනම් ලොකු දෙයක්...

    ReplyDelete
  4. විශිෂ්ඨ ගණයේ ලිපියක් නියමයි .........:D

    ReplyDelete
  5. අදත් ලස්සන පෝස්ට් එකක් දැක්කේ,,,ගොඩක් ස්තූතී ලිපියට

    ReplyDelete
  6. මාත් කලින් මේ කාරණය ගැන දැනගෙන හිටියේ නැහැ. දැනුවත් කළාට ස්තූතියි. මීට අදාළ පොඩි ප්‍රශ්නයකුත් අහන්න හිතුවා. ඒ තමයි දැනට ලන්ඩනයේ තියෙන Madame Tussauds wax museum එකේදිත් සිද්ධ වෙන්නේ ඔබ ඔය කියන life mask නිපදවීම වැනි දෙයකට සමාන කටයුත්තක් නේද ?

    ReplyDelete
  7. ගොඩක් දැන ගත්ත . නැපෝලියන් ගේ මුනත් තහඩුව බලාගත්ත. ටිකක් බය හිතෙන වැඩක් නේද . මැලේසියාවේ ජෙන්ටින් උද්‍යානයේ තිබුන තැනක් අපේ අත් වල ඔය විදිහේ අච්චු හදල දෙනවා ඉටි වලින් .

    ReplyDelete
  8. @චතුරංග පෙරේරා | chathuranga Perera,මහේෂ් නිශාන්ත,Senna, The Lion, ItalyDilan, උදාර සහ Bindi - හැමෝටම ස්තූතිකරන අතරේ නැපෝලියන් දකින්න ගොඩක් අය ආසාවෙන් සිටි බවත් පේනවා. ඒවගේම උදාර අහල තියෙන මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ ඉටි පිළිම නෙලීම ගැනත් කියන්න සිතා සිටිනවා...

    ReplyDelete
  9. Bindi, මොකක්ද බය හිතෙන වැඩේ.. නපොලියන්ව...දකින එකද ?? නැපෝලියන්ගේ නැගීම සහ වැටීම ලස්සනට යොදාගන තියනවා මොන්ත ක්රිස්තෝ පොතේ..කතාව ගොඩ නගන්ඩ.. ( කියවලා ඇති මයේ හිතේ ) හරිම ආසාවෙන් කියවපු නවල් එකක්... හිතේ ඇදිච්ච රුපෙට ටිකක් සමානයි වගේ...

    ReplyDelete
  10. @Senna - මොන්ත ක්‍රිස්තෝ පොත ‍වගේම රූපවාහිනියෙන් අපි දැකපු චිත්‍රපටියත් ලස්සනයි. හැබැයි මෑතක සිනමා ශාලාවලට නිපදවපු මොන්ත ක්‍රිස්තෝ නම් ‍පෙර නිර්මාණය අහලකින්වත් තියන්න බැහැ...

    ReplyDelete
  11. මටනම් පොතත් එක්ක සංසන්දනය කරද්දී, චිත්‍රපටිය විහිළුවක් වගේ දිනේෂ්....

    මටනම් හිතෙන්නේ ඒවගේ පොතකින් පැය දෙක තුනකින් ඉවර වෙන චිත්‍ර පටියක් හදන එක ලේසි වැඩක් නෙමේ.. ටෙලි චිත්‍රපටියක් වගේ හැදුවොතින් නම් සාදරනයක් ඉෂ්ට කරන්ඩ පුළුවන් වේවි මගේ හිතේ..

    ReplyDelete
  12. @Senna - මුලින් කිව්ව ඒ කියන්නේ රූපවාහිනියේ අපි අවුරුදු ගාණකට ඉස්සෙලා දැකපු සිංහල හඬකැවූ චිත්‍රපටිය ටෙලි චිත්‍රපටියක් වියයුතුයි. කොහොමවුනත් මතක හැටියට සිංහල පරිවර්ථනයවුනත් කොටස් 6 ක් වගේ දීර්ඝ එකක් නිසා කෙටියෙන් මෙවැනි වෘතාන්තයක් ඉදිරිපත් කිරීම පහසුකටයුත්තක් නොවෙන්නටත් තිරරචනය එයට ගැ‍ලපෙන ලෙස වෙනස් කිරීමත් සිදුවෙන්නට ඇති. නමුත් මෑතක ආ නිර්මාණයට සාපේක්‍ෂව සිංහලෙන්ද හඩකැවූ නිර්මාණයේ තිබූ නිර්මාණ කුසලතාවය ප්‍රශංසනීයබවයි ම‍ගේනම් හැඟීම...

    ReplyDelete
  13. නියමයි! අර අයිසැක් සර් නිව්ටන්ගෙ එක දැකපු ගමන් මතක් වුණේ ඔහුව නිරූපණය වුණ කාටුන් රූපයකි. එකෙත් ඔය ගිරා නහය ඒ විඳියටම තිබුණා.

    ReplyDelete