Thursday, October 17, 2013

තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - ii


පසුගිය ලිපියෙන් බර්ලින් තාප්පය ඉදිකිරීමට හේතු එකින් එක කතාබහ කළ අතර මෙම ලිපියෙන් තාප්පය ඉදිකිරීම, ඉන්පසු ඇතිවූ දේවල් සහ එයින් වසර 28 කට පසු බිද වැටීම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

1961 අගෝස්තු 13 වනදා නැගෙනහිර බර්ලිනයේ සාමන්‍ය ජනතාව හෝ බටහිර බර්ලිනයේ සහ බටහිර ජර්මනියේ කිසිකෙනෙකු නොදැන සිටි ක්‍රියාන්විතයත් නැගෙනහිර ජර්මනියේ පාලකයන් හා සෝවියට් බලධාරීන් එකතුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. එදින සියළුම දුරකථන මාර්ග අඩපණ කරනු ලැබූ අතර එම ක්‍රියාන්විතයට සම්බන්ධවන අයවළුන්ට පවා දුරකථන ඇමතුම් ගැනීම තහනම් කොට තිබුනා. අනෙක එදා අද මෙන් ජංගම දුරකථනද නොවූ නිසා එය එතරම් ගැටළුවක් වුනේ නැහැ.බටහිර හා නැගෙනහිර බර්ලිනයේ මායිම්ද වසා දැමුන අතර එදින උදෑසන “Shock workers” නමින් හැදින්වූ කණ්ඩායම උදෑසනම වැඩ අරම්භ කරනු ලැබුවා. ඔවුන් මෙම දේශ සීමාවේ බාධක ඉදිකරමින් සිටි අතර කනු සිටුවමින් කටු කම්බි ඒවාට සවිකරමිනුයි සිටියේ. මෙය දුටු දෙපැත්තේම බර්ලින් වාසීන් කම්පනයට පත්වූ අතර ඇතමෙකු සත්‍ය වශයෙන්ම වාසය කළේ ඔවුන් එම අවස්ථාවේ සිටි පැත්තේ නොව අනෙක් පැත්තේ වූ අතර කිසියම් කාර්යයකට හෝ හිතවතුන් හමුවීමට පැමිණි සිටි ඔවුන් කොටුව සිටි අතර ඇතමෙකු හඬමින්ද, ඇතමෙකු මේ කාර්යයේ නියැළුන අයට දොස් පවරමින්ද සිටි අතර හැකියාව ඇති අය රැකවළුන්ගේ අවධානය වෙන අතකට යොමු වු වහා ඇසිල්ලකින් හොරෙන් අනෙක් පැත්තට පළායාමද සිදුවුනා. Stasi නමන් හැදින්වූ පොලීසියකට මෙම නගර මායිම් මුර කිරීමේ ස්ථීර වගකීමද පවරන ලදි.
පැය 24 කින් බටහිර බර්ලිනය වටකර කටකම්බි පවුරක් ඉදිකිරීමේ කාර්යය අවසන් විය. බොහෝදෙනෙකුට ගැටළුවක්ව පවතින බර්ලින් පවුර ඉදිවූයේ බටහිර-නැගෙනහිර ජර්මන් දේශසීමා මායිම් කර නොව බර්ලිනයේ බටහිර අන්තය වටකරය. පසුගිය ලිපියේද පැවසුවාක් මෙන් බර්ලින නගරය පිහිටියේ නැගෙනහිර ජර්මනිය තුළය. එම නගරය පිහිටීම ගත් කළ එය බටහිර ජර්මනි දේශ සීමාවේ සිට සැතපුම් 110 ක දුරිනි පිහිටා තිබුනේ නැගෙනහිර ජර්මනිය විසින් බටහිර කොටසට පිවිසීමට භූමියේ මාර්ග වසා දැමුව හොත් එයට පිවිසිය හැකි එකම මග ගුවන් මග ඔස්සේ හෝ එය හරහා දිවෙන ගංඟාවන් හෝ ඇල මාර්ග ඔස්සේ වුවත් ගුවන් මග හැරෙන්නට අනෙක් විකල්පයන්ද දැඩි රැකවල් වලට ලක්වීම හේතුවෙන් ගුවන් මග වඩාත් ප්‍රායෝගික ප්‍රවේශ මග වූවා.
