-->

Monday, October 28, 2013

අතීතය ගුරුවරෙයෙකි...

විවාහය සමාජයේ බහුතරයකට සිය දෙවැනි උපත වැනියයි බොහෝ විට කියවෙන දෙයකි. තමන් රැකියාවක් කර කලක් තිස්සේ හරිහම්බු කළ දෙය හෝ ණයවී හෝ විවිදාකාරයේ අලංකාර සහිතව සිය විවාහය කර ගැනීම අරුමයක් හෝ දුර්ලභදෙයක් නොවේ. එහෙත් මෙසේ වෙහෙස මහන්සිවී කරගන්නා විවාහය ඇතෙමකුට සුන්දර වුවත් ඇතමෙකුට එතෙක් තමන් ගෙවා ගෙන පැමිණි ජීවිතයට වඩා බාධක සහිත  සහ බලාපොරොත්තුවූ සුන්දරත්වයක් නොමැති අපායක් වැනිය. 

කෙසේවෙතත් මෙම මොන තත්ත්වයේ යටතේ වුවත් විවාහ දිවිය යනු වන්දනා ගමනක් වැනියයි සිතන්නන් හට නම් විවාහ දිවිය තුළ කොතරම් බාධක පැමිණියද ඒවායින් නොසැලී යහපත් විවාහ දිවියක් ගත කරන්න හැකි බව අත්දැකීම් ඇත්තවුන් පවසයි.

පැරැන්ණන් වන්දනා ගමන් ගියේ අද මෙන් වායුසමීකරණය කළ බස්රථ වල නොවේ. ලොරිකබලක පිටිපස කාන්තාවන්ට නම් වාඩිවීමට දිග බංකු  හෝ පුටු තබා පිරිමින් ලොරි තට්ටුවේ හිඳගෙනය.  නවාතැන් ගත්තේ සුපිරි හෝ ඇදන් සියළු දෙනාටම ඇති නවාතැන් පොළවල් වල නොව හැකිනම් ඒ ගිය පළාතේ පංසලක ශාලාවක හෝ ඒ ප්‍රදේශයේම ලාභයට ගතහැකි විශාල ශාලාවකය. ඇතැම්විට එම නවාතැන් ගත් ස්ථානයේ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නැත්නම් යාබද බැද්දට ගොස් ඒ ඒ කාර්යයන් කරගත්හ.ඇතැම් විට මෙම ගමණට ලබා ගත් වාහනය අතරමග කැඩී කොහෙන් හෝ බාසුන්නැහේ කෙනෙකු එක්කර ගෙන විත් වාහනය සාදාගන්නා තෙක් පාරේ රස්තියාදු වෙන්නටද සිදුවේ. එහෙත් මේ මොන දුක්කම්කටොළු වින්දත් මහළු පිරිස ශ්‍රද්ධාවෙන්ද, තරුණ පිරිස විනෝදයෙන් ඒ සෑම දෙයක්ම දරා ගෙන වන්දනා ගමන ගොස් පැමිණි පසු පසුතැවීමක් ඔවුන් සතු නොවේ. එපමණක්ද නොව ඇතැම් විට වෙනත් සිද්ධස්ථානයක් වෙත  වන්දනා ගමඊළඟ වසරේද යාමට ඇතමුන් පැමිණිදා සිටම බලාපොරොත්තුවේ.

මෙතෙක් මා පවසා සිටියේ මා පසුගිය දිනක කියවූ පොතක ඇතුලත් කරණු වලින් කොටසකි. සමාජයේ විවිධාකාරයේ තරාතිරම්වල හා විවිද සමාජ මට්ටම් වල පිරිස් තමන් විවාහ දිවිය තුළ හෝ තමන්ගේ මව්පියන්ගේ විවාහ දිවිය තුළ විදි අත්දැකීම් හා ඒවායෙන් ලබාගත හැකි ගුරුහරුකම් ගැන ඉඟි ලබා ගත හැකි කාරණා මෙම පොතේ ඇතුලත්ය.

පොත ලියා ඇත්තේ වර්ථමාන ලංකාවේ කතුවරෙයකු ලෙස හා පොත් ප්‍රකාශයෙකු ලෙස නමක් දිනා සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වන අතර පොතේ ම "අතීතය ගුරුවරයෙකි" යන්නයි.

ඇත්තෙන්ම මෙම පොතේ ඇතැම් කාරණා අප සමාජයේ තිබෙනා දේවල් යයි අපි කිසිදා නොසිතූ දේවල්ය. සමහර කාරණා සිතට කම්පනයක් ඇති කරන සුළුය. ඒ කොහොමවුනත් සමාජය ගැන, ජීවිතය ගැන ගැඹුරින් සිතන්නන්ට මෙම පොත මහඟු ආධාරකයක් වනවා නිසැකයි.



තවත් කාරණයක් නම් පසුගිය දිනක මාහට මීට දශක තුනක් පමණ පැරණි හොලිවුඩ් චිත්‍රපටියක් නැරඔීමට හැකියාවක් ලැබුන අතර ඒ චිත්‍රපටියේද කතා තේමාව මා පෙර පැවසු පොතේ කාරණාවලට යම් සමානකමක් තිබෙනා බව මට  හැඟීගියේය. Urban Cowboy නම් වූ මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය John Travolta විසින් රඟපාන අතර ඔහු තම උපන් ගමෙන් නගරයට පැමිණි පසු ජීවිතය හා ආදරය පිළිබදව ඉගන ගන්නා පාඩම මෙම චිත්‍රපටියෙන් පෙන්නුම් කරනු ලැබේ.

ආදරය, වෛරය, කෝපය, වරදවා වටහා ගැනීම, ශෝකය යනාදී මනුශ්‍ය සිතුම් පැතුම් රාශියක් මෙම චිත්‍රපටිය තුලින්ද දැකගත හැකි බව පවසමින් ලිපිය අවසන් කරමි...

Wednesday, October 23, 2013

ලොව පුදුම හතට අයත් නිමැවුම් කිහිපයක් හා තවත් අග්‍රගණ්‍ය නිමැවුම් කිහිපයකම අතීත සේයාරූ සමග තවත් පැරණි සේයාරූ කිහිපයක්...

මේ පින්තූරයෙන් දැක්වෙන්නේ 2007 වසරේදී නම් කෙරුණ ලෝකයේ පුදුම හතටත් අයත් වන Machu Picchu නම් ඉන්කා ශිෂ්ඨාචාරයට අයත් ඓතිහාසික ස්ථානයයි. පින්තූරය රැගෙන තිබෙන්නේ 1911 දී. ඒ ඇමරිකානු දේශාඨක Hiram Bingham විසින් 1911 දී මේ ස්ථානය සොයාගත් අවස්ථාවේදීය.
පේරු රටේ ඇන්ඩිස් කදුකර ප්‍රදේශයේ මුහුදු මට්ටමින් අඩි 7970 ක උසකින් පිහිටි මෙම ස්ථානය ඉන්කාවරු විසින් ගොඩනගනු ලැබුවේ ක්‍රි.ව. 1450 දී පමණ බව පැවසෙන අතර එයින් සියවසකට පමණ පසු එනම් ක්‍රි.ව. 1572 දී පමණ අත්හැර දමනු ලැබූ බව පැවසෙන්නේ ස්පාඥය ආක්‍රමණ නිසා බවයි.

ඒත් ස්පාඥය වාර්ථා කිසිවක මෙම ස්ථානය සදහන් නොවීමත් 1911 තරම් මෑතක් වනතුරු බාහිර ලෝකය මෙම ස්ථානය පිළිබදව නොදැන සිටීමත් නිසා ස්පාඥයවරුන්ගේ ආක්‍රමණවලට බියෙන් පළාගිය ජනයා මෙම ස්ථානයේ තවදුරටත් සරණාගතව සහ රහසිගතව වාසය කරන්නට ඇති බවටද අනුමාන විශ්වාසයක් පවතිනවා. වර්ග කි.මී. 13 ක ප්‍රදේශයක් පුරා විසිරී ඇති මෙම ගොඩනැගිලි, විශාල මන්දීර, පූජ්‍ය ස්ථාන ආදිය ප්‍රධාන කොට පවතී. එසේම මේවා බොහොමයක් තනි කළුගලෙන් කරනා ලද ගොඩනැගීම් බවත් පැවසිය යුතුයි.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරයෙන් දැක්වෙන්නෙත් 2007 වසරේ නම් කෙරුණු පුදුම හතටම අයත් නිර්මාණයක්. Christ the Redeemer ලෙස හැදින්වෙන මෙම දැවැන්ත නිර්මාණය පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකාවේ අතිවිශාල රාජ්‍යයක් වන බ්‍රසීලයේ. තවත් අතකින් බ්‍රසීලයේ ජාතික සංකේතයක් වන් මෙම නිර්මාණය රියෝ ඩි ජනයිරෝ නුවර Corcovado නම් කදු ගැටය මුදුනේ වන අතර කන්දේ පාමුල සිට පිළිරුව ඇති ස්ථානයට උස මීටර් 713 (අඩි 2340) ක් බවද පැවසෙනවා. තවද මෙම ස්ථානයට පිවිසීමට මහාමාර්ගය මෙන්ම දුම්රිය මාර්ගයකින්ද පහසුකම් සලසා ඇති බව පැවසිය යුතුයි.
බ්‍රසීලයේ ආරාධනයෙන් ප්‍රංශ ප්‍රතිමා නිර්මාණකරුවෙකු වන Paul Landowski විසින් 1921 දී ආරම්භ කරනා ලද මෙම නිර්මාණය අවසන් කර තිබෙන්නේ 1931 දී. මේ පින්තූරය රැගෙන තිබෙන්නේත් එකළ මෙය නිර්මාණය කරන අවදියේදීය.

යේසුස් වහන්සේ දෑත් දෙපසට විහිදා තිබීම නිරූපිත මෙම පිළිරුවේ උස අඩි 100 ක්, පිළිරුව පිහිටුවා තිබෙන Stand එකෙහි උසත් අඩි 20 ක් බව බව සදහන්. දෑත් අතර දිගත් අඩි 92 ක් බව සැලකිය යුතුයි.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරය අරගෙන තිබෙන්නේ ලිබර්ටි ප්‍රතිමාව හදන කාලයේදී. ලිබර්ටි ප්‍රතිමාව ගැන බොහෝ තොරතුරු දැනට වසර දෙකකට පමණ පෙර ලියූ මෙම ලිපියේ තිබෙනවා.
------------------------------------------------------------------------------------------
මේ පින්තුරයේ දැක්වෙන පිළිවෙලක් නැති මේසය භාවිතා කර තිබෙන්නේ නම් විසිවන සියවසේ ලෝකයේ සිටි බුද්ධිමතා වන ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. පින්තූරය ලැබෙන විට දැක්වුන පරිදි නම් මේ පින්තූරය රැගෙන තිබෙන්නේ ඔහු මෙලොවින් සමුගත් දිනයේදීය.
------------------------------------------------------------------------------------------
පළමු ලෝක යුද සමයේ ප්‍රංශයේ සිටි දක්‍ෂතම ගුවන් නියමුවා ලෙස සැලකෙන Charles Godefroy විසින් සිය ගුවන් යානය, ප්‍රංශයේ සුප්‍රකට හා එරට ජාතික සංකේතය වන් පැරීසියේ the Arc de Triomphe අතරින් පදවා ගෙන යන අන්දම දැක්වෙන සේයාරුව තමයි මේ.
------------------------------------------------------------------------------------------
මේ පින්තූරයත් සුවිශේෂ ඉදිකිරීමකට අදාල වෙන පින්තූරයක්. මේ පින්තූරය 1908 වසරේදී කාචයේ සටහන් කර ගත් එකක් වන අතර ඒ නිව්යෝර්ක් නගරයේ මෑන්හැට්න් පාලම තනන අවස්ථාවේදීය. මෙම පාලම 1901 දී තැනීම ආරම්භ කර වැඩ අවසන් කර තිබෙන්නේ 1912 දී. හැබැයි 1909 දෙසැම්බර් 31 වනදා මෙය විවෘත කර තිබෙන්නේ වැඩ අවසන් කිරීමටත් පෙරාතුවයි.
මෙම පාලම දිගින් අඩි 6855 ක් හෙවත් මීටර් 2089 ක්. අනෙක් අතින් කියනවා නම් කි.මී. 2 කට සුළු ප්‍රමණයක් වැඩියෙන් මෙම පාලම දිගයි. පළල නම් අඩි 120 (මීටර් 37) යි. ඒවගේම උසින් වැඩිම ස්ථානය එනම් පාලමේ මැද පිහිටි කුළුනක උස අඩි 336 ක් හෙවත් මීටර් 102 ක්.  ඒවගේම පාලම ආධාරක දෙකක් අතර එල්ලී ඇති වැඩිම දුර ප්‍රමාණය අඩි 1480 ක් හෙවත් මීටර් 451 ක්. ඒ විතරක් නෙමෙයි. පාලමට පහලින් ඇති East river නම් ගංඟාවේ ජල මතුපිට සිට පාලමට ඇති නිදහස් අවකාශයේ උසත් අඩි  135 ක්. පසුකලෙක තවත් අංග එක්වූ මෙම පාලමේ දැන් මංතීරු 7 ක මහා මාර්ගයකට අමතරව දුම්රිය මාර්ග 4 ක් සහ පදිකයන්ට මෙන්ම බයියිකල් වලින් ගමන් යන්නන් සදහා වෙන් කළ මාර්ග කොටස් පවා තිබෙන බව සදහන් කළ යුතුයි.
http://en.wikipedia.org/wiki/Manhattan_Bridge
------------------------------------------------------------------------------------------
මේ පින්තූරය කුමක්දැයි දුටු පමණින් ඔබ වටහා ගනීවී. සුප්‍රකට ප්‍රංශ අයිෆල් කුළුන තනන අවස්ථාවක ගත එකක් තමයි මෙය. අයිෆල් කුළුන වැනි දැවැන්ත හා සුවිශේෂ නිර්මාණයක් ගැන පසුවට ලියන්න තබා දැනට මෙම පින්තුරය පමණක් මෙතැන තබන්නම්.
------------------------------------------------------------------------------------------
මේ පහල පින්තූරයේ තිබෙන ගොඩනැගිල්ලේ තිබෙන මිනිස් හිස විසිවන සියවේ සිටි තවත් ඒකාධිපති පාලකයෙකු ලෙස සැලකෙන බෙනීටෝ මූසලීනිගේ බව තමයි මේ පින්තූරය සමග තිබූ විස්තරයේ සටහන් වුනේ. කොහොමවුනත් බෙනීටෝ මූසලීනි කියන්නේ කවුද කියන එක මෙන්න මේ ලිපියේ ලිව්වා.
http://sathsamudura.blogspot.com/2012/03/ii.html


අද ලිපිය මෙතැනින් නවත්වන්නම්....

Thursday, October 17, 2013

තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - ii


පසුගිය ලිපියෙන් බර්ලින් තාප්පය ඉදිකිරීමට හේතු එකින් එක කතාබහ කළ අතර මෙම ලිපියෙන් තාප්පය ඉදිකිරීම, ඉන්පසු ඇතිවූ දේවල් සහ එයින් වසර 28 කට පසු බිද වැටීම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