රතු පැහැයෙන් නැගෙනහිර ජර්මනියද,
කහ පැහැයෙන් බර්ලින් නගරයද දැක්වේ.
මුලින් තැනූ කටුකම්බි වැට හෝ ඉන් පසුව වරින්වර විවිධාකාරයේ බාධක යොදමින් තැනූ පවුර බටහිර බර්ලිනය වටා සැතපුම් 96 ක් නැතහොත් කි.මි.155 ක් දුරකින් යුතුවූවා. තවද පසු කලෙක කොන්ක්‍රීට් වලින් ඉදිකල තාප්පයේ සාමාන්‍යෙයන් උස අඩි 11.8 ක් නැතහොත් මීටර් 3.60 ක් වූබවද සදහන් කළ යුතුවේ. නිලවාර්තා අනුව මෙම මෙම අවහිරතාවය ඉදිකර ඉන් වසර විසි අටකින් එය ඉවත් කරනා තුරාවට නැගෙනහිර සිට බටහිරට පලා යාමට ගොස් මිය ගිය ගණන 133 කි. එසේම 5000 ක් පමණ සාර්ථකව මෙම බාධකයන් තරණය කළ බව පැවසෙන අතර ඉහත කී මිය ගිය ගණන ඊට වඩා වැඩි විය යුතු බවද පැවසේ.
නැගෙනහිර ජර්මනිය ගත් මෙම ක්‍රියාමාර්ගය බටහිර බර්ලිනය, බටහිර ජර්මනිය හා බටහිර රටවල් විශ්මයටත් කම්පනයටත් පත් කළ අතර කුමක් කළ යුතු දැයි තීරණයක් ගත නොහැකිව ඔවුන් පසුවිය. බටහිර බර්ලින් බලධාරීන්, ඇමරිකාව ප්‍රමුඛ රටවල් කෙරේ විශ්වාසය තැබුවේ මෙම බාධකය ඔවුන්ගේ බලය යොදා ඉවත් කරනු ඇති බවටයි.එහෙත් ඇමරිකානු ජනපති කෙනඩියේ තීරණය වූයේ බටහිර බර්ලිනයේ මායිම් උල්ලංඝනයක් කිරීම සිදුකර නොමැති බැවින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. කළ හැක්කේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව විරුද්ධත්වය නැගෙනහිර ජර්මනියට පළ කිරීම බවයි.එහෙත් එවන් විරුද්දත්වයකින් නැගෙනහිර ජර්මනියේ වැඩ පිළි‍වෙළ වෙනස් කළ නොහැකිවූ අතර ඇමරිකාවේ ඇල්මැරුණ ප්‍රතිපත්තිය තවදුරටත් වැඩිදියුණු වෙමින් එකම නගරයක් වෙනකරමින් ඉදිවුන බාධකය තවත් දශක තුනකට ආසන්න කාලයක් පැවතීමයි.
මෙම නගරය දෙකඩ කිරීමේ ක්‍රියාමාර්ගය දියත් කළ දිනට පසුදින බටහිර බර්ලිනයේ නගරාධිපතිවරයා ප්‍රමුඛ පිරිසක් ජර්මනියේ සුප්‍රකට Brandenburg Gate අසලට පැමිණ නැගෙනහිර ජර්මනියේ මෙම ක්‍රියාමාර්ගයන්ට එදිරිව උද්ඝෝෂනයක නිරතවූ අතර එදිනම නැගෙනහිර ජර්මන්වාසීන්ට තවදුරටත් මෙම ස්මාරකය අසලට පිවිසීමට නොහැකි වන ආකාරයටද බාධා පමුණුවමින් එයට නැගෙනහිර බර්ලිනයෙන් ඇති පිවිසුමද වසා දමන ලදි.