1961 අගෝස්තු 13 වනදා නැගෙනහිර බර්ලිනයේ සාමන්‍ය ජනතාව හෝ බටහිර බර්ලිනයේ සහ බටහිර ජර්මනියේ කිසිකෙනෙකු නොදැන සිටි ක්‍රියාන්විතයත් නැගෙනහිර ජර්මනියේ පාලකයන් හා සෝවියට් බලධාරීන් එකතුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. එදින සියළුම දුරකථන මාර්ග අඩපණ කරනු ලැබූ අතර එම ක්‍රියාන්විතයට සම්බන්ධවන අයවළුන්ට පවා දුරකථන ඇමතුම් ගැනීම තහනම් කොට තිබුනා. අනෙක එදා අද මෙන් ජංගම දුරකථනද නොවූ නිසා එය එතරම් ගැටළුවක් වුනේ නැහැ.බටහිර හා නැගෙනහිර බර්ලිනයේ මායිම්ද වසා දැමුන අතර එදින උදෑසන “Shock workers” නමින් හැදින්වූ කණ්ඩායම උදෑසනම වැඩ අරම්භ කරනු ලැබුවා. ඔවුන් මෙම දේශ සීමාවේ බාධක ඉදිකරමින් සිටි අතර කනු සිටුවමින් කටු කම්බි ඒවාට සවිකරමිනුයි සිටියේ. මෙය දුටු දෙපැත්තේම බර්ලින් වාසීන් කම්පනයට පත්වූ අතර ඇතමෙකු සත්‍ය වශයෙන්ම වාසය කළේ ඔවුන් එම අවස්ථාවේ සිටි පැත්තේ නොව අනෙක් පැත්තේ වූ අතර කිසියම් කාර්යයකට හෝ හිතවතුන් හමුවීමට පැමිණි සිටි ඔවුන් කොටුව සිටි අතර ඇතමෙකු හඬමින්ද, ඇතමෙකු මේ කාර්යයේ නියැළුන අයට දොස් පවරමින්ද සිටි අතර හැකියාව ඇති අය රැකවළුන්ගේ අවධානය වෙන අතකට යොමු වු වහා ඇසිල්ලකින් හොරෙන් අනෙක් පැත්තට පළායාමද සිදුවුනා. Stasi නමන් හැදින්වූ පොලීසියකට මෙම නගර මායිම් මුර කිරීමේ ස්ථීර වගකීමද පවරන ලදි.
පැය 24 කින් බටහිර බර්ලිනය වටකර කටකම්බි පවුරක් ඉදිකිරීමේ කාර්යය අවසන් විය. බොහෝදෙනෙකුට ගැටළුවක්ව පවතින බර්ලින් පවුර ඉදිවූයේ බටහිර-නැගෙනහිර ජර්මන් දේශසීමා මායිම් කර නොව බර්ලිනයේ බටහිර අන්තය වටකරය. පසුගිය ලිපියේද පැවසුවාක් මෙන් බර්ලින නගරය පිහිටියේ නැගෙනහිර ජර්මනිය තුළය. එම නගරය පිහිටීම ගත් කළ එය බටහිර ජර්මනි දේශ සීමාවේ සිට සැතපුම් 110 ක දුරිනි පිහිටා තිබුනේ නැගෙනහිර ජර්මනිය විසින් බටහිර කොටසට පිවිසීමට භූමියේ මාර්ග වසා දැමුව හොත් එයට පිවිසිය හැකි එකම මග ගුවන් මග ඔස්සේ හෝ එය හරහා දිවෙන ගංඟාවන් හෝ ඇල මාර්ග ඔස්සේ වුවත් ගුවන් මග හැරෙන්නට අනෙක් විකල්පයන්ද දැඩි රැකවල් වලට ලක්වීම හේතුවෙන් ගුවන් මග වඩාත් ප්‍රායෝගික ප්‍රවේශ මග වූවා.
රතු පැහැයෙන් නැගෙනහිර ජර්මනියද,
කහ පැහැයෙන් බර්ලින් නගරයද දැක්වේ.
මුලින් තැනූ කටුකම්බි වැට හෝ ඉන් පසුව වරින්වර විවිධාකාරයේ බාධක යොදමින් තැනූ පවුර බටහිර බර්ලිනය වටා සැතපුම් 96 ක් නැතහොත් කි.මි.155 ක් දුරකින් යුතුවූවා. තවද පසු කලෙක කොන්ක්‍රීට් වලින් ඉදිකල තාප්පයේ සාමාන්‍යෙයන් උස අඩි 11.8 ක් නැතහොත් මීටර් 3.60 ක් වූබවද සදහන් කළ යුතුවේ. නිලවාර්තා අනුව මෙම මෙම අවහිරතාවය ඉදිකර ඉන් වසර විසි අටකින් එය ඉවත් කරනා තුරාවට නැගෙනහිර සිට බටහිරට පලා යාමට ගොස් මිය ගිය ගණන 133 කි. එසේම 5000 ක් පමණ සාර්ථකව මෙම බාධකයන් තරණය කළ බව පැවසෙන අතර ඉහත කී මිය ගිය ගණන ඊට වඩා වැඩි විය යුතු බවද පැවසේ.
නැගෙනහිර ජර්මනිය ගත් මෙම ක්‍රියාමාර්ගය බටහිර බර්ලිනය, බටහිර ජර්මනිය හා බටහිර රටවල් විශ්මයටත් කම්පනයටත් පත් කළ අතර කුමක් කළ යුතු දැයි තීරණයක් ගත නොහැකිව ඔවුන් පසුවිය. බටහිර බර්ලින් බලධාරීන්, ඇමරිකාව ප්‍රමුඛ රටවල් කෙරේ විශ්වාසය තැබුවේ මෙම බාධකය ඔවුන්ගේ බලය යොදා ඉවත් කරනු ඇති බවටයි.එහෙත් ඇමරිකානු ජනපති කෙනඩියේ තීරණය වූයේ බටහිර බර්ලිනයේ මායිම් උල්ලංඝනයක් කිරීම සිදුකර නොමැති බැවින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. කළ හැක්කේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව විරුද්ධත්වය නැගෙනහිර ජර්මනියට පළ කිරීම බවයි.එහෙත් එවන් විරුද්දත්වයකින් නැගෙනහිර ජර්මනියේ වැඩ පිළි‍වෙළ වෙනස් කළ නොහැකිවූ අතර ඇමරිකාවේ ඇල්මැරුණ ප්‍රතිපත්තිය තවදුරටත් වැඩිදියුණු වෙමින් එකම නගරයක් වෙනකරමින් ඉදිවුන බාධකය තවත් දශක තුනකට ආසන්න කාලයක් පැවතීමයි.
මෙම නගරය දෙකඩ කිරීමේ ක්‍රියාමාර්ගය දියත් කළ දිනට පසුදින බටහිර බර්ලිනයේ නගරාධිපතිවරයා ප්‍රමුඛ පිරිසක් ජර්මනියේ සුප්‍රකට Brandenburg Gate අසලට පැමිණ නැගෙනහිර ජර්මනියේ මෙම ක්‍රියාමාර්ගයන්ට එදිරිව උද්ඝෝෂනයක නිරතවූ අතර එදිනම නැගෙනහිර ජර්මන්වාසීන්ට තවදුරටත් මෙම ස්මාරකය අසලට පිවිසීමට නොහැකි වන ආකාරයටද බාධා පමුණුවමින් එයට නැගෙනහිර බර්ලිනයෙන් ඇති පිවිසුමද වසා දමන ලදි.


1984 දී ගත් සේයාරුවකි

බර්ලින් තාප්පය බිද දැමීමට දින කිහිපයකට පෙර

ගේට්ටුව අසල තාප්පය ඉදිකර තිබූ අයුරු
අගෝස්තු 15 වනදා තවත් විශේෂිතම දෙයක් සිදුවිය. එනම් දේශසීමා මුර කිරීමේ නිරතව සිටි onrad Schumann දේශසීමා ආරක්‍ෂකයාද කටුකම්බි උසට සවිනොකළ ස්ථානයක් මතින් බටහිර බර්ලිනය දෙසට පැනයාමයි. තමන්ට නැගෙනහිර පැත්තෙන් පළායාමට තිබෙන හොදම හා පහසුම අවස්ථාව මෙය යයි ඔහු සැලකුව විය යුතුය. ඇත්තෙන්ම පසුකළෙක ඉදිකළ බාධක හා රැකවල් ගත් කළ ඔහු සුදුසුම තීරණය ගත් අයෙකු විය.
මේ එම අවස්ථාවයි

මෙම පැනයාමෙන් පසු තවදුරටත් කටුකම්බි වලින් පමණක් මෙම අවහිරතාවය ඇති කිරීම පහසුනොවෙන බව වටහා ගත් නැගෙනහිර ජර්මන් පාලනය අගෝස්තු 16 වනදාම පෙර සවිකළ කටුකම්බි බාධක ඉවත්කර කොන්ක්‍රීට් ගඩොල්වලින් බර්ලින් තාප්පය ඉදිකිරීම ආරම්භ කළ අතර මෙම තාප්පය මීටර් 2 ක උසකින් යුතුවිය. 
සිදුරකින් බලා සිටින බටහිර ජර්මන් වැසියෙක්.

අගොස්තු 26 වනදා බටහිර බර්ලින්වාසීන්ට නැගෙනහිරට ඇතුළුවීමට තිබූ සියළු දොරට වසා දමා අවහිර කරනු ලැබීය. මායිමේ ඇති උස්ගොඩනැගිලි වල ජනෙල්ද ස්ථීරවම වසා දැමුනේ එවා තුලින් පැනීමෙන්ද බටහිර බර්ලිනයට යාහැකි සහ එසේ ගිය පිරිසද සිටි හෙයිනි. ඒ අවධියේ බටහිර බර්ලින් ගිනි නිවන හමුදාවට ගිනි නිවනවාට වඩා රාජකාරිය වූයේ උස් ගොඩනැගිල මතින් පනින නැගෙනහිර බර්ලින් වැසියන් නෙට් හෝ මෙට්ට තබා නිරුපද්‍රිතාව බිමට ඒමට සැලැස්වීමයි.

කටුකම්බි වලින් නැවතිය නොහැකිය තාප්පයක්ද ඉදිකළත් පැනයාමට උත්සහ දරන හො ්පැනයන පිරිස නවතා ගැනීම අරමුනින් තවත් තාප්පයක් එයට පිටුපසින් ඉදිකිරීමට නැගෙනහිර ජර්මන් බලධාරීන් කටයුතු කළෝය. එසේම තවදුරටත් පළමු තාප්පය වැඩි දියුණු කිරීමටද කටයුතු යොදන ලදි. 


කෙසේවෙතත් 1961 ඔක්තෝබර් අගභාගයේ තෙවන ලෝක යුද්ධයක ආසන්නයකට පැමිණි අවස්ථාවක් උදාවිය. එනම් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන Allan Lightner යන අය සහ තවත් කිහිපදෙනෙකු ඔක්තෝබර් 22 දා නැගෙනහිර ජර්මනියට ඔපෙරාවක් නැරඹීමට යාමේදී නැගෙනහිර ජර්මන් රැකවලෙකු ඔවුන්ගේ අවසර පත් යනාදිය ඔවුන්ගේ ඇතුළුවීමේ හා පිටවීමේ ස්ථානය වූ Checkpoint Charlie පරීක්‍ෂා කිරීමට යාමේදි අර්බුදයක් මතුවූ අතර ඔක්.27 වනදා ඇමරිකන්-සෝවියට් යුද ටැංකි එකිනෙකට මීටර 100 ක් තරම් නුදුරින් එකිනෙකා වෙත අවි අමෝරාගෙන සිටියේ නියෝගය ලැබුන සැනින් ප්‍රහාර එල්ල කිරීමටයි. කෙසේවෙතත් එයින් දිනකට පසු මෙම තත්ත්වය සාමකාමීව අවසන්වූයේ එවකට ඇමරිකානු නීතිපති හා ජනපති කෙනඩි ගේ සොයොයුරු රොබට් කෙනඩි හා සෝවියට් රහස් ඔත්තුසේවය වන KGB යේ පාලකයා අතර ඇතිවු සාකච්ඡාවලින් අනතුරුවයි. මෙම සිද්ධියෙන් අනතුරුව Checkpoint Charlie යන ස්ථානය සීතල යුද්ධයේ ප්‍රසිද්ධම ස්ථානයක් විය.




1962 අගෝස්තු 17 වනදා ලොවම කම්පා වූ සිදුවිමක් සිදුවූ අතර Peter Fechter නම් 18 හැවිරිදි තරුණයා බටහිර දෙසට පලායන්නට තැත් කිරීමේදී නැගෙනහිර දෙස රැකවළුන් වෙඩිතැබූ අතර තුවාල ලැබූ තරුණයා බටහිර වාසීන් දෙනොදාහක් දෙනා බලා සිටියදී ඔහු පණ ඇද මිය ගිය අතර ඔහු බේරා ගැනීමට බටහිර දෙසින් සැරසුනත් ආසන්නයේ පිහිටි නැගෙනහිර දෙස මුර කපොල්ලෙන් එයට ඉඩක් නොවීය.

1963 ජූනි 26 වනදා ඇමරිකානු ජනපති කෙනඩි බර්ලිනයට  පැමිණි අතර බටහිර බර්ලිනය හුදකලා නොවන බව හැඟවීමට තමන්ද බර්ලින්වැසියකු යයි පැවසීය.“Ich bin ein Berliner.” (“I am a Berliner.”)

එම වසරේම දෙසැම්බර් 17 වනදා බටහිර-නැගෙනහිර බර්ලින් පාලනාධිකාරීන් යම් එකඟත්වයකට පැමිණි අතර සීමිත අවසරයන් හා සීමාමායිම්වලට යටත්ව බටහිර බර්ලින් වැසියන්ට තම ඥාති හිතමිත්‍රාදීන් බැලීමට නැගෙනහිරට පැමිණීමට අවසර දෙන ලදි.
1965 දී නැවත වරක් තාප්පය වැඩිදියුණු කළ අතර තාප්පය මතින් පැනීම වැලකීමට එය මත මීටර් 0.4 ක රවුම් කොන්ක්‍රීට් ටියුබයක්ද තනන ලදි.

1971 දී Walter Ulbricht ගේ අභාවයෙන් පසුය Erich Honecker නැගෙනහිර ජර්මනියේ බලයට පත්වූ අතර ඔහුද තවදුරටත් Erich Honecker ගේ මගම යමින් බර්ලින් පවුර වැඩි දියුණු කිරීමටද පියවර ගත් අතර ඔහුගේ මතය වුයේ “තෙවන ලෝක යුද්ධය ඇති නොවීම සදහා ඇති හොදම විකල්පය මෙම පවුර ඉදිකිරීම ලෙසයි“.

1975-1976‍ අතර කාලයේ එතෙක් භාවිතා නොවූ උපක්‍රම සහ බාධයන් බර්ලින් තාප්පය කෙරේ ස්ථාපනය කරන ලදි. Grenzmauer 75 (Border Wall ’75) ලෙස හැදින්වූ මෙම වැඩපිළිවෙලේදී පළමු බර්ලින් පවුරට පසුපසින් ඉදිකළ දෙවන පවුර තවදුරටත් පසුපසට ගෙන ස්පර්ශ සංවේදී ස්ව්‍යංක්‍රීය වෙඩිතැබීමේ හැකියාව ඇති තුවක්කු සවි කළ අතර බරවාහනයක් තාප්පය මත වැදී තාප්පය කඩාගෙන යාම වැලකීම සදහා L හැඩති කොන්ක්‍රීට් ප්ලේට් සවිකරන ලැබූහ. මේවා එකක් මීටර් 3.6 ක් සහ පළල මීටර් 1.5 කින් යුතුවූ අතර මේවා මතින් සෙ.මී.40 ක විශ්කම්භයෙන් යුතු සිලින්ඩරාකාර බටයක්ද සවිකරන ලදි.

එසේම ඊට පෙර බර්ලින් තාප්පයට යටින් බිම්ගෙවල් තනා පැනයාම සිදුවූ නිසා තාප්ප දෙක අතුරින් බිම් බෝම්බ අතුරා එම පැනයාමේ ක්‍රමයටද බාධා ඇති කරන ලදි. 

මෙලෙස බාධා කිරීම නිසා තාප්පයට ඉහළින් පැනයාමට තැත්කළෝද වූහ. එසේ සාර්ථක වූ පැනයාමකි 1979 දී නැගෙනහිර බර්ලින් වාසී Strelzyk සහ Wetze යන පවුල් දෙකේ අය එකතුව උණුසුම් වායු බැළුනයක් තනා 1979 සැප්. 16 වනදා බටහිර බර්ලිනයට පැනයාම. පසුව 1982 දී ඩිස්නි සමාගම මෙම සාර්ථක උත්සාහය අලලා Night Crossing නම් චිත්‍රපටියක්ද තැනීය.