1984 දී ගත් සේයාරුවකි

බර්ලින් තාප්පය බිද දැමීමට දින කිහිපයකට පෙර

ගේට්ටුව අසල තාප්පය ඉදිකර තිබූ අයුරු
අගෝස්තු 15 වනදා තවත් විශේෂිතම දෙයක් සිදුවිය. එනම් දේශසීමා මුර කිරීමේ නිරතව සිටි onrad Schumann දේශසීමා ආරක්‍ෂකයාද කටුකම්බි උසට සවිනොකළ ස්ථානයක් මතින් බටහිර බර්ලිනය දෙසට පැනයාමයි. තමන්ට නැගෙනහිර පැත්තෙන් පළායාමට තිබෙන හොදම හා පහසුම අවස්ථාව මෙය යයි ඔහු සැලකුව විය යුතුය. ඇත්තෙන්ම පසුකළෙක ඉදිකළ බාධක හා රැකවල් ගත් කළ ඔහු සුදුසුම තීරණය ගත් අයෙකු විය.
මේ එම අවස්ථාවයි

මෙම පැනයාමෙන් පසු තවදුරටත් කටුකම්බි වලින් පමණක් මෙම අවහිරතාවය ඇති කිරීම පහසුනොවෙන බව වටහා ගත් නැගෙනහිර ජර්මන් පාලනය අගෝස්තු 16 වනදාම පෙර සවිකළ කටුකම්බි බාධක ඉවත්කර කොන්ක්‍රීට් ගඩොල්වලින් බර්ලින් තාප්පය ඉදිකිරීම ආරම්භ කළ අතර මෙම තාප්පය මීටර් 2 ක උසකින් යුතුවිය. 
සිදුරකින් බලා සිටින බටහිර ජර්මන් වැසියෙක්.

අගොස්තු 26 වනදා බටහිර බර්ලින්වාසීන්ට නැගෙනහිරට ඇතුළුවීමට තිබූ සියළු දොරට වසා දමා අවහිර කරනු ලැබීය. මායිමේ ඇති උස්ගොඩනැගිලි වල ජනෙල්ද ස්ථීරවම වසා දැමුනේ එවා තුලින් පැනීමෙන්ද බටහිර බර්ලිනයට යාහැකි සහ එසේ ගිය පිරිසද සිටි හෙයිනි. ඒ අවධියේ බටහිර බර්ලින් ගිනි නිවන හමුදාවට ගිනි නිවනවාට වඩා රාජකාරිය වූයේ උස් ගොඩනැගිල මතින් පනින නැගෙනහිර බර්ලින් වැසියන් නෙට් හෝ මෙට්ට තබා නිරුපද්‍රිතාව බිමට ඒමට සැලැස්වීමයි.

කටුකම්බි වලින් නැවතිය නොහැකිය තාප්පයක්ද ඉදිකළත් පැනයාමට උත්සහ දරන හො ්පැනයන පිරිස නවතා ගැනීම අරමුනින් තවත් තාප්පයක් එයට පිටුපසින් ඉදිකිරීමට නැගෙනහිර ජර්මන් බලධාරීන් කටයුතු කළෝය. එසේම තවදුරටත් පළමු තාප්පය වැඩි දියුණු කිරීමටද කටයුතු යොදන ලදි. 