එසේම ඉහළින් පැනයාමේදී බර්ලින් මායිම් රැකවළුන්ට පිළිපැදිය යුතු නියමයන් කිහිපයක් විය. මන්ද සෝවියට් දේශයට අයත් ගුවන් යානාවක් හෝ බැළුනයක් ඔවුන්ගේ වෙඩිතැබීමට ලක්විය හැකි නිසා එම ක්‍රියාමාර්ග ගෙන තිබුනි. එම රැකවළුන් ප්‍රථමයෙන් තම ප්‍රධානියා හරහා නැගෙනහිර ජර්මනියේ බලඅධිකාරියට මෙම ගුවන් යානා හෝ බැළුන පිළිබදව දැන්විය යුතු අතර ඔවුන් ඉන්ඉක්බිති සෝවියට් පාලනාධිකාරියට දන්වනු ලැබේ. ඔවුන්ගේ අවසරයද ලැබුන පසු වෙඩි තැබීම කළ හැකි අතර එම උපදෙස් ලැබෙන විට පලායන්නන් තම අරමුණ සඵල කරගෙන හමාරය.

1987 ජූනි 12 වනදා එවකට ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් බර්ලිනයට පැමිණි අතර ඒවන විට සෝවියට් පාලකයාව සිටි මිකායිල් ගොර්බචෝෆ් අමතා මෙම පවුර බිම දමන මෙන් ඉල්ලා සිටියේය.

එසේම සැප්තැම්බරයේදී Erich Honecker බටහිර ජර්මනියට ගිය ප්‍රථම නැගෙනහිර ජර්මන් නායකයා වෙමින් එරට සංචාරයක යෙදුන අතර ඔහුම ඉහලම ගෞරවයෙන් යුතුව පිළිගැනීමද සිදුවූ අතර බර්ලින් පවුර නිසා එය නඩත්තු කිරීමට හා එය පවත්වාගෙන යාමට ඉහළ පිරිවැයක් නැගෙනහිර ජර්මනියට දරන්නවී තිබු අතර තම රටට ආධාර කරන මෙන් බටහිර ජර්මනියෙන් නැගෙනහිර නායකයා ඉල්ලා සිටි බවද පැවසේ. එසේම ආධාර කිරීම සදහා බර්ලින් තාප්පයට සවිකර ඇති ස්ව්‍යංක්‍රීය ගිනි අවි ඉවත්කිරීම සහ තවත් කොන්දේසි කිහිපයක් ඉල්ලා සිටි අතර එම කොන්දේසි ඉටුකිරීමටද එකඟවිය.

ඇතැම්විට සමහර දේට හදිස්වීමද නුවනට හුරු නොවේ. 1989 පෙරබවාරි 6 වනදා බර්ලින් පවුරේ සිදුවන අවසාන අවාසනාවන්ත මරණයද සිදුවිය. Chris Gueffroy නම් අය අවසාන වශයෙන් බටහිර බර්ලිනයට පැනයාමට ගොස් මැරුම්කන අවසානයා වූයේය. කෙසේවෙතත් ඔහු තවත් මාස නවයකුත් දින තුනක් ඉවසුවේ නම් ජීවිතය කෙලවර කරගන්නේ නැතුව තම ඉලක්කය සපුරා ගන්න තිබුනි. එහෙත් අනාගතයේ සිදුවන දේය කාටනම් කිව හැකිද? 

ගොර්බචෝෆ්ගේ පාලනය යටතේ සෝවියට් අයෝමය හස්තය ලිහිල් වෙමින් පැවතියේය. ඔහු සෝවියට් දේශයේ දීර්ඝකාලයක් පුරා පල්වෙමින් පැවති දේශපාලන වාතාවරණය වෙනස් කිරීම සදහා පෙරස්ත්‍රොයිකා ව්‍යාපාරයද ක්‍රියාත්මක කිරීමේ නිරතව සිටි අතර නැගෙනහිර යුරෝපයට සෝවියට් බලපෑමද අඩුකිරීමටත්, තමතමන්ගේ රටවලට උචිත දේශපාලන ප්‍රතිසංස්කරණයන් ගැනීමට අවශ්‍ය අනුබලයද සපයමින් සිටි අතර මේ ප්‍රවණාතවයන් නිසා කොමියුනිස්ට් හංගේරියාව තම ඔස්ට්‍රියා දේශසීමා විවෘත කිරීමට 1989 අගෝස්තු 23 වනදා පියවර ගත් අතර සැප්. 10 දා නැගෙනහිර ජර්මන් දේශසීමාවද විවෘත කිරීමට පියවර ගත් නිසා 13000 කට වැඩි නැගෙනහිර ජර්මානුවන් පිරිසක් මෙම ඉඩකඩෙන් හංගේරියාව හරහා ඔස්ට්‍රියාවට පැන ගියෝය.

කොමියුනස්ට්කරණයේ ආනුභාව පැතිරවීම සදහා නැගෙනහිර යුරෝපයේ රටවල් පෙළීමේ ප්‍රතිපත්තියෙන් සොවියට්දේශය නික්මීමත් සමත නැගෙනහිර ජර්නියේද කොමියුනිස්ට් පාලනය දියාරු වෙමින් පැවතුනි. Erich Honecker එම වසරේ ඔක්තෝබරයේ තම ධූරයෙන් ඉවත් වූ අතර 1989 නොවැම්බර් 4 වනදා මිලියනයකට අධික ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්‍ෂා කළ ජනතාවක් නැගෙනහිර බර්ලිනයේ ප්‍රධාන චතුරස්‍රයට එක්වී උද්ඝෝෂන පැවැත්වූ අතර සෝවියට් සහයද තවදුරටත් නොලැබීයන තත්ත්වයක් පෙනෙන නිසාදෝ දිනක් ඇතුලතම එතෙක් පාලනය කළ රජයද ඉල්ලා අස්වූහ.

1989 නොවැම්බර් 9 වනදා සීතල යුද්ධයේ මලගමට පාර කැපූ තීරණාත්මක දිනයක් කිවුවත් වරදක් නැත‍. නැගෙනහිර ජර්මන් පාලණාධිකාරීය නැගෙනහිර බර්ලින් වැසියන්ට බටහිර දෙසට යාමට අවසර දෙන බව පැවසූ අතර ඔවුන් නොදැන හෝ දැන කළ වරදක් හෝ අතපසුවීමක් වූයේ මෙම අවසරය ලැබෙන්නේ කොතරම් කාලසීමාවකටද යන්නයි. මේ සමගම දහස් ගණන් නැගෙනහිර බර්ලින්වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් බටහිර දෙසට යන්නවූවා පමණක් නොව තම තමන්ට හැකි අයුරින් බර්ලින් පවුර බිද දැමීමටද දායක වුහ.

මෙම ව්‍යාකූල සහගත නිවේදනය සිදුකළ කොමියුනිස්ට් නිලධාරී Günter Schabowski සැනකින් ජනප්‍රිය චරිතයක් බවටද එකළ පත්විය.



දෙසැම්බර් 22 වනදා එතෙක් වසා දමා තිබූ Brandenburg Gate වෙතටද යාමේ හැකියාව ලබා දෙන ලදි.

කෞතුකමය වශයෙන් රැකගත යුතු යයි සැලකූ ස්ථාන කිහිපයක් හැරුන කොට අනෙක් සියළුම ස්ථාන වලින් තාප්පය ඉවත් කරන ලදි.

දෙවන ලෝක යුද්ධය නිසා ජර්මානුවන්ගේ අවශ්‍යතාවය මත නොව එකල ලෝක බලවතුන්ගේ තීරණය පරිදි දෙකඩ කළ ජර්මනිය 1990 ඔක්තෝබර් 3 වනදා නැවතත් එක්සත් ජර්මනියක් බවට පත්විය.

---------------------------------------------------------------------------------------------------
මෙම ලිපියේදීද සුළු වශයෙන් බර්ලින් තාප්පය ගැන කතා කළා -
මූලාශ්‍ර -

Monday, October 14, 2013

ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර


මේ පින්තූරයේ සැඟවී පවතින සතුට ගැන පවසනවාත් සමගම අද ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ දැක්වෙන්නේ 1989 නොවැම්බර් 09 වනදා සීතල යුද්ධයේ ප්‍රධානතම දෘශ්‍යමාන සාධකයක් වන බරලින් තාප්පය විනාශය ඇරඹීමත් සමගම ඇතිවුණ සතුට ඒ අය සැමරූ ආකාරයයි.

බර්ලින් තාප්පය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ දැන සිටියත් ඒ ඒ කාරණා වල විවිධාකාර වෙනස්කම් තිබෙනවා. මොකක්ද මේ බර්ලින් තාප්පය? එය ඉදිකළේ ඇයි? කවදා සිට කවදා දක්වා මේ තාප්පය පැවතුණාද? මේ වගේ ගොඩක් කාරණා මේ ලිපියේදී කතා කරමු.

බර්ලින් නගරය කියන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන තීරණාත්මක  කේන්‍ද්‍රස්ථානය බර්ලින් නගරයයි. මිතුරු හමුදාවන්ගේ  ගුවන් ප්‍රහාරවලට, කාලතුවක්කු ප්‍රහාරවලට හා සෝවියට් හමුදා සහ ජර්මානු හමුදා අතර මෙම නගරයේ ඇතිවූ වීදි සටන් නිසා ඉතා දරුණු අන්දමින් බර්ලින් නගරය විනාශයට පත්ව තිබුණා.

සෝවියට් රතු හමුදාවන්ගේ නොනවත්වා එල්ල වන ප්‍රහාර හමුවේ දුර්වලව සිටි ජර්මානු හමුදාවන්ට තවදුරටත් බර්ලින් නගරය තමන් අත තබා ගැනීමට නොහැකිවූ අතර 1945 මැයි 08 වනදා වන විට නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට සමත්වූවා. මෙම අවස්ථාව Zero hour නැතහොත් ජර්මන් බසින් Stunde Null ලෙසද ඉතිහාසයේ හදුන්වනු ලබනවා.

තවද මෙම අත්පත්ගැනීම් වලදී රතු හමුදාව අතින් බර්ලින් නගරයේ කාන්තාවන් අතිවිශාල සංඛ්‍යාවක් දූෂණයටද ලක්වූ බව සදහන් වේ.

(Following the Red Army's capture of Berlin in 1945, Soviet troops raped German women and girls as young as eight years old.[72] Estimates of the total number of victims range from tens of thousands to two million.[73]

After the summer of 1945, Soviet soldiers caught raping civilians were usually punished to some degree, ranging from arrest to execution.[74] The rapes continued, however, until the winter of 1947–48, when Soviet occupation authorities finally confined troops to strictly guarded posts and camps. - http://en.wikipedia.org/wiki/Red_Army_atrocities#Mass_rapes)

බර්ලිනය අත්පත් කරගත් පසු ජර්මන් හමුදාවන්ගෙන් තම දේශයට වූ හානිය ප්‍රතිපූරණය කර ගැනීම උදෙසා සහ නැවත තම රට ගොඩනගා ගැනීමට බර්ලින් නගරයේ තිබූ කර්මාන්ත ශාලා, දුම්රිය මාර්ග යනාදිය ගලවා රැගෙන යාම 1945 මැයි සිට ජූලි දක්වා සෝවියට් හමුදා විසින් සිදුකරනු ලැබූ බව පැවසෙන අතර පසුව බර්ලිනයේ බටහිර කොටස අනෙකුත් මිතුරු ජාතීන්ට ලබා දුන් පසුවත් නැගෙනහිර ජර්මනියේ මේ තත්ත්වය පැවතුන බව පැවසෙනවා.

යුද්ධයට පෙරාතුව ලන්ඩනයේදී 1944 දී ඇති කරගත් යුද්ධයෙන් අනතුරුව ජර්මනියේ ඉරණම කෙසේ තීන්දුවිය යුතුද? යන්න තවදුරටත් සාකච්ඡා කිරීමට 1945 ජූලි 16 සිට අගෝස්තු 2 දක්වා මිතුරු බලවතුන් අතර පොස්ට්ඩෑම් හි පැවතුන සමුළුවෙන් අනතුරුව ජර්මනිය පරිපාලක ඒකකට 4 කට බෙදා පාලනය කිරීමට තීරණය වූ අතර බටහිර කොටස් ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා වෙතත් නැගෙනහිර ජර්මනිය මුදාගැනීමේදී අතිමහත් ජීවිත හා සම්පත් දායකත්වයක් ලබාදුන් සෝවියට් දේශය වෙතටත් ලබා දුන්නා.

එසේම අත්පත් කරගත් බර්ලින් නගරයේ 2/3 ක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ පාලනයට එහි බටහිරින් වෙන්කෙරුණ අතර ඉතිරි 1/3 ක් වූ නැගෙනහිර කොටස සෝවියට් පාලනයට නතු කෙරුණා.
බෙදුන බර්ලිනය

මේ අනුව බර්ලින් නගරයේ බටහිර කොටස හෙවත්  බටහිර බර්ලින් කොටසද පැවතුණේ නැගෙනහිර ජර්මනිය තුළ බව සැලකිය යුතුයි. එය සංඛ්‍යාත්මකව පවසනවා නම් බටහිර ජර්මනියේ සිට සැතපුම් 110 ක් (කි.මී. 180 ක්) දුරින් බටහිර බර්ලිනය පිහිටා තිබුණා.

යුද සමයේදී සහයෝගයෙන් යුද වැදුණත් යුද්ධය නිමාවීමටත් පෙරම ස්ටාලින් ප්‍රමුඛ සෝවියට් අභිලාෂයවූයේ ලෝකයම කොමියුනිස්ට්කරනයට ලක්කිරීමයි. යුද්ධය නිමාවීමත් සමග දෙපාර්ශවයේ තිබූ වෙනස්කම් සහ අනෙකුත් භේදයන් යළි ඇතිවන්නට වූ අතර තමන් සතුව පැවති ජර්මානු ප්‍රදේශයන්ගේ දේශ සීමාවන්ගේ ආරක්‍ෂාව තර කිරීමට සෝවියට් හමුදා පියවර ගත් අතර ක්‍රමයෙන් සීතල යුද්ධය උණුසුම් වන්නට පටන් ගත්තා.

යුද්ධයෙන් විනාශයට පත් ජර්මනිය ප්‍රමුඛ අනෙක් රටවල් නගා සිටුවීමේ ප්‍රයත්නයනක් ලෙස මාර්ෂල් සැලැස්ම 1948 අප්‍රේල් සිට වසර 4 ක් දක්වා වූ කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර මෙයට සෝවියට් දේශය එකඟත්වයක් නොදැක්වූ හෙයින් ඔවුන්ගේ පාලනයට යටත්ව පැවති නැගෙනහිර ජර්මනිය හෝ ඔවුන්ගේ බලපෑමට නතුව සිටි සමහර නැගෙනහිර යුරෝපීය රටවල් එයින් ප්‍රතිලාභ නොලැබූහ. මෙම මාර්ෂල් සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙහිලා පුරෝගාමීත්වය උසුලනු ලැබුවේ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකු, ආරක්‍ෂක ලේකම්වරයෙකු සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කළ ජනරාල් ජෝර්ජ් මාර්ෂල් මහතාය.

මෙම මාර්ෂල් සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික පහසුව සහ ඒ වන විට ජර්මනියේ ක්‍රියාත්කව පැවතුන අස්ථාවර රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය වෙනුවට වෙනත් මුදල් ක්‍රමයක් භාවිතාකිරීමට බටහිර පාර්ශවය යෝජනා පළ කළත් සෝවියට් පාලනය එයටද විරුද්ධ විය. මෙම රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය ක්‍රියාවට නැංවීම ඇරඹුණේ පළමු ලෝක යුද්ධයෙන් පසුව 1920 ගණන් වල ජර්මනිය අත්විදිමින් සිටි ආර්ථික අවපාතන අවදියේදීය. තවද නව මුදල් ක්‍රමය සමස්ථ බර්ලනියේ ඒකක හතරේම ක්‍රියාවට නැංවීම බටහිර පාර්ශවයේ අදහස වූවත් සෝවියට් විරුද්ධත්වය හමුවේ එවැන්නක් සිදුකිරීම අසීරුවිය. මේ අනුව බටහිර- නැගෙනහිර ජර්මනියේ සහ බටහිර-නැගෙනහිර ජර්මනිය යන ඒකක් වල මුදල් ක්‍රම දෙකක් භාවිතා වීම 1948 ජූනි 23 වනදා සිට ක්‍රියාත්මක වූ අතර නැගෙනහිර ජර්මනිය හා නැගෙනහිර බර්ලිනයේ ඒ වන විටත් ක්‍රියාත්මත්ව පැවති රයිෂ්මාර්ක් මුදල් ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වූ අතර, බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනයේ ඩොයිෂ්මාර්ක් නම් නව මුදල් ක්‍රමයද භාවිතා කිරීමද ආරම්භ විය.