කෙසේවෙතත් 1961 ඔක්තෝබර් අගභාගයේ තෙවන ලෝක යුද්ධයක ආසන්නයකට පැමිණි අවස්ථාවක් උදාවිය. එනම් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන Allan Lightner යන අය සහ තවත් කිහිපදෙනෙකු ඔක්තෝබර් 22 දා නැගෙනහිර ජර්මනියට ඔපෙරාවක් නැරඹීමට යාමේදී නැගෙනහිර ජර්මන් රැකවලෙකු ඔවුන්ගේ අවසර පත් යනාදිය ඔවුන්ගේ ඇතුළුවීමේ හා පිටවීමේ ස්ථානය වූ Checkpoint Charlie පරීක්‍ෂා කිරීමට යාමේදි අර්බුදයක් මතුවූ අතර ඔක්.27 වනදා ඇමරිකන්-සෝවියට් යුද ටැංකි එකිනෙකට මීටර 100 ක් තරම් නුදුරින් එකිනෙකා වෙත අවි අමෝරාගෙන සිටියේ නියෝගය ලැබුන සැනින් ප්‍රහාර එල්ල කිරීමටයි. කෙසේවෙතත් එයින් දිනකට පසු මෙම තත්ත්වය සාමකාමීව අවසන්වූයේ එවකට ඇමරිකානු නීතිපති හා ජනපති කෙනඩි ගේ සොයොයුරු රොබට් කෙනඩි හා සෝවියට් රහස් ඔත්තුසේවය වන KGB යේ පාලකයා අතර ඇතිවු සාකච්ඡාවලින් අනතුරුවයි. මෙම සිද්ධියෙන් අනතුරුව Checkpoint Charlie යන ස්ථානය සීතල යුද්ධයේ ප්‍රසිද්ධම ස්ථානයක් විය.




1962 අගෝස්තු 17 වනදා ලොවම කම්පා වූ සිදුවිමක් සිදුවූ අතර Peter Fechter නම් 18 හැවිරිදි තරුණයා බටහිර දෙසට පලායන්නට තැත් කිරීමේදී නැගෙනහිර දෙස රැකවළුන් වෙඩිතැබූ අතර තුවාල ලැබූ තරුණයා බටහිර වාසීන් දෙනොදාහක් දෙනා බලා සිටියදී ඔහු පණ ඇද මිය ගිය අතර ඔහු බේරා ගැනීමට බටහිර දෙසින් සැරසුනත් ආසන්නයේ පිහිටි නැගෙනහිර දෙස මුර කපොල්ලෙන් එයට ඉඩක් නොවීය.

1963 ජූනි 26 වනදා ඇමරිකානු ජනපති කෙනඩි බර්ලිනයට  පැමිණි අතර බටහිර බර්ලිනය හුදකලා නොවන බව හැඟවීමට තමන්ද බර්ලින්වැසියකු යයි පැවසීය.“Ich bin ein Berliner.” (“I am a Berliner.”)

එම වසරේම දෙසැම්බර් 17 වනදා බටහිර-නැගෙනහිර බර්ලින් පාලනාධිකාරීන් යම් එකඟත්වයකට පැමිණි අතර සීමිත අවසරයන් හා සීමාමායිම්වලට යටත්ව බටහිර බර්ලින් වැසියන්ට තම ඥාති හිතමිත්‍රාදීන් බැලීමට නැගෙනහිරට පැමිණීමට අවසර දෙන ලදි.
1965 දී නැවත වරක් තාප්පය වැඩිදියුණු කළ අතර තාප්පය මතින් පැනීම වැලකීමට එය මත මීටර් 0.4 ක රවුම් කොන්ක්‍රීට් ටියුබයක්ද තනන ලදි.

1971 දී Walter Ulbricht ගේ අභාවයෙන් පසුය Erich Honecker නැගෙනහිර ජර්මනියේ බලයට පත්වූ අතර ඔහුද තවදුරටත් Erich Honecker ගේ මගම යමින් බර්ලින් පවුර වැඩි දියුණු කිරීමටද පියවර ගත් අතර ඔහුගේ මතය වුයේ “තෙවන ලෝක යුද්ධය ඇති නොවීම සදහා ඇති හොදම විකල්පය මෙම පවුර ඉදිකිරීම ලෙසයි“.