සාකච්ඡා සම්මුති හෝ මොන සැලැස්මක් හෝ මොන මුදල් ක්‍රමයක් හෝ යටතේ ජර්මනියේ උන්නතිය සැලසීමට වඩා සමස්. ජර්මනිය හෝ අඩුම තරමින් සමස්ථ බර්ලිනය තමන් වෙතට ලබා ගැනීම සෝවියට් අභිලාෂය විය. මේ අනුව ඔවුන් සීතල යුද්ධයේ පළමු ප්‍රධානතම ඝට්ටනයේ පෙරගමන් කරුවන් වූ අතර 1948 ජූනි 24 වනදා බර්ලිනය අවහිර කිරීමේ ක්‍රියාදාමයේ නිරත විය. මෙය The Berlin blockade යනුවෙන් හැදින්වූ අතර මෙයින් බර්ලිනයේ බටහිර කොටස වෙත දිවෙන මංමාවත්, දුම්රිය මාර්ග, ඇල මාර්ග යනාදී සියලු ප්‍රවේශයන් අවහිර කරනු ලැබූ අතර මෙයින් ඔවුන් බලාපොරොත්තුවූයේ බටහිර බර්ලින්වාසීන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ අනෙකුත් ආධාරයන් ලැබීම වැළැක්වීම තුළින් ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ප්‍රංශ බටහිර බලවතුන් බටහිර බර්ලිනයෙන් ඉවත්වීම තුලින් සමස්ත නගරයේම පාලනය සෝවියට් පාලනය වෙතට නතුකර ගැනීමයි.

මුලදී සෝවියට් වෑයම සාර්ථක වන ලකුණු පෙනුණත් බටහිර පාර්ශවයේ බටහිර බර්ලිනය අත් නොහැරීමේ අප්‍රතිහත උත්සාහය හමුවේ එම ක්‍රියාදාමය 1949 මැයි 12 වනදා අත්හැර දැමීමට සිදුවිය. මේ අතරතුර කාලයේදී ඔවුන් ගුවන් මගින් බටහිර බර්ලිනයේ වාසය කළ ජනතාවට අවශ්‍ය දෑ ලබාදුන් අතර මේ සදහා ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු-කැනේඩියානු-නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ගුවන්හමුදා සම්බන්ධ වූහ. ගමන්වාර 200,000 කට වඩා මේ සදහා යොදගැනුණ අතර දිනකට ටොන් 4700 ක පමණ ද්‍රව්‍ය ගුවන් මගින් ප්‍රවාහනය කරනු ලැබීය.

1948 ජූනි 24 දා සෝවියට් අවහිරතාවය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම ආරම්භවූවත් එම වසරේ අප්‍රේල් සිටම විවිධාකාරයේ බාධා කිරීමේ බටහිර බර්ලිනයට ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම උදෙසා එම පාර්ශවය විසින් ඇතිකරනු ලැබූ බවද පැවසිය යුතුය. 
නැගෙනහිර ජර්මනියේ පළමු නායකයා -
Walter Ulbricht
මෙම අවහිර කිරීමේ ක්‍රියාදාමයේ අවසානයත් සමග බටහිර නැගෙනහිර ජර්මානු රාජ්‍ය බිහිවීමද නිල වශයෙන් සිදුවූ අතර ඇමරිකා-බ්‍රිතාන්‍ය හා ප්‍රංශ රාජ්‍යයන් විසින් පාලනය කළ බටහිර කොටස ඒකාබද්ධවී බටහිර ජර්මනිය (The Federal Republic of Germany (West Germany))ලෙස රාජ්‍යයක් බිහිවූ අතර ඒ 1949 මැයි 24 වනදායි.

තවද එම වසරේම ඔක්තෝමබර් 7 වනදා, මුල සිටම සෝවියට් අතකොළුවක්ව පැවති නැගෙනහිර කොටසද නැගෙනහිර ජර්මනිය (the German Democratic Republic (East Germany))ලෙස ස්ථාපිත වූ අතර එහි නායකයා ලෙස ජර්මානු කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ධූරය දැරූ Walter Ulbricht පත්වීය. බටහිර ජර්මනියේ ජනපති ලෙස ලිබරල් මතධාරී Theodor Heuss පත්වූ අතර එහි චාන්ස්ලර් වරයා ලෙස Konrad Adenauer පත්විය. නැගෙනහිර ජරමනිය තවදුරටත් තම අගනුවර ලෙස නැගෙනහිර බර්ලිනය තබා ගත් අතර බටහිර ජර්මනියේ අගනුවර වුයේ බොන් නගරයයි.

මෙසේ රටවල් තුනක් විසින් පාලනය කළ බටහිර ජර්මනිය බිහිවීම එක් අතකින් සෝවියට් නායකයාගේ සිහිනයක්ද බොදවීමකට හේතුවිය. ඒ ඔහුගේ බලාපොරොත්තුව වුයේ දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරක් දෙකක් ගිය තැන ඇමරිකානු හමුදා ඔවුන්ට අයත් ජර්මානු භූමියෙන් ඉවත්ව යනු ඇති බවත් ඉන් අනතුරුව තනිවන බ්‍රිතාන්‍ය හමුදා සහ ප්‍රංශ හමුදාද තමන්ට අයතව පැවති කොටස් වලින් ඉවත් යාමෙන් අනතුරුව සෝවියට් පාලනයට යටත්ව සමස්ත ජර්මන් භූමියම එක්සේසත් කිරීමත්ය.

තවද තවත් වැදගත් කාරණයක් වනුවේ මෙම අවහිරතාවයන් ඇතිවූ සමයේ ගුවන් යානා ගොඩබැස්සවීමට බටහිර බර්ලිනයේ පිහිටුවනු ලැබූ ගුවන් තොටුපළ තුනක් ඊළඟ වසර 50 පුරාවටම බටහිර බර්ලිනයට ඇතුළුවීමේ හා පිටවීමේ ප්‍රවේශයන් තුනක් ලෙසද ක්‍රියාත්මකවීම සිදුවීමයි. එපමණක් නොව අදටත් ක්‍රියාත්මකව පවතින බටහිර බලවතුගේ ප්‍රධානතම යුද සංවිධානයද මෙම අවහිරතා පැවති කාලවකවානුවේදී බිහිවිය. එනම් උතුරු අත්ලාන්ටික් ගිවිසුම් සංවිධානය හෙවත් ලෝකයම දන්නා නේටෝ සංවිධානයේ උපතද 1949 අප්‍රේල් 4 වනදා සිදුවිය. වොෂිංටනයේදී ඇමරිකාව, කැනඩාව හා බටහිර යුරෝපීය රටවල් විසින් එදින අත්සන් තැබීමෙන් සෝවියට් ප්‍රමුඛ කොමියුනිස්ට් රටක් විසින් යම් හෙයකින් පහර දුනහෝත මෙම සංවිධානයට අයත් රටවල් එක්ව පෙරළා පහරදීම මෙම සංවිධානයේ ප්‍රධානතම අරමුණ විය.(North Atlantic Treaty Organization (NATO)).

1949 සැප්තැම්බර් 30 වන දා ගුවන් මගින් බර්ලිනයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාන්විතයද අවසන් කෙරිණ.



1952 අප්‍රේල් 1 දින නැගෙනහිර ජර්මානු නායකයන් සෝවියට් දේශයට ගොස් එහි නායක ස්ටාලින් මුණ ගැසුන අතර සෝවියට් විදේශ අමාත්‍ය Vyacheslav Molotov ගේ යෝජනාවක් පරිදි බටහිර බර්ලින් වාසීන්ට නැගෙනහිර බර්ලිනයට ඇතුළු වීම සදහා අවසර පතක් නිකුත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කෙරුණි. එයින් බටහිරින් ඔත්තු බැලීමට නැගෙනහිර බර්ලිනයට පැමිණිම අවහිර කිරීම අරමුණු විය.