1975-1976‍ අතර කාලයේ එතෙක් භාවිතා නොවූ උපක්‍රම සහ බාධයන් බර්ලින් තාප්පය කෙරේ ස්ථාපනය කරන ලදි. Grenzmauer 75 (Border Wall ’75) ලෙස හැදින්වූ මෙම වැඩපිළිවෙලේදී පළමු බර්ලින් පවුරට පසුපසින් ඉදිකළ දෙවන පවුර තවදුරටත් පසුපසට ගෙන ස්පර්ශ සංවේදී ස්ව්‍යංක්‍රීය වෙඩිතැබීමේ හැකියාව ඇති තුවක්කු සවි කළ අතර බරවාහනයක් තාප්පය මත වැදී තාප්පය කඩාගෙන යාම වැලකීම සදහා L හැඩති කොන්ක්‍රීට් ප්ලේට් සවිකරන ලැබූහ. මේවා එකක් මීටර් 3.6 ක් සහ පළල මීටර් 1.5 කින් යුතුවූ අතර මේවා මතින් සෙ.මී.40 ක විශ්කම්භයෙන් යුතු සිලින්ඩරාකාර බටයක්ද සවිකරන ලදි.

එසේම ඊට පෙර බර්ලින් තාප්පයට යටින් බිම්ගෙවල් තනා පැනයාම සිදුවූ නිසා තාප්ප දෙක අතුරින් බිම් බෝම්බ අතුරා එම පැනයාමේ ක්‍රමයටද බාධා ඇති කරන ලදි. 

මෙලෙස බාධා කිරීම නිසා තාප්පයට ඉහළින් පැනයාමට තැත්කළෝද වූහ. එසේ සාර්ථක වූ පැනයාමකි 1979 දී නැගෙනහිර බර්ලින් වාසී Strelzyk සහ Wetze යන පවුල් දෙකේ අය එකතුව උණුසුම් වායු බැළුනයක් තනා 1979 සැප්. 16 වනදා බටහිර බර්ලිනයට පැනයාම. පසුව 1982 දී ඩිස්නි සමාගම මෙම සාර්ථක උත්සාහය අලලා Night Crossing නම් චිත්‍රපටියක්ද තැනීය.

එසේම ඉහළින් පැනයාමේදී බර්ලින් මායිම් රැකවළුන්ට පිළිපැදිය යුතු නියමයන් කිහිපයක් විය. මන්ද සෝවියට් දේශයට අයත් ගුවන් යානාවක් හෝ බැළුනයක් ඔවුන්ගේ වෙඩිතැබීමට ලක්විය හැකි නිසා එම ක්‍රියාමාර්ග ගෙන තිබුනි. එම රැකවළුන් ප්‍රථමයෙන් තම ප්‍රධානියා හරහා නැගෙනහිර ජර්මනියේ බලඅධිකාරියට මෙම ගුවන් යානා හෝ බැළුන පිළිබදව දැන්විය යුතු අතර ඔවුන් ඉන්ඉක්බිති සෝවියට් පාලනාධිකාරියට දන්වනු ලැබේ. ඔවුන්ගේ අවසරයද ලැබුන පසු වෙඩි තැබීම කළ හැකි අතර එම උපදෙස් ලැබෙන විට පලායන්නන් තම අරමුණ සඵල කරගෙන හමාරය.

1987 ජූනි 12 වනදා එවකට ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් බර්ලිනයට පැමිණි අතර ඒවන විට සෝවියට් පාලකයාව සිටි මිකායිල් ගොර්බචෝෆ් අමතා මෙම පවුර බිම දමන මෙන් ඉල්ලා සිටියේය.

එසේම සැප්තැම්බරයේදී Erich Honecker බටහිර ජර්මනියට ගිය ප්‍රථම නැගෙනහිර ජර්මන් නායකයා වෙමින් එරට සංචාරයක යෙදුන අතර ඔහුම ඉහලම ගෞරවයෙන් යුතුව පිළිගැනීමද සිදුවූ අතර බර්ලින් පවුර නිසා එය නඩත්තු කිරීමට හා එය පවත්වාගෙන යාමට ඉහළ පිරිවැයක් නැගෙනහිර ජර්මනියට දරන්නවී තිබු අතර තම රටට ආධාර කරන මෙන් බටහිර ජර්මනියෙන් නැගෙනහිර නායකයා ඉල්ලා සිටි බවද පැවසේ. එසේම ආධාර කිරීම සදහා බර්ලින් තාප්පයට සවිකර ඇති ස්ව්‍යංක්‍රීය ගිනි අවි ඉවත්කිරීම සහ තවත් කොන්දේසි කිහිපයක් ඉල්ලා සිටි අතර එම කොන්දේසි ඉටුකිරීමටද එකඟවිය.

ඇතැම්විට සමහර දේට හදිස්වීමද නුවනට හුරු නොවේ. 1989 පෙරබවාරි 6 වනදා බර්ලින් පවුරේ සිදුවන අවසාන අවාසනාවන්ත මරණයද සිදුවිය. Chris Gueffroy නම් අය අවසාන වශයෙන් බටහිර බර්ලිනයට පැනයාමට ගොස් මැරුම්කන අවසානයා වූයේය. කෙසේවෙතත් ඔහු තවත් මාස නවයකුත් දින තුනක් ඉවසුවේ නම් ජීවිතය කෙලවර කරගන්නේ නැතුව තම ඉලක්කය සපුරා ගන්න තිබුනි. එහෙත් අනාගතයේ සිදුවන දේය කාටනම් කිව හැකිද? 

ගොර්බචෝෆ්ගේ පාලනය යටතේ සෝවියට් අයෝමය හස්තය ලිහිල් වෙමින් පැවතියේය. ඔහු සෝවියට් දේශයේ දීර්ඝකාලයක් පුරා පල්වෙමින් පැවති දේශපාලන වාතාවරණය වෙනස් කිරීම සදහා පෙරස්ත්‍රොයිකා ව්‍යාපාරයද ක්‍රියාත්මක කිරීමේ නිරතව සිටි අතර නැගෙනහිර යුරෝපයට සෝවියට් බලපෑමද අඩුකිරීමටත්, තමතමන්ගේ රටවලට උචිත දේශපාලන ප්‍රතිසංස්කරණයන් ගැනීමට අවශ්‍ය අනුබලයද සපයමින් සිටි අතර මේ ප්‍රවණාතවයන් නිසා කොමියුනිස්ට් හංගේරියාව තම ඔස්ට්‍රියා දේශසීමා විවෘත කිරීමට 1989 අගෝස්තු 23 වනදා පියවර ගත් අතර සැප්. 10 දා නැගෙනහිර ජර්මන් දේශසීමාවද විවෘත කිරීමට පියවර ගත් නිසා 13000 කට වැඩි නැගෙනහිර ජර්මානුවන් පිරිසක් මෙම ඉඩකඩෙන් හංගේරියාව හරහා ඔස්ට්‍රියාවට පැන ගියෝය.

කොමියුනස්ට්කරණයේ ආනුභාව පැතිරවීම සදහා නැගෙනහිර යුරෝපයේ රටවල් පෙළීමේ ප්‍රතිපත්තියෙන් සොවියට්දේශය නික්මීමත් සමත නැගෙනහිර ජර්නියේද කොමියුනිස්ට් පාලනය දියාරු වෙමින් පැවතුනි. Erich Honecker එම වසරේ ඔක්තෝබරයේ තම ධූරයෙන් ඉවත් වූ අතර 1989 නොවැම්බර් 4 වනදා මිලියනයකට අධික ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්‍ෂා කළ ජනතාවක් නැගෙනහිර බර්ලිනයේ ප්‍රධාන චතුරස්‍රයට එක්වී උද්ඝෝෂන පැවැත්වූ අතර සෝවියට් සහයද තවදුරටත් නොලැබීයන තත්ත්වයක් පෙනෙන නිසාදෝ දිනක් ඇතුලතම එතෙක් පාලනය කළ රජයද ඉල්ලා අස්වූහ.

1989 නොවැම්බර් 9 වනදා සීතල යුද්ධයේ මලගමට පාර කැපූ තීරණාත්මක දිනයක් කිවුවත් වරදක් නැත‍. නැගෙනහිර ජර්මන් පාලණාධිකාරීය නැගෙනහිර බර්ලින් වැසියන්ට බටහිර දෙසට යාමට අවසර දෙන බව පැවසූ අතර ඔවුන් නොදැන හෝ දැන කළ වරදක් හෝ අතපසුවීමක් වූයේ මෙම අවසරය ලැබෙන්නේ කොතරම් කාලසීමාවකටද යන්නයි. මේ සමගම දහස් ගණන් නැගෙනහිර බර්ලින්වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් බටහිර දෙසට යන්නවූවා පමණක් නොව තම තමන්ට හැකි අයුරින් බර්ලින් පවුර බිද දැමීමටද දායක වුහ.

මෙම ව්‍යාකූල සහගත නිවේදනය සිදුකළ කොමියුනිස්ට් නිලධාරී Günter Schabowski සැනකින් ජනප්‍රිය චරිතයක් බවටද එකළ පත්විය.



දෙසැම්බර් 22 වනදා එතෙක් වසා දමා තිබූ Brandenburg Gate වෙතටද යාමේ හැකියාව ලබා දෙන ලදි.

කෞතුකමය වශයෙන් රැකගත යුතු යයි සැලකූ ස්ථාන කිහිපයක් හැරුන කොට අනෙක් සියළුම ස්ථාන වලින් තාප්පය ඉවත් කරන ලදි.

දෙවන ලෝක යුද්ධය නිසා ජර්මානුවන්ගේ අවශ්‍යතාවය මත නොව එකල ලෝක බලවතුන්ගේ තීරණය පරිදි දෙකඩ කළ ජර්මනිය 1990 ඔක්තෝබර් 3 වනදා නැවතත් එක්සත් ජර්මනියක් බවට පත්විය.

---------------------------------------------------------------------------------------------------
මෙම ලිපියේදීද සුළු වශයෙන් බර්ලින් තාප්පය ගැන කතා කළා -
මූලාශ්‍ර -

24 comments:

  1. නොදත් බොහෝදේ ඔබේ ලිපියෙන් උගත්තා බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  2. දිනේෂ් මේ තියෙන්නේ එසේ පැනයාමට ගොස් දරුණු ඉරණමකට පත් වූ කෙනෙක්ගේ ජීවිත කතාවක්.. ඔබට හැකි වෙලාවක කියවල බලන්න ...සංවේදී කතාවක් බර්ලින් තාප්පයේ වේදනාව හොඳින්ම ඇහෙන ....
    Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )

    ReplyDelete
    Replies
    1. ස්තූතියී ඔබේ තොරතුරු වලටත්. හැකියාව ලැබුන විගස මා එය බලනවා....

      Delete
  3. වැදගත් ලිපියක් ...මා තාප්පය ගැන දැනගත්තා විස්තර ගොඩක්..

    ReplyDelete
  4. අපූරුයි දිනේශ්.. මම මෙච්චර කාලයක් හිතෙන් මවාගෙන හිටපු වැරදි අදහස් ගොඩක් නිවැරදි කරගන්න ලැබුනා. ස්තූතියි.

    ඒ කියන්නෙ බටහිර බර්ලිනය, බටහිර ජර්මනිය හා ගුවන් මගින් සම්බන්ධවී ඔවුන්ගේ පාලනය යටතේ තිබුන ප්‍රදේශයක් නේද ? මෝඩ අමන දේශපාලන තීන්දු නිසා, ජීවිත කාලෙටම වෙන්වුන පවුල් කීයක් ඉන්න ඇත්ද ? ඔවුන්ගේ දුක දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියේදී බොහොම ලඝු වෙන බවක් තමා මේ කතාවෙනුත් පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට පමණක් නොවෙයි මමත් බර්ලින් තාප්පය ගැන සිතා සිටි බොහෝ දේ නිවැරදි වුනේ මේ ලිපිය සදහා කරුණු එක්රැස් කරන විටයි. ඒවගේම නැගෙනහිර ජර්මනියේ මනාපයක් නොවූ විට බටහිර බර්ලිනයට යා හැකි එකම මඟ ගුවන් මඟ පමනයි. එක සුපිරි බලවතෙකු අත්තනෝමතිකව ක්‍රියා කළ හැකි බව සත්‍යයක් මුත් සෝවියට් කොමියුනිස්වාදය අනෙක් රටවලටද බලහත්කාරයෙන් ක්‍රියාවට නංවන්න ගිහින් අහිමිවූ හෝ පීඩාවට පත්වූ ජීවිත ගණන 1945 සිට 1990 දක්වා අතිවිශාල වනවාට සැකයක් නැහැ...

      Delete
  5. http://www.youtube.com/watch?v=n4RjJKxsamQ ලිපිය නියමයි දිනේශ් අයියා... මේ වීඩියෝ එකත් බලන්නකො

    ReplyDelete
    Replies
    1. ස්තූතියී ශශී මම ඒ වීඩියෝව බැළුවා....

      Delete
  6. මේ තාප්පයේ හැඩයත් විශේෂ එකක්. තාප්පයේ මුදුන හරියට මහා විශාල කොන්ක්‍රීට් පයිප්පයක් (අර බෝක්කු හදන ඒවා වගේ) දැම්මා වගේ කවාකාර හැඩයකින් යුක්ත වුනා. (හැමතැනම නෙවේ බොහෝ තැන්වල) එය ලිස්සනසුලු නිසා පැනයාම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පැනයාම අවහිර කිරීමට එවැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුනා...

      Delete
  7. ස්තුතියි දිනේශ්

    ReplyDelete
  8. මට මේ තාප්පය ගහපු තැන ගැන තේරුමක් නෑ.අනිත් හරියනම් තේරුනා.මේ තාප්පෙ ගැහුවහම කොහොමද් ජර්මනිය දෙකට බෙදුනෙ?

    ReplyDelete
    Replies
    1. තාප්පය හැදුවේ බර්ලිනය නම් නගරයේ බටහිර කොටස, එනම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ පාළනයට ලක්වු කොටස වටකරයි. අනෙක් කරුණ නම් බර්ලින් නම් නගරය පිහිටියේ නැගෙනහිර ජර්මනිය නම් කොටසේය. ඒ කියන්නේ බර්ලිනය නම් නගරයට පිටතින් පිහිටියේ නැගෙනහිර ජර්මනියයි. ජර්මනිය දෙකට බෙදුනේ තාප්පය පිහිටුවීමටත් පෙරයි. එය දෙවන ලෝක යුද්ධයට පෙරාතුවම ගත් තීරණයක්...

      Delete
  9. නොදත් බොහෝ දේ දැනගතිමි............
    බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  10. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබදව නම් පිළිතුරක් දීමට මාගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවේ

      Delete
    2. මේ තුන් දෙනාම එක් කෙනෙක්

      Delete
  11. එපා වෙන්නේ නැතුව කියවන්න පුළුවන් එකම බ්ලොග් එක. මේ බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම වගේ මම කියවලා තියනවා. ලෝකේ වෙනස්ම පැති ගැන කතා කරන මේ බ්ලොග් එක දැනුම වැඩි කරගන්න විතරක් නෙවෙයි නිකම් facebook වගේ දේ වලට අපතේ යවන කාලෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ හැම ලිපියක්ම මම PDF විදියට save කරගන්නවා. ගොඩක් මහන්සියෙන් කරුණු අධ්‍යනය කරලා මේ ලිපි සකස් කරන Dinesh Guruge මහත්මයාගේ කැපකිරීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
  12. ස්තූතියි ඔබටත් ඔබගේ රුචිකත්වයට ගැලපෙන පරිදි මෙහි ලිපි ලියවී තිබීම ගැන දැනගැනීමත් සතුටකි...

    ReplyDelete