1952 මැයි 26 වනදා නැවතත් දේශසීමා වසා දැමීමක් සිදුවිය. ඒ නැගෙනහිර සහ බටහිර ජර්මන් දේශ සීමා සහ නැගෙනහිර ජර්මන් සහ බටහිර බර්ලින් දේශ සීමාය. කෙසේවෙතත් තවදුරටත් නැගෙනහිර-බටහිර බර්ලින් දේශසීමා විවෘතව පැවතුණි.නැගෙනහිර ජර්මනිය තුළ ක්‍රමයෙන් තවදුරටත් ආතතිය, අසහනය හිස ඔසවන්නට විය. එහි ගොඩනැගිලි ඉදිකරන්නන් පිරිස් විසින් තමන් වැඩකරන වටපිටාව සම්බන්ධයෙන් වු විරෝධතාවයක් රතු හමුදා විසින් සාර්ථකව මැඩපවත්වන ලදි. මෙම සිදුවීම සිදුවූයේ 1953 ජූනි 17 වනදාය.

මේ වනවිට සෝවියට් පාලක ස්ටාලින් මියගොස්, අනුප්‍රාප්තිකයා ලෙස නිකිතා කෘෂේව් බලයට පත්ව සිටියත් සෝවියට් ප්‍රතිපත්තියේ ලිහිල්වීමක් සිදුව නොතිබුණි. 

එම වසරේ නොවැම්බර් 14 වනදා බටහිර පාර්ශවය විසින් බර්ලිනයේ නැගෙනහිරට යාමට තම ප්‍රදේශයේ වැසියන්ට භාවිතා කිරීමට සිදුව තිබූ අවසර පත් පිළිබදව විරුද්ධත්වය පළ කළ අතර එයට සෝවියට් පාලනය එකඟවූ නමුත් නැගෙනහිර බර්ලින් වාසීන්ට බටහිරට යාමට නම් අවසර පත අනිවාර්යය විය.

1957 දෙසැම්බර් 11 වනදා සෝවියට් පාලනය නැගෙනහිර ජර්මනියට තවත් නීතියක් ක්‍රියාවට නැංවීය. ඒ නිසි අවසරයකින් තොරව නැගෙනහිර ජර්මනියෙන් පිටව යාම තහනම් කළ අතර එම වැරැද්ද සිදුකළහොත් වසර තුනක සිර දඬුවමකටද යටත් වීමටද සිදුවිය.

නැගෙනහිර ජර්මනිය පිළිබදව සුබවාදී චිත්‍රයක් අවට ලෝකයට පෙන්වන්නට උත්සහ කළත් එහි තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පැවතුණි. එයට හාත්පසින්ම වෙනස් ලෙස බටහිර ජර්මනියේ ජීවන තත්ත්වය උසස් හා නවීන පහසුකම්වලින් යුතුවූ අතර නැගෙනහිර ජර්මන්වාසීන් මෙම පහසුකම් අත්විදිනු පිණිස කොතරම් බාධක පමුණුවා තිබුණත් තමන් සිටි නැගෙනහිර කොටස හැරදා බටහිරට යාම අතිවිශාල වශයෙන් සිදුවිය. මේ තත්ත්වය විශේෂයෙන් නැගෙනහිර බර්ලිනයේ උග්‍ර තත්ත්වයේ පැවතු‍ණි. 

එසේම මේ නිසා නැගෙනහිර ශ්‍රම බලකායේ තරුණ  මෙන්ම දැනුම අතින්ද සන්නද්ධ අතිවිශාල ජනතාවක් බටහිරට පලායාමෙන් නැගෙනහිර ජර්මනිය නගා සිටුවීමට නොහැකිවනු ඇති බව එහි නායකන් තේරුම්ගත් අතර මෙම තත්ත්වය බලහත්කාරයෙන් හෝ වැළකීමට බටහිර බලපෑම ඍජුවම දර්ශනය වන බටහිර බර්ලිනයට පිවිසීම වැළකීමට බාධයක් ඉදිකිරීමට සෝවියට් අවසරය පැතීය. එයට සෝවියට් අවසරය ලැබුණ අතර දෙරටේම නායකයන් මේ නව ප්‍රවණතාවය රහසක් වශයෙන්ම තබා ගැනීමට තරයේ වගබලා ගත්හ.
ඒ වන විටත් මිලියන 2 කට වැඩි පිරිසක් නැගෙනහිර ජර්මනියෙන් නික්මගොස් තිබුණහ.



(Meeting between Nikita Khrushchev and Walter Ulbricht. “We must create the conditions so that the GDR economy will not be vulnerable to our enemies. We didn’t know that the GDR was so vulnerable to West 
Germany. This is not good; we must correct this now.” - November 30, 1960)

(First Secretary of the Socialist Unity Party of the GDR and Staatsrat chairman Walter Ulbricht states at an international press conference: “No one has the intention to erect a wall“. It was the first time the colloquial term Mauer (wall) was used in this context. - June 15, 1961)

තාප්පය ඉදිකිරීමේ සිට අනෙකුත් කාරණා ඊලඟ ලිපියෙන්....

මූලාශ්‍ර -

Thursday, October 3, 2013

Windows වලදී අවතාරගතව ඇති හෝ සැඟවී පවතින් දෘඩාංග සොයා ගැනීම - How to retrieve Ghost of hidden hardware on Windows OS

Windows Device Manager භාවිතයේදී පරිගණකයට සම්බන්ධව ඇති සියළුම දෘඩාංග එහි සටහන් වෙතැයි ඔබ සිතා සිටිනවා විය හැකි වුවත් එය එසේ වන්නේ නැහැ. පැරණි ගණයේ Non Plug & Play උපකරණ එසේ දර්ශනය නොවනවා සේම යම් විදියකින් ඔබ දැන් ඉවත් කර ඇති දෘඩාංගයක් හරි හැටි uninstall නොකර එය ඉවත් කළේ නම් එයද මෙම ස්ථානයේ නොපෙන්වන අතර එවැනි උපකරන Ghost hardware ලෙස හදුන්වනු ලැබේ. මෙහි ඇති අවධානම වන්නේ එසේ ඇති දෘඩාංගයක් වෙනුවට වෙනත්  දෘඩාංගයක් පරිගණකට සවි කිරීමෙන් පසු ඇතැම්විට Conflict තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩයි. ඒ මන්දයත් Windows විසින් තවමත් මේ දෘඩාංගයත් තමන් විසින් පාලනය කරනු ලබන පරිගණකයට සවිවී ඇති සේ සලකා එය වෙනුවෙන්ද සම්පත් වෙන්කිරීම සිදුකර ඇති හෙයිනි. 

මෙවැනි සැඟව පවතින හෝ Ghosted  තත්ත්වයේ ඇති දෘඩාංග සවිස්තරාත්මකව ලබා ගැනීම සදහා ඔබ කළ යුත්තේ  Device Manager හිදී View වෙත ගොස් එහිදී Show Hidden devices යන්න තේරීමයි.

තවද Windows 8 හිදී ලැබී ඇති නව පහසුකමක් වන්නේ එක් එක් දෘඩාංගය දැනට ස්ථාපනය කර ඇති Windows 8 තුලදීම පරිගණකයට සවි කර අදාල සැකසුම් කර ඇත්නම් එය සවිකර දින පටන් එයට භාවිතා කරන ලද drivers, එම දෘඩාංගය ක්‍රියාත්මක කිරීමේදී යම් දෝශයක් ඇතිව තිබේ නම් ඒ පිළිබදව යනාදී සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට Device Manager හිදී ඒ ඒ දෘඩාංගය මත right click කර එහිදී Properties යන්න තෝරා එහිදී Event යන්න තේරීමෙන් ලබා ගත හැකි වීමයි.

එසේම DOS Prompt හිදීද driverquery යන විධානය භාවිතා කිරීමෙන්ද ඒ ඒ දෘඩාංගයට අදාල තොරතුරු දැන ගත හැකිය